ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අයාලයේ ගමන් කරන සිත

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම්
සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

අප ලැබූ දුර්ලභ වූ මේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත්ව සකස් කර ගැනීමට, එනම් ලෞකික වශයෙන් හා ලෝකෝත්තර වශයෙන් මනා වූ දියුණුවක් ලැබිය යුතුයි. එසේ දියුණුවක් ලබන්නට නම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ‘සතිය’ හෙවත් ‘සිහිය’ මනා කොට පිහිටුවා ගැනීම අවශ්‍යයයි. අප පසුගිය සතියේ කතා කළා සේ අදත් ‘සතිය’ ගැන තවදුරටත් විමසා බලමු.
ධර්මයේ පෙන්වන රාගය නමැති ඇලීම, දේශය නමැති ගැටීම හෙවත් පටිඝය, මෝහය නමැති මුලාව එනම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මය හා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහි මනා වූ අවබෝධයක් නැතිවීමයි, එනම් මෝහයයි. ඒ අනුව රාග, දෝස, මෝහ සංසිඳුවන්නටත්, බැහැර කරන්නත්, සිත පිහිටුවා ගත යුත්තේ සිහියේ උපකාරීත්වයෙනුයි. සිහිය නැති තැන සිතට ආරම්මණවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා සිතිවිලි ආදියෙහි ආරම්මණයන්හි දැඩිව ඇලී ඒවා තමා සතු කරගන්නට උත්සාහ කිරීමෙන් බලවත් වූ පාපයන්ට හෙවත් අකුසලයන්ට යොමුවෙන්නට පුළුවනි. පස්, පව්වලට දස අකුසල්වලට පුද්ගලයා යොමු වෙන්නෙ මනා කොට පිහිටුවා නොගත් සිහිය, සිත දමනය කිරීමට උදව් නොදෙන නිසායි. මෙහි දී අප තේරුම්ගත යුත්තේ සිහිය මනාකොට පිහිටුවීම ම සිත මනාකොට පිහිටුවීමක් හැටියට දැකීම ලෙසයි. යම් කෙනෙකුට මනා වූ සිහිය පිහිටුවන්න පුළුවනි නම්, ස්වභාවයෙන් ම සිතේ දමනයක් ඇති වී රාග, දෝස, මෝහාදී කෙලෙස්වල සංසිදීමකට අවස්ථාව සලසාගත හැකියි.
ඒ අනුව පස් පව් දස අකුසල්වලින් බැහැර වී දාන, සීල, නෙක්ඛම්ම ආදී දස පාරමිතාත්, දාන, සීල, භාවනා ආදී දස පුණ්‍ය ක්‍රියා නම් කුසල් මාර්ගයට යොමුවිය හැකියි. එපමණක් නොව ධර්ම මාර්ගයේ සඳහන් කරන සීල, සමාධි, ප්‍රඥා නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැස ගැනීමත් ඒ අනුව විදර්ශනා මාර්ගයෙන් නිවන් අරමුණු කිරීම පිණිසත් කටයුතු කළ හැකියි. මෙහි දී විදර්ශනා මාර්ගය යැයි සඳහන් කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු කොටස් හතරත් , රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකයත් ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රිය හයත්, අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට නුවණින් බැලීම හෙවත් දැකීමයි. මනා වූ සිහිය පිහිටුවීමෙන් සිතට හා සිත සමඟ පවත්නා සිතිවිලිවලට විදර්ශනාව වැටහෙන්නට ආරම්භ වෙනවා. මනාව පුරුදු කරන ලද සතිය හෙවත් සිහියට ධාතු ස්කන්ධ ආයතනයන්ගේ ඇති අනිත්‍ය බව, දුක්සහගත බව හා තමාගේ වසඟයේ නොපවත්නා හෙවත් ස්ථිරයමක් නොවන බව වැටහෙන්නට පටන් ගන්නවා. මෙතෙක් ඉතා කෙටියෙන් සඳහන් කළේ මේ සතිය හෙවත් සිහිය මනාකොට පුරුදු කර ගැනීමෙන් ධර්ම මාර්ගයේ දී මොනතරම් ස්වයක් ලබාගන්නට හැකි ද? ඒ වගේ ම දුකින් නිදහස්වීම නම් වූ නිවන අරමුණු කරගන්නේ කෙසේද? යනුවෙනුයි.
ආනාපාන සතියේ පෙන්වූ ආශ්වාස, ප්‍රශ්වාසය දකිමින් සිහිය පිහිටුවීම. ඒ වගේ ම දීර්ඝ හා කෙටි ආශ්වාස, ප්‍රශ්වාසය කෙරෙහි මනාකොට සිහිය පිහිටුවීම. ආශ්වාසයේ මුල මැද අග මනාකොට දකිමින් සිහිය පිහිටුවීම. ශරීරය සංසිදුවමින් කරන හා සිදුවන ආශ්වාසය, ප්‍රශ්වාසය කෙරෙහි සිහිය පිහිටුවීම යනුවෙනි. මේ ආකාරයෙන් ආශ්වාසය, ප්‍රශ්වාසය මුල්කොට ගෙන සතිය හෙවත් සිහිය පිහිටුවන්නට අභ්‍යාසය සිදු කරන හෙවත් පුරුද්ද පුහුණුව ලබන ඕනෑම කෙනෙකුට නිරන්තරයෙන් තමාගේ සිත ගැන අවධියෙන් සිටින්නට පුරුද්ද හෝ පරිණත බවක් සැලසෙනවා.
මෙහි දී යම් කෙනෙක් මෙවැනි වූ ප්‍රශ්නයක් අසන්නට පුළුවනි. ඔළුවේ දහසක් කටයුතු තබාගෙන, කරන්න අපහසු තරම් වැඩකටයුතු මේ අත් දෙකකින් කරන කාර්ය බහුල යම් කෙනෙකුට ඔය සිතේ ක්‍රියාවන් පිළිබඳව කොහොමද මනා වූ සිහියක් ඇති කර ගන්නේ කියා. මෙහි දී අප තේරුම්ගත යුතු අවස්ථාව මෙයයි, ඔබ අප එදිනෙදා ජීවිතේ වැඩකටයුතු කරන විට ඒ කරන ක්‍රියාවෙහි සිහිය පිහිටුවාගෙන කළ යුතුයි. ආශ්වාසය, ප්‍රශ්වාසය කෙරෙහි සිහිය පිහිටුවාගන්නට අභ්‍යාසය කිරීමෙන් අප ඉගෙන ගත්තේ හෙවත් පුහුණුව ලැබුවේ එයයි. කරන ක්‍රියාව කෙරෙහි සිත පිහිටුවාගෙන හෙවත් සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්නට ඉගෙන ගැනීමයි. එසේ සිහිය පිහිටුවාගෙන කටයුතු කරන විට හැකිතාක්දුරට රාග හා ද්වේෂයෙන්, එනම් දැඩි ආශාවන්ගෙන් හා ගැටීමෙන් බැහැර වී දානය, සීලය ආදී යහපත් වූ ක්‍රියාවකට යොමුවීමෙන් කටයුතු කිරීමයි. සරලව සඳහන් කරනවා නම් කුමක් හෝ පවක් නොවන අකුසලයක් නොවන යහපත් වූ ක්‍රියාවක යොමුවීමයි. එසේ නම් ඔබ දහසක් වැඩකටයුතු ඔළුවෙ තියාගෙන කටයුතු කරනවයි කියන වෙලාවක පවා, ඒ කටයුතු පාපයක් නොවෙන්න, වැරැද්දක් නොවෙන්න, අකුසලයක් නොවෙන්න, ඔබ ඒ සඳහා මෙහෙයවන්න මේ අභ්‍යාසය ලත්, පුරුද්දලත් හෙවත් භාවිත සිතට පුළුවන්කම ලැබෙනවා.
අභාවිත සිතක් නම්, එනම් කරන කියන දෑ පිළිබඳ අවබෝධයක් නැති, මනා වූ සතියක් නැති, සිතක් නම් පවතින්නෙ, ඕනෑම වෙලාවක තමාගේ ජීවිතයෙන් එනම් පාපයක් හෝ අකුසලයක් විය හැකියි. දැඩි ආශාවන් මතුවීමෙන් ඇස, කණ, නාසය ඉන්ද්‍රියන් ඔස්සේ බලවත් වූ පාපයන්ට යොමුවිය හැකියි. ජීවිතය පවත්වන විට ඇස, කණ, ආදී ඉන්ද්‍රියන්ට අරමුණුවන රූප, ශබ්ද, ආදී ආරම්මණයන් හි විටක බලවත් ලෙස ඇලීමෙන් පස්, පව්, දස අකුසල්වලට යොමුවිය හැකියි. තවත් විටක ඉන්ද්‍රියන්ට අරමුණුවන රූප ආදී අරමුණුවල අකැමැති යැයි පවසා ඒවායේ ගැටීමෙන් තරහව, වෛරය, ක්‍රෝධය ඇතිකර ගැනීමෙන් මහත් වූ විපතක් ද ඇති කරගත හැකියි. එනමුත් මනාකොට සිහිය පිහිටුවන්නට ඉගෙන ගත් පුද්ගලයෙක්, අපමණ වැඩකටයුතුවල යෙදී සිටියත් පාපයක් නොවන්නට වැරැද්දක් නොවන්නට එම කටයුතුවල යෙදෙන්නට අවස්ථාව සලසා ගන්නේ ය. මනාකොට සිහිය පිහිටුවාගත් සිත පුද්ගලයා ඕනම කටයුත්තක නිවැරැදි මාර්ගයේ ගෙනයනවා. මනාකොට සිහිය පිහිටුවා ගන්නට පුරුදු නොකළ පුද්ගලයා තමාගේ කටයුතුවල දී නියම මාර්ගයේ ගෙන නොගොස්, ඕනෑම වෙලාවක මහා අනතුරකට වැටීමේ අවස්ථාවක් පවතී.
මේ නිසා භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනා විවරණයේ දී ආශ්වාස, ප්‍රශ්වාසය මුල්කොට ගෙන අපට පෙන්වා වදාළ සිහිය පිහිටුවීම හෙවත් සතිය යහපත් වූ චරිතයක් හෙවත් ජීවිතයක් ඇතිකරගන්නට බලාපොරොත්තුවන ඕනෑම අයකුට මනා සේ උපකාරක ධර්මයක් බවට පත්වෙනවා.
ආනාපාන සති කතාවේ ම කෙළවර දැක්වූයේ,
“පස්සම්භයං ඛාය සංඛාරං
අස්සසිස්සාමිති සික්ඛතී
පස්සම්භයං ඛාය සංඛාරං
පස්සසිස්සාමිති සික්ඛතී”
“ශරීරය සංසිදුවාගෙන ආශ්වාස, ප්‍රශ්වාස කරන්නේය යනුවෙනි. මින් අදහස් කරන්නෙ අපේ සිත මනාකොට දමනයකට එන විට මුළු ශරීරය ම නිවුණු බවක් සැහැල්ලු වූ බවක් හැටියට දැනෙන බවයි. එය සිදු වුණේ කොහොමද? මනා වූ සතියෙන්, ඇලීමක් හෝ ගැටීමක් වැනි අරමුණකට සිත යා නොදී ආශ්වාසය, ප්‍රශ්වාසය කෙරෙහි ම සිහිය පිහිටුවා තබා ගැනීමයි.
බාහිර අරමුණුවලින් තොරවීමත්, මනසෙහි රැඳී පවතින සංචේතනාවලින් සිතෙහි ගැබ්ව පවතින චේතනාවලින් මේ සිත ව්‍යාකූල තත්ත්වයට පත්නොවීම නිසා සිතෙහි සංසිඳීමක් සංවරයක් ඇති වෙනවා. එම ස්වභාවය හැදුණ මනා කොට ඇතිකරගත් සිහිය නිසාය. බාහිර ආරම්මණ හෙවත් ඇලීම් ගැටීම්වලින් සිත සංසිදීම නිසා, සිතට විවේකයක් ලැබෙනවා. මේ අත්දැකීම ඔබ හැම කෙනෙකුට ම තියෙනවා, එනම් සිතෙහි යහපත් වූ සිතිවිල්ලක් නිසා සතුටක් ඇති වුණාම මුළු ශරීරයට ම දැනෙන බව දැනෙන්නට පටන් ගන්නවා. ඒ වගේ ම අසතුටක් ඇති වුණොත් ඒ අසතුට, අමනාපය, තරහව, නොඉවසීම, කේන්තිය ආදී වශයෙන් හඳුන්වන්නට පුළුවනි. බාහිර අපට ඇස්, මුහුණ, තොල්, මුඛය, මස්පිඩුවල පටන් මුළු ශරීරයම අර අසතුට සකස් වූ සිත පෙනෙන්නට හෙවත් මතුවෙන්නට පටන් ගන්නා බව පැහැදිලිය. එසේ නම් මනා වූ සිහිය පිහිටුවා ගැනීම නිසා රාග, ද්වේෂ ආදී හෙවත් තද ඇලීම්, ගැටීම්වලින් බැහැරවෙන විට සිතේ ඇතිවන සංසිඳීම හෙවත් සැහැල්ලු බව මුව ශරීරයට ම දැනෙන්නට පටන් ගන්නවා. ඔබට මේ වගේ දෙයක් දැනෙන්නට පුළුවනි. දවසට ම ආහාර ටිකක් නොගත්තත් සිතේ ඇති වූ නිවීමම මට ලොකු ස්වයක් දැනෙනවා යනුවෙනි. එහෙත් සිහිය පිහිටුවා ගන්න බැරි සිත අසංවරව හැසිරී, තද ආශාවන්, ආවේගයන් හා තරහව, වෛරයෙන් පිරිපුන් වුණොත් දවස් දෙක, තුනක්, වුවත් කුසගින්නක් දැනෙන්නෙ නැත්තේ, රසවත් වූ ම ආහාර තමාගේ ඉදිරියේ තිබුණත් ආහාර ගැනීමට ඕනෑකමක් ඇති නොවන්නේ අර ගැටීම් නම් වූ බලවත් වූ ආවේගයන් මුදුන්පත්වීම නිසාය.
විටෙක සිතෙහි ඇතිවන සංසිඳවීම නිසා ලබන කායික, මානසික ශක්තිය අප සුවපත්ව තබා ගන්නවා. තවත් විටෙක බලවත් ලෙස ඇතිවන ආවේග හෙවත් ගැටීම් නිසා අකැමැති අරමුණුවල ඇතිවන ආවේගකාරී, කායික, මානසික ශක්තීන් ද අප වියවුල් ස්වභාවයට පත්කරනවා. මේ නිසා යහපත් වූ ම ක්‍රියාවලිය විය යුත්තේ, අපේ සිත සංසිඳුවාගෙන ප්‍රීති සුඛයෙන්, කයත්, මනසත්, පවත්වාගැනීම නොවේද? එවිට යහපත් වූ චරිතයකට දැනෙන්නෙ මහා ධනයක් නැති වුණත් ලෝකයා කියන මුතු, මැණික්, රත්තරන්, ශරීරයේ පටලවාගෙන නොසිටියත් සිතේ සතුට ලද දෙයින් සතුටුවෙමින් නිවැරැදිව ජීවත්වීමයි. එසේ නොමැති වුණොත් මේ අයාලේ ගමන් කරන සිත අපට බොහෝ දුක් විපත්ති ගෙන දෙනවා.
තව දුරටත් ‘සතිය’ හෙවත් ‘සිහිය’ ගැන ධර්මානුකූලව කතා කරන්නට, ආරම්භය වශයෙන් තබා ගත්තේ ධම්මපදයේ චිත්ත වග්ගයේ පළමු ගාථාවයි.
‘ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මෙධාවී
උසුකාරොව තෙජනං’
ඵන්දනං - මේ සිත නිතර සැලෙනවා. සිහිය මනාකොට පිහිටුවා ගන්න බැරිවීම නිසා, නැතිනම් සිහිය පිහිටුවන්න පුරුදු නැතිවීම නිසා, සිත ඒ ඒ අරමුණුවල ඇලෙනවා. චපලං - මේ සිත චපලයි. එනම් සිතට එන අරමුණු ඉක්මණින් ම වෙනස් කරනවා. ඇසට රූප, කනට ශබ්ද, ආදී වශයෙන් ඉන්ද්‍රියන් හයෙන් ම කැමැතියි කියන අරමුණු ගන්න උත්සාහ ගන්නවා. දෙනකම් කරදර කරනවා. කල්පනා කරනවා. බලාගෙන ඉන්නවා. හැබැයි දුන්නට පස්සෙ, අලුත් පෙනුමක්, හඬක්, ආග්‍රහණයක්, රසයක්, ස්පර්ශයක්, සිතිවිලි වශයෙන් අලුත් දේවල් ඉල්ලනවා. එපමණක් නොවෙයි තමා සතු කරගත්ත රූප, ශබ්ද වශයෙන් අරමුණු දිරාගෙන යනවා; වෙනස් වෙනවා; දකින්න කැමැති නැහැ. එවිට හඬනවා. වැළපෙනවා. මනා කොට පුරුදු නොකරන ලද සිත, එනම් මනාකොට සිහිය පිහිටුවා නොගැනීම නිසා වන විපත්තියයි.
සැළෙන සිත අරමුණු වෙනස් කරන හෙවත් චපල සිත ඉක්මනින් ම එහා මෙහා ගමන් කරනවා. විවිධාකාර වූ සිතිවිලිවල ඇළෙමින්, ගැටෙමින්, ඔළුව අවුල් වූ ලෙස හැසිරෙනවා යැයි ජීවත්වෙනවා යැයි සඳහන් කරන්නේ ද එයයි. යම් වූ ද අරමුණු විටක ඉල්ලමින්, විටක එපා කියමින්, ආශාව, බය, සැකය ආදී විවිධ කෙලෙස් මේ සිත තුළ පදිංචි වුණාම ඒ මනස අවුල්වීම අමුත්තකට හෝ පුදුමයකට කරුණක් වෙන්නෙ නැහැ. මෙන්න මේ අභාවිත, චපල ඉතා ඉක්මනින් දුර ගමන් කරන සිත මනාකොට සිහිය පිහිටුවා ගැනීමෙන්, අප විසින් දමනය කළ යුතුමයි. පාලනය කරගත යුතුයි. ඒ කෙසේ ද? එනම් ‘හරියට හී වඩුවෙක් තමන්ට ඕනෑ ආකාරයට යකඩ රත්කොට හීය මනා කොට සකස් කරන්නා සේ, මනා කොට සිහිය පිහිටුවාගත් මේධාවී හෙවත් ප්‍රඥාවන්තයා විසින් මේ සිත දමනය කර ගත යුතු බවයි.’
මෙලෙසින් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කළ ආකාරයෙන් අපට සිහිය පිහිටුවා ගන්නට පුළුවන් නම්, අපේ ජීවිතවල හැඬීම්, වැළපීම්, දුක් දොම්නස් හැකිතාක් දුරට සංසිදුවාගෙන එදිනෙදා ජීවිතයේ කටයුතු කරන්නට පුළුවන් බව ඉතාම පැහැදිලියි. සිහිය මනාකොට පිහිටුවා ගන්න බැරිවීම නිසා භික්ෂුත්වය කෙලෙස ගන්නා, මව් පදවිය, පිය පදවිය කෙලෙස ගන්නා, මනුෂ්‍යත්වය පවා විනාශ කරගන්නා වූ පිරිස් මොනතරම් සිටින්නේ ද? මේ පිරිස් සෑම කෙනෙක් ම තමාගෙන් සිදුවිය හැකි හෝ සිදු කරන්නට යන වැරැද්ද හෝ අකුසලය පිළිබඳව සාමාන්‍ය වශයෙන් හෝ නොදන්නා අය නොවෙයි. නමුත් සිහිය පිහිටුවීම නම් වූ යම් ක්‍රියාවක ඇති යහපත, අයහපත, පින, පව, කුසලය, අකුසලය පිළිබඳව ඒ ඒ මොහොතේ නිවැරැදි ආකරයට සිහිය පවත්වන්නට පුරුදු නොවීම නිසා; සිත සංවර කර ගැනීමට අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නෙ නැහැ.
සිත දමනය කිරීමට, කර ගැනීමට තරම් හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ නිසයි, මොනතරම් දන්නවායි කියා දැනුම තිබුණත් සිහියේ ඇති නුපුරුදු බව නිසා සිතට සිතෙන දේ, ඕනෑ දේ කරන්නට ඉඩ දී සිත අයාලේ ගමන්කොට මහත්විපතකට පත්වෙනවා. අත්හැර දමන ලද ගෙමිදුලක, භූමියක ස්වභාවයෙන් ම වල් පැළෑටි බිහිවන්නා සේ සිහිය හෙවත් සතිය පුරුදු කර නොගත් අයකුගේ සිතෙත් වල් පැළෑටි හෙවත්, රාග, ද්වේෂ, මෝහ, මදමාන, දිට්ඨි ආදී අපමණ වූ කෙලෙස්වලින් වල් බිහිවෙනවා. වල් බිහි වූ භූමියක් ගොහොර සතුන්ට ක්ෂේම භූමියක් විය හැකියි. අභාවිත සිතක් ඇති පුද්ගලයකුගේ මනසත් එවැනි ම බලවත් වූ කෙලෙස් පහළ වීමට, දෙව්දත් කෙනෙක් හැදීමට තරම්, චිංචිමානවිකාවක් බිහිකිරීමට තරම්, බුදුරජාණන් වහන්සේ නමකට පවා දොස් කියූ සුප්‍රබුද්ධ රජතුමා වැනි අයෙක් බවට පත් කිරීමට තරම් මේ මනස පත්විය හැකියි.
මනා වූ සිහිය හෙවත් සතිය පුරුදු වන විට යෝනිසෝමනසිකාර නම් වූ අවස්ථාව මනාව සකස් වෙනවා. සාම්ප්‍රදායිකව යෝනිසෝමනසිකාරය යනුවෙන් සඳහන් කරන්නෙ එළඹ සිටි සිහියෙන් යුක්තවීම යනුවෙනි. එනම් ඒ මොහොතෙහි ජීවත්වීම යනුවෙනුයි. තවදුරටත් පැහැදිලි කළොත් සිතට ඇස ඔස්සේ රූපයක් අරමුණුවන විට එම රූපය සීලයේ පිහිටා සම්මුතියෙන් පරිහරණය කරන්නට අවස්ථාව සලසා ගන්නට පුළුවනි. එසේ නැතිව එම රූපය කෙරේ සීලයෙන් තොරව, පරිහරණයකට යන්නට අවස්ථාව සැලසුණොත් එය මහ වැරැද්දක් විය හැකියි. අකුසලයකට පත්විය හැකියි. මෙය තවත් මෙසේ පැහැදිලි කළ හැකියි. කායික, වාචසික සංවරයේ පිහිටා අප ලෝකය දකින විට බලන විට, ස්වාමීන් වහන්සේ නමක්, අම්මා, තාත්තා, ස්වාමියා, බිරිඳ ආදී වශයෙන් අරමුණු ගත හැකිය. ආදරය, කරුණාව, ලෙන්ගතුකම හා සමගින් ජීවිත පවත්වාගත හැකියි. එහෙත් ඇසට ගන්නා අරමුණ රාගයකට හෝ ද්වේෂයකට මුසුකරගෙන අරමුණ ගතහොත් මහා විපතක් විය හැකි නොවේද?
ස්වභාවයෙන් මේ සිතේ පවත්නා රාගාදි කෙලෙස් යටපත්ව පැවතීම හඳුන්වන්නේ අනුසය වශයෙනුයි. අභාවිත සිතකට සිහිය නොපැවැත්වීම නිසා ඒවා දැනෙන්නට පටන් ගැනීම හෙවත් සිතේ මතුවෙන්නට පටන් ගැනීම ‘පරියුට්ඨාන’ වශයෙන් දක්වනවා. මනා කොට සිහිය පිහිටුවා නොගැනීම නිසා ඒවා වචනයෙන්, ක්‍රියාවෙන් එළියට පැමිණීම හා ක්‍රියාත්මක වීම ‘වීතික්කම’ යනුවෙන් සඳහන් කරනවා. මේ නිසා මනා කොට සිහිය පිහිටුවන්නට ඒ ඒ මොහොතේ ම සෑම අරමුණක් කෙරෙහි ම අවධියෙන් සිටීම අවශ්‍යයයි. යෝනිසෝමනසිකාරය යනුවෙන් පවසන්නේ මොනතරම් කාර්ය බහුල ජීවිතයක වුවත් මුලින් සඳහන් කලා සේ ආශ්වාසයට, ප්‍රශ්වාසයට අනුව සිහිය පිහිටුවන්ට පුරුදු කරන ලද සිතක් ඇති පුද්ගලයාට ඕනෑම අවස්ථාවක සිතට එන ආරම්මණයන් කෙරෙහි රාග, ද්වේෂ ආදී වැරැද්දක් නොවෙන්නට සිහිය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
කෙසේ වෙතත් සාමාන්‍ය ජීවිතයේ මොනතරම් ඉක්මනින් අපි ආරම්මණයන් ගන්නවා ද? ඒවා හා සමගින් ජීවත් වෙනවා ද? යෝනිසෝමනසිකාරය නම් වූ මේ මොහොතේ ජීවත්වන්නට සිහිය පිහිටුවා ගැනීමෙන් ගලන ගඟක් සේ අතොරක් නැතිව මොනතරම් ඉක්මනින් ඇස ආදී ඉන්ද්‍රියන් හයෙන් ම රූප ආදී ආරම්මණ ගලාගෙන ආවත් තද ඇලීමකට හෝ දෝමනස්සයකට එනම් ගැටීමකට හසුනොවීමට තරම් සිත පවත්වාගත හැකියි. ඒ පුරුදු කරන ලද සිහිය නිසයි.
යම් විටක අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවය නිසා ඇලීමක් හෝ ගැටීමක් පාපයකට හෝ අකුසලයකට යොමුවෙන ආකාරයෙන් හෙවත් තමාගේ ස්වභාවයට නොගැළපෙන ආකාරයෙන් පැන නැගෙන්නට උත්සාහ කළොත්, එවැනි අවස්ථාවක සිහිය මතු වී මේ වැරැද්දක් මෙය නුඹට ගැළපෙන්නෙ නැහැ. නුඹ ස්වාමීන් වහන්සේ නමක්, නුඹ අම්මා, තාත්තා කෙනෙක්, විවාහක කෙනෙක්, අඩුම තරමෙ දුර්ලබ වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ මනුෂ්‍යයෙක් යනුවෙන් හෝ අපට මතක් කර දෙනවා. මතක් කොට දී පාපයෙන් හෙවත් වරදින් වළක්වා තරමකින් හෝ පාලනයක් අපට ලබා දෙනවා. අකුසලයෙන් හෙවත් පාපයෙන් වළක්වනවා. අප සෑම කෙනෙකුට ම යෝනිසෝමනසිකාරය අවශ්‍යයයි.
මේ ආකාරයෙන් අපේ මේ සිත් හා සිතිවිලි හටගෙන ඒවා බැහැර වී යන ආකාරයත් තේරුම් ගැනීමටත්, ඒවා කෙරෙහි නොඇලී නොගැටී සිටින්නටත් ඒ ඔස්සේ ගොස් කර්ම රැස්වීමටත් අවස්ථාවක් නැහැ. අපේ සිත අපට ඕනෑ කරන ආකාරයෙන් සීල, සමාධි, ප්‍රඥා ගුණ ඔස්සේ යොමු කර ගන්නට අවස්ථාව සැලසෙනවා. නිදසුනක් ලෙස මේ ශරීරයේම පාදාන්තයේ පටන් කේශාන්තය දක්වා අනිත්‍ය ආදී ලක්ෂණ වශයෙන් දැක ධර්ම මාර්ගයේ යෙදෙන්නට ඉතා ම පහසු අවස්ථාවක් අපට ඇතිකර ගන්නට පුළුවනි.
දීපා පෙරේරා
සදහම් සඟරා - Online