ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සංසාර ජීවිතය අනාරක්‌ෂිතය...

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරාන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

පුහුදුන් සත්වයින්ගේ සංසාර ජීවිතය අනවරාග්‍රවූවකැයි තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සදෙසා වදාළහ. එනම් එහි කෙළවරක්‌ දැකිය නොහැකිය. සීමාවක්‌ පැනවිය නොහැකිය. අප ලබා තිබෙන මේ ජීවිතය ඒ මහ දිගු ජීවන ගමනෙහි එක්‌ නවාතැන් පළක්‌ පමණකි. එනම් මින් එහාදී අප පසු කර ආ ජීවන නවාතැන්පල්වළ කොතෙක්‌දැයි කිසිවකුටවත් කිව නොහැකිය. එමෙන්ම මේ සංසාරයේදී මෙලෙස ඉදිරියටත් කොතෙක්‌ ගණනක්‌ සංසාරික නවාතැන්පළවල අපට නවතින්නට සිදුවේදැයි අප කවරකුටවත් කීමට හැකියාවක්‌ නැත.

අමා නිවනෙහි වුවමනාව හෝ සංසාරයෙහි කටුක බව පිළිබඳව තවමත් හරිහැටි හැඟීමක්‌ දැනීමක්‌ නැති අයට මේ නවාතැන්පළවල් කොතෙක්‌ නම් සොඳුරුදැයි සිතෙන්නට පිළිවන. එසේ සිතෙන ඔබ බොහෝ දෙනකුම සිටින්නේ මේ මිනිසත් භාවයෙහිය. මිනිසත් බව ලබා ඉපදීම සොඳුරු යෑයි ඔබට සිතෙන්නේද ඇත්තෙන්ම ඒ නිසාය. කවරක්‌ නිසාද යෑයි ඔබට ඉන් එහා බියකරු සසර ලෝකය දැකීම කිසිදු ප්‍රඥවක්‌ පිළිසරණ නොවන නිසාය.

එතෙකුදු වුවත් මිනිසත් ලෝකය දෙසම මඳක්‌ බලන්න. ඔබ ඇතැමකුට එය සොඳුරු නවාතැන් පළක්‌ ලෙස දැනෙන්නේ සැප යෑයි සම්මත පහසුකම් ටිකක්‌ ඔබට ඒ තුළ ලැබී තිබෙන නිසා නොවේද? මායාවකට කොටුවූ මේ ලෝකයෙන් ඈත්වී මිනිස්‌ ලෝකය දෙසම මඳක්‌ බලන්න. එහිම මිනිස්‌ ජීවිත නවාතැන්පළවල් නම් කොතෙක්‌ තිබෙනවාද? මේ සෑම ජීවන නවාතැන්පළක්‌ම එක සමාන හෝ එක සමාන සුවදායක බවකින් පිරී තිබෙනවාද? සැබවින්ම නැත. එහි කිසිම හව්හරණක්‌ තබා කුසට හරිහමන් අහරක්‌ පවා නැති ජීවිත කොතෙක්‌ නම් තිබෙනවාද? යාචක ජීවිත ගැන ටිකක්‌ සිහිපත් කරන්න. ඒ ජීවිත කොයි තරම් නම් දුක්‌ත අන්ධකාරයන්ගෙන් පිරී ඉතිරී පවතිනවාද? බොහෝ විට ඔවුන්ගේ ශරීර දුබලය. අපවිත්‍රය. අතිශය පිළිකුල්සහගතය. පිරිසිදුවෙන්නට හැකි වුවත්, යහපත්ව ජීවිත ගෙවන්නට හැකි වුවත්, බොහෝ විට ඔවුන්ට එවැන්නකට අවතීර්ණවීමට පවා සිත් දෙන්නේ නැත. බොහෝ විට මෙය සමාජයේ, පාලනයේ වරදක්‌ යෑයි බොහෝ විට සිතෙන්නට පිළිවන. එසේ වුවත් මේ බියකරු සංසාරික ජීවිත නවාතැන්පළවල් පිළිබඳව එයට එහා ගිය අපට නොපෙනෙන සත්‍යයන් බොහෝ තිබේ. ලොව කිසිවකුත් මෙබඳු දුක්‌බර ජීවන නවාතැන්පළක නතර වෙන්නට කිසිසේත්ම කැමැති නොවනවාට සැකයක්‌ නැත. එය එහෙම වුවත් ඔවුන්ට එය උරුමවී ඇති අයුරු මේ සියලු කරුණු දහමට අනුව විමසා බැලීමේදී හොඳින්ම පෙනෙන්නේ ස්‌වකීය වූ කර්මය විසින් අදාළ ජීවන සොම්නසට හෝ දොම්නසට සත්වයා කැඳවනු ලබන බවයි.

නිදා පිබිදියාක්‌ මෙන් එක්‌ ජීවිතයක්‌ අවසන්කර අමා නිවන් නොලබන්නේ නම් ඒ තෙම තවත් තැනක ජීවිතයක්‌ අරඹන්නේ කොතෙක්‌ නම් කලාතුරකින්ද? එනම් මේ සංසාර ජීවිතවල ඇති භයානකකම ගැනම, බොහෝ කොට සිතා බලන්න. එහි තිබෙන අපමණක්‌ සංසාර ජීවන නවාතැන්පළවලට ළඟාවන මරණයේ ස්‌වරූපයෙන්ම කොයි තරම් නම් බියජනක වන්නේද? ජීවිතවලට තමන් ආශාකරන බොහෝ දේ ලැබෙන තාක්‌ හොඳය. ඒවා රිසි පරිදි නොලැබෙන විට ඇතැමුන් මරණය ළං කර ගන්නේ ඇඟපත පවා ලොමු ඩැහැගන්වන ආකාරයෙන්ය.

ඔබේ ගම, නගරය, රට, ලෝකය තුළ මෙබඳු සංසාර ජීවන නවාතැන්පළවල් කොතරම් තිබෙනවාද? මේ නපුරු ජීවිත ඔබ හැමටම සංසාරය කෙළවර කරන තාක්‌ නොලැබේ යෑයි කියන්නට බැරිය. එනම් ඔබ වපුරන කර්ම බීජයනට අනුව ඔබට ඒ ඒ අස්‌වනු යළි යළිත් සංසාරයට වැටෙන, සංසාරයේ ස්‌කන්ධ පංචකය සකස්‌වන කර්ම රැස්‌ නොකර සිටින්නට ඔබ සෑම මොහොතකම පරෙස්‌සම් වීමයි. කෙසේ වුවත් සංසාරගත ජීවිතයකට රුදුරු මරණය ළඟාවන්නේ සියතින්ම ජීවිතය තොරකර ගැනීමට තැත් දැරීමෙන් පමණක්‌ නොවේ. දරුණු පිළිකා ඇතුළු අනේක විධ වූ රෝගාබාධ දැන් ලෝකය තුළ කොතෙක්‌ වැඩී වර්ධනය වී තිබේද? මේ රෝග නමැති පක්‌ෂීන් ශරීරය නමැති අසාර කැදැල්ල කරා මොහොතින් මොහොත ඇදී එන බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක. මේ රෝග නමැති පක්‌ෂීහු නිරන්තරයෙන්ම මරණයට බලය සපයති. මෙලෙසින් මරණාසන්න තත්ත්වයට ඇද වැටී එහෙත් නොමැරී නමුqදු මැරි මැරී ජීවත්වන අය අප අතර කොතෙක්‌ නම් පවතිනවාද?

සංසාර ජීවිතය අප පතනවා නම් අප බලාපොරොත්තු විය යුත්තේ මේ දුක්‌ පමණි. ඇතැම් විට ලෞකික ලෝකයේ මායාවක මිහිරකට රැවටී එබඳු ජීවිතයක්‌ ප්‍රාර්ථනා කොට උපදින ඔබට පරම ආයු ගෙවා අවසන් කළ හැකි ජීවිතයක්‌ ලැබේ යෑයි කියන්නට බැරිය. ඒ තරමටම අස්‌වාභාවික වූද, අප්‍රමාණ බියෙන් යුක්‌ත වූවා වූද, මරණයන්ගෙන් ලෝකය වැසී ගොසිනි. ඔබ කොතෙක්‌ සුරක්‌ෂාවී සිටියද මේ මරණයක්‌ ඔබේ ජීවිතය මතට ඇද වැටෙන්නට පිළිවන. මරණය කවර ජීවිතයකට වුවත් ඒ තරමටම අනපේක්‌ෂිත වූ එළඹීමකි. එය ඔබ වෙත ළඟාවන්නේ ඔබ නොසිතන වෙලාවක නොහිතන ආකාරයකටය. සම්මා සම්බුදු දවසට ඔබට මඳක්‌ පිය නැගිය හැකිද?

ඒ අමා මෑණියන්වහන්සේ ඇතැම් නම් ග්‍රාමයේ පිදුරු මඩුවෙක වැඩ සිටියේ උතුම් වූ ධ්‍යාන සුවයෙනි. ඒ අවට සිටියෝ නම් ගොවි අඹු සැමියන් යුවළෙකි. අවට අහස්‌ කුසයෙහි වැස්‌සක ලකුණකුදු තිබුණේ නැත. එක්‌වරම පුපුරා ගිය හෙණයක්‌ වැදී ඒ ගොවි දෙමහල්ලෝම මිය ගියෝය. මේ එක සංසාර ජීවන නවාතැන්පළක්‌ එදා කෙළවර වූ හැටිය. මේ මේ ලෙසින් රුදුරු ලෙස කෙළවර වන සංසාරික ජීවිත ගණනින් නම් අප අතර අඩුවක්‌ නැත. දීර්ඝ සංසාර ගමන තුළ ඔබ කොතෙක්‌ මෙබඳුවූ ජීවිත ගණනක්‌ ලබන්නට ඇත්ද? ඔබ කැමති, දැඩිව ආශා කරන දේ අනන්තවත් ලෝකය තුළ තිබෙනවා නොවේද? ඔබ හඬා වැටුණත් ඒ අතර ඔබ කැමැති, එහෙත් ඔබට නොලැබෙන දැ ද ගණනින් නම් මෙතෙකැයි කියන්නට බැරිය. මේ දුකම ඇතැමකුට ළඟාකර දෙන්නේ උමතු බවයි. මෙවන් ජීවිතත් සංසාර ගස්‌නෙහිදී අපට කොයි තරම් හමුවෙනවාද?

ඉවසා දරාගැන්මට බැරි දුක්‌ තැවුල් හා ඈ කටු කොහොල්වල වැටෙන්නට නොදී ජීවිතය කොතෙක්‌ පරෙස්‌සම් කරගන්නට හැදුවත් එය ඒ තරමටම සාර්ථක වන්නේ නැත. ලෝභ, ද්වේෂ, මෝහාදී කොටගත් කෙළෙස්‌වල සිත බැඳීමෙන් මහා දුකකට වැටෙන්නට කෙනකුට ගත වන්නේ මොහොතකි. මේ සියලු කාරණාවන්ගෙන්ම අප ඉඳුරා පසක්‌ කරගත යුත්තේ කුමක්‌ද? මේ මහා දීර්ඝ සංසාරයෙහි කවර තැනෙක, කවර තරාතිරමකින් උපත ලැබුවද සංසාර ජීවිතය යනු අනාරක්‌ෂිත එකක්‌ම වන බවය. එහි සදාතනිකවම ඇත්තේ ගෙවී යන, අවසන්වන ඉවරවන දැමය. ඒවා ඉවරවන විට කිසිවකුටත් මහා දුකක්‌ම මිස සැපතක්‌ නම් නොලැබෙන්නේය. අප අකමැති වුවත් සංසාරයෙහි හැටි මෙහෙමය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සදෙසා වදාළ පරිදි මේ භයංකාර දුකින් අතමිදී ගත හැක්‌කේ සංසාරය තුළ කවර ජීවන නවාතැන්පළක්‌ වුව සදන්නට තෘෂ්ණාව නමැති වඩුවාට ඉඩ නොදීමෙන්ය.

සංවාද සටහන - සුගත් වීරසූරිය
සදහම් සඟරා - Online