ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

මරණය දුකක් නොවන්නට

දිනක් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අවසන් කරත් ම මෘතශරීරාගාර සේවක මහතෙක් තවත් මෘත දේහයක් එහි මේසය මත හොවා එය ඊළඟ පරීක්ෂණයට අදාළ මෘත දේහය බව අපට කීය. ඇසිල්ලකින් ඒ වෙත යොමු වුණ අප නෙත ගැටුණේ බොහෝ සුපුරුදු මුහුණකි. පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කෙරිණි. තවමත් උණුසුම නොසුන් දේහය විච්ඡේදනය කරන විට,මීට දශක දෙකකට පෙරාතු ව වූ සිදුවීමක් අප මතකයට නැඟිණි. පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් කැටපිටිය පුරාණ විහාරයේ දී පළමු වරට හමු වූ දිනයේ දී, අපගේ දිවා ආහාරය සඳහා වූ බත් පිඟාන සිනාමුසු මුහුණින් යුතු ව අප වෙත රැගෙන පැමිණියේ අද ජීවය සුන් කයක් පමණක් ඇති මේ පුද්ගලයා යි. එදා පටන් සුපුරුදු සිනහවෙන් යුතු ව හෙතෙම බොහෝ වාර ගණනක් අප හමු විය. මීට පැය කිහිපයකට පෙර ද හෙතෙම තම බන්ධූන් සමඟ එකී සුපුරුදු සිනහවෙන් යුතු ව ජීවත් වූහ. ඒ ජීවත් ව සිටියේ විඤ්ඤාණය සහිත වූ, එහෙයින්, සජීවී පුද්ගලයෙකි. මේ මෘත ශරීරාගාරයේ දැන් හොවන්නේ විඤ්ඤාණය රහිත වූ, එහෙයින්, අජීවී මළ සිරුරකි.
විඤ්ඤාණය සහ ශරීරය අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධය කුමක් ද? මිනිස් ශරීරයකට (කළලයකට) විඤ්ඤාණයක් ඇතුළු වීම, එහි පැවැතීම සහ එය ඉන් බැහැර වීම යනු සෛලයකට හෝ සෛල සමූහයකට ජීවය ලැබීම, ජීවයේ පැවැත්ම සහ ජීවියකුගේ මරණය ලෙස ගත හැකි ද? නොඑසේ නම් ඒවා සපුරා එකිනෙකට වෙනස් සිද්ධි ද? නැතහොත් ඒවා එකිනෙකට සමාන හා අසමාන සිද්ධි ද?
අප කලණ මිත් පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමියන් සමඟ වරෙක අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමියෝ මෙසේ පවසති.
‘අප පුදුමයට පත්විය යුත්තේ කෙනකුගේ මරණය ගැන නොව මරණයට මේ තරම් හේතු තිබිය දී පුද්ගලයකු මෙලොව ජීවත් වීම පිළිබඳ ව යි.’
තත් ප්‍රකාශය මත පදනම් ව විමසුවහොත් යමකු මිහිමතට සජීවී ව පැමිණි දා සිට, කායික ව අජීවී ව නික්ම යන තෙක් ඔහු විසින් කායිකව, මානසික ව හෝ එකී ද්විධ ව හෝ මුහුණ දෙනු ලබන ලෙඩ - රෝග, ව්‍යාධි,උපද්‍රව,දුබලවීම්, අනපේක්ෂිත සිදුවීම නම් කෙතරම් ද? එසේ, ඒවාට බඳුන් වෙමින් ජීවය පවත්වාගෙන යෑම ඉතා වෙහෙසකර කාර්යයක් වුව කිසිදු වෙහෙසකින් තොර ව මරණය අප වෙත නිහඬව ම සැණෙකින් පැමිණෙයි.
ඇතැම් ලෙඩ රෝග, ව්‍යාධි තමාට, නොදන්වා ම අවුත් නොදන්වා ම වැළඳී, නොදන්වා ම ආපසු ගොස් ඇති බව ඇතැමෙක් නොදනිති.
ඇතැම් පශ්චාත් මරණ පරීක්ෂණවල දී මීට පෙර වැළඳුණු හෘදයාබාධයක සලකුණු මියගිය අයගේ හෘද කුටීරවල බිත්ති නිරීක්ෂණයේ දී හෙළිදරව් වෙයි. එහෙත් එවැන්නක රෝග ලක්ෂණයක් හෝ එකී පුද්ගලයා ජීවත් ව සිටිය දී තම නිවැසියනට ප්‍රකාශ කර නැත. නිවැසියන් විසින් එවැන්නක් පිළිබඳව දැනගනු ලබන්නේ ද මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණයෙනි. ඇතැම් විට එකී හෘදයාබාධය මීට අවුරුදු කිහිපයකට හෝ මාස කිහිපයකට පෙර හෝ රාත්‍රි නින්දේ දී ඔහු වෙත පැමිණෙන්නට ඇත. පසු දින අවදි වූ විට ඔහුට පපුවේ වේදනාවක් තිබුණා විය හැක. එහෙත් ඔහුගේ කාර්යය බහුලත්වය, ඒ ගැන ඔහු නොතැකීම, එකී වේදනාව පිළිබඳව ඇහුම්කන් දෙන්නකු නොසිටීම වැනි කවර හේතුවකින් හෝ ඊට ප්‍රතිකාරයක් නොලද ඔහුට ඔහුගේ මරණය තව තවත් බොහෝ ඉක්මනින් පැමිණ තිබේ.
උපදින විට ම යමකුට සියල්ල හිමි නොවෙයි. ජීවිතය විසින් පසු ව ඇතැම් දේ හිමිකොට ගනු ලැබෙයි. එහෙත් යමකු උපදින විට ම සිය අතපත් වන අත්‍යන්ත දේ නම් තම මරණය යි. යමකුගේ මරණය කිසිදු අවකාශයක්,සුළු ඉඩක්, නැවැතීමක්, විරාමයක් හෝ ඇසිල්ලක් හෝ නොතබා අන් කිසිවකුට පෙර යමකුගේ උපත සමඟ උපදියි, උපත අසල ම රැඳෙයි, ඔහුගේ ජීවිතය සමඟ ගමන් කරයි.
එනමුදු යමකු ම උපන් දිනය සමරන, සිහිපත් කරන, ප්‍රීති ප්‍රමෝදයට පත්වන, තවත් අයකුගේ උපන් දිනයට සුබපතන දිනක,ඇසිල්ලකට හෝ නොසිතන කාරණය වන්නේ එකී උපතේ දී ඔහුගේ මරණය ද ඉපදුණු බවයි. මරණය අනවරතයෙන් ම ජීවිතය සමඟ එළැඹ ඇති බව යි.
උපන් දින දා එය සමරන හෝ සිහිපත් කරන හෝ කිසිවකු විසින් තම මරණය ගැන සිහිපත් කරනු ලැබිය යුත්තේ මන්ද? එම මරණය තමන් වෙත දැනටමත් අත්පත් වී ඇති බැව් සිහිකරන සැමවිට ම, ඔහු වෙත එළැඹෙන ඊළඟ මොහොතේ සිට හැකිතාක් තමාටත් ලෝකයටත් අර්ථයක් ඇති කාර්යයන් පිළිබඳව සිතීමටත් සැලසුම් කිරීමටත් ඒවා ක්‍රියාවෙහි යෙදවීමටත් හැකි බැවිනි. එමෙන් ම තමා දැනටමත් කරන අර්ථවත් කාර්යයන් වඩා වර්ධනය කිරීමටත් අනර්ථ ක්‍රියා නතර කොට ගැනීමටත් අදිටන් කරගත හැකි බැවිනි.
බෞද්ධයන්ට උපත සේ ම මරණය ද සුවිශේෂී නොවේ. මෙලොව මිනිස් උපතක් යනු සංසාරගත පුද්ගලයෙක් මිනිස් භවයකට පැමිණීම යි. මරණය යනු එකී මිනිස් භවයෙන් නික්මීම යි. බෞද්ධයන්ට වැදගත් වන්නේ ඒ අතර ඇති තාවකාලික නවාතැන වන ‘මිනිස් ජීවිතය’ යි. මන්ද තම සසර කෙටිකරගත හැක්කේ එකී තාවකාලික නවාතැනෙහි තම ක්‍රියාකාරිත්වයෙන් පමණක් වන බැවිනි.
අට්ඨකතාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරනු ලැබූ විශුද්ධි මාර්ගයෙහි මරණය පිළිබඳව සිහි කළ යුතු අට ආකාරයක් වෙයි. එහි අටවැනි ආකාරය, ‘ඛණපරිත්තය’ යි. එනම් ජීවිතය පවත්නේ ක්ෂණයකි; ක්ෂණය නිරුද්ධ වන කල්හි ජීවියා මරණයට පත්වන්නේ ය; එනම්, යමකුගේ අවසන් කාය මරණය මතු නොව, ඔහු ජීවත්වීම යනු ද ක්ෂණයක් පාසා මරණයට පත් වීමකි. එහෙයින් මරණය යනු ජීවිතයේ අග එළැඹෙන්නක් නොව, ජීවිතයේ නිරන්තරයෙන් එළැඹෙන්නකි. බුදුදහමට අනුව යමකු විසින් මරණය පිළිබඳව නිතර සිහිකරනු ලැබිය යුතු ය. ඒ මන්ද, ඉන් සිත එකඟ කිරීම සඳහා ය. ඉන් සතිය, සංවේගය, ඥානය උපදවා ගැනීම සඳහා ය; එය නිවනට මඟක් වන නිසා ය. යමෙක් මරණය නිසි අයුරින් දකින්නේ නම් ඉන් තමාටත් ලෝකයටත් මහත් අර්ථයක් කරගනියි. කරයි.
වරෙක තම වෛද්‍යවරයා ඇමැතූ රෝගියෙක් තම රෝගයෙන් තමා නිසැකව ම මියයන්නේ දැ යි නිශ්චිතව ම නොසඟවා තමාට පවසන මෙන් ඉල්ලීමක් කළේ ය. රෝගියා මේ ගතකරමින් සිටින්නේ ඔහුගේ අවසන් පැය කිහිපය බව කී වෛද්‍යවරයා, මෙම රෝගයෙන් ඔහු මිය යන බව මීට මාස කිහිපයකට පෙර, රෝගය නිර්ණය කරගත් විට දැන සිටි බවත් එහෙත් එය රෝගියාට නොකී බවත් ප්‍රකාශ කළේ ය.
“මා මේ රෝගයෙන් මාස කිහිපයක් ඇතුළත මිය යන බව ඔබ මට ඒ දිනවල ම පැවැසුවා නම්, මට මගේ මරණය සඳහා මේ මාස කිහිපයේ මීට වඩා සූදානම් වන්නට තිබුණා. ලෝකය වෙනුවෙන් මා හට කරන්නට තිබුණ වැඩ තව ඉක්මනින් කරන්නට තිබුණා.” ඒ. එයට රෝගියා දුන් පිළිතුර යි.
සුප්‍රසිද්ධ මහා ව්‍යාපාරික වොරන් බෆට් (එචපපඥද ඕභටටඥබබ) ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට ද වරෙක පත්වුණ අයෙකි. ඔහුට ඔහුගේ ව්‍යාපාරයේ සියල්ල වරෙක අහිමි වුව ද නැවත ඔහු සිටි ස්ථානයටත් වඩා ඉහළ තැනකට වන්නට ඔහු සමත් විය. නොපසුබස්නා උත්සාහය, වීර්යය, ශූර ව්‍යාපාරික ඥානය, කැපවීම සහ තවත් එක් හේතුවක් ඒ සඳහා ඔහුට බලපා තිබිණි.
වරෙක පුවත්පත් කලාවේදියකු විසින් ඔහුගේ සුවිශේෂී දියුණුවේ රහස කුමක්දැයි වොරන් බෆට්ගෙන් විමසනු ලැබිණි.
‘එයට හේතුව තමයි, මම සෑම දිනක ම හිතනවා. මම හෙට මරණයට පත්වෙයි කියා. එවිට ඒ වෙනුවෙන් මම අද වැඩ කරනවා.’ ඒ ඔහුගේ පිළිතුර යි. වොරන් බෆට්ට බුදුදහමේ ආභාසය ලැබී තිබුණ බව කියැවෙයි.
අප විසින් පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කරමින් ඉහත කී මෘත දේහයේ ආමාශය විවෘත කරනු ලැබූ විට එහි සුදු පැහැති බත් ද ඒ අතර තද දුඹුරු පැහැති ඝන කැබැලි සහිත ආහාරයක් ද විය. ඒ මේ පුද්ගලයා මියයන්නට වහා ම පෙර අනුභව කළ ආහාරය යි. ඒ පිළිබඳව ඔහුගේ බිරිඳගෙන් විමසූ විට ඇය කියා සිටියේ එදින ඔහුගේ උපන් දිනය බවත් වෙනත් වසරවල ඔහුගේ උපන් දිනය හෝ සිහිපත් නොකරන හෙතෙම මෙම උපන් දිනයට කැවුම් – කිරිබත් අවශ්‍ය බව පවසා උදෑසන ම අලුත් ඇඳුමකින් සැරසී කැවුම් – කිරිබත් අනුභව කළ බවත් ය. එලෙස තම උපන් දිනය සමරමින් කැවුම් –කිරිබත් කෑ ඔහුට තම උපතේ දී ම අත්පත් මරණය ද ඒ සැණින් පිළිගන්නට සිදු විය.
යමකුගේ මරණය ලෝකයට දුකක්. අහිමි වීමක්. සතුටක් වන්නට හෝ නොවන්නට හෝ හැක. එහෙත් තමන් මිය යතැයි යන අදහසින් ජීවත්වෙමින්, තමා සතු පෞද්ගලික හා පොදු කාර්යයන් හැකි පමණ හැකි අයුරින් කරන අයකුට තම මරණය යනු දුකට, බියට හෝ සතුටට හෝ කාරණයක් නොවන්නේ එය තම ජීවිතයේ එළැඹෙන අනිවාර්ය තවත් එක් සිදුවීමක් පමණක් වන හෙයිනි.
සදහම් සඟරා - Online