ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

නිවන් මඟට පිවිසෙමු

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආයතන පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබාදී මේ දුක් විඳින සත්ත්වයන් සසර කතරින් එතෙර කරවීමට මොන තරම් කරුණාවකින් ක්‍රියා කළාද? ඇස, කන, නාසය, දිව, කය හා මනස පිළිබඳව මේ තරම් විවරණාත්මක ලෙස ලෝකයේ කිසිදු ධර්මයකින් අපිට ඉගෙන ගන්නට ලැබෙන්නෙ නෑ. කිසිදු ධර්මයක මේ ඉගැන්වීම දකින්නට ලැබෙන්නෙ නෑ. එදිනෙදා ජීවිතයේදී අපි මේ අභ්‍යන්තර ආයතන ඉතාමත් සුන්දර වටිනා දේවල් හැටියට තමයි පිළිගන්නෙ. මේ වායේ යථා ස්වභාවය අපිට මේ ධර්මය නොතිබුණා නම් හිතාගන්නවත් බෑ. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ,අරමුණු ආදී බාහිර ආයතන පිළිබඳවත් අපිට මේ තරම් නිරවුල් විදියට යථාර්ථවාදී විදියට ඉගෙන ගන්න ලැබුණේ. ඒ තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිසා පසුගිය ලිපි වලින් කරුණු කාරණා ගණනාවක්ම අපිට ඉගෙන ගන්න පුළුවන් උනා.
ජාති ධම්ම සූත්‍රයේදී අපිට ඉපදීම ස්වභාව කොට ඇති දේ පිළිබඳව ඉගෙන ගන්න ලැබුණා. ඒ කියන්නෙ ඇස, ඇසට පෙනෙන රූප, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ශය ඒ නිසා උපදින සැප, දුක්, උපේක්ෂා ආදිය ඉපදීම ස්වභාව කොට තිබෙන බව අපිට ඉගෙන ගන්න ලැබුණා. මේ විදියටම අනිකුත් ආයතන වලට සම්බන්ධ කරල අපට දැනගන්න ලැබුණා. ජරා ධම්ම සූත්‍රයේදී වයසට යාම නැත්නම් ජරාවට පත්වීම ස්වභාව කොට ඇති දේවල් ගැන අපිට ඉගෙන ගන්න ලැබුණා. ව්‍යාධිධම්ම සූත්‍රයේදී රෝදුක් වැළඳීම ස්වභාව කොට ඇති දේ ගැන ඉගෙන ගන්නට ලැබුණා. මරණ ධම්ම සූත්‍රයේදී අපි ඉගෙන ගත්තෙ මරණය ස්වභාවකොට තිබෙන දේවල් ගැන, ඊළඟට සෝකධම්ම සූත්‍රයේදී ශෝකවීම ස්වභාවකොට ඇති දේ ගැන ඉගෙන ගන්නට ලැබුණා. සංකිලේස ධම්ම සූත්‍රයේදී කෙලෙස් වලින් කිලිටිවීම ස්වභාවකොට ඇති දේ පිළිබඳව ඉගෙන ගන්නට අපිට පුළුවන් උනා.
ඒ වගේම පින්වතුනි, ඛය ධම්ම සූත්‍රයේදී ක්ෂ වීම, නැත්නම් නැතිවීම ස්වභාවකොට ඇති දේ පිළිබඳව අපිට ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ වගේම වයධම්ම සූත්‍රයේදි වැනසීම ස්වභාවය කොට ඇති දේ පිළිබඳව ඉගෙන ගන්නට පුළුවන්. සමුදයධම්ම සූත්‍රයේදී හටගැනීම ස්වභාව කොට ඇති දේ ගැන ඉගෙන ගන්නට ලැබෙනව. නිරෝධ ධම්ම සූත්‍රයේදී නිරුද්ධවීම ස්වභාවකොට ඇති දේ ගැන අපිට ඉගෙන ගන්නට පුළුවන්.
මේ ආයතන හැම එකක් තුළම ඒ මුලින් කියපු ස්වභාවයන් තියෙනව. ඒ වගේම ඒ ආයතනත් එක්ක බද්ධ වූ දේවල් වලත් ඒ ස්වභාවය තිබෙනවා. ඒ කියන්නෙ පින්වතුනි ඇස. කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතනවල මේ ස්වභාවය තියෙනව. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේ බාහිර ආයතන වලත් මේ ස්වරූපයත් තියෙනවා. ඒ වගේම ඇසේ විඤ්ඤාණය, කනේ විඤ්ඥාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණය කියන මේ විඤ්ඤාණ වලත් ඒ සියලුම ස්වරූපයන් තියෙනවා. ඒ වගේම ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය කියන මේ ස්පර්ශ තුළත් ඒ සියලු ස්වරූපයන් ඒ කියන්නෙ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, සංකිලේස, ඛය, වය, සමුදය, නිරෝධ කියන ස්වරූපයන් තියෙනව. ඒ වගේම ඒ ස්පර්ශයන් නිසා උපදින සැප, දුක්, දුක් සැප රහිත විඳීම් වලත් මේ සියලුම ස්වභාවය දකින්නට ලැබෙනව.
ඉතිං පින්වතුනි, මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා මේ ආයතන පිළිබඳව සැබෑ ලෙසම තේරුම් ගන්නකොට මේවාට ඇලෙන ස්වභාවය නැති වෙලා යනවා. මේවට තියෙන ඇල්ම දුරු කර ගන්නට ලැබෙනව. අපි මේ සසර පුරාවට කල්ප කෝටි ගණනක් විවිධ උප්පත්ති වලදී විවිධ වර්ගයේ ඇස්, කන්, නාස්, දිව, කය, මන් ආදිය ලබමින් ඒවාට ගොදුරු වෙලා පැමිණියා. අපි නිරතුරුවම ඒවායේ ආශ්වාදයට අහුවුණා. ඒවායේ ආදීනව දකින්න අපිට බොහෝදුරට නොහැකි උනා. ඒ හින්ද නැවත නැවතත් පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට අහුවුණා. කෝටි ප්‍රකෝටි වාර ගණන් ඇස් -ඉපදුනා. කන් ඉපදුනා. නාස් ඉපදුනා. දිව ඉපදුනා කය ඉපදුනා. මනස් ඉපදුනා. ඒවා වයසට පත් උනා. ලෙඩ උනා, මරණයට පත් උනා. සෝකයට පත් උනා. කෙලෙස්වලින් කිලිටි උනා. ඒවා ක්ෂය වෙලා ගියා. වැනසිලා ගියා ඒවා නැවත හටගැනීමේ ස්වභාවයට පත් උනා. නමුත් ඒවා නිරුද්ධ කර ගන්න තාම අපිට බැරි උනා.
ඉතිං ඒ නිසා අපි මේ ජීවිතයේදී ඒ සඳහා උත්සාහ කරන්න ඕන. ඒ සඳහා යථාර්ථය දැනගෙන මේ ආයතන ගැන අපි සැබෑ ලෙසම කලකිරෙන්න ඕන. එහෙනම් ඇසේ ඇත්තම ස්වභාවය තේරුම් අරගෙන ඇස ගැනත්, රූප ගැනත්, ඇසේ විඤ්ඤාණ ගැනත්, ඇසේ ස්පර්ශය ගැනත්, එනිසා හට ගන්නා බිඳීම් ගැනත් සැබෑ ලෙසම කලකිරෙන්න ඕන. ඒ වගේම කන, නාසය, දිව, කය, මනස ගැන සැබෑ ලෙස තේරුම් අරගෙන කලකිරෙන්න ඕන. ඉතිං ආර්ය ශ්‍රාවකයෙකු ලෙස අපි ඒ සැබෑම කලකිරීම ඇති කර ගත්තට පස්සෙ අපිට ඒ ආයතනවලට තියෙන ඇල්ම දුරු කර ගන්න පුළුවන්. එතකොට ආපසු ඉපදීමක් වෙන්නෙ නෑ. එතකොට බඹසර වාසය නිමා වෙනව. නිවන් මග වෙනුවෙන් කළ යුතු දෙය කළ කෙනෙක් බවට පත් වෙනව. ආපසු ඉපදීමක් වන්නෙ නෑ. ඉතිං අප සියලු දෙනා ඒ උතුම් තත්ත්වයට පත්වීමට අධිෂ්ඨාන කර ගනිමු.
සදහම් සඟරා - Online