ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පිශුනාවාචයෙන් වැළකෙමු


කය වචනය සංවර කර ගැනීම බෞද්ධ අපගේ සීලයයි. මෙහි දී වචනය සංවර කර ගැනීම උදෙසා සිව් ආකාරයක සංවරයකින් වචනය හැසිරවීම කළ යුතු ය. එනම්,


1. බොරු නොකීම.

2. කේලාම් නොකීම.

3. පරුෂ වචන නොකීම.

4. හිස්‌ වචන නොකීම.

මෙහි කේලාම් නොකීම පිළිබ`ද වැඩි අවධානයක්‌ යොමු කරවීම මෙම ලිපියේ අරමුණයි. කේළාම් හෙවත් පිශුනාවාචය ලෙස හඳුන්වන්නේ සමගියෙන් සිටින දෙදෙනෙකු බිඳවීමේ අරමුණින් පවසන වදන් ය. බුදුසමයේ එන දස අකුසල්වලින් එකක්‌ වන කේලාම් කීමෙන් පුද්ගල පරිහානිය, පවුල් පරිහානිය, ආයතන පරිහානිය, සමාජ පරිහානිය, රාජ්‍ය පරිහානිය ආදී වශයෙන් මානව සමාජයේ සෑම ක්‍ෂේත්‍රයක්‌ම පරිහානියට හේතුවන්නා වූ ගැටුම් නිර්මාණය වන බව බුදුසමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කේලාම් කීම අකුසලයක්‌ වන්නේ ඒ හා සම්බන්ධ අංග සතරක්‌ සම්පූර්ණ වීමෙනි. ඒවා මෙසේ ය.

1. භේද කළ යුතු අනෙකෙකු ඇතිවීම.

2. කෙනෙකු හා කෙනෙකු බි`දවීමේ අදහස ඇතිබව.

3. බි`දවනු පිණිස යම් කිසිවක්‌ පැවසීම.

4. ඇසූ තැනැත්තා විසින් එය වටහා ගැනීම.

මෙහි දී සත්‍යය කරුණක්‌ වුවද අනුන් බිඳවීමේ අදහසින් පවසන්නේ නම් එය කේලාම් කීමේ අකුසලයට වැටේ. එසේ යම් කරුණක්‌ අනුන් බිඳවීමේ අදහසින් තොරව කෙනෙකුට විය හැකි අනතුරකින් ගලවා ගැනීමේ අරමුණින් පවසා දෙදෙනෙකු අතර බිඳීමක්‌ ඇති වුවද එයින් කේලාම් කීමේ අකුසලය සිදු නොවේ. කේලමක්‌ කී කල්හී දෙදෙනෙකු අතර භේදයක්‌ නොවේ නම් එය සාමාන්‍ය කර්මයක්‌ වේ. භේදයක්‌ සිදු වුවහොත් කර්ම ඵලයක්‌ වේ.

කේලාම් කීමේ අකුසල විපාක සසර පුරා විéන්නට සිදුවේ. එහි දී නින්දා අපහාස විදීම්, දඩුවම් වි`දීම්, ප්‍රඥාවෙන් හීන වීම්, දුප්පත් වීම්, ගොත වීම්, ගොළු වීම්, කට ගඳ ඇත්තන් වීම්, අශෝභන දත් ඇත්තන් වීම්, කල් නොපවත්නා දත් ඇත්තන් වීම්, මුඛ රෝගයෙන් පෙළෙන්නන් වීම්, විරූපී වීම්, අවිශ්වාස කරනු ලබන්නෙක්‌ වීම්, අමිහිරි කටහඩක්‌ ඇත්තෙක්‌ වීම්, අඹු දරුවන් පවා ඔවුන්ගේ කීම පිළි නොගැනීම්, දරුවන් නූපදීම්, උපදිනා දරුවන් පවා අකීකරු වීම් ආදී විපාකයන් සසර පුරා විඳින්නට සිදුවන බව බෞද්ධ සාහිත්‍යයේ කියවේ. 

මරණින් මතු පමණක්‌ නොව මෙම ජීවිතය තුළ ද කේලාම් කියන්නෝ විපාකයන්ට ගොදුරු වේ. සමාජයේ නින්දාවට භාජනය වේ. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබයි. ඇතැම් විට දඬුවම් ලබයි. මෙසේ මෙලොව පරලොව වශයෙන් කේලාම් කීමේ අකුසල විපාක ලැබීමට අමතරව කේලාම් කීම සමාජ සංස්‌ථාවන්හි විවිධ ගැටලු ඇති වීමට ද හේතු වෙයි. 

වත්මන් සමාජය දෙස බැලීමේදී දරුවන් දෙමාපියන් බිදවනු පිණිස කේලාම් කියනු දක්‌නට ලැබේ. මෙහි දී බොහෝවිට පවුලේම අයකු විසින් කියනු ලබන කේලාම් නිසා පවුල තුළ ගැටුම් ඇතිවනු දක්‌නට ලැබේ. එසේම බාහිර පුද්ගලයන්, අසල්වැසියන්, මිත්‍රයන් විසින් කියනු ලබන කේලාම් නිසා සැමියා සහ බිරිඳ අතර ගැටුම් ඇතිවනු දැකිය හැකි ය. මිතුරන් අතරේ පවා කේලාම් නිසා ඇතිවන බහින් බස්‌ වීම් මෙන්ම ගැටුම් ද දක්‌නට ලැබේ. කේලාම් නිසා අසල්වැසියන් අතර ඇතිවන ගැටුම් ද අප සමාජයේ නිරතුරුව අසන්නට ලැබේ. කේලාම් බස්‌ නිසා ආයතන ප්‍රධානීන් හා සේවකයන් අතර මෙන්ම සේවකයන් අතර පවා ගැටුම් ඇතිවීම් සුලභ සිදුවීමකි. රාජ්‍ය නායකයන් පවා කේලාම් ඇසීම නිසා රාජ්‍ය පාලනය තුළ ගැටුම් ඇති වේ. මේ ආකාරයට සමාජයේ විවිධ ස්‌ථරයන් හි ගැටලූ නිර්මාණය වීමෙහිලා කේලාම් කීම හේතුවන අන්දම දැකිය හැකි ය.

කේලාම් කීමෙන් ඇතිවන ගැටලු මනාව පිළිබිඹු කරන ජාතක කථා පුවතක්‌ පන්සිය පනස්‌ ජාතකයේ ඇතුළත් වෙයි. සන්ධිභේද ජාතකය එම ජාතක කථා පුවතයි. මෙම කථා පුවත අතීත බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන්ගේ පාලන සමයේ කථා පුවතකි. එකල්හි හිමාල අඩවියේ අතරමං වූ ගැබ්ගත් එළදෙනක්‌ එහි විසූ ගැබ්ගත් සිංහ ෙනුවක්‌ හා හිත මිත්‍රව ඉතා ලෙන්ගතුව එක්‌ව වාසය කරයි. එකම වකවානුවක මේ දෙදෙනාම පැටවුන් වැදූහ. එම පැටවුන් ද ස්‌වකීය මව්වරුන් දෙදෙනා මෙන්ම ඉතා හිතමිත්‍රව එකට කා බී වාසය කරයි. තරුණ වියට පත් මොවුන් දෙදෙනා හා එක්‌වන හිවලකු ඉතා කෙටි කලකින් කේලාම් කියා මේ දෙදෙන භේද කොට ඔවුනොවුන් අතර ගැටුම් අවුළුවා දෙදෙනා මරණයට පත් කොට හිවලාගේ ආහාරය පිණිස ගත්තේ ය. ජාතක කථා පුවත ඉතා කෙටියෙන් මෙහි දැක්‌වූයේ කේලාම් බස්‌ නිසා ජීවිත පවා විනාශ වන අන්දම පෙන්වා දීමට ය. වර්තමානයේ බොහෝ විට මෙම ජාතක කථාවේ එන හිවලා මෙන් පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන් කේලාම් කියා අන් අය බි`දවන්නේ බහුලව සිටිති.

කේලාම් බස්‌ අසා විපතට පත් වූ සිංහයා හා ගවයා පිළිබඳ වූ සන්ධිභේද ජාතකය අපට සිතන්නට යමක්‌ මතු කරයි. එනම් කේලාම් බස්‌ ඇසීමේ දී අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්නයි. ඊට උපකාර වන තවත් ජාතක කථා පුවතක්‌ ජාතක පොතෙන් අපට හමුවේ. එනම් වණ්‌ණරෝහ ජාතකයයි. එය කෙටියෙන් මෙසේ ය. අග්‍රශ්‍රාවක සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා එක්‌ පිටිසර ගමකට ගොස්‌ වාසය කරන කල්හි එහි එක්‌ පුරුෂයෙක්‌ මේ දෙදෙනා භේද කරවන අදහසින් ඔවුනොවුන් කරා වෙන් වෙන්ව ගොස්‌ කේලාම් කියන්නට විය. ඒ බස්‌ ඇසූ දෑ සව් දෙනම ඔවුනොවුන් හමුවී පෙර කී පුරුෂයා කී වදන් පිළිබ`ද විමසා එබස්‌ කේලාම් බව දැන එම පුරුෂයාගේ ආශ්‍රයෙන් මිදුනාහ. මෙම වත්මන් කථාව බුදුරදුන්ට දැන්වූ පසු එහි අතීත කථාව ද බුදුරදුන් ගෙන හැර දැක්‌වූහ.

උක්‌ත වණ්‌ණරෝහ ජාතක කථා පුවතට අනුව කේලාම් බස්‌ ඇසීමේ දී ක්‍රියා කළ යුතු අන්දම පිළිබ`ද උපදේශයක්‌ අපට ලැබේ. එනම් කේලාම් බස්‌ අසා ඒවා එකවර නොපිළිගෙන අදාළ පුද්ගලයා සමඟ සෘජුවම සාකච්ඡා කොට තීරණයකට එළඹීම සුදුසු බවයි. එසේම එම විමසීමේ දී එය සුහදව සිදු කිරීමත් හැකිනම් කේලාම් බස්‌ කියූ තැනැත්තා අභිමුඛයෙහි තබා සාකච්ඡා කිරීමත් සුදුසු ය. මෙම උපදේශය වත්මන් සමාජයට අත්‍යවශ්‍ය වන්නකි. ඊට හේතුව බොහෝ දෙනා බොහෝ දෙනා කේලාම් බස්‌ එකහෙළා පිළිගෙන ක්‍රියා කිරීම හේතුවෙන් බොහෝ ගැටලු නිර්මාණය කර ගැනීමයි. මෙම උපදේශය අනුව කේලාම් බස්‌ විමසීමේ දී කේලාම් කියූ තැනැත්තා ද සමීපයේ තබාගෙන විමසීමෙන් එකී පුද්ගලයා නැවත කේලාම් කීමෙහි බිය වෙයි. එසේම මෙසේ ක්‍රියා කිරීමෙන් වැරදි අවබෝධයන් දුරු වී යන්නා සේම අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු වී සමාජය යහපත් තැනක්‌ බවට පත්වෙයි.

මෙසේ කේලාම් කීමේ අකුසලයත් එහි විපාකයත් එම`ගින් සමාජයේ ඇතිවන ගැටලු මෙන්ම ඊට විසදුමත් සැකවින් දැක්‌විය හැකි ය. මේ සම්බන්ධයෙන් පවත්නා තවත් ධර්ම කරුණක්‌ සිහිපත් කිරීම අගනේ යෑයි සිතමි. එනම් ඇතැම් පුද්ගලයන් කේලාම් කීමේ අකුසලයට වැටෙතැයි සිතා යමෙකුට විපතක්‌ වනු දැක දැකම තුෂ්නිම්භූතව සිටීම ආත්ම වංචාවක්‌ බවයි. තවකෙකුට විපතක්‌ වන බව දැන ඉන් මුදවා ගැනීමේ සත් ෙච්තනාවෙන් කියනු ලබන කරුණු කේලාම් නොවන බව මුලින් දැක්‌වූ පිසුණාවාචයේ අවශ්‍යතා සතර අනුව ද පැහැදිලි වේ. එහෙයින් එවන් අවස්‌ථාවන්හි යහපත් චේතනාවෙන් කරුණු දැක්‌වීම සිදු කළ යුතු ය. 

වචනයෙන් සංවර වීම යනු අංග සතරක්‌ ඔස්‌සේ සිදුවන වැරදි වචන භාවිතයෙන් වැළකීම බවත්, පිසුණාවාචය හෙවත් කේලාම් කීමෙන් නොවැළකීම නිසා මානව සමාජය තුළ විවිධ ගැටලු ඇති කරමින් මෙලොවදීම විපාක ලබාදෙන අතර පරලොව වශයෙන් ද කර්ම විපාක ලෙසින් සසර පුරාවට විපාක ලබාදෙන බවත් ඉහත දැක්‌වූ කරුණු අනුව පැහැදිලි වෙයි. එහෙයින් වචන භාවිතයේ දී අනුන් බිඳවනු පිණිස කේලාම් නොකීමට වගබලා ගැනීම සියලු දෙනාගේ වගකීමක්‌ හා යුතුකමක්‌ සේම මිනිසත්කමේ අවශ්‍යතාවයක්‌ ද වන්නේ ය. එසේම කෙනෙකුට විපතක්‌ වනු දැක ඉන් මුදවා ගැනීමේ අදහසින් කරුණු කීම අකුසලයක්‌ නොවන බවත් එවැනි විටක නිහඬව සිටීම ආත්ම වඤ්චාවක්‌ ලෙසත් බුදුසමය ගෙනහැර දක්‌වයි. මේ සියලු කරුණු නිවැරදිව තේරුම් ගෙන වචනය සංවරයේ පිශුනාවාචයෙන් වැළකීමට නොවළහා අදිටන් කර ගනිමු.

රංග බුද්ධික කංකානන්ගේ
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 
සදහම් සඟරා - Online