ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කුකුල්පනේ සුදස්සී හිමි
බුදුදහමේදී අකුසල් ප්‍රහාණය සඳහා ක්‍රම දෙකක් දක්වනවා. එහිදී සතර සම්‍යක් ප්‍රධානයන්හි එක් කොටසක් ලෙසයි මේ උපන් අකුසල් ප්‍රහාණය දක්වා තිබෙන්නේ. මෙහිදී අකුසල් ප්‍රහාණය සඳහා බුදුරජාණන් වහන්සේ ක්‍රම දෙකක් අපට කියා දී තිබෙනවා. ඒ සමථය හා විදර්ශනා ක්‍රමයයි. භාවනාවේදීත් අපට කළයුතු ක්‍රම දෙකක් තිබෙනවා. ඒ අකුසල් දුරු කිරීම හා කුසල් වැඩීමයි. අකුසල් දුරු කිරීම හා කුසල් වැඩීමට මේ සමථ විදර්ශනා ක්‍රම දෙකම බුදුදහමේදී නිර්දේශ වෙනවා.
මෙහිදී අකුසල් ප්‍රහාණයට සමථ ක්‍රමය උදව් වෙන්නේ සමාධිය මුල්කරගෙන. යම්කිසි සමාධි භාවනාවක් තමන් ප්‍රගුණ කර තිබෙනවානම් ඒක උදව් කරගෙන අකුසලය ප්‍රහාණය කරන්න පුළුවන්. අප සිතමු තමන්ට යම් ද්වේශ සිතක් මතුවෙනවා. එසේ ද්වේෂශ ඇතිවෙලා ලෝභය මතුවෙලා තමන්ට යම් අවේගකාරි සිතක් මතුවෙලා එනවිට ඒ තැනැත්තාට පුළුවන්නම් කෝපය මතු වූ අරමුණ මෙනෙහි කරන්නේ නැතුව ඒ වෙනුවට මනැස සන්සුන් වන මෛත්‍රීයට හේතුවෙන යම් අරමුණක් මෙනෙහි කරන්න. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ තැනැත්තා මෛත්‍රිය පුරුදු කර තිබුණොත් පමණයි. සමහර අය කෝපය ඇති වූ පුද්ගලයාටම මෛත්‍රී කරන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කිරීම එතරම් සාර්ථක නොවන්නේ කෝපය මතු වූ පුද්ගලයා පිළිබඳව මොන තත්ත්වයකින් මෛත්‍රිය වැඩුවත් ඒ පුද්ගලයා කෙරෙහි කෝපයම මතුවෙන්න පුළුවන් නිසා. මේවා කාලයක් තිස්සේ පුරුදු කළ විට තමයි එහි සාර්ථක ප්‍රථිඵල ලබාගත හැකි වෙන්නේ.
"ආඝාත පටිවිනය "සූත්‍රයේදී සැරියුත් මහරහතන් වහන්සේ වදාළා යම් කෙනෙක් කෙරෙහි කෝපයක් ඇතිවුනාම ඒ තැනැත්තාගේ ගුණයක් සිහි කරන්න කියලා. කෝපය කියන්නේ අප අකැමැති සිද්ධියක් හෝ පුද්ගලයෙක් පිළිබඳව අපේ සිතේ ගැටීමයි. ඒක ගැන මතක්වන වාරයක් පාසා අපේ මනැස ගැටෙනවා. ඒ පුද්ගලයා තුළම අප පි‍්‍රයකරන, අප අගේ කරන, අප හොඳයි කියා අනුමත කරන යම්කිසි ගුණ තිබෙනවානම් දුර්ගුණය හිතනවා වෙනුවට ඒ හොඳ ගුණය ගැන හිතන්න කියනවා. එහෙම හිතන්න පටන් ගත්තට පස්සේ අකුසලය දුරු කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඔබත් එය ප්‍රායෝගිකව කර බලන්න. ඒ ගුණය ගැන හිතා සිත පහදවා ගැනීමට අපට පුළුවන්නම් එය සාර්ථකයි. කෝපය මතුවූ විට මෙත්සිත ඉදිරියට ගන්න පුළුවන් වෙන්නේ කලින් මෙත්තා භාවනාව හුරු පුරුදු කළ අයෙකුට පමණයි. එයටයි සමථ ක්‍රමය කියන්නේ. හැබැයි එහෙම කරන විට ඒ පුද්ගලයාට සමාධිය තමා මූලික වශයෙන් ප්‍රධාන වෙන්නේ. භාවනාව තුළින් ඔහු ඇතිකරගෙන තිබෙන ඒකග්‍රතාවය තුළින් ඒ අකුසලය යට කරන්න උදව් වෙනවා. නමුත් මේ හැම දෙයකම මූලික වෙන්නේ සිහිය යි. තමාගේ සන්තානයේ අකුසල මූලයක් ඇතිවෙලා තිබෙනවා කියලා දැනෙන්නේ නැත්නම් වැටහෙන්නේ නැත්නම් ඔහුට එය කරන්න බැහැ. අප හිතමු අපි නිකං ඉන්න වෙලාවට හිතනවා මෙත් සිත වැඩීම හොඳයි එය ක්‍රෝධය දුරු කරන්න හේතුවෙනවා කියලා. හැබැයි කෝපය මතුවූ වෙලාවට එය ප්‍රහාණය කරන්න දන්නේ නැහැ. එහෙම වෙන්නේ සිහිය පුරුදු කරලා නැති නිසා.
බුදුරජාණන් වහන්සේ වදාළා සියලුම භාවනා වලට සතිපට්ඨානය මූලිකයි කියා. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගැනීමයි. සිහිය කියන්නේ අරමුණක් අල්ලා ගන්නේ නැතිව, කිඳා බසින්නේ නැතිව, ඒ අරමුණේ කොටස්කරුවෙකු වෙන්නේ නැතුව, ඒ අරමුණ බලන්න පුළුවන් හැකියාව තමයි සම්මා සතිය. අපේ මනෝභාවය දෙස පිටින් සිට බලන කෙනෙකුට වගේ බලන්න පුළුවන්නම් එහි කොටස්කාරයෙක් වෙන්නේ නැතුව එතැනයි සිහිය පිහිටන්නේ. මුලදී එය දුෂ්කර වුවත් ඒක පුහුණුකර ගත්තට පස්සේ අනෙකාගේ වුවත්, තමන්ගේ වුවත් එය සිහියෙන් දකින්නට පුළුවන්. අද අප කරන්නේ ඒකේ අනෙක් පැත්ත. කෙනෙකුට තුවාලයක් හැදිලා දුක් විඳිනවිට අපත් ඒ දුක අපේ කරගෙන භුක්ති විඳිනවා. ලේ දැක්කාම තමන් සිහිනැතිව වැටෙනවා. එහෙම වෙන්නේ අනෙකාගේ පීඩාව උපකල්පනය කරමින් තමන් භුක්ති විඳීමයි. එය ඉතා දුර්වල තත්ත්වයක්.
ඊළඟට මේ සිහිය ටිකක් කල් දියුණුකර ගන්නා විට අනෙකා දෙස සිහියෙන් බලන්න පුළුවන්. නමුත් තමන් දෙස සිහියෙන් බලන්න බැහැ. තව කාලයක් පුහුණු කරද්දී අනෙකා දෙසත් තමන් දෙසත් සිහියෙන් බලන්න පුළුවන් වෙනවා. එහෙම වෙන්නේ ඒ අරමුණුවල එල්බගන්නේ නැතුව, ගිලෙන්නේ නැතිව, කොටස්කරුවෙකු වෙන්නේ නැතුව අපට එළියේ සිට බලන්න පුළුවන් වීමයි. සමථ හෝ විදර්ශනා ලෙස අප දියුණු කලත් සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් අකුසල ධර්මයන් අප යටපත් කළත්, සිහිය මූලික වෙනවා. එහෙමනම් සියලුම අකුසල ක්‍රම උපායන් සතිය මුල්කොටගෙනයි පවතින්නේ. සියලුම කුසල් අරමුණක් සතිපට්ඨානය මුල්කරගෙනයි පවතින්නේ. ඒ නිසා සිය මූලික කොටගෙන යම් සමාධි භාවනාවක් පුහුණු කරලා තිබෙන කෙනෙකුට ආවේගය මතුවෙනවිට ඒක සමනය කරගන්න පුළුවන් වෙනවා. රාගය හෝ දැඩි තෘෂ්නාව ආදී මනෝභාවයක් මතුවෙන විට එය ප්‍රහාණය කරන්න කල්ඇතුව පුහුණු කරලා තිබෙනවානම් එය යොදාගන්න පුළුවන්. පුහුණු නොකරපු කෙනෙක් රාගය ප්‍රහාණය කරන්න පිළිකුල් සිහිකළොත් අසාර්ථක වෙන්න පුළුවන්. පංචස්කන්ධය මුල්කරගෙනම රාග සිත මතුවෙන්න පුළුවන්. කාලයක් තිස්සේ මනැස සන්සුන් වෙලාවක අසුභ භාවනාව කරලා පුරුදු කරලා තිබෙන කෙනා රාග සිත මතු වෙනවිට අසුභය සිහි කරලා සරාගි අරමුණ යටපත් කරගන්න පුළුවන්. රාග, ද්වේශ විතරක් නොවේ මෝහය පදනම් කරගෙනත් ඇතිවෙන විවිධ අකුසල ධර්මයන් ප්‍රහානය කරන්න අපට සමථ භාවනාව උදව් වෙනවා. රාග, ද්වේශ ගැන කථාකරනවිට අසුභය හා මෛත්‍රීය මූලික වෙනවා. බුද්ධානුස්සති, චාගානුස්සති, මූදිතාව, කරුණාව ආදි හැම භාවනාවක්ම උදව්කර කරගන්න පුළුවන්. අප මේ කථාකළේ සමථයක් ලෙස අකුසලය මැඩපවත්වන ආකාරය. ඔබ මතක තබාගත යුතුයි මෙහිදී අකුසලය අහෝසි වීමක් හෝ ප්‍රහාණය වීමක් නොවේ සිදුවෙන්නේ අකුසලය මතුනොවී තිබීම පමණයි.
යම්ිකිසි ආරම්මනයක් අල්ලාගෙනයි හොඳ නරක අප තුළින් ජනිත වෙන්නේ. යම් අරමුණක් පදනම් කරගෙන නැවත නැවත අකුසල් සිත හට ගන්නවානම් ඒ අරමුණ වෙනුවට වෙනත් අරමුණක් ගැන සිතන්න පටන් ගත්තට පස්සේ යහපත් අරමුණක් නිසා අකුසල් සිතිවිලි මතුවෙන්න පුළුවන්කමක් නැහැ. හොඳ සිතිවිලි මතුවෙලා උපන්නා වූ අකුසලය දුරුවෙනවා. නමුත් ඇත්තටම එහිදී සිදුවෙන්නේ සමනය කිරීමක් හෝ යටපත් කිරීමක් පමණයි. ඒ නිසයි එයට සමථය කියා කියන්නේ.
හේතුඵල වශයෙන් ලෝකය ගැන කථා කරනවිට බුදුරජාණන් වහන්සේ වදාළ කුසල් හෝ අකුසල් හේතු ප්‍රත්‍යයන්. හේතු ප්‍රත්‍යයන් දෙකක් තිබෙනවා. හේතු හා ප්‍රත්‍යය. හේතු කියන්නේ මූලකාය. ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව්වන කාරණය. දැන් මේ සමනය තුළින් අකුසල් දුරු කිරීමේදී අප භාවිතා කරන්නේ හේතුව වෙනස් කිරීමට නොවේ, ප්‍රත්‍ය වෙනස් කිරීමයි. ප්‍රත්‍ය වෙනස් කිරීම තුළින් හේතුව වෙනස් කරන්න යම් බලපෑමක් වෙනවා.
යම් කෙනෙක් වැරැද්දක් කළා. ඒ පුද්ගලයා ගැන හෝ ඒ වැරැද්ද ගැන අප හිත හිතා ඉන්නේ නැතුව ඒ පුද්ගලයාගේ හොඳ ගුණයක් සිහි කරනවා. නැත්නම් බුදුගුණයන්, දහම්- ගුණයන්,සඟ ගුණයක් සිහි කරනවා. දැන් අප කරලා තිබෙන්නේ අරමුණ වෙනස් කිරීමයි. හැබැයි හේතුව වෙන්නේ යම් කුසලයකට හෝ අකුසලයන්ට ප්‍රධාන වෙන්නේ තමාගේ මනෝභාවයයි.
අපේ මනෝභාවය පිරිසුදුනම් පමණයි හටගත් ක්ලේෂය දුරු කරන්නට පුළුවන් වෙන්නේ. අනෙකාගේ දුර්ගුණය හිතනකොට කෝපය මතුවෙනවා. යහපත හිතනකොට සිත සංසිදෙනවා. නමුත් නැවතත් දුර්ගුණය හිතනකොට සිත කෝපයට පත්වෙනවා. ඒ නිසා අරමුණ වෙනස් කිරීමෙන් අකුසල් වෙනස් කිරීම සමනය කිරීම බොහෝම තාවකාලිකයි. නැවත අර අකුසලය ජනිත කරන්න පුළුවන් මනෝභාවය මතුවුණොත් නැවත වතාවක් කෙලෙස් මතුවෙන්න පුළුවන්. මනෝභාවය වෙනස් කරන්නනම් තමාගේ සන්තානයෙහි ක්ලේශයන් යටපත් කරන්න ඕන. සතිය මුල්කරගෙන ප්‍රඥාව එතැන යෙදෙන්න ඕන. ප්‍රඥාව අවධිවෙන්නේ නිකම්ම නොවේ. එයටත් ක්‍රමයක් ඕන. ඒ තමා සතිපට්ඨාන සූත්‍රයේදී චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී කියාදෙන උපන් අකුසල් ප්‍රහාණය කරන ආකාරය.
කෙලෙස් පිරි සිත නුවණින් දැකීම
මනෝභාවය වෙනස් කරන්න නම් තමාගේ සන්තානයෙහි ක්ලේශයන් යටපත් කරන්න ඕන. සතිය මුල් කරගෙන ප්‍රඥාව එතැන යෙදෙන්න ඕන. ප්‍රඥාව අවධිවෙන්නේ නිකම්ම නොවේ. එයටත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමා සතිපට්ඨාන සූත්‍රයේදී චිත්තානුපස්සනාවේ කියාදෙන උපන් අකුසල් ප්‍රහාණය කරන ආකාරය.
රාග සිතක් ඇති වූ විට සෘජුවම ඒ තුළ සිහිය පිහිටුවා ගෙන ඉන්න කියනවා ‘මට රාග සිතක් ඇතිවුණා’ කියා. එසේ කරනවිට හේතුවටයි සිත යොමු කරන්නේ. අරමුණට නොවේ. රාගය ඇතිවුණේ කාන්තාවක් නිසාද? පුරුෂයෙක් නිසාද? වෙන දර්ශනයක් නිසාද? ශ්‍රවණයක් නිසාද? පි‍්‍රය ආරම්මනය දෙස නොවේ දැන් බලන්නේ. සෘජුවම මනෝභාවය දෙස අවධානය යොමු කරනවා. එසේ අවධානය යොමුකරන විට අපට තේරෙනවා මේ රාග සිත හටගන්නා හැටි වර්ධනය වන හැටි, මොන ආකාරයට හිතනකොටද එය වර්ධනය වෙන්නේ, මොන ආකාරයට හිතනවිටද එය යටපත් වෙන්නේ කියා පෙනෙනවා. ඒ ක්‍රමය හඳුනාගත් විට මේ මේ හේතු නිසා රාග සිත වැඩෙනවා. මේ හේතුª නිසා රාග සිත සමනය වෙනවා, මෙහෙම හිතුවාම රාගය අවම වෙනවා කියා තේරුම් ගත්විට ඒ අවම වෙන පැත්තට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා කාලයක් එය ප්‍රගුණ කරන විට අපට සරාගී අරමුණු අතරේ වුණත් රාගය ඇති නො කරගෙන ඉන්න පුළුවන්. ද්වේෂ ඇති කරගන්නා අරමුණු අතරේ ද්වේෂය ඇතිකර ගන්නේ නැතිව ඉන්න පුළුවනි. ඒක තමා විදර්ශනාව. ඒ විදර්ශනා ක්‍රමයෙන් තමා සම්පූර්ණ වෙන්නේ.
අපේ මනෝභාවය තමා කුසලයක් හට ගන්නවාද? අකුසලයක් හට ගන්නවාද කියා තීරණය කරන්නේ. සමථයකදී කරන්නේ අරමුණ වෙනස් කරලා මනැස සන්සුන් කරනවා. යම්කිසි කෙනෙක් පිළිබඳව රාගය ඇතිවනවිට ඒක වෙනස් කරලා බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. එවිට රාගය යටපත්වෙලා බුදුගුණ තුළින් සිත සැනසෙනවා.
නමුත් ප්‍රඥාව මුල්කොට විදර්ශනාව වඩන විට එසේ හානි නොවී රාගි අරමුණු යට කරගන්න පුළුවන්. එයින් හැඟවෙන්නේ නැහැ සමථ ක්‍රමය ඕන නැහැ කියලා. සමහර අවස්ථාවකදී සමථය උදව් කරගන්න ඕන විදර්ශනාවට යනතෙක්. නමුත් විදර්ශනා ක්‍රමය පුහුණු කරගත් පසු අනෙක් අයට රාගය ඇතිවෙන අවස්ථාවලත් රාග සිතක් නැතුව ඒ පිරිස මැදම ඉන්න පුළුවන්කම තිබෙනවා. ද්වේෂය ඇතිවෙන හේතු තිබෙන තැන්වල ද්වේෂය ඇති නොකරගෙන ඉන්න පුළුවන්.
දිනක් සිතුල්පව්වේ අට්ඨික සංඥාාව වැඩු එක් හිමිනමක් හිටියා. උන්වහන්සේ දීර්ඝ කාලයක් සමථයක් ලෙස අට්ඨික්ක සංඥා පුරුදු කළා. ඒ පුහුණුවත් සමඟ උන්වහන්සේ විදර්ශනාවද පුරුදුකර තිබුණා. දිනක් උන්වහන්සේ සිතුල්පව්වේ සිට අනුරාධපුරයට වැඩියා. තවත් කාන්තාවක් සැමියා සමඟ අමනාපවෙලා මාපියන්ගේ ගෙදර යනවා අනුරාධපුරයේ සිට සිතුල්පව්වට. මේ දෙදෙනා එක් හුදෙකලා මාර්ගයකදී මුණ ගැහෙනවා. මුණගැසුන විට මේ කාන්තාව බොහෝම සරාගි ලෙස දත් පෙන්වා අර හිමියන් සමඟ හිනාවුණා. ඒ හිනා හඬ ඇසී ඒ භික්ෂුව හිස ඔසවා අර කාන්තාව දෙස බැලුවා. එවිට උන්වහන්සේ දැක්කේ ඇයගේ දත් ටික. දීර්ඝ කාලයක් පුහුණු කළ අට්ඨික්ක සංඥාවත් සමඟ මනැස ඒකාග්‍රවුණා. ඒ තුළම උන්වහන්සේ විදර්ශනා වැඩුවා. විදර්ශනා තුළින් එතැනම අනාගාමි ඵලයට පත්වුණා. වෙන කෙනෙකුට නම් හුදකලා මාර්ගයක තරුණ කාන්තාවක් සරාගි ලෙස තමා දෙස බලා හිනාවුණාම රාගය ඇතිවෙන්න පුළුවන්. ඒ රාගය ඇතිවෙන්න පුළුවන් අවස්ථාවේ ඒ හිමියන්ට වීතරාගය ඇතිවුණා. කුමක් නිසාද? හරියටම මූලය හඳුනාගත්ත නිසා. යම් අකුසල ධර්මයක් තමාගේ මනසේ අවධිවන විට එය දකින්න පුළුවන්. මේ හිමියන්ද දීර්ඝ කාලයත් සමථය වඩා තිබුණා. ඒ ඔස්සේ තමා විදර්ශනාවට ගියේ.
ඒ වගේම සෘජුවම විදර්ශනා වැඩූ ස්වාමින් වහන්සේලාත් ඉන්නවා. දීර්ඝ කාලයක් මුළුල්ලේ එක් හිමිනමක් රාගයෙන් පීඩා විඳිනවා. උන්හන්සේ දීර්ඝ කාලයක්ම මනැස සන්සුන් කරන්නට උත්සාහ කළා. සිතේ කිසිම සන්සුන් බවක් ඇතිවුණේ නැහැ. එක් දිනක් උන්වහන්සේ කල්පනා කරනවා මෙහෙම මහණකම් කරලා මොකටද? රාග සිතකින් පීඩා විඳ විඳ මහණකම් කරන්නේ නැතුව එක්කෝ මම සිවුරු හැර යන්න ඕන. නැත්නම් ජීවිතය නැතිකර ගන්න ඕන. සිවුරු හැර යනවාට වඩා හොඳයි මහණ ජීවිතයේදීම ජීවිතය නැතිකර ගන්න එක. නමුත් ඉන් පස්සේත් නැවත ඉපදීමක් උරුමයි. නැවත සුගතියක උපදින්නනම් කුසල් අරමුණක් සිහිකර ගන්න ඕන. මට මොකක්ද සිහිකර ගන්න තිබෙන කුසලය කියලා තමාගේ ජීවිතය පිළිබඳව ආවර්ජනා කර බලද්දී දැනුනා මොනතරම් රාග සිතින් තමන් පීඩා වින්ඳත් තමා සමාදන් වූ සිල් බිඳී නැහැ. මනැස ව්‍යාකූලයි තමයි. නමුත් ශික්ෂාපද ආරක්ෂා වෙලා. කයින් වචනයෙන් ඒවා ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා උන්වහන්සේට ලොකු සතුටක් දැනුනා තමාගේ සීලය ගැන. ඒ සීලය ගැන ඇති වූ සතුටත් එක්ක උන්වහන්සේ කල්පනා කරනවා එහෙනම් තව එක පාරක් මම උත්සාහ කර බලන්න ඕන මේ රාග සිත දුරු කරන්න කියලා උන්වහන්සේ සොහොන් පිටියකට ගිහිල්ලා හැබෑම මළකඳක් දෙස බලාගෙන අසුභ සංඥාව වඩන්න තීරණය කළා.
දිනක් මිනී අතහැර දැමු සොහොනකට ගියා. සොහොනේ තැන තැන මිනි දාලා සත්තු කාලා ඇටකටුද, මස් වැදිලිද, හිස් කබල්ද තැන තැන. වැස්ස වැහැලා ඒවා පොඟලා මුළු පරිසරයම දුඟදයි. මේ හිමියන් ඒ දුඟද පරිසරය දරාගෙන ටික ටික සොහොනේ මැදට ගියා. මැදට ගියාම උන්වහන්සේ දැක්කා එක මළකඳක් ඉදිමිලා කුණුවෙලා තනිකරම මළමිනිය වැහෙන්න පණුවෝ උතුරනවා. ස්ත්‍රියක්ද, පුරුෂයෙක්ද කියා සොයාගන්න බැරි තරමට වෙනස් වෙලා. උන්වහන්සේ කල්පනා කළා මෙම මළකඳ හොඳයි මට අසුභය වඩන්න කියා එතැනට වෙලා මේ කයත් මගේ කය වගේ තිබුණ එකක්. මේක අද කුණුවෙලා තිබෙන්නේ. මගේ කයත් යම් දිනෙක මේ ලෙසම කුණුවෙනවා නේද? කියා සංසන්දනය කරමින් අසුභ සංඥාව වඩමින් ඉන්නවිට එකපාරමට දැක්කා දිගැටි කෙස් රොදක් තිබෙනවා. දිගැටි කෙස් රොදක් තිබෙන්නේ ස්ත්‍රියකට. හඳුනාගත්තා මේ ස්ත්‍රියකගේ මළකඳක් කියලා. ස්ත්‍රිය කියන සංඥාව ඇතිවෙනවිටම උන්වහන්සේට රාග සිත මතුවුණා. දැන් ඔක්කාරයත් නැහැ. දුගඳත් නැහැ. පිළිකුලක් දැනෙන්නේ නැහැ. සුභ සංඥාව මතුවුණා. ඒ සමඟම උන්වහන්සේ වික්ෂිප්ත වුණා. ඒ වික්ෂිප්තභාවයක් සමඟම ළඟ තිබු ගහක් ළඟ වාඩි වුණා. වාඩිවෙලා අසුභය වඩන එක පැත්තකින් තියලා මට මේ මොකද වුණේ. මට කොහොමද රාග සිතක් ඇතිවුණේ. මේ ඉතාම දුර්ගන්ද පණුුවෝ රැඳුණු මේ මළකඳ ගැන සිහිබුද්ධිය තිබෙන කෙනෙකුට රාගය ඇතිවන්න පුළුවන්ද? මට කොහොමද රාගය මතුවුනේ කියලා සෙවුවා. මෙතෙක් කල් රාග සිත දුරු කරන්නට අසුභය වැඩූ එක. අද කළේ අසුභය වඩන්නේ නැතිව රාග සිත ඇතිවුණේ කොහොමද කියා සෙවීමයි. මළකඳ ගැන නොවේ රාග සිත ඇතිවුණේ. මළකඳේ දුටු කෙස් රොදෙන් ස්ත්‍රි සංඥාව එනකොටම මනසින් මැවුනා උන්වහන්සේ කැමැති ස්ත්‍රි සංඥාව. ඒ ස්ත්‍රි සංඥාව සමඟයි රාගය මතුවුණේ. ඒක නැවත නැවත ආස්වාදයන කරන විට රාගය උස්සන්න වෙනවා. මෙහෙම කල්පනා කරන විට දැනුනා මේ රාග සිත මොනතරම් අපිව මුලා කරනවාද කියලා. ඒ රාග සිත නැති දේ ඇතිකරලා පෙන්වනවා. ඇති දේ නැති කරනවා. මේ මළකඳ කුණුගඳ, අප්‍රසන්නභාවය සියල්ලම යට කළා. නැති ප්‍රසාදයක් සිතින් මතුකළා. මේ ආකාරයට නේද මනසේ ගොඩනැඟෙන යම්කිසි සංඥාවක්, විපල්ලාසයක්, චිත්ත විපල්යාසයක්, දිට්ඨි විපල්යාසයක් (විපල්යාසයක් කියන්නේ විකෘතිවීමක්) ඇති කරගන්නවා. ඒ විකෘති විපල්යාසයක් විසින් මවනවා යම්කිසි අවස්ථාවක්. එයින් මනෝභාවය ක්‍රියාත්මක වෙනවා. ඒ සමඟම වැටහෙන්න ගත්තා මේ සරාගි චින්තනය ගොඩ නැඟුනාට පස්සේ අපේ මනැස කොතරම් අඳුරු වෙනවාද? කෙතරම් මුලා වෙනවාද? අනන්ත සසරේත් මට වැරුදුනේ මෙතැන නේද? ලෝකයේ තිබෙන දේට නොවේ මගේ මනැස මවාදෙන දේටයි මම රැවටුනේ කියලා දකිනවිට රාගය ඇතිවෙන්නේ කොහොමද? රාගය දුරු වෙන්නේ කොහොමද? ඒකේ මූලය මොකක්ද? මේ හැම දෙයක්ම නිවැරැදිව දකිනවා. මේකට තමා පජානාති කියන්නේ. (පජානාති - හේතුව ඵලය වශයෙන් මූලය වශයෙන් ඇතිවීම නැතිවීම හරියටම දකීම) උන්වහන්සේ හරියටම රාගයේ ස්වභාවය දකිනවිටම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වුණා. දැන් උන්වහන්සේ ඒ උපන් රාගය දුරුකළේ සමථය මුල්කොටගෙන නොවේ. මෙහිදී සෘජුවම තමන්ගේ සන්තානයේ ඇතිවෙන රාගය දෙස ප්‍රඥාවෙන් සිහිනුවණින් බලනවා. හරියටම එහි හේතුඵලය හඳුනා ගත්තා. සරාගි අරමුණු ගොන්නක් අතර වුවත් ක්ලේෂයන් යටපත් කරගෙන නැඟී සිටින්නට හැකියාව ලැබෙනවා.
මේ ආකාරයට තමා බුදුදහමේ ප්‍රධාන ලෙස උපන් අකුසල් ප්‍රහාණය කිරීමට සමථය හා විදර්ශනාව උපයෝගි කර ගන්නට කියා දෙන්නේ. සරලව කියනවා නම් ප්‍රත්‍යය වෙනස් කිරීමෙන් හා හේතුව වෙනස් කිරීමෙන් උපන් අකුසල් දුරු කරන්න පුළුවන්.
නයනා නිල්මිණි