ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

බුදුන් වැඳීම සහ දැකීම

“මනුෂ්‍ය ජීවිතය ලැබීම දුර්ලභයි. මනුෂ්‍යයන්ගේ ජීවිත පවත්වා ගැනීමද දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ උපතද දුර්ලභයි.” ධම්මපදයේ සඳහන් ඒරකපත්‍ර නා රජුන් නිමිතිකොට දෙසු මෙම දහම් පෙළ නිතොර මෙනෙහි කරමු. ඒ දුර්ලභවූ උතුම් වූ මනුෂ්‍ය ජීවිතය අපි ලබා සිටිමු. අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසසුන මුණ ගැසී තිබේ.

බඹසර විසීමට එනම් කුසල් මඟ සපිරීමට නොහැකි අවස්ථා අටෙන්ම අපි අත්මිදී සිටින්නේ නොවේදැයි සිතා බලන්න. එම අවස්ථා අට මෙසේයි. 1. බුදුරජාණන් වහන්සේ මිනිස්ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා නිරයෙහි උපත ලබා තිබීම. 2. බුදුරජාණන් වහන්සේ මිනිස්ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා තිරිසන් බවෙහි උපත ලබා තිබීම. 3.බුදුරජාණන් වහන්සේ මිනිස්ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා පේ‍්‍රත විෂයෙහි උපත ලබා තිබීම 4. බුදුරජාණන් වහන්සේ මිනිස්ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා දීර්ඝායු ඇති දේවනිකායක උපත ලබා තිබීම
5.පුද්ගලයා සිව්වනක් පිරිස නැති ප්‍රත්‍යන්ත ජනපදයක උපත ලබා තිබීම 6. පුද්ගලයා මධ්‍යම ජනපදයෙහි දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිකයෙක්ව උපත ලබා තිබීම 7.මධ්‍යම ජනපදයෙහි මෝඩ දුශ්පාඥයෙක්ව උපත ලබා තිබීම .
8.පුද්ගලයා අබුද්ධෝත්පාද කාලයක උපත ලැබීම යනුවෙනි. අප විසින් ලබාගත් මෙම දුර්ලභ වූ අවස්ථාවෙන් උතුම් වූ ඵලයක් ලබාගත යුතුය. වර්තමානයෙහි තෙරුවන් සරණ ගිය බහුතර පිරිසක් ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් පූජාවන් සිදුකිරීමයි. එය වරදක් නොවේ. වරද පවතින්නේ ආමිසයෙන් ඔබ්බට, එනම් පිළිවෙත් මාර්ගයට අවබෝධයකින් යුතුබැස නොගැනීමයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා පෙලක් විමසා බලමු.
”නහි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තා මම පුජං කරොන්තිනාම ධම්මානුධම්මං පටිපජ්ජන්තා ඒවා පන මං පූජෙන්තී නාම “මල් සුවඳ ආදියෙන් මට පුද පුජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත් (ධම්මපදට්ඨ කථා ධම්මාරාම වත්ථු) “කුල්ලුපමං වො භික්ඛවෙ ධම්මං දේසිස්සාමි, නිත්ථරනත්ථාය නො ගහණත්ථාය” “මහණෙනි, මම ධර්මය ඔරුවකට උපමා කොට ඔබට දේශනා කරන්නෙමි. ධර්මය එතෙරවීම පිණිස මිස කර ගහගෙන යෑම පිණිස නොවේ. (මජ්ක්‍ධිම නිකාය අලගද්දූපම සූත්‍රය) ‘යෝ වෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතො පඤ්ඤත්තෝ, සො වො මමච්චයේන් සත්ථා “ ආනන්දය, නුඹලාට යම්ධර්මයක් හා විනයක් දේශනා කරන ලදද, පනවන ලදද, එය මගේ ඇවෑමෙන් ඔබේ ශාස්තෘවරයායි” (පටිසම්භිදා මග්ග අට්ඨකථා) ආරම්භයේදී එනම් ධර්ම මාර්ගයට යොමුවීමේදී මල් පහන්පුදා ශ්‍රද්ධාව දියුණුූ කරගැනීම අවශ්‍යයය. එම ආමිසය නම් වූ මල් පහන් පූජාවම පිළිවෙත් මාර්ගයට යොමුකරගත හැකිය. නිදසුනක් මෙසේය. අප රටේ බහුතරයක් මල් පූජා කරන ගාථා රත්නයම නිදසුනක් කරගනිමු. “පුජේමි බුද්ධං කුසුමේනනේන” ආදි වශයෙන් සරල අදහස නම් මේ මල් පරව යන්නා සේ කයද අනිත්‍ය ස්වභාවයට හෙවත් විනාශ වන්නේය යනුවෙනි. මෙය විදර්ශනාවක් කොට පිළිවෙත් මාර්ගයට පුරුදු කළ හැකිය. යොමු කොට ගත හැකිය. අපි එහි අදහස විවරණය කර ගනිමු. මලක් සුවඳැති නම් හෝ ප්‍රසන්න නම්, ඒ මල පිපෙන්නේ කොතැනදැයි ගැටලුවක් නැත. මඩවගුරුවල හටගන්නා වූ ඕලු, නෙළුම්, මානෙල්වලටත්, කටු අකුලුවල පිපෙන්නා වූ රෝසවලටත් ඉහළම තැනක් හිමිවෙයි. නෙළාගෙන අවුත් බුදුපුද පවත්වයි. එනමුත් මේ මල් පරවයයි. පරවෙන්නට මත්තෙන්, පිපුනු තැන නොසළකා මල් නෙළාගෙන අවුත් ඉහළම තැනක තබා ගෞරව කරයි. මේ කය අනිත්‍යයයි. ලෙඩ දුක් සමගම දිරාගෙන යන්නේය. මල පරවෙන්නට පෙර නෙළාගෙන පැමිණ බුදුපුදට ගත්තාසේ, මේ ජීවිතයද දිරාගෙන ගොස් මරණයට පෙර උතුම් වූ ප්‍රයෝ-ජනයක් ගත යුතුය. ඒ ප්‍රයෝජන ගැනීම නම් ඇස, කණ, ආදි ඉන්ද්‍රියයන් සතුටු කිරීම හෝ පිනවීමට නොවේ. එය තිරිසන් සතුන්ද කරනු ලැබේ’. කායික හා වාචසික සංවරය නම් වු ශීලයෙහි පිහිටා හැකිතාක් දුරට ධර්මානුකූලව ජීවිතය පැවැත්විය යුතුය.ඉගෙනීම වෘත්තිය, විවාහය,ගේදොර,ඇඳුම් පැළැඳුම්, සාමාජික යුතුකම් ආදි වශයෙන් මේවා නම් කළ හැකිය. ධර්මානුකූල මඟක මේ සියල්ලම පි‍්‍රය වශයෙන් ඉහළම ආකාරයකින් කළ හැකිය. විශාකා මහා උපාසිකාව සහ අනේපිඬු සිටාණන් වැනි අය නිදසුන්වලට ගත හැකිය. පියකරුවද, ධනවත්වද සතුටින්ද මේ අය ජීවිත ගත කළ අතර මාර්ගඵල ලාභීහු වූහ. ඔබටද සිඟාලෝවාද ව්‍යග්ඝ පජ්ජ, මංගල ආදි සූත්‍රවල සඳහන් අයුරින් ලෞකික පැවැත්ම සුපසන් කරගත හැකිය. වසල, පරාභව, ආදි සූත්‍ර දේශනාවල සඳහන් අයුරින් පරිහාණියට නොයා හැකිය. මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව සිහිය පැවැත්වීම දියුණු කළ හැකිය.ආනාපාන සති සහ කායගතිසති සූත්‍ර ඇසුරු කරගෙන එදිනෙදා ජීවිතයේ කොපමණ කාර්ය බහුල වුවද මේ මොහොතේ ජීවත්වීම පුරුදු කළ හැකිය. අනාථපිණ්ඩිකෝවාද ආදි සූත්‍ර ධර්ම ඇසුරුකරගෙන ජීවිතයේ ලෙඩදුක් දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන ආකාරය ධර්මානුකූලවම පුරුදු කළ හැකිය. වත්ථුපම සහ සල්ලේඛ ආදි සුත්‍ර ධර්ම ඇසුරුකරගෙන අශ්‍රැතවත් කෙලෙස් කසට සහ කෙලෙස් ගති හඳුනාගෙන මනුෂ්‍යයන් අතර ගම,රට පළාතෙහි යහපත වු සත්පුරුෂ මනුෂ්‍යයෙක් ලෙස ජීවත්විය හැකිය. චූලහත්ථිපදෝපම මහා හත්ථිපදෝපම, රථවිනීත,අරියපරියේසන ආදි සූත්‍රයන්හි මඟපෙන්වීම ඔස්සේ සිවුසස් දහම් අවබෝධයටද කෙලෙසුන් නැසීමටද මාර්ගෝපදේශකත්වයක් සලසා ගත හැකිය.
අනිත්‍ය වු ලොවෙහි “ඉති ඛො භික්ඛවේ විවටො මයා ඛේමො මග්ගෝ සෝවාත්ථිකො පීතිගමනියො” යනුවෙන් දේශනා කළ පරිදි, භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදෙන ලද නිර්භය වු සැපදායක මඟෙහි පී‍්‍රතියෙන් යුතුව ගමන් කළ හැකිය”. සම්මුතියේ පිහිටා සම්මත ලෝකයෙහි ඔබගේ වචනයෙන් පවසන පරිදි, චාරිත්‍රවාරිත්‍ර, යුතුකම්,ගෙදරදොරේ වැඩකටයුතු රැකි රක්ෂාවන්, ස්වාමි භාර්යා යුතුකම් දෙමාපිය දරු වගකීම් ආදියද නිවැරදි මගක පවත්වා ගත හැකිය. එම සම්මුතියෙහි පිහිටා කටයුතු කළ යුතු වන්නේ පරමාර්ථ ධර්මය පිළිබඳ මනා අවබෝධයෙන් යුතුවමය. එනම් එය මෙවැනි අදහසකි. “නයං භික්ඛවෙ කායෝ තුම්හාකං නාප අඤ්චෙසා” “මහණෙනි , ඔය දරාගෙන සිටින ශරීරය නුඹලාගේ නොවේ. වෙනත් අයෙකුටද අයිති නැත.’ (නතුම්හ සූත්‍රය) මෙය ඔබට ගළපා මෙසේ සඳහන් කළ හැකිය. “මම මගේ නොවේ. නුඹ නුඹේ” නොවේ. මම නුඹේ නොවේ. නුඹ මගේ නොවේ” සම්මුති ධර්මතාවයට අනුව, සම්මතයෙහි පිහිටා ලෞකික ලෝකයෙහි ජීවත් වෙන්න. ධර්මානුකූලව හැසිරෙන්න. එනම් හැකිතාක් දුරට පස්පව් දස අකුසල්වලින් බැහැරවන්න. දරුවන් සහ දෙමාපියන්, ස්වාමි– භාර්යාවන්” මම මගේ යයි කියන්න. යම්විටෙක ,දෙමාපිය සහ දරුවන් විසින් ඔවුනොවුන් සමීප වී අත්වැල් පටලාගෙන නුඹලා මගේ යැයි කියනු ඇත. මගේ ඇස් දෙක ,මගේ හදවත වැනි යැයි කියනු ඇත. නුඹ වැනි අයෙක් මට මුන ගැසුනේ මගේ පෙර පිනකට” යයි ස්වාමි භාර්යාවන් පවසනු ඇත. හැමදාම ,ඔවුනොවුන් කෙරේ පි‍්‍රයදෑසින් බලමින්, පි‍්‍රයවචන කතා කරමින්, කිරි හා වතුර මෙන් ,ශරීර දෙකක් වුවත් එකම ජීවිතයක් මෙන් පවත්වන්නට කැමතියි (නකුල පිතූ සූත්‍රය) එසේ සම්මතයෙහි පිහිටා මෙලොව සැනසිලිමත් ජීවිතයක් හෝ ජීවිත ගත කළ හැකිය. එනමුත්, මේ සියල්ලම සකස්විය යුත්තේ පරමාර්ථ ධර්ම අවබෝධය හා සමගිනි. එනම් සම්මුතියට අනුව දෙමාපියන් දරුවන් හෝ ස්වාමි භාර්යාවන් විසින් “නුඹ මගේ, හැමදාම මේ වගේ සිටිනවා” යයි පැවසුවද පරම සත්‍ය කථාව (විදසුන් නුවණ) එය නොවේ. පරමාර්ථ හෙවත් විපස්සනාවට අනුව, මමවත් මට හිමි නැති ලොවක් තුළ නුඹ කොහොමද මගේ වෙන්නේ, මටවත් මා ගැන නිසිලෙස යමක් කියන්නට බැරි මේ අනිත්‍ය වූ ලෝකයේ, නුඹ සමඟ හැමදාම සිටිනවා යයි කියන්නේ කොහොමද? වැනි කතාවකි.
මෙලොව සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක එනම් පණ ඇති හෝ පණ නැති සියල්ලම සංඛත හෙවත් සංස්කාර නම්වෙයි. මේ සියලු සංඛත වස්තූහු අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත්වෙති.
සම්මුතිය සහ පරමාර්ථය හඳුනාගන්නා විට ජීවිත පැවැත්ම සන්සුන් වෙයි. වෙනස්වන ලෝකයේ කිසිවක තදින් ඇලෙන්නේද නැත. ගැටෙන්නේද නැත. මේ නිසා සිතෙහි සකස්වන චිත්ත සමාධිය, සමාහිත බව ඵල සමාධිය සහ ඵල ප්‍රඥාව බවට පත්කර ගත හැකිවනු ඇත. බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව බුදුරජාණන් වහන්සේ දහම් ඇසෙන් දැකීමක් බවට පත්වෙයි. උතුම් තුණුරුවන් සරණයි.
සදහම් සඟරා - Online