ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

දසබලධාරී සම්බුදු සමිඳුන් හද මඬලෙන් සරණ යමු

අප තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන මේ වෙසඟේ පුන් පොහෝ දිනයෙහි ඒ තථාගතයන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සිහි කිරීම, ඉතාමත් වටිනාම කර්තව්‍යයකි. මෙහිදී ඒ භාග්‍යවතුන් වහන්සේ අප සරණ යන්නේ උන්වහන්සේ තුළ මොන තරම් උතුම් ඥාන, බල තිබෙන නිසාද යන්න දැන ගැනීම සියලු දෙනාටම ඉතාමත් වැදගත් වේ.
මේ ලිපිය තුළින් විස්තර කෙරෙන්නේ උන්වහන්සේගේ ඥානයන් හා බලයන්ය. අංගුත්තර නිකායේ දෙවන කොටසේ චතුක්ක නිපාතයේ භාණ්ඩගාම වර්ගයේ අටවන සූත්‍රය වන වේසාරිජ්ජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන පිළිබඳව අපට ඉගෙන ගැනීමට හැකිවෙයි. එවැනි විශාරද ඥාන හතරක් තිබේ. (1) සම්මා සම්බුද්ධ යැයි ප්‍රකාශ කරන ඔබ වහන්සේ මේ කරුණ අවබෝධ කරගෙන නැත කියා, (2) සියලු කෙලෙසුන් ප්‍රහීණ කර තිබේ යැයි ප්‍රකාශ කරන ඔබ වහන්සේගේ මේ කෙලෙස් ප්‍රහීණ වී නැතැයි කියා හෝ (3) “ඔබ වහන්සේ විසින් අන්තරායකර ධර්මයන් කියා දේශනා කර තිබෙන ධර්මයන් සිදු කළාට එවැනි අන්තරායක් සිදු නොවේ” කියා හෝ (4) “ඔබ වහන්සේ විසින් යම් අර්ථයක් පිණිස ධර්මය දේශනා කරන ලද්දේද, ඒ ධර්මය ප්‍රගුණ කළාට දුක නැති කර ගත නොහැකියි” කියා හෝ කරුණු සහිතව චෝදනා කිරීමට සමත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ උන්වහන්සේට දැන ගත නොහැකිය. එවැනි පුද්ගලයෙක් නොදකින නිසා බුදුරජාණන් වහන්සේ ක්ෂේමයට පැමිණ වාසය කරති. නිර්භය භාවයට පත්ව වාසය කරති. විශාරදත්වයට පත්ව වාසය කරති. අප තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන හතර පිළිබඳව දැන් ඔබට විශාල අවබෝධයක් ඇති කර ගැනීමට හැකියාව තිබේ. මෙවැනි උදාර ඥාන තිබෙන වෙනත් ශාස්තෘවරයෙකු මේ තුන් ලෝකයේම නැත. එබැවින් අප සියලු දෙනාම ඒ භාග්‍යවතුන් වහනසේගේ මේ උතුම් විශාරද ඥාන අවබෝධ කරගෙනම සරණට පත්විය යුතුවේ.
එමෙන්ම උන්වහන්සේ තථාගත බල දහයකින් සමන්නාගත වන සේක. පළමුවන තථාගත බලය වන්නේ ඨානාඨාන ඥානයයි. එනම් හේතු වශයෙන්, සිදුවිය හැකි තැන් වශයෙන් පරිපූර්ණ වශයෙන් ලබන ඥානයයි. මේ ඥානයට උන්වහන්සේට බොහෝ දේවල් දැනගත හැකිය. ආර්ය සම්මා දිට්ඨියට පත් සෝවාන් ශ්‍රාවකයා තමාගේ මවගේ ජීවිතය තොර කිරීම හෝ තමාගේ මෑණියන්ට අතින් හෝ පයින් අධිකව හිංසා කිරීම යන කරුණ දකින්නට නොලැබෙයි. තම පියාගේ ජීවිතය තොර කිරීම හෝ පියාට අතින් හෝ පයින් අධිකව හිංසා කිරීම යන කරුණු දකින්නට නොලැබෙයි. රහතන් වහන්සේලාගේ දිවි තොර කිරීම හෝ උන් වහන්සේලාට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණු දක්නට නොලැබෙයි. සංඝ භේද කිරීම හෝ සංඝයා අතර භේද කිරීමට උත්සාහ කිරීම යන කරුණ දකින්නට නොලැබේ. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සෙලවීම හෝ පිරිනිවන් පෑ තථාගතයන් වහන්සේගේ ස්තූපය දුෂ්ට සිතින් බිඳීම යන කරුණ දකින්නට නොලැබේ. එහෙත් පෘතග්ජන පුද්ගලයා තමාගේ මවගේ ජීවිතය තොර කිරීම හෝ තමාගේ මවට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණ දකින්නට ලැබේ. පියාගේ ජීවිතය තොර කිරීම හෝ පියාට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණ දකින්නට ලැබේ. රහතන් වහන්සේලා ජීවිතයෙන් තොර කිරීම හා උන්වහන්සේලාට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණ දක්නට ලැබේ. සංඝ භේද කිරීම හෝ සංඝයා අතර භේදයට උත්සාහ කිරීම කරන්නේය යන කරුණ දක්නට ලැබේ. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සෙලවීම හා උන්වහන්සේගේ ස්තූපය දුෂ්ට සිතින් බිඳීම යන කරුණ දක්නට ලැබේ.
එමෙන්ම ආර්ය සම්මා දිට්ඨිය ලැබූ සෝවාන් ශ්‍රාවකයා තමාගේ පණ රැක ගැනීම උදෙසාවත් අන්‍ය ශාස්තෘවරයෙකු තමාගේ ශාස්තෘවරයා කියා අදහාගෙන පෙන්වීම යන කරුණු දකින්නට නොලැබෙයි. පින් සලකාගෙන දන්දීම පිණිස මේ බුදු සසුනේත් බාහිර අන් අයෙකු සෙවීම යන කරුණ දකින්නට නොලැබෙයි. ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණු වලින් පිරිසුදු බව අදහන්නේය යන කරුණ දක්නට නොලැබෙයි. එහෙත් පෘතග්ජන පුද්ගලයා සිය පණ රැක ගැනීම උදෙසා අන්‍ය ශාස්තෘවරයෙකු තම ශාස්තෘවරයා ලෙස පෙන්වීම යන කරුණ දකින්නට ලැබෙයි. පින් සලකා දන්දීම පිණිස බුදු සසුනෙන් බාහිර අන් කෙනෙකු සෙවීම යන කරුණ දක්නට ලැබේ. ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණු වලින් පිරිසුදු බව ඇදහීම යන කරුණ දක්නට ලැබේ.
ස්ත්‍රියක් සක්විති රජු බවට පත්වන්නේය යන කරුණද ස්ත්‍රියක් සක් දෙවිඳු බවට පත්වන්නේය යන කරුණද, ස්ත්‍රියක් පාපී මාරයා බවට පත්වන්නේය යන කරුණද, ස්ත්‍රියක් මහා බ්‍රහ්මයා වන්නේය යන කරුණද, ස්ත්‍රියක් තථාගත අරහත් සම්මා සම්බුදු වන්නේය යන කරුණද දකින්නට නොලැබෙයි. එහෙත් පුරුෂයෙක් සක්විති රජු බවට පත්වීම යන කරුණද, සක් දෙවිඳු බවට පත්වීම යන කරුණද, පාපී මාරයා බවට පත්වීම යන කරුණද, මහා බ්‍රහ්මයා බවට පත්වීම යන කරුණද, තථාගත අර්හත් සම්මා සම්බුදු බවට පත්වීම යන කරුණද දකින්නට ලැබේ. තථාගත අර්හත් සම්මා සම්බුදුවරු දෙනමක් පෙර පසු නොවී එකම අවස්ථාවක එක් ලෝක ධාතුවක ඉපදීම හෝ ධර්මය දේශනා කිරීම යන කරුණ දකින්නට නොලබෙයි. තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් නමක් පමණක් එක් ලෝක ධාතුවක ඉපදීම හා ධර්මය දේශනා කිරීම යන කරුණ දක්නට ලැබේ. මේ ආකාරයෙන් වූ විවිධ කරුණු පිළිබඳව ඉතා නිවැරැදි ලෙස දැන ගැනීම ඨානාඨාන ඥානය තුළින් දැනගත හැකිවේ.
දෙවන තථාගත බලය වන්නේ සබ්බත්ථගාමිනි පටිපදා ඥානයයි. නිරයෙහි තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුර නිකායේ, දිව්‍ය ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ ඉපදීමට අදාළ කරුණු උපකාර වූ විට ප්‍රත්‍යය වූ විට ඒ ඒ තැන්වල උපදින්නේය යන කරුණත් පිරිනිවන්පෑමට අදාළ කරුණ උපකාර ලද විට ප්‍රත්‍යයක් ලැබූ විට පිරිනිවන් පාන්නේය යන කරුණත් මේ ඥාන තුළින් දැන ගත හැකි වේ. මේ සියලු තැන්වලට ගෙනයන ප්‍රතිපදාව වන අතර මේ ප්‍රතිපදාවේ හේතු වශයෙන්, වියහැකි තැන් වශයෙන් සම්පූර්ණ කොට දන්නා ඥානය සබ්බත්ථ ගාමිනී පටිපදා ඥානයයි.
පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුව, කාම ධාතුව, ව්‍යාපාද ධාතුව, විහිංසා ධාතුව, නෙක්ඛම්ම ධාතුව, අව්‍යාපාද ධාතුව, අවිහිංසා ධාතුව, දුක්ඛ ධාතුව, දෝමනස්ස ධාතුව, අවිද්‍යා ධාතුව, සුඛ ධාතුව, සෝමනස්ස ධාතුව, උපේක්ෂා ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව, නිරෝධ ධාතුව, සංඛාර ධාතුව, නිර්වාණ ධාතුව, ආදී අනේක ධාතු ස්වභාවයෙන් යුතු නා නා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකය පිළිබඳව හේතු වශයෙන් විය හැකි තැන් වශයෙන් සම්පූර්ණයෙන් දන්නා ඥානය තුන්වෙනි තථාගත බලයයි. එය අනේක ධාතු නා නා ධාතු ඥානය නම් වේ.
අප භාග්‍යවතුන් වහන්සේගේ හතරවන තථාගත බලය වන්නේ සන්තානං නානාධිමුත්තිකතා ඥානයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ආදියටත් ස්ත්‍රීන්ට, පුරුෂයන්ට, දන්දීමට, ලාමක දෙයට, උසස් දෙයට, දෙවියන්ට, මිනිසුන්ට, නිවනට ඇතැමෙක් ඇදී යති. මේ ඇලියාම පිළිබඳව හේතු වශයෙන් විය හැකි තැන් වශයෙන් සම්පූර්ණ වශයෙන් දන්නා වූ ඥානය මෙනම් වේ. ඒ තුළින් මොහු හික්මවිය හැකිය. මොහු හික්මවිය නොහැකිය, මොහු සුගතියට යන අයෙකි, මොහු දුගතියට යන අයෙකි යනුවෙන් දකින්නා වූ ඥානයයි. මෙම සන්තානං නානාධිමුත්තිකතා ඥානය නම් සත්ත්වයන් නා නා විධ අයුරින් ඇලුණු ස්වභාවය දක්නා බව නම් වූ ඥානයයි.
අප භාග්‍යවතුන් වහන්සේගේ පස්වන තථාගත බලය වන්නේ අතීත, අනාගත, වර්තමාන කර්ම සමාදානයන් පිළිබඳව හේතු වශයෙන්, තැන් වශයෙන්, සම්පූර්ණ වශයෙන් කර්ම විපාකයන්ගේ විවිධත්වය පිළිබඳ ඥානයයි.
අප භාග්‍යවතුන් වහන්සේගේ හයවෙනි තථාගත බලය වන්නේ සියලු ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්තිවල කෙලෙසීයාමක්, පිරිසුදු වීමක්, නැගි සිටීම පිළිබඳවූත් ඥානයයි. මෙය අනාවරණ ඥානය නම් වේ.
අප භාග්‍යවතුන් වහන්සේගේ සත්වෙනි තථාගත බලය වන්නේ ඉන්ද්‍රියපරෝපරියත්ත වේමත්තකා ඥානයයි. එනම් ඉන්ද්‍රියයන්ගේ හීන, මධ්‍යම, උත්කෘෂ්ටතා ඇති පුද්ගලයන් පිළිබඳව හේතු වශයෙන් විය හැකි තැන් වශයෙන් සම්පූර්ණ වශයෙන් දක්නා ඥානයයි. භාග්‍යවතුන් වහන්සේට මේ ඥානයට අනුව මොහු මේ මෘදු, මධ්‍යම, උත්කෘෂ්ට අනුශාසනයන් මේ වෙලාවේදී දස්සනභූමියටද, මේ භාවනා භූමියට ගිය බවත්, මෙබඳු ධාතු ස්වභාවයෙන් යුක්ත බවත්, මෙබඳු චිත්තාකලපයන්ගෙන් යුක්ත බවත්, මෙබඳු අයුරින් සිතෙහි අප්‍රකටව ක්‍රියාත්මක වන කෙලෙස් ඇති බවත් දන්නා සේක. මේ ඥාන තුළින් සත්ත්වයන්ගේ මෙන්ම බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රියයන් තුළ ඇති අඩු වැඩි බව දැන ගත හැකිය.
භාග්‍යවතුන් වහන්සේගේ අටවන තථාගත බලය වන්නේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නා ඥානයයි. ඒ ඥානය තුළින් නොයෙක් පෙර ජීවිතයන් සිහි කළ හැකිය. නොයෙක් කල්ප ගණන් ජීවිත සිහි කළ හැකිය. ඒ ඒ සත්ත්වයන්ගේ කුසල අකුසල මූලයන්ගේ උත්සන්න බව, මඳ බව ආදියත් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්හි රැස් කිරීමත් රැස් නොකිරීමත් මේ මේ කල්ප වලදී හෝ මේ මේ කාලවල ඒවා සිදු කරන ලද බවත් භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.
භාග්‍යවතුන් වහන්සේගේ නව වන තථාගත බලය වන්නේ දිවැසි නුවණයි. එනම් සුගතියට ගිය සත්ත්වයන් අපායට ගිය සත්වයන් ගැනත් මේ ආකාරයෙන් දන්නා සේක. මේ පුද්ගලයා අසවල් කල්පවලදී මෙබඳු අකුසල් රැස්කරන ලදී ආදී වශයෙන් තොරතුරු දන්න සේක. නවවන තථාගත බලය වන්නේ ඒ උතුම් දිවැස් නුවණයි.
භාග්‍යවතුන් වහන්සේගේ දසවන තථාගත බලය වන්නේ ආශ්‍රමයන් ක්ෂය වී ගිය බව දන්නා ආසවක්ඛය ඥානයයි. එනම් සර්වඥතා ඥානයයි. සියලු ධර්මයෝ අවබෝධ කරනු ලැබීමයි. කෙලෙස් රහිත වූ අවිද්‍යාබල රහිත වූ සර්වඥතාඥානයේ ඉපදීමයි. බෝධි මූලයේදී මාරයාගේ බල පරාක්‍රමය නසා ලබගන්නා වූ උතුම්ම ඥානයයි.
මෙවැනි උදාර වූ විශාරද ඥානයනගෙන් සමන්නාගත වූ දසබලයන්ගෙන් සමන්නාගත වූ ඒ භාග්‍යවත් වූ, අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හදවතින්ම සරණ යමු. දිවි හිමියෙන්ම සරණ යමු. අපට සසර දුකින් නිදහස්වීමටම මේ පින උපකාර වේවා.
සදහම් සඟරා - Online