ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පසේ බුදුවරු

දුක්‌ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයෝ අවබෝධ කිරීමෙන්, භව උදුරා දැමීමෙන් බුද්ධ නම් වන උතුමෝ ගුණ විශේෂ වශයෙන් බුදු, පසේබුදු, මහරහත් යෑයි තුන් කොටසකි. සම්මාසම්බුද්ධ, සම්බුද්ධ හා බුද්ධ යන නාමයෝ ද උන්වහන්සේලා හැඳින්වීමට පිළිවෙළින් යොදති.ෙ
පච්චේක බුද්ධ නැතිනම් පසේ බුදු යන වචනයේ තේරුම 'වෙනම සත්‍යයන් අවබෝධ කළ තැනැත්තා' යනුයි. පසේ බුදුවරයෝ ලොව්තුරා බුදුවරුන්ගෙන් හෝ බුද්ධ ශාවකයන්ගෙන් හෝ උපදෙස්‌ නොලබා ස්‌වෝත්සාහයෙන් ම සම්බෝධියට පැමිණති. පසේ බුදුවරයෝ, ලොව්තුරා බුදුවරුන් නූපදනා කාලවලදීම උපදිති. ලොව්තුරා බුදුවරු තමන් අවබෝධ කළ ධර්මයන් අනයයන්ට ද අවබෝධ කරවා අන්‍යයන් ද සසරින් එතෙර කරවති.
පසේ බුදුවරු වනාහි තමන් අවබෝධ කළ ධර්මය වචනවලින් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට සමත් නොවෙති. උන්වහන්සේලාට ආසයානුසය ඥානය නැත. උන්වහන්සේලා අවබෝධ කළ ධර්මය ගොළුවකු දුටු සිහිනයක්‌ මෙන් යෑයි ද වැද්දකු විසින් නගරයකදී අනුභව කළ ව්‍යංජන රසයක්‌ මෙන් යෑයි ද පොත පතෙහි විස්‌තර කෙරේ. ගොළුවා දුටු සිහිනය තමාම දැන සිටිනවා මිස අනෙකෙකුට දැන්වීමට සමත් නොවේ. වැද්දා රස විඳි ව්‍යජනයද එබඳු ය. එමෙන්ම පසේ බුදුවරු ද ධර්මය තමන්ම දැන සිටිනවා මිස අනුන්ට අවබෝධ කරවීමට සමත් නොවෙති. අර්ථ රසය පමණක්‌ අවබෝධ කළ උන්වහන්සේලා ලෝකෝත්තර ධර්මය ව්‍යවහාරයට නගා දෙසීමට අපොහොසත් වෙති. එහෙත් සියලුම සමාපත්ති, සෘද්ධි සමාපත්ති, ප්‍රතිසම්භිදාවෝ උන්වහන්සේලාට ඇත්තාහ. උන්වහන්සේලා ගුණ විශේෂ වශයෙන් ලොව්තුරා බුදුවරයනට පහළ තැනකද, බුද්ධ ශ්‍රාවකයන්ට වඩා උසස්‌ තැනක ද සිටිති. උන්වහන්සේලා ලොව්තුරු බුද්ධ ශ්‍රාවකයන් මෙන් අන්‍යයන් පැවිදි කොට නොහික්‌මවන්නා හ. උපොසථය සඳහා ගන්ධමාදන පර්වතයෙහි මංජුසක වෘක්‍ෂ මූලයෙහි වූ රත්නමාලකයට රැස්‌වන පසේ බුදුවරයෝ 'චිත්ත සල්ලෙඛෝ කාතබ්බෝ, ඔසානං නාපඡ්ජිතබ්බං' යන උද්දේසයෙන් හෝ 'අඡ්ජඋපෝසථෝ' යන වචන මාත්‍රයෙන් හෝ උපෝසථය කෙරෙති. උන්වහන්සේලාට දානාදීන් උපස්‌ථාන කරන්නන්හට,

'ඉච්ජිතුං පත්ථිතං තුයිහං

ප්පමේව සමිඡ්ධතු

පූරෙන්තු චිත්ත සංකප්පා

චන්දෝපන්නරසීයථා'

යන මේ ගාථාවෙන් අනුමෙවෙන් බණ දෙසූ බව ද පෙනේ. මේහැර ඒ ඒ පසේ බුදුවරයන්ගේ ධර්මාභිසමය කෙසේ වී දැයි ප්‍රශ්න කළවුන්ට දෙසූ ව්‍යාකරණ ගාථාත්, කෙලෙස්‌ නැසීමෙන් ඇති වූ ප්‍රීති වේගයෙන් හටගත් උදාන ගාථාත් එක්‌කොට පච්ෙච්ක බුද්ධාපදානයෙහිත් ඛග්ග විසාණ සූත්‍රයෙහිත් ඇතුළත් කොට තිබේ‍ෙ
කෙසේ වෙතත් පසේ බුදුවරයන් වහන්සේලා පිළිබඳ විස්‌තර පිටක ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ මඳ වශයෙනි. අපදාන පාලියෙහි පච්චේක බුද්ධාපදාන කොටසෙහි පවා සැලකිය යුතු විස්‌තරයක්‌ නැත. එහි ගාථා 58 කි. සුත්ත නිපාතයෙහි ඛග්ග විසාණ සූත්‍රයෙහි ආ ගාථා පච්ඡේක බුද්ධාපදානයට ද ගෙන තිබේ. ඉසිගිලි සූත්‍රය පසේ බුදුවරයන් පන්සියයක්‌ ගැන කියතත් එහි සඳහන් වන්නේ එකසිය දෙනමකගේ (102) නම් පමණි. මේ ආදී වශයෙන් පෙළෙහි දැක්‌වෙන විස්‌තරයට වඩා කරුණු අට්‌ඨ කතාවන්ගෙන් උපුටා ගත හැකිය
සම්මා සම්බුද්ධයන් වහන්සේගේ ප්‍රාර්ථනා අභිනිහාරාදිය ප්‍රකට නමුත් පසේ බුදුවරයන් පිළිබඳ එවැනි විස්‌තරයක්‌ බුදුරජාණන් වහන්සේ පෙර නොවදාළ හෙයින් එය දැන ගනු කැමැති ආනන්ද හිමියන් දිනක්‌ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ එකරුණ සැලකර සිටියහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ 'පුබ්බ යෝගාවචර' නම් සූත්‍රය වදාළහ. එහි මෙසේ සඳහන් වේ.

'ආන්දය, පූර්ව යෝගාවචරයා මේ ආනිසංස පහ කැමැති වියයුතුය. 

i හේ මේ ආත්මයේදී කල් ඇතිවම අර්හත් ඵලය ලබයි.

ii ඉදින් එසේ නොහැකිවී නම් මරණ සමයෙදී ලබයි.

iii එසේත් නොවී නම් දෙවි බවට පැමිණ එය ලබයි.

iv නැතහොත් බුදුවරයකු හමුවෙහි වහා නිවන් අවබෝධ කරනෙක්‌ වෙයි.

v එසේත් නැතිනම් පසු කලෙක පසේ බුදු වෙයි.

මෙසේ අනඳ මහ තෙරුන් හට වදාළ බුදුරජාණන් වහන්සේ 'පසේ බුදුවරයෝ' නම් අභිනිහාරයෙන් යුතු පූර්ව යෝගාවචරයෝම යෑයි ද, බුදු, පසේබුදු, මහරහත් යන සියල්ලන්ටම ප්‍රාර්ථනාවත්, අභිනිහාරයත් වුවමනාම යෑයි වදාළහ.
අභිනිහාරය යනු ස්‌ථිර වූ මූලික ප්‍රාර්ථනයයි. සම්‍යක්‌ සම්බුද්ධත්වය පතන මහ බෝසත්වරයකුගේ අභිනිහාරය කරුණු අටක්‌ ඇති කල්හිම සමෘද්ධ වේ.

i මිනිසෙකු වීම

ii පිරිමියෙකු වීම

iii ඒ ආත්මයේදී රහත් වන්නට තරම් මේරූ පින් ඇති අයෙකු වීම.

iv ජීවමාන සම්‍යක්‌ සම්බුදුවරයකු හමුවීම.

v කාමයන්ගෙන් වෙන්ව පැවිද්දට පැමිණියෙකු වීම.

vi පංච අභිඥා අෂ්ට සමාපත්ති උපදවාගත්තෙකු වීම.

vii බුදුරදුන් කෙරෙහි ආත්ම පරිත්‍යාගය

viii කොතරම් හිරිහැර වුවත් බුදුබව ලබා ගනිමි යන බලවත් කැමැත්ත

ඉහත කරුණු අට සම්පූර්ණව නියත විවරණ ලැබූවහු විසින් සර්වඥ බෝධිය පිණිස පාරමිතා පිරිය යුතු වේ. ප්‍රඥාධික මහ බෝසතුන් විසින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ ද, වීර්යාධික මහ බෝසතුන් විසින් සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ ද පාරමිතා සම්පූර්ණ කළ යුතුය.

පසේ බුදු බව පතන බෝසතුන්ගේ අභිනිහාරය කරුණු පහක්‌ එකට යෙදුණු කළ සම්පූර්ණවේ.

'මනුස්‌සත්තං ලිංග සම්පත්ති

විගතාසව දස්‌සනං

අධිකාරෝ ජන්දතා එතෙ

අභිනිහාර කාරණා'

ඒ අනුව

i මිනිසෙකු වීම,

ii පිරිමියෙකු වීම,

iii බුදු පසේබුදු, මහ රහතන් වහන්සේලා අතරින් කෙනෙකු හමුවීම,

iv ජීවිත පරිත්‍යාගය,

v බලවත් කැමැත්ත,

යන අංග පහ එකට යෙදුණු කල බෝසතාණන් වහන්සේගේ අභිනිහාරය සම්පූර්ණ වේ.

මෙසේ අභිනිහාරය සම්පූර්ණ කර ගත් බෝසතාණන් වහන්සේ පසේ බුදුබව ලැබීම සඳහා බුදුවරයකුගෙන් හෝ පසේ බුදුවරයකුගෙන් හෝ මහ රහත් උතුමෙකුගෙන් හෝ විවරණ ගත යුතුය. එසේ විවරණ ගත් තැනැත්තහු විසින් දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් පිරිය යුතු වේ. සම්‍යක්‌ සම්බුද්ධවරයෝ විවර්ත කල්පයෙහිම පහළ වෙත්. යම් කලෙක සම්‍යක්‌ සම්බුද්ධවරයෙක්‌ පහළ වෙත් ද, එකල පසේ බුදුවරයෝ නොවන්නා හ. අප බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර සිටි පසේ බුදුවරයන් අතර අන්තිමයාණන් වූ මාතංගයන් වහන්සේ සිදුහත් කුමරු උපන්දාම පිරිනිවන් පෑ බව ද සැලකිය යුතුය.
මෙයට අමතරව ලක්‌දිව වැඩ සිටි පසේ බුදුවරයන් වහන්සේලා දෙනමක්‌ පිළිබඳ එස්‌. කේ. ජයවර්ධන මහතා විසින් රචිත ලිපියක මෙසේ දැක්‌වේ.
මින් පළමු පසේ බුදු හිමි දඹදිව ගන්ධමාදන පර්වතයේ වසමින් දන් වැළඳීමට නිතර ලක්‌දිව නාගදීපයට ආ බව මහාවංශය හා පාලි රසවාහිනිය කියයි. සුමන සමන් දෙවියන්ගේ පෙර භවය විස්‌තර කරන වංශකතා අනුව සමන් දෙවිඳු එයට පෙර භවයේ නාගදීපයේ මිනිsසකුව ඉපිද කල්ගෙවයි. එකල දඹදිව ගන්ධමාදන පර්වතයේ වසන පසේබුදු හිමි නමක්‌ පිඬුසිඟා ගෙන අවුත් නාගදීපයේ කිරිපලු නුග රුඛක්‌ මුල දන් වැළඳීම සිරිතක්‌ කොට ගෙන සිටියේ ය. නාගදීපයේ ඉපිද සිටි මනුෂ්‍යයා පසේ බුදුහිමියන් දානය වැළ» පසු පාත්‍රය සෝදා දීමට පුරුදුව සිටියේය. ඒ පින් මහිමයෙන් ඔහු මිය ගිය පසු සුමනසමන් දෙවි ලෙස දිව්‍ය ආත්මභාවය ලැබුවේය.
දෙවැනි පසේබුදු හිමි නම බුද්ධ කාලයට පෙර ලංකාවේම ජීවත්ව ලංකාවේම පිරිනිවන් පෑ හිමි නමකි. ඒ විස්‌තර ධාතු වංශය හා පාලි රසවාහිනියේ කාකවණ්‌ණතිස්‌සකතා වස්‌තුවේ දැක්‌වේ. කාවන්තිස්‌ස රජුගේ පෙර භවය විස්‌තර කරන වංශ කතා හා සාහිත්‍ය මූලාශ්‍රවල ද මේ තොරතුරු සඳහන් වේ. ඒ අනුව කාවන්තිස්‌ස රජු පෙර භවයේ ලංකාවේ මලය රට චණ්‌ඩාලගමක චණ්‌ඩාල නායකයෙකු වී උපන්නේය. මලය රට ඒ අඩවියේ ගල් ලෙනක වැඩ විසූ පසේ බුදු නමකට මේ චණ්‌ඩාල නායකයා දිනපතා උපස්‌ථාන කළේය. දිනක්‌ චණ්‌ඩාල නායකයාට ගමනක්‌ යැමට වූයෙන් පසේ බුදුහිමියනට උවැටන් කිරීම බිරිඳට පැවරුවේය. ඈ පසේ බුදුහිමි රාගයෙන් පොලඹවා ගැනීමට යත්න දැරුවාය.ඒ අසාර්ථක විය. ඒ හේතුවෙන් උන්වහන්සේගෙන් පලිගැනීමට සිතූ බිරිඳ පසේ බුදු හිමි තමා වරදට පොලඹවා ගැනීමට තැත් කළ බව සැමියා පැමිණි පසු ඔහුට පැවැසීය. චණ්‌ඩාල නායකයා කිපී පසේ බුදුහිමිගෙන් පළිගැනීමට යද්දී උන්වහන්සේගේ ශාන්ත ඉරියව් දැක සිත සන්සුන් කර ගත්තේය. ගල් ලෙනෙහි දිගටම විසූ පසේ බුදුහිමි නමට ඔහු නොකඩවා උවැටන් කළ අතර පසේ බුදු හිමි නම මලය රට ගල්ලෙනෙහිදීම අපවත් වූ බව ධාතු වංශය කියයි.
එල්ලාවල මේධානන්ද හිමි නිකවැරටියට නුදුරු සවරන්තෙල්ගල ලෙනෙක තිබී කියෑවූ ලෙන් ලිපියක පසේ බුදු හිමි නමකගේ ධාතු නිදන් කර තැනූ දාගැබක්‌ ගැන කියයි. 'දශවන පචෙක බුදහ ථූපෙ' (දසවන පසේ බුදුහිමිගේ ධාතු නිදන් කළ දාගැබයි) යනුවෙන් එම ලෙන් ලිපියේ කියවෙයි. මේ ලිපියේ එන දහවැනිපසේ බුදුහිමි යනු ඉසිගිලි සූත්‍රයට අනුව නිථයි. මේ අනුව සවරන්තෙල්ගල ලෙන් ලිපියේ කියෑවෙන ධාතු හිමි වන්නේ නිථ පසේ බුදු හිමිටයි. සවරන්තෙල්ගල ආසන්නයේ ඇති ගල්ලෙන්විහාරයක ලෙනක නම 'ගඳමදන' යි. ගඳමදන හෙවත් ගන්ධමාදන යනු ඇතැම් විට නිථ පසේ බුදු හිමි වැඩ විසූ ගල් ගෙන යෑයි අනුමාන කළ හැකිය.
සවරන්තෙල්ගල ලෙන් ලිපියේ එන්නේ ධාතු වංශය හා පාලි රසවාහිනිය කියන මලය රටේදී අපවත් වූ පසේ බුදු හිමිට දැයි කීම අසීරුය. කෙසේ නමුත් ලෙන් ලිපියේ එන දහවැනි පසේ බුදු හිමි හෙවත් නිථ වෙනත් පසේ බුදුවරයකු නම් ලක්‌දිව අඩුම වශයෙන් පසේ බුදුහිමිවරුන් දෙනමක්‌ වැඩ විසූ බව පෙනෙයි.

සනත් ලියනගේ
සදහම් සඟරා - Online