සම්බුද්ධ දේශනාවේ සඳහන් ලෙස යමෙක් දරුණු වචන නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ යනවා. අඩුම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචනයි
සම්බුදු සසුනක සිසිල විඳීන්නට ඉඩ නැති කාලයේදීත් මිනිසුන් සිල්පද රැක්කා. ඒ සීලයේ අනුසස් වින්දා. එහෙත් බුද්ධ ශාසනයක් පවතින කාලයක රකින සීලයක් තුළින් පමණයි නිවන්මඟට මාවත සැකසෙන්නේ.
උන්වහන්සේ විටෙක වදාළා කිරල කිරිල්ලියක් බිත්තර රකිනවා වගේ සිල්පද රකින්න කියලා. ඒ කිරිල්ලිය බිත්තර උඩට ගිහින් පාද උඩට තබාගෙන කෑ ගසමින් සිටින්නේ. ඇයි ඒ? ඇය බයයි අහස කඩා වැටිලා බිත්තර විනාශ වෙයි කියලා. එතරම්ම පරිස්සමට බිත්තර රකිනවා. බුදුරජාණන් වහන්සේ වදාළා කිරලි දෙන බිජු රකිනවා වගේ සිල්පද රකින්න කියලා.
ඒ වගේම සෙමෙර මුවාගේ වටිනාම අංගය ඒ සතාගේ වලිගයයි. සෙමෙර මුවා වලිගය රැක ගන්නේ කෙසේද? ඒ ආකාරයට තමා සමාදන් වූ සිල්පද රකින්න කියලා.
යම් මවකට සිටින්නේ එකම දරුවා නම් ඒ අම්මාගේ මුළු ජීවිතය ම ඒ දරුවා යි. එක් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා රකිනවා වගේ සමාදන් වූ සිල්පද රකින්න ඕනේ.
එක ඇසක් ඇති මිනිසෙක් ඒ ඇස පරිස්සම් කර ගන්නවා වගේ සිල්පද පරිස්සමට රැක ගන්න ඕනේ. එහෙම නම් ටිකක් මත්වතුර ගත්තාට කමක් නැද්ද? පොඩි බොරුවක් කීවාට කමක් නැද්ද? කියන දේ අපි ම තීරණය කරන්න ඕන දෙයක්.
එක දරුවෙක් සිටින අම්මා කෙනෙක් ඒ දරුවා ටිකක් එහා මෙහා වෙනවාට කැමැති වෙන්නේ නැහැ. ඒ අම්මා හිතන්නේ මගේ දරුවාට හානියක් වෙන්න එපා කියල යි. ඒ වගේ සීලය සමාදන් වූ ඔබත් සිහිකළ යුත්තේ කුඩාවට හෝ මගේ සීලයට හානියක් වෙන්න එපා කියල යි.
අපට පුලුවන් නම් මේ ආකාරයට සිල් රැක ගන්න අපගේ මරණාසන්න මොහොත කෙතරම් නම් ආරක්ෂා සහිත ද? සිල්පද රැකීම තුළ තිබෙන පුණ්‍ය විපාකය අතිශයින්ම බලවත් එකක්. එසේ නම් මේ සිල්පද කැඩීමෙන් අත්වන විපාකය ද ඉතා බරපතළ බවයි ධර්මයේ සඳහන්ව තිබෙන්නේ.
සුචිලෝම කියන ප්‍රේතයාගේ නළලින් ඉදිකටු දහක් ඇතුළට යනවා. කටින් එළියට එනවා. ඔබට එක ඉදිකටුවක් ඇනුණා කියා හිතන්න. වේදනාව කෙතරම් ද? ඒ ප්‍රේතයා කෑ ගසමින් විලාප තියනවා. ඒ ඉදිකටු දහස නැවත බෙල්ලෙන් ඇතුළට යනවා. නැවත පපුවෙන් එළියට එනවා. නැවත බඩෙන් ඇතුළට යනවා. කලවයෙන් එළියට එනවා. ඉන්පසු ඒ ඉදිකටු කොන්දෙන් ඇතුළට යනවා. යටිපතුලෙන් එළියට එනවා. මේ ආකාරයට අනෙක් පැත්තට සිදුවෙනවා. ඒ ප්‍රේතයාගේ ආයුෂය ගනින්න බැරිතරම්. මහත් වූ වේදනාවක් නො නවත්වා ම විඳීනවා. එක ඉදිකටුවක් තත්ත්පරයක් මේ දේ කළා නම් වේදනාව හිතන්න.
දිනක් ඒ ප්‍රේතයා තෙරුන් වහන්සේ නමකට මුණ ගැසුණා. උන්වහන්සේට මහත් අනුකම්පාවක් හටගත්තා ප්‍රේතයා දුටුවිට. උන්වහන්සේ අසනවා ඇයි මේ වගේ දුකක්? කියා.
ස්වාමිනි, මම සසරේ බොහෝ සේ කේලාම් කිව්වා. එහි විපාකයයි මේ. මම කේලාම් කියලා සමගි අය අසමගි කළා. ඒවා බලලා මම සතුටු වුණත් අද විඳීන මේ විපාකය ඉතාමත් කටුක යි. දුකයි. මේ දේ අපගේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් ඇත්ත එයයි.
කුඩා සතුටකට දෙදෙනකු බිඳවා මහා විශාල දුකක් හදාගන්නේ ඇයි? අනවශ්‍ය දුකකට පැටලෙන්නේ ඇයි? ඒ නිසා අපි වචනය සංවර කර ගත්තොත්, නිහඬ කර ගත්තොත් සිල්පද ආරක්ෂා කර ගන්න ගොඩාක් පහසුයි.
ඒ වගේම දේශනාවේ සඳහන් වෙනවා යමෙක් දරුණු වචන කීමෙන් නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ යනවා. අඩුම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචන. තමන් අකැමැති, හිත රිදෙන, අප්‍රසන්න වචන. එනිසා තමන්ගේ දේපළ රැකගන්න ඕනෑ නම්, දේපළ විනාශ වෙනවට අකැමැති නම්, සොරකම් නොකර සිටින්නට ඕනෑ. හතුරන් ඇතිවෙනාවට අකමැති නම් වැරැදිකාම සේවනය නොකර සිටින්න ඕනෑ. කරුණු රහිතව නින්දා අපහාස අසන්නට කැමැති නැත්නම් බොරු නොකියා ඉන්න ඕනෑ. කවුරුහරි කෙනෙක් තමන්ගේ යහලුවන් බිඳෙනවාට අකැමැති නම් කේලම් නොකියා ඉන්න ඕනෑ.
තමන් සතුටු වචන ම අසන්න ආශානම් කිසිවකුට දරුණු වචන නොකියා සිටින්න ඕනෑ. තමන්ගේ වචන අනෙක් අය විශ්වාස කරනවාට කැමැති නම් බොරු නොකියා ඉන්න ඕනෑ. තමන් උමතු වෙනවාට අකැමැති නම් සුරාපානයෙන් වැළකෙන්න ඕනෑ කියලයි.
එනිසා අල්ප මාත්‍රයක්වත් සිල්පදවලට හානි කර ගන්න එපා. ඉතාමත් පිරිසුදුව රකින්න ඕනේ. කිසිදු කිලුටක් නැතිව තමන් සමාදන් වූ සිල්පද රැකගෙන තමන්ට මේ ලෝකයෙන් මිය යන්න තිබෙනවා නම් එය කෙතරම් යහපතක් ද?
එනිසා ඔබ සමාදන් වූ සිල්පද මේ වන විට කැඩුණා නම්, ඒ පාපයෙන් ගැලවෙන්න කැමැති නම් ළඟම තිබෙන සෑයක්, බෝධින් වහන්සේ නමක් අසලට හෝ නිවෙසේ පිළිම වහන්සේ අසලට හෝ ගොස් බොහෝම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් සිල්පද සමාදන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ බිඳුණු සිල්පද සමාදන් වෙන්න. එය අවංකවම කළයුතු දෙයක්.
ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම තෙරුවන් සරණ ගොස් සිල්පද රකිනවා, මම මගේ වරද වරදක් ලෙස දැක්කා. ඒ වරදින් අත මිදෙනවා කියා පොරොන්දු වෙන්න.
වරදින් මිදෙන්න තදබල අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. ඉන්පසු දිවි හිමියෙන් ඒ සිල්පද රකින්න. තම පණට වඩා සමාදන් වූ සිල්පදයට ආදරය කරන්න. එතැන් පටන් ඔබ සිල්වත්. තමන් අතින් සිදු වූ වැරැදි අමතක කොට ආයති සංවරයට පත් වූ තැන සිට ඔබ සිල්වත් වෙනවා. එවිට පැරැණි වරදට සිත දොස් කියන්නේ නැහැ. වරදින් නැඟී සිට සිල්වත් ජීවිතයක් ගත කරනවා.
ඉන්පසු ඒ සීලය පිළිබඳ සෑම දිනක ම නින්දට පෙර ආවර්ජනයක් කරන්න. අද දවස පුරාවට ම මම සතෙක් මැරුවේ නැහැ. සොරකම් කළේ නැහැ. වැරැදිකාම සේවනය කළේ නැහැ. බොරු කිව්වේ නැහැ. මත්වෙන දෙයක් පාවිච්චි කළේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් කියලා දිනපතා සතුටු වෙනවා. රකින සීලය සිහි කර කර සතුටු වෙනවා. මේ දුක්ඛිත සසරින් එතෙර වීමට කැමැති බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා ගමන් කළයුත එකම මාවත ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලයි අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ. එනිසා අපිත් උතුම් තිසරණය ආරක්ෂා කරමින් සමාදන් වූ සිල්පද රකිමින් මේ දුක්ඛිත සසරින් එතෙර වීමට වහ වහා උත්සාහ කරමු.