ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

වෙසක් දිනය එක්සත් ජාතින්ගේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම

බුදු දහමින් ‍ලොව පුබුදු කළ කුරුණෑගොඩ පියතිස්ස නා හිමි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය කේන්ද්‍ර කරගෙන අද්විතීය ලෝක ශාසනික සේවාවක් සිදු කළ කුරුණෑගොඩ පියතිස්ස නා හිමි වර්ෂ 1928 දෙසැම්බර් 29 වැනිදා ජන්මලාභය ලැබීය. උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූයේ වර්ෂ 1941 නොවැම්බර් 06 වැනිදා ය. පියතිස්ස නා හිමියන්ට විදේශ ධර්ම දූත සේවාව වෙනුවෙන් ආරාධනා ලැබෙන්නේ වර්ෂ 1970 දී එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායකව වැඩසිටි මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන් වෙතිනි. ඒ අනුව පියතිස්ස නා හිමි එතෙක් වසර 21 ක් පුරාවට ලංකාවේ කරගෙන ආ අධ්‍යාපනික සේවාවට සමු දී ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් හි ඔකන්හෝල්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ භික්ෂුව ලෙස ධර්ම දූත සේවාවට එක් විය. එහි ආරම්භ කළ ධර්ම දේශනා, සම්මන්ත්‍රණ හා භාවනා වැඩසටහන් ආදියට දිනෙන් දින ඉංග්‍රීසි ජාතිකයෝ ඇදී එන්නට වූ හ. ඒ නිසාම බෞද්ධ මධ්‍යස්ථානය ද අනුක්‍රමයෙන් දියුණු වන්නට විය.

කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ට මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමි හා ආචාර්ය මැදගම වජිරඤාණ නා හිමි යන කීර්තිධර ධර්ම දූතයන් වහන්සේලා සමග එක්ව විශිෂ්ට ධර්ම දූත සේවාවක නිරතවීමට අවස්ථාව උදාවන්නේ උන්වහන්සේ දෙවැනි වරට ලන්ඩන් ධර්ම දූත සේවාව සඳහා වැඩම කළ අවස්ථාවේ පටන් ම ය. එසේ වර්ෂ 1974 සිට 1981 දක්වා වූ සත් වසරක් මුලුල්ලේ මහා බ්‍රිතාන්‍යයේ ඉතා විශිෂ්ට ධර්ම දූත සේවාවක නිරතව සිටි පියතිස්ස නා හිමියෝ ඇමෙරිකානු බෞද්ධ ජනතාව ගේ ආරාධනය පරිදි වර්ෂ 1981 දී නිව්යෝර්ක් නුවරට වැඩම කළ හ. මෑන්හැටන් (Manhattan) නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ආර්ට් ගැලරි හි සිදු කළ භාවනා වැඩසටහන උන්වහන්සේ ගේ ප්‍රථම ඇමෙරිකානු ධර්ම ප්‍රචාරක කාර්යය යි. එයින් පසු දිගින් දිගට ම එවන් වැඩසටහන් වෙනුවෙන් ආරාධනා ලැබෙන්නට විය.

‍මේ අතර පියතිස්ස නා හිමියන් ගේ පුරෝගාමී නායකත්වයෙන් ෆ්ලසින් නගරයේ ඉතා කුඩා ස්ථානයක ඇරඹුනු නිව්යෝර්ක් බෞද්ධ විහාරය පසුව කිව්ගාඩ්න් ප්‍රදේශයටත්, එතැනින් ක්වීන්ස් විලේජ් (Queens Village) ප්‍රදේශයටත් ගෙනයමින් අනුක්‍රමයෙන් සංවර්ධිත තත්ත්වයකට පත් කෙරිණි. ශ්‍රී ලංකාවෙන් පිටත ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානවත් බව මේ යැයි, කියාපාමින් ඉදි කළ මුල් ම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය මෙම නිව්යෝර්ක් බෞද්ධ විහාර මන්දිරය යි. මෙ‍ම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් බුදු දහම ඇමෙරිකාවට හඳුන්වාදීම සඳහා පියතිස්ස නා හිමි සිදු කළ ඉතා කාලීන වූ ද සාර්ථක වූ ද යුග මෙහෙවර ඇමෙරිකානු බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.

ව්‍යක්ත ලේඛකයෙකු ලෙස ද පියතිස්ස නා හිමි සුවිශාල ශාස්ත්‍රීය කටයුතු කිහිපයකට ම දායකත්වය ලබා දී තිබේ. ඒවා ගැඹුරු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ, ජාතික උන්නතියට අදාළ වන ග්‍රන්ථ, සාමාන්‍ය බෞද්ධ ජනතාවට ධර්මය සරලව තේරුම් කරදෙන ග්‍රන්ථ, ඇමෙරිකාවේ ජීවත්වන දරුවන්ට ඉංග්‍රීසියෙන් ලියූ බුද්ධ ධර්ම පොත් හා විවිධ මාතෘකා ඔස්සේ ලියූ කුඩා දහම් පොත් වශයෙන් විවිධාකාර ස්වරූපයක් ගනියි. එසේම ආරම්භයේ පටන් වසර 35 කටත් වැඩි කාලයක් පුරාවට ම “බුදුසරණ” පුවත්පතට ධර්ම ශාස්ත්‍රීය ලිපි ලියූ උන්වහන්සේ ඊට අමතරව වෙනත් ජාතික පුවත්පත්වලට ද ලිපි සැපයූ හ. තව ද ඇමෙරිකාවේ සහ වෙනත් රටවල පළ කෙරෙන ප්‍රකාශනවලට ද ඉංග්‍රීසි බසින් සැපයූ ලිපි විශාල සංඛ්‍යාවකි.

පියතිස්ස නා හිමි කාලාන්තරයක් තිස්සේ ඇමෙරිකාවේ සිදු කරන ධර්ම දූත සේවාව වෙනුවෙන් එවකට එරට ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන් මහතා උන්වහන්සේ ධවල මන්දිරයට වැඩම කරවාගෙන විශේෂ උපහාරයක් දැක්විය. නිව්යෝර්ක් නගරාධිපතිවරයා උපහාර පිදූ අවස්ථා කිහිපයක් ම පවතියි. වර්ෂ 1999 දී පියතිස්ස නාහිමියෝ නිව්යෝර්ක් බෞද්ධ සභාවේ සමාරම්භක සභාපතිවරයා ලෙස පත් වූ හ. එසේ පත්වීම් ලබා වෙසක් පොහොය දිනය ලෝක බෞද්ධ නිවාඩු දිනයක් ලෙස සම්මත කළ යුතු බවට Buddhist Council of NewYork රැස්වීමේ දී පියතිස්ස නා හිමි ගෙන ආ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට මහලේකම්බෲටෝස් බෲටෝස් ගාලි මහතා වෙත යොමු යොමු කෙරිණි. ඒ සමගම එම යෝජනාව එවක ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා වෙත ද නිව්යෝර්ක් ආණ්ඩුකාරතුමන් වෙත ද යොමු කෙරිණි. ඒ සමගම එක්සත් ජාතීන් ගේ සංවිධානයේ බෞද්ධ නියෝජිතයින් ද මේ ගැන දැනුවත් කෙරිණි. එමතු නොව ශ්‍රී ලංකා රජය විසින් ද මෙම යෝජනාව එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතු බව පියතිස්ස නා හිමි දැන්වීමත් සමග ම නොබෝ කලෙකින් උන්වහන්සේ හා එවකට බුද්ධශාසන ඇමැතිව සිටි ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් ද කොළඹ දී පැවැත්වුණි.

එවකට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාව සිටි ලක්ෂ්මන් කදීර්ගාමර් මැතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන ඊළඟ වාරයේ දී පියතිස්ස නා හිමි ගේ ඉල්ලීම වූ වෙසක් දින යෝජනාව ගැන සිය දේශනයේ දී සඳහන් කළේ ය. එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා වූ ජෝන් ද සේරම් මහතා විසින් එම යෝජනාව එනම් “වෙසක් දිනය එක්සත් ජාතින්ගේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු ය” යන්න එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉදිරිපත් කළේ ය. රටවල් 34 ක අනුග්‍රහය ඇති ව එම යෝජනාව එක්සත් ජාතීහු ඒකච්ඡන්දයෙන් සම්මත කළ හ. මෙම සම්මතයත් සමග බුදු දහම සහ බෞද්ධ වත් පිළිවෙත් වෙත ලෝක අවධානය යොමු වුණි. එතැන් පටන් වාර්ෂිකව එක්සත් ජාතින්ගේ සංවිධානය එහි මූලස්ථානයේ දී වෙසක් උත්සව පවත්වයි. කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන් ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස වෙසක් උත්සවය එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නිල උත්සවයක් බවට පත්වීම ලෝක බෞද්ධ ඉතිහාසයට එක්වන විශිෂ්ට ජයග්‍රහණයකි.

කුරුණෑගොඩ පියතිස්ස නා හිමි නිව්යෝර්ක් බෞද්ධ විහාරයට අමතරව ඇමෙරිකාවේ ආරම්භ කළ තවත් විහාරස්ථාන සතරක් පවතියි. ඒවා නම්, ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරය, නිව්ජර්සි බෞද්ධ විහාරය, නිව් ඉන්ග්ලන්ඩ් බෞද්ධ විහාරය සහ ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ විහාරය යි. පියතිස්ස නා හිමියන් ගේ සෑම කාර්යයකට ම නිව්යෝර්ක් බෞද්ධ විහාරවාසී අලුත්ගම ධම්මජෝති හිමි, අක්මීමන නාගිත හිමි, කුරුණෑගොඩ ධම්මාලෝක හිමි, පාරඹේ සිරිනිවාස හිමි, ඈරගම සිරිසුමන හිමි, වෑකඳවල තුසිත හිමි සහ බඹරැන්දේ සුමේධ හිමියන්ගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළ මට්ටමක පවතියි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති, රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 2019 ඔක්. 11 වැනිදා අමෙරිකානු වේලාවෙන් පෙ.ව. 10.10 ට නිව්යෝර්ක් නුවර දී අපවත් වී වදාළහ. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඔක්. 17 වැනිදා අමෙරිකානු වේලාවෙන් පෙ.ව. 10.30 ට නිව්යෝර්ක් හි ඇස්ටෝරියා බුවවාඩ් ඕසෝල් ආදාහනාගාරයේ දී පැවැත්වුණි.

අග්‍රගණ්‍ය ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස බුදු දහමින් ලොව පුබුදු කළ අතිපූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ට උතුම් වූ නිවන් සුව ලැබේවා!

දෙහිවල නව පොළොන්නරු
ගල්විහාරාධිපති
හැව්ඕවිට ගුණානන්ද හිමි

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online