ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

මේ ආත්මයේ දී ම නිවන් දැකීමට නම් ...

 

කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ

බෞද්ධයාගේ පරමාර්ථය නිවන් දැකීමයි. සසරින් එතෙරවීම හෙවත් සියලු ජාති ජරා මරණාදි සියලු දුක් නැතිකොට නිවන් සාක්ෂාත් කිරීම මතු සම්බුදු සසුනක දී නොව මේ සසුනේ දී ම, මේ ආත්ම භවයේ දී ම කළ යුතු නොවේ දැයි බොහෝ දෙනා විමසන බව පෙනේ.

රාග, දෝස, මෝහා දියෙන් වෙළී ගැලී සිටින පෘථග්ජන පුද්ගලයා එම රාග, දෝස, මෝහයන් සහමුලින් නැසීම කළ යුතු වේ. එබැවින් නිවන් අවබෝධ කිරීම පිණිස සපුරාලිය යුතු කරුණු ගණනාවකි.

පළමුවෙන් නුවණැති විචක්ෂණ පුද්ගලයකු විය යුතු ය. එමෙන්ම සත් පුරුෂයකු විය යුතු ය. එබදු තැනැත්තාට කරුණු පහක් දියුණු කර ගැනීමෙන් මේ ආත්මභවයේ දී ම උතුම් නිවන ලබා ගත හැකි බව බුද්ධ දේශනාවේ සඳහන් වෙයි.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු මහා සිටාණන් සහ අග්‍ර දායිකාව වූ විශාඛා මහ උපාසිකාව අරබයා කළ ධර්ම දේශනාවක දී එම කරුණු පහ මෙසේ වදාළහ.

* ශ්‍රද්ධාව දියුණු කළ යුතු ය
* ශීලය දියුණු කළ යුතු ය
* ප්‍රඥාව දියුණු කළ යුතු ය
* ත්‍යාගය දියුණු කළ යුතු ය
* බහුශ්‍රැතභාවය දියුණු කළ යුතු ය

මේ කරුණු පහ වැඩි දියුණු කළ විචක්ෂණශීලි සත්පුරුෂයා මේ ආත්ම භාවයේ ම තම ජීවිතයේ උතුම් සාරය වන නිවන ලබා ගනියි.

මේ අනුව මේ ආත්මභාවයේ දී ම නිවන සාක්ෂාත් කිරීමට ඉහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි. ඒ කරුණු පහ විමසා බලමු.

සැදැහැ සිත

නව අරහාදී බුදුගුණ, ස්වාක්ඛාතාදී දහම් ගුණ සය, සුප්‍රතිපන්නතාදි සඟගුණ නවය යන සූවිසි මහගුණ ඇදහීම හා කර්මය හා කර්ම ඵලය ඇදහීම ලෙස ශ්‍රද්ධාව හඳුන්වා දී ඇත. තෙරුවන් සරණයාම බෞද්ධ ජීවිතයේ ප්‍රධාන ලක්ෂණයයි. ඔහු අවශ්‍යයෙන් ම බුදුගුණ, දහම් ගුණ සඟ ගුණ හොඳින් දැන ඉගෙන තහවුරු කර ගත යුතු ය. “ රහසත් පව් නොකරන හෙයින් ද, කෙලෙස් අර නැසූ හෙයින් ද, දේව මනුෂ්‍ය බ්‍රහ්මාදීන්ගේ පූජාවන් ලැබීමට සුදුසු වන හෙයින් ද අරහං ගුණය මාගේ බුදුරජාණන් වහන්සේ තුළ පිහිටා ඇත. යනාදී ලෙසින් සුවිසි මහගුණ හැදෑරීමෙන් “ ශ්‍රද්ධා” ගුණය වැඩි දියුණු කර ගත යුතු ය. ශ්‍රද්ධාවන්තයා හඳුනා ගත හැකි ලක්ෂණ 3 කි.

සැදැහැවතුන් ම ඇසුරු කරන්න

සද්ධර්මය ශ්‍රවණය කිරීම හා මසුරු මල දුරු කොට දන් දීම ය.

භික්ෂූන් වහන්සේ වෙත පැමිණ වන්දනා මාන කිරීමෙන් ද, දහම් කරුණු විමසා දැන ගැනීමෙන් ද ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගත හැකිය. එමෙන් ම දානානිසංස සලකා තමන් සතු ධන ධාන්‍යාදිය පරිත්‍යාග කිරීමෙන් ද ශ්‍රද්ධා දී ගුණ ධර්ම වැඩේ. තෙරුවන් ගුණ පිළිබඳ හා කර්මය, කර්මඵල පිළිබඳ හොඳ අවබෝධයක් එමඟින් ලැබෙන බැවිනි.

ආශ්‍රය පුද්ගලයාගේ සිතිවිලි, ක්‍රියා හා අදහස් හැඩගැස්වීමට බලපාන බැවින් ශ්‍රද්ධාව හීන පුද්ගලයන් ආශ්‍රය නොකොට ශ්‍රද්ධාවන්තයන් ම ඇසුරු කිරීම කළ යුතු වෙයි.

කර්මය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ලබා ගැනීම ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. කුසල කර්ම හා අකුසල කර්ම, කුසල විපාක හා අකුසල විපාක ආදිය ධර්මානුකූලව දැනගත යුතු වෙයි.

විචිකිච්ඡා හෙවත් සැකය ශ්‍රද්ධාව දුර්වල කරන බැවින් දහම් පත පොත කියවා හෝ ධර්ම දේශනාවලට සවන් දීමෙන් හෝ ධර්ම සාකච්ඡා මඟින් හෝ නොපැහැදිලි කරුණු විසඳා ගැනීමට උත්සාහ කළ යුතු ය. බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, ජාතක පොත් වහන්සේ රචනා කළේ බෞද්ධයා තුළ ශ්‍රද්ධාව වර්ධනය කිරීමේ අරමුණෙනි. එම නිසා බණ පොත් කියැවීමත්, නිශ්ඵල ප්‍රබන්ධ කියැවීමෙන් වැළකීමෙන් මෙලොව දී ම නිවන් දැකීම අරමුණු කර ගත් ඔබ විසින් කළ යුතු ය.


ශීලය වැඩීම

ශීලය යනු ප්‍රාණඝාතාදි අකුසලයන්ගෙන් වෙන් වීමේ දී හා වත් පිළිවෙත් පිරීමේ දී සිතේ ඇති වන චේතනා දී ධර්මය යි. ශීලය පිළිබඳ ප්‍රභේද රාශියක් ධර්ම ග්‍රන්ථවල විස්තර කර ඇත. ඒ අතුරෙන් චාරිත්‍ර ශීලය හා වාරිත්‍ර ශීලය යන දෙවදැරුම් ශීලය ගැන අවධානය යොමු කරන්නේ නම්, ඉහත විග්‍රහය තවදුරටත් අවබෝධ කර ගත හැක.

චාරිත්‍ර ශීලය නම්, වත් පිළිවෙත් පිරීමයි. මේ දේ මෙසේ කළ යුතු යැයි පිළිගත් සාරධර්ම කඩ නොකොට පිළිපැදීමයි.. පැවිද්දනට පිඬුසිගා යාමේ, බණ දෙසීමේ, ආරාමය තුළ සිටීමේ , විවිධ අවස්ථාවල දී පිළිපැදිය යුතු වත් 14ක් දක්වා ඇත. ගිහියනට ද සමාජය පිළිගත් සත් චාරිත්‍ර අනුගමනය කිරීම චාරිත්‍රශීලය වෙයි. නිවන් අරමුණු කර ගත් පුද්ගලයා තුළ මෙම චාරිත්‍ර හෙවත් ආචාරශීලය අනිවාර්ය වෙයි.

වාරිත්‍ර ශීලය යනු ප්‍රාණඝාතයෙන් වැළකීම ආදි වශයෙන් පංචශීලය යනාදියයි.

මුලින් සඳහන් කළ ශ්‍රද්ධාව ශීලය ආරක්ෂා වීමට හා පිරිසුදු වීමට හා වැඩි දියුණු වීමට මහෝපකාරි වෙයි. එදිනෙදා ජීවිතයේ දී පංචශීලය සමාදන්ව ආරක්ෂා කිරීම ද පොහොය දින අෂ්ටාංග ශීලය හෝ දසශීලය සමාදන්ව පිරිසුදුව ආරක්ෂා කිරීම තුළින් ද ශීලය වැඩි දියුණු කරගත හැකි ය.

නුවණ දියුණු කරමු

“ ප්‍රඥා” ව නම් ඇත්ත ඇති සැටියෙන් දැනීමයි. එනම් තත්වාවබෝධයයි. “ සම්මාදිට්ඨී” යන්නෙන් කියැවෙන්නේ ද ප්‍රඥාාවයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අවබෝධ කර ගත හැක්කේ ප්‍රඥාාවෙනි. නිවන සඳහා ප්‍රඥාාව අත්‍යවශ්‍ය වෙයි. විදර්ශනා ප්‍රඥාාවෙන් මාර්ග ඵලාවබෝධය සිදු වේ.

ප්‍රඥාාව වැඩි දියුණු කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කළ යුතු ය. ධර්ම සාකච්ඡාවල නිතර නිරත විය යුතු ය. එසේම සමථභාවනාව හා විපස්සනා භාවනාව ද ප්‍රගුණ කළ යුතුය.

තමන් සතු වස්තුව පූජාවක් වශයෙන්, අනුග්‍රහයක් වශයෙන්, සංග්‍රහයක් වශයෙන් දීම පරිත්‍යාගයයි. ශ්‍රද්ධාවෙන්ම දන් දිය යුතු ය. යහපත් සේ පිළියෙළ කොට දිය යුතු ය. පොහොය දිනය ආදී සුදුසු කාලයෙහි දිය යුතු ය. දෙන වස්තුවෙහි ආශාව ඉතිරි කර නොගෙන දිය යුතු ය. තම සිතට හෝ අනුන්ගේ සිතකට පීඩාවක් ඇති නොවන සේ දිය යුතු ය. දන් දීමේ විපාකවන ආයු, වර්ණ, සැප, බල ප්‍රඥාා යන අනුසස් දැන, ශක්ති පමණින් නිතර නිතර පිරිසුදු සිතින් දන් දෙමින් නිවන් පිළිවෙත පිරිය යුතු ය.

ඇසූ පිරූ තැන් ඇතිබව

නිතර ධර්ම ශ්‍රවණය කිරීමෙන් බහුශ්‍රැත භාවය ඇති වෙයි. බහුශ්‍රැත භාවය වැඩි දියුණු කිරීම සඳහා නිතර නිතර ධර්ම ග්‍රන්ථ කියවීම, ධර්ම සාකච්ඡාවල නිරත වීම, ධර්ම කොට්ඨාස පාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙසේ සත්පුරුෂ වූ, විචක්ෂණශීලි පුද්ගලයා ශ්‍රද්ධා, ශීල, ප්‍රඥාා, ත්‍යාග, සුඛ යන කරුණු පස වැඩි දියුණු කිරීමෙන් ම අනාථපිණ්ඩික විශාඛාදීන් මෙන් මේ ආත්මභවයේ දීම අමා මහ නිවන් සැපත පැමිණෙනු ඇත.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online