ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

වෙසක් දිනය එක්සත් ජාතින්ගේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම

බුදු දහමින් ‍ලොව පුබුදු කළ කුරුණෑගොඩ පියතිස්ස නා හිමි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය කේන්ද්‍ර කරගෙන අද්විතීය ලෝක ශාසනික සේවාවක් සිදු කළ කුරුණෑගොඩ පියතිස්ස නා හිමි වර්ෂ 1928 දෙසැම්බර් 29 වැනිදා ජන්මලාභය ලැබීය. උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූයේ වර්ෂ 1941 නොවැම්බර් 06 වැනිදා ය. පියතිස්ස නා හිමියන්ට විදේශ ධර්ම දූත සේවාව වෙනුවෙන් ආරාධනා ලැබෙන්නේ වර්ෂ 1970 දී එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායකව වැඩසිටි මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන් වෙතිනි. ඒ අනුව පියතිස්ස නා හිමි එතෙක් වසර 21 ක් පුරාවට ලංකාවේ කරගෙන ආ අධ්‍යාපනික සේවාවට සමු දී ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් හි ඔකන්හෝල්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ භික්ෂුව ලෙස ධර්ම දූත සේවාවට එක් විය. එහි ආරම්භ කළ ධර්ම දේශනා, සම්මන්ත්‍රණ හා භාවනා වැඩසටහන් ආදියට දිනෙන් දින ඉංග්‍රීසි ජාතිකයෝ ඇදී එන්නට වූ හ. ඒ නිසාම බෞද්ධ මධ්‍යස්ථානය ද අනුක්‍රමයෙන් දියුණු වන්නට විය.

කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ට මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමි හා ආචාර්ය මැදගම වජිරඤාණ නා හිමි යන කීර්තිධර ධර්ම දූතයන් වහන්සේලා සමග එක්ව විශිෂ්ට ධර්ම දූත සේවාවක නිරතවීමට අවස්ථාව උදාවන්නේ උන්වහන්සේ දෙවැනි වරට ලන්ඩන් ධර්ම දූත සේවාව සඳහා වැඩම කළ අවස්ථාවේ පටන් ම ය. එසේ වර්ෂ 1974 සිට 1981 දක්වා වූ සත් වසරක් මුලුල්ලේ මහා බ්‍රිතාන්‍යයේ ඉතා විශිෂ්ට ධර්ම දූත සේවාවක නිරතව සිටි පියතිස්ස නා හිමියෝ ඇමෙරිකානු බෞද්ධ ජනතාව ගේ ආරාධනය පරිදි වර්ෂ 1981 දී නිව්යෝර්ක් නුවරට වැඩම කළ හ. මෑන්හැටන් (Manhattan) නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ආර්ට් ගැලරි හි සිදු කළ භාවනා වැඩසටහන උන්වහන්සේ ගේ ප්‍රථම ඇමෙරිකානු ධර්ම ප්‍රචාරක කාර්යය යි. එයින් පසු දිගින් දිගට ම එවන් වැඩසටහන් වෙනුවෙන් ආරාධනා ලැබෙන්නට විය.

‍මේ අතර පියතිස්ස නා හිමියන් ගේ පුරෝගාමී නායකත්වයෙන් ෆ්ලසින් නගරයේ ඉතා කුඩා ස්ථානයක ඇරඹුනු නිව්යෝර්ක් බෞද්ධ විහාරය පසුව කිව්ගාඩ්න් ප්‍රදේශයටත්, එතැනින් ක්වීන්ස් විලේජ් (Queens Village) ප්‍රදේශයටත් ගෙනයමින් අනුක්‍රමයෙන් සංවර්ධිත තත්ත්වයකට පත් කෙරිණි. ශ්‍රී ලංකාවෙන් පිටත ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානවත් බව මේ යැයි, කියාපාමින් ඉදි කළ මුල් ම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය මෙම නිව්යෝර්ක් බෞද්ධ විහාර මන්දිරය යි. මෙ‍ම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් බුදු දහම ඇමෙරිකාවට හඳුන්වාදීම සඳහා පියතිස්ස නා හිමි සිදු කළ ඉතා කාලීන වූ ද සාර්ථක වූ ද යුග මෙහෙවර ඇමෙරිකානු බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.

ව්‍යක්ත ලේඛකයෙකු ලෙස ද පියතිස්ස නා හිමි සුවිශාල ශාස්ත්‍රීය කටයුතු කිහිපයකට ම දායකත්වය ලබා දී තිබේ. ඒවා ගැඹුරු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ, ජාතික උන්නතියට අදාළ වන ග්‍රන්ථ, සාමාන්‍ය බෞද්ධ ජනතාවට ධර්මය සරලව තේරුම් කරදෙන ග්‍රන්ථ, ඇමෙරිකාවේ ජීවත්වන දරුවන්ට ඉංග්‍රීසියෙන් ලියූ බුද්ධ ධර්ම පොත් හා විවිධ මාතෘකා ඔස්සේ ලියූ කුඩා දහම් පොත් වශයෙන් විවිධාකාර ස්වරූපයක් ගනියි. එසේම ආරම්භයේ පටන් වසර 35 කටත් වැඩි කාලයක් පුරාවට ම “බුදුසරණ” පුවත්පතට ධර්ම ශාස්ත්‍රීය ලිපි ලියූ උන්වහන්සේ ඊට අමතරව වෙනත් ජාතික පුවත්පත්වලට ද ලිපි සැපයූ හ. තව ද ඇමෙරිකාවේ සහ වෙනත් රටවල පළ කෙරෙන ප්‍රකාශනවලට ද ඉංග්‍රීසි බසින් සැපයූ ලිපි විශාල සංඛ්‍යාවකි.

පියතිස්ස නා හිමි කාලාන්තරයක් තිස්සේ ඇමෙරිකාවේ සිදු කරන ධර්ම දූත සේවාව වෙනුවෙන් එවකට එරට ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන් මහතා උන්වහන්සේ ධවල මන්දිරයට වැඩම කරවාගෙන විශේෂ උපහාරයක් දැක්විය. නිව්යෝර්ක් නගරාධිපතිවරයා උපහාර පිදූ අවස්ථා කිහිපයක් ම පවතියි. වර්ෂ 1999 දී පියතිස්ස නාහිමියෝ නිව්යෝර්ක් බෞද්ධ සභාවේ සමාරම්භක සභාපතිවරයා ලෙස පත් වූ හ. එසේ පත්වීම් ලබා වෙසක් පොහොය දිනය ලෝක බෞද්ධ නිවාඩු දිනයක් ලෙස සම්මත කළ යුතු බවට Buddhist Council of NewYork රැස්වීමේ දී පියතිස්ස නා හිමි ගෙන ආ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට මහලේකම්බෲටෝස් බෲටෝස් ගාලි මහතා වෙත යොමු යොමු කෙරිණි. ඒ සමගම එම යෝජනාව එවක ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා වෙත ද නිව්යෝර්ක් ආණ්ඩුකාරතුමන් වෙත ද යොමු කෙරිණි. ඒ සමගම එක්සත් ජාතීන් ගේ සංවිධානයේ බෞද්ධ නියෝජිතයින් ද මේ ගැන දැනුවත් කෙරිණි. එමතු නොව ශ්‍රී ලංකා රජය විසින් ද මෙම යෝජනාව එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතු බව පියතිස්ස නා හිමි දැන්වීමත් සමග ම නොබෝ කලෙකින් උන්වහන්සේ හා එවකට බුද්ධශාසන ඇමැතිව සිටි ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් ද කොළඹ දී පැවැත්වුණි.

එවකට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාව සිටි ලක්ෂ්මන් කදීර්ගාමර් මැතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන ඊළඟ වාරයේ දී පියතිස්ස නා හිමි ගේ ඉල්ලීම වූ වෙසක් දින යෝජනාව ගැන සිය දේශනයේ දී සඳහන් කළේ ය. එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා වූ ජෝන් ද සේරම් මහතා විසින් එම යෝජනාව එනම් “වෙසක් දිනය එක්සත් ජාතින්ගේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු ය” යන්න එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉදිරිපත් කළේ ය. රටවල් 34 ක අනුග්‍රහය ඇති ව එම යෝජනාව එක්සත් ජාතීහු ඒකච්ඡන්දයෙන් සම්මත කළ හ. මෙම සම්මතයත් සමග බුදු දහම සහ බෞද්ධ වත් පිළිවෙත් වෙත ලෝක අවධානය යොමු වුණි. එතැන් පටන් වාර්ෂිකව එක්සත් ජාතින්ගේ සංවිධානය එහි මූලස්ථානයේ දී වෙසක් උත්සව පවත්වයි. කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන් ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස වෙසක් උත්සවය එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නිල උත්සවයක් බවට පත්වීම ලෝක බෞද්ධ ඉතිහාසයට එක්වන විශිෂ්ට ජයග්‍රහණයකි.

කුරුණෑගොඩ පියතිස්ස නා හිමි නිව්යෝර්ක් බෞද්ධ විහාරයට අමතරව ඇමෙරිකාවේ ආරම්භ කළ තවත් විහාරස්ථාන සතරක් පවතියි. ඒවා නම්, ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරය, නිව්ජර්සි බෞද්ධ විහාරය, නිව් ඉන්ග්ලන්ඩ් බෞද්ධ විහාරය සහ ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ විහාරය යි. පියතිස්ස නා හිමියන් ගේ සෑම කාර්යයකට ම නිව්යෝර්ක් බෞද්ධ විහාරවාසී අලුත්ගම ධම්මජෝති හිමි, අක්මීමන නාගිත හිමි, කුරුණෑගොඩ ධම්මාලෝක හිමි, පාරඹේ සිරිනිවාස හිමි, ඈරගම සිරිසුමන හිමි, වෑකඳවල තුසිත හිමි සහ බඹරැන්දේ සුමේධ හිමියන්ගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළ මට්ටමක පවතියි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති, රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 2019 ඔක්. 11 වැනිදා අමෙරිකානු වේලාවෙන් පෙ.ව. 10.10 ට නිව්යෝර්ක් නුවර දී අපවත් වී වදාළහ. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඔක්. 17 වැනිදා අමෙරිකානු වේලාවෙන් පෙ.ව. 10.30 ට නිව්යෝර්ක් හි ඇස්ටෝරියා බුවවාඩ් ඕසෝල් ආදාහනාගාරයේ දී පැවැත්වුණි.

අග්‍රගණ්‍ය ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස බුදු දහමින් ලොව පුබුදු කළ අතිපූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ට උතුම් වූ නිවන් සුව ලැබේවා!

දෙහිවල නව පොළොන්නරු
ගල්විහාරාධිපති
හැව්ඕවිට ගුණානන්ද හිමි

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උතුම් සිල්පද රකිමු අදිටනින් නිරතුරු

සම්බුද්ධ දේශනාවේ සඳහන් ලෙස යමෙක් දරුණු වචන නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ යනවා. අඩුම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචනයි

සම්බුදු සසුනක සිසිල විඳීන්නට ඉඩ නැති කාලයේදීත් මිනිසුන් සිල්පද රැක්කා. ඒ සීලයේ අනුසස් වින්දා. එහෙත් බුද්ධ ශාසනයක් පවතින කාලයක රකින සීලයක් තුළින් පමණයි නිවන්මඟට මාවත සැකසෙන්නේ.

අද අප සමාජයේ බොහෝ දෙනා සිතනවා සමාදන් වූ සීලය ටිකක් කැඩුණාට පවක් නැහැ, පුංචි පුංචි සතුන් මැරුවාට, විහිලුවට ඉඳහිට ‍‍බොරුවක් කිව්වාට පවක් නැහැ. බොරුවක් කියලා තව කෙනෙක් සතුටු කරන එකත් පිනක්. සාදයක දී මත්වතුර පාවිච්චි කළාට අවැඩක් නැහැ කියා කියනවා. එහෙත් සීලය පිළිබඳ අපගේ ශාස්තෘන් වහන්සේ වඩාත් ගැඹුරෙන් විවිධ ආකාරයෙන් වර්ණනා කොට තිබෙනවා.

උන්වහන්සේ විටෙක වදාළා කිරල කිරිල්ලියක් බිත්තර රකිනවා වගේ සිල්පද රකින්න කියලා. ඒ කිරිල්ලිය බිත්තර උඩට ගිහින් පාද උඩට තබාගෙන කෑ ගසමින් සිටින්නේ. ඇයි ඒ? ඇය බයයි අහස කඩා වැටිලා බිත්තර විනාශ වෙයි කියලා. එතරම්ම පරිස්සමට බිත්තර රකිනවා. බුදුරජාණන් වහන්සේ වදාළා කිරලි දෙන බිජු රකිනවා වගේ සිල්පද රකින්න කියලා.

ඒ වගේම සෙමෙර මුවාගේ වටිනාම අංගය ඒ සතාගේ වලිගයයි. සෙමෙර මුවා වලිගය රැක ගන්නේ කෙසේද? ඒ ආකාරයට තමා සමාදන් වූ සිල්පද රකින්න කියලා.

යම් මවකට සිටින්නේ එකම දරුවා නම් ඒ අම්මාගේ මුළු ජීවිතය ම ඒ දරුවා යි. එක් දරුවෙක් ඉන්න අම්මා ‍කෙනෙක් ඒ දරුවා රකිනවා වගේ සමාදන් වූ සිල්පද රකින්න ඕනේ.

එක ඇසක් ඇති මිනිසෙක් ඒ ඇස පරිස්සම් කර ගන්නවා වගේ සිල්පද පරිස්සමට රැක ගන්න ඕනේ. එහෙම නම් ටිකක් මත්වතුර ගත්තාට කමක් නැද්ද? පොඩි බොරුවක් කීවාට කමක් නැද්ද? කියන දේ අපි ම තීරණය කරන්න ඕන දෙයක්.

එක දරුවෙක් සිටින අම්මා කෙනෙක් ඒ දරුවා ටිකක් එහා මෙහා වෙනවාට කැමැති වෙන්නේ නැහැ. ඒ අම්මා හිතන්නේ මගේ දරුවාට හානියක් වෙන්න එපා කියල යි. ඒ වගේ සීලය සමාදන් වූ ඔබත් සිහිකළ යුත්තේ කුඩාවට හෝ මගේ සීලයට හානියක් වෙන්න එපා කියල යි.

අපට පුලුවන් නම් මේ ආකාරයට සිල් රැක ගන්න අපගේ මරණාසන්න ‍මොහොත කෙතරම් නම් ආරක්ෂා සහිත ද? සිල්පද රැකීම තුළ තිබෙන පුණ්‍ය විපාකය අතිශයින්ම බලවත් එකක්. එසේ නම් ‍මේ සිල්පද කැඩීමෙන් අත්වන විපාකය ද ඉතා බරපතළ බවයි ධර්මයේ සඳහන්ව තිබෙන්නේ.

සුචිලෝම කියන ප්‍රේතයාගේ නළලින් ඉදිකටු දහක් ඇතුළට යනවා. කටින් එළියට එනවා. ඔබට එක ඉදිකටුවක් ඇනුණා කියා හිතන්න. වේදනාව කෙතරම් ද? ඒ ප්‍රේතයා කෑ ගසමින් විලාප තියනවා. ඒ ඉදිකටු දහස නැවත බෙල්ලෙන් ඇතුළට යනවා. නැවත පපුවෙන් එළියට එනවා. නැවත බඩෙන් ඇතුළට යනවා. කලවයෙන් එළියට එනවා. ඉන්පසු ඒ ඉදිකටු කොන්දෙන් ඇතුළට යනවා. යටිපතුලෙන් එළියට එනවා. ‍මේ ආකාරයට අනෙක් පැත්තට සිදුවෙනවා. ඒ ප්‍රේතයාගේ ආයුෂය ගනින්න බැරිතරම්. මහත් වූ වේදනාවක් නො නවත්වා ම විඳීනවා. එක ඉදිකටුවක් තත්ත්පරයක් මේ දේ කළා නම් වේදනාව හිතන්න.

දිනක් ඒ ප්‍රේතයා තෙරුන් වහන්සේ නමකට මුණ ගැසුණා. උන්වහන්සේට මහත් අනුකම්පාවක් හටගත්තා ප්‍රේතයා දුටුවිට. උන්වහන්සේ අසනවා ඇයි මේ වගේ දුකක්? කියා.

ස්වාමිනි, මම සසරේ බොහෝ සේ කේලාම් කිව්වා. එහි විපාකයයි ‍ මේ. මම කේලාම් කියලා සමගි අය අසමගි කළා. ඒවා බලලා මම සතුටු වුණත් අද විඳීන මේ විපාකය ඉතාමත් කටුක යි‍. දුකයි. ‍මේ දේ අපගේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් ඇත්ත එයයි.

කුඩා සතුටකට දෙදෙනකු බිඳවා මහා විශාල දුකක් හදාගන්නේ ඇයි? අනවශ්‍ය දුකකට පැටලෙන්නේ ඇයි? ඒ නිසා අපි වචනය සංවර කර ගත්තොත්, නිහඬ කර ගත්තොත් සිල්පද ආරක්ෂා කර ගන්න ගොඩාක් පහසුයි.

ඒ වගේම දේශනාවේ සඳහන් වෙනවා යමෙක් දරුණු වචන කීමෙන් නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ යනවා. අඩුම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචන. තමන් අකැමැති, හිත රිදෙන, අප්‍රසන්න වචන. එනිසා තමන්ගේ දේපළ රැකගන්න ඕනෑ නම්, දේපළ විනාශ වෙනවට අකැමැති නම්, සොරකම් නොකර සිටින්නට ඕනෑ. හතුරන් ඇතිවෙනාවට අකමැති නම් වැරැදිකාම සේවනය නොකර සිටින්න ඕනෑ. කරුණු රහිතව නින්දා අපහාස අසන්නට කැමැති නැත්නම් බොරු නොකියා ඉන්න ඕනෑ. කවුරුහරි කෙනෙක් තමන්ගේ යහලුවන් බිඳෙනවාට අකැමැති නම් කේලම් නොකියා ඉන්න ඕනෑ.

තමන් සතුටු වචන ම අසන්න ආශානම් කිසිවකුට දරුණු වචන නොකියා සිටින්න ඕනෑ. තමන්ගේ වචන අනෙක් අය විශ්වාස කරනවාට කැමැති නම් බොරු නොකියා ඉන්න ඕනෑ. තමන් උමතු වෙනවාට අකැමැති නම් සුරාපානයෙන් වැළකෙන්න ඕනෑ කියලයි.

එනිසා අල්ප මාත්‍රයක්වත් සිල්පදවලට හානි කර ගන්න එපා. ඉතාමත් පිරිසුදුව රකින්න ඕනේ. කිසිදු කිලුටක් නැතිව තමන් සමාදන් වූ සිල්පද රැකගෙන තමන්ට මේ ලෝකයෙන් මිය යන්න තිබෙනවා නම් එය කෙතරම් යහපතක් ද?

එනිසා ඔබ සමාදන් වූ සිල්පද මේ වන විට කැඩුණා නම්, ඒ පාපයෙන් ගැලවෙන්න කැමැති නම් ළඟම තිබෙන සෑයක්, බෝධින් වහන්සේ නමක් අසලට හෝ නිවෙසේ පිළිම වහන්සේ අසලට හෝ ගොස් බොහෝම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් සිල්පද සමාදන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ බිඳුණු සිල්පද සමාදන් වෙන්න. එය අවංකවම කළයුතු දෙයක්.

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම තෙරුවන් සරණ ගොස් සිල්පද රකිනවා, මම මගේ වරද වරදක් ලෙස දැක්කා. ඒ වරදින් අත මිදෙනවා කියා පොරොන්දු වෙන්න.

වරදින් මිදෙන්න තදබල අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. ඉන්පසු දිවි හිමියෙන් ඒ සිල්පද රකින්න. තම පණට වඩා සමාදන් වූ සිල්පදයට ආදරය කරන්න. එතැන් පටන් ඔබ සිල්වත්. තමන් අතින් සිදු වූ වැරැදි අමතක කොට ආයති සංවරයට පත් වූ තැන සිට ඔබ සිල්වත් වෙනවා. එවිට පැරැණි වරදට සිත දොස් කියන්නේ නැහැ. වරදින් නැඟී සිට සිල්වත් ජීවිතයක් ගත කරනවා.

ඉන්පසු ඒ සීලය පිළිබඳ සෑම දිනක ම නින්දට පෙර ආවර්ජනයක් කරන්න. අද දවස පුරාවට ම මම සතෙක් මැරුවේ නැහැ. සොරකම් කළේ නැහැ. වැරැදිකාම සේවනය කළේ නැහැ. බොරු කිව්වේ නැහැ. මත්වෙන දෙයක් පාවිච්චි කළේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් කියලා දිනපතා සතුටු වෙනවා. රකින සීලය සිහි කර කර සතුටු වෙනවා. මේ දුක්ඛිත සසරින් එතෙර වීමට කැමැති බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා ගමන් කළයුත එකම මාවත ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලයි අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ. එනිසා අපිත් උතුම් තිසරණය ආරක්ෂා කරමින් සමාදන් වූ සිල්පද රකිමින් මේ දුක්ඛිත සසරින් එතෙර වීමට වහ වහා උත්සාහ කරමු.

සම්බුදු දහම විමසා බලන්න පිළිවෙත් මඟට එකතු වන්න


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි

ධර්මය හෝ දහම නම් වූ වචනය ඕනෑම ඉගැන්වීමක් වෙනුවෙන් යොදාගත හැකි වචනයකි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අප විසින් දහම නම් වූ පරියාය වචනය භාවිත කරන්නේ කුමන අදහසින් ද? මිනිස් සන්තානයේ සකස් වෙන්නා වූ ලෝභ, දෝෂ, මෝහ නම් ප්‍රධාන වූ, මෙලොව, පරලොව අනර්ථකාරී බව නිර්මාණය වන කෙලෙස් බැහැර කරවන, පාරිශුද්ධ වූ චිත්ත සන්තානයක සන්සිඳීමක් හෙවත් සමාධියක් ඇතිකරවන නම් වූ අදහසිනි.

මෙම දහම, ධර්ම පරියායක් ලෙස සීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව ඔස්සේ ක්‍රියාවට නැංවෙයි. දර්ශනයක් යනු යම් සිද්ධාන්තයක් ඔස්සේ චින්තන මාර්ගයක් ඉදිරිපත් කිරීමයි. එය පූර්ව නිගමනවලින් බැහැරව සහ ඉන්ද්‍රිය ගෝචර නොවන විශ්වාසවලින් සහ සංකල්පවලින් තොර වූවකි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වල, ශාස්තෘවරයෙක් ලෙස මඟ පෙන්වීම සිදු කෙරේ. එනමුත් එය දේව විශ්වාසයක මෙන් මිනිස් සිතට බලපැවැත්මක් නොකෙරේ. ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් බැහැරව සිතීමේ සහ විමසීමේ නිදහසක් කැමත්තෙන් අනුගමනය කරන්නන්ට ලබා දෙයි. මේ බව කාලාම සූත්‍ර දේශනාවෙන් ප්‍රකට කෙරේ.

එමඟින් තමාගේ ම අත්දැකීම්වලින් මෙන්ම බාහිර ලෝකය ද ඇසුරු කරගෙන දැක්ම හෙවත් දර්ශනය සකස් විය යුත්තේ ය. මේ අනුව බෞද්ධ ඉගැන්වීම් වඩාත්ම දර්ශනයක් ලෙස ද සැලකිය හැක්කේ ය. කෙසේ වෙතත් බෞද්ධ ඉගැන්වීම් යථාභූත ඥාන දර්ශනයකි. එය අසවල් කොටසට පමණක් අයත් ය යනුවෙන් අවසාන නිගමනයකට පැමිණිය නොහැක්කේ ය.

වර්තමානයේ යම් පිරිස් පවසන පරිදි බුදුදහම ද ආගමකට සීමා කොට, බෞද්ධ ඉගැන්වීම්වලින් ද බැහැරව නිදහස්ව සිතන්නට, කියන්නට, ක්‍රියා කරන්නට සුදුසු ය යන්න ය. එසේ පවසන පිරිස් අඩුම තරමේ තථාගතයාණන් වහන්සේ ලොවට වදාළ “මෙත්තා” නම් මෛත්‍රිය පිළිබඳවත් සිත සිහිය යොමු කළ යුතු වන්නේ ය. ලෝකයේ “යහපත් ය” නම් වූ බොහෝ පිරිස් මනුෂ්‍යයන් පමණක් ගැන සිතද්දී බුදුදහම මනුෂ්‍යයන් ද ඇතුළුව සියලු සත්ත්වයන් කෙරේම හිතවන්ත බව පුරුදු කිරීමට ඉගැන්වීය. මානව අයිතිවාසිකම් පමණක් නොව සියලු සත්වයින්ට ම ජීවත්වීමේ අයිතිය තහවුරු කළේ ය. තමා තමාට දක්වන හිතවන්ත බව මෙන්ම සියලු සත්ත්වයෝම ඔවුන්ට හිතවන්ත බව උපමාකොට ගෙන කිසිදු මනුෂ්‍යයකුට හෝ වේවා සත්ත්වයකුට හිංසා නොකළ යුතු බව සහ ජීවිත හානි නොකළ යුතු බව අවධාරණය කළේ ය. දැඩි වූ තෘෂ්ණාවෙන් ඔවුනොවුන් මරණයට පත් කරන්නට අවි ආයුධ නිෂ්පාදනය කරමින්, භෞතික ලෝකයේ වස්තූන් වෙනුවෙන් දැඩි තරගයක නිරතව සිටින ලෝකයාට සියලු සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක වස්තුන්ගේ ඇති අස්ථිර බව පෙන්වාදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමද, මිනිස් සංහතියේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය ද පෙන්වා දුන්හ. මෙය මූලික පියවරේ දී දානාදී පාරමී ධර්ම සම්පූර්ණ කිරීමක් ලෙස ඉගැන්වෙයි. අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ තිලක්ඛණය ඉදිරිපත් කළේ ලෞකික ජීවිත, සාමාන්‍ය ලෝකයා සිතන පරිදි දුකට හෝ අකර්මණ්‍යය කරන්නට හෝ මෙලොව දියුණුව නැති කරන්නට නොව, මනුෂ්‍යත්වයේ හැබෑ තේරුම, උතුම් සැනසිල්ල තමා වෙතින් ම අවබෝධයෙන් යුතුව මතු කර ගන්නට ය.

බුදුදහම මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා නම් වූ සතර ආකාරයක උතුම් වූ හැසිරීම් නම් වූ සතර බ්‍රහ්ම විහරණ ඔස්සේ සියලු දෙනාම සමගියට පරෝපකාරයට සමීප කරයි. සියලු දෙනාටම සාමානාත්මතාවයෙන් යුතුව දිළිඳු අයට පරිත්‍යාග කරමින්, වචනයෙන් පමණක් නොව පිරිසුදු සිතින් ම මවුපිය, දූ, දරු, සොහොයුරු, සොහොයුරියන් සේ ගරු කරන්නට උගන්වන ප්‍රතිපදා මාර්ගයක බුදුදහම පිළිපදින බොහෝ පිරිසක් සාමාන්‍ය ජන ජීවිතයේ සතුට සහ යහපත ද දියුණුව සහ ස්වයං සන්තුෂ්ඨිය පිණිස ද උගන්වන මංගල, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, වසල පරාභව වැනි සූත්‍ර පිළිබඳ දැනුම්වත් වී ඇත.

මේ මඟින් මිනිස් සිතේ අති කරගත යුතු ගුණාංගත්, මනුෂ්‍ය ප්‍රජාවට විපත් ගෙන දෙන කායික, මානසික සහ වාචසික ක්‍රියාදාමයන් බැහැර කරගත යුතු ආකාරයත් මැනවින් පෙන්වා දෙයි.

පඤ්ච සීලයෙන් මූලිකව මනුෂ්‍යත්වය පිරිසුදු කොට, සතර සතිපට්ඨානයෙන් දුක් දොම්නස් බැහැර කොට සියලු දුකින් නිදහස් වන සදාකාලික විමුක්තියට කැඳවාගෙන යන අසිරිමත් වූ ද, සුන්දර වූ ද මානුෂීය ප්‍රතිපදා මාර්ගයකි. බිය ගන්වා බලයෙන් ඇදහීමට හෝ විශ්වාස කිරීමට යොමුකරන මඟක් ද නොවේ.

භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යයෙකි. එනමුත් සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයන් කෙරේ පවත්නා වූ රාග, දෝෂ, මෝහ මුළුමනින් ම බැහැර කළ ආශ්චර්යවත් වූ, උතුම් වූ මනුෂ්‍ය රත්නයකි. එය සංකේතවත් කළේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නම් වූ “බුද්ධ” නම් වූ වචනයෙනි.

එය ද දක්වන්නේ ඇවිත් නුවණින් යුතුව පරීක්ෂා කොට බලන්නට මිස අන්ධ භක්තියෙන් යුතුව අදහන්නට නොවේ. භාග්‍යවතුන් වහන්සේට හැබෑවටම ගරු කරන්නා නම් මේ ප්‍රතිපදා මාර්ගය අවබෝධයෙන් යුතුව අනුගමනය කොට ඵල ලබන්නා මිස අනවබෝධයෙන් වැඳුම් පිඳුම් හෝ පුද පූජාවල නිරත වෙන්නා නොවේ. සතිපට්ඨානයේ උගන්වන “සති - සම්පඡඤ්ඤය” අවබෝධයෙන් යුතුව මේ මොහොතෙහි සිත සිහිය පිහිටුවා ගැනීම, අධ්‍යාපනික, ආර්ථික, සාමාජික සහ පවුල් පාරිසරික ආදී කුමන රටාවකට ද යොමු කර ගැනීමෙන් එහි නැණවත්, සත්පුරුෂයන් බලාපොරොත්තු වන සාර්ථකත්වයක් ඇති කරගත හැකි ය. වර්තමානයේ බොහෝ සමාජ කණ්ඩායම් අතර පවත්නා ආතතිය (Stress) දොම්නස (Depression) දුරු කර ගැනීමට කදිම මානසික ඖෂධයකි. මෙය නොදත් හෝ නොසලකා හරින්නෝ දුර්ලභ වූ ලැබූ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් නොදෙති.

බෞද්ධ නමින් පෙනී සිටින යම් අයෙක් ප්‍රතිපදාව අනුගමනය නොකොට ලාභ, අලාභ ආදී අෂ්ඨ ලෝක ධර්මයට ජීවිතාබෝධයෙන් යුතුව මුහුණ දී ගත නොහැකිව දහමින් ඉවත්වෙනවා යැයි පැවසීම හෝ දහමට ගැරහීම නියමාකාර පිළිතුර දැයි විමසිය යුතු වන්නේ ය.

ශ්‍රී ලාංකික පරිසරයේද මව්පිය, දූ දරු, ස්වාමි භාර්යා, ගිහි පැවිදි මනා වූ සම්බන්ධයක් ගොඩනඟා මනුෂ්‍යත්වයේ හැබෑ අරුත කියා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලිනි.

මෙය මනා ලෙස අවබෝධ නොකර ගන්නා වූ පුද්ගලයෝ සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත්තාක් මෙන් චාරිත්‍ර වාරිත්‍රවල පමණක් මූලික තැනක් දී ක්‍රියා කොට ගැටුම් ඇතිකර ගනිති. කලින් කල සිදුවන සාමාජික හෝ ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමේ දී දහම වරදවා පලිහක් කර ගැනීමට උත්සාහ ගනිති. තම පුද්ගලික අභිමතාර්ථ ඉටු නොවන අවස්ථාවේ දී දහමෙහි වරදක් බව සිතති. වර්තමානයේ ලෙඩ සනීප කරනවා ය නම් වූ ඇදහිලි සංකල්පය ද එවැන්නකි. පරමාර්ථ ධර්මයම ප්‍රධාන කොට බුදුදහම විමසා බලන්නට පිළිවෙත් මඟට එකතු වන්නට ද ආරාධනා කරමි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අපායේ නොවැටෙන්න උපාය දැන ගන්න

 

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි

සිතුල්පව්ව විහාරයේ වැඩසිටියා සාමණේර හා උපසම්පදා භික්ෂූන් වහන්සේ බොහෝ පිරිසක්. කලක් මේ විහාරය තෙරුන් වහන්සේ දොළොස් දහසකින් පිරී පැවතියා. සාමණේර පැවිද්ද ලැබූ තරුණයෙක් මහ තෙරවරුන්ගෙන් කමටහන් ඉල්ලාගෙන භාවනා කළා. තරුණයාගේ පැවිද්දෙන් පසු ඔහුට ‘තිස්ස’ යන නම ලැබුණා. අලුතින් පැවිදි වුණු නිසා උපසම්පදාව ලබා ගත්තේ නෑ.

ටික කලක් වත් පිළිවෙත් පුහුණු වෙන්න අවස්ථාව ලබා දුන්නා. ගෙදරින් වෙන්වෙලා ඉන්න මේ තරුණ භික්ෂූන් වහන්සේට නිතර නිතර නිවැසියන් මතක් වෙන්නත්, සිවුර අත්හැර යන්නත් හිතෙන්න පටන් ගත්තා. ඒත් නැවතත් ගෙදර යන්න ඔහුට බය හිතෙනවා. දවසක් හිත දැඩි කරගෙන මෙහෙම හිතුවා.

‘මම හිස රැවුල් කපන්නේ නැති නිසා, ඒ වගේම සිවුරු පිරිකර අපිළිවෙළකට තියන නිසා, මට එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. හෙට මගේ හිස රැවුල් කපනවා. පාත්‍රය සිවුරු පිළිවෙළකට තබනවා’යි හිතලා පසුදා උදෙන් ම අවදි වුණා. රාති‍්‍රයේ හිතපු විදිහට ම සිවුරු සෝදා වැලට දැම්මා. පාත්‍රය පිරිසුදු කර පිළිවෙළකට තැබුවා. කුටිය ලස්සනට පිළිවෙළකට සකසා ගත්තා.

හිත සංවර කර ගන්න මේ භික්ෂුවට ලොකු වුවමනාවක් තියනවා. එය යටපත් කරමින් සිවුරු හැර යන්නටත් සිතිවිලි පහළ වෙනවා. කටයුතු අවසන් කර උපාධ්‍යායන් වහන්සේ වෙත ගිහින් තෙරුන් වහන්සේට වන්දනා කළා. ඔහුගේ මුහුණේ පෙර තිබුණු ශාන්ත බව, සසුනට ඇති කැමැත්ත ආදිය නැතිවෙලා ගිහින්. බොහෝ දුකට පත් ස්වභාවයක් තමයි දැක ගන්න පුළුවන් වුණේ.

ගුරුවරයා ඔහු දුටු විගස එය දැනගෙන ‘තිස්ස, ඔබ කළකිරීමට පත්වෙලා වගේ පේනවා”යි ප්‍රශ්න කළා.

එවිට තිස්ස තෙරණුවෝ ගුරුවරයා අමතමින් ‘එසේ ය, ගුරුදේවයන් වහන්ස, මම මේ ශාසනයේ කළකිරිලා ඉන්නේ. මට නිතරම ගෙදර මතක් වෙනවා. එය යටපත් කර ගන්න උත්සාහ ගත්තත් එය කර ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ”යි පිළිතුරු දුන්නා. ඒ කතාව අහගෙන හිටිය ගුරුවරයා ‘හොඳයි, ඔබට ශාසනයේ පිළිවෙත් පුරන්නට අපහසු බවක් දැනෙනවා නම්, ඔබ පැවිද්දෙන් ඉවත් වෙලා යන්න. ඒත් යන්න ඉස්සෙල්ලා මට පොඩි උදව්වක් කරලා යන්න.

මං දැන් ගොඩාක් වයසයි. ඉස්සරහට මම ලෙඩ ඇඳටයි වැටෙන්නේ. ආරාමයේ එකම කුටියක්වත් නෑ පහසුකම් තියන. ඔබට පුළුවන් නම් මට හොඳ කුටියක් හදල දීලා යන්න’යි පවසා සිටියා.

තරුණ භික්ෂුන් වහන්සේට දැන් බොහොම සතුටුයි. ‘ගුරු දේවයන් වහන්සේ මට යන්න දුන්නා. උන්වහන්සේගේ ඉල්ලීම මම නොපමාව ඉටු කර දෙන්න ඕන’යි හිතලා

‘ස්වාමිනි, ගුරුදේවයන් වහන්ස, මම ඉතා කැමැත්තෙන් ම ඒ කටයුත්ත බාර ගන්නවා. ඉක්මනින්ම මම කුටියක් හදලා පූජා කරලා යන්නම්’ යි පිළිතුරු දුන්නා.

තරුණ තෙරුන් වහන්සේගේ පිළිතුර අසා සිටි ගුරු තෙරුන් වහන්සේ නැවතත් මෙහෙම කිව්වා. ‘මට බොහොම සතුටුයි, ඔබ වහන්සේ එම කාර්ය කර දෙන්න බාර ගත්ත එක ගැන. කුටියේ වැඩ ඉවර වුණහම ගෙදර යන්න තීරණය කළානේ. ගෙදර ගියහම බණ දහම් අධ්‍යයනය කරන්න ලැබෙන එකක් නෑ.

ඒ නිසා කුටියේ වැඩ කරන ගමන් පුළුවන් හැම වෙලාවක ම ධර්මය අධ්‍යයනය කරන්න. ඒක අත්හැර දාන්න එපා. ආහ්, තව දෙයක් කියන්න තියනවා. කමටහන් ගන්න එකත් අත්හරින්න එපා. ආරාමයේ ඉන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොහොතක් හරි හිත සංවර කර ගත්තොත් ඒක වටිනවා. ඒවා මතක තියාගෙන කුටියේ වැඩ ටික කරල දෙන්න’යි උපදෙස් දුන්නා.

දැන් තරුණ භික්ෂුන් වහන්සේට තවත් සතුටුයි. ලොකු පී‍්‍රතියක් දැනෙන්න පටන් ගත්තා. ගුරු හිමියන්ගේ ඉල්ලීම ඉක්මනින්ම ඉටු කර දෙන්න තීරණය කළා. එදාම සිතුල්පව්ව කන්දට ගොඩවුණා. ලෙන් ගණනාවක් ම පරීක්ෂා කර බැලුවා. වයසට ගිය කෙනකුට වැඩ සිටීමට හැකි ලෙනක් තෝරා ගත්තා. එය වවුලන්ගෙන් හා වෙනත් සතුන්ගේ වාසයෙන් අපිරිසුදු වෙලා. කැලෑවට ගිහින් දර මිටි බැඳගෙනවිත් ලෙනට දමා ගිනි දැල්ලුවා. පසුව අළු සෝදා හැරියා. ගඩොල් ගෙනාවා. ගල්ලෙන වටේටම ගඩොල් අල්ලා බිත්ති බැන්දා. දොර, ජනෙල් තැබුවා. හුණු පිරියම් කළා. කුටිය සමීපයෙන් සක්මන් මළුවක් ද නිර්මාණය කළා. කුටියට අවශ්‍ය කරන ඇඳ, පුටු, මේස ආදියත් ගෙනත් තැබුවා. දැන් අංග සම්පූර්ණ කුටියක්. එය දකින කොට තරුණ භික්ෂුවට ලොකු සතුටක් දැනෙන්න පටන් ගත්තා. තමන් කරපු කාර්ය ගුරුහිමියන්ට කියනතෙක් හා පෙන්වනතෙක් ඉවසුමක් නෑ. වැඩ අවසන් වූ දිනම ගුරුහිමියන් හමුවට ගිහින්.

‘ස්වාමිනි, ඔබ වහන්සේට වැඩ සිටින්න ලස්සන කුටියක් මම සැකසුවා. එහි වැඩම කර වැඩ සිටින්න”යි ආරාධනා කළා.

ඒ අවස්ථාවේ ගුරු හිමියෝ ‘ආයුෂ්මත් තිස්ස, මම බොහොම සතුටුයි ඔබගේ අපමණ කැප කිරීම්වලට. මම ඒ කුටිය බාර ගන්නවා. එහි වැඩ සිටිමින් මගේ භාවනා කටයුතු ආදියත් මම කරනවා. මට ඔබ ගැන දැනෙන්නේ ලොකු සතුටක්. ඒ සතුට තවත් වැඩි වෙනවා මා මේ කියන කටයුත්ත ඔබ විසින් කරතොත්’යි පවසලා මෙහෙම කිව්වා.

“ආයුෂ්මත් තිස්ස, ඔබ දුක සේ තමයි මේ කුටිය කළේ. මම එය මගේ ඇස්වලින් ම දැක්කා. මම කැමතියි ඔබ එක දවසක් අලුත් කුටියේ වැඩ සිටිනවා දකින්න’යි පැවසුවා.

තිස්ස තෙරුන් වහන්සේට ගුරු හිමියන්ගේ ඉල්ලීම ඉවත දාන්න ක්‍රමයක් නැතිව ගියා.

“එසේ ය ස්වාමිනි, මම දවසක් එහි වැඩ වසන්නෙමි”යි පවසා පළමු රාති‍්‍රය ගත කරන්න ගියා.

කුටියේ වැඩ සිටින තිස්ස තෙරුන්ට පුදුම සතුටක් දැනෙන්න පටන් ගත්තා. ‘මම හදපු කුටිය හරිම ලස්සනයි. එහි පළමු රාති‍්‍රය ගත කරන්න ගුරුහිමියෝ අවසරත් ලබා දුන්නා. උන්වහන්සේගේ ගුණ පුදුමයි.’

යනාදි වශයෙන් කල්පනා කරමින් සතුටට පත් වෙන්න පටන් ගත්තා. තමාට ලැබෙන මේ සතුට කාම ලෝකයේ සතුට බවත්, නිවසට ගියත් මෙවැනි ම සතුටක් මිස නිරාමිස සතුටක් නො පැමිණෙන බවත් කල්පනා කර විදසුන් වඩන්න පටන් ගත්තා.

එදින පහන් වන විට තෙරුන් වහන්සේ අර්හත්භාවය ලබා ගැනීමට තරම් වීර්යවන්ත වුණා. ගුරුවරයාගේ සියුම් උපක්‍රම නිසා තරුණ භික්ෂුවක් සංසාර චක්‍රයෙන් ගලවා ගැනීමට සමත් වුණා.

සිත කළකිරීමට පත්වන පුද්ගලයින්ට නැවතත් නිවැරැදි මාර්ගය පෙන්වා දෙන්න නම් උපායශීලි ව බුද්ධිමත් විය යුතු බව මේ කතා පුවතින් අපට පෙන්වා දෙනවා. මේ කතා පුවත සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය අට්ඨ කතාවේ ඒකක නිපාතයේ දෙවැනි වර්ගයේ යි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මේ ආත්මයේ දී ම නිවන් දැකීමට නම් ...

 

කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ

බෞද්ධයාගේ පරමාර්ථය නිවන් දැකීමයි. සසරින් එතෙරවීම හෙවත් සියලු ජාති ජරා මරණාදි සියලු දුක් නැතිකොට නිවන් සාක්ෂාත් කිරීම මතු සම්බුදු සසුනක දී නොව මේ සසුනේ දී ම, මේ ආත්ම භවයේ දී ම කළ යුතු නොවේ දැයි බොහෝ දෙනා විමසන බව පෙනේ.

රාග, දෝස, මෝහා දියෙන් වෙළී ගැලී සිටින පෘථග්ජන පුද්ගලයා එම රාග, දෝස, මෝහයන් සහමුලින් නැසීම කළ යුතු වේ. එබැවින් නිවන් අවබෝධ කිරීම පිණිස සපුරාලිය යුතු කරුණු ගණනාවකි.

පළමුවෙන් නුවණැති විචක්ෂණ පුද්ගලයකු විය යුතු ය. එමෙන්ම සත් පුරුෂයකු විය යුතු ය. එබදු තැනැත්තාට කරුණු පහක් දියුණු කර ගැනීමෙන් මේ ආත්මභවයේ දී ම උතුම් නිවන ලබා ගත හැකි බව බුද්ධ දේශනාවේ සඳහන් වෙයි.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු මහා සිටාණන් සහ අග්‍ර දායිකාව වූ විශාඛා මහ උපාසිකාව අරබයා කළ ධර්ම දේශනාවක දී එම කරුණු පහ මෙසේ වදාළහ.

* ශ්‍රද්ධාව දියුණු කළ යුතු ය
* ශීලය දියුණු කළ යුතු ය
* ප්‍රඥාව දියුණු කළ යුතු ය
* ත්‍යාගය දියුණු කළ යුතු ය
* බහුශ්‍රැතභාවය දියුණු කළ යුතු ය

මේ කරුණු පහ වැඩි දියුණු කළ විචක්ෂණශීලි සත්පුරුෂයා මේ ආත්ම භාවයේ ම තම ජීවිතයේ උතුම් සාරය වන නිවන ලබා ගනියි.

මේ අනුව මේ ආත්මභාවයේ දී ම නිවන සාක්ෂාත් කිරීමට ඉහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි. ඒ කරුණු පහ විමසා බලමු.

සැදැහැ සිත

නව අරහාදී බුදුගුණ, ස්වාක්ඛාතාදී දහම් ගුණ සය, සුප්‍රතිපන්නතාදි සඟගුණ නවය යන සූවිසි මහගුණ ඇදහීම හා කර්මය හා කර්ම ඵලය ඇදහීම ලෙස ශ්‍රද්ධාව හඳුන්වා දී ඇත. තෙරුවන් සරණයාම බෞද්ධ ජීවිතයේ ප්‍රධාන ලක්ෂණයයි. ඔහු අවශ්‍යයෙන් ම බුදුගුණ, දහම් ගුණ සඟ ගුණ හොඳින් දැන ඉගෙන තහවුරු කර ගත යුතු ය. “ රහසත් පව් නොකරන හෙයින් ද, කෙලෙස් අර නැසූ හෙයින් ද, දේව මනුෂ්‍ය බ්‍රහ්මාදීන්ගේ පූජාවන් ලැබීමට සුදුසු වන හෙයින් ද අරහං ගුණය මාගේ බුදුරජාණන් වහන්සේ තුළ පිහිටා ඇත. යනාදී ලෙසින් සුවිසි මහගුණ හැදෑරීමෙන් “ ශ්‍රද්ධා” ගුණය වැඩි දියුණු කර ගත යුතු ය. ශ්‍රද්ධාවන්තයා හඳුනා ගත හැකි ලක්ෂණ 3 කි.

සැදැහැවතුන් ම ඇසුරු කරන්න

සද්ධර්මය ශ්‍රවණය කිරීම හා මසුරු මල දුරු කොට දන් දීම ය.

භික්ෂූන් වහන්සේ වෙත පැමිණ වන්දනා මාන කිරීමෙන් ද, දහම් කරුණු විමසා දැන ගැනීමෙන් ද ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගත හැකිය. එමෙන් ම දානානිසංස සලකා තමන් සතු ධන ධාන්‍යාදිය පරිත්‍යාග කිරීමෙන් ද ශ්‍රද්ධා දී ගුණ ධර්ම වැඩේ. තෙරුවන් ගුණ පිළිබඳ හා කර්මය, කර්මඵල පිළිබඳ හොඳ අවබෝධයක් එමඟින් ලැබෙන බැවිනි.

ආශ්‍රය පුද්ගලයාගේ සිතිවිලි, ක්‍රියා හා අදහස් හැඩගැස්වීමට බලපාන බැවින් ශ්‍රද්ධාව හීන පුද්ගලයන් ආශ්‍රය නොකොට ශ්‍රද්ධාවන්තයන් ම ඇසුරු කිරීම කළ යුතු වෙයි.

කර්මය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ලබා ගැනීම ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. කුසල කර්ම හා අකුසල කර්ම, කුසල විපාක හා අකුසල විපාක ආදිය ධර්මානුකූලව දැනගත යුතු වෙයි.

විචිකිච්ඡා හෙවත් සැකය ශ්‍රද්ධාව දුර්වල කරන බැවින් දහම් පත පොත කියවා හෝ ධර්ම දේශනාවලට සවන් දීමෙන් හෝ ධර්ම සාකච්ඡා මඟින් හෝ නොපැහැදිලි කරුණු විසඳා ගැනීමට උත්සාහ කළ යුතු ය. බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, ජාතක පොත් වහන්සේ රචනා කළේ බෞද්ධයා තුළ ශ්‍රද්ධාව වර්ධනය කිරීමේ අරමුණෙනි. එම නිසා බණ පොත් කියැවීමත්, නිශ්ඵල ප්‍රබන්ධ කියැවීමෙන් වැළකීමෙන් මෙලොව දී ම නිවන් දැකීම අරමුණු කර ගත් ඔබ විසින් කළ යුතු ය.


ශීලය වැඩීම

ශීලය යනු ප්‍රාණඝාතාදි අකුසලයන්ගෙන් වෙන් වීමේ දී හා වත් පිළිවෙත් පිරීමේ දී සිතේ ඇති වන චේතනා දී ධර්මය යි. ශීලය පිළිබඳ ප්‍රභේද රාශියක් ධර්ම ග්‍රන්ථවල විස්තර කර ඇත. ඒ අතුරෙන් චාරිත්‍ර ශීලය හා වාරිත්‍ර ශීලය යන දෙවදැරුම් ශීලය ගැන අවධානය යොමු කරන්නේ නම්, ඉහත විග්‍රහය තවදුරටත් අවබෝධ කර ගත හැක.

චාරිත්‍ර ශීලය නම්, වත් පිළිවෙත් පිරීමයි. මේ දේ මෙසේ කළ යුතු යැයි පිළිගත් සාරධර්ම කඩ නොකොට පිළිපැදීමයි.. පැවිද්දනට පිඬුසිගා යාමේ, බණ දෙසීමේ, ආරාමය තුළ සිටීමේ , විවිධ අවස්ථාවල දී පිළිපැදිය යුතු වත් 14ක් දක්වා ඇත. ගිහියනට ද සමාජය පිළිගත් සත් චාරිත්‍ර අනුගමනය කිරීම චාරිත්‍රශීලය වෙයි. නිවන් අරමුණු කර ගත් පුද්ගලයා තුළ මෙම චාරිත්‍ර හෙවත් ආචාරශීලය අනිවාර්ය වෙයි.

වාරිත්‍ර ශීලය යනු ප්‍රාණඝාතයෙන් වැළකීම ආදි වශයෙන් පංචශීලය යනාදියයි.

මුලින් සඳහන් කළ ශ්‍රද්ධාව ශීලය ආරක්ෂා වීමට හා පිරිසුදු වීමට හා වැඩි දියුණු වීමට මහෝපකාරි වෙයි. එදිනෙදා ජීවිතයේ දී පංචශීලය සමාදන්ව ආරක්ෂා කිරීම ද පොහොය දින අෂ්ටාංග ශීලය හෝ දසශීලය සමාදන්ව පිරිසුදුව ආරක්ෂා කිරීම තුළින් ද ශීලය වැඩි දියුණු කරගත හැකි ය.

නුවණ දියුණු කරමු

“ ප්‍රඥා” ව නම් ඇත්ත ඇති සැටියෙන් දැනීමයි. එනම් තත්වාවබෝධයයි. “ සම්මාදිට්ඨී” යන්නෙන් කියැවෙන්නේ ද ප්‍රඥාාවයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අවබෝධ කර ගත හැක්කේ ප්‍රඥාාවෙනි. නිවන සඳහා ප්‍රඥාාව අත්‍යවශ්‍ය වෙයි. විදර්ශනා ප්‍රඥාාවෙන් මාර්ග ඵලාවබෝධය සිදු වේ.

ප්‍රඥාාව වැඩි දියුණු කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කළ යුතු ය. ධර්ම සාකච්ඡාවල නිතර නිරත විය යුතු ය. එසේම සමථභාවනාව හා විපස්සනා භාවනාව ද ප්‍රගුණ කළ යුතුය.

තමන් සතු වස්තුව පූජාවක් වශයෙන්, අනුග්‍රහයක් වශයෙන්, සංග්‍රහයක් වශයෙන් දීම පරිත්‍යාගයයි. ශ්‍රද්ධාවෙන්ම දන් දිය යුතු ය. යහපත් සේ පිළියෙළ කොට දිය යුතු ය. පොහොය දිනය ආදී සුදුසු කාලයෙහි දිය යුතු ය. දෙන වස්තුවෙහි ආශාව ඉතිරි කර නොගෙන දිය යුතු ය. තම සිතට හෝ අනුන්ගේ සිතකට පීඩාවක් ඇති නොවන සේ දිය යුතු ය. දන් දීමේ විපාකවන ආයු, වර්ණ, සැප, බල ප්‍රඥාා යන අනුසස් දැන, ශක්ති පමණින් නිතර නිතර පිරිසුදු සිතින් දන් දෙමින් නිවන් පිළිවෙත පිරිය යුතු ය.

ඇසූ පිරූ තැන් ඇතිබව

නිතර ධර්ම ශ්‍රවණය කිරීමෙන් බහුශ්‍රැත භාවය ඇති වෙයි. බහුශ්‍රැත භාවය වැඩි දියුණු කිරීම සඳහා නිතර නිතර ධර්ම ග්‍රන්ථ කියවීම, ධර්ම සාකච්ඡාවල නිරත වීම, ධර්ම කොට්ඨාස පාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙසේ සත්පුරුෂ වූ, විචක්ෂණශීලි පුද්ගලයා ශ්‍රද්ධා, ශීල, ප්‍රඥාා, ත්‍යාග, සුඛ යන කරුණු පස වැඩි දියුණු කිරීමෙන් ම අනාථපිණ්ඩික විශාඛාදීන් මෙන් මේ ආත්මභවයේ දීම අමා මහ නිවන් සැපත පැමිණෙනු ඇත.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ වංගීස මහ රහතන් වහන්සේ

වංගීස තෙරුන් වහන්සේ ඇතැම් වේලාවට බුදුන් වහන්සේ හමු වීමට වැඩම කරන්නේ බුදු ගුණ ප්‍රකාශිත ගාථා විසිතුරු ව විචිත්‍රවත් ව සජ්ඣායනා කරමිනි. නිකලෙස් වූ උන්වහන්සේ මෙලෙස බුදු ගුණ ගී ගයන්නේ අවබෝධයෙන් යුතු ව , නොඇළුණු සිතිනි.

ලොවේ ඇති ඉහළම පදවිය සම්බුදු පදවිය යි. ප්‍රථම ධර්ම දේශනාවෙන් පසුව විවිධ අවස්ථාවල දී සම්බුදු සසුනේ පැවිදි ව මහ රහත් වූ භික්ෂු, භික්ෂුණීන්ට අග්‍ර ශ්‍රාවක, ශ්‍රාවිකා තනතුරු ලැබුණේ නිසි ලෙස යි.

මේ පින්වතුන් පෙර සසර භවයන්හි සිට ම තනතුරු ප්‍රාර්ථනා කරමින් සිදු කළ පින් දහම්, වැඩූ කුසල් අපමණ යි. බුදුන් වහන්සේ සම්බුදු නුවණින් එවැනි උත්තමයන් දෙස බලා තනතුරු ප්‍රදානය කළේ කිසිදු අසාධාරණයක් නොවන ලෙසයි. දිනක් ඡුන්න හාමුදුරුවන්, බුදුරදුන්ට මැසිවිලි නැඟුවේ එවැනි තනතුරක් තමාට නොදීම ගැන යි. එහිදී බුදුන් වහන්සේ වදාළේ, ඔබ වහන්සේ එවන් තනතුරක් සසරෙහි පතාගෙන නොපැමිණි බවත්, තනතුරු ප්‍රාර්ථනා කරමින් පින් දහම්, කුසල් නො වැඩු බවත් ය.

ඒ අනුව සම්බුදු සසුනක තනතුරු ලබා ගැනීමට ප්‍රාර්ථනා කර, පින් දහම් කළ තවත් සුවිශේෂී අසූමහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වන්නේ වංගීස මහ රහතන් වහන්සේ යි. උන්වහන්සේ අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂුන් වහන්සේ අතරින් අග්‍ර ය. මේ රහතන් වහන්සේ නිබඳව ම විසිතුරු උපමා, අලංකාර වචන භාවිත කරමින් නොයෙක්, පද සිය දහස් ගණනින් බුදු ගුණ වර්ණනා කරන්නේ විචිත්‍රවත් ලෙස ය. එහෙයින් අවබෝධයෙන් යුතුව වචන කථා කරන භික්ෂුන් අතුරෙන් අග්‍ර වූ උන්වහන්සේගේ සසර මඟ පැතූ එම පදවිය උදෙසා කළ පින් දහම් අපමණ ය.

ඒ කල්ප ලක්ෂයකට පෙර ලොවේ පහළ වු පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ ය. මෙකල වංගිස තෙරුන් වහන්සේ හංසවති නුවර උපත ලැබුවේ එක්තරා ධනවත් කුල පුත්‍රයෙක් ලෙස ය. දිනක් මොහු බුදුන් වහන්සේගෙන් බණ අසමින් සිටිය දී දුටු දසුන විශේෂීත ය. ඒ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂුන් වහන්සේ අතරින් අග්‍ර ලෙස පිහිටුවීම යි. එලෙස ‘මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේ යැ’යි සිතා, සත් දිනක් මුළුල්ලෙහි ම බුදුන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට මහ දන් දුන්නේ සත් දිනක් මුළුල්ලේ ය. මෙලෙස දන් පිදූ මොහු තම අභිප්‍රාය දන්වා සිටියේ දන් පිදූ සත්වන දිනදී ය. පදුමුත්තර බුදුන් වහන්සේ එයට නියත විවරණ ලබා දුන්නේ මොහුගේ පැතුම ගෞතම බුදු සසුනේදී සඵල වන බවට ය.

මෙලෙස දෙව් , මිනිස් ලොව උපත ලබමින් පින් දහම් කළ මොහු සසරේ අවසන් භවයේ දී උපත ලැබුවේ සැවැත් නුවර ය. ඒ බමුණු කුලයක වංගීස නාමයෙනි. ත්‍රිවේදය හොඳීන් ඉගෙන ගත් වංගීස එක්තරා මන්ත්‍රයක් ඉගෙන ගත්තේ තම ආචාර්යවරුන්ගෙනි. ‘ශවශීර්ෂ’ නම් වූ මෙම මන්ත්‍රයේ ස්වභාවය වන්නේ මිය ගිය අය උපත ලැබූ ස්ථානය පැවසීමට සමත් වීම ය. මේ සඳහා ඔවුන් උපන් තැන පවසන්නේ මිනිස් හිස් කබළට නිය පිටින් පහරක් ගසා ය.

වංගීසගේ මව් පියන් ද මොහු ගමින් ගමට, ජනපදයෙන් ජනපදයට ගෙන ගියේ රතු සළුවකින් සරසවා, රතු තිර අදින ලද යානාවක හිඳුවා ගනිමිනි. ඒ තමන්ගේ මළ නෑයන් උපන් තැන අසා දැනගන්නා ලෙසට ප්‍රකට කරමිනි. ඒ සඳහා මොහුට කහවුණු ද අපමණ වස්තූන් ද ලැබෙන්නේ දහස් ගණනින් ය. ඇතැමුන්, මොහුට හිස් කබල් ලබා දී විචාරන්නේ තම නෑයන් උපන් ස්ථානය යි. වංගීස මාණවකයා ද එම හිස් කබල්වලට නිය පිටින් ගසා මොවුන් උපන්නේ දෙව්ලොව ය, තිරිසන් ලොව ය, මනුලොව ය යනුවෙන් පවසන්නේ අසන්නන් මවිත කරවන ලෙස ය.

දිනක් යම් පිරිසක් සැවැත්නුවර ජේතවනාරාමයට නික්ම ගියේ බුදුන් වහන්සේගෙන් බණ අසන්නට ය. එහිදී වංගීස ඇතුළු පිරිස සැරසුණේ මන්ත්‍රය උපයෝගී කර ගනිමින් බණ ඇසීමට සූදානම් වන පිරිසගේ ඥාතීන් මිය ගිය තැන පැවසීමට ය. ඒ සඳහා වංගීසගේ අනුගාමික පිරිස පැවසුවේ ‘තොපට බණ ඇසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? යනුවෙනි.

මේ වංගීස ඉතා දක්ෂ ය. ඔහු මළ මිනිසුන් උපන් තැන පවසන්නේ විශ්මිත ලෙස යි. ‘ඒ නිසා නුඹලාගේ නෑදෑයන් උපන් තැන ද මොහුගෙන් විචාරන්නැ’යි’ පැවසුව ද ඒ උත්සාහය ව්‍යාර්ථ ව ගියේ එක්තරා වාදයක් ආරම්භ වෙමිනි.

බණ අසන්නට සූදානම් වූ පිරිස පැවසුවේ ‘වංගීසයෝ දන්නේ, නෑයන් උපන් තැන පමණක් බවත්, එහෙත් අසම සම බුදුන් වහන්සේගේ ඥානය එලෙස සීමා නොවන බවත් ය. උන්වහන්සේ, මළ මිනිසුන් උපන් තැන පමණක් නොව, ඔවුන් ඉපදීමට හේතු වූ කර්මශක්තිය ද පෙන්වා දෙන අයුරු විශිෂ්ට ය. එසේනම්, වඩා උසස් බුදුන් වහන්සේ ද? නැතහොත් වංගීස ද යනුවෙන් පවසා දෙපිරිසම පැමිණියේ බුදුන් වහන්සේ හමුවට ය.

එය සම්බුදු ඥානයෙන් දුටු අමා මෑණී බුදු පියාණන් වහන්සේ ඍද්ධියෙන් මවා පෙන්වූයේ හිස් කබල් පහක් ය. ඒ නරකය, තිරිසන් ලෝකය, මිනිස් ලොව, දෙව්ලොව‍ , රහතන් වහන්සේ නමකගේ හිස් කබලක් ය. එය දුටු වංගිස මාණවකයා මුලින් සඳහන් කළ හිස් කබල් සතර ගැන පැවසුවේ නිවැරැදි ලෙස ය. එහෙත් රහතන් වහන්සේගේ හිස් කබල දැක්වූ විට ඔහු නිහඬව සිටියේ ඒ ගැන යමක් පැවසීමට අසීරුවෙනි. එහි දී බුදුන් වහන්සේ වදාළේ, ‘වංගීසයෙනි, ඒ හිස ඇත්තවුන් උපන් තැන නුඹ නොදැන සිටියත් මම එය දනිමි’යි යනුවෙනි.

එහිදී වංගීස එම මන්ත්‍රය බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ‘ඔබ වහන්සේ දන්නා ඒ මන්ත්‍රය මට ලබා දෙන’ ලෙස යි. එහි දී බුදුන් වහන්සේ , වංගීස අමතා වදාළේ, මන්ත්‍රය ලබා දීමට තම සසුනේ පැවිදි විය යුතු බව යි.

මෙලෙස මන්ත්‍රය ලබා ගැනීමේ ආශාවෙන් පැවිදි වූ වංගීස තෙරණුවන්ගේ ප්‍රඥාව අවධි වූයේ නොබෝ කලකිනි. ඒ විදර්ශනා වඩා රහත් වීමෙන් පසුව යි. එහෙත් ඒ බව නොදැන සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේ, බුදුන් වහන්සේ හමුවී පැවසුවේ, වංගීස රහත් නොවී තමා රහතන් වහන්සේ නමක් බව හඟවන බව යි. එහි දී බුදුන් වහන්සේ භික්ෂු පිරිස අමතමින් වදාළේ, ‘මහණෙනි, දැන් මාගේ පුත්‍ර වංගීස ‘චුති ප්‍රතිසන්ධි’ දන්නා රහතන් වහන්සේ නමක් ය යනුවෙනි.

මෙලෙස රහත් වූ වංගීස තෙරුන් වහන්සේ ඇතැම් වේලාවට බුදුන් වහන්සේ හමු වීමට වැඩම කරන්නේ බුදු ගුණ ප්‍රකාශිත ගාථා විසිතුරු ව විචිත්‍රවත් ව සජ්ඣායනා කරමිනි. නිකලෙස් වූ උන්වහන්සේ මෙලෙස බුදු ගුණ ගී ගයන්නේ අවබෝධයෙන් යුතු ව , නොඇළුණු සිතිනි. ඒ නිසා වංගීස මහ රහතන් වහන්සේට බුදුන් වහන්සේ දුන් තනතුර වන්නේ ‘ශාසනයෙහි අවබෝධයෙන් යුතුව කථා කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානයෙහි පිහිටුවී ම යි.

ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේ ද සඳහන් වූ මේ දේශනාව අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ඵල ලැබුවේ භාග්‍යවත් ලෙස ය. එහි සඳහන් සේ සත්ත්වයන්ගේ චුතිය, උත්පත්තිය ආදී සෑම දෙයක්ම දනී ද, කිසිවක නොඇලුණා වූ සිත් ඇති මහා ගති ඇති චතුර්විධ සත්‍ය අවබෝධ කළ ඔහු බ්‍රාහ්මණයෙක් ය. යමෙකුගේ අභ්‍යන්තර ස්වභාවය දෙවියෝ හා මිනිසුන් නොදනිත් ද, සිඳුණු ආශ්‍රව ඇති පිදුමට සුදුසු වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙක් ය යනුවෙනි.

ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් අග තනතුරු ලැබූ ඛේමා රහත් තෙරණින් වහන්සේ

 මීට කල්ප බොහෝ ගණනකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ කාලයේ හංසවතී නුවර මහත් ධන සම්පත් ඇති සිටු පවුලක පින්වන්ත දියණියක් ව ඇය උපන්නා.

තරුණ වියට එළැඹි පසු ඇය නිතර නිතර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ධර්මය ඇසුවා. තෙරුවන් සරණ ගියා. දිනක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පිණිස ආරාධනා කොට දින හතක් මහත් වූ ප්‍රණීත දානයක් සකසා පූජා කළා. සත්වන දින දානය අවසානයේ දී ප්‍රාර්ථනාවක් කළා.

ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම මතු බුදු සසුනක ප්‍රඥාවන්ත භික්ෂුණියන් අතරින් අගතනතුරු ලබම්වා! කියා.

අනාගතය දෙස බැලූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ "දියණියනි, මේ ලෝකයට බොහෝ කලකට පසු ගෞතම නමින් පහළවන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඔබ ප්‍රඥාවන්ත භික්ෂුණියන් අතරින් අග තනතුරු ලබනවා" යැයි විවිරණ ලබා දුන්නා. එදින සිට බොහෝ පින්දහම් කළ ඇය මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නා. ඉන් පසු යාම දිව්‍ය ලෝකයේ ද, තුසිතයෙහි ද, නිම්මානරතියෙහි ද, පරනිම්මිත දිව්‍ය ලෝකයේ ද උපත ලැබුවා. එදා කළ පින් මහිමයෙන් ඒ දෙවඟන සියලු දෙව් ලෝකවල මහේශාක්‍ය ව වාසය කළා. මිනිස් ලොව ආ විට සක්විති රජවරුන්ගේ ද ,මාණ්ඩලික රජුන්ගේ ද අගමෙහෙසිය වීමට තරම් ඇගේ පින බලවත් වුණා.

කාලයකට පසු මේ ලෝකයට විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේගෙන් ධර්මය අසා ඒ ශාසනයේ
ඇය පැවිදි වුණා. වසර දස දහසක් බඹසර හැසිරී බහුශ්‍රැත ව බුදුරදුන්ගේ අනුශාසනා පිළිපදිමින් නිපුණ ධර්ම කථිකාවක් ව සිටියා. ඒ ජීවිතයෙන් පසු එතුමිය නැවත තුසිත දෙව්ලොව උපන්නා. යම් භවයක උපන්නා ද ඒ හැම භවයක දී ම මහත් ධනය ලැබුණා. නැණවත් වුණා. රූපයෙන් අගතැන් වුණා. බොහෝ පිරිවර ජනයා සිටියා.

ඒ භද්‍ර කල්පයේ ම බන්ධුමති නුවර කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. එකල්හි ද ඇය බරණැස් නුවර මහ ධනවත් පවුලක උපන්නා. එහිදී ද බොහෝ පින්දහම් කොට නැවත දෙව්ලොව උපන්නා.

කස්සප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ බරණැස් නුවර කසීරාජ උන්වහන්සේගේ ප්‍රධාන උපස්ථායක වුණා. ඇය ඒ පවුලේ වැඩමහල් දියණිය ලෙස උපන්නා. ඒ ජීවිතයේ දී ද මහත් වූ පින්දහම් කර මරණින් මතු නැවත දෙව්ලොව උපන්නා.

ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ඇය නැවතත් මිනිස් ලොව උපන්නා. සුන්දර රූප සම්පත්තියක් තිබූ ඇයට ඛේමා යන නාමය ලැබුණා. තරුණ වියට පත් ඇය බිම්බිසාර රජුට අවාහ කර දුන්නා. බුදුරජාණන් වහන්සේ හමුවීමට ඇය කවදාවත් ගියේ නැහැ. ඒ උන්වහන්සේ රූපයට දොස් කියනවා කියා ඇය අසා තිබුණ නිසයි. නමුත් බිම්බිසාර රජු ඇය කෙරෙහි අනුකම්පා‍‍වෙන් බුදුරදුන්ගේ ගුණ කියමින් උන්වහන්සේ වෙත රැගෙන යාමට උත්සාහ‍‍ කළ ද ඛේමා බිසව කෙදිනකවත් එයට එකඟ වූයේ නැහැ.

දිනක් බිම්බිසාර රජු ඇය ව බුදුරදුන් වෙත යැවීමට උපායක් යෙදුවා. වේළුවනයේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දවසක වේළුවන උයන ගැන ගායකයන් ලවා ඛේමා බිසවට ඇසෙන්නට වර්ණනා කළා.

"වේළුවනය සහිත විහාරය නො දුටු තැනැත්තෙකු නන්දන වනය ද දැක නැත,

යමෙකු බුදුන් වහන්සේ වැඩ සිටින වේළුවනය දැක ඇද්ද හෙතෙම ශක්‍රයාගේ නන්දන වනය ද දුටුවා වැනි ය, දෙවිවරු ද, නඳුන් උයන අතහැර පොළෝ තලයට බැස මනහර වේළුවනය දැක පුදුම වෙයි."ආදී ලෙස වර්ණනා කරද්දී ඇයට වේළුවන උයන බැලීමට ආශාවක් උපන්නා. ඒ නිසා ඇය වේළුවන උයන බැලීමට රජුගෙන් අවසර ඉල්ලා සිටියා. රජතුමා බොහෝ සතුටට පත්ව පිරිවර සහිත ව උයන බැලීමට ඇය පිටත් කළා.

නොයෙක් වෘක්ෂයෝ ද, මනහර වූ කොවුල් නාදය ද, මොණරුන්ගේ නොයෙක් රැඟුම් ද ඇගේ සිත වශී කළා. මහජනයාගෙන් තොර නිසා එහි තිබුණේ නිශ්ශබ්දතාවයක්. කුටි සෙනසුන් හැම තැනම ඉදිවී තිබුණා. සන්සුන් ඉරියව් ඇති තරුණ භික්ෂූන් වහන්සේ භාවනා කරනවා ඇය දුටුවා. නව යොවුන් වියේ සිටි, බොහෝ ප්‍රියමනාප ඉඳුරන් ඇති තරුණයෙක් හිස මුඬු කොට සිවුරු පොරවා ගසක් මුල භාවනා කරන අයුරු ඛේමා දුටුවා.

ගිහියකු රිසි සේ කම්සුව විඳ වයසට ගියාට පසුව නේද මෙසේ පිළිවෙත් පිරිය යුත්තේ? ඛේමා තමාගෙන් ම විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ පිරිසට දම් දෙසමින් වැඩ සිටියේ. උන්වහන්සේ සමීපයේ එක් කාන්තාවක් පවන් සළමින් සිටියා. ඉතා රූමත් ඇය දෙස ඛේමා ඇසිපිය නො හෙළා බලා සිටියා. රත් පැහැති මලක් මෙන් පියකරු මුහුණක් ඇති, දීප්තිමත්ව බැබළෙන ඇස් ඇති, දුටු දුටුවන්ගේ සිත් වශී කරන ඒ කාන්තාව දෙස බලා අනේ මෙතරම් ලස්සන රූපයක් මම කිසි දිනෙක දැක නැහැ. මටත් වඩා ඉතා ලස්සන කාන්තාවක් මැය නම් යැයි ඛේමාට සිතුණා. ටිකෙන් ටික ඒ රූපය ජරාවට පත්වන අයුරු ඇය දුටුවා. සම රැළි වැටුණු, දත් වැටුණු, හිස කෙස් සුදු වූ හැකළුණු කන් ඇති, ලොකු ඇස් ඇති සිරුර පුරා ඉලිප්පි ගිය නහර ඇති, නැමුණු සිරුරින් යුතු ඇය ටිකෙන් ටික පොළොවට පතිත වන අයුරු පෙනෙන සේ භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියක් පෑවා. ඒ දෙස ඛේමා නුවණින් බලා සිටියා. ඇයගේ සිත සංවේගයට පත්වනු දුටු මහා කාරුණිකයන් වහන්සේ මෙසේ වදාළා.

"පින්වත් ඛේමා, රෝගි වූ, අපවිත්‍ර වූ, කුණු වූ, වැගිරෙන්නා වූ, මෝඩයන් ඇලුම් කරවන මේ සිරුර දෙස බලන්න. මනාව පිහිටුවා ගන්නා ලද එකඟ වූ සිතින් අශුභ භාවනාවට සිත යොමු කරන්න. කායගතාසතිය වඩන්න. කළකිරීම් බහුල කොට ගන්න. ඇය යම් සේ ද, ඔබත් එසේම යි. බාහිර වූ ශරීරයෙන් ආශාව දුරු කරන්න. මනස තේරුම් ගැනීමෙන් සන්සුන්ව හැසිරෙන්න. රාගයෙන් ඇලුණා වූ සත්ත්වයන් තමා විසින් වියන ලද දැලට වැටෙන මකුළුවකු මෙන් දිය පහරට වැටෙනවා. නුවණැත්තෝ කම්සැප අතහැර ඒවා සිඳ බිඳ දමා නික්ම යනවා" යැයි වදාළ සේක. පෙර පින් ඇති ඛේමාවෝ ධර්ම දේශනාව අවසානයේ දී මාර්ගඵල අවබෝධ කර ගත්තා. එතුමිය බුදුරජාණන් වහන්සේ දෙපා මුල වැඳ වැටෙමින් මෙසේ කියා සිටියා.

භාග්‍යවතුන් වහන්ස, දහම දක්නා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාරය වේවා! සසර ඉක්ම වූ, අන් අයට අමාසුව ගෙන දෙන ඔබ වහන්සේට නමක්නාර වේවා! ආදී නන් අයුරින් බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ ඇය මාළිගය වෙත ගොස් රජුට මෙසේ කියා සිටියා.

"රජතුමනි, ඔබ බුදු සසුනේ පැහැදී සිටිනවා නේද? රූපය කෙරෙහි කළකිරුණු මම ඒ ශාසනයේ පැවිදි වීමට කැමැතියි."

මහරජු ඉතාමත් ප්‍රීතියට පත්ව ඇයට ඒ සඳහා අවසර දුන්නා. පැවිදි වූ ඇය අඩ මසක් යාමටත් මත්තෙන් පහන් දැල්ලක භාවය හා අභාවය දැක සියලු සංස්කාරයන්හි අනිත්‍ය බව නුවණින් දැක රහත්ඵලයට පත්වුණා.

භික්ෂුන් වහන්සේලාට අගතනතුරු පිරි නමද්දී "ප්‍රඥාවන්තයන් අතරින් ඛේමා භික්ෂුණිය අගතනතුරු ලබන්නීය" කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

දිනක් ගසක් මුල භාවනා යෝගීව සිටින විට මාරයා තරුණයකුගේ වෙස් ගෙන ඇය වෙත පැමිණ මෙසේ කියා සිටියා.

"ඛේමා, ඔබ තවම තරුණ වියේ පසු වන්නේ. ඉතා රූමත්. මමත් කඩවසම් තරුණයෙක්. එන්න අපි කම්සුව විඳීමු. "එය ඇසු ඕ තෝමෝ ඒ මාරයා බව දැන තමන් මාර ග්‍රහණයෙන් මිදුණු බව දක්වමින් මෙසේ වදාළ සේක.

* මාරය, නිතර රෝග හටගන්නා, වහා බිඳීයන මේ කුණු ශරීරය ගැන මම පිළිකුළෙන් ඉන්නේ. මම කාම තණ්හාවේ මුල පවා සිඳ දමලයි ඉන්නේ.

* සියලු ආශාවන් සිඳ දැමූ මට පංච උපාදානස්කන්ධය කියන්නේ මස් වැදැල්ලක් වගේ. ඔබ කියන ඔය කාම රතියේ සැපයක් මට නැහැ.

* මෝඩ ජනයා ග්‍රහයන්ට නමස්කාර කරමින්, වනයේ ගිනි දෙවි පුදමින් සත්‍ය ‍නො දැ‍න පිරිසුදු බව සොයනවා.

* නමුත් මම වන්දනා කරන්නේ ඒ ශ්‍රේෂඨ වූ බුදුරදුන්ට යි. බුදුරජාණන් වහන්සේගේ ඔවදන් පිළිපදිමින් මම සියලු දුකෙන් නිදහස් වූ කෙනෙක්.

සතිය පිහිටුවිය යුත්තේ මේ මොහොත තුළ ය

වියපත් වූ පසුව පින් දහම් කළ යුතු යැයි බෞද්ධයන් දුකට වහ වහා පිළියම් යෙදිය යුතු ව තිබිය දී, එබඳු මතයක් ගොඩනැඟුණේ කෙසේ දැයි නො දනිමු. සතිය හෙවත් සිහිය පවත්වාගත යුතු වන්නේ මේ මොහොත තුළ දී නම්, සතියෙහි පිහිටා කෙලෙස් ප්‍රහාණය කිරීමට වියපත් වන තෙක්සිටීම මඟින් ගම්‍ය වන්නේ නිර්මල බුදු දහම තුළ යථාර්ථවාදී නො වීම ය. නොඑසේ නම්, දහම තුළ නො හැසිරීම ය. දහමට අනුව නො ගොස් අන්ධ වූ පිළිවෙත් අනුගමනය කරමින්, තමන් ද සසරේ අතරමං වන අතර, සෙසු අයට ද, එබඳු ඉරණමක් අත් කර දීම තරම් ව්‍යසනයක් තවත් තිබිය අරමුණ මුල් කරගෙන සකස් වන ස්කන්ධ ක්‍රියාවලිය සිදු ජනිත වන කුසලාකුසල කර්ම රැස් කිරීම හෝ අස් කිරීම හෝ කළ හැකි වන්නේ ද, මේ මොහොත තුළ දී ම ය. මේ සඳහා කළ යුත්තේ සතියෙන් යුතු ව අරමුණ තුළින් පහළ වන සංඥා, ප්‍රඥාව මෙහෙයවමින් අවබෝධ කරගැනීම ය. සතිය තුළින් ලබන අවබෝධය අවශ්‍ය වන්නේ සසර පැවැත්මට සමුදය වන කෙලෙස් වර්ධනය කිරීමට නො ව, සංසාර විමුක්තිය අරමුණු කරගත් කෙලෙස් ඉපදීම වැළැක්වීම හෝ ප්‍රහාණය කිරීමට ය. කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා දින වකවානු යොදාගැනීම යනු 

ප්‍රමාදයයි. කල් නො යවා මේ මොහොත තුළ දී ම සිදු කිරීම අප්‍රමාදයයි. අප්‍රමාදය යනු මේ මොහොත හෙවත් වර්තමානය තුළ හැසිරීමයි. මේ පිළිබඳව තාර්කික ව විමසා බැලී මේ දී එය මැනැවින ් අවබෝ ධකරගත හැකි ය. ඒ අනුව ඊයේ අනාගතය අද වර්තමානය වී, ඊයේ වර්තමානය අද අතීතයට එක් වී ඇත. එමෙන් ම අද වර්තමානය හෙට අතීතය වී, අද අනාගතය හෙට වර්තමානය බවට පත් වනු ඇත. එය එසේ නම්, අප ජීවත් වන්නේ අතීතයේ වත් අනාගතයේ වත් නො ව, වර්තමානය හෙවත් මේ මොහොත තුළ පමණි. අපට අතීතයේ වත්, අනාගතයේ වත්, ජීවත් වීමට නොහැකි වී ඇත. මේ අනුව සතිය පිහිටුවිය යුත්තේ සත්ත්වයා සසරට බැඳ තබන හෝ ඉන් මුදවන හෝ මේ මොහොත තුළ පමණි. වර්තමානය හෙවත් මේ මොහොත තුළ සතිය පවත්වන විට අතීත හෝ අනාගත හෝ සිතිවිලි පහළ වීමට ඉඩක් නැති බැවින්, වෙනත් අරමුණු ඔස්සේ ඇති වන සැප හෝ දුක් හෝ වේදනාවන් තුළින් සකස් වන කෙලෙස් ඇති වීම වැළකී යන අතර, මේ මොහොත තුළ සතිය පිහිටුවීම නිසා 

කුසල් රැස් කිරීමක් ද කළ හැකි වනු ඇත. ය. සත්‍යය දැකීම යනු දහම දැකීම ය. දහම දැකීම යනු බුදුන් දැකීම ය. ගෙවුණු අතීතයේ හෝ නො ලැබූ අනාගතයේ දී හෝ සත්‍යය දැකිය නොහැකි ය. සත්‍යය දැකිය හැක්කේ මේ මොහොත හෙවත් වර්තමානය තුළ දී පමණ ය. වර්තමානය තුළ සතිය නො පිහිටීම යනු සත්‍යය නො දැකීම ය. දහම් නො දැකීම ය. බුදුන් නො දැකීම ය. දැකීම හේතුවෙන් දුක පිළිබඳ අවබෝධය ද ලැබිය නොහැකි ය. දහම තුළ නො හැසිරීම නිසා ධර්මය තුළින් ලබා දෙන රැකවරණය ද අහිමි වී යයි. බෞද්ධයන් යැයි කියා ගන්නා ඇතැම් අය සිදු කරන්නේ, මේ මොහොත තුළ හටගන්නා වූ කෙලෙස් මේ මොහොත තුළ දී ම ප්‍රහාණය කළ හැකි ව තිබිය දී, ඒ සඳහා කටයුතු නො කර, අතීතයේ සිදු කළ දේ, අනාගතයේ දී අපේක්‍ෂා කරන දේ පිළිබඳව මනෝ සංචේතනා පහළ කිරීම ය. එය ලෝභ, ද්වේෂ, මෝහ මෙන්ම පසුතැවිල්ල ද ඇති කර, සංඛාර භවගමන අඛණ්ඩ ව පවත්වාගෙන යෑමට කටයුතු කිරීම ය. මේ අවාසනාවන්ත තත්ත්වය පැහැදිලි නො වීම නිසා නිමක් නැති සසර ගමනකට ඔවුහු ඇද වැටෙති. අඳුරෙන් අඳුරට ගමන් කරති. නි ර්මල බු දුදහම තු ළි න් ,පටිච්ච සමු ප් පන් නව සත් ත් වයාගේ භව ගමන සකස් වන ආකාරයත්, ඉන් ජනිත වන දුක්ඛ ස්කන්ධය, දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් පෙන්වා දෙන බුදුපියාණන් වහන්සේ එළඹෙන මොහොත තුළ ඉන් මිදෙන ආකාරයත් ඒ සඳහා පැහැදිලි මඟක් ලෙස ප්‍රඥා, ශීල, සමාධි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් දේශනා කර තිබිය දී තවමත් මඟ වරදාගෙන අදූරදර්ශී ගමනක යෙදෙන බවක් පෙනෙන්නට ඇත. මේ මොහොත තුළ දී උපදින ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය 

කරමින් අලෝභ, අදෝෂ, අමෝහ, කුසල් සිත් වඩා, නිවන් මඟ සාක්‍ෂාත් කරනු වෙනුවට මල්, පහන්, දන්, පැන් පමණක් පිදූ පමණින් නිවන් අවබෝධ කරගත හැකි යැයි සිතන මානසිකත්වයෙන් තවමත් මිදී නැත. ආමිස පූජාවන් සිදු නො කළ යුතු යැයි නො කියමු. එකී පුණ්‍ය ඵලය යහපත් වටපිටාවක් නිර්මාණය කරමින්, සසර සැරිසැරීමට හේතු වනු විනා, බොදුනුවන්ගේ අවසන් පැතුම වන, බුදුපියාණන් වදාළ පරිදි කෙලෙස් ප්‍රහාණය කර නිවන් මඟ සාක්ෂාත් කරගැනීමට හේතු නො වන බව වටහාගත යුතු ව ඇත.

කළ යුත්තේ ආමිෂ පූජාවන් සිදු කරන අතර, ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් භෞතික සම්පත් හඹා යන සම්මුති ලෝකය තුළ ඇති වස්තු කාම, ක්ලේශ කාම, සමුච්ඡේද වශයෙන් ප්‍රහානය කිරීම සඳහා මානසික සංවර්ධනයක් කරා යෑමයි. මෙය කළ හැකි එක ම මඟ එළඹෙන මොහොතයි . සසර ගමනට කර්ම රැස් කරන්නේ මේ මොහොත තුළයි. ක්‍ෂණික ආවේගවලට පිළියම් කළ හැකි වන්නේ ද, මේ මොහොත තුළයි. සතියෙහි නො පිහිටීමෙන් ලෞකික වශයෙන් මේ මොහොත තුළ දී ඇති වන ආවේගශීලී සිතිවිලි පාලනය නො වී, කෙළවර වන්නේ බොහෝ විට ප්‍රස්තුත කරුණ බෙහෙවින් දුරස් වූ අදාළ නො වන ඉසව්වක් කරා ගමන් කරමිනි. ඒ ක්‍ෂණික තීන්දු තීරණ බොහෝ විට නිවැරැදි නො වී, සත්‍යයෙන් බැහැර වන බැවිනි. ඒ අනුව සතියෙන් යුතු ව, එළඹෙන 

මොහොතට මුහුණ දීම ලෞකික වශයෙන් සම්මුති ලෝකය තුළ ඇති වන ගැටලුවලට ද සාර්ථක පිළියමක් වන අතර, සංසාර විමුක්තිය සඳහා විසඳුමක් ලබා දෙන එක ම මඟ ය. එසේ නම්, අප කළ යුත්තේ එළඹෙන මොහොතට සතියෙන් යුතු ව මුහුණ දී අරමුණු හරහා එන පංචස්කන්ධ ක්‍රියාවලිය තුළින් සසර බැඳ තබන අකුසල් මූලයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම සඳහා ක්‍රියා කිරීමයි. එළඹෙන මේ මොහොත සතියෙහි පිහිටුවන කෙනකුට වර්තමානය යනු කුසල් ය. අගති යෙන් සිටීනම් රැස් වන්නෙනේ අකුසල් ය. අතීත, අනාගත, අන්තවලට නො වැටී වර්තමානය හෙවත් මේ මොහොත තුළ දීත් නො බැඳී සිටී නම්, සසර ගමනට හේතු වන කර්ම සකස් නො වේ. කර්ම සකස් වීම යනු සසර ගමනට හේතු ඉතිරි වීමයි. බව ගමන නිම කිරීම යනු කර්ම සකස් වන මේ මොහොත තුළ සතිය පිහිටුවීමෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම ය. එසේ නොමැතිව, අතීත, අනාගත, සිතුවිලි අතර, අතරමං වී එළඹුණු මොහොත තුළ අනවබෝධයෙන් කටයුතු කරන්නේ නම්, උරුම වන්නේ නිමක් නැති සසර ගමනක අතරමං වීම පමණකි.

දිවයින බොදුමඟ 2020.මැයි 7


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිවැරැදි සරණාගමනය

අප ඉතා සත්‍යවාදී ව ධර්මානුකූල ව, අප දෙස විමර්ශනශීලී ව විමසා බැලිය යුතුව ඇත. එසේ සත්‍යවාදීව තමන් දෙස විමසා බලා සිත, කය, වචනය නිවැරදි කර ගැනීම ප්‍රත්‍යවේක්ෂාව ලෙස හැඳීන්වේ.

නිවැරදි සරණාගමනය ඇති කරගත් උපාසක ඇත්තකු තුළ තිබිය යුතු ලක්ෂණයක් පිළිබඳ ව පසුගිය දිනයේ දී අප විමසා බලන ලදී. එසේ සරණාගමණය ඇති කරගත්තකු පිළිවෙත් මාර්ගය ආරම්භ කළ යුතුව ඇත. පිළිවෙත් මාර්ගය ආරම්භ වන්නේ පංචසීලයෙනි . පන්සිල් සමාදන් වීම උපාසක ඇත්තකු තුළ තිබිය යුතු පළවෙනි ලක්ෂණයයි. බොහෝ බෞද්ධයන් පන්සිල් සමාදන් වන බව නො පෙනේ. සැබැවින් ම සිතා බැලුවහොත් බොහෝ දෙනකු පන්සිල් පද කියවනවා විනා සමාදන් වීම සිදු නොකරයි. මන්ද යත් බොහෝ දෙනකු සිල්පද කියවන්නේ එම වැරදිවලින් වළකින බවට කිසිදු චේතනාවක් සිතේ ඇතිකර නොගනිමින් ය. චේතනාවක් නොමැති තැන කර්මයක් සිදු නොවන බව පැහැදිලි කාරණාවකි. එබැවින් අපව මූලිකව ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණාවක් වන්නේ සැබෑවට සිල් සමාදන් වන්නේ ද යන්නයි. සැබෑවට සිල් සමාදන් වන්නේ නම් ඒ සෑම සිල් පදයක දී ම මම දිවි හිමියෙන් මෙය ආරක්ෂා කරන බවට චේතනාවක් තමන් තුළ ජනිත විය යුතුව ඇත. එසේ චේතනාවක් ඇති නොවන්නේ නම් එවැනි චේතනාවක් ඇතිකර ගනිමින් සිල් සමාදන් වීමට වග බලා ගත යුතු ය. එසේ චේතනාව නිවැරදි කර ගනිමින් සමාදන් වන අයට සීලය සමාදන් වීමෙන් ලැබෙන්නා වූ ආනිසංස වාරයන් වේ.

කූටදත්ත සූත්‍රයට අනුව පංච සීලය අරක්ෂා කිරීමෙන්, සංඝා වාසයක් සකස් කර සංඝික කර පූජා කරනවාට වඩා ආනිසංස ලැබෙන බව, බොහෝ පින් රැස්වෙන බව පැහැදිලිවෙන කාරණාවකි.

සේ බොහෝ පින් රැස්කර ගත් තැනැත්තකුට දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීමෙන් දේව පිහිට ආරක්ෂාව ලබා ගත හැකි බවත්, තම එකම දරුවා රකින මව එම දරුවා ආරක්ෂා කර ගන්නා සේ දෙවියන්ට පින් දෙන පින්වන්ත අය ආරක්ෂා කර ගන්නා බව ද මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. එබැවින් දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ලබා ගැනීම සඳහා පලතුරු වට්ටි ඔසවාගෙන, පඬුරු තබමින්, බාරහාර වෙමින්, බිම පෙරළෙමින්, පොල් ගසමින් කටයුතු කිරීමට අවශ්‍යතාවක් නැත. සිදු කළ යුතු වෙන්නේ පන්සිල් ආදිය රකිමින් බොහෝ පින් රැස් කරගෙන එම පින් දෙවියන්ට අනුමෝදන් කිරීම පමණි.

අන්ධ භක්තියෙන් සිද්ධ කරන අන්‍ය වූ ක්‍රියාවන් බෞද්ධ ධර්මයට පටහැනි බැවින් එය බෞද්ධකමට නිගාවකි. දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව ලබන්නටත් බොහෝ පින් රැස් කර ගන්නටත් පංච සීලය ආරක්ෂා කරගන්න පුද්ගලයාට හැකි වේ. පින්වන්ත පුද්ගලයකු ආසන්නයට අමනුස්සයන්ට ළං වන්නට නොහැකි බව ධර්මයේ සඳහන් වන කාරණාවකි.

යම්කිසි නිවසකට හෝ පුද්ගලයින්ට අමනුෂ්‍ය බලපෑම් ඇත්තේ නම් පන්සිල් ආරක්ෂා කිරීමෙන් බොහෝ පින් රැස් වන බැවින් අමනුෂ්‍ය බලපෑම් නිවසින් ඉවත් කර ගැනීමට හැකියාවක් ඇත.පන්සිල් රකින පුද්ගලයකුට අමනුෂ්‍යයන්ගෙන් වන බලපෑම්, කරදරකාරී තත්ත්වයන් සිදු නොවන බව පැහැදිලි වේ.

එමෙන්ම අපල උපද්‍රව ලෙස අප සලකන යම් උවදුරු තත්වයක් වෙයි නම්, එය අන් කවරක් හෝ නොව කර්මය ම විය යුතු ය.අතීත කර්මය නැති කර ගැනීම සඳහා කළ යුතු දේ පිළිබඳ ව ධර්මයේ සඳහන් වන්නේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා යන ක්‍රමවේද භාවිත කිරීමයි. අඛණ්ඩ ව උත්සාහ කරමින් පන්සිල් ආරක්ෂා කරන කෙනකුට මෙම ක්‍රමවේද සම්පූර්ණ වීමට හේතුවන සමාධිය, ප්‍රඥාව ආදිය ඇති කර ගැනීමට හැකිවන බැවිනි. තමන්ගේ කර්මය ක්ෂය කර ගැනීමට එය ප්‍රධාන හේතුවක් වේ. එසේ නොමැතිව ග්‍රහ පූජා තැබීම් නවග්‍රහ මුදු පැළඳ වීම්, නොයෙකුත් යන්ත්‍ර ආදිය පැළඳවීම වැනි මිථ්‍යා විශ්වාසයන්වලට එල්බගෙන කටයුතු කිරීමෙන් කර්මයට බලපෑමක් කළ නොහැක. එබැවින් පන්සිල් රැකීම තමන්ගේ කර්මයන් ක්ෂය කර ගැනීමට හේතුවක් වන බව ද අප දැනගත යුතු කාරණාවකි.

කුසලයක් සිදු කරන කල්හි එය ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නම් වැඩි ආනිශංස වාරයක් තිබෙන බව අපි දනිමු. එබැවින් පන්සිල් රැකීමෙන් මානසික ශක්තිය වර්ධනය වීම සිදුවන්නේ කෙසේදැයි දැනගෙන, එම දැනුමෙන් යුක්තව පංචශීලය ආරක්ෂා කිරීම ඉතාම විශාල ආනිසංසයක් ලැබීමට හේතු වේ. සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයක් ඇති සන්තානයක බොහෝ කෙලෙස් උපදවන ස්වභාවය ඇත. එබැවින් සිහිය, නුවණ ,වීර්යය, ඉවසීම, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වැනි උසස් ගුණාංගයන් වලින් ඒ සිත් බොහෝ විට දුර්වල තත්වයකට පත් වී තිබේ. සිහිය වර්ධනය කිරීමට නම් සිහියෙන් සිටීම පුරුදු විය යුතුව ඇත. ඉවසීම ද වර්ධනය කළ යුත්තේ ඉවසීමෙන් සිටීමෙනි. අධිෂ්ඨානයෙන් වැඩ කටයුතු කරන පුද්ගලයා තුළ දිනෙන් දින අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වේ. සෑම ගුණාංගයක් ම එම ගුණාංගයෙහි යෙදීමෙන් ම වර්ධනය වෙන බව අපි හොඳීන් දනිමු. යම්කිසි කෙනෙක් අධිෂ්ඨානයෙන් පංච සීලය සමාදන් වුවහොත් කැඩෙන හැම වාරයක දී ම නැවත නැවත සමාදන් වෙමින් කටයුතු කළහොත් සිල් රකින හැම වාරයක ම එම පුද්ගලයාට සිහියෙන් සිටිය යුතු වේ, වීර්යයෙන් සිටිය යුතුවේ, අධිෂ්ඨානයෙන් සිටිය යුතුවේ, ඉවසීමෙන් සිටිය යුතු වේ. එසේ සිටින හැම වාරයක ම එම උසස් ගුණාංගයන් එම සන්තානය තුළ වැඩෙන බව නොරහසකි.

සාමාන්‍ය ජීවිතයේ ඕනෑම කටයුත්තක් සාර්ථක ව සිදු කිරීමට නම් එය පිළිබඳව කැමැත්තක් ඇති කර ගැනීම සිදු කරගත යුතු ම වේ. අඛණ්ඩ ව පංචශීලය ආරක්ෂා කරන්නට සූදානම් වන පුද්ගලයකු ඒ සඳහා කැමැත්තක් ඇති කර ගැනීම සඳහා මෙසේ පංච ශීලයෙන් ලැබෙන ආනිසංස වාරයන් වගේ ම සීලය කැඩීමෙන් ලැබෙන ආදීනවයන් ද හොඳීන් මෙනෙහි කළ යුතුව ඇත. විපාක ද මෙනෙහි කළ යුතුව ඇත.

පංච සීලය කැඩීමෙන් ඇතිවෙන විපාකයන් පිළිබඳ ව ඉදිරියේදී දස අකුසල් පිළිබඳ ව ඉදිරිපත් කෙරෙන ලිපිවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර මෙම කරුණු පොත්පත්වලින් ද පහසුවෙන් සොයා ගත හැක. එසේ ආනිසංශ සහ ආදීනවයන් හොඳීන් දැනගෙන එම දැනගත් කරුණු නැවත නැවත මෙනෙහි කළ යුතුව ඇත. එසේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් පාණාතිපාතා වේරමණී,අදින්නාදානා වේරමණී,කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී,සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී යන විරති චෛතසිකයන් අපේ සන්තානය තුළ පැන නඟින්නට හේතු සකස් වේ. 'ප්‍රාණඝාතය සිදු කිරීම' අප සිතේ නැගෙන අකුසලයක් නිසාවෙන් සිදුවන්නකි.ඉන් වැළකීම සඳහා ප්‍රාණඝාතයෙන් වැළකීම යන සිතුවිල්ල සකස් වී එය බලවත් විය යුතු ය. එසේ නොමැතිව ප්‍රාණඝාතයෙන් වැළකීම යන සිද්ධිය අප අතින් සිද්ධ නොවේ ම ය.සෑම සිල් පදයක් ම රැකෙන්නේ එම සිල් පදය කැඩීම වැළැක්වීම සඳහා අපේ සිතෙන් ම පැන නගින සිතුවිල්ල එම සිල් පදය කැඩීම සඳහා අපේ සිතේ නැගෙන සිතුවිල්ලට වඩා ප්‍රබල වූ විට ය. එසේනම් සීලය කැඩෙන්නට අපේ සිතේ ඇතිවන සිතිවිලි දුබල කරමින්, සීලය කැඩීම වැළැක්වීම සඳහා අපේ සිතේ නැගෙන්නා වූ සිතුවිලි ප්‍රබල කිරීමට කටයුතු කළ යුතුව ඇත. ඒ සඳහා ආදීනව සහ ආනිසංස මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය කාරණාවකි. දිනෙන් දින තමන් අතින් සීලය කැඩෙන්නේ නම් තමන්ම මේ පිළිබඳව විනිශ්චය කර ගනිමින් නැවත නැවත ආනිසංශ සහ ආදීනවයන් මෙනෙහි කරමින් සීලය කැඩීම් වළක්වන සිතුවිල්ල කෙසේ හෝ ප්‍රබල කර ගත යුතුව ඇත. එසේ සිල් රැකෙන තත්ත්වයට අපේ මානසිකත්වය සකස් කරගැනීමේ වගකීම අප සතු ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව, ලෝකයේ ඇත්තේ හේතුඵල ධර්මතාවයකි. එබැවින් හේතු නොමැතිව ලෝකයේ කිසිවක් ම සිදු වන්නේ නැති බව වටහා ගත යුතු ය. එ නිසාවෙන් ම සිල් කැඩෙන්නේ ද හේතු සහිතව බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම හේතූන් ඉවත් කළහොත් සීලය කැඩෙන්නට අවකාශයක් ද නැත.එසේ සියලු දේට හේතුව දේශනා කර ඇති උතුම් ධර්මයෙන් අප ප්‍රයෝජන ගන්නේ ද යන්න ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණාවකි. මන්ද යත් තමන් අතින් සිල් කැඩෙන්නේ කුමන කරුණක් නිසාද යන්නවත් අඩුම තරමින් සොයා බලන්නට අපේ මානසික්ත්වය යොමු නොවුණේ නම් හේතුඵල දහම පිළිබඳව අපට අදහසක් ඇති වී නොමැති බව ද තේරුම් ගත යුතු ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ගිහි පැවිදි සම්බන්ධය වරදවා ගැනීම අපාගාමී පාපයකි

 චන්දෝපම ප්‍රතිපදාව හඳුනාගන්න

මහා කරුණාව බඳු මහා ප්‍රඥාවක් ඇති බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. මිනිස් නොමිනිස් කා හට වුවද ජාති, මරණ දුකේ දී පිහිට වන්නේ බුදුරජුන් පමණි. ඒ බුදුරදුන් තම ගුරුවරයා ලෙස පිළිගන්නෝ බෞද්ධයෝ වෙති. ඔවුහු සසර දුක නිමා කිරීම පිණිස බුදුසරණ ලැබූවෝ ය. බුදු බණට අවනත වූවෝ ය. සඟ අණට මෙල්ල වූවෝ ය.

එකී තුන් සරණ ලැබූ පිරිස ගිහි - පැවිදි වශයෙන් කොටස් දෙකකි. ගිහියා පැවිද්දාට සිව්පසයෙන් උපකාර කරයි. පැවිද්දා ඔවුනට බුදු බණ කියා දෙයි. මෙලෙසින් දෙපිරිස ම බුදු මග ගමන් කරයි. එහෙත් ගිහි – පැවිදි සම්බන්ධය වරදවා ගැනීම අපාගාමී පාපයක් විය හැකි ය. ඒ බව දුටු බුදුරජාණන් වහන්සේ පැවිද්දා ගිහියන් හා පවත්වන ඇසුර කෙසේ විය යුතු දැයි උපමාවක් ඇසුරින් වදාළහ. එය ‘චන්දෝපමාව යි. එය මෙසේය. “චන්දුපමා භික්ඛවෙ කුලානි උපසංකමථ අපකස්සෙව කායං අපකස්සෙව චිත්තං නිච්චනවකා කුලේසු අප්පගබ්භා (කස්සප සංයුත්ත) “මහණෙනි නුඹලා ගිහියන් කෙරෙන් කය ද සිත ද ඉවත් කරගෙන සැම කල්හි ආගන්තුක ව චන්ද්‍රයා මෙන් ගිහියන් වෙත එළඹෙව්”

මේ ප්‍රකාශය ගිහි – පැවිදි දෙපිරිසට ම එකසේ වැදගත් වේ. දිනක් පාසා වෙනස් වන නිසා චන්ද්‍රයා සැමවිට ම ලෝකයට අලුත් ය. කිසිවකු හා අමුතු හාදකමක් ඇල්මක් නැති නිසා සියල්ලන්ට සාධාරණ ව අහස් කුස ගමන් කරයි. භික්ෂුව ද චන්ද්‍රයා සදිසි ව කිසිදු ගිහියෙකු සමඟ අනවශ්‍ය හිතවත්කමක් , මිතුරුකමක් නොමැති ව සැමට සාධාරණ ව හැසිරිය යුතු ය. අවුරුදු ගණනාවක් පුරා හඳුනන ගිහියන් සමඟ වුව ද ආගන්තුකයන් ලෙසින් පිළිපැදිය යුතුය. ගිහියන්ගේ කටයුතු කර දෙන්නකු නොවිය යුතු ය.

ගැඹුරු ළිඳකින් වතුර ගන්නා පුද්ගලයා තම කය හා සිත ළිඳට බර නො කර නිතර ම පිටුපසට ඇදගෙන ළිඳේ නො වැටී පැන් ගන්නාක් මෙන් භික්ෂුව විසින් ගිහියන් හා මුසු නොවී සිත, කය දෙකම ඔවුන් කෙරෙන් ඉවතට ඇදගෙනම ගිහියන් අතර හැසිරිය යුතු ය. ඔවුන් පුදන සිව්පසය පිළිගත යුතු ය. එලෙසින් කටයුතු කරන පැවිද්දාගේ එම ප්‍රතිපදාව බුදුරදුන් වදාළ චන්දෝපම ප්‍රතිපදාව යි.

පැවිද්දාගේ සහයෝගය නැතිව ගිහියාට ධර්ම මාර්ගයේ ගමන් කළ නො හැක. පැවිද්දාට ද ගිහියාගේ උපාකරයෙන් තොරව ජීවත් විය නො හැක. එහෙත් දෙපිරිස ම තම තම යුතුකම් මනාව හඳුනාගත යුතු ය. චීවරාදී සිව්පසය කැපසරුප් ලෙස සුදුසු කල්හි පූජා කිරීම හා සැපදුක් විමසා බලා පැවිද්දන්ට උපාකර කිරීම ගිහියන්ගේ යුතුකමකි. ගිහි ඇත්තන්ට පිරිසුදු ලෙස බුදු බණ ඉගැන්වීම හා ඔවුනට සසරදුක පෙන්වා දීම ද, චතුරාර්ය සත්‍යය ගැන කියවා දීම ද පැවිද්දාගේ යුතුකමකි. බුදුරදුන් බහුකාරක සූත්‍රයේ දී පෙන්වා ඇති පරිදි ගිහි ජීවිත ගත කරමින් ධනය ද, ශීලාදි ගුණ ධර්මයන් ද සම්පාදනය කරන්නාවූ ගිහියෝ සිල්වත් හා ගුණවත් පැවිදි ශ්‍රාවකයන් නිසා ඔවුන්ගේ වචන විශ්වාස කරමින් ගුණධර්ම පුරා මරණින් මතු දෙව්ලොව උපදිති. එහෙත් ඇතැම් පැවිද්දන් ඇසුරු කරන ගිහියෝ නො දැනුවත්ව ම බොහෝ පව් රැස් කොට අපාගත වෙති. එහිලා ගිහි උදවියට දෝෂාරෝපණය කිරීම ද සුදුසු නොවේ. පැවිද්දා තමනුත් අපා දුකින් බේරී , ගිහියන් ද අපා දුකින් බේරා ගැනීමට කටයුතු කළ යුතු ය.

ගිහියන් අපට සැලකිය යුතු යැයි සිතීම මෝඩ අදහසක් වේ. ඒ අදහස ඇති තාක් පැවිද්දාට පැවිද්ද තුළ තෘප්තියක් ලද නො හැක. එමගින් නිතර නිරත සිත් රිදවා ගැනීම් ඇතිකර ගන්නා පැවිද්දා ගිහියන්ට නින්දා කර ඔවුන්ගේ ඇති පැහැදීම ද නැතිකර දමයි. සිව්පසය පූජා කිරීම සඳහා ගිහියන්ට සිත් පහළ වන පරිදි භික්ෂූන් හැසිරේ නම්, ගිහියෝ කිසි විටෙකත් භික්ෂූන් කුසගින්නේ නො තබති.

පැවිද්දන්ට සැලකීම සඳහා ගිහියන් පොරොන්දු ලබා දී නැත. තමාගේ කැමැත්තෙන් පැවිදි වූ භික්ෂූහු ලැබෙන ඕනෑම චීවරයකින්, ආහාරයකින්, සෙනසුනකින්, බෙහෙතකින් යැපිය යුත්තාහුය. සතුටු විය යුත්තාහු ය. පැවිද්දාගේ ජීවිතය සරසන ආභරණ අතර අප්ජිච්ඡතා , සන්තුට්ඨිතා යන ගුණ දෙක ඉතා වැදගත් වේ. බොහෝ දේ වැඩි වැඩියෙන් බලාපොරොත්තු නො වන බව අප්පිච්ඡතාව යි. ලද දෙයින් සතුටු වීම සන්තුට්ඨිතාව යි.

කස්සප සංයුත්තයේ දැක්වෙන පරිදි භික්ෂුවක් ‘ගිහියන් මට ඇති පමණ දෙන්නට ඕනෑ ය. ප්‍රණීතව ඉක්මනින් දෙන්නට ඕනෑ ය. සැලකිල්ලෙන් හා ගෞරවයෙන් දෙන්නට ඕනෑ ය’ කියා සිතයි නම් ඔහු ගිහියන් කරා සිව්පසය සඳහා යාමට නුසුදුසු ය. දන් දෙනු කැමැත්තෝ දෙත්වා. ‘ නො දෙනු කැමැත්තෝ නො දෙත්ව‘ වැඳුම් පිදුම් කරනු කැමැත්තෝ කරත්වා. නො කරනු කැමැත්තෝ නො කරත්වා 'යි යම් භික්ෂුවක් ගිහි ගෙවලට එලැඹේ නම් උන් වහන්සේ ඒ සඳහා සුදුසු ය.

මහණකම යනු ගිහියන්ගේ වුවමනාවට සිදුකරනු ලබන්නක් නො විය යුතු ය. මේ අපගේ දායකයන්ය කියා ගිහියන් අයිතිකර ගැනීම ද ලාමක ක්‍රියාවකි. මේ අපගේ භික්ෂූන් ය. මේ අපගේ භික්ෂූන් නො වේ යැයි ගිහියන් විසින් භික්ෂූන් වර්ග කර අයිතිකර ගැනීම ද ලාමක ය. කිසි ගිහියෙකු සමඟ විශේෂ බැඳීමක් නො මැති පැවිද්දන්ට කිසි පැවිද්දකු සමඟ විශේෂ බැඳීමක් නැති ගිහියන් විසින් දෙනු ලබන සිව්පසය හේතුවෙන් සසුන් පිළිවෙත චිරස්ථායි වේ. එහෙත් යම් භික්ෂුවකගේ සීලාදී ගුණධර්මයන් කෙරෙහි යම් ගිහියකුගේ සිත තුළ අතිරේක වූ පැහැදීමක් ඇතිවේ නම් , එහි ද වරදක් නැත.

පැවිද්දා අල්පේච්ඡ විය යුතු යැයි කියමින් භික්ෂුවගේ දොස් උලුප්පමින් නින්දා කරන ගිහියා උපාසක චණ්ඩාලයෙකු යැයි වදාරා ඇති බැවින් මොනම හේතුවකින් හෝ හෝ ද්වේෂ පරවශව පැවිද්දන්ට බණ වැදීමේ අයිතියක් ගිහියන්ට නැත. පැවිද්දා ගිහියන්ට වගකිව යුත්තේ නො වේ. ඔහු වගකිව යුත්තේ බුදුරදුන් ය. ධර්මයට හා සංඝරත්නයට පමණි.

අස්ථානයෙහි පහදින ගිහියා ද ශාසනයට වින කරන්නෙකි. තමා වෙත පැහැදී පින් රැස්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ගිහියෙකු යමක් පූජා කරන විට එය පිළිගැනීමේ නිදහස ඕනෑම පැවිද්දකුට තිබේ. එහිලා කිසිදු පැවිද්දකුට බලපෑම් කළ නො හැකි ය. අපගේ දායකයන් දෙන දේ නුඹ නො ගත යුතු යැයි කීමේ අයිතියක් කිසිදු භික්ෂුවකට නැත.

අප පිදූ දන් වැළඳූ භික්ෂූන් අපගේ මරණයට, බණට පිරිතට ආවේ නැතැයි කියමින් යම් ගිහියෙක් සිතයි නම් එය ද වරදවා ගත් අදහසකි. දන් පිදිය යුත්තේ සුගිත හා නිවන් සම්පත් බලාපොරොත්තුවෙන් මිස වෙන යම් අදහසකින් නො වේ. එහෙත් භික්ෂුව තමාට සිව්පසයෙන් උපකාර කරන ගිහියන්ගේ කරුණාබර ගුණය අමතක නො කළ යුතුය.

කළගුණ සැලකීම උසස් ගුණයක් ලෙස බුදුහු වදාරති. එක් වයස්ගත බ්‍රාහ්මණයකු පැවිද්ද ඉල්ලූ විට ඔහු වයස්ගත බැවින් භික්ෂූහු එය ප්‍රතික්ෂේප කළහ.

එවිට බුදුරදුන් භික්ෂුන්ගෙන් විමසුයේ මෙම බමුණාගෙන් යම් කුඩා උපාකරයක් හෝ ලද භික්ෂුවක් නුඹලා අතර නැති ද කියායි. එය ඇසූ සාරිපුත්ත මහා ස්වාමීහු එම බමුණා දිනෙක තමාට එකම බත් හැන්දක් බෙදූ බව සිහිකොට ඔහු පැවිදි කළහ. එබැවින් පැවිද්දා සුදුසු කරුණුවලදී පමණක් ගිහියන්ට පිහිට විය යුතුය. එහෙත් ඔවුනට සඟසතු දෑ දීම්, ඔවුන්ගේ පණිවිඩ හුවමාරු කිරීම, වෙදකම් වැනි දේ කිරීම කිසිසේත් සුදුසු නො වේ. අවවාද, අනුශාසනා, බණ, පිරිත් ආදියෙන් ගිහියන්ට සැලකීම යෝග්‍ය වේ.

චන්දූපමාව උල්ලංගනය කොට සබඳතා පවත්වන පැවිද්දා ද, ශ්‍රද්ධාදී උපාසක ගුණවලින් තොරව පැවිද්දන් ඇසුරු කරන ගිහියන් ද නිසා සසුන් පිළිවෙත අතුරුදන් වී යනු ඇත. දෙපිරිසගේ ම සිත්වල තණ්හා, මාන, දිට්ඨි ආදි පාපී සිතිවිලි බලවත්වීම ඊට හේතුව යි. පාපී සිතකින් කරනු ලබන කිසිවක් යහපත පිණිස නො පවතී. චන්දෝපම පටිපදාවෙන් අගතැන්පත් මහා කාශ්‍යප රහතන් වහන්සේ දෙවි බඹුන්ගේ පවා ප්‍රසාදයට ලක් වූ සැටි ආශ්චර්යමත් ය. ඒ පිළිබඳ වැඩි විස්තර කස්සප සංයුත්තයෙන් හා එම අටුවාවෙන් බලා ගත යුතු ය. ගිහි පැවිදි දෙපිරිස ම තම වගකීම හා යුතුකම ද ප්‍රතිපදාව හඳුනා අත්‍යාදර ගෞරවයෙන් යුතුව පිළිපැදීම තුළින් ගෞතම බුදුසසුන බොහෝ කලකට ආයු ශී‍්‍ර ලබනු ඇත. එය අප විසින් සමස්ත සත්ත්ව වර්ගයාට ම දෙනු ලබන අමා ශාන්තියක් වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online