ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සද්පුරුෂයාගේ ලක්ෂණ හඳුනා ගැනීම

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

අප ජීවත්වන ලෝකයේ නිතර නිතර කථාකරන වදන් කීපයක් අද අපේ අවධානයට මුලින්ම ලක් කරන්නට කැමැතියි. ඒ තමා “හොඳ හා නරක” යන මේ වචන දෙක. මේවාට උගතුන් විසින් දෙන එක පොදු නමක් තිබෙනවා. ඒකට කියනවා”ආචාර විද්‍යාත්මක ප්‍රස්තුත” කියලා. මේ ගැන බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වන්නටත් පෙර සිට විවිධ උගතුන් බුද්ධිමතුන් සාකච්ඡා කර තිබෙනවා.
මොකක්ද, මේ “හොඳ – නරක” කියලා කියන්නේ? ලෝකයේ හැම කෙනෙක්ම පිළිගන්න විශ්ව සම්මත ලෙස හොඳ හෝ නරක මේවයි කියලා එක්වරම පොදුවේ කියන්නට පුළුවන් දෙයක් නැහැ. මොකද? නිදසුනක් ගත්තොත් යම් ආගමික ඉගැන්වීමක් අනුව “හොඳයි” කියන දේ තවත් ආගමික ඉගැන්වීමක් අනුව “ නරක” වෙන්න පුළුවනි. මේ විදියට ගත්තහම රටින් රට, පළාතෙන් පළාතට , ආගමෙන් ආගමට මේ හොඳ, නරක දෙකට දෙන අර්ථය වෙනස් වෙනවා. මේ වාගේම තවත් ආචාර විද්‍යාත්මක වශයෙන් වැදගත් වන ප්‍රස්තුත එසේත් නැතිනම් අරුත් බර වචන රාශියක් අප එදිනෙදා භාවිත කරනවා. ඒවා නම් “යහපත් අයහපත්, ශිෂ්ඨ – අශිෂ්ඨ, හරි – වැරැදි, සද්පුරුෂ – අසද්පුරුෂ, පින් – පව් , කුසල – අකුසල , දැහැමි – නොදැහැමි යන මේවා එයින් කීපයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. අද අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව සද්පුරුෂයා යන්නෙන් උන්වහන්සේ පෙන්වා දෙන්නේ කුමන ගතිගුණවලින් හෙබි අ යද? යන්න විසැඳුමක් සොයා ගන්නට බලමු. සද්පුරුෂයාගේ ගති ලක්ෂණ යමක් පෙන්වා දෙනවා නම් ඒ ගති ලක්ෂණ නැති තැනැත්තා අසද්පුරුෂයා බවට පත් වෙන බවත් අප තේරුම් ගත යුතු වෙනවා.
බුදුරජාණන් වහන්සේ අපට “සප්පුරිස සුත්ත” නමින් දේශනාවක් කර තිබෙනවා. මෙයින් තේරුම් කරදීමට උත්සාහ කර තිබෙන්නේ අපේ වචන භාවිතයේ ඇති මේ කියන සද්පුරුෂයාගේ ගති ලක්ෂණ මොනවාද? කියා පැහැදිලි කර දීමටයි. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී “සද්පුරුෂයා” හඳුන්වා දී ඇත්තේ මහා වර්ෂාවකට උපමා කරලයි. මහා වැස්සක් ඇති වෙන කොට මේ වැස්ස හැම තැනටම එක විදියට ම වහිනවා. අප සිතුවොත් මහා වැස්සක් කොළඹ අගනගරයට අයත් ප්‍රදේශයට පමණක් වාගේ සීමා වෙන විදියට වහිනවා කියලා. එහිදී ඒ වැස්ස නගරයේ හැම තැනටම එකවිදිහටම වහිනවා. එහිදී වැස්සට දුප්පත් – පොහොසත් භේදයක් නැහැ. නගරයේ වැස්ස අවශ්‍ය තණපිටි ආදියට මෙන්ම වැස්ස අවශ්‍ය නැති මහා මාර්ග කර්මාන්ත ශාලා, ගංගා, මහසයුර, රාජ්‍ය ආයතන ආදි හැම තැනටම එක ආකාරයෙන් වහිනවා. එහි භේදයක් නැහැ. අන්න ඒ වගේම සද්පුරුෂයා තමා වටා සිටින හැම අයකුටම සුදුසු සුදුසු ආකාරයෙන් උපකාරීව සහයෝගයෙන් කල්‍යාණ මිත්‍රත්වයෙන් යහපතක් වන ආකාරයෙන් ක්‍රියා කරනවා. සද්පුරුෂයාගේ බලපෑම කාටත් එකයි.

එහි දී බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පෙන්වා දෙන්නේ ඕනෑම පුද්ගලයකු ජීවත්වන මූලිකම සමාජය ගැනයි. ඒ තමන්ගේ දෙමාපියන් සමග ගත කරන දිවි පෙවෙතයි. සද්පුරුෂ දරුවෙක් නම් ඒ දරුවා තමන්ගේ දෙමාපියනට මහත් අස්වැසිල්ලක් වන ආකාරයෙන් පළමුවෙන්ම තම ජීවිතය පවත්වා ගෙන යාමට හුරු වෙනවා. එම සද්පුරුෂ දරුවා නිසා කවදාවත් දෙමව්පියන්ට අසහනයක් ඇතිවන්නේ නැහැ. මේ කාරණය ගත්තහම අද අප ජීවත්වන සමාජයේ කීයෙන් කීදෙනාද? දෙමාපියන් දරුවන් නිසා සැනසිල්ලක් ලබන්නේ කියන මේ කාරණය සිතා බැලීම වැදගත් වෙනවා. එසේ බලන විිට මේ සද්පුරුෂ ලක්ෂණය අපේ සමාජයේ බොහෝ දරුවන්ගෙන් දුරස්ථව පවතිනවා. අද බොහෝ දෙමාපියෝ ඇඬූ කඳුළින් පසුවෙනවා. සද්පුරුෂ දරුවා නිසා දෙමාපියන් සදාකල් සැනසිල්ලක් ලබනවා. මේ විදියෙන් බලන විට සද්පුරුෂයාගෙන් තම දෙමාපියන්ට කිසිදු අවස්ථාවක අවැඩක් හෝ සිත් රිදීමක් ඇති වන්නේ නැහැ.
ඒ වගේම තමා එවැනි සද්පුරුෂයා යම් ආකාරයකින් විවාහ පත් වෙලා දූදරුවන් ඇති කරලා ජීවත් වුණා නම් එවැනි අයගේ භාර්යාවට හා දරුවන් හට කිසිම අවස්ථාවක පීඩාවක්, අවනම්බුවක්, අසතුටක් ඇති වන ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙය අද අප ජීවත්වන සමාජය දෙස බලනකොට වඩාත් යහපත් අත්දැකීමක් බවට පත් කරගැනීම වැදගත් වෙනවා. මොකද? අද සමාජයේ ජීවත්වන ඇතැම් දූ දරුවන් අසද්පුරුෂ ගති ඇති තාත්තලාගෙන් පමණක් නොව අයහපත් හැසිරීම් ඇති මව්වරුන් නිසා සමාජයේ මහත් නින්දාවට, ගරහාවට, ලජ්ජාවට පත්වන අවස්ථා කොපමණවත් තිබෙනවා. සමහර දූදරුවන්, භාර්යාවන් තම තාත්තා හෝ තම ස්වාමිපුරුෂයා නිසා කිසිම තැනක හඳුන්වා දෙන්නටවත් අකැමැති තත්වයට පත්ව ඇති අසද්පුරුෂ ජන කොටස් සමාජයේ ජීවත් වෙනවා. එහෙත් මේ කියන සද්පුරුෂ ගති ඇති තැනැත්තා ඊට හාත්පසින් වෙනස් තත්වයකින් සමාජයේ ජීවත්වන තම අඹුදරුවන්ට මහත් අස්වැසිල්ලක්. ආශිර්වාදයක් වන ආකාරයෙන් ජීවත් වෙනවා.
ඊළඟ ලක්ෂණය ලෙස පෙන්වාදී ඇත්තේ සද්පුරුෂ ගති පැවැතුම් ඇති අයගේ ගේ දොර හෝ ආයතන ආදියෙහි සේවය කරන දැසිදස්සන්, කම්කරු ආදි පිරිස්වලට ද මහත් අස්වැසිල්ලක් වන ආකාරයෙන් මෙලොව පමණක් නොව පරලොවට පවා වැඩක්, අර්ථයක් සිදුවන ආකාරයේ ස්වාමියෙකු වශයෙන් ඔවුන් ක්‍රියා කරනවා. මෙය ඉතා වැදගත් යහපත් සමාජ සම්බන්ධතාවකි. මොකද? අද හාම්පුතුන් හා සේවක කොටස් අතර ඇත්තේ යහපත් සබඳතාවක් නොවේ. සේවක පිරිස් නොසතුටින් , අඩු වැටුප් ලබමින් , කර්මාන්ත ආයතන ආදියෙහි සේවය කරනවිට එම ආයතනවල පැවැත්ම තහවුරු වන්නේ නැහැ. එම කාර්ය මණ්ඩලය අසතුටින්, ද්වේෂයෙන් ක්‍රියා කිරීම තුළ තම ආයතනයේ දියුණුව ප්‍රාර්ථනා නොකර කටයුතු කරනවා. ඒ වෙන කොට එම ආයතන වැඩි කල් පවතින්නේ නැහැ. බංකොළොත් බවට පත් වෙනවා. එහෙම වුණත් හාම්පුතා සේවක හා කම්කරු පිරිස්වලට මැනවින් ප්‍රිය මනාපව, ශ්‍රමය සූරා නොකා සරිලන වැටුප් දෙවමින් සුහදව ක්‍රියා කිරීම තුළ එම ආයතන, කර්මාන්ත පමණක් නොව ඒ අය ජීවත්වන ගේදොරවල පවා ප්‍රබෝධයක්, ශීඝ්‍ර ප්‍රගතියක් ඇති වෙනවා. සමාජයේ හොඳ ප්‍රසාදයක් ඇති වෙනවා.
අප සමාජයේ ජීවත් වෙනකොට සාමූහිකවයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඉතින්, එවැනි සමාජයක යහළු මිත්‍රයන් ජීවත් වෙනවා. සද්පුරුෂයා මේ යහළු මිත්‍රයන් සමඟ ජීවත් වෙනකොට ඒ අයට යහපතක් වන ආකාරයට ක්‍රියා කරනවා. සද්පුරුෂයා නිසා ඔහු ජීවත්වන එම සමාජයේ අනිකුත් අයට පවා අර්ථයක් ප්‍රයෝජනයක් ඇති වෙනවා. හොඳ ගුරුහරුකම් ලබා ගන්නවා. විපතට පත් වෙන්නට තිබෙන අවස්ථා මග හරවාලීමට සද්පුරුෂ ආශ්‍රය හේතු වෙනවා. සද්පුරුෂයා ජීවත්වන සමාජයේ අනිකුත් අය අයහපතට යොමු වීමක් පෙනීයනවා නම් එයින් ඒ අය අත්මුදා ගැනීමට සද්පුරුෂයා ක්‍රියා කරනවා. මේ නිසා එම ආශ්‍රය කරන යහළු, මිත්‍රයන් යහපතෙහි පිහිටුවමින් වඩාත් ඉදිරියට සාර්ථකව ගමන් කරනවා. කාගේත් ප්‍රසාදයට භාජනය වෙනවා.
අප අද ජීවත්වන මේ වර්තමානය ගැන අප පැහැදිලි ලෙසම කල්පනා කරලා බලන්නටම අවශ්‍යයි. ඒ මොකද? සසර සැරිසරන සත්වයන් හැටියට අප හැම කෙනෙක්ම මේ ගත කරන්නේ අගක් මුලක් නැති මේ සංසාර ගමනේ ඉතාමත්ම කෙටි කලකට සීමා වූ නිමේශයක්, නැත්නම් කාලයක්, නවාතැන්පොළක දිවි පැවැත්මක්, ඉතින්, මේ අගක් මුලක් නැති මේ සසර ගමනේදී තම තමන්ටම මවු වූ , පියවූ , සහෝදර, සහෝදරී වූ ආච්චී, සීයලා වූ, ඥාති ලෙස විවිධාකාරයෙන් ඉපදුණු සංඛ්‍යාව කොපමණද? කියලා කීමට සමත් කෙනෙක් නැහැ. ඒකයි බුදු බණ. ඉතින් එවැනි දිගු සසර ගමනක යෙදී ජීවත්වන අපේ මළගිය ඥාතීන් අප පින්දහම් කරන විට ඒ දිහා බලා ගෙන “අනේ අපටත් පින් ටිකක් දේවි” කියා බලා ඉන්නවා වෙන්නට හොඳටම ඉඩ තිබෙනවා. ඉතින් සද්පුරුෂයා මේ කරුණ හොඳින් තේරුම්ගෙන හොඳ පින්දහම් කරලා ඒ අයත් සිහිපත් කරමින් මළගිය ඥාතීන්ට පින් දෙනවා. මේකත් තවත් සද්පුරුෂ ලක්ෂණයක් විදියටයි බුදුහාමුදුරුවෝ පෙන්වා දී තිබෙන්නේ. ඒ නිසායි සද්පුරුෂයා මළගිය ඥාතීන්ටත් සිත සුව පිණිස ක්‍රියා කරනවා කියා කියන්නේ.
ඒ වගේම තමා තමන් ජීවත්වන රාජ්‍යයේ රජුට හෙවත් රජයට නියමිත අයබදු ගෙවමින්, ජනතාවගේ සිත සුව පිණිස රජය අනුගමනය කරන පිළිවෙත්වලට එකග වෙමින් පොදු ජනහිත සුව පිණිස ක්‍රියා කිරීමත් තවත් සද්පුරුෂ ලක්ෂණයක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ නිසා ඔහුට කිසිවිටෙක රාජභයක් ඇති වන්නේ නැහැ. රජයේ නීති රීති අණපනත් රෙගුලාසි අනුගමනය නොකෙරුවා කියා චෝදනාවක් නැහැ. ඒවාට පිටුපෑමක් නැති නිසාත් තමන් නිදහසේ සතුටින් ජීවත් වෙනවා.
සද්පුරුෂයාට දෙවියොත් ප්‍රිය කරනවා. මොකද? හැම විටම තමන් නිවැරැදිව ජීවත් වෙමින් ලද සැනින් දෙවියන්ටත් පින් පෙත් අනුමෝදන් වන දෙවියෝ එවැනි සද්පුරුෂයන්ට නිරන්තරයෙන් පිහිට ආරක්ෂාව සලසා දෙමින් එම සද්පුරුෂයන් විපතෙන් ආරක්ෂා කරනවා.
අවසාන හෙවත් අටවැනි කාරණය ලෙස දක්වා තිබෙන්නේ සද්පුරුෂයා මහණ බමුණන්ටත් සිත සුව පිණිස ක්‍රියා කරනවා. මෙයින් අදහස් කරන්නේ වර්තමානයේ නම් භික්ෂු මහා සංඝයා වහන්සේ ළඟින් ඇසුරු නිසුරු කරමින් උන්වහන්සේලාගේ සුවදුක් සොයා බලමින් තම යහපැවැත්මට අවශ්‍ය ගුරුහරුකම් ලබමින් තමන්ගෙන් සැදැහැති බෞද්ධයකු වශයෙන් ඉටු විය යුතු යුතුකම් අවබෝධ කරගෙන ඒවා ඉටු කරමින් මැනවින් දන්පැන් දෙමින් ධාර්මිකව ජීවත් වෙනවා යන්නයි. මේ නිසා වෙහෙර විහාරස්ථාන දියුණු වී භික්ෂු මහාසංඝයා වහන්සේ ද ස්වකීය දායක පක්ෂය වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඔවුන්ගේ මොලොව පරලොව විමුක්තිය පිණිස ක්‍රියා කරනවා කියන මේ කරුණයි. මේ අටවැනි කරුණ අවසාන වශයෙන් සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් සද්පුරුෂයා තම ගුණ, දහම් ප්‍රගුණ කරමින්, දන් පැන් දෙමින් මසුරු මල තලමින් ක්‍රියා කිරීම තුළ ඔහුගේ සිතේ රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් මල දුරු කර නිවන් මග අත් කර ගැනීම දක්වා ක්‍රියා කරනවා කියන මේ කාරණය යි. ඒකයි සද්පුරුෂයාගේ අවසාන ඉලක්කය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online