ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අල්පේච්ඡතාව අරපිරිමැස්ම හා බුද්ධ චීවරය

කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී

සියඹලාගොඩ ධම්මින්ද හිමි

බුදුරදුන්ගේ මෙන් ම ශ්‍රාවකයන් වහන්සේගේ ද ඇඳුම වූයේ බුද්ධ චීවරය හෙවත් අර්හත්ධජයයි. කෙලෙස් වැඩෙන ඇඳුම් අතර මෙය කෙලෙස් තවන ඇඳුමකි. බුදුරදුන් මෙන් ම ශ්‍රාවකයන් වහන්සේලා සිවුර නිර්මාණය කිරීමේ දී ද ඊට අනුකූල ක්‍රමවේදයක් සකසා ගත්හ. ඒ තුළ අල්පේච්ඡතාව හෙවත් අල්ප ආශා ඇති බව කැපී පෙනුණ ගුණාංගයකි. මේ සෑම කාරණයකට ම වඩා වටිනා කාරණය වූයේ මේ තුළින් සමාජයට කියා දුන් අරපිරිමැස්ම හෙවත් සම්පත් අපතේ නොයැවීමයි. (බුදුරදුන්ගේ භාවිතයෙන් මෙන් ම පනවන ලද විනය නීති තුළින් එය මනාව පැහැදිළි වේ.)
සිවුර සකසා ගැනීමේ දී මරණය ඔතන ලද ඉවත දමන රෙදිකඩ මනාව සෝදා පවිත්‍ර කර ගැනීම පළමු කාර්යයයි. ඉන් අනතුරු කඩකපා මසා නිමකර පඬු පෙවීම සිදු කර ගනී. මේ සඳහා මහා පිරිවැයක් දරන්නේ නැත. ස්වභාව දහමට හානි නොකර ගස් කොළ, පොතු, මුල් ආදිය සඳහා යොදනු ලබයි. එහි දී ද සම්පත් අපතේ නොයැවීම අගය කටයුතුය. ඇඳුමක් පිළියෙල කර ගැනීම අනවශ්‍ය වියදම් කිරීම බුදු දහම අනුචිතය. ඇඳුමෙන් කෙරෙන කාර්යය මනාසේ ඉටුවන්නේ ද එය සිවුරෙන් සිදුවේ. එනම් සීතලෙන්, අව්වෙන්, මැසි මදුරු කරදරවලින් ආරක්ෂා වීමයි. එවැනි කාර්යයන් සිදුකිරීමේ දී සම්පත් අපතේ යැවීම බුදු දහම අනුමත නොකරයි.
සිවුරේ දැකිය හැකි සරල බව නිසාම වර්තමානය දක්වාම එය වෙනස් නොවී පවතියි. බොහෝ විලාසිතාවන් ඇඳුමට එක්වෙද්දී සිවුර අවුරුදු 2600 ක් අවිච්චින්තව පැවතීමේ රහස ද එයයි. සමානාත්මතාව ඇති වී උඩගු බව තුරන් වීම මෙහි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයයි. පරිහරණයේ දී ද යම් ක්‍රමවේදයක් සිවුර සම්බන්ධයෙන් දැකිය හැකිය.
සම්පත් අපතේ යැවීම මගහරවා බොහෝ දෙනෙකුට බෙදී යන ආකාරයට සිවුරු පරිහරණය කළ යුතුය. මුල් කාලසීමාවේ දී භික්ෂුවකට දැරීමට අනුදැන වදාළ තිබුණේ තුන් සිවුර පමණි. එනම් දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර වශයෙනි. පසුකාලීනව ඇති වූ අවශ්‍යතා මත හා සිදුවීම් නිසා එය යම් පමණකට ලිහිල් කළහ. සාකේත නුවර වස්විසි භික්ෂූන් තෙතබරිතව බුදුරදුන් නැමදීම හේතු කොට ගෙන කඨින සිවුර අනුදැන වදාළහ. බොහෝ සිවුරු දැරීම ගර්හාවට ලක් කළහ. එසේ ම විශාඛාවගේ මැදිහත්වීම මත නානකඩය පසුකාලීනව භික්ෂූන්ගේ පරිහරණයට එක්වුණි. මේ තුළින් පැහැදිලි වන්නේ සම්පත් අවශ්‍ය වන්නේ පරිභෝගයට මිස ගොඩගසා ගනිමින් තමන්ට පමණක් භුක්ති විඳීමට නොවේ. එය ආත්මාර්ථකාමී සිතිවිල්ලකි. පොදුවේ ලැබෙන සිවුරු පිරිකර භික්ෂූන්ට ලබා දුන්නේ අවශ්‍යතාවය මතයි. සාංඝික හෙවත් පොදු දේපල ක්‍රමය බුදුරදුන් ආරාමයන්ට හඳුන්වා දුන්හ. සෑම ආරාමයක් ම පූජා කරනු ලැබුවේ සංඝයා උදෙසා ය. එසේ ම ආරාම පරිපාලනයේ දී භික්ෂූන්ට ලැබෙන සිවුරු පිරිකර භාරව භික්ෂුවක් පත් කළහ. අවශ්‍යතාවය මත සිවුරු ලබාදෙන්නේ එම භික්ෂුවයි. එසේ සකසුරුවම් ආකාරයට සිවුරු ලබාදෙන්නේ සම්පත් අනවශ්‍ය ලෙස අපතේ යැවීම පාපයක් හෙවත් නරක ක්‍රියාවක් බැවිනි. සැතපීමේ දී පොරවනු ලබන්නේ ද තම සිවුරමය. වෙනයම් ඇතිරිල්ලක් පොරවන්නේ නැත. සීමිත සම්පත් භාවිත කර මහා ප්‍රයෝජනයක් ගැනීම උන්වහන්සේගේ අපේක්ෂාව වූහ. යම් තැනක වාඩිවීමේ දී බොහෝ විට ප්‍රයෝජනයට ගනු ලැබූයේ තම දෙපට සිවුරයි.
භාවිත කරන ලද සිවුර නැවත පෙරවීමට නුසුදුසු තත්ත්වයට පත්වීමේ දී හිතුමනා ලෙස ඉවත් කළ නොහැක. එසේ ඉවත් කිරීම සාමාන්‍ය අර්ථයෙන් ගත්ත ද අශෝභන ක්‍රියාවකි. අඳින ලද ඇඳුම් අපිළිවෙළට බැහැර කිරීම දකින්නන්ගේ පිළිකුලට භාජනය වනවා පමණක් නොව පරිසර දූෂණයට හේතුවකි. ස්වභාවික පරිසරයේ සුන්දරත්වයට හානියකි. විශේෂයෙන් සිවුර එසේ බැහැර කිරීම කිසිසේත් ගැළපෙන්නේ නැත. භික්ෂුව සෑම විට ම නොපැහැදුන ඇත්තන් පැහැද වීමටත් පැහැදුනන්ගේ වර්ධනීය පැහැදීම පිණිස වැඩසිටිය යුතු ය. සිවුරු අනවශ්‍ය ලෙස බැහැර කිරීම අප්‍රසාදයට හේතුවිය හැකිය. ස්වභාවදහම පැත්තෙන් ගත් කළ ද එය නුසුදුසුය. භික්ෂූන්ට නිරන්තරව බුදුරදුන් උපදෙස් දෙනු ලැබූයේ ද කෙලෙස් වනය සිඳින්න, ස්වභාවික පරිසරයට හානි නොකරන ලෙසය. කෙලෙස් තවන ඇඳුම ඒ නිසාවෙන් ගෞරවයෙන් බැහැර කළ යුතුය.
පෙරවීමට යෝග්‍ය නොවන විට තම සිවුර වෙනත් අවශ්‍යතා සඳහා යොදවන ලෙස බුදුරදුන් අනුදැන වදාළහ. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් උන්වහන්සේ පැනවූහ. සෑම භික්ෂුවක් ම එය අනුගමනය කළ යුතුය. උන්වහන්සේ ද එය ආදර්ශයෙන් පෙන්වා වදාළහ. එය මෙසේ පෙළගැස්විය හැකිය.
* මළමිනිය ඔතන ලද රෙදිකඩ හෙවත් පාංශු කූල වස්ත්‍රය සෝදා පිරිසුදු කර ගැනීම.
* විනයානුකූලව කඩකපා මසා නිමකොට පඬු පෙවීම.
* පරිහරණයට සුදුසු තාක් කල් භාවිත කිරීම.
* නුසුදුසු වූ සිවුර තම යහනට ඇතිරිල්ලක් ලෙස යෙදීම.
* යහනට ද නොගැළපෙන තැන පාපිස්සක් ලෙස යොදා ගැනීම.
* එසේ නුසුදුසු වූ විට බිත්තිවල මැටි යෙදීමේ දී සිහින් කැබලිවලට කපා මැටි සමඟ අනා බිත්තිවල යෙදීම වශයෙනි.
එකම වස්ත්‍රය අවස්ථානුකූලව යොදාගනිමින් විශාල ප්‍රයෝජනයක් ගැනීමට මෙසේ බුදුරදුන් පැනවීම් සිදු කළහ. අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි ඵලදාවක් ලබා ගැනීම මෙයින් අපේක්ෂා කළ බව කිව යුතුය.
මගධ කෙත සකස් වී ඇති ආකාරයෙන් සිවුරු පිළියෙල කිරීම භික්ෂූන්ට නියම කළහ. එසේ ම අධික මුදල් වියදම් කරමින් සිවුරු පඬු පෙවීම වෙනුවට ස්වභාව දහමේ සම්පත් ප්‍රයෝජනයට ගනු ලැබූහ. එහි දී ද පරිසරයට හානි කිරීම බුදු දහම ප්‍රතික්ෂේප කළහ. සිවුර යනු ‘පව්’ තවන වස්ත්‍රයකි. මෙයට අර්හත් ධජය ලෙස ද ව්‍යවහාර කරයි. එසේ පවසන්නේ ආර්යයන් වහන්සේලා දරන බැවිනුත් ආර්ය ස්වභාවයට පත්වන්න වෙරදන්නන් භාවිත කරන නිසාවෙනි. එවැනි උතුම් ඇඳුමක් සැකසීමේ දී කෙලෙස් වැඩීම අගය කළ යුතු නැත. ඒ නිසා තම වස්ත්‍රය සකසා ගැනීමේ දී බොහෝසෙයින් සිහියෙන් කටයුතු කළ යුතුය. පැවිද්ද ඉල්ලීමේ දී පවා මේ සම්බන්ධයෙන් සිහියෙන් කටයුතු කළ යුතුය. සිවුර හැකිතාක් ප්‍රයෝජන ගත යුතු අතර ප්‍රයෝජන ගත නොහැකි විට ද ඉවත් කළ යුතුය. නමුත් තවත් ප්‍රයෝජනයක් සඳහා එය යෙදිය යුතුවේ. ඇඳ ඇතිරිල්ල ලෙස සිවුර පරිහරණයට ගැනීම භික්ෂුවගේ කාර්යයි. එසේ නොකරන්නේ නම් එය ඇවැතකි. සම්පත් අපතේ යැවීම පවකි. නොහැකියාවකි. භික්ෂුවට නම් එය කෙසේවත් සුදුසු නැත. යම් හෙයකින් ඇඳ ඇතිරිල්ලට ද එම සිවුරු නුසුදුසුනම් බැහැර කළ හැකිය. නමුත් නැවත පාපිස්සක් ලෙස යොදාගැනීමට වග බලා ගත යුතුය. අවසානයේ දී එසේ ද නුසුදුසුනම් සිවුර සිහින් වන සේ ඉරා මැටි සමඟ අනා බිත්තියට තැබිය යුතුය. සිවුරු පරිහරණයේ දායකයාගේ ප්‍රසාදය ක්ෂය වන ආකාරයෙන් ඉවත් නොකළ යුතුය. ඉහත ක්‍රමවේදය ඒ සඳහා භාවිතා කිරීම භික්ෂූන්ට අනුදැන වදාරා ඇත.
යම් හෙයකින් ඇතැම් භික්ෂුවක් එසේ නොකරන්නේ නම් එය විනය විරෝධි ක්‍රියාවකි. විනයෙන් තොර සාසනයක් නැත. සාසනයේ ආයුෂ විනයයි. ගිහියා ද මෙම ක්‍රමය මෙසේ සිදු නොකළ ද භාවිත කරන දෑ අරපරිස්සමින් යොදා ගත යුතුය. සම්පත් අපතේ යැවීම හෙවත් අවභාවිතය නරක ක්‍රියාවකි. පාපයකි. එය බුද්ධ චීවරයට පමණක් අනන්‍ය වූ දෙයක් නොවේ. අවශ්‍යතාව හා පරිභෝජනයේ සීමාව හඳුනාගෙන කටයුතු කිරීමට භික්ෂුව විශේෂයෙන් වග බලා ගත යුතුය. එය භික්ෂු සංස්ථාවේ දියුණුවට සේම සමස්ත රටේම දියුණුව විෂයෙහි යහපත්ව බලපානු ලබයි. අල්පේච්ඡතාව, සන්තුට්ඨිතාව මෙන් ම සුභරතාව හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකි වීම දියුණුව මැනීමේ එක් මිනුම් දණ්ඩයකි. අර්හත් ධජය හෙවත් බුද්ධ චීවරය පරිශීලනය හා ඒ හා බැඳි සංඝකර්ම තුළින් එය මනාව පැහැදිලි වේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online