ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සැපවත් වූ සක්දෙව් පදවි ලබන්නට නම්.....

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන්

පින්වතුනි, ශක්‍ර දෙවියන් ශක්‍ර දෙවි පදවිය ලබන්ට මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙ, මොනවද කලේ කියල භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනව. ශක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකේ වාසයකරනකොට කරුණු ගණනාවක් අත්නොහැර පුරුදුකලා කියල අපිට කියාදෙනව. ව්‍රැත විදිහට සමාදන් වෙලා එයා ඒව පුරුදුකලා කියල කියනව. ජීවිතේ තියෙන තාක්ම ඒ කරුණු අත්නොහැර පුරුදුකලා කියල කියනව.
අන්න ඒ විදිහට ඒ කරුණු අත්නොහැර පුරුදුකිරීමෙන් ඉපදුණ පිනෙන් තමයි එයාට මහත් වූ ආනුභාව සහිත සක්දෙවි පදවිය ලබාගන්ට පුළුවන්කම ලැබුනෙ. ඒ සක්දෙවි පදවිය එයාට හිමිවුනේ, ඒ ඉතා ම දුර්ලභ වූ ගුණධර්ම ජීවිතේ පුරාවට ම සමාදන්වෙලා, පුරුදුකල නිසා කියල භාග්‍යවතුන් පෙන්වා දෙනව.
භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව, ඒ ශක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකෙ වාසයකරනකොට දිවිහිමියෙන් ම දෙමව්පියන්ට සත්කාර කලා. ජීවිතය තියෙනතාක් ම දෙමව්පියන්ට සත්කාර කලා. ඒක අත්හැරියෙ නෑ. ඉතා ම සෙනෙහසින්, ආදර ගෞරවයෙන් දෙමව්පියන් පෝෂණය කලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙ ශක්‍ර දෙවියන් ජීවිතය තියෙන තාක් ම වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වමින් ඥාතීන්ට සංග්‍රහ කලා, අත්නොහැර සංග්‍රහ කලා.
අන්න ඒකත් ජීවිතය පුරාවට ම කඩ නොකල දෙයක් වුනා. ඊළඟට දිවි තිබෙනතාක් කේලාම් කිව්වෙ නෑ කියල කියනව. කේලම කියල කියන්නෙ පිරිස් කොටවන්ට, මෙතන එකක් අහල එතන තව එකක් කියනව. එතන තව එකක් අහල මෙතන වෙන එකක් කියනව. එකට කියන්නෙ කේලම. පිරිස වෙන්කරවනව, බෙදනව, බින්නකරනව.
අන්න ඒ විදිහට පිරිස වෙන්වෙන්ට, බින්නවෙන්ට අසමඟි වෙන්ට හේතුවෙන විදිහේ ප්‍රකාශකලේ නෑ. කේලාම් කිව්වෙ නෑ ජීවිතය තියෙනතාක් ම. ඊළඟට ශක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙ ජීවිතය තියෙනතාක් ම ප්‍රිය වචන කතා කලා, මිහිරි වචන කතා කලා. අමිහිරි, අප්‍රිය වූ වචන කතාකලේ නෑ. හරි පුදුමයි නේද? හිතා ගන්නවත් බෑ නේද මෙහෙම මනුෂ්‍යයෙක් ලෝකෙ හිටියද කියල.
එහෙම මනුෂ්‍යයෙක් ලෝකෙ හිටිය. එයා දැන් ඉන්නෙ තාවතිංස දිව්‍ය ලෝකෙ. දෙවියන් අතර අග්‍ර බවට පත්වෙලයි එයා ඉන්නෙ . ඒ අග්‍ර බවට පත්වුනේ, අපිට විශ්වාස කරන්ට බැරි, අදහගන්ට බැරි ගුණධර්ම පුරුදුකල නිසා. ඊළඟට දිවිහිමියෙන් ම සත්‍යයවාදී වුනා, බොරු කිව්වෙ නෑ, සත්‍යය ප්‍රකාශකලා. ඊළඟට ජීවිතය පුරාවට ම මසුරුමල දුරුකරල දන් දුන්න. දන් දීමට නැඹුරු වූ සිතින් වාසය කලා. දන් දීමට දෑත සෝදගෙන හිටියෙ කියල කියනව.
ඊළඟට ශක්‍ර දෙවියන් ගිහිගෙදර වාසය කරනකොට ක්‍රෝධ රහිත සිතින් තමයි දිවි හිමියෙන් ම වාසය කලේ. ජීවිතය තියෙනතාක් ම ක්‍රෝධ රහිත සිතින් හිටියෙ. තරහ සහිත සිතුවිල්ලක් ආවොත් එයා බැහැරකලා, පවතින්ට දුන්නෙ නෑ. මෙන්න මේ කරුණු ජීවිතය තියෙනතාක් ම ශක්‍ර දෙවියන් පුරුදුකලා මනුෂ්‍යය ලෝකෙ ඉන්නකොට.
අන්න ඒව පුරුදුකිරීමෙන් උපදවගත්ත පිනෙන් තමයි ශක්‍ර දෙවි පදවිය ලැබුනෙ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව, ඒ තාවතිංස දෙවියන් කතා වෙනවලු, "යම් කෙනෙක් දෙමව්පියන්ට පුද සත්කාර දෙමින් සලකනවානම්, ඥාතීන්ට ගරු බුහුමන් දක්වමින් ඥාති සංග්‍රහ කරනවානම්, මිහිරි වචන දිවිහිමියෙන් කතා කරනවානම්, කේලාම් කියන්නෙ නැත්නම්, මසුරු මල දුරුකරමින් දන් පැන් දෙමින් වාසය කරනවානම්, සත්‍යය වචන කතා කරනවනම්, අන්න එයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙක්" කියල.
එතකොට අපිට සත්පුරුෂයෙක් විදිහට අපේ ජීවිතය දියුණුකරගන්ට මේක මගපෙන්වීමක් කරගන්ට අපිට පුළුවන් නේද? දැන් බලන්න දෙමව්පියන්ට සලකනවා කියන එක ගෙදර ඉඳල අපිට කරන්ට පුළුවන්ද බැරිද? ගෙදර සිට කලයුතු දෙයක්. ඥාතීන්ට සංග්‍රහ කිරීම ගෙදර සිට කලයුතු දෙයක්. මිහිරි වචන කතා කිරීම ගෙදර සිට කලයුතු දෙයක්.
කේලාම් නොකිය සිටීම ගෙදර සිට කලයුතු දෙයක්. දන්පැන් දීම, මසුරු මල දුරු කරල දන්පැන් දීම ගෙදර සිට කලයුතු දෙයක්. සත්‍යය වචන කතා කිරීම, ක්‍රෝධය දුරු කරල වාසයකිරීම ගෙදර දොරේ සිට කලයුතු දෙයක්. රාජකාරි කරන තැන. එතෙන්දිත් ඒක කල යුතුයි. ගමේ රටේ සමාජයේ එතෙන්දිත් මේ ගුණධර්ම අපි පුරුදුකල යුතුයි.
මේ ගුණධර්ම යමෙක් පුරුදුකර ගත්තොත්, එයාට සුවපහසු ජීවිතයක් ඇතිවෙයිද? පීඩාකාරී ජීවිතයක් ඇතිවෙයිද? නිතැතින් ම සුවපහසු ජීවිතයක් ඇතිවෙනවාම යි. එතකොට බලන්න මේ ගුණධර්ම පුරුදුකර ගත්තොත් යම් කෙනෙක් එයා තමන්ගේ දෙමාව්පියන්ගේ ආශිර්වාදයට හිමිකරුවෙක් වෙයිද නැද්ද? හිමිකරුවෙක් වෙනව.
ඥාතීන්ගේ ආශිර්වාදයට හිමිකරුවෙක් වෙනවද නැද්ද? හිමිකරුවෙක් වෙනව. ගමේ රටේ අයගේ ආශිර්වාදයට ප්‍රිය බවට හිමිකරුවෙක් වෙයිද නැද්ද? යාළු මිතුරන් අතර මෙයා ප්‍රියබව උපදවන, ප්‍රශංසාවට පාත්‍ර වන කෙනෙක් වෙයිද නැද්ද? වෙනව. ඊට පස්සෙ ශ්‍රමණයින් අතර මෙයට ප්‍රශංසාව ලැබෙයිද නොලැබෙයිද? ලැබෙනව. එහෙනම් සමාජයේ කොතන ගියත් මේ ගුණධර්ම පුරුදුවෙනවා නම් මෙයාට සමාජයේ කොතනත් පිළිගැනීමක්, කීර්තියක් ලැබෙනව.
එතකොට ඒ ගුණධර්ම පුරුදුකරන කෙනා සුවපහසුවෙන් සැපසේ වාසය කරන කෙනෙක් බවට නිතැතින්ම පත්වෙනව. එතකොට මේ කටයුතු කරන්ට කරන්ට එයාගෙ පින තව තවත් බලවත් වෙනවද නැද්ද? බලවත් වෙනව. එයා මරණයට මූණදෙනකොට බය තැති ගැනීම් වෙයිද? ලෙඩ දුක එනකොට බය තැතිගැනීම් එයිද? නෑ. මරණයෙන් මත්තේ එයාට මොකද වෙන්නෙ? සුගතියේ උපදිනව.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online