ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

නිවනට පිවිසෙන දොරටුව ශ්‍රද්ධාවයි

මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී, 
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය,
ගලගෙදර රතනවංස හිමි

නිවන යනු සියලු කෙළෙසුන් අවසන් වන අවස්‌ථාවයි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්‌සේ ගමන් කොට පියවරෙන් පියවර සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් වශයෙන් ලැබිය යුත්තකි. තම ප්‍රඥවෙන් ලැබිය යුතු එම නිවන් මඟ අවබෝධ කර ගැනීමට වීර්යයෙන් යුක්‌තව කටයුතු කළ යුතුව ඇත. බුදු දහම වනාහි ප්‍රඥවන්තයන් උදෙසා දේශනා කළ එකකි. එයට හේතුව එය අවබෝධ කර ගැනීම එතරම්ම ගැඹුරු වූවක්‌ බැවිනි. බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෝකයාට ධර්මය නොදෙසීමට තීරණය කළේද එහි ගැඹුරු බව හේතුවෙනි. "පඤ්ඤාවන්තස්‌සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්‌ස" යන පාඨයෙන් ඒ බව තහවුරු වේ.

නමුදු පුහුදුන් ලෝකය තුළ ජීවත්වන බොහෝ දෙනෙක්‌ මෝඩයන් හෙවත් පිස්‌සන්ය. "සබ්බේ පුතු-ජනා උම්මත්ථකා" යනුවෙන් සියල්ලෝම පිස්‌සන් බව සනාථ වේ. බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන් හැරුණු කොට සියල්ලෝම වැරදි අඩු පාඩුවලින් අනූනය. සියල්ලෝම කාම ලෝකයේ පිස්‌සන් විලසින් එක එක අරමුණු ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඉච්ඡා භංගත්වයෙන් ජීවත් වෙති. එවැනි ලෝකයකට ගැඹුරු දහමක්‌ දේශනා කිරීමෙන් ඇති ඵලක්‌ නැත. නමුදු බුදු කෙනෙක්‌ නිරන්තරයෙන් උත්සාහ කරන්නේ සංසාර චක්‍රයට හසු වී සිටින අපමණ දුක්‌ විඳින සත්ත්වයා ඉන් මුදවාලීමටය. ඒ සඳහා එකම විසඳුම නිවන අවබෝධ කර වීමයි. එය සෘජුව කර දීමට අපහසු බැවින් පළමුව පුද්ගලයා ඒ සඳහා නැඹුරු වීමේ ආකල්පය ඇති කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා ඇති එකම විකල්පය වන්නේ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමයි.

බුදු දහම වනාහි ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥවෙන් අවසන් වන්නකි. බුදු දහම කිසිම අවස්‌ථාවක භක්‌ති මාර්ගය අගයන්නේ නැත. බුදුන් ලොව පහළ වන යුගය තුළ පැවතියේ භක්‌ති මාර්ගයයි. සර්ව බලධාරී දෙවි කෙනකු අරභයා පුද පූජා යාග හෝම පැවැත්වීම එහි කාර්යයි. අදෘෂ්‍යමාන වස්‌තූන් මූලික කොටගෙන නිවන සෙවූ යුගයක බුදු හිමි ඥන මාර්ගය පෙන්වා දී පරම සත්‍යය වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට මාර්ගය පාදා දුන් ආකාරය ඉතා පැහැදිලිය.

ම.නි. කීටාගිරි සූත්‍රයට අනුව ශ්‍රද්ධාව හා එහි ප්‍රභේද පිළිබඳව දක්‌වා ඇත. ඉහතින් මතක්‌ කළ ආකාරයට සියල්ලෝම ප්‍රඥවන්තයන් නොවන බැවින් ශ්‍රද්ධාව මුල් කොටගෙන බුදු දහම වැළඳ ගැනීම හා නිවනට යන මාර්ගය පාදා ගැනීමට සිදු වේ. ඒ අනුව ශ්‍රද්ධාව ඉතා වැදගත් වේ. ශ්‍රද්ධාව එහි මූල බීජයයි. සැදැහැයෙන් පෙළඹෙන පුද්ගලයා සම්‍යක්‌ දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. පැමිණ සමීපයෙහි හිඳ ගනියි. හිඳ සවන් යොමු කරයි. යොමු කළ සවනින් දහම් අසයි. ඇසූ ධර්මය දරයි. දැරූ ධර්මය අර්ථ පරීක්‌ෂා කරයි. අර්ථ පරීක්‌ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි. එකල්හි ශාසන කාර්යයෙහි කැමැත්ත ඇති වෙයි. එබැවින් උත්සාහ කරයි. උත්සාහය නිසා ත්‍රිලක්‌ෂණ මනසිකාරයට පෙළඹෙයි. එය පධන් වීර්යයට පුද්ගලයාව මෙහෙයවයි. පධන් වීර්යය නිසා නාම කයින් පරම සත්‍යය සාක්‌ෂාත් කරයි. ප්‍රඥවෙන් එය ප්‍රතිවේධ කොට දකියි.

මේ ආදී වශයෙන් ප්‍රඥව අඩු වුවත් ශ්‍රද්ධාව ඇත්නම් ක්‍රම ක්‍රමයෙන් නිවන කරා ගමන් කරනා අයුරු එම සූත්‍රයට අනුව විග්‍රහ වේ. මෙහිදී අප අවබෝධ කරගත යුතු කරුණක්‌ වන්නේ ශ්‍රද්ධාවේ කොටස්‌ දෙකක්‌ ඇති බවත් එයින් ආකාරවතී ශ්‍රද්ධාවම අනුගමනය කළ යුතු බවත්ය. අමූලික ශ්‍රද්ධාව තුළින් සිදුවන්නේ නොවිමසා අවිචාරශීලීව අනවබෝධයෙන් පිළිගැනීමයි. කටයුතු කිරීමයි. නමුත් ආකාරවතී ශ්‍රද්ධාව එසේ නොවේ. එතුළින් විචාරශීලීව සොයා බලා විමසා තර්කානුකූලව බුද්ධිමත්ව ක්‍රියා කිරීමත් ප්‍රසාදයට පත්වීමත් සිදු වේ.

බුදුන් කලද සමහර දෙනකුට අමූලික ශ්‍රද්ධාව තිබූ බැවින් නිවන පවා අවබෝධ කර ගැනීමට අපහසු විය. සැරියුත් හිමි ප්‍රඥවන්තයන් අතර අග තනතුර ලැබීම ප්‍රශංසා කොට ඇති මුත් ශ්‍රද්ධාවෙන් යුක්‌ත වූ වක්‌කලි හිමියන්ගේ ශ්‍රද්ධාව ගැන ප්‍රශංසා කොට නොමැත. එයට හේතුව අධික ශ්‍රද්ධාව නිවනට පවා බාධාවක්‌ වන බැවිනි. ආනන්ද, වක්‌කලී, මේඝිය වැනි හාමුදුරුවරුනට නිවන් ලබා ගැනීම ප්‍රමාද වී ඇත්තේද අධික ශ්‍රද්ධාව තිබූ බැවින් බව පැහැදිලි වේ.

ම.නි. කීටාගිරි සූත්‍රය තුළම ශ්‍රද්ධාව පිළිබඳ තවත් විධිමත් විස්‌තරයක්‌ සිදු කොට ඇත. එම සූත්‍රයට අනුව ශ්‍රද්ධාව විවිධ අංශයන් ඔස්‌සේ විකාශනය වන අයුරු පැහැදිලි වේ. නිර්වාණාවබෝධය උදෙසා වැඩෙන සද්ධා සීල, සුත, චාග පඤ්ඤා යන සම්පත් අතර සද්ධා සම්පදා නමින්ද, සද්ධා විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන් අතර සද්ධා ඉන්ද්‍රිය වශයෙන්ද. ඒ ඉන්ද්‍රියම බල ධර්ම වන විට සද්ධා බල නමින්ද තමාම සුරැකෙමින් පමාවට නොනිසි සද්ධා විරිය හිරි ඔත්තප්ප පඤ්ඤා යන අප්‍රමාදී ධර්මයන් අතර සද්ධා නමින්ද ආදී වශයෙන් දක්‌වා ඇත. ඒ කෙසේ දැක්‌ වුවද කෙටියෙන් අවබෝධ කර ගත යුතු වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥවෙන් අවසන් වන බවයි.

නිවන් දැකීම අසීරු වන්නේ ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වන බැවිනි. සත්ත්වයා සසර දුක්‌ විඳින්නේද එම හේතුවෙනි. එසේ නම් එම ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට පෙර එම ධර්මය දෙසට යොමු වන ශක්‌තිය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ඇති කල පන්සල් යැමට, මල් පහන් පූජා කිරීමට, දන් දීමට, බුදුන් වැඳීමට ආදී ආමිස පූජාවලට නැඹුරු වනු ඇත. එම නැඹුරු වීමේ කෙළවර ප්‍රතිපත්ති පූජාවද සිදු කිරීමට අපහසුවක්‌ නැත. එසේ නම් නිවනට යන ගමන් මගේ සමාරම්භක අවස්‌ථාව නොහොත් දොරටුව ශ්‍රද්ධාව කීවොත් ඉතා නිවැරදිය. එහිදී අමූලික ශ්‍රද්ධාව ඉවත් කොට ආකාරවතී ශ්‍රද්ධාවම ප්‍රගුණ කිරීමට උත්සාහවත් විය යුතුය. එවිට තුනුරුවන් හරහා නිවන් මඟ පෑදෙනු ඇත. අද බොහෝ දෙනකුට තිබෙන්නේ අමූලික ශ්‍රද්ධාවයි. එම හේතුවෙන් තුනුරුවන්ගේ ගුණ පිළිබඳව නිසි අවබෝධයක්‌ නැත. මල් පූජා කළාට එම ගාථාවේ අර්ථය පිළිබඳ අවබෝධයක්‌ නැත. මේ ආදී වශයෙන් අමූලික ශ්‍රද්ධාව තුළින් නිවන් ලැබීම තබා සැබෑ බෞද්ධයකු වීමටද අපහසු වී ඇත.

සමහර ධනවතුන් තමන්ගේ නම බෝඩ් වල ලියා ගැනීමට හෝ තමන්ගේ නම පිරිස මැද කියවා ගැනීමට තරම් බොළඳ වී ඇත. ඒ අය සිදු කරන්නේ නැති බැරි අසරණ දුප්පත් අයට දීමට නොව තියෙන තැනටම දීමය. එයට හේතුව මැණිකෙ, මැතිනිය, මැතිතුමා ආදී වචන පිට වන්නේ ද පටු පරමාර්ථ තිබෙන ලාභ ප්‍රයෝජනම අපේක්‌ෂිත තැන් වලින් වීමය. කිසිම අවස්‌ථාවක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වන අය එම ධනවතුන්ගේ වැරදි අඩු පාඩු හැදීමට උත්සාහවත් නොකරති. අමූලික ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවකට පරිවර්තනය කිරීමට නොයති. එසේ වුවහොත් ඔවුන්ටද මදි පුංචිකමක්‌ කළා කියමින් සිත් අමනාප වෙයිද යන ආකල්පය හේතුවෙනි. යන ආකල්පයෙනි. එවිට ලාභ ප්‍රයෝජන ද නවතිනු ඇත. නමුදු අමූලික ශ්‍රද්ධාවෙන් නම කියා ගැනීමට හෝ නම ලියා ගැනීමට උත්සාහවත් වන එම තැනැත්තියට හෝ තැනැත්තාට උපාදානයෙන් මිය ගොස්‌ සසර තව තවත් දික්‌වී නිවන තබා සෝවාන් වීමටවත් අවස්‌ථාවක්‌ උදා නොවනු ඇත.
සදහම් සඟරා - Online