ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ඇත් පියවර උපමාවෙන් සත්‍යාවබෝධයට

පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

එදා ජානුස්සෝනි බ්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින් සරසවා තමාත් සුදු වතින් සැරසුණා. බ්‍රහ්ම රාජයෙකුගේ ලීලාවෙන් සැවැත්නුවර නගර ප්‍රදක්ෂිණාවට නික්මුණා. මොහුගේ මිත්‍රයෙක් වූ පිරිවැජියෙක් පිළෝතික නමින් සිටියා. ඔහු වච්ඡයාන ග්‍රෝති‍්‍රකයෙක්. දිනක් ජානුස්සෝනි බ්‍රාහ්මණයාට පිළෝතික පිරිවැජියා මුණගැසුණා.
“වච්ඡායන, මේ දහවල් කොහේ සිට එන ගමන්ද?”
“මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ බැහැ දකින්න ගියා. මම එන්නේ එහි සිටයි”.
“හැබෑවට වච්ඡායන ඔය ශ්‍රමණ ගෞතමයන්ගේ බුද්ධිමත් බව ගැන ඔබ සිතන්නේ මොකක්ද? ඔහු මහා නුවණැත්තෙක් ද”?
“ පින්වත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ මහා ප්‍රඥාව ගැන මම මොනවද දන්නේ? උන්වහන්සේගේ ඒ මහා ප්‍රඥාව ගැන දැනගන්නට පුළුවන් වෙන්නේ උන්වහන්සේ වාගේම උත්තමයෙකුට පමණයි”.

අපේ වච්ඡායන ශ්‍රමණ ගෞතමයන් ගැන මහා ගෞරවයකින් ප්‍රශංසා කරනවානේ?
'පින්වත, ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්න තරම් මට ඇති සුදුසුකම මොකක්ද? උන්වහන්සේ පැසසිය යුත්තන් අතර ප්‍රමුඛයි. දෙව් මිනිසුන් අතර මහා ශ්‍රේෂ්ඨ උත්තමයා.'
' වච්ඡායන, ඔබ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදීමට උන්වහන්සේ තුළ තිබෙන විශේෂ ලක්ෂණ මොනවාද?'
'පින්වත, උපමාවක් කියන්නම්. මහා ඇතුන් සිටින වනයකට මිනිසෙක් යනවා. වනයට ගිය විට හොඳට දිග පළල ඇති විශාල ඇත් අඩි දැක ඔහු මෙසේ සිතනවා. මේ ඇත් අඩිය නම් මහා හස්තිරාජයෙකුගේමයි කියලා. ඒ ආකාරයට මාත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තුළ පියවර සටහන් සතරක් දුුටුවා. මම ස්ථිරවම සිතුවා භාග්‍යවතුන් වහන්සේ නම් ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ විසින් වදාරන ලද ධර්මය නම් මනාකොට දෙසූ දෙයක්මයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුක්තමයි කියලා.
“ඇත්තෙන්ම වච්ඡායන මොනවද ඒ පියවර සටහන්.
පින්වත, අප අතර මහා වාද විවාද කරන ක්ෂත්‍රිය පණ්ඩිතවරු සිටිනවා. ඒක පළමුවෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති බ්‍රාහ්මණ පණ්ඩිතවරු සිටිනවා. ඒක දෙවැනි පියවර සටහන වගෙයි. මහා නුවණැති ගෘහපති පණ්ඩිතවරු සිටිනවා. ඒක තුන්වෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති වාදීභසිංහ ශ්‍රමණ පණ්ඩිතවරු සිටිනවා. ඒ සිව්වැනි පියවර සටහන වගෙයි
මේ සතර කාණ්ඩයේ පියවර සටහන වගේ වෙන්නේ මෙසේයි. ඔවුන් කණ්ඩායම් ගැහිලා ප්‍රශ්න ගොතනවා.
ශ්‍රමණ ගෞතමයන් මහා බුද්ධිමතෙක්ලු. උන්වහන්සේ අසවල් ගමට වඩිනවාලු. එවිට අපි ඒ ගමට ගිහින් මේ මේ ප්‍රශ්න අසමු. එවිට උන්වහන්සේ මෙහෙම උත්තර දේවි. එවිට අපි මෙසේ ප්‍රශ්න අසමු. එතකොට මෙසේ උත්තර දේවි. මේ ආකාරයට අපි වාදය පටන් ගනිමු.
ඔවුන් විශාල ප්‍රශ්න ගොතාගෙන සංවිධානය වෙද්දී භාග්‍යවතුන් වහන්සේ අසවල් ගමට වඩින බව ආරංචි වෙලා ඔවුන් එහි යනවා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසෙනවා. උන්වහන්සේ අමා වැස්ස වසින සේ දහම් දෙසනවා. ඔවුන් පී‍්‍රතියෙන් සතුටට පත්වෙනවා. කිසිවෙකු ප්‍රශ්නයක් අසන්නේ නැහැ. වාදයක් කෙසේ වෙන්නද? ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත්වෙනවා. අර මහා නුවණැති ශ්‍රමණ පිරිස උන්වහන්සේගේ ළඟ මහණ වෙනවා. අන්න ඒ නිසා, මම භාග්‍යවතුන් වහන්සේ ගැන සැකයක් නොතබාම පැහැදුනේ.
එවිට ජානුස්සෝනි බ්‍රාහ්මණයා අශ්ව කරත්තෙන් බිමට බැස්සා. හිස දෙපැත්ත වැසෙන සේ පොරවාගෙන සිටි සළුව ඒකාංශ කොට පොරවා ගත්තා. සැවැත්නුවර ජේතවනය දෙසට වන්දනා කරගෙන තෙවරක් මෙසේ කිව්වා.
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා. ගෞතමයන් වහන්සේ මුණගැසෙන උන්වහන්සේ සමඟ කතාබස් කරන්න මමත් කැමැතියි කියමින් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ගියා. සතුටු සාමිචි කතා කොට ඉහත විස්තර කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා බ්‍රාහ්මණය, ඔය ඇත් පියවර සටහන උපමා කළ විස්තරේ සම්පූර්ණ එකක් නොවෙයි. එය මම විස්තර ඇතිව කියා දෙන්නම්.
මහා ඇතුන් ඉන්න වනයට එක් පුද්ගලයෙක් යනවා. ඔහු ඇත් පියවර සටහනක් දකිනවා. දිගට පළලට තිබෙන විශාල ඇත් අඩියක්. හැබැයි ඔහු මහ ඇතාව හඳුනාගන්න දක්ෂයෙක් නම් එක පාරමට මේ නම් මහා ඇතා කියා තීරණයකට එන්න හොඳ නැහැ. ඒ මොකද? බ්‍රාහ්මණය, වාමනික කියලා විශාල ඇතින්නියෝ වනයේ සිටින නිසා ඔවුන්ටත් ඔය ආකාරයේ ඇත් අඩි තිබෙනවා. ඒ නිසා ඔහු කළයුත්තේ දිගින් දිගටම ඒ ඇත් අඩි සටහන ඔස්සේ විමසමින් යෑමයි. එසේ යද්දී කලින් වගේ විශාල ඇත් අඩි, උස්තැන්වල පිට උලාපු තැන්, දළින් ඇන අතු සිඳු තැන් දකින්නට ලැබෙනවා. එවිටත් මේ නම් මහ ඇතා කියා තීරණය කරන්නට කලබල විය යුතු නැහැ.
ඔහු තවදුරටත් විමසන්නට ඕන. ඉදිරියට යද්දී ඔහුට විශාල ඇත් අඩි, පිට ඉලු තැන්, බිඳපු අතුඉති, දළින් ඇනපු තැන් දකින්නට ලැබෙනවා. එවිට ඔහුගේ දෑසටම මහා ඇතාව දකින්නට ලැබෙනවා. එවිට මේ මහා ඇත් රජා කියලා ඔහු තීරණයට එන්න ඕන.
බ්‍රාහ්මණය, ඔය වගේම තමයි මේ බුදු සසුනේ ප්‍රතිපදාවත්. ඉතාමත් කලාතුරකින් ලෝකයටම සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ නමක් පහළ වෙනවා. මුල, මැද, අග පිරිසුදු ධර්මය උන්වහන්සේ දේශනා කරනවා. ගිහි පින්වතෙකුට මේ ධර්මය අසන්න ලැබෙනවා. ඔහුගේ සිත පහදිනවා. ධර්මයේ කියැවෙන පිරිසුදු බ්‍රහ්මචර්යාව ගිහිගෙදර සිට පුරන්නට අපහසුයි කියා තේරුම් ගෙන දෙමාපියන්, නෑ හිතමිතුරන්, දේපළ වස්තුව ආදිය අත්හැර කහවත් පොරවා පැවිදි වෙනවා. ඒ භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකී දයාවෙන්, කරුණාවෙන්, මෙත් සිතින් කල් ගෙවනවා. අනුන් සතු කිසි දෙයක් සොරකම් නොකොට පිරිසුදු වෙනවා. ඉතා ළාමක වූ වැරැදිකාම සේවනයෙන් වැළැකි බඹසර සිල් රකිනවා. බොරු කියන්නේ, කේළාම් කියන්නේ, දරුණු වචන කියන්නේ, හිස් වචන කියන්නේ නැහැ. මටසිලිටි මොළොක් මධුර වූ වදන් කියනවා. ලද දෙයකින් සතුටු වෙනවා.
ඒ භික්ෂුව ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉඳුරන් අකුසලයට යොදවන්නේ නැහැ. පාලනය කරමින් රැක ගන්නවා. සංවර වෙනවා. ඒ නිසා තමා තුළින්ම සතුටක් විඳිනවා.
ඔහු හොඳ සිහියෙන් ඇවිදිනවා. හොඳ සිහියෙන් දන් වළඳනවා. සිවුරු පොරවනවා. වැසිකිළි කැසිකිළි කරනවා. හොඳ සිහියෙන් වටපිට බලනවා. හැම දෙයක්ම ඉතා හොඳ සිහි නුවණින් කරනවා. දැන් ඔහු ඉතා හොඳ සීලයෙකින් යුක්තයි.
දැන් ඒ භික්ෂුව නීවරණ හොඳින් හඳුනාගෙන ඒවායින් නිදහස්ව සිත පැවැත්වීමට මහන්සි ගන්නවා. කාම අරමුණුවලට තැනක් දෙන්නේ නැහැ. ද්වේෂයට, නිදිමතට යට වෙන්නේ නැහැ. සිත විසිරෙන්න නොදී තැන්පත් කර ගන්නවා. සැකයකින් තොරව දහම් මගෙහි හැසිරෙනවා. ටිකෙන් ටික සිත පංචනීවරණයන්ගෙන් බැහැර වෙනවා. පී‍්‍රතිමත් සිතින් චිත්ත විවේකය ඇතිව භාවනා අරමුණු මෙනෙහි කරමින් පළමු ධ්‍යානය උපදවා ගන්නවා.
බ්‍රාහ්මණය, පළමු ධ්‍යානය කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනක්. නුවණ දළින් පහස ලද තැනක්. එපමණකින් භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ධර්මයත් මැනැවින් ම වදාළා, සංඝයාත් සුපටිපන්නයි කියලා තීරණය කරන්න කලබල විය යුතු නැහැ. බ්‍රාහ්මණය, ඒ භික්ෂුව දෙවැනි, තුන්වෙනි, සතරවෙනි ධ්‍යානත් උපදවා ගන්නවා.ඒ හැම ධ්‍යානයක්ම තථාගතයන් වහන්සේගේ පියවර සටහන් තමයි. නුවණ දළින් පහස ලද තැන් තමයි. නමුත් කලින් වගේම තීරණයකට එන්න කලබල විය යුතු නැහැ. බ්‍රාහ්මණය, දැන් ඒ භික්ෂුව තමන් අතීතයේ ගත කළ ජීවිතය කල්ප ගණන් ඈතට බලන පෙර විසූ කඳ පිළිවෙළ දකිනා ඤාණය ලබනවා. ඒකත් පියවර සටහනක් තමයි. නුවණ දළින් පහස ලද තැනක් තමයි. තවමත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි. ධර්මයත් මැනැවින්ම වදාළා. සංඝයාත් සුපටිපන්නයි කියලා නිශ්චයකට එන්නට කලබල විය යුතු නැහැ.
ඒ භික්ෂුව මේ ලෝක සත්වයන් තම තමන්ගේ කර්මානුරූපව උපදින හැටිත්, චුතවෙන හැටිත් දකිනා චුතුපපාත ඤාණය ලබනවා. ඒකත් තථාගතයන් වහන්සේ ගේ පියවර සටහනක් තමයි. නුවණ දළින් පහස ලද තැනක් තමයි. ඒත් ඒ භික්ෂුව කලින් වගේම නිශ්චයකට පැමිණිය යුතු නැහැ.
ඒ භික්ෂුව ඉතා හොඳින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීමෙන්, ආශ්‍රවයන් නැතිකොට නිකෙලෙස් වූ අර්හත්වයට පත්වෙනවා. චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නවා. එයත් තථාගත පියවර සටහනක්. නුවණ දළින් පහස ලද තැනක්. බ්‍රාහ්මණය, ඒ භික්ෂුව ඒකාන්ත නිගමනයක සිටිනවා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා.
මෙය ඇසූ ජානුස්සෝනි පුදුමයට පත්වුණා. විශ්මයෙන් ඇලලී ගියා. ජානුස්සෝනි බ්‍රාහ්මණයා මුළු හදවතින්ම තුණුරුවන් සරණ ගියා.
(චූලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරෙනි)  - නයනා නිල්මිණි
සදහම් සඟරා - Online