ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

නිරෝධ ආර්ය සත්‍යය

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති 
මහාචාර්ය 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි

අපේ මහා බෝධිසත්වයන් වහන්සේ පරම සත්‍ය වූ සාංසාරික විමුක්තිය සොයා ගැනීමේ ක්‍රියාවලිය සඳහා හැමවිට ම අත්දැකීම යොදාගත්තා. රජගෙදර සැප විඳිද්දී අන්තයටම කාමසුඛල්ලිකානුයෝගය භාවිත කළත් අවසානයේ දී එය දුක පිණිස ම හේතුවන බව අත්දැකීමෙන්ම වටහා ගත්තා. සය අවුරුදු දුෂ්කරක්‍රියා සමයේදී අත්තකිලමතානුයෝගය අනුගමනය කිරීමේ දී ලබාගත් අත්දැකීම මගින් අවබෝධ කරගත්තේ එය ද අවසානයේ දුක පිණිසම හේතු වන බවයි. එයින් මිදුණු බෝධිසත්වයන් වහන්සේ මැදුම් පිළිවෙත මගින් අවසානයේ දී අද වැනි දවසක බුද්ධත්වයට පත් වූ බව අප කවුරුත් දන්නා සත්‍යයයි.
තමන් වහන්සේ අවබෝධ කරගත් මේ ගැඹුරු දැක්ම තේරුම් ගැනීමට තරම් ශක්තිමත් පිරිසක් මේ වන විට දඹදිව ඉන්දියාවේ නොමැති බව සිතූ උන්වහන්සේ ඒ ගැඹුරු දහම දේශනා කිරීමට මැලිවුණා. එහෙත් පසුව දිරිමත් වූ උන්වහන්සේ බුද්ධත්වයෙන් දින 49 කින් පසු බරණැස ඉසිපතනාරාමයේදී ඇසල පුර පසළොස්වක දා ඒ ගැඹුරු දහම් අඩංගු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පස්වග මහණුන් ප්‍රධාන දිව්‍ය බ්‍රහ්මයින්ට පමණක් දේශනා කළා. ඒ දහමේ අරුත වුණේ තමන් වහන්සේ අවබෝධ කරගත් ඒ චතුරාර්ය සත්‍යය ලෝකයට ඉදිරිපත් කිරීමයි. දුක්ඛ සත්‍යය ( දුකේ ස්වභාවය) සමුදය සත්‍යය ( දුකට හේතුව) නිරෝධ සත්‍යය ( දුක නැති කිරීම) මාර්ග සත්‍යය (දුක නැති කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය) යන සතරයි.

මෙහි දී තුන්වන ආර්ය සත්‍යය වන නිරෝධය ගැන දැන් අපි විමසා බලමු. නිරෝධය කියා කියන්නේ අවසන් වීමයි. මිදීමයි. නිදහස් වීමයි. කුමකින්ද දුකෙන්, එවිට අපට කියන්න පුළුවන් නිර්වාණාවබෝධය ලැබුණා කියලා. එසේ නම් තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම අවසන් කර තිබිය යුතුය. මේ නිර්වාණය කියල කියන්නේ කුමක්ද කියා කෙනෙක් ප්‍රශ්න කලහොත් එයට ද අපට පුහුදුන් අය වශයෙන් සාර්ථක පිළිතුරක් අපේ භාෂාව තුලින් ලබාදීම අතිශයින් දුෂ්කරයි. කෙසේ වුණත් නිරෝධය කියා කියන්නේ සම්පූර්ණ නිවීම හෙවත් නිවනයි. සියලුම සංස්කාරයන්ගේ සන්සිඳීම සියලුම බැඳීම් අත්හැරීම තෘෂ්ණාව සහමුලින්ම විනාශය නිරෝධය කියා අපි කල්පනා කරමු. ලෝකයේ පවතින සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යය මත හට ගනී. එහෙත් නිරෝධය හෙවත් නිවන එවැන්නක් නොවේ. ඒ නිසාම එයට අසංඛත යැයි කියනවා.
මේ අනුව නිර්වාණය කියා කියන්නේම දුක්ඛ නිරෝධයට යි. ඒ නිවන කියන තැන රාගය නැහැ. රාගය නැතිවීම, දෝසය නැතිවීම, මෝහය නැතිවීම තමයි නිවන කියන්නේ. දුක් ඉපදීමේ හේතුව වන තෘෂ්ණාව අංශුමාත්‍රයක්වත් ඉතුරු නොකර මතු මත්තෙහි ද නූපදිනා පරිද්දෙන් අවසන් වීම මෙහි ලක්ෂණය යි. එයට නිරවශේෂ නිරෝධය යැයි ද අනුප්පාද නිරෝධය යැයි ද නිරවශේෂ ප්‍රහාණය යැයිද කියනවා. කෙනෙකුට තමන්ගෙ වස්තුව, අඹු දරුවන්, තමන්ගේ ශරීරය, ජීවිතය, ඉන්ද්‍රියන්ට ගොදුරු වන රූප ශබ්දාදිය ගැනත් තෘෂ්ණාවක් හටගන්නේ නැත්නම් දෙවඟනන් බඳු සුරූපී තරුණියක් සමඟ කොපමණ කල් එක යහනේ විසුවත් ඔහුට කාම රාගය උපදින්නේ තැන්නම් ඔහුට තෘෂ්ණාව නැත්තේම යි.
තව කරුණක් තමා තෘෂ්ණාව නැති වුණත් පුද්ගලයාගේ පඤ්චස්ඛන්ධය පවතී නම් ඒ පුද්ගලයා දුකින් මිදී නෑ. පඤ්චස්ඛන්ධය නිරුද්ධ වුණොත් ඒ සුළු කොටසක් වූ තෘෂ්ණාව පැවතුනත් එය බලවත් දුකක් වන්නේ නෑ. දුකින් ගෙවන සත්වයාට අවශ්‍ය ප්‍රධාන දේ තමයි පඤ්චස්ඛන්ධයත් සමඟ වන දුකේ අවසානය. මේ නිසා බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවෙන් වෙනස් වු වෙනත් ක්ලේශ හා ස්ඛන්ධ නොගෙන තෘෂ්ණාව පමණක් ගෙන එහි නිරෝධය වශයෙන් දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පැහැදිලි කළේ.
ඒවගේම තෘෂ්ණාව දුක උපදින හේතුව නම් එය නැති නොකර එහි ඵලය වන දුක නැති කළ නො හැකිය. අපි හිතමු මහත් වෙහෙසක් අරගෙන යම් දුක් කොටසක් නැති කරනව. ඒත් දුක පවතිනව. එහෙම වුනත් දුකේ හේතුව වන තෘෂ්ණාව නැති කළ විට එයින්ම දුක අවසන් වනවා. ඒ නිසා දුක නැති කිරීමේ පැහැදිලිම ක්‍රමය තමයි දුකේ හේතුව වන තෘෂ්ණාව අවසන් කිරීම. එය තමයි දුක්ඛනිරෝධාර්ය සත්‍යය. මේ අනුව තෘෂ්ණාව හේතුවෙන් ඇතිවන සියලුම දුක්ගොඩ නිරෝධයට පත්කිරීම මේ තෘෂ්ණා නිරෝධයයි.
බෞද්ධයන් වශයෙන් අපි නිවන කියා සිතන එය ලැබීමට උත්සාහ කරන ප්‍රාර්ථනාව වී තිබෙන්නේ මේ දුක්ඛනිරෝධාර්ය සත්‍යයි. මෙය ඇතැම් අය සිතන මතන විදියට ප්‍රාර්ථනා නොකළ යුතු අරමුණු කර නොගත යුතු හිස්බවක් ඇති දෙයක් ම නොවේ.එය අපේ දහමේ විස්තර වන්නේ අති ප්‍රණීත සැපයක් විදියට යි. මේ නිවනෙහි ස්ඛන්ධ වලට අයත් කිසිවක් නෑ. ඒ නිසා එය හිස් දෙයක්. එබැවින් ම එය උසස් ගුණයක් බැරිවෙලාවත් නිවනෙහි විඥානස්ඛන්ධයක් වත් තිබුණ නම් එය දුකක් වෙනව.
ෙ ලීකයේ සැප දෙකක් ගැන කථා කරනව. එකක් කාම සුඛය, අනෙක් එක විමුක්ති සුඛය ,අපේ ඇහැ , කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදි අරමුණූ නිසා අපට කාම සුඛය ඇති වනවා . දූ දරුවන්, මිල මුදල්, දේපල වස්තුව ආදිය නිසත් එහෙම කාමසුඛය ඇති වනවා. මේ සියල්ලටම අප කියන්නේ කාම සුඛය කියල. එහෙම වුණත් අප දැනටමත් විඳින හෝ අනාගතයේ පැමිණෙන්නට තිබෙන විපතකින් දුකකින් බේරීම විමුක්ති සුඛය කියල කියනව.මේ සැප දෙකෙන් කාම සුඛය අප විඳිනව. ඒ නිසා එයට වේදයිත සුඛය කියලත් කියනවා. ඒ අතර මුලින් කියපු විමුක්ති සුඛය අප විඳින්නේ නැහැ. ඒක නො විඳින සැපයක්, ඒ නිසා එයට අවේදයිත සුඛය කියා කියනව.මේ විමුක්ති සුවය තමයි නිවන කියල කියන්නේ. හැබැයි අප කාට කටත් මෙය විස්තර කරන්නට තරම් අපේ භාෂාව ශක්තිමත් නැහැ. නිවන පිළිබඳ අත්දැකීමක් නැහැ. අප ගත්තොත් අපේ තුවාලයක් වේදනා සහිත වෙනකොට ඒ සඳහා අපි නොයෙක් ප්‍රතිකාර කරනව. එතකොට හොඳ වෙනව. අප කියනව තුවාලය හොඳයි සනීපයි සුවයි කියල.ඒ වුණත් ඒ සුවය ගැන කියන්නට අප තවත් වචන ගොඩක් පාවිච්චි කරනව. එහෙම වුණත් විමුක්තිය ගැන කියනකොට එතැන වචන ගොඩක් නැහැ. එකම වචනය විමුක්තිය මයි. ඒ විමුක්තිය දුක්ඛ නිරෝධයමයි. එය පරම නිවනයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online