ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

බුද්ධපූජාවේ යථාර්ථය

බුද්ධපූජාවේ යථාර්ථයත්, ආමිස පූජාවේ සහ ප්‍රතිපත්ති පූජාවේ සැබෑ අරුතත්, ඒවා නිවැරදි ව අර්ථවත් ව සිදු කරන ආකාරයත් පැහැදිලි කිරීමකි.

බුදු රජාණන් වහන්සේ පිළිබඳ ව සිහි කළ සැණින් අපේ මතකයට නැගෙන්නේ උන් වහන්සේගේ රූපකාය පිළිබඳ සටහනකි. එය වරදක් නො වේ. එහෙත් අප බුදු රජාණන් වහන්සේ හැටියට සලකා වැඳුම්-පිදුම් කරන්නේ එම රූපකායට නො ව, උන් වහන්සේ තුළ පැවති අනන්ත ගුණයට යි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ පැවති දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනව්‍යඤ්ජන ලක්ෂණාදි බොහෝ ආශ්චර්ය ගති-ලක්‍ෂණ බුදු වීමට පෙර, සිද්ධාර්ථ කුමරු අවදියේ දී ම පැවතුණි. එහෙත් අප එම ගති-ලක්‍ෂණවලින් යුක්ත සිද්ධාර්ථ කුමරුට ‘බුද්ධ’ යන නම භාවිත කරන්නේ නැත. ‘බුද්ධ’ යන නාමය ලැබුවේ බෝමැඬ දී සර්වඥතා ඥානය ප්‍රමුඛ කොට ඇති අනන්ත ගුණ සමුදාය උන් වහන්සේගේ මනස තුළ පහළ කරගත්තාට පසු ව යි. එසේ නම් ‘බුද්ධ’ යනුවෙන් අදහස් කරන්නේ, මූලික වශයෙන් එම සර්වඥතා ඥානය ප්‍රමුඛ ගුණ සමූහය යි. එම ගුණ සමුදායෙන් යුක්ත වූ මනස ද, ඒ ඇසුරු කොටගත් ශරීරය ද ඒකාන්තයෙන් පූජනීය වේ. එහෙයින් එම ගුණවලින් යුක්ත වූ මනසත්, එම රූපකායත් සියල්ල එක් ව ගෙන ‘බුදු රජාණන් වහන්සේ’ යනුවෙන් හඳුන්වනු ලැබේ.
ඒ තථාගතයන් වහන්සේගේ රූපකාය මීට වසර දෙදහස් පන්සිය ගණනකට පෙර අභාවයට පත් වූ නිසා ආදාහනයෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේලා පමණක් අද අපට වැඳුම්-පිදුම් කිරීමට ශේෂ ව ඇත. සියලු කෙලෙසුන් නැසූ බැවින් මතු භවයක් ගැන තෘෂ්ණාවක් නැති නිසා පරිනිර්වාණයෙන්, එය කය ඇසුරු කොටගත් අනන්ත ගුණයෙන් යුත් මනසත් පහන් සිලක් මෙන් නිවී ගියේ ය. කිසිවක් ඉතිරි නැත. පහන් සිළ නිවී ගියත් එම ආලෝකයේ වටිනාකම දත් අය එම පහන් සිළුවේ ආලෝකය සියලු කල්හි ම සිහි කරති; පහන දැල්වෙන්නට උපකාර වූ පහන් තැටිය පවා ගෞරවයෙන් සුරකිති. මෙසේ ආලෝකයට ගරු කරන්නා වූ, ආලෝකය කැමති වන්නා වූ මිනිසුන්ට කෙදිනක හෝ ආලෝකය සොයාගන්නට, දැකගන්නට, ආලෝකය දල්වාගන්නට එම ප්‍රයත්නය මහෝපකාරී වේ.
තථාගතයන් වහන්සේ පිරිනිවී පහන් සිළක් සේ සියල්ල නිවී ගියත්, එම ගුණයට ආධාර වූ රූපකායෙන් ශේෂ වූ සර්වඥ ධාතූන් වහන්සේලා සහ ඒ කය ඇසුරු කළ වෙනත් බොහෝ දෑ ගෞරවයෙන් ආරක්‍ෂා කරමින් උන් වහන්සේ තුළ පැවති මහා ප්‍රඥාවේ ආලෝකයත් අනන්ත ගුණයත් ගෞරවයෙන් සිහි කරන්නා වූ මිනිසුන්ට කෙදිනක හෝ ප්‍රඥා ආලෝකය ලබන්නට, ගුණ වඩන්නට එම ප්‍රයත්නය ම මහෝපකාරී වේ. ‘බුද්ධ පූජාව’ යි අප නම් කරන්නේ මෙම ගෞරව සම්ප්‍රයුක්ත වූ ක්‍රියා පිළිවෙතට යි. සිතින්, ගතින් හෝ වචනයෙන් යමෙක් තම ගෞරවය එම තථාගතයන් වහන්සේ වෙත පුද කරන්නේ නම්, එය බුද්ධ පූජාව යි. එම ගරු කිරීම සිදු කරන්නේ චෛත්‍යය අබියස වුවත්, බෝමැඬ අබියස වුවත්, පිළිමයක් අබියස වුවත්, මේ කිසිවක් නැති අන්‍ය තැනක දී වුවත්, එය බුද්ධ පූජාව ම ය. බුදු ගුණ සිහි කරමින්, මල් පහන්, සුවඳ වර්ග, ආහාර, බෙහෙත්, සිවුරු පිරිකර, තූර්ය නාද, ධජ-පතාකාදියෙන් (පසිඳුරන්ගෙන් ගත හැකි දෙයකින්) පිදීම ‘ආමිස පූජාව’ ලෙසත්, බුදු ගුණ හඳුනාගනිමින්, තම මනස තුළ ප්‍රඥාව ආදි ගුණ දියුණු කිරීම ‘ප්‍රතිපත්ති පූජාව’ ලෙසත් හැඳින්වේ.
තථාගතයන් වහන්සේ වෙනුවෙන් ආහාර-පාන මල් පහන් ආදි ආමිසයෙන් පිදීම අර්ථ ශූන්‍ය හිස් ක්‍රියාවක් ය යි සමහර කෙනෙක් එය පහත් කොට කථා කරති. තථාගතයන් වහන්සේ දැනට ජීවමාන ව නැති බැවින් එය වඩාත් නිෂ්ඵල ය යි ද, එය දුගියකුගේ කුසගිනි නිවන්නට දීම ඊට වඩා ඵලදායකය යි ද, ඔවුහු තර්ක-විතර්ක කරති. පූජා කිරීමට මල් කැඩීමෙන් පරිසරය විනාශ වේ ය යි ද, පහන් දැල්වීමෙන් පළඟැටියන් මැරේ ය යි ද ඇතැමකු තර්ක කරන අතර, ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් ය යි කියමින්, දෙකින් එකක් වත් නැති ව උදාසීන ව කල් ගෙවන අය ද බහුල ය. මෙබඳු බොහෝ මතවාදවලින් මනස නිදහස් කරගෙන උසස් බුද්ධ පූජාවක් සිදු කරන්නට නම්, බුද්ධ පූජාවේ යථාර්ථයත්, ආමිස පූජාවේ හා ප්‍රතිපත්ති පූජාවේ සැබෑ අරුතත්, ඒවා නිවැරදි ව අර්ථවත් ව අන් අයට හානි නොවී සිදු කරන ආකාරයත්, මැනවින් හඳුනාගත යුතු යි. එම අවශ්‍යතාව සපුරාලීම මෙම ලිපියෙහි මූලික අරමුණ යි.
තථාගතයන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමවා පිරිනිවන් පෑම පිණිස මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී සිටිය දී, දසදහසක් සක්වළ දෙවි-බඹුන් අතුරු-සිදුරු නැති ව පැමිණ අවසන් වරට තථාගතයන් වහන්සේට මල්, සුවඳ, තූර්ය නාද ආදි බොහෝ දිව්‍යමය පූජා පවත්වන්නට විය. මෙම කරුණ මුල් කරගෙන තථාගතයන් වහන්සේ ආනන්ද තෙරණුවන් අමතා මෙසේ වදාළහ: “ආනන්දයෙනි, මෙ පමණකින් (මල්, සුගන්ධය, තූර්ය නාද, ආදියෙන්) තථාගතයන් වහන්සේට සත්කාර කළේ හෝ ගරු කළේ හෝ පූජා කළේ හෝ නො වෙයි. යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපාසක-උපාසිකාවක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි, සම්‍යක් ප්‍රතිපත්තියෙහි හැසිරෙයි ද, එය ම තථාගතයන් වහන්සේට කරන උසස් ම සත්කාරයත්, ගරු කිරීමත්, පූජා කිරීමත් වෙයි.” (දීඝ නිකාය – මහා පරිනිබ්බාන සූත්‍රය).
මෙම ප්‍රකාශනය උපුටා දක්වන බොහෝ දෙනා පවසන්නේ තථාගතයන් වහන්සේ ආමිස පූජාව ප්‍රතික්‍ෂේප කර ඇති බව යි. එහෙත් ඉහත දේ්ශනාවට පසු ව පිරිනිවන් මඤ්චකයෙහි ම වැඩ හිඳිමින් දේශනා කළ තවත් කරුණක් පිළිබඳ ව ඒ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු ය.
තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු ආදාහන කෘත්‍යය සිදු කරන්නේ කෙසේ දැ යි ආනන්ද තෙරණුවන් විමසූ විට, චක්‍රවර්ති රජ කෙනකුගේ ශරීරය ආදාහනය කරන අයුරින් එය සිදු කළ යුතුª බව වදාරා, අනතුරු ව මෙසේ දෙසූ හ: “ආනන්දයෙනි, ස්තූප තනා වැඳුම්-පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. එනම්: සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, තථාගත ශ්‍රාවක වූ ආර්යයන් වහන්සේ, සක්විති රජු යන මේ සතර දෙනා ය. ආනන්දයෙනිි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූප තනා වැඳුම්-පිදුම් කිරීම සුදුසු වන්නේ ද? ආනන්දයෙනි, මේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ස්තූපය යි, සිත පහදාගෙන බොහෝ දෙනා මරණින් මතු සුගතිගාමී වන හෙයිනි.” (දීඝ නිකාය – මහා පරිනිබ්බාන සූත්‍රය).
ආමිස පූජාව උසස් නොවන බව දේශනා කළ තථාගතයන් වහන්සේ, චෛත්‍ය ඉදි කොට සර්වඥ ධාතූන් වහන්සේලාට පවා වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේ කුමක් නිසා දැ යි විමසා බැලිය යුතු ය. ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් බව දෙසුවේ, ප්‍රතිපත්තියට මිනිසුන් නැඹුරු කිරීම පිණිස ම ය. නැවත වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේත්, ඒ ඇසුරෙන් මිනිසුන් ප්‍රතිපත්තියට නැඹුරු කිරීමට මග පාදා දීම පිණිස ම ය. මෙහි දී ප්‍රතිපත්තියේ ඇති වටිනාකම මතු කළා මිස, ආමිස පූජාව ප්‍රතික්ෂේප කර නැති බව අවධාරණය කළ යුතු ය.
අද ලෝකයේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන බොහෝ පූජා ප්‍රතිපත්තියට අනුබල නොදෙන භක්ති මාත්‍ර ආමිස පූජා පමණක් බවට පත් ව තිබෙන්නේ මේ අවබෝධය මිනිසුන්ගෙන් ඈත් වී ඇති නිසා ය.
අපල දුරු කරගැනීම සඳහා, පින් සිදු කරගැනීම සඳහා, තමනුත් බෞද්ධයන් වන නිසා, තථාගතයන් වහන්සේ අපගේ ශාස්තෲන් වහන්සේ නිසා, මව්පිය පරම්පරාවෙන් කරගෙන එන හොඳ වැඩක් නිසා හෝ සංස්කෘතික අංගයක් වශයෙන් හෝ පුද-පූජා පැවැත්වීමට අද සමාජයේ බොහෝ දෙනා පෙලඹී සිටින්නේ එහෙයිනි. ඒ එක ම පරමාර්ථයක් හෝ හාස්‍යයෙන් බැහැර කිරීමට ද පුළුවන්කමක් නැත. ඒ සියලු අදහස් ඒ ඒ අයගේ තරාතිරම මත නිවැරදි ය. එහෙත් අප තථාගතයන් වහන්සේට පූජා පැවැත්වීමේ මූලික පරමාර්ථ මේ සියල්ලට වඩා ගැඹුරු ය.
අපි සියලු දෙන මනුෂ්‍යයෝ ය. ‘මනුෂ්‍යත්වය’ යනු උසස් මනසක් ඇති බව යි. මනස උසස් වන්නේ අන් කිසිවකින් නො ව, ප්‍රඥාව මත යි. ප්‍රඥාව සියලු ගුණ ධර්මයන්ගේ මිනුම් දණ්ඩ වන නිසා, ඕනෑ ම කෙනකු තුළ පවතින ගුණවත් භාවය තීරණය වන්නේ ඒ තැනැත්තාගේ ප්‍රඥාව මත යි. තිරිසනුන් හා අවශේෂ සත්ත්වයන්ගෙන් මිනිසා වෙන් වන්නේ, මෙම ප්‍රඥාව හා ගුණවත් භාවය නමැති කඩඉම නිසා ය. එම කඩඉම පරයා ගිය විට මිනිසුන් හා තිරිසනුන් අතර වෙනසක් නැත. මිනිසා එම මනුෂ්‍යත්වයේ කඩඉමෙන් පහළට නොවැටී රැකෙන්නට නම් ප්‍රඥාව හා ගුණවත් භාවය රැකගත යුතුª ය. එය රකින්නට නම්, වඩන්නට නම්, මුලින් ම හඳුගානැනීමත්, අගය කිරීමත් (ගරු කිරීමත්) අවශ්‍ය ය. මනුෂ්‍යකම රැකෙනුයෙත් වැඩෙනුයෙත් එපමණට ය.
එසේ යමක් හඳුනාගනිද්දී ඒ පිළිබඳ පූර්වාදර්ශය අපට ඉතා වැදගත් වේ. මනස වඩවා මනුෂ්‍යත්වයේ ඇති උත්තරීතර භාවය පිළිබඳ ව මුළු විශ්වයට ම පූර්වාදර්ශය ලබා දුන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. එහෙයින් බෞද්ධ අබෞද්ධ භේදයකින් තොර ව මනුෂ්‍යත්වය අගයන, මනුෂ්‍යත්වය සුරකින, මනුෂ්‍යත්වය වඩවන සියලු මිනිසුන්ගේ ගෞරවාදරය හා ප්‍රණාමය සියලු කල්හි ම ලබන්නට සුදුසු වන්නේ තථාගතයන් වහන්සේ ම ය.
එහෙයින් බුද්ධ පූජාවක දී අන්‍ය බොහෝ අරමුණු අප තුළ පැවතියත්, පරමාර්ථය විය යුත්තේ මනුෂ්‍යත්වයේ අග්‍ර ඵලයට ගරු කිරීම යි. එය මනුෂ්‍යත්වය රැකගැනීමටත්, උත්තරීතර මනුෂ්‍ය ධර්ම වඩාගැනීමටත් උපකාරී වන ප්‍රධාන මාවත යි.
ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් යැ යි සියලු දෙනා පැවසුවත්, ප්‍රතිපත්තිය කුමක් ද, එය වැඩෙන මග කුමක් ද යන්න පිළිබඳ ව නිවැරදි වැටහීමක් බොහෝ දෙනා තුළ නොතිබීම අභාග්‍යයකි. ‘ප්‍රතිපත්තිය’ යනු යම් වැඩ පිළිවෙළකට අනුගත ව ඒ තුළ පැවතීම යි. එය ‘සම්‍යක් ප්‍රතිපත්තිය යි, මිථ්‍යා ප්‍රතිපත්තිය’ යි දෙයාකාර වේ. මෙහි දී අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තිය යි. යම් කුසල ධර්මයක පිහිටීම, එය දියුණු කිරීම මෙයින් අදහස් කැරේ. සියලු කුසල ධර්මයන් නව ලෝකෝත්තර ධර්මයට (නිවනට) පැමිණීමේ පූර්ව භාග ප්‍රතිපදාවට අන්තර්ගත වන නිසා, එය ‘නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව’ ලෙස ද හැඳින්වේ. යහපත් ප්‍රතිපදාව තුළින් යහගුණ දියුණු වේ.
මේ ලෝකයේ බොහෝ දෙනා තුළ අඩු-වැඩි පමණින් යම් යම් යහගුණ පවතී. ලෝකයේ පවතින තාක් සියලු දෙනාගේ ඒ සියලු ගුණ අග්‍රය දක්වා ම දියුණු කළ කෙනෙක් ලෝකයේ පහළ වේ නම්, ඒ ‘සම්මා සම්බුදුවරයෙකි.’ උන් වහන්සේ තුළ පවතින එම උත්තරීතර ගුණයන් ඇගයීමෙන් යුතුªව මෙනෙහි කිරීම, ‘බුද්ධානුස්සති භාවනාව’ යනුවෙන් හැඳින්වේ. එසේ බුදුගුණ හෝ අනෙකකු තුළ පවතින යහගුණයක් හෝ ඇගයීමෙන්, ගරු කිරීමෙන් තම මනස තුළ එම ගුණ රෝපණය වීමට පසුබිම සැකසේ. ‘බුදුගුණ අපේ මනස තුළ වඩන්නේ කෙසේ දැ’ යි මෙහි දී විමතියක් ඇති නොකරගත යුතු ය. කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ආදි ගුණයන් කාගේ මනසේ වැඩුවත් ගුණයන් ම ය. ඒවා අග්‍ර ලෙස තථාගතයන් වහන්සේ තුළ පවතින සිසා ‘බුද්ධ ගුණ’ ලෙස විශේෂයෙන් හඳුන්වනු ලැබේ. එම ගුණයන් අපේ මනස තුළ වැඩෙන්නේ අපට සරිලන පමණට ය.
ගුණවතුන්ගේ ගුණයට ගරු කිරීමේ කාර්යය තුළ අවංක ව කලක් නිරත වෙද්දී, එපමණක් ම නැතත් සුළු වශයෙන් හෝ එම ගුණ තම මනස තුළ වැඩෙන අයුරු දැකගත හැකි ය. මෙසේ ගුණ හඳුනාගැනීම හා ඒවා මනස තුළ වඩවාගැනීම ප්‍රතිපත්තිය ලෙස හදුන්වන අතර, එය සියලු ගුණවතුන්ටත් ඒ අතර අග්‍ර වූ තථාගයත් වහන්සේටත්, ගරු කිරීමක් – උපකාරයක් වන නිසා ‘ප්‍රතිපත්ති පූජාව’ ලෙස ද හැඳින්වේ. ප්‍රතිපත්තිය යනු ද, ප්‍රතිපත්ති පූජාව යනුද, ගුණය මත පිහිටා සිටිමින් ගුණ වැඩි-දියුණු කරන ක්‍රියා පිළිවෙත ම ය.
හොඳ හෝ නරක හෝ තමන්ගේ මනස විසින් යමක් අගය කරයි ද, ගරු කරයි ද, එය මනස තුළ වැඩෙන්නට පටන් ගනී. මෙය මනස පිළිබඳ එක් නියාමයකි. අන් අය තුළ, විශේෂයෙන් තම මිතුරන් තුළ පවතින දුර්ගුණ සැබැවින් ම අගය කරන විට තමන්ට නොදැනීම තම මනස තුළත් එම දුර්ගුණ වැඩෙන බව සියලු දෙනා අත්දැක තිබේ. යහගුණත් එලෙස ම ය. කවුරුන් තුළ හෝ පවතින සද්ගුණයක් අවංක සිතින් අගය කරන විට, ගරු කරන විට එම ගුණය ක්‍රමයෙන් තම මනස තුළත් වැඩෙන්නට පටන් ගනී. එසේ ගුණ වැඩෙන්නට ඇති එක ම ක්‍රමය, පළමු ව ඒ ගුණය හොඳ බව - වටිනා බව - උසස් බව හඟින්නට පුහුණු වීම යි. එය ‘ගුණ ගරුක බව’ යි.
තමන් ගරු කරන ගුණය ඇගයීම සිතින්, වචනයෙන් හෝ කයින් ද කළ හැකි ය. සිතින් කරන ගුණ ඇගයීම ‘අනුස්සති භාවනා’ (බුද්ධානුස්සති, ධම්මානුස්සති ආදි) නමින් හැඳින්වේ. වචනයෙන් කෙරෙන ගුණ ඇගයීම ‘ස්තුති පූජා’ නමින් හැඳින්වේ. ‘වන්දනාව ය, පූජාව ය’ ආදි නොයෙක් නම්වලින් හැඳින්වෙන්නේ කයින් කරන ගුණ ඇගයීම යි.
පෙර එක් තවුසෙක් සුමේධ නම් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව වර්ණනා කරමින් ස්තුති පූජාවක් කළ බවත්, එම කුසලයෙන් කල්ප හැත්තෑහතක් දෙව් සැප වින්ද බවත්, දහස් වරක් සක්දෙව් රජ වූ බවත්, වාර සිය ගණනක් සක්විති රජ වූ බවත්, අපමණ වාරවල දී රජ වූ බවත්, කල්ප තිස් දහසක් සුගතියේ ම උපන් බවත්, ඒ සියලු තැන තියුණු නුවණ ඇති ව උපන් බවත්, ගෞතම බුද්ධ ශාසනයේ හත් අවුරුදු වියේ දී ම අර්හත්වයට පත් වූ බවත් අපදාන පාළියේ ‘ඤාණථවික ථේර’ අපදානයේ සඳහන් වේ.
මෙය ඇසූ සැණින්, ප්‍රඥාව ලබන්නට නම් බුදු රජාණන් වහන්සේගේ ප්‍රඥා ගුණයට පූජා පැවැත්වීම හොඳ යැ යි කවරකුට වුවත් වැටහේ. එහෙයින් ම තෙසැත්තෑ ඥාන පූජා, පට්ඨාන පූජා වැනි පූජා ක්‍රම පවා නිර්මාණය වී තිබුණත්, ඒවා ද තවත් එක් පූජා ක්‍රමයක් පමණක් බවට පත් ව තිබීම අභාග්‍යයකි.
එදා එම තවුසා බුදුරදුන්ගේ ප්‍රඥාවට ස්තුති කළේ තමන්ට කිසිවක් බලාපොරොත්තුවෙන් නො වේ. හුදෙක් බුද්ධ ගුණයේ ඇති අගය තමන්ට වැටහුණු නිසා, ඔහු එය අව්‍යාජ ව ප්‍රකාශ කළේ ය. එහෙයින් එහි දී ප්‍රබල කුසල් සිත් හටගත්තා මෙන් ම ප්‍රඥාව වැඩෙන්නට සුදුසු ඉඩ-කඩ තම මනස තුළ ද විවර විය. එහෙත් අද බොහෝ දෙනා කරන්නේ ප්‍රඥාව හෝ අන් කිසිවක් ලබාගැනීමේ තෘෂ්ණාව නිසා ම අනෙකකු විසින් කරන ලද බුද්ධ ගුණ වර්ණනාවක් තමනුත් කියවමින් යමක් පූජා කිරීම ය. එහි දී බුද්ධ ඥානයේ වටිනාකම පිළිබඳ අල්ප මාත්‍ර හැඟීමක් හෝ තම සිත තුළින් අවංක ව මතු නොවන නිසාත්, තෘෂ්ණාවෙන් මනස කිලිටි වී ඇති නිසාත්, ප්‍රඥාව වැඩීමට කිසිදු ඉඩ-කඩක් මනස තුළ ඇති නො වේ. අනුන් විසින් කරන ලද බුදු ගුණ වර්ණනාව හෝ තමනුත් මැනවින් වටහාගෙන අවංක ව අගය කරමින් වැඳුම්-පිදුම් කළ හැකි නම්, එම තවුසාට පමණක් නො ව අපට ද ප්‍රඥාව අවදි කොට ප්‍රතිපත්ති මගට පිවිසීමට ඒ ඔස්සේ මග පාදාගත හැකි ය.
එමෙන් ම මලක්, ඉතා සුළු ආහාරයක්, පැන් පොදක් වැනි දේ පූජා කළ අයත් ඒ මඟින් සසර බොහෝ සැප ලබා ප්‍රතිපත්ති මග වඩා සසර ගමන කෙළවර කළ කථා ප්‍රවෘත්ති රැසක් අපදාන පාළි, විමානවත්ථු ආදි ග්‍රන්ථවල දැක්වේ. මේ තරම් බොහෝ දේ, ප්‍රණීතවත් දේ උත්සවශ්‍රීයෙන් පුදන අද සමාජයේ කිසිවෙක් නොලබන මහත් ප්‍රතිඵල, පෙර සිටි අය සුළු දෙයක් පිදීමෙන් පවා ලැබුවේ කෙසේ දැ යි විමසා බැලිය යුතු ය. එදා බුදුරදුන්ට, භික්‍ෂුවකට හෝ තවුසකුට යමක් පුදද්දී, උන් වහන්සේලාට ගුණ වඩන්නට අනුග්‍රහ කිරීමක් වශයෙන් සලකාගෙන හෝ ගුණයට ගරු කිරීමක් වශයෙන් හෝ අවංක ව ම පිදූ හ. එහෙත් අද ඕනෑ ම පූජාවක් කිරීමේ දී මුලින් ම සිතන්නේ එයින් තමන්ට ලැබෙන ඵලය ගැන ය. එයින් තෘෂ්ණාව තව-තවත් වඩාගනිමින් සසර ගමන දිගු කරගන්නට විනා, ප්‍රතිපත්ති මාර්ගයට පිවිසීමට අනුබලයක් නොලැබෙන තැනට කටයුතු යෙදී ඇත. එය ආමිස පූජාවේ වරදක් නො ව, පුදන්නවුන්ගේ ම වරද බව කිව යුතු ය.
තෘෂ්ණාවෙන් හෝ අන් කිසිවකින් හෝ මනස කිලිටි වන්නේ නම් එය හඳුන්වන්නේ ‘අකුසලය – පාපය’ නමිනි. කොතරම් අවශ්‍යතා තිබුණත් ඒවා සපල වන්නට නම් සුදුසු හේතුවක් ගොඩනැගිය යුතු ය. “ඉජ්ඣති භික්ඛවේ පුඤ්ඤවන්තානං චේතෝපණීධි – මහණෙනි, පින් ඇති අයගේ සිතුම්-පැතුම් ඉටු වන්නේ යැ” යි තථාගතයන් වහන්සේ දෙසූ හ. එහෙයින් තම පැතුම් ඉටු කරගැනීමට අවශ්‍ය කෙනා විසින් අවශ්‍යතාව ගැන සිත-සිතා තෘෂ්්ණාවෙන් හරිත වීම වෙනුවට කුසල් සිතක් උපදවාගන්නට උත්සාහවත් විය යුතු ය.
කුසල යනු ශ්‍රද්ධාව, වීර්යය, එකඟ බව, ප්‍රඥාව ආදි මනස පැහැපත් කරන යම් ගුණයකි. බුදුගුණ සිහි කිරීම, එසේ මනස පැහැපත් කරගැනීමට ඇති ඉතා පහසු මෙන් ම ඉතා නිවැරදි මගකි. එහෙයින් කවර ප්‍රාර්ථනාවක් මුල් කරගෙන පූජා පවත්වන්නට යොමු වුණත්, පූජාව කරන මොහොතේ හෝ බුදු ගුණ සිහි කොට කුසල් සිත් උපදවා, එම කුසල බලයෙන් තම පැතුම් ඉටු වන්නට අධිෂ්ඨාන කරගැනීම වඩාත් උචිත ය. එහි දී පැතුම ඉටු වීමට අවශ්‍ය හේතුව (කුසලය) ගොඩනැගූ නිසා, එම කුසලයේ ප්‍රමාණයට ප්‍රාර්ථනාව ඉටු වේ.
මෙසේ බුදුගුණ සිහි කොට ගරු සත්කාර කරන්නවුන්ගේ යහපත් පැතුම් ඉටු වන නිසා, තථාගතයන් වහන්සේ සියලු දෙවි-මිනිසුන්ගේ පූජාවන් ලබන්නට සුදුසු වන සේක. එහෙයින් බුද්ධ පූජාවක දී මල් පහන් ආදි ද්‍රව්‍ය පිදීම මෙන් ම බුදු ගුණ සිහි කිරීම
ද හැකි පමණින් හෝ කළ යුතු ය. බුදු ගුණ සිහි කොට ගරු කළ හැකි නම්, ද්‍රව්‍ය නැතත් මනසින් තථාගතයන් වහන්සේ පිදිය හැකි බව මුලින් සඳහන් කරන ලදි. එසේ නම් ද්‍රව්‍ය නැති ව ම පූජාවක් කළ හැකි යැ යි කෛරාටිකයන් හා ඇතැම් අලස පුද්ගලයන් ද මේ සඳහා පෙලඹෙන්නට ඉඩ ඇතත්, කපටිකම හෝ අලසකම අවංක ශ්‍රද්ධාව හෝ ප්‍රඥාව හෝ නොවන බව අවබෝධ කරගත යුතු ය. මනසින් බුදුගුණ සිහි කොට වැඳුම්-පිදුම් කළ හැක්කේ ඒ තරමට ම ශ්‍රද්ධාව හා ප්‍රඥාව වඩවාගත් අවස්ථාවන්හි දී පමණි. ගිහි පැවිදි ඕනෑ ම තරාතිරමක අයකුට ශ්‍රද්ධාව හා ප්‍රඥාව වඩාගන්නට මල් පහන් ආදි ද්‍රව්‍ය ද එක්තරා ප්‍රමාණයකින් උපකාරී වේ. ඒහෙයින් තථාගතයන් වහන්සේ ජීවමාන ව නැතත් ජීවමාන ව ඇතුවා සේ සලකාගෙන විවිධ ද්‍රව්‍ය රාශි කොට පූජා කිරීමෙන් ද, බොහෝ ප්‍රතිඵල ලබාගත හැකි ය.
ඇතැම් කෙනකුට ඉතා ක්‍රමවත් ව හා අලංකාර ලෙස පූජා ද්‍රව්‍ය සකසාගෙන පිදීමේදීත්, මිහිරි හඬින් බුදුගුණ ගායනා ඇසීමේදීත්, උතුරා යන සතුටක් සොම්නසක් ඇති විය හැකි ය. එහෙත් එය බුදුගුණ අරමුණු කොටගත් හැබෑ ශ්‍රද්ධාවක් ද, නැත හොත් පි‍්‍රයමනාප දේ දැකීමෙන් හා ඇසීමෙන් ඇති වූ තෘෂ්ණා මූලික හැඟීමක් ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online