ආචාර්ය, පූජ්‍ය
හේනේපොළ ගුණරතන හිමි
අමෙරිකාවේ විශ්වවිද්‍යාල කීපයක බුද්ධ ධර්මය ඉගැන්වීමේ යෙදුණු පූජ්‍ය හේනේපොළ ගුණරතන හිමිපාණෝ ‘භාවනාව’ පිළිබඳ ඉහළ අත්දැකීම් ඇති කම්මට්ඨානාචාර්යයන් වහන්සේ නමකි. උන් වහන්සේ නිසා අමෙරිකානුවෝ විශාල පිරිසක් පැවිදි වී බුදු සසුනට ඇතුළු වූ හ. අදින් ඇරැඹෙන්නේ භාවනාව පිළිබඳ ව උන් වහන්සේගේ අත්දැකීම් සහිත ලිපි පෙළකි. මෙය අප පළ කරනුයේ අමෙරිකාවේ වර්ජිනියාහි ලලිතා අමරසිංහ මහත්මියගේ අනුග්‍රහයෙනි.
කුමන භාවනාවක් කළත් සිල් පිරිසිදු කරගත් විට ඒ භාවනාව සාර්ථක කරගත හැකි වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වා ඇති ආජීව අට්ඨමක සීලය රැකීම ඉතා උතුම් ප්‍රතිපත්තියකි. මේ උතුම් ප්‍රතිපත්ති අටෙන් කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම හා සම්ඵප්‍රලාප දෙඩීමෙන් වැළකීම යන ප්‍රතිපත්ති තුන අඩු කර උපුටාගත් ඉතිරි ප්‍රතිපත්ති පහ දැන් පන්සිල් වශයෙන් ගෙන බොහෝ බෞද්ධයෝ පන්සිල් ගන්නවා කියා මේ පහ හැමදාම හැම තැනම කියති.
ඒත් ඒ පන්සිල් රැකීම වුව ද එතරම් පහසු නැත. පන්සිල් රකිනවායයි කියන්නේ පාණාතිපාතා ආදි සිල් පද පහ මන්ත්‍රයක් ලෙස සියදහස් වරක් කීම නොවේ. බොහෝ බෞද්ධයෝ මේ පහ හැමදාම, හැම තැනකම කියති; ඒවා උදේ සවස, පෝදාට, රේඩියෝවල, රූපවාහිනීවල, පත්‍රවල, සඟරාවල, දේශපාලන රැස්වීම්වල ආදි කී-නොකී දහක් තැන්වල කියති. සමහරවිට සමහරු මෙසේ මන්ත්‍රයක් ලෙස පන්සිල් කීමෙන් සිල් රැකෙනවා කියා හෝ නැත් නම් එයින් පින් සිදු වෙනවා කියා හෝ හිතනවා විය හැකිය. ගිරවුන් මල්කවුඩන් සේ පන්සිල් කීමෙන් කිසිම වැඩක් නැත. පන්සිල් කෝටිප්‍රකෝටි වරක් කීවත් පන්සිල් රැකෙන්නේ හෝ එයින් පින් සිදු වන්නේ හෝ නැත. ඉන් වැඩක් වන්නේ ඒ පහම තදින් හිතට ගෙන ඒවා හිත, කය, වචන යන ද්වාර ත්‍රයෙන් ක්‍රියාවට නැංවුවොත් පමණි.
මේ සිල් පද පහ කිය-කියා සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයන්හි වැරැදි ලෙස හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් පන්සිල් රකිනවායයි කියා ඒ සිල්පද පහ මැතිරීමෙන් කිසිම වැඩක් නොවේ. මෙකී පංචසීලය හා මුලින් සඳහන් කළ ආජීවඅට්ඨමක සීලයද යන ප්‍රතිපත්තිවලින් එකක් වත් ඉබේම රැකෙන්නේ නැත. ඉතා ශ්‍රද්ධාවෙන් හා ලොකු චිත්ත ධෛර්යයකින් යුතුව හිතට එකඟවම සිල් රැකීමට අධිෂ්ඨාන කරගෙනම භාවනාවට පසුබිම සකස් කරගත යුතුය. මේ පහ හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නා කෙනෙකුට කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම හා සම්ඵප්‍රලාප දෙඩීමෙන් වැළකීම යන ප්‍රතිපත්ති තුනද රැකීමට ඉබේම හිතක් පහළ වේ. එවිට මුළු ආජීව අට්ඨමක සීලයම රැකීමේ ශක්තිය ඔහුට ලැබේ. අපේ බෞද්ධ පින්වතුන්ට මේ ගැන අවංකවම හිතන්ට හැකියාවක් ලැබේවායි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරමු.
බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එක් මිනිසෙක් උන්නේය. ඔහු මේ සිල් පද පහම රැකීම අපහසුයයි සිතා සතුන් මැරීමෙන් පමණක් වැළකී සිටීමට අධිෂ්ඨාන කරගෙන, කුරා-කුහුඹියෙක් වත් මැස්සෙක් වත් මදුරුවෙක් වත් නොමරන්නට
තීරණය කරගත්තේය. ටික කලක් ඔහු මෙසේ කල් ගත කරන විට ඔහුගේ අදහස්වලට සමාන තව මිනිසෙක්ද ඔහු අනුගමනය කරන්නට පටන් ගත්තේය. ටික කලක් යන විට තව කෙනෙක්ද තව ටික කලක් යන විට තව කෙනෙක්දැයි මේ පිරිස එකමුතුව පළමුවැනි සිල්පදය රකිමින් සිටියෝ ය. මොවුන් මෙසේ පළමුවැනි ශික්ෂාපදය රකිමින් ඉන්නා විට තව මිනිසෙක් කල්පනා කළා සතුන් නොමරා ඉඳීම එතරම් අමාරු දෙයක් නොවේ. හොරකම් නොකර සිටීමයි බොහොම අමාරු කාර්යය කියා. “මිනිසුන් අඩු ගණනේ අනුන්ගේ අදහසක් හෝ හොරකම් කරනවා. මම එහෙම අනුන්ගේ අදහසක් වත් ආදායම් බදුවලින් වත් හොරකම් නොකර, ඉතාම අවංකවම ජීවත් වෙන්නට ඕනෑ” කියා. එසේ කල්පනා කර ඔහු හොරකම් කිරීමෙන් වැළකී සම්පූර්ණ අවංක ජිවිතයක් ගත කරමින් ජීවත් වෙන විට අර සතුන් නොමරන්නාට මෙන්ම මොහුටත් පිරිසක් එක් වූහ.
මොවුන් මෙසේ සිල්පද දෙකක් රකින කණ්ඩායම් දෙකක් වූ පසු තුන් වැන්නෙක් කල්පනා කළා “මොවුන් රකින සිල්පද දෙක රැකීම බොහොම පහසුයි. තුන් වැනි සිල්පදය රැකීම තමා ඉතාම අමාරු. මම ඒක රකින්නට ඉටාගන්ට ඕනෑ” කියා. ඔහු එතැන් පටන් කාමයන්හි වැරැදි ලෙස හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී ජීවත් වෙන්ට පටන් ගත්තේ ය. ඔහු මෙසේ කාමයන්හි වැරැදි ලෙස හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී ජීවත් වෙන විට මොහුටත් පිරිසක් එක් වූහ. මෙසේ ඔවුහුත් කණ්ඩායමක් ලෙස තුන් වැනි සිල්පදය පමණක් රකිමින් ජීවත් වූහ.
හතරවැන්නෙක් බොරු නොකියා ජීවත් වීම අනිත් හැමදේටම වඩා අපහසුයයි සිතා ඔහු කල්පනා කළා සත්‍යයම කථා කරන්නට. ඔහු කවටකමට වත් බොරුවක් නොකියන්නට තීරණය කරගත්තේය. කල් යෑමේදී ඔහුටත් එකා දෙන්නා එකතු වී එම අයගෙන් සමාගමක් ආරම්භ කෙළේය.
මොවුන් මෙසේ කල් ගත කරමින් සිටින විට එක්තරා මිනිසෙකුට කල්පනා වුණා, “මේ සිව් දෙනා රකින සිල්වලට වඩා රැකීමට බෙහෙවින් අපහසු සීලය තමා මත් පැනින් වැළකී ජීවත්වීම. මම මත්පැනින් වැළකී ජීවත්වෙන්නට ඕනෑ” කියා එතැන් පටන් ඔහු මත්පැන් පාවිච්චියෙන් තොරව ජීවත් වෙන්නට පටන් ගත්තේය. කල් යෑමේදී ඔහුටත් ක්‍රමයෙන් අර මුල් හතර දෙනාට මෙන්ම පිරිසක් එකතු විය.
මේ පිරිස් පහ මෙසේ කල් ගත කරන විට වරින් වර මේ පිරිස් පහෙන් දෙදෙනෙක්, තුන් දෙනෙක් හෝ හතරපස් දෙනෙක් එක් වූ හැම තැනකම “අප රකින සීලය ඔබ රකින සීලයට වඩා රැකීමට බොහොම අමාරු එකකි. ඔබ රකින සීලය නම් ඕනෑ කෙනෙකුට රැකිය හැකිය. අප රකින සීලය කිසිකෙනෙකුට රකින්නට බැහැ. හැකි නම් අප රකින සීලය රැක බලන්නැ” යි ඔවුනොවුන් අන්න්‍යෝන්‍යන්ට අභියෝග කරන්නට පටන් ගත්හ. මේ නිසා ඔවුනොවුන් බහින්බස් වෙන්නට ද පටන්ගත්තේය.
මෙසේ කාලයක් ගත වන විට මේ අය අතර කලකෝලාහල, දික්වෙමින් පවතින විට ඉන් කෙනෙක් යෝජනා කළා, “සහෝදරවරුනි, අප ඉතාම උතුම් සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගෙන ක්‍රියා කරන ගමන් අප දැන් කලක සිට අපේ උතුම් ඉලක්කය අමතක කර අපි නිතර කලකෝලාහල කරගනිමු. හොඳ සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගෙන දැන් අපි ඉතාම පහත් ලෙස කලකෝලාහල කරමින් සිටීම අපට කිසිසේත් නොගැළපෙන ක්‍රියාවකි. මෙය අප වැන්නන්ට සුදුසු නැත. අපි මේ ගැන අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් උපදේශයක් ලබා ගනිමු” යි කියා.
ඊට හැමෝම එකඟ වී බුදු රජාණන් වහන්සේ ළඟට ගොස් උන් වහන්සේට වැඳ නමස්කාර කර මේ කරුණ ඉදිරිපත් කළහ. උන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඔවුන්ට සවන් දී අවසානයේ මෙසේ දේශනා කර වදාළහ:
“ඔබ හැම දෙනාම ඉතා උතුම් සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගැනීම ඉතාම යහපත්. ඒ එක සිල්පදයක් හෝ අවංකවම නොකඩවා රැකීම ඉතාම උතුම් දෙයකි. නමුත් එසේ උතුම් ක්‍රියාවක් කිරීමට ආරම්භ කළ ඔබ මෙසේ කලකෝලාහල කරගැනීම මෝඩකමකි. ඒ නිසා ඔබ හැම දෙනාම දැන් රකින සීලයට අතිරේකව තව සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගන්න.”
“භාග්‍යවතුන් වහන්ස, මේ දැන් රකින සීලයද අප රකින්නේ ඉතාමත් අමාරුවෙනි. ඔබ වහන්සේ දේශනා කර වදාරන පරිදි තව එකක් ඊට එක් කරගත්තොත් මේ දැන් රකින සීලයවත් රැකීම අපට අපහසු වෙන්නට බැරි නැද්ද?” බොහොම යටහත් පහත්ව ඔවුහු බුදු රජාණන් වහන්සේගෙන් ඇසූහ. “නැහැ, නැහැ, මා ඔබහැමදෙනාටම රකින්නට යයි කියන සිල්පදය රැකීමෙන් ඔබ දැන් රකින සිල්පදය පමණක් නොවේ ඉතිරි සිල්පදත් රැකීමට ඉතාමත් බලවත් ශක්තියක් ධෛර්යයක් වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම ඒ සිල් පදය රකින්නටත් අධිෂ්ඨාන කරගන්න.” “ඒ මොන සිල්පදයද, භාග්‍යවතුන් වහන්ස?“
“ඒකට තමා ‘සතිය’ කියන්නේ. ඔබ සතියෙන් යුතුව සිල් රකිනවා නම් ඔබට එක සිල්පදයක් පමණක් නොවේ, සිල්පද පහ පමණක් නොව ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුවද රැකිය හැකි යි” යනුවෙන් දේශනා කර වදාරා සතියෙන් යුතුව සිල් රැකීමෙන් හැම සීලයක්ම රැකිය හැකි බව බුදු රජාණන් වහන්සේ දේශනා කර වදාරා තිබේ. මේ නිසා සතිය හැම උතුම් ක්‍රියාවකටම මුල් වන බව බුදු රජාණන් වහන්සේගේ මෙම දේශනයෙන් අපට පැහැදිලි වේ.
‘සති’ යනු පාලි වචනයකි. ඒ වචනයකි. ඒ වචනයේ අදහස කුමක්දැයි ඔබට හිතෙන්ට පුළුවන. ‘සති’ යන්නට ‘ය’ එක් කර ‘සතිය’ කියා සිංහලෙන් ව්‍යවහාර කරති. අපි ව්‍යවහාරික සිංහල භාෂාවෙන් ‘සතිය’ යන්නට ‘සිහිය’ කියා භාවිතා කිරීමට පුරුදු වී සිටිමු. ‘සිහිය’ කී විට අපේ හිතට ඉබේම එන්නේ ‘මතක’ යන්නය. ‘මතක’ කී විට කුමක් මතකයේ තබාගත යුතුදැයි කියා ප්‍රශ්නයක් මතු විය හැකියි. භාවනා ගැන කරන සාකච්ඡාවකදී ‘සති’ හෝ ‘සතිය’ කියා කියන්නේ අප එදිනෙදා ජීවිතයේ දේවල් මතක තබාගැනීමකට නොවේ. ඊට වඩා උසස් හා ගැඹුරු තේරුමකටය. ‘මතක’ යනු සිල් රැකීමට පමණක් යොදාගන්නා සිහියක් නොව, භාවනාවේ මුල සිට අවසානය තෙක් දියුණු කරගත යුතු ප්‍රධානම මනෝමය ක්‍රියාවකි.
භාවනා ගැන කථා කරන විට ‘සති’ නැත් නම් ‘මතක’ යන්නෙහි අංශ රැසක් තිබෙන බව මතක තබාගත යුතුය. එයින් ප්‍රධාන පහ මෙහි සඳහන් කරමු.
1. ‘පන්සිල් රකිමි’ යන අධිෂ්ඨානය හිතේ තබාගෙන ඒ අනුවම දිනපතා ජීවිතය ගත කිරීම.
2. පක්ෂග්‍රාහී නොවී අපේ රූප වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතා දැකීම
3. එම අත්දැකීමෙන් ලැබෙන මතකය හිතේ තබාගෙන ඒ අනුව හැම දේම අවබෝධ කරගැනීමට හිත පුරුදු කරගැනීම.
4. ඒ අනිත්‍ය වූ කිසිවක් රාග වශයෙන් හිතින් අල්ලාගැනීමක් හෝ ද්වේෂ වශයෙන් පිටුදැකීමක් හෝ නොකර, හිත මධ්‍යස්ථව තබාගැනීමට පුරුදු කරගැනීම.
5. එසේ කිරීමෙන් පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවන් සුලුවශයෙන් හෝ හිතට පෙනුණාම එය මතක තබාගැනීම.
මෙයින් අපේ හිත ක්‍රමක්‍රමයෙන් දියුණු වී අපේම පංචස්ඛන්ධය තුළින්ම නිවන් අවබෝධ කරගත හැකි වේ. මේ බව දැකීමට නම් අපේම සිරුරට සම්බන්ධ යම්කිසි දෙයකට නිතර හිත යෙදවිය යුතුයි. මේ සඳහා අප යොදාගන්නේ අපේම ආශ්වාස ප්‍රශ්වාස වායුවමයි. එහි වෙනස්වීම අපට ඉතාම හොඳින් වැටහෙන නිසයි එය අපේ භාවනාවේ අරමුණ කරගන්නේ.
ඊළඟට සම්පජඤ්ඤය. ඒ කියන්නේ, ඒ ඇති කරගන්නා දැනුම වඩවඩාත් ගැඹුරු ලෙස දියුණු කරගෙන පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවන් තව තවත් ගැඹුරින් දැකීමයි. ඒ නිසා සතියත් සම්පජඤ්ඤයත් යන දෙක එකටම යන දෙකකි. සම්පජඤ්ඤය කොටස් හතරකට බෙදා අටුවාචාරීන් වහන්සේලා පෙන්වා දී ඇත. ඒ සාත්ථක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ හා අසම්මෝහ සම්පජඤ්ඤ වශයෙනි.
සාත්ථක සම්පඤ්ඤ කියන්නේ තමන්ගේ ඉලක්කය ඉතා හොඳින් අවබෝධ කරගැනීමය. භාවනානුයෝගියාගේ ඉලක්කය වන්නේ සිත පිරිසිදු කරගැනීමත්, ශෝකපරිද්දවයන් නැති කරගැනීමත්, දුක් දොම්නස් නැති කරගැනීමත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමත් හා නිවන් අවබෝධ කරගැනීමත් යන ඉලක්ක පහය.
භාවනා කරන හැම මොහොතකම එක්තරා ප්‍රමාණයකට රාග, ද්වේෂ හා මෝහ යන අකුසල්වලින් සුළු ප්‍රමාණයක් හෝ තාවකාලික වශයෙන් නැති වී, අපගේ හිත පිරිසිදු බවට පත් වේ.
අනිත්‍යය හොඳින් හිතට පෙනෙන විට ඒ අනිත්‍ය වූ දේ පිළිබඳව ඇති කරගෙන තිබුණු බැඳීම ක්‍රමක්‍රමයෙන් අඩු වී ගොස් ඒ අනිත්‍ය දේ නොලැබීමෙන් හෝ, ලැබූ අනිත්‍ය දේ නැති වීමෙන් හෝ ඇති වන ශෝක කිරීම, ඇඬීම, වැලපීම තුනී වී නැති වි හෙවත් අහෝසි වී යයි.
අනිත්‍ය වූ මේ සිරුරට ඇති වන නොයෙකුත් ලෙඩ රෝගාදිය නිසාත්, අපි‍්‍රයයන් සමඟ ජීවත්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ආදිය නිසාත් ඇති වන දුක් දොම්නස් නැති කරගත හැකි වේ.
අනිත්‍ය, දුක්ඛ, අනන්ත යන ත්‍රිලක්ෂණය දැකීමත්, ඒ අනිත්‍ය දේ හිතින් තදින් අල්ලාගෙන සිටීමත් නිසා දුක ඇති වන බව දැකීමයි යථාර්ථය දකිනවා යයි කියන්නේ. ඊටම තමා සත්‍ය දැකීම හෝ ඇත්ත දැකීම හෝ ඇති දෙය ඒ හැටියෙන් දැකීම හෝ හරි දැකුම හෝ කියන්නේ. මේ දැකීම, දැනීම, අවබෝධය, නුවණ ඇති වීම තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් පියවර.
ඉන් පසු අනිත්‍ය වූ දෙයට ඇලීම බැඳීම හිතින් අතහැරීම නම් වූ කෙනක්ඛම්ම සංකප්පයත්, මෛත්‍රී කිරීම නම් වූ අව්‍යාපාද සංකප්පයත්, කරුණාව දියුණු කිරීම නම් වූ අහිංසා සංකප්පයත් දියුණු වේ. මේ හිතුවිලි තුන එක් කරගත් විට ඊට සම්මා සංකප්පයයි කියති. මෙලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සියලු අග සම්පූර්ණ වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම සිදු වේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ විදිහටම අනුගමනය කරගෙන යන විට තමා නිවන් අවබෝධ වන්නේ.
සප්පාය සම්පජඤ්ඤයැයි කියන්නේ භාවනා කිරීමෙන් අප බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගැනීමට යොදාගන්නා කර්මස්ථානය ඒ බලාපොරොත්තු වන අරමුණ කරා ගමන් කිරීමට සුදුසුදැයි පරීක්ෂා කර නුවණින් දැනගැනීමය. භාවනා කරන විට තමන් කරන භාවනාවෙන් ඒ අපේක්ෂාවන් කරා හිත නොයෙදනවා නම් ඒ බව දුටු වහාම හිත ඒ සඳහා යොමු කළ යුතුයි. මේ තත්ත්වය හොඳින් දැනගැනීමයි සප්පාය සම්පජඤ්ඤයයි කියන්නේ. සුදුසු කර්මස්ථානය බලාපොරොත්තු වන අරමුණු කරා ගෙන යා හැකි බව හොඳින් අවබෝධ කරගැනීමය.
ගෝචර සම්පජඤ්ඤ කියන්නේ තමන්ගේ හිත යොදවන්නේ කුමන අරමුණකටදැයි හොඳින් අවබෝධ කරගැනීමය. අපේ භාවනා අරමුණ වන්නේ අපේම පංචස්කන්ධයයි. අප ඒ පංචස්කන්ධයන්ටම හිත යොමු කළ යුතුයි. එවිට ඒ පිළිබඳ නියම අවබෝධය ඇති වේ. ‘ගෝචර’ කියා පාලියෙන් කියන්නේ ගවයන් කෑම කමින් හැසිරෙන ස්ථානයටය. ඒ අර්ථය ආරූඪ වශයෙන් ගෙන භාවනානුයෝගීයාගේ හිත භාවනා අරමුණෙහි හැසිරෙන තැන යන අදහසින් ‘ගෝචර’ කියා ව්‍යවහාර කෙරේ.
අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ කරන භාවනාවන් ඒ සඳහා උපයෝගී කරගන්නා කර්මස්ථානයත් ගැන පැහැදිලි දැනීමක් තිබීමය. ඒ පිළිබඳව කිසිම ආකුල-ව්‍යාකුල තත්ත්වයක් හිතේ නොතිබීම අසම්මෝහ සම්පජඤ්ඤයයි. භාවනා කරමින් ඉන්නා විට හිතේ එක්තරා සන්සුන්කමක් ඇති වී හිත ස්වල්ප මොහොතකට හෝ එකඟ වුණොත් ‘ඔන්න දැන් මට සමාධියක් ලැබුණා’ කියා හෝ ‘දැන් මට අහසින් යා හැකැ’යි කියා හෝ දැන් මට අනුන්ගේ හිත් කියවිය හැකැ’යි කියා හෝ දැන් ‘මම සෝවාන් වුණා’ යි කියා හෝ ඔබට හැඟුණොත් ඒ තමා මුළාව. මේ මුළාවට හසු නොවී භාවනානුයෝගියා මේ ගැන හොඳින් තේරුම් ගැනීමයි අසම්මෝහ සම්පජඤ්ඤ කියා කියන්නේ.
ඒනිසා භාවනා කරන හැම මොහොතකම නොහොත් අවදි වී ඉන්නා හැම මොහොතකම ඔහු සිතිය යුත්තේ මේ ඉලක්ක ලබාගන්නා ක්‍රමය පිළිවෙළ ගැනමයි. ගමන් කරන විටත්, වාඩි වන විටත්, ඇවිදින විටත්, කථා කරන විටත්, කථානොකර නිශ්ශබ්දව ඉන්නා විටත්, ආදි වශයෙන් තමන් කරන හැම ක්‍රියාවක් ගැනම හැම මොහොතේම ඒ ඒ ක්‍රියාවලත්, ඒ ඒ ක්‍රියා කරන විට තමන්ගේ හිතේ ඇති වන සිතුවිලි, දැනෙන දැනීම් ආදියෙහිත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකිමින් සිහිය යොදවාගෙනම ඒ ක්‍රියා කළ යුතුයි.
ඒ සමඟම අල්පේච්ඡභාවය දියුණු කළ යුතුයි. තණ්හාව වැඩෙන අයුරු ක්‍රියා කිරීමෙන් වැළකිය යුතුයි. මෙකී කරැණු නිතර නිතර දිනපතාම කරන විට, නිදාගන්ට ගියත් අවදි වී සිටියත්, නිතර හිතෙන්නේ සිල් රැකීමටත්, සතිසම්පජඤ්ඤය දියුණු කිරීමටත්ය. මෙසේ හිත පුරුදු-පුහුණු වන විට නොයෙකුත් දේ එකතු කිරීමට අල්ලාගැනීමට රැස් කිරීමට ආශාව කැමැත්ත ඇති වන්නේ නැහැ. එවිට අල්පේච්ඡතාව වැඩීමට හිත පුරුදු වෙනවා. මෙසේ උතුම් අදහස් නිතර නිතර හිතට නංවාගෙන ඒවාම සිහි කරන විට ඒවාම දියුණු වෙනවා. මෙහෙම හිත සැනසෙන, හිතට සුව ගෙනදෙන, මනසෙහි තැන්පත් භාවය දියුණු කරන, හිතේ නිවැරැදි එකඟතාව ඇති කරගන්නා ලෙස හිත පුරුදු කිරීමටයි භාවනා කරනවා කියන්නේ.
* * *
සමාධිය හා ප්‍රඥාව යන දෙකම ලබන භාවනා පහක් අංගුත්තර නිකායේ දක්වා ඇත. ඒ පහ මෙසේය: 1. බුදු රජාණන් වහන්සේ හෝ ශ්‍රාවක නමක් හෝ ධර්ම දේශනා කරන විට ඒ කෙරෙහි ඉතා බලවත් ශ්‍රද්ධාවකින් යුතුව හොඳින් කන් යොමා ඒ දෙසන ධර්මයට ඇහුම් කන්දීම, 2. ඉතා බලවත් ශ්‍රද්ධාවකින් යුතුව ධර්මය ඉගෙනගෙන ධර්ම ගෞරවය ඇතිව ධර්ම දේශනා කිරීම, 3. ඉතා ගැඹුරු සූත්‍රයක් ගෙන එහි ගැඹුරු තේරුම හොඳින් පරීක්ෂා කර බැලීම, 4. යම්කිසි සූත්‍රයක් ගෙන එහි සැඟවී ඇති ගැඹුර දකිමින් ඉතා බලවත් ශ්‍රද්ධාකින් යුතුව එය සජ්ඣායනා කිරීම හා 5. තමන්ට සුදුසු මාතෘකාවක් ගෙන දැන් ප්‍රචලිතව තිබෙන අයුරු භාවනා කිරීම යනු ඒ පහය.
මෙයින් කොයි ක්‍රමය උපයෝගී කරගෙන භාවනා කළත් ලැබෙන්නේ සමාධිය හා ප්‍රඥාවයි බණ අසන ගමන්, බණ දෙසන ගමන්, ධර්මයේ ගැඹුර බලන ගමන් හා සජ්ඣායනා කරන ගමන් හිත එකඟ කරගන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්න කළ හැකියි. වාඩි වී භාවනා කළත් අනිත් ක්‍රම හතරෙන් එකක් ගෙන භාවනා කළත් ධර්මයේ නියම ගැඹුර ඔබේම ප්‍රත්‍යක්ෂයෙන් දකින විට වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි ඉතා බලවත් ශාන්ත බවක් ඔබට ඔබේ හිතේ ඇති වේ. මේ ශාන්ත බව තව–තවත් දියුණු-තියුණු වී, ඔබේ හිතේ පී‍්‍රතියක් හටගැනේ. ඒ පී‍්‍රතිය තව–තවත් දියුණු–තියුණු වී වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි සතුටක් ඇති වේ. මේ සතුටින් පිරුණු හිත සමාධිගත වේ. මේ එකඟ වූ සිතට යමක යථා තත්ත්වය අවබෝධ වන බව බුදු රජාණන් වහන්සේ සිය ගණන් සූත්‍රවල දේශනා කර තිබේ.