ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සෝවාන් වීමෙන් ලැබෙන ප්‍රතිලාභ


ආර්යයෝ හෙවත් උතුමෝ එකොළොස්‌ දෙනෙක්‌ බුදු දහමෙහි පමණක්‌ දකින අතර වෙනත් කිසිම දහමක මේ ආර්ය හෙවත් උතුමෝ දක්‌නට නැති බව බුදුරජාණන් වහන්සේ දෙසිතය.

(අ. නි. ආහුණෙය සූත්‍රය)

මේ එකළොස්‌ දෙනා මෙසේයි. සෝවාන් මාර්ගස්‌ථයා, ගොත්‍රාභූ ඥානලාභියා, සෝවාන් ඵලස්‌ථයා, සකදාගාමී මාර්ගස්‌ථයා හා ඵලස්‌ථයා, අනාගාමී මාර්ගස්‌ථයා හා ඵලස්‌ථයා, අරහත් මාර්ගස්‌ථයා හා ඵලස්‌ථයා, පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ යන එකොළොස්‌ දෙනා වහන්සේය. එහි සෝතාපන්න යන්නට පාලි ශබ්දකෝෂය අර්ථ දෙන්නේ "නිවන් මඟට බැසගත්" සෝවාන් වූ යනුවෙනි. සුමංගල ශබ්දකෝෂය හඳුන්වා ඇත්තේ ශ්‍රොaත ආපන්න නිවන කරා ගෙනයන ආර්ය මාර්ගය නමැති සැඩපහරට පැමිණි වශයෙනි. තවද සෝතාපත්ති යන්නට පාලි ශබ්ද කෝෂය අර්ථ දෙන්නේ දියපහරට බැසගත්ම, නිවන් මගට බැසීම යන අර්ථයි.

සද්ධානුසාරී හෝ ධම්මානුසාරී සෝවාන් මාර්ගස්‌ථයා සෝතාපන්න හෙවත් සෝවාන් ආර්යයා අනුලොම හා ගෝත්‍රභූ ඥානයෙන් පෘතග්ජන ගෝත්‍රය ඉක්‌මවා සිටී සෝඛ යනු පර්යායයි. සතර අපායට ඇද දමන සංයෝජන තුන (සක්‌කයා දිට්‌ඨි, විචිකිච්ඡා, සිලබ්බත පරාමාස) නැති කිරීම හේතුවයි. සෝවාන් ඵලයට පත්වීම ඵලයයි. සක්‌ඛාය දිට්‌ඨියක්‌ය දිට්‌ඨිය යෑයිද, විචිකිච්ඡාව විචිකිච්ඡාව යෑයිද, සිලබ්බත පරාමාසය සිලබ්බතපරාමාසය යෑයිද, දර්ශනයෙන් හෙවත් ප්‍රඥාවෙන් හඳුනාගෙන අවබෝධ කෙරේද ඒ ඥාත පරිඥාය. එසේ හඳුනාගැනීමෙන් පසු මේ සංයෝජන තුන ප්‍රහානය කළ යුතු යෑයි ප්‍රඥාවෙන් තීරණය කරයි ද ඒ තීරණ පරිඥාය. එසේ තීරණය කළ හෙතෙම ඒ භව බැමි ප්‍රහානය කළ යුතු යෑයි ගන්නා තීරණය අධිෂ්ඨාන පෙර දැරිව සම්මර්ශනය කර ප්‍රත්‍යාවේක්‍ෂා කර පහ කිරීම පහාන පරිඥායි. මෙසේ තුන් පරිඥාවන්ගෙන් දකිනා ලද්දේ සංයෝජනවල නිසරුතාවය, හිස්‌බව, අනර්ථකර බව, අවබෝධවීම සෝවාන් වීමයි.

පින් හෝ ලෞකික සමථ ධ්‍යාන බලයෙන් සදිව්‍ය ලෝකවල උපත ලැබුවත් භාවනා වඩා කවර නම් රූපාවචර අරූපාවචර බඹලෝකවල උපත ලැබූවත් (ශුද්ධාවාස බඹලෝ පහ හැර) ඒවායේ දී සෝවාන් නොවේ නම් එයින් පසුව නිරයගාමී නොවන බවට බුද්ධ දේශනාවේ සඳහන් නොවේ. අ. නි. ජම්බුදීප ජෙයHdලයේ මෙසේ දේශනා කර ඇත. "දෙවියන් අතරින් මැරී (චුතව) දෙවියන් අතර උපදින සත්aවයෝ අල්පවෙති." දෙවියන් අතරින් මැරී මිනිසුන් අතර උපදින සතවයන් අල්ප වෙති. නමුත් මිනිසුන් අතරින් මැරී දෙවියන් අතර උපදින සත්වයන් පිළිබඳව මේ සූත්‍ර 45 න් එකක්‌වත් දේශනා කර නැත. එසේ නම් සෝවාන් නොවූවකු සුගතිගාමී වන බවට සහතිකයක්‌ නැත.

සත්වයකුගේ සංසාර ගමන පිළිබඳව උපමා 20 ක්‌ දෙමින් දේශනා කර ඇති සූත්‍ර ස. නි. අනමතගගසංයුක්‌තයේ දැක්‌වේ. පහසුවෙන් අවබෝධවන මෑණියන් පිළිබඳ උපමාව දක්‌වමු. "මහණෙනි නොපිරිපුන් අග ඇත්තේය. අවිද්‍යාවෙන් ආවරණය වූ තෘෂ්ණාවෙන් බැඳුණු දිවෙන සැරිසරණ සත්වයන්ගේ මුල් කෙලවර නොපෙනේ. යමෙක්‌ මවකගෙන් තමා සසරෙදී කිරි බිව්වා වේද එසේ බිව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ඇති ජලයට වඩා වැඩිය. නොපෙනෙන කෙලවරක්‌ නැති සංසාරේ සත්වයා සැරි සරත්" (ස. නි. අනමතගග සං මාතුථඤඤ) ඉතිරි උපමා 19 ද මීට සමානය. කිරි නොබොන සතුන් වශයෙන් කොපමණ ජාතිවල ඉපදෙන්නට ඇද්ද?

සසර ගමන ගැන කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකි උතුම් උදාන ගාථා ථෙර ගාථාවල දැක්‌වේ. එහි "ගොතම" ර. ව. තමා පෙර ඉපදුණ මැරුණ ආකාරය මෙසේ ප්‍රකාශ කර ඇත.

" සංසාරයේ සැරිසරා යද්දී නැවත නැවතත් නිරයේ ඉපදුනා. ප්‍රේත ලෝකයේ ඉපදුනා බොහෝ කලක්‌ මුලුල්ලේ අනන්ත දුක්‌ දොම්නස්‌ වින්දා. ඒ අතර වරින් වර මනුෂ්‍ය ලෝකයටත් ආවා. දෙව්ලොව ඉපදී දිව්‍ය සම්පත් වින්දා රූපාවචර, අරූපාවචර ධ්‍යාන වඩා රූපාවචර බ්‍රහ්ම ලෝකවල ද, අරූපාවචර බ්‍රහ්ම ලෝකවලද නේවසඤ්ඤා, නාසඤ්ඤා යන බඹලොවද අසඤ්ඤ සත්ත තලයේ ඉපදිලා කාලය ගෙවිලා ගියා."

(ථෙර ගාථා 258-259)

මේ ගාථාවල සඳහන් වන ඉපදීම්වල ආයුෂ කෙතෙක්‌දැයි ගණනය කළ නොහැක. මනුලොව ආයුෂ අවුරුදු 80000 ක්‌ වූ කාලයක ද ඉපදෙන්නට ඇත. දන්නේ නේවසඤ්ඤා නාසඤ්ඤා බඹලොව පමණි. එහි ආයුෂ කල්ප 84000 කි. මේ අතර බුද්ධෝත්පාද කාල කොතරම් තිබෙන්නට ඇද්ද. එහෙත් උන්වහන්සේට ඒ එකකදීවත් ආර්ය ධර්මය අසන්නට ලැබී නැත. නැතහොත් නිවන් අවබෝධයට තරම් කුසල් නොතිබෙන්නට ඇත. භාවනා වඩා සිත තුළ වූ ආශ්‍රව ප්‍රහානයට තිබූ හැකියාව ගෞතම බුද්ධ ශාසනයේ දී අරිහත්වයට පත්වීමට හේතුවූවාට නිසැකය. අනුරුද්ධ ර. ව. මෙසේ උදාන ගාථාවල කියා ඇත. " මම සිය වතාවක්‌ තව්තිසා දෙව්ලොව ඉපදිලා තියෙනවා. මම සතර වතාවක්‌ රජවෙලා තියෙනවා. සාගරය සීමා කරගෙන මේ පොළව ජය අරගෙන දඹදිවට අගරජු වෙලා තියෙනවා. මිනිස්‌ ලෝකයෙන් චුතවෙලා දිව්‍යලෝකයේ සත් වතාවක්‌ ඉපදුනා. ඊට පස්‌සේ මිනිස්‌ ලෝකයේ සත්වතාවක්‌ ඉපදුණා. මම දෙව්ලොව ඉන්න කාලෙත් පුබ්බේනිවාසානුස්‌සතී ඥානය තිබුණා. (ථෙර ගාථා - 913,914,915)

බෝධි සත්ත්ව චරිතය ද සසරගමන පිළිබඳව අවබෝධයට හොඳ පාඩමකි.

අංගුත්තර නිකායේ ජම්බුදීප පෙයිHdලයේ සූත්‍ර ගණනාවක මෙසේ දේශනා කර ඇත. මිනිසුන් අතර උපදින සත්ත්වයෝ අල්පවෙති. මනුෂ්‍යයන්ගෙන් වෙන්ව උපදින සත්ත්වයෝ බහුල වෙති. මිනිසුන් අතරින් මැරි මිනිසුන් අතර උපදින සත්ත්වයෝ අල්ප වෙති. මිනිස්‌ ලොවින් චූතව නිරය, ප්‍රේත විෂයය, තිරිසන් යෝනිවල උපදිති. දෙවියන් අතරින් චුතව මිනිසුන් අතර උපදින සත්ත්වයෝ අල්පවෙති. නිරයෙන් චුතව තිරිසන් යෝනියෙන් චුතව, ප්‍රේත විසයෙන් චුතව මිනිසුන් අතර උපදින සත්ත්වයෝ අල්ප වෙති. " තවද එහිම තථාගතයන් වහන්සේ දෙසූ ධර්මය දැන ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන සත්ත්වයන් අල්ප වෙතියි වදාරා ඇත."

භාවනා කරන මනුෂ්‍යයන් අල්ප වෙති. භාවනා නොකරන්නෝ බහුල වෙති.

භාවනා කර ධ්‍යාන ලබන්නෝ අල්ප වෙති. ධ්‍යාන නොලබන්නෝ බහුල වෙති.

ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් සෝවාන් ඵලය පසක්‌ කරන්නෝ අල්ප වෙති. ධර්මානුධර්ම ප්‍රතිඥාවෙන් සෝවාන් ඵලය නොලබන්නෝ බහුල වෙති යි දේශනා කර ඇත.

වරක්‌ බු. ර. ව. භික්‌ෂූන් වහන්සේලා සමග චාරිකාවේ වඩින විට තමන් වහන්සේගේ නිය පිටට වැලි ටිකක්‌ ගෙන මහණෙනි මාගේ නියපිට ඇති වැලි ද මහ පොළවේ ඇති වැලි ද වැඩි දැයි භික්‌ෂූන් වහන්සේලාගෙන් විමසූ විට ප්‍රතිඋත්තර වූයේ ස්‌වාමීනි මහ පොළවේ ඇති වැලි ප්‍රමාණය ගණන් කළ නොහැකි බවයි. එසේ නම් මහණෙනි පෘතග්ජන සත්ත්වයා අතුරින් සත්‍ය සතර අවබෝධ කරගෙන සෝවාන්ව සුගතිගාමී වන සත්ත්වයන්ගේ සංඛ්‍යාව නියපිට ඇතිවැලිවලට සමාන බැවින් ඔබලා ද වහා වීර්යය කළයුතු යෑයි දේශනා කළ සේක. (ස. නි. නකසිබා සූත්‍රය)

පතව්‍ය එක රප්පේන - සග්ගසස ගමනෙනවා

සබ්බ ලෝකාධි පච්චෙන - සෝතාපත්ති ඵලංවරං 

(ධ. ප. ලෝකවගග)

" මුළු ලොවටම රජවීමටත් දෙව්ලොව යැමටත්, මුළුලොව අධිපතිකම ලැබීමටත් වඩා සෝවාන් ඵලයෙහි පිහිටීම උතුම් ය." යෑයි සෝවාන් ඵලයෙහි පිහිටීමේ ප්‍රතිලාභ දේශනා කර ඇත. 

බොහෝ දෙනා බොහෝ දේ කරන්නේ කිසියම් ප්‍රතිලාභයක්‌ තමාට ආපසු ලැබෙන්නේ ය යන අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් ලත් හේතු ඵල නියාමය සිතේ ඇතිවය. ප්‍රතිලාභය සාමිස ප්‍රතිලාභ, නිරාමිස ප්‍රතිලාභ වශයෙන් දෙකකට බෙදිය හැකිය. සාමිස ප්‍රතිලාභය බොහෝ දුරට ආමිස ප්‍රතිලාභයට ද සමාන අර්ථ දේ.

සාමිස යන්නට ශබ්ද කෝෂය අර්ථ දෙන්නේ " ඉඳුල් සහිත කනදෙය," කෙලෙස්‌ සහිත "යනුවෙන් ද, ආමිස යන්න "ආහාරය, ජීවත්වන්නට ඕනෑ කරන දෙය, "මස්‌" වශයෙනි. මේ ප්‍රතිලාභ පෘතග්ජන සියලු දෙනාම මෙලෝ වශයෙන් ලබන නොයෙකුත් ප්‍රතිලාභ ද, පරලොව වශයෙන් නොයෙකුත් ප්‍රතිලාභ ද අපේක්‍ෂා කරමින් කරන කටයුතු වැලකී බු. ර. ව දේශනාවලට අනුව මෙලොව ප්‍රතිලාභ නම් දුකින් තොර ජීවිතයක්‌ හා දරුවන් ලැබීමයි. මේ දෙක හැරුණුවිට සාමිස ප්‍රතිලාභ අපේක්‍ෂාවෙන් නොයෙකුත් සංකල්පනා ඇතිව කටයුතු කරයි. සාමිස ප්‍රතිලාභ ඉටුවන්නටත් ඉටු නොවන්නටත් පුළුවන. සාෙල්‍ය හා වේරංජනා සූත්‍රවලදී දස අකුසලයෙන් වැලකෙන්නට සාමිස ප්‍රතිලාභ වශයෙන් මෙලොව දීම සැප සම්පත් ලැබෙන බව දේශනා කර ඇත. පරලොව වශයෙන් සදිව්‍ය ලෝකවල උපත සාමිස සැප ලෙස වදාරා ඇතත් සාමිස ප්‍රතිලාභවලින් ලැබෙන්නේ සාමිස සුබයක්‌ පමණි. එයද සදා සිතේ නොරඳන්නේ ය. ඉහත ගාථාවෙන් දැක්‌වෙන්නේ උත්තම ආමිස ප්‍රතිලාභ කිහිපයකි.

නිරාමිස ප්‍රතිලාභ

"නිරාමිස" යන්නට " මස්‌ නැති", කාමාශාවන් පිළිබඳ නොවූවක්‌ වශයෙන් ශබ්ද කෝෂය අරුත් දේ. නිරාමිස ප්‍රතිලාභ නම් සෝවාන්, සකදාගාමී, අනාගාමී හා අරහත්ඵල සාක්‍ෂාත් කර ගැනීමයි. ඒ සඳහා පිළිවෙත් පිරීමයි. ඒ ප්‍රතිලාභ කෙනෙකුට ලැබිය හැකි උතුම්ම ප්‍රතිලාභයි. නිරාමිස ප්‍රතිලාභ අපේක්‍ෂා කරන්නා ද දස අකුසල කර්මවලින් වැලකිය යුතු බව වදාරා සෝවාන් වීමෙන් ලැබෙන උතුම්ම ප්‍රතිලාභ ලෙස සාරංශ කොට රතන සූත්‍රයේ වදාරා ඇත්තේ අට වරක්‌ සසර නොයිපදීමත්, නිවන දක්‌නා තෙක්‌ අපාගත නොවීමත් ය.

අනවරාග්‍ර සසර ගමනක්‌ යන සත්වයාට මේ ප්‍රතිලාභය තරම් අන් එක ද සාමිස, ආමිස ප්‍රතිලාභ නොවටී.

සාමිස/ ආමිස ප්‍රතිලාභවලට වහල්වීම, පෘතග්ජන ස්‌වභාවය වුවද, ත්‍රිහේතුක උත්කෘෂ්ට කුෂලයකින් ප්‍රතිසන්ධිය ලත් පුද්ගලයන්ගේ පරම අපේක්‍ෂාව සසර දුක්‌ නැති කර සසර ගමන කෙටි කර ගැනීමත්, දුක්‌ සෝක වේදනා නැති සතර අපායෙන් ගොඩ වීමත් ය. නිරාමිස ප්‍රතිලාභය නිත්‍ය සුවය ගෙනදේ.

"සෝවාන් ආර්ය දර්ශන සම්පත්තිය හෙවත් සෝවාන්වීම නුවණ පහළවීමත් සමග සක්‌කාය දිට්‌ඨිය, බුද්ධාදී අටතැන සැකයත්, වැරදි සිලවෘත පිළිපැදීමත් යන තුන් ආකාර භව බන්ධන දුරු කරන ලද්දේය. ආනන්තරීය කර්ම නොකරයි. මිත්‍යාදිට්‌ටි නොගනී."

තවද ඒ සෝවාන් පුද්ගල තෙමේ කයින් හෝ වචනයෙන් සිතින් හෝ ප්‍රතිපත්තිමය වූ කිසි වරදක්‌ සිදු වූ නමුදු හෝ එය සඟවන්නට උත්සහ නොකරන්නේය. දක්‌නා ලද නිර්වාණ පදය ඇති සෝවාන් පුද්ගලයන් වරද නොසැගවීමේ උසස්‌ ගුණයේ වැදගත් බව බු. ර. ව විසින් වදාරා ඇත. (රතන සූත්‍රය)

තවද " උපාය දන්නෝ අපායේ නොවැටෙත් " යෑයි පැරණි යම් කියමනක්‌ තිබේ. එහි අරුත් දෙන්නේ අකුසලයෙන් වැළකෙන්නට දන්නා එයින් වැළකීමට උපාය යොදා අපායේ වැටෙන අකුසල් නොකිරීමෙන් අපාගත නොවන බවයි. මෙහි අපාගත නොවීම යනු සෝවාන් ඵලයට පත්වීමයි. අපාය දුක්‌ කල්පවලින් හැර වර්ෂවලින් කිව නොහැක.

පෘතග්ජනයෙකු සෝවාන් වන අංග 4 කි. සත්පුරුෂ ආස්‍රය, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසො මනසිකාරය හා ධර්මානු ධර්ම ප්‍රතිපත්තියයි. මහණෙනි මේ සතර ධර්ම වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මහා ප්‍රඥා ඇතිවන බව, ස. නි. සෝතාපන්න සංයුක්‌තයේ මහා පඤ්ඤා වර්ගයේ දේශනා කර ඇත. මේ අංක 4 වඩා මහා ප්‍රාඥ වෙයි. පුථු ප්‍රාඥවෙයි. විපුල ප්‍රාඥවෙයි. ගාම්භීර ප්‍රඥා වෙයි. ප්‍රඥා බහුල වෙයි. සීග්‍ර ප්‍රඥා වෙයි ලහු ප්‍රඥා වෙයි භාසු ප්‍රඥා වෙයි ජවන ප්‍රඥා වෙයි තීක්‍ෂණ ප්‍රඥා වෙයි නිබ්බෙධකි ප්‍රඥාවේ යෑයි සූත්‍ර 13 කින් වදාරා ඇත. මේ සූත්‍ර 13 හැරුණු විට සෝතාපන්න සංයුක්‌තයේ සෝවාන් වූ අය පිළිබඳවත් සෝවාන් අංග පිළිබඳවත් සූත්‍ර 61 කින් දේශනා කර ඇත. සෝවාන් ආර්යයා නියත සම්බෝධි පරායනය.

එසේම ඔහුට අප්‍රමාණ ඤාණ සම්භාරයක්‌ ද ලැබේ. අනුලෝම ඤාණ ගොත්‍රභූ ඤාණය. සතර අපාය අපමණ දුක්‌ සහිත බවත්, ඒ දුක පිළිබඳව චන්ද්‍රdලෝකයෙන් යමක්‌ දකින්නා සේ දැකීම රතන සූත්‍රයේ වදාළ පරිදි ඉපදීම සත්වරක හෝ සීමා වී අට්‌ඨාන පාලියට අනුව කිසි සංස්‌කාරයක්‌ (කුසල අකුසල) නිත්‍යයයි කියා හෝ සැපයයි. කියා හෝ ආත්මයයි. කියා මුලා නොවීම, පංච ආනන්තරිය අකුසල නොකිරීම, මිත්‍යා දිට්‌ඨි ගත නොවීම බොහෝ දෙනාගේ ගෞරවයට ලක්‌වීම කුල පරපුරේ ගෞරවය රැකීම, තණ්‌හාවෙන් සියල්ල බදා නොගැනීම, ව්‍යාපාද අඩුවීම, (අනුශය වශයෙන් පවතී) සියල්ලන්ගේ පැසසුමට ලක්‌වීම, සතුටු සිතින් ජීවත් වීම, අපායට බිය නැතිවීම පරලොව යාමෙන් පෘතග්ජනයාගේ පුද පූජාවලට ලක්‌ වීම (උදා( සුමන සමන් දෙවී) ධර්ම රසයෙන් ජීවිතය ගත කිරීම, ලද දෙයින් සතුටු වීම ආදිය ඔහු ලබන අනෙකුත් ප්‍රතිලාභය.

ඉදින් සමථ භාවනාවකින් සතර වන හෝ පස්‌වන..... ධ්‍යාන ලබා සෝවාන් නුවණ වී නම් දිව ඇස දිව කන පරසිත් දක්‌නා නුවණ පෙර ආත්ම දැකීමේ නුවණ හෙවත් පෙර සිටි ආත්ම බැලීමට හැකිවීම විශේෂයයි. ගිහි වාසය සෝවාන්, සකදාගමී, අනාගාමී වීමට බාධාවක්‌ නොවේ. සෝවාන්ව ගිහි ජීවිතයක්‌ ගත කළ අයට කදිම උදාහරණයකි. විශාඛා සිටුදියණිය (ලේඛකයාගේ 2014.02.14 යන බුදු මග පත්‍රයේ පළවූ ඔබත් අනාගාමිද යන ලිපිය බලන්න)

යමෙක්‌ සතර අපායෙන් එකක්‌ වූ තිරිසන් ලෝකය ඇසින් දැක මනසින් සම්මර්ෂණය කර කර සිතින් අපාය දුක බව ප්‍රඥාවෙන් අවබෝධ කළේ නම් සෝවාන් වීම සඳහා එයම ප්‍රමාණවත්ය ප්‍රශ්නයකට ඇත්තේ එසේ ඇසින් දැක ඒ පිළිබඳ ප්‍රඥාවෙන් නොබැලීමයි. (සෝවාන් ආනිසංස පිළිබඳ දීර්ග විස්‌තරයක්‌ ලේඛකයාගේ සෝවාන් මග පිළිවෙත ග්‍රන්ථයෙන් දැක්‌වේ.)
අනගාරික දයාසේන සේනාරත්න
සදහම් සඟරා - Online