ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ශ්‍රද්ධාව නිවනට ළඟා කරයි

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ අමරපුර විද්වත් සංඝ 
සභාවේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි

මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ මත පදනම්ව දරුවන් හැදුවොත් දරුවන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. එවැනි මවුවරුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව නිතරම දරුවන් විමසිලිමත් වෙමින් සොයා බලමින් අවශ්‍යතා ඉටුකර දෙයි. දරුවන් නොසලකන බවට නිතරම අඳෙීනා කියන විට දරුවන් සලකන්න කැමැති වන්නේද නැහැ. අපේ අම්මලාට කෙතරම් සැලකුවත් මදි? යනුවෙන් ප්‍රකාශ කරන දරුවන් සිටී.
දරුවන් යමක් ලබාදුන් විට සැම විටම ලැබෙයි යන බලාපොරොත්තුවෙන් නොසිට එය ප්‍රතික්ෂේප කරන අම්මලාට දරුවන් ඉතාම සතුටෙන් අවශ්‍යතා ඉටුකර දෙයි. එය එහි ස්වභාවයයි. ඔබ බලාපොරොත්තු නොවන තරමටම ඔබට අවශ්‍යතා ඉටුවෙයි. අසවලාගෙන් මෙතරම් ප්‍රමාණයක් ලැබෙයි යනුවෙන් බලාපොරොත්තු ඇතිකර ගනු ලැබුව හොත් ලැබෙන්නේම නැහැ. වැඩිපුරම බලාපොරොත්තු තබාගත් පුද්ගලයා පිළිබඳව අවසාන වශයෙන් කේන්තියක්ද ඇතිකර ගනී.කවුරුන් වෙනුවෙන් හෝ කැපකිරීමක් කරනවා නම් එය ලාභ අපේක්ෂාවෙන් තොරව නිරාමිසව කැප විය යුතුයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වඩමින් බෝසත්වරයෙකු ලෙස නිවන් දැකීමට කටයුතු කළ යුතුයි. ඔබ මෛත්‍රියෙන් සිටින විට අනෙකාට කෙතරම් උදවු උපකාර කළ හැකිද? ඔබ කරුණාවෙන් යුක්තවනවා යනු අසල්වැසියාගේ සිට සියලු ලෝකවාසීනට කරන උපකාරයක් වෙයි. ලෝකය පිළිබඳව මුදිතාව වඩන විට ඔබ කාටවත්ම ඊර්ෂ්‍යා කරන්නේ නැත. උදවු නොකළත් ඊර්ෂ්‍යා නොකරනවා නම්,එයද යහපත් වෙයි. එයත් ඇතැමුන් උපකාර නොකරන අතරම එසේ තිබියදීත් තිබෙන යහපතට උගුල් අටවයි. එය ඊර්ෂ්‍යාව භයානක චෛතසිකයක් වෙයි. එම නැතිකිරීමට නම්, මුදිතාව ළඟා කර ගත යුතුයි. මුදිතාව යන උදාර චෛතසිකය වැඩුණ හොත් ඊර්ෂ්‍යාවට පැවතිය නොහැකිය.ඊර්ෂ්‍යාව මතුවීමට බලපානු ලබන පරිසරය නැතිකර දැමිය යුතුයි. තමා තුළ ඊර්ෂ්‍යාවක් නොමැති නම් කේලාම් කියමින් ගැටලු ඇති කරන්නේ නැහැ. ඊර්ෂ්‍යාව නැත්නම්, එකිනෙකාට කතන්දර ගොතමින් අපහාස නඟන්නේ නැහැ. එසේ ජීවත්වනවා නම් ඔබට කෙතරම් පින් සිදුවෙයිද?
නිවනට අදාළ වන කාර්යයන් සමාජය වෙනුවෙන් ඉටු කළාට ගැටලු ඇති වන්නේ නැත. කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සමාජයට උදවු උපකාර කළ යුතු අතරම අනෙකාගේ ජයග්‍රහණය තුළ මුදිතාවෙන් සතුටු විය යුතුයි. මුදිතා කරුණා මෛත්‍රියෙන් යුක්ත වන විට නොදැනීම උපේක්ෂාව හටගනී. කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අනෙකාගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතුවා සේම ඔහුගේ හෝ ඇයගේ දියුණුව දැක මුදිතාවෙන් සතුටු විය යුතුයි. උපේක්ෂා සහගතව ඇලීම් ගැටීම් නැතිවන විට රහත්භාවයට ළඟාවෙයි. අදුර ඈත්වී පූර්ණ ආලෝකය ලබමින් ඥනය ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගනී. නුවණින් යුක්තව නිවනට අදාළ වන නිරාමිස බව පළමුකොටම ඇතිකර ගත යුතුයි.

නිර්වාණය පිළිබඳව විශ්වාස කළ යුතුයි. ඇතැමුන්ට නිර්වාණය පිළිබඳව විශ්වාසයක් ද දුකින් නිදහස් වීම පිළිබඳ විශ්වාසයක්ද නැත. නිවන් දැකපු උතුමන් තුළ ඇලීම් නොමැති නිසාම ගැටීම් නොමැතිව ජීවත් වන අතර නිවන් නොදැකපු පිරිස ඇලීම් සමඟ ගැටීම් ඇති කර ගනී. නිවන් සාක්ෂාත් නොකළ පුද්ගලයා අනෙකාගේ යහපතට ඊර්ෂ්‍යා කරන අතර නිවන් සාක්ෂාත් කළ උතුමන් අනෙකාගේ යහපතට ඊර්ෂ්‍යා නොකරයි. අප විශ්වාස කරන ගැඹුරු අවබෝධය ඇතුළත කෙලෙස් එකින් එක ගැලවී යයි.
තණ්හාව මෝහය වැනි කෙලෙස් ඉතිරියක් නැතිව ක්ෂය කළ විට ලබන්නාවූ ශාන්ත ඵලය නිර්වාණය ලෙස හඳුන්වයි. එම නිවන පිළිබඳව විශ්වාසයක් තිබිය යුතුය. එම විශ්වාසය තමා තුළ ගොඩනැඟීමත් සමඟ එය ක්‍රියාවට නැඟීම සඳහා උද්‍යෝගයක් හටගනී.
නිවන පිළිබඳව ශ්‍රී සද්ධර්මය පිළිබඳව , ස්වාමීන් වහන්සේලා පිළිබඳව සැක නැති විය යුතුය. ඇතැමුන්ගේ දැනුම වැඩිවීමත් සමඟ විචිකිච්ජාව වැඩිවෙයි. ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කළ රජ්ජුමාලාද, කසළ සෝදකයෙකු ලෙස කටයුතු කළ සුනීතද, මළමිනියට ගැටගසා සිටි සෝපාකටද, නිවන් දැකිය හැකි නම්, දැනුම බලය වැනි කාරණා අවබෝධය සඳහා ප්‍රයෝජනවත් නොවන බව වැටහෙයි. දැනුම බලය ලෞකික ජීවතය සැපයෙන් ගත කිරීමට පමණක් ප්‍රයෝජනවත් වෙයි. පුර්ණ අවබෝධය කරා යන ගමනේදී විශ්වාසය පමණක් ප්‍රමාණවත් වෙයි. ශ්‍රද්ධාව ඉපදුනාට පසුව නිවනට අදාලව කළයුතු සහ නොකළ යුතු කාර්යයන් කළ යුතුයි.
නිවනට අදාළව පුහුණු වන පුද්ගලයෙකු කළයුතු දෑ සහ නොකළ යුතු දෑ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ගැඹුරු ශ්‍රද්ධාව නොමැති කම නිසා සීලයට අදාළවන වීර්යය අප තුළ ගොඩනැගෙන්නේ නැත. නිවන නැමැති අස්වැන්න නෙළාගැනීම සඳහා බීජ ලෙස ශ්‍රද්ධාව වැපිරිය යුතුබවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ශ්‍රද්ධා බීජ නොමැති පුද්ගලයාට සිල් ආරක්ෂා කළ යුතු බවට ප්‍රකාශ කළද එයින් පලක් වන්නේ නැත. කෙතරම් පන්සිල් සමාදන් වුවත් ඵලක් තිබෙනවාද? යනුවෙන් විමසන පිරිස් සිටී. පන්සිල් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රද්ධාව තිබිය යුතුයි. සසර ගමන කෙටි කර ගැනීම සඳහා ශ්‍රද්ධාව පිළිබඳ විශ්වාසයක් නොමැති නම්, පන්සිල් ආරක්ෂා කිරීමක් වන්නේ නැත. ශ්‍රද්ධාව නොමැති පුද්ගලයන් තුළ සීලය ගොඩනැංවීම පහසු කාර්යයක් නොවෙයි. අප රට තුළ සිල්වත් බව බිඳ වැටී ඇත්තේද ශ්‍රද්ධාව බිඳ වැටී ඇති නිසයි. නූතන අධ්‍යයාපන ක්‍රමය තුළ බොහෝ උගතුන් බිහිවුවද, ශ්‍රද්ධාවන්තයන් බිහි වුයේ නැහැ. ජාතක පොත් වහන්සේ තුළ ඇති බෝධිසත්ව සංකල්්ප පිළිබඳ ප්‍රශ්න ඇතැමුන් විමසනු ලබයි. බෝධිසත්ව ගති පිළිබඳව විශ්වාසය පැවතුණ කාලය තුළ ලේ දන්දීම සඳහා දැන්වීම් ගැසීමට අවශ්‍ය වුයේ නැත. උගතුන් බිහිවීමත් සමඟ ශ්‍රද්ධාව පිළිබඳව පණ්ඩිත කාරණා ප්‍රකාශ කළා පමණයි. ඇස් ඉස් මස් ලේ දන්දුන්නේ බෝධිසත්ව වරුන් බවට අපගේ සමාජය තුළ පැවති ආකල්පයයි.බුදුවීමට ප්‍රාර්ථනා කරන උතුමන් උතුම් ගුණ වඩන බවට අදහස සමාජය තුළ පැවති අතර වර්තමානය තුළ වකුගඩු ලක්ෂ ගණනින් අලෙවි කරයි. ශ්‍රද්ධාව විනාශ වූ විට සියල්ල විනාශ වී යයි. ශ්‍රද්ධාව ඔබගේ ජීවිතයේ පදනම විය යුතුයි.
අරමුණ නිරාමිස කරන ආකාරයත් එම නිරාමිස අරමුණ සඳහා විශ්වාසයක් අඛණ්ඩව පැවතිය යුතු බවත්, ඔබගේ අරමුණ නිර්වාණය අවබෝධය නම්, එම නිර්වාණය අවබෝධය සඳහා අවශ්‍ය කරන කළ යුතු නොකළ යුතු දෑ මොනවාදැයි හඳුනාගෙන නොකළ යුතු දෙයින් වැළකී කළයුතු දෑ සමාදන් වන ආකාරය පිළිබඳවද,අවබෝධය ලැබී ඇත.
එම උදාර අරමුණ සඳහා පුහුණුව සිදුකරද්දී ලැබෙන සියලු ප්‍රතිපල සතුටින් බාරගත යුතුයි. යථා ලාභං සන්තුට්ඨිං අරමුණ දිනීමට නම්, ලද දෙයින් සතුටු විය යුතුයි. ලද දෙයින් සතුටු නොවන පිරිසට අරමුණ ජයග්‍රහණය කිරීම අතිදුෂ්කර වෙයි. ලද දෙයින් අසතුටු වූ විට ශ්‍රද්ධාව කඩා වැටී නිරාමිස බව නැතිවෙයි. ලද දෙයින් සතුටු වීමට නොහැකි වන තමාගේ ආගමික ප්‍රතිපත්ති තුළින් ඉවත්ව යයි.
දන් පහන් පූජා කරන නිසාත් පන්සල් යන නිසාත් එම පිහිටෙන් අපට කිසිවක් සිදු විය නොහැකි බව අප විශ්වාස කරයි. කරදර බාධක වැඩි වූ විට කෙතරම් පන්සල් ගියත් බෝධිපූජ තැබුවත් පලක් නැති බවට ඇතැමුන් ප්‍රකාශ කරන අතර ඔබ ඔවැනි තරමින් හෝ ෙබිරී සිටින්නේ ඔබ විසින් සිදුකරන ලද ආගමික වතාවත්වල ප්‍රතිඵලයෙන් විය හැකි. අප විසින් සිදු කරනු ලබන යහපත් ක්‍රියාකාරකම් නිසා යාන්තමට හෝ බේරී සිටිනවා විය හැකියි.
යහපත් ප්‍රතිඵල නොලැබුණත් කරදර අඩුවෙන් හෝ ජීවත් වනුයේ එයි ප්‍රතිපලයක් ලෙස වන අතර එම යහපත් ක්‍රියාකාරකම් අතහැර දැමුව හොත් කුමක් සිදුවිය හැකිද? බුද්ධ ශාසනයත්, පන්සලත් විනාශ වුවහොත් පොලිසි නැති වූවාට වඩා භයානක තත්ත්වයක් උදාවෙයි. එම නිසා ශ්‍රද්ධාව කිළිටි නොකර ගත යුතුයි. තමා තුළ පවතින යහපත් ක්‍රියාකාරකම් තුළින් ලැබෙන ප්‍රතිඵලය බාරගත යුතුයි.
අප අපේක්ෂා කරන ආකාරයෙන් සියල්ල සිදු නොවන බව අවබෝධ කරගත යුතුය. බොහෝ අවස්ථාවල නොසිතන ප්‍රතිඵල ලැබෙයි. ලැබෙන දේ සතුටින් බාරගත් විට අඛණ්ඩව ශ්‍රද්ධාවෙන් කටයුතු කළ හැකියි.
ලංකාව තුළ මේ තරම් ධර්මය දේශනා කළත් ඇති ඵලය කුමක්ද? යනුවෙන් ඇතැමුන් විමසන අතර ඒ දේශනා කරනු ලබන්නාවු ධර්මයත් නැතිවුණා නම් කුමන තත්වයක් ලංකාව තුළ ඇති විය හැකිද?
මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු පුර අටවක (ජනවාරි05) පෝදා පත්‍රයේ පළවිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online