අප ඉතා සත්‍යවාදී ව ධර්මානුකූල ව, අප දෙස විමර්ශනශීලී ව විමසා බැලිය යුතුව ඇත. එසේ සත්‍යවාදීව තමන් දෙස විමසා බලා සිත, කය, වචනය නිවැරදි කර ගැනීම ප්‍රත්‍යවේක්ෂාව ලෙස හැඳීන්වේ.
නිවැරදි සරණාගමනය ඇති කරගත් උපාසක ඇත්තකු තුළ තිබිය යුතු ලක්ෂණයක් පිළිබඳ ව පසුගිය දිනයේ දී අප විමසා බලන ලදී. එසේ සරණාගමණය ඇති කරගත්තකු පිළිවෙත් මාර්ගය ආරම්භ කළ යුතුව ඇත. පිළිවෙත් මාර්ගය ආරම්භ වන්නේ පංචසීලයෙනි . පන්සිල් සමාදන් වීම උපාසක ඇත්තකු තුළ තිබිය යුතු පළවෙනි ලක්ෂණයයි. බොහෝ බෞද්ධයන් පන්සිල් සමාදන් වන බව නො පෙනේ. සැබැවින් ම සිතා බැලුවහොත් බොහෝ දෙනකු පන්සිල් පද කියවනවා විනා සමාදන් වීම සිදු නොකරයි. මන්ද යත් බොහෝ දෙනකු සිල්පද කියවන්නේ එම වැරදිවලින් වළකින බවට කිසිදු චේතනාවක් සිතේ ඇතිකර නොගනිමින් ය. චේතනාවක් නොමැති තැන කර්මයක් සිදු නොවන බව පැහැදිලි කාරණාවකි. එබැවින් අපව මූලිකව ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණාවක් වන්නේ සැබෑවට සිල් සමාදන් වන්නේ ද යන්නයි. සැබෑවට සිල් සමාදන් වන්නේ නම් ඒ සෑම සිල් පදයක දී ම මම දිවි හිමියෙන් මෙය ආරක්ෂා කරන බවට චේතනාවක් තමන් තුළ ජනිත විය යුතුව ඇත. එසේ චේතනාවක් ඇති නොවන්නේ නම් එවැනි චේතනාවක් ඇතිකර ගනිමින් සිල් සමාදන් වීමට වග බලා ගත යුතු ය. එසේ චේතනාව නිවැරදි කර ගනිමින් සමාදන් වන අයට සීලය සමාදන් වීමෙන් ලැබෙන්නා වූ ආනිසංස වාරයන් වේ.
කූටදත්ත සූත්‍රයට අනුව පංච සීලය අරක්ෂා කිරීමෙන්, සංඝා වාසයක් සකස් කර සංඝික කර පූජා කරනවාට වඩා ආනිසංස ලැබෙන බව, බොහෝ පින් රැස්වෙන බව පැහැදිලිවෙන කාරණාවකි.
අන්ධ භක්තියෙන් සිද්ධ කරන අන්‍ය වූ ක්‍රියාවන් බෞද්ධ ධර්මයට පටහැනි බැවින් එය බෞද්ධකමට නිගාවකි. දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව ලබන්නටත් බොහෝ පින් රැස් කර ගන්නටත් පංච සීලය ආරක්ෂා කරගන්න පුද්ගලයාට හැකි වේ. පින්වන්ත පුද්ගලයකු ආසන්නයට අමනුස්සයන්ට ළං වන්නට නොහැකි බව ධර්මයේ සඳහන් වන කාරණාවකි.
යම්කිසි නිවසකට හෝ පුද්ගලයින්ට අමනුෂ්‍ය බලපෑම් ඇත්තේ නම් පන්සිල් ආරක්ෂා කිරීමෙන් බොහෝ පින් රැස් වන බැවින් අමනුෂ්‍ය බලපෑම් නිවසින් ඉවත් කර ගැනීමට හැකියාවක් ඇත.පන්සිල් රකින පුද්ගලයකුට අමනුෂ්‍යයන්ගෙන් වන බලපෑම්, කරදරකාරී තත්ත්වයන් සිදු නොවන බව පැහැදිලි වේ.
එමෙන්ම අපල උපද්‍රව ලෙස අප සලකන යම් උවදුරු තත්වයක් වෙයි නම්, එය අන් කවරක් හෝ නොව කර්මය ම විය යුතු ය.අතීත කර්මය නැති කර ගැනීම සඳහා කළ යුතු දේ පිළිබඳ ව ධර්මයේ සඳහන් වන්නේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා යන ක්‍රමවේද භාවිත කිරීමයි. අඛණ්ඩ ව උත්සාහ කරමින් පන්සිල් ආරක්ෂා කරන කෙනකුට මෙම ක්‍රමවේද සම්පූර්ණ වීමට හේතුවන සමාධිය, ප්‍රඥාව ආදිය ඇති කර ගැනීමට හැකිවන බැවිනි. තමන්ගේ කර්මය ක්ෂය කර ගැනීමට එය ප්‍රධාන හේතුවක් වේ. එසේ නොමැතිව ග්‍රහ පූජා තැබීම් නවග්‍රහ මුදු පැළඳ වීම්, නොයෙකුත් යන්ත්‍ර ආදිය පැළඳවීම වැනි මිථ්‍යා විශ්වාසයන්වලට එල්බගෙන කටයුතු කිරීමෙන් කර්මයට බලපෑමක් කළ නොහැක. එබැවින් පන්සිල් රැකීම තමන්ගේ කර්මයන් ක්ෂය කර ගැනීමට හේතුවක් වන බව ද අප දැනගත යුතු කාරණාවකි.
කුසලයක් සිදු කරන කල්හි එය ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නම් වැඩි ආනිශංස වාරයක් තිබෙන බව අපි දනිමු. එබැවින් පන්සිල් රැකීමෙන් මානසික ශක්තිය වර්ධනය වීම සිදුවන්නේ කෙසේදැයි දැනගෙන, එම දැනුමෙන් යුක්තව පංචශීලය ආරක්ෂා කිරීම ඉතාම විශාල ආනිසංසයක් ලැබීමට හේතු වේ. සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයක් ඇති සන්තානයක බොහෝ කෙලෙස් උපදවන ස්වභාවය ඇත. එබැවින් සිහිය, නුවණ ,වීර්යය, ඉවසීම, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වැනි උසස් ගුණාංගයන් වලින් ඒ සිත් බොහෝ විට දුර්වල තත්වයකට පත් වී තිබේ. සිහිය වර්ධනය කිරීමට නම් සිහියෙන් සිටීම පුරුදු විය යුතුව ඇත. ඉවසීම ද වර්ධනය කළ යුත්තේ ඉවසීමෙන් සිටීමෙනි. අධිෂ්ඨානයෙන් වැඩ කටයුතු කරන පුද්ගලයා තුළ දිනෙන් දින අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වේ. සෑම ගුණාංගයක් ම එම ගුණාංගයෙහි යෙදීමෙන් ම වර්ධනය වෙන බව අපි හොඳීන් දනිමු. යම්කිසි කෙනෙක් අධිෂ්ඨානයෙන් පංච සීලය සමාදන් වුවහොත් කැඩෙන හැම වාරයක දී ම නැවත නැවත සමාදන් වෙමින් කටයුතු කළහොත් සිල් රකින හැම වාරයක ම එම පුද්ගලයාට සිහියෙන් සිටිය යුතු වේ, වීර්යයෙන් සිටිය යුතුවේ, අධිෂ්ඨානයෙන් සිටිය යුතුවේ, ඉවසීමෙන් සිටිය යුතු වේ. එසේ සිටින හැම වාරයක ම එම උසස් ගුණාංගයන් එම සන්තානය තුළ වැඩෙන බව නොරහසකි.
සාමාන්‍ය ජීවිතයේ ඕනෑම කටයුත්තක් සාර්ථක ව සිදු කිරීමට නම් එය පිළිබඳව කැමැත්තක් ඇති කර ගැනීම සිදු කරගත යුතු ම වේ. අඛණ්ඩ ව පංචශීලය ආරක්ෂා කරන්නට සූදානම් වන පුද්ගලයකු ඒ සඳහා කැමැත්තක් ඇති කර ගැනීම සඳහා මෙසේ පංච ශීලයෙන් ලැබෙන ආනිසංස වාරයන් වගේ ම සීලය කැඩීමෙන් ලැබෙන ආදීනවයන් ද හොඳීන් මෙනෙහි කළ යුතුව ඇත. විපාක ද මෙනෙහි කළ යුතුව ඇත.
පංච සීලය කැඩීමෙන් ඇතිවෙන විපාකයන් පිළිබඳ ව ඉදිරියේදී දස අකුසල් පිළිබඳ ව ඉදිරිපත් කෙරෙන ලිපිවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර මෙම කරුණු පොත්පත්වලින් ද පහසුවෙන් සොයා ගත හැක. එසේ ආනිසංශ සහ ආදීනවයන් හොඳීන් දැනගෙන එම දැනගත් කරුණු නැවත නැවත මෙනෙහි කළ යුතුව ඇත. එසේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් පාණාතිපාතා වේරමණී,අදින්නාදානා වේරමණී,කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී,සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී යන විරති චෛතසිකයන් අපේ සන්තානය තුළ පැන නඟින්නට හේතු සකස් වේ. 'ප්‍රාණඝාතය සිදු කිරීම' අප සිතේ නැගෙන අකුසලයක් නිසාවෙන් සිදුවන්නකි.ඉන් වැළකීම සඳහා ප්‍රාණඝාතයෙන් වැළකීම යන සිතුවිල්ල සකස් වී එය බලවත් විය යුතු ය. එසේ නොමැතිව ප්‍රාණඝාතයෙන් වැළකීම යන සිද්ධිය අප අතින් සිද්ධ නොවේ ම ය.සෑම සිල් පදයක් ම රැකෙන්නේ එම සිල් පදය කැඩීම වැළැක්වීම සඳහා අපේ සිතෙන් ම පැන නගින සිතුවිල්ල එම සිල් පදය කැඩීම සඳහා අපේ සිතේ නැගෙන සිතුවිල්ලට වඩා ප්‍රබල වූ විට ය. එසේනම් සීලය කැඩෙන්නට අපේ සිතේ ඇතිවන සිතිවිලි දුබල කරමින්, සීලය කැඩීම වැළැක්වීම සඳහා අපේ සිතේ නැගෙන්නා වූ සිතුවිලි ප්‍රබල කිරීමට කටයුතු කළ යුතුව ඇත. ඒ සඳහා ආදීනව සහ ආනිසංස මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය කාරණාවකි. දිනෙන් දින තමන් අතින් සීලය කැඩෙන්නේ නම් තමන්ම මේ පිළිබඳව විනිශ්චය කර ගනිමින් නැවත නැවත ආනිසංශ සහ ආදීනවයන් මෙනෙහි කරමින් සීලය කැඩීම් වළක්වන සිතුවිල්ල කෙසේ හෝ ප්‍රබල කර ගත යුතුව ඇත. එසේ සිල් රැකෙන තත්ත්වයට අපේ මානසිකත්වය සකස් කරගැනීමේ වගකීම අප සතු ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව, ලෝකයේ ඇත්තේ හේතුඵල ධර්මතාවයකි. එබැවින් හේතු නොමැතිව ලෝකයේ කිසිවක් ම සිදු වන්නේ නැති බව වටහා ගත යුතු ය. එ නිසාවෙන් ම සිල් කැඩෙන්නේ ද හේතු සහිතව බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම හේතූන් ඉවත් කළහොත් සීලය කැඩෙන්නට අවකාශයක් ද නැත.එසේ සියලු දේට හේතුව දේශනා කර ඇති උතුම් ධර්මයෙන් අප ප්‍රයෝජන ගන්නේ ද යන්න ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණාවකි. මන්ද යත් තමන් අතින් සිල් කැඩෙන්නේ කුමන කරුණක් නිසාද යන්නවත් අඩුම තරමින් සොයා බලන්නට අපේ මානසික්ත්වය යොමු නොවුණේ නම් හේතුඵල දහම පිළිබඳව අපට අදහසක් ඇති වී නොමැති බව ද තේරුම් ගත යුතු ය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤