ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පෙර පින් කරන ලද බව

ගා / නාගොඩ, කැප්පිටියාගොඩ,
ශ්‍රී සුදර්ශනාරාමාධිපති 
කැප්පිටියාගොඩ කල්‍යාණවංස හිමි

බෞද්ධයා ඉතාම ආදරයෙන් පරිහරණය කරනු ලබන බෞද්ධ සූත්‍ර ධර්මයෙකි. ‘මහා මංගල සූත්‍රය’ ඒ සූත්‍ර නාමයෙන්ම ඒ සූත්‍රය අපට පෙන්වා දෙන යහපත් මාර්ගය පැහැදිලිය ‘අය’ යනු සැපතයි.
පී‍්‍රතියයි, වාසනාවයි, ජයග්‍රහණයයි. ඒ වූ හිතකර අර්ථයෙන් ගෙන දෙන අය යන වචනයට, අප යන උපසර්ග පාදය එක් වූ විට, අප අය අපාය යන පදය සෑදේ. එයින් ගැනෙන අර්ථය සැපයෙන් තොර වූ පී‍්‍රතියෙන් තොර වූ, වාසනාවෙන් තොර වූ ජයග්‍රහණයෙන් තොර වූ ස්ථානය යන්නයි. ඒ වූ අපායට යන පාර, මාවත, මාර්ගය වළහන්නේ නූයි මංගල වේ යයි මංගල යන වචනය විග්‍රහයේදී පැහැදිලි කැරේ. ඒ වාක්‍යය ‘අපාය මං ගලතී මංගලං’ යනුවෙනි. ඒවූ මංගල කරුණු හෙවත් මෙලොව හා පරලොව යහපත, වැඩ සලසන කරුණු ඇතුළත් මංගල සූත්‍රය’ සම්මා සම්බුදු රජාණන්වහන්සේ වෙතින් දේශනා කරුනෙන් ඒ සමාජගත ප්‍රශ්නයෙකට පිළිතුරෙක් ලෙසිනි. ඒ ප්‍රස්තූතය මෙසේ ය.
පෙරැ දඹදිව අයෙකුට ප්‍රශ්නයක් ඇති විය. ඒ මංගල යනු මොනවාද යන්නයි. මේ ප්‍රශ්නය පිළිබඳව සලකා බැලූ අයෙක් මංගල යනුවෙන් යමක් නොවේ. ඇසෙන් දකින දෙය මංගල යයි කීහ. ඒ අර්ථය පිළිනොගත් අයෙක් නෑ! නෑ!! නෑ!!! මංගල කියන්නේ ඇහෙන් දකින දෙය නොවෙයි! කනෙන් අහන දෙය යයි ඊට පටහැනි දෙයක් කීය. මේ අර්ථ දෙකම පිළිගැනීමට අකමැති වූ අයෙක් නෑ ! නෑ !! මංගල කියන්නේ ඇහින් දකින දේවත්, කනෙන් අසන දේවත් නෙවෙයි. සිහි කිරීමෙන් ලබන දේයි’ කීහ. මේ අනුව මංගල යනු මොනවාදයයි හඳුනාගැනීමේදී ඒකීය මතයෙක් ඉදිරිපත් නොවූයෙන්, ඒ වාදයෙකට පෙරැළිණි. ඒ වාදය සමාජයේ නොයෙකුත් දෙනා අතරත, දිට්ඨ මංගල, සුත මංගල මුත මංගල ලෙස පැති රූ කෝලාහල තත්ත්වයකට පත් විය. ඒ තත්ත්වය පැතිරගියේ මිනිසුන් අතර පමණෙක් නම් නොවේ. දෙවියන් අතර ද ඒ කෝලාහලය පැතිර ගියේ ය. ඔවුනට ද ඒ පිළිබඳව ඒ කීය මතයකට එල්බ ගත නොහැකිවිය. එහෙයින් හැම දෙන එකතුව ඒ ප්‍රශ්නයට දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියන් වෙත යොමු කැරිණි. එහෙත් ශක්‍ර දෙවියන්ටද මේ පිළිබඳ ස්ථිර වචනයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. එහෙත් හේ මංගල යනු කිමෙක්ද යන පැනයට නියම පිළිතුරෙක් හැබෑ පිළිතුරෙක් දීමට සුදුසුකම් ඇති, ඉතා ගැඹුරෙන්ම පිළිතුරු සැපයිය හැකි අයෙකු දැන සිටියේ ය. ඒ මිනිස් ලොව, දඹදිව, සැවැත්පුර දෙව්රම් වැඩ වසන තථාගතයන් වහන්සේ ය. ඒ දැනැම දූත දෙවියෙකු අමතා ජේතවනාරාමයට ගොස් මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට කටයුතු සම්පාදනය කෙළේ ය.ශක්‍ර නියමයෙන් දෙව්රමට පත් ඒ දූත දෙවියා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගඳ කිළියට ගොස්, වැඳ එකත්පස්ව සිට විමසන්නට පැමිණි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළේ ය. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපැයූ සේක. ඒ මහ මංගල සූත්‍රයයි.
මේ ලියවෙල්ලෙහි ඉහතින් සමස්ත මහා මංගල සූත්‍රය පිළිබඳව ම ඔබ අවධානය යොමු කැර ගත්තත්, මගේ මුඛ්‍යය අදහස එම සූත්‍රය ගැන සපුරාම සාකච්ඡා කිරීම නොවේ! එහි අඩංගු පස්වැනි මංගල කාරණය හෙවත් ‘පුබ්බේච කත පුඤ්ඤතා’ යන පදය පිළිබඳව අවධානය යොමු කැර ගැනීමටයි. ඒ ‘පුබ්බේච කත පුඤ්ඤතා’ යන පදයට අර්ථ ප්‍රකාශ වෙන්නේ ‘පෙර කරන ලද පින් ඇති බව‘යි යන්නයි. ඒ නිවැරැදි මැ අර්ථ කීවෙකි. එහෙත් මේ අර්ථ ගැන්වීමෙහි ඇතුළත් ‘පෙරැ’ යන පදය විෂයයෙහි බොහෝ දෙනා අර්ථ ගන්වා ගන්නේ ‘පෙරැ ආත්මයෙහි’ යනුවෙනි ඒ එසේ වීමට කිසි යුක්තියෙක් නැති. මක් නිසා ද යත් පෙර යන පදයෙන් කෙසේවත් ආත්මය යන්නෙන් ගම්‍යය මාන නොකැරෙන නිසාය. ඒ පදකැටියට අර්ථ ගන්වා ගැනීමේදී පෙර ආත්මයෙහි කරන ලද පින් ඇති බව සපුරාම ඉවත් කළ නොහැක. එහෙත් ඒ පෙර ආත්මයටම පමණෙක් භාරදිය හැකි තත්ත්වයෙක් නොවේ. පෙරැ යනු අතීතයයි. ඒ අතීතයට පෙරැ ආත්මයටම අයිති නිසා මක් නිසාද යත් අතීතය යන පදයට ඉහත ඉක්ම ගිය. සෑම මොහොතෙක්ම අයිති වෙන නිසා ය. ඒ අනුව පෙරැ කරන ලද පින් ඇති බව ඉහාත්මයට ම අයිති නැත. ඊයේ කරන ලද පිනත් ඇතුළත් යැ ඒ ඊයේ කරන ලද පිනක් මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිසවේ. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
බෞද්ධයාගේ අවසාන ප්‍රාර්ථනය නිර්වානයයි. හෙවත් වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීමයි. ඒ තෙක් ගත කරන ජීවිතය ලෞකිකය. ඒ ලෞකික ජීවිතය අරබයා කුසලාකුසල බලපායි. එහෙයින් ලෞකික ජීවිතයේ ආලෝකය ලබා ගැනීමට අකුසල යන්ගෙන් ඉවත්වීම වාගේම කුසලයන්ට සමීපවීම අත්‍යවශ්‍යයය. එයින් අකුසල ආදීනව සිතා ඒ අකුසලයන් වෙතින් ඉවත්විය යුත්තේ ඒ නිසා ය. කුසල් ආනිසංස දායකය. ඒ නිසාම කුසලයන් වෙත සමීප විය යුතු ය. මේ දෙයාකාර තත්ත්වයන් චරණයට සත්වයාට නිදහස බුද්ධ ධර්මයෙන් සහිතක කෙරෙයි. ඒ,
‘යාදිසං වපතේ බීජං - තා දිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං - පාපකාරීච පාපකං” යන ගාථා වෙනුදු පැහැදිලිය. ඒ ගාථාවේ අර්ථය ‘වපුරන්නේ යම් ආකාර බිජුවටත් ද, ඊට අනුරූ අස්වැන්නෙක් ඇරැගනී. එසේම යහපත් දෙයක් කළහොත් යහපතක්ද, පාපකාරී දෙයක් කළහොත් අයහපතෙක් ද සිදුවේ යන්නයි. ඒ අනුව යායුතු කුමන පාරෙකැදැයි තීරණ තීන්දු ගැනීමේ අයිතිය සත්වයාට බුදු දහමින් ලබාදී ඇත. විභාගයෙකට පෙනී සිටින අයෙකුට අසමත් වීමේ අයිතියද ඇත. එහෙත් අසමත් වීමට විභාගයකට පෙනී සිටිමේ ඇති හරය ඵලය කුමක්ද? හැකි උත්සාහයෙන් ජය ලැබීමට සමත් වීමට සැරැසීම ඉතා ඤාණවන්ත අනුගමන කළයුතු පිළිවෙළයි.
ඓහලෞකික – පාර ලෞකික අවසන් යහපත් පරමාර්ථය කුසලතාවයෙහි පිහිටීමයි. (කුසලස්ස උපසම්පදා) මෙහි දැක්වෙන කුසල යනු කුමක්ද යනු විමසීම වටී. ඒ පිළිබඳව ඇති විග්‍රහය ‘කූච්ඡිතේ පාපකේ ධම්මේ චලති ඡින්දති විද්ධ්වංසේ’තී ති කුසලං’ යන්නයි. එහි අර්ථය පහත් පව් දහම් සොලවාද කපාද, විනාශ කරා ද ඒ කුසලයි. ‘කු’ යනු පහන් පව් ධර්මයි. ‘සල’ යනු සෙලවීමයි. කැපීමයි. විනාශ කිරීමයි. ඒ අනුව ඒ කිරීම් විධි තුනෙකි. ඒ තදංග, විස්සම්භන, සමුච්ඡේද වශයෙනි. ඒ ලෝකෝත්තර තත්ත්වයේදී කුසලාකුසල සියලු කර්මයන් තුරන් කළ යුතු ය. ඒ එසේ වනතාක් අප වෙතින් විය යුතු කුසලතාහි පිහිටීමයි. ඒ එකවරැ කැරැ ගත නොහැක. ඒ ලෝකෝත්තර පෞරුෂය ඇතිකර ගැනීමට පරියත්ති. (ධර්මය දැනීම) පටිපත්ති (ධර්මය පිළිපැදීම) පටිවේධ, එයින් සරුඵල ලබා ගැනීම ලෙස උපළිවෙල ලෙසින් බුදු දහමෙහි නිර්දේශිතය. එයමැ තවදුර ලිහිල්කර ධර්මය විෂයයෙහි සුනාථ (අසව්) ධාරේථ (ධරව්) චරාථ (සැරිසරව්) යන්න නිර්දේශිතව ඇත. ඒම අද ලෞකික පෞර්ෂය ද කොටස් තුනෙකට අන්තර්ගත කොට ඇත. ඒ දැනුම (විජානන) ආකල්ප (ආවේදන) කුසලතා (මනෝ චාලක) ලෙසය. එවිට පෞරුෂය ගොඩනැඟේ. එවිට පෞරුෂය වනාහී දැනුම, ආකල්ප, කුසලතා හි එකතුවයි.
දැනුම, ආකල්ප, කුසලතා - පෞරුෂය
මෙම අප ව්‍යවහාරයට ගළපද්දී පෞරුෂය යනු පළපුරුද්දයි. එය එකවර ගොඩ නැගීමට, නොහැකිය. ඒ පිණිස දැන පුරුද්ද, දැක පුරුද්ද කළ පුරුද්ද පියවර තුනෙන් හුරුකර පළපුරුද්දේ රැඳවිය යුතු ය.
මේ අනුව පෙර ආත්මයේ රැස් කැරැගත් පින්කම් ද ප්‍රතික්ෂේප නොකර හෙට වෙනුවෙන් ඊයේ රැස් කැරැ ගත් කුසලතා, පෞරුෂය, පළපුරුද්ද පුබ්බේච කත පුඤ්ඤතා හෙවත් පෙරැ කරන ලද පින් ඇති බව යයි සඳහනු කැමැත්තෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

භාවනාවට පෙර සූදානම

කඩවත සමාධි මැදුරේ
පයාගල නන්ද හිමි

භාවනා වැඩීමට පෙර තමාට ගැළපෙන කමටහන තෝරා ගැනීම භාවනාවෙන් ප්‍රතිඵල ලැබීමට හේතුවෙයි. ඇතැම් අය විශේෂ ප්‍රතිඵලයක් නැතත් භාවනාව උසස් කුසලයක් නිසා පුහුණුවේ යෙදෙති. ඔවුහු හැමදාම එකම තැනය. ඉදිරියට යෑමක් නැත. තමාට ගැළපෙන කමටහන පුහුණුවට යොදාගත හොත් භාවනාවේ යෙදීම කැමැත්තෙන් ඕනෑකමින් කරගෙන යා හැක. භාවනා වැඩීමට ගුරු උපදෙස් අවශ්‍ය බව පිළිගත් කරුණකි. එහෙත් ගුරුතුමා ඔබට කියාදෙන්නේ එතුමාට ගැළපෙන ක්‍රමයයි. ඒ භාවනා ක්‍රමයෙන් එතුමන් සාර්ථක ප්‍රතිඵල ලැබුවත් ඔබටත් ඒ භාවනාව එලෙසින්ම සාර්ථක වේ යැයි කිවහැකිද? මේ කතාව තහවුරු කිරීමට උපකාරිවන කතාපුවතක් මෑතදී සිදුවු සිදුවීම් තුළින් ඉදිරිපත් කළ හැකිවේ.
භාවනාව පිළිබද මනාදැනුමකින් පොත පත පළකළ යුරෝපීය ජාතික ජැක් කෝන් පිල්ඩ් මහතා අජාන් චා හිමිගේ ගෝලයෙකි. ඔහු බුරුමයට ගියේ මහා සි භාවනා මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබන්නටයි. පුහුණු දිනට පෙර භාවනා පුහුණු කරන කමටහන් ඇදුරු හිමියන් රෑ මැදියම වනතුරු කාන්තාවන් වට කරගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙන අන්දමත් උන්වහන්සේගේ සිත් පහදවන සුළු බවෙන් ඈත්වු ආකල්පයත් දැක බෙහෙවින් සංවේග විය. තායිලන්තයෙ හාමුදුරුවන් මොනතරම් සංයමසීලි දැයි සිතූ ඔහු මෙහෙම තැනකික් මා ලබන පුහුණුව කුමක්දැයි තමාගෙන්ම ප්‍රශ්න කරගත්තේය. පැමිණි නිසාම පසුදින පුහුණුවට සහභාගි විය. පුදුමයකි. මැනවින් සිත සමාධියට පත් විය. ඔහු තුළ වු කළකිරීම සැණින් අවසන් විය.

ලොව භාවනා වැඩූ යෝගීන් ගේ ඇත්දැකීම් විස්තර කරමින් ලියු පොතෙක ඔහු මෙහෙම සටහන් කළේය. කිසිවිටකත් භාවනා කමටහන් දෙනු ලබන ඇදුරෙකු හෝ භාවනා ක්‍රමයක් විවේචනය නො කරන්න. තමාට ගැළපෙයි නම් එය අනුගමනය කරන්න නොගැළපෙයි නම් අත්හරින්න.
කෙසේ නමුත් භාවනාව සඳහා සුදුසු ගුරුවරයෙකු සොයා ගැනීම ඔබට ගැටලුවක් විය හැකියි. එහෙත් ඔබ ආරම්භය ගුරු ඇසුරෙන් ලබා ගන්න. ඉන්පසුව පොතපත කියවීමෙන්ද යෝගී අත්දැකීම් ඇසීමෙන් කියවීමෙන්ද තමනට සුදුසු ක්‍රමය තේරා බේරා ගන්න. මෙහිදී කෙනෙකු මෙසේ සිතීමට පුළුවන. අපට කාගෙවත් භාවනා ක්‍රම මොනවටද? අප අනුගමනය කළ යුතු වන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය නොවේද?, ඔබගෙ අදහස නිවැරැදි විය හැකියි. එහෙත් භාග්‍යවතුන් වහන්සේ දෙසු උපදේශනය ඉදිරියේ තබාගෙන එය අනුගමනය කළ බොහෝ දෙනා තම දැනීම, අත්දැකීම, පුහුණුව තුළින් භාවනාව පිළිබද වටිනා ක්‍රම උපායන් ප්‍රායෝගික වැදගත්කමකින් යුතුව ඉදිරිපත් කළහ. තම ක්‍රමයකින් මේ අදහස කියතොත් බුරුමය, තායිලන්තය, ටිබැටය, වැනි රටවල බෞද්ධයන් භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම ඇසුරෙන් තමාට ගැලපෙන ලෙස භාවනා ක්‍රම සකස් කර ගත්හ. එහෙත් අපේ රටේ විශුද්ධි මාර්ගයේ කම්මට්ඨාන නිර්දේශය ඇසුරෙන් භාවනා වැඩු බවට සාක්ෂි හැරුනුවිට ලංකාවේම යෝගවාචරයන් වහන්සේලා විසින් අනුගමනය කළ භාවනා ක්‍රමයක් පිළිබඳ උපදෙස් අපට හමු නොවේ. බුදුදහම ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ ථෙරවාදී භික්ෂූහු භාවනාවට පමණක් සීමා වූහ. මහාවිහාරය මේ පිළිවෙත් වෙනස්කොට පොදු මහජනයා හා සමීපව කටයුතු කරන්නට පෙළඹුණේ අභයගිරි නිකාය ඇතිවීමෙන් පසුවය. අනුරාධපුරයේ වෙස්සගිරිය දකුණේ සිතුල්පව්ව, දිඹුලාගල වැනි ප්‍රධාන තපෝභූමි ගැන සිතනවිට ලංකාවේ භාවනා වැඩීමේ දියුණු ක්‍රමවේදයන් තිබෙන්නට ඇත. අප අදටත් භාවනා පුහුණු වන්නේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ විශුද්ධි මාර්ගයේ එන කම්මට්ඨාන නිර්දේශයට අනුව බව කිවයුතුයි. සතර සතිපට්ඨානය ඉගැන්වීම් මෙන්ම සූත්‍ර පිටකයේ සඳහන් ඇතැම් සූත්‍රදේශනාද අටුවා අනුසාරයෙන් ගත හැකි උපදෙස් මෙන්ම නූතනයේ ලොව දියුණු යෝගාවචරයන්ගේ අදහස් හා අත්දැකීම් ද අනුසාරයෙන් භාවනා පිළිබඳ අවබෝධය ලබාගෙන තමනට ගැළපෙන භාවනා ක්‍රමය පුහුණුවීම සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතු වෙයි.
සූත්‍ර පිටකයේ සඳහන්වන ඇතැම් දේශනාවලටත් බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් කථා පුවත්වලටත් අනුව භාවනාවට සුදුසු කර්මස්ථාන කෙසේ සපයාගත හැකිදැයි දැනුම් තේරුම් ඇති කර ගත හැකිය.
ඇතැම් කතාපුවතකින් මහා ශ්‍රාවක සාරිපුත්ත මහාරහතන් වහන්සේටත් සමහර භික්ෂුවකට ගැලපෙන පරිදි කමටහන් දිය නොහැකි බව හෙළි වෙයි.අග්‍රශ්‍රාවක සැරියුත් මහාරහතන් වහන්සේ තමා ළඟ පැවිදි වු ශිෂ්‍ය භික්ෂුනමකට කමටහන් දුන් නමුත් සාර්ථක ප්‍රතිඵල නොලැබිණ. පසුව භාග්‍යවතුන් වහන්සේ වෙතට ඒ භික්ෂුව යොමු කරන ලදී.
භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ චරිතය මැනවින් වටහාගෙන ඔහුට සුන්දරත්වයට ලලිත කලාවට ලැදි හිතක් ඇතිබව තේරුම් ගෙන එයට අනුරූප කමටහනක් දුන්හ. සුපුෂ්පිත නෙළුමක් දෙස බලාගෙන සිත එකඟ කරගත් ඒ භික්ෂුවට උදෑසන පිබිදී ඒ නෙළුම කෙමෙන් මිලින වී යන අන්දම වැටහීමත් සමඟ සත්‍යය අවබෝධ විය. චුල්ලපන්ථක කතාවද අපට කියා පාන්නේ මේ පණිවිඩයමයි. ඇතැම් කථා පුවතකින් භාවනා කර්මස්ථානය පිලිබඳ අප දත් දෙයට වෙනස් දෙයක් කියැවෙයි. නාගසමාල තෙරුන් භාවනා වැඩූ භික්ෂුවකි. උන්වහන්සේ රහත්බවට පත්වූයේ සෙසු යෝගීන් මෙන් හිඳීමේ ඉරියව්වෙන් භාවනා වැඩීමෙන් නොවේ. මහමග යන විට එක් නළගනක් රඟපානු දැක එය උන්වහන්සේට සත්‍යය අවබෝධය පිණිස කමටහන විය. විශුද්ධි මාර්ගයේ සඳහන් කථා පුවතකට අනුව මිහින්තලයේ සිට අනුරාධපුර මහාසෑය වන්දනාවට වඩින තිස්ස හිමියන් නිරතුරුව වැඩු කමටහන් මුදුන් පත්වන්නේ මහමඟදී ස්ත්‍රියක් දැකීමෙනි. මුන් වහන්සේ නිරතුරුව ආඨික සංඥාව වැඩු භික්ෂුවකි. නිමිත්ත මොන තරම් දුරට උන්වහන්සේගේ සිත තුළ කිඳා බැස තිබුණේදැයි කිවහොත් කෙනෙකු තුළ රාගය උපදවාලීමට සමත් නිමිත්ත උන්වහන්සේ තුළ ඇති කළේ වීතරාගිබවට නැඹූරු වු සාව පුද්ගල සංඥාවෙන්ද බැහැර වූ විදසුන් නුවණටම විෂය වූ දැනීමකි.
සිතේ විශේෂිත වෙනසක් ඇති නොවී එහෙත් තම උත්සාහය අතරමග නතරනොකර උදාසීන නොවී පුහුණුව එක දිගට කරගෙන ගිය ඇතැම් යෝගීන් නොසිතූ වෙලාවක ධර්මය අවබෝධ කරගත් බව පෙනෙයි. බෞද්ධ කථා වස්තුවල සඳහන් වන පරදි රහත්බව හෝ සෝවාන් වීම වැනි මාර්ගයකට පත්වීම අහඹු සිද්ධියක් ලෙස කෙනෙකු සිතීමට පුළුවන. සත් දිනක්ම පසිඳුරන් පිනවමින් කාමයේ ගැලී සිටි කෙනෙකු බණ පදයක් ඇසු කෙනෙහි සීල, සමාධි ගුණ කිසිවෙකුත් සම්පූර්ණ නොකොට සෘද්ධිමත් භාවයෙන්ද යුතුව රහත්වීම ප්‍රශ්නාර්ථයක් නොනංවයිද? මෙවැනි තැන් ගැන හේතු වශයෙන් දක්වන්නේ ඒ සුළු කාලය තුළ අවශ්‍ය කරන සීලාදි ගුණ සපුරාලූ බවයි.
භාග්‍යවතුන් වහන්සේ වෙතට එන ශ්‍රාවකයන් දහම් මගට යොමු කර ගනු ලබන ආකාරය තුළින්ද අපට මාර්ගඵල අවබෝධය ගැන යමක් දත හැකිය. උන්වහන්සේ කෙනෙකුට දානයෙන් පටන් අරගෙන ලෞකික සැප ගැනද කියාදී හික්මීමේ සුවය ගැන වදාරති. තවත් වරෙක දැහැමි කථාවෙන් සිත් අවනත කරගෙන ඔහු දහමේ සමාදන් කරවා ඔහු තුළ පිළිවෙත් මග පිළිබඳ උත්තේජනයක් ඇති කරති. ඉන් පසුව ඔහු සිත නිවීමට දහම දෙසති. භාහිය දාරුචිරියගෙ ක්ෂණික අවබෝධයට තිබු හැකියාව තම කෙනෙකුට නොතිබිණි. බෞද්ධ සාහිත්‍යයෙන්ම ප්‍රසිද්ධ චරිත කිහිපයක් විමසීමෙන් රහත්බව නැතිනම් උතුම් ධර්ම අවබෝධය කෙසේ සිදුවේදැයි වැටහීමක් ඇතිකරගත හැකිය. අටුවාවටත් ථේරගාථාවටත් වෙනස්ව අංගුලිමාල චරිතය නිරූපණය කරන මජ්ක්‍ධිම නිකායට අනුව අංගුලිමාලට රහත්බව ලැබීමට උපකාර වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසීම නොවේ. උන්වහන්සේ දෙසූ කෙටි දහම ඔහුගේ දෙනෙත් විවර කළ බව සැබෑය. එහෙත් ඔහු තුළ උත්තේජනයක් ඇති කළේ පිඩු පිණිස වඩින විට ස්ත්‍රියක් මූඪගර්භව දරුවෙකු බිහිකිරීමට අපහසුව වේදනාවෙන් පීඩාවට පත්වීමේ දර්ශනයයි. පැවිදි බව ලබා සෙසු පැවිද්දන් මෙන් වත් පිළිවෙත් කරමින් සිටියා මිස අංගුලිමාල ථෙර භාවනාවට වෙසෙයි. උත්සාහයක් ගැනීමට තරම් උනන්දු නොවු බව පෙනේ. අප වේදනාවෙන් පීඩාවට පත් කාන්තාව තමයි උන්වහන්සේ තුළ තිබු රහත්වීමට අවශ්‍යය ශක්තිය සතු කළේ.
බොහෝ දෙනා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හමු වී මගඵල ලබන්නට සිතුවත් තමා තුළ අවශ්‍ය සුදුසුකම නොතිබූණොත් තවත් කලක් බලා සිටීමට සිදුවනු ඇත. අංගුලිමාල හිමියන් රහත්වීමෙන් පසු ඇතිවූ වෙනස මා ලත් මේ නිවීම මගේ සතුරන්ටද ලැබේවායි පැතීමෙන් ප්‍රකට වෙයි. සැරියුත්, මුගලන් දෙනම අග්‍ර ශ්‍රාවක තනතුර ලැබූවත් සන්තති අමාත්‍යයා හෝ භාහිය දාරුචිරිය මෙන් දහම් ඇසු කෙනෙහිම රහත් නොවූහ. මේ වෙනස ගැන ඇතැම් ලේඛකයෙක් මෙසේ සඳහන් කරති. ‘රජ කෙනෙකු හෝ ජනප්‍රධානියෙකු ගමනක් යෑමට විශේෂයෙන් සූදානම් විය යුතුයි. එපරිද්දෙන් මේ අතිඋත්තම චරිත දෙකද රහත්මගඵල ලබාගැනීමේදී අවශේෂ රහත් චරිත වලින් වෙනස් විය යුතුය යනුවෙනි. පටාචාරාව මිනිස් සිතක පහළ විය හැකි ඉහළම උත්තේජනයෙන් මෙහෙයවන ලද චරිතයකි. එවන් දුකක් ලත් චරිතයක් බෞද්ධ සාහිත්‍යයෙන් හමු නොවේ. ඕතොමෝ පැවිදිව නිහඬව බවුන් වැඩුවාය. එහෙත් දහම අවබෝධ වුයේ ක්ෂණිකව සිතට පැමිණි සිතිවිල්ලකිනි. මේ සිද්ධිය ධම්මපදට්ඨ කතාවේ එන අන්දමට ඇය පා දෝවනය කරනවිට ජලය මද දුරක් ගොස් සිඳී ගියේය. දෙවනුවද එසේම විය. තෙවනවර ද මද දුරක් ජලය ගලා ගොස් සිඳී ගියේය. මෙවිටම ඇයට සියලු සංඛාර ධර්මයන්ගේ ඇතිවීම, නැතිවීම ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධය විය. ථේරගාථා අට්ඨ කතාව වෙනස් වූ කතාවක් ඉදිරිපත් කරයි.
ඇය රාත්‍රියේ සයනය මත සිටින විට දැල්වෙන පහන් සිල දෙස බලා සිටියාය. එය කෙමෙන් නිවී යන අන්දම වෙත සිත් යොමු කරගෙන සිටි ඇයට උදයවය ඤාණය පහළ වී රහත් වූවාය. ඵභගු ථෙරණුවෝ සක්මනේ සිට උදාසීනත්වය දුරලීමට මඳ වේලාවක් පිටත සිට යළි සක්මනට පා තබන විට එහි පැටලී වැටිණ. ඒක්ෂණයෙහිම රහත් වූහ. රහත් වීමට උත්සාහ කළත් අසාර්ථක වීමෙන් කලකිරී සියදිවි හානි කර ගැනීමට තැත් කරන මොහොතේම උතුම් ධර්මය අවබෝධකරගත් චරිත දෙකක් ලෙස ගෝධික හිමියන් මෙන්ම සීහ සේනාපතියාගේ සොහෝයුරිය ගැන ථේරගාථා අට්ඨ කථාවේ සඳහන් වේ.
මෙවැනි කථා පුවත්වලින් රහත්වීම යනු අහඹු සිද්ධියක් ලෙස කෙනෙකු වැරැදි නිගමනයකට එළඹිය හැක. එහෙත් අප සිතිය යුත්තේ ක්ෂණිකව ඇතිවන හදිස්සි පය පැකිලීමක් වැනි දෙයකින් ධර්මාවබෝධය ලැබුවත් ඒ සඳහා අවශ්‍ය කරන පාරමී ධර්ම ඒ උතුමන් සපුරා ඇතිවිටම උන්වහන්සේලා රහත්බවට පත්වූ බවයි. අජාත සත්තු, කොසොල් මහ රජු, අනඳ මහාථෙර , වැනි අය භාග්‍යවතුන් වහන්සේට සමීපව සිටියද රහත් බව නොලැබූහ.
එහෙයින් උතුම් සත්‍යය අවබෝධයට අප විදිමත් කමටහනක් පුහුණු විය යුතු වුවත් එය මේ අන්දමට විය යුතු යයි නියමයක් නොමැත. වර්තමානයේ ලොව පුරා ව්‍යාප්තවන බෞද්ධ භාවනාව මූලික ඉගැන්වීම්වලට අනුකූලව යම් යම් වෙනස්කම් සහිතව අනුගාමිකයන් අතර පවතියි. ඉන්දියාවේ විසු බන්ධනාගාර කොමසාරිස් වරිය වු කිරාන්බේඩි මෑත යුගයේ විපස්සනා භාවනාව එරට සිරකරුවන්ට මෙන්ම සිරගතව හුන් දරුණු අපරාධකරුවන්ටද හඳුන්වා දී විස්මිත වෙනසක් කළ අයෙකි. සමාධිමත් සිතට ආනාපාන සතිය ආධාර කරගෙන වේදනානුපස්සනාව තුළින් විදසුන් වැඩීමට නොඑන්නා ක්‍රමයෙන් උපදෙස් ලැබේ. බුරුමයේ සුංලුං ස්‍යාඩෝ උපදෙස් අනුව එය අමුතුම භාවනාවකි. භාවනාවට පිවිසෙන ආධුනිකයා වුවද විනාඩි පහළොවකට වැඩි වේලාවක් ඉරියව් වෙනස් නොකොට එකම ඉරියව්වෙන් සිටිය යුතුය. එසේම හුස්ම ඇතුළුවන, පිටවන ස්වභාවය ඕනෑකමින්ම ඇති කරගත යුතුයි. වෙනත් ආචාර්යවරුන් උගන්වන්නේ නිරායාසයෙන් සිදුවන හුස්ම ක්‍රියාවලිය වෙත සිත යොමු කිරීමටයි. එහෙත් සුං ලුං ඇදුරු තුමා උපදෙස් දෙන්නේ අත්ල දෙක දැඩිව මිට මොලවගෙන දැඩි අන්දමින් හුස්ම ක්‍රියාකාරිත්වය ඇති කරගෙන සිත පුහුණු කළ යුතු බවකි. මෙය බැලූ බැල්මටම වෙහෙසකර දෙයකි. මූලික දහමට අනුව සිත නොසන්සුන්වීමටද හේතු වෙයි. එහෙත් මේ භාවනා ක්‍රමයටද බොහෝ අනුගාමිකයෝ සිටිති. මහාසී ක්‍රමය වුවද මූලික දේශනාවේ නැතත් කය පවතින අන්දම අනුව දැනීම් ඇතිවේ යන නියමයට අනුව පුහුණුවන භාවනාවක් ලෙස හඳුන්වා දී ඇත. ථේරවාදය තුළම විවිධ ශිල්පීය ක්‍රම බෞද්ධ භාවනාව සම්බන්ධයෙන් ව්‍යාප්ත වෙද්දී මහායාන, තන්ත්‍ර යාන වැනි අනෙකුත් බෞද්ධ නිකායවල අමුතුම ස්වරූපයකින් ඇතැම් විට බෞද්ධ භාවනා ක්‍රම ගැන උපදෙස් සඳහන් වේ. ඔබට මේ හැම භාවනා ක්‍රමයක්ම ගැන සිතීමට හෝ ඉගෙනීමට නොහැක. එහෙත් ඔබට ගැලපෙන භාවනා කමටහන ඔබම සොයා ගැනීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලැබීමට උපකාර වන බව නම් කිව යුතුයි. යම් දිනෙක ඔබට ගැළපෙන භාවනා කමටහන ලැබේද එදා සිට ඔබ ජීවිතයේ සිදුකරන පි‍්‍රයතම කටයුත්ත වනුයේ භාවනා පුහුණුවේ යෙදීමයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දස පාරමිතා

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 
පාලි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
වෑඋඩ බුජස්ලෙන රජමහා විහාරාධිපති 
සත්කෝරළ මහ දිසාවේ ද්විතීය සංඝ නායක
රාජකීය පණ්ඩිත, ති‍්‍රපිටකාචාර්ය 
වෑගම පියරතන නා හිමි

දානය, ශීලය, නෙක්ඛම්මය, පඤ්ඤා, විරිය, ඛන්ති,සච්ච, අධිට්ඨාන , මෙත්තා, උපෙක්ඛා යන දස පාරමිතාවන් සපිරීමෙන් අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ උතුම් බුදුබව පසක් කරගත් සේක.

මේ දස පාරමිතාවන් පාරමී, උපපාරමී,පරමත්ථ පාරමී යනුවෙන් ත්‍රිවිධ වශයෙන් සමතිස් පෙරුම් දම් සපුරණ ඕනෑම කෙනෙකුට උතුම් බුදු බව ලැබිය හැකිය. නිදසුනක් වශයෙන් දාන පාරමී යනු ධන ධාන්‍ය වස්ත්‍රාභරණ ආදී ජීවිතයට අවශ්‍ය වන පරිදි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමයි. (තම අඹුදරුවන් හෝ තම සිරුරෙහි රුධිරය,වකුගඩු, ඇස්, හිස් ආදි ශාරිරීක අවයව අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කෙරේ නම් එය දාන උපපාරමිතාව යි. )දාන පරමත්ථ පාරමී යනුවෙන් අදහස් කරන්නේ තම ජීවිතයම පුදා අන් අයගේ යහපත සැලසීම යි. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ මේ ත්‍රිවිධ ආකාරයෙන්ම දාන පාරමිතාව සපිරූ බැවින් බුදු බවට පත්වී වදාළ සේක.
සීලපාරමිතාව ආදිය ද එසේම ත්‍රිවිධ අයුරින් සපිරිය යුතුය කය, වචනය දොරටු දෙකින් සිදු වන වැරදිවලින් සංවර වීම සීලයයි. සීලව නාගරාජ සමයෙහි තම ජීවිතයට හිරිහැර කරන වැද්දන්ට විපතක් නොකළේ තම සීලය බිඳේය යන හැඟීම නිසයි. ගිහිගේ කම්සැප විහරණය අතහැර දමා බවුන් වඩමින් දිවි ගෙවීම නෙක්ඛම්ම පාරමිතාවයි.

‘ප්‍රඥාව’ යනු නුවණයි. එය විශේෂ දැනුමකි. සාමාන්‍යයෙන් අප යම් යම් දේවල් පිළිබඳව දැනුමක් ලබාගන්නේ ඇස, කන, දිව, නාසය ආදි ඉන්ද්‍රියන් ඇසුරෙනි. ඇසින් රූප බලා ඒ ඒ වස්තූන් හා පුද්ගලයන් දැන හඳුනාගත හැකිය. එමෙන්ම කනින් ශබ්ද අසා ඇසීමෙන් දැනුම ලබාගත හැකිය. නාසයෙන් ආඝ්‍රාණය කොට ගඳ සුවඳ දැනගත හැකිය. දිවෙන් විඳ තිත්ත, ඇඹුල්, මිහිරි ආදි රස දැනගත හැකිය. කයෙන් ස්පර්ශ කොට ශීත, උෂ්ණ ආදිය දැනගත හැකිය. සතුරන් හා මිතුරන් කවුරුන් දැයි දැනගත හැකිය. නෑයන් නොනෑයන් කවුරුන් දැයි දැනගත හැකි ය. ආහාර හා බෙහෙත් කවරේදැයි දැනගත හැකිය. මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා එම දැනුම ලබාගත හැකිය. මෙවැනි දැනීම්වලට වඩා ඉතා උසස් වූ දැනුමකි. ප්‍රඥාව.
සංසාරයෙන් එතෙර වී නිවන පසක් කිරීමට උපකාර වන බැවින් ප්‍රඥාව පාරමිතාවකි. පින්,පව්. කුසල් අකුසල්, හොඳ නරක, පින් පව්වල අනුසස් හා විපාක ආදිය පිළිබඳව වෙසෙසි දැනුමක් ලබාගත හැක්කේ ප්‍රඥාවටය. ස්කන්ධ , ධාතු, ආයතන, සත්‍යය ආදි ගැඹුරු ධර්ම පිළිබඳව පිරිසිඳ දැනුමක් ලබාගත හැක්කේ ප්‍රඥාවෙනි. එම ප්‍රඥාව ලෝකයෙහි ඇති සියල්ලටම වඩා මිනිසුන්ට ඇති ඉතා වටිනා උතුම් දෙයක් බව ‘පඤ්ඤා’ නරානං රතනං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. ලෞකික හා ලෝකෝත්තර සියලු යහපත මිනිසාට අත්පත් කරගත හැක්කේ ප්‍රඥාව උපදවා ගැනීමෙනි. එහෙයින් කෙසේ ජීවත්වීම උතුම්දැයි ආලවක යක්ෂයා ඇසූ පැණයට පිළිතුරු දෙමින් “පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨං’ යනුවෙන් බුදුහු වදාළහ. ප්‍රඥාවෙන් යුතුව ජීවත්වීම ඉතා උතුම් වන බව එහි අදහසයි.
සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් දැනුම ත්‍රිවිධ වේ. කුඩා දරුවකුට මැණිකක් පිළිබඳව ඇති දැනුම මෙන් යම් දෙයක් පිළිබඳව ඇති සාමාන්‍ය අවබෝධය සඤ්ඤා නමි. ගම්වැසියකුට මැණිකක් පිළිබඳව ඇති දැනුම මෙන් යම් දෙයක් පිළිබඳව ඇති විශේෂ අවබෝධය විඤ්ඤාණ නම්. රන්කරුවකුට මැණිකක් පිළිබඳව ඇති අතිවිශිෂ්ට දැනුම මෙන් යම් දෙයක් පිළිබඳව ඇති අතිවිශිෂ්ට අවබෝධය පඤ්ඤා නමි.
තමන් විසින්ම මැනවින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් බුද්ධත්වය පසක් කර ගැනීම ලොව්තුරා ප්‍රඥාවයි. එමෙන්ම බුද්ධ ශ්‍රාවකයකුගෙන් ධර්මය අසා චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් නිවන පසක් කිරීමද ලොව්තුරා ප්‍රඥාවයි. එම ප්‍රඥාව ලැබීම පිණිස බුදුදහම උගනිමින් ඥානය ලැබීම පිණිස නුවැණැත්තන් ඇසුරු කිරීමත්, නුවණැත්තන්ගෙන් තමා නොදත් දෙය විමසීමත්, නුවණැත්තන් සමඟ සාකච්ඡා කිරීමත් ප්‍රඥාව ලබනු පිණිස හා ලැබූ ප්‍රඥාව දියුණු තියුණු කර ගැනීම පිණිස භාවනාවෙහි යෙදීමත්, ලබාගත් ප්‍රඥාවෙන් බුදුසසුනේ චිරස්ථිතිය පිණිස ලොවට වැඩ පිණිස ධර්මය උගන්වමින් ධර්මදේශකයන් දහම් පොත්පත් සම්පාදනය කිරීමත්, තවත් විවිධ ක්‍රමවලින් ප්‍රඥා බලයෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා පාරමිතාවයි.
අප මහා බෝසතාණන් වහන්සේ පෙර ආත්ම භාවයක සේනක යන නමින් පණ්ඩිතයෙක් වී අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සමාජයට ධර්මය අවබෝධ කරවූහ. එකල එක්තරා මහලු බමුණෙක් තම තරුණ බිරිඳට දාසයකු සොයා දීමට දිනක් දුර පළාතකට ගියේය. බිරිඳ සාදා දුන් අග්ගලා පසුම්බියෙන් දහවල් කුසගිනි නිවාගත් හෙතෙම අග්ගලා මල්ල විවරව තබා දිය පානය සඳහා ළඟම තිබූ දිය පොකුණට ගියේය. මේ අතර අග්ගලා සුවඳ දැනී කළු නාගයෙක් මල්ල තුළට ඇතුළු විය. මගියාද ඒ බව නොදැන මල්ල තද කොට ගැටගසා බැඳ එය කර මත තබා ගෙන යන විට රුක් දෙවියකු විසින් මෙසේ කියනු ඇසුණි.
අස බමුණ ගම් වැසි 
මග රැඳුණ අද තෝ නසි 
ගෙට ගිය අඹුව නසි 
අතුරුදන් වී කියා මේ ලෙසි

එවදන් අසා බලවත් ලෙස වික්ෂිප්ත බවට පත්ව හඬමින් යන විට සේනක පඬිතුමා වෙත ගිය විට සියලු තොරතුරු අසා සිදුවූ සියල්ල දැන ස්වකීය ප්‍රඥා බලයෙන් ඒකාන්තයෙන්ම එම මල්ල තුළ සර්පයකු ඇති බව අවබෝධ කොට ගෙන මල්ල බිම තබා ලිහන්නට කීවේය. එවිට පෙණය පුප්පාගෙන කළු නාගයෙක් මල්ලෙන් පිටතට ඇදී ගියේය. මෙසේ සිය ප්‍රඥා බලයෙන් දුකට පත්වූ ජනතාවට පිහිට වීම ප්‍රඥා පාරමිතාවයි.
ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව යනුවෙන් ප්‍රඥාව දෙවැදෑරුම් වේ. කාමාවචර, රූපාවචර හා අරූපාවචර සිත්වල ප්‍රඥාව ලෞකික ප්‍රඥාවයි. සෝවාන් සකදාගාමී, අනාගාමී සහ අර්හත් යන සතර මග ඵල සිත්වල ඇති වන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි. පාරමිතා සම්පූර්ණ කිරීමෙන් ලබන චතුරාර්ය සත්‍යය අවබෝධය සම්බුද්ධත්වය ලෝකෝත්තර ප්‍රඥාවමය.
බුද්ධ ශ්‍රාවකයන්ගෙන් සතර මග ඵල සිත්වල ප්‍රඥාව ශ්‍රාවක බෝධියයි. පසේ බුදුවරයන්ගේ සතර මග ඵල සිත්වල ප්‍රඥාව පච්චේක සම්බෝධ්යයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ සතර මග ඵල සිත්වල ප්‍රඥාව සම්මා සම්බෝධියයි. ප්‍රඥා පාරමිතාව වන්නේ ලෞකික ප්‍රඥාවයි. ලෞකික ප්‍රඥාව ද කුසල හා අව්‍යාකෘත දෙවැදෑරුම් වේ. ඒ දෙකින් ප්‍රඥා පාරමිතාව වන්නේ කුසල ප්‍රඥාවයි.
චින්තාමය ප්‍රඥාව සුතමය ප්‍රඥාව හා භාවනාමය ප්‍රඥාව යනුවෙන්ද ප්‍රඥාව තෙවැදෑරුම් වේ. කෙත්වතු වැවීම, ගෘහ නිර්මාණය, නැව් අහස්යානා රළු යන්ත්‍ර ආදිය නිර්මාණය භාණ්ඩ ආහාර ඖෂධ වස්ත්‍රාදී ප්‍රයෝජනවත් දේ නිර්මාණය කිරීමය යන කර්මාන්තයන් පිළිබඳවද, වෛද්‍ය, නක්ෂත්‍ර, ගණිත ආදි ශාස්ත්‍ර පිළිබඳවද කුශලාකුශලයන් පිළිබඳව ද, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව පිළිබඳව තවත් නිරවද්‍ය ද දේ පිළිබඳව ද,අනුන්ගෙන් උපදෙස් නොලබා තමන් විසින්ම කල්පනා කොට ඇති කර ගන්නා දැනීම චින්තාමය ප්‍රඥාවයි. ඒ කරුණු පිළිබඳව අනුන්ගෙන් අසා අනුන්ගෙන් උපදෙස් ලබා ඇති කරගන්නා වූ ප්‍රඥාව සුතමය ප්‍රඥාවයි. සමථ විදර්ශනා භාවනාවෙන් ඇති කර ගන්නා ප්‍රඥාව භාවනාමය ප්‍රඥාවයි.

ප්‍රඥාව ඇති කර ගැනීමට ප්‍රඥා පාරමිතාව පිරිය හැකි වීමට ප්‍රඥාව ඇති වීමේ හේතුන් දැනගෙන තිබීමත් ප්‍රයෝජනවත් වේ. කෙනෙකුට ප්‍රඥාව ඇති වීමේ හේතු බොහෝ ඇත. අලෝභ, අදෝස, අමෝහ යන ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති බවය. ප්‍රඥාව ලැබේවා යයි පෙර කළ පින් ඇති බව ය. නීරෝග බවය. ප්‍රඥාව ආවරණය කරන අතීත භවයන්හි දී කරන ලද පව් නැති බවය. නොයෙක් ශිල්ප ශාස්ත්‍ර දන්නා බවය. ධර්මය දන්නා බව ය. විමසන බවය. නුවණ මෙහෙයවා කළ යුතු කර්මාන්තවල යෙදෙන බවය. ධර්මශාස්ත්‍රීය වැඩ කටයුතුවල යෙදෙන බවය. දහම් දෙසීම ය. දහම් ඇසීමය.ගැඹුරු ධර්මය ගැන කල්පනා කිරීමය. නුවණැත්තන් සමඟ සාකච්ඡා කිරීමය. නුවණැත්තන් සමඟ ඇසුරු කිරීමය. මෝඩයින් ඇසුරු නොකිරීමය. සමාධිය වැඩීමය.කෙලෙස් තුනී කිරීමය. තමන් ජීවත් වන නිවස වතුපිටි කාමරය ආදි පරිසරය පිරිසුදුව තබාගැනීමය. ප්‍රඥාව වැඩෙන බෙහෙත් ආදිය ගැනීම ය යන කරුණුය. ප්‍රඥාව දුබල කරන ප්‍රඥාව වැඩීමට බාධා කරන ධර්ම සමූහය හැඳින්වෙන්නේ පංචනීවරණය යනුවෙනි.
පඤ්ඤාය දුබ්බලීකරණි යනුවෙන් ඒවා හැඳින්වෙන්නේ එබැවිනි. නීවරණ පහ අතුරෙන් කාමච්ඡන්ද , ව්‍යාපාදය යන දෙක වඩාමත් ප්‍රඥාව වැඩීමට බාධාකාරි වේ. චරියා පිටක අටුවාවෙහි ප්‍රඥාවට බාධක මෝහයට හේතු වන කරුණු බොහෝ ගණනක් දක්වා ඇත. අලස බව, පමා වෙවී වැඩකරන බව, බොහෝ දෙනා එක්ව විසීමෙහි කැමති බව, බොහෝ නිදන බව නොසන්සුන් සිත් ඇති බව, නුවණ නැති අය ඇසුරු කිරීම ආදි කරුණු ඒ අතර වේ.
ප්‍රඥා පාරමිතාව පිරීමේ උත්සාහය ඇතිවනු පිණිස ප්‍රඥාවෙහි ගුණ මෙනෙහි කළ යුතුය. ප්‍රඥාවෙහි ගුණ ප්‍රඥාවෙහි අනුසස් බොහෝ ඇත. ශ්‍රාවක බෝධි, පච්චේක බෝධි සහ සම්මා සම්බෝධි යන නම්වලින් කියවෙන්නේ ලෝකෝත්තර ප්‍රඥා තුනකි. ලෞකික ප්‍රඥාව නොවඩා ඒ ලෝකෝක්තර ප්‍රඥාව කවර ආකාරයකින් වත් ඇති කර ගත නොහැකිය. ලෝකෝත්තර ප්‍රඥාව ඇති වන්නේ ලෞකික ප්‍රඥාව දියුණු වීමෙනි. එබැවින් ප්‍රඥා පාරමිතාව සම්බෝධියට විශේෂයෙන් ම උපකාරක පාරමිතාවයි.
ජීවිතයෙන් තොර වූ ශරීරය කිසිවක් කිරීමට සමත් නොවන්නාක්මෙන්ද විඤ්ඤාණයෙන් තොර වූ ඇස, කන, ආදි ඉන්ද්‍රියයන් රූප ,ශබ්ද, ආදිය දැකීම ඇසීම, ආදිය සිදු කිරීමට සමත් නොවන්නාක් මෙන්ද ප්‍රඥාවෙන් තොර වු ශ්‍රද්ධාදී ධර්ම දානාදී ක්‍රියා මැනවින් සිදු කිරීමට සමත් නොවේ. එබැවින් දස පාරමිතා පිරීමේදී ප්‍රඥාවම ප්‍රධාන වේ. ඥානයෙන් තොරව දෙනු ලබන දානය මහත්ඵල මහානිසංස නොවන දුබල පිනකි. දාන පාරමිතාව වන්නේ නුවණින් යුක්ත වන දාන චේතනාවය. ධනය පමණක් නොව අඹුදරුවන්ද ශරීර අවයවයන් ද තම ජීවිතය දිය හැකි වන තරමට සිත සාදාගත හැක්කේ ද ප්‍රඥාව ඇති තැනැත්තාටමය. ප්‍රඥාව අඩු තැනැත්තාට ශරීර අවයව ආදි වස්තූන් දී පසුතැවිලි නොවී නොසිටිය හැකිය. භවභෝග සැප සම්පත් බලාපොරොත්තු වන තැනැත්තාගේ දානය තණ්හාවෙන් කිලිටි වේ. කිසි කිලුටකින් දානය කිලිටි නොවන සේ පිරිසුදු දාන පාරමිතාවක් වෙන ලෙස දීමනාව කළ හැකි වන්නේ ප්‍රඥාව ඇති තැනැත්තකුට පමණි. ප්‍රඥාව හීන තැනැත්තාගේ ශීලයද තණ්හා මානයන්ගෙන් නොයෙක් විට කිලිටි වේ. ඒ නිසා ප්‍රඥාවෙන් තොරවූ ශීලයද පාරමිතාවක් නොවේ. මේ අනුව සියලුම පාරමිතාවන්ට වඩා ප්‍රඥා පාරමිතාව ම ශ්‍රේෂ්ඨ වේ.
කථංසු පරිසුජ්ඣති? යනුවෙන් ආලවක යක්ෂයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පඤ්ඤාය පරිසුජ්ඣති යනුවෙන් සත්ත්වයා පිරිසුදු බව ලබා ගන්නේ ප්‍රඥාවෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. “අපදානසොභිනි පඤ්ඤා ”යනුවෙන් වදාළේ කෙනෙකුගේ චරිතාපදානයෙන් ඔහුගේ ප්‍රඥාව පිළිබිඹු වන බවයි.
කරුණුපාය කොසල්ල පරිග්ගහිතො ධම්මානං සාමඤ්ඤ විසෙලක්ඛණාවබොධො පඤ්ඤා පාරමිතා’
යනුවෙන් චරියාපිටක අටුවාවෙහි කරුණාවෙන් හා උපාය කෞෂල්‍යයෙන් ආරක්ෂා කරන ලද ධර්මයන්ගේ සාමාන්‍ය විශේෂ ලක්ෂණාවබෝධය ප්‍රඥා පාරමිතාව යයි මහාබෝධි පාරමිතාව දක්වා තිබේ. එහි අදහස් කරන ධර්මයෝ නම් චිත්ත, ස්පර්ශ, වේදනාදී පරමාර්ථ ධර්මයයි. ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණය නම් වෙනසක් නැතිව සියල්ලෙහිම ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයයි.
විශේෂ ලක්ෂණ නම් ඒ ධර්මයන්ගෙන් එක එකට ම, වෙන වෙනම ඇති එකින් එකට වෙනස් වූ ලක්ෂණයි. ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ දැනගන්නා වූ ඥානය විදර්ශනා ප්‍රඥාවයි. විවිධ ඥානයන් අතුරෙන් චතුරාර්ය සත්‍යය අවබෝධයට ඉතාම ළඟින් උපකාර වන අතිශයින්ම උපකාර වන ඥානය විදර්ශනා ප්‍රඥාවයි. අප මහා බෝසතාණන් වහන්සේ බුදු වන දින රාත්‍රියෙහි සිරි මහා බෝරුක මුල වැඩ හිඳ කෙළේ විදර්ශනා ප්‍රඥාව වැඩීම යි. සම්‍යක් සම්බෝධියට පැමිණියේ ඒ විදර්ශනා ප්‍රඥාවේ බලයෙනි.
පසුම්බියෙහි සිටි සර්පයා නුවණින් දැක පෙන්වා දී අසරණ බමුණා දුකින් මිදවීම ප්‍රඥා පාරමිතාව බව දක්වා තිබීමෙන් විදර්ශනා ප්‍රඥාවෙන් අන්‍ය ඥානයන් ද ප්‍රඥා පාරමිතාවට ඇතුළත් වන බව දැනගත හැකිය . චරියාපිටක අටුවාවෙහිමත් අන් තැන්වල විදර්ශනා ඥානයෙන් අන්‍ය ප්‍රඥාවන් ද ප්‍රඥා පාරමිතාව වශයෙන් දක්වා තිබේ.
තමන්ගේ ධන ධාන්‍යාදී වස්තූන් කෙරෙහි හා අඹුදරුවන් කෙරෙහිද ඇති ආශාව දුරු කොට, ප්‍රඥා සම්පාදනය හා තමන්ගේ ප්‍රඥාවෙන් අනුන්ට යහපත සිදු කිරීමත් ප්‍රඥා පාරමිතාවයි. අත්පා ආදී ශරීර අවයවයන් පිළිබඳව ඇල්ම අත්හැර, ප්‍රඥා සම්පාදනය හා තමන්ගේ ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා උප පාරමිතාවයි. තමාගේ ජීවිතය ගැන නොසලකා ප්‍රඥාව සම්පාදනය කිරීම හා ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාවයි. ප්‍රඥාවෙන් අන්‍යයන්ගේ වස්තුන් හා අඹුදරුවන් රැක දීම ප්‍රඥා පාරමිතාව ලෙසද අන්‍යයන්ගේ ජීවිතය රැක දීම ප්‍රඥා පරමාර්ථ පාරමිතාව ලෙස ද කිව හැකියි.
තමාගේ වස්තුව හා අඹුදරුවන් හැර, නෑදෑ මිතුරන් හැර ශරීර අවයවයන් ගැනත් ජීවිතය ගැනත් නොතකා, ප්‍රඥා සම්පාදනය සඳහා ආරණ්‍ය ආදියට ගොස් භාවනා කරන භාවනානුයෝගීන්ගේ ඒ ක්‍රියාව ද ප්‍රඥා පාරමිතාවයි. ප්‍රඥා උප පාරමිතාව ද වේ. ප්‍රඥා පරමාර්ථ පාරමිතාවද වේ. මහෞෂධ පණ්ඩිතයන් විසින් තමන් වහන්සේගේ නුවණින් වේදේහ රජතුමාගේ දිවි රැකදීමත් තමන් වහන්සේගේ ජීවිතය ගැන නොතකා වේදේහ රජතුමා වෙනුවෙන් තමන් වහන්සේගේ නුවණ යොදා ක්‍රියා කිරීමත්, දහම්සොඬ රජතුමා විසින් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය සෙවීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාවයි. අප මහා බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සත්තුභත්ත ජාතකය, උම්මග්ග ජාතකය, සම්භව ජාතකය, මහාබෝධි ජාතකය, විධුර ජාතකය, මහාගෝවින්ද ජාතකය ආදියෙහි විස්තර වේ.
විරිය පාරමිතාව යනු වීර්ය¸ කරමින් අන් අය දුකින් මුදවා ගැනීමයි. ඛන්ති යනු ඉවසීමයි. කලාබු රජුගෙන් සිදු වු සියලු දුක් පීඩා උන්වහන්සේ ඉවසූහ. බොරුවෙන් වැළකී සත්‍යයම ආරක්ෂා කිරීම සත්‍ය පාරමිතාවයි. අධිෂ්ඨානය යනු ස්ථිර අරමුණක පිහිටා සිටිමින් තමන්ටත් අනුන්ටත් යහපත සලසා ගැනීම බෝසත්වරුන්ගේ සිරිතයි. බොදුනුවන් වන අප සැමත් මේ ජීවිතය යහපත් ලෙස ගත කරමින් හැකි තාක් දන්, සිල් ආදි දසපාරමිතාවන් රැස්කොට සසර දුකින් මිදී අමා මහ නිවන් සුව පසක් කර ගැනීමට උත්සාහ කළ යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online