මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
සතර අපායෙන් මිදෙමු 20 වැනි කොටස
ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක් අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස් වෙනවා. මොකද ඒ වෙනස් වන දෙයක්. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස් වන දෙයක් වෙනස් නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස් වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්‍ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක දැකත්, විනාශය ගැන කථා කරමින්ම, එහි ආදීනව දකිමින්ම විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ.
තෘෂ්ණාව, ඔබට ලස්‌සනට පාර පෙන්වනවා තව වේගවත්ව ඉදිරියට යන්න. ද්වේෂය ඔබට ඇති තරම් ආත්මශක්‌තිය ලබාදෙනවා, හිරි ඔතප් හීන කරලා දෙනවා, ඇති වන ඕනෑම බාධකයක් මැඩගෙන ඉදිරියට යන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා 'මේ මාර්ගයමයි සැප ඇති මාර්ගය' කියලා තව තවත් ඒත්තු ගන්වන්න. දුකේ කළ්‍යාණ මිත්‍රයන් තිදෙනාගේ ඇකයේ උණුසුමට තුරුල් වුණාම දැනෙන ගොරෝසු පහසට ඔබ හරිම කැමතියි. මේ කුණු සැපය විඳිමින්ම ඔබ පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. දානමානත් දෙනවා. සද්ධර්මයත් ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ මොකද්දෝ බියකුත් තියෙනවා. සැබැවින්ම, ඒ බියත් සකස් කරලා දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහය විසින්මයි.
තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක් ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා.
මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන සමාජය ගමන් කරන්නේ සද්ධර්මයේ අර්ථයට පරස්‌පර විරෝධී ගමනකයි. මමත්වයේ දැඩිභාවය නැමැති, ඔබ හඳුනා නොගත් කුණු හැව, සකස් වෙන පංච උපාදානස්‌කන්ධයන්ගෙන් වෙලී ඇති නිසා, සැබෑ මාර්ගය වැසී නොමගටමයි පාර පෙන්වන්නේ.
වැරදි මාර්ගය ඔස්‌සේම නිවැරදිවීමට යැමේ පුංචි සිද්ධියක් පිංවත් ඔබට මෙහි සටහන් තබනවා.
මෙය සටහන් තබන භික්‍ෂුව හමුවට ධර්මය අහන්න එන ශ්‍රද්ධාවන්ත දරුවෙක් ඉන්නවා. ඔහු විවාහකයෙක්. ළමා වයසේ දරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. මේ මහත්මයා සද්ධර්මය නිසාම ජීවිතය නිවැරදි කරගත් අයෙක්. දිනක් මේ මහත්තයා කියනවා 'දරුවන්ගේ අකීකරුකම් නිසා, මගේ බිරිඳට හරියට කේන්ති යනවා. එයාට කොච්චර කිව්වත් කේන්තිගන්න එපා කියලා, මොහොතකින් එය අමතක වෙනවා. හැබැයි මම කියලා කියලා දැන් හුඟක් අඩුවෙනුයි කේන්ති ගන්නේ' කියලා.
දවසක් ඒ නෝනාට කේන්ති ගිය වෙලාවක මහත්තයා උපක්‍රමයක් වශයෙන් කියලා තියෙනවා 'ඔයා කේන්ති ගන්න නිසා ඔයාගේ මුහුණ දැන් කැත වෙලා. ඒ නිසා ඔයා කේන්ති ගන්න එපා' කියලා. ඒත් මහත්තයා එහෙම කියපු වෙලාවේ ඉඳලා ඒ නෝනා කරන්නේ මිල ගණන් අධික, ලස්‌සන වෙනවාය කියන ක්‍රීම් වර්ග අරගෙන මුහුණේ ආලේප කරන කටයුත්තලු.
බලන්න. වැරදි මාර්ගය ඔස්‌සේමයි අපි නිවැරදි වෙන්න හදන්නේ.
ලෝකය නිවැරදි කරන්න අපට බැහැ. ඒ නිසා ලෝකය කමටහනක් කරගෙන පිංවත් ඔබ නිවැරදි වෙන්න. ලෝකය නිවැරදි කරන්න බැරි බව නුවණින් හඳුනාගෙනම....
එවිටයි ඔබට පුලුවන් වෙන්නේ වඩාත් නිවැරදි තැන ඔබගේ සිත පිහිටුවාගන්න. වඩාත් නිවැරදි තැන තමයි සද්ධර්මය.
'අනිච්ජාවත සංඛාරා' සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි. ඔතැනම තිබෙනවා, ලෝකය නිවැරදි කරන්නට බැරි බවට බුදුරජාණන් වහන්සේ දෙන සහතිකය. පිංවත් ඔබ ධර්මයේ අර්ථයට විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ආදර්ශයක් වේවි. සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව තමයි ලෝකයේ තිබෙන සංකීර්ණභාවයට, අධිවේගීභාවයට හේතුව. පිංවත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න 'මම මැරෙණවා'ය කියන කාරණය. නැවත මැරිලා ඉපදෙනවාය කියන කාරණය. පාංශකූලය, හත්දවසේ, තුන්මාසේ පිංකම්.... සාම්ප්‍රදායික මළගෙදරක චාරිත්‍ර වෙනුවට මිය යැමට පෙරම ඔබ, මරණින් මතු සුරක්‍ෂිත පුද්ගලයකු වන්න. එවිටයි ඔබට අවස්‌ථාව ලැබෙන්නේ ඔබම රැස්‌කරපු සංස්‌කාර හේතුවෙන් ලබන භවය අනුන්ගේ පිං ගොටුවකින් යැපීමට අවශ්‍ය නොවන තැනට පත්කරගන්න.
කෙනෙක් මැරුණාට පසු ඔහුගේ මරණය ගැන කම්පා නොවී, ජීවත්ව සිටින විට තමාගේ මරණය ගැන සිතන්න. මරණයත් සමග ජීවත්වෙන්න. එය හරිම සුන්දර ඇත්දැකීමක්. මරණයේ සුන්දරම අත්දැකීම ලබන්නේ රහතන්වහන්සේය. මරණය උන්වහන්සේට ආශිර්වාදයකි. මංගල කාරණාවකි. උන්වහන්සේ අවිද්‍යාව අවසන් කර ඇත. ඒ උත්තමයා දුකත්, සැපත්, උපේක්‍ෂාවත් අනිත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. ඒ උත්තමයාගේ මරණය හුදු ක්‍රියාවක් පමණක්‌මය. එය මේ ලෝකයේ ඇති සුන්දරම මරණයයි. මාර්ගඵලලාභී දෙව් බඹුන් සාධුකාර දෙන මරණයයි. අනෙකුත් දෙවිවරුන්ට ශෝක උපදවන මරණයයි. මාර පිරිස අත්පොළසන් දෙන මරණයයි. මහපොළොවට පස්‌වන ඇටකැබලිත් පූජණීයත්වයට පත්වෙන මරණයයි.
බලන්නකෝ මරණයක තිබෙන වටිනාකම. අපි මරණය අඩු ලංසුවෙන්, අසුබ ලංසුවෙන් සැලකුවත්, බලන්න, මරණයක ඇති ගාම්භීරත්වය, ප්‍රෙෘඩත්වය. කොටින්ම එය මරණයක් නොව නිවී යැමකි. ඔබට මට නොදැනුනාට, රහතන්වහන්සේගේ මරණය අභියස ලෝක ධාතුව කම්පා වෙයි. ලෝක ධාතුව කම්පාවන්නේ, රහතන්වහන්සේ අවබෝධ ඥාණයෙන් ලෝක ධාතුව කම්පාකළ අයෙකු හෙයිනි. අයෝමය සතරමහා ධාතුව විනිවිද දකිමින් අවබෝධ කළ හෙයිනි. මුළු ලෝක ධාතුවම අනිත්‍යාවබෝධයෙන් හෙළිකොට ගෙන, මුලාව විනිවිද අවබෝධය කරා ගිය හෙයිනි. ඔහුට ලෝකය තවත් හිස් දෙයක්, ඵලයක් නැති දෙයක් පමණක්‌මය.
මේ තරම් අර්ථවත් මරණයක් ධර්මය තුළ තිබියදී, තුණ්‌ඩු කෑල්ලක නම ගම ලියා පරදත්තරූප ජීවී ප්‍රේත ප්‍රේතියන්ට පිංදෙමින් අපි මරණයට මොන තරම් අවනම්බුවක් ද, අගෞරවයක් ද කරන්නේ. හිතන්න. ඔය සාම්ප්‍රදායික තුණ්‌ඩු කැබැල්ල බිමින් තියලා 'මට නම් ඔය අනුන්ගෙන් පිං ගන්න මරණයක් එපා'ය කියලා. ශ්‍රද්ධාව, වීර්යය මදභාවය නිසා එච්චර හිතන්න බෑ කියමුකෝ. ඉන් මෙහා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ශීලයෙන් පරිපූර්ණ පිංවතා, පිංවතිය මැරෙන්නේ සිහිනුවණින් සාධුකාර දෙමින්ය කියලා. කවුද මේ ශීලයෙන් පරිපූර්ණ පිංවතා? ඒ සතර අපායෙන් මිදුණ පිංවතායි. මරණින් මතු ඔහු ලබන උපත මොන තරම් ශ්‍රේෂ්ඨ උපතක් වේවි ද? ඇයි අපි එවැනි මරණයකට සූදානම් නොවන්නේ.
ලොකු හෝටලයක තිබෙන මඟුල් උත්සවයකට අඳින සාරිය ගැන හිතනතරම්වත් අපි මරණය ගැන හිතන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ, සාරිය ගැන ඔච්චර හිතන්නේ සාරිය දවටගන්න ඔය කය, මරණයට පත්වෙන කයක් කියලා නොසිතනා එකමයි. පිංවත් ඔබට මරණය අමිහිරි අත්දැකීමක්. අනුන්ගේ මරණය ගැන කථාකරන අපි තමාගේ මරණය ගැන සිතීමටත් බිය වෙනවා. අසුන්දර මරණයක් අභියස ඇති අසුන්දර කථන්දරය වගේම සුන්දර මරණයක් අභියස ඇති සුන්දර නව ජීවිතය මොන තරම් චමත්කාරජනකද? ලෙඩ ඇඳේ ජීවත්වන අවුරුදු හැත්තෑපහේ මහළු පිංවතා ද යදින්නේ ජීවිතයයි. ඔහු තුළ ඇත්තේ ද ජරා, ව්‍යාධි, මරණ පමණක්‌මය. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව ජීවීතයයි. ධර්මය සරණ කර නොගත් පුද්ගලයා නිරතුරුවම සැප - දුක පටලවාගනී. දුක, සැපයක් කරගන්නා ඔහු සැබෑ සැපයට බියවෙයි. සැබෑ සැපයට අපතුළ බිය සකස් කරන්නේ අකුසලයයි.
පිංවත් ඔබ, මරණයට වටිනාකමක් ලබාදීම උදෙසාම, මරණින් මතු හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වෙන නව ජීවිතයට වඩාත් හොඳ වටිනාකමක් ලබාගැනීම පිණිසම මේ සටහන උපයෝගිS කරගන්න. මෙය කියවා ඔබ තුළ ජවයක් සකස්‌කර ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක් ඔබේ සිතේ ඇතිකර ගන්න. රහතන් වහන්සේගේ, රහත් භික්‍ෂුණීන් වහන්සේ නමකගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක් ඔබේ සිතේ ඇතිකරගන්න. මාර්ගඵලලාභී උපාසක, උපාසිකාවගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක් ඔබේ සිතේ ඇතිකර ගන්න.
මේ සටහන් තබන වේලාව රාත්‍රී 1.30යි. නින්ද අහලකවත් නැහැ. පංච නීවරණ පළාගොසින්. සද්ධර්මයට ඇති හිරිඔතප් දෙක නිසා අදහස් එනවා, දෝරෙගලාගෙන. භික්‍ෂුව ඒ අදහස් ඉදිරියේ අනිත්‍ය සංඥාව තබන්නේ නැහැ. පිංවත් ඔබගේ යහපත උදෙසාම... පිංවත් ඔබලාට නොදන්නා යමක් දැනගැනීම උදෙසාම.... මේ ගලා එන්නේ අදහස් නොව කරුණාවයි. මේ කරන්නේ සටහනක් තැබීම නොව ධර්මයේ සංදිට්‌ඨික ගුණයේ අර්ථයයි. මේ මධ්‍යම රාත්‍රිය ගෙවී උදාවන අලුයම ආකාශය සිසාරා සියුම් සංගීත රාවයක් පැතිරෙනවා. හොඳින් අවධානය යොමු කරන විට ඒ දිව්‍ය සංගීතයයි. සංගීත හඬ, ජයමංගල ගාථාවල සංගීත ස්‌වරයයි. සංගීත ස්‌වරය බොහොම පැහැදිළියි. ඒ කියන්නේ දෙවියන් ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබේවා කියලා සිල්වත් ලෝකයාට ප්‍රර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. දෙවියන් ඒ ආකාරයට ආශිර්වාද කරනු ලබන දිව්‍ය සංගීත හඬ ඇසෙනවිට භික්‍ෂුවට හොඳටම විශ්වාසයි මේ මොහොතේ භික්‍ෂුව අපවත් නොවෙන බව. අතීත සංස්‌කාරයන් තව ගෙවීමට ඇති නිසයි මේ මොහොතේ ජීවත්වෙන්නේ. නමුත් මීළඟ නිමේශයේ දිව්‍ය තල වලින් ශෝකී සංගීත රාවයක් භික්‍ෂුවගේ ශ්‍රොaත වලට ඇසුණහොත් භික්‍ෂුව අනිවාර්යයෙන්ම දන්නවා තමා දැන් මරණයට සූදානම් වෙන්නේ කියලා.
බලන්නෘ මොනතරම් ආශ්චර්යමත් ධර්මයක්‌ද ඔබ ඉදිරියේ තිබෙන්නේ කියලා. මෙයයි ධර්මයේ සංදිට්‌ඨික ගුණය. තමා ජීවත්වන බවත්, තමා මැරෙන මොහොතත් දැනුවත්වයි ඔහු ජීවත්වෙන්නේ. පිංවත් ඔබ ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, දේවානුස්‌සතියෙන් පරිපූර්ණ නම් ඔබ මැරෙණ මොහොත දෙවියන් දන්නවා. දෙවියන් ඔබට පාවඩ එලනවා දිව්‍ය තලයකට. බලන්න. මොන තරම් ආශ්චර්යමත් ධර්ම මාර්ගයක්‌ද? මරණය කියන කාරණය මොන තරම් සුන්දර මංගල්‍යයක්‌ද? පිංවත් තරුණ ඔබ දෑඟිලි බැඳලා, අත්පැන් වත්කරලා, පෝරුවට නැගලා, ජයමංගල ගාථා කියවලා මංගල්‍යයක් කරගතහොත් ඒ බැඳුණු මොහොතේ පටන් ඔබ මොන දුක්‌කන්දරාවක්‌ද විඳින්නේ. 'මම' කියන දුක වෙනුවට තව 'මගේ' කියන දුක් කීයක් කරගහගන්න සිද්ධවෙනවාද? පිංවත් ඔබ බැඳෙන සාම්ප්‍රදායික මෝහ මූලික බැඳීම් මංගල්‍යවලට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය ඔබේ සහකරු, සහකාරිය කරගතහොත් එයයි සැපයම ඉතිරිය කරගත් සැබෑම මංගල්‍යය. අපි 'මරණය මරණය' යෑයි අඳෝනා තැබුවද, ධර්මයට අනුව මෙතැන මරණයක් නැහැ. පුද්ගලයෙක් මැරෙණ නිමේශයේම ඊළඟ ප්‍රතිසන්ධිය සකස්‌කර ගන්නවා. රැස්‌කර ගන්නා වූ සංස්‌කාරයන්ට අනුරූපීව. අපි මෝහය නිසා කුණුවෙන මළකුණක් එම්බාම් එකෙන් සරසවලා, ඒකට මඟුල් ඇඳුම අන්දවලා අඬනවා, වඳිනවා, විලාප තබනවා. අපි මේ විලාප තබන්නේ ඒ මොහොතේ භවයේ කොතැනක හෝ උපත ලබා ඇති සත්වයෙක් වෙනුවෙන්. අන්න ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මළකුණකට වටිනාකමක් නොදී මරණින් මතු ලබන භවය සැපවත්කර ගැනිSම උදෙසාම මාර්ගය කියා දෙන්නේ. මෙතැනදීත් අපිට පැහැදිළියි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මරණය ගැනම කථා කරන ධර්මයක් නොව, මරණින් මතු සැපයටම මාර්ගය කථා කරන ධර්මයක් කියලා. පිංවත් ඔබයි මෝහ මූලිකව මරණයක් බදාගෙන ධර්මයේ නැති දුකක් උපදවා ගන්නේ, තෘෂ්ණාවේ දැඩිභාවය නිසාම....
ශ්‍රද්ධාව අඩු පිංවතුන් නිරතුරුවම මැසිවිලි නගනවා, සද්ධර්මයට එරෙහිව. 'බුදුරජාණන් වහන්සේ දුක ගැනමයි කියන්නේ' කියන කාරණය 'ධර්මයට අනුව ගියොත් අපට අඹුදරුවන්, දේපල තනතුර අත්හරින්නයි වෙන්නේ' කියන කාරණය. නමුත් ගිහි පිංවතුන්ලාට ධර්ම මාර්ගයට අදාළව ඉහත කාරණා කිසිවක් අතහරින්න යෑයි කොතනකවත් දේශනා කරලා නැහැ. පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉහත සැප සම්පත් පරිහරණය කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ. නමුත් පිංවත් ඔබ අත්හැරීමට ගන්නා උත්සහයේ තරමටම දුක අඩු වෙනවා කියන කාරණය ප්‍රකාශ වෙනවා. පිංවත් ඔබට, බුදුරජාණන් වහන්සේ මරණය ගැන නිතරම මෙනෙහි කරමින් ජීවත්වෙන්න කියලා කියන්නේ, පිංවත් ඔබට මරණය පෙර සඳහන් කළ පරිදි මංගල්‍යයක් කරගන්න මිස හඬමින් විලාප තබමින් කරන අවමංගල්‍යයක් තත්ත්වයට පත්කර ගැනීමට නොවේ. පිංවත් ඔබ මරණයට පෙර සූදානම් වුවහොත් පමණයි ඔබට මරණය මංගල්‍යයක් කරගන්න අවකාශ ලැබෙන්නේ. එම මරණය නැමැති මංගල්‍යයේදී සශ්‍රික දිව්‍යතල වල දෙවියන්, දිව්‍යාංගනාවන් ජයමංගල ගාථා සංගීත ස්‌වරය නගමින්ම ඔබව දිව්‍ය තලවලට පිළිගන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ කුණු, ජරා, ව්‍යාධි මරණ සැපය වගේද පිංවතුනේ බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළින් ඔබට පෙන්වන ශ්‍රද්ධාවේ, ශීලයේ, දානයේ පංචඋපාදන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වන සැපය. ධර්මයෙන් පිංවත් ඔබට කථාකරන්නේ ඉහත මංගල්‍යයක් වන මරණය නමුත් ශ්‍රද්ධාව අඩු පිංවතුන් 'මරණය' ලෙස දකින්නේ මොන තරම් මෝහ මූලික දෘෂ්ඨිගත මරණයක්‌ද?
ඉන්ද්‍රජිත් සුබසිංහ
මේ දුකම කියන දහමක්‌ද ? දුකෙන් මිදෙන දහමක්‌ද?
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' 21 කොටස
ධර්මයට අනුව පිංවත් ඔබ නිවැරදිවෙන්න.
ධර්මය පිංවත් ඔබට නිරතුරුවම කථාකරන්නේ වඩාත් සැපයකට බවට ඔසවා තබන්න. ඒ ශීලය, දානය, ශ්‍රද්ධාව නැමැති සැපයේ උපාදානය ඔස්‌සේ ක්‍රමානුකූලව ඔබව 'පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම' කියන අවබෝධයට යොමු කිරීම පිණිසයි. සද්ධර්මය කොතැනින් ගත්තත් හේතුඵල ධර්මයන්මයි සකස්‌කර දෙන්නේ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය නැමැති ධර්මතාවයන් ඔබේ ජීවිතය තුළින් අවංකවම ක්‍රියාත්මක කරනකොට එම හේතූන්ගේ ශක්‌තිමත්භාවය විසින්ම පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ඔබ තුළින් වැඩෙනවා. පිංවත් ඔබ සියල්ලටම පෙර පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩීමට යන්න එපා. මෙය මාර්ගයක්. එහි මුල මැද අග වශයෙන් ක්‍රමාණුකූලව පෙරට යා යුතුයි. ඔබ ඉක්‌මන් වුණොත් ධර්මය කෙරෙහි කලකිරේවී. එසේ නැතහොත් නොයෙක් දෘෂ්ඨී මතවාදවල සිරකරුවෙක් වේවි. ඔබ සැප ලබන්නට කැමැතිනම් මුළින්ම 'සැපය' කියන කාරණය හොඳින් සිහිනුවණින් හඳුනාගන්න. විශේෂයෙන් තරුණ පිංවතුන් පිංවතියන් මොකක්‌ද 'සැපය' කියලා උපාදානය කරගෙන සිටින්නේ. ඔබ ඔය 'සැපය' යෑයි අල්ලාගෙන සිටින්නේ ලෝකයේ සැබෑම සැපය සමග සසඳා බලනකොට ඉතාමත් ප්‍රාථමික සැපයක්. ලෝකයේ සත්වයා අත්විඳින සැබෑම සැපය යම්දවසක ඔය ඇස්‌වලින් දැක්‌කොත් ඔබ සිතාවී සැබැවින්ම ඔබ ඇස් ඇති අන්ධයෙක් කියලා. පිංවත් ඔබ උදාහරණයකට මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන හොඳම රූප සුන්දරිය ගන්නකෝ. රූපවාහීනි කැමරා සිය ගණනකින් ලෝකයාට පෙන්වන ඇයගේ සුරූපී රූපය ගන්නකෝ. පිංවතුනි, දිව්‍ය ලෝකවල ඉන්නේ දෙවියන් දිව්‍යාංගනාවන් විතරක් නෙමෙයි. දිව්‍ය තිරිසන් සතුනුත් ඉන්නවා. දිව්‍යලෝකයේ උපත ලද දිව්‍ය අජානීය අශ්වයන් සිටිනවා. භික්‍ෂුවක් සමාධියෙන් පසුවන විට දිව්‍ය තලයක දිව්‍ය අජානීය අශ්ව විමානයක් දර්ශනය වෙනවා. දිව්‍ය අජානීය අශ්වයන් හතරදෙනෙක් එහි සිටියා. එම දිව්‍ය අශ්වයකුගේ උස අඩි 7ක් පමණ ඇති. දිව්‍ය අශ්වයාගේ වර්ණය තනිකරම මනුෂ්‍ය ලෝකයේ සිටින මොනරකුගේ වෛවර්ණ පැහැයට සමානයි. කොළ, නිල් පැහැයන්ගෙන් අලංකෘතයි. ඔබ සිතන්න, මොනර පිල් කළඹ විසිපහක් පමණ එකතු කරලා මිටියක් බැන්දා කියලා. අන්න ඒ ප්‍රමාණයේ, හැඩයේ වල්ගයක් දිව්‍ය අශ්වයාට තිබෙනවා. එම වලිගය මුලින් පිට උඩ අතට නෙරලා තමයි පහළට වැටෙන ස්‌වභාවයෙන් තිබෙන්නේ. එය බොහොම ගාම්භීර පෞරුෂයක් තිබෙන වල්ග පිහිටීමක්. එම දිව්‍ය අශ්වයාගේ පිට උඩ කොඳු නාරටිය දිගටම අඩියක් පමණ දිග රෝම මොනර පිල් පැහැයට පහතට වැටී තිබෙනවා. මෙම අශ්වයින් ආයුෂ, වර්ණ, සැප බලයෙන් අනූන දිව්‍ය අශ්වයන්. පිංවතුනේ භික්‍ෂුව සමග විරසක වෙන්න එපා! පිංවත් ඔබට ධර්ම මාර්ගයේ සැබෑ සැපය ගැන කියන්නයි මෙය සටහන් කරන්නේ. පිංවත් ඔබ සැපැයි කියා අල්ලාගන්නා රූප සුන්දරියගේ රූපශ්‍රීයට වඩා අසිරිමත් සුන්දරත්වයක්. ඒ දිව්‍ය අජානීය අශ්වයා තුළත් තිබේ නම්.....
මේ දිව්‍ය ලෝකයේ තිරිසන් සතෙක් ගැනයි කථා කළේ. දිව්‍ය ලෝකයේ තිරිසන් දිව්‍ය සත්වයාත් මනුෂ්‍ය ලෝකයේ අපට වඩා රූපශ්‍රීයෙන් ඉහළින් සිටිනවා. ඒත් පිංවත් ඔබ ලැඡ්ජාවෙන්න එපා. ඔබත් සැබැවින්ම පිංවත්. ඔබට ඔය රූපය ලැබුණේ පෙර පින නිසාමයි. නමුත් ඔබ ඔය රූපයෙන් මත්නොවී ධර්මය සිතන්න දක්‍ෂ වෙන්න. 'අර දිව්‍ය අශ්වයා මට වඩා ලස්‌සනයි' කියලා. එතකොට ඔබට පුළුවන්, නිතරම කිලුටු වෙන, නිතරම සෝදන, මේ රූපය ගැන කලකිරිලා, සැබැවින්ම කාලයකට කිලුටු නොවෙන, වඩාත් ලස්‌සන දිව්‍ය රූපයක් කෙරෙහි උපාදානය සකස් කරගන්න. අවංකවම ඔබට එහෙම අවශ්‍යනම් ඔබේ රූපයේ ජරා, ව්‍යාධි, මරණ වසාදමන රූපලාවන්‍යාගාරයෙන්, බාබර් සාප්පුවෙන් මිදිලා ශ්‍රද්ධා, ශීල, දානය නැමැති සැබැවින්ම ඔබව වර්ණවත් කරන මාර්ගයේ මුල් අදියරට එන්න. එතැනදී තරුණ ගිහි පිංවතුන්ලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෑබෑ සැපය කෙරෙහි විශ්වාසයක්, දැකීමක් ඇති වෙනවා. තමා සිටින්නේ මුලාවක බව දැනෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවේ බීජය ඔබ තුළ සකස් වෙනවා. මුළින්ම හිමින් සීරුවේ ඔතනට එන්න. ශ්‍රද්ධාව තමයි මෙලොව ශ්‍රේෂ්ඨතම ධනය. ඒ ශ්‍රේෂ්ඨ ධනයේ හිමිකාරිත්වය ලබාගන්න.
එවිට නිතැනින්ම හේතුඵල ධර්මයන්ට අනුව සැප ලැබීමේ සැබෑම මාර්ගය ඔබ සොයාගෙන යාවි.
පිංවත් ඔබට සැබෑ සැපය ගැන අවබෝධයක් ලැබීම පිණිස, එය ධර්ම මාර්ගය පටන් ගැනීමේ ගමනට අයෝමය ශක්‌තියක්‌වීම පිණිස, මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව ගැන සඳහනක් තබනවා. මේ රූපශ්‍රීයෙන් බබලන නන් විසිතුරු මුතු, මැණික්, රන් ආභරණවල වටිනාකම දකිනවිට පිංවත් ඔබට සිතේවි ඔබේ ඔය ඩෙනිම් කලිසම, කොන්ඩ මෝස්‌තරය, ඉමිටේෂන් කරාබු, මාල වළලු, රනින් සෑදූ ආභරණ මොනතරම් අඩු ලංසුවේ නොවටිනා දේවල් ද කියලා. ඔබ සැපයි කියලා විශ්වාස කරන සැපයත්, ලස්‌සනත්, ලොව්තුරා ධර්මය තුළින් ගිහිපිංවතුන්ලා ඔසවා තබන සැබෑ සැපයත් අතර පරතරය ඔබ හොඳින් අත්දකින්න. ඔබ ඉහත ඇඳුම් ආභරණ අයිතිකරගන්න මොනතරම් රැකීරක්‌ෂා ව්‍යාපාර කරලා මුදල් හම්බකරගන්න දුක්‌විඳින්න ඕනද? පවුමක රන්මාලයක් ගන්න වර්තමානයේ තරුණයකුට, තරුණියෙකුට මොනතරම් ශ්‍රමය වගුරවන්න ඕනෙද? ඊට අවශ්‍ය මුදල් හම්බකරගන්න, වර්තමාන සමාජයේ ඒවා ආරක්‍ෂා කරගන්න මොනතරම් වෙහෙසක් ගන්න ඕනෙද? රන් මාලයක් දමාගෙන අද බියකින් තොරව මහපාරක යන්න පුළුවන්ද? ඔබ සැපය කියලා කියන්නේ ඔය කරදර පීඩා රැසක් රැඳුණු දුකට නේද?
නමුත් ධර්මයේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන සැපය තුළ ඇති ශ්‍රේෂ්ඨම ලෞකික සැපය ලබන කාන්තාව මනුෂ්‍ය කාන්තාවක් නොව දිව්‍ය කාන්තාවකි. ඇය අන් කවුරුත් නොව මුළු දිව්‍යතලයන්ටම අධිපති ශක්‍ර දෙවියන්ගේ අගබිසව සුජම්පතී දිව්‍යාංගනාවයි. ඇය වැනි අසිsරිමත් සැපයෙන් ආඪ්‍ය දිව්‍යාංගනාවක් දිව්‍යතලයක තවත් සිටිය නොහැකිය. මේ සුජම්පතී දිව්‍යාංගනාව සමාධියේ ඇසින් දුටු භික්‍ෂුවක් ඇයගේ රූපශ්‍රීය පහත ආකාරයට දක්‌වන ලදි.
භික්‍ෂුවට සමාධියෙන් ඇය දර්ශනය වෙද්දී ඇය අඩි 6ක් පමණ උස දිව්‍යාංගනාවකි. ඉන්දියානු නාට්‍යංගනාවක් සාරිය අඳින ආකාරයේ මෝස්‌තරයට සාරියක් ඇය පැළ දගෙන සිටියාය. එම සාරිය නිල්, කොළ, දම්, අළු පැහැයෙන් යුත් වර්ණවලින් මිශ්‍රව දිලිසෙන ස්‌වභායේ සාරියකි. වැලමිට අසලට අත දිග ඉහත වර්ණවලින් සමන්විත හැට්‌ටයක් ඇය ඇඳ සිටියාය. මෙම සාරියේ සහ හැට්‌ටයේ එකම තැන ඉහත වර්ණ මිශ්‍රවීමකින් දැකිය හැකිය. සාරියත් හැට්‌ටයත් අතරින් ශරීරය බාහිරට කොතැනකවත් නිරාවරණය වී නොමැත. ඇය සාරියට උඩින් අඟල් හතරක් පමණ පළල බඳපටියක් පැළඳගෙන ඇත. බඳපටියේ ඉදිරිපස දිදුලන මැණිකකින් සාදන ලද රවුම් හැඩයේ ආභරණයකි. බඳ පටිය වටේටද මුතුමැණික් ඔබ්බවා ඇත. ඇයගේ හිසකෙස් වැටිය දණහිස දක්‌වා දිගය. එය හොඳින් ගොතා පහළට දමා තිබිණ. හිසේ, උසින් අඩු ඔටුන්නකි. එය අතේ පළඳින පේරස් මුද්දේ හැඩයට තැනූ සුදු මැණික් එබ්බවූ ඔටුන්නකි. ඇගේ ගෙල මාල හතක්, දහයක් අතර ගණනක් ඇත. මේ සෑම මාලයක්‌ම ඇයගේ කලවා ප්‍රදේශයට දිගය. මේ සෑම මාලයක්‌ම ඉහත සියුම් මුතුමැණික් සහ රනින් ගෙත්තම් කර ඇත. මේ මාල සියල්ල අතර එක සුවිශේෂ වූ මාලයක් ඇත. එය එතුමියගේ නාබිය ප්‍රදේශයට දිගැති මාලයකි. එහි අග සුදු පැහැති දොඩම් ගෙඩියක ප්‍රමාණයේ මැණිකකි. එම මැණිකෙන් වොට් 100 ක ප්‍රමාණයේ බල්බයකින් නිකුත් වන ආලෝකධාරාවක් නිකුත් වේ. කොටින්ම ඇය දීප්තිමත් දැල්වෙන බල්බයක් ගෙල එල්ලාගත් දිව්‍යාංගනාවක් සේය. නමුත් එම ආලෝකය විහිදෙන්නේ ඇගේ ගෙල බැඳි මාලයක ඇති සුදු පැහැති මැණිකකිනි. ඇය මේසා ආභරණින් රූපශ්‍රීයෙන් අග රැජිනක් වුවද ඇය නිරහංකාර තැන්පත් ගති ඇති පෞරුෂයෙන් පිරීගිය දිව්‍යාංගනාවකි. සමහර දිව්‍යාංගනාවන්ගේ ඇති කෙළිලොල් බව, රූපශ්‍රීයේ ඇති රිද්මය, ලාලිත්‍යය වැනි දඟකාර චරිත ලක්‍ෂණ ඇයට නැත. ඇය තැන්පත් මහේශාඛ්‍ය දෙව් දුවකි.
පිංවත් ඔබ ඉහත සටහන පිළිගත්තද නොපිළිගත්තද එය මේ ලෝකයේ ධර්මය තුළින් ගිහිපිංවතුන්ලාට ලැබිය හැකි සැබෑම සැපය පිළිබඳව මනස අවදිකරවන අත්දැකීමකි. භික්‍ෂුව පිංවත් ඔබට එසේ සඳහන් කළද මේ නිමේෂයේත් ඒ සුන්දර සුජම්පති දෙව් දුවගේ රූපය භික්‍ෂුව දකින්නේ ඇට සැකිල්ලක් කොටය. ධර්මයේ සැබෑ අර්ථය එතැනය. එහෙත් පිංවත් ඔබ කලබල විය යුතු නැත. මේ අතිසුන්දර දිව්‍යාංගනාවට ඉහත සශ්‍රිකභාවය ලැබුණේ මහන්සිවෙලා රැකීරක්‍ෂා, ව්‍යාපාර කරලා නොවේ. අම්මා, තාත්තා, ස්‌වාමිපුරුෂයාගේ දෑවැද්දට නොවේ. මේ සියලු සම්පත් ඇයට ලැබුණේ ලොව්තුරා බුqදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට ඇඟිල්ල දිගුකර පෙන්වන ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළින්ය. ශ්‍රද්ධාව, ශීලය, දානය, දේවතානුස්‌සතිය ඉහත සැපය ඔබට පෙන්වන මාර්ගයයි. පිංවත් ඔබ ඉන් බැහැරව බොරුවට මොනතරම් දඟලනවාද තුට්‌ටුදෙකේ සැපයක් සොයන්න.
බලන්නකෝ මොනතරම් අසිරිමත් සැපයකටද බුදුරජාණන් වහන්සේ ඔබලාට පාර පෙන්වන්නේ. ඇයි අපි 'ධර්මය දුක ගැන, මරණය ගැන, අනිත්‍ය ගැන පමණක්‌මයි කියන්නේ' කියලා ධර්මයෙන් ඈතට යන්නේ. ධර්මය කෙරෙහි කලකිරෙන්නේ. පිංවත් ඔබ සැපය හැටියට දකින අවුරුදු 10 ක පමණ නවයොවුන් තරුණ කාලයක් තිබී ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වන ඔය "දුක" ලස්‌සන රූපය කෙරෙහි ඇති කැමැත්තෙන් මිදී "සැප" ලස්‌සන රූපයක හිමිකාරිත්වය ලබාගැනීමට ඔබත් කැමතිවෙන්න මුලින්ම.
එක පිංවත් පවුලක මහත්මයෙක් භික්‍ෂුවගෙන් ඇසුවා 'හාමුදුරුවනේ අපි ශීලය ගැනම සිතමින්, අනිත්‍ය සංඥාව දකිමින්ම ජීවත් වුණොත් අපේ දරු පවුලට සහ කලදසාව, ඒ ගොල්ලන්ගේ අනාගතය අඳුරු වෙනවා නේද කියලා. බලන්න ඒ මහත්මයා ධර්මය මොනතරම් වැරදි අන්තයකින් ද අල්ලාගෙන ඉන්නෙ කියළා. තමන් ජීවත්වීමට නොදන්නාකමින් ඇතිවන ආදීනව ධර්මයේ ගිණුමට බැරකරනවා. ශ්‍රද්ධාව අඩුකම, විචිකිච්චාවෙන් සිතුවිලි. පිරිලා, පංචනීවරණයන්ගෙන් සිත වැඩිලා. ඒ මහත්මයා ශීලය ගැන අනිත්‍යය ගැන කතා කළත්, අවම වශයෙන් ශීලය තුළවත් ඔහු නැතිය කියන එක ඉහත කාරණයන්ගෙන් පැහැදිලි වෙනවා. සෑම පවුලකටම ආදායමක් වියදමක් කියන කාරණයක් තිබෙනවා. කොතෙක් ආදායම් ලැබුවත් වියදම ඊට වැඩිනම් ජීවන ප්‍රශ්න ඇතිවීම අනිවාර්යයි. මෙය ධර්මයේ වරදක්, ශීලයේ, අනිත්‍ය සංඥාවේ වරදක් නොවේ. එම මහත්මයා ලැබීමේ තරමට වියදම් කිරීමට නොදන්නා කමේ වරදයි. නමුත් අශ්‍රද්ධාව නිසා එම වරද පටවන්නේත් ධර්මයට. මුළිsන්ම පිංවත් ඔබ අවංක වෙන්න, ධර්මයෙන් තොරව ජීවත් වෙමින් ඔබ විඳින දුක නුවනින් දකින්න. දුක දකින කෙනායි සැප ඇති මාර්ගයට අවතීර්ණ වෙන්නේ. දුකය කියමින් ධර්මයට ඔබ ද්වේශ කළොත්, සැක කළොත් ඔබට අහිමිවන්නේ සැබෑම සැපයයි.
අවංකව ධර්ම මාර්ගයේ ගමන් කරන කිසිම කෙනෙකුට 'මට වැරදුනාය' කියල කියන්න තැනක් නැහැ. අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් යම් තැනකදී වැරදුනොත් එය හේතුඵල ධර්මයන්ට අනුව ජයග්‍රාහීව ජීවිතයට ගලපාගන්නවා. මෙය තමයි ශ්‍රද්ධාව නැමති පරම ධනයේ ලක්‍ෂණය. මෙන්න මේ ධනයේ හිමිකාරීත්වය මුලින්ම ඔබට ලබාගැනීම සඳහාමයි මේ සටහන තැබුවේ. මේ ධනයේ හිමිකාරීත්වය මුලින්ම ඔබ අයිතිකරගන්න. එවිට රුපියල්, ශත ඔබේ ජීවිතයේ දෙවැනි තැනට වැටේවි. ශ්‍රද්ධාව ඇති පුද්ගලයාට ජීවිතය කියන කාරණයේදීත් මරණය කියන කාරණයේදීත් ජයග්‍රාහී අවසානයක්‌මයි ලැබෙන්නේ. එම නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දුක ගැන කථාකරන දහමක් නොව දුක අභිබවා සැප අයිතිකරගන්නා දහමක්. අවශ්‍යනම් දුකත් සැපත් දෙකින්ම මිදීයන දහමක්.
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
2012 දෙසැම්බර් 02 ඉරිදා දිවයින
දුක සැප පෙරළෙන සංස්‌කාර
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' 22 කොටස
වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක් දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම අසරණයි. සරණක් ඇති ජීවිතයක් ඉදිරියේ මේවා කුමක් නම් පීඩාවක් කරන්නද.....
ලන්තෑරුම් එළියෙන් ලෑලි ඇඳ මත වාඩිවී මේ සටහන තබනකොට භික්‍ෂුවගේ සිත පුදුමාකාර සැනසීමකින් පිරිලා. මේ ටික සටහන් වුණේ වැස්‌ස නිසා. ඒ නිසාම භික්‍ෂුව වැස්‌සට ආශිර්වාද කරනවා. භික්‍ෂුවට මතකය තේර තේරී ගාථාවල එක් රහතන් වහන්සේ නමක් උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා 'වැස්‌ස ඔබ ඇති තරම් වහින්න. ගොරවා ගොරවා වහින්න. වැස්‌සට බැහැ මාව අපහසුවට පත්කරන්න. මම කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ' කියලා. වැස්‌සට ගුලිවෙලා, වකුටුවෙලා වැස්‌සට බැණ බැණ ඉන්නවා වෙනුවට උන්වහන්සේ වැස්‌සට ආශිර්වාද කළා. අපි වැස්‌සට කොච්චර කිව්වත් වහින්න එපා කියලා වැස්‌ස එය අහන්නේ නැහැ. වැස්‌සට ඇතිවන තුරාවට එය වහිනවා. වැස්‌ස වහිනතාක් පරිසරය, කුටිය හිරිකිඩෙන්, මීදුමෙන්, දියසීරාවෙන් ආක්‍රමණය කරනවා.
මේ වැස්‌සට තෙමුණොත් වැඩිම වුණොත් උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් හැදෙයි. ඊට වඩා හැදෙන ලෙඩක් නැහැ. කොත්තමල්ලි ටිකක් තම්බලා වළඳලා, බටහිර බෙහෙත් පෙත්තක්, කරලක් වළඳලා එය සනීප වෙලා යාවී. නමුත් ඇස නිසා ඇති වන කෙළෙස් වැස්‌සට, කණ නිසා ඇති වෙන කෙළෙස් වැස්‌සට නාසය, දිව, මනස, කය නිසා ඇතිවන කෙළෙස් වැස්‌සට පිංවත් ඔබ තෙමුණොත් මෙලොව, පරලොව දෙකේදීම අපි දුකට වැටෙනවා. අර අතීත රහතන් වහන්සේ සිංහනාද කරන්නේ 'මගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ. වැස්‌ස ඇති තරම් වහින්න' කියලා.
ආධ්‍යාත්මික රූපයත්, භාහිර රූපයත්, විඥානයත් මේ කාරණා තුන එකතුවන ඵස්‌සය ළඟදීම උන්වහන්සේ අනිත්‍යය දකිනවා. ඵස්‌සය අනිත්‍යයයි කියලා අවබෝධයෙන් දකින තැනදී විඳීමක් සකස්‌වෙන්නේ නැහැ. ඉන් මෙහා අපි සැවොම ඵස්‌සය නිත්‍ය වශයෙන් ගෙන පංච උපාදානස්‌කන්ධය සකස්‌කරගන්නවා. ඒ කෙළෙස් වැස්‌සට තෙමෙනවා. විඳීම කියන සෙවිලි නොකළ වහලය අපිව බරපතළ ආකාරයට කෙළෙස්‌වලින් තෙමෙනවා. මෙහි ඵලය තමයි සංස්‌කාරයන්ගේ බලවත් රෝගාතුරභාවය. සංස්‌කාර හේතුවෙන් හටගන්නා රෝගාබාධ බෙහෙත්පෙති, කරල්, සිරප් වළඳලා නම් සනීපකරගන්න බැහැ. කල්ප ගණන් මිථ්‍යදෘෂ්ඨිකභාවය, දුප්පත් බව, කුසගින්න, විරූපි බව, ගින්දර, ගිනි අඟුරු, ලෝදිය මත මදි නැතිව දුක් අනුභව කරලයි අවසන් වෙන්නේ. දුකත් සැපත් දෙකම සංස්‌කාරයන්ගේ ඵලයක් මයි. එම නිසා දුක, සැප දෙකම අපි සම සිතින් පිළිගත යුතුයි. අපි සූදානම් සැප සතුටින් පිළිගෙන, දුක අසතුටින් ප්‍රතික්‍ෂේප කිරීමට නම් අපට කවදාකවත් ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණෙන්නට බැහැ. අනිත්‍ය සංඥාවන්ගෙන් සෙවිලි නොකරන ලද ඇස නිසාමයි, කණ නිසාමයි, නාසය නිසාමයි, දිව නිසාමයි, කය නිසාමයි, මනස නිසාමයි දුකත් සැපත් දෙකම අපට උරුමකර දෙන්නේ. අතීතයේ වැඩ සිටිය රහතන්වහන්සේ 'වැස්‌ස ඇතිතාක් වහින්න. මාගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ' කියලා සිංහනාද කරන්නේ, උන්වහන්සේගේ කුටියට වැසිදිය නොවැටෙන නිසා නොව මීදුම, සීතල නොඑන නිසාම නොව උන්වහන්සේ 'දැක්‌කාය' කියන තැනදීම, 'ඇසුනාය' කියන තැනදීම 'දැනුනාය' කියන තැනදීම ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම පිණිස අවබෝධයෙන් සම්පූර්ණ උත්තමයකු නිසාය. 'මම' කියන පුද්ගලයා හේතුඵල ධර්මයන්ගෙන් සකස් වූ ඵලයක් ලෙස අවබෝධ කරගනිද්දී, හේතූන් නිසා සකස් වූ ඵලයක් තුළ සත්වයෙක්, පුද්ගලයෙක් වශයෙන් අර්ථයක් නොපෙනෙද්දී කුමක් නිසා, කව්රුන් උදෙසා තෘෂ්ණාවක් සකස්‌වෙන්නද?
පිංවත් ඔබ දෑස් හොඳින් විවර කර බලන්න. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන නිසා සකස් වූ කෙළෙස් වැස්‌සට තෙමුණු සත්වයන්ගේ ලෝකයයි ඔබ ඉදිරියේ දර්ශනය වන්නේ. ධාරානිපාත වර්ෂාවක් ගහකොළ පෙරළා, ඇල දොළ ගංගා දෙගොඩ තලා, පස්‌කඳු නායගොස් මහා විනාශක් කරන්නා සේ ඇස නිසා සකස් වූ කෙළෙස්‌වල බරපතළභාවය නිසාම මොනතරම් දුක් ගොඩක් සත්වයා විඳිනවාද. අපි එක මොහොතක්‌වත් ඇස, කන, නාසය, දිව, කය, මනස නිසා වන දුක් ගැන මෙනෙහි කරනවාද, කථාකරනවාද. ඇස, කණ, නාසය, දිව, කය, මනස නිසා කෙළෙස් වැස්‌සට හසුවුණ අයමයි ඔය සිරගෙවල්වල, රෝහල්වල, යුධ භූමිවල, ගිහිගෙවල්වල, මගතොටේ අපට මුණගැසෙන්නේ. ස්‌වභාවධර්මයේ වැස්‌සෙන් නොතෙමෙන්න අපි උපක්‍රම යෙදුවාට, තෘෂ්ණාවේ කෙලෙස් වැස්‌සෙන් අප නිරතුරුවම තෙමෙනවා. අපි ලෙඩවෙනවා. නොදැනුවත්කම නිසාම අසාධ්‍ය රෝගීන් බවට පත්වෙනවා. එහෙම රෝගීන්ට බෙහෙත් කියන්නෙත් තවත් අසාධ්‍ය රෝගියෙක්‌මයි. ඒ නිසා රෝගියා සහ වෛද්‍යවරයා දෙදෙනාම හුඟක් වෙලාවට විනාශය කරාම පියවර තබනවා.
එක තාත්තා කෙනෙක් සිටියා, ඒ තාත්තා දරුවන්ට බොහොම ආදරෙයි. ඔහු රජයේ සේවකයෙක්. මොහු ශීලය ගැන එතරම් තැකුව කෙනෙක් නෙවෙයි. මාරයා විසින් සමාජය තුළ එලා ඇති තරගකාරීත්වය නැමැති දැළට හසුවෙලා සිටි අයෙක් මොහු. යමක් අයිති කර ගැනීමට යන ගමනේදී මොහු බොහෝම වේගවත්. කොටින්ම මොහුට දවසේ පැය 24ම වුණත් කටයුතු සඳහා ප්‍රමාණවත් මදි. මොහු තමන්ගේ දරුවෙක් වෙනුවෙන් බොහොම මහන්සියෙන් නිවසක් හැදුවා. නිවසේ වැඩකටයුතු අඩක් නිමාකර තිබියදී මොහු මියයනවා. අපි දන්න ස්‌වාමීන් වහන්සේ නමක් සමාධිය තුළින් අරමුණු කර බලනවා මොහු මරණින් මතු කොතැනක ඉපදිලා සිටිනවාද කියලා. එවිට එම ස්‌වාමීන්වහන්සේට අරමුණුවෙනවා මුල් ගලක් දෑතින් අල්ලාගෙන සිටි බහිරව ස්‌වභාවයේ ප්‍රේතයෙක්. ඔහු එරමිනියාගොතාගෙන, මුල්ගල බදාගෙන ඉන්නවා වගෙයි දර්ශනය වෙලා තිබෙන්නේ. අපි භහිරවයා යනුවෙන් හඳුන්වන සත්වයෙක්.
මේ කාරණයේදී භික්‍ෂුව හඳුනාගෙන ඇත්තේ, වැඩ අවසන් නොවූ නිවසේ උපාදානය නිසා ඉහත උපත සකස්‌කරගත් බවයි. දැන් ඉතින් මුල්ගල මගේ කොටගෙන බහිරව ලෝකයේ ජීවත්වෙනවා. මේ මුල්ගල නිශ්චිත වශයෙන් එම නිවසේම මුල්ගල ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. බලන්න, නිවස නැමැති රූපය නිසා සකස් වූ තෘෂ්ණාව හේතුවෙන් ඇතිවූ කෙළෙස් වැස්‌සට හසුව ඔහුව ගසාගෙන ගොස් ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය සකස්‌කර දුන්තැන. 'උපාදාන පච්ජයාරි භවෝ'..... ඔබ ඉදිරියේ ඇති භයානකම අනතුරු නුවණින් හඳුනා නොගත්තොත් ඔබට දුකම උරුමකර දෙන ධර්මතාවය. මේ මහත්මයා මනසේ සකස්‌වූ කෙළෙස් වැස්‌සට හසුවීම නිසා සකස්‌කරගත් දුක කල්ප ගණනාවක් විය හැකියි නේද?
වර්තමාන සමාජයේ ජීවත්වෙන හුඟ දෙනකුට තමන්ගේ කටයුතුවලට දවසේ පැය 24ත් මදි. ඒ මදිබව නිසාම සමහරු රාත්‍රියේ නින්දෙන් ගණන් හදනවා. දරුවන්ට, බිරිඳට ආදරය කරනවා. මාරයා විසින් එලන ලද තරගකාරීත්වයේ දැලට හසුවී දුවන්නන් වාලේ දුවන චර්යාවෙන් මිදෙන්න. විවේකීව කෙලෙස් වැස්‌ස ගැන සිතන්න. සමාජය වේගයෙන් ලෞකික වශයෙන් සංවර්ධනය වෙනවා. විසිතුරුභාවයෙන්, ගෘහනිර්මාණ ශිල්පයෙන් එකිනෙක අභිබවා දැකුම්කළු නිවාස ඉදිවෙනවා. ඔබගේ සුන්දර නිවස යම් සේ දැකුම්කලුද, විසිතුරුද බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ඔබගේ සිත ඊටත් වඩා විසිතුරුයි කියලා. මොකද ඔබ තුළ ඇති තෘෂ්ණාවේ දිග පළල නිසාමයි ඔය වැනි විසිතුරු නිවසක් නිර්මාණය වුණේ කියලා. ඉහත වැකිය සටහන් කරනකොටම භික්‍ෂුවට හිනාවක් ඇති වුණා. භික්‍ෂුව මේ වෙලාවේ වැඩ සිටින කුටිය කැලයේ ඇති මැටිගැසූ කුඩා පැළක්. රජගෙදර ඉන්න රජතුමාට වඩා නික්‌ලේෂී සැනසිල්ලක් භික්‍ෂුව මේ මොහොතේ අත්විඳිනවා. තෘෂ්ණාව ක්‍ෂය වුණ තැන නිස්‌සරණය, සැහැල්ලුව මිස දුක සැප එහි කොයින්ද?
වැස්‌ස, සුළඟ, සීතල මීදුම එනවා. යනවා. ඒත් ඒ කිසිවකින් පීඩා විඳින්න පුද්ගලයෙක් මෙතැන නැහැ. ඵස්‌ස පච්ජයා වේදනා..... ඵස්‌සය නිසා සකස් වූ විඳීමත්, ඵස්‌සයත්, විඳීමත් අනිත්‍යධර්මයන්මයි. මොන තරම් සරළ සමීකරණයක්‌ද. විසිතුරුභාවය වැඩිවන්න වැඩිවන්න, තෘෂ්ණාව වැඩිවන බව ඔබ තේරුම්ගන්න ඕනා. තෘෂ්ණාව වැඩිවන්න වැඩිවන්න දුකයි වැඩිවන්නේ. දුක කියන්නේ අවිද්‍යාව නිසා අපිට
රැස්‌වෙන්නාවූ සංස්‌කාරයි. සංස්‌කාරයන් නිදහසේ භුක්‌තිවිඳීමට අභය භූමියක් වෙමිනුයි ලෝකය පවතින්නේ. කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ට බාධාකරන්න කෙනෙක් ලෝකයේ නැහැ.
ඊලඟ පිටුවට...