ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පසේ බුදුවරු

දුක්‌ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයෝ අවබෝධ කිරීමෙන්, භව උදුරා දැමීමෙන් බුද්ධ නම් වන උතුමෝ ගුණ විශේෂ වශයෙන් බුදු, පසේබුදු, මහරහත් යෑයි තුන් කොටසකි. සම්මාසම්බුද්ධ, සම්බුද්ධ හා බුද්ධ යන නාමයෝ ද උන්වහන්සේලා හැඳින්වීමට පිළිවෙළින් යොදති.ෙ
පච්චේක බුද්ධ නැතිනම් පසේ බුදු යන වචනයේ තේරුම 'වෙනම සත්‍යයන් අවබෝධ කළ තැනැත්තා' යනුයි. පසේ බුදුවරයෝ ලොව්තුරා බුදුවරුන්ගෙන් හෝ බුද්ධ ශාවකයන්ගෙන් හෝ උපදෙස්‌ නොලබා ස්‌වෝත්සාහයෙන් ම සම්බෝධියට පැමිණති. පසේ බුදුවරයෝ, ලොව්තුරා බුදුවරුන් නූපදනා කාලවලදීම උපදිති. ලොව්තුරා බුදුවරු තමන් අවබෝධ කළ ධර්මයන් අනයයන්ට ද අවබෝධ කරවා අන්‍යයන් ද සසරින් එතෙර කරවති.
පසේ බුදුවරු වනාහි තමන් අවබෝධ කළ ධර්මය වචනවලින් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට සමත් නොවෙති. උන්වහන්සේලාට ආසයානුසය ඥානය නැත. උන්වහන්සේලා අවබෝධ කළ ධර්මය ගොළුවකු දුටු සිහිනයක්‌ මෙන් යෑයි ද වැද්දකු විසින් නගරයකදී අනුභව කළ ව්‍යංජන රසයක්‌ මෙන් යෑයි ද පොත පතෙහි විස්‌තර කෙරේ. ගොළුවා දුටු සිහිනය තමාම දැන සිටිනවා මිස අනෙකෙකුට දැන්වීමට සමත් නොවේ. වැද්දා රස විඳි ව්‍යජනයද එබඳු ය. එමෙන්ම පසේ බුදුවරු ද ධර්මය තමන්ම දැන සිටිනවා මිස අනුන්ට අවබෝධ කරවීමට සමත් නොවෙති. අර්ථ රසය පමණක්‌ අවබෝධ කළ උන්වහන්සේලා ලෝකෝත්තර ධර්මය ව්‍යවහාරයට නගා දෙසීමට අපොහොසත් වෙති. එහෙත් සියලුම සමාපත්ති, සෘද්ධි සමාපත්ති, ප්‍රතිසම්භිදාවෝ උන්වහන්සේලාට ඇත්තාහ. උන්වහන්සේලා ගුණ විශේෂ වශයෙන් ලොව්තුරා බුදුවරයනට පහළ තැනකද, බුද්ධ ශ්‍රාවකයන්ට වඩා උසස්‌ තැනක ද සිටිති. උන්වහන්සේලා ලොව්තුරු බුද්ධ ශ්‍රාවකයන් මෙන් අන්‍යයන් පැවිදි කොට නොහික්‌මවන්නා හ. උපොසථය සඳහා ගන්ධමාදන පර්වතයෙහි මංජුසක වෘක්‍ෂ මූලයෙහි වූ රත්නමාලකයට රැස්‌වන පසේ බුදුවරයෝ 'චිත්ත සල්ලෙඛෝ කාතබ්බෝ, ඔසානං නාපඡ්ජිතබ්බං' යන උද්දේසයෙන් හෝ 'අඡ්ජඋපෝසථෝ' යන වචන මාත්‍රයෙන් හෝ උපෝසථය කෙරෙති. උන්වහන්සේලාට දානාදීන් උපස්‌ථාන කරන්නන්හට,

'ඉච්ජිතුං පත්ථිතං තුයිහං

ප්පමේව සමිඡ්ධතු

පූරෙන්තු චිත්ත සංකප්පා

චන්දෝපන්නරසීයථා'

යන මේ ගාථාවෙන් අනුමෙවෙන් බණ දෙසූ බව ද පෙනේ. මේහැර ඒ ඒ පසේ බුදුවරයන්ගේ ධර්මාභිසමය කෙසේ වී දැයි ප්‍රශ්න කළවුන්ට දෙසූ ව්‍යාකරණ ගාථාත්, කෙලෙස්‌ නැසීමෙන් ඇති වූ ප්‍රීති වේගයෙන් හටගත් උදාන ගාථාත් එක්‌කොට පච්ෙච්ක බුද්ධාපදානයෙහිත් ඛග්ග විසාණ සූත්‍රයෙහිත් ඇතුළත් කොට තිබේ‍ෙ
කෙසේ වෙතත් පසේ බුදුවරයන් වහන්සේලා පිළිබඳ විස්‌තර පිටක ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ මඳ වශයෙනි. අපදාන පාලියෙහි පච්චේක බුද්ධාපදාන කොටසෙහි පවා සැලකිය යුතු විස්‌තරයක්‌ නැත. එහි ගාථා 58 කි. සුත්ත නිපාතයෙහි ඛග්ග විසාණ සූත්‍රයෙහි ආ ගාථා පච්ඡේක බුද්ධාපදානයට ද ගෙන තිබේ. ඉසිගිලි සූත්‍රය පසේ බුදුවරයන් පන්සියයක්‌ ගැන කියතත් එහි සඳහන් වන්නේ එකසිය දෙනමකගේ (102) නම් පමණි. මේ ආදී වශයෙන් පෙළෙහි දැක්‌වෙන විස්‌තරයට වඩා කරුණු අට්‌ඨ කතාවන්ගෙන් උපුටා ගත හැකිය
සම්මා සම්බුද්ධයන් වහන්සේගේ ප්‍රාර්ථනා අභිනිහාරාදිය ප්‍රකට නමුත් පසේ බුදුවරයන් පිළිබඳ එවැනි විස්‌තරයක්‌ බුදුරජාණන් වහන්සේ පෙර නොවදාළ හෙයින් එය දැන ගනු කැමැති ආනන්ද හිමියන් දිනක්‌ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ එකරුණ සැලකර සිටියහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ 'පුබ්බ යෝගාවචර' නම් සූත්‍රය වදාළහ. එහි මෙසේ සඳහන් වේ.

'ආන්දය, පූර්ව යෝගාවචරයා මේ ආනිසංස පහ කැමැති වියයුතුය. 

i හේ මේ ආත්මයේදී කල් ඇතිවම අර්හත් ඵලය ලබයි.

ii ඉදින් එසේ නොහැකිවී නම් මරණ සමයෙදී ලබයි.

iii එසේත් නොවී නම් දෙවි බවට පැමිණ එය ලබයි.

iv නැතහොත් බුදුවරයකු හමුවෙහි වහා නිවන් අවබෝධ කරනෙක්‌ වෙයි.

v එසේත් නැතිනම් පසු කලෙක පසේ බුදු වෙයි.

මෙසේ අනඳ මහ තෙරුන් හට වදාළ බුදුරජාණන් වහන්සේ 'පසේ බුදුවරයෝ' නම් අභිනිහාරයෙන් යුතු පූර්ව යෝගාවචරයෝම යෑයි ද, බුදු, පසේබුදු, මහරහත් යන සියල්ලන්ටම ප්‍රාර්ථනාවත්, අභිනිහාරයත් වුවමනාම යෑයි වදාළහ.
අභිනිහාරය යනු ස්‌ථිර වූ මූලික ප්‍රාර්ථනයයි. සම්‍යක්‌ සම්බුද්ධත්වය පතන මහ බෝසත්වරයකුගේ අභිනිහාරය කරුණු අටක්‌ ඇති කල්හිම සමෘද්ධ වේ.

i මිනිසෙකු වීම

ii පිරිමියෙකු වීම

iii ඒ ආත්මයේදී රහත් වන්නට තරම් මේරූ පින් ඇති අයෙකු වීම.

iv ජීවමාන සම්‍යක්‌ සම්බුදුවරයකු හමුවීම.

v කාමයන්ගෙන් වෙන්ව පැවිද්දට පැමිණියෙකු වීම.

vi පංච අභිඥා අෂ්ට සමාපත්ති උපදවාගත්තෙකු වීම.

vii බුදුරදුන් කෙරෙහි ආත්ම පරිත්‍යාගය

viii කොතරම් හිරිහැර වුවත් බුදුබව ලබා ගනිමි යන බලවත් කැමැත්ත

ඉහත කරුණු අට සම්පූර්ණව නියත විවරණ ලැබූවහු විසින් සර්වඥ බෝධිය පිණිස පාරමිතා පිරිය යුතු වේ. ප්‍රඥාධික මහ බෝසතුන් විසින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ ද, වීර්යාධික මහ බෝසතුන් විසින් සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ ද පාරමිතා සම්පූර්ණ කළ යුතුය.

පසේ බුදු බව පතන බෝසතුන්ගේ අභිනිහාරය කරුණු පහක්‌ එකට යෙදුණු කළ සම්පූර්ණවේ.

'මනුස්‌සත්තං ලිංග සම්පත්ති

විගතාසව දස්‌සනං

අධිකාරෝ ජන්දතා එතෙ

අභිනිහාර කාරණා'

ඒ අනුව

i මිනිසෙකු වීම,

ii පිරිමියෙකු වීම,

iii බුදු පසේබුදු, මහ රහතන් වහන්සේලා අතරින් කෙනෙකු හමුවීම,

iv ජීවිත පරිත්‍යාගය,

v බලවත් කැමැත්ත,

යන අංග පහ එකට යෙදුණු කල බෝසතාණන් වහන්සේගේ අභිනිහාරය සම්පූර්ණ වේ.

මෙසේ අභිනිහාරය සම්පූර්ණ කර ගත් බෝසතාණන් වහන්සේ පසේ බුදුබව ලැබීම සඳහා බුදුවරයකුගෙන් හෝ පසේ බුදුවරයකුගෙන් හෝ මහ රහත් උතුමෙකුගෙන් හෝ විවරණ ගත යුතුය. එසේ විවරණ ගත් තැනැත්තහු විසින් දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් පිරිය යුතු වේ. සම්‍යක්‌ සම්බුද්ධවරයෝ විවර්ත කල්පයෙහිම පහළ වෙත්. යම් කලෙක සම්‍යක්‌ සම්බුද්ධවරයෙක්‌ පහළ වෙත් ද, එකල පසේ බුදුවරයෝ නොවන්නා හ. අප බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර සිටි පසේ බුදුවරයන් අතර අන්තිමයාණන් වූ මාතංගයන් වහන්සේ සිදුහත් කුමරු උපන්දාම පිරිනිවන් පෑ බව ද සැලකිය යුතුය.
මෙයට අමතරව ලක්‌දිව වැඩ සිටි පසේ බුදුවරයන් වහන්සේලා දෙනමක්‌ පිළිබඳ එස්‌. කේ. ජයවර්ධන මහතා විසින් රචිත ලිපියක මෙසේ දැක්‌වේ.
මින් පළමු පසේ බුදු හිමි දඹදිව ගන්ධමාදන පර්වතයේ වසමින් දන් වැළඳීමට නිතර ලක්‌දිව නාගදීපයට ආ බව මහාවංශය හා පාලි රසවාහිනිය කියයි. සුමන සමන් දෙවියන්ගේ පෙර භවය විස්‌තර කරන වංශකතා අනුව සමන් දෙවිඳු එයට පෙර භවයේ නාගදීපයේ මිනිsසකුව ඉපිද කල්ගෙවයි. එකල දඹදිව ගන්ධමාදන පර්වතයේ වසන පසේබුදු හිමි නමක්‌ පිඬුසිඟා ගෙන අවුත් නාගදීපයේ කිරිපලු නුග රුඛක්‌ මුල දන් වැළඳීම සිරිතක්‌ කොට ගෙන සිටියේ ය. නාගදීපයේ ඉපිද සිටි මනුෂ්‍යයා පසේ බුදුහිමියන් දානය වැළ» පසු පාත්‍රය සෝදා දීමට පුරුදුව සිටියේය. ඒ පින් මහිමයෙන් ඔහු මිය ගිය පසු සුමනසමන් දෙවි ලෙස දිව්‍ය ආත්මභාවය ලැබුවේය.
දෙවැනි පසේබුදු හිමි නම බුද්ධ කාලයට පෙර ලංකාවේම ජීවත්ව ලංකාවේම පිරිනිවන් පෑ හිමි නමකි. ඒ විස්‌තර ධාතු වංශය හා පාලි රසවාහිනියේ කාකවණ්‌ණතිස්‌සකතා වස්‌තුවේ දැක්‌වේ. කාවන්තිස්‌ස රජුගේ පෙර භවය විස්‌තර කරන වංශ කතා හා සාහිත්‍ය මූලාශ්‍රවල ද මේ තොරතුරු සඳහන් වේ. ඒ අනුව කාවන්තිස්‌ස රජු පෙර භවයේ ලංකාවේ මලය රට චණ්‌ඩාලගමක චණ්‌ඩාල නායකයෙකු වී උපන්නේය. මලය රට ඒ අඩවියේ ගල් ලෙනක වැඩ විසූ පසේ බුදු නමකට මේ චණ්‌ඩාල නායකයා දිනපතා උපස්‌ථාන කළේය. දිනක්‌ චණ්‌ඩාල නායකයාට ගමනක්‌ යැමට වූයෙන් පසේ බුදුහිමියනට උවැටන් කිරීම බිරිඳට පැවරුවේය. ඈ පසේ බුදුහිමි රාගයෙන් පොලඹවා ගැනීමට යත්න දැරුවාය.ඒ අසාර්ථක විය. ඒ හේතුවෙන් උන්වහන්සේගෙන් පලිගැනීමට සිතූ බිරිඳ පසේ බුදු හිමි තමා වරදට පොලඹවා ගැනීමට තැත් කළ බව සැමියා පැමිණි පසු ඔහුට පැවැසීය. චණ්‌ඩාල නායකයා කිපී පසේ බුදුහිමිගෙන් පළිගැනීමට යද්දී උන්වහන්සේගේ ශාන්ත ඉරියව් දැක සිත සන්සුන් කර ගත්තේය. ගල් ලෙනෙහි දිගටම විසූ පසේ බුදුහිමි නමට ඔහු නොකඩවා උවැටන් කළ අතර පසේ බුදු හිමි නම මලය රට ගල්ලෙනෙහිදීම අපවත් වූ බව ධාතු වංශය කියයි.
එල්ලාවල මේධානන්ද හිමි නිකවැරටියට නුදුරු සවරන්තෙල්ගල ලෙනෙක තිබී කියෑවූ ලෙන් ලිපියක පසේ බුදු හිමි නමකගේ ධාතු නිදන් කර තැනූ දාගැබක්‌ ගැන කියයි. 'දශවන පචෙක බුදහ ථූපෙ' (දසවන පසේ බුදුහිමිගේ ධාතු නිදන් කළ දාගැබයි) යනුවෙන් එම ලෙන් ලිපියේ කියවෙයි. මේ ලිපියේ එන දහවැනිපසේ බුදුහිමි යනු ඉසිගිලි සූත්‍රයට අනුව නිථයි. මේ අනුව සවරන්තෙල්ගල ලෙන් ලිපියේ කියෑවෙන ධාතු හිමි වන්නේ නිථ පසේ බුදු හිමිටයි. සවරන්තෙල්ගල ආසන්නයේ ඇති ගල්ලෙන්විහාරයක ලෙනක නම 'ගඳමදන' යි. ගඳමදන හෙවත් ගන්ධමාදන යනු ඇතැම් විට නිථ පසේ බුදු හිමි වැඩ විසූ ගල් ගෙන යෑයි අනුමාන කළ හැකිය.
සවරන්තෙල්ගල ලෙන් ලිපියේ එන්නේ ධාතු වංශය හා පාලි රසවාහිනිය කියන මලය රටේදී අපවත් වූ පසේ බුදු හිමිට දැයි කීම අසීරුය. කෙසේ නමුත් ලෙන් ලිපියේ එන දහවැනි පසේ බුදු හිමි හෙවත් නිථ වෙනත් පසේ බුදුවරයකු නම් ලක්‌දිව අඩුම වශයෙන් පසේ බුදුහිමිවරුන් දෙනමක්‌ වැඩ විසූ බව පෙනෙයි.

සනත් ලියනගේ

ඉවසීමේ ගුණය

වපුරන දෙයට අනුව අස්වැන්න බලාපොරොත්තු විය යුතු අතර හොඳ ක්‍රියාවන්ට හොද ප්‍රතිඵලද නරක ක්‍රියාවන්ට නරක ප්‍රතිඵලද හිමිවේ
ඉවසීම බෝසත් ගුණයකි. සමස්ත බුද්ධ චරිතය පුරාවටම එම ගුණය දැකිය හැකිය. තරහව ,ක්‍රෝධය, පහළවීම පෘථග්ජන සිතෙහි ස්වභාවයයි. ධර්මය ඇසුරුකර ගනිමින් එයින් මිදිය හැක. මේ සඳහා දේශිත සූත්‍ර අතර අංගුත්තර නිකාය පඤ්චක නිපාතය ආඝාතපටිවිනය සූත්‍රය ප්‍රධානය. ආඝාත යනු තරහවය. පටි යනු හාත්පසින් විනය යනු නැතිකිරීමයි. පුද්ගලයා තුළ සියලු ආකාරයෙන්. ඇතිවන තරහව නැතිකරන ස්වභාවය ආඝාත පටිවිනය සූත්‍රයේදී උපක්‍රම පහකින් නැතිකරන අයුරු පැහැදිලි කරයි.
එම උපක්‍රම පහ මෙසේය.
1.මෛත්‍රිය පැතිරවීම
2. කරුණාව ඇතිකරගැනීම
3.නොවිමසා නොමෙනෙහි කිරීම
4. උපේක්ෂාවෙන් යුක්තවීම
5.කර්මයේ ස්වකීයත්වය පිළිබඳ මෙනෙහි කිරීම
යම් කරුණක් නිසා යමෙකු තුළ ඇතිවන නොසතුට අපි‍්‍රය බව රුචි නොවන බව නොරිස්සුම් සහගත බව තරහව හෙවත් ක්‍රෝධය ලෙස සඳහන් කළ හැකිය. තරහව, ක්‍රෝධය, වෛරය, පටිඝය,ආඝාතය, ව්‍යාපාදය ලෙස හඳුන්වන්නේද මෙම චෛතසික ස්වභාවයයි. නිවන් ලැබීමේදී නැතිකළ යුතු සංයෝජන දහය අතර ව්‍යාපාදය ප්‍රධාන තැනක් ගනී. එහෙයින් තරහව දුරු කර ඉවසීම ප්‍රගුණ කිරීම නිවන් ප්‍රාර්ථනා කරන්නන් විසින් වහවහා සිදුකළ යුතු කාර්යයකි. සාමාන්‍යයෙන් තරහව ඇතිවන්නේ ප්‍රධාන හේතු දෙකක් මූලික වීමෙනි. එනම් ඇතිවන හේතු යෝනිසෝමනසිකාරයෙන් හෙවත් බුද්ධිමත්ව මනා සිහියෙන් කල්පනා නොකිරීම නිසාවෙනි. ආඝාත පටිවිනය සූත්‍රය උත්සාහකරනුයේ එම ස්වභාවය තේරුම් කර දෙමින් ඉවසීම පුරුදු කිරීමටය.
යම්විටක යමෙකු හෝ යම්’ කණ්ඩායමක් පිළිබඳ තරහවක් ඇතිවූ විට එය නැති කරගැනීම සඳහා යොදාගත හැකි පළමු උපක්‍රමය ඔවුනට මෛත්‍රිය කිරීම හෙවත් මිතුරුකම පෑමයි. සතුරුකම ඇතිවූ විට ගැටුම් ඇතිවන අතර මිතුරු කම තුළ ගැටුම් සන්සිඳේ. සතර බ්‍රහ්ම විහරණ තුළ පළමු ගුණය මෙයයි. දසපාරමිතා තුළ මෛත්‍රිය එක් පාරමිතාවකි. වෛරයේ ආදීනව හෙවත් අයහපත් විපාක කල්පනාකර මෛත්‍රියෙහි ආනිසංස සිහිපත් කළවිට සතුරුකමට වඩා මිතුරුකම වැදගත් බව හැඟේ. වෛරයෙන් ප්‍රතිලාභ නොලැබෙන බව සිතීම තුළ ප්‍රතිලාභ ලැබෙන මෛත්‍රියට යොමුවීම බුද්ධිමත් සිතිවිල්ලකි. දෙව්දත් තෙරුන් සේරිවාණිජ ජාතකයෙන් ආරම්භ කරගත් වෛරය අවසන් වූයේ අපාගත වීමෙනි. බුද්ධකාලීන සමාජය ගෙන බැලුවත් වර්තමාන ලෝකය දෙස අවධානය යොමු කළද දැකිය හැකි සත්‍යවන්නේ වෛරයෙන් ජයග්‍රහණ කළ පිරිස් නැති බවයි. මෙත්තානිසංස සූත්‍රය තුළ මෙත් වැඩීමේ ආනිසංස හෙවත් ප්‍රතිලාභ 11 ක් ලැබෙන බව සඳහන්ය. මිතුරන්ට ද්‍රෝහි නොවීම තුළ ආනිසංස ලැබෙන අයුරු මිත්තානිසංස සූත්‍රය පැහැදිලි කරයි. මිනිසාට පමණක් නොව සතා සිව්පාවාටද මෙත් වැඩීම තුළ ඔවුන්ගෙන් කරදර විපත් ඇතිනොවන බව කඳ පිරිතෙහි සඳහන් වේ. නාලාගිරි හස්තියා බුදුරදුන් ඉදිරියෙහි දමනය වන්නේද මන්ත්‍ර හෝ ගාථාබලයක් නිසා නොව බුදුරදුන්ගේ සිත්තුළ පැවැති මෙත් බව හස්තියාට දැනීම තුළිනි. මහාවංශයෙහි එන සිංහයාට තම පුතා විදින හීය වැදී මරණයට පත්වීම පිළිබඳ වංසත්ථප්පකාසිනි අටුවාව දක්වනුයේ දෙදෙනාගේ සිත් තුළ පැවැති මෙත් බව තුරන්වීම සිංහයාට මරු වසඟයට යාමට සිදුවු බවයි. තරහ ඇතිවූ විට එය තුරන් කළ හැකි පළමු උපක්‍රමය මෙයයි.
තරහව, ක්‍රෝධය, පහළ වූ විට ඔහු හෝ ඇය පිළිබඳව කරුණාව දැක්වීමේ ඉවසීමේ දෙවන උපක්‍රමයයි. අන් දුකකදී අඩුපාඩුවකදී තම හදවත කම්පාවීම කරුණාවේ ස්වභාවයයි. නොකළ එක වරදක් පිළිබඳ සලකා කළ හොඳ සියල්ලම අමතක කිරීම යහපත් තත්ත්වයක් නොවේ. තමාට හෝ ඔහුට තරහයාමේ ආසන්නම අවස්ථා සැලකිල්ලට ගෙන උපක්‍රමශීලීවීම කරුණාවයි. එකට එක කිරීම ගැටුම් ඇතිවීමේ මූලයයි. අක්කෝස භාරද්වාජ බමුණා කෙරෙහි බුදුරදුන් දැක්වූයේ අපමණ කරුණාවකි. ඔහුගේ වරදේ ස්වභාවය මිත්‍රයෙකු ලෙසින් පෙන්වාදීම කරුණාවයි. ද්වේෂය වඤ්වක ධර්ම ලෙසින් විවිධ වේෂයෙන් පැමිණිය හැකි අතර එය කරුණාව ලෙස වරදවා වටහා ගත යුතු නොවේ’. අවිහිංසා වේශයෙන් හෝ ක්ෂාන්ති යෙන් එන පැමිණෙන කරුණාවක් තිබිය හැකි මුත් එය නියම කරුණාව නොවේ. වාසි ප්‍රයෝජන ලැබීම විෂයෙහි ඇතිවන කරුණාව, පාපයකි. ‘සබ්බේ සත්තා යන්න පදනම් කොටගත් කරුණාව ගැටුම්වලින් පුද්ගලයා ඈත් කර ඉවසීමට පුරුදු කරයි. තමාගේ දැනුම, වයස, තත්වය ගැන සිතමින් ඔහුගේ ස්වභාවය හඳුනාගෙන ඔහුගේ මානසිකත්වය තෙරුම්ගෙන කටයුතු කිරීම කරුණාවයි. ආවේග හෙවත් වේගයෙන් එන සිතිවිලි පාලනය කිරීමට කරුණාව මහත් පිටිවහලකි. මෙම දෙවන උපක්‍රමයෙන්ද ඉවසීම පුරුදු කළ හැකිය.
නොවිමසා නොමෙනෙහි කිරීම හෙවත් තමන්ට පුංචි හෝ අසාධාරණයක් කළ පිරිස් පිළිබඳ නැවත නැවත සිතීමෙන් ඉවත්වීම ඉවසීමේ තෙවන උපක්‍රමයයි. අඳුරෙන් අඳුර නැතිකළ නොහැකිසේ වෛරයෙන් වෛරය තුරන් කළ නොහැකිය. අසවලා ගැහුවා, බැන්නා, මා සතු දේ පැහැර ගත්තා ලෙස නැවත නැවත සිතීම තුළ තරහව, ද්වේශය වර්ධනය වීම හැර තුරන්වීමක් නැත. ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරකම් අයහපත් නම් එය සිතින් බැහැර කළ යුතුය. ඇතැම්විට ඔහුත් සමඟ අමනාප වී වසර ගණනක් වුවද ඔහු කළකී නරක දෑ හිතේ තබා ගනිමින් තරහව වර්ධනය කර ගනී. එය යහපත් තත්වයක් නොවේ. අමතකකළ නොහැකිනම් මතක් කළ යුතුම නම් කළ නරක දෑ නොව යහපත් දේ සුළු නමුත් එය සිහිපත් කිරීම තුළ තරහව නැති කරගත හැකිය. සිහිපත් කරන කල දොම්නස අමනාපය ඇතිවන්නේ නම් එය සිහිපත් කිරීම තුළ වෛරය බද්ධ වෛරයක්ව සසර නරක පුරුද්දක් ලෙස පැවතීමට වැඩි ඉඩකඩ පවතී. එහෙයින් නොවිමසා නොමෙනෙහි කිරීම තුළ තරහව පාලනය වී ක්‍රෝධයේ නවඝාත වස්තු නැතිවී යයි. ඉවසීම පුරුදු කිරීමේ තෙවන උපක්‍රමය සත්වයාට සසර සුගතිය අත්කර දීමට සමත්වේ.
සෑම කාරණාවකදීම මෙන්ම ආඝාතය ඇතිවන අවස්ථාවේදී උපේක්ෂාව වැදගත්ය. මධ්‍යස්ථව සිටීම මෙන්ම බැලීම, බොහෝ ප්‍රශ්නයන්ට කදිම විසඳුමකි. අටලෝදහමින් කම්පා නොවීම සුබ හෙවත් මංගල කාරණයක් ලෙස “ඵුට්ඨස්ස ලෝක ධම්මේහි “ මංගල සූත්‍රදේශනාවේදී පවා අවධාරණය කර ඇත. තරහ ඇතිවූ විට මෙය මටම වෙන දෙයක් ලෙස සිතීමත් අනෙක් අය මෙවැනි අත්දැකීම් ලබා නොමැති ලෙස සිතීමත් තරහව පාලනයට බාධාවකි. මේ ලෝකයෙහි නින්දාවන්ට පාත්‍ර නොවූ අය දුර්ලභ බව බුද්ධ දේශනාවේ පවා මෙසේ දක්වයි. “නත්ථි ලෝකෝ අනින්දිතෝ” එහෙයින් මට පමණක් ලබපු අත්දැකීමක් නොවන කාරණයකදී තරහ ගැනීම නිෂ්ඵලය. අසවලා අසවලාට බැනපු ආකාරය ඇසීමේදී මට බැනීමක් සිදුවී නැති බවත් මෙය හුදු කරුණු පැහැදිලි කිරීමක් පමණක් යනුවෙන් සිතීම උපේක්ෂාවයි. සමාජය සමග ගැටීමේදී හිත් රිදීම් සිදුවන අතර එය ඉවසිය නොහැකි පිරිස්වලට සමාජ ජීවිතය ගත කළ නොහැක. මෙම යථාර්ථයට මුහුණදීමට නම් උපේක්ෂාව අත්‍යවශ්‍යය. අපකීර්ති ප්‍රශංසා සමව විඳදරාගත යුතුය. අන්තගාමීවීම, අන්තගාමී තීන්දු ගැනීම තරහව, කෝපය වැඩිවීමට හේතුවක් බැවින් සියල්ල සම සිතින් සම මෙතින් විඳ දරා ගැනීමට හුරුවීම තුළ ආඝාතය හෙවත් තරහව පාලනය කරගනිමින් ඉවසීම පුරුදු කළ හැකිය.
කර්මයේ ස්වකීයත්වය හෙවත් ක්‍රියාවට ලැබෙන ප්‍රතික්‍රියාව පිළිබඳ සිතා බලා ද්වේෂ කරනවා වෙනුවට මෛත්‍රිය කිරීමට පුද්ගල සිත මෙහෙය විය හැකිය. සෑම ක්‍රියාවකටම අනුරූප විපාක ලැබේ. වෛරයෙන් වෛරයද මෛත්‍රියට මෛත්‍රිය වශයෙනි. වපුරන දෙයට අනුව අස්වැන්න බලාපොරොත්තු විය යුතු අතර හොඳ ක්‍රියාවන්ට හොද ප්‍රතිඵලද නරක ක්‍රියාවන්ට නරක ප්‍රතිඵලද හිමිවේ. යමෙකු තමන්ට වෛර කරන්නේනම් තමාද ඔහුට වෛර නොකළ යුතුය. වෛරය ඔහුගේ ලෙඩකි. තමන් ඒ සඳහා බෙහෙත් නොගත යුතුය. ? ඔහු තමාට වෛරකර නරක කර්ම රැස්කර ගනිමින් නරක උපතක් ලබාගනී. එහෙත් තමා ඔහුට මෛත්‍රිය කර හොඳ කර්ම රැස්කරගනිමින් හොඳ උපතක් හිමිකර ගත යුතුය. හොඳ කර්ම කුසල වන අතර නරක කර්ම අකුසලය, තරහව,ක්‍රෝධය, අකුසල් බැවින් එයින් ඉවත්වීම ප්‍රඥාගෝචරය. කරන ක්‍රියාවට ඒ මොහොතේම මෙන්ම ඉන්පසුවද විපාක හිමිය. දිට්ඨධම්මවේදනීය ලෙස හොඳ නම් මෙලොවදී විඳින අතර නරක විඳවයි. ද්වේෂය අපරාධයක් බැවින් ඒ තුළ ඇත්තේ විඳවීමකි. අපරාපරිය, උපපජ්ජ වේදනීය, ලෙස සසර කවදා හෝ ඊළග භවයේදීම යහපත් දෙයක් නම් විඳින අතර අයහපත් නම් විඳවයි. ද්වේෂය අයහපතකි. කාලි යක්ෂණියගේ කථාපුවත මීට කදිම නිදසුනකි. කෙසෙල් කැන වැටුණූ විට කෙසෙල් ගස කපා ඉවත් කරන්නාසේ ද්වේෂයෙන් ආතුරවීම නිසා සමස්තයටම හානි පැමිණේ. එහෙයින් කර්මයේ ස්වකීයත්වය පිළිබඳ ඇතිවන අවධිකම තරහ ස්වකීයත්වය පිළිබඳ ඇතිවන අවධිකම තරහ පාලනය කර ඉවසීම පුරුදු කිරීම සදහා යොදාගත හැකි අවසන් උපක්‍රමයයි. ඒ අයුරින් සූත්‍ර දේශනාව උපදින තරහව ක්ෂය කිරීම සඳහා උපක්‍රම 05 අනුදැන වදාරයි.
“පඤ්චිමේ භික්ඛවේ ආඝාතපටිවිනයා යත්ථ භික්ඛූනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝ”
මෙම උපාය 05 නිවැරැදිව තම ජීවිතය තුළ යොදාගන්නේ නම් නිවනට අවැසි මෛත්‍රිය ප්‍රගුණ කොට දස සංයෝජනයන්හි ව්‍යාපාදය දුරුකර ගනිමින් ආර්ය මාර්ගයේ අවසන නිවන සාක්ෂාත් කරගත හැකිය. ඒ සඳහා සැවොම වීර්ය වඩත්වා!
(ආඝාතපටිවිනය සූත්‍රය ඇසුරෙනි )

අප්පමාදේන සම්පාදේථ

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූදා සිට පිරිනිවන් පා වදාරන අවසාන මොහොත දක්වා දේශනා කොට වදාළ එක වචනයක හෝ වටිනාකම අපට නියම කරන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අදත් ලොව පුරා භික්ෂූන් වහන්සේ විසින් දේශනා කර වදාරනු ලබනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එදා දැක්වුණු ධර්ම පාඨ අද අපේ ආදර්ශ පාඨ වී තිබෙනවා.
බොහෝ බෞද්ධ පාසල්වල ආදර්ශ පාඨය වී තිබෙන්නේ ඒ බුද්ධ වචනයයි.
‘අප්පමාදේන සම්පාදේථ
‘අප්පමාදෝ අමතපදං
’අපදාන සෝභිනි පඤ්ඤා’
‘පඤ්ඤා නරානං රතනං’
මේ සියල්ල අද අපේ බෞද්ධ පාසල්වල ආදර්ශ පාඨවෙලා ‘අප්පමාදේන සම්පාදේථ ‘ යන පාඨය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පරිනිර්වාණය මංචකයේදීයි.
උන්වහන්සේ පිරිනිවන් පානා අවස්ථාවේදී රහත්භාවයට පත් නොවු ආනන්ද හිමියන් දැඩි ශෝකීව බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටියා. ශෝකය දරාගත නොහැකිව ආනන්ද හිමියන් හඬා වැටුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් එම ස්ථානයට කැඳවා ‘ඇයි ආනන්ද අඬන්නේ වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ’ ලෝකයේ යමක් ඇති වූවා නම් ඒ සියල්ල නැතිවෙනවා. ඒ නිසා සියල්ල අනිත්‍ය වූ ලෝකයක නිත්‍ය වූ දේ සොයන්න එපා. සියල්ල කාමසුඛල්ලිකානු ලෝකයක නිත්‍ය දේ සොයන්න එපා. සියල්ල අනිත්‍ය නිසා ජීවිතයත් අනිත්‍යයි. මේ තත්වය තේරුම් අරගෙන ඒ අවස්ථාව උදා නොවන්නට කටයුතු කළ යුතු වනවා. ඉපදීම දුකක් නම් ඒ දුක නැති කළ හැක්කේ උප්පත්තිය නැති කිරීමෙන් පමණයි. උත්පත්තිය නැති කරන්න නම් අප චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුතුයි.
"දුක" යන්න අප නිවැරදිව තේරුම් ගත යුතුයි. දුකට හේතුව අප වටහා ගත යුතුයි. එසේනම් ඒ දුක නැති කළ යුතුයි. නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි නිවැරදි ලෙස අප ගමන් කළ යුතුයි.
එයින් තොරව කවදාවත් මේ දුක නැති කළ නොහැකියි. ඒ නිසා ආනන්ද මේ වේලාවේ අඬා දොඩා වැලපීම නොවෙයි කළ යුත්තේ.
අප්පමාදේන සම්පාදේථ
වයධම්මා සංඛාරා
සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එම නිසා අප්‍රමාදව කටයුතු කරන්න’ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන, ආරංචිය සැලවීමත් සමඟ බොහෝ පෘථග්ජන භික්ෂූන් වහන්සේ අඬා දොඩා වැලපීම සිදුකළා. එක් භික්ෂුවක් පමණක් එම ආරංචිය ලද සැණින් ඉක්මනින් වඩාත් උනන්දුව සත්‍යය අවබෝධ කර ගැනීමට කටයුතු කළා. භාවනානුයෝගීව කටයුතු කළා. සෙසු භික්ෂූන් හඬා වැළපෙද්දි “ධර්මාරාම” නම් මේ භික්ෂූන් වහන්සේ භාවනානුයෝගීව කටුතු කිරීම ගැන එම භික්ෂූන් වහන්සේ දැඩි කලකිරීමට පත්වුණා. ඔවුන් මේ භික්ෂූන් වහන්සේද කැඳවාගෙන බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් ලෙස රැගෙන ගියා.බුදුරජාණන් වහන්සේ “ධර්මාරාම” භික්ෂුවට ප්‍රශංසා කළා. ධර්මාරාම භික්ෂුව මගේ පරිනිර්වාණය අප්‍රමාදයට හේතුවක් කර ගත්තා. එය මට කරනු ලබන ලොකු ගෞරවයක්. ධර්මාරාම භික්ෂූන් නිවන් මාර්ගය ඉක්මනින් පසක් කරගත්තා. අප්පමාදේන සම්පාදේථ යන්නට මෙය කදිම උදාහරණයක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කර ගැනීමට දස පාරමිතා පිරූ බව අප කවුරුත් දන්නවා. එයින් එක පාරමිතාවක් තමයි වීර්යය පාරමිතාව. එය නිවන් මඟට අත්‍යවශ්‍යම පාරමිතාවක්. දුක නැති කිරීමට නම් වීර්යය ඇති කළ යුතු වනවා. එය දිනකින් දෙකකින් කළ හැක්කක් නොවේ. බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් වීර්යය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ “මහාවීර” නමින් හැඳින්වුණා. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීම අප්‍රමාදීව කටයුතු කළ චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කතාවත් අපට ‘අප්පමාදේන සම්පාදේථ’ යන්නට උදාහරණයක් වූ චක්ඛුපාල තෙරුන් තවත් භික්ෂූන් වහන්සේ තිස් නමක් සමඟ භාවනා කිරීමට වැඩම කරනවා. එක් එක් භික්ෂූන් වහන්සේ වෙන් වෙන් කුටිවල භාවනා කිරීමට ඔවුන් කතිකා කර ගත්තා. අක්ෂි වෛද්‍යවරයෙක් පැමිණ උන් වහන්සේට පවසන්නේ අක්ෂි ආබාධයක් ඇති වුවහොත් තමන් නොමිලයේ ප්‍රතිකාර කරනු ලබන බවයි. උපාසිකාවක් පැමිණ ගිලන්පස ආදි දානමය පින්කම් පිරිනමනු ලබන බවට දැනුම් දෙනවා. කිසිවෙක් වචනයක් හෝ කතා නොකර වෙන් වෙන් වශයෙන් කරනු ලබන මේ භාවනානුයෝගී අවස්ථාවේ එක් භික්ෂුවකට යම් අසනීපයක් ඇති වුවහොත් මිණිගෙඩියක් හැඬවීමට ඔවුන් කතිකා කර ගත්තා. චක්ඛුපාල තෙරුන් නිර්වර්ජිතව භාවනානුයෝගීව කටයුතු කළා. චක්ඛුපාල හිමියන්ට මේ නිසා ඇස් ආබාධ හට ගත්තා. උන් වහන්සේගේ අසනීපය ගැන දැනගත් අක්ෂි වෛද්‍යවරයා පැමිණ ඖෂධ ලබා දුන්නා. ටික දිනකින් අක්ෂි වෛද්‍යවරයා පැමිණ පරික්ෂා කර බැලුවා. චක්ඛුපාල හිමියන්ගේ අක්ෂිරෝගය උග්‍ර වී තිබුණ අතර එහි කිසිදු සුබ ලකුණක් තිබුණේ නැහැ. 'ඔබ වහන්සේ මා දුන් ඖෂධ ඇස්වලට දැමුවාද? 'ඔව් මා දැමුවා' 'කෙසේද දැමුවේ'
'භාවනා කරන අතරේම ඇසට දැමුවා'
ඔබ වහන්සේගේ කුටිය බලන්න අවශ්‍යයි.'
කුටිය පරික්ෂා කළත් එහි යහනක් තිබුණේ නැහැ. ‘ඔබ වහන්සේ ඇස්වලට ඖෂධ දැමුවේ සිටගෙන හෝ අසුන්ගෙනද? ‘මා භාවනා කරන ගමන් ඖෂධ දැමුවා’ එසේ කරන්නේ නම් ඔබ වහන්සේ ගේ දෑස් සුව කළ නොහැකියි.යහනෙහි දිගා වී ප්‍රතිකාර ලබා නොගන්නේ නම් මා වැනි දක්ෂ වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබා ගත් බව හෝ කිසිවකුටත් පවසන්න එපා.’ එය මට මහත් අගෞරවයක්. අක්ෂි වෛද්‍යවරයා චක්ඛුපාල හිමිට දොස් පවරා ගියා. චක්ඛුපාල හිමිට එහිදී තීරණයක් ලබා ගැනීමට සිදුවුණා. අක්ෂි රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නවාද? සත්‍යය කරා යනවාද? තමන් වැඩු වීර්යය ඒ අයුරින්ම කරගෙන යාමට උන්වහන්සේ තීරණය කළා. උන්වහන්සේ වීර්යය වඩා අරහත් ඵලය ලැබුවා. එහෙත් අරහත් ඵලය ලබන විටම ඇස් අන්ධවුණා. මෙවන් චරිත බුද්ධ ශාසනයේ අපට ඕනෑ තරම් දැක ගැනීමට පුළුවන්. ඇතැම් භික්ෂූන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට කකුල් පැලී ගියා. අවසානයේ දනගාමින් භාවනා කළා. ඒ අප්‍රමාදීව කටයුතු කිරීමටයි. සංසාරයට ඇති භිය නිසා ඕනෑම දුකක් විඳීමට අප්‍රමාදීව කටයුතු කිරීමට එකල භික්ෂූන් කටයුතු කළා. වීර්යය වඩා තම විමුක්ති මාර්ගය හදාගැනීමට එදා භික්ෂූන් කටයුතු කෙළේ. සංසාරය නිමා කර ගැනීමට මාරයා පැරදවීමටයි එදා භික්ෂූන් වහන්සේ කටයුතු කෙළේ.
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු කැප වන්නේ කුමටද කුසලට කම්මැළි වන්නේ
මාරයා එන දිනය කිසිවකුට කීමට හැකියාවක් නැහැ. එම නිසා අදම වීර්යය දැරිය යුතුවනවා. කාලය වේගයෙන් ගමන් කරනවා. අපි බලාගෙන සිටියම කාලය නවතින්නේ නැහැ.
ළමාවිය, තරුණ විය, මහලු වියට පත්වනවා. අවසානයේ මරු කරා යනවා. එම නිසා අප්‍රමාදිව නිවන් මග කරා යා යුතු වනවා. ජීවන මඟට පමණක් නොවෙයි. අප්‍රමාදය එදිනෙදා සියලු වැඩ කටයුතු සඳහ යොදා ගත යුතු වනවා. කිසිදු කටයුත්තකට ප්‍රමාදය සුදුසු නැහැ.
පාසල් සිසුන් පවා තමන්ගේ මේසය අසලින් ‘අප්පමාදෙන සම්පාදේථ’ යන්න ලියා හෝ තබා ගත යුතුවනවා. ඉගෙන ගන්නා දරුවාට අරමුණක් තිබෙනවා. මම ඒ අරමුණට අප්‍රමාදිව කටයුතු කරනවා. අධිෂ්ඨානශීලිව එම කටයුත්තට යොමු විය යුතුවනවා. ස්වභාව ධර්මය විසින් අපේ රටට බොහෝ දේ දායාද කර තිබෙනවා.ඒ කිසිවකින් අප නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. අප හැමදා තුන්වන ලෝකයේ රටක් වෙලා. කවදාවත් පලමු තැනට එන්නෙත් නෑ. දෙවෙනි තැනට එන්නෙත් නෑ. හෙල රජ දවස අපේ රජදරුවන් අප්‍රමාදීව කටයුතු කළා. අපි තුන් වේලම බත් කාපු ජාතියක්. වැව් බැඳි රාජ්‍යයක් අපට තිබුණා. වැව් 35,000 ක් පමණ රට පුරා ඉදිවුණා. ඇළ වේලි ඉදිවුණා. සියල්ලම අප්‍රමාදිවයි සිදු කළේ. ඒ සියල්ල කළේ ගතේ, සිතේ වීර්යයෙන් අද වගේ යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ. නියඟයට පිළියම් යොදාගෙන තිබුණා. ‘අහසින් වැටෙන එකම දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවන බව මහ පැරකුම්බා රජුගේ අධිෂ්ඨානය වුණා. දුටුගැමුණු රජු අවුරුදු 44 ක් එළාර රජු යටතේ තිබුණු බලය අල්ලා ගත්තා. මිරිසවැටිය ලෝවාමහා පාය වගේම දුටුවුන් මවිත කරවන රුවන්වැලි සෑය ඉදිකරා. ඒ ආදර්ශය එදා සිටම සියලු නායකයන් අරගත්තා. ඩී.එස්. සේනානයක මහත්මයා මිය යන විට අපේ රට කිසිදු ණයක් ලෝකයට තිබුණේ නැහැ. නමුත් අද අපේ රට ලෝකයටම ණයවෙලා. ණය බරින් මිරිකිලා ඉන්නෙ. අපේ රට දියුණු කරන්න අමාරු නැහැ. නමුත් අපට අප්‍රමාදී බව දැන් ගෑවිලාවත් නැහැ. වේලිච්ච දණ්ඩක් පැළ කරත් එහි ඵලදාව ඇතිවනවා. ඒ තරමට සරුසාර පොළොවක් තියෙන්නේ . නමුත් අප ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. සිංගප්පූරුව අපට වඩා බොහෝ පිටුපසින් සිටි රටක්, නමුත් එක නායකයකු නිසා අද ඒ රට දියුණුවේ මුදුන් පෙත්තටම ගිහින්. එහි බොන්න වතුර පොදක් නෑ. ස්වභාවික සම්පත් නෑ. නිදහස ලබල අවුරුදු 60 ක් පහුවෙලා. තවම අපට අල්පෙනනෙත්තක්වත් හරියට නිෂ්පාදනය කරන්න බැරිවුණා. අඳින ඇඳුම හදාගන්න බැහැ. කොරියාව ඉතාම දුගී ලෙසින් හිටපු රටක්. නමුත් අද කොරියාව ලෝකයේ ඉහළම තත්වයේ රටක්. නැව් පවා නිපදවන ඉහළම රටක් බවට පත්වෙලා. එකම හේතුව අප්‍රමාදි බවයි. අපට කිසිම සැලසුමක් නැහැ. තිබෙන්නේ. ‘එදා වේල ටුවරිස් සංකලපයක්. හෙටක් ගැන දැකීමක් නැහැ. අපේ අයට කියන්න තියෙන්නේ කුමක්ද? කම්මැළි කොල්ලනේ පොල් කටුව අරගෙන පලයව් හිඟමනේ. අප්‍රමාදය – නැත්නම් එකම විසඳුම එයයි.

බුදුන් වැඳීම සහ දැකීම

“මනුෂ්‍ය ජීවිතය ලැබීම දුර්ලභයි. මනුෂ්‍යයන්ගේ ජීවිත පවත්වා ගැනීමද දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ උපතද දුර්ලභයි.” ධම්මපදයේ සඳහන් ඒරකපත්‍ර නා රජුන් නිමිතිකොට දෙසු මෙම දහම් පෙළ නිතොර මෙනෙහි කරමු. ඒ දුර්ලභවූ උතුම් වූ මනුෂ්‍ය ජීවිතය අපි ලබා සිටිමු. අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසසුන මුණ ගැසී තිබේ.

බඹසර විසීමට එනම් කුසල් මඟ සපිරීමට නොහැකි අවස්ථා අටෙන්ම අපි අත්මිදී සිටින්නේ නොවේදැයි සිතා බලන්න. එම අවස්ථා අට මෙසේයි. 1. බුදුරජාණන් වහන්සේ මිනිස්ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා නිරයෙහි උපත ලබා තිබීම. 2. බුදුරජාණන් වහන්සේ මිනිස්ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා තිරිසන් බවෙහි උපත ලබා තිබීම. 3.බුදුරජාණන් වහන්සේ මිනිස්ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා පේ‍්‍රත විෂයෙහි උපත ලබා තිබීම 4. බුදුරජාණන් වහන්සේ මිනිස්ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා දීර්ඝායු ඇති දේවනිකායක උපත ලබා තිබීම
5.පුද්ගලයා සිව්වනක් පිරිස නැති ප්‍රත්‍යන්ත ජනපදයක උපත ලබා තිබීම 6. පුද්ගලයා මධ්‍යම ජනපදයෙහි දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිකයෙක්ව උපත ලබා තිබීම 7.මධ්‍යම ජනපදයෙහි මෝඩ දුශ්පාඥයෙක්ව උපත ලබා තිබීම .
8.පුද්ගලයා අබුද්ධෝත්පාද කාලයක උපත ලැබීම යනුවෙනි. අප විසින් ලබාගත් මෙම දුර්ලභ වූ අවස්ථාවෙන් උතුම් වූ ඵලයක් ලබාගත යුතුය. වර්තමානයෙහි තෙරුවන් සරණ ගිය බහුතර පිරිසක් ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් පූජාවන් සිදුකිරීමයි. එය වරදක් නොවේ. වරද පවතින්නේ ආමිසයෙන් ඔබ්බට, එනම් පිළිවෙත් මාර්ගයට අවබෝධයකින් යුතුබැස නොගැනීමයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා පෙලක් විමසා බලමු.
”නහි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තා මම පුජං කරොන්තිනාම ධම්මානුධම්මං පටිපජ්ජන්තා ඒවා පන මං පූජෙන්තී නාම “මල් සුවඳ ආදියෙන් මට පුද පුජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත් (ධම්මපදට්ඨ කථා ධම්මාරාම වත්ථු) “කුල්ලුපමං වො භික්ඛවෙ ධම්මං දේසිස්සාමි, නිත්ථරනත්ථාය නො ගහණත්ථාය” “මහණෙනි, මම ධර්මය ඔරුවකට උපමා කොට ඔබට දේශනා කරන්නෙමි. ධර්මය එතෙරවීම පිණිස මිස කර ගහගෙන යෑම පිණිස නොවේ. (මජ්ක්‍ධිම නිකාය අලගද්දූපම සූත්‍රය) ‘යෝ වෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතො පඤ්ඤත්තෝ, සො වො මමච්චයේන් සත්ථා “ ආනන්දය, නුඹලාට යම්ධර්මයක් හා විනයක් දේශනා කරන ලදද, පනවන ලදද, එය මගේ ඇවෑමෙන් ඔබේ ශාස්තෘවරයායි” (පටිසම්භිදා මග්ග අට්ඨකථා) ආරම්භයේදී එනම් ධර්ම මාර්ගයට යොමුවීමේදී මල් පහන්පුදා ශ්‍රද්ධාව දියුණුූ කරගැනීම අවශ්‍යයය. එම ආමිසය නම් වූ මල් පහන් පූජාවම පිළිවෙත් මාර්ගයට යොමුකරගත හැකිය. නිදසුනක් මෙසේය. අප රටේ බහුතරයක් මල් පූජා කරන ගාථා රත්නයම නිදසුනක් කරගනිමු. “පුජේමි බුද්ධං කුසුමේනනේන” ආදි වශයෙන් සරල අදහස නම් මේ මල් පරව යන්නා සේ කයද අනිත්‍ය ස්වභාවයට හෙවත් විනාශ වන්නේය යනුවෙනි. මෙය විදර්ශනාවක් කොට පිළිවෙත් මාර්ගයට පුරුදු කළ හැකිය. යොමු කොට ගත හැකිය. අපි එහි අදහස විවරණය කර ගනිමු. මලක් සුවඳැති නම් හෝ ප්‍රසන්න නම්, ඒ මල පිපෙන්නේ කොතැනදැයි ගැටලුවක් නැත. මඩවගුරුවල හටගන්නා වූ ඕලු, නෙළුම්, මානෙල්වලටත්, කටු අකුලුවල පිපෙන්නා වූ රෝසවලටත් ඉහළම තැනක් හිමිවෙයි. නෙළාගෙන අවුත් බුදුපුද පවත්වයි. එනමුත් මේ මල් පරවයයි. පරවෙන්නට මත්තෙන්, පිපුනු තැන නොසළකා මල් නෙළාගෙන අවුත් ඉහළම තැනක තබා ගෞරව කරයි. මේ කය අනිත්‍යයයි. ලෙඩ දුක් සමගම දිරාගෙන යන්නේය. මල පරවෙන්නට පෙර නෙළාගෙන පැමිණ බුදුපුදට ගත්තාසේ, මේ ජීවිතයද දිරාගෙන ගොස් මරණයට පෙර උතුම් වූ ප්‍රයෝ-ජනයක් ගත යුතුය. ඒ ප්‍රයෝජන ගැනීම නම් ඇස, කණ, ආදි ඉන්ද්‍රියයන් සතුටු කිරීම හෝ පිනවීමට නොවේ. එය තිරිසන් සතුන්ද කරනු ලැබේ’. කායික හා වාචසික සංවරය නම් වු ශීලයෙහි පිහිටා හැකිතාක් දුරට ධර්මානුකූලව ජීවිතය පැවැත්විය යුතුය.ඉගෙනීම වෘත්තිය, විවාහය,ගේදොර,ඇඳුම් පැළැඳුම්, සාමාජික යුතුකම් ආදි වශයෙන් මේවා නම් කළ හැකිය. ධර්මානුකූල මඟක මේ සියල්ලම පි‍්‍රය වශයෙන් ඉහළම ආකාරයකින් කළ හැකිය. විශාකා මහා උපාසිකාව සහ අනේපිඬු සිටාණන් වැනි අය නිදසුන්වලට ගත හැකිය. පියකරුවද, ධනවත්වද සතුටින්ද මේ අය ජීවිත ගත කළ අතර මාර්ගඵල ලාභීහු වූහ. ඔබටද සිඟාලෝවාද ව්‍යග්ඝ පජ්ජ, මංගල ආදි සූත්‍රවල සඳහන් අයුරින් ලෞකික පැවැත්ම සුපසන් කරගත හැකිය. වසල, පරාභව, ආදි සූත්‍ර දේශනාවල සඳහන් අයුරින් පරිහාණියට නොයා හැකිය. මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව සිහිය පැවැත්වීම දියුණු කළ හැකිය.ආනාපාන සති සහ කායගතිසති සූත්‍ර ඇසුරු කරගෙන එදිනෙදා ජීවිතයේ කොපමණ කාර්ය බහුල වුවද මේ මොහොතේ ජීවත්වීම පුරුදු කළ හැකිය. අනාථපිණ්ඩිකෝවාද ආදි සූත්‍ර ධර්ම ඇසුරුකරගෙන ජීවිතයේ ලෙඩදුක් දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන ආකාරය ධර්මානුකූලවම පුරුදු කළ හැකිය. වත්ථුපම සහ සල්ලේඛ ආදි සුත්‍ර ධර්ම ඇසුරුකරගෙන අශ්‍රැතවත් කෙලෙස් කසට සහ කෙලෙස් ගති හඳුනාගෙන මනුෂ්‍යයන් අතර ගම,රට පළාතෙහි යහපත වු සත්පුරුෂ මනුෂ්‍යයෙක් ලෙස ජීවත්විය හැකිය. චූලහත්ථිපදෝපම මහා හත්ථිපදෝපම, රථවිනීත,අරියපරියේසන ආදි සූත්‍රයන්හි මඟපෙන්වීම ඔස්සේ සිවුසස් දහම් අවබෝධයටද කෙලෙසුන් නැසීමටද මාර්ගෝපදේශකත්වයක් සලසා ගත හැකිය.
අනිත්‍ය වු ලොවෙහි “ඉති ඛො භික්ඛවේ විවටො මයා ඛේමො මග්ගෝ සෝවාත්ථිකො පීතිගමනියො” යනුවෙන් දේශනා කළ පරිදි, භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදෙන ලද නිර්භය වු සැපදායක මඟෙහි පී‍්‍රතියෙන් යුතුව ගමන් කළ හැකිය”. සම්මුතියේ පිහිටා සම්මත ලෝකයෙහි ඔබගේ වචනයෙන් පවසන පරිදි, චාරිත්‍රවාරිත්‍ර, යුතුකම්,ගෙදරදොරේ වැඩකටයුතු රැකි රක්ෂාවන්, ස්වාමි භාර්යා යුතුකම් දෙමාපිය දරු වගකීම් ආදියද නිවැරදි මගක පවත්වා ගත හැකිය. එම සම්මුතියෙහි පිහිටා කටයුතු කළ යුතු වන්නේ පරමාර්ථ ධර්මය පිළිබඳ මනා අවබෝධයෙන් යුතුවමය. එනම් එය මෙවැනි අදහසකි. “නයං භික්ඛවෙ කායෝ තුම්හාකං නාප අඤ්චෙසා” “මහණෙනි , ඔය දරාගෙන සිටින ශරීරය නුඹලාගේ නොවේ. වෙනත් අයෙකුටද අයිති නැත.’ (නතුම්හ සූත්‍රය) මෙය ඔබට ගළපා මෙසේ සඳහන් කළ හැකිය. “මම මගේ නොවේ. නුඹ නුඹේ” නොවේ. මම නුඹේ නොවේ. නුඹ මගේ නොවේ” සම්මුති ධර්මතාවයට අනුව, සම්මතයෙහි පිහිටා ලෞකික ලෝකයෙහි ජීවත් වෙන්න. ධර්මානුකූලව හැසිරෙන්න. එනම් හැකිතාක් දුරට පස්පව් දස අකුසල්වලින් බැහැරවන්න. දරුවන් සහ දෙමාපියන්, ස්වාමි– භාර්යාවන්” මම මගේ යයි කියන්න. යම්විටෙක ,දෙමාපිය සහ දරුවන් විසින් ඔවුනොවුන් සමීප වී අත්වැල් පටලාගෙන නුඹලා මගේ යැයි කියනු ඇත. මගේ ඇස් දෙක ,මගේ හදවත වැනි යැයි කියනු ඇත. නුඹ වැනි අයෙක් මට මුන ගැසුනේ මගේ පෙර පිනකට” යයි ස්වාමි භාර්යාවන් පවසනු ඇත. හැමදාම ,ඔවුනොවුන් කෙරේ පි‍්‍රයදෑසින් බලමින්, පි‍්‍රයවචන කතා කරමින්, කිරි හා වතුර මෙන් ,ශරීර දෙකක් වුවත් එකම ජීවිතයක් මෙන් පවත්වන්නට කැමතියි (නකුල පිතූ සූත්‍රය) එසේ සම්මතයෙහි පිහිටා මෙලොව සැනසිලිමත් ජීවිතයක් හෝ ජීවිත ගත කළ හැකිය. එනමුත්, මේ සියල්ලම සකස්විය යුත්තේ පරමාර්ථ ධර්ම අවබෝධය හා සමගිනි. එනම් සම්මුතියට අනුව දෙමාපියන් දරුවන් හෝ ස්වාමි භාර්යාවන් විසින් “නුඹ මගේ, හැමදාම මේ වගේ සිටිනවා” යයි පැවසුවද පරම සත්‍ය කථාව (විදසුන් නුවණ) එය නොවේ. පරමාර්ථ හෙවත් විපස්සනාවට අනුව, මමවත් මට හිමි නැති ලොවක් තුළ නුඹ කොහොමද මගේ වෙන්නේ, මටවත් මා ගැන නිසිලෙස යමක් කියන්නට බැරි මේ අනිත්‍ය වූ ලෝකයේ, නුඹ සමඟ හැමදාම සිටිනවා යයි කියන්නේ කොහොමද? වැනි කතාවකි.
මෙලොව සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක එනම් පණ ඇති හෝ පණ නැති සියල්ලම සංඛත හෙවත් සංස්කාර නම්වෙයි. මේ සියලු සංඛත වස්තූහු අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත්වෙති.
සම්මුතිය සහ පරමාර්ථය හඳුනාගන්නා විට ජීවිත පැවැත්ම සන්සුන් වෙයි. වෙනස්වන ලෝකයේ කිසිවක තදින් ඇලෙන්නේද නැත. ගැටෙන්නේද නැත. මේ නිසා සිතෙහි සකස්වන චිත්ත සමාධිය, සමාහිත බව ඵල සමාධිය සහ ඵල ප්‍රඥාව බවට පත්කර ගත හැකිවනු ඇත. බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව බුදුරජාණන් වහන්සේ දහම් ඇසෙන් දැකීමක් බවට පත්වෙයි. උතුම් තුණුරුවන් සරණයි.

දසබලධාරී සම්බුදු සමිඳුන් හද මඬලෙන් සරණ යමු

අප තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන මේ වෙසඟේ පුන් පොහෝ දිනයෙහි ඒ තථාගතයන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සිහි කිරීම, ඉතාමත් වටිනාම කර්තව්‍යයකි. මෙහිදී ඒ භාග්‍යවතුන් වහන්සේ අප සරණ යන්නේ උන්වහන්සේ තුළ මොන තරම් උතුම් ඥාන, බල තිබෙන නිසාද යන්න දැන ගැනීම සියලු දෙනාටම ඉතාමත් වැදගත් වේ.
මේ ලිපිය තුළින් විස්තර කෙරෙන්නේ උන්වහන්සේගේ ඥානයන් හා බලයන්ය. අංගුත්තර නිකායේ දෙවන කොටසේ චතුක්ක නිපාතයේ භාණ්ඩගාම වර්ගයේ අටවන සූත්‍රය වන වේසාරිජ්ජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන පිළිබඳව අපට ඉගෙන ගැනීමට හැකිවෙයි. එවැනි විශාරද ඥාන හතරක් තිබේ. (1) සම්මා සම්බුද්ධ යැයි ප්‍රකාශ කරන ඔබ වහන්සේ මේ කරුණ අවබෝධ කරගෙන නැත කියා, (2) සියලු කෙලෙසුන් ප්‍රහීණ කර තිබේ යැයි ප්‍රකාශ කරන ඔබ වහන්සේගේ මේ කෙලෙස් ප්‍රහීණ වී නැතැයි කියා හෝ (3) “ඔබ වහන්සේ විසින් අන්තරායකර ධර්මයන් කියා දේශනා කර තිබෙන ධර්මයන් සිදු කළාට එවැනි අන්තරායක් සිදු නොවේ” කියා හෝ (4) “ඔබ වහන්සේ විසින් යම් අර්ථයක් පිණිස ධර්මය දේශනා කරන ලද්දේද, ඒ ධර්මය ප්‍රගුණ කළාට දුක නැති කර ගත නොහැකියි” කියා හෝ කරුණු සහිතව චෝදනා කිරීමට සමත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ උන්වහන්සේට දැන ගත නොහැකිය. එවැනි පුද්ගලයෙක් නොදකින නිසා බුදුරජාණන් වහන්සේ ක්ෂේමයට පැමිණ වාසය කරති. නිර්භය භාවයට පත්ව වාසය කරති. විශාරදත්වයට පත්ව වාසය කරති. අප තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන හතර පිළිබඳව දැන් ඔබට විශාල අවබෝධයක් ඇති කර ගැනීමට හැකියාව තිබේ. මෙවැනි උදාර ඥාන තිබෙන වෙනත් ශාස්තෘවරයෙකු මේ තුන් ලෝකයේම නැත. එබැවින් අප සියලු දෙනාම ඒ භාග්‍යවතුන් වහනසේගේ මේ උතුම් විශාරද ඥාන අවබෝධ කරගෙනම සරණට පත්විය යුතුවේ.
එමෙන්ම උන්වහන්සේ තථාගත බල දහයකින් සමන්නාගත වන සේක. පළමුවන තථාගත බලය වන්නේ ඨානාඨාන ඥානයයි. එනම් හේතු වශයෙන්, සිදුවිය හැකි තැන් වශයෙන් පරිපූර්ණ වශයෙන් ලබන ඥානයයි. මේ ඥානයට උන්වහන්සේට බොහෝ දේවල් දැනගත හැකිය. ආර්ය සම්මා දිට්ඨියට පත් සෝවාන් ශ්‍රාවකයා තමාගේ මවගේ ජීවිතය තොර කිරීම හෝ තමාගේ මෑණියන්ට අතින් හෝ පයින් අධිකව හිංසා කිරීම යන කරුණ දකින්නට නොලැබෙයි. තම පියාගේ ජීවිතය තොර කිරීම හෝ පියාට අතින් හෝ පයින් අධිකව හිංසා කිරීම යන කරුණු දකින්නට නොලැබෙයි. රහතන් වහන්සේලාගේ දිවි තොර කිරීම හෝ උන් වහන්සේලාට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණු දක්නට නොලැබෙයි. සංඝ භේද කිරීම හෝ සංඝයා අතර භේද කිරීමට උත්සාහ කිරීම යන කරුණ දකින්නට නොලැබේ. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සෙලවීම හෝ පිරිනිවන් පෑ තථාගතයන් වහන්සේගේ ස්තූපය දුෂ්ට සිතින් බිඳීම යන කරුණ දකින්නට නොලැබේ. එහෙත් පෘතග්ජන පුද්ගලයා තමාගේ මවගේ ජීවිතය තොර කිරීම හෝ තමාගේ මවට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණ දකින්නට ලැබේ. පියාගේ ජීවිතය තොර කිරීම හෝ පියාට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණ දකින්නට ලැබේ. රහතන් වහන්සේලා ජීවිතයෙන් තොර කිරීම හා උන්වහන්සේලාට අතින් හෝ පයින් හෝ අධිකව හිංසා කිරීම යන කරුණ දක්නට ලැබේ. සංඝ භේද කිරීම හෝ සංඝයා අතර භේදයට උත්සාහ කිරීම කරන්නේය යන කරුණ දක්නට ලැබේ. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සෙලවීම හා උන්වහන්සේගේ ස්තූපය දුෂ්ට සිතින් බිඳීම යන කරුණ දක්නට ලැබේ.
එමෙන්ම ආර්ය සම්මා දිට්ඨිය ලැබූ සෝවාන් ශ්‍රාවකයා තමාගේ පණ රැක ගැනීම උදෙසාවත් අන්‍ය ශාස්තෘවරයෙකු තමාගේ ශාස්තෘවරයා කියා අදහාගෙන පෙන්වීම යන කරුණු දකින්නට නොලැබෙයි. පින් සලකාගෙන දන්දීම පිණිස මේ බුදු සසුනේත් බාහිර අන් අයෙකු සෙවීම යන කරුණ දකින්නට නොලැබෙයි. ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණු වලින් පිරිසුදු බව අදහන්නේය යන කරුණ දක්නට නොලැබෙයි. එහෙත් පෘතග්ජන පුද්ගලයා සිය පණ රැක ගැනීම උදෙසා අන්‍ය ශාස්තෘවරයෙකු තම ශාස්තෘවරයා ලෙස පෙන්වීම යන කරුණ දකින්නට ලැබෙයි. පින් සලකා දන්දීම පිණිස බුදු සසුනෙන් බාහිර අන් කෙනෙකු සෙවීම යන කරුණ දක්නට ලැබේ. ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණු වලින් පිරිසුදු බව ඇදහීම යන කරුණ දක්නට ලැබේ.
ස්ත්‍රියක් සක්විති රජු බවට පත්වන්නේය යන කරුණද ස්ත්‍රියක් සක් දෙවිඳු බවට පත්වන්නේය යන කරුණද, ස්ත්‍රියක් පාපී මාරයා බවට පත්වන්නේය යන කරුණද, ස්ත්‍රියක් මහා බ්‍රහ්මයා වන්නේය යන කරුණද, ස්ත්‍රියක් තථාගත අරහත් සම්මා සම්බුදු වන්නේය යන කරුණද දකින්නට නොලැබෙයි. එහෙත් පුරුෂයෙක් සක්විති රජු බවට පත්වීම යන කරුණද, සක් දෙවිඳු බවට පත්වීම යන කරුණද, පාපී මාරයා බවට පත්වීම යන කරුණද, මහා බ්‍රහ්මයා බවට පත්වීම යන කරුණද, තථාගත අර්හත් සම්මා සම්බුදු බවට පත්වීම යන කරුණද දකින්නට ලැබේ. තථාගත අර්හත් සම්මා සම්බුදුවරු දෙනමක් පෙර පසු නොවී එකම අවස්ථාවක එක් ලෝක ධාතුවක ඉපදීම හෝ ධර්මය දේශනා කිරීම යන කරුණ දකින්නට නොලබෙයි. තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් නමක් පමණක් එක් ලෝක ධාතුවක ඉපදීම හා ධර්මය දේශනා කිරීම යන කරුණ දක්නට ලැබේ. මේ ආකාරයෙන් වූ විවිධ කරුණු පිළිබඳව ඉතා නිවැරැදි ලෙස දැන ගැනීම ඨානාඨාන ඥානය තුළින් දැනගත හැකිවේ.
දෙවන තථාගත බලය වන්නේ සබ්බත්ථගාමිනි පටිපදා ඥානයයි. නිරයෙහි තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුර නිකායේ, දිව්‍ය ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ ඉපදීමට අදාළ කරුණු උපකාර වූ විට ප්‍රත්‍යය වූ විට ඒ ඒ තැන්වල උපදින්නේය යන කරුණත් පිරිනිවන්පෑමට අදාළ කරුණ උපකාර ලද විට ප්‍රත්‍යයක් ලැබූ විට පිරිනිවන් පාන්නේය යන කරුණත් මේ ඥාන තුළින් දැන ගත හැකි වේ. මේ සියලු තැන්වලට ගෙනයන ප්‍රතිපදාව වන අතර මේ ප්‍රතිපදාවේ හේතු වශයෙන්, වියහැකි තැන් වශයෙන් සම්පූර්ණ කොට දන්නා ඥානය සබ්බත්ථ ගාමිනී පටිපදා ඥානයයි.
පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුව, කාම ධාතුව, ව්‍යාපාද ධාතුව, විහිංසා ධාතුව, නෙක්ඛම්ම ධාතුව, අව්‍යාපාද ධාතුව, අවිහිංසා ධාතුව, දුක්ඛ ධාතුව, දෝමනස්ස ධාතුව, අවිද්‍යා ධාතුව, සුඛ ධාතුව, සෝමනස්ස ධාතුව, උපේක්ෂා ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව, නිරෝධ ධාතුව, සංඛාර ධාතුව, නිර්වාණ ධාතුව, ආදී අනේක ධාතු ස්වභාවයෙන් යුතු නා නා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකය පිළිබඳව හේතු වශයෙන් විය හැකි තැන් වශයෙන් සම්පූර්ණයෙන් දන්නා ඥානය තුන්වෙනි තථාගත බලයයි. එය අනේක ධාතු නා නා ධාතු ඥානය නම් වේ.
අප භාග්‍යවතුන් වහන්සේගේ හතරවන තථාගත බලය වන්නේ සන්තානං නානාධිමුත්තිකතා ඥානයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ආදියටත් ස්ත්‍රීන්ට, පුරුෂයන්ට, දන්දීමට, ලාමක දෙයට, උසස් දෙයට, දෙවියන්ට, මිනිසුන්ට, නිවනට ඇතැමෙක් ඇදී යති. මේ ඇලියාම පිළිබඳව හේතු වශයෙන් විය හැකි තැන් වශයෙන් සම්පූර්ණ වශයෙන් දන්නා වූ ඥානය මෙනම් වේ. ඒ තුළින් මොහු හික්මවිය හැකිය. මොහු හික්මවිය නොහැකිය, මොහු සුගතියට යන අයෙකි, මොහු දුගතියට යන අයෙකි යනුවෙන් දකින්නා වූ ඥානයයි. මෙම සන්තානං නානාධිමුත්තිකතා ඥානය නම් සත්ත්වයන් නා නා විධ අයුරින් ඇලුණු ස්වභාවය දක්නා බව නම් වූ ඥානයයි.
අප භාග්‍යවතුන් වහන්සේගේ පස්වන තථාගත බලය වන්නේ අතීත, අනාගත, වර්තමාන කර්ම සමාදානයන් පිළිබඳව හේතු වශයෙන්, තැන් වශයෙන්, සම්පූර්ණ වශයෙන් කර්ම විපාකයන්ගේ විවිධත්වය පිළිබඳ ඥානයයි.
අප භාග්‍යවතුන් වහන්සේගේ හයවෙනි තථාගත බලය වන්නේ සියලු ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්තිවල කෙලෙසීයාමක්, පිරිසුදු වීමක්, නැගි සිටීම පිළිබඳවූත් ඥානයයි. මෙය අනාවරණ ඥානය නම් වේ.
අප භාග්‍යවතුන් වහන්සේගේ සත්වෙනි තථාගත බලය වන්නේ ඉන්ද්‍රියපරෝපරියත්ත වේමත්තකා ඥානයයි. එනම් ඉන්ද්‍රියයන්ගේ හීන, මධ්‍යම, උත්කෘෂ්ටතා ඇති පුද්ගලයන් පිළිබඳව හේතු වශයෙන් විය හැකි තැන් වශයෙන් සම්පූර්ණ වශයෙන් දක්නා ඥානයයි. භාග්‍යවතුන් වහන්සේට මේ ඥානයට අනුව මොහු මේ මෘදු, මධ්‍යම, උත්කෘෂ්ට අනුශාසනයන් මේ වෙලාවේදී දස්සනභූමියටද, මේ භාවනා භූමියට ගිය බවත්, මෙබඳු ධාතු ස්වභාවයෙන් යුක්ත බවත්, මෙබඳු චිත්තාකලපයන්ගෙන් යුක්ත බවත්, මෙබඳු අයුරින් සිතෙහි අප්‍රකටව ක්‍රියාත්මක වන කෙලෙස් ඇති බවත් දන්නා සේක. මේ ඥාන තුළින් සත්ත්වයන්ගේ මෙන්ම බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රියයන් තුළ ඇති අඩු වැඩි බව දැන ගත හැකිය.
භාග්‍යවතුන් වහන්සේගේ අටවන තථාගත බලය වන්නේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නා ඥානයයි. ඒ ඥානය තුළින් නොයෙක් පෙර ජීවිතයන් සිහි කළ හැකිය. නොයෙක් කල්ප ගණන් ජීවිත සිහි කළ හැකිය. ඒ ඒ සත්ත්වයන්ගේ කුසල අකුසල මූලයන්ගේ උත්සන්න බව, මඳ බව ආදියත් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්හි රැස් කිරීමත් රැස් නොකිරීමත් මේ මේ කල්ප වලදී හෝ මේ මේ කාලවල ඒවා සිදු කරන ලද බවත් භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.
භාග්‍යවතුන් වහන්සේගේ නව වන තථාගත බලය වන්නේ දිවැසි නුවණයි. එනම් සුගතියට ගිය සත්ත්වයන් අපායට ගිය සත්වයන් ගැනත් මේ ආකාරයෙන් දන්නා සේක. මේ පුද්ගලයා අසවල් කල්පවලදී මෙබඳු අකුසල් රැස්කරන ලදී ආදී වශයෙන් තොරතුරු දන්න සේක. නවවන තථාගත බලය වන්නේ ඒ උතුම් දිවැස් නුවණයි.
භාග්‍යවතුන් වහන්සේගේ දසවන තථාගත බලය වන්නේ ආශ්‍රමයන් ක්ෂය වී ගිය බව දන්නා ආසවක්ඛය ඥානයයි. එනම් සර්වඥතා ඥානයයි. සියලු ධර්මයෝ අවබෝධ කරනු ලැබීමයි. කෙලෙස් රහිත වූ අවිද්‍යාබල රහිත වූ සර්වඥතාඥානයේ ඉපදීමයි. බෝධි මූලයේදී මාරයාගේ බල පරාක්‍රමය නසා ලබගන්නා වූ උතුම්ම ඥානයයි.
මෙවැනි උදාර වූ විශාරද ඥානයනගෙන් සමන්නාගත වූ දසබලයන්ගෙන් සමන්නාගත වූ ඒ භාග්‍යවත් වූ, අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හදවතින්ම සරණ යමු. දිවි හිමියෙන්ම සරණ යමු. අපට සසර දුකින් නිදහස්වීමටම මේ පින උපකාර වේවා.

පිරිහීමේ දොරටු වසමු!

උභය ලෝක පරිහාණියට කාරක වන දුර්ගුණයන් කිහිපයක් කෙරෙහි අපගේ අවධානය හරවයි.
මෙලොව පරලොව දෙකෙහි පිරිහීමට හේතු වන්නා වූද, අභිවෘද්ධිකාරක සම්‍යක් ප්‍රතිපදාව සපුරා ආවරණය කරන්නා වූද, වැරදි ක්‍රියා සියල්ල පරාභව ක්‍රියා ලෙස හඳුන්වා තිබේ. ඒවායේ නිරත වීමෙන් පුද්ගලයා නිරයගාමී වෙයි. පුද්ගලයාගේ ස්වර්ග මෝක්ෂය සපුරා වසාලයි. ඒ අනුව බුදු දහමේ දේශිත, සත්ත්වයාගේ අනර්ථය පිණිස හේතු වන කරුණු 21ක් පරාභව සූත්‍රයේ අන්තර්ගත වෙයි. එනම්:
1. ධර්මය අප්‍රිය කිරීම
2. අසාධූන්ට (අදැහැමි) පුද්ගලයන්ට ප්‍රිය කිරීම
3. අසත්පුරුෂයන් ප්‍රිය කිරීම
4. සත්පුරුෂයන් අප්‍රිය කිරීම
5. නින්දට ප්‍රිය බව
6. දොඩමලු බව
7. වීර්යයෙන් තොර වීම
8. අලස බව
9. ක්‍රෝධ බහුල බව
10. මහලු වියට පත් මවුපියන්ට නොසැලකීම
11. බොරුවෙන් මහණ-බමුණන් රැවටීම
12. සැප සම්පත් තනිව භුක්ති විඳීම
13. ජාතිය, ධනය, ගෝත්‍රය යන මේවායින් උඩඟුව, අන්‍යයන් පහත් කොට සැලකීම
14. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
15. සුරාවෙහි ලොල් වීම
16. දූකෙළියෙහි ලොල් වීම
17. වෙසඟනන් පතා යෑම
18. පරඹුවන් පතා යෑම
19. මහලු වී තරුණියක සරණපාවාගැනීම
20. ආහාර-පාන ආදියෙහි ගිජු වූ, අරපිරිමැස්මෙන් තොර ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ ප්‍රධානත්වයේ තැබීම
21. ක්ෂත්‍රිය කුලයෙහි උපත ලබා ඇතත් රාජ්‍යයට නුසුදුසු, දුප්පත්, තෘෂ්ණාධික අයකු බලයට පත් වීම,
යන මේවා ය. ධර්මයට සතුරු වීම, ප්‍රතිපක්ෂ වීම පිරිහීමට හේතු වෙයි. ප්‍රාණඝාතාදි දස විධ අකුසල කර්මයන්ගෙන් වැළකී, දස කුසල කර්ම පථ සපුරාලීම ධර්මකාමී වෙයි. දාන, ශීල, භාවනාදි කුසල කර්මවල නිරත වීම පුද්ගලයාගේ දියුණුව ඇති කරයි. පිරිහෙන පුද්ගලයා දානාදි පින්කම්වලට කැමැති නැත.
කය, වචනය සහ මනස සංවර නොවූවෝ අශාන්තයෝ වෙති. ඔවුන්ට රුචි වූවෝ දෙලොවින්ම පිරිහීමට පත් වෙති. බුදු, පසේබුදු, මහරහත් ආදි උත්තමයෝ ශාන්ත වූවෝ වෙති. යමෙක් එකී උත්තමයන්ට හෝ ඔවුන්ගේ සම්‍යයක් මාර්ගයට හෝ ප්‍රිය නොකරයිද; හෙතෙම දෙලොවින්ම පිරිහෙයි. සද්ධර්මය නම් දෙලොව දියුණුව නසා ලන, නිර්වාණ මාර්ගයට බාධා පමුණුවන ධර්මයයි. දෙසැටක් වූ මිථ්‍යා දෘෂ්ටීන් හා දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියත් අසද්ධර්ම සංඛ්‍යාවට ඇතුළත් වෙයි. ඒවාට ප්‍රිය බවක් දක්වන්නා දෙලොවින්ම පිරිහෙයි.
පුද්ගලයාගේ වීර්යය පදනම් වී දියුණුව සැලසෙයි. දියුණු වීමට නම් ජීවගුණයෙන් පිරිපුන් ක්‍රියාශීලි පුද්ගලයකු විය යුතුය. නිදනසුලු ඇවතුම් පැවතුම් ඇති පුද්ගලයා කෙරෙන් දියුණුව අපේක්ෂා කළ නොහැකිය. තොරතෝංචියක් නොමැතිව කියවන්නා කෙරෙහිද ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකිය. දහසක් කටයුතු ඇතත් කතාවට වැටුණු කල ඒ සියල්ල අමතක වෙයි. ඔහුගේ කටයුතු නිමාවක් නොදකිමින් දිග්ගැස්සෙයි. පුද්ගලයාගේත්, සමාජයේත් ප්‍රගමනය සිදු වන්නේ පුද්ගල වීර්යය නිසාය; බල පරාක්‍රමය නිසාය. ලොව නව නිර්මාණ බිහි වන්නේ පුද්ගල වීර්යය නිසාය. ‘උට්ඨාන සම්පදා’ යනුවෙන් බුදුදහම මෙය සුවිශේෂ කොට දක්වයි. සමාජ ප්‍රගමනය සිදුව ඇත්තේ ප්‍රජාවගේ අනල්ප උත්සාහය නිසා බැවින් දියුණුව සලසාගනු රිසි සැවොම නොනිමි වීර්යයකින් ක්‍රියාත්මක විය යුතුය.
සිය බිරියගෙන් තෘප්තිමත් නොවී වෙසඟනන් කරා යෑම අධම ක්‍රියාවකි. එය ශිෂ්ට ලෝකයාගේ නින්දාවට හා පිළිකුලට භාජනය වෙයි. සමහරු අනුන්ගේ භාර්යාවන් කරා ඇදෙති. මෙය සම්මත විවාහ සංස්ථාවට පටහැණිය. එමගින් විවිධ සමාජ ගැටලු ඇති කැරේ; ඔවුනොවුන් තුළ අවිශ්වාසය හා භේදය ඇති වීමට මුල් වෙයි. වෙසඟනන් කරා යෑමද, පරඹුවන් කරා යෑමද එකී සම්මත සමාජ විවාහ සංස්ථාව දෙදරීමට හේතුවකි. අතෘප්තිකර සේ දැඩිව ලිංගික තෘප්තිය පැතීමට යෑම පුද්ගලයාද නසා සමාජයද නසයි. මෙය සමාජරෝග රැසක් ව්‍යාප්ත වීමටද බලපායි. බුදු සමය මේ ලෙස සමාජ චරියා සිඳ-බිඳ නසා ලන, සීමාව ඉක්මවා ගිය ලිංගික චර්යාවන්ට අනුබල නොදෙයි.
වර්තමානයේ වුවද මත්වතුර පානය හේතුවෙන් විනාශ වන ජීවිත හා දේපළ හානි පිළිබඳ ප්‍රවෘත්තීන් නිරන්තරයෙන් අසන්නට ලැබෙයි. මත් වතුර පානයෙහි ලොල් වූ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ඒ සඳහා සිය ධනය නිකරුණේ විනාශ කරයි. එහෙයින් අධිපතීත්වයට පැමිණ වැඩි කල් නොයවා ඔහු හෝ ඇය පිරිහී යයි. මෙය වර්තමාන සමාජයේ වුවද දක්නට ලැබේ.
සුළු සම්පත් ඇති තැනැත්තා වස්තු තණ්හාවෙන් අන්ධව රජකම ප්‍රාර්ථනා කළද භවභෝග නොමැතිකම නිසා එය නොලැබී යන්නේය. ක්ෂත්‍රිය වංශයේ උපත ලැබුවද දිළිඳුකම නිසා රජකම ඔහුට අහිමිය. තමාට අහිමි දෑ අධික තෘෂ්ණාවෙන් යුතුව ප්‍රාර්ථනා කරන්නා පිරිහීමට පත් වෙයි.
බුදු රජාණන් වහන්සේ මෙනයින් පුද්ගලයාගේ පිරිහීමට හේතු වන කරුණු 21ක් පරාභව සූත්‍රයෙහිලා දේශනා කළ සේක. මේ එක් එක් කරුණ වෙන වෙනම ගෙන සියුම්ව පරීක්ෂා කරන කල එය පුද්ගලයාගේද, සමාජයේද පිරිහීමට ප්‍රබල ලෙස බලපාන බව පෙන්වා දිය හැකිය.
නිසල් පණ්ඩුක
සදහම් සඟරා - Online