ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අපායේ නොවැටෙන්න උපාය දැන ගන්න

 

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි

සිතුල්පව්ව විහාරයේ වැඩසිටියා සාමණේර හා උපසම්පදා භික්ෂූන් වහන්සේ බොහෝ පිරිසක්. කලක් මේ විහාරය තෙරුන් වහන්සේ දොළොස් දහසකින් පිරී පැවතියා. සාමණේර පැවිද්ද ලැබූ තරුණයෙක් මහ තෙරවරුන්ගෙන් කමටහන් ඉල්ලාගෙන භාවනා කළා. තරුණයාගේ පැවිද්දෙන් පසු ඔහුට ‘තිස්ස’ යන නම ලැබුණා. අලුතින් පැවිදි වුණු නිසා උපසම්පදාව ලබා ගත්තේ නෑ.

ටික කලක් වත් පිළිවෙත් පුහුණු වෙන්න අවස්ථාව ලබා දුන්නා. ගෙදරින් වෙන්වෙලා ඉන්න මේ තරුණ භික්ෂූන් වහන්සේට නිතර නිතර නිවැසියන් මතක් වෙන්නත්, සිවුර අත්හැර යන්නත් හිතෙන්න පටන් ගත්තා. ඒත් නැවතත් ගෙදර යන්න ඔහුට බය හිතෙනවා. දවසක් හිත දැඩි කරගෙන මෙහෙම හිතුවා.

‘මම හිස රැවුල් කපන්නේ නැති නිසා, ඒ වගේම සිවුරු පිරිකර අපිළිවෙළකට තියන නිසා, මට එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. හෙට මගේ හිස රැවුල් කපනවා. පාත්‍රය සිවුරු පිළිවෙළකට තබනවා’යි හිතලා පසුදා උදෙන් ම අවදි වුණා. රාති‍්‍රයේ හිතපු විදිහට ම සිවුරු සෝදා වැලට දැම්මා. පාත්‍රය පිරිසුදු කර පිළිවෙළකට තැබුවා. කුටිය ලස්සනට පිළිවෙළකට සකසා ගත්තා.

හිත සංවර කර ගන්න මේ භික්ෂුවට ලොකු වුවමනාවක් තියනවා. එය යටපත් කරමින් සිවුරු හැර යන්නටත් සිතිවිලි පහළ වෙනවා. කටයුතු අවසන් කර උපාධ්‍යායන් වහන්සේ වෙත ගිහින් තෙරුන් වහන්සේට වන්දනා කළා. ඔහුගේ මුහුණේ පෙර තිබුණු ශාන්ත බව, සසුනට ඇති කැමැත්ත ආදිය නැතිවෙලා ගිහින්. බොහෝ දුකට පත් ස්වභාවයක් තමයි දැක ගන්න පුළුවන් වුණේ.

ගුරුවරයා ඔහු දුටු විගස එය දැනගෙන ‘තිස්ස, ඔබ කළකිරීමට පත්වෙලා වගේ පේනවා”යි ප්‍රශ්න කළා.

එවිට තිස්ස තෙරණුවෝ ගුරුවරයා අමතමින් ‘එසේ ය, ගුරුදේවයන් වහන්ස, මම මේ ශාසනයේ කළකිරිලා ඉන්නේ. මට නිතරම ගෙදර මතක් වෙනවා. එය යටපත් කර ගන්න උත්සාහ ගත්තත් එය කර ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ”යි පිළිතුරු දුන්නා. ඒ කතාව අහගෙන හිටිය ගුරුවරයා ‘හොඳයි, ඔබට ශාසනයේ පිළිවෙත් පුරන්නට අපහසු බවක් දැනෙනවා නම්, ඔබ පැවිද්දෙන් ඉවත් වෙලා යන්න. ඒත් යන්න ඉස්සෙල්ලා මට පොඩි උදව්වක් කරලා යන්න.

මං දැන් ගොඩාක් වයසයි. ඉස්සරහට මම ලෙඩ ඇඳටයි වැටෙන්නේ. ආරාමයේ එකම කුටියක්වත් නෑ පහසුකම් තියන. ඔබට පුළුවන් නම් මට හොඳ කුටියක් හදල දීලා යන්න’යි පවසා සිටියා.

තරුණ භික්ෂුන් වහන්සේට දැන් බොහොම සතුටුයි. ‘ගුරු දේවයන් වහන්සේ මට යන්න දුන්නා. උන්වහන්සේගේ ඉල්ලීම මම නොපමාව ඉටු කර දෙන්න ඕන’යි හිතලා

‘ස්වාමිනි, ගුරුදේවයන් වහන්ස, මම ඉතා කැමැත්තෙන් ම ඒ කටයුත්ත බාර ගන්නවා. ඉක්මනින්ම මම කුටියක් හදලා පූජා කරලා යන්නම්’ යි පිළිතුරු දුන්නා.

තරුණ තෙරුන් වහන්සේගේ පිළිතුර අසා සිටි ගුරු තෙරුන් වහන්සේ නැවතත් මෙහෙම කිව්වා. ‘මට බොහොම සතුටුයි, ඔබ වහන්සේ එම කාර්ය කර දෙන්න බාර ගත්ත එක ගැන. කුටියේ වැඩ ඉවර වුණහම ගෙදර යන්න තීරණය කළානේ. ගෙදර ගියහම බණ දහම් අධ්‍යයනය කරන්න ලැබෙන එකක් නෑ.

ඒ නිසා කුටියේ වැඩ කරන ගමන් පුළුවන් හැම වෙලාවක ම ධර්මය අධ්‍යයනය කරන්න. ඒක අත්හැර දාන්න එපා. ආහ්, තව දෙයක් කියන්න තියනවා. කමටහන් ගන්න එකත් අත්හරින්න එපා. ආරාමයේ ඉන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොහොතක් හරි හිත සංවර කර ගත්තොත් ඒක වටිනවා. ඒවා මතක තියාගෙන කුටියේ වැඩ ටික කරල දෙන්න’යි උපදෙස් දුන්නා.

දැන් තරුණ භික්ෂුන් වහන්සේට තවත් සතුටුයි. ලොකු පී‍්‍රතියක් දැනෙන්න පටන් ගත්තා. ගුරු හිමියන්ගේ ඉල්ලීම ඉක්මනින්ම ඉටු කර දෙන්න තීරණය කළා. එදාම සිතුල්පව්ව කන්දට ගොඩවුණා. ලෙන් ගණනාවක් ම පරීක්ෂා කර බැලුවා. වයසට ගිය කෙනකුට වැඩ සිටීමට හැකි ලෙනක් තෝරා ගත්තා. එය වවුලන්ගෙන් හා වෙනත් සතුන්ගේ වාසයෙන් අපිරිසුදු වෙලා. කැලෑවට ගිහින් දර මිටි බැඳගෙනවිත් ලෙනට දමා ගිනි දැල්ලුවා. පසුව අළු සෝදා හැරියා. ගඩොල් ගෙනාවා. ගල්ලෙන වටේටම ගඩොල් අල්ලා බිත්ති බැන්දා. දොර, ජනෙල් තැබුවා. හුණු පිරියම් කළා. කුටිය සමීපයෙන් සක්මන් මළුවක් ද නිර්මාණය කළා. කුටියට අවශ්‍ය කරන ඇඳ, පුටු, මේස ආදියත් ගෙනත් තැබුවා. දැන් අංග සම්පූර්ණ කුටියක්. එය දකින කොට තරුණ භික්ෂුවට ලොකු සතුටක් දැනෙන්න පටන් ගත්තා. තමන් කරපු කාර්ය ගුරුහිමියන්ට කියනතෙක් හා පෙන්වනතෙක් ඉවසුමක් නෑ. වැඩ අවසන් වූ දිනම ගුරුහිමියන් හමුවට ගිහින්.

‘ස්වාමිනි, ඔබ වහන්සේට වැඩ සිටින්න ලස්සන කුටියක් මම සැකසුවා. එහි වැඩම කර වැඩ සිටින්න”යි ආරාධනා කළා.

ඒ අවස්ථාවේ ගුරු හිමියෝ ‘ආයුෂ්මත් තිස්ස, මම බොහොම සතුටුයි ඔබගේ අපමණ කැප කිරීම්වලට. මම ඒ කුටිය බාර ගන්නවා. එහි වැඩ සිටිමින් මගේ භාවනා කටයුතු ආදියත් මම කරනවා. මට ඔබ ගැන දැනෙන්නේ ලොකු සතුටක්. ඒ සතුට තවත් වැඩි වෙනවා මා මේ කියන කටයුත්ත ඔබ විසින් කරතොත්’යි පවසලා මෙහෙම කිව්වා.

“ආයුෂ්මත් තිස්ස, ඔබ දුක සේ තමයි මේ කුටිය කළේ. මම එය මගේ ඇස්වලින් ම දැක්කා. මම කැමතියි ඔබ එක දවසක් අලුත් කුටියේ වැඩ සිටිනවා දකින්න’යි පැවසුවා.

තිස්ස තෙරුන් වහන්සේට ගුරු හිමියන්ගේ ඉල්ලීම ඉවත දාන්න ක්‍රමයක් නැතිව ගියා.

“එසේ ය ස්වාමිනි, මම දවසක් එහි වැඩ වසන්නෙමි”යි පවසා පළමු රාති‍්‍රය ගත කරන්න ගියා.

කුටියේ වැඩ සිටින තිස්ස තෙරුන්ට පුදුම සතුටක් දැනෙන්න පටන් ගත්තා. ‘මම හදපු කුටිය හරිම ලස්සනයි. එහි පළමු රාති‍්‍රය ගත කරන්න ගුරුහිමියෝ අවසරත් ලබා දුන්නා. උන්වහන්සේගේ ගුණ පුදුමයි.’

යනාදි වශයෙන් කල්පනා කරමින් සතුටට පත් වෙන්න පටන් ගත්තා. තමාට ලැබෙන මේ සතුට කාම ලෝකයේ සතුට බවත්, නිවසට ගියත් මෙවැනි ම සතුටක් මිස නිරාමිස සතුටක් නො පැමිණෙන බවත් කල්පනා කර විදසුන් වඩන්න පටන් ගත්තා.

එදින පහන් වන විට තෙරුන් වහන්සේ අර්හත්භාවය ලබා ගැනීමට තරම් වීර්යවන්ත වුණා. ගුරුවරයාගේ සියුම් උපක්‍රම නිසා තරුණ භික්ෂුවක් සංසාර චක්‍රයෙන් ගලවා ගැනීමට සමත් වුණා.

සිත කළකිරීමට පත්වන පුද්ගලයින්ට නැවතත් නිවැරැදි මාර්ගය පෙන්වා දෙන්න නම් උපායශීලි ව බුද්ධිමත් විය යුතු බව මේ කතා පුවතින් අපට පෙන්වා දෙනවා. මේ කතා පුවත සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය අට්ඨ කතාවේ ඒකක නිපාතයේ දෙවැනි වර්ගයේ යි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මේ ආත්මයේ දී ම නිවන් දැකීමට නම් ...

 

කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ

බෞද්ධයාගේ පරමාර්ථය නිවන් දැකීමයි. සසරින් එතෙරවීම හෙවත් සියලු ජාති ජරා මරණාදි සියලු දුක් නැතිකොට නිවන් සාක්ෂාත් කිරීම මතු සම්බුදු සසුනක දී නොව මේ සසුනේ දී ම, මේ ආත්ම භවයේ දී ම කළ යුතු නොවේ දැයි බොහෝ දෙනා විමසන බව පෙනේ.

රාග, දෝස, මෝහා දියෙන් වෙළී ගැලී සිටින පෘථග්ජන පුද්ගලයා එම රාග, දෝස, මෝහයන් සහමුලින් නැසීම කළ යුතු වේ. එබැවින් නිවන් අවබෝධ කිරීම පිණිස සපුරාලිය යුතු කරුණු ගණනාවකි.

පළමුවෙන් නුවණැති විචක්ෂණ පුද්ගලයකු විය යුතු ය. එමෙන්ම සත් පුරුෂයකු විය යුතු ය. එබදු තැනැත්තාට කරුණු පහක් දියුණු කර ගැනීමෙන් මේ ආත්මභවයේ දී ම උතුම් නිවන ලබා ගත හැකි බව බුද්ධ දේශනාවේ සඳහන් වෙයි.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු මහා සිටාණන් සහ අග්‍ර දායිකාව වූ විශාඛා මහ උපාසිකාව අරබයා කළ ධර්ම දේශනාවක දී එම කරුණු පහ මෙසේ වදාළහ.

* ශ්‍රද්ධාව දියුණු කළ යුතු ය
* ශීලය දියුණු කළ යුතු ය
* ප්‍රඥාව දියුණු කළ යුතු ය
* ත්‍යාගය දියුණු කළ යුතු ය
* බහුශ්‍රැතභාවය දියුණු කළ යුතු ය

මේ කරුණු පහ වැඩි දියුණු කළ විචක්ෂණශීලි සත්පුරුෂයා මේ ආත්ම භාවයේ ම තම ජීවිතයේ උතුම් සාරය වන නිවන ලබා ගනියි.

මේ අනුව මේ ආත්මභාවයේ දී ම නිවන සාක්ෂාත් කිරීමට ඉහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි. ඒ කරුණු පහ විමසා බලමු.

සැදැහැ සිත

නව අරහාදී බුදුගුණ, ස්වාක්ඛාතාදී දහම් ගුණ සය, සුප්‍රතිපන්නතාදි සඟගුණ නවය යන සූවිසි මහගුණ ඇදහීම හා කර්මය හා කර්ම ඵලය ඇදහීම ලෙස ශ්‍රද්ධාව හඳුන්වා දී ඇත. තෙරුවන් සරණයාම බෞද්ධ ජීවිතයේ ප්‍රධාන ලක්ෂණයයි. ඔහු අවශ්‍යයෙන් ම බුදුගුණ, දහම් ගුණ සඟ ගුණ හොඳින් දැන ඉගෙන තහවුරු කර ගත යුතු ය. “ රහසත් පව් නොකරන හෙයින් ද, කෙලෙස් අර නැසූ හෙයින් ද, දේව මනුෂ්‍ය බ්‍රහ්මාදීන්ගේ පූජාවන් ලැබීමට සුදුසු වන හෙයින් ද අරහං ගුණය මාගේ බුදුරජාණන් වහන්සේ තුළ පිහිටා ඇත. යනාදී ලෙසින් සුවිසි මහගුණ හැදෑරීමෙන් “ ශ්‍රද්ධා” ගුණය වැඩි දියුණු කර ගත යුතු ය. ශ්‍රද්ධාවන්තයා හඳුනා ගත හැකි ලක්ෂණ 3 කි.

සැදැහැවතුන් ම ඇසුරු කරන්න

සද්ධර්මය ශ්‍රවණය කිරීම හා මසුරු මල දුරු කොට දන් දීම ය.

භික්ෂූන් වහන්සේ වෙත පැමිණ වන්දනා මාන කිරීමෙන් ද, දහම් කරුණු විමසා දැන ගැනීමෙන් ද ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගත හැකිය. එමෙන් ම දානානිසංස සලකා තමන් සතු ධන ධාන්‍යාදිය පරිත්‍යාග කිරීමෙන් ද ශ්‍රද්ධා දී ගුණ ධර්ම වැඩේ. තෙරුවන් ගුණ පිළිබඳ හා කර්මය, කර්මඵල පිළිබඳ හොඳ අවබෝධයක් එමඟින් ලැබෙන බැවිනි.

ආශ්‍රය පුද්ගලයාගේ සිතිවිලි, ක්‍රියා හා අදහස් හැඩගැස්වීමට බලපාන බැවින් ශ්‍රද්ධාව හීන පුද්ගලයන් ආශ්‍රය නොකොට ශ්‍රද්ධාවන්තයන් ම ඇසුරු කිරීම කළ යුතු වෙයි.

කර්මය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ලබා ගැනීම ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. කුසල කර්ම හා අකුසල කර්ම, කුසල විපාක හා අකුසල විපාක ආදිය ධර්මානුකූලව දැනගත යුතු වෙයි.

විචිකිච්ඡා හෙවත් සැකය ශ්‍රද්ධාව දුර්වල කරන බැවින් දහම් පත පොත කියවා හෝ ධර්ම දේශනාවලට සවන් දීමෙන් හෝ ධර්ම සාකච්ඡා මඟින් හෝ නොපැහැදිලි කරුණු විසඳා ගැනීමට උත්සාහ කළ යුතු ය. බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, ජාතක පොත් වහන්සේ රචනා කළේ බෞද්ධයා තුළ ශ්‍රද්ධාව වර්ධනය කිරීමේ අරමුණෙනි. එම නිසා බණ පොත් කියැවීමත්, නිශ්ඵල ප්‍රබන්ධ කියැවීමෙන් වැළකීමෙන් මෙලොව දී ම නිවන් දැකීම අරමුණු කර ගත් ඔබ විසින් කළ යුතු ය.


ශීලය වැඩීම

ශීලය යනු ප්‍රාණඝාතාදි අකුසලයන්ගෙන් වෙන් වීමේ දී හා වත් පිළිවෙත් පිරීමේ දී සිතේ ඇති වන චේතනා දී ධර්මය යි. ශීලය පිළිබඳ ප්‍රභේද රාශියක් ධර්ම ග්‍රන්ථවල විස්තර කර ඇත. ඒ අතුරෙන් චාරිත්‍ර ශීලය හා වාරිත්‍ර ශීලය යන දෙවදැරුම් ශීලය ගැන අවධානය යොමු කරන්නේ නම්, ඉහත විග්‍රහය තවදුරටත් අවබෝධ කර ගත හැක.

චාරිත්‍ර ශීලය නම්, වත් පිළිවෙත් පිරීමයි. මේ දේ මෙසේ කළ යුතු යැයි පිළිගත් සාරධර්ම කඩ නොකොට පිළිපැදීමයි.. පැවිද්දනට පිඬුසිගා යාමේ, බණ දෙසීමේ, ආරාමය තුළ සිටීමේ , විවිධ අවස්ථාවල දී පිළිපැදිය යුතු වත් 14ක් දක්වා ඇත. ගිහියනට ද සමාජය පිළිගත් සත් චාරිත්‍ර අනුගමනය කිරීම චාරිත්‍රශීලය වෙයි. නිවන් අරමුණු කර ගත් පුද්ගලයා තුළ මෙම චාරිත්‍ර හෙවත් ආචාරශීලය අනිවාර්ය වෙයි.

වාරිත්‍ර ශීලය යනු ප්‍රාණඝාතයෙන් වැළකීම ආදි වශයෙන් පංචශීලය යනාදියයි.

මුලින් සඳහන් කළ ශ්‍රද්ධාව ශීලය ආරක්ෂා වීමට හා පිරිසුදු වීමට හා වැඩි දියුණු වීමට මහෝපකාරි වෙයි. එදිනෙදා ජීවිතයේ දී පංචශීලය සමාදන්ව ආරක්ෂා කිරීම ද පොහොය දින අෂ්ටාංග ශීලය හෝ දසශීලය සමාදන්ව පිරිසුදුව ආරක්ෂා කිරීම තුළින් ද ශීලය වැඩි දියුණු කරගත හැකි ය.

නුවණ දියුණු කරමු

“ ප්‍රඥා” ව නම් ඇත්ත ඇති සැටියෙන් දැනීමයි. එනම් තත්වාවබෝධයයි. “ සම්මාදිට්ඨී” යන්නෙන් කියැවෙන්නේ ද ප්‍රඥාාවයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අවබෝධ කර ගත හැක්කේ ප්‍රඥාාවෙනි. නිවන සඳහා ප්‍රඥාාව අත්‍යවශ්‍ය වෙයි. විදර්ශනා ප්‍රඥාාවෙන් මාර්ග ඵලාවබෝධය සිදු වේ.

ප්‍රඥාාව වැඩි දියුණු කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කළ යුතු ය. ධර්ම සාකච්ඡාවල නිතර නිරත විය යුතු ය. එසේම සමථභාවනාව හා විපස්සනා භාවනාව ද ප්‍රගුණ කළ යුතුය.

තමන් සතු වස්තුව පූජාවක් වශයෙන්, අනුග්‍රහයක් වශයෙන්, සංග්‍රහයක් වශයෙන් දීම පරිත්‍යාගයයි. ශ්‍රද්ධාවෙන්ම දන් දිය යුතු ය. යහපත් සේ පිළියෙළ කොට දිය යුතු ය. පොහොය දිනය ආදී සුදුසු කාලයෙහි දිය යුතු ය. දෙන වස්තුවෙහි ආශාව ඉතිරි කර නොගෙන දිය යුතු ය. තම සිතට හෝ අනුන්ගේ සිතකට පීඩාවක් ඇති නොවන සේ දිය යුතු ය. දන් දීමේ විපාකවන ආයු, වර්ණ, සැප, බල ප්‍රඥාා යන අනුසස් දැන, ශක්ති පමණින් නිතර නිතර පිරිසුදු සිතින් දන් දෙමින් නිවන් පිළිවෙත පිරිය යුතු ය.

ඇසූ පිරූ තැන් ඇතිබව

නිතර ධර්ම ශ්‍රවණය කිරීමෙන් බහුශ්‍රැත භාවය ඇති වෙයි. බහුශ්‍රැත භාවය වැඩි දියුණු කිරීම සඳහා නිතර නිතර ධර්ම ග්‍රන්ථ කියවීම, ධර්ම සාකච්ඡාවල නිරත වීම, ධර්ම කොට්ඨාස පාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙසේ සත්පුරුෂ වූ, විචක්ෂණශීලි පුද්ගලයා ශ්‍රද්ධා, ශීල, ප්‍රඥාා, ත්‍යාග, සුඛ යන කරුණු පස වැඩි දියුණු කිරීමෙන් ම අනාථපිණ්ඩික විශාඛාදීන් මෙන් මේ ආත්මභවයේ දීම අමා මහ නිවන් සැපත පැමිණෙනු ඇත.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ වංගීස මහ රහතන් වහන්සේ

වංගීස තෙරුන් වහන්සේ ඇතැම් වේලාවට බුදුන් වහන්සේ හමු වීමට වැඩම කරන්නේ බුදු ගුණ ප්‍රකාශිත ගාථා විසිතුරු ව විචිත්‍රවත් ව සජ්ඣායනා කරමිනි. නිකලෙස් වූ උන්වහන්සේ මෙලෙස බුදු ගුණ ගී ගයන්නේ අවබෝධයෙන් යුතු ව , නොඇළුණු සිතිනි.

ලොවේ ඇති ඉහළම පදවිය සම්බුදු පදවිය යි. ප්‍රථම ධර්ම දේශනාවෙන් පසුව විවිධ අවස්ථාවල දී සම්බුදු සසුනේ පැවිදි ව මහ රහත් වූ භික්ෂු, භික්ෂුණීන්ට අග්‍ර ශ්‍රාවක, ශ්‍රාවිකා තනතුරු ලැබුණේ නිසි ලෙස යි.

මේ පින්වතුන් පෙර සසර භවයන්හි සිට ම තනතුරු ප්‍රාර්ථනා කරමින් සිදු කළ පින් දහම්, වැඩූ කුසල් අපමණ යි. බුදුන් වහන්සේ සම්බුදු නුවණින් එවැනි උත්තමයන් දෙස බලා තනතුරු ප්‍රදානය කළේ කිසිදු අසාධාරණයක් නොවන ලෙසයි. දිනක් ඡුන්න හාමුදුරුවන්, බුදුරදුන්ට මැසිවිලි නැඟුවේ එවැනි තනතුරක් තමාට නොදීම ගැන යි. එහිදී බුදුන් වහන්සේ වදාළේ, ඔබ වහන්සේ එවන් තනතුරක් සසරෙහි පතාගෙන නොපැමිණි බවත්, තනතුරු ප්‍රාර්ථනා කරමින් පින් දහම්, කුසල් නො වැඩු බවත් ය.

ඒ අනුව සම්බුදු සසුනක තනතුරු ලබා ගැනීමට ප්‍රාර්ථනා කර, පින් දහම් කළ තවත් සුවිශේෂී අසූමහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වන්නේ වංගීස මහ රහතන් වහන්සේ යි. උන්වහන්සේ අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂුන් වහන්සේ අතරින් අග්‍ර ය. මේ රහතන් වහන්සේ නිබඳව ම විසිතුරු උපමා, අලංකාර වචන භාවිත කරමින් නොයෙක්, පද සිය දහස් ගණනින් බුදු ගුණ වර්ණනා කරන්නේ විචිත්‍රවත් ලෙස ය. එහෙයින් අවබෝධයෙන් යුතුව වචන කථා කරන භික්ෂුන් අතුරෙන් අග්‍ර වූ උන්වහන්සේගේ සසර මඟ පැතූ එම පදවිය උදෙසා කළ පින් දහම් අපමණ ය.

ඒ කල්ප ලක්ෂයකට පෙර ලොවේ පහළ වු පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ ය. මෙකල වංගිස තෙරුන් වහන්සේ හංසවති නුවර උපත ලැබුවේ එක්තරා ධනවත් කුල පුත්‍රයෙක් ලෙස ය. දිනක් මොහු බුදුන් වහන්සේගෙන් බණ අසමින් සිටිය දී දුටු දසුන විශේෂීත ය. ඒ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂුන් වහන්සේ අතරින් අග්‍ර ලෙස පිහිටුවීම යි. එලෙස ‘මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේ යැ’යි සිතා, සත් දිනක් මුළුල්ලෙහි ම බුදුන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට මහ දන් දුන්නේ සත් දිනක් මුළුල්ලේ ය. මෙලෙස දන් පිදූ මොහු තම අභිප්‍රාය දන්වා සිටියේ දන් පිදූ සත්වන දිනදී ය. පදුමුත්තර බුදුන් වහන්සේ එයට නියත විවරණ ලබා දුන්නේ මොහුගේ පැතුම ගෞතම බුදු සසුනේදී සඵල වන බවට ය.

මෙලෙස දෙව් , මිනිස් ලොව උපත ලබමින් පින් දහම් කළ මොහු සසරේ අවසන් භවයේ දී උපත ලැබුවේ සැවැත් නුවර ය. ඒ බමුණු කුලයක වංගීස නාමයෙනි. ත්‍රිවේදය හොඳීන් ඉගෙන ගත් වංගීස එක්තරා මන්ත්‍රයක් ඉගෙන ගත්තේ තම ආචාර්යවරුන්ගෙනි. ‘ශවශීර්ෂ’ නම් වූ මෙම මන්ත්‍රයේ ස්වභාවය වන්නේ මිය ගිය අය උපත ලැබූ ස්ථානය පැවසීමට සමත් වීම ය. මේ සඳහා ඔවුන් උපන් තැන පවසන්නේ මිනිස් හිස් කබළට නිය පිටින් පහරක් ගසා ය.

වංගීසගේ මව් පියන් ද මොහු ගමින් ගමට, ජනපදයෙන් ජනපදයට ගෙන ගියේ රතු සළුවකින් සරසවා, රතු තිර අදින ලද යානාවක හිඳුවා ගනිමිනි. ඒ තමන්ගේ මළ නෑයන් උපන් තැන අසා දැනගන්නා ලෙසට ප්‍රකට කරමිනි. ඒ සඳහා මොහුට කහවුණු ද අපමණ වස්තූන් ද ලැබෙන්නේ දහස් ගණනින් ය. ඇතැමුන්, මොහුට හිස් කබල් ලබා දී විචාරන්නේ තම නෑයන් උපන් ස්ථානය යි. වංගීස මාණවකයා ද එම හිස් කබල්වලට නිය පිටින් ගසා මොවුන් උපන්නේ දෙව්ලොව ය, තිරිසන් ලොව ය, මනුලොව ය යනුවෙන් පවසන්නේ අසන්නන් මවිත කරවන ලෙස ය.

දිනක් යම් පිරිසක් සැවැත්නුවර ජේතවනාරාමයට නික්ම ගියේ බුදුන් වහන්සේගෙන් බණ අසන්නට ය. එහිදී වංගීස ඇතුළු පිරිස සැරසුණේ මන්ත්‍රය උපයෝගී කර ගනිමින් බණ ඇසීමට සූදානම් වන පිරිසගේ ඥාතීන් මිය ගිය තැන පැවසීමට ය. ඒ සඳහා වංගීසගේ අනුගාමික පිරිස පැවසුවේ ‘තොපට බණ ඇසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? යනුවෙනි.

මේ වංගීස ඉතා දක්ෂ ය. ඔහු මළ මිනිසුන් උපන් තැන පවසන්නේ විශ්මිත ලෙස යි. ‘ඒ නිසා නුඹලාගේ නෑදෑයන් උපන් තැන ද මොහුගෙන් විචාරන්නැ’යි’ පැවසුව ද ඒ උත්සාහය ව්‍යාර්ථ ව ගියේ එක්තරා වාදයක් ආරම්භ වෙමිනි.

බණ අසන්නට සූදානම් වූ පිරිස පැවසුවේ ‘වංගීසයෝ දන්නේ, නෑයන් උපන් තැන පමණක් බවත්, එහෙත් අසම සම බුදුන් වහන්සේගේ ඥානය එලෙස සීමා නොවන බවත් ය. උන්වහන්සේ, මළ මිනිසුන් උපන් තැන පමණක් නොව, ඔවුන් ඉපදීමට හේතු වූ කර්මශක්තිය ද පෙන්වා දෙන අයුරු විශිෂ්ට ය. එසේනම්, වඩා උසස් බුදුන් වහන්සේ ද? නැතහොත් වංගීස ද යනුවෙන් පවසා දෙපිරිසම පැමිණියේ බුදුන් වහන්සේ හමුවට ය.

එය සම්බුදු ඥානයෙන් දුටු අමා මෑණී බුදු පියාණන් වහන්සේ ඍද්ධියෙන් මවා පෙන්වූයේ හිස් කබල් පහක් ය. ඒ නරකය, තිරිසන් ලෝකය, මිනිස් ලොව, දෙව්ලොව‍ , රහතන් වහන්සේ නමකගේ හිස් කබලක් ය. එය දුටු වංගිස මාණවකයා මුලින් සඳහන් කළ හිස් කබල් සතර ගැන පැවසුවේ නිවැරැදි ලෙස ය. එහෙත් රහතන් වහන්සේගේ හිස් කබල දැක්වූ විට ඔහු නිහඬව සිටියේ ඒ ගැන යමක් පැවසීමට අසීරුවෙනි. එහි දී බුදුන් වහන්සේ වදාළේ, ‘වංගීසයෙනි, ඒ හිස ඇත්තවුන් උපන් තැන නුඹ නොදැන සිටියත් මම එය දනිමි’යි යනුවෙනි.

එහිදී වංගීස එම මන්ත්‍රය බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ‘ඔබ වහන්සේ දන්නා ඒ මන්ත්‍රය මට ලබා දෙන’ ලෙස යි. එහි දී බුදුන් වහන්සේ , වංගීස අමතා වදාළේ, මන්ත්‍රය ලබා දීමට තම සසුනේ පැවිදි විය යුතු බව යි.

මෙලෙස මන්ත්‍රය ලබා ගැනීමේ ආශාවෙන් පැවිදි වූ වංගීස තෙරණුවන්ගේ ප්‍රඥාව අවධි වූයේ නොබෝ කලකිනි. ඒ විදර්ශනා වඩා රහත් වීමෙන් පසුව යි. එහෙත් ඒ බව නොදැන සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේ, බුදුන් වහන්සේ හමුවී පැවසුවේ, වංගීස රහත් නොවී තමා රහතන් වහන්සේ නමක් බව හඟවන බව යි. එහි දී බුදුන් වහන්සේ භික්ෂු පිරිස අමතමින් වදාළේ, ‘මහණෙනි, දැන් මාගේ පුත්‍ර වංගීස ‘චුති ප්‍රතිසන්ධි’ දන්නා රහතන් වහන්සේ නමක් ය යනුවෙනි.

මෙලෙස රහත් වූ වංගීස තෙරුන් වහන්සේ ඇතැම් වේලාවට බුදුන් වහන්සේ හමු වීමට වැඩම කරන්නේ බුදු ගුණ ප්‍රකාශිත ගාථා විසිතුරු ව විචිත්‍රවත් ව සජ්ඣායනා කරමිනි. නිකලෙස් වූ උන්වහන්සේ මෙලෙස බුදු ගුණ ගී ගයන්නේ අවබෝධයෙන් යුතු ව , නොඇළුණු සිතිනි. ඒ නිසා වංගීස මහ රහතන් වහන්සේට බුදුන් වහන්සේ දුන් තනතුර වන්නේ ‘ශාසනයෙහි අවබෝධයෙන් යුතුව කථා කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානයෙහි පිහිටුවී ම යි.

ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේ ද සඳහන් වූ මේ දේශනාව අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ඵල ලැබුවේ භාග්‍යවත් ලෙස ය. එහි සඳහන් සේ සත්ත්වයන්ගේ චුතිය, උත්පත්තිය ආදී සෑම දෙයක්ම දනී ද, කිසිවක නොඇලුණා වූ සිත් ඇති මහා ගති ඇති චතුර්විධ සත්‍ය අවබෝධ කළ ඔහු බ්‍රාහ්මණයෙක් ය. යමෙකුගේ අභ්‍යන්තර ස්වභාවය දෙවියෝ හා මිනිසුන් නොදනිත් ද, සිඳුණු ආශ්‍රව ඇති පිදුමට සුදුසු වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙක් ය යනුවෙනි.

ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් අග තනතුරු ලැබූ ඛේමා රහත් තෙරණින් වහන්සේ

 මීට කල්ප බොහෝ ගණනකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ කාලයේ හංසවතී නුවර මහත් ධන සම්පත් ඇති සිටු පවුලක පින්වන්ත දියණියක් ව ඇය උපන්නා.

තරුණ වියට එළැඹි පසු ඇය නිතර නිතර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ධර්මය ඇසුවා. තෙරුවන් සරණ ගියා. දිනක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පිණිස ආරාධනා කොට දින හතක් මහත් වූ ප්‍රණීත දානයක් සකසා පූජා කළා. සත්වන දින දානය අවසානයේ දී ප්‍රාර්ථනාවක් කළා.

ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම මතු බුදු සසුනක ප්‍රඥාවන්ත භික්ෂුණියන් අතරින් අගතනතුරු ලබම්වා! කියා.

අනාගතය දෙස බැලූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ "දියණියනි, මේ ලෝකයට බොහෝ කලකට පසු ගෞතම නමින් පහළවන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඔබ ප්‍රඥාවන්ත භික්ෂුණියන් අතරින් අග තනතුරු ලබනවා" යැයි විවිරණ ලබා දුන්නා. එදින සිට බොහෝ පින්දහම් කළ ඇය මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නා. ඉන් පසු යාම දිව්‍ය ලෝකයේ ද, තුසිතයෙහි ද, නිම්මානරතියෙහි ද, පරනිම්මිත දිව්‍ය ලෝකයේ ද උපත ලැබුවා. එදා කළ පින් මහිමයෙන් ඒ දෙවඟන සියලු දෙව් ලෝකවල මහේශාක්‍ය ව වාසය කළා. මිනිස් ලොව ආ විට සක්විති රජවරුන්ගේ ද ,මාණ්ඩලික රජුන්ගේ ද අගමෙහෙසිය වීමට තරම් ඇගේ පින බලවත් වුණා.

කාලයකට පසු මේ ලෝකයට විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේගෙන් ධර්මය අසා ඒ ශාසනයේ
ඇය පැවිදි වුණා. වසර දස දහසක් බඹසර හැසිරී බහුශ්‍රැත ව බුදුරදුන්ගේ අනුශාසනා පිළිපදිමින් නිපුණ ධර්ම කථිකාවක් ව සිටියා. ඒ ජීවිතයෙන් පසු එතුමිය නැවත තුසිත දෙව්ලොව උපන්නා. යම් භවයක උපන්නා ද ඒ හැම භවයක දී ම මහත් ධනය ලැබුණා. නැණවත් වුණා. රූපයෙන් අගතැන් වුණා. බොහෝ පිරිවර ජනයා සිටියා.

ඒ භද්‍ර කල්පයේ ම බන්ධුමති නුවර කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. එකල්හි ද ඇය බරණැස් නුවර මහ ධනවත් පවුලක උපන්නා. එහිදී ද බොහෝ පින්දහම් කොට නැවත දෙව්ලොව උපන්නා.

කස්සප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ බරණැස් නුවර කසීරාජ උන්වහන්සේගේ ප්‍රධාන උපස්ථායක වුණා. ඇය ඒ පවුලේ වැඩමහල් දියණිය ලෙස උපන්නා. ඒ ජීවිතයේ දී ද මහත් වූ පින්දහම් කර මරණින් මතු නැවත දෙව්ලොව උපන්නා.

ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ඇය නැවතත් මිනිස් ලොව උපන්නා. සුන්දර රූප සම්පත්තියක් තිබූ ඇයට ඛේමා යන නාමය ලැබුණා. තරුණ වියට පත් ඇය බිම්බිසාර රජුට අවාහ කර දුන්නා. බුදුරජාණන් වහන්සේ හමුවීමට ඇය කවදාවත් ගියේ නැහැ. ඒ උන්වහන්සේ රූපයට දොස් කියනවා කියා ඇය අසා තිබුණ නිසයි. නමුත් බිම්බිසාර රජු ඇය කෙරෙහි අනුකම්පා‍‍වෙන් බුදුරදුන්ගේ ගුණ කියමින් උන්වහන්සේ වෙත රැගෙන යාමට උත්සාහ‍‍ කළ ද ඛේමා බිසව කෙදිනකවත් එයට එකඟ වූයේ නැහැ.

දිනක් බිම්බිසාර රජු ඇය ව බුදුරදුන් වෙත යැවීමට උපායක් යෙදුවා. වේළුවනයේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දවසක වේළුවන උයන ගැන ගායකයන් ලවා ඛේමා බිසවට ඇසෙන්නට වර්ණනා කළා.

"වේළුවනය සහිත විහාරය නො දුටු තැනැත්තෙකු නන්දන වනය ද දැක නැත,

යමෙකු බුදුන් වහන්සේ වැඩ සිටින වේළුවනය දැක ඇද්ද හෙතෙම ශක්‍රයාගේ නන්දන වනය ද දුටුවා වැනි ය, දෙවිවරු ද, නඳුන් උයන අතහැර පොළෝ තලයට බැස මනහර වේළුවනය දැක පුදුම වෙයි."ආදී ලෙස වර්ණනා කරද්දී ඇයට වේළුවන උයන බැලීමට ආශාවක් උපන්නා. ඒ නිසා ඇය වේළුවන උයන බැලීමට රජුගෙන් අවසර ඉල්ලා සිටියා. රජතුමා බොහෝ සතුටට පත්ව පිරිවර සහිත ව උයන බැලීමට ඇය පිටත් කළා.

නොයෙක් වෘක්ෂයෝ ද, මනහර වූ කොවුල් නාදය ද, මොණරුන්ගේ නොයෙක් රැඟුම් ද ඇගේ සිත වශී කළා. මහජනයාගෙන් තොර නිසා එහි තිබුණේ නිශ්ශබ්දතාවයක්. කුටි සෙනසුන් හැම තැනම ඉදිවී තිබුණා. සන්සුන් ඉරියව් ඇති තරුණ භික්ෂූන් වහන්සේ භාවනා කරනවා ඇය දුටුවා. නව යොවුන් වියේ සිටි, බොහෝ ප්‍රියමනාප ඉඳුරන් ඇති තරුණයෙක් හිස මුඬු කොට සිවුරු පොරවා ගසක් මුල භාවනා කරන අයුරු ඛේමා දුටුවා.

ගිහියකු රිසි සේ කම්සුව විඳ වයසට ගියාට පසුව නේද මෙසේ පිළිවෙත් පිරිය යුත්තේ? ඛේමා තමාගෙන් ම විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ පිරිසට දම් දෙසමින් වැඩ සිටියේ. උන්වහන්සේ සමීපයේ එක් කාන්තාවක් පවන් සළමින් සිටියා. ඉතා රූමත් ඇය දෙස ඛේමා ඇසිපිය නො හෙළා බලා සිටියා. රත් පැහැති මලක් මෙන් පියකරු මුහුණක් ඇති, දීප්තිමත්ව බැබළෙන ඇස් ඇති, දුටු දුටුවන්ගේ සිත් වශී කරන ඒ කාන්තාව දෙස බලා අනේ මෙතරම් ලස්සන රූපයක් මම කිසි දිනෙක දැක නැහැ. මටත් වඩා ඉතා ලස්සන කාන්තාවක් මැය නම් යැයි ඛේමාට සිතුණා. ටිකෙන් ටික ඒ රූපය ජරාවට පත්වන අයුරු ඇය දුටුවා. සම රැළි වැටුණු, දත් වැටුණු, හිස කෙස් සුදු වූ හැකළුණු කන් ඇති, ලොකු ඇස් ඇති සිරුර පුරා ඉලිප්පි ගිය නහර ඇති, නැමුණු සිරුරින් යුතු ඇය ටිකෙන් ටික පොළොවට පතිත වන අයුරු පෙනෙන සේ භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියක් පෑවා. ඒ දෙස ඛේමා නුවණින් බලා සිටියා. ඇයගේ සිත සංවේගයට පත්වනු දුටු මහා කාරුණිකයන් වහන්සේ මෙසේ වදාළා.

"පින්වත් ඛේමා, රෝගි වූ, අපවිත්‍ර වූ, කුණු වූ, වැගිරෙන්නා වූ, මෝඩයන් ඇලුම් කරවන මේ සිරුර දෙස බලන්න. මනාව පිහිටුවා ගන්නා ලද එකඟ වූ සිතින් අශුභ භාවනාවට සිත යොමු කරන්න. කායගතාසතිය වඩන්න. කළකිරීම් බහුල කොට ගන්න. ඇය යම් සේ ද, ඔබත් එසේම යි. බාහිර වූ ශරීරයෙන් ආශාව දුරු කරන්න. මනස තේරුම් ගැනීමෙන් සන්සුන්ව හැසිරෙන්න. රාගයෙන් ඇලුණා වූ සත්ත්වයන් තමා විසින් වියන ලද දැලට වැටෙන මකුළුවකු මෙන් දිය පහරට වැටෙනවා. නුවණැත්තෝ කම්සැප අතහැර ඒවා සිඳ බිඳ දමා නික්ම යනවා" යැයි වදාළ සේක. පෙර පින් ඇති ඛේමාවෝ ධර්ම දේශනාව අවසානයේ දී මාර්ගඵල අවබෝධ කර ගත්තා. එතුමිය බුදුරජාණන් වහන්සේ දෙපා මුල වැඳ වැටෙමින් මෙසේ කියා සිටියා.

භාග්‍යවතුන් වහන්ස, දහම දක්නා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාරය වේවා! සසර ඉක්ම වූ, අන් අයට අමාසුව ගෙන දෙන ඔබ වහන්සේට නමක්නාර වේවා! ආදී නන් අයුරින් බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ ඇය මාළිගය වෙත ගොස් රජුට මෙසේ කියා සිටියා.

"රජතුමනි, ඔබ බුදු සසුනේ පැහැදී සිටිනවා නේද? රූපය කෙරෙහි කළකිරුණු මම ඒ ශාසනයේ පැවිදි වීමට කැමැතියි."

මහරජු ඉතාමත් ප්‍රීතියට පත්ව ඇයට ඒ සඳහා අවසර දුන්නා. පැවිදි වූ ඇය අඩ මසක් යාමටත් මත්තෙන් පහන් දැල්ලක භාවය හා අභාවය දැක සියලු සංස්කාරයන්හි අනිත්‍ය බව නුවණින් දැක රහත්ඵලයට පත්වුණා.

භික්ෂුන් වහන්සේලාට අගතනතුරු පිරි නමද්දී "ප්‍රඥාවන්තයන් අතරින් ඛේමා භික්ෂුණිය අගතනතුරු ලබන්නීය" කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

දිනක් ගසක් මුල භාවනා යෝගීව සිටින විට මාරයා තරුණයකුගේ වෙස් ගෙන ඇය වෙත පැමිණ මෙසේ කියා සිටියා.

"ඛේමා, ඔබ තවම තරුණ වියේ පසු වන්නේ. ඉතා රූමත්. මමත් කඩවසම් තරුණයෙක්. එන්න අපි කම්සුව විඳීමු. "එය ඇසු ඕ තෝමෝ ඒ මාරයා බව දැන තමන් මාර ග්‍රහණයෙන් මිදුණු බව දක්වමින් මෙසේ වදාළ සේක.

* මාරය, නිතර රෝග හටගන්නා, වහා බිඳීයන මේ කුණු ශරීරය ගැන මම පිළිකුළෙන් ඉන්නේ. මම කාම තණ්හාවේ මුල පවා සිඳ දමලයි ඉන්නේ.

* සියලු ආශාවන් සිඳ දැමූ මට පංච උපාදානස්කන්ධය කියන්නේ මස් වැදැල්ලක් වගේ. ඔබ කියන ඔය කාම රතියේ සැපයක් මට නැහැ.

* මෝඩ ජනයා ග්‍රහයන්ට නමස්කාර කරමින්, වනයේ ගිනි දෙවි පුදමින් සත්‍ය ‍නො දැ‍න පිරිසුදු බව සොයනවා.

* නමුත් මම වන්දනා කරන්නේ ඒ ශ්‍රේෂඨ වූ බුදුරදුන්ට යි. බුදුරජාණන් වහන්සේගේ ඔවදන් පිළිපදිමින් මම සියලු දුකෙන් නිදහස් වූ කෙනෙක්.

සතිය පිහිටුවිය යුත්තේ මේ මොහොත තුළ ය

වියපත් වූ පසුව පින් දහම් කළ යුතු යැයි බෞද්ධයන් දුකට වහ වහා පිළියම් යෙදිය යුතු ව තිබිය දී, එබඳු මතයක් ගොඩනැඟුණේ කෙසේ දැයි නො දනිමු. සතිය හෙවත් සිහිය පවත්වාගත යුතු වන්නේ මේ මොහොත තුළ දී නම්, සතියෙහි පිහිටා කෙලෙස් ප්‍රහාණය කිරීමට වියපත් වන තෙක්සිටීම මඟින් ගම්‍ය වන්නේ නිර්මල බුදු දහම තුළ යථාර්ථවාදී නො වීම ය. නොඑසේ නම්, දහම තුළ නො හැසිරීම ය. දහමට අනුව නො ගොස් අන්ධ වූ පිළිවෙත් අනුගමනය කරමින්, තමන් ද සසරේ අතරමං වන අතර, සෙසු අයට ද, එබඳු ඉරණමක් අත් කර දීම තරම් ව්‍යසනයක් තවත් තිබිය අරමුණ මුල් කරගෙන සකස් වන ස්කන්ධ ක්‍රියාවලිය සිදු ජනිත වන කුසලාකුසල කර්ම රැස් කිරීම හෝ අස් කිරීම හෝ කළ හැකි වන්නේ ද, මේ මොහොත තුළ දී ම ය. මේ සඳහා කළ යුත්තේ සතියෙන් යුතු ව අරමුණ තුළින් පහළ වන සංඥා, ප්‍රඥාව මෙහෙයවමින් අවබෝධ කරගැනීම ය. සතිය තුළින් ලබන අවබෝධය අවශ්‍ය වන්නේ සසර පැවැත්මට සමුදය වන කෙලෙස් වර්ධනය කිරීමට නො ව, සංසාර විමුක්තිය අරමුණු කරගත් කෙලෙස් ඉපදීම වැළැක්වීම හෝ ප්‍රහාණය කිරීමට ය. කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා දින වකවානු යොදාගැනීම යනු 

ප්‍රමාදයයි. කල් නො යවා මේ මොහොත තුළ දී ම සිදු කිරීම අප්‍රමාදයයි. අප්‍රමාදය යනු මේ මොහොත හෙවත් වර්තමානය තුළ හැසිරීමයි. මේ පිළිබඳව තාර්කික ව විමසා බැලී මේ දී එය මැනැවින ් අවබෝ ධකරගත හැකි ය. ඒ අනුව ඊයේ අනාගතය අද වර්තමානය වී, ඊයේ වර්තමානය අද අතීතයට එක් වී ඇත. එමෙන් ම අද වර්තමානය හෙට අතීතය වී, අද අනාගතය හෙට වර්තමානය බවට පත් වනු ඇත. එය එසේ නම්, අප ජීවත් වන්නේ අතීතයේ වත් අනාගතයේ වත් නො ව, වර්තමානය හෙවත් මේ මොහොත තුළ පමණි. අපට අතීතයේ වත්, අනාගතයේ වත්, ජීවත් වීමට නොහැකි වී ඇත. මේ අනුව සතිය පිහිටුවිය යුත්තේ සත්ත්වයා සසරට බැඳ තබන හෝ ඉන් මුදවන හෝ මේ මොහොත තුළ පමණි. වර්තමානය හෙවත් මේ මොහොත තුළ සතිය පවත්වන විට අතීත හෝ අනාගත හෝ සිතිවිලි පහළ වීමට ඉඩක් නැති බැවින්, වෙනත් අරමුණු ඔස්සේ ඇති වන සැප හෝ දුක් හෝ වේදනාවන් තුළින් සකස් වන කෙලෙස් ඇති වීම වැළකී යන අතර, මේ මොහොත තුළ සතිය පිහිටුවීම නිසා 

කුසල් රැස් කිරීමක් ද කළ හැකි වනු ඇත. ය. සත්‍යය දැකීම යනු දහම දැකීම ය. දහම දැකීම යනු බුදුන් දැකීම ය. ගෙවුණු අතීතයේ හෝ නො ලැබූ අනාගතයේ දී හෝ සත්‍යය දැකිය නොහැකි ය. සත්‍යය දැකිය හැක්කේ මේ මොහොත හෙවත් වර්තමානය තුළ දී පමණ ය. වර්තමානය තුළ සතිය නො පිහිටීම යනු සත්‍යය නො දැකීම ය. දහම් නො දැකීම ය. බුදුන් නො දැකීම ය. දැකීම හේතුවෙන් දුක පිළිබඳ අවබෝධය ද ලැබිය නොහැකි ය. දහම තුළ නො හැසිරීම නිසා ධර්මය තුළින් ලබා දෙන රැකවරණය ද අහිමි වී යයි. බෞද්ධයන් යැයි කියා ගන්නා ඇතැම් අය සිදු කරන්නේ, මේ මොහොත තුළ හටගන්නා වූ කෙලෙස් මේ මොහොත තුළ දී ම ප්‍රහාණය කළ හැකි ව තිබිය දී, ඒ සඳහා කටයුතු නො කර, අතීතයේ සිදු කළ දේ, අනාගතයේ දී අපේක්‍ෂා කරන දේ පිළිබඳව මනෝ සංචේතනා පහළ කිරීම ය. එය ලෝභ, ද්වේෂ, මෝහ මෙන්ම පසුතැවිල්ල ද ඇති කර, සංඛාර භවගමන අඛණ්ඩ ව පවත්වාගෙන යෑමට කටයුතු කිරීම ය. මේ අවාසනාවන්ත තත්ත්වය පැහැදිලි නො වීම නිසා නිමක් නැති සසර ගමනකට ඔවුහු ඇද වැටෙති. අඳුරෙන් අඳුරට ගමන් කරති. නි ර්මල බු දුදහම තු ළි න් ,පටිච්ච සමු ප් පන් නව සත් ත් වයාගේ භව ගමන සකස් වන ආකාරයත්, ඉන් ජනිත වන දුක්ඛ ස්කන්ධය, දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් පෙන්වා දෙන බුදුපියාණන් වහන්සේ එළඹෙන මොහොත තුළ ඉන් මිදෙන ආකාරයත් ඒ සඳහා පැහැදිලි මඟක් ලෙස ප්‍රඥා, ශීල, සමාධි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් දේශනා කර තිබිය දී තවමත් මඟ වරදාගෙන අදූරදර්ශී ගමනක යෙදෙන බවක් පෙනෙන්නට ඇත. මේ මොහොත තුළ දී උපදින ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය 

කරමින් අලෝභ, අදෝෂ, අමෝහ, කුසල් සිත් වඩා, නිවන් මඟ සාක්‍ෂාත් කරනු වෙනුවට මල්, පහන්, දන්, පැන් පමණක් පිදූ පමණින් නිවන් අවබෝධ කරගත හැකි යැයි සිතන මානසිකත්වයෙන් තවමත් මිදී නැත. ආමිස පූජාවන් සිදු නො කළ යුතු යැයි නො කියමු. එකී පුණ්‍ය ඵලය යහපත් වටපිටාවක් නිර්මාණය කරමින්, සසර සැරිසැරීමට හේතු වනු විනා, බොදුනුවන්ගේ අවසන් පැතුම වන, බුදුපියාණන් වදාළ පරිදි කෙලෙස් ප්‍රහාණය කර නිවන් මඟ සාක්ෂාත් කරගැනීමට හේතු නො වන බව වටහාගත යුතු ව ඇත.

කළ යුත්තේ ආමිෂ පූජාවන් සිදු කරන අතර, ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් භෞතික සම්පත් හඹා යන සම්මුති ලෝකය තුළ ඇති වස්තු කාම, ක්ලේශ කාම, සමුච්ඡේද වශයෙන් ප්‍රහානය කිරීම සඳහා මානසික සංවර්ධනයක් කරා යෑමයි. මෙය කළ හැකි එක ම මඟ එළඹෙන මොහොතයි . සසර ගමනට කර්ම රැස් කරන්නේ මේ මොහොත තුළයි. ක්‍ෂණික ආවේගවලට පිළියම් කළ හැකි වන්නේ ද, මේ මොහොත තුළයි. සතියෙහි නො පිහිටීමෙන් ලෞකික වශයෙන් මේ මොහොත තුළ දී ඇති වන ආවේගශීලී සිතිවිලි පාලනය නො වී, කෙළවර වන්නේ බොහෝ විට ප්‍රස්තුත කරුණ බෙහෙවින් දුරස් වූ අදාළ නො වන ඉසව්වක් කරා ගමන් කරමිනි. ඒ ක්‍ෂණික තීන්දු තීරණ බොහෝ විට නිවැරැදි නො වී, සත්‍යයෙන් බැහැර වන බැවිනි. ඒ අනුව සතියෙන් යුතු ව, එළඹෙන 

මොහොතට මුහුණ දීම ලෞකික වශයෙන් සම්මුති ලෝකය තුළ ඇති වන ගැටලුවලට ද සාර්ථක පිළියමක් වන අතර, සංසාර විමුක්තිය සඳහා විසඳුමක් ලබා දෙන එක ම මඟ ය. එසේ නම්, අප කළ යුත්තේ එළඹෙන මොහොතට සතියෙන් යුතු ව මුහුණ දී අරමුණු හරහා එන පංචස්කන්ධ ක්‍රියාවලිය තුළින් සසර බැඳ තබන අකුසල් මූලයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම සඳහා ක්‍රියා කිරීමයි. එළඹෙන මේ මොහොත සතියෙහි පිහිටුවන කෙනකුට වර්තමානය යනු කුසල් ය. අගති යෙන් සිටීනම් රැස් වන්නෙනේ අකුසල් ය. අතීත, අනාගත, අන්තවලට නො වැටී වර්තමානය හෙවත් මේ මොහොත තුළ දීත් නො බැඳී සිටී නම්, සසර ගමනට හේතු වන කර්ම සකස් නො වේ. කර්ම සකස් වීම යනු සසර ගමනට හේතු ඉතිරි වීමයි. බව ගමන නිම කිරීම යනු කර්ම සකස් වන මේ මොහොත තුළ සතිය පිහිටුවීමෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම ය. එසේ නොමැතිව, අතීත, අනාගත, සිතුවිලි අතර, අතරමං වී එළඹුණු මොහොත තුළ අනවබෝධයෙන් කටයුතු කරන්නේ නම්, උරුම වන්නේ නිමක් නැති සසර ගමනක අතරමං වීම පමණකි.

දිවයින බොදුමඟ 2020.මැයි 7


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online