වංගීස තෙරුන් වහන්සේ ඇතැම් වේලාවට බුදුන් වහන්සේ හමු වීමට වැඩම කරන්නේ බුදු ගුණ ප්‍රකාශිත ගාථා විසිතුරු ව විචිත්‍රවත් ව සජ්ඣායනා කරමිනි. නිකලෙස් වූ උන්වහන්සේ මෙලෙස බුදු ගුණ ගී ගයන්නේ අවබෝධයෙන් යුතු ව , නොඇළුණු සිතිනි.
ලොවේ ඇති ඉහළම පදවිය සම්බුදු පදවිය යි. ප්‍රථම ධර්ම දේශනාවෙන් පසුව විවිධ අවස්ථාවල දී සම්බුදු සසුනේ පැවිදි ව මහ රහත් වූ භික්ෂු, භික්ෂුණීන්ට අග්‍ර ශ්‍රාවක, ශ්‍රාවිකා තනතුරු ලැබුණේ නිසි ලෙස යි.
මේ පින්වතුන් පෙර සසර භවයන්හි සිට ම තනතුරු ප්‍රාර්ථනා කරමින් සිදු කළ පින් දහම්, වැඩූ කුසල් අපමණ යි. බුදුන් වහන්සේ සම්බුදු නුවණින් එවැනි උත්තමයන් දෙස බලා තනතුරු ප්‍රදානය කළේ කිසිදු අසාධාරණයක් නොවන ලෙසයි. දිනක් ඡුන්න හාමුදුරුවන්, බුදුරදුන්ට මැසිවිලි නැඟුවේ එවැනි තනතුරක් තමාට නොදීම ගැන යි. එහිදී බුදුන් වහන්සේ වදාළේ, ඔබ වහන්සේ එවන් තනතුරක් සසරෙහි පතාගෙන නොපැමිණි බවත්, තනතුරු ප්‍රාර්ථනා කරමින් පින් දහම්, කුසල් නො වැඩු බවත් ය.
ඒ කල්ප ලක්ෂයකට පෙර ලොවේ පහළ වු පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ ය. මෙකල වංගිස තෙරුන් වහන්සේ හංසවති නුවර උපත ලැබුවේ එක්තරා ධනවත් කුල පුත්‍රයෙක් ලෙස ය. දිනක් මොහු බුදුන් වහන්සේගෙන් බණ අසමින් සිටිය දී දුටු දසුන විශේෂීත ය. ඒ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂුන් වහන්සේ අතරින් අග්‍ර ලෙස පිහිටුවීම යි. එලෙස ‘මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේ යැ’යි සිතා, සත් දිනක් මුළුල්ලෙහි ම බුදුන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට මහ දන් දුන්නේ සත් දිනක් මුළුල්ලේ ය. මෙලෙස දන් පිදූ මොහු තම අභිප්‍රාය දන්වා සිටියේ දන් පිදූ සත්වන දිනදී ය. පදුමුත්තර බුදුන් වහන්සේ එයට නියත විවරණ ලබා දුන්නේ මොහුගේ පැතුම ගෞතම බුදු සසුනේදී සඵල වන බවට ය.
මෙලෙස දෙව් , මිනිස් ලොව උපත ලබමින් පින් දහම් කළ මොහු සසරේ අවසන් භවයේ දී උපත ලැබුවේ සැවැත් නුවර ය. ඒ බමුණු කුලයක වංගීස නාමයෙනි. ත්‍රිවේදය හොඳීන් ඉගෙන ගත් වංගීස එක්තරා මන්ත්‍රයක් ඉගෙන ගත්තේ තම ආචාර්යවරුන්ගෙනි. ‘ශවශීර්ෂ’ නම් වූ මෙම මන්ත්‍රයේ ස්වභාවය වන්නේ මිය ගිය අය උපත ලැබූ ස්ථානය පැවසීමට සමත් වීම ය. මේ සඳහා ඔවුන් උපන් තැන පවසන්නේ මිනිස් හිස් කබළට නිය පිටින් පහරක් ගසා ය.
වංගීසගේ මව් පියන් ද මොහු ගමින් ගමට, ජනපදයෙන් ජනපදයට ගෙන ගියේ රතු සළුවකින් සරසවා, රතු තිර අදින ලද යානාවක හිඳුවා ගනිමිනි. ඒ තමන්ගේ මළ නෑයන් උපන් තැන අසා දැනගන්නා ලෙසට ප්‍රකට කරමිනි. ඒ සඳහා මොහුට කහවුණු ද අපමණ වස්තූන් ද ලැබෙන්නේ දහස් ගණනින් ය. ඇතැමුන්, මොහුට හිස් කබල් ලබා දී විචාරන්නේ තම නෑයන් උපන් ස්ථානය යි. වංගීස මාණවකයා ද එම හිස් කබල්වලට නිය පිටින් ගසා මොවුන් උපන්නේ දෙව්ලොව ය, තිරිසන් ලොව ය, මනුලොව ය යනුවෙන් පවසන්නේ අසන්නන් මවිත කරවන ලෙස ය.
දිනක් යම් පිරිසක් සැවැත්නුවර ජේතවනාරාමයට නික්ම ගියේ බුදුන් වහන්සේගෙන් බණ අසන්නට ය. එහිදී වංගීස ඇතුළු පිරිස සැරසුණේ මන්ත්‍රය උපයෝගී කර ගනිමින් බණ ඇසීමට සූදානම් වන පිරිසගේ ඥාතීන් මිය ගිය තැන පැවසීමට ය. ඒ සඳහා වංගීසගේ අනුගාමික පිරිස පැවසුවේ ‘තොපට බණ ඇසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? යනුවෙනි.
මේ වංගීස ඉතා දක්ෂ ය. ඔහු මළ මිනිසුන් උපන් තැන පවසන්නේ විශ්මිත ලෙස යි. ‘ඒ නිසා නුඹලාගේ නෑදෑයන් උපන් තැන ද මොහුගෙන් විචාරන්නැ’යි’ පැවසුව ද ඒ උත්සාහය ව්‍යාර්ථ ව ගියේ එක්තරා වාදයක් ආරම්භ වෙමිනි.
බණ අසන්නට සූදානම් වූ පිරිස පැවසුවේ ‘වංගීසයෝ දන්නේ, නෑයන් උපන් තැන පමණක් බවත්, එහෙත් අසම සම බුදුන් වහන්සේගේ ඥානය එලෙස සීමා නොවන බවත් ය. උන්වහන්සේ, මළ මිනිසුන් උපන් තැන පමණක් නොව, ඔවුන් ඉපදීමට හේතු වූ කර්මශක්තිය ද පෙන්වා දෙන අයුරු විශිෂ්ට ය. එසේනම්, වඩා උසස් බුදුන් වහන්සේ ද? නැතහොත් වංගීස ද යනුවෙන් පවසා දෙපිරිසම පැමිණියේ බුදුන් වහන්සේ හමුවට ය.
එය සම්බුදු ඥානයෙන් දුටු අමා මෑණී බුදු පියාණන් වහන්සේ ඍද්ධියෙන් මවා පෙන්වූයේ හිස් කබල් පහක් ය. ඒ නරකය, තිරිසන් ලෝකය, මිනිස් ලොව, දෙව්ලොව , රහතන් වහන්සේ නමකගේ හිස් කබලක් ය. එය දුටු වංගිස මාණවකයා මුලින් සඳහන් කළ හිස් කබල් සතර ගැන පැවසුවේ නිවැරැදි ලෙස ය. එහෙත් රහතන් වහන්සේගේ හිස් කබල දැක්වූ විට ඔහු නිහඬව සිටියේ ඒ ගැන යමක් පැවසීමට අසීරුවෙනි. එහි දී බුදුන් වහන්සේ වදාළේ, ‘වංගීසයෙනි, ඒ හිස ඇත්තවුන් උපන් තැන නුඹ නොදැන සිටියත් මම එය දනිමි’යි යනුවෙනි.
එහිදී වංගීස එම මන්ත්‍රය බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ‘ඔබ වහන්සේ දන්නා ඒ මන්ත්‍රය මට ලබා දෙන’ ලෙස යි. එහි දී බුදුන් වහන්සේ , වංගීස අමතා වදාළේ, මන්ත්‍රය ලබා දීමට තම සසුනේ පැවිදි විය යුතු බව යි.
මෙලෙස මන්ත්‍රය ලබා ගැනීමේ ආශාවෙන් පැවිදි වූ වංගීස තෙරණුවන්ගේ ප්‍රඥාව අවධි වූයේ නොබෝ කලකිනි. ඒ විදර්ශනා වඩා රහත් වීමෙන් පසුව යි. එහෙත් ඒ බව නොදැන සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේ, බුදුන් වහන්සේ හමුවී පැවසුවේ, වංගීස රහත් නොවී තමා රහතන් වහන්සේ නමක් බව හඟවන බව යි. එහි දී බුදුන් වහන්සේ භික්ෂු පිරිස අමතමින් වදාළේ, ‘මහණෙනි, දැන් මාගේ පුත්‍ර වංගීස ‘චුති ප්‍රතිසන්ධි’ දන්නා රහතන් වහන්සේ නමක් ය යනුවෙනි.
මෙලෙස රහත් වූ වංගීස තෙරුන් වහන්සේ ඇතැම් වේලාවට බුදුන් වහන්සේ හමු වීමට වැඩම කරන්නේ බුදු ගුණ ප්‍රකාශිත ගාථා විසිතුරු ව විචිත්‍රවත් ව සජ්ඣායනා කරමිනි. නිකලෙස් වූ උන්වහන්සේ මෙලෙස බුදු ගුණ ගී ගයන්නේ අවබෝධයෙන් යුතු ව , නොඇළුණු සිතිනි. ඒ නිසා වංගීස මහ රහතන් වහන්සේට බුදුන් වහන්සේ දුන් තනතුර වන්නේ ‘ශාසනයෙහි අවබෝධයෙන් යුතුව කථා කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානයෙහි පිහිටුවී ම යි.
ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේ ද සඳහන් වූ මේ දේශනාව අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ඵල ලැබුවේ භාග්‍යවත් ලෙස ය. එහි සඳහන් සේ සත්ත්වයන්ගේ චුතිය, උත්පත්තිය ආදී සෑම දෙයක්ම දනී ද, කිසිවක නොඇලුණා වූ සිත් ඇති මහා ගති ඇති චතුර්විධ සත්‍ය අවබෝධ කළ ඔහු බ්‍රාහ්මණයෙක් ය. යමෙකුගේ අභ්‍යන්තර ස්වභාවය දෙවියෝ හා මිනිසුන් නොදනිත් ද, සිඳුණු ආශ්‍රව ඇති පිදුමට සුදුසු වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙක් ය යනුවෙනි.