ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

උතුම් සිල්පද රකිමු අදිටනින් නිරතුරු

සම්බුද්ධ දේශනාවේ සඳහන් ලෙස යමෙක් දරුණු වචන නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ යනවා. අඩුම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචනයි

සම්බුදු සසුනක සිසිල විඳීන්නට ඉඩ නැති කාලයේදීත් මිනිසුන් සිල්පද රැක්කා. ඒ සීලයේ අනුසස් වින්දා. එහෙත් බුද්ධ ශාසනයක් පවතින කාලයක රකින සීලයක් තුළින් පමණයි නිවන්මඟට මාවත සැකසෙන්නේ.

අද අප සමාජයේ බොහෝ දෙනා සිතනවා සමාදන් වූ සීලය ටිකක් කැඩුණාට පවක් නැහැ, පුංචි පුංචි සතුන් මැරුවාට, විහිලුවට ඉඳහිට ‍‍බොරුවක් කිව්වාට පවක් නැහැ. බොරුවක් කියලා තව කෙනෙක් සතුටු කරන එකත් පිනක්. සාදයක දී මත්වතුර පාවිච්චි කළාට අවැඩක් නැහැ කියා කියනවා. එහෙත් සීලය පිළිබඳ අපගේ ශාස්තෘන් වහන්සේ වඩාත් ගැඹුරෙන් විවිධ ආකාරයෙන් වර්ණනා කොට තිබෙනවා.

උන්වහන්සේ විටෙක වදාළා කිරල කිරිල්ලියක් බිත්තර රකිනවා වගේ සිල්පද රකින්න කියලා. ඒ කිරිල්ලිය බිත්තර උඩට ගිහින් පාද උඩට තබාගෙන කෑ ගසමින් සිටින්නේ. ඇයි ඒ? ඇය බයයි අහස කඩා වැටිලා බිත්තර විනාශ වෙයි කියලා. එතරම්ම පරිස්සමට බිත්තර රකිනවා. බුදුරජාණන් වහන්සේ වදාළා කිරලි දෙන බිජු රකිනවා වගේ සිල්පද රකින්න කියලා.

ඒ වගේම සෙමෙර මුවාගේ වටිනාම අංගය ඒ සතාගේ වලිගයයි. සෙමෙර මුවා වලිගය රැක ගන්නේ කෙසේද? ඒ ආකාරයට තමා සමාදන් වූ සිල්පද රකින්න කියලා.

යම් මවකට සිටින්නේ එකම දරුවා නම් ඒ අම්මාගේ මුළු ජීවිතය ම ඒ දරුවා යි. එක් දරුවෙක් ඉන්න අම්මා ‍කෙනෙක් ඒ දරුවා රකිනවා වගේ සමාදන් වූ සිල්පද රකින්න ඕනේ.

එක ඇසක් ඇති මිනිසෙක් ඒ ඇස පරිස්සම් කර ගන්නවා වගේ සිල්පද පරිස්සමට රැක ගන්න ඕනේ. එහෙම නම් ටිකක් මත්වතුර ගත්තාට කමක් නැද්ද? පොඩි බොරුවක් කීවාට කමක් නැද්ද? කියන දේ අපි ම තීරණය කරන්න ඕන දෙයක්.

එක දරුවෙක් සිටින අම්මා කෙනෙක් ඒ දරුවා ටිකක් එහා මෙහා වෙනවාට කැමැති වෙන්නේ නැහැ. ඒ අම්මා හිතන්නේ මගේ දරුවාට හානියක් වෙන්න එපා කියල යි. ඒ වගේ සීලය සමාදන් වූ ඔබත් සිහිකළ යුත්තේ කුඩාවට හෝ මගේ සීලයට හානියක් වෙන්න එපා කියල යි.

අපට පුලුවන් නම් මේ ආකාරයට සිල් රැක ගන්න අපගේ මරණාසන්න ‍මොහොත කෙතරම් නම් ආරක්ෂා සහිත ද? සිල්පද රැකීම තුළ තිබෙන පුණ්‍ය විපාකය අතිශයින්ම බලවත් එකක්. එසේ නම් ‍මේ සිල්පද කැඩීමෙන් අත්වන විපාකය ද ඉතා බරපතළ බවයි ධර්මයේ සඳහන්ව තිබෙන්නේ.

සුචිලෝම කියන ප්‍රේතයාගේ නළලින් ඉදිකටු දහක් ඇතුළට යනවා. කටින් එළියට එනවා. ඔබට එක ඉදිකටුවක් ඇනුණා කියා හිතන්න. වේදනාව කෙතරම් ද? ඒ ප්‍රේතයා කෑ ගසමින් විලාප තියනවා. ඒ ඉදිකටු දහස නැවත බෙල්ලෙන් ඇතුළට යනවා. නැවත පපුවෙන් එළියට එනවා. නැවත බඩෙන් ඇතුළට යනවා. කලවයෙන් එළියට එනවා. ඉන්පසු ඒ ඉදිකටු කොන්දෙන් ඇතුළට යනවා. යටිපතුලෙන් එළියට එනවා. ‍මේ ආකාරයට අනෙක් පැත්තට සිදුවෙනවා. ඒ ප්‍රේතයාගේ ආයුෂය ගනින්න බැරිතරම්. මහත් වූ වේදනාවක් නො නවත්වා ම විඳීනවා. එක ඉදිකටුවක් තත්ත්පරයක් මේ දේ කළා නම් වේදනාව හිතන්න.

දිනක් ඒ ප්‍රේතයා තෙරුන් වහන්සේ නමකට මුණ ගැසුණා. උන්වහන්සේට මහත් අනුකම්පාවක් හටගත්තා ප්‍රේතයා දුටුවිට. උන්වහන්සේ අසනවා ඇයි මේ වගේ දුකක්? කියා.

ස්වාමිනි, මම සසරේ බොහෝ සේ කේලාම් කිව්වා. එහි විපාකයයි ‍ මේ. මම කේලාම් කියලා සමගි අය අසමගි කළා. ඒවා බලලා මම සතුටු වුණත් අද විඳීන මේ විපාකය ඉතාමත් කටුක යි‍. දුකයි. ‍මේ දේ අපගේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් ඇත්ත එයයි.

කුඩා සතුටකට දෙදෙනකු බිඳවා මහා විශාල දුකක් හදාගන්නේ ඇයි? අනවශ්‍ය දුකකට පැටලෙන්නේ ඇයි? ඒ නිසා අපි වචනය සංවර කර ගත්තොත්, නිහඬ කර ගත්තොත් සිල්පද ආරක්ෂා කර ගන්න ගොඩාක් පහසුයි.

ඒ වගේම දේශනාවේ සඳහන් වෙනවා යමෙක් දරුණු වචන කීමෙන් නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ යනවා. අඩුම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචන. තමන් අකැමැති, හිත රිදෙන, අප්‍රසන්න වචන. එනිසා තමන්ගේ දේපළ රැකගන්න ඕනෑ නම්, දේපළ විනාශ වෙනවට අකැමැති නම්, සොරකම් නොකර සිටින්නට ඕනෑ. හතුරන් ඇතිවෙනාවට අකමැති නම් වැරැදිකාම සේවනය නොකර සිටින්න ඕනෑ. කරුණු රහිතව නින්දා අපහාස අසන්නට කැමැති නැත්නම් බොරු නොකියා ඉන්න ඕනෑ. කවුරුහරි කෙනෙක් තමන්ගේ යහලුවන් බිඳෙනවාට අකැමැති නම් කේලම් නොකියා ඉන්න ඕනෑ.

තමන් සතුටු වචන ම අසන්න ආශානම් කිසිවකුට දරුණු වචන නොකියා සිටින්න ඕනෑ. තමන්ගේ වචන අනෙක් අය විශ්වාස කරනවාට කැමැති නම් බොරු නොකියා ඉන්න ඕනෑ. තමන් උමතු වෙනවාට අකැමැති නම් සුරාපානයෙන් වැළකෙන්න ඕනෑ කියලයි.

එනිසා අල්ප මාත්‍රයක්වත් සිල්පදවලට හානි කර ගන්න එපා. ඉතාමත් පිරිසුදුව රකින්න ඕනේ. කිසිදු කිලුටක් නැතිව තමන් සමාදන් වූ සිල්පද රැකගෙන තමන්ට මේ ලෝකයෙන් මිය යන්න තිබෙනවා නම් එය කෙතරම් යහපතක් ද?

එනිසා ඔබ සමාදන් වූ සිල්පද මේ වන විට කැඩුණා නම්, ඒ පාපයෙන් ගැලවෙන්න කැමැති නම් ළඟම තිබෙන සෑයක්, බෝධින් වහන්සේ නමක් අසලට හෝ නිවෙසේ පිළිම වහන්සේ අසලට හෝ ගොස් බොහෝම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් සිල්පද සමාදන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ බිඳුණු සිල්පද සමාදන් වෙන්න. එය අවංකවම කළයුතු දෙයක්.

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම තෙරුවන් සරණ ගොස් සිල්පද රකිනවා, මම මගේ වරද වරදක් ලෙස දැක්කා. ඒ වරදින් අත මිදෙනවා කියා පොරොන්දු වෙන්න.

වරදින් මිදෙන්න තදබල අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. ඉන්පසු දිවි හිමියෙන් ඒ සිල්පද රකින්න. තම පණට වඩා සමාදන් වූ සිල්පදයට ආදරය කරන්න. එතැන් පටන් ඔබ සිල්වත්. තමන් අතින් සිදු වූ වැරැදි අමතක කොට ආයති සංවරයට පත් වූ තැන සිට ඔබ සිල්වත් වෙනවා. එවිට පැරැණි වරදට සිත දොස් කියන්නේ නැහැ. වරදින් නැඟී සිට සිල්වත් ජීවිතයක් ගත කරනවා.

ඉන්පසු ඒ සීලය පිළිබඳ සෑම දිනක ම නින්දට පෙර ආවර්ජනයක් කරන්න. අද දවස පුරාවට ම මම සතෙක් මැරුවේ නැහැ. සොරකම් කළේ නැහැ. වැරැදිකාම සේවනය කළේ නැහැ. බොරු කිව්වේ නැහැ. මත්වෙන දෙයක් පාවිච්චි කළේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් කියලා දිනපතා සතුටු වෙනවා. රකින සීලය සිහි කර කර සතුටු වෙනවා. මේ දුක්ඛිත සසරින් එතෙර වීමට කැමැති බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා ගමන් කළයුත එකම මාවත ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලයි අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ. එනිසා අපිත් උතුම් තිසරණය ආරක්ෂා කරමින් සමාදන් වූ සිල්පද රකිමින් මේ දුක්ඛිත සසරින් එතෙර වීමට වහ වහා උත්සාහ කරමු.

සම්බුදු දහම විමසා බලන්න පිළිවෙත් මඟට එකතු වන්න


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි

ධර්මය හෝ දහම නම් වූ වචනය ඕනෑම ඉගැන්වීමක් වෙනුවෙන් යොදාගත හැකි වචනයකි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අප විසින් දහම නම් වූ පරියාය වචනය භාවිත කරන්නේ කුමන අදහසින් ද? මිනිස් සන්තානයේ සකස් වෙන්නා වූ ලෝභ, දෝෂ, මෝහ නම් ප්‍රධාන වූ, මෙලොව, පරලොව අනර්ථකාරී බව නිර්මාණය වන කෙලෙස් බැහැර කරවන, පාරිශුද්ධ වූ චිත්ත සන්තානයක සන්සිඳීමක් හෙවත් සමාධියක් ඇතිකරවන නම් වූ අදහසිනි.

මෙම දහම, ධර්ම පරියායක් ලෙස සීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව ඔස්සේ ක්‍රියාවට නැංවෙයි. දර්ශනයක් යනු යම් සිද්ධාන්තයක් ඔස්සේ චින්තන මාර්ගයක් ඉදිරිපත් කිරීමයි. එය පූර්ව නිගමනවලින් බැහැරව සහ ඉන්ද්‍රිය ගෝචර නොවන විශ්වාසවලින් සහ සංකල්පවලින් තොර වූවකි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වල, ශාස්තෘවරයෙක් ලෙස මඟ පෙන්වීම සිදු කෙරේ. එනමුත් එය දේව විශ්වාසයක මෙන් මිනිස් සිතට බලපැවැත්මක් නොකෙරේ. ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් බැහැරව සිතීමේ සහ විමසීමේ නිදහසක් කැමත්තෙන් අනුගමනය කරන්නන්ට ලබා දෙයි. මේ බව කාලාම සූත්‍ර දේශනාවෙන් ප්‍රකට කෙරේ.

එමඟින් තමාගේ ම අත්දැකීම්වලින් මෙන්ම බාහිර ලෝකය ද ඇසුරු කරගෙන දැක්ම හෙවත් දර්ශනය සකස් විය යුත්තේ ය. මේ අනුව බෞද්ධ ඉගැන්වීම් වඩාත්ම දර්ශනයක් ලෙස ද සැලකිය හැක්කේ ය. කෙසේ වෙතත් බෞද්ධ ඉගැන්වීම් යථාභූත ඥාන දර්ශනයකි. එය අසවල් කොටසට පමණක් අයත් ය යනුවෙන් අවසාන නිගමනයකට පැමිණිය නොහැක්කේ ය.

වර්තමානයේ යම් පිරිස් පවසන පරිදි බුදුදහම ද ආගමකට සීමා කොට, බෞද්ධ ඉගැන්වීම්වලින් ද බැහැරව නිදහස්ව සිතන්නට, කියන්නට, ක්‍රියා කරන්නට සුදුසු ය යන්න ය. එසේ පවසන පිරිස් අඩුම තරමේ තථාගතයාණන් වහන්සේ ලොවට වදාළ “මෙත්තා” නම් මෛත්‍රිය පිළිබඳවත් සිත සිහිය යොමු කළ යුතු වන්නේ ය. ලෝකයේ “යහපත් ය” නම් වූ බොහෝ පිරිස් මනුෂ්‍යයන් පමණක් ගැන සිතද්දී බුදුදහම මනුෂ්‍යයන් ද ඇතුළුව සියලු සත්ත්වයන් කෙරේම හිතවන්ත බව පුරුදු කිරීමට ඉගැන්වීය. මානව අයිතිවාසිකම් පමණක් නොව සියලු සත්වයින්ට ම ජීවත්වීමේ අයිතිය තහවුරු කළේ ය. තමා තමාට දක්වන හිතවන්ත බව මෙන්ම සියලු සත්ත්වයෝම ඔවුන්ට හිතවන්ත බව උපමාකොට ගෙන කිසිදු මනුෂ්‍යයකුට හෝ වේවා සත්ත්වයකුට හිංසා නොකළ යුතු බව සහ ජීවිත හානි නොකළ යුතු බව අවධාරණය කළේ ය. දැඩි වූ තෘෂ්ණාවෙන් ඔවුනොවුන් මරණයට පත් කරන්නට අවි ආයුධ නිෂ්පාදනය කරමින්, භෞතික ලෝකයේ වස්තූන් වෙනුවෙන් දැඩි තරගයක නිරතව සිටින ලෝකයාට සියලු සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක වස්තුන්ගේ ඇති අස්ථිර බව පෙන්වාදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමද, මිනිස් සංහතියේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය ද පෙන්වා දුන්හ. මෙය මූලික පියවරේ දී දානාදී පාරමී ධර්ම සම්පූර්ණ කිරීමක් ලෙස ඉගැන්වෙයි. අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ තිලක්ඛණය ඉදිරිපත් කළේ ලෞකික ජීවිත, සාමාන්‍ය ලෝකයා සිතන පරිදි දුකට හෝ අකර්මණ්‍යය කරන්නට හෝ මෙලොව දියුණුව නැති කරන්නට නොව, මනුෂ්‍යත්වයේ හැබෑ තේරුම, උතුම් සැනසිල්ල තමා වෙතින් ම අවබෝධයෙන් යුතුව මතු කර ගන්නට ය.

බුදුදහම මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා නම් වූ සතර ආකාරයක උතුම් වූ හැසිරීම් නම් වූ සතර බ්‍රහ්ම විහරණ ඔස්සේ සියලු දෙනාම සමගියට පරෝපකාරයට සමීප කරයි. සියලු දෙනාටම සාමානාත්මතාවයෙන් යුතුව දිළිඳු අයට පරිත්‍යාග කරමින්, වචනයෙන් පමණක් නොව පිරිසුදු සිතින් ම මවුපිය, දූ, දරු, සොහොයුරු, සොහොයුරියන් සේ ගරු කරන්නට උගන්වන ප්‍රතිපදා මාර්ගයක බුදුදහම පිළිපදින බොහෝ පිරිසක් සාමාන්‍ය ජන ජීවිතයේ සතුට සහ යහපත ද දියුණුව සහ ස්වයං සන්තුෂ්ඨිය පිණිස ද උගන්වන මංගල, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, වසල පරාභව වැනි සූත්‍ර පිළිබඳ දැනුම්වත් වී ඇත.

මේ මඟින් මිනිස් සිතේ අති කරගත යුතු ගුණාංගත්, මනුෂ්‍ය ප්‍රජාවට විපත් ගෙන දෙන කායික, මානසික සහ වාචසික ක්‍රියාදාමයන් බැහැර කරගත යුතු ආකාරයත් මැනවින් පෙන්වා දෙයි.

පඤ්ච සීලයෙන් මූලිකව මනුෂ්‍යත්වය පිරිසුදු කොට, සතර සතිපට්ඨානයෙන් දුක් දොම්නස් බැහැර කොට සියලු දුකින් නිදහස් වන සදාකාලික විමුක්තියට කැඳවාගෙන යන අසිරිමත් වූ ද, සුන්දර වූ ද මානුෂීය ප්‍රතිපදා මාර්ගයකි. බිය ගන්වා බලයෙන් ඇදහීමට හෝ විශ්වාස කිරීමට යොමුකරන මඟක් ද නොවේ.

භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යයෙකි. එනමුත් සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයන් කෙරේ පවත්නා වූ රාග, දෝෂ, මෝහ මුළුමනින් ම බැහැර කළ ආශ්චර්යවත් වූ, උතුම් වූ මනුෂ්‍ය රත්නයකි. එය සංකේතවත් කළේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නම් වූ “බුද්ධ” නම් වූ වචනයෙනි.

එය ද දක්වන්නේ ඇවිත් නුවණින් යුතුව පරීක්ෂා කොට බලන්නට මිස අන්ධ භක්තියෙන් යුතුව අදහන්නට නොවේ. භාග්‍යවතුන් වහන්සේට හැබෑවටම ගරු කරන්නා නම් මේ ප්‍රතිපදා මාර්ගය අවබෝධයෙන් යුතුව අනුගමනය කොට ඵල ලබන්නා මිස අනවබෝධයෙන් වැඳුම් පිඳුම් හෝ පුද පූජාවල නිරත වෙන්නා නොවේ. සතිපට්ඨානයේ උගන්වන “සති - සම්පඡඤ්ඤය” අවබෝධයෙන් යුතුව මේ මොහොතෙහි සිත සිහිය පිහිටුවා ගැනීම, අධ්‍යාපනික, ආර්ථික, සාමාජික සහ පවුල් පාරිසරික ආදී කුමන රටාවකට ද යොමු කර ගැනීමෙන් එහි නැණවත්, සත්පුරුෂයන් බලාපොරොත්තු වන සාර්ථකත්වයක් ඇති කරගත හැකි ය. වර්තමානයේ බොහෝ සමාජ කණ්ඩායම් අතර පවත්නා ආතතිය (Stress) දොම්නස (Depression) දුරු කර ගැනීමට කදිම මානසික ඖෂධයකි. මෙය නොදත් හෝ නොසලකා හරින්නෝ දුර්ලභ වූ ලැබූ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් නොදෙති.

බෞද්ධ නමින් පෙනී සිටින යම් අයෙක් ප්‍රතිපදාව අනුගමනය නොකොට ලාභ, අලාභ ආදී අෂ්ඨ ලෝක ධර්මයට ජීවිතාබෝධයෙන් යුතුව මුහුණ දී ගත නොහැකිව දහමින් ඉවත්වෙනවා යැයි පැවසීම හෝ දහමට ගැරහීම නියමාකාර පිළිතුර දැයි විමසිය යුතු වන්නේ ය.

ශ්‍රී ලාංකික පරිසරයේද මව්පිය, දූ දරු, ස්වාමි භාර්යා, ගිහි පැවිදි මනා වූ සම්බන්ධයක් ගොඩනඟා මනුෂ්‍යත්වයේ හැබෑ අරුත කියා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලිනි.

මෙය මනා ලෙස අවබෝධ නොකර ගන්නා වූ පුද්ගලයෝ සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත්තාක් මෙන් චාරිත්‍ර වාරිත්‍රවල පමණක් මූලික තැනක් දී ක්‍රියා කොට ගැටුම් ඇතිකර ගනිති. කලින් කල සිදුවන සාමාජික හෝ ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමේ දී දහම වරදවා පලිහක් කර ගැනීමට උත්සාහ ගනිති. තම පුද්ගලික අභිමතාර්ථ ඉටු නොවන අවස්ථාවේ දී දහමෙහි වරදක් බව සිතති. වර්තමානයේ ලෙඩ සනීප කරනවා ය නම් වූ ඇදහිලි සංකල්පය ද එවැන්නකි. පරමාර්ථ ධර්මයම ප්‍රධාන කොට බුදුදහම විමසා බලන්නට පිළිවෙත් මඟට එකතු වන්නට ද ආරාධනා කරමි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අපායේ නොවැටෙන්න උපාය දැන ගන්න

 

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි

සිතුල්පව්ව විහාරයේ වැඩසිටියා සාමණේර හා උපසම්පදා භික්ෂූන් වහන්සේ බොහෝ පිරිසක්. කලක් මේ විහාරය තෙරුන් වහන්සේ දොළොස් දහසකින් පිරී පැවතියා. සාමණේර පැවිද්ද ලැබූ තරුණයෙක් මහ තෙරවරුන්ගෙන් කමටහන් ඉල්ලාගෙන භාවනා කළා. තරුණයාගේ පැවිද්දෙන් පසු ඔහුට ‘තිස්ස’ යන නම ලැබුණා. අලුතින් පැවිදි වුණු නිසා උපසම්පදාව ලබා ගත්තේ නෑ.

ටික කලක් වත් පිළිවෙත් පුහුණු වෙන්න අවස්ථාව ලබා දුන්නා. ගෙදරින් වෙන්වෙලා ඉන්න මේ තරුණ භික්ෂූන් වහන්සේට නිතර නිතර නිවැසියන් මතක් වෙන්නත්, සිවුර අත්හැර යන්නත් හිතෙන්න පටන් ගත්තා. ඒත් නැවතත් ගෙදර යන්න ඔහුට බය හිතෙනවා. දවසක් හිත දැඩි කරගෙන මෙහෙම හිතුවා.

‘මම හිස රැවුල් කපන්නේ නැති නිසා, ඒ වගේම සිවුරු පිරිකර අපිළිවෙළකට තියන නිසා, මට එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. හෙට මගේ හිස රැවුල් කපනවා. පාත්‍රය සිවුරු පිළිවෙළකට තබනවා’යි හිතලා පසුදා උදෙන් ම අවදි වුණා. රාති‍්‍රයේ හිතපු විදිහට ම සිවුරු සෝදා වැලට දැම්මා. පාත්‍රය පිරිසුදු කර පිළිවෙළකට තැබුවා. කුටිය ලස්සනට පිළිවෙළකට සකසා ගත්තා.

හිත සංවර කර ගන්න මේ භික්ෂුවට ලොකු වුවමනාවක් තියනවා. එය යටපත් කරමින් සිවුරු හැර යන්නටත් සිතිවිලි පහළ වෙනවා. කටයුතු අවසන් කර උපාධ්‍යායන් වහන්සේ වෙත ගිහින් තෙරුන් වහන්සේට වන්දනා කළා. ඔහුගේ මුහුණේ පෙර තිබුණු ශාන්ත බව, සසුනට ඇති කැමැත්ත ආදිය නැතිවෙලා ගිහින්. බොහෝ දුකට පත් ස්වභාවයක් තමයි දැක ගන්න පුළුවන් වුණේ.

ගුරුවරයා ඔහු දුටු විගස එය දැනගෙන ‘තිස්ස, ඔබ කළකිරීමට පත්වෙලා වගේ පේනවා”යි ප්‍රශ්න කළා.

එවිට තිස්ස තෙරණුවෝ ගුරුවරයා අමතමින් ‘එසේ ය, ගුරුදේවයන් වහන්ස, මම මේ ශාසනයේ කළකිරිලා ඉන්නේ. මට නිතරම ගෙදර මතක් වෙනවා. එය යටපත් කර ගන්න උත්සාහ ගත්තත් එය කර ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ”යි පිළිතුරු දුන්නා. ඒ කතාව අහගෙන හිටිය ගුරුවරයා ‘හොඳයි, ඔබට ශාසනයේ පිළිවෙත් පුරන්නට අපහසු බවක් දැනෙනවා නම්, ඔබ පැවිද්දෙන් ඉවත් වෙලා යන්න. ඒත් යන්න ඉස්සෙල්ලා මට පොඩි උදව්වක් කරලා යන්න.

මං දැන් ගොඩාක් වයසයි. ඉස්සරහට මම ලෙඩ ඇඳටයි වැටෙන්නේ. ආරාමයේ එකම කුටියක්වත් නෑ පහසුකම් තියන. ඔබට පුළුවන් නම් මට හොඳ කුටියක් හදල දීලා යන්න’යි පවසා සිටියා.

තරුණ භික්ෂුන් වහන්සේට දැන් බොහොම සතුටුයි. ‘ගුරු දේවයන් වහන්සේ මට යන්න දුන්නා. උන්වහන්සේගේ ඉල්ලීම මම නොපමාව ඉටු කර දෙන්න ඕන’යි හිතලා

‘ස්වාමිනි, ගුරුදේවයන් වහන්ස, මම ඉතා කැමැත්තෙන් ම ඒ කටයුත්ත බාර ගන්නවා. ඉක්මනින්ම මම කුටියක් හදලා පූජා කරලා යන්නම්’ යි පිළිතුරු දුන්නා.

තරුණ තෙරුන් වහන්සේගේ පිළිතුර අසා සිටි ගුරු තෙරුන් වහන්සේ නැවතත් මෙහෙම කිව්වා. ‘මට බොහොම සතුටුයි, ඔබ වහන්සේ එම කාර්ය කර දෙන්න බාර ගත්ත එක ගැන. කුටියේ වැඩ ඉවර වුණහම ගෙදර යන්න තීරණය කළානේ. ගෙදර ගියහම බණ දහම් අධ්‍යයනය කරන්න ලැබෙන එකක් නෑ.

ඒ නිසා කුටියේ වැඩ කරන ගමන් පුළුවන් හැම වෙලාවක ම ධර්මය අධ්‍යයනය කරන්න. ඒක අත්හැර දාන්න එපා. ආහ්, තව දෙයක් කියන්න තියනවා. කමටහන් ගන්න එකත් අත්හරින්න එපා. ආරාමයේ ඉන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොහොතක් හරි හිත සංවර කර ගත්තොත් ඒක වටිනවා. ඒවා මතක තියාගෙන කුටියේ වැඩ ටික කරල දෙන්න’යි උපදෙස් දුන්නා.

දැන් තරුණ භික්ෂුන් වහන්සේට තවත් සතුටුයි. ලොකු පී‍්‍රතියක් දැනෙන්න පටන් ගත්තා. ගුරු හිමියන්ගේ ඉල්ලීම ඉක්මනින්ම ඉටු කර දෙන්න තීරණය කළා. එදාම සිතුල්පව්ව කන්දට ගොඩවුණා. ලෙන් ගණනාවක් ම පරීක්ෂා කර බැලුවා. වයසට ගිය කෙනකුට වැඩ සිටීමට හැකි ලෙනක් තෝරා ගත්තා. එය වවුලන්ගෙන් හා වෙනත් සතුන්ගේ වාසයෙන් අපිරිසුදු වෙලා. කැලෑවට ගිහින් දර මිටි බැඳගෙනවිත් ලෙනට දමා ගිනි දැල්ලුවා. පසුව අළු සෝදා හැරියා. ගඩොල් ගෙනාවා. ගල්ලෙන වටේටම ගඩොල් අල්ලා බිත්ති බැන්දා. දොර, ජනෙල් තැබුවා. හුණු පිරියම් කළා. කුටිය සමීපයෙන් සක්මන් මළුවක් ද නිර්මාණය කළා. කුටියට අවශ්‍ය කරන ඇඳ, පුටු, මේස ආදියත් ගෙනත් තැබුවා. දැන් අංග සම්පූර්ණ කුටියක්. එය දකින කොට තරුණ භික්ෂුවට ලොකු සතුටක් දැනෙන්න පටන් ගත්තා. තමන් කරපු කාර්ය ගුරුහිමියන්ට කියනතෙක් හා පෙන්වනතෙක් ඉවසුමක් නෑ. වැඩ අවසන් වූ දිනම ගුරුහිමියන් හමුවට ගිහින්.

‘ස්වාමිනි, ඔබ වහන්සේට වැඩ සිටින්න ලස්සන කුටියක් මම සැකසුවා. එහි වැඩම කර වැඩ සිටින්න”යි ආරාධනා කළා.

ඒ අවස්ථාවේ ගුරු හිමියෝ ‘ආයුෂ්මත් තිස්ස, මම බොහොම සතුටුයි ඔබගේ අපමණ කැප කිරීම්වලට. මම ඒ කුටිය බාර ගන්නවා. එහි වැඩ සිටිමින් මගේ භාවනා කටයුතු ආදියත් මම කරනවා. මට ඔබ ගැන දැනෙන්නේ ලොකු සතුටක්. ඒ සතුට තවත් වැඩි වෙනවා මා මේ කියන කටයුත්ත ඔබ විසින් කරතොත්’යි පවසලා මෙහෙම කිව්වා.

“ආයුෂ්මත් තිස්ස, ඔබ දුක සේ තමයි මේ කුටිය කළේ. මම එය මගේ ඇස්වලින් ම දැක්කා. මම කැමතියි ඔබ එක දවසක් අලුත් කුටියේ වැඩ සිටිනවා දකින්න’යි පැවසුවා.

තිස්ස තෙරුන් වහන්සේට ගුරු හිමියන්ගේ ඉල්ලීම ඉවත දාන්න ක්‍රමයක් නැතිව ගියා.

“එසේ ය ස්වාමිනි, මම දවසක් එහි වැඩ වසන්නෙමි”යි පවසා පළමු රාති‍්‍රය ගත කරන්න ගියා.

කුටියේ වැඩ සිටින තිස්ස තෙරුන්ට පුදුම සතුටක් දැනෙන්න පටන් ගත්තා. ‘මම හදපු කුටිය හරිම ලස්සනයි. එහි පළමු රාති‍්‍රය ගත කරන්න ගුරුහිමියෝ අවසරත් ලබා දුන්නා. උන්වහන්සේගේ ගුණ පුදුමයි.’

යනාදි වශයෙන් කල්පනා කරමින් සතුටට පත් වෙන්න පටන් ගත්තා. තමාට ලැබෙන මේ සතුට කාම ලෝකයේ සතුට බවත්, නිවසට ගියත් මෙවැනි ම සතුටක් මිස නිරාමිස සතුටක් නො පැමිණෙන බවත් කල්පනා කර විදසුන් වඩන්න පටන් ගත්තා.

එදින පහන් වන විට තෙරුන් වහන්සේ අර්හත්භාවය ලබා ගැනීමට තරම් වීර්යවන්ත වුණා. ගුරුවරයාගේ සියුම් උපක්‍රම නිසා තරුණ භික්ෂුවක් සංසාර චක්‍රයෙන් ගලවා ගැනීමට සමත් වුණා.

සිත කළකිරීමට පත්වන පුද්ගලයින්ට නැවතත් නිවැරැදි මාර්ගය පෙන්වා දෙන්න නම් උපායශීලි ව බුද්ධිමත් විය යුතු බව මේ කතා පුවතින් අපට පෙන්වා දෙනවා. මේ කතා පුවත සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය අට්ඨ කතාවේ ඒකක නිපාතයේ දෙවැනි වර්ගයේ යි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මේ ආත්මයේ දී ම නිවන් දැකීමට නම් ...

 

කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ

බෞද්ධයාගේ පරමාර්ථය නිවන් දැකීමයි. සසරින් එතෙරවීම හෙවත් සියලු ජාති ජරා මරණාදි සියලු දුක් නැතිකොට නිවන් සාක්ෂාත් කිරීම මතු සම්බුදු සසුනක දී නොව මේ සසුනේ දී ම, මේ ආත්ම භවයේ දී ම කළ යුතු නොවේ දැයි බොහෝ දෙනා විමසන බව පෙනේ.

රාග, දෝස, මෝහා දියෙන් වෙළී ගැලී සිටින පෘථග්ජන පුද්ගලයා එම රාග, දෝස, මෝහයන් සහමුලින් නැසීම කළ යුතු වේ. එබැවින් නිවන් අවබෝධ කිරීම පිණිස සපුරාලිය යුතු කරුණු ගණනාවකි.

පළමුවෙන් නුවණැති විචක්ෂණ පුද්ගලයකු විය යුතු ය. එමෙන්ම සත් පුරුෂයකු විය යුතු ය. එබදු තැනැත්තාට කරුණු පහක් දියුණු කර ගැනීමෙන් මේ ආත්මභවයේ දී ම උතුම් නිවන ලබා ගත හැකි බව බුද්ධ දේශනාවේ සඳහන් වෙයි.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු මහා සිටාණන් සහ අග්‍ර දායිකාව වූ විශාඛා මහ උපාසිකාව අරබයා කළ ධර්ම දේශනාවක දී එම කරුණු පහ මෙසේ වදාළහ.

* ශ්‍රද්ධාව දියුණු කළ යුතු ය
* ශීලය දියුණු කළ යුතු ය
* ප්‍රඥාව දියුණු කළ යුතු ය
* ත්‍යාගය දියුණු කළ යුතු ය
* බහුශ්‍රැතභාවය දියුණු කළ යුතු ය

මේ කරුණු පහ වැඩි දියුණු කළ විචක්ෂණශීලි සත්පුරුෂයා මේ ආත්ම භාවයේ ම තම ජීවිතයේ උතුම් සාරය වන නිවන ලබා ගනියි.

මේ අනුව මේ ආත්මභාවයේ දී ම නිවන සාක්ෂාත් කිරීමට ඉහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි. ඒ කරුණු පහ විමසා බලමු.

සැදැහැ සිත

නව අරහාදී බුදුගුණ, ස්වාක්ඛාතාදී දහම් ගුණ සය, සුප්‍රතිපන්නතාදි සඟගුණ නවය යන සූවිසි මහගුණ ඇදහීම හා කර්මය හා කර්ම ඵලය ඇදහීම ලෙස ශ්‍රද්ධාව හඳුන්වා දී ඇත. තෙරුවන් සරණයාම බෞද්ධ ජීවිතයේ ප්‍රධාන ලක්ෂණයයි. ඔහු අවශ්‍යයෙන් ම බුදුගුණ, දහම් ගුණ සඟ ගුණ හොඳින් දැන ඉගෙන තහවුරු කර ගත යුතු ය. “ රහසත් පව් නොකරන හෙයින් ද, කෙලෙස් අර නැසූ හෙයින් ද, දේව මනුෂ්‍ය බ්‍රහ්මාදීන්ගේ පූජාවන් ලැබීමට සුදුසු වන හෙයින් ද අරහං ගුණය මාගේ බුදුරජාණන් වහන්සේ තුළ පිහිටා ඇත. යනාදී ලෙසින් සුවිසි මහගුණ හැදෑරීමෙන් “ ශ්‍රද්ධා” ගුණය වැඩි දියුණු කර ගත යුතු ය. ශ්‍රද්ධාවන්තයා හඳුනා ගත හැකි ලක්ෂණ 3 කි.

සැදැහැවතුන් ම ඇසුරු කරන්න

සද්ධර්මය ශ්‍රවණය කිරීම හා මසුරු මල දුරු කොට දන් දීම ය.

භික්ෂූන් වහන්සේ වෙත පැමිණ වන්දනා මාන කිරීමෙන් ද, දහම් කරුණු විමසා දැන ගැනීමෙන් ද ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගත හැකිය. එමෙන් ම දානානිසංස සලකා තමන් සතු ධන ධාන්‍යාදිය පරිත්‍යාග කිරීමෙන් ද ශ්‍රද්ධා දී ගුණ ධර්ම වැඩේ. තෙරුවන් ගුණ පිළිබඳ හා කර්මය, කර්මඵල පිළිබඳ හොඳ අවබෝධයක් එමඟින් ලැබෙන බැවිනි.

ආශ්‍රය පුද්ගලයාගේ සිතිවිලි, ක්‍රියා හා අදහස් හැඩගැස්වීමට බලපාන බැවින් ශ්‍රද්ධාව හීන පුද්ගලයන් ආශ්‍රය නොකොට ශ්‍රද්ධාවන්තයන් ම ඇසුරු කිරීම කළ යුතු වෙයි.

කර්මය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ලබා ගැනීම ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. කුසල කර්ම හා අකුසල කර්ම, කුසල විපාක හා අකුසල විපාක ආදිය ධර්මානුකූලව දැනගත යුතු වෙයි.

විචිකිච්ඡා හෙවත් සැකය ශ්‍රද්ධාව දුර්වල කරන බැවින් දහම් පත පොත කියවා හෝ ධර්ම දේශනාවලට සවන් දීමෙන් හෝ ධර්ම සාකච්ඡා මඟින් හෝ නොපැහැදිලි කරුණු විසඳා ගැනීමට උත්සාහ කළ යුතු ය. බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, ජාතක පොත් වහන්සේ රචනා කළේ බෞද්ධයා තුළ ශ්‍රද්ධාව වර්ධනය කිරීමේ අරමුණෙනි. එම නිසා බණ පොත් කියැවීමත්, නිශ්ඵල ප්‍රබන්ධ කියැවීමෙන් වැළකීමෙන් මෙලොව දී ම නිවන් දැකීම අරමුණු කර ගත් ඔබ විසින් කළ යුතු ය.


ශීලය වැඩීම

ශීලය යනු ප්‍රාණඝාතාදි අකුසලයන්ගෙන් වෙන් වීමේ දී හා වත් පිළිවෙත් පිරීමේ දී සිතේ ඇති වන චේතනා දී ධර්මය යි. ශීලය පිළිබඳ ප්‍රභේද රාශියක් ධර්ම ග්‍රන්ථවල විස්තර කර ඇත. ඒ අතුරෙන් චාරිත්‍ර ශීලය හා වාරිත්‍ර ශීලය යන දෙවදැරුම් ශීලය ගැන අවධානය යොමු කරන්නේ නම්, ඉහත විග්‍රහය තවදුරටත් අවබෝධ කර ගත හැක.

චාරිත්‍ර ශීලය නම්, වත් පිළිවෙත් පිරීමයි. මේ දේ මෙසේ කළ යුතු යැයි පිළිගත් සාරධර්ම කඩ නොකොට පිළිපැදීමයි.. පැවිද්දනට පිඬුසිගා යාමේ, බණ දෙසීමේ, ආරාමය තුළ සිටීමේ , විවිධ අවස්ථාවල දී පිළිපැදිය යුතු වත් 14ක් දක්වා ඇත. ගිහියනට ද සමාජය පිළිගත් සත් චාරිත්‍ර අනුගමනය කිරීම චාරිත්‍රශීලය වෙයි. නිවන් අරමුණු කර ගත් පුද්ගලයා තුළ මෙම චාරිත්‍ර හෙවත් ආචාරශීලය අනිවාර්ය වෙයි.

වාරිත්‍ර ශීලය යනු ප්‍රාණඝාතයෙන් වැළකීම ආදි වශයෙන් පංචශීලය යනාදියයි.

මුලින් සඳහන් කළ ශ්‍රද්ධාව ශීලය ආරක්ෂා වීමට හා පිරිසුදු වීමට හා වැඩි දියුණු වීමට මහෝපකාරි වෙයි. එදිනෙදා ජීවිතයේ දී පංචශීලය සමාදන්ව ආරක්ෂා කිරීම ද පොහොය දින අෂ්ටාංග ශීලය හෝ දසශීලය සමාදන්ව පිරිසුදුව ආරක්ෂා කිරීම තුළින් ද ශීලය වැඩි දියුණු කරගත හැකි ය.

නුවණ දියුණු කරමු

“ ප්‍රඥා” ව නම් ඇත්ත ඇති සැටියෙන් දැනීමයි. එනම් තත්වාවබෝධයයි. “ සම්මාදිට්ඨී” යන්නෙන් කියැවෙන්නේ ද ප්‍රඥාාවයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අවබෝධ කර ගත හැක්කේ ප්‍රඥාාවෙනි. නිවන සඳහා ප්‍රඥාාව අත්‍යවශ්‍ය වෙයි. විදර්ශනා ප්‍රඥාාවෙන් මාර්ග ඵලාවබෝධය සිදු වේ.

ප්‍රඥාාව වැඩි දියුණු කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කළ යුතු ය. ධර්ම සාකච්ඡාවල නිතර නිරත විය යුතු ය. එසේම සමථභාවනාව හා විපස්සනා භාවනාව ද ප්‍රගුණ කළ යුතුය.

තමන් සතු වස්තුව පූජාවක් වශයෙන්, අනුග්‍රහයක් වශයෙන්, සංග්‍රහයක් වශයෙන් දීම පරිත්‍යාගයයි. ශ්‍රද්ධාවෙන්ම දන් දිය යුතු ය. යහපත් සේ පිළියෙළ කොට දිය යුතු ය. පොහොය දිනය ආදී සුදුසු කාලයෙහි දිය යුතු ය. දෙන වස්තුවෙහි ආශාව ඉතිරි කර නොගෙන දිය යුතු ය. තම සිතට හෝ අනුන්ගේ සිතකට පීඩාවක් ඇති නොවන සේ දිය යුතු ය. දන් දීමේ විපාකවන ආයු, වර්ණ, සැප, බල ප්‍රඥාා යන අනුසස් දැන, ශක්ති පමණින් නිතර නිතර පිරිසුදු සිතින් දන් දෙමින් නිවන් පිළිවෙත පිරිය යුතු ය.

ඇසූ පිරූ තැන් ඇතිබව

නිතර ධර්ම ශ්‍රවණය කිරීමෙන් බහුශ්‍රැත භාවය ඇති වෙයි. බහුශ්‍රැත භාවය වැඩි දියුණු කිරීම සඳහා නිතර නිතර ධර්ම ග්‍රන්ථ කියවීම, ධර්ම සාකච්ඡාවල නිරත වීම, ධර්ම කොට්ඨාස පාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙසේ සත්පුරුෂ වූ, විචක්ෂණශීලි පුද්ගලයා ශ්‍රද්ධා, ශීල, ප්‍රඥාා, ත්‍යාග, සුඛ යන කරුණු පස වැඩි දියුණු කිරීමෙන් ම අනාථපිණ්ඩික විශාඛාදීන් මෙන් මේ ආත්මභවයේ දීම අමා මහ නිවන් සැපත පැමිණෙනු ඇත.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ වංගීස මහ රහතන් වහන්සේ

වංගීස තෙරුන් වහන්සේ ඇතැම් වේලාවට බුදුන් වහන්සේ හමු වීමට වැඩම කරන්නේ බුදු ගුණ ප්‍රකාශිත ගාථා විසිතුරු ව විචිත්‍රවත් ව සජ්ඣායනා කරමිනි. නිකලෙස් වූ උන්වහන්සේ මෙලෙස බුදු ගුණ ගී ගයන්නේ අවබෝධයෙන් යුතු ව , නොඇළුණු සිතිනි.

ලොවේ ඇති ඉහළම පදවිය සම්බුදු පදවිය යි. ප්‍රථම ධර්ම දේශනාවෙන් පසුව විවිධ අවස්ථාවල දී සම්බුදු සසුනේ පැවිදි ව මහ රහත් වූ භික්ෂු, භික්ෂුණීන්ට අග්‍ර ශ්‍රාවක, ශ්‍රාවිකා තනතුරු ලැබුණේ නිසි ලෙස යි.

මේ පින්වතුන් පෙර සසර භවයන්හි සිට ම තනතුරු ප්‍රාර්ථනා කරමින් සිදු කළ පින් දහම්, වැඩූ කුසල් අපමණ යි. බුදුන් වහන්සේ සම්බුදු නුවණින් එවැනි උත්තමයන් දෙස බලා තනතුරු ප්‍රදානය කළේ කිසිදු අසාධාරණයක් නොවන ලෙසයි. දිනක් ඡුන්න හාමුදුරුවන්, බුදුරදුන්ට මැසිවිලි නැඟුවේ එවැනි තනතුරක් තමාට නොදීම ගැන යි. එහිදී බුදුන් වහන්සේ වදාළේ, ඔබ වහන්සේ එවන් තනතුරක් සසරෙහි පතාගෙන නොපැමිණි බවත්, තනතුරු ප්‍රාර්ථනා කරමින් පින් දහම්, කුසල් නො වැඩු බවත් ය.

ඒ අනුව සම්බුදු සසුනක තනතුරු ලබා ගැනීමට ප්‍රාර්ථනා කර, පින් දහම් කළ තවත් සුවිශේෂී අසූමහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වන්නේ වංගීස මහ රහතන් වහන්සේ යි. උන්වහන්සේ අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂුන් වහන්සේ අතරින් අග්‍ර ය. මේ රහතන් වහන්සේ නිබඳව ම විසිතුරු උපමා, අලංකාර වචන භාවිත කරමින් නොයෙක්, පද සිය දහස් ගණනින් බුදු ගුණ වර්ණනා කරන්නේ විචිත්‍රවත් ලෙස ය. එහෙයින් අවබෝධයෙන් යුතුව වචන කථා කරන භික්ෂුන් අතුරෙන් අග්‍ර වූ උන්වහන්සේගේ සසර මඟ පැතූ එම පදවිය උදෙසා කළ පින් දහම් අපමණ ය.

ඒ කල්ප ලක්ෂයකට පෙර ලොවේ පහළ වු පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ ය. මෙකල වංගිස තෙරුන් වහන්සේ හංසවති නුවර උපත ලැබුවේ එක්තරා ධනවත් කුල පුත්‍රයෙක් ලෙස ය. දිනක් මොහු බුදුන් වහන්සේගෙන් බණ අසමින් සිටිය දී දුටු දසුන විශේෂීත ය. ඒ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂුන් වහන්සේ අතරින් අග්‍ර ලෙස පිහිටුවීම යි. එලෙස ‘මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේ යැ’යි සිතා, සත් දිනක් මුළුල්ලෙහි ම බුදුන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට මහ දන් දුන්නේ සත් දිනක් මුළුල්ලේ ය. මෙලෙස දන් පිදූ මොහු තම අභිප්‍රාය දන්වා සිටියේ දන් පිදූ සත්වන දිනදී ය. පදුමුත්තර බුදුන් වහන්සේ එයට නියත විවරණ ලබා දුන්නේ මොහුගේ පැතුම ගෞතම බුදු සසුනේදී සඵල වන බවට ය.

මෙලෙස දෙව් , මිනිස් ලොව උපත ලබමින් පින් දහම් කළ මොහු සසරේ අවසන් භවයේ දී උපත ලැබුවේ සැවැත් නුවර ය. ඒ බමුණු කුලයක වංගීස නාමයෙනි. ත්‍රිවේදය හොඳීන් ඉගෙන ගත් වංගීස එක්තරා මන්ත්‍රයක් ඉගෙන ගත්තේ තම ආචාර්යවරුන්ගෙනි. ‘ශවශීර්ෂ’ නම් වූ මෙම මන්ත්‍රයේ ස්වභාවය වන්නේ මිය ගිය අය උපත ලැබූ ස්ථානය පැවසීමට සමත් වීම ය. මේ සඳහා ඔවුන් උපන් තැන පවසන්නේ මිනිස් හිස් කබළට නිය පිටින් පහරක් ගසා ය.

වංගීසගේ මව් පියන් ද මොහු ගමින් ගමට, ජනපදයෙන් ජනපදයට ගෙන ගියේ රතු සළුවකින් සරසවා, රතු තිර අදින ලද යානාවක හිඳුවා ගනිමිනි. ඒ තමන්ගේ මළ නෑයන් උපන් තැන අසා දැනගන්නා ලෙසට ප්‍රකට කරමිනි. ඒ සඳහා මොහුට කහවුණු ද අපමණ වස්තූන් ද ලැබෙන්නේ දහස් ගණනින් ය. ඇතැමුන්, මොහුට හිස් කබල් ලබා දී විචාරන්නේ තම නෑයන් උපන් ස්ථානය යි. වංගීස මාණවකයා ද එම හිස් කබල්වලට නිය පිටින් ගසා මොවුන් උපන්නේ දෙව්ලොව ය, තිරිසන් ලොව ය, මනුලොව ය යනුවෙන් පවසන්නේ අසන්නන් මවිත කරවන ලෙස ය.

දිනක් යම් පිරිසක් සැවැත්නුවර ජේතවනාරාමයට නික්ම ගියේ බුදුන් වහන්සේගෙන් බණ අසන්නට ය. එහිදී වංගීස ඇතුළු පිරිස සැරසුණේ මන්ත්‍රය උපයෝගී කර ගනිමින් බණ ඇසීමට සූදානම් වන පිරිසගේ ඥාතීන් මිය ගිය තැන පැවසීමට ය. ඒ සඳහා වංගීසගේ අනුගාමික පිරිස පැවසුවේ ‘තොපට බණ ඇසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? යනුවෙනි.

මේ වංගීස ඉතා දක්ෂ ය. ඔහු මළ මිනිසුන් උපන් තැන පවසන්නේ විශ්මිත ලෙස යි. ‘ඒ නිසා නුඹලාගේ නෑදෑයන් උපන් තැන ද මොහුගෙන් විචාරන්නැ’යි’ පැවසුව ද ඒ උත්සාහය ව්‍යාර්ථ ව ගියේ එක්තරා වාදයක් ආරම්භ වෙමිනි.

බණ අසන්නට සූදානම් වූ පිරිස පැවසුවේ ‘වංගීසයෝ දන්නේ, නෑයන් උපන් තැන පමණක් බවත්, එහෙත් අසම සම බුදුන් වහන්සේගේ ඥානය එලෙස සීමා නොවන බවත් ය. උන්වහන්සේ, මළ මිනිසුන් උපන් තැන පමණක් නොව, ඔවුන් ඉපදීමට හේතු වූ කර්මශක්තිය ද පෙන්වා දෙන අයුරු විශිෂ්ට ය. එසේනම්, වඩා උසස් බුදුන් වහන්සේ ද? නැතහොත් වංගීස ද යනුවෙන් පවසා දෙපිරිසම පැමිණියේ බුදුන් වහන්සේ හමුවට ය.

එය සම්බුදු ඥානයෙන් දුටු අමා මෑණී බුදු පියාණන් වහන්සේ ඍද්ධියෙන් මවා පෙන්වූයේ හිස් කබල් පහක් ය. ඒ නරකය, තිරිසන් ලෝකය, මිනිස් ලොව, දෙව්ලොව‍ , රහතන් වහන්සේ නමකගේ හිස් කබලක් ය. එය දුටු වංගිස මාණවකයා මුලින් සඳහන් කළ හිස් කබල් සතර ගැන පැවසුවේ නිවැරැදි ලෙස ය. එහෙත් රහතන් වහන්සේගේ හිස් කබල දැක්වූ විට ඔහු නිහඬව සිටියේ ඒ ගැන යමක් පැවසීමට අසීරුවෙනි. එහි දී බුදුන් වහන්සේ වදාළේ, ‘වංගීසයෙනි, ඒ හිස ඇත්තවුන් උපන් තැන නුඹ නොදැන සිටියත් මම එය දනිමි’යි යනුවෙනි.

එහිදී වංගීස එම මන්ත්‍රය බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ‘ඔබ වහන්සේ දන්නා ඒ මන්ත්‍රය මට ලබා දෙන’ ලෙස යි. එහි දී බුදුන් වහන්සේ , වංගීස අමතා වදාළේ, මන්ත්‍රය ලබා දීමට තම සසුනේ පැවිදි විය යුතු බව යි.

මෙලෙස මන්ත්‍රය ලබා ගැනීමේ ආශාවෙන් පැවිදි වූ වංගීස තෙරණුවන්ගේ ප්‍රඥාව අවධි වූයේ නොබෝ කලකිනි. ඒ විදර්ශනා වඩා රහත් වීමෙන් පසුව යි. එහෙත් ඒ බව නොදැන සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේ, බුදුන් වහන්සේ හමුවී පැවසුවේ, වංගීස රහත් නොවී තමා රහතන් වහන්සේ නමක් බව හඟවන බව යි. එහි දී බුදුන් වහන්සේ භික්ෂු පිරිස අමතමින් වදාළේ, ‘මහණෙනි, දැන් මාගේ පුත්‍ර වංගීස ‘චුති ප්‍රතිසන්ධි’ දන්නා රහතන් වහන්සේ නමක් ය යනුවෙනි.

මෙලෙස රහත් වූ වංගීස තෙරුන් වහන්සේ ඇතැම් වේලාවට බුදුන් වහන්සේ හමු වීමට වැඩම කරන්නේ බුදු ගුණ ප්‍රකාශිත ගාථා විසිතුරු ව විචිත්‍රවත් ව සජ්ඣායනා කරමිනි. නිකලෙස් වූ උන්වහන්සේ මෙලෙස බුදු ගුණ ගී ගයන්නේ අවබෝධයෙන් යුතු ව , නොඇළුණු සිතිනි. ඒ නිසා වංගීස මහ රහතන් වහන්සේට බුදුන් වහන්සේ දුන් තනතුර වන්නේ ‘ශාසනයෙහි අවබෝධයෙන් යුතුව කථා කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානයෙහි පිහිටුවී ම යි.

ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේ ද සඳහන් වූ මේ දේශනාව අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ඵල ලැබුවේ භාග්‍යවත් ලෙස ය. එහි සඳහන් සේ සත්ත්වයන්ගේ චුතිය, උත්පත්තිය ආදී සෑම දෙයක්ම දනී ද, කිසිවක නොඇලුණා වූ සිත් ඇති මහා ගති ඇති චතුර්විධ සත්‍ය අවබෝධ කළ ඔහු බ්‍රාහ්මණයෙක් ය. යමෙකුගේ අභ්‍යන්තර ස්වභාවය දෙවියෝ හා මිනිසුන් නොදනිත් ද, සිඳුණු ආශ්‍රව ඇති පිදුමට සුදුසු වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙක් ය යනුවෙනි.

සදහම් සඟරා - Online