ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පෙර දුන් දෙයම සසර දී ලැබෙයි

මහාචාර්ය 
පාතේගම ඤාණිස්සර හිමි

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි “සන්තකාය” නමින් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළා. “සන්තකාය තෙරුණ් වහන්සේ” එම ප්‍රදේශය තුළ ප්‍රසිද්ධව වැඩ සිටි හිමි නමකි. උන්වහන්සේගේ නම කියූ පමණින් ඒ තරමටම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් බවට පත්වූයේ උන්වහන්සේට තිබූ නමෙහි අර්ථයෙන්ම කටයුතු කළ නිසයි. සන්සුන් වූ සංවර වූ, තැන්පත් සිරුරක් උන්වහන්සේට හිමිව තිබුණ නිසාම කායික ක්‍රියාවන්වල යෙදෙන විටත්,සැතපෙන වේලාවන් තුළත්, වැඩ සිටින අවස්ථාවලදීත් ගමන් බිමන්, වැඩම කරන අවස්ථාවන්වලදීත් කායික වශයෙන් හරිම තැන්පත් ස්වභාවයකින් යුක්තව වැඩ වාසය කළා. දානය වැළදීමේදීත් ඉතාම තැන්පත් වු උන්වහන්සේ කායික වශයෙන් පමණක් නොවෙයි, උන්වහන්සේගේ සිතත් හරි සන්සුන් තැන්පත් සිතක් පැවතුණා. සන්තකාය ස්වාමීන් වහන්සේ හැම වේලාවකදීම සියලු සත්ත්වයා පිළිබඳව කරුණා සහගත සිතිවිලි වලින් කටයුතු කළ ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේ වචනයෙනුත් තැන්පත් වුණා. පුද්ගලයෙකු සමඟ කතාබහ කරන අවස්ථාවලදී එම කතා කරන කාරණය වගේම, කතාකරන ආකාරයත් හරිම තැන්පත් විලාසයක් පැවතුණා.

වාසියට පිළිතුරු

වර්තමාන සමාජය තුළ බොහෝ පුද්ගලයන් කතාකරන විට අනෙක් පුද්ගලයා නපුරු ආකාරයෙන් කතා කරනු ලැබුවහොත්, පෙරළා එම පුද්ගලයාට නපුරු ආකාරයෙන් කතා කරනු ලබනවා. නපුරු ආකාරයෙන් කතා කරනු ලැබුවේ කුමක් නිසාදැයි? විමසූ විට තමන්ට වාසි වන ආකාරයට පිළිතුරකුක් ගොඩනගා ගන්නවා. මාගෙ වචන නපුරු නැහැ. මමත් නපුරු නැහැ. එම පුද්ගලයා නපුරු ආකාරයට මට කතා කරපු නිසයි මම ඒ ආකාරයෙන් කතා කරනු ලැබුවේ යනුවෙන් ඔහු තමාගේ වාසියට කරුණු කාරණා වශයෙන් තර්ක ගොඩනගා ගන්නවා.
සන්තකාය තෙරුන් වහන්සේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයකින් යුක්ත වුණා. උන්වහන්සේගේ සිත තැන්පත් කරගන්න තරම් හැකියාවක් හා ශක්තියක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේගේ කට සන්සුන් ආකාරයෙන් භාවිත කිරීමට හැකි තැන්පත් බවක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේගේ වචනයත් ඒ ආකාරයෙන් තැන්පත් වුණා. මෙම ස්වාමීන් වහන්සේ විශේෂිත චරිතයක් ලෙස සමාජය තුළ කතාබහ කරන්නට පටන් ගත්තෙත් මෙම තිදොරෙහි පැවති තැන්පත්කම නිසාමයි. සාමාන්‍ය පුද්ගලයකුට වඩා උන්වහන්සේ තුළ තිබූ තැන්පත් බව විශේෂිතව පෙනුණා.

අසිරිමත් සංයමය

දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසකටත් “සන්තකාය” හාමුදුරුවන්ගේ මෙම කාය, වාග් මානසික හැසිරීම් විලාසයට මේ තරම් අපූරු අසිරිමත් ආකාරයට සකස්කර ගනු ලැබුවේ කෙසේද? යන කාරණාව ප්‍රශ්නයක් වුණා. එම නිසාම එම හාමුදුරුවන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනු ලැබුවේ බුදුහාමුදුරුවනේ, “සන්තකාය” හාමුදුරුවන් හරිම තැන්පත් උන්වහන්සේගේ කය තැන්පත් උන්වහන්සේ ගේ වචනය තැන්පත්. ඒ වගේම වචනය හරිම මිහිරියි. මනස තැන්පත් වන නිසාම තැන්පත් මනසින් කතා කරන වචන මිහිරියි. සිත සන්සුන් නිසාම කායික වශයෙන් කරනු ලබන ක්‍රියාවන් වුණත් කලබල නැති තැන්පත් ස්වභාවයක් ගනී. උන්වහන්සේ හිස සෙලවීම අත්පා සෙලවීමකුදු, නැහැ. ඉතාම තැන්පත් බුදුහාමුදුරුවනේ, මේ ආකාරයට උන්වහන්සේ තමන් වහන්සේගේ තුන්දොර සංවර කරගනු ලබන්නේ කෙසේද? යනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් මෙම ප්‍රශ්නය විමසනු ලැබුවා. එම අවස්ථාතුළදී බුදුරජාණන් වහන්සේ අනෙකුත් භික්ෂූන් වහන්සේලාට වදාළා මහණෙනි, මහණුන් විසින් එම ආකාරයටම පිළිපැදිය යුතුය යන්නයි. සන්තකාය තෙරුන් මෙන් හැමතැනම හැම පුද්ගලයාම කටයුතු කළ යුතුයි. භික්ෂූන් වහන්සේ නමක් පමණක් නොවෙයි,

තැන්පත් බව මදිකමක්ද?

සමාජයේ ජීවත්වන ගිහි පුද්ගලයකු වුවත් මේ ආකාරයේ තැන්පත් බවක් තිබීම අවශ්‍යයයි. අපේ සමාජය තුළ අතැම් අය සිතනවා, තැන්පත්ව ජීවත් වුවොත් ඒ ආකාරයට තැන්පත්ව ජීවත්වීම තමන්ට මදිකමක් ලෙස සමහරු සිතනවා. තමාගේ තත්ත්වයට එය මදිකමක් යනුවෙන්. ඇතැම් අය සිතනවා මම බුද්ධාගමේ නිසාම තැන්පත් වෙලා ජීවත්වන එක එතරම් හොඳ මදි. ඒ නිසා සමාජය තුළ සැඩ පරුෂ ආකාරයෙන් ජීවත් විය යුතුය කියලා. එහෙම සැඩ පරුෂ වචන ප්‍රකාශ කරන විට සැඩ පරුෂ ආකාරයට හැසිරෙන විට මමත් ලොකු අයෙක් යැයි කියලා සමහරු පිළිගනීවි කියලා හිතන අයත් සමාජය තුළ ජීවත්වනවා. සැඩ පරුෂ ආකාරයට සිතීම ලොක්කෙකුගේ ස්වභාවය යැයි සිතන පුද්ගලයන් මෙම සමාජය තුළත් සිටියි. කවුරු හෝ පුද්ගලයකු එසේ සිතනවා නම් ඒ ඔහුගේ මානසික සිතිවිල්ලක් පමණයි. එහි නිවැරැදි බවක් නැහැ. සැඩපරුෂ ආකාරයෙන් හැසිරුණු පුද්ගලයා ලොකු අයෙක් ලෙසට සලකන්නේ නොදන්න පුද්ගලයන් පමණයි. තමන්ගේ කට සමාජයට,අර්ථවත් , යහපත් ආකාරයට හසුරුවන්න බැරි පුද්ගලයා සැර පරුෂ ආකාරයට කට හසුරුවන විට, තමන්ගේ කය සමාජයේ ජීවත්වන අනෙකුත් පුද්ගලයන්ගේ යහපත පිණිස යොදවන්න බැරි, පුද්ගලයා සමාජයේ සැඩපරුෂ ලෙස හැසිරෙමින් තමන්ගේ සිත පාලනය කරගෙන තමන්ගේ මනස පාලනය කරගෙන සන්සුන්ව ජීවත්වන්න නොදන්න පුද්ගලයා නොයෙක් විකාර අවුල් තැවුල් සහිත අනවශ්‍ය ලෝකවල මනස අතරමං කරනු ලබනවා. සැඩ පරුෂ ලෙස ජීවත්වන පුද්ගලයා සමාජයේ ලොකු අයෙක් ලෙසට සමාජයේ උතුමකු ලෙසට අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ සලකන්නේ නැහැ. ඒ වගේම තැන්පත් ආකාරයට යහපත් ලෙස ජීවත්වන පුද්ගලයා නිවටයකු ලෙස අපේ සමාජය තුළ සලකන්නේ නැහැ.ඒ ආකරයට සලකනවාය කියලා කවුරු හෝ පුද්ගලයකු සිතනවානම්, එය ඔහුගේ මානසික අවුල් සහගත බවක් පමණයි.

සසර පුරා යහපත්

බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව පැහැදිළි කරනු ලබන්නේ පුද්ගලයකුට හොඳ සිතිවිලි සිතන්නට නිරෝගී මනසක් ලැබුණේ ඒ පුද්ගලයා පෙර සංසාරයේ බොහෝ යහපත් සිතිවිලි සමාජයට දායාද කිරීම නිසයි. පුද්ගලයකුට හොඳට කතා කිරීමට හොඳ හඬක් සහිත කටක්, ස්වරාලයක් ලැබෙන්නේ එම පුද්ගලයා පෙර සංසාරයේ සමාජය තුළ මිහිරි වූත්,අර්ථවත් වූත් දේ ලබාදුන් නිසා බව බුදුදහම සඳහන් කරනු ලබයි. පුද්ගලයකුට අබල දුබල නොමැති අඟපසඟ සහිත ශරීරයක් ලැබෙන්නේ එම පුද්ගලයා දාන මාන ආදී පින්කම් පෙර සංසාරය තුළ වැඩිපුර කළ නිසා බව බණ පොතේ සඳහන් වෙයි. දුන් දෙයමයි පෙරළා තමාට ලැබෙන්නේ. ඔබ පෙර දුන් දෙයයි ඔබට වර්තමානය තුළ ලැබී තිබෙන්නේ. ඔබ අද යහපත් දේ දුන්නොත් ඒ යහපත් දේ. ඔබට හෙට ලැබෙනවා. ඔබ අද අයහපත් දේ ලබාදුනහොත් ඔබට හෙට අයහපත් දෙයම පෙරළා ලැබෙනවා. පරිසරය ගත්විට පරිසරය තුළ පොළොව තුළ තණකොළ වැවෙනවා. ඒ අතර මුකුණුවැන්න ආදි පෝෂ්‍යදායක, ගුණදායක අස්වැන්න සහිත පැළෑටිත් තිබෙනවා. පැලෑටි ලෙස මෙම වර්ග දෙක එකක් වුවත් පෝෂ්‍යදායි ගුණය අනුව එහි බොහෝ වෙනස්බවක් තිබෙනවා. එකම පොළොවෙහි, එකම සරු පසෙහි අප භාවිතයට නොගන්න වල්පැළෑටි වැඩෙනවා මෙන්ම අපට අවශ්‍ය ගුණදායක පෝෂ්‍ය පදාර්ථ යහපත් දේවල්ද, වල් පැළද හැදෙනවා.
මෙම සමාජයත් ඒ ආකාරයයි. යහපත් දෙය ලබාදෙන, යහපත් දේ කියන, යහපත් දේ සිතන එය සමාජයට ලබාදෙන උතුම් මිනිස්සු මේ පොළොව තුළ ජීවත්වනවා.අයහපතම ලබාදෙන,අයහපතම සිතන අයහපතම කියන සිත, කය, වචය යන තුන්දොරින්ම සමාජයට අයහපතම ලබාදෙන පුද්ගලයන්ද සමාජය තුළ ජීවත්වනවා. එය මහ පොළොවෙහි පවතින වරදක්ම නොවෙයි. පරිසරයෙහි පවතින වරදක්ද නොවේ. මිනිසුන්ගේ පින පව අනුව ඔවුන්ගේ මනස හසුරුවන ආකාරයේ ගැටලුවක්.
සන්තකාය හාමුදුරුවන්ගේ චරිත කථාව අධ්‍යයනය කරන විට බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේ පිළිබඳව දක්වන අදහසුත් සැළකිල්ලට ගත් විට අපට පෙනෙන, පැහැදිළි වන වන කාරණය මනසට යහපත් දේවල් සිතෙන්නෙත්, මනසින් යහපත් දේ කරන්නෙත්, යහපත් වචන කියන්නෙත් පෙර සංසාරයේ පින් පෙත් අනුවයි.අයහපත් දේ ප්‍රකාශ කරන්නෙත්, සිතන්නෙත්, කරන්නෙත් පෙර සංසාරයේ අකුසල කර්ම අනුවයි.
හේමමාලා රන්දුනු
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙත් බෝසත් විවරණය

ඌරුගමුවේ අස්සජි හිමි
ඉල් පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන දිනයයි. සම්බුද්ධ ශාසන ඉතිහාසය දෙස විමසා බැලීමේදී ඓතිහාසික ශාසනික සිදුවීම් කිහිපයකට මුල් වූ දිනයක් ලෙස ඉල්පොහොය දිනය හඳුන්වා දිය හැකිය.
ඒ අතර මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වු මහරහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනයවීම, චීවර මාසයේ අවසන් පොහොය දිනයවීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනයවීම සහ අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන්පෑම යන කරුණු නිසා ඉල් පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි.
වප් පොහොය දිනෙක මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පිරිවර සමඟ අප ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. ඔවුන් එසේ පැමිණියේ දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීම හා බුදුරදුන් හා සැරියුත් හිමියන් අතර වු ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පසුවයි. වස්සාන සමයේ අවසාන භාගයෙහි මෛත්‍රෙය බෝධි සත්ත්වයන්වහන්සේ තමාට වස්සාවාසික චීවර ලෙස ලැබුණූ අගනා වස්ත්‍ර යුගලය බුදුරදුන් වෙත පුදා එකත්පසෙක වැඩ සිටියහ. ඒ ඉල් පොහොය දිනෙකය. එම වස්ත්‍ර යුගලයෙන් එකක් ගෙන බුදුරදුන් වැඩ සිටි ගඳකිලියෙහි වියනක් කොට පිදු අතර අනෙක් තීරු වශයෙන් ඉරා මහ වියන් කෙළවර එල්ලා බැඳ පිදූහ. පසුව බුදුරජාණන් වහන්සේ මෙම මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ අමතා “ඔබ වනාහි මේ මහා භද්‍ර කල්පයෙහිම මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැ”යි නියත විවරණ දුන් සේක. නියත විවරණ ලැබීම යනු බුදුවීම සඳහා පෙරුම් පුරන බෝසත්වරයෙකු තමා අනාගතයෙහි බුදුවන බවට බුදුරජාණන් වහන්සේ නමක් හමුවෙහිදි ලබාගන්නා ස්ථිර ප්‍රකාශයයි.
මේ අනුව බුදුරජාණන් වහන්සේලා පස් නමක ගෙන් සමන්විත මෙම මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුද්ධත්වය ලබනුයේ මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේය. චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි කියවෙන පරිදි එතුමන් උපදින්නේ බරණැස් නුවර කේතුමතී නම් රාජධානියෙහි”කේතුමතී’ නම් නගරයෙහිය. මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ පිළිබඳ සෑහෙන ප්‍රමාණයක් විස්තර ඇතුළත් වන්නේ “අනාගත වංස” සහ “බුද්ධවංස” යන පාලි භාෂාවෙන් රචිත පොත්වලය. ඒ හා බොහෝ සෙයින් ගැලපෙන කරුණු පූජාවලිය, සද්ධර්මරත්නාවලිය යනාදි ග්‍රන්ථවල ඇතුළත් වී තිබේ. පුරාතන මෛත්‍රය වර්ණනාව තුළ කියවෙනුයේ මෙම මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිය හැකිවන්නේ කෙබඳු අයටද, පැමිණීමට නොලැබෙන්නේ කෙබඳු අයට ද යන කරුණුය. පංචානන්තරිය අකුසල කර්ම කළ තැනැත්තන් ඇතුලු බරපතළ අකුසල කර්ම කළ අයට උන්වහන්සේ දක්නට නොලැබෙයි.
බුද්ධ ශාසනය තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂූ සමාජය කෙමෙන් කෙමෙන් වර්ධනය වී රහතන් වහන්සේ සැට නමක් බවට පත් විණ. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළහ.
චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං , මා එතෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සබ්‍යඤ්නං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්ම චරියං පකාසෙථ
මහණෙනි, ලොවට අනුකම්පා පිණිස,දෙවි මිනිසුන් ගේ හිත පිණිස සුව පිණිස දියුණුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙකු එක මගින් නොයන්න. මෙම දහම මුල මැද අග යහපත් වූවකි.අර්ථ සහිතවු හාත්පසින් සම්පූර්ණ වු පිරිසුදු වු සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න.
මෙසේ මුල් පොහොය දිනෙක ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත චාරිකාවේ පිටත්කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ.
එකල උරුවෙල් දනව්වේ ජටිල සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ අතරෙන් පන්සියයක් පිරිවර සමඟ උරුවේල කාශ්‍යපද තුන්සියයක් පිරිවර සමඟ නදී කාශ්‍යපද දෙසීයක පිරිවර සමග ගයා කාශ්‍යපද වාසය කළහ.උරුවේලාවේ නේරංජනා නදිය සමීපයේ ආරාමයකින් ඉදිකරවාගෙන විසු ඔවුහු මානයෙන් උදම්ව සිටියහ. බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ ආරාමයට වැඩමකොට එහි රැය පහන් කිරීමට නවාතැනක් ඉල්ලා සිටියහ. එහෙත් එහි නවාතැන් දීමට අකැමැතිබව උරුවේල කාශ්‍යප බුදුරදුන්ට ප්‍රකාශ කළේ ඊට හේතුද දක්වමිනි. එනම් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල්ගෙය පමණක් වීමත්, එහි දරුණුූ නාගයෙකු වාසය කිරිමත්ය. නාගයෙකු සිටීම තමන් වහන්සේට ගැටලුවක් නොවන බව බුදුරදුන් සඳහන් කළ විට එසේ නම් නවාතැන් ගැනීම කෙරෙහි තමාගේ බාධාවක් නොමැතිබව උරුවේල කාශ්‍යප ප්‍රකාශ කළේය.
ඉක්බිතිව බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩමකොට එහි තණ ඇතිරියක හුන්සේක. නාගරාජයා බුදුරදුන් දැක කිපී විෂ දුම් පිට කළේය. බුදුරජාණන් වහන්සේ ඍද්ධි බලයෙන් පෙරලා දුම් විහිද වූහ. නාගරාජයා ක්‍රෝධ ගින්නෙන් වෙලී දිලිසුණු අතර බුදුරදුන් ඍද්ධිමය ගින්නෙන් බැබලුණි. මුලු ගිනිහල් ගෙයම ගින්නෙන් වැසී ගත්තාක් මෙන් දිස් වුණි. ජටිල පිරිස එය දැක මහා ශ්‍රමණයන් වහන්සේට නාගයා බෙහෙවින් පීඩා පමුණුවා ඇතැයි, සිතූහ. රැය පහන් වු පසු බුදුරජාණන් වහන්සේ ඔද සිඳීගිය නාගරාජයා ස්වකීය පාත්‍රයෙහි දමා උරුවේල කාශ්‍යප වෙත පෙන්වූහ. හෙතෙම එය දැක ප්‍රකාශ කෙළේ “ මහා ශ්‍රමණයන් වහන්ස, ඔබ නාගයින් දමනයෙහි දක්ෂය. එහෙත් මා සේ රහත් බවට පත්ව නැතැ”යි යනුවෙනි. මෙකී තුන්බෑ ජටිල පිරිසම තමන් රහත්. , යන මානයෙන් මුලා වී සිටි අතර එම වැරැදි මානය දුරු කොට නිවන් මගට ඔවුන් යොමු කරවීම බුදුරදුන්ගේ එකම අපේක්ෂාව විය. එබැවින් බුදුරදුන් ඔවුනගේ මානය දුරු කිරීමට තුන් දහස් පන්සිය දහසක් ප්‍රාතිහාර්ය පා වදාළ බව සඳහන්ය. ඒ දැක උරුවේල කාශ්‍යප බුදුරදුන් කෙරෙහි බෙහෙවින් ප්‍රසාදයට පත්ව පන්සියයක් වු ස්වකීය අතවැසි පිරිසද සමඟ පැවිදිවූහ. පැවිදි වු ඔවුහු පසුව ජටා මඩුලු හා තවුස් පිරිකර නේරංජනා නදියෙහි පාකර යැවූහ. ගඟෙහි පාවි යන තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදුවී දැයි, සොයා බලනු පිණිස වහ වහා තම පිරිවරද කැටිව පැමිණියහ. එහිදී ඔවුන් පැවිදි වී සිටිනු දැක තමාද කරුණුූ විමසා ස්වකීය පිරිවර සමඟ බුදුරදුන් වෙතින් ධර්මය අසා පැහැදි පැවිදි වූහ. ගඟෙහි පාවීයන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප ප්‍රමුඛ පිරිසද නදි කාශ්‍යප සේම කලබලයට පත්ව දිව අවුත් තත්ත්වය වටහාගෙන බණ අසා පැවිදි වූහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් පමණ වු ජටිල භික්ෂූන් වහන්සේලාද පිරිවරාගෙන ගයා පෙදෙසට වැඩම කළහ. එහිදි බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝම රහත්භාවයට පත්වූහ. බුද්ධ චරිතයේ මෙම අසිරිමත් සිදුවීම වූයේද ඉල් පොහොය දිනෙකය.
පෙරවස් පවාරණය සහ පසුවස් පවාරණය යනුවෙන් පවාරණය කොටස් දෙකකින් යුක්තය. ඇසළ පුර පසළොස්වක පොහොදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පෙරවස් සමාදන් වි වස් ආරක්ෂාකර වප් පසළොස්වක පොහෝදා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙරවස් පවාරණයයි. නිකිණි පොහොදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පසුවස් සමාදන්වී ඉල්පුර පසළොස්වක පොහෝදා වස් පවාරණය කිරීම පසුවස් පවාරණයයි. එය ඉල් පොහොයදා සිදුකෙරෙන තවත් වැදගත් ශාසනික කාර්යයකි. මේ අනුව වස්සාන සමයේ අවසාන පොහොය දිනය වු ඉල් පොහොය මෙකී ඓතිහාසික වූත්, ශාසනික වූත්. සිදුවීම් කිහිපයක් මුල් කරගත් වැදගත් පොහොය දිනයක් බව වටහාගත යුතුය. 


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තම සිතින්ම සෙවිය යුතු සැනසීම

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති 
“බෞද්ධයා” මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී 
දරණාගම කුසලධම්ම හිමි

දිය බිඳුවකින් පටන් ගන්නා ගංගාවක ආරම්භය පිවිතුරුය. ගඟ කෙමෙන් කෙමෙන් පහළට ගලා යත්ම විවිධ වූ අපවිත්‍ර දේ එක්වීමෙන් බොහෝ සෙයින් අපවිත්‍ර වේ. මිනිස් මනසේ ස්වභාවය ද මීට සමාන කළ හැකි වේ.
ළපටි අවධියේ ප්‍රභාෂ්වරව තිබෙන මනස වයසින් වැඩීමත් සමඟ විවිධ වූ අරමුණු හා හැඟීම් ඔස්සේ දිවීම නිසා කිළිටි වේ. එහෙත් පෙර භවයෙන් ගෙනා දේ හිතේ තැන්පත්ව නිසොල්මන්ව තිබෙන බව ද අමතක නොකරන්න. සංඛාර පච්චයා විඤ්ඤාණං සකස් වන කුසල අකුසල සියල්ල විඤ්ඤාණ ගතවේ. විඤ්ඤාණ පච්චයං නාම රූපං, ඒ විඤ්ඤාණය කිසියම් මව්කුසක පිළිසිඳ ගනී. ඒ නාම රූපයයි. ආයතන පහකුත් එකතු කරගෙන මව් කුස තුළින් ළදරුවෙකු හැටියට බිහි වන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්මතාව තථාගතයන් වහන්සේ ලොවට හෙළි කළ සේක.
ධර්මය හැදෑරීම එක දෙයකි. අත්දැකීම, අනෙකකි. හුදු ඉගෙනීමෙන් ඔබ්බට ගිය ධර්ම ගවේෂණය ප්‍රතිඵලදායක වන්නේ අපේ ජීවිතවල පවතින අතෘප්තකරතාවන් බැහැර කිරීමටත් අප අවට සිටින්නන්ගේ සතුට හා සැනසිල්ල සඳහාත්ය. දුක, දොම්නස උපදින හැටි හා එහි රඳා පැවැත්ම තේරුම් ගත හැක්කේ විසිරුණු මනසකට නොවේ. නිසසල මනසකට ය. සසලතාවයට පත් මනස දුක මෙන්ම සතුට උපදින සිතිවිලි බිහි වී නොසන්සුන්ව තිබෙන නිසා දුක හට ගැනීම හා දුක පවතින හැටි තේරුම් ගත හැක්කේ මනස සංසිඳුණු විටයි.
එසේම මනසෙහි සසල බව, හිස් බව, නොසෑහීමට පත් ස්වභාවය දැනගත හැකි වන්නේ මනස දෙස තැන්පත්ව බැලීමෙන් ය. හේතුන් නිසා හටගත් නිර්මාණ රාශියක් චේතනා හා සංස්කාර නමින් ඇත. සංස්කාර යනු චේතනාවලට තව නමකි. මේවා උපදින්නේ ඇත්ත ඒ වූ ආකාරයෙන්ම නොදන්නාකම නිසා ය. අවිද්‍යාව කියන්නේ ඒ නොදන්නා කමයි. ලෝකයේ යම්තාක් දුක් දොම්නස් තිබේ නම් ඒවා හට ගන්නේ තණ්හා උපාදාන භව ජාති යන පටිච්ච සමුප්පාද ධර්මතාව නිසාය. අවිද්‍යාව තිබුණොත් කර්ම වෙනවාමයි. කර්ම සකස් වීම් හෙවත් සංස්කාර වුණොත් විඤ්ඤාණය පිහිටනවාමයි. විඤ්ඤාණය පිහිටියොත් මව් කුසකට බැසගන්නවාමයි. එවිට ජරා, ව්‍යාධි, මරණ ඇති වෙනවාමයි. ඉපදීම යම් තැනක නොතිබේද, ජරා මරණ නැත.
අත හැරීම බුදු දහමේ මූලික උපදේශයයි. දුක මෙන්ම මායාකාරී සැපය ද අයත් වන ලෝකයෙන් මිදීමට පදනම් වන්නේ අතහැරීමයි. භාවනාවේ ප්‍රධාන අරමුණ ද අතහැරීමයි. භාවනා අරමුණ ගැන පමණක් ම නොසිතා සිතට එන අරමුණු කපා හරිමින්, සිතිවිලිවලින් මිදෙමින් දොඩමලු කල්පනා භරිත මනස ඒ වල්පල්වලින් මුදා ගත යුතු ය. එවිට ගැඹුරු අවබෝධය කරා ඔබව ගෙන යනවා ඇත.
මමය, මගේය, කියන හැම දෙයක්ම අත හැරිය යුතු බව බුදුදහම අපට උපදෙස් දෙති. මනස පුහුණු කළ යුත්තේ මේ බව අවබෝධයට ගැනීමටයි. සියලු සිතිවිලි නම් වූ සංස්කාරවලින් නිදහස් විය හැක්කේ මේ මනස පුහුණු කිරීමෙනි. මනස පිරික්සන විට අපට දැනගත හැකි වන්නේ ඒවා මානසික මූලධාතු කැටියක් වශයෙන් විනා මම යයි ගත හැකි දෙයක් නොවන බවයි. හැම දෙයක්ම කරන්නේ මමය. පෘථග්ජන පුද්ගලයා මම නැතිවනවාට බිය වේ. හැම දෙයක් ම මගේ කර ගන්නේ මම හිස් වනවාට බියෙනි. ‘මම’ අත හැරීම මහා බරකින් නිදහස් වීමක් වන බව තථාගතයන් වහන්සේ දේශනා කළහ. ශ්‍රද්ධා වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන මේවා ඉන්ද්‍රිය ධර්ම වේ. මුල් ධර්මතා සතර වැඩෙන්නේ ප්‍රඥාව සමඟය. ප්‍රඥාවකින් තොරව ශ්‍රද්ධාව වැඩීමට ඉඩක් නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ අප අත් දකින අවබෝධය නිවැරදි නම් පමණි. එය ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමක් ය.
සමාධි වූ හිත ශාන්ත බවට පත් වීම ස්වභාවයයි. ඒ ශාන්ත බවට ඇලුණොත් සමාධිය බිඳේ. හෙළි පෙහෙළි කළ බිමක් වල් බිහි වීමට ඉඩ හළ හැකිය. නැතහොත් එළවළු වගා කළ හැකිය. සමාධි වූ සිතට ඇලීම වල් බිහි වන්නට ඉඩ හැරීමක් වැන්න. ඒ තව දුරටත් භවයෙහිම රැඳී සිටීමකි. ඒ නිසා සමාධියේ ශාන්තභාවය මගේ කර ගත යුතු නොවේ. ඒ පඤ්චුපාදානස්කන්ධයට ඇලීමකි. මම යනු රැවටිලි කාරයෙකි. මම නැති තැන පූර්ණ නිදහසකි. කුසල් අකුසල් හෝ බිය සැක තොර බැඳීම් නැති පූර්ණ සංසිඳීමක්ය. හරියටම අප මම කෙනෙකු මවාගෙන තිබෙන්නේ මවගේ තුරුලෙහි සැඟ වී බිය ජනක තැනකට යන දරුවෙකු මෙන්ය. සිතින් කය බදාගෙන සිටින්නේ, මේ සිතත්, කයත් වෙන් වූ ධර්මතා දෙකක් බව නොදැනයි. හිත සහ කය එකක් නම් මරණින් පසු එක්වම යා යුතු ය.
සැප දුක යන දෙකම අප හට හිමි කර දෙන්නේ සිතය. ලෝකයේ හඳුනා ගැනීමට බැරිම හිතය. භාවනාවෙන් පවිත්‍ර වන මනස අරමුණු වල හොඳ නරක හඳුනා ගනී. හිත දූෂ්‍ය වන්නේ අරමුණුවල පැටලීමෙනි. හිත පූර්ණ ලෙස නිවහල් බවට පත් කිරීම බුදු නුවණින් සිද්ධ කළා වූ මහා ප්‍රාතිහාර්යයයි. මෙසේ පත් කළ සමාහිත සිතින් ලොව හැම දෙයක් ම හේතුන් නිසා හට ගන්වන ආකාරය පෙන්නුම් කෙරෙන පටිච්ච සමුප්පාද ධර්මතාව බුදු නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත් සත්‍යය බෝධි සූත්‍රය ඇසුරින් ගාථා ධර්ම තුනකින් දේශනා කර වදාළහ. වීර්යයෙන් ධ්‍යාන වඩන බ්‍රාහ්මණයා හට ධර්මයන් පිළිබඳ අත්දැකීම් පහළ වේ. ඒ ධර්මයන් හා බැඳී ඇති හේතු ප්‍රත්‍යයන් අවබෝධ වීම හා සමඟ ඒවා පිළිබඳ සියලු සැක සංඛා දුරුවී යයි. මේ අන් කිසිවක් නොව සංස්කාර ධර්මයන් නොදන්නාකමින් ගොඩ නඟා ගෙන තිබෙන පෘථග්ජනභාවය නිසා මිනිසා දුකට පත් වී ඇති ආකාරයයි.
වීර්යයෙන් ධ්‍යාන වඩන බ්‍රාහ්මණයා හට ධර්මයන් පිළිබඳ අත්දැකීම් පහළ වේ. ඒ ධර්මයන් හා බැඳී ඇති හේතු ප්‍රත්‍යයන් නැතිකර දැමීම ප්‍රත්‍යක්ෂ වන කල්හි ඒවා පිළිබඳ සියලු සැක සංඛා දුරු වී යයි. මෙසේ දෙවැන්නෙන් දේශනා කළේ එම සංස්කාර ප්‍රහීණ කිරීමෙන් සියලු දුකින් නිදහස් ආර්යභාවයට පත්විය හැකි බවයි.
වීර්යයෙන් ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට ධර්මයන් පිළිබඳ අත්දැකීම් පහළ වේ. ඒවා කැටුව එන මාර සේනාව විධ්වංශනය කොට අහස් කුස බබළන සූර්යයා මෙන් නැගී සිටියි. මෙසේ තුන් වැන්නෙන් හෙළි කළේ අනුලෝම වශයෙන් ප්‍රත්‍යයන් විසින් නිර්මාණය කරනු ලබන සංස්කාර දුක ද, ප්‍රතිලෝම වශයෙන් සංස්කාර දුක නැතිකර දැමීමේ හැකියාව ද එකිනෙක ගලපා අවබෝධ කිරීමෙන් සියලු කෙලෙස්වලින් මිදී නිවන් අවබෝධ කළ හැකි බවයි.
සිදුහත් බෝසතුන් නිසැකවම සියල්ල දක්නා (සර්වඥ) අයෙකු බවට පත්වූහ. වෙනස් වන ස්වභාවයන්ට අනුව යමින් දුකට, හෝ සතුටට පත් නොවී සිටියහ. ඉපදීමෙන්, ලෙඩ දුකින් වයස් ගත වීමෙන්, මරණයෙන් ද මිදී හේතුඵල හෝ සංස්කාරයන්ගෙන් තොර දුක සැප හා යහපතින් අයහපතින් ඈත් වී පවත්නා මේ තත්ත්වය සැබෑම නිවීම වන්නේ ය.
බුදු දහම ඉගෙනීමෙන් පමණක් සසර ගමන නැවැත්විය නොහැක්කේ ය. හොඳ නරක දුක සැප ආදී සියලු තත්ත්වයන් තුළ ඒවාට අනුව හිත වෙනස් වේ නම් තවමත් ඉපදීමෙන් හා මරණයෙන් මිදී නැත. හිතේ පහළවන හැම දෙයකම ප්‍රකෘර්ති ස්වභාව මතුකර ගනිමින් ඇලීමේ හා ගැටීමේ ප්‍රශ්නය නිරාකරණය කර ගත හැක්කේ මනසේ සැබෑ තතු මතු කර ගැනීමෙන් ය.
කෙලෙස්වලට සුපුරුදු පෝෂණය ලබා නොදී ඒවාට විරුද්ධව සටන් කරන විට භාවනාව වැඩේ. අප ක්‍රියාත්මක විය යුත්තේ ගැටලුවක් හා ගැටීමක් ඇති වන තැනින් ය. සැනසිල්ල ඇත්තේ කඳු ගංගා තැනිතලා, දිය ඇලි යන කිසි තැනක නොවේ. සැනසීම ඇත්තේ තමාගේ සිත තුළමයි. කැළඹීම හා දුක ඇති වන තැනින් ම සැනසීම සොයා ගත හැකිවේ. සියලුම දුක් කරදර වලින් මිදීමට නම් අප අපගේ ම සිත්වල පාලකයන් වීමට උත්සාහ ගත යුතු ය.
භාවනාවේ දී මුලදීම නොවැළැක්විය හැකි පරිදි හිත විසිර යයි. මේ කෙලෙස්වල බල පෑමෙනි. ඇතුළත තුවාලයකට කරන බාහිර පිළියම් නිසා තුවාලය සුව නොවන්නා සේ ක්ලේශයන් තෘප්තිමත් කිරීමෙන් පලක් නැත. මේ කෙලෙස් වලටයි බෙහෙත් දිය යුත්තේ. සිතිවිලි මාධ්‍යය කරගෙන එන කෙලෙස් හඳුනාගෙන ඒවා හාමත් කර ප්‍රාණය නසාලිය යුතු ය. අපේ හිත මෙල්ල කළ යුත්තේ මී හරකෙකු මෙල්ල කරන පරිද්දෙනි. හිත නම් වූ මී ගවයා, සිතිවිලි නම් වූ කෙලෙස් ගොයම දෙසට ඇදේ. ප්‍රඥාව නම් වූ ගව පල්ලා සිතිවිලි නම් වූ ගොයම දෙසට ගවයාගේ යාම වැළකිය යුතු ය. අපේ හිත් තුළ ද ප්‍රඥාවේ මෝදු වීම මෙලෙස විය යුතු ය. මම හැඟීමේ මූල බීජයක් එහි අවසානයත්, සියලු දොම්නස්වල කෙළවරත්, මේ අනුසාරයෙන් දැන ගත හැකි වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මේ ජීවිතයට මඟ කියන සංසාර පුරුදු

කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි
ත ථාගතයන් වහන්සේ ලොවට පහළ වී දුක් වි ඳින අපට ඒ දුකෙන් නිදහස් වන මාර්ගය දේශනා කොට වදාළා. මුල, මැද, අග පිරිසුදු ඒ දහම් මඟේ යන පුද්ගලයාට අවසානයේ පෙනෙන නිජබිම මුණගැසෙන බව උන්වහන්සේ වදාළා.
ඔබට ඒ සඳහා පුංචි බණ කථාවක් කියා දීමට අදහස් කළා. දවසක් එක්තරා දායකයෙක් තථාගතයන් වහන්සේට දානයට ආරාධනා කළා. උන්වහන්සේ වදාළා පින්වත, එදින මම වෙන දානයක් භාරගෙන තිබෙනවා. ඔබට ඕන පිනක් කරන්න නේ. මම එයට සුදුසු ස්වාමින් වහන්සේ නමක් ලබා දෙන්නම් කියා. දායකයා කැමැති වුණා. නිසි දින දානමය පුණ්‍ය ක්‍රියාව සඳහා දායකයා අර ස්වාමින් වහන්සේ වඩම්මවාගෙන ගම් ප්‍රදේශයට ගමන් කරනවා. ඒ යන ගමනේ ගස්, ගල් පර්වත, ඇළ දොළ ගංඟා පසු කරගෙනයි මේ ගමන යන්න තිබුණේ. ස්වාමින් වහන්සේ බොහෝම සංසුන් ගමනින් වඩිනවා.
දායකයා පිටුපසින් ගමන් කරනවා. මෙසේ යනවිට මේ ස්වාමින් වහන්සේට හමුවුණා මහා යෝධ ගංඟාවක්. මේ හිමියන් මොහොතක් ගඟ ලෙස බලාගෙන හිටියා. ගඟේ වතුර වැඩියි. පෙරදා හොඳට වැහැල ගගේ වතුර වැඩිවෙලා. ඒදණ්ඩ යට වෙලා.
ගඟ පිරිලා. උන්වහන්සේ මෙතෙක් වෙලා බිම බලාගෙන ශාන්ත ගමනින් ආ ඒ හිමියන් හොඳ ගැම්මක් අරගෙන කිසිදු සංවරකමක් නැතිව ගඟෙන් එහා පැත්තට පැන්නා. “අනේ ඇයි මේ හිමියන් සංවරයක් නැතිව මෙසේ පැන්නේ” කියා මේ දායකයාගේ සිත බිඳ වැටුණා. ස්වාමින් වහන්සේ ගඟේ එහා කෙළවරේ ඉඳන් නැවත ශාන්තව ගමන් කරනවා. දායකයා කල්පනා කරනවා කිසිම සංවරයක් නැතිව ගඟෙන් පැන්නා. දැන් නැවත සංවරව ගමන් කරනවා.
දායකයා ඒදණ්ඩෙන් අමාරුවෙන් එහා පැත්තට ගිහින් උන්වහන්සේ පසු පස්සේ ගමන් කරනවා. යන ගමන් විවිධ විතර්ක සිතිවිලි වලින් සිත පිරිලා. මේ හිමියන්ගේ කිසිදු සංවරකමක් නැහැනේ. මම දන් දෙනවාද? නැද්ද? මේ දන් දෙන එකෙන් මට පිනක් රැස්වෙයිද? අවසානයේ තීරණය කළා ගෙදර හොඳට පිළිවෙල කළ දානය සියල්ල පූජා කරනවා. නමුත් මම පිරිකර පූජා කරන්නේ නැහැ කියා සිතුවා.
තව ටිකක් දුර වඩින විට පුංචි දිය පහරක් හමුවුණා. දායකයා නැවත විමසිලිමත් වුණා. ගඟෙන් පැනපු කෙනෙකුට මේ දොළ පහර මොකක්ද? මෙයිනුත් පනියි සිතමින් දායකයා සිතෙන් ලත වෙනවා. ස්වාමින් වහන්සේ ඒ පාර කලබල නැහැ. හෙමින් දොළ කඩිත්තට බැහැලා පා දෙක දෝවනය කරගෙන සංවරය දොළෙන් එතෙර වුණා. දායකයා පුදුම වුණා. ඔහුගේ සිතේ ප්‍රශ්න ගොඩයි. පනින්න බැරි මහා ගඟෙන් අසංවරව පැන්නා. දැන් පනින්න පුළුවන් දොළෙන් දොළ කඩිත්තෙන් පැන්නේ නැහැ. ගැටළු ගොඩක් හිතේ තෙරපුණා. දායකයා කියනවා ස්වාමිනි, මට ගැටලුවක් තිබෙනවා දැනගන්න. ඔබවහන්සේ දානයට වඩිද්දී අර මහ ගඟෙන් කිසිම සංවරයක් නැතිව පැන්නා. නමුත් මේ දොළ කාණුව බොහෝම පුංචියි. ඒකෙනුත් පනින්න තිබුණානේ. ඇයි පැන්නේ නැත්තේ? කියා ඇසුවා. ස්වාමින් වහන්සේ වදාළා පින්වත එකකින් පැනලා පූජා කරන්න සිටි පිරිකර ටික නැතිකර ගත්තා.
මේකෙනුත් පැන්නානම් අද දානයත් නැති වෙනවා. ඒකයි පැන්නේ නැත්තේ කිව්වා. දායකයා පුදුම වුණා. මගේ සිත ස්වාමින් වහන්සේ දැනගෙන නේ. මගේ සිත කියවලානේ කියා ඔහු කලබල වුණා. මේ දානයට වඩින ස්වාමින් වහන්සේ තුළ බලගතු ඤාණයක් වන අනුන්ගේ සිත් දකින ඤාණයක් තිබුණා. මුන් වහන්සේ රහතන් වහන්සේ නමක්නේ යැයි සිතමින් සිදු වූ දෙයට ලතවෙමින් දෙදෙනා ගමන් කළා.
දායකයා ගෙදර ගිහින් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් දානයත් පිරිකර සියල්ල පූජා කළා. නැවත වඩම්මවාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. සිදු වූ සියල්ල විස්තර කළා. දායකයා අසනවා ස්වාමිනි, ඒත් උන්වහන්සේ ඇයි අර ගඟෙන් අසංවරව පැන්නේ? බුදු නුවණින් අර හිමිගේ සංසාර ගමන ගැන බැලුවා.
පින්වත, ඒ ස්වාමින් වහන්සේ මේ දීර්ඝ ගමනක් ආ සංසාරේදී භව ආත්ම පන්සියයක්ම වඳුරු ආත්ම භාවයන් ලබාගෙන තිබුණේ. ඒ නිසා යි එහෙම කළේ. ගහෙන් ගහට පැනපු ආකාරය ජන්ම පුරුද්දක් ලෙස සිතට ආවා. නමුත් ඔබේ සිත කැළඹුන බව දැක්කා. ඒකයි දොළ පාරේදී පැන්නේ නැත්තේ කියා වදාළා.
එහෙනම් තේරුම් ගන්න පෙර පුරුදු රහත් වූ භවයට පවා මනස හරහා ගමන් කරනවා. එකම ගෙදර ඉන්න දරුවෝ දෙදෙනෙක් ගැන හිතන්න. නිවසේ සියලු දේ දෙදෙනාට සමාන වුවත් කෙනෙක් ධර්මයට කැමැතියි. හරිම ගුණවන්තයි. සීලවන්තයි. ප්‍රඥාවන්තයි. අනෙක් දරුවා එහෙම නැහැ. සැරපරුෂයි.
සංවර නැහැ. ධර්මයට කැමැති නැහැ. හේතුව දැන් එක ගෙදරක ඉපදුනාට සංසාරික වශයෙන් මේ දෙන්නාගේ මනස අහසයි පොළොව වගේ. දීර්ඝ සසර පුරා අප කරගසාගෙන යන කර්ම කිහිපයක් තිබෙනවා. ඒ කර්ම බීජ, ක්ලේශ බීජ, ස්මෘති බීජ (පෙර සසරේ මතක සටහන්) මේවා කර ගසාගෙන යන බැරි බරක්.
තථාගතයන් වහන්සේ වදාළා මේ සසර බර පැත්තකින් තැබුවානම් ( සෝවාන් වුණානම්) ඔහු බිම තැබු බර හිමාල පර්වතයට සමානයි කියනවා. තව ඉදිරියට ගෙනයන්න තිබෙන බර සමානයි හරියට අබ ඇට හතක් වගේ කියාත් වදාළා තිබෙනවා.
සමාජයේ සිටින පිරිසෙන් කෙනෙක් ධර්මයට කැමැතියි, කෙනෙක් අකැමැතියි, කෙනෙක් ගුණයෙන් පිරිපුන්. අනෙකා එහෙම නැහැ. එහෙමම වෙන්නේ සංසාරේ පෙර පුරුදු නිසා. යක්ෂ, පේ‍්‍රත, භූත ආදියේ ඉපදුන අයට ධර්මය හුරු නැහැ. හොඳ වචන හුරු නැහැ. ඒ වගේම ගුණවත්කම හුරු නැහැ. නමුත් සංසාරේ මනස හොඳ දෙයට හුරු කළ කෙනාට අමුතුවෙන් හොඳ දේ කියා දෙන්න ඕන නැහැ. තමා අඳින ඇඳුම කිලුටු වුණාම එය ඉවත් කර වෙන එකක් අඳිනවා වගෙයි හරියට මියයනවා කියන එකත්. ඇඳුම වෙනස් කළාට පුද්ගලයා එකයි. ඒ වගේ අප මේ ජීවිතයේදී මරණයට පත්වුණාට අපේ කර්මය වෙනස් වන්නේ නැහැ.
සමහර දරුවන් ඉන්නවා දෙයක් කියනකොටම අවබෝධ වෙනවා. මේවා සංසාරයේ අපගේ මනස යම් තැනක තැබුවාද ඒ තැනින් තමා නැවත පටන් අරගෙන තිබෙන්නේ. සංසාරයේ මනස පහළට දැමුවානම් අප බාලයන් වගේ කටයුතු කරන්නේ. අපට පුළුවන්නම් අපේ නොදන්නාකම, තේරුම්ගන්න එයින් පණ්ඩිතබව ස්පර්ශ කරන්න පුළුවන්.
ධර්මය අසන්න අසන්න අපේ ජීවිතය උත්තමභාවය කරා යනවා. තථාගතයන් වහන්සේ මේ ජීවිතය උත්තමභාවයට යන්න ඕන කරුණු කිහිපයක් පෙන්වා වදාළා. අපේ ඇස, කන, නාසය, දිව, කය, හරහා විවිධ අරමුණු එනවා. ඒ අරමුණු වලින් කුසල අරමුණු පමණක් ඉතිරිකරගෙන අකුසල අරමුණු ප්‍රහාණය කරන්න ඒක වටිනවා.
ධර්මයේ කියා දෙනවා අරමුණු ගැන හොඳින් දකින්න. ඒවා කුසලද? අකුසලද? කියා. ඒ වගේම අකුසල සිතිවිලි විතර්ක අයින් කරන්න, වැඩිය යුතු මනස හොඳින් වඩන්න, ඒ තුළින්මයි අපේ මේ නිස්සාර ගමන සරුසාර ගමනක් කරගෙන නිවන පසක් කරන්න පුළුවන් වෙන්නේ.
මේ නිසා ඔබත් ඉතා දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය අර්ථවත් ලෙස සරුසාර කරගෙන සසර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.
නයනා නිල්මිණි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වර්තමානයේ දී මාර්ගඵල ලැබිය නොහැකිද?

මෛත්‍රී බුදුන් දැක නිවන් පැතීම වරදක් නොවන අතර හුදෙක් එය අතෙහි සිටින කුරුල්ලා අතහැර අත්තේ සිටින කුරුල්ලන් පැතීම වැනි ක්‍රියාදාමයකි. මන්ද? බුදුවරයන් වහන්සේ නමක් පහළ වීමට ඉතා දිගු කාල පරාසයක් ගත වේ. එය විටෙක කල්ප ගණනකින් මත්තෙහි සිදුවෙන ක්‍රියාවලියකි. කල්පයක් යනු ඉතා දීර්ඝ කාලයකි.
වර්තමානයේ බොහෝ දෙනෙකු නගන පැනයක් වනුයේ ශාසන බ්‍රහ්මචරියාව පිරීම තුළින් පෙර මෙන් මගඵල ලැබිය හැකි ද? යන්නයි. ඇතැමුන් ඉක්මන්ව සිතනුයේ මෙකල කොතෙක් භාවනා කළද එහි ප්‍රතිඵලයක් නොමැති බවයි. ඇතැමෙක් ඉනුදු නොනැවතී ගෞතම බුදුරදුන්ගේ බුදු සසුන අතහැර මෛත්‍රී බුදුරදුන්ගේ සසුනෙහි දී නිවනද පතති.
මෛත්‍රී බුදුන් දැක නිවන් පැතීම වරදක් නොවන අතර හුදෙක් එය අතෙහි සිටින කුරුල්ලා අතහැර අත්තේ සිටින කුරුල්ලන් පැතීම වැනි ක්‍රියාදාමයකි. මන්ද? බුදුවරයන් වහන්සේ නමක් පහළ වීමට ඉතා දිගු කාල පරාසයක් ගත වේ. එය විටෙක කල්ප ගණනකින් මත්තෙහි සිදුවෙන ක්‍රියාවලියකි. කල්පයක් යනු ඉතා දීර්ඝ කාලයකි.
මේ මහා භද්‍ර කල්පයෙහි බුදුවරු පස්නමක් පහළ වන අතර ඉන් හතර නමක් මේ වන විට පහළ වී අවසන්ය. කකුසඳ, කෝණාගම, කස්සප හා ගෞතම යන සම්බුදුවරුන් පහළ වුණ අතර මේ පවතිනුයේ ගෞතම සම්බුදුන්ගේ ශාසනයයි. එය ජීවමාන පවත්නා සමයේ දී එයින් ඵල නෙළාගත නොහැකි යැයි අත් හැරීම අඥානකමකි. සසර පිළිබඳ කිසිඳු විශ්වාසයක් ඇති කරගත නොහැකිය. මන්ද? අද මිනිසා ඊළඟ උපතේ දී උකුනෙකු හෝ මකුනෙකු විය හැකි බැවිනි. ඉහළ සැප විඳි බ්‍රහ්මයන් හා දෙවිවරුන් විවිධ සත්ව ලෝකයන්හි වී ඉපදුණු අයුරු ද ධර්මය තුළින් පෙන්වා දිය හැකි ය. එහෙයින් ලත් ඵලය අතහැර කල්ප ගණනකින් ඔබ්බෙහි සිදුවන මෛත්‍රී බුදු සසුනෙහි නිවන් පැතීම මේ සසුනෙහි කළ යුතු දෑ නොකොට අලසව පසෙක දැමීමකි. මෛත්‍රී බුදු සමය වන විට අද සිටින අප අපායගාමි වන්නට ද බැරි නැත. ප්‍රේත ලෝකයේ ප්‍රේතයෙක් හෝ පාංශු පිසාචයෙක් වීමටද බැරි නැත. තිරිසන් සතෙකු හෝ මිථ්‍යා දෘෂ්ටිකයෙකු වී නම් මතු බුදු බව ලබන මෙතේ බුදු සසුනෙන් ද ඵල නෙළාගත නොහැකි වනු ඇත.
සංසාරය නමැති අවුල් වූ නූල් බෝලය අල්ලාගෙන සිටින සත්වයා සසර තුළ නැවැත නැවැතත් උපදී. මරණයට ද ඒ හා සමානව මුහුණ පායි. ඉපදීම දුකකි. මන්ද උපත ලද සත්වයා ජරාවට, ව්‍යාධියට හා ඉන් නොනැවතී මරණයට ද පත්වන බැවිනි. උපතේ සිට විපත තෙක් පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් හා මුහු වීම, කැමැති දෑ නොලැබිම ආදී දහසකුත් දුක්ඛ දෝමනස්සයන් හට මුහුණ දීමට සිදුවේ. මේ සංසාරයෙහි සුපුරුදු විලාශයයි. මේ තත්ත්වය අවබෝධ කොටගෙන සසරින් එතෙරවීම සිතන්නෝ අල්ප වෙති. එහෙයින් පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයෙහි අනවරාග්‍ර කාලයක් අතරමංව ඇවිදිනු ලබයි. ආශාව, තෘෂ්ණාව පවතින තුරු සත්වයා භවය තුළ රැඳී සිටියි. සසරින් එතෙර වීමට නම් භව තෘෂ්ණාව සිඳලිය යුතුවේ. එය පහසු කටයුත්තක් නොවන අතර දීර්ඝ කාල පරාසයක් අප්‍රතිහත ධෛර්යයෙන් හා නොපසුබට උත්සාහයෙන් සිදුකළයුතු කාර්යයකි.
පුහුදුන් සත්වයා නිබඳව පඤ්ච ඉන්ද්‍රියන් පිනවීමට තත්පරව කටයුතු කරයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියන් කොතෙක් පිනවනු ලැබුවද එහි තෘප්තිමත් වීමක් නොමැත. එය පුහුදුන් සත්වයාගේ ස්වභාවයයි. මෙහි තතු කියාපෑමට ලොව්තුරා බුදුවරු පහළ වී මඟ නොමඟ පෙන්වති. මඟ යන්නෝ නිවෙති. නොමඟ යන්නෝ දැවෙති. එසේ බුදුරදුන් දිවමන් සමයෙහි ද පිරිනිවීමෙන් අනතුරුව ද නිවනට පත්වූවෝ අති මහත් ය. බුදුරදුන් අභිමුඛයේ දී මෙන්ම තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද වැඩ සිටි ප්‍රකට රහතන් වහන්සේලා පිළිබඳ අටුවා තුළ ඇතුළත් ව ඇත. ඒ අනුව මගඵල ලැබීමට බුදුරදුන් ජීවමාන නොවීම ගැටලුවක් නොවන බව ඉන් පැහැදිලි වේ.
බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකය. එය කලක් ප්‍රතිඵල සහිත වී කලක දී ප්‍රතිඵල රහිත වීමට ඉඩක් නොමැත. මෙකල මගඵලයන් හට පත්විය නොහැකි යන්න සිතීමට පෙර පිරිනිවන අභිමුඛයෙහි වැඩහුන් බුදුරදුන් සුභද්‍ර පිරිවැජි හට පවසන දේශනාව සිහිකළ මැනැවි. එහිදී බුදුරදුන් පෙන්වා දෙනුයේ යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති නම් එහි පළමු වන ශ්‍රමණයා ද, දෙවැනි ශ්‍රමණයාද, තුන්වැනි හතරවැනි ශ්‍රමණයන් ද නොමැති බවයි. මෙහි පළමු ශ්‍රමණයා යනු රහතන් වහන්සේ ය. දෙවැනි ශ්‍රමණයා යනු අනාගාමි ආර්යයන් වහන්සේ ය. තුන්වැනි හතරවෙනි ශ්‍රමණයන් යනු සකෘදාගාමි හා සෝවාන් ආර්ය ශ්‍රමණයන්ය. බුදු සසුන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති හෙයින් මෙහි ශ්‍රමණයන් හතර දෙනාම වෙති. එහිදී පෙන්වා දෙනුයේ “ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහරෙයියුං න සුඤ්ඤො ලෝකො අරහත්තේහි අස්ස” භික්ෂූන් මනාකොට වාසය කරයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන වගයි. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ පිළිවෙත් සපුරනවා නම් රහත් බව ලැබීමට කාල නිර්ණයක් නොමැති වගයි. එසේ එක කාලයකදී පමණක් මගඵල ලැබිය හැකි නම් බුදුරජාණන් වහන්සේ එසේ දේශනා නොකරනු ඇත. බුදුරදුන් ජීවමානව නොසිටිය ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් සත්තිස් බෝධිපාක්ෂික ධර්මය පවතින හෙයින් මෙකල ද ඒ ප්‍රතිපත්ති ක්‍රම සාධනයෙන් මඟ ඵල ලැබිය හැකිය. එසේ හෙයින් මෙකල මඟඵල ලැබිය නොහැකි යයි කීම අපරාධයකි. මඟඵල ලබන පිරිසක කලින් කලට අඩු වැඩි වෙන බව නම් කිව හැකිය. බුදුන් දිවමන් අවධියේදීම ශාසන ආරම්භයේත් මුල් විසි වසින් පසු මඟ පළ ලබන පිරිස අඩු වූ බව පෙළෙහි සඳහන් වේ. එසේ වීමට බලපානු ලැබුයේ විවිධාකාර අදහසින් සසුන්ගත වුවත් ධර්ම මාර්ගයෙන් බැහැර වීම බව සඳහන් වේ. ඒ අනුව මඟඵල ලබන අය කාලයකට අඩු හෝ වැඩි වනුයේ ධර්මයේ අවලංගු වීමකින් නොව ධර්මය නිවැරදිව පිළිපදින පුද්ගලයන් නොමැතිවීමෙනි.
අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අටුවාව අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීම අඩු වන විට මගඵල ලැබීම පහළ වැටෙන අයුරු මෙසේ පෙන්වා දී ඇත.
“වස්ස සහස්සන්ති චෙතං පටිසම්භිදා පහෙදපත්ත 
ඛීණාසවානං වසෙන වුත්තං තතො පන උත්තරිම්පි 
ඛීණාසව වසෙන වස්සසහස්සං, අනාගමි වසෙන 
වස්සසහස්සං, සකදාගාමී වසෙන වස්සසහස්සං 
සොතා පත්ත වසෙන වස්ස සහස්සන්ති එවං පඤ්ච 
වස්ස සහස්සානි පටිවේධ සද්ධම්මො ඨස්සති”

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අටුවාව අනුව සිව් පිළිසිඹියාපත් රහතන්වහන්සේලා පළමු වර්ෂ දහසද, සාමාන්‍ය රහතන් වහන්සේලා දෙවැනි වර්ෂ දහසද, තෙවැනි දහසෙහි අනාගාමින්ද, සිව්වැනි දහසෙහි සකෘදාගාමින්ද අනතුරු දහස තුළ සෝවාන් ආර්යයන් වහන්සේලාගේ කාලය යනුවෙන් පෙන්වා දී ඇත. මෙයට අනුව මේ ගත වනුයේ තුන්වැනි අනාගාමීන්ගේ කාල පරිච්ඡේදයයි. අටුවා මත අනුව බලනු ලැබුවත් තවම මඟඵල ලැබිය හැකි බව ඉන් සනාථ වේ. එහෙයින් මෙකල මඟඵල ලැබිය නොහැකි යැයි සිතීම බැහැර කළ යුතු ය.
මඟඵල ලැබීමට නම් ධර්මය අකාලික වුවද, මාර්ගය වඩනා පුද්ගලයා පූර්ව පාරමිතාවන් සපුරා ඇති අයෙකු මෙන්ම අන්තරායන් ධර්ම පසෙන් මුක්ත වූවෙකු විය යුතු ය. අන්තරායික ධර්ම සහිත පුද්ගලයෙකුට කොතෙක් වෙර වැඩුව ද මේ ජීවිතයේ දී මඟඵල නොලැබේ.
අන්තරායික ධර්ම පහකි
1. කර්මාන්තරාය 
2. ක්ලේශාන්තරාය 
3. විපාකන්තරාය 
4. ආර්යයෝපවාදන්තරාය 
5. ආඤව්‍යතික්‍රමණත්තරාය වශයෙනි.

“කර්මාන්තරාය” යනු ආනන්තරීය පාපයන් සිදුකොට තිබීමයි. එනම් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම බුදුන්ගේ ලේ සෙලවීම හෝ සංඝභේදය සිදු කිරීමයි. මේ කර්මයන්ගේ විපාකයන් නියතවම දෙවැනි ජාතියෙහි විපාක දෙනු ලැබේ. එහෙයින් මින් එකක් හෝ සිදු කළ අයකුට මෙම දිවියේදී කොතෙක් පින් සිදුකළ ද කොතෙක් වෙර වැඩුවද මඟඵල ලැබිය නොහැකිය.
“ක්ලේශාන්තරාය” යනු තද මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වීමයි. පින් පව් නොපිළිගැනීම හා මරණින් මතු ඉපදීමක් නැත යන අහේතුක අකිරිය, නාස්තික යන මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත තැනැත්තන් හටද එම මිථ්‍යා මතයන් අත්හරිනා තුරු මඟඵල නොලැබේ. මිථ්‍යා දෘෂ්ටිය මහා සාවද්‍ය අකුසලයක් ලෙස පෙන්වා දී ඇත. නමුදු මිථ්‍යා මතය අත්හළහොත් මඟඵල සාදාගත හැකිය.
“විපාකන්තරාය” යනු අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධියෙන් උපත ලැබීමය. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධි ඇති පුද්ගලයා හට ද මඟඵල ලැබිය නොහැකිය. මඟඵල ලැබීමට නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් ජනිත විය යුතු ය.
“ආයෙ¸ාපවාද අන්තරාය” යනු ආර්යභාවය දැන හෝ නොදැන ආර්යන්වහන්සේ නමකට අපහාස කිරීම හා චෝදනා කිරීමය. සිතින් හෝ එකී අකුශලය සිදුකළහොත් එය මඟඵල සාධනයට බාධාවිය හැකිය. වරද කළ ආර්යයන් වහන්සේ කමා කරවා ගැනීමෙන් එයින් නිදහස් විය හැකි ය.
“ආඤව්‍යතික්‍රමණාන්තරාය” යනු බුදුන් වහන්සේ විසින් පනවා ඇති විනය නීති සිතා මතා කඩ කිරීමයි. එසේ සිදු කිරීමෙන් ද මඟඵල ලැබිය නොහැකිය. ඇවැත්දෙසීම ආදියෙන් ශීලය පිරිසුදු කරගැනීමෙන් එයින් මිදිය හැකිය. පූර්වෝක්ත අත්තරායික ධර්මයන්ගෙන් විනිර්මුක්ත අයෙකු නියම ධර්ම මාර්ගයට අනුව වෙර වඩයි ද හෙතෙම පූර්ව පාරමිතාවන් ද සපුරා ඇතොත් මඟඵල මෙකල වුවද ලැබිය හැකිය. බුදුවරුන්ගේ පාරමිතාවන් කොපමණ කලක් සපුරාලිය යුතුදැයි ආනන්ද තෙරුන් විමසූ විට,
“බුද්ධානං ආනන්ද, හෙට්ඨිම පරිච්ඡේදන චත්තාරි අසංඛෙයියානි කප්පසතසහස්සඤ්ච උපරිම පරිච්ඡේදන අට්ඨ අසංඛෙයියානි කප්පසතසහස්සඤ්ච උපරිම පරිච්ඡේදන සොළස අසංඛෙයියානි කප්පසතසහස්සඤ්ච ද්වින්නං අග්ගසාවකානං එකං අසංඛෙයියං කප්පසත සහස්සඤ්ච, ද්වින්නං අග්ගසාවකානං එකං අසංඛෙයියං කප්පසත සහස්සඤ්ච, අසිති මහා සාවකානං කප්ප සතසහස්සං තථා බුද්ධස්ස මාතාපිතුන්නං උපට්ඨකස්ස”
ආනන්දය, බුදුවරුන් හට අවම වශයෙන් චතුර සංඛ්‍යා කල්ප ලක්ෂයක් ද, මධ්‍යම වශයෙන් අෂ්ට සංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, උපරිම වශයෙන් ෂෝඩාශා සංඛ්‍යා කල්ප ලක්ෂයක්ද පසේ බුදුවරුන් හට ද්වාසංඛ්‍යා කල්ප ලක්ෂයක් ද අග්‍රශ්‍රාවකයන් දෙනමට එකා සංඛ්‍යා කල්ප ලක්ෂයකුත් බුදුන් වහන්සේගේ මවුපියන් සහ පුත්‍රයා හා උපස්ථායකයා හටත් එපමණ කාලයක් ගතවෙන බව මින් කියවේ. සාමාන්‍ය ශ්‍රාවකයන්ගේ මඟඵල ලැබීමට පිරිය යුතු කාල සීමාවක් පෙන්වා නැත. එහෙයින් සාමාන්‍ය අයට මඟඵල සාධනයට පෙරුම් පිරීමේ නිශ්චිත කාල පරිච්ඡේදයක් පෙන්වා නොමැති බව කිව යුතු ය.
පෙර එකල ගාථාවක් ඇසීමෙන් හෝ ධර්ම දේශනයකට කන් යොමු කිරීමෙන් පහසුවෙන් මඟඵල ලැබුවන් මෙන්ම පැවිදි වීමේ දී කෙස් රොදක් කපා අතට දී තචපංචකය මෙනෙහි කිරීම තුළින් හිස කෙස් කපා අවසන් කිරීමට පෙර මඟඵල ලත් අයුරු සඳහන් වන කථා මෙන්ම සමහර තෙරුන් වහන්සේලා ඉතා දුක සේ වීර්ය කොට මඟඵලයන් හට පත් වූ අතර සමහරුන් කොතෙක් වීර්ය කලද මඟඵල නොලැබු බව බෞද්ධ සාහිත්‍යයේ දක්නට ඇත. එසේ පහසුවෙන් මඟඵල ලත් පිරිස අතීත පාරමිතාවන් සපුරා තිබූ අය ලෙසත්, තරමකට හෝ පාරමිතාවත් පුරණය, කළ පිරිස අමාරුවෙන් මඟඵල ලත් අය ලෙසත්, උත්සාහ කොට මඟඵල නොලැබූ පිරිස අතීත පාරමිතාවත් සපුරා නොතිබූ අය ලෙසත් පෙන්වා දිය හැකි ය.
එසේ හෙයින් කලකට මඟඵල ලැබීම සක්‍රිය වී කාලයකට අක්‍රිය වෙන බවක්, ධර්මයේ සඳහන් වී නොමැත. නූතනයේ මඟඵලලාභීන් අඩුවන්නට හේතුවක් වනුයේ ධර්මයේ දෝෂයක් නොව එය පිළිපදින පිරිස අඩුවීම බව පෙන්වා දිය යුතු වේ. එහෙයින් සද්පුරුෂයන් කුසිත නොවී තමන් ලත් මහාර්ඝ වූ මේ බුදු සසුන තුළම වෙර වඩා උතුම් මඟඵලයන්ට පත්වන්නට වෙර වඩත්වා.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online