ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පිරිත් නූල යනු කුමක්‌ද...?


බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආරක්‍ෂක දේශනාවලට පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් දක්‌වා ඇත. පිරිත් යනු තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. ඒ පිsරිත් සුත්‍රවලින් ස්‌වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක්‌වාරයක්‌ හෝ ඊට වැඩිවාර ගණනක්‌ ජප කිරීමෙන් පිරිත් නූලක්‌ බවට පත්වේ.  පිරිත් නූලක් සඳහා ගන්නේ එකම සුදු නූලක් නූල් තුනක් ලෙස සකසා ගැනීමෙනි. එය තුන්නූල හැටියට දැක්‌වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක්‌ රැස්‌ අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස්‌ කර ඇත. විවිධ රටවල එක්‌ එක්‌ පාටවලින් නොයෙක්‌ හැඩතල දමා පිරිත්නූල් සකස්‌ කර ඇත.  පිරිත් නූල සම්බන්ධ තවත් අවස්‌ථාවක්‌ මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්‌වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්‌ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.  

න සන්ති මනුජා එත්ථ 
න ච හෙස්‌සති වෝභයං 
ඉති වත්වා කුන්ඩිකාය 
තේ ජලේන නිසිංචිය  
 
මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක්‌ නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්‌සේය.  

සුත්තංච තේසං හතථෙිසු 
ලගෙත්වා නභසාගමා  

පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්‌තරයේ දැක්‌වේ.  පන්සිය පනස්‌ ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්‌ථාවක්‌ ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්‍ෂා වුණු බවත් සඳහන් වේ.  මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක්‌ ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක්‌ සතියකට වැඩි කාල සීමාවක්‌ පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක්‌ පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්‍ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස්‌ නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක්‌ පිරිත් නුලක්‌ තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක්‌ දාගන්න.  කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක්‌ ගැන නම් තමන් කරන්නේ නරක දෙයක්‌ නම් ඉන් ලැබෙන ආශිර්වාදයක්‌ නැත. ඒ නිසා යහපත් දෙයක්‌ සිතමින් යහපත් දෙයක්‌ කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක්‌ පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක්‌ සැලසෙනු ඇත.  
මූලාශ්‍ර: කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරවාසී 
පූජ්‍ය ගෝණදෙණියේ සීවලී හිමි 
2010/09/19 දිවයින ට ලියන ලද ලිපිය.

ඔබ, ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන අයුරු නිවැරැදි ද...?


ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේසික චෛත්‍යයයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කිරීමට සුදුසු ස්‌ථාන තුනක්‌ වේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ශේෂ වී පවතින සර්වඥ ධාතූන් වහන්සේලා හෝ එම ධාතු නිධන් කොට ඇති කරඬු, දැගැබ් ආදිය ශාරීරික චෛත්‍ය නම් වේ. (බුදු පිළියමක වුවත් සර්වඥධාතු නිධන් කර ඇත්නම් එය ශරීරික චෛත්‍යයකි.) තථාගතයන් වහන්සේ විසින් පරිභෝග කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේද, එයින් පැවත එන, එම පරම්පරාවට අයත් සියලු බෝධි වෘක්‌ෂයෝද පාරිභෝගික චෛත්‍යයෝ වෙති. තවද උන්වහන්සේ පරිහරණය කළ පාත්‍ර, චීවර, බඳපටි, සෙනසුන් භාණ්‌ඩ ආදියත්, ඒවා තැන්පත් කොට තැනූ චෛත්‍ය ආදියත් "පාරිභෝගික චෛත්‍ය" නම් වේ. ශරීරික පාරිභෝගික වස්‌තු නිධන් නොකොට බුදුරජාණන් වහන්සේ වෙනුවට වැඳුම් පිදුම් කිරීම සඳහා ඉදි කෙරෙන ප්‍රතිමා සහ ස්‌ථූපයෝ උද්දේශික චෛත්‍යයෝය.

මේ චෛත්‍යය තුන් වර්ගයෙන් ශාරීරික චෛත්‍යයටම මුල් තැන හිමි වේ. ශාරීරික චෛත්‍යයකට බාධා පැමිණේ නම් බෝ අතු ආදිය වුවත් ඉවත් කළ යුතු බව සඳහන් වේ. එහෙත් පාරිභෝගික හෝ උද්දේසික චෛත්‍ය රකිනු පිණිස ශාරීරික චෛත්‍යයට අනතුරු නොකළ යුතුය. දෙවන තැන හිමි විය යුත්තේ බෝධීන් වහන්සේ ඇතුළු පාරිභෝගික චෛත්‍යයන්ටය. ප්‍රාකාර, බෝධිඝර, මහා මාර්ග ආදිය ඉදි කරනු පිණිස හෝ අන්‍ය ගොඩනැඟිලි ආදිය රකිනු පිණිස හෝ බෝධීන් වහන්සේට අනතුරු නොකළ යුතුය. බෝධි වෘක්‍ෂයේ පැවැත්ම පිණිස දිරාපත් වූ, රෝගී වූ අතු කපා ඉවත් කිරීම වරදක්‌ නොවේ. ශාරීරික ධාතූන් වහන්සේලා හෝ පාරිභෝගික වස්‌තු නිධන් නොකළ බුද්ධ ප්‍රතිමා ආදී උද්දේසික චෛත්‍යය කෙරෙහි තුන්වෙනුව සැලකිලිමත් විය යුතුය. බාහිර උපද්‍රවවලින් විනාශ නොවන ආකාරයෙන් බුදු පිළිම ආදිය ආරක්‍ෂා කර ගැනීමටත්, නිගරු නොවන ආකාරයෙන් පවත්වා ගැනීමටත් උත්සාහවත් විය යුතුය.

වත්මන් සමාජයේ බුදුරදුන් අරමුණු කර ගැනීමට ශාරීරික ධාතූන් වහන්සේටත් වඩා බුදු පිළිමය උපකාර කර ගනී. එහෙයින් පිළිම සකසද්දී මෙන්ම පවත්වාගෙන යද්දීද දුටුවන්ගේ චිත්ත ප්‍රසාදය ඇතිවන අයුරින්ම කළ යුතුය. එමෙන්ම බුද්ධ ප්‍රතිමාවක්‌ ඉදිකරද්දී හෝ තැන්පත් කරද්දී බුදුරජාණන් වහන්සේ ජීවමානව මෙතැන වැඩ සිටිනවා යන හැඟීම ඇති කරගෙනම වටපිටාව සැකසිය යුතුය. වැඳුම් පිදුම් කරද්දීත් පිළිමයට වඳිනවා යන අදහසින් නොව ජීවමාන බුදුරදුන්ට වඳිනවා යන හැඟêමෙන් බුදුගුණ ආවර්ජනයා කරගෙනම වැඳුම් පිදුම් කළ යුතුය.

අද සමාජයේ ඇතැම් කෙනෙක්‌ තමන්ගේ හැකියාව පෙන්වීමට, භූමියක අයිතිය තහවුරු කරගැනීමට, ව්‍යාපාරික ස්‌ථාන ආරක්‍ෂා කරගැනීමට, ආගමික බලය ප්‍රදර්ශනය කිරීමට, පිං කැටයක්‌ තබා ආධාර එකතුකර ගැනීමට වැනි පටු පරමාර්ථ පෙරදැරි කරගෙන බුදු පිළිම ඉදිකරනු පෙනේ. එබඳු හැඟêමකින් බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම නම් මුලින් කියන ලද ආකාරයේ " අට මහා කුසලයට" අයත් නොවේ. මහා කුසලයක්‌ වන්නේ බුදු ගුණය පිළිබඳව චිත්ත ප්‍රසාදය ඇති කරගෙන, තවත් බොහෝ දෙනාට සිත පහදවාගෙන දහම් මගට යොමු වීමට උපකාර කිරීම් වශයෙන් බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම පමණි.

ඉහත කියන ලද පටු ආකල්පයන් ඇතිවත්, තවත් බොහෝ දූෂිත වූ පරමාර්ථයන් ඇතිවත් බුදු පිළිම ඉදි කිරීමට පෙළඹීමෙන් බුද්ධ ප්‍රතිමාවට ලැබිය යුතු ගරුත්වය කෙළෙසී ගොස්‌ තිබේ. කඩපිල් අසල, කුණු කාණු අසල, මංසන්ධිවල, ගස්‌ගල් යට නිරාවරණව, පක්‍ෂීන්ගේ වසුරු වලින් හා බලු බළලුන්ගේ මළ මුත්‍රාවලින් ගැවසීගෙන ඇති බුද්ධ ප්‍රතිමා, දකින්නවුන්ගේ සිත් කම්පා කරවයි. දුටු දුටුවන්ගේ මනස දූෂ්‍ය කරවන ආකාරයෙන් පිළිම තැන්පත් කිරීමෙන් කුසලයක්‌ කෙසේ වෙතත් නොවැරදීම අකුසලයක්‌ නම් සිදු වේ.

එමෙන්ම පැරණි පිළිමයක්‌ වෙනුවට අලුත් පිළිමයක්‌ තැන්පත් කරද්දී පැරණි පිළිමයද ගරු බුහුමන් ලැබෙන වෙනත් තැනක හෝ එතැනම හෝ අගෞරව නොවන ආකාරයෙන් තැන්පත් කර තැබිය යුතුය. පිළිම ඉදි කිරීමටත් වඩා නඩත්තු කිරීම ගැන සැලකිලිමත් විය යුතුය. පොදු ස්‌ථානවල පිළිම ඉදි කරද්දී මාර්ග සංවර්ධන ආදියට බාධා නොවන්නටත්, පිළිමය නිසා අන් අය අකුසලයට යොමු නොකරන්නටත් වග බලා ගත යුතුය. නිවසේ වැඳුම් පිදුම් කිරීමට භාවිත කරන බුදු පිළිම වුවත් කලක්‌ ගත වී කැඩී බිඳී යනවිට බොහෝ දෙනා ගෙනැවිත් තබන්නේ පන්සලක හෝ බෝධියක්‌ යට හෝ වෙනත් ප්‍රසිද්ධ ස්‌ථානයකය. එය දකින යම්තාක්‌ දෙනාගේ සිත් දූෂ්‍ය වේද, එම දූෂිත වූ චිත්ත වේගය පිළිමය ගෙනැවිත් තැබූ පුද්ගලයා වෙත අකුණු සරක්‌ සේ පතිත වේ. එය නිවසෙහි මෙන්ම නිවැසියන්ගේද පරිහානියට හේතු වේ. බුදු පිළිම ඉදි කිරීම දුටු දුටුවන්ගේ සිත් පැහැදීමට උපකාර වන නිසා එය මහා කුසලයක්‌ වෙනවා මෙන්ම, බුදු පිළිම අයථා ලෙස පරිහරණය කිරීම නිසා දුටු දුටුවන් ගේ සිත් කෙළෙසෙන්නේ නම්, එබඳුම අකුශලයකට ඉඩ සැලසෙන බව අමතක නොකළ යුතුය. එහෙයින් නිවසක පරිහරණය කරන බුද්ධ ප්‍රතිමාවක්‌ කැඩී බිඳී ගිය විට, හැකිනම් නැවත පිළිසකර කරගත යුතුය. එසේ නොමැකි නම්, එය කිසිවෙකුට ඇස නොගැටෙන තැනක තැන්පත් කර තැබීම වඩා යෝග්‍යය. ඒ සඳහා යෝග්‍ය තැනක්‌ නිවස තුළ නැතිනම්, නිවසින් පිටත හෝ මිනිසුන්ට නොපෑගෙන, දර්ශනයටද ලක්‌ නොවන තැනක්‌ සොයාගත යුතුය.

පොදු තැන්වල පිහිටුවා ඇති බුද්ධ ප්‍රතිමාවක්‌ අසල පුද පූජා පවත්වන්නේ නම් පසුව ඒවා ඉවත් කොට ස්‌ථානය පිරිසිදු කිරීමටද වගබලා ගත යුතුය. ඇතැම් තැනෙක තිර රෙදිවලින් බුදුපිළිමය සම්පූර්ණයෙන් ආවරණය කර තිබීමද, යම් යම් විසිතුරු ඇතිරිලි බුද්ධ ප්‍රතිමාවේ දෑත උඩ අතුරා තිබීමද දැකිය හැකිය. බුදුරුව දැක සිත පහදවා ගැනීමට ඒවායින්ද යම් පමණකට බාධාවක්‌ සිදු වේ. බුද්ධ ප්‍රතිමාවලට කාසි විසිකිරීමද බොහෝ තැන්වල සිදු කෙරෙන උමතු ක්‍රියාවකි. පූජාවකට හෝ වෙනයම් කාර්යයකට මුදලක්‌ දෙන්නේ නම් එය පිං කැටයකට හෝ වෙනත් සුදුසු තැනකට දමනවා විනා, පිළිමය අසලට කාසි දමා ගැසීමෙන් වැළකිය යුතුය. එසේ නුසුදුසු ලෙස පිළිම ඉදිරිපිට කාසි දැමීමෙන් බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කිරීමේ අකුසලය පමණක්‌ නොව පිළිමය පළුදු කිරීමේ අකුසලයද සිදු වේ.

බුදු පිළිම ඉදිරිපිට යමක්‌ පූජා කර ඇතොත් එය ජීවමාන බුදුරජාණන් වහන්සේට කළ පූජාවක්‌ ලෙස සලකාගෙන ප්‍රවේශමෙන් කටයුතු කිරීමද සුදුසුය. පූජාකර ඇති මල්, වස්‌ත්‍ර, ආහාර, පඬුරු ආදිය යමෙක්‌ තමන්ගේ පරිහරණයට ගනී නම් එයද බරපතල අකුසලයක්‌ වන්නේය.

පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සි හිමි
සටහන - ධම්මික හේවාවසම්

භාවනාව යනු කුමක්ද...?

භාවනාවන් ප්‍රධාන වශයෙන් සමථ විදර්ශනා යනුවෙන් දෙවැදුරැම් වේ. විදර්ශනාව වැඩීම පිණිස නම් කවර භාවනාවක් තුළින් හෝ මුලින් සමාධිය පිහිටුවා ගත යුතුය. මේ නිසා ආනාපාන සතිය ඇතුළුව සතලිස් වැදෑරැම් භාවනාවන්ගෙන් කවරකින් හෝ සමථය වඩා සමාධිය පිහිටුවාගෙන විදර්ශනාව වැඩිය යුතුවේ. ඉතා කලාතුරකින් අවස්ථාවක සමථය නොවඩා කෙලින්ම ශුෂ්ක විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගීහු ද වෙත්. එය දුෂ්කර තත්ත්වකි. බොහෝසෙයින් භාවනාව පුරැදු පුහුණු කරන පින්වතුන් සමථය වඩා විදර්ශනා මාර්ගයේ ගමන් කරති. මෙසේ මුලින් සමථය වඩා සමාධිය පිහිටුවා ගැනීම මඟින් අපේක්ෂා කරනුයේ ප්‍රඥාව ඇති කර ගැනීමයි. 

ප්‍රඥාව යනු කවරක්ද...? ප්‍රඥාවේ ප්‍රයෝජනය කවරක්ද...?
බොහෝ දෙනෙක් ප්‍රඥාව යනු උගත්කම නුවණ බුද්ධිය යැයි වරදවා වටහාගෙන ඇත. සැබවින්ම ප්‍රඥාව යනු පෙර සඳහන් කළ කිසිවක් නොව අවිද්‍යාව දුරැකොට විද්‍යාව අවබෝධ කරගැනීමේ හැකියාවයි. එය පරම සත්‍යය විශ්ව යතාර්ථය ස්වභාවික යතාර්ථය අවබෝධ කරගැනීමේ නුවණ යනාදී නම් වලින් වුව හැදින්විය හැක. සම්මුති ලෝකයේ අප ව්‍යවහාර කරන උගත්කම නුවණ බුද්ධිය ආදියට අවිද්‍යාව දුරැකොට විද්‍යාව අවබෝධ කරගැනීමේ හැකියාවක් නැත. මේ නිසා ප්‍රඥාව ඇතිකර ගැනීම සඳහා සමථය වැඩීමෙන් සමාධිය පිහිටුවා ගත යුතුවේ. සිතක සමාධිය ඇතිවීම නිසා සිත ප්‍රභාශ්වරවේ. එසේ සුපිරිසිදු වූ සිතට යතාර්ථය අවබෝධ කර ගැනීමේ හැකියාව නැතහොත් ප්‍රඥාව පහල වේ. එවන් සිතකට විදර්ශනාව තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්මක යන ත්‍රිලක්ෂණය අවබෝධයෙන් විමසීමේ හැකියාව ලැබේ. යමෙක් භාවනාවෙන් සමාධිය ලබන්නට පෙර සිටම සිතට දැනෙන සුවය නිසා හදසන්තානය පුරා ප්‍රීතිය පස්සද්ධිය හටගනී. මේ නිසා යමක් පහසුවෙන් වටහා ගැනීමේ සිහිය ද දියුණුවේ. සමාධිය ලැබීමෙන් පසු මේ තත්ත්වය වඩ වඩාත් දියුණු තියුණු වේ.

පෙර බුදුවරැන් පහළවීමට පෙර පවා ඉන්දියාවේ සමථ භාවනා පුරැදු පුහුණු කල ද විදර්ශනාව වැඩීමක් ගැන ඔවුන් දැන සිටියේ නැත. මේ නිසා සමථයෙන් ධ්‍යාන උපදවා බඹලොව යන්නට උත්සාහ කලා මිස සසර සැරිසැරීම නතරකර නිර්වානවබෝධය ලැබීමට තරම් භාග්‍යවන්තයෝ නොවුනි. භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් දහම් පොත්පත් කියවීමෙන් ඇතිකරගන්නා ශ්‍රද්ධාව නිසා සිල් රැකීමට නැඹුරැ වීමට පහසුවේ. සීලය වැඩි වැඩියෙන් ආරක්ෂා කිරීමට අත්සාහවත් වීමෙන් සමාධිය වැඩේ. එබැවින් සීලය සමාධියට මාර්ගය සෑදේ. සමාධිය ප්‍රඥාවටත් ප්‍රඥාව නිර්වානයටත් මඟ පාදයි.

මේ නිසා අප්‍රමාදීව ධෛර්යෙන් භාවනාව සඳහා උත්සාහවත් වීමෙන් කාලයත් සමඟ අවිද්‍යාව දුරැකොට විද්‍යාව අවබෝධ කරගැනීමේ අවකාශ ඔබටත් සැලසේ.
by Daham Vila

දුකේ මුල සැපයයි


අපට මොනතරම් සැපයක් කයට දැනුනත් එය යම් කිසි ස්වල්ප කාලයකට පමණක් බව ඔබ මොහොතකටවත් සිතුවාද...? ඔබට ඒ සැපය නිරන්තරයෙන් ම පවත්වා ගත නොහැකි බවත් සැපයක් කයට දැනුන පසු එය අවසන් වී දුකක් බවට පත් වේන බවත් ඔබ දැක තිබේද...? ඒ කෙසේද....? ඔබ පුටුවක සුව පහසු පරිදි වාඩිවී යම් වෙලාවකදී ඔබ සිටින ඉරියව්ව වෙනස්කර සුවපහසු වෙනත් ඉරියව්වකට මාරැවන අවස්ථාවක් හිතන්න.... එසේ වෙනස් කරන ලද ඉරියව්වද තවත් ස්වල්ප වෙලාවකින් නැවත වෙනස් කරන්නට සිදු වේ. මුලින් දැනුන සැපය යම් අවස්ථාවක ඇති වුනාද ඒ මොහොතේ පටන් ටිකෙන් ටික ඒ සැපය අඩුවෙමින් දුක වැඩිවෙන බව හොඳින් නිරික්ෂණය කළහොත් දැන ගැනීමට හැකිවේ. මේ ආකාරයෙන් නිදාගන්නා විටදි ඉරියව් මාරැකරන අවස්ථා, හිටගෙන සිටින විටදි දෙපා රිදෙන විට වාඩිවන අවස්ථාවක්, මෙසේ වාඩිවී සිටින විටකදි, ඇවිදින විටකදි .... වැනි විවිධ අවස්ථා වලදි සැප දුක වෙනස් වෙන බව ඔබට පැහැදිළි වෙනු ඇත. යම් ලෙසකින් ඒ සැපයක් ඇති නොවුනා නම් දුකක්ද ඇති  නොවේ..... සැපයැයි අප ග්‍රහණය කරගන්නා සියල්ලේම කෙලවර කාලයත් සමඟ දුකක් ඇතිවන බව ඔබටම වැටහේවි. මේ ආකාරයෙන් ම අටලෝදහමින් දක්වන්නා වූ කීර්ති - ප්‍රසංසා, යස - අයස, ලාභ - අලාභ ආදියේ පවා මේ ලක්ෂණයන් දකින්න උත්සාහ කරන්න.
by Daham Vila

අනිත්‍ය

ඇතැම් දෙනෙක්ට බුදුදහමෙන් පෙන්වාදෙන අනිත්‍ය පැහැදිළිව තේරැම් ගැනීමට නොහැකි වී ඇත්තේ ණුවනින් ඒ ගැන විමසා බලන්නට උත්සාහ නොකරන බැවිනි. නැතහොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය තමා තුළින් හෝ අවට ලෝකය තුළින් විමසා නොබලන නිසාය. 
ඔබ ඔබේ කුඩා කාලයත් වර්තමානයත් අතර සිදුවී ඇති ඔබේ කායික වෙනස්කම දෙස බලන්න. කාලයත් සමඟ සිදුවී ඇති සියළු වෙනස්කම් එම කාලයෙන් බෙදන්නට හැකිනම් වසරකට මෙන්න මේ තරමේ වෙනසක් සිදුවී ඇතැයි දළ අදහසක් ගන්නට පුළුවනි. වසරකට ලැබුන අගය මාස, දින, පැය, විනාඩි ආදී වශයෙන් තව තවත් බෙදනවිට ඔබටම වැටහේවි ගෙවෙන සෑම තත්පරයකදීම පමණක් නොව තත්පරයකින් ඉතා සූක්ෂම අවස්ථාවකදී පවා අප වෙනසකට භාජනය වන බව. යම් වෙනසක් ඇති වෙයිද ඒ සැනින් එය වෙනස් වී වෙනෙකක් බවට පත් වේ. එසේ නම් ඔබ අප සියළු දෙනා නිරන්තරයෙන්ම ඇතිවී ඒ ක්ෂණයෙන් නැතිවී යන ස්වභාවයෙන් යුක්ත බව වැටහෙනු ඇත....
මේ ශරීරයත් අවට ලෝකයේ සියල්ලත් මේ ආකාරයෙන් ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යමින් පවතී. මේ නිසා ලෝකයේ කිසිවක් ස්ථිර නොවන බවත් යමක් වෙනස් නොවී පවතින්නේ යැයි අපට පෙණෙන දේ සැබෑවක් නොවන මායාවක් බවත් ඉතා සියුම් ලෙස සිදුවන්නා වූ වෙනස්කම් දැක ගන්නට තරම් ඇසට හැකියාවක් නැති නිසා අනිත්‍ය ස්වභාවය නොවැටහෙන බවත් මැනවින් විද්‍යමාන වේ.
මේ නිසා කිසිවක් ස්ථිර නොවන නිසා අනිත්‍යයැයි ද එසේ වෙනස් වීම දුඛයැයි ද තමන්ට එය වෙනස් කළ නොහැකි නිසා එනම් තමා වසගයේ නොපවතින නිසා අනාත්මයැයි ද කියයි. ණුවනින් විමසා බලන්න.... දැන් ඔබට තේරෙනවාද මමය මාය මගේය කියා කිසිවක් නැති බව.....?
ධර්ම දේශනය
by Daham Vila
සදහම් සඟරා - Online