ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

රහතන් වහන්සේලා

බුදුන්රජානන්වහන්සේගේ බුද්ධ දේශනා අකාලිකය. ඵල සහිතය. මේ නිසා සෑම කල්හිම අවබෝධය පිණිස බුද්ධ දේශනා විවෘතය. අවශ්‍ය වන්නේ ඒ මඟ ගමන් ගන්නන්ය. මේ නිසා ධර්මය අනාවෘතව ඇති තාක්කල් එහි ගමන් කිරීමට පුද්ගලයින්  සිටී නම් මගඵලලාභීන්ගෙන් හිස් නොවේ. මෙහි ඇති වැදගත් ම කරැණ වන්නේ මාර්ගඵල ලැබූ උතුමෙක් එය තැන තැන කිය කියා නොයෑමයි. මගඵල ලැබූ විටදි තමන් ලබාගන්නා ලද ප්‍රතිඵලය ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කරනු විනා නිස්සාර සසරේ නොඇලෙයි. සියළු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලා තවත් කෙනෙකුගේ ධර්මය කෙරේ පැහැදීම ඇති කරවනු පිණිස හැර කිසිවිට ඒ ගැන හෙළි නොකරයි. මේ නිසා අවශ්‍ය වන්නේ රහතුන් සොය සොයා කාලය වැය නොකොට තමන් ලද වාසනාවන්ත මිනිස් දිවිය අවසන් වන්නට පෙර නිවන් මඟ ගමන් කිරීමයි. එමඟින් ඔබට සසර ගමන කෙටිකර ගැනීමට වගේ ම සතර අපායෙන් මිදීමට උපකාර වේ. යම්ලෙසකින් කිසියම් හෝ ඵලයක් ලබන්නට මේ භවයේදී  ඔබට නොහැකි වුවහොත් මතු භවයක් සදහා එය උපනිෂය වේ. එබැවින් ඔබේ උත්සාහය කිසිවිට අපතේ නොයයි.
by Daham Vila

ආශ්චර්ය ධර්ම

1. කවරෙකුටවත් බුදුවරයන් වහන්සේලා ඝාතනය කළ නොහැක.
2. බුදු වන භවයේ දී බෝධිසත්වයෝ උපන් විගස පියවර කිහිපයක් ගමන් කරති.
3. බුදු වීමට විවරණ ලැබූ සියල්ලෝ ම සම්මා සම්බුදු හෝ පසේ බුදු වී සසර ගමන කෙලවර කරති.


හේතු ඉදිරිපත් කල නොහැකි සිදුවීම්

1. කිසිවිට එකම කාලවකවානුවක බුදුවරැන් දෙදෙනෙක් පහළ නොවෙති.
2. බුද්ධ ශාසනයක් පවතින තාක් පසේ බුදුවරැ පහළ නොවෙති.
3. බෝසතුන් ඉපිද සත් දිනෙන් මව මිය යයි.
4. බෝසතුන්ගේ මාතාව ඊලඟ භවයේ දී පිරිමි ආත්මයක් ලබයි.
5. බුදුන්වහන්සේ ප්‍රශ්න කරන ලදුව තෙවරක්ම පිළිතුරැ නොදුනේද ඔහුගේ හිස සත් කඩකට පැළෙයි.
6. බුදුන්වහන්සේගෙන් වැදුම් ලදොත් ඔහුගේ හිස සත් කඩකට පැළෙයි.
7. කිසිවෙක් ආනන්ද හිමියන් ඉදිරියේ උන්වහන්සේ දේශනා කරන ලද සද්ධර්මය අසද්ධර්මයැයි කිවහොත් ඔහුගේ හිස සත් කඩකට පැළෙයි.
8.  රහත් වීමෙන් පසු දින හතකට වඩා ගිහිගෙයි නොසිට ගිහිගෙයින් නික්මෙයි. එක්කෝ පිරිනිවනි පායි.
9. සෝවාන් වූ උතුමන් මෙලොවට එන්නේ සත් වරක් පමණි. එම කාලය තුළ සසර දුක් කෙළවර නිවනට පත් වේ.
by Daham Vila

නිවන සැමදා විද්‍යමානය

වර්තමානයේ ද මාර්ගඵල ලැබිය හැකිය* යන විශ්වාසය කෙනෙකුට ඇතිවන්නේ එම පුද්ගලයාගේ පෙර පින ක්‍රියාත්මක වීමකි. යමෙකුට සත්‍යාවබෝධය පිණිස එම සිතුවිල්ල මහඟු පිටුවහලකි. ඒ සඳහා කැමැත්ත ඇති වීම පෙර පින මෙලවදී ඵලදීමකි. අද ද මාර්ගඵලලාභීන් ඇති අතර එවන් උතුමන් නැති කල සම්බුද්ධ ශාසනයේ වැදගත් ම කොටස අතුරැදහන් වූවා සේ සැලකේ. ඇතැමෙක් අපායක් නැත. දෙව්ලොවක් නැත. අපායත් දෙව්ලොවත් යන දෙලොව ම ඇත්තේ මනුෂ්‍ය ලෝකයේමැයි පවසමින් මිථ්‍යාදෘෂ්ථීයේ එල්බගෙන මරණින් මතු දුගතිගාමී වන අයුරින් කටයුතු කරත්.

මගඵල ලැබීමට භාවනාව මිස වෙනත් මඟක් නැතය යන්න පසුකාලීනව ඇති වූ දුර්මතයකි. ධර්මය ඇසීම නිසා සෝවාන් වූ බොහෝ දෙනෙක් එතැනට පත්වූයේ
1. ධර්මය අසා සැක දුරැ කර ගැනීම.
2. තෙරැවන ගැන අචල සද්ධාවක් ඇති කර ගැනීම.
3. සියල්ල අනිත්‍ය බව අවබෝධයෙන් දැන ගැනීම.
4. සියල්ල ඇතිවී නැතිවී යන බව අවබෝධ කර ගැනීම ආදී හේතූන් නිසා ය.


උතුම් වූ සෝවාන් ඵලය*
සෝවාන් ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ
සෝවාන් ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ හදුනාගන්න

1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසැලෙන භක්තිය.
2. ධර්මය කෙරෙහි නොසැලෙන භක්තිය.
3. මගඵල ලාභී ශ්‍රාවක සඟරුවන කෙරෙහි නොසැලෙන භක්තිය.
4. ආර්යකාන්ත සීලය.

         ආර්යකාන්ත සීලය යනු පංච සීලය නිසි අයුරින් රැකීමය. මේ නිසා භය වෛරය ඇති නොවේ. එමෙන්ම පංචානෙන්තරිය පාප කර්මයන් සිදු කරනු ලැබීම හෝ නියත මිථ්‍යා දෘෂ්ටියට හසුවීම කිසිලෙසකින් සෝවාන් ඵල ලාභී පුද්ගලයා අතින් සිදුනොවේ. ඔහු සතර අපායෙන් සදහටම නිදහස් වූ කෙනෙකි. (නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය = සතර අපාය) තවදුරටත්...

පුරාතන ඉන්දියාවේ ආගමික පසුබිම හා බුදුදහම, සෝතාපත්ති ඵලය හෙවත් සෝවාන් ඵලය


සකෘදාගාමී ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ

1. සෝවාන් ඵලයට පත් උතුමන් සතු සියළු ලක්ෂණ ඇත.
2. සමාධිය තරමක් වැඩී ඇත.
3. ප්‍රඥාව තරමක් වැඩී ඇත.
4. කාමයට ඇති ආශාව අඩු වී ඇත.
5. කෝපය අඩු වී ඇත.
6. ශ්‍රද්ධාව අඩු වී ඇත. (නිවනට ලං වෙත්ම  ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව වැඩී යනු ඇත.)

අනාගාමී ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ

1. සෝවාන් ඵලයට සහ සකෘදාගාමී ඵලයට පත් උතුමන් සතු සියළු ලක්ෂණ ඇත.
2. සමාධිය හොඳින් වැඩී ඇත.
3. ප්‍රඥාව  හොඳින්  වැඩී ඇත.
4. කාමයට ඇති ආශාව නැත.
5. කෝපය හට නොගනී.
6. ශ්‍රද්ධාව තවත් අඩු වී ඇත. (නිවනට ලං වෙත්ම  ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව වැඩී යනු ඇත.)


අරහත් ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ

1. ආර්යකාන්ත සීලය
2. ප්‍රඥාව සම්පූර්ණය.
3. ශ්‍රද්ධා විරහිතය. (තමා නිවන ලද නිසා විශේෂ ශ්‍රද්ධාවක් ඇති නොවේ.)
4. තෘෂ්ණා විරහිතය.
5. කිසිදා කෝප නොවේ.
6. මමත්වයෙන් තොරය.
7. අන්‍යයන් තමන් හා සැසදීමක් නොකරයි.
8. කිසිදු දුකක් නොදැනේ.
9. චතුරාර්ය සත්‍යය සම්පූර්ණයෙන් අවබෝධ කර ඇත.
10. සමාධිය සම්පූර්ණය.
11. තමන් නැවත නූපදින බව ප්‍රත්‍යක්ෂව දනී.
12. සත්‍යාවබෝධයෙන් පසු දින හතකට වඩා ගිහිගෙයි නොසිටියි.

මාර්ග ඵල ගැන සූත්‍ර පිටකයේ මෙසේ සඳහන්ය.

1. සෝවාන් වීම ඉතා පහසු බව.
2. ආර්යමාර්ගයට පැමිණි තැනැත්තා නිසැකවම ඵලයට ලඟා වේ.
3. නොසැලෙන විදර්ශනා සමාධියට පැමිණි අය මේ භවයේදී ම රහත් වීමට සුදුසුකම් ලබත්.
4. සතිපට්ඨාන භාවනාව නිරතුරැ වඩන අය නියත වශයෙන් ම වසර හතක් තුළ අනාගාමී හෝ රහත් වේ.
5. සියලු සංස්කාර අනිත්‍යයැයි කියා, කලකිරවන පරිදි විදර්ශනා වඩන අය මේ ජීවිතයේදී ම රහත් වෙත්.
by Daham Vila

බුද්ධ දේශනාවේ සඳහන් වන පිළිතුරැ නොසෙවිය යුතු අව්‍යාකෘත ප්‍රශ්න 10

1. ලෝකය සදාකල් පවතීද?
2. ලෝකය විනාශවීමෙන් පසු ලෝකයේ ජීවය අවසන් වේද?
3. විශ්වයේ කෙලවරක් ඇතිද?
4. විශ්වයේ කෙලවරක් නැතිද?
5. ජීවිතය හා ශරීරය යනු දෙකක්ද?
6. ජීවිතය හා ශරීරය යනු එකක්ද?
7. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු උපදීද?
8. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු නූපදීද?
9. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු ඉපදීමත් නුපදීමත් අතර තත්ත්වයක සිටීද?
10. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු ඉපදීමත් නුපදීමත් අතර තත්ත්වයක නොසිටීද?
by Daham Vila
සදහම් සඟරා - Online