ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

බෝධිසත්වයින් කිසිදා නොකළ එකම පාපය

බුදුදහම අනුව සලකා බලන විට සාරාසංඛ කල්ප ලක්‌ෂයක්‌ පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත්වීමට සසර සැරිසැරූ බෝධිසත්වයාණෝ ඒ එකදු භවයකදී හෝ නොකළ එකම වරද, පාපය නොවන්නේ බොරු නොකීමය. උන්වහන්සේ එකම භවයකදී හෝ බොරුවක්‌ කියා හෝ බොරුවක්‌ කර නොමැති බව සඳහන් වේ. 

බොරුව යන්න බුදුදහමේ හැඳින්වෙන්නේ මුසාවාදය යනුවෙනි. මුසාවාදය යන්න තවදුරටත් අර්ථ දක්‌වන ධම්මසංඝනි අට්‌ඨකථාව පහත දැක්‌වෙන ලෙස එය විග්‍රහ කෙරේ. මුසා නම් විසංවාදන පෙරටුව කියන්නහු පිළිබඳවූ අරථිභංජකවූ වාග් ප්‍රයෝගයයි. එය කතාවෙන් ලිවීමෙන් හෝ කාය ප්‍රයෝගද විය හැක. දුටු දෙයක්‌ නොදුටුයි කියා හෝ ඇසූ දෙයක්‌ නො ඇසුමියි කියා හෝ දත් දෙයක්‌ නොදනියි කියා හෝ නොදත් දෙයක්‌ දනිමියි කියා හෝ විසංවාදන පෙරටුව බොරු කියන්නහු පිළිබඳව උපදින අකුසල චේතනා මුසාවාද අකුසල කර්මය වෙයි. මහණෙනි මුසාවාදය හෙවත් බොරුකීම බහුල වශයෙන් ආශේචිත භාවිත කළ තැනැත්තෝ සතර අපා මුඛටම භාජනය වන්නේ වෙති. ඉතිරිව තිබූ මුසාවාදා පවේ විපාක වශයෙන් ඒ පුද්ගලයාට යම් දවසක මිනිසත් බව ලැබූ විට තමන් නොකළ වැරදිවලින් පීඩා විඳීමට පත්වෙයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශන කර ඇත.

මෙය තවදුරටත් විග්‍රහ කර පරමාර්ථ විභංගය මුසාවාදය කුමක්‌ද යන්න මෙසේ විග්‍රහ කරයි. නැත්තා වූ අසත්‍ය වූ යම්කිසි කාරණයක්‌ ඇත්තක්‌ ලෙසින් සත්‍යයක්‌ ලෙසින් අනිකෙක්‌ හට දැක්‌වීමයි. නැතිවූ හෝ ඇතිවූ හෝ යම්කිසි කාරණයක්‌ අනුන්ට විපරීත කොට හඟවනු කැමති සිතින් කළ දෙයක්‌ නොකළැයි කීමද නොකළ දෙයක්‌ කළෙමියි කීමද දුටු දෙයක්‌ නොදුටුමියි කීමද, ඇසූ දෙයක්‌ නොඇසූයෙමියි කීමද, නොඇසූ දෙයක්‌ ඇසූයෙමියි කීමද නොසිතූ දෙයක්‌ සිතූයයි කීමද සිතූදෙයක්‌ නොසිතූ යයි කීමද සිනා පිණිසවත් කුඩා වූ දෙය මහත්යයි කීමද මහත් වූ දෙය කුඩායයි කීමද උස්‌ වූවන් මීටියයි කීමද, මිටි වූවන් උස්‌ යයි කීමද යහපතුන් නපුරන් යෑයි කීමද, නපුරන් යහපත් යයි කීමද, නුවණ නැත්තවුන් නුවණ ඇතියන් කීමද, නුවණ ඇතියවුන් නුවණ නැතියන් යයි කීමද යන මේ සියල්ල අංග කිරීමෙන් මුසාවාද කර්ම පථය වේ.

මුසාවාදය අකුසල කර්මයක්‌ වීමට කරුණු තුනක්‌ සම්පූර්ණ විය යුතුය. එනම් බොරු කියමියි යන සිතක්‌ විය යුතුය. එම සිතට අනුව බොරුව කිය යුතුය. එසේම අසනු ලබන්නා එය සත්‍යයක්‌ ලෙස පිළිගත යුතුය. මේ කාරණා තුනම සම්පූර්ණ නොවුණහොත් මුසාවාද අකුසල කර්මය සිදුනොවේ. තවත් සමහර බෞද්ධ පුස්‌තකයන්හි මුසාවාද අකුසල කර්මය සිදුවීමට කරුණු සතරක්‌ සම්පූර්ණ වියයුතු බව සඳහන් වේ. එනම් බොරු කියමියි යන සිත බොරුවක්‌ වීම, එම බොරුව කියා පෑමට උත්සාහ ගැනීම හා එය අනුන්ට අවබෝධ වීමය. මේ අනුව පවසන දෙය බොරුවක්‌ වුවද එය අන්‍යයන්ට තේරුම් නොයන භාෂාවකින් කිවහොත් අන්‍යයන් බොරුවක්‌ බව තේරුම් නොගත හොත් එයින් මුසාවාද අකුසලය සිදු නොවේ. වැරැදීමකින් හෝ නොදැන කියන බොරුවකින්ද මුසාවාද අකුසලය සිදුනොවේ. යම්කිසි පොරොන්දුවක්‌ දී යම් හෙයකින් සාධාරණ හේතුවක්‌ මත එය ඉටු නොකිරීමෙන්ද මුසාවාද අකුසල කර්මය සිදුනොවේ. එහෙත් එම පොරොන්දුව කවදා හෝ ඉටු නොකරමියි යන චේතනාවෙන්ම ප්‍රකාශ කළේනම් මුසාවාද අකුසල කර්මය සිදුවේ. එහෙත් ඉටු කිරීමට බැරි පෙරොන්දු දීමෙන් මුසාවාද අකුසල කර්මය සිදුවේ. අනුන් ලවා බොරු කියවීමෙන් කියන පුද්ගලයාට මෙන්ම කියවන පුද්ගලයාටද අකුසල කර්මය සිදුවේ.

මුසාවාදයේ විරුද්ධාර්ථය සත්‍යය හෙවත් ඇත්ත කතා කිරීමය. එසේම සත්‍යය පැරණි ධර්මයක්‌ බවද පහත සඳහන් ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදී. 

සච්චං චෙ අමතා වාචා එස ධම්මො සනත්තනො

එසේම එකම්හි සච්චං න දුතියමත්ථි යනුවෙන් සත්‍යය එකක්‌මය සත්‍යය දෙකක්‌ නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. 

එතං ධම්මං අතීතස්‌ස මුසාවාදිස්‌ස ජන්තුනො විතිණ්‌ණ පරලෝකස්‌ස නත්ථිපාපං අකාරියං

යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඇත්ත කීම නම් වූ පුරාණ ධර්මය කඩකර බොරු කියන පුද්ගලයාට නොකළ හැකි පාප කර්මයක්‌ නැතැයි වදාරා ඇත. මුසාවාදයේ බරපතළකම බුදුරජාණන් වහන්සේ වදාළ මෙම ගාථාවෙන්ම පැහැදිලිවේ. 

මුසාවාදයෙහි විපාක 

මුසාවාදය බහුල වශයෙන් කළ තැනැත්තා අට මහා නිරයටත් තිරිසන් අපා දුකටත් ප්‍රේත ලෝකයටත් පැමිණේ. මිනිස්‌ ලොව ඉපදුණහොත් අභූත දෝෂාරෝපණයන්ට හා නින්දාවන්ට ලක්‌වේ අන්‍යයන්ගේ අවිශ්වාශ්යට ලක්‌වේ. නොකළ වරදවන්ට අසුවී දඬුවම් ලබති. අතිශයින් දුර්ගන්ධ මුඛ ඇතිවන්නේද මුසාවාදයේ අකුසලයක්‌ වශයෙනි. එසේම දිළිඳු වන්නේය. මෝඩ පුද්ගලයෙක්‌ වන්නේය. ගොළු බවට හා ගොත බවට පැමිණීමද තවත් විපාකයන්ය. එසේම කාන්තාවක්‌ වී ඉපදුණහොත් දරුවන් නැතිවීමටත් හේතු විය හැකි බවද ධර්ම ප්‍රදීපිකාවේ දැක්‌වේ.

මුසාවාදයෙන් වෙන් වීමේ අනුසස්‌

විපස්‌සනා ඉන්ද්‍රීයථා - ඉතාමත් පැහැදිලි හා ලස්‌සන ඇස්‌ කන් නාසා ආදී ඉන්ද්‍රීයයන් ලැබේ. විස්‌සට්‌ඨමදුරභාණිතා - මදුර කටහඬක්‌ ලැබීමටද හේතු වාසනා වේ. සමසිතසුද්ධදන්තිනා - ලස්‌සන සමවූ දත් දෙපලක්‌ ඇතිවේ. නාතිථුලථා - ඉතා මහත්වූ ශරීර ඇති නොවේ. නාතිකිස්‌සතා - ඉතා කෘෂවූ ශරීර ඇති නොවේ. නාතිරස්‌සා - අඟුටු මිට්‌ටන් නොවේ. සුඛසම්ඵස්‌සථා - අතිශයින් මෘදු ශරීර ඇති වේ. සුස්‌සුකපරිජනතා - කීකරු පරිවාර ජනයන් ලැබීමටද හේතුවේ. අනුද්ධතතා - උඩඟු නොවේ. අචපලතා - චපල නොවේ. 

බෝසතාණන් වහන්සේට දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණයන් වූ එක්‌ එක්‌ රෝමකූපයන්හි ඇති එක්‌ එක්‌ රෝමයන් ඇතිවූයේද දෙබැම මැද බබළන ඌර්ණ රෝම ධාතුව ඇති වූයේද කිසිම භවයකදී මුසාවාද අකුසලය නොකළ නිසා එහි විපාක වශයෙන් බවද සඳහන් වේ. එසේම උන්වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට ප්‍රධාන හේතුව කිසිදා බොරු නොකීමේ කුසල කර්මය බවත් ධර්මයෙහි සඳහන් වේ. 

අභිධර්මය

අභිධර්මයට අනුව මුසාවාදය ත්‍රි මූල සිත්වලින්ම කෙරෙන අකුසලයකි. අකුසල් කෙරෙන මූල තුනක්‌ තිබේ. ඒ ලෝබය, ද්වේශය සහ මෝහයයි. ලෝබය යනු ආශාව, රාගය යම් යම් දෙයට ඇති ගිජුකම ප්‍රේමය, ඇළුම් කිරීම ආදී දේ ලෙස සැලකිය හැකිය. ලෝබ මූල සිත් අටක්‌ තිබේ. මෙම සිත් අටෙන් ඇතිවිය හැකි දස අකුසල්වලින් ලෝබය නිසා ඇතිවන අකුසල් හතක්‌ වේ. මුසාවාදය ඉන් එකකි. ඉතිරි සය වන්නේ අදත්තාදානය, කාමමිච්චාරය, පිශුනවචනය, සම්ප්‍රලාප අභිධ්‍යාව හා මිත්‍යාදෘෂ්ටියයි. මුසාවාදය ද්වේශය මුල්කරගෙන සිදුවන්නේ ආඝාත වස්‌තූන් කරණ කොට ගෙන අනුන් කෙරෙහි කිපී නසම් යන සිතින් කිමය. මෝහය මුල්වී සිදුවන්නේ මෝඩකම, නූගත්කම හා වැරදි දෘෂ්ටීන් නිසා බොරු කීමය.

මුසාවාදය සිත කිළිටි කරන ධර්මයක්‌ බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. අපගේ සන්තානයේ ඇතිවිය හැකි කෙලෙස්‌ 1500 ක්‌ පමණ ඇති බව අපවත්වී වදාළ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමිපාණන් සඳහන් කර ඇත. මුසාවාදයද ඉන් එකකි. කෙලෙස්‌ යනුවෙන් හඳුන්වන්නේ සිත කිළිටි කරන, සිත් නරක කරන අකුසල පාක්‌ෂික ධර්මතාවයන්ය. ඒ අනුව බොරුව නැතහොත් අපේ සිත් නරක්‌ කරන කිළිටි කරන අකුසලයක්‌ය. මේ කෙලෙස්‌ අපගේ සිත් තුළ සැඟවී අනුශය වශයෙන් තැන්පත්ව ඇත්තේය. මුසාවාද ක්‌ලේශයද අනුශය වශයෙන් සැඟවී තිබී බොරුකීමේ අරමුණක්‌ ඇතිවූ විගසම වහා මතුව ක්‍රියාකාරී වන්නේය. අප බොරුකියන්න පෙලඹෙන්නේ ඒ අනුවය. එම නිසා අප නිරතුරුවම මෙම ක්‌ලේශයද නැතිකරලීම සඳහා උත්සාහ ගත යුතුය. ආර්යය මාර්ගයට පත්වූ පුද්ගලයින් බොරු නොකියන්නේ මුසාවාද ක්‌ලේශය ප්‍රහානය කර ඇති නිසාය.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කපිල නම් සෘෂිවරයෙක්‌ ව සිටියදී ෙච්තිය නම් රජකුට බොරු කිමේ ආදීනව දේශනා කර ඇත. ආරක්‌ෂක දේවතාවෝ බොරු කියන්නාහු ළඟින් ඈත්වෙන බව එහි සඳහන් වේ. එසේම යමෙක්‌ ප්‍රශ්නයක්‌ අසන ලදුව දැන දැනම එය අන් අයුරකින් විසඳන්නේ නම් ඔහුට සර්පයන්ට මෙන් දිව දෙකක්‌ ඇතිවන බවද ඔවුන්ගේ පවුල්වල වැඩිපුර ස්‌ත්‍රීන් උපදනා බවද, දූ දරුවන් මවුපිය උපස්‌ථාන නොකරන බවද දේශනා කර ඇත. 

වීදාගම මෛත්‍රී මහා ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත සුප්‍රසිද්ධ ලෝවැඩ සඟරාවේ මුසාවාදය කෙතරම් බලවත් පාප කර්මයක්‌ද සිත් කාවදින ලෙස මෙසේ සඳහන් කර ඇත.

අසවා ම කියන බස්‌ අර තරයේ 

මුසවා බස්‌ කීවා එක මුරයේ

වසවා දෙව් ලොව යන මන්තරයේ

පැසවා මිස නාරී ගොස්‌ නිරයේ

මා කියන මේ බස්‌ බැරූරුම් ලෙස අසව්. එක වරක්‌ වත් බොරු කීවොත් එයින් දෙව් ලොව යන පාර තද කොට වසා හෙවත් සැප වළකා ඝෝර වූ නිරයෙහි දුක්‌දී මිස අත් නොහරින්නේය. 

ලැදිව රජෙක්‌ බොරු බස්‌ කී විගස කයා

නැතිව රිද්දි බලයත් ඒ මිනිස්‌ කයා

පොළව පළාගෙන ගොස්‌ වැටුණි නර කයා

මෙලොව සතුනි ඉන් බොරු කීම නර කයා

පෙර රජෙක්‌ ලැදිව බොරු කී විගස තමන්ගේ සෘද්ධි බලයත් නැතිව ගොස්‌ පොළව පළා ගෙන ඒ මිනිස්‌ ශරීරයෙන්ම අපායෙහි වැටුණේය. ඒ නිසා බොරුකීම නරකය.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් 
සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ
සදහම් සඟරා - Online