ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ආමිෂය භවය සඳහාය, ප්‍රතිපත්තිය භව නිරෝධය සඳහාය


ගම්පහ සිරිසීවලී හිමි
වේළුවනාරාමය, කන්නිමහර, වතුරුගම

සත්‍යාවබෝධයේදී අනුගමනය කරන ප්‍රතිපදාවේ බොහෝ තේරුම්ගත යුතු කරුණු ඇත.'ප්‍රඥව' යනු මානසික සංවර්ධනයේ ඉහලම අවස්‌ථාවයි. අතිපාරිශුද්ධ වූ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීමෙන්මයි ඒ අවස්‌ථාව උදාවනුයේ. ඒ නිසා ශාන්තිනායක ගෞතමයාණන් වහන්සේ වදාරනුයේ (-

''තුම්හෙහි කිච්චං ආතප්පං -අක්‌ඛාතාරෝ තථාගත' යනුවෙනි. අප විසින් මඟ වැඩිය යුතුය. මාර්ග උපදේශකත්වය උන්වහන්සේ දෙනු ඇත. විශ්වාසයෙන් සත්‍ය අවබෝධ නොවනු ඇත. ඇදහීමේන් සත්‍ය අවබෝධ නොවේ. පොතපතින් සත්‍ය අවබෝධ නොවේ. ත්‍රිපිටකය කටපාඩම් වූ පමණින් සත්‍ය අවබෝධ නොවේ.

ත්‍රිපිටකයේ සඳහන් වී ඇත්තේ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවකි. එය ඇසීමෙන් ප්‍රතිවේධය නොලැබෙනු ඇත. සම්බුද්ධ දේශනාව ග්‍රන්ථධුරය, විදර්ශනා ධුරය යනුවෙන් දෙකොටසකි. ග්‍රන්ථ ධුරයෙන් උපදේශනයත්, ප්‍රතිවේධය සඳහා විදර්ශනා ධුරයත් භාවිත කළ යුතුය. එයින් කරනුයේ මන අවදිමත් කර නිවීම සඳහා යොමු කිරීමයි.

මනසින් අවබෝධ කරගත් ධර්මය තවත් මනසකට සම්ප්‍රේෂණය කළ නොහැක. දහම් දෙසනුයේ ශ්‍රාවකයා සත්‍ය දෙසට නැඹුරු කිරීමටය. සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ මන අවදිමත් කිරීම සඳහාය. සම්මාදිට්‌ඨිය ඇතිකිරීම සඳහා අනුබල දීමටයි. ඒ සඳහා උපාය මාර්ගයක්‌ පමණි. ඒ නිසා ශාන්ති නායකයාණන් වහන්සේට 'ඥානය' ලබාදීමට නොහැක. තුන් පිටකයේ අන්තර්ගත වන්නේ වාර්තාකරණයන්ය. ප්‍රකාශනයි. උපමා උපමේය සංකේත මගින් ධර්මය විවරණය කර දීමයි. එමගින් කරනුයේ උපක්‍රම භාවිතාව සඳහා ශ්‍රාවකයා යොමු කිරීමයි. තුන් පිටකය කටපාඩම් කළත් ත්‍රිපිටකාචාර්ය වුණත් ප්‍රතිවේදයක්‌ නොමැත. උපාය මාර්ග මගින් ලබන ප්‍රතිපදාවකින්මයි, ඥන සම්භවය සිදු වන්නේ. 

මේ බව වඩාත් පැහැදිලි කර දෙන ධර්ම විවරණයකි, ම.න. චන්කි සූත්‍රය. සත්‍ය ගවේෂී ආර්ය ශ්‍රාවකයා මුළාවෙන් අත්මිදීම සඳහා චිත්ත පාරිශුද්ධිය බලාපොරොත්තුවෙන් ශාස්‌තෘන් වෙත(

- සද්ධාජාතො උපසංකමති - සද්ධාවෙන් සමීපයට පැමිණේ.

- උපසංකමන්තො පයිරුපාසති - එළඹ ඇසුරු කරයි.

- පයිරු පාසන්තො සොතං ඕදහති - ඇසුරු කරමින් සවනත යොමු කරයි.

- ඕහිත සොතො ධම්මං සුනාති - යොමුවූ කන් ඇතිව සිහියෙන් ධර්මය අසයි.

- සුත්වා ධම්මං ධාරේති - අසාගත් ධර්මය දරාගනී.

- ධතානං ධම්මානං අත්ථං උප පරික්‌ඛති - දරාගත් දැනගත් දහම අර්ථය හොඳින් පරීක්‌ෂා කර බලයි. විමසා බලයි.

- අත්ථං උප්පරික්‌ඛතො ධම්ම නිඡ්Cධානං ධම්මන්ති - අර්ථය සමාලෝචනයෙන්, පිරික්‌සීමෙන් ධර්මය වටහා ගනී.

- ධම්ම නිඡ්Cධානක්‌ඛන්තියා සති ඡන්දො ජායති á උස්‌සහති - ධර්මය වැටහෙන්න වැටහෙන්න දහමේ කැමැත්ත ඇතිවේ. උත්සාවන්ත වේ. ප්‍රමුදිත වේ.

- උස්‌සහිFවා තුලෙති - ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ප්‍රතිපදාවේ යෙදීමෙන් ආධ්‍යාත්මික ගුණාත්මක භාවයේ ප්‍රගතිය කිරා මැන බලයි. සමාලෝචනය කරයි. මේ සූත්‍ර දේශනාවේ ඉහත දැක්‌වූ පාඨයන් දහම් ඇස ලබාගැනීමේදී යෝගවචරයාගේ පූර්ව කෘත්‍ය වශයෙන් දැක්‌විය හැක. ප්‍රතිවේධය සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි.

- තුලයිත්වා පදහති පහිතත්තො සමානො කායෙනෙච්ව පරම සච්චං සච්äකරොති. පඤ්Æය ච නං අතිවිඡ්Cධ පස්‌සතිá

ප්‍රතිපදාවේ යෙදීමෙන්, සත්තිස්‌ බෝධි පාක්‌ෂික ධර්ම වැඩීමෙන් පධන් වීර්යයෙන් යුක්‌ත වූයේ නිවනට යොමු වූ සිත් ඇත්තේ සත්‍ය අවබෝධ කරගනී. ප්‍රඥව පහල වේ.

- එත්තාවතා ඛෝ භාරද්වාජ, සච්චානුබොධොහොති - භාරද්වාජයෙනි, මෙපමණකින් ශ්‍රාවකයා ධර්මය අවබෝධ කරගනී. දහම් ඇස ලබා ගනී.

- එත්තාවතා සච්චානු මනු බුඡ්Cධති. මෙතකින්ම සත්‍ය අවබෝධ කරයි කියනු ලැබේ.

එත්තාවතා ච මයං සච්චානුබොධං පඤ්ඤාපේමි - මෙපමණකින් මම ඔහුට සත්‍ය අවබෝධ ඇතිවූ බවට ප්‍රතිඥ දෙමි.

න ෙFවව තාව සච්චානුපත්ති හොතිති - මේ ක්‍රමවේදය පරිපූර්ණ නොවූයේ නම් සත්‍යාවබෝධය වූයේ යෑයි නොපනවමි.

ම.නි. අලගද්දූපම සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

'මයා ධමෙමා දෙසිකො නිත්ථරනත්ථාය - නො ගහනත්ථාය. කුල්ලුපමං වො භික්‌ඛවේ. ධම්මං දෙසිතං අජානතෙනකෙහි ධම්මාපි වො පහාතබ්බා පගෙව අධමෙමා'

මහණෙනි, මාවිසින් දේශිත දහම පහුරකට උපමා කරමි. පහුරෙන් ගඟ තරණය කරන්න. ඕඝය තරණය කරන්න. සසර ඕඝයෙන් එතෙර වෙන්න. ධර්මය ළඟ තබාගෙන මගේ කර ගැනීමට නොවේ. ධර්මය නම් වූ පහුර උපකාරී කරගෙන තරණය කර එයද අත්හරින්න. එනම් ධර්මයත් අත්හරින්න. පළමුව අසත් ධර්මය අත්හරින්න.

උතුම් බෝධිසත්ව ගුණෝපේත මනුෂ්‍යයන් වශයෙන් උපන් අපට උතුම් බුද්ධෝත්පාද කාලයක්‌ ලැබී ඇත. ධර්මය පුංජයක්‌ බවට තමාගේ ජීවිතය පත්කර ගත යුතුය. මහ මෛත්‍රියෙන් මහා කරුණාවෙන් මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ අප වෙත ධර්මය සන්නිවේදනය කරන්නේ සසර ඕඝයේ මහා භයානක ස්‌වභාවය අවබෝධ කරගෙන එයින් අත්මිදීමටයි. විශේෂයෙන් පුහුදුන් මානසිකත්වය ඇති සාමාන්‍ය පෘථග්ජනයාට එහි යථාර්ථය නොතේරෙන බැවිනි.

අප සසර ගමන තව තවත් දුරට යැමට හේතු කාරක වන පිං දහම් කරමින් ආමිෂයට මුල්තැන දෙමින් වටිනා කාලය කනවා. එසේ කරමින් මේ දානාදී පිංවලින් නිවන් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම මතු මනාවූ අනාගතයේ පහළවන්නා වූ සැමටම මෛත්‍රි වූ මෛත්‍රී බුදුපියාණන් වහන්සේ විසින් මධුර මනෝහර කොට වදාරනු ලබන පළමුවැනි දහම් දෙසුමේදී (ධම්මචක්‌ක පවත්තන සූත්‍ර දේශනාව අවසානයේදී) මාර්ගඵල අවබෝධයෙන් සසර දුක නැතිවී නිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරයි.

දැන් පහළ වී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අප ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් දේශිත ධම්මචක්‌ක පවත්වන සූත්‍රයමයි මතු අනාගතයේ පහළවන මෛත්‍රී ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේත් දේශනා කරන්නේ. ගෞතම ශාක්‍යමුනි දේශනාව තවමත් ජීවමානයි. ඒ පිවිතුරු දහම අද අවබෝධ කරගන්න බැරි නම් අමුතු හැකියාවක්‌ අමුතු දක්‌ෂතාවක්‌ මතු අනාගතයේ කෙසේ නම් ඇතිවේද? ඔබ ඔබේ හැකියාව අවතක්‌සේරු කර ඇත. නැවත මේ උත්තම අවස්‌ථාව කිසිදා කෙසේ නම් ලැබේදැයි කිසිවකුට කිව නොහැක. ප්‍රාර්ථනා කරන පලියට ලැබෙන්නේ නැත.

උතුම් මනුෂ්‍යාත්මභාවය ජීවමානයි. උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානයි. ක්‌ෂණ සම්පත්තිය ජීවමානයි. ගෞතම බුද්ධ ශාසනය ජීවමානයි. මහා කුසල සම්භාරයක්‌ ඇතිව උපත ලැබූ ඔබ ආර්ය භූමියේ උපත ලබා සම්බුද්ධ ශාසනයේ ස්‌ථාවර ආර්ය භාවයට පත්ව නිවන් දැක සසරින් එතෙරවීමට උත්සාහ වන්න.

හැම මොහොතකම ගෙවී යන්නේ ඔබේ උතුම් මනුෂ්‍යාත්ම භාවයේ ජීවන කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ කවදා කෙසේ නම් පහළ වේ යෑයි සිතාගත නොහැකි උතුම් බුද්ධෝත්පාද කාලයයි. හැම මොහොතක ගෙවී යන්නේ සද්ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ඇති ඔබේ මානසික ශක්‌තියයි. ඔබට ඔබේ පිළිසරණවත් නැති වන මොහොත ඉතා ළඟය. 'ධම්මො හවේ රක්‌ඛති ධම්මචාරි' ධර්මාවබෝධය තුළින් ඔබට රැකවරණය ලැබෙනු ඇත. ධර්මයේ හැසිරෙන්නට ධර්මය පිහිටවනු ඒකාන්තය.

තවම අප ධර්මයේ පහුරට නැඟ නැත. ධර්මයේ පහුර කර තියාගෙන ඇත. එයට පුද පූජා පවත්වමින් සිටී. දහම් පද ගීතවත්ව ගායනා කරමින් වැඳ වැටෙමින් සිටී. ආමිෂ පූජාවෙන් චිත්ත පාරිශුද්ධත්වය ඇතිවී සත්‍යාවබෝධය නොවනු ඇත. 'මම' නමැත්තා පෙරටුවේ තබාගෙන ඔහුට සුත මුදිත අනාගතයක්‌ ඇතිකරදීමේ අභිලාෂයෙන් භව තණ්‌හාවෙන් පින්දහම් කරයි. සසර ගමනට පින අවශ්‍යයි. බුදුදහමේ බුද්ධිමත් ප්‍රතිපදාව වනුයේ සසර ගමන නතරකිරීමේ ප්‍රතිපත්ති පූජාවයි. ආමිෂය තමාට පුදා ගැනීමක්‌ පමණි. බුදුන්ට පිදීමක්‌ නොවේ.

කුසල කර්ම හෝ අකුසල කර්ම භව නිරෝධය සඳහා කිසිසේත් පාදක නොවේ. එමගින් භව ගමන දික්‌ කරයි. ඡේතවනාරාමය පූජා කළ මුළු ජීවිත කාලයම දානාදී පින් දහම් කළ අනේපිඬු සිටුතුමාට සෝවාන් වීමට හැකියාව ඇතිවූ නමුත් රහත්භාවය සඳහා හේතු කාරණා නොවීය. 

අසූහාර දහසක්‌ වෙහෙර, විහාර කළ තම එකම දුව - පුතා සසුනට පූජා කළ ධර්මාශෝක රජතුමාට භව නිරෝධය සඳහා පින උපනිශ්‍රය නොවිණි. අසදෘෂ මහදන් දුන් කොසොල් මහ රජතුමාටත් කෝසල මල්ලිකා දේවියටත් පිනෙන් අඩුවක්‌ තිබුණේද? ඒ පිංකම්වලින් භව නිරෝධය කරගත නොහැකි විය. අංගුලිමාල මහසොරා දහස්‌ ගණන් මිනිසුන් මැරුවත් ඒ පාපකර්මය මහරහත්භාවය ලැබීමට කිසිසේත් බාධා නොවිණි. පිං දහම් කාමාවචරයි. භවගාමී බවට අදාළයි. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධිය සඳහා කිසිසේත් අදාළ නොවේ.

කිසිම ප්‍රාර්ථනාවක්‌ නොමැතිව කිසියම් හෝ අනාගත අපේක්‌ෂාවක්‌ නොමැතිව සියල්ලම අත්හැරීම කළ යුතුය. ඒ ලෝක ධර්මයන්ගෙන් නිදහස්‌ වීම සඳහායි.

- නිදහස්‌ විය යුත්තේ කොතනින්ද? ලෝකයෙන්

- නිදහස්‌ විය යුත්තේ කාගෙන්ද - මගෙන්

නිදහස්‌ විය හැක්‌කේa කෙසේද? - ප්‍රතිපදාවෙන්

නිදහස්‌ වීම සඳහා යායුතු මඟ කුමක්‌ද? අරිඅටමග

නිදහස්‌ විය යුත්තේ කුමකින්ද? අවිද්‍යාවෙන්

නිදහස්‌ වීමට නොකළ යුත්තේ කුමක්‌ද? කර්ම රැස්‌කිරීමයි.

'යෝ පන භික්‌ඛු ධම්මානු ධම්ම පටිපන්නෝ විහරති. සාමීචිපටිපන්නෝ විහරති. අනුධම්මචාරි, සො තථාගතා නං සක්‌කාරොතිá ගරු කරොති( මානේති ( පූඡේතිá පරමාය පූජාය පටිපත්ති පූජාය'

''යම් භික්‌ෂුවක්‌ සද්ධර්මයට අනුගතව ජීවත්වන්නේ නම් දැහැමි කතාබහෙන් යුක්‌තනම් බුද්ධාදී උතුමන්ගේ දොaෂ දර්ශනයට ලක්‌ නොවන සියලු දුශ්චරිතයන්ගෙන් මිදුණු ජීවිත ගත කරන්නෝ තථාගතයාණන් වහන්සේට සත්කාර කරන්නෝ වෙති. තථාගතයාණන් වහන්සේට ගරු කරන්නෝ වෙති. මානන්‍ය කරන්නෝ වෙති. උතුම්ම පූජාව වන්නේ ප්‍රතිපත්ති පූජාවයි.

ඉහත දැක්‌වූ දැහැමි කරුණුවලට අනුගතව ඔබ ජීවත්වන්නේ නම් මුළු දවස පුරාම තථාගතයාණන් වහන්සේට පූජෝපහාර පවත්වන උතුමෙක්‌ වේ. මෙහිදී ආමිෂ පූජාව ගැන කිසිදු සඳහනක්‌ නැත. කර්ම රැස්‌කිරීම ආමිෂයයි. කර්ම ක්‌ෂය කිරීම ප්‍රතිපත්තියයි. ආමිෂය තමාට පූජා කිරීමකි. ප්‍රතිපත්තිය බුදුන්ට පූජා කිරීමකි.

'නහී මයිහං මාලා ගන්ධාදී හි පූජංකරොන්තා. මම පූජං කරොන්ති නාම ධම්මානු ධම්මං පරිපඡ්ජන්තා. එවපන මං පූජෙන්ති නාම' (ධම්ම පදට්‌ඨ කතා). 

මල් ගඳ විලවුන් මගින් කෙරෙන පිදීම බුද්ධ පූජාවක්‌ නොවේ. ප්‍රතිපත්තිමය වශයෙන් ධර්මානුකූලව හැසිරීමම බුදුපියාණන් වහන්සේට කරන බුද්ධ පූජාව වන්නේය.

මිනිසුන් මුළු ජීවිත කාලයම දිවා රාත්‍රී නොමැතිව කති, බොති, නටති, ගී ගයති, ප්‍රීති වෙති, රැස්‌කරති, රකිති, බෙදා ගනිති, රැකියා කරති, හම්බ කරති, වෙහෙසෙති, පොහොසත් වෙති, දුප්පත් වෙති, නඩුත් කියති. මරණයේ දොරටුව ළඟට පැමිණි විට පෙර සූදානම් නැති නිසා හඬති, වැළපෙති, සෝක කරති, භීතියට පත්වෙති, අසරණ වෙති. එමෙන්ම මහා ධන සම්පත් භෞතික ගේ දොර, ඉඩකඩම්, යාන-වාහන, ස්‌වාමි-භාර්යා, දූ-දරුවන්, මනාප දෑ 'බෑ' කියද්දී අතහැර දමා මහත් සේ අසරණ වෙලා නොපෙනෙන, නොදැකපු, සිහිනයකින් වත් නොදත් මහා භයානක ව්‍යසනයන්ගෙන් යුත් තැනකට සමහරවිට ඇද දමනු ඇත. ඒ සියල්ලටම වගකිව යුත්තා තමාගේ චරියාවයි. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිරෝධ ආර්ය සත්‍යය

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති 
මහාචාර්ය 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි

අපේ මහා බෝධිසත්වයන් වහන්සේ පරම සත්‍ය වූ සාංසාරික විමුක්තිය සොයා ගැනීමේ ක්‍රියාවලිය සඳහා හැමවිට ම අත්දැකීම යොදාගත්තා. රජගෙදර සැප විඳිද්දී අන්තයටම කාමසුඛල්ලිකානුයෝගය භාවිත කළත් අවසානයේ දී එය දුක පිණිස ම හේතුවන බව අත්දැකීමෙන්ම වටහා ගත්තා. සය අවුරුදු දුෂ්කරක්‍රියා සමයේදී අත්තකිලමතානුයෝගය අනුගමනය කිරීමේ දී ලබාගත් අත්දැකීම මගින් අවබෝධ කරගත්තේ එය ද අවසානයේ දුක පිණිසම හේතු වන බවයි. එයින් මිදුණු බෝධිසත්වයන් වහන්සේ මැදුම් පිළිවෙත මගින් අවසානයේ දී අද වැනි දවසක බුද්ධත්වයට පත් වූ බව අප කවුරුත් දන්නා සත්‍යයයි.
තමන් වහන්සේ අවබෝධ කරගත් මේ ගැඹුරු දැක්ම තේරුම් ගැනීමට තරම් ශක්තිමත් පිරිසක් මේ වන විට දඹදිව ඉන්දියාවේ නොමැති බව සිතූ උන්වහන්සේ ඒ ගැඹුරු දහම දේශනා කිරීමට මැලිවුණා. එහෙත් පසුව දිරිමත් වූ උන්වහන්සේ බුද්ධත්වයෙන් දින 49 කින් පසු බරණැස ඉසිපතනාරාමයේදී ඇසල පුර පසළොස්වක දා ඒ ගැඹුරු දහම් අඩංගු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පස්වග මහණුන් ප්‍රධාන දිව්‍ය බ්‍රහ්මයින්ට පමණක් දේශනා කළා. ඒ දහමේ අරුත වුණේ තමන් වහන්සේ අවබෝධ කරගත් ඒ චතුරාර්ය සත්‍යය ලෝකයට ඉදිරිපත් කිරීමයි. දුක්ඛ සත්‍යය ( දුකේ ස්වභාවය) සමුදය සත්‍යය ( දුකට හේතුව) නිරෝධ සත්‍යය ( දුක නැති කිරීම) මාර්ග සත්‍යය (දුක නැති කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය) යන සතරයි.

මෙහි දී තුන්වන ආර්ය සත්‍යය වන නිරෝධය ගැන දැන් අපි විමසා බලමු. නිරෝධය කියා කියන්නේ අවසන් වීමයි. මිදීමයි. නිදහස් වීමයි. කුමකින්ද දුකෙන්, එවිට අපට කියන්න පුළුවන් නිර්වාණාවබෝධය ලැබුණා කියලා. එසේ නම් තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම අවසන් කර තිබිය යුතුය. මේ නිර්වාණය කියල කියන්නේ කුමක්ද කියා කෙනෙක් ප්‍රශ්න කලහොත් එයට ද අපට පුහුදුන් අය වශයෙන් සාර්ථක පිළිතුරක් අපේ භාෂාව තුලින් ලබාදීම අතිශයින් දුෂ්කරයි. කෙසේ වුණත් නිරෝධය කියා කියන්නේ සම්පූර්ණ නිවීම හෙවත් නිවනයි. සියලුම සංස්කාරයන්ගේ සන්සිඳීම සියලුම බැඳීම් අත්හැරීම තෘෂ්ණාව සහමුලින්ම විනාශය නිරෝධය කියා අපි කල්පනා කරමු. ලෝකයේ පවතින සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යය මත හට ගනී. එහෙත් නිරෝධය හෙවත් නිවන එවැන්නක් නොවේ. ඒ නිසාම එයට අසංඛත යැයි කියනවා.
මේ අනුව නිර්වාණය කියා කියන්නේම දුක්ඛ නිරෝධයට යි. ඒ නිවන කියන තැන රාගය නැහැ. රාගය නැතිවීම, දෝසය නැතිවීම, මෝහය නැතිවීම තමයි නිවන කියන්නේ. දුක් ඉපදීමේ හේතුව වන තෘෂ්ණාව අංශුමාත්‍රයක්වත් ඉතුරු නොකර මතු මත්තෙහි ද නූපදිනා පරිද්දෙන් අවසන් වීම මෙහි ලක්ෂණය යි. එයට නිරවශේෂ නිරෝධය යැයි ද අනුප්පාද නිරෝධය යැයි ද නිරවශේෂ ප්‍රහාණය යැයිද කියනවා. කෙනෙකුට තමන්ගෙ වස්තුව, අඹු දරුවන්, තමන්ගේ ශරීරය, ජීවිතය, ඉන්ද්‍රියන්ට ගොදුරු වන රූප ශබ්දාදිය ගැනත් තෘෂ්ණාවක් හටගන්නේ නැත්නම් දෙවඟනන් බඳු සුරූපී තරුණියක් සමඟ කොපමණ කල් එක යහනේ විසුවත් ඔහුට කාම රාගය උපදින්නේ තැන්නම් ඔහුට තෘෂ්ණාව නැත්තේම යි.
තව කරුණක් තමා තෘෂ්ණාව නැති වුණත් පුද්ගලයාගේ පඤ්චස්ඛන්ධය පවතී නම් ඒ පුද්ගලයා දුකින් මිදී නෑ. පඤ්චස්ඛන්ධය නිරුද්ධ වුණොත් ඒ සුළු කොටසක් වූ තෘෂ්ණාව පැවතුනත් එය බලවත් දුකක් වන්නේ නෑ. දුකින් ගෙවන සත්වයාට අවශ්‍ය ප්‍රධාන දේ තමයි පඤ්චස්ඛන්ධයත් සමඟ වන දුකේ අවසානය. මේ නිසා බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවෙන් වෙනස් වු වෙනත් ක්ලේශ හා ස්ඛන්ධ නොගෙන තෘෂ්ණාව පමණක් ගෙන එහි නිරෝධය වශයෙන් දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පැහැදිලි කළේ.
ඒවගේම තෘෂ්ණාව දුක උපදින හේතුව නම් එය නැති නොකර එහි ඵලය වන දුක නැති කළ නො හැකිය. අපි හිතමු මහත් වෙහෙසක් අරගෙන යම් දුක් කොටසක් නැති කරනව. ඒත් දුක පවතිනව. එහෙම වුනත් දුකේ හේතුව වන තෘෂ්ණාව නැති කළ විට එයින්ම දුක අවසන් වනවා. ඒ නිසා දුක නැති කිරීමේ පැහැදිලිම ක්‍රමය තමයි දුකේ හේතුව වන තෘෂ්ණාව අවසන් කිරීම. එය තමයි දුක්ඛනිරෝධාර්ය සත්‍යය. මේ අනුව තෘෂ්ණාව හේතුවෙන් ඇතිවන සියලුම දුක්ගොඩ නිරෝධයට පත්කිරීම මේ තෘෂ්ණා නිරෝධයයි.
බෞද්ධයන් වශයෙන් අපි නිවන කියා සිතන එය ලැබීමට උත්සාහ කරන ප්‍රාර්ථනාව වී තිබෙන්නේ මේ දුක්ඛනිරෝධාර්ය සත්‍යයි. මෙය ඇතැම් අය සිතන මතන විදියට ප්‍රාර්ථනා නොකළ යුතු අරමුණු කර නොගත යුතු හිස්බවක් ඇති දෙයක් ම නොවේ.එය අපේ දහමේ විස්තර වන්නේ අති ප්‍රණීත සැපයක් විදියට යි. මේ නිවනෙහි ස්ඛන්ධ වලට අයත් කිසිවක් නෑ. ඒ නිසා එය හිස් දෙයක්. එබැවින් ම එය උසස් ගුණයක් බැරිවෙලාවත් නිවනෙහි විඥානස්ඛන්ධයක් වත් තිබුණ නම් එය දුකක් වෙනව.
ෙ ලීකයේ සැප දෙකක් ගැන කථා කරනව. එකක් කාම සුඛය, අනෙක් එක විමුක්ති සුඛය ,අපේ ඇහැ , කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදි අරමුණූ නිසා අපට කාම සුඛය ඇති වනවා . දූ දරුවන්, මිල මුදල්, දේපල වස්තුව ආදිය නිසත් එහෙම කාමසුඛය ඇති වනවා. මේ සියල්ලටම අප කියන්නේ කාම සුඛය කියල. එහෙම වුණත් අප දැනටමත් විඳින හෝ අනාගතයේ පැමිණෙන්නට තිබෙන විපතකින් දුකකින් බේරීම විමුක්ති සුඛය කියල කියනව.මේ සැප දෙකෙන් කාම සුඛය අප විඳිනව. ඒ නිසා එයට වේදයිත සුඛය කියලත් කියනවා. ඒ අතර මුලින් කියපු විමුක්ති සුඛය අප විඳින්නේ නැහැ. ඒක නො විඳින සැපයක්, ඒ නිසා එයට අවේදයිත සුඛය කියා කියනව.මේ විමුක්ති සුවය තමයි නිවන කියල කියන්නේ. හැබැයි අප කාට කටත් මෙය විස්තර කරන්නට තරම් අපේ භාෂාව ශක්තිමත් නැහැ. නිවන පිළිබඳ අත්දැකීමක් නැහැ. අප ගත්තොත් අපේ තුවාලයක් වේදනා සහිත වෙනකොට ඒ සඳහා අපි නොයෙක් ප්‍රතිකාර කරනව. එතකොට හොඳ වෙනව. අප කියනව තුවාලය හොඳයි සනීපයි සුවයි කියල.ඒ වුණත් ඒ සුවය ගැන කියන්නට අප තවත් වචන ගොඩක් පාවිච්චි කරනව. එහෙම වුණත් විමුක්තිය ගැන කියනකොට එතැන වචන ගොඩක් නැහැ. එකම වචනය විමුක්තිය මයි. ඒ විමුක්තිය දුක්ඛ නිරෝධයමයි. එය පරම නිවනයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අමා සුව ලබාදෙන නිවන් සුව

කොළඹ මාලිගාකන්දේ 
විද්‍යෝදය පරිවේණාධිපති 
බලන්ගොඩ සෝභිත නා හිමි

ප්‍රාග් බෞද්ධ යුගයට අයත් දඹදිව, මෝක්ෂය හෙවත් නිවන පිළිබඳ විවිධ විශ්වාස ගොඩනැඟී තිබුණි. එම විශ්වාස ගොඩනැඟී තිබුණේ ලෞකික හේතු සාධක ගොඩනඟා ගැනීමෙනි. මෝක්ෂය සම්බන්ධව බ්‍රාහ්මණ සම්ප්‍රදායයේ පඬිවරු ‘බ්‍රහ්මයා සමඟ එකට එකතු වීම, මෝක්ෂය ලෙස සැලකූහ.
එය ‘බ්‍රහ්මසහව්‍යතාව ලෙස පෙන්වා දීමට ඔවුහු උත්සාහ දැරූහ. ඒ සඳහා යාග හෝම පැවැත්වීම ඔවුන්ගේ සිරිත විය. උපනිෂද් යුගය වන විට මෙය වෙනම අංශයකට යොමු වී තිබුණි. එනම් මෝක්ෂය වේදයිත සැපයක් ඇති තැනක් වූ අතර, චේතනා ස්වරූපයක් සහිත ආත්මයක් ඇති තැනක් ලෙසය. මේ අතර ශ්‍රමණ සම්ප්‍රදායයේ විවිධ විශ්වාස ගොඩනැඟෙමින් තිබූ අතර, මෝක්ෂය ලබා ගැනීමට ඒ ඒ අය ප්‍රතිපදා දෙකක් අනුගමනය කළහ. එහි එක් විශ්වාසයක් වූයේ මෙලොව සිත්සේ පස්කම්සුව විඳිමින් පසිඳුරන් පිනවීමේ උපරිමයට පැමිණීම මෝක්ෂය බව යි. (කාමසුඛල්ලිකානුයෝගය) තවත් පිරිසක් විශ්වාස කළේ මෙලොවදී හැකි පමණින් ශරීරයට දුක් දීමෙන් කෙලෙස් ප්‍රහීණ කොට මෝක්ෂය ලබාගත හැකි බවයි. (අත්තකිලමථානුයෝගය) මේ අන්ත දෙක කෙරෙහි යොමු වූ විශාල පිරිසක් සිටි අතර, එම ශාස්තෘවරු ෂ¾ඩ්ශාස්තෘවරු ලෙස ප්‍රසිද්ධ වූහ. ආලාරකාලාම , උද්දකරාමපුත්ත ආදි තවුසෝ භාවනාවෙන් අරූප ලෝකයෙහි ඉපදීම මෝක්ෂය ලෙස සලකා ඒ සඳහා ප්‍රජාව මෙහෙය වූහ. එමෙන්ම නිගණ්ඨ හා ආජීවක සම්ප්‍රදායය විශ්වාස කළේ අසඤ්ඤසත්ත තලයෙහි උපත ලැබීම මෝක්ෂය ලෙසය.
මෙසේ විවිධ ශාස්තෘවරු විවිධ පැහැදිලි කිරීම් ඔස්සේ මෝක්ෂය ලබා ගැනීමට උත්සාහ දැරූහ. දඹදිව දෘෂ්ටිවලින් පිරී තිබූ අතර, දෙසැටක් දෘෂ්ටීන් ඒ අනුව ගොඩනැඟී තිබුණි. සත්‍යය සොයන ජනතාව මෙම ඉගැන්වීම් නිසා අතරමං වූ ස්වභාවයකින් සිටියහ. ‘කිං සච්චගවේසී’ ජීවිත ගත කළ අය මේ විශ්වාස පසු පස යමින් සත්‍යය ඇති තැන කොතැනදැයි විමසීමට පටන් ගත්හ. එමෙන්ම එම මෝක්ෂයන් අවබෝධයට දර්ශන මගින් ඉගැන්වූ ප්‍රතිපදා අනුගමනය කළහ. සමහර පිරිස් ඒ ඒ දෘෂ්ටි අනුගමනයෙන් සත්‍යය සොයා ගැනීමේ අදහස සාක්ෂාත් නොවුන බැවින් වෙනත් වෙනත් දර්ශනවලට නැඹුරු වීම ද මෙකල සුලභ දර්ශනයක් විය. මෙයම සත්‍යය අනෙක් දේ අසත්‍යය” යනුවෙන් සෑම දර්ශනයකම තිබූ ඉගැන්වීම විය. එනිසා මහජනතාව එක් පැත්තකින් එම දර්ශනයන් තුළම රැඳී සිටිමින් එම ප්‍රතිපදා අනුගමනය කිරීමද සිදු කළහ.

බුදුරජාණන් වහන්සේ දිගු කාලයක් මුළුල්ලේ මිනිසා විසින් සොයන ලද සදාකාලික සැනසීම, විමුක්තිය හෙවත් නිවන අවබෝධ කරගෙන එය ලෝකයට ඉදිරිපත් කළහ. එමගින් ප්‍රායෝගික ජීවිතයේදීම නිවී සැනසී ගිය පිරිස අසීමිතය. එසේ සොයාගත් විමුක්තිය බුදුදහමේ හඳුන්වා ඇත්තේ ‘නිබ්බාන’ හෙවත් ‘නිවන’ යන වචනයෙනි. එම වචනයේ ‘නි’ යන උපසර්ගය ‘නැති’ යන තේරුම දෙයි. ‘වාන’ වචනයෙන් “තෘෂ්ණාව’ අර්ථවත්ව වේ. එම වචන දෙක එකතු කළ විට “තෘෂ්ණාව නැති’ යන අර්ථ ලැබේ. මේ අනුව තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලුම කෙලෙස්වලින් බැහැර වීම නිබ්බාන වේ. දිගු කලක් මුළුල්ලේ සසර දිගින් දිගට පැවත ආ රාගාදී කෙලෙස් සන්සිඳීම බුදුරජාණන් වහන්සේ නිවන ලෙස පෙන්වා දුන්හ. සියලු කුශලාකුශල අවසන් කිරීම නිවනයි. ‘පුඤ්ඤාභිසංඛාර,’ අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර’ අවසන් කිරීම නිවන නම් වේ. පින් වශයෙන් විපාක දීමට ශක්තිමත් කර්ම සියල්ල ‘පුඤ්ඤාභිසංඛාර’ වේ. ඒ සියල්ල ද අවසන් වේ. පව් වශයෙන් විපාක දීමට ශක්තිමත් කර්ම සියල්ල අපුඤ්ඤාභිසංඛාර’ වේ. ඒවා ද අවසන් වේ. එමෙන්ම අරූපාවචර ලෝකයන්හි විපාක දීමට ශක්තිමත් ‘ආනෙඤ්ජාභිසංඛාර’ ද අවසන් වන හෙයින් කාම, රූප, අරූප නමැති තුන් ලෝකයේම ඉපදීමට යම් ශක්තියක් ඇත්නම් ඒ සියල්ල අවසන් කිරීම මින් අදහස් වේ. කර්ම ඇති කරන බීජ මුළුමනින්ම අවසන් වන හෙයින් උපන් භවයට සම්බන්ධ කර්ම ශක්තීන් අවසන් වු විට නැවත ඉපදීමක් ඇති නොවන හෙයින් එයම නිවන ලෙස සඳහන් කර ඇත. මෙහිදී ‘ප්‍රතිසන්ධි විපාක’ මෙන්ම ‘ප්‍රවෘත්ති විපාක’ ලබා දෙන නාමරූප ස්කන්ධයන්ගේ නැවත නො ඉපදීම නිවන වේ. නැවත නැවත ඉපදීම වශයෙන් සසර සැරිසරන සත්ත්වයාගේ පැවැත්ම මුළුමනින්ම අවසන් කිරීම නිවනයි.
ලෝකයට අයත් සෑම සත්ත්වයෙකුම, සෑම ද්‍රව්‍යයක්ම හේතු ප්‍රත්‍යයෙන් (ප්‍රතීත්‍ය සමුත්පන්නව) හට ගැනී ඇත. එසේ හෙයින් ඒවා ‘සංඛත ධර්ම” ලෙස නම් කෙරේ. සංඛත ධර්මයන්ගේ පොදු ලක්ෂණ තුනක් තිබේ. එනම් හටගැනීම, වෙනස්වීම හා නැතිවීමයි. (උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස, අඤ්ඤථත්තං පඤ්ඤායති) මෙසේ සංඛත ධර්ම ඉපදීම, වෙනසකට පත්වීම, නැසීම යන ලක්ෂණ තුනෙන් යුක්තය. එහෙත් නිර්වාණය හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් නොවේ’. එනිසා නිවන ‘අසංඛත’ වේ. ඉපදීමක් , දිරීමක්, නැසීමක්, බිඳීමක්, නැති බව නිර්වාණයේ ස්වභාවය වේ. සියලු දුකින් නිදහස් වීමෙන් ලබන පරම සැපය නිවන වේ. එනිසා ‘නිබ්බානං පරමං සුඛං යනුවෙන් දේශනා කොට ඇත.
නිවන් සුවය කිසි කලෙක වෙනස් නොවන බැවින් නිවනට ‘ධුව යනුවෙන්ද ව්‍යවහාර වේ. එමෙන්ම නිවන සැපයක් වන හෙයින් ‘සුඛ ද වේ. ස්ථිරත්වයෙන් හා සැපයෙන් සදාකාලික වන බැවින් නිවන ඒකාන්තයෙන් සැපයකි. සැපය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙයාකාර වේ. වේදයිත (විඳීමේ) සැපත ලෞකිකය. වූපසම (සංසිඳීමේ) සැපය ලෝකෝත්තරය. ඉඳුරන් පිනවමින් සම්පත් රස විඳීමේ ලබන සතුට හා සොම්නස විඳින සැපය වේ. එම සැපය ඒ ඒ අවස්ථාවේදීම අවසන් වන බැවින් ස්ථිර නැත. එනිසාම අනිත්‍යය. දුක් සහිතය. නිවනේ විඳින සැපයක් නැත. එසේ විඳීමක් නොමැති බවම සැපය වේ. කෙලෙස් ගිනි දුක් ගිනි මුළුමණින්ම නිවීමෙන් ඇතිවන ශාන්ත සුවය “වූපසම සුඛය” වේ. ශරීරයේ ඇතිව තිබෙන කුෂ්ටයක් කසන විට සුවයක් දැනේ. එය වේදයිත සුඛයකි. එසේම කැසීම අවසන් වූ වහාම කුෂ්ටයේ දැවිල්ල ඇතිවේ. එමෙන්ම වින්දනය කරන සියලු සැපම දුකින් කෙළවර වේ. ඖෂධ ලබා ගැනීමෙන් කුෂ්ටය මුළුමනින්ම සුව වේ. එමගින් ලැබෙන ශක්තිය ‘වූපසම සැපය හා සමානය. නිවන් සැපත ලෙස සඳහන් කළත් එහි අත්දකින සැප වේදනාවක් නැති බවත් ඇත්තේ ශාන්ත සුඛයක් පමණක් බවත් මෙයින් ප්‍රකට වේ.
නිවනෙහි බෙදීම් දෙකක් දක්නට ලැබේ. එනම් ‘සඋපාදිසෙස නිබ්බානධාතු’ හා ‘අනුපාදිසෙස නිබ්බානධාතු’ වශයෙනි. මෙහි “උපාදි’ යන වචනයෙන් අර්ථවත් වන්නේ පඤ්චස්කන්ධයයි. එය තණ්හා, දිට්ඨී වශයෙන් දැඩිව ගැනීම් ලක්ෂණයේ පඤ්චස්කන්ධය උපාදි නම් වේ. පඤ්චස්කන්ධය ඉතිරිව තිබිය දී කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් නිවන් සුව විඳින්නට හැකි වීම උපාදිසෙස නිවන වේ. එසේ නිවන් දුුටු රහතන් වහන්සේගේ අපවත් වීමෙන් පසු පඤ්චස්කන්ධය ද ඉතිරි නො වීමෙන් අනුපාදිසේස නිවන් සැපයට පත් වේ. මේ අනුව මාර්ගඵල ලැබීමෙන් ලබන නිවන හා රහත්ව අපවත් වීමේ ලබන නිවන වශයෙන් නිවනේ ආකාර දෙක විස්තර වී ඇත.
නිවන පිහිටි තැනක් පිළිබඳ ප්‍රශ්න මතු කරන අයද සිටිති. නිවන පිහිටි තැනක් නැතත් එය විද්‍යමාන ධර්මයකි. සෝවාන් ආදී මාර්ගඥානවලින් අවබෝධ කළ යුත්තක් හෙයින් නිවන ලෞකිකව අත්විඳිය හැකි නොවේ. මෙය සාමාන්‍ය අවබෝධය සඳහා පහත සඳහන් වන්නේ නිදසුනකි. පිපාසයට පැන් බීමෙන් පිපාසය සන්සිඳෙන බව අපි සියලු දෙනාම දනිමු. එහෙත් එම ස්වභාවය නිවැරැදිව වචනවලින් විස්තර කළ නොහැකි ය. ලෞකිකව අප අත්දකින දෙයක් විස්තර කළ නොහැකි නම් නිවන වැනි ලොකෝත්තර සුවයක් මෙසේ යැයි විස්තර කිරීම අතිදුෂ්කර වේ. නුවණැති අය තම තමා විසින්ම නිවන අවබෝධ කරගත යුතුය. (පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි) නිවන් සුවය විස්තර කර දීමේ අපහසු බවට ත්‍රිපිටකයේ සඳහන් වන වචන කිහිපයක්ද ඇත. ඒ ඒ වචනවලින් ප්‍රකාශ වන්නේ නිවන දැකීමට දුෂ්කර බවය. (දුද්දස) එමෙන්ම අවබෝධයට දුෂ්කර බවය (දුරනුබොධ) තර්කයෙන් නොදත හැකි බවය (අතක්කාවචර) සියුම් බවය. (නිපුණ) නුවණැත්තන් විසින් දැනගත යුත බවය . (පණ්ඩිතවෙදනීය) රාගාදී කෙලෙස්වලින් ශූන්‍යය (සුඤ්ඤත) රාගාදී නිමිති රහිතය (අනිමිත්ත) ප්‍රණිධි රහිත බව ය (අප්පණීහිත) මෙසේ විවිධ ආකාරයෙන් නිවනේ ස්වභාවය භාවිත වචන දක්නට ලැබේ. ඒවායින් අදහස් වන්නේ අවබෝධයෙන් නිවන අත්දැකිය හැකි බව, දැනුමෙන් නිවන වටහා ගැනීම දුෂ්කර බවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අකාලික වූ කහ සිවුර

මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී 
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය 
ගලගෙදර රතනවංශ හිමි

වර්තමානය තුළ ඇඳුම් පැළඳුම් තරම් ප්‍රකට වී ඇති දෙයක්‌ තවත් නැති තරම්ය. විවිධ ඇඳුම් පැළඳුම් සඳහා ඇති ඉල්ලුම ද ඉතා ඉහළය. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් විවිධ තරාතිරමේ ඒවා බවත් ඒවාට මිම්මක්‌ ගණනක්‌ නැති තරමටම සීමා වී ඇති බවත් අද පැහැදිලිව පෙනෙන දර්ශනයකි. අද ඒවාට ඉහළ වටිනාකමක්‌ ද දී ඇති අතර වර්ණය ද විවිධ වේ. අද බොහෝ දෙනා විශාල වියදමක්‌ දරන්නේද ඇඳුම් පැළඳුම් සඳහාය. එය තරගකාරී ස්‌වරූපයෙන් අනුන් පරයා පෙනී සිටීමට භාවිතා කරන සංකේතයක්‌ද වී හමාරය.

ගිහි සමාජයේ ඇඳුම් මේ අයුරින් විවිධව විෂමව පවතිද්දී පැවිදි සමාජය දෙස නෙත් යොමා බැලීම වැදගත් වේ. ගිහි පැවිදි සමාජය තුළ අහසට පොළව සේ විෂම ඇඳුම් කට්‌ටල දෙකක්‌ තිබෙන බව පැහැදිලිය. ඒ අනුව සිවුරු පිළිබඳ විමසා බැලීමෙන් ගිහි සමාජයේ ඇඳුම් මොන තරම් සංකීර්ණ වී ඇද්ද යන්න පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ භික්‌ෂූන් වහන්සේලා උදෙසා හඳුන්වා දුන් චීවරයට අරහත් ධජය කියා නම් ව්‍යවහාර කරනු ඇත. කහ වත (කසාය වස්‌ත්‍රය) කියා ද කීම වරදක්‌ නොවේ.

චීවරයේ සමාරම්භක අවස්‌ථාව අපට හමුවන්නේ ඇසළ පොහෝ දිනක පැවිදි වූ සිදුහත් කුමරුට ඝටීකාර මහා බ්‍රහ්මයා කළ අටපිරිකර පූජාවත් සමඟය. සිදුහත් බෝසතාණෝ සව් කෙළෙසුන් නසා බුදු බව ලැබීමත් සමඟ භික්‌ෂු ශාසනයද ආරම්භ විය. එම ආරම්භයත් සමඟ භික්‌ෂූන් වහන්සේලා සිවුරු පරිහරණය කිරීම සිදු විය. බුදු සසුනේ මුල් යුගය වන විට පාංශුකුලීකාංගය තුළින් සිවුර සකස්‌ වූ බව පැහැදිලි වේ.

එනම් පාරවල්, සොහොන්පිටිවල. කැලිකසල ගොඩවල් ආදී අපිරිසිදු තැන්වලින් අහුලා ගත් පස්‌, මඩ, කැලිකසල තැවරුණු රෙදිවලින් සිවුර සකසා ගෙන ඒවා පෙරවීමත් ඒ තුළින් භික්‌ෂු ජීවිතයේ අල්පේච්ඡතා ගුණය ඉස්‌මතු කිරීමත්ය. පාංශුකූල වස්‌ත්‍ර බහුලව සොහොන්වල මියගිය අය ඔතා විසිකර තිබුණි. ඒවා පරිහරණය කළ බවට හොඳම උදාහරණයක්‌ වන්නේ තෙලෙස්‌ ධූතාංග අතර පාංශුකුලිකාංග ධූතාංගයද තිබීමය. තවද දේවදත්ත හිමි ඉදිරිපත් කළ ඉල්ලීම් පහ අතර "දිවි ඇති තෙක්‌ භික්‌ෂූන් වහන්සේ පාංශුකුලිකාංග විය යුතුය." යන කරුණින්ද ඒ බව පැහැදිලි වේ.


මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිත කතාව කියවීමෙන්ද ඒ බව පැහැදිලි වේ. තෙලෙස්‌ ධූතාංගධාරීන් අතර අග්‍රස්‌ථානය හිමි වූයේද මහා කාශ්‍යප මහරහත් වහන්සේටයි. දිනක්‌ මහ කාශ්‍යප මහරහතන් වහන්සේ බුදු හිමි සමඟ මහ මග වඩින කල බුදු හිමිට අතරමග ගසක්‌ යට වාඩිවීමට සිත් විය. ඒ අවස්‌ථාවේ මහා කාශ්‍යප හිමි උන්වහන්සේ පොරවා සිටි පටපිළියෙන් කළ සඟල සිවුර නවා ගසමුල අසුනක්‌ ද පැනවීය. බුදු හිමි එහි වැඩ සිට සිවුර අතින් පිරිමැද කාශ්‍යප තොපගේ මේ සඟල සිවුර ඉතා මොලොක්‌ යයි වදාළහ. එවිට එම සිවුර කාශ්‍යප හිමි බුදු හිමිට පූජා කළහ. එවිට බුදු හිමි කාශ්‍යප තොප දැන් කුමක්‌ පොරවන්නේ දැයි විමසූහ. එවිට කාශ්‍යප හිමි බුදු හිමි පොරවා සිටින දිරාගිය රළු වූ පාංශුකුල සිවුර ලැබෙන්නේ නම් ඉතා මැනවැයි කීහ. දිරාගිය පාංශුකූල සිවුර ඔබට දරන්නට හැකිදැයි බුදුහිමි ප්‍රශ්න කළහ. කාශ්‍යප හිමි එය දැරීමට මහත් සේ සතුට ප්‍රකාශ කළ කල්හි බුදුහිමි තම සිවුර කාශ්‍යප හිමිගේ සිවුරට මාරු කරන ලදී. බුදු හිමි බුද්ධ ජීවිතයෙ තම ශ්‍රාවකයෙකු සමඟ සිවුර මාරු කරගත් එකම අවස්‌ථාව මෙය වේ. බුදු හිමි එය කළේ කාශ්‍යප හිමිට කරන ලද විශේෂ ගෞරවයක්‌ වශයෙන් සිතාය. බුදු හිමිට පිහිටා තිබූ දෙතිස්‌ මහා පුරිස ලකුණුවලින් දාසයක්‌ම කාශ්‍යප හිමිට ද තිබූ බවත් ඒ නිසාම රූප සම්පත්තියෙන් සමාන වූ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

සොහොනකින් කසල ගොඩකින් ගන්නා ලද වස්‌ත්‍රය ගස්‌වල පොතු, මුල්, අරටු, කොළ, ගෙඩි මල්, භාවිතා කරමින් එයට ගැලපෙන අයුරින් පඬු සකසාගෙන සිවුරක්‌ වශයෙන් පෙරවීමට යොදා ගනු ඇත. අද වනවිට සිවුරේ වර්ණය සුළු සුළු වෙනස්‌කම් වුවද සැලැස්‌මේ කිසිදු වෙනසක්‌ නොමැත. එය මගධ කෙත් යායේ සැලැස්‌මට නිර්මාණය කර ඇත. ඒ අනුව කුඹුරු එකින් එක සම්බන්ධ වන ආකාරයට සැකසී ඇත.

සිවුර පිළිබඳ විනය නීතිරීති රාශියක්‌ බුදු හිමි විනය පිටකයෙ, භික්‌ඛු විභංගය හා භික්‌ෂුනී විභංගයෙ දේශනා කොට ඇත. සිව්පස පරිභෝගය පිළිබඳ දේශනාවේදී මුල්ම අංකයට ගැනෙන්නේ චීවරයි. එනම් "පටිසංඛායෝනිසො චීවරං පටිසේවාමි - යාවදේව සීතස්‌ත පටිඝාතාය, උණ්‌හස්‌ස පට්‌ඝාතාය ඩංස, මකස වාතා තපසිරිං සපසම්පස්‌සානං පරිඝාතාය යාව දේව හිරිකෝපීන පට්‌චඡාදන‍ෙථං (සිහි නුවණින් ප්‍රත්‍යාවේක්‍ෂා කොට මෙම සිවුරු පරිභෝග කරමි. එය ශීත නැති කර ගැනීමටය. උෂ්ණය නැති කර ගැනීමටය. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් හා පත්තෑ ගෝනුසු ආදී විෂ සහිත සතුන්ගෙන් සිදුවන පීඩා වළක්‌වා ගනු පිණිසය. නොවැසුවහොත් ලඡ්ජාව ඇතිවන ශරීරාවයන් වසා ගනු පිණිසය.

භික්‌ෂූන් වහන්සේ පළඳින සිවුරු කට්‌ටලය ගත් කල එය තුන් සිවුරු වශයෙන් අන්තරාවාසය (අඳනය) උත්තරාසංග (තනිපට සිවුර) සංගාටිය (දෙපට සිවුර) වශයෙන් බෙදා දැක්‌වීමට පුළුවන. පටිය අසංකඩය, එකතු වූ කල භික්‌ෂුවක්‌ වශයෙන් සිවුරෙන් සම්පූර්ණ බවක්‌ හා පිරිපුන් බවක්‌ විදහා දක්‌වනු ඇත. ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ම සිවුරු පැළඳ ගමෙහි හැසිරිය යුතුය. එයට හේතුව ගිහි සමාජයට වඩා උසස්‌ හා වෙනස්‌ ස්‌වරූපයක්‌ භික්‌ෂූන් වහන්සේ සතු වීමය. ඒ අනුව සේයා 75 අතර සිවුරු පරිහරණය පිළිබඳවද දේශනාකොට තිබීම ඉතා වැදගත් වේ.

 පරිමණ්‌ඩලං නිවාසෙස්‌සාමිති සික්‌ඛා කරණීය (හාත්පසින් වටකොට මනා ලෙස අඳනය අඳිමියි හික්‌මිය යුතුය.)

 පරිමණ්‌ඩලං පාරුපිස්‌සාමිති සික්‌ඛා කරණීයා (හාත්පසින් වටකොට මනාලෙස සිවුර පොරවමියි හික්‌මිය යුතුය.)

 සුපටිච්ඡන්නො අන්තරඝරෙ ගමිස්‌සාමිති සිඛා කරණීය (මනාකොට සිවුරු අඳනය හැඳ පොරවා ඇතුළු ගමෙහි ඇවිදිමියි හික්‌මිය යුතුය.)

 සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ නිසීදිස්‌සාමිති සික්‌ඛා කරණීය (මනාකොට හැඳ පොරවා ඇතුළු ගමෙහි වාසය කරමියි හික්‌මිය යුතුය.)

මේ ආදී වශයෙන් විනය ශික්‌ෂා පැනවීමෙන් බුදු හිමි අපේක්‌ෂා කරන ලද්දේ භික්‌ෂු සමාජයෙ චිරස්‌ථිතිය ගෞරවාන්විතව පවත්වා ගෙන යැමත්, ගිහි සමාජයේ ශ්‍රද්ධා භක්‌තිය වඩවන අයුරින් භික්‌ෂු ජීවිතය පවත්වාගෙන යැමත්ය. දෙදාස්‌ පන්සිය පනස්‌ වසරකටත් වැඩි කාලයක්‌ අවිච්ඡින්නව අර්හත්ධජය අද දක්‌වාම පැවතුනේ විනය ශික්‍ෂාපදත් සමඟය. "අප්පසන්නානං පසාදාය - පසන්නානං භියෙයාභාවාය" නොපැහැදුනන්ගේ පැහැදීම සඳහාත් පැහැදුනන්ගේ වැඩි පැහැදීම සඳහාත් චීවරය, විනය ශික්‌ෂා පදවලට අනුව පරිහරණය කිරීම හේතු වේ.

මනුෂ්‍ය ඝාතනය කොට දික්‌ විජය කළ අශෝක වැනි චණ්‌ඩ රජකු ධර්ම විජය කළ සක්‌විති රජකු බවට පරිවර්තනය වූයේ ද මනා ලෙස සිවුරු හැඳ පොරවා සන්සුන්ව මහ මඟ වැඩි සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශනය නිසාවෙනි. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් මෙතරම් විච්චූර්ණව පවතින ලෝකයක භික්‌ෂූන් වහන්සේලා සිවුර දරා සිටීමත් ප්‍රමාණවත් නොවන්නේද? හිරි ඔතප් නොමැති ආකාරයෙන් ශරීරයෙහි කොටස්‌ ලෝකයට පෙන්වීම අද ගිහි ඇඳුම්වල ස්‌වභාවයයි. නගරයක, පාරක, තොටක යන කල ඒ බව මනාව දැක ගැනීමට පුළුවන. කාන්තාවන්ගේ අඩ නිරුවත තුළින් පිරිමින්ද පිරිමින්ගේ අසම්පූර්ණ ඇඳුම්වලින් කාන්තාවන්ද මංමුළාවී අන්ධ ලෝකයක සැරිසරන මෙවන් සමයක කිසිදු වෙනසකට බඳුන් නොවී බුදු හිමි හඳුන්වා දුන් උතුම් චීවරය වැඳීමට පිදීමට ඇති මුදුන් මල්කඩක්‌ නොවන්නේද?

චීවරය පැළඳ ගත් කල්හි දෙමව්පියන්ද තම පුතුට වැඳීම තුළින් චීවරයේ උතුම් බව පැහැදිලි වේ. බුද්ධ චීවරය යනුවෙන් අප නිතර කතා කරන උතුම් වදන ආරක්‌ෂා කර ගැනීමට භික්‌ෂූන් වහන්සේලාද විනය සික්‌ඛා පද පිළිබඳවද මීට වඩා සිතීම වැදගත්වේ. බුදු, පසේබුදු, මහරහත් උත්තමයන් පැළඳ එම පරම්පරාවෙන් අවිවිජින්නව පැවත එන උතුම් චීවරයටත් එය පැළඳ සිටින භික්‌ෂූන් වහන්සේලාටත් ගරු කිරීමට, වැඳීමට, පිදීමට රට වැසියන් පසුබට නොවිය යුතුය. අතීතයේ පටන් රටට කරදරයක්‌, විනාශයක්‌ වූවේ නම් ඒ හැම තැනකම ඉදිරියෙන් බැබලුනේ කහ සිවුරයි. ජීවිත පරිත්‍යාගයෙන් රටත් බුදු සසුනත් ජීවිතත් රැක ගැනීමට කහ සිවුර පෙරමුණ ගත්හ. එය ආරක්‌ෂා කළේ භික්‌ෂූන් වහන්සේලාය. ඉදිරියටත් කහ සිවුරත් භික්‌ෂූන් වහන්සේලාත් ආරක්‌ෂා කර ගනිමින් හා ගරු කරමින් ඒ තුළින් රටේ ආරක්‌ෂාවත්, ජනතාවගේ ආරක්‌ෂාවත් ලබා ගැනීමට අප සෑම දෙනෙක්‌ම උත්සාහ කළ යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සෝවාන් ඵලය


ආධ්‍යාත්මික සංවර්ධනයේ නිෂ්ඨාව රහත් බෝධියයි එහි පළමු ඵලය සෝවාන් තත්ත්වයයි. සෑම බෞද්ධයෙකුගේම ප්‍රාර්ථනාව වන්නේ මෙම පරම සංවර්ධනය ඇති කරගැනීමය. මේ සඳහා පැහැදිලි මාර්ගයක් බුදුදහමේ පැහැදිලි කෙරේ. රතන සූත්‍රයේ දී “යේ පුග්ගලා අට්ඨසතන් පසත්ථා....” ලෙස විස්තර වන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නන් පුද්ගලයන් වශයෙන් අටක් බවත් යුගල වශයෙන් හතරක් බවත්ය.

බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයා සසර බැඳ තබන සංයෝජන ධර්ම දහයකි. එය උද්ධම්භාගීය හා ඕරම්භාගීය ලෙස දෙකොටසකට බෙදේ. මින් පළමු සංයෝජන තුන ප්‍රහීණ කළ පසු ලබන තත්ත්වය හඳුන්වන්නේ සෝවාන් ලෙසයි. ඒ සඳහා ආර්ය මාර්ගයේ ගමන් කරන්නා සක්කායි දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන තුනම ප්‍රහීණ කළ යුතුය. මෙය උසස්ම ලාභයකි. ධම්මපදයේදී එය මෙසේ දක්වයි.

පථව්‍යාඒකරජ්ජේන
සග්ගස්සගමනේනවා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්ති ඵලං වරං

චක්‍රවර්ති රාජ්‍යත්වයට වඩා දෙව්ලොව ඉපදීමට වඩා සියලු අධිපතිත්වයට වඩා සෝවාන් ඵලය උතුම්ය. මෙම තත්ත්වය දහමට අනුව කෙතරම් උසස් ලාභයක්ද යන්න ඕනෑතරම් සාධක දැක්විය හැකිය. සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුක්තය ලෙස වෙනම ම කොටසක් ඇත. මෙය පුද පූජාවන්ගෙන් ලද හැක්කක් නොවේ. සෝතාපත්ති සංයුක්තයේ ඵල සූත්‍රයට අනුව මේ තත්ත්වයට පත්වීමට කාරණා හතර සම්පූර්ණ විය යුතුය. එනම්

1. සත්පුරුෂ ආශ්‍රය 2. සදහම් ශ්‍රවණය 3. ඇසූ දහම් මුල සිට අඟට කල්පනා කිරීම 4. ධර්මයෙහි හැසිරීම වශයෙනි.

සෝවාන් වූ ආර්යන් වහන්සේ සිව් අපායෙන් මිදෙයි. (තිරිසන්, පේ‍්‍රත, අසුර, නරක) පාප කර්ම හයක් ඔහුගෙන් සිදුනොවේ. නියත සම්බෝධි පරායන වේ. ඒ බව රතන සූත්‍රයේදි මෙසේ පැහැදිලි කරයි.

සහාවස්ස දස්සන සම්පදාය
තයස්සු ධම්මාජහිතාභවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡීතඤ්ච
සීලබ්බතංවා පියදත්ථි කිඤ්චි
චතූහපායේහිච විප්පමුත්තෝ
ඡාචාභිඨානානි අභබ්බෝ කාතුං

නිවනෙහි ඊළඟ පියවරට යාම සෝවාන් වූ ආර්යාගේ ස්වභාවයයි. එනිසා ඔහු තව තවත් බැඳීම ඇති කර නොගනී. භව හතක් ඇතුළත ඔහු නිවන සාක්‍ෂාත් කර ගනී. අට වැනි භවයක් නැත” නතේ භවං අටඨමං ආදි යන්ති” ආර්ය මාර්ගයට පිවිසීම සඳහා සියලු සැප අත්හැරිය යුතු නොවේ. අනේපිඬු, බිම්බිසාර, විශාඛාව වැනි අය සෝවාන් ඵල ලැබූවන්ය. ඔවුන්ගේ ගිහි ජීවිතය ඉතා සාර්ථකය. ඥාතික ගමේ පමණක් උවසුවන් 506ක් සෝවාන්ව කලුරිය කළ බව ගිඤ්ජකාවසත සූත්‍රයෙහි දැක්වෙයි. සෝවාන්වීම තුළ ඇතිවන ප්‍රධාන තම වෙනස වන්නේ ආර්යකු වීමය. තෙරුවන් සරණ යාම තුළින් බෞද්ධයෙකු වන්නා ආර්යකු නොවේ යැයි මහානාම සූත්‍රය කියයි. ඒ සඳහා ආර්ය මාර්ගයට පිවිසිය යුතු බව ගිඤ්ජකාවසක සූත්‍රයෙන් පැහැදිලිය.

සෝවාන් වන්නා තුළින් නැතිවන පළමු සංයෝජනය “සක්කාය දිට්ඨියයි” එනම් වැරැදි දැකීම හෙවත් දර්ශනය යි. ධර්මානුකූලව රූපය ආදි කොට ඇති පඤ්චස්කන්ධය සමබන්ධයෙන් ඇති වැරැදි අවබෝධය යි. එනම් සම්මුතිකව ඇතිකරගත් දේ පරමාර්ථ වශයෙන් ග්‍රහණය කරගෙන කටයුතු කිරීම ය. ඉන් මිදුණු පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දක්වනු ලබන සම්මාදිට්ඨියට පිවිසේ. මේ නිසා සියල්ල යථාර්ථවාදීව දැකීම හෙවත් ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට අවශ්‍ය ශක්තිය ඇතිකරගනියි.

දෙවන සංයෝජනය විචිකිච්ඡාවයි. එනම් පුද්ගලයා තුළ, පවතින සැකයයි. සැකය පාපයක් නොවේ. මන්ද යත් සැක කිරීමකින් තොරව නිවැරැදි අවබෝධය ලද නොහැකි බැවිනි. සැකය දැනුම ලැබීමට ඇති මාර්ගයකි. ධර්මයට වඳීන තැන එහි පසිස්කෝ ලෙස දක්වන්නේ ද එහෙයිනි. වීමංසන සූත්‍රයේ දී පවා මෙය පැහැදිලිය. ධර්මානුකූල සැකය යනු බුද්ධාදී අටතැන් පිළිබඳව ඇතිවන සැකයයි. සැකය පවක් නොවුණද එය තිබෙන තාක් ආර්ය මාර්ගයට පිවිසිය නොහැකිය. සැකය නැතිවූ තැන විචිකිච්ඡාව යන සංයෝජනය ප්‍රහීණවේ. සැකය යනු තවත් ආකාර නොදැනීමකි.

’සීලබ්බතපරාමාස’ යනු වැරැදි ආකාර ව්‍රත සමාදන්වී ඊට අනුගතව කටයුතු කිරීමයි. තම විමුක්තිය මාර්ගය පිළිබඳව නිරවුල් අවබෝධයකින් තොරව සිතෙන කියන, අසන දේ අනුව ශරීරයට දුක් දීම හෝ ඉන් පරිභාහිරව සිදුකරන ආගමික විශ්වාස පිළිගෙන කටයුතු කිරීමයි. මෙහි “සීල” යනු හික්මීමයි. ‘ව්‍රත’ සමාදන් වීම අර්ථවත් කරන අතර පරාමර්ශනය යනු තදින් අල්ලා ගැනීම හෙවත් වැරැදි ලෙස ග්‍රහණය කරගැනීමයි. මෙම වැරැදි ව්‍රත තුළින් සත්‍ය පසක්කරගත නොහැක. නිගණ්ඨනාථපුත්ත වැනි ශාස්තෘන් මෙය අනුගමනය කළ බුද්ධකාලීන ආචාර්යවරයෙකි. එපමණක්ද නොව ඒ තුළින් තමන් රහත් වූයේ යැයි පැවසු වූ අය වූහ. ජටිලයන් එවන් පිරිසකි. සෝවාන් වූවකු තුළ මෙවන් ව්‍රත පැවැතිය නොහැකිය.

මෙම සංයෝජත්‍රය ක්‍ෂය කළ ආර්ය තැනැත්තා ලෞකික ලෝකයේ සාමාන්‍ය පුද්ගලයෙකු තුළ දකින්නට නොලැබෙන පරිදි සංවර්ධනයක් ඇති උත්තම කෙනෙකුවේ. එසේම තමා සෝවාන්දැ’යි තමාටම බලාගත හැකිය. ඒ බව සංයුත්ත නිකායේ ගිඤ්ජාවස්ථ සූත්‍රය’ පැහැදිලි කරයි. එසේ දැනගත හැකි දහම් කණ්ණාඩියක් (ධම්මදාස) එහිදී පෙන්වා දී ඇත. එනම් අවෙච්ප්පසාදයෙන් යුක්තවීම හා අරියකාන්ත සීලය ආරක්‍ෂා කිරීම වශයෙනි. සෝවාන් තැනැත්තා තුළ මෙම ලක්‍ෂද්වය දැකිය හැකි ය. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් පිළිබඳ මනාව කරුණු දැන පැහැදීම අවෙච්චප්පසාදයයි. අරීයකාන්ත යනු නිති පන්සිල් ආරක්‍ෂා කිරීම යි. ආධ්‍යාත්මික සංවර්ධනය ලැබීමට මූලිකවම සීලයෙහි පිහිටිය යුතුය. ‘සීලේපතිට්ඨාය නරෝ සපඤ්ඤෝ’ ලෙස විස්තර වන්නේ එයයි. සීලයෙහි පිහිටාගෙන ප්‍රඥාව වැඩිය යුතුය. මෙම ආර්ය තත්ත්වයට පත්වීම ගිහි පැවිදි දෙපක්‍ෂයම එකහා සමානව හැකියාව ඇත. මාර්ගයෙහි වෙනසක් නැත ඇති එකම වෙනස ගමන් කිරීමේ වේගයයි.

පෙර සඳහන් කළ පරිදි සෝවාන් තත්ත්වයට පත්වූ ආර්යන් වහන්සේ සතර අපාගත නොවේ. මන්දයත් ඔහු නියත සම්බෝධි පරායන පුද්ගලයෙකු බැවිනි. එහෙත් උන්වහන්සේ අතින් පාපකර්ම සිදුවිය හැකිය. අංගුත්තර නිකායේ සික්ඛාපද සූත්‍රයේ හා රතන සූත්‍රයේදී (කිඤ්ඤාපි සොකම්මං කරෝති පාපකං) (ඒ බව දක්වා ඇත.) මෙසේ සිදුවන්නේ සෝවාන් වීමේදි ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් සම්පූර්ණයෙන් ක්‍ෂය නොවන බැවිනි. නමුත් පෘථග්ජනයාට වඩා ඉහළ සංවර්ධනයක් සෝවාන්වු ආර්යන් සතුය. පෘථග්ජන සිත සංකීර්ණය. විවරණය කිරීම අපහසුය. නිතර ලාභාපේක්‍ෂාවන් ප්‍රාර්ථනා කරයි. හැඬීම, වැළපීම, දුක්වීම ස්වභාව කර ඇත. සෝතාපන්න ආර්යා එසේ නොවේ. සීලයෙහි පිහිටා සමාධිය ප්‍රඥාව තරමක් දුරට වැඩූවෙකි. යහපත අයහපත පෙන්වා දෙන සත්පුරූෂයෙකි. මනා සිහිබුද්ධියෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරයි. එහෙත් වැරැදි සඟවා තැබීමට උත්සාහ නොකරයි. වැරැද්ද පිළිගෙන නැවත එය නොකරන බවට තමා විසින්ම අධිෂ්ඨාන කරගනු ලබයි.

තෙරුවන් සරණයි!

ගෞරව ශාස්ත්‍රවේදී සියඹලාගොඩ ධම්මින්ද හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online