ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අකාලික වූ කහ සිවුර

මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී 
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය 
ගලගෙදර රතනවංශ හිමි

වර්තමානය තුළ ඇඳුම් පැළඳුම් තරම් ප්‍රකට වී ඇති දෙයක්‌ තවත් නැති තරම්ය. විවිධ ඇඳුම් පැළඳුම් සඳහා ඇති ඉල්ලුම ද ඉතා ඉහළය. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් විවිධ තරාතිරමේ ඒවා බවත් ඒවාට මිම්මක්‌ ගණනක්‌ නැති තරමටම සීමා වී ඇති බවත් අද පැහැදිලිව පෙනෙන දර්ශනයකි. අද ඒවාට ඉහළ වටිනාකමක්‌ ද දී ඇති අතර වර්ණය ද විවිධ වේ. අද බොහෝ දෙනා විශාල වියදමක්‌ දරන්නේද ඇඳුම් පැළඳුම් සඳහාය. එය තරගකාරී ස්‌වරූපයෙන් අනුන් පරයා පෙනී සිටීමට භාවිතා කරන සංකේතයක්‌ද වී හමාරය.

ගිහි සමාජයේ ඇඳුම් මේ අයුරින් විවිධව විෂමව පවතිද්දී පැවිදි සමාජය දෙස නෙත් යොමා බැලීම වැදගත් වේ. ගිහි පැවිදි සමාජය තුළ අහසට පොළව සේ විෂම ඇඳුම් කට්‌ටල දෙකක්‌ තිබෙන බව පැහැදිලිය. ඒ අනුව සිවුරු පිළිබඳ විමසා බැලීමෙන් ගිහි සමාජයේ ඇඳුම් මොන තරම් සංකීර්ණ වී ඇද්ද යන්න පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ භික්‌ෂූන් වහන්සේලා උදෙසා හඳුන්වා දුන් චීවරයට අරහත් ධජය කියා නම් ව්‍යවහාර කරනු ඇත. කහ වත (කසාය වස්‌ත්‍රය) කියා ද කීම වරදක්‌ නොවේ.

චීවරයේ සමාරම්භක අවස්‌ථාව අපට හමුවන්නේ ඇසළ පොහෝ දිනක පැවිදි වූ සිදුහත් කුමරුට ඝටීකාර මහා බ්‍රහ්මයා කළ අටපිරිකර පූජාවත් සමඟය. සිදුහත් බෝසතාණෝ සව් කෙළෙසුන් නසා බුදු බව ලැබීමත් සමඟ භික්‌ෂු ශාසනයද ආරම්භ විය. එම ආරම්භයත් සමඟ භික්‌ෂූන් වහන්සේලා සිවුරු පරිහරණය කිරීම සිදු විය. බුදු සසුනේ මුල් යුගය වන විට පාංශුකුලීකාංගය තුළින් සිවුර සකස්‌ වූ බව පැහැදිලි වේ.

එනම් පාරවල්, සොහොන්පිටිවල. කැලිකසල ගොඩවල් ආදී අපිරිසිදු තැන්වලින් අහුලා ගත් පස්‌, මඩ, කැලිකසල තැවරුණු රෙදිවලින් සිවුර සකසා ගෙන ඒවා පෙරවීමත් ඒ තුළින් භික්‌ෂු ජීවිතයේ අල්පේච්ඡතා ගුණය ඉස්‌මතු කිරීමත්ය. පාංශුකූල වස්‌ත්‍ර බහුලව සොහොන්වල මියගිය අය ඔතා විසිකර තිබුණි. ඒවා පරිහරණය කළ බවට හොඳම උදාහරණයක්‌ වන්නේ තෙලෙස්‌ ධූතාංග අතර පාංශුකුලිකාංග ධූතාංගයද තිබීමය. තවද දේවදත්ත හිමි ඉදිරිපත් කළ ඉල්ලීම් පහ අතර "දිවි ඇති තෙක්‌ භික්‌ෂූන් වහන්සේ පාංශුකුලිකාංග විය යුතුය." යන කරුණින්ද ඒ බව පැහැදිලි වේ.


මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිත කතාව කියවීමෙන්ද ඒ බව පැහැදිලි වේ. තෙලෙස්‌ ධූතාංගධාරීන් අතර අග්‍රස්‌ථානය හිමි වූයේද මහා කාශ්‍යප මහරහත් වහන්සේටයි. දිනක්‌ මහ කාශ්‍යප මහරහතන් වහන්සේ බුදු හිමි සමඟ මහ මග වඩින කල බුදු හිමිට අතරමග ගසක්‌ යට වාඩිවීමට සිත් විය. ඒ අවස්‌ථාවේ මහා කාශ්‍යප හිමි උන්වහන්සේ පොරවා සිටි පටපිළියෙන් කළ සඟල සිවුර නවා ගසමුල අසුනක්‌ ද පැනවීය. බුදු හිමි එහි වැඩ සිට සිවුර අතින් පිරිමැද කාශ්‍යප තොපගේ මේ සඟල සිවුර ඉතා මොලොක්‌ යයි වදාළහ. එවිට එම සිවුර කාශ්‍යප හිමි බුදු හිමිට පූජා කළහ. එවිට බුදු හිමි කාශ්‍යප තොප දැන් කුමක්‌ පොරවන්නේ දැයි විමසූහ. එවිට කාශ්‍යප හිමි බුදු හිමි පොරවා සිටින දිරාගිය රළු වූ පාංශුකුල සිවුර ලැබෙන්නේ නම් ඉතා මැනවැයි කීහ. දිරාගිය පාංශුකූල සිවුර ඔබට දරන්නට හැකිදැයි බුදුහිමි ප්‍රශ්න කළහ. කාශ්‍යප හිමි එය දැරීමට මහත් සේ සතුට ප්‍රකාශ කළ කල්හි බුදුහිමි තම සිවුර කාශ්‍යප හිමිගේ සිවුරට මාරු කරන ලදී. බුදු හිමි බුද්ධ ජීවිතයෙ තම ශ්‍රාවකයෙකු සමඟ සිවුර මාරු කරගත් එකම අවස්‌ථාව මෙය වේ. බුදු හිමි එය කළේ කාශ්‍යප හිමිට කරන ලද විශේෂ ගෞරවයක්‌ වශයෙන් සිතාය. බුදු හිමිට පිහිටා තිබූ දෙතිස්‌ මහා පුරිස ලකුණුවලින් දාසයක්‌ම කාශ්‍යප හිමිට ද තිබූ බවත් ඒ නිසාම රූප සම්පත්තියෙන් සමාන වූ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

සොහොනකින් කසල ගොඩකින් ගන්නා ලද වස්‌ත්‍රය ගස්‌වල පොතු, මුල්, අරටු, කොළ, ගෙඩි මල්, භාවිතා කරමින් එයට ගැලපෙන අයුරින් පඬු සකසාගෙන සිවුරක්‌ වශයෙන් පෙරවීමට යොදා ගනු ඇත. අද වනවිට සිවුරේ වර්ණය සුළු සුළු වෙනස්‌කම් වුවද සැලැස්‌මේ කිසිදු වෙනසක්‌ නොමැත. එය මගධ කෙත් යායේ සැලැස්‌මට නිර්මාණය කර ඇත. ඒ අනුව කුඹුරු එකින් එක සම්බන්ධ වන ආකාරයට සැකසී ඇත.

සිවුර පිළිබඳ විනය නීතිරීති රාශියක්‌ බුදු හිමි විනය පිටකයෙ, භික්‌ඛු විභංගය හා භික්‌ෂුනී විභංගයෙ දේශනා කොට ඇත. සිව්පස පරිභෝගය පිළිබඳ දේශනාවේදී මුල්ම අංකයට ගැනෙන්නේ චීවරයි. එනම් "පටිසංඛායෝනිසො චීවරං පටිසේවාමි - යාවදේව සීතස්‌ත පටිඝාතාය, උණ්‌හස්‌ස පට්‌ඝාතාය ඩංස, මකස වාතා තපසිරිං සපසම්පස්‌සානං පරිඝාතාය යාව දේව හිරිකෝපීන පට්‌චඡාදන‍ෙථං (සිහි නුවණින් ප්‍රත්‍යාවේක්‍ෂා කොට මෙම සිවුරු පරිභෝග කරමි. එය ශීත නැති කර ගැනීමටය. උෂ්ණය නැති කර ගැනීමටය. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් හා පත්තෑ ගෝනුසු ආදී විෂ සහිත සතුන්ගෙන් සිදුවන පීඩා වළක්‌වා ගනු පිණිසය. නොවැසුවහොත් ලඡ්ජාව ඇතිවන ශරීරාවයන් වසා ගනු පිණිසය.

භික්‌ෂූන් වහන්සේ පළඳින සිවුරු කට්‌ටලය ගත් කල එය තුන් සිවුරු වශයෙන් අන්තරාවාසය (අඳනය) උත්තරාසංග (තනිපට සිවුර) සංගාටිය (දෙපට සිවුර) වශයෙන් බෙදා දැක්‌වීමට පුළුවන. පටිය අසංකඩය, එකතු වූ කල භික්‌ෂුවක්‌ වශයෙන් සිවුරෙන් සම්පූර්ණ බවක්‌ හා පිරිපුන් බවක්‌ විදහා දක්‌වනු ඇත. ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ම සිවුරු පැළඳ ගමෙහි හැසිරිය යුතුය. එයට හේතුව ගිහි සමාජයට වඩා උසස්‌ හා වෙනස්‌ ස්‌වරූපයක්‌ භික්‌ෂූන් වහන්සේ සතු වීමය. ඒ අනුව සේයා 75 අතර සිවුරු පරිහරණය පිළිබඳවද දේශනාකොට තිබීම ඉතා වැදගත් වේ.

 පරිමණ්‌ඩලං නිවාසෙස්‌සාමිති සික්‌ඛා කරණීය (හාත්පසින් වටකොට මනා ලෙස අඳනය අඳිමියි හික්‌මිය යුතුය.)

 පරිමණ්‌ඩලං පාරුපිස්‌සාමිති සික්‌ඛා කරණීයා (හාත්පසින් වටකොට මනාලෙස සිවුර පොරවමියි හික්‌මිය යුතුය.)

 සුපටිච්ඡන්නො අන්තරඝරෙ ගමිස්‌සාමිති සිඛා කරණීය (මනාකොට සිවුරු අඳනය හැඳ පොරවා ඇතුළු ගමෙහි ඇවිදිමියි හික්‌මිය යුතුය.)

 සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ නිසීදිස්‌සාමිති සික්‌ඛා කරණීය (මනාකොට හැඳ පොරවා ඇතුළු ගමෙහි වාසය කරමියි හික්‌මිය යුතුය.)

මේ ආදී වශයෙන් විනය ශික්‌ෂා පැනවීමෙන් බුදු හිමි අපේක්‌ෂා කරන ලද්දේ භික්‌ෂු සමාජයෙ චිරස්‌ථිතිය ගෞරවාන්විතව පවත්වා ගෙන යැමත්, ගිහි සමාජයේ ශ්‍රද්ධා භක්‌තිය වඩවන අයුරින් භික්‌ෂු ජීවිතය පවත්වාගෙන යැමත්ය. දෙදාස්‌ පන්සිය පනස්‌ වසරකටත් වැඩි කාලයක්‌ අවිච්ඡින්නව අර්හත්ධජය අද දක්‌වාම පැවතුනේ විනය ශික්‍ෂාපදත් සමඟය. "අප්පසන්නානං පසාදාය - පසන්නානං භියෙයාභාවාය" නොපැහැදුනන්ගේ පැහැදීම සඳහාත් පැහැදුනන්ගේ වැඩි පැහැදීම සඳහාත් චීවරය, විනය ශික්‌ෂා පදවලට අනුව පරිහරණය කිරීම හේතු වේ.

මනුෂ්‍ය ඝාතනය කොට දික්‌ විජය කළ අශෝක වැනි චණ්‌ඩ රජකු ධර්ම විජය කළ සක්‌විති රජකු බවට පරිවර්තනය වූයේ ද මනා ලෙස සිවුරු හැඳ පොරවා සන්සුන්ව මහ මඟ වැඩි සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශනය නිසාවෙනි. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් මෙතරම් විච්චූර්ණව පවතින ලෝකයක භික්‌ෂූන් වහන්සේලා සිවුර දරා සිටීමත් ප්‍රමාණවත් නොවන්නේද? හිරි ඔතප් නොමැති ආකාරයෙන් ශරීරයෙහි කොටස්‌ ලෝකයට පෙන්වීම අද ගිහි ඇඳුම්වල ස්‌වභාවයයි. නගරයක, පාරක, තොටක යන කල ඒ බව මනාව දැක ගැනීමට පුළුවන. කාන්තාවන්ගේ අඩ නිරුවත තුළින් පිරිමින්ද පිරිමින්ගේ අසම්පූර්ණ ඇඳුම්වලින් කාන්තාවන්ද මංමුළාවී අන්ධ ලෝකයක සැරිසරන මෙවන් සමයක කිසිදු වෙනසකට බඳුන් නොවී බුදු හිමි හඳුන්වා දුන් උතුම් චීවරය වැඳීමට පිදීමට ඇති මුදුන් මල්කඩක්‌ නොවන්නේද?

චීවරය පැළඳ ගත් කල්හි දෙමව්පියන්ද තම පුතුට වැඳීම තුළින් චීවරයේ උතුම් බව පැහැදිලි වේ. බුද්ධ චීවරය යනුවෙන් අප නිතර කතා කරන උතුම් වදන ආරක්‌ෂා කර ගැනීමට භික්‌ෂූන් වහන්සේලාද විනය සික්‌ඛා පද පිළිබඳවද මීට වඩා සිතීම වැදගත්වේ. බුදු, පසේබුදු, මහරහත් උත්තමයන් පැළඳ එම පරම්පරාවෙන් අවිවිජින්නව පැවත එන උතුම් චීවරයටත් එය පැළඳ සිටින භික්‌ෂූන් වහන්සේලාටත් ගරු කිරීමට, වැඳීමට, පිදීමට රට වැසියන් පසුබට නොවිය යුතුය. අතීතයේ පටන් රටට කරදරයක්‌, විනාශයක්‌ වූවේ නම් ඒ හැම තැනකම ඉදිරියෙන් බැබලුනේ කහ සිවුරයි. ජීවිත පරිත්‍යාගයෙන් රටත් බුදු සසුනත් ජීවිතත් රැක ගැනීමට කහ සිවුර පෙරමුණ ගත්හ. එය ආරක්‌ෂා කළේ භික්‌ෂූන් වහන්සේලාය. ඉදිරියටත් කහ සිවුරත් භික්‌ෂූන් වහන්සේලාත් ආරක්‌ෂා කර ගනිමින් හා ගරු කරමින් ඒ තුළින් රටේ ආරක්‌ෂාවත්, ජනතාවගේ ආරක්‌ෂාවත් ලබා ගැනීමට අප සෑම දෙනෙක්‌ම උත්සාහ කළ යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සෝවාන් ඵලය


ආධ්‍යාත්මික සංවර්ධනයේ නිෂ්ඨාව රහත් බෝධියයි එහි පළමු ඵලය සෝවාන් තත්ත්වයයි. සෑම බෞද්ධයෙකුගේම ප්‍රාර්ථනාව වන්නේ මෙම පරම සංවර්ධනය ඇති කරගැනීමය. මේ සඳහා පැහැදිලි මාර්ගයක් බුදුදහමේ පැහැදිලි කෙරේ. රතන සූත්‍රයේ දී “යේ පුග්ගලා අට්ඨසතන් පසත්ථා....” ලෙස විස්තර වන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නන් පුද්ගලයන් වශයෙන් අටක් බවත් යුගල වශයෙන් හතරක් බවත්ය.

බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයා සසර බැඳ තබන සංයෝජන ධර්ම දහයකි. එය උද්ධම්භාගීය හා ඕරම්භාගීය ලෙස දෙකොටසකට බෙදේ. මින් පළමු සංයෝජන තුන ප්‍රහීණ කළ පසු ලබන තත්ත්වය හඳුන්වන්නේ සෝවාන් ලෙසයි. ඒ සඳහා ආර්ය මාර්ගයේ ගමන් කරන්නා සක්කායි දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන තුනම ප්‍රහීණ කළ යුතුය. මෙය උසස්ම ලාභයකි. ධම්මපදයේදී එය මෙසේ දක්වයි.

පථව්‍යාඒකරජ්ජේන
සග්ගස්සගමනේනවා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්ති ඵලං වරං

චක්‍රවර්ති රාජ්‍යත්වයට වඩා දෙව්ලොව ඉපදීමට වඩා සියලු අධිපතිත්වයට වඩා සෝවාන් ඵලය උතුම්ය. මෙම තත්ත්වය දහමට අනුව කෙතරම් උසස් ලාභයක්ද යන්න ඕනෑතරම් සාධක දැක්විය හැකිය. සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුක්තය ලෙස වෙනම ම කොටසක් ඇත. මෙය පුද පූජාවන්ගෙන් ලද හැක්කක් නොවේ. සෝතාපත්ති සංයුක්තයේ ඵල සූත්‍රයට අනුව මේ තත්ත්වයට පත්වීමට කාරණා හතර සම්පූර්ණ විය යුතුය. එනම්

1. සත්පුරුෂ ආශ්‍රය 2. සදහම් ශ්‍රවණය 3. ඇසූ දහම් මුල සිට අඟට කල්පනා කිරීම 4. ධර්මයෙහි හැසිරීම වශයෙනි.

සෝවාන් වූ ආර්යන් වහන්සේ සිව් අපායෙන් මිදෙයි. (තිරිසන්, පේ‍්‍රත, අසුර, නරක) පාප කර්ම හයක් ඔහුගෙන් සිදුනොවේ. නියත සම්බෝධි පරායන වේ. ඒ බව රතන සූත්‍රයේදි මෙසේ පැහැදිලි කරයි.

සහාවස්ස දස්සන සම්පදාය
තයස්සු ධම්මාජහිතාභවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡීතඤ්ච
සීලබ්බතංවා පියදත්ථි කිඤ්චි
චතූහපායේහිච විප්පමුත්තෝ
ඡාචාභිඨානානි අභබ්බෝ කාතුං

නිවනෙහි ඊළඟ පියවරට යාම සෝවාන් වූ ආර්යාගේ ස්වභාවයයි. එනිසා ඔහු තව තවත් බැඳීම ඇති කර නොගනී. භව හතක් ඇතුළත ඔහු නිවන සාක්‍ෂාත් කර ගනී. අට වැනි භවයක් නැත” නතේ භවං අටඨමං ආදි යන්ති” ආර්ය මාර්ගයට පිවිසීම සඳහා සියලු සැප අත්හැරිය යුතු නොවේ. අනේපිඬු, බිම්බිසාර, විශාඛාව වැනි අය සෝවාන් ඵල ලැබූවන්ය. ඔවුන්ගේ ගිහි ජීවිතය ඉතා සාර්ථකය. ඥාතික ගමේ පමණක් උවසුවන් 506ක් සෝවාන්ව කලුරිය කළ බව ගිඤ්ජකාවසත සූත්‍රයෙහි දැක්වෙයි. සෝවාන්වීම තුළ ඇතිවන ප්‍රධාන තම වෙනස වන්නේ ආර්යකු වීමය. තෙරුවන් සරණ යාම තුළින් බෞද්ධයෙකු වන්නා ආර්යකු නොවේ යැයි මහානාම සූත්‍රය කියයි. ඒ සඳහා ආර්ය මාර්ගයට පිවිසිය යුතු බව ගිඤ්ජකාවසක සූත්‍රයෙන් පැහැදිලිය.

සෝවාන් වන්නා තුළින් නැතිවන පළමු සංයෝජනය “සක්කාය දිට්ඨියයි” එනම් වැරැදි දැකීම හෙවත් දර්ශනය යි. ධර්මානුකූලව රූපය ආදි කොට ඇති පඤ්චස්කන්ධය සමබන්ධයෙන් ඇති වැරැදි අවබෝධය යි. එනම් සම්මුතිකව ඇතිකරගත් දේ පරමාර්ථ වශයෙන් ග්‍රහණය කරගෙන කටයුතු කිරීම ය. ඉන් මිදුණු පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දක්වනු ලබන සම්මාදිට්ඨියට පිවිසේ. මේ නිසා සියල්ල යථාර්ථවාදීව දැකීම හෙවත් ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට අවශ්‍ය ශක්තිය ඇතිකරගනියි.

දෙවන සංයෝජනය විචිකිච්ඡාවයි. එනම් පුද්ගලයා තුළ, පවතින සැකයයි. සැකය පාපයක් නොවේ. මන්ද යත් සැක කිරීමකින් තොරව නිවැරැදි අවබෝධය ලද නොහැකි බැවිනි. සැකය දැනුම ලැබීමට ඇති මාර්ගයකි. ධර්මයට වඳීන තැන එහි පසිස්කෝ ලෙස දක්වන්නේ ද එහෙයිනි. වීමංසන සූත්‍රයේ දී පවා මෙය පැහැදිලිය. ධර්මානුකූල සැකය යනු බුද්ධාදී අටතැන් පිළිබඳව ඇතිවන සැකයයි. සැකය පවක් නොවුණද එය තිබෙන තාක් ආර්ය මාර්ගයට පිවිසිය නොහැකිය. සැකය නැතිවූ තැන විචිකිච්ඡාව යන සංයෝජනය ප්‍රහීණවේ. සැකය යනු තවත් ආකාර නොදැනීමකි.

’සීලබ්බතපරාමාස’ යනු වැරැදි ආකාර ව්‍රත සමාදන්වී ඊට අනුගතව කටයුතු කිරීමයි. තම විමුක්තිය මාර්ගය පිළිබඳව නිරවුල් අවබෝධයකින් තොරව සිතෙන කියන, අසන දේ අනුව ශරීරයට දුක් දීම හෝ ඉන් පරිභාහිරව සිදුකරන ආගමික විශ්වාස පිළිගෙන කටයුතු කිරීමයි. මෙහි “සීල” යනු හික්මීමයි. ‘ව්‍රත’ සමාදන් වීම අර්ථවත් කරන අතර පරාමර්ශනය යනු තදින් අල්ලා ගැනීම හෙවත් වැරැදි ලෙස ග්‍රහණය කරගැනීමයි. මෙම වැරැදි ව්‍රත තුළින් සත්‍ය පසක්කරගත නොහැක. නිගණ්ඨනාථපුත්ත වැනි ශාස්තෘන් මෙය අනුගමනය කළ බුද්ධකාලීන ආචාර්යවරයෙකි. එපමණක්ද නොව ඒ තුළින් තමන් රහත් වූයේ යැයි පැවසු වූ අය වූහ. ජටිලයන් එවන් පිරිසකි. සෝවාන් වූවකු තුළ මෙවන් ව්‍රත පැවැතිය නොහැකිය.

මෙම සංයෝජත්‍රය ක්‍ෂය කළ ආර්ය තැනැත්තා ලෞකික ලෝකයේ සාමාන්‍ය පුද්ගලයෙකු තුළ දකින්නට නොලැබෙන පරිදි සංවර්ධනයක් ඇති උත්තම කෙනෙකුවේ. එසේම තමා සෝවාන්දැ’යි තමාටම බලාගත හැකිය. ඒ බව සංයුත්ත නිකායේ ගිඤ්ජාවස්ථ සූත්‍රය’ පැහැදිලි කරයි. එසේ දැනගත හැකි දහම් කණ්ණාඩියක් (ධම්මදාස) එහිදී පෙන්වා දී ඇත. එනම් අවෙච්ප්පසාදයෙන් යුක්තවීම හා අරියකාන්ත සීලය ආරක්‍ෂා කිරීම වශයෙනි. සෝවාන් තැනැත්තා තුළ මෙම ලක්‍ෂද්වය දැකිය හැකි ය. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් පිළිබඳ මනාව කරුණු දැන පැහැදීම අවෙච්චප්පසාදයයි. අරීයකාන්ත යනු නිති පන්සිල් ආරක්‍ෂා කිරීම යි. ආධ්‍යාත්මික සංවර්ධනය ලැබීමට මූලිකවම සීලයෙහි පිහිටිය යුතුය. ‘සීලේපතිට්ඨාය නරෝ සපඤ්ඤෝ’ ලෙස විස්තර වන්නේ එයයි. සීලයෙහි පිහිටාගෙන ප්‍රඥාව වැඩිය යුතුය. මෙම ආර්ය තත්ත්වයට පත්වීම ගිහි පැවිදි දෙපක්‍ෂයම එකහා සමානව හැකියාව ඇත. මාර්ගයෙහි වෙනසක් නැත ඇති එකම වෙනස ගමන් කිරීමේ වේගයයි.

පෙර සඳහන් කළ පරිදි සෝවාන් තත්ත්වයට පත්වූ ආර්යන් වහන්සේ සතර අපාගත නොවේ. මන්දයත් ඔහු නියත සම්බෝධි පරායන පුද්ගලයෙකු බැවිනි. එහෙත් උන්වහන්සේ අතින් පාපකර්ම සිදුවිය හැකිය. අංගුත්තර නිකායේ සික්ඛාපද සූත්‍රයේ හා රතන සූත්‍රයේදී (කිඤ්ඤාපි සොකම්මං කරෝති පාපකං) (ඒ බව දක්වා ඇත.) මෙසේ සිදුවන්නේ සෝවාන් වීමේදි ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් සම්පූර්ණයෙන් ක්‍ෂය නොවන බැවිනි. නමුත් පෘථග්ජනයාට වඩා ඉහළ සංවර්ධනයක් සෝවාන්වු ආර්යන් සතුය. පෘථග්ජන සිත සංකීර්ණය. විවරණය කිරීම අපහසුය. නිතර ලාභාපේක්‍ෂාවන් ප්‍රාර්ථනා කරයි. හැඬීම, වැළපීම, දුක්වීම ස්වභාව කර ඇත. සෝතාපන්න ආර්යා එසේ නොවේ. සීලයෙහි පිහිටා සමාධිය ප්‍රඥාව තරමක් දුරට වැඩූවෙකි. යහපත අයහපත පෙන්වා දෙන සත්පුරූෂයෙකි. මනා සිහිබුද්ධියෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරයි. එහෙත් වැරැදි සඟවා තැබීමට උත්සාහ නොකරයි. වැරැද්ද පිළිගෙන නැවත එය නොකරන බවට තමා විසින්ම අධිෂ්ඨාන කරගනු ලබයි.

තෙරුවන් සරණයි!

ගෞරව ශාස්ත්‍රවේදී සියඹලාගොඩ ධම්මින්ද හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

විවේකය ඇසුරෙහි නිවී යන කෙලෙස් ගිනි

මෙලොව උපත ලබන සත්වයා තම ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා විවිධ සේවා කටයුතු සිදු කරයි. ලොව්තුරා බුදුන්වහන්සේ වැඩ සිටි කල ඇතැම්හු ක්‍ෂත්‍රිය (රාජ්‍ය බලය හිමි) පිරිසට සේවා කටයුතු සිදු කළහ. ඇතැම්හු බ්‍රාහ්මණ (ජටා පැළැඳගත්) පිරිසට සේවා කටයුතු සිදු කළහ. තවත් අය ගෘහපති පිරිසට සේවා කටයුතු සිදු කළහ. මෙසේ කුදු මහත් සේවා කටයුතුවල නිරත වූහ. ඇතැම්හු වරදවා පිළිපන් මිසදිටු මහණ බමුණන්ට මෙහෙ කළහ.
මිථ්‍යා දෘෂ්ඨිය සමාදන් වූ පිරිස් යටතේ මිථ්‍යා ඇදැහිලි විශ්වාස පිළිගෙන ජීවිතාන්තය දක්වා සේවා කටයුතු කරන පිරිස් ගැන සිතා බලමු. මිසදිටු යාග හෝම බලි තොවිල් සිදු කරමින් මහත් ධනය විය පැහැදම්කොට උත්සව, පෙරහර, සැණකෙළි පවත්වති. බොහෝ ජනයා එබඳු සේවා කටයුතු කරදෙමින් යැපෙති. එයින් මහත් ශාන්ති අපේක්‍ෂා කරති. එහෙත් මේ සැමදෙයක් සිදු කළත් සසර දුකෙන් එතෙර වීම පිණිස කුසල ශක්තිය, පාරමි ශක්තිය ඇති නොවන්නේ ය.
රාග ද්වේෂ මෝහ ආදි කෙලෙස්වලින් පිරි තණ්හා දිට්ඨි මානවලින් බැඳී ගිය මිසදිටු අදහස් ගත් පිරිසකට කොපමණ සේවා සිදු කළත් එයින් තමන්ට විශුද්ධියත් සැනැසීමත් අත් නොවේ. ඒ අය සේවා ලබාගෙන බොහෝ අකුසල් රැස් කරති. මිථ්‍යා දෘෂ්ඨියම වැළඳගෙන කර්මය, කර්ම ඵලය විශ්වාස කිරීමක් නොමැතිව පංච දුශ්චරිතය ම සිදු කරති. දස අකුසල් සිදු කරති. එබැවින් එසේ සේවා සිදුකරන පිරිසත්, ලබන පිරිසත් දෙපිරිසම ගුණ ධර්මවලින් පිරිහී යති. කළු කර්ම රැස් කරති. පුහුදුන් බවට ම පත්වෙති. ප්‍රණීත භාවයට පත් නොවෙති. ආර්ය උතුමන් ඇසුරක් නැති නිසා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සිත වඩවාගැනීමට හැකියාවක් නොමැත. දුර්වර්ණ භාවයට පත් වෙති. අර්ථ සාධනයක් නොලැබෙන්නේ ය. කොපමණ මුදල් අධර්මයෙන් රැස් කළත්, දෙපිරිසම දෙලොව පිරිහෙති. මෙලොවද තැවෙති. පරලොව ද තැවෙති. කළ අකුසල් කර්මයන්ගෙන් බේරීමට, ගැලවීමට ආරක්‍ෂක ස්ථානයක් නැත.
ජීවිතය යහපත් ලෙස ගත නොකළ නිසා මානසික සුවයත් නිදහසත් ඇත්තේම නැත. සන්සිඳීමක් නොමැත. කාම ගින්නෙන්ම අන්ධ භාවයට පත්වේ. පංච නීවරණයන් නිසා තව දුරටත් සිත හීන භාවයට පත් වී පිරිහී යයි. මෙවන් මිථ්‍යා අදහස් සමාදන් වූ පිරිසට සසර දිගු වේ. කෙළවරක් නොපෙනේ. ආර්යයන් වහන්සේ නොදකිති. ආර්ය ධර්මයේ දක්‍ෂ භාවයට පත් නොවෙති. සසරේ බියකරු ස්වභාව ගැන කිසිදු ආකාරයකින් වැටහීමක් ඇති නොවේ. එම නිසා ජාති, ජරා, ව්‍යාධි මරණයන්ගෙන් නොමිදෙති. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදි ගිනි එකොළොසින් නිරන්තරයෙන් ම දැවෙති. විනාශයට පත්වෙති. විරාගි දහමෙන් නිදහස් සුවය නොලබති.
තවද මෙලොව ඇතැම් පිරිස් තම චිත්ත සන්තානයෙහි නිරතුරු සිහිපත් කරන කාමාදි අරමුණු තුළින් සැනසීමත් සතුටත් ලැබිය හැකි යැයි සිතමින් එයින් තොර ස්ථිර වූ සැපයක් විවේක සුවයක් නැතැයි විශ්වාස කරති. මෙසේ ලෝකයා සිහිපත් කරන කරුණු කාරණා මොනවා දැයි විමසා බලමු. ඇතැමෙක් පුත්‍ර ලාභය සිහිපත් කරති. භාර්යා ලාභය සිහිපත් කරති. ධන ලාභය සිහිපත් කරති. අධිපති ලාභය සිහිපත් කරති. ගරු බුහුමන් සිහිපත් කරති. නැටුම් ගැයුම් වැයුම් ද කාය බලය ද නිරෝගී ලාභය ද සිහිපත් කරති. මෙසේ කුදු මහත් ලාභ සිහිපත් කරති. මිසදිටු ගත්, එහි සමාදන් වූ මහණ බමුණන් සිහිපත් කරති. එහිම නැවැත නැවැත සිහිපත් කර දෘෂ්ඨිගත වෙති.
මෙසේ සිහිපත් කිරීම් ලොව ඇත. කාමාදි ලෝකවල ආස්වාදය මුල්කරගෙන සත්වයෝ එහි මත් වෙති. අතීත, අනාගත, වර්තමාන වශයෙන් දුප්පත්, පොහොසත්, හීන, ප්‍රණීත, ළදරු, තරුණ, වයස්ගත භේදයකින් තොරව ඉහත කරුණු කාරණා සිහිපත් කර එක මොහොතක සතුටු වෙති. බොහෝ කොට දුක් තැවුල් ලබති. මෙය පුහුදුන් ලෝකයේ ස්වභාව වේ. මෙම කාමාදි අරමුණුවල සුව සොම්නස තාවකාලික බව සිහිපත් නොවෙයි. ඒවා ස්ථිර වූ, සුබ වූ, ආස්වාද ජනක දේ හැටියට සිතීම උපන්දා සිට ලෝකයා පුරුද්දක් කරගෙන ඇත. නිරන්තරයෙන් ම ඒ සඳහා ඇස පිනවා සතුටු වෙති. කන, නාසය, දිව, ශරීරය, මනැස යන ඉන්ද්‍රියන්ට ගෝචර වන රූපාදි අරමුණු සිහිපත් කරමින් ආහාර කොට ගැනීම ලෝකය වැඩීමට හේතු වේ.
මෙවන් ලාභයන් සිහිපත් කිරීමෙන් තව තවත් සිතේ නීවරණ ධර්ම වර්ධනය වීම සිදුවෙයි. තමාට එහි ආදීනවය වැටහෙන්නේ නැත. තමා එහි මිහිරියාව භුක්ති විඳීමට දැඩි කැමැත්තක් ඇති නිසා යථාර්ථයෙන් ඈත් වෙයි. ඒ පසු පස එන දුක්ඛ සහගත තත්ත්වය කෙසේ වත් දර්ශනය නොවෙයි. සිත අපිරිසුදුවීම වර්ධනය වෙයි. ඤාණ දර්ශනය වැසී යයි. රාග සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි සිතන්නට සිතන්නට එහි උමතු භාවයට පත්වෙයි. තමාත් තමාගේ සිතුවිලිවලට අරමුණු වන පිරිසත් රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කර නැත. එවැනි අය සිහිපත් කිරීමෙන් තණ්හා, දිට්ඨි, මාන වැඩිවනවා මිසක විරාගයට නොවැටෙයි. වස්තු කාම, ක්ලේෂකාම යන දෙයාකාරයෙන්ම සිදුවන්නේ සිත දුර්වර්ණ භාවයට පත්වීමයි. අඳුරට පත්වීමයි. දහම් ඇස නැතිවීමයි. එයින් සත්වයා මෝඩ භාවයෙහිම ගිල්වා දමයි. ප්‍රඥාව නැති කරයි. සියලු කෙලෙස් නැති කිරීමෙන් ලබන නිර්වාණ සුවය අහිමි වී යයි. දිගු සසරටම වැටෙයි.
ස්ත්‍රී ලාභය මෙනෙහි කරන ලද නන්ද තෙරණුන් වහන්සේගේ සිත ද රාග ගින්නෙන් පෙරැළි ගියේ ය. ආවාහ මඟුල හා අබිසෙස් මංගල්‍යයට දින යෙදී තිබුණත් බුදුන්වහන්සේ ගේ කීමට විරුද්ධ විය නොහැකි නිසා මහණ විය. එහෙත් පෙම්වතිය වන ජනපදකල්‍යාණි කුමරිය කෙරෙහි සිත තදින් ඇලිණ. ඇයගේ සිත ද නන්ද කුමරු කෙරෙහි තදින් බැඳී තිබිණ. මහණ වූ දා සිට ඇය කෙරෙහි සිතන්නට විය. සිතේ විවේකය සන්සිඳීම නැති විය. මහණකමේ සිත අභිරමණය කිරීමද දුෂ්කර විය. සිවුරු හැර යන්නට සිත් විය. ලොව්තුරු බුදුන් වහන්සේ මහා කරුණාවෙන් සසර අනියත බව වටහා දී රහත් ඵලයට සිත නැංවීමට උපදෙස් ලබා දුන්සේක. රාග සිතට නිඟා කොට කාමයෙහි ආදීනව මෙනෙහි කොට සව් කෙලෙස් නසා රහත් ඵලයට පත් වූහ.
දිනක් සොරෙය්‍ය සිටු තෙමේ මහා කච්චායන තෙරුන් වහන්සේ දැක මෙසේ සිතීය. ‘අහෝ! මුන් වහන්සේ මට බිරිඳ වී නම් හෝ මුන්වහන්සේගේ රුසිරි මාගේ බිරිඳට වී නම් කෙතරම් අගේ දැ’යි ස්ත්‍රී ලාභය සිහිපත් කළේ ය. ආර්ය උපවාදය මුල්කරගෙන එකිනෙහිම පුරුෂ භාවය අතුරුදන් වී ස්ත්‍රියක බවට පත්විය. විලියෙන් මිරිකී ගිය ඇය තක්සලා නුවරින් පලා ගියා ය. පුරුෂව සිටිය දී ලත් දරු දෙදෙනකු විය. ස්ත්‍රිව සිටියදීත්දරු දෙදෙනකු ලැබිණි. තමාගේ කුසින් උපන් දරුවන්ට තද සෙනෙහසක් විය. පසුව මහාකච්චායන තෙරුන් වහන්සේ වෙතින් සමාව රැගෙන ස්ත්‍රිලාභයේ ආදීනවය දැක සසර කලකිරී මහණ විය. පසුව පුත්‍රලාභ, ස්ත්‍රිලාභ ආදි සිහිපත් කිරීමෙහි බිය දොස් දැක කිසිවක් කෙරෙහි බැඳීම් සිහිපත් කිරීම් අත්හැර විදසුන් වඩා රහත්ඵලයට පත් වූහ. රහත් වූ පසු, කිසිවකු කෙරෙහි තවදුරටත් ආදරයෙන් සිහිපත් කිරීමක් නැතැයි ප්‍රකාශ කරන ලදී.
දොළොස් අවුරුද්දක් පුත්‍ර සෙනෙහස මෙනෙහි කරමින් දුක් වෙමින් සිටි කුමාර කාශ්‍යප මාතා තෙරණියට ද මාර්ගඵල නිවනට පත්වීමට එයම බාධාවක් විය. එම තෙරණිය පුත්‍රයා කෙරෙහි දැඩි ආදරයක් සෙනෙහසක් දැක් විය. නිරතුරු පුත්‍රයා ගැනැම සිහිපත් කළාය. පුත්‍ර ලාභයම පැතුවාය. දොළොස් අවුරුද්දක් ගියත් ධ්‍යාන මඟඵලයට පත් වීමට නොහැකි විය. පුත්‍රයා නොදැක සොවින් පෙළිණ. මහණ වුවත් ඡන්දරාගය දුරු නොවීය. අයෝනිසෝ මනසිකාරය බහුලව වැඩිණි. එවිට සිතේ විවේක සුවය, විරාගී සුවය, සන්සිඳීම යටපත් විය. සිතේ එකඟතාව විනාශ විය. පුත්‍රයා නොදැක ක්ලාන්තව දුක් පීඩා ඇතිව සිටියාය. සිත විරාගි දහමට නැඹුරු නොවීය. එකල්හි මරණය පැමිණියේ නම් දුක්ඛිත ලෝකය කරාම වැටෙන්නේ ය. එතරම් මේ ක්ලේෂ ධර්මයන් සත්වයා සැපයෙන් පහකර දමන්නේ ය. සුවයක් යයි කියා එහිම මුළා කරවන්නේ ය. මත්කරවන්නේ ය. පිපාසිත කරවන්නේ ය. මෙසේ සිය පුතු ගැන ශෝක කරන තාක් කුමාර කාශ්‍යප මාතා මෙහෙණිය සසර කෙරෙහි වන බියකරු භාවය, ආදීනව තේරුම් නොගත්තා ය.
කුඩා කලම මහණවීමට කැමැත්තක් දැක්වූ කුමාර කාශ්‍යප කුමරුවන් බුදුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් පැවිදි කරවනු ලැබිණි. නොබෝ කලකින් සව් කෙලෙස් නසා රහත් ඵලයට පත් වූහ. දිනක් වීදියේ යන පුතුනුවන් දැක පුත්‍ර සෙනෙහසින් වේගයෙන් ගොස් අල්ලන්නට සූදානම් වන විට, මේ කිමෙක්ද? වහා ඉවත් වන්න කියා ප්‍රකාශ කරන්නට යෙදුණි. එසේ සිදු කළේ මෑණියන් කෙරෙහි කරුණා සිතින්ම ය. පුත්‍ර සෙනෙහස නිසා ඇය දොළොස් අවුරුද්දක් දුක් වින්දා ය. තෙරණියට වන යහපත දැක කුමාර කාශ්‍යප තෙරණුවෝ එසේ පැවසූහ. මෙතෙක් කලක් සිත තුළ රුවාගෙන විඳ වූ පුත්‍ර ස්නේහය කෙරෙහි කලකිරී සෙනෙහස බිඳ ඡන්දරාගය ප්‍රහීන කොට සව්කෙලෙස් නසා රහත් ඵලයට පත්වීමට කුමාර කාශ්‍යප මාතා තෙරණියෝ සමත් වූහ.
තමාට පිහිට තමා බවද, වෙන කෙනෙකු පිහිට නොවන බවද, මනාව සිත දමනය කළ කල්හි ඉතා දුකසේ ලැබිය හැකි රහත් ඵල සුවයට පත්විය හැකි බව ද ලොව්තුරා බුදුන්වහන්සේ දේශනා කළ සේක. මුළාවට පත්වී තැවෙන දැවෙන සිත් සතන් ඉහත කරුණු ආදර්ශයට ගෙන විවේක සුවයට පත්කර ගැනීමට අධිෂ්ඨාන කරගන්න.
වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නියත මිථ්‍යා දෘෂ්ටිය

ලොව සෑම දෙයක් ම අනිත්‍ය ස්වභාවයට පත්වන නිසා දුක යැයි සසර පිළිබඳ දැනීමත්, දුක් ඇතිවීමට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගැනෙන තෘෂ්ණාව යයි දැනීමත්, මෙම ති‍්‍රවිධ තෘෂ්ණාව නැතිකිරීම නිවන බව දැනීමත් දුක් නැතිකිරීම සඳහා පිරිය යුතු එක ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දැනීමත් සම්මා දිට්ඨි යයි කියනු ලැබේ.
මේ අනුව පැහැදිලි වනුයේ දුක - දුක ඇතිවීමට හේතුව - දුක නැතිකිරීම - එම දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සම්මා දිට්ඨිය බව ය. “සම්මා අවිපරිතතෝ පස්සතීති සම්මා දිට්ඨි” යන විග්‍රහ වාක්‍යයෙන් කියැවෙන්නේ ද පඤ්චස්කන්ධය පිළිබඳව යථාවබෝධය - ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම සම්මාදිට්ඨිය බව යි. මිථ්‍යා දෘෂ්ටිය නැතිකර දමන අවබෝධ ඥානය සම්මා දිට්ඨිය යි.
දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ(මේ අදහස් වලින් තොර වීම ලෞකික සම්මාදිට්ටිය වේ)
නත්ථි දින්නං, - දීමෙහි විපාක නැත.
නත්ථි යිට්ඨං, - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
නත්ථි හූතං, - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, - - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
නත්ථි අයං ලෝකෝ, - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
නත්ථි පරෝ ලෝකෝ, - මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
නත්ථි මාතා, - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
නත්ථි පිතා, - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සත්තා ඕපපාතිකා, - ඕපපාතික සත්වයන් නැත.
නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.(නියත මිත්‍යාදෘෂ්ටි සූත්‍රය-අංගුත්තර නිකාය-දසක නිපාතය )
යනුවෙන් නිර්මාණවාදය පිළිගෙන ශාස්වත දෘෂ්ටියට වැටී මෝක්ෂය සෙවීම නියත මිථ්‍යාදෘෂ්ටි වශයෙන් දක්වනු ලැබේ.
මෙසේ නියත මිථ්‍යාදෘෂ්ටියට වැටීම පංච ආනන්තර්ය අකුශල කර්මයන්ට වඩා බලවත් ය. හේතුව? කාලාන්තරයකින් පංචාන්තර්ය අකුසල කර්මයන්හි විපාක ගෙවී සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවිනි. දෙව්දත් තෙරුන් පවා කළ පව්වල විපාක ගෙවී කාලාන්තරයක් ගතවී “සට්ඨිස්සර” නමින් පසේබුදුවන බව ධර්මයෙහි සඳහන්ව ඇත. එහෙත් ඬයත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය.
ලෝක ධාතුවක් විනාශ වුවද එකල මනුෂ්‍ය,දිව්‍ය,අපාගාමී ලෝකවල වාසය කරන සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර
නම් සත්වයන් අතර උපදිනා බව ධර්මයේ සදහන්ය.නමුත් නියත මිථ්‍යාදෘෂ්ටිය‍ට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත්
දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.
විශේෂයෙන්ම මේවා අතරින් බොහෝ දෙනෙක් සැක කරන්නේ නිරිසතුන්,දෙවියන් වැනි ඕපපාතික උපත්ය.ඒ සැකයම ඔවුන්ව නිරය කරා රැගෙන යාමට සමත් වේ.සීමාසහිත අත්දැකීම් රාමුවක් තුල සිරවී සිටින මිනිසුන් වන අපගේ ඇසට පමණින් තර්ක විතර්ක කරමින් යමක් බැහැර කිරිමට උක්සාහ දරයි නම් එය අණුවන කමය.ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය අවබෝධය කරා රැගෙන යන්නේ තර්කයෙන් නොව ශ්‍රද්ධාව මුල් කරගත්
වීමංසන බුද්ධියෙන්ය.තර්කය යනු අසත්‍ය සත්‍ය ලෙසත්,සත්‍ය අසත්‍ය ලෙසත් පෙන්විය හැකි එක්තරා ආයුධයකි.
යමෙක් ඕපපාතික උපත බැහැර කරයිද ඔහු නියත මිත්‍යාදෘෂ්ටියෙන් යුතු අවාසනාවන්ත පුද්ගලයෙකු බව තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත.මෙම මෝහයෙන් අන්ධ වූ පුද්ගලයා මෙලොවත් පරලොවත් අදුරෙන් අදුරට පත් වූවෙක්
ලෙස හැදින්විය හැක.
සැරියුත් මහ රහතන් වහන්සේ භික්‍ෂූන් අමතා “ඇවැත්නි යහපත් දැකීම සම්‍ය දෘෂ්ටිය යයි කියනු ලැබේ. සම්‍යක් දෘෂ්ටිය යයි කියනු ලැබේ. කොපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද? යනුවෙන් ප්‍රශ්න නගා උන්වහන්සේම පිළිතුරු දෙමින්, ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවකතෙම අකුසලයන් දනී ද, අකුසල මූලයන් දනී ද, කුසලයන් දනී ද, කුසල මූලයන් දනී ද, එපමණෙකින් සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදුණෝ වෙයි. නිර්වාණ මාර්ගයට පිවිසුණේ වෙයි. මෙයින් පැහැදිලි වනුයේ කුසල් අකුසල් පිළිබඳව නියමාකාරයෙන් දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය බවයි. එම සූත්‍රයේ දී ම තවදුරටත් විස්තර වශයෙන් දක්වා ඇත්තේ ප්‍රාණඝාතාදී අකුසලයන් හා එම අකුසලයන් සිදුකිරීමට මුල්වන ලෝභ දෝස - මෝහ යන අකුසල මුල් හේතුවන බව දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය නමින් ගැනෙන බව ය.
බුදුරදුන් පසු පසින් යන සුනක්ඛත්ත භික්‍ෂුව ද පහත් සිතුවිලි ඇති කෙනෙක් බැවින් සුනඛයකු සේ ජීවත්වන මේ කෝරක්ඛත්තිය දුටු විට නියම තවුස් ජීවිතය මෙය යැයි මෙවැන්නෝ ම නිවන් දකින්නෝ වෙති. බුදුරදුන් වදාරණ සීලයට වඩා මෙසේ දුෂ්කර ව්‍රත රැකීම උසස් යයි අදහසක් ඇතිකර ගත්තේ ය. මොහුගේ අදහස දැනගත් බුදුපියාණෝ සුනක්ඛත්ත! ඔබට දැන් මොහු දැකීමෙන් මෙබඳු අදහසක් පහළ වූවා නොවේදැයි ඇසූ සේක. සුනක්ඛත්ත එය පිළිගත්තේ ය.
එසේ නම් සුනක්ඛත්ත ඔබ බුද්ධශ්‍රාවක නොවේ යැයි පැහැදිලි කළහ. දැන් ඔබ උසස් සීලයක් රකින පුද්ගලයෙක් යැයි මෝඩකම නිසා පැහැදීමට පත් කොරක්ඛත්තිය අදින් දින හතකට පසු ආහාර අජීර්ණයකින් මැරී කාලකඤ්ජා නමැති අසුර ලෝකයෙහි උපදිනු ඇත. මේ බලුවත රකින කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්භක නමැති සොහොනට ඔහුගේ අනුගාමිකයන් විසින් ම ලණුවලින් බැඳ ඇදගෙන ගොස් දමනු ඇත. සුනක්ඛත්ත යටිහිතින් කෝරක්ඛත්තිය සුනඛව්‍රතය රකින්නාට කැමති පුද්ගලයෙකි.ඔහු එදාම කෝරක්ඛිත්තිය හමු වී මේ සියලු විස්තර දන්වා සිටියේ ය. එය අසා “ඔය ශ්‍රමණ ගෞතමයන් විසින් කියන ලද්දක් වෙනස් වන්නේ නැත අජීරණයකින් මැරෙන බව කී නිසා අද සිට මම ආහාර පාන නො ගෙන නිරාහාරව සිටීම්” යි අධිෂ්ඨාන කරගත්තේ ය. වෙනදා ඔහු සුනඛයකු සේ හතර ගාතෙන් ගොස් බිම දමන ලද ආහාර ටිකක් කා එන ගෙදරට නො ගිය නිසා සතියක් බලා සිටි ගෙදර ගෘහ මූලිකයා හතර පස් දෙනකුට සෑහෙන මස් සහිත ප්‍රණීත ආහාර වේලක් සකසා ගෙන සුනඛ ව්‍රතය රකින තවුසා දකින්නට ගියේ ය.
ඔහු නිරාහාරව වතුර පමණක් බිබී සුනඛයකු සේ ඇදවැටී සිටිනු දැක “පින්වත් සුනක්ඛත්තයෙනි, ඔබතුමා සතියක් ම නො පැමිණි නිසා මම ප්‍රණීත මස් සහිත ආහාරයක් පිළියෙළ කරගෙන ආවෙමි. එය අනුභව කරනු මැනවැ”යි අර ආහාර භාජනය විවෘත කරත් ම අසීමිත කෑම සුවඳක් විහිදී ගියේ ය. සුනක්ඛත්ත දරාගත නො හැකි බඩගින්නෙන් සිටිය නිසා අර සියලු ම ආහාර කාගෙන කාගෙන ගියේ ය.
ප්‍රමාණයට වඩා උසුලාගත නො හැකි තරම් මස් මාංශ සහිත කෑම අනුභව කිරීම නිසාත්, දින හතක්ම බඩගින්නේ සිට එකවර ම කෑම ගැනීම නිසාත් ආහාර දිරවාගත නොහැකිව එදා රාත්‍රියේ ඔහු අභාවයට ගියේ ය. බුදුරදුන් වදාළ පරිදි උපත ලද්දේ ද කාලකඤ්ජිකා අසුර යෝනියෙහි ය. එය අතිශය දුක්ඛිත තැනෙකි. “තීර්ථකයන් විසින් කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්බක සොහොනට ගෙන නො ගොස් වෙන තැනකට දමන්නෙමු”යි ලණුවලින් ඇදගෙන ගිය ද යන යන හැම තැනක ම පිරිසිදු මිදුල් සේම ඔවුනට පෙනෙන්නට විය. අවසානයෙහි දේහය ගෙනගොස් චපමට සිදුවූයේ බීරණත්ථම්බක සොහොනට ම ය.
සුනක්ඛත්ත භික්‍ෂුව ද මේ තොරතුරු ටික දැන කියා ගෙන බුදුන් වදාළ දේ එසේම සිදු වූ බැවින් හොඳ පුද්ගලයකු සේ බුදුරදුන් වෙත ගොස් මේ සිද්ධිය කියාපා සුනක්ඛත්ත උපන් තැන විමසා සිටියේය. “ඔබ එය මගෙන් ඇසිය යුතු දෙයක් නොවේ.
ඔබ ම සොහොනට ගොස් මියගිය මිත්‍රයාගේ සිරුරට තට්ටු කොට, හිතවත් මිත්‍රයාණෙනි, දැන් උපත ලබා ඇත්තේ කොහිදැයි විමසන්න” යි වදාළහ. සුනක්ඛත්ත භික්‍ෂුව ද එහි ගොස් ඇඟට තට්ටු කොට විමසූ විට “මිත්‍රය, මම වැඩූ සුනඛ ව්‍රතයෙන් ප්‍රයෝජනයක් නො ලැබ වැරදි දෘෂ්ටියක පිහිටා මෝක්ෂය ලබාගනිමි යි කියා මිථ්‍යාදෘෂ්ටි ගතවීම නිසා අද කාලකඤ්ජිකා පේ‍්‍රත යෝනියෙහි උපත ලබා දුක් විඳින්නේ මැ යි මළ සිරුරට ආවේශ වී ඔහුගේ කටහඬින්ම සිදු වූ දේ කියා සිටියේ ය. මිථ්‍යාදෘෂ්ටියෙහි ඇති භයානකකම මෙයින් පැහැදිලි වන්නේ ය. බුදුරජාණන් වහන්සේ නිවනට යාමට වැඩිය යුතු මාර්ග අටෙන් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම වදාරා ඇත්තේ එහෙයිනි.
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිගේ පැහැදිලි කර දීමක්ද ඇතුළත් කර ඇති හෙයින් උන්වහන්සේද
නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සැපය - සදාචාරය සහ බුදුදහම

මහාචාර්ය 
දේවාලේගම මේධානන්ද හිමි

විඳීම (වේදනා) වූ කලී මූලික වශයෙන් ම දෙයාකාරය. එනම් දුක්. විඳීම (දුක්ඛ වේදනා) හා සැප විඳීම (සුඛ වේදනා) යනුවෙනි. සියලු සත්වයෝ සැප විඳීමට මැ කැමැති වෙති. නිබඳව සැපයම සොයා යති. දුකට අකැමැති වෙති. එය පිටු දකිති. සැපය දෙයාකාරය. ඒ ලෞකික සැපය හා ලෝකෝත්තර සැපය යනුවෙනි. මෙහි ලෞකික සැපය නම් ලෝකයට අයත් සැපයයි. (ලොක+ඉක= ලෞකික) ලොක යනු ස්කනධ ධාතු න් ආයතන යැයි කියනු ලබන හේතු ප්‍රත්‍යාකාර වු සංස්කෘත ධර්මයෝය.
ඒ ලෝක යන්නෙන් බුදුසමය හෙළිකරන දාර්ශනික අර්ථයයි. එම ධර්මයන්ගේ පටිපාටිය නොසිඳී පැවැත්ම සංසාරයයි . ඒ අනුව සංසාරික සත්වයාගේ ස්වභාවය නම් එම සැපයම කැමැති වීමය. එයම සොයා යාමය. මෙහි ලෝකෝත්තර සැපය නම් ඉහළට යාමෙන් එතෙරවීමෙන් (ලොක +උත්තර =ලෝකොත්තර) ලබන සැපයයි. ලෝක නිරෝධය යි. බුද්ධාදී උතුමෝ ලෝකයෙන් එතෙරව ලෝකෝත්තර සැපය සාක්ෂාත් කළෝය. එය අත්දැකීමක් බවට පත් කර ගත්තෝය.
බුදුසමය විරාගී දර්ශනයෙකි. එනම් මූලික වශයෙන්ම සියල්ල අනිත්‍යය, දුකය, අනාත්ම යැයි දැන දැක පසක් කිරීමෙන් සියල්ල (සබ්බ) යැයිද ලෝක යැයිද කියන ලද ස්කන්ධාදි ධර්මයන් කෙරේ නිර්වේදය එනම් කළකිරීමද, කළකිරීමෙන් විරාගයද, විරාගයෙන් විමුක්තියද ලබා ගැනීමට උගන්වන දහමකි. එසේම ඒ සඳහා මඟපෙන්වන විරාගී වරණයෙකි. මෙබඳු දහමක් ලෞකික සැපය අගය කරන්නේදැයි යමෙකුට විමතියක් ඇතිවිය හැකිය.

ගිහි පැවිදි දෙපක්ෂයටම මෙලොව හා පරලොව වශයෙන් අත්විඳිය හැකි, විටෙක එසේ අත්විඳිය යුතු යැයි පෙන්වාදෙනු ලබන විවිධ සැප බුදුසමය උගන්වයි. පින් කිරීමෙන් ලබන සැපය ඉන් එකකි. පහන් සිතින් යමක් කියන්නේද , කරන්නේද සිරුර නොහැර යන සෙවණැල්ලක් මෙන් ඔහු පසුපස සැපය ලුහුබඳින්නේය. පින් කරන්නවුන්ට ධම්මපදය උපදෙස් දෙන්නේ නැවත නැවතත් පින් කරන්නටය. පිනෙහි උපරිමය,සැපය වන බැවිණි. දිවි කෙළවර ද පින සැපයකැයි දක්වා තිබේ. මෙසේ පින් කිරීමටත් එමඟින් සසර සැපවත් බව ලබා ගැනීමත්, බුදුසමය අනුබල දෙයි.සැපයෙහි විවිධ ප්‍රභේද බුද්ධ වචනයෙහි දැක්වෙයි. ගිහි සැපය හා පැවිදි සැපය, කාම සැපය හා නිශ්කාම සැපය, උපධි සැපය හා නිරූපධී සැපය, ආර්ය සැපය හා අනාර්ය සැපය, සාශ්‍රම සැපය හා අනාශ්‍රම සැපය, සාමිස සැපය හා නිරාමිස සැපය යනාදී වශයෙන් සැපය දෙයාකාර වන්නේය. අතින් සැපය, හා නිරාමිස සැපය යනාදී වශයෙන් සැපය දෙයාකාර වන්නේය. අත්ථී සැපය, භොග සැපය ,අණන සැපය හා අනවජ්ජ සැපය යැයි සැපය සතරාකාර යැයිද දැක්වෙයි. නිවන පරම සැපය වන්නේය. බෞද්ධයෙකු විසින් මෙකී සියලු සැප සදාචාරය නොඉක්මවා ලැබිය යුතු වෙයි.
අකුසල ක්‍රියාවන් නිසා මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන්ද විඳීමට සිදුවන අනේකකාර වු දුක් පීඩාවන් හා එහිලා හේතු භූතවන කායික, වාචසික හා මානසික දුෂ්චරිතයන් ගැනද බුද්ධ වචනයෙහි නොයෙක් අයුරින් සඳහන් වෙයි. එසේම එබඳු දුෂ්චරිතවලින් වැළකීම තුළින් දුක් මඟහරවා ගැනීමටද බුදුසමය ප්‍රජාව පොලඹවයි. ඒ නන් අයුරිනි. පාපය, අකුසලය, දුක් උපදවයි. පස්පවින් දස අකුසලයෙන් වැළකීම තුළින් දුක්පීඩාවන්ගෙන් නිදහස් විය හැකි යැයි පුන පුනා උගන්වයි. සංසාරික දුක් ගැහැටින් මිදී සුඛිත, මුදිත, පෞද්ගලික හා සාමාජික ජීවිතයක් ගත කිරීමට ගිහිපැවිදි දෙපක්ෂයටම ධර්ම විනයෙන් මඟ පෙන්වා තිබෙන බවද ප්‍රකටය. දස කුසල ධර්මයෝ ම සසර සැප උපදවන්නෝය. සදාචාර මාර්ගය හා සැපය අතර ඇත්තේ අත්‍යන්ත සම්බන්ධයෙකි. සසර දුක් සහිත යැයි බුදුදහම උගන්වන බව සැබෑවකි. ලෝකය දුක මත පිහිටියේය. එහෙත් සසර සැපතක් නැතැයි ඉන් අදහස් නොවේ. ගෘහස්ත ජීවිතයක් ගතකරන බෞද්ධයාට අදාළ අත්ථී සැපය එනම්, තමා සතුව ප්‍රමාණවත් වූ ඇති පමණ ධන ධාන්‍යාදී භෝග සම්පත් ඇතිතරම් අගය කරන බුදුදහම උත්සාහයෙන් වීර්යයෙන් එම සම්පත් උපයා සපයා ගැන්මටද මඟ පෙන්වයි. අනේක විධ වූ උපද්‍රවාදියෙන්ද පාප මිත්‍ර සේවනයෙන්ද එම සම්පත් විනාශ වී යාම වළක්වා ගනිමින් සැපවත් දිවි පැවැත්මක් උදෙසා ඒවා ආරක්ෂා කර ගැනීමටද උගන්වයි. ගිහියාට දිළිඳුකම දුකකැයි පිළිගනිමින් ඉන් අත්මිදීමෙහි අවශ්‍යතාවය පෙන්වාදෙයි. දිළිඳුකම පසුපස එන්නේ අදත්තාදානය , ප්‍රාණඝාතය, මුසාවාදය වැනි දුසිරිත්ය. එබැවින් රජුන් විසින් ද දිළිඳුකමින් ප්‍රජාව මුදාගනිමින් ඔවුන් සුඛිත මුදිත කිරීමට පියවර ගත යුතු බව පෙන්වාදෙයි. ඒ සඳහා රජුන් කුමක් කළ යුතු දැයි ප්‍රායෝගිකව පැහැදිලි කරයි. සැප උපදවනුයේ දැහැමි ධනෝපායනයයි. සම්මා ආජීවයයි. විධිමත් ධන පරිහරණයයි. මනා කළමනාකාරිත්වයයි.
සිඟාලෝවාද , මංගල, පරාභව ආදි සූත්‍රාන්ත ධර්ම තුළින් ද ගෘහස්ථ ශ්‍රාවකයාට උපදෙස් දී ඇත්තේ සැපවත් ජීවිතයක් මෙලොව වශයෙන්ම ගත කිරීම පිණිසය. අනේකවිධ දුසිරිත් හා ඇතැම් දුබලතාවයන්ද තුළින් ස්වකීය ආර්ථික ජීවිතයේ ප්‍රගතිය අඩාලකර නොගත යුතුය.
නුසුදුසු සමාජ ආශ්‍රයෙන් වැළකී ඵලදායක ලෙස සමාජය ඇසුරු කළ යුතු යැයි බුදුසමය පෙන්වාදෙයි. ඒ සියලු සදූපදේශයන්ද ගිහියාට මෙලොව පරලොව දුක් දොම්නස් වළක්වා ගැන්මටය. සතුට සැපත උදාකර ගැනීමටය. පුද්ගලයාගේ පරාභවය ඇති කරමින් ඔහු දුකට පත් කරුණු කවරේද සමාජ ආර්ථික වශයෙන් මෙන්ම සෞඛ්‍යයෙන් ද ඔහුගේ පිරිහීම උදාකරන්නේ කවර චර්යාවන්ද ඔහුගේ දෙලොව ප්‍රගතිය පිණිස වන කරුණු කවරේද කවර චර්යාවන් සුවසෙත ඇති කරන්නේදැයි , සැපත උදාකරන්නේ දැයි බුදුදහම පැහැදිලි කර දෙයි. ආධ්‍යාත්මික වශයෙන් කාමාදී කෙලෙස් වලින් දූෂිත වූවහුට එබඳු සිත් සතන් හේතුවෙන් දුරාචාරවලට යොමු වූවහුට විඳීමට සිදුවන අනේකවිධ දුක් පීඩාවන් බුදු සමය පැහැදිලිකරයි.විටෙක මෙලොව වශයෙන්ද විටෙක පරලොව වශයෙන්ද මහ දුක් කඳකට හෙතෙම ගොදුරු වෙයි. එැබවින් එකී දුක් පීඩා වළක්වා ගනිමින් සැපවත්ව ජීවත්වීම පිණිස මානසික දියුණුවත් එය පාදකකොටගත් සදාචාරයත් උපකාරි වන්නේය.
බුදුන් වදාළ විමුක්ති මාර්ගය මිථ්‍යා චර්යාවන්ගෙන් බැහැරව සම්‍යග් චර්යාවන් පුහුණු කිරීම ඔස්සේ දිව යන්නකි. එය ආර්ය මාර්ගය නොවේ නම් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාවයි. ඒ වූකලී මැදුම් පිළිවෙතකි. සමකාලීන සාමයික චින්තාවන් ඇසුරු කොට ගෙන උපන් ප්‍රතිපදාමය උභයාන්තයටම අනුගත නොවූ සදාචාර පිළිවෙතකි. එයින් නිත්‍යාත්මයක් නැත. සියල්ල මරණයෙන් කෙළවරවේය යන අශාස්වත චින්තාව ඇසුරුකොටගෙන උපන් කාම සුඛල්ලිකානුයෝගය සදාචාරය පිටුදකින්නක් විය. දිවි ඇතිතාක් මෙලොව කම්සුව විඳීම එක් අන්තයෙකි. උපරිම වශයෙන් ඉඳුරන් පිනවීම සීමාන්තව පස්කම් සැප විඳීම එයින් ඉගැන්විණ.එහිලා මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, පින් පව් නැත, එහි අනුරූප විපාක ද නැතැයි සලකා ගැනුනි. මෙසේ පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට හානිකර වූ ද සදාචාරය , සංස්කෘතිය පිටුදකින්නාවූ ක්‍රියාවලියක් උදෙසා අනුබල ලැබිණ. බලවත් ආගම් විරෝධයක් සමඟ සුබ පරමවාදී උමතුවක හැඩතලය එයින් ප්‍රකට වූයේය. දෙවැනි අන්තය වූයේ අත්තකිලමතානුයෝගයයි. උපරිම වශයෙන් කයට දුක් දීම, පස්කම් සුවය,ඉඳුරන් පිනවීම, ඍජවුම පිටු දැකීම එමඟින් අර්ථවත් විය. නිත්‍ය වු සදාකාලික වු ආත්මයක් ඇත යන ශාස්වත චින්තාව එහි පදනම වූයේය. පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට හානිදායක ලෙස ඔහු සීමාන්තික ආත්මාර්ථකාමියකු කරමින්, ඇතැයි පිළිගත් ආත්මයට කටුක දුක් පීඩා දුන් විවිධ ව්‍රත එහිලා අනුගමනය කරන ලදී. (අත්ත+කිලමථ+ අනුයෝග) ආත්ම විමුක්තියක් අරමුණුකොටගත් මෙලොව වශයෙන් සැපත පිළිකෙව් කළ කුසල ධර්ම සංවර්ධනයක් හෝ උසස් ඥානාධිගමයක්ද ඇති නොකළ ආගම් උමතුවක හැඩතලය එයින් ප්‍රකට විය. එයද සදාචාර සංවර්ධනයට අනුබලයක් නොදුන් බව පැහැදිලි වෙයි. කාම සුඛල්ලිකානුයෝගය ලෞකික කම් සැපතෙහි ගිජුවන සමාජයකට මඟ පෙන්වූ අතර අත්තකිලමථානුයෝගය එයට ප්‍රතිපක්ෂ වු පරාජිත සමාජයකට මඟපෙන්වීය. බුදුසමයෙහි සදාචාර මාර්ගය හෙළී පෙහෙළි වන්නේ මෙකී උභයාන්තයෙන් එකකට හෝ අනුගත නොවන මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙනි. එම උභයාන්තයම බුදුරදුන්ගේ විචාරයට ලක්විය.
මේ අනුව හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් මිනිසුන් හා බැඳුණු අනාර්ය වූ අවැඩදායක වූ කාම සුඛලිල්ලිකානුයෝගයට මෙන්ම පීඩාජනක වූ, අනාර්ය වූ, අවැඩදායක වූ අත්ත කිලමථානුයෝගයටද අනුගත නොවන මැදුම් පිළිවත අර්ථවත් වන සැපය බෞද්ධ චින්තනයට අභිමත වන්නේය. එහිලා ලෞකික වු පස්කම් සැපයට ගිජුවීම මෙන්ම එකී සැපයට එරෙහිවීම ද දක්නා නොලැබෙයි. සදාචාර විරෝධි බවින් මෙන්ම වරදවාගත් සදාචාර උමතුවකින් ද තොරව සැප විඳීමට බෞද්ධයෙකුට අවස්ථාව තිබේ.
උපරිම වශයෙන් සැප විඳීමෙන් උතුම් වූ සැපය ලබාගත හැකිය යන සමකාලීන මතවාදය මෙන්ම උපරිම වශයෙන් දුක් විඳීමෙන් උතුම් වූ සැපය ලබාගත හැකිය යන මතවාදය ද බුදුසමයට අභිමත නොවේ. මැදුම් පිළිවෙත අවබෝධ කළ බුද්ධාදී උතුමෝ වෛර සහිත වු මිනිස් සමාජයෙහි වෛර රහිතවද, කෙලෙස්වලින් ආතුර වූවන් අතර අනාතුරුවද, කම් සැපයම සොයන්නන් අතර නිෂ්කාමීවද සුවසේ වසති.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online