ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ආශ්වාදයේ ආදීනවය සොයා තුච්ඡ සංසාර දුකින් මිදෙන්න

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදියැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරයකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණයකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කොතරම් නම් අසිරිමත් වූවක්‌ද? සියල්ලම සදාතනිකව අතහැර දැමීමෙන් ලත් අනන්ත ප්‍රඥව, අනන්ත කරුණාව, අනත්ත මෛත්‍රිය ආදී අහස පොළොව පවා නුහුලන ඒ මහා ගුණ කඳින්ම ඒ අමාමෑණියන් වහන්සේගේ ජීවන අසිරිය සැදුම් ලැබීය. අනවරාග්‍ර නැතහොත් අගක්‌ මුලක්‌ සෙවිය නොහැකි සාංසාරික ජීවිතයේ ඇති අති මහත්වූ භයංකාරත්වය පිළිබඳව උන්වහන්සේ සත්ව ජීවනය අවදි කළේද එම අසිරිමත් ගුණ සයුර නිසාමය.

එය මනරම් සැඳෑ කාලයක්‌ ව තිබුණේය. සැඳෑ වලා කඩක්‌ සේ රත් පැහැ සිවුරු හැඳ පොරවා ගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එම මොහොතේද වඩිමින් සිටියේ සදහම් චාරිකාවකය. සංයත නිහඬ ගමනින් යුතුවූ ශීලෝපශෝභිත සඟ මුනිවරුන් සිටියේ උන්වහන්සේට පසුපසින් පෙළගැසීය. බුදුන් වැඩි එමඟ එක්‌ තැනෙක වූයේ අතිශය භයංකර වූ මහා ප්‍රපාතයකි. පෘථග්ජන භික්‌ෂුහු නම් ඒ ප්‍රපාතය දුටු සැණින්ම මහත් සේ බියට පත්වූහ. තැතිගත්හ. ස්‌වකීය හදවත්ව වූ සැලුම් වෙව්ලුම් කෑ එම ස්‌වරයෙන්ම උන්වහන්සේලාට බුදුරදුන් ඇමතුණේ ඉබේටමය. 

පින්වත් හිමියනි, භාග්‍යවත් බුදුපියාණෙනි, මෙතරම් බියකරු වූ ප්‍රපාතයක්‌ අප නම් කිසිදාක දැක නැත. ඉදින් හිමියනි, මහා කරුණාවෙන් පවසන්න අපට, මේ මහා බියකරු ප්‍රපාතය හැර තවත් ප්‍රපාත මේ අනන්ත ජීවන ලෝකයේ තවත් තිබේද?' පුහුදුන් ඒ භික්‌ෂුහු විමසූහ.

'පින්වත් මහණෙනි, පින්වත් මහණෙනි මෙහි ඇත්තේ කවර නම් බියකරු බවක්‌ද? මීටත් වඩා අනන්ත වූත් අප්‍රමාණ වූත් භයංකර ප්‍රපාත ගණනාවක්‌ම මේ ලෝකය තුළ තිබෙනවා.

සවන් ගුල් තුළට අමෘතය ඉසින්නාක්‌ බඳුවූ මහා කරුණාවෙන් පිරීගිය බුදුපියාණන් වහන්සේගේ ඒ මුදු සුමුදු ස්‌වර ඇසෙත්ම භික්‌ෂුන්ගේ සිත් නිවිණි. ඒ සුමධුර දම් දෙසුම සංසාර දුක්‌ ගිනි නිවමින් බුදු මුවින් වැගිර ගලා ගියේය. 

'ඉඳින් මහණෙනි, මේ සාංසාරික සත්වයා කෙළවරක්‌ දකින්නෙ නැතිව ජාති දුකට ගොදුරු වෙනව. ජරා දුකටත් ගොදුරු වෙනව. ව්‍යාධි දුකටත් පත්වෙනව. මරණ දුකටත් පත්වෙනව මහණෙනි. සත්ත්වයා මුහුණ දෙන මේ සාංසාරික දුක්‌ අර ඈතින් පෙනෙන ප්‍රපාතයට වඩා අප්‍රමාණ බිය ඇති ප්‍රපාත වෙනවා. එය එසේමැයි මහණෙනි, එය එසේමැයි.

සංසාර දුක අවබෝධ කරගත නොහැකි වී නිමක්‌ නැති දුක්‌ පිරිපතම අනුභව කරන පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සදහම් දෙසුම සදාතනික වූ අකාලික වූ යථාර්ථයෙන් කෙතරම් පිරී තිබේද? බුදුරදුන් ජාතිය ලෙස දේශනා කොට වදාළේ ඉපදීමය. බුදුපියාණන් වහන්සේ තවදුරටත් වදාළේ මේ ඉපදීම තරම් භයංකර ප්‍රපාතයක්‌ මේ විශ්වය තුළ නැති බවයි. සැබැවින්ම මේ ඉපදීම මෙතරම්ම බියකරු ප්‍රපාතයක්‌ වන්නේ කෙසේදැයි ඔබ මොහොතකට කල්පනා කළාද? 

සොබා සොඳුරෙන් පිරී ගිය ලෝකයේ සොබාදම විසින්ම නිමවනු ලැබූ ප්‍රපාතයකට ඔබ වැටුණොත් වැටෙන්නේ එකවරක්‌ පමණකි. ඒත් ඔබ මේ අතිදීර්ඝ සංසාරය තුළ ජාතිය නැතහොත් ඉපදීම නම් ප්‍රපාතයට කොතෙක්‌ නම් වර වැටෙනවාද? ඔබ එලෙස වැටෙන්නේ වරක්‌ දෙවරක්‌ නොවේ. ඒ වාර ගණන අනන්තය. බුදු නුවණකින් පවා බැලුවත් ඒ වාර ගණන මෙතරම් යෑයි කියන්නට බැරි තරම්මය. අනෙක්‌ පසින් මෙම ජාති ප්‍රපාතය තුළ භවයෙන් භවය ඔබ වැටෙන්නේ ඒකාකාර ජීවිතයකින් නොවේ. නොයෙක්‌ වූ සත්ව වෙස්‌ ගෙන එහි වැටෙන ඔබ වරෙක ලෝකය තුළ අංග විකලයකු, කෙළතොලුවකු, දුගියකු, මගියකු මෙන්ම යාචකයකු, කොරකු හෝ අන්ධයකුදු වන්නට බොහෝ සෙයින්ම ඉඩ තිබෙන්නේමය. මේ හැම සංසාරික තිළිණයක්‌ම ඔබට ලැබෙන්නේ සාංසාරය තුළ සැරි සරමින් ඔබ වැපිරූ බීජවලට අනුවය. එනම් ඔබම රැස්‌ කළ කර්මයන්ගේ අස්‌වැන්න ඔබ ලබන හැම උපතකදීම ඔබට නිසැකවම ලැබේ. ස්‌වාභාවික පරිසරයේ ඇති මහා ප්‍රපාතයකට ඇදවැටීමෙන් සත්ත්වයකු සුළු කාලයක්‌ තුළ මහත්වූ දුකක්‌ විඳ හෝ මියයයි. ඒත් මේ ජාති දුඃඛය නමැති හෙළට වැටෙන සත්වයන් කොතෙක්‌ නම් කටුක දුක්‌ අත් විඳිනවාද? එහිදී ඔවුනට ලැබෙන කර්ම නීතියේ දඬුවමම කොතෙක්‌ නම් තියුණද? උපත නමැති බියකරු හෙළෙහි වැටී ජීවත්වන කාලය තුළදී එයින් බේරී පලා යැමට කිසිවෙකුටත් නොහැකිය. අනෙක්‌ අතින් ඒ ඒ කර්මය විසින් සත්වයාට ලබාදෙන දඬුවම්ද පුදුමය. අනේකකාර භයංකාරත්වයන්ගෙන් යුතු ය. ඇඟ ලොමුඩැහැගන්වනු සමත්ය. 

මේ කතා පුවත මඳක්‌ කියවා බලන්න. මෙය කෝනාගම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවූ ප්‍රවෘත්තියකි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයද එදා බොදු සිව් පිරිසෙන් සමන්විත වී තිබිණි. ඒ අතර වූ එක්‌ භික්‌ෂුණියක අර්හත් බව ලබා සංසාර දුකින් සදහටම අතමිදී සිටියහ. දිනක්‌ උන්වහන්සේ තවත් භික්‌ෂුණියක සමග බෝමළුවක්‌ හරහා ගමන් වඩිමින් සිටියහ. පසුපසින් ගමන් කළ ඒ භික්‌ෂුණිය තවමත් සිටියේ පුහුදුන් තත්ත්වයේය. අර්හත් භික්‌ෂුණින් වහන්සේගෙන් එක්‌වරම ගිලිහුණේ කිවිසුමකි. එයින් කෙළ බිඳිත්තක්‌ ගිලිහී බෝමළුවට වැටුණේය. ඒ දුටු පුහුදුන් භික්‌ෂුණියගේ කෝපය ඇවිස්‌සිණ. ඈ එතැනින් නතර වූයේ නැත. බෝමළුවෙහි කෙළ ගැසූ මේ ගණිකාව කවුරුන්දැයි ඈ ගුගුලාය. 

රහත් භික්‌ෂුණියට එය ඇසුණත් ඒ අනන්ත උතුම් රහත් බව නිසාම උන්වහන්සේ එය නෑසුණු තරම් වී. කාලය හෙමි හෙමින් ගලා ගියේය. අර්හත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පා වදාළහ. පුහුදුන් භික්‌ෂුණිය මරණයට පත්වී කෙළින්ම ගියේ නිරයටය. එහි පමණ කළ නොහැකි කාලයක්‌ නිරාදුක්‌ විඳ ඇය අවසන මිනිස්‌ ලොව උපත ලද්දාය. ඇය එලෙසින් මිනිස්‌ ලොව උපන්නේද සාමාන්‍ය තත්ත්වයකින් නොවේ. උසස්‌ම පවුලක උපත ලද ඈට අතිශය සොඳුරු රූ සපුවක්‌ද ලැබී තිබිණ. එහෙත් ඇයට කවරදාකවත් විවාහ ජීවිතයකට පිවිසී සොම්නසින් ජීවත්වන්නට ලැබුණේම නැත. කර්මයක මහත නම් ඇයට සිතුණේම ගණිකාවක සේ වරදෙහි බැඳෙමින් ජීවත්වන්නටමය. එතැන් පටන් ඇය ලැබූ මිනිස්‌ ජීවිත බොහොමයකදී ඇයට උරුම වූ ඉරණම වූයේ එයයි. බලන්න 'මේ ගණිකාව' මෙය එක්‌ වචනයක්‌ පමණි. එයින් ලැබුණු දුක කොතරම් ඇය සොය සොයා භවයෙන් භවය ලුහුබැඳ ගියාද? 

ජාතිය නමැති භයංකර ප්‍රපාතයට වැටී සිටින ඔබ අතින්ද මෙබඳු අකුසල් සිදුවී නැතැයි කියන්නට බැරිය. එසේ සිදුවී නැත්නම් ඔබට නිරාමිස සතුටක්‌ ලැබිය හැකිය. එමෙන්ම ඔබේ සංසාර ගමන කෙටි වන්නේද එවන් තත්ත්වයක ඔබ සිටින්නේ නම් පමණකි.

ජාතිය නමැති ප්‍රපාතයට ඇදවැටීමෙන් මේ ඔබ මුහුණදෙන සාංසාරික භයංකාරත්වයේ එක්‌ පැත්තක්‌ පමණකි. තවත් කොතෙක්‌ නම් එබඳු වූ පැතිකඩ තිබේද? ඒ ජාත්‍යාදී දුකින් ගහන ප්‍රපාතයට නිබඳ ඇදවැටෙන ඔබට ලෝකය තුළ ඇති ඔබ කැමැති ඕනෑම දෙයක්‌ ඔබට ලබාගත හැකිද? ඔබ ප්‍රිය උපදවන කෙතරම් නම් දැ මේ විසිතුරු මායාවන්ගෙන් පිරී ගිය ලොව තුළ තිබේද? බොහෝවිට ලොව උපදින ඔබ රූපරාගයෙක්‌ මත්වී ජීවත්වෙයි. ඒ අනුව ඔබ ඒ ඒ රූප ලබා ගන්නට කොතෙක්‌ නම් වෙර දරනවාද? 

එතෙකුදු වුවත් එයින් පරාජයට පත්ව ඔබ ශෝකයෙන් උමතු බවට පත්වෙයි. නිරන්තරයෙන් දැවෙන්නට පටන් ගනී. බුදුපියාණන් වහන්සේ පරිදාහ දුක නමින් සදෙසා වදාළේ මේ දුකමය. සාංසාරික අනාථ බව නිසා ජාතිය නමැති ප්‍රපාතයට ඇදවැටෙන ඔබ සොයා භවයෙන් භවය පැමිණෙන මේ දුක ඇත්තටම ඇවිලෙන මහා ගිනි කඳකට වඩා දැඩි නොවේද? එනම් එබඳු ගිනි කඳකට හසුවුවහොත් ඒ තෙම දැවී යන්නේ එක්‌ වරක්‌ පමණක්‌ය. එතෙකුදු වුවත් මේ පරිදාහ දුකින් ඔබේ මුළු ජීවනයම දහස්‌ සහස්‌ සුවහස්‌ වර දැවී නොයන්නේද?

එහෙයින් බුදුපියාණන් වහන්සේ වදාළේ සත්ත්වයා නිරන්තරයෙන් ඇදවැටෙන ජාතිය නැතහොත් ඉපදීම නමැති භයංකාර ප්‍රපාතය තරම් තවත් ප්‍රපාතයක්‌ මේ විශ්ව ධාතුවෙහිම නැති බවයි. මෙබැවින් ඔබලාට මේ මහා සංසාර අගාධයෙන් ගොඩනැඟී ගත හැක්‌කේ එහි ඇති බිය හා දුකම ගවේෂණය කිරීමෙනි. ඒ උදෙසා ඔබ කළ යුත්තේ සංසාර ජීවිතය තුළින් ආශ්වාදය සෙවීම නොවේ. ඒ ආශ්වාදය තුළ වන ආදීනවය සෙවීමයි. එහිලා ඔබගේ මසැස පමණක්‌ නොව සිතද තියුණුව මෙහෙයවන්න. එසේ වන්නේ නම් භයතු පට්‌ඨාන ඥනය ලැබීම ඔස්‌සේ මේ හිස්‌ම හිස්‌ තුච්ඡ සංසාර දුකින් ඔබට ඉක්‌මනින්ම අතමිදෙන්නට හැකිවනවා ඇත.

දුර්ලභ මිනිස්‌ භවයෙන් අනුන්ට කඹුරනවාද?

පූජ්‍ය ආචාර්ය 
බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

මෙම උතුම් මිනිස්‌ භවය මෙලොව වසන අප වැඩි දෙනෙක්‌ ගෙවන්නේ ඉතා දුකසේය. එසේම බලවත් දුක්‌ඛ සන්තාපයකින්ය. ඒ පිළිබඳව සිතන විට පෙනී යන්නේ පරණ ණයක්‌ වැල් පොලියක්‌ සමග ගෙවන ආකාරයෙන් අප මෙම භවයේත් කළ අතීත අකුසල් ගෙවා දමන බවය. එක්‌තරා මහා විද්‍යාලයක දේශනයකදී පාසල් දරුවන්ගෙන් මා ඇසූ ප්‍රශ්නයක්‌ නම් දරුවනේ ඔබලා වැඩි දිනක්‌ ගතකරන්නේ සතුටින්ද? දුකින්ද? කියායි. එම අවස්‌ථාවේ සියලුදෙනාම කෑගසා කීවේ අසතුටින් සිටිනා බවයි. ඇත්තෙන්ම එය තමා සත්‍යය. ඒත් පුදුමයට පත්වූ මා පෙන්වාදුන්නේ මාගේ ජීවිතයේ සතුටුම කාලය පාසල් කාලය බවය. මෙම අසරණ දරුවන් පාසල් දිවිය අවසන්ව වැඩිහිටියන් වූ විට මුහුණ පෑමට සිදුවන දුක්‌ඛ දෝමනස්‌සයන් නිසා ඔවුනට සිතේවි තම පාසල් දිවිය තමයි සාපේක්‌ෂව හොඳම සතුටු කාලය බව.

කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ පහදාදුන් දුක්‌ඛ සත්‍යය එයයි. මත්වතුර, මත්ද්‍රව්‍ය ගන්නා අය සමග පැවැත්වූ සමීක්‌ෂණවලදී පෙනී ගියේ එම අය තාවකාලික සතුටු විනෝදාස්‌වාදයක්‌ ලැබීමට පියවි මිනිස්‌ ලොවේ දුක්‌ඛ වේදනාව අමතක කිරීමට එසේ ඇබ්බැහිවූ බවයි. එහෙත් එම හුදු තාවකාලික සතුට සදාකාලික විනාශයක්‌ බව ඔවුන් තේරුම් නොගන්නා බවයි අපහට හැඟීගියේ. මේ මිනිස්‌ ලොවේ පෙර කළ පව් කෙලවරක්‌ නොමැතිව ගෙවමින් යන බව සිතාගැනුම යහපති. එම නිසා සෝද සෝදා යළි මඩේ දමන්නාක්‌ මෙන් අවම වශයෙන් කළ පව් (අතීතය) ගෙවන ගමන් අලුතින් පව් (ණය) රැස්‌කර නොගෙන ජීවත්වීමට අප කවුරුත් වගබලා ගත යුතුයි.

මාංශ අනුභවයෙන්, සතුන් මැරීමට අනුබලදීමේ ප්‍රතිවිපාක ඔබ මරණයට පත්වන අවස්‌ථාවේ තනිව හුදකලාව මරණ රකුසා සමග පරදින සටනක්‌ කරන විට ඔබට යස රඟේට තේරුම් යාවි. එහෙත් එය මොනතරම් දුක්‌කන්දරාවක්‌ද? යනු අන්‍යයන්ට තේරුම්කරදීමට ඔබට හෝ මාහට කිසිදා අවස්‌ථාවක්‌ නොලැබෙනු ඇත.

මුළු සෞරග්‍රහ මණ්‌ඩලයම එකම ගොඩකට ගෙන මුංපියලි තරමට වෙන්කර ගණනය කළත් මෙම අග මුල මැද නොමැති අනන්ත සංසාරයේ අතීතයේ ඔබ අප මියගිය වාර ගණන එම සංඛ්‍යාවටත් වඩා වැඩි බව ශ්‍රී මුඛ දේශනාවල සඳහන්ය.

බුද්ධෝත්පාද කාලයක ඉපදී, අතිදුර්ලභ මිනිසත් බවක්‌ ලැබී සද්ධර්ම ශ්‍රවණයට ඇති සියලුම බාධක දුරලා ප්‍රත්‍යන්ත නොවන පතිරූප දේශයක ඉපදී අවුරුදු හැටහැත්තෑවක්‌ වැනි කෙටි ජීවිත කාල පරාසයක අප සියලු දෙනා මේ ගෙවන්නේ අතීත භව වල අප විසින්ම කරන ලද අපරාපරීය, උප්පඡ්ජවේදනීය වශයෙන් ධර්මයේ හැඳින්වෙන අකුසල කර්මවල ශේෂ වූ ඵල විපාකයි.

මේ භවයේ ගෙවා නිමකරලීමට නොහැකි වුවහොත් ඒවා අනාගත භව වලදී නොයෙක්‌ වේෂයෙන් තමන් කරා ඒම අනිවාර්ය වේ. සමාජ උදාහරණයක්‌ වශයෙන් ගතහොත් සමාන කළ හැක්‌කේ පරණ ණය පොලිය සමග ගෙවීමට සිදුවීමයි. ඉදින් සැදැහැවතුනි, ඒ අතරතුර මේ භවයේදීත් තෘෂ්ණාව හේතුකොට ගෙන අප වැඩිපුර කරගන්නේත් ඉදිරි භවවලදී යහපත්සේ ගෙවීමට හැකිවන කුසල නොව තව තවත් වේදනාකාරී අකුසලකර්ම රැස්‌ කිරීමයි.

අද කෙරෙන්නේ අකුසලයන්මය. මුදල් යොදවා කරගන්නා අකුසලයන්මය. උදාහරණ වශයෙන් සම්බුදුපියාණන් අනුමත නොකළ එහෙත් වර්තමානයේ ගජරාමෙට සිදුකරන සතුන්ගේ මරණවලට දායකවෙමින් මාංශ පූජා කරමින්, නැටුම්, ගැයුම්, වැයුම් (බෙර) පෙරහැර පවත්වමින් කරන අකුසල් මූලික පිං නොව පව්කන්දරාවන්ය. අනුවණ බොළඳ පුද්ගලයන් සිතන්නේ වැය කරන මුදල් වැඩිවන්න වැඩිවන්න මීළඟ භවයේදී තව තව ධනය සහිත සිටුවරුන් වී ඉපදෙන බවයි. බණ දේශනාවලදීත් කියවෙන්නේ එයය. එය තෘෂ්ණාව වැඩීමක්‌ බව කියන සහ අසන දෙපාර්ශ්වයම නොදනී. ඇත්තවශයෙන්ම එය කාම තණ්‌හා, භව තණ්‌හා, විභව තණ්‌හාවලින් එක්‌ තණ්‌හාවක්‌ වන භව තණ්‌හාව වැඩීමය.

මේ අනුව මුදල් නොමැති අයට නිවනද නොමැත. කඨින පිංකම්ද නොමැත. දෙව්, බඹලොවද නොමැත. මෙයද අප සම්බුදුපියාණන් දෙසූ අල්පේච්ඡ දහම.

මෙවන් මෝහාන්ධකාරයක්‌ තවත් කොහිද? හැඳ පැළඳ සිටින සිල් වස්‌ත්‍රයකින් හෝ සිවුරු කඩකින් අකුසල කර්ම ඵලදීම වලකාගත හැකි නොවේ. විපාකයෙන් සැඟවී සිටිය හැකි ස්‌ථානයක්‌ද මුළු විශ්වයේම නැත. එය දහමේ සඳහන්ය.

සුපිංවතුනි, ශ්‍රී මුඛ බුදුදහම යනු ඉතා අල්පේච්ඡ ජීවිත ගත කරමින් සසර කතරින් බේරීමට ඇති ඒකායන මාර්ගය මිස සෝබනව හැසිරිය යුතු දහමක්‌ නොවේ. අඳුරින් මිදෙමින් කුසල් රැස්‌කර ගැනුමට සිත නොනැමෙන්නේ නම් අඩු වශයෙන් අකුසල් රැස්‌කර ගැනුමෙන් හෝ මිදෙන්න, ප්‍රඥවන්තවන්න. අවම වශයෙන් පරණ අකුසල් හෙවත් පොලිය සහිත පරණ ණය ගෙවීමට හෙවත් ගොනාපසුපස එන කරත්තයේ වියගහ ගලවා දැමීමටවත් දුක සේ ලැබූ මේ මිනිස්‌ භවයේදී වාසනාවන්ත වන්න. නුවණ මෙහෙයවන්න. 

තෙරුවන් සරණයි

උපෝසථ අෂ්ටාංගික ශීලය සමාදන් විය යුත්තේ ය

ලොව්තුරා තථාගතයන් වහන්සේ සත්වයා දුකින් දුකට පත්වන ආකාරය සහ දුකට පත්වන සත්වයා දුකින් මුදාලීමට අවශ්‍ය කාරනා දේශනා කොට වදාරන ලද්දේ තමන් වහන්සේ බුදු නුවණින් සත්‍ය වශයෙන්ම දැන ගැනීමෙන් අනතුරුවය. ලෙඩදුක් වීමෙන්, මරණයට පත්වීමෙන් අවශ්‍ය ප්‍රමාණයට ධනය නොලැබීමෙන්, වාසය කිරීමට සුදුසු නිවහනක් නොලැබීමෙන්, ඉෂ්ටවේ යයි සිතා සිටින දෑ ඉෂ්ඨ නොවීමෙන් මනුෂ්‍යයන් දුකට පත්ව සිටින අතර, මේ ආකාර දුකින් මිදීමට නොයෙකුත් ආකාරයේ පුද පූජා, කන්නලව් ආදියට බෞද්ධයන් යොමුවීම මේ වකවානුවේ දී සුලභව අසන්නට, දකින්නට ලැබෙන කරුණුය.
පංචසීලය ආරක්ෂා කිරීමෙන්, සිල් ආරක්ෂා කරන්නා හට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ධන ධාන්‍ය ලැබෙන බවත්, කීර්තිමත් පුද්ගලයෙක් වන බවත් නොපැකිලිව ඕනෑම සභාවක ඉදිරියේ දී තම අදහස් නිර්භයව ප්‍රකාශ කිරීමට අවශ්‍ය අධිෂ්ඨාන ශක්තියක් ඇති පුද්ගලයෙක් වන බවත්, මරණාසන්නයේ දී සිහිමුලා නොවී මරණයට පත්වන බවත්, මරණින් මතු සුගති ලෝකවල උපදින බවත්, මහා පරිනිර්වාණ සූත්‍රයේ දී බුදු හිමියන් විසින් මනාව පැහැදිලි කොට දී ඇත. මේ අනුව මෙලොව සැප විපාක ලබාදෙන කුසලයන් පන්සිල් රැකීමෙන් ලබාගත හකි බව ඥානවන්ත බෞද්ධයෙකුට තේරුම් ගත හැක.
නිවන් මග සතර මග, සතර ඵල, පිළිවෙලින් අවබෝධ කරගත යුතු ය. බෞද්ධයන් වශයෙන් මෙලොව සැප විපාක ලබාගනිමින් කොතෙක් මෙලොව සැප වින්දත්, අවසානයේ දී මිය පරලොව ගොස් නැවත නැවත ඉපදීමේ දුක්වලින් මිදීමට පන්සිල් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් නොවන බව දැන ගත යුතු ය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් මෙම නැවත ඉපදීම නැති කළයුතු ආකාරයේ පින්කම් කිරීමට බෞද්ධයන් අධිෂ්ඨාන කරගත යුතු බවයි. මේ අනුව නැවත ඉපදීම නැතිකළ මහරහත් වහන්සේලා විසින් ජීවිතාන්තය දක්වා ආරක්ෂා කළ “ආර්ය කාන්ත සීලය” සමාදන් විය යුතුමය. මෙම සිල්පද ආරක්ෂා කිරීම නිසා ලැබෙන ආනිශංස දැනගෙන ඒ අනුව බෞද්ධයෙක් වශයෙන් ලබා ගත යුතු ඒ නැවත ඉපදීම නැති කිරීමට අවශ්‍ය මූලික කරුණු, අප සම්පාදනය කර ගත යුතු ය.
උපෝසථ අෂ්ටාංග සීලය, බොහෝ බෞද්ධයන් දින භාගයකට සීමා කරගෙන ඇති අතර මෙයින් ශීලය සම්පූර්ණ නොවන බව එම බෞද්ධයන් නොදන්නා කරුණකි. මෙය සිදුව ඇත්තේ සිල් පද වල ඇති කරුණු, පාලි භාෂාවෙන් පමණක් කියවීම නිසා බව පැහැදිලිය. මේ නිසා උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන් වීමේ දී සිල්පද වල සඳහන් කරුණු සිංහල භාෂාවෙන් කියවීමෙන් තමන්ගේ ශීලය පිළිබඳ දැනුම දියුණුකරගෙන බෞද්ධයන් බලාපොරොත්තු වන අඩුම තරමින් නැවත ඉපදීම භව හතකටවත් සීමා කිරීම කර ගැනීම වන සෝවාන් තත්ත්වයට පත්වීමට අවශ්‍ය කරුණු මෙම සිල් ආරක්ෂා කිරීමෙන් ලබා ගැනීමට උත්සාහවන්ත විය යුතු යි. උපෝසථ අෂ්ටාංග සීලය සිංහල භාෂාවෙන් සමාදන් වීමේ දී පහත ඇති වෙන ආකාරයට එය ප්‍රකාශ කිරීමෙන් සිල් පදවල අඩංගු කරුණු තේරුම් ගැනීමට, හා ඒවා ආරක්ෂා කිරීමට අප පෙළෙඹෙනු ඇත.
බුදුරජාණන් වහන්සේගේ සිතෙහි ආශාව, තරහ සහ මෝහ සිතිවිලි නොඉපදෙන හෙයින් ද, නැවත විපාක දෙන කම් රැස් නොකරන හෙයින් ද, රහසින්වත් පව් නොකරන හෙයින් ද සියලු දෙවියන්ගේ සහ මනුෂ්‍යයන්ගේ පූජා සත්කාරවලට සුදුසු වන හෙයින් ද, දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යයන් තමන් වහන්සේ විසින් අවබෝධ කළාවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
දෙවනුව ද මාගේ නමස්කාරය වේවා. 
තෙවනුවද මාගේ නමස්කාරය වේවා.
නැවත හටගැනීම් නැතිකර ගැනීමට පිළිපැදිය යුතු කරුණු ඇතුළත් ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළ බුදුරජාණන් වහන්සේ සරණ යමි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැවත ඉපදීම නැති කිරීමට පිළිපැදිය යුතු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ග සරණ යමි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් ධර්ම කරුණු පිළිපැදීමෙන් නැවත ඉපදීම නැතිකළ මහා සංඝරත්නය සරණ යමි. දෙවනුවද? බුදුරජාණන් වහන්සේ සරණ යමි, ධර්මය සරණ යමි, සංඝරත්නය සරණ යමි, තෙවනුවද මම සරණ යමි.
1. මහ රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, සතුන්ට හිංසා කිරීමෙන් සහ සත්ව ඝාතනයෙන් වැළක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී, මහරහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහ රහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
2. මහ රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, නොදුන්දෙය ගැනීමෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසිහතර තුළ දී, මහ රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
3. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, ස්ත්‍රී, පුරුෂයන්ගේ ලාමක හැසිරීම්වලින් වෙන්ව වාසය කළහ. මම ද මේ පැය විසිහතර තුළ දී මහරහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
4. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, බොරු කීමෙන්, කේලාම් කීමෙන් පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී මහ රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන දෙයම කරමි.
5. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, මනස විකෘති කරන්නාවූ මත් ද්‍රව්‍ය පානයෙන් හා පරිහරණයෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසිහතර තුළ දී ද, මහරහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
6. මහ රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, ඉර අවරට යාමේ මොහොතේ සිට නැවත ඉර නැගීම දක්වා කාලය තුළ ආහාර ගැනීමෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී, මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
7. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, අකුශල පක්ෂයට නැඹුරුවන, නැටීම්, ගැයීම්, වැයීම් කිරීමෙන්ද, කරවීමෙන්ද, බැලීමෙන්ද, ඇසීමෙන් ද, මල්, සුවඳ විලවුන් ආදියෙන් ශරීරය සුවඳ කිරීමෙන්ද, වර්ණවත් කිරීමෙන් ද, ශරීරයෙහි හා ඇඳුම්වල අඩුතැන් පුරවා සැරසීමෙන්ද වැළැක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී, මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
8. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, රියන් එකහමාරට වැඩිවූ උස්, අසුන් සහ සම්මත මහා ආසන පරිභෝජනයෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසිහතර තුළ දී, මහ රහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
මේ සමඟ මේ සිල් ආරක්ෂා කරන පැය විසිහතර තුළ දී නොකළ යුතු දෙතිස් කථාවක් ද දක්වා ඇත.
ඉර අවරට ගොස් නැවත ඉර නැගීම අතර කාලය තුළ දී පහත සඳහන් පානයන් පමණක් ගැනීම සිල්පද ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ආහාරයක් වේ.
අනුමත අෂ්ඨ පානයන්
1. අඹ යුෂ පානය 
2. ජම්බු යුෂ පානය 
3. ඇට කෙසෙල් යුෂ පානය 
4. වෙනත් කෙසෙල් යුෂ පානය 
5. අමු මිදි යුෂ පානය 
6. වියළි මිදි යුෂ පානය 
7. හෝලු ගෙඩි යුෂ පානය 
8. මසන් ගෙඩි යුෂ පානය

මේ අනුව මසකට, සතර පොහොය දිනවලදී මේ ආකාරයෙන් ඉහත ශීලය සම්පූර්ණ කරන බෞද්ධයාට අනිවාර්යයෙන්ම මෙම ගෞතම බුද්ධ ශාසනයෙන් ලබාගත හැකි ඉහළම ලාභය ලබාගැනීමට හැකිවේවා.
තෙරුවන් සරණයි!
එල්.ආර්. ආරියනන්ද

භාවනාව යනු කුමක්ද?

බුදු දහමේ ප්‍රායෝගික හරය ගැබ්වී ඇත්තේ භාවනාවෙහිය. භාවනාව යන වචනයේ මූලික අර්ථය වැඩීම යන්නයි. එනම් සිතේ වැඩීමයි. සිත යම් අරමුණක පිහිටුවා සංවර්ධනය කිරීම මෙහි කාර්යයි.
වැඩීම යනු “භාවනා” යන පාලි වචනයේ අදහසයි. සිතේ සමාධිය හෙවත් එකඟ බව වැඩීම වේ. එය සමථ සහ විපස්සනා වශයෙන් දෙවැදෑරුම්වේ. “භාවේතිති භාවනා භාවේති ඒතායාති භාවනා” හිත හදා ගැනීම හිත වර්ධනය කර ගැනීම භාවනාව යනුවෙන්ද හඳුන්වනු ලැබේ.
සමථ භාවනාව බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වන්නට බොහෝ පෙරදි භාරතය හෙවත් ඉන්දියාවේත් යවන ලෝකය හෙවත් ගී‍්‍රසියේත්, චීනයේත්, ඇතැම් බටහිර රටවලත් පැවතින. ථෙරවාද ධර්මයේ දැක්වෙන පරිදි සියලු භාවනා ක්‍රම සමථ සහ විදර්ශනා වශයෙන් කොටස් දෙකකට බෙදේ. සමථ භාවනා මගින් කෙලෙස් යටපත් වන අතර, ධ්‍යාන නමින් හැඳින්වෙන තහවුරු වූ සිත එකඟ බව ලබයි. කුසල සිතේ එකඟ බව මෙහි සමාධිය වේ. නමුත් විදර්ශනා භාවනාවෙන් කෙලෙසුන් යටපත්වීමද ස¼ිදීම ද එයින් නිර්වාණය අවබෝධ කිරීමද සිදුවේ. ඇතැමෙකුට භාවනා කිරීම දුෂ්කර දෙයක් වනු ඇත්තේ ඔවුන් භාවනාවේ දී අත්හැරීම සිදු කරන ආකාරය ඉගෙන නොමැති බැවිනි.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං” සීලයෙහි පිහිටා සිතත් ප්‍රඥාවත් වැඩිය යුතුය යන දේශනාව අනුව භාවනාවේ අඩිතාලම සීලයයි. භාවනාවෙන් කෙරෙනුයේ සිත හා ප්‍රඥාව දියුණු කිරීමයි.
සීලය වැඩි දියුණු කර ගත යුතුය. සීලයෙන් භාවනාව ද භාවනාවෙන් ප්‍රඥාවද, ප්‍රඥාවෙන් සීලයද දියුණුවේ. භාවනාව මානසික වශයෙන් පමණක් නොව, මානසික හේතුන් මත ඇතිවන කායික අපහසුතාවයන් සම්බන්ධයෙන්ද සහනයක් ලබා ගත හැකි ක්‍රමයක් ලෙස අනුගමනය කළ හැකිය. තමන් කරන භාවනාව අන් හැම දෙයකටම වඩා උසස් දෙය හැටියට සලකා ගෙන ඉතා ගෞරවයෙන්, ඉතා ආදරයෙන් ඕනෑකමින් එය කළ යුතු ය. අත්හදා බැලීමට කියා හෝ පින් සිදු කර ගැනීමට කියා හෝ සසරට පුරුදුවීමටය කියා හෝ නොව අද අදම නිවන් දකින්නට භාවනා කරමිය යන අදහසින් ම භාවනා කිරීම උතුම් දෙයකි.
භාවනාමය කුසලය වනාහී කුසලයන් අතුරෙන් අග්‍ර වූ කුසලයයි.දාන සීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නොලැබීය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකිය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගයද භාවනාවමය. “චිත්තං සමෙතිති සමථො” සිත සන්සුන් කරන්නේ භාවනාවයි. සමථ භාවනාවට යොදා ගත හැකි අරමුණු හතළිහක් දක්වා තිබේ. එය කර්මස්ථාන හෙවත් කමහටන් යැයි කියනු ලැබේ. ඒවා නම්, දස කසින (10), දස අසුභ (10), දස අනුස්සති (10), බ්‍රහ්ම විහාර, (4), චතුරාරුප්ප (4), ආහරේ පටිකුල සඤ්ඤාව, සහ චතුධාතුවවත්තානය, යන අරමුණු හතළිස කර්මස්ථාන ලෙස හැඳින්වේ.
විදර්ශනා භාවනා ක්‍රමය තුළ සප්ත විශුද්ධියක් දක්වා ඇත. 1. ශීලය විශුද්ධිය, 2. චිත්ත විශුද්ධිය, 3. දෘෂ්ඨි විශුද්ධිය, 4. කාංක්ෂා විතරණ විශුද්ධිය, 5. මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධිය, 6. ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය සහ 7. ඥාන දර්ශන විශුද්ධිය යනුවෙනි.
මෑත භාගයේ ඉන්දියාවේ ජීවත් වූ දාර්ශනිකයෙකු වන ජේ. ක්‍රිෂ්ණ මූර්ති තුමා භාවනාව ගැන මෙසේ කියයි. “භාවනාව මෙලොවින් පැන යාමක් නොවේ. එය හුදෙකලා වී සැඟවී තමාම මැදි කරගෙන කරන ක්‍රියාවක් නොව ලෝකය හා එහි ධර්මතා ගැන තේරුම් ගැනීමකි. යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබා දෙන්නකි. තවද සතිපට්ඨාන සූත්‍රය භාවනාව සම්බන්ධව ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන පොදු වැඩ වලටත්, සතුටුවීම් හා අසහන වලටත්, කතා වලටත්, සිතිවිලි වලටත්, බුද්ධිමය කාර්ය වලටත් එය සම්බන්ධය.
බුදුදහමට අනුව භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම, නැත්නම් සිත දියුණු කිරීමයි. නිවැරදි ශ්‍රද්ධාව තුළින්, සිත කිලිටි කරන කෙලෙස් ධර්ම වලින් සිත මුදාගෙන පිරිසුදු කර, චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන හොඳ අධිෂ්ඨානයකින් යුතුව වීර්ය වඩා ප්‍රඥාව ඇති කර ගැනීම තුළින් ධර්මාවබෝධයට පත්වීම බුදුදහමේ පෙන්වා දෙන භාවනාව වේ.
එච්.එෆ්.එම්. කපිල ෆොන්සේකා

බුදුන්වහන්සේ වදාළ දහම් මඟ

හෝමාගම පුරාණ විහාරාධිකාරී, මාදෝවිට වජිර බුද්ධි හිමි

ක්‍රි.පූ. සවැනි සියවසේ ලොව පහළවූ අසම සම ශාස්‌තෘවරයා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ බව අවිවාදිතය. 

ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන්ද තිලොවග බුදුපියාණන් සැමරීම අප බුදුරදුන්ගේ 'අහරං' ගුණයට කරනු ලබන කදිම පූජෝපහාරයකි. මඡ්ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය වාර්තා කරන අන්දමට එකල සිටි ජනතාව ගමන් කළ යුතු, ගමන් කරන මාවත බුදුරදුන් පළමුව අවබෝධ කරගත් සේක.. පංචකාම සම්පත් වින්දනය කරමින් අධික සැප සම්පත් විහරණය කරමින් කාමසුඛල්ලිකානුයෝගය බහුල වශයෙන් බොහෝ දෙනෙක්‌ අනුගමනය කළහ. විමුක්‌තිය සොයමින් ක්‍රියා කළ තවත් පිරිසක්‌ එකල විසූ කීර්තිමත් නිගන්ඨ, තාපස, පරිබ්‍රාජක ආදී පිරිසගේ මෙහෙයවීමෙන් ගතට සිතට අධික කටුක දුක්‌ ගෙන දෙන විවිධ ව්‍රතවල, චර්යාවල නිරතවූ අතර, එය මූලික බුදුදහමේ 'අත්තකිලමථානුයෝගය' ලෙස අර්ථ දක්‌වා ඇත. මේවා සියල්ලම අන්තවාදී නිෂ්ඵල මාවත් ලෙස කල්පනා කළ ගෞතම බුදුරදුන් අන්තවලින් බැහැර මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළ යුතු බව දේශනා කළහ. විවිධ දෘෂ්ටිවලින් බැහැරව දාර්ශනික සිද්ධාන්ත ප්‍රත්‍යක්‍ෂ වන ලෙස කටයුතු කිරීම බුදුදහම අනුමත කර ඇත. (දිට්‌ඨිංච අනුපගම්ම සීලවා දස්‌සනේන සම්පන්නෝ) යන බුදුවදනින් එය ප්‍රත්‍යක්‍ෂ වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂා කේන්ද්‍ර කරගත් බුදුදහම සීලයෙන් සමාධියටද, ඒ දෙකෙන්ම ප්‍ර්‍රඥවට අනුගත වෙමින් ආර්ය මාවතට ප්‍රවිෂ්ට විය යුතු අතර, සත්‍යය ඒ අයුරින් වටහා ගැනීම බෙහෙවින් අගය කළ සේක.

ගෞතම බුදුරදුන් අනුගමනය කර වදාළ ආර්ය දර්ශනයට පදනම් වූ පර්යේෂණ ක්‍රම දෙකක්‌ පිළිබඳව අරියපරියේසන සූත්‍රයේ සඳහන් වේ.

1. අරිය පරියේෂණ 2. අනරිය පරියේෂණ

මෙම ක්‍රම දෙක අත්හදාළ නිසා තමන් අවබෝධ කරගෙන ප්‍රඥ ඇසින් ලොවට අනුගත විය යුතු දහම් මාවත කුමක්‌දැයි උන්වහන්සේ අවබෝධ කර ගත්හ. ත්‍රිපිටක සාහිත්‍ය පුරාම විද්‍යමාන වන්නේ බුදුරදුන් අනුමත කර වදාළ පර්යේෂණ ක්‍රම දෙකක්‌ විශිෂ්ට ප්‍රතිඵල බව අමතක නොකළ යුතුය.

බොහෝ පිරිසක්‌ අනරිය පර්යේෂණයේ නිරත වූහ. ගෘහස්‌ථ ජනයා පමණක්‌ නොව එකල විසූ විවිධ ආගමික මුනිවරුද, විවිධ තපස්‌ චරියා ඔස්‌සේ යොමුවී තිබුණේ ආරිය පරියේෂණය සඳහා බව සිහිපත් කළ යුතුය. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්‌ දොම්නස්‌වලට ගොදුරු වූ මිනිසා තවදුරටත් ඒවායේම ඇලෙමින් ගැලෙමින් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචඉන්ද්‍රියන් පිනවමින් පංච කාම සම්පත්වලටම ගිජුවී ඒවායේම නිරතව ක්‍රියාකිරීම, සෙවීම, ඒ තුළින්ම විමුක්‌තිය සෙවීම අනරිය පර්යේෂණයයි. එය ආර්ය උතුමන්ට සත්‍ය ගවේෂකයන්ට නුසුදුසු පිළිවෙත බව අප බුදුරදුන් කීපවරක්‌ දේශනාකොට වදාළ සේක. එසේ නම් මෙහිදී ආර්ය මාවත සොයන පින්වත් ගිහි-පැවිදි ජනතාවට වඩා වැදගත් වන්නේ අනරිය පර්යේෂණය නොව ආර්ය පර්යේෂණය බව ප්‍රත්‍යක්‍ෂ විය යුතුය.

පංචඉන්ද්‍රියන් පිනවීමේ ආදීනව දැක ඒවායෙන් මිදීම හෙවත් නිස්‌සරණය සෙවීමටත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවවලට නිරතුරුව ගොදුරුවන හේතුවන සාධක සොයා ඒවායෙන් වැලැක්‌වීමේ, බැහැරවීමේ ක්‍රමවේදය සොයා බැලීම සසර දුකින් නිදහස්‌ වන ආකාරය ගවේෂණය කිරීමත් සසර දුක අවබෝධ පිණිස ඉවහල්වන ක්‍රමවේද සොයා බැලීමත් ආර්ය පරියේෂණය නම් වේ. බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධිය, බෝධි ඥනය අවබෝධ කර ගත් උත්තම පිරිස ආර්ය පරියේෂණයේ නිරතවූවෝ වෙති. ශ්‍රී සිද්ධාර්ථ කුමාරයන් පවා මුල් කාලයේ ආර්ය පරියේෂණය සොයමින් එකල ප්‍රසිද්ධ ධ්‍යානලාභී මුනිවරුන් ලෙස ප්‍රසිද්ධව සිටි ආලාරකාලාම, උද්දකාරාම පුත්‍ර වැනි පිරිස්‌ සොයා ඔවුන්ගේ දහම් මාවත ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ ආර්ය - අනාර්ය දෙක සොයා බැලීම සොයා ගැනීම ඉතාම බැරෑරුම් දුෂ්කර කාර්යයක්‌ බව සිහිපත් කරමිනි.

තමන් ඉතා අමාරුවෙන් සොයාගත් අවබෝධ කරගත් ධර්මය ආර්ය පරියේෂණය ඉතාම සියුම් බවත්, අවබෝධ කරගැනීම අමාරු දුෂ්කර කාර්යයක්‌ බවත් තර්කයට විෂය නොවන බවත් බුද්ධියට ගෝචර බවත්, ප්‍රඥවන්තයන්ගේ ප්‍රඥ නෙතට පෙනෙන බවත්, විෂය වන බවත් මඡ්ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය සහිත තවත් සූත්‍ර ගණනාවක සඳහන් වේ. ගෞතම බුදුරදුන්ගේ ධර්මය හෙවත් සම්බුදු දහම තාම නිර්මලය ලොව ඇති තතු මැනවින් ප්‍රත්‍යක්‍ෂ, ඒ අනුව වදාළ පිලිවෙතක්‌ බුදුදහම තුළ අන්තර්ගත වේ. දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් අභිවර්ධනය වන සේ මෙම දහම් මාවත පනවා ඇත. දහම් දෙසීමේදී පවා දාන, කථා, සීල කථා, ස්‌වර්ග කථා, කාම වස්‌තුන්ගේ ආදීනවය, පංච ඉන්ද්‍රියන් පිනවීමෙන් වැළකීම, නික්‌මීමේ ආනිසංස ක්‍රමානුකූව දේශනා කරමින් නිවැරැදි ක්‍රම ඔස්‌සේ මනා ලෙස මෙම දහම් මාවත දේශනා කොට ඇත. 'ස්‌වාක්‌ඛාත' යන දහම් ගුණ අර්ථය ප්‍රකට වන ලෙසම සම්බුදු දහම දේශනාකොට ඇත.

ත්‍රිපිටකාගත බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ සම්බුදු දහම 'ආදී කල්‍යාණං, මඡ්ජිධ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං' ආදී වශයෙනි. මුල, මැද, අග යහපත් මෙම දහම් මාවතේ ගමන් කිරීම බ්‍රහ්මචරියාවේ නිරතවීමකි. විමුක්‌ති සාධනයට මාවත විවර කර ගැනීමකි. එකම දුක වූ සසර දුකද එකම බර වූ සසර බරද නිදහස්‌ කර ගැනීමකි. බ්‍රහ්මචරියාව යනු ශේ්‍රෂ්ඨ හැසිරීම වේ. ශ්‍රේෂ්ඨ චරියාව වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂා පූර්ණය වන මනා ක්‍රමවේදය වේ.

සම්බුදු දහම ගැන සඳහන් ගුණ සය අතර 'ඒහි පස්‌සික' ගුණය ඉතා වැදගත් වේ. 'එන්න බලන්න' දකිනන් මෙම ශ්‍රේෂ්ඨ ධර්මය වළාකුළුවලින් නික්‌මුණු පූර්ණ චන්ද්‍ර මණ්‌ඩලය මෙන්' යෑයි එය අටුවාචාරීහු අර්ථ විවරණය කර ඇත. (විගත වලාහකේ අකාසේ පුණ්‌ණ චන්ද මණ්‌ඩලෝ විය) යනුවෙන් එය සඳහන් වේ. සම්බුදු දහම ප්‍රඥවන්තයන් සඳහා දේශිත ධර්මයකි. ප්‍රඥවටම විෂය වූවකි. රාග, දෝෂ, මෝහාදී අකුසල මූලධර්මවලට ඇලෙමින් කම්රසයම පුබුදු කරවන මනසට මෙම ශේ්‍ෂ්ඨ දහම රුචි නොවේ. විරාගී චරණය සහ විරාගී දර්ශනය පදනම් කරගත් සම්බුදු දහම තුළ කුසල මූලධර්ම ඉස්‌මතු වන සාධකවලට වැඩි තැනක්‌ හිමිවේ. අකුසල මූලධර්ම නිසා පුද්ගල මනස පිරිහේ. කුසල මූලධර්ම නිසා පුද්ගල චර්යාව සංවර්ධනය වේ. මේ නිසා අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලධර්ම ගැන බුදුදහමේ විශේෂ තැනක්‌ හිමිවේ.

කුසල මූලධර්ම නිසා සම්මා දිට්‌ඨිය උදාවේ. නිවැරැදි දැකීම නිවැරැදි දර්ශනය පිණිස උපකාරී වේ. බුද්ධ කාලීන සමාජයේ බොහෝ පිරිස්‌ මිච්ඡා දෘෂ්ටිය හෙවත් වැරැදි දැකීමට අනුකූලව ජීවත්වූ නිසා ගෞතම බුදුරදුන්ට පළමු ආර්ය මාවත ලෙස සම්මා දිට්‌ඨිය ගැන පහදාදීමට සිදුවිය. වැරැදි දැකීම නිසා වැරැදි සිතුම් පැතුම් නිසා අනාර්ය පර්යේෂණයම මූලික කරගෙන ජිවත්වූ පිරිස නිවැරැදි දැක්‌ම ඔස්‌සේ ආර්ය පර්යේෂණය පිළිබඳ ග්‍රහණය කරවීමට හැකි විය. සම්මා දිට්‌ඨිය ත්‍රිශික්‌ෂාවේ මූලික පදනම වූ ප්‍රඥවේ සුවිශේෂී අංගය විය. ප්‍රඥා දර්ශනය කරා ගමන් කරවීම ආර්ය පර්යේෂණය පදනම වේ. බුද්ධිය විකසිත කිරීම හා බුද්ධියේ අග්‍රඵලය සම්මා සම්බුද්ධත්වයට පත්වීම බව අමතක නොකළ යුතුය. මෙම මනුෂ්‍ය ඉතිහාසයේ උත්තරීතර ප්‍රඥ දර්ශකය සම්බුදු රදුන් ලබා ගත් අවබෝධකරගත් සම්මා සම්බුද්ධත්වය බව ලෝවැසි බුද්ධිමත් ප්‍රජාව අද පිළිගෙන ඇත.

බුදුන් වදාළ දහම් මාවත නෛර්යාණික වේ. එය වරින් වර කලින් කල වෙනස්‌ නොවේ. ත්‍රිලක්‌ෂණ ධර්මය මුළු ලොවටම උරුමය සජීව, අජීව සියල්ල වෙනස්‌ වේ. අනිත්‍ය වේ. දුක ඒවා තුළ අන්තර්ගත වේ. සදාකාලික වශයෙන් ගත හැකි නොවේ. ඒ නිසා අනාත්ම වේ. මෙම ත්‍රිලක්‌ෂණ ධර්මය පදනම් කරගත් සම්බුදු දහම තුළ දේශනා කර ඇත්තේ ලොව පවතින ස්‌වභාවික තත්ත්වයයි. එය පරමාර්ථය සත්‍යයට විෂය වූවකි. ධර්මය කියවා, ශ්‍රවනය කරවා, සාකච්ඡා කරවා යළි යළිත් ධර්මය ප්‍රගුණ කර අවබෝධ කර ගත යුතුය. එක දිනකින් මාසයකින්, වර්ෂයකින් සම්බුදු දහම වටහාගත නොහැකිය. ආර්ය මාවත ගැඹුරුය. එහි හරය අප වටහාගත යුතුය. ශ්‍රද්ධාව උපදවා ගත යුතුය. එය ප්‍රඥව සමග බද්ධවන ආකාරවතී ශ්‍රද්ධාව කරා ගමන් කරවිය යුතුය. වහාම ධර්මය අවබෝධ කරගත හැකි උද්ඝටිතඥ පිරිස්‌ මේ කාලයේ දුර්ලභය. සම්බුදු දහම් මඟකට, ජීවිතයට අත්වැලක්‌ කරගත් තරමට දිනෙන් දින ධර්ම ඥනය සංවර්ධනය කර ගත හැකිය.

චතුරාර්ය සත්‍යය සම්බුදු දහමේ පදනම වේ. දුක, දුකට හේතුව වූ තෘෂ්ණාව, දුකින් මිදීම නම් වූ නිවන සඳහා පිළිවෙත් පිරිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය එහි අන්තර්ගත වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂාව අරිඅටඟිමගේ පදනමයි. ඒ තුළ සංසාර හා නිර්වාණය පිළිබඳ වූ ආර්ය පර්යේෂණ මාවත විවර කර ඇත. පංචසීල ප්‍රතිපදාව දියුණු කර ගනිමින් අල්පේච්ඡ සුභර සැහැල්ලු ජීවිත මාවතකට අප නිරතුරු ප්‍රවිෂ්ට වීමෙන් සම්බුදුරදුන් වදාළ දහම් මඟ හෙළි කරගත හැකිය.
සදහම් සඟරා - Online