ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ප්‍රඥාවයි-කරුණාවයි

බුදු සමය තුළ දැක්වෙන ප්‍රඥාව සහ කරුණාව යන ගුණාංග දෙක පහදන ලිපියකි.

ඇස, කන, නාසය, දිව සහ කය ආධාර කරගෙන මිනිසා අවට ලෝකය ගැන තතු දැනගනී. මෙ පඤ්චේන්ද්‍රියන් සමඟ අරමුණු ගැටීම තුළින් මිනිසා සිය දැනීම වර්ධනය කරගනු ඇත. ඒ දැනීම පිළිබඳව මිනිසා තුළ පැහැදීමක් හෝ අපැහැදීමක් හෝ මධ්‍යස්ථ හැඟීමක් හෝ ඇති වීම සිදු වේ. පඤ්චේන්ද්‍රියෙන් ලැබෙන දැනුම තමා සතු බුද්ධිය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. දහසක් දෙනා දහසක් ලෙසින් තමා නිවසන ලෝකය තේරුම් ගන්නේ එනයිනි.
අනුරාධපුර යුගයෙහි වැඩ සිටි බුද්ධඝෝෂ හිමියන් මිනිසාගේ මේ විවිධත්වය ගැන දක්වන අදහස ඉතා වැදගත්ය. ඒ හිමියෝ, මිනිසාගේ දැනීම සඤ්ඤා, විඤ්ඤාණ සහ පඤ්ඤා යනුවෙන් අවස්ථා 03කට බෙදා වෙන් කළහ.
ප්‍රඥාවට මුළුමනින්ම විරුද්ධ ධර්මතාව අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් සිත ආවරණය කොට ප්‍රඥාව වසා සඟවාගෙන සිටී. ප්‍රඥාව වර්ධනය කරගැනීමට ලෝභ, ද්වේෂ සහ මෝහ යන හේතු තුන බාධා ඇති කරයි. මෙම හේතු අතරින් මෝහය හෙවත් අවිද්‍යාව ප්‍රධාන තැන ගනී. අවිද්‍යාව නම් ධර්මතාව නිසා ලොව සත්ත්වයෝ පසිඳුරන්ට අරමුණු වන අන්දමටම ලෝකය දෙස බලනු විනා ප්‍රඥා ඇසින් ලොව දෙස බැලීමක් නොකරති.
ලෝකය දෙස ප්‍රඥා ඇසින් බලා ප්‍රඥාවේ පරිපූර්ණත්වයට ළඟා වීම බුද්ධ දර්ශනයේ පරමාර්ථය වේ. පංචනීවරණයන් ප්‍රඥාව යටපත් කර, අවිද්‍යාව ඉස්මතු කරයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීිවරණයන් මඟින් මොහඳුර වඩාලයි. එක් එක් සත්ත්වයාගේ ප්‍රඥාව ඒ ඒ ප්‍රමාණයට වැඩී ඇත. ප්‍රඥාව හීන අන්ධබාලයාට තමන් මෝඩ කෙනෙකැයි කනස්සලු වීමට අවශ්‍ය නැත. හේතුව, සෑම දෙනාටම ප්‍රඥාව දියුණු කරගැනීමට හැකි බැවිනි. බුද්ධිමත් ගුණයෙන් අඩු, ප්‍රඥාව වැඩී නැති අයට පවා ප්‍රඥාව වැඩි-දියුණු කරගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කරගැනීමට බුද්ධ ධර්මය උගන්වයි. මන්දබුද්ධික මිනිසුන්ට පවා බුද්ධ ධර්මය නිසි ලෙස හැදෑරීමෙන් ප්‍රඥාව අවදි කරගත හැකිය. සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුකූල හැසිරීම යන මාර්ග සතරින් ප්‍රඥාව දියුණු වී යයි. ප්‍රඥාව එක වසරකදී හෝ එක ජීවිතයකදී හෝ දියුණු කරගත හැක්කක් නොවේ. එය ක්‍රමයෙන් දියුණු කරගත යුතු ධර්මතාවකි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි සහ ප්‍රඥා ලෙසින් කොටස් 03කට බෙදේ. ප්‍රඥාව ලැබීමට බලාපොරොත්තු වන ගිහියා හෝ පැවිද්දා ප්‍රථමයෙන්ම ප්‍රඥාවේ පසුබිම වන සීලයෙහි පිහිටිය යුතුය. ගිහියකු නම් පන්සිල්, අටසිල්-දසසිල්වලින් ද පැවිද්දකු නම් අදාළ සිල් රැකීම මඟින්ද සිය ජීවිතය පිරිසිදු කරගත යුතුය.
සමාධිය හෙවත් භාවනාව පුරුදු කර ප්‍රඥාවේ පරිපූර්ණත්වය ලැබීමට පසුබිම වන්නේ සීලයයි. සීලය නොමැත්තා තුළ සම්‍යක් ප්‍රඥාවක් ඇති නොවේ. ඔහු තුළ ගොඩනැගෙන ප්‍රඥාවෙන් කිසි විටෙක නිවන් සුවය අත් කරගත නොහැකිය. “සීලටෙහි පිහිටියා වූ ප්‍රඥාවන්ත භික්ෂුව සිතද නුවණද පුහුණු කොට කෙලෙස් තැවීමෙන්ද උත්සාහයෙන්ද මේ අවුල ලිහන්නේය.”. යනුවෙන් සීලය ප්‍රඥාව ලැබීමට අත්‍යවශ්‍ය බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ආර්ය අෂ්ටාංගික මාර්ගයද ආරම්භවන්නේ ප්‍රඥාවෙනි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥාවට වැටේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුපිළිවෙළින් සීල, සමාධි, ප්‍රඥා ලෙස දක්වා ඇතත් සීලයද සම්මා දිට්ඨි මත සිට රැකිය යුතු නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රථම අංගය ලෙස සම්මා දිට්ඨි දක්වා ඇත. ප්‍රඥාවේ අග්‍රඵලය ලොවුතුරා බුද්ධත්වයයි. එතැනට සම්ප්‍රාප්ත වීම සඳහා කල්ප .ගණනාවක් පෙරුම්දම් පූරණය කළ යුතුය.
නිර්වාණය හෙවත් විශිෂ්ටතම ප්‍රඥාව ලබාගැනීම සඳහා ගිහි පැවිදි සියල්ලන්ම තුළ අචල ශ්‍රද්ධාවක් තිබිය යුතුය. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව තුළින් අවැඩද බොහෝ විට සිදු විය හැකිය. ඉතා විධිමත්ව සැලසුම් කර නිවෙස්වලට ඇතුළුව මුදල් සහ භාණ්ඩ, ගෙහිමියාට අසු නොවී සොරකම් කරන පුද්ගලයන් එසේ කරනු ලබන්නේ බුද්ධිය පෙරදැරි කරගෙනය. මිනීමරා සාක්ෂි නැති වන අන්දමින් අසු නොවී සිටින්නන්ද ඒ කාර්යය පිළිබඳව බුද්ධිමත් අය වෙති. ඔවුන් බුද්ධිමතුන් වුවත් සද්ධාව නොමැති හෙයින් නොමග ගොස් ඇත. මෙලෙස ප්‍රඥාව හරිමග ගමන් කරවීමට සද්ධාව අවශ්‍යය. සමහර අය ළඟ ප්‍රඥාව නොමැතිව සද්ධාව පමණක් ඇත. අන්ධ භක්තිකයන් ලෙස ගැනෙන ඔවුන්ට බුදු දහමින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නොහැකිය. බුදු රදුන් ගැනත් ධර්මය ගැනත් නුවණින් පහදින්නාට තරම් විචාරවත් බුද්ධියක් සද්ධාවෙන් පමණක් සිත පුරවාගත් අයට නැත. බුද්ධ ධර්මය අවබෝධ කරගැනීමේ ප්‍රඥාවක් නැති කෙනකු බෞද්ධයකු වීම තේරුමක් නැති වැඩකි.
බුද්ධ ධර්මයේ ප්‍රඥාවට සුවිශේෂ තැනක් දී ඇත. සිදුහත් තවුසාණන් බුද්ධත්වය ලබාගැනීමෙන් අනතුරුව බැසගත් තීරණය තුළින් ද එය පැහැදිලි වෙයි. “මා විසින් අවබෝධ කරන ලද මෙම ධර්මය ගැඹුරුය. දුකින් දත යුතු වේ; දුකින් අවබෝධ කටයුතු වේ; ප්‍රණීත වේ; තර්කයෙන් නොදත හැකි වේ; සියුම් වේ, පණ්ඩිතයන් විසින් දත යුතු වේ; පස්කම් සැපතෙහි හා තෘෂ්ණාවෙහි ඇලෙන්නා වූ ඇලුණා වූ ප්‍රජාව විසින් මේ සංස්කාරාදීන්ට ප්‍රත්‍ය වූ යම් ප්‍රනීත්‍ය සමුත්‍යාදයක් වේද මෙය දුකින් දත යුතු වේ” යනුවෙන් තමන්
වහන්සේ අවබෝධ කළ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණක් ඇරෙන බව සිතූ සේක. බුද්ධ ධර්මයෙන් කැරෙන්නේ ප්‍රඥාවේ අග්‍රඵලය නෙළාගැනීමට මග සැලසීමයි. සමථ භාවනාවෙහි යෙදෙන තැනැත්තා පංචනීවරණ ධර්ම දුරු කරමින් රූපාවචර ධ්‍යාන අත් කරගනී. ඉක්බිති අරූපාවර ධ්‍යානද ද්වි විධ ඥානයද ලබාගනී. එය ලබාගැනීමෙන් පසු අහසින් යෑමට, ජලය මත ඇවිදීමට, බිත්ති තුළින් එහා මෙහා යෑමට, හිරු-සඳු ඇල්ලීමට හැකියාව හිමි වේ. ඉන් පසු දිව කනද, දිවැසද ලැබේ. තව තවත් ප්‍රඥාව දියුණු කරමින් භාවනා කරන විට පරචිත්ත විජානන ඥාණය, පූර්වේනිවාසානුස්මෘති ඥානයද ලැබේ. චුතූපපාත ඥානය ලද පසු සත්ත්වයා සංසාර සාගරයේ සැරිසරන අන්දම පෙනෙන්නට පටන්ගනී. අවසාන වශයෙන් ආසවක්ෂය ඥානය පසක් වේ. මෙම ඥානයෙන් දුක, දුක ඇති වීමට හේතුව, දුක නැති කිරීම, ඒ සඳහා අනුගමනය කරන මාර්ගය අවබෝධ වේ. එම ඥානය ලැබීත් සමඟ දත යුතු සියල්ල දැන ප්‍රඥාවේ පරිපූර්ණත්වයට පත් වේ.
“පමාදං අප්පමාදේන
යදා නූදති පණ්ඩිතෝ
පඤ්ඤා පාසාදමාරුය්හ
අසෝකෝ සෝකිනිං පජං
පබ්බතට්ඨෝච භුම්මට්ඨේ
ධීරෝ බාලේ අවෙක්ඛති.”
(ධම්මපද, අප්පමාද වග්ගය, 8)
අප්‍රමාදයෙන් ප්‍රමාදය පලවා-හරින පණ්ඩිතයා ප්‍රඥා නමැති ප්‍රාසාදයට නැග පර්වතයක මුදුනෙහි සිටින්නකු බිම සිටින්නන් දෙස බලන්නා සේ සෝකයෙන් තොරව සිට, සෝකයට පිළිපන් මෝඩ ප්‍රජාව දෙස බලයි. ප්‍රඥාව සියල්ල පෙනෙන උස ප්‍රාසාදයක් ලෙස මින් කියැවේ.
මෙලෙස ප්‍රඥාව නම් ප්‍රාසාදයට නැගගත් අයෙකුට විනා වෙන අයෙකුට ලෝකයේ ඇති-තතු එලෙසින්ම බැලීමට නොහැකිය.
බුද්ධ ධර්මයේ කරුණාවට විශේෂ තැනක් හිමි වී ඇත. කරුණාව යනු කරදරයට පත් වූවන් දැක හද තුළ ඇති වන කම්පාවය. කරුණාව බ්‍රහ්ම විහාර අතරින් එකකි. ප්‍රාග් බෞද්ධ සමයෙහි පටන් බ්‍රාහ්මණයන් පවා බ්‍රහ්ම විහාර පුරුදු කර උත්තරීතර සුඛය වූ බ්‍රහ්මයන් සමඟ එක් වීම ප්‍රාර්ථනා කර ඇත. බුදුන් වහන්සේ බ්‍රහ්ම විහාර හතරම අනුමත කළ සේක. බ්‍රහ්ම විහාර පුරුදු කිරීමම සත්‍ය ගවේෂණයේ ආරම්භයත් අවසානයත් ලෙස බ්‍රාහ්මණයන් පිළිගත් නමුත්, බුදුන් වහන්සේ එය නොපිළිගත්හ. කරුණාව පුරුදු කළ අය අතරින් ලොව ශ්‍රේෂ්ඨම මිනිසා බුදුන් වහන්සේ බවට තර්කයක් නැත.
“මහා කාරුණිකෝ නාථෝ”, “කරුණා සීතල හදයං” යන වදන්වලින් බුදුන් වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. කරුණාව ස්වාර්ථ සාධනයට මගකි. ස්වාර්ථ සාධනයක් සාදා නොගෙන පරාර්ථ සාධනයක් කළ නොහැකි හෙයින් ප්‍රථමයෙන්ම සිදුහත් තවුසාණෝ බ්‍රහ්මචරිය පුහුණු කර අවසන් කොට, කළ යුතු සියල්ල කර අවසන් කොට මහත් කරුණාවෙන් අනුන් වෙනුවෙන් ඉතිරි කාලය යෙදැවූහ.
ආත්මාර්ථකාමිත්වයෙන් පරාර්ථ චර්යාවද ඉටු වන ආගමක් ලෙස බුද්ධාගම ගැන කතා කළ හැක්කේ එහෙයිනි. උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදින බුදුන් වහන්සේ, රෝගීන්, අනාථ දරුවන්, දාසියන්, මිනීමරුවන්, කෙටි ආයුෂ ඇත්තවුන් ආදීන් සොයාගෙන ගොස් කරුණාවෙන් පිහිට වූ සේක. කරුණාව ඔස්සේ සිත දියුණු කරගත් විට නිවනද ලබාගත හැකිය. අට්ඨක නාගර නම් ගෘහපතියා ආනන්ද තෙරුන් වහන්සේගෙන් අනුත්තර විමුක්තියට පැමිණීමට ඉවහල් වන කරුණු විමසූ විටදී උන් වහන්සේ කරුණා භාවනාව මගින්ද විමුක්තිය ලබාගත හැකි බව පවසා ඇත.
සෝමසිරි දෙනගම

සම්බුදු සසුන බබළවන සබඳතාව

පූජ්‍ය වැල්ලවායේ සුමනබෝධි හිමි

'සාගාරා අනගාරා ච උභෝ අඤ්ඤොaඤ්ඤ නිස්‌සිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්‌ෙ€මං අනුත්තරංණී' ගිහියෝද පැවිද්දෝ ද යන උභය පාර්ශවයෝ එකිනෙකාගේ සහයෝගයෙන් අනුත්තර වූ යෝගක්‌ෂේම වූ නිර්වාණය සපුරා ගනී. එනම් ගිහි පින්වතුන් සිව්පසය සැපයීම හරහා පැවිදි උතුමන්ට පිළිවෙත් මගෙහි ගමන් කිරීමට සහයෝගය දක්‌වයි. පැවිදි උතුමන් ධර්ම මාර්ගය පෙන්වීම තුලින් ගිහියාට අනුග්‍රහ කරයි.

තථාගතයන් වහන්සේ විසින් 'ගිහීනමුපකරොන්තානං නිච්චමාමිසදානතෝ කරෝථ ධම්මදානේන තේසං පච්චුපකාරකං' යනුවෙන්, ගිහියන් කෙරෙහි අනුකම්පා කළ යුතු ආකාරය දේශනා කර ඇත. එබැවින් ගිහියන් හා පැවිද්දන් අතර සම්බන්ධය ගොඩනැගිය යුත්තේ ඒ තථාගත දේශනාව අනුවය. එකල්හි එකිනෙකා අතර සහයෝගය මතම පවතින ගිහි පැවිදි සම්බන්ධය ධර්මානුකූලවී උභය පාර්ශවයන්ටම යහපත සැලසෙනු ඇත. එතුලින් මුළුමහත් සමාජයම ධර්මානුකූල කිරීමේ කටයුත්ත ඉතාමත් සාර්ථක වන්නේමය. එවිට සම්බුද්ධ සාසනයට පැනනගින ගැටළු මනාව නිරාකරණය කළ හැකිය. ඒ සදහා කැපවීම සියලු පැවිදි උතුමන්ගේ වගකීමක්‌ වේ.

ගිහියාට කෙසේ ධර්ම දානයෙන් අනුග්‍රහ කළ යුතුද? ගිහි පැවිදි යුතුකම් දැක්‌වෙන්නේ ඒ උදෙසාය. පැවිද්දා විසින් 'පාපා නිවාරෙන්ති, කල්‍යාන නිවේසෙන්ති, කල්‍යානමනසා අනුකම්පන්ති, අස්‌සුතං සාවෙන්ති, සුතං පරියෝදපෙන්ති, සග්ගස්‌ස මග්ගං ආචික්‌ඛන්ති' යනුවෙන් දක්‌වන ලද අකාරයන්ට අනුව කටයුතු කළ යුතුය.

චීවර පිණ්‌ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය, යන සිව් පසය සපයන ගිහියාගේ ඒ ප්‍රත්‍ය දානය මහත්ඵල මහානිසංස වීමට පිළිපැදිය යුතු අකාරය පසුගිය ලිපිය මගින් පෙන්විමු. පැවිද්දා එසේ මනාව පිළිපැදීම තුලින් ගිහියාට පරලෝකය පිණිස අනුග්‍රහ කරන ලද්දේ වෙයි. ඒ ඔහුට මේ ලෝකය පිණිස අනුග්‍රහ කිරීමට හා මතු මතු දියුණුව පිණිස ධර්මය දේශනා කළ යුතුය. එහිදී දාන කථා, සීල කථා, ස්‌වර්ග කථා, කාමයන්ගේ ආදීනව, ඕලාරික බව, කෙලෙසෙන බව, නෙක්‌ඛම්මයෙහි ආනිසංස සහ අවසන චතු සත්‍ය, ලෙසින් වූ පිළිවෙල කතාවක්‌ විය යුතුය. ඒ දේශනාවද එම ප්‍රත්‍ය දායකයා කෙරෙහි අනුකම්පාවෙන් කළ යුතු දේශනාවකි. නොමැතිව මිත්‍යා ආජීවය තුලින් කරනු ලබන ගුණ වර්ණනා ධර්ම දේශනා ගණයට නොයයි. එබඳු ක්‍රියා තථාගත ගර්හාවට ලක්‌වූ හීන ක්‍රියා වේ. ඒවායින් වැලකීම තමාගේ සීලාදී ගුණ දියුණුව පිණිස බව පැවිද්දා දැඩිව සිතෙහි දරාගෙන කටයුතු කළ යුතුය.

එහිදී දානයක්‌ මහත්ඵල මහානිසංස වීමට බලපාන ප්‍රධාන කරුණු වන දායකයාගේ ගුණ සම්පත්තිය, ප්‍රතිග්‍රාහකයාගේ ගුණ සම්පත්තිය හා දාන වස්‌තුවේ ධාර්මික භාවය යන දක්‌ණා විසුද්ධීන් ඔස්‌සේ දේශනාව ගෙනයාම සාර්ථක ක්‍රමයකි. එතුලින් දායකයාට කරුණු කාරණා රාශියක්‌ දැනගැනීමේ මහඟු අවස්‌ථාව විවර වේ. එතුලින් දානමය පුණ්‍ය කර්මය නිවැරදිව සිදුකර ගැනීමටත් ඒ හරහා නිවන් මග විවර කරගැනීමටත් හැකියාව ලැබෙන්නේය.

සීලය වනාහි සෑම සියලු දෙන තුළ ඒකාන්තව පැවතිය යුත්තකි. 'සීලං කිරේව කල්‍යානං සීලං ලෝකේ අනුත්තරං' සීලයම යහපත් වෙයි සීලය ලෝකයේ අනුත්තර වෙයි යනුවෙන් සීලය වර්ණනා කර ඇත. වර්තමාන බෞද්ධයා තුළ බොහෝ දුරට නැත්තේද සීලයම වේ. ඒ සීලය බිඳීම නිසාම සෙසු සියලු ගැටලු පැනනැගී ඇත. සීලය යනු සියලු කුසලයන්ගේ පදනම වේ. සීලය නයින් සීල නම් වේ. කුසලයන්ගේ සමාදාන හා උපාදානාර්ථයෙන් සීලන නම් වේ. එනම් සියලු කුසලයෝ සමාදන් කරගැනීම හා දරා ගැනීම සිදුකරන්නේ සීලය මගිනි. ත්‍රි ශික්‌ෂාවට සීලයම මුල වන්නේ එබැවිනි. යමෙකු සීලය බිඳගෙන සිටියිද හෙතෙමට සෙසු කිසිදු කුසලයක්‌ නිවැරදිව කරගත නොහැකිය යන්න ප්‍රත්‍යක්‍ෂ කරුණකි. යටත් පිරිසෙයින් සිල් පද පහ රැකගත නොහැකි තැනැත්තෙකු ඉන් මතු කුසලයෝ කෙසේ කරනු ලැබේද? එය වනාහි අහසෙහි මාලිගා තැනීමක්‌ පමණමය. එබැවින් කුසල් දහම් තුල හැසිරෙන පින්වතුනට සීලය රැකගැනීමේ දියුණු කරගැනීමේ ආනිසංස මෙන්ම සීලය බිඳීමේ ආදීනවද දක්‌වා දර්මය දේශනා කළ යුතුය.

එසේ කුසලයට බරවූ සිත දිව්‍ය ලෝක වර්ණනා තුලින් තව තවත් කුසලයෙහි සමාදන් කරවිය හැක. එය ඒ ඒ පුද්ගලයාගේ ස්‌වභාවය අනුව කළ යුත්තකි. සද්ධාවන්තයාට ස්‌වර්ග කතා රුචිය. නමුදු ප්‍රඥාවන්තයින් එතරම් ඒ කෙරෙහි කැමැත්තක්‌ නොදක්‌වයි. ඒ ඔවුන් ස්‌වර්ගයද සැනසීමක්‌ නොමැති තැනක්‌ බව දකින බැවිනි. ඔවුනට ස්‌වර්ගය කෙටියෙන් දක්‌වා චතුරාර්ය සත්යා දේශනාව දැක්‌විය හැක.

කාමයන්ගේ ආදීනව මනාව දැක්‌විය යුතුමය. කාමයන් නිසා සත්වයා දුක්‌ විඳින්නාවූ ආකාරය ඔහුගේම ජීවිත තුලින් දැකීමට සිත නැඹුරු කළ යුතුය. ඒ කාමයන් නිසා කෙලෙසෙන බව ඒවායේ ඕලාරික බව සසඳා බැලීමට හැකි අයුරින් දේශනාව ගෙන යා යුතුය. එවිට චතුරාර්ය සත්‍ය කෙරෙහි සිත නැඹුරු කරවීම ඉතාමත් පහසු කටයුත්තක්‌ වේ. 

මෙසේ දානයෙන් සීලයට සීලයෙන් ස්‌වර්ගයට ස්‌වර්ගයෙන් කාමයන්ගේ ආදීනවයන්ට සිත නැඹුරු කරවා කාමයන්ගෙන් තොරවීමේ සැනසීම දක්‌වා එයම චතුරාර්ය සත්‍ය බවට හැරවිය යුතුය. එනම් ඒ කාමයෝ යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, ධර්ම වේ. ඒවා ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හරහා අරමුණු ලෙස ගනී. එසේ වූ ඒ ආයතනයෝම දුක්‌ඛාර්ය සත්‍යයයි. එනම් ජාති, ජරා, ව්‍යාධි, මරණා දී දුක්‌ඛයෝ ගෙන දුන්නේ ද්වාදස ආයතනයෝම වේ. ඒ ආයතන නම් වූ පංච උපාදානස්‌ඛන්ධය තුලින්ම ඒ ජරා මරණයෝ පහළ වේ. එසේ ජරාමරණයෝ පහල වීම දුකෙකි. දුක නම් වූ ජරා මරණ ද්වාදසායතන නිසා පහළ වන බැවින් දුක යනු ද්වදසායතනම වේ. ද්වාදසායතන යනු කාමයෝ බැවින් කාමයෝ යනු දුක වේ. 

ඒ කාමයෝ නැවත නැවත පහළවන කල්හි දුක නැවත නැවත පහළ වේ. එසේ කාමයන් නැවත නැවත පහල වන්නේ කාමයන් කෙරෙහි පවතින තණ්‌හාව නිසාය. එසේ නම් තණ්‌හාව නිසා දුක නැවත නැවත පහළ වේ.

දුක නැතිවීමට නම් කාමයෝ නැතිවිය යුතුය. කාමයෝ නැතිවීමට නම් කාමයන් නැවත නැවත පහළකරවන හේතුව නැතිවිය යුතුය. හේතුවනම් තණ්‌හාවයි. එබැවින් තණ්‌හාව දුරුකළේ නම් දුක දුරුකළා වේ.

එයට මගනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයම වේ. 

මෙලෙස පිළිවෙල කතා තුලින් ගිහියාට මගපෙන්ව ඔහුට අනුග්‍රහ කළ යුතුය. එය එසේ වීමට නම් තමාද නිවැරéව පිළිපැදිය යුතුය. නොමැතිව මෙබඳු දේශනාවක්‌ පැවැත්වීම ඉතා දුෂ්කර කර්තව්‍යයකි. නමුදු කළ යුත්තේ මෙයම පමණි.

මෙසේ දානමය පින්කම් සීලමය පින්කම් භාවනාමය පින්කම් කෙරෙන කල ඒවා මූලික කරගෙන ධර්ම මාර්ගය තුල ස්‌ථාවර භාවයට පත්වීමට මග විවර කළ යුතුය. බොහෝ විට බොහෝ දෙනා අකමැති වුවද ප්‍රපත්තියට නැඹුරු කිරීම කළ යුතුමය. ඒ ප්‍රතිපත්තියෙන් තොරව සාසනයෙහි අභිවෘද්ධියක්‌ නොමැති බැවිනි. සැබෑවටම අනුකම්පා කළා වන්නේ එවිටම පමණි.

වර්තමානික බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ පිළිවෙත් නොපුරා රහතන් වහන්සේ නමකගෙන් ධර්මය ශ්‍රවණය කොට එකවරම රහත් වීමටය. නොමැතිනම් කිසියම් පූජාවක්‌ පවත්වා ප්‍රාර්ථනාවෙන් රහත් වීමටය. එය එසේ කළ හැකිනම් ශ්‍රමන පාරමිතා කුමටද? මෙබඳු මිත්‍යාවන්ගෙන් බොද්ධයා ගලවා ගත යුතුය. එසේ ඔවුනට නිසිමග දැක්‌වෙන පරිදි මනාව ධර්මය දේශනා කළ යුතුය. 

එසේම ගිහියාගෙන් පැවිද්දාට ලැබෙන සිව්පසය ධාර්මිකව ලබාගැනීමටත් ඒවා ධාර්මිකව පරිහරණය කිරීමටත් පැවිද්දා වගබලා ගත යුතුය. සිව්පසය විනාශ නොකළ යුතුය. අපතේ නොයෑවිය යුතුය. සාසන අභිවෘද්ධිය පිණිස තම තමන්ගේ ගුණ දියුණුව පිණිස යොදාගත යුතුය. තමා තුල අල්පෙච්චතා සන්තුට්‌ඨිතා ආදී ශ්‍රමණ ගුණ වර්ධනය කරගත යුතුය. තමාගේ ගුණ දියුණු වන තරමටම දායකයාට පින වැඩිවන බව සිතිය යුතුය.

තවද ගිහියන් සමග අනවශ්‍ය හිතවත්කම් එනම් පැවිද්දට බාධාවන අන්තරායකාරී වන පුද්ගලයන් සමග සම්බන්ධකම් නොපැවැත්විය යුතුය. ගිහියන්ගේ යටත්වැසියකු නොවිය යුතුය. පැවිද්දෙහි ගරුත්වය රැකගත යුතුය. ලාභ ලෝභ තකා ගිහියන්ගේ වැඩ කරදීමට, ගිහියන් වර්ණනා කිරීමට, සමකොට කටයුතු කිරීමට නොපෙළඹිය යුතුය. එසේම ඔවුනට අවමන් කිරීමද නොකළ යුතුය. තමන් නිසා ඔවුන් පින් රැස්‌කරගන්නා බවද ඔවුන් නිසා තමන් සීලාදී ගුණ දියුණු කරගන්නා බවද සිතිය යුතුය.

අවසන සිතිය යුත්තේ පැවිද්දා වශයෙන් තමාත් ගිහියා වශයෙන් අනෙකාත් ප්‍රතිපත්තිගරුක වන කල්හිම මේ සම්බුදු සසුන බැබළෙන බවයි. එසේ කිරීමට සැවොම උත්සාහවත් වෙත්වා යන්න අපගේ පැතුමයි.

මව දරුවා සුරකිනා සේ රකින්න අටසිල් නිසි සේ

දිවි දෙවෙනි කොට බිජු රකින කිරල ධේනුවක් මෙන්, ස්වකීය වල්ගය රකින සෙමර මුවා මෙන් එක් ඇසක් ඇති පුරුෂයෙකු එය රකින්නාක් මෙන් එක් පුතකු ඇති මවක් එම පුතු රකින්නාක් මෙන් ඉතාමත් සැලකිල්ලෙන් සීලය රකියි. එවන් සීලවන්තයා බුද්ධාදී තුනුරුවන් විෂයෙහි ගරු සැළකිලි දක්වයි. පි‍්‍රයසීලීව වෙසෙයි.
සීලෙ පතිටඨායනරොසපඥේඤා 
චිත්තං පඤ්ඤංච භාවයං
ප්‍රඥාවත් වූ කෙලෙස් තවන වීර්යය ඇති යමෙක් සීලයෙහි පිහිටා සමාධියත් විදර්ශනා ප්‍රඥාවත් වඩයි නම් හේ තෘෂ්ණා නමැති අවුල මනාකොට නිරවුල් කරයි යනු එහි අදහසය.
නිවන් පසක් කිරීමට සීල, සමාධි, ප්‍රඥා යන ගුණාංගයන් පිරිය යුතු බව එයින් පැහැදිලිවේ. එසිනුත් පළමුකොට පිරියයුත්තේ සීලයය. සීලය නම් හික්මීමයි.කය, වචන දෙකේ සංවරයයි. සීලයෙන් තොර සමාධියක් නැත. සමාධියෙන් තොරව ප්‍රඥාව වැඩිය නොහැක. සීල, සමාධි, ප්‍රඥා යන ගුණාංග අනුපිළිවෙළින් පුරන්නට ඕනෑ. එසේ නැතිව රහත් විය නොහැක.
චතුරාර්සය සත්‍යය අවබෝධකර ගැනීමට ප්‍රඥාව වුවමනාය. ප්‍රඥාව ඇතිකර ගැනීමට සමාධිය අවශ්‍යය. සමාධිය ඇති කර ගැනීමට සීලය වුවමනා කෙරේ. එහෙයින් බෞද්ධයා මුලින්ම සීලය රැකිය යුතු ය. එහෙයින් ඔබ සිල් සමාදම්වීමෙන් කරන්නේ ඤාණවන්ත ක්‍රියාවකි. ගිහි ජීවිතය මවාගෙන ඇති කෙළරවක් නැති ප්‍රශ්න එයින් ඔබට අමතක වුණා. පෙහෙවස් සමාදන් වුණා. බුදු රජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් පැවැත්වීමට ඉටාගත්තා. එසේ නම් ඔබ බුද්ධිමත් ලෙස ප්‍රයෝජනවත් පරිද්දෙන් දවස ගත කිරීමට තිර අදිටනේ පිහිටන්ට වටිනවා.
නියම බෞද්ධයා පෙර පටන්ම කෙළේ බුද්ධිමත් දෑ ය. එයට හේතුව ඔහු පිළිගත් දහම බුද්ධි ගෝචර ධර්මයකි. බුදුරජාණන් වහන්සේ සදහම් වදාළේ නැණවතුන් සඳහාය. ඒ දහම පිළිගත් ඔබත් සමාදන් වූ සීලය ගැන මෙනෙහි කරන්නට ඕනෑ. බෞද්ධයා නිත්‍ය සීලයක් වශයෙන් පන්සිල් සමාදන් වෙනවා ඒවා රකිනවා. ඔහු එයින් කරන්නේ ගුණ ධර්ම පසක් ජීවිතයට සම්බන්ධ කර ගැනීමයි. කරුණු පහකින් චරිතය අලංකාර කර ගැනීමයි. අටසිල් සමාදන්වී ඒවා ආරක්ෂා කිරීමෙන් අදහස් කරන්නේ විශේෂ ගුණ ධර්ම අටක් ජීවිතයට සම්බන්ධ කර ගැනීමයි. එයින් තථාගතයන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවෙන් පිදීමට ඉටා ගැනීමයි.
සතුන් මැරීම, සොරකම් කිරීම, පහත් කාමසේවනය, බොරුකීම, රහමෙර පානය, විකල් බොජුන, නටනු ගයනු වයනු, විසුළුදස්සන මල්ගඳ විලවුන් දෑරීම උසසුන් මහ අස්න යන මේවායින් වැළකීමට පොරොන්දු වී ඔබ කරන්නේ කය, වචනය දෙකේ හික්මීමයි.එය සීලයයි.
සීලයට සීලය කියන්නේ තේරුම් කීපයක් සලකාගෙනයි. දුක් පමුණුවන කාය වාග් කර්මවලින් විසිරෙන්නට නොදී සිත මනාකොට පිහටුවන නිසා සීලයයි කියයි. සියලු කුසල කර්මවලට මුල්වන නිසාත් සීලයයි කියයි. ශරීරයෙන් හිස වෙන්කළාම මුළු ශරීරයම වැනසී යන්නා සේ සීලය නැති තැන මොනම ගුණ දහමක් වත් නොරැඳෙන බැවින් සිරස, හීස යන අර්ථයෙනුත් සීලනම් වේ. සියලු කෙලෙස් දැවිලි සංසිඳුවන බැවින් සීතලාර්ථයෙනුත් සීල නම් වේ. සියලු ගුණදම්වලට පිවිසීමට හිසයට ශාලාවක් වැනි හෙයිනුත් සියලු අකුසල්කම්පිත කරවන හෙයිනුත් සීල නම් වේ.
මෙසේ විවිධ තේරුම් ඇති සීලය බොහෝ අනුසස් ඇති ගුණ ධර්මයකි. සිල් සුවඳට සමාන වෙනත් මිහිරි සුවඳක් ලොවේ කොහේවත් නැත.
චන්දනං තගරංවාපි 
උප්පලං අථ වස්සිකී 
එතේසං ජාතානං
සීලගන්ධා අනුත්තරො
යනුවෙන් පැවසෙන පරිදි සඳුන් තවරලා මානෙල් දෑ සමන් යන මල් ජාතීන්ගේ සුවඳට වඩා සිල් සුවඳ උසස් බව වදාළේ සියල්ලදත් බුදුරජාණන් වහන්සේ ය. සඳුන් තවරලා ආදියේ යම් සුවඳක් වේ නම් එය ඉතා ස්වල්ප වූවකි. සිල්වතුන්ගේ උතුම් ගුණ සුවඳ දෙව්ලොව පවා විහිදී යන බව වදාළේ මෙසේ ය.
අප්පමත්තො අයං ගන්ධො 
යා යං තගර චතූනී 
යෝච සීලවතං ගන්ධො 
වාති දෙවෙසු උත්තමො
ස්වර්ගයට නැඟීමට උපකාරවන සීලය වැනි වෙනත් හිණි මඟක් නැත. නිර්වාණය පුරයක් නම් එයට පිවිසීමට සීලය සමාන අන් දොරටුවක් නැත. සිල්වතාගේ සීලය හැම කල්හිම ආත්මානුවාදභය හෙවත් තමා තුළින් උපදවන බිය දුරු කරයි. කීර්ති ප්‍රශංසා - වස්තු ලාභ පරලොව සුගතිය ලබාදෙයි. එහෙයින් සීලය රැකිය යුතු ගුණ ධර්මයකි. මනාකොට රකින සීලය, නොපිරිහෙන බලයකි. උත්තම ආයුධයකි. ශ්‍රේෂ්ඨ ආභරණයකි. නිරුත්තර සුගන්ධයකි. උත්තරීතර විලෝපනයකි. වටිනා මාර්ගෝපකරණයකි. මේ ආදී අනුසස් දත් ඥානවන්තයා ජීවිතය ගියත් සිල්පද නොබිඳියි.
දිවි දෙවෙනි කොට බිජු රකින කිරල ධේනුවක් මෙන්, ස්වකීය වල්ගය රකින සෙමර මුවා මෙන් එක් ඇසක් ඇති පුරුෂයෙකු එය රකින්නාක් මෙන් එක් පුතකු ඇති මවක් එම පුතු රකින්නාක් මෙන් ඉතාමත් සැලකිල්ලෙන් සීලය රකියි. එවන් සීලවන්තයා බුද්ධාදී තුනුරුවන් විෂයෙහි ගරු සැළකිලි දක්වයි. පි‍්‍රයසීලීව වෙසෙයි. ඔහුට සිල් රැකීමට කාලභේදයක් නැත. උපන්දා සිට ජරාවට පත්වීම තෙක් කළ යුතු හොඳම දෙය සිල් රැකීමයි.
පින්වත ඔබ පෙහෙවස් සමාදන්වීමෙන් කෙළේ ඉතා උතුම් ගුණයක් පිරීමට ඉදිරිපත් වී පොරොන්දුවීමයි. “අහං භන්තේ අජ්ජ ඉමංච දිවසං උපොසථං උපවසාමි” යනාදී වචන ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ඔබ ප්‍රකාශ කළා. “ස්වාමීනි මම අද මේ මුළු දවස අටසිල් සමාදන්ව රකිමි. යනු එහි තේරුමයි. එසේ නම් දවස පුරාම මේ සීලය රැකීමටයි ඔබ පොරොන්දු වූයේ.
එසේ නම් එක් දිනක් සිල් රැකීමට පේවී සිටින ඔබ එය හරියටම කිරීමට සිතට ගන්න. ස්වල්ප මාත්‍රයකින් වත් සීලය කිළිටි වන්න නොදී පිරිසුදුව රැකගත යුතු වෙයි. ඒ නිසා සිල් ගන්නා දවසේ එක් විනාඩියක්වත් අපතේ නොයවා තෙරුවන් පිදීම, බණ ඇසීම, ධර්ම සාකච්ඡා කිරීම, දහම් පොත පත කියැවීම ආදියෙන් කාලය ගත කිරීමට සිතන්න. බුද්ධාගමේ උසස් ගුණාංගයක් වන භාවනාව ගැන විශේෂ සැළකිල්ලත් දක්වන්න.භාවනාව නම් සිත යහපත් අරමුණක වැඩීමය. සිත එහෙ මෙහෙ විසිරයාමට ඉඩ නොදී එම යහපත් අරමුණේ නැවත නැවත ඉපදවීම් වශයෙන් බැඳ තැබීමයි. භාවනාව සමථ විපස්සනා වශයෙන් දෙයාකාරයි. එයිනුත් බෞද්ධයාගේ පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමට උපකාරී වන්නේ විපස්සනා භාවනාවයි.
පඤ්චස්කන්ධ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විවිධආකාරයෙන් බලමින් කරනා භාවනාව විදර්ශනා භාවනාවයි. එහෙයින් නිතර පුරුදු පුහුණු කළ යුත්තේ එම භාවනාවයි. එය මැනවින් සපුරා අමා මහ නිවන් සුව සලසා ගැනීමට උත්සාහ කළ යුතුය.

පිරිහීමට පත්නොවී සිටීමට නම් කළ යුත්තේ කුමක්ද?

දෙල්ගොඩ, උඩුපිල, විපස්සනා 
භාවනා මධ්‍යස්ථානයේ
යොවුන් සිතට දහම් සිසිල දහම් මැදුරේ 
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි

දියුණුවීමට හෝ පිරිහීමට හේතු වන්නේ තමන්ගේ ධාර්මික හෝ අධාර්මික පිළිවෙත් බව බොහෝ දෙනා නොදන්නා බව පෙනෙන්නට තිබෙනවා. දියුණුවට පැමිණෙන පුද්ගලයා හා පිරිහෙන පුද්ගලයාගේ ක්‍රියා කලාපය දෙස බැලීමෙන් අපට පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ ධර්මයට පි‍්‍රය කරන පුද්ගලයා දියුණුවන බවත් ධර්මයට පි‍්‍රය නොකරන පුද්ගලයා පිරිහෙන බවත්ය.
බුදුරජාණන් වහන්සේ විසින් මේ බව පැහැදිලිව දේශනා කර තිබෙනවා. එය පරාභව සූත්‍රයේදී සඳහන් වන්නෙ.
සුවිජානො භවං හොති 
සුවිජානො පරාභවො 
ධම්මකාමො භවං හොති
ධම්ම දෙස්සී පරාභවො යනුවෙන්දියුණුවන පුද්ගලයා පහසුවෙන් දැකගත හැකි බව මෙයින් පැහැදිලියි.එමෙන්ම පිරිහෙන පුද්ගලයාද පහසුවෙන් දැක ගත හැකිය. දියුණුවන පුද්ගලයා ධර්මය කැමැත්තේ වෙයි. පිරිහෙන පුද්ගලයා ධර්මයට ද්වේශ කරන්නෙක් වෙයි.
සියලු දානයන් අතර ධර්ම දානය උතුම් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කර තිබෙනවා. එසේ නම් එම දානය පිරි නැමීමට පෙර ඒ සඳහා අවශ්‍ය කළමනා සකසා ගත යුතුයි. ආමිෂ දානයකදී නම් ඒ සඳහා අවශ්‍ය ආහාරපාන සකස් කර ගත යුතු බව අප දන්නවා. එසේම ධර්ම දානය සඳහා පළමුව තමන් ධර්මයෙහි පිහිටිය යුතුයි.
තමන් ධර්මයෙහි පිහිටන්නේ කොහොමද?
ධර්මයෙහි පිහිටීමට නම් තමා ධර්මයට කැමැති පුද්ගලයකු විය යුතුයි. ධර්මයෙහි නොකැමැත්තා පිරිහෙන බව බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙයිනි.
මේ සඳහා හොඳම උදාහරණ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙන්ම අපට ලබා දිය හැකියි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වසන අවස්ථාවකි. රජගහනුවර භාරද්වාජ පරපුර ඉතා ප්‍රසිද්ධ ප්‍රභූ බ්‍රාහ්මණ පැළැන්තියකි. මේ ගෝත්‍ර පරපුරේ අතර වැඩිමලා වූයේ භාරද්වාජයි. අක්කෝසක භාරද්වාජ , සුන්දරී භාරද්වාජ හා ඛිලංගික භාරද්වාජ සෙසු සොහොයුරන් තිදෙනා වුණා. එසේ වුවත් භාරද්වාජගේ බිරිඳ වු ධනංජානි බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත්ව සිටියා. ඇය සෑම විටම බුදු ගුණ සිහි කරන්නියක්. ධර්මයට පි‍්‍රය කළා. යමක පය පැටලුණු විටත් කිවිසුමක් පිට වූ විටත් නමස්කාර පාඨය කියා බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම ඇයගේ සිරිත වුණා.
වරක් භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවසේ බමුණන් උදොස ආහාර පිරිනමන අවස්ථාවක සෝවාන් ඵලයට පත්ව සිටි ධනංජානි ද ඒ සඳහා සහභාගි වී සිටියා. පය පැටලී ගිය ඇය “නමෝ බුද්ධාය” යනුවෙන් පැවසුවා.
පැමිණ සිටි බ්‍රාහ්මණයන් භාරද්වාජ දෙස හෙළුවේ එතරම් හොඳ බැල්මක් නෙමෙයි. “තෝ මක් නිසා ඒ මුඩු මහණාගේ ගුණ වයන්නේද? බමුණා ගෝරණාඩු කර බැමිණිය දෙස ක්‍රෝධයෙන් බලා 'මම වහා ගොස් ඒ මුඩු මහණා සමඟ වාද කර පරාජය කර පැමිණෙන්නෙමියන්නයි' කෑගැසුවා. ඒ ධර්මය නොදැන දේවේශ කිරීමකි. ධර්මය නොකමැත්තන්ය. එහෙත් අවසානයේ භාරද්වාජ පරපුරම බුදුන් සරණ ගියා. ඒ ධර්මය වටහා ගන්නට සමත්වීම නිසාය. ධර්මය පි‍්‍රය කළ නිසාය.
එහෙත් ධර්මයට ද්වේශ කළ දේවදත්ත හිමියන් අවසානයේ පණ පිටින් නිරාගත වුණා. දේවදත්ත හිමියන් ධර්මයට නොව තම බල පුළුවන්කාරකම් සඳහා පමණක් පි‍්‍රය කළ අයෙකි. එම නිසා හැමවිටම ඒ හිමියන්ට අවශ්‍ය වූයේ තමන් කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමටයි. එම නිසා වරෙක සංඝයාගේ පාලනය තමන්ට බාර දෙන ලෙසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. එය ඉටු නොවූ තැන භික්ෂූන් වහන්සේ උදෙසා පංචවර යාචනයක් ඉල්ලා එයද ඉටු නොවූ තැන ඒ සඳහා පක්ෂ භික්ෂූන් පිරිසක් සමඟ වෙනම ගොස් සංඝ භේදය නම් ආනන්තරිය පාපකර්ම අතුරින් බලවත්ම අකුසලය කර ගත්තා.
මේ සියල්ල ධර්මයට නොකැමැති පුද්ගලයාගේ ලක්ෂණයි. ධර්මයට නොකැමැති පුද්ගලයා අවසානයේ ළං වන්නේ නිරයටම බව මෙයින් පෙනී යනවා. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පැවිදි දිවි ගෙවීමම ධර්මයට කැමැති අයකුගේ ලක්ෂණයක් බව පැහැදිලිය.
උදාහරණ ලෙසින් බුදුරජාණන් වහන්සේ වදාළ නොකළ යුතු වෙළෙදාම් පහෙන් වෙන්ව දිවි ගෙවන්නේ නම් එයම තමා ධර්මයට රුචි පුද්ගලයකු බවට පත් කරනවා. එසේ නොකරන්නා පැහැදිලිවම බුදු මඟ හෙවත් ධර්මයට රුචිකමක් නොදක්වන්නෙක් බව පැහැදිලියි.
එසේ හෙයින් පංචශීලය අනුවම දිවි ගෙවීමම ධර්මයට රුචි පුද්ගලයෙක් බවට තමන් පත් කරනවා. තමන් පර පණ නොනසන්නෙක් නම් අනුන් සතු දේ සොරා නොගන්නේ නම් අයථා කාම සේවනයේ නොයෙදෙන්නෙක් නම්, අන් අය රැවටීමට නැත්නම් වංචාව උදෙසා බොරු නොකරන්නේ නම් ප්‍රමාදයට හේතුවන රහ මෙර මත් වතුර පානය නොකරන්නේ නම් ඔහු හෝ ඇය ධර්මයට කැමති බව පැහැදිලියි.
සමස්ත සමාජයම මේ අයුරින් කටයුතු කරන්නේ නම් සමාජයක පිරිහීමක් සිදු නොවන බව අපට පැහැදිලිය. එසේම පංචසීලය අනුගමනය කරන පුද්ගලයා මෙන්ම අනුගමනය නොකරන්නා අපට පහසුවෙන් දැක ගන්නට පුළුවන්. සමාජයේ පිළි ගැනීම ඇති වන්නේ ධර්මයට පි‍්‍රය කරන පංචශීලය ආරක්ෂා කරනු ලබන පුද්ගලයාට මිස ධර්මය පිළිකෙව් කරන අයට නොවේ.
මේ නිසා සමාජයේ පැහැදිලිව හඳුනා ගත හැකි ධර්මයට පි‍්‍රය කරන්නා හා නොකරන්නා දෙස විමසුම් ඇසින් බලා ධර්මයට පි‍්‍රය කරන්නා අනුව ගමන් කරන්නේ නම් දියුණුව කරා යාමට පුළුවන්. එසේ නොමැති වුවහොත් ඒ තැනැත්තාගේ පිරිහීම වැළැක්විය නොහැකි වෙනවා.
දස කුසල ධර්මයන්ට නොකැමැති පුද්ගලයා පිරිහෙන බව මෙයින් අප වටහා ගත යුතු වෙනවා. වචනයෙන් සිදු වන අකුසල් හතරෙන් වෙන් වීම කයින් සිදුවන අකුසල් තුනෙන් වෙන්වීම මෙන්ම සිතින් සිදුවන අකුසල් තුනෙන් වෙන්වීම යන දස කුසල් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දක්වා තිබෙනවා. මේ දස කුසල් මොනවාද? අපට සාමාන්‍ය දිවි පෙවෙතේදී අනුගමනය කළ නොහැකිද? මේ සම්බන්ධව අප අවධානය යොමු කිරීමත් මෙහිදී වැදගත් වනවා.
වචනයෙන් සිදුවන අකුසල් මොනවාද? මුසාවාදය හෙවත් බොරු කීමෙන් වෙන් වීම, කිසිදු වැඩකට නැති හිස් වචනවලින් වෙන්වීම මෙන්ම අන්‍යයන්ගේ සිත් රිදෙන පරුෂ වචනවලින් වෙන්වීම මෙන්ම අන්‍යයන් භේද කරවන කේළාම් කීමෙන් වෙන්වීම යන කුසල් වැඩීම මඟින් ධර්මයට ළඟා විය හැකි වනවා. මේ සියල්ල අපට කිසිදු ආකාරයක අන්‍යයන්ගේ සහායක් නොමැතිව තම එදිනෙදා ජීවිතයේදී කළ හැකි ගුණ ධර්මයන් බව පැහැදිලියි.
එසේම කයින් සිදුවන වැළකිය යුතු පර පණ නැසීමෙන් වැළකීම ,අන් සතු දේ ගැනීමෙන් වැළකීම මෙන්ම අන්‍ය කාම වස්තු සේවනයෙන් වෙන් වීම යන කුසල් ධර්ම වැඩීම අපහසු නොවන බව මෙයින් ඉතා පැහැදිලිය. ධර්මයට එයින් ළඟා විය හැක්කේ විහාරස්ථානයට ගොස් මල් පහන් පුදා හෝ පසළොස්වක පොහෝ දිනයන්හි සීල සමාදානයන්ට සහභාගි වීමෙන් හෝ නොවන බවද මෙයින් ඉතා පැහැදිලියි. දාන සීල භාවනාවන්ට යොමු වී ලොකෝත්තර මාර්ගය සකස් කර ගැනීම බෞද්ධයන් වශයෙන් අපට ඉතා වැදගත් වුවත් පිරිහීමෙන් වැළකී දියුණුව සලසා ගැනීම උදෙසා දස කුසල් ධර්මයන්ට යෙමු වීම අපගේ එදිනෙදා සාමාන්‍ය දිවි පෙවෙතේදීම කළ හැකි බව මෙයින් පැහැදිලියි.
එමෙන්ම අවිද්‍යාව හෙවත් විෂම ලෝභය ක්‍රෝධය හා සමඟින් ඇති කරගන්නා ව්‍යාපාදය මෙන්ම වැරදි දැක්ම හෙවත් මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්වීම යන සිතෙන් සිදුවන අකුසල්වලින් දුරුවීමත් මේ අනුව අපට ඉතාම පහසුවෙන් සිදු කර ගැනීමට පුළුවන්. මේ අයුරින් අප ගමන් කරන්නේද දියුණුවටද නැත්නම් පිරිහීමටද යන්න අපට මැනවින් වටහා ගන්න පුළුවන් වනවා.
සාකච්ඡා කෙළේ 

තාරක වික්‍රමසේකර

භාවනා


අමෙරිකාවේ විශ්වවිද්‍යාල කීපයක බුද්ධ ධර්මය ඉගැන්වීමේ යෙදුණු පූජ්‍ය හේනේපොළ ගුණරතන හිමිපාණෝ ‘භාවනාව’ පිළිබඳ ඉහළ අත්දැකීම් ඇති කම්මට්ඨානාචාර්යයන් වහන්සේ නමකි. උන් වහන්සේ නිසා අමෙරිකානුවෝ විශාල පිරිසක් පැවිදි වී බුදු සසුනට ඇතුළු වූ හ. අදින් ඇරැඹෙන්නේ භාවනාව පිළිබඳ ව උන් වහන්සේගේ අත්දැකීම් සහිත ලිපි පෙළකි. මෙය අප පළ කරනුයේ අමෙරිකාවේ වර්ජිනියාහි ලලිතා අමරසිංහ මහත්මියගේ අනුග්‍රහයෙනි.
කුමන භාවනාවක් කළත් සිල් පිරිසිදු කරගත් විට ඒ භාවනාව සාර්ථක කරගත හැකි වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වා ඇති ආජීව අට්ඨමක සීලය රැකීම ඉතා උතුම් ප්‍රතිපත්තියකි. මේ උතුම් ප්‍රතිපත්ති අටෙන් කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම හා සම්ඵප්‍රලාප දෙඩීමෙන් වැළකීම යන ප්‍රතිපත්ති තුන අඩු කර උපුටාගත් ඉතිරි ප්‍රතිපත්ති පහ දැන් පන්සිල් වශයෙන් ගෙන බොහෝ බෞද්ධයෝ පන්සිල් ගන්නවා කියා මේ පහ හැමදාම හැම තැනම කියති.
ඒත් ඒ පන්සිල් රැකීම වුව ද එතරම් පහසු නැත. පන්සිල් රකිනවායයි කියන්නේ පාණාතිපාතා ආදි සිල් පද පහ මන්ත්‍රයක් ලෙස සියදහස් වරක් කීම නොවේ. බොහෝ බෞද්ධයෝ මේ පහ හැමදාම, හැම තැනකම කියති; ඒවා උදේ සවස, පෝදාට, රේඩියෝවල, රූපවාහිනීවල, පත්‍රවල, සඟරාවල, දේශපාලන රැස්වීම්වල ආදි කී-නොකී දහක් තැන්වල කියති. සමහරවිට සමහරු මෙසේ මන්ත්‍රයක් ලෙස පන්සිල් කීමෙන් සිල් රැකෙනවා කියා හෝ නැත් නම් එයින් පින් සිදු වෙනවා කියා හෝ හිතනවා විය හැකිය. ගිරවුන් මල්කවුඩන් සේ පන්සිල් කීමෙන් කිසිම වැඩක් නැත. පන්සිල් කෝටිප්‍රකෝටි වරක් කීවත් පන්සිල් රැකෙන්නේ හෝ එයින් පින් සිදු වන්නේ හෝ නැත. ඉන් වැඩක් වන්නේ ඒ පහම තදින් හිතට ගෙන ඒවා හිත, කය, වචන යන ද්වාර ත්‍රයෙන් ක්‍රියාවට නැංවුවොත් පමණි.
මේ සිල් පද පහ කිය-කියා සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයන්හි වැරැදි ලෙස හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් පන්සිල් රකිනවායයි කියා ඒ සිල්පද පහ මැතිරීමෙන් කිසිම වැඩක් නොවේ. මෙකී පංචසීලය හා මුලින් සඳහන් කළ ආජීවඅට්ඨමක සීලයද යන ප්‍රතිපත්තිවලින් එකක් වත් ඉබේම රැකෙන්නේ නැත. ඉතා ශ්‍රද්ධාවෙන් හා ලොකු චිත්ත ධෛර්යයකින් යුතුව හිතට එකඟවම සිල් රැකීමට අධිෂ්ඨාන කරගෙනම භාවනාවට පසුබිම සකස් කරගත යුතුය. මේ පහ හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නා කෙනෙකුට කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම හා සම්ඵප්‍රලාප දෙඩීමෙන් වැළකීම යන ප්‍රතිපත්ති තුනද රැකීමට ඉබේම හිතක් පහළ වේ. එවිට මුළු ආජීව අට්ඨමක සීලයම රැකීමේ ශක්තිය ඔහුට ලැබේ. අපේ බෞද්ධ පින්වතුන්ට මේ ගැන අවංකවම හිතන්ට හැකියාවක් ලැබේවායි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරමු.
බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එක් මිනිසෙක් උන්නේය. ඔහු මේ සිල් පද පහම රැකීම අපහසුයයි සිතා සතුන් මැරීමෙන් පමණක් වැළකී සිටීමට අධිෂ්ඨාන කරගෙන, කුරා-කුහුඹියෙක් වත් මැස්සෙක් වත් මදුරුවෙක් වත් නොමරන්නට
තීරණය කරගත්තේය. ටික කලක් ඔහු මෙසේ කල් ගත කරන විට ඔහුගේ අදහස්වලට සමාන තව මිනිසෙක්ද ඔහු අනුගමනය කරන්නට පටන් ගත්තේය. ටික කලක් යන විට තව කෙනෙක්ද තව ටික කලක් යන විට තව කෙනෙක්දැයි මේ පිරිස එකමුතුව පළමුවැනි සිල්පදය රකිමින් සිටියෝ ය. මොවුන් මෙසේ පළමුවැනි ශික්ෂාපදය රකිමින් ඉන්නා විට තව මිනිසෙක් කල්පනා කළා සතුන් නොමරා ඉඳීම එතරම් අමාරු දෙයක් නොවේ. හොරකම් නොකර සිටීමයි බොහොම අමාරු කාර්යය කියා. “මිනිසුන් අඩු ගණනේ අනුන්ගේ අදහසක් හෝ හොරකම් කරනවා. මම එහෙම අනුන්ගේ අදහසක් වත් ආදායම් බදුවලින් වත් හොරකම් නොකර, ඉතාම අවංකවම ජීවත් වෙන්නට ඕනෑ” කියා. එසේ කල්පනා කර ඔහු හොරකම් කිරීමෙන් වැළකී සම්පූර්ණ අවංක ජිවිතයක් ගත කරමින් ජීවත් වෙන විට අර සතුන් නොමරන්නාට මෙන්ම මොහුටත් පිරිසක් එක් වූහ.
මොවුන් මෙසේ සිල්පද දෙකක් රකින කණ්ඩායම් දෙකක් වූ පසු තුන් වැන්නෙක් කල්පනා කළා “මොවුන් රකින සිල්පද දෙක රැකීම බොහොම පහසුයි. තුන් වැනි සිල්පදය රැකීම තමා ඉතාම අමාරු. මම ඒක රකින්නට ඉටාගන්ට ඕනෑ” කියා. ඔහු එතැන් පටන් කාමයන්හි වැරැදි ලෙස හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී ජීවත් වෙන්ට පටන් ගත්තේ ය. ඔහු මෙසේ කාමයන්හි වැරැදි ලෙස හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී ජීවත් වෙන විට මොහුටත් පිරිසක් එක් වූහ. මෙසේ ඔවුහුත් කණ්ඩායමක් ලෙස තුන් වැනි සිල්පදය පමණක් රකිමින් ජීවත් වූහ.
හතරවැන්නෙක් බොරු නොකියා ජීවත් වීම අනිත් හැමදේටම වඩා අපහසුයයි සිතා ඔහු කල්පනා කළා සත්‍යයම කථා කරන්නට. ඔහු කවටකමට වත් බොරුවක් නොකියන්නට තීරණය කරගත්තේය. කල් යෑමේදී ඔහුටත් එකා දෙන්නා එකතු වී එම අයගෙන් සමාගමක් ආරම්භ කෙළේය.
මොවුන් මෙසේ කල් ගත කරමින් සිටින විට එක්තරා මිනිසෙකුට කල්පනා වුණා, “මේ සිව් දෙනා රකින සිල්වලට වඩා රැකීමට බෙහෙවින් අපහසු සීලය තමා මත් පැනින් වැළකී ජීවත්වීම. මම මත්පැනින් වැළකී ජීවත්වෙන්නට ඕනෑ” කියා එතැන් පටන් ඔහු මත්පැන් පාවිච්චියෙන් තොරව ජීවත් වෙන්නට පටන් ගත්තේය. කල් යෑමේදී ඔහුටත් ක්‍රමයෙන් අර මුල් හතර දෙනාට මෙන්ම පිරිසක් එකතු විය.
මේ පිරිස් පහ මෙසේ කල් ගත කරන විට වරින් වර මේ පිරිස් පහෙන් දෙදෙනෙක්, තුන් දෙනෙක් හෝ හතරපස් දෙනෙක් එක් වූ හැම තැනකම “අප රකින සීලය ඔබ රකින සීලයට වඩා රැකීමට බොහොම අමාරු එකකි. ඔබ රකින සීලය නම් ඕනෑ කෙනෙකුට රැකිය හැකිය. අප රකින සීලය කිසිකෙනෙකුට රකින්නට බැහැ. හැකි නම් අප රකින සීලය රැක බලන්නැ” යි ඔවුනොවුන් අන්න්‍යෝන්‍යන්ට අභියෝග කරන්නට පටන් ගත්හ. මේ නිසා ඔවුනොවුන් බහින්බස් වෙන්නට ද පටන්ගත්තේය.
මෙසේ කාලයක් ගත වන විට මේ අය අතර කලකෝලාහල, දික්වෙමින් පවතින විට ඉන් කෙනෙක් යෝජනා කළා, “සහෝදරවරුනි, අප ඉතාම උතුම් සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගෙන ක්‍රියා කරන ගමන් අප දැන් කලක සිට අපේ උතුම් ඉලක්කය අමතක කර අපි නිතර කලකෝලාහල කරගනිමු. හොඳ සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගෙන දැන් අපි ඉතාම පහත් ලෙස කලකෝලාහල කරමින් සිටීම අපට කිසිසේත් නොගැළපෙන ක්‍රියාවකි. මෙය අප වැන්නන්ට සුදුසු නැත. අපි මේ ගැන අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් උපදේශයක් ලබා ගනිමු” යි කියා.
ඊට හැමෝම එකඟ වී බුදු රජාණන් වහන්සේ ළඟට ගොස් උන් වහන්සේට වැඳ නමස්කාර කර මේ කරුණ ඉදිරිපත් කළහ. උන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඔවුන්ට සවන් දී අවසානයේ මෙසේ දේශනා කර වදාළහ:
“ඔබ හැම දෙනාම ඉතා උතුම් සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගැනීම ඉතාම යහපත්. ඒ එක සිල්පදයක් හෝ අවංකවම නොකඩවා රැකීම ඉතාම උතුම් දෙයකි. නමුත් එසේ උතුම් ක්‍රියාවක් කිරීමට ආරම්භ කළ ඔබ මෙසේ කලකෝලාහල කරගැනීම මෝඩකමකි. ඒ නිසා ඔබ හැම දෙනාම දැන් රකින සීලයට අතිරේකව තව සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගන්න.”
“භාග්‍යවතුන් වහන්ස, මේ දැන් රකින සීලයද අප රකින්නේ ඉතාමත් අමාරුවෙනි. ඔබ වහන්සේ දේශනා කර වදාරන පරිදි තව එකක් ඊට එක් කරගත්තොත් මේ දැන් රකින සීලයවත් රැකීම අපට අපහසු වෙන්නට බැරි නැද්ද?” බොහොම යටහත් පහත්ව ඔවුහු බුදු රජාණන් වහන්සේගෙන් ඇසූහ. “නැහැ, නැහැ, මා ඔබහැමදෙනාටම රකින්නට යයි කියන සිල්පදය රැකීමෙන් ඔබ දැන් රකින සිල්පදය පමණක් නොවේ ඉතිරි සිල්පදත් රැකීමට ඉතාමත් බලවත් ශක්තියක් ධෛර්යයක් වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම ඒ සිල් පදය රකින්නටත් අධිෂ්ඨාන කරගන්න.” “ඒ මොන සිල්පදයද, භාග්‍යවතුන් වහන්ස?“
“ඒකට තමා ‘සතිය’ කියන්නේ. ඔබ සතියෙන් යුතුව සිල් රකිනවා නම් ඔබට එක සිල්පදයක් පමණක් නොවේ, සිල්පද පහ පමණක් නොව ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුවද රැකිය හැකි යි” යනුවෙන් දේශනා කර වදාරා සතියෙන් යුතුව සිල් රැකීමෙන් හැම සීලයක්ම රැකිය හැකි බව බුදු රජාණන් වහන්සේ දේශනා කර වදාරා තිබේ. මේ නිසා සතිය හැම උතුම් ක්‍රියාවකටම මුල් වන බව බුදු රජාණන් වහන්සේගේ මෙම දේශනයෙන් අපට පැහැදිලි වේ.
‘සති’ යනු පාලි වචනයකි. ඒ වචනයකි. ඒ වචනයේ අදහස කුමක්දැයි ඔබට හිතෙන්ට පුළුවන. ‘සති’ යන්නට ‘ය’ එක් කර ‘සතිය’ කියා සිංහලෙන් ව්‍යවහාර කරති. අපි ව්‍යවහාරික සිංහල භාෂාවෙන් ‘සතිය’ යන්නට ‘සිහිය’ කියා භාවිතා කිරීමට පුරුදු වී සිටිමු. ‘සිහිය’ කී විට අපේ හිතට ඉබේම එන්නේ ‘මතක’ යන්නය. ‘මතක’ කී විට කුමක් මතකයේ තබාගත යුතුදැයි කියා ප්‍රශ්නයක් මතු විය හැකියි. භාවනා ගැන කරන සාකච්ඡාවකදී ‘සති’ හෝ ‘සතිය’ කියා කියන්නේ අප එදිනෙදා ජීවිතයේ දේවල් මතක තබාගැනීමකට නොවේ. ඊට වඩා උසස් හා ගැඹුරු තේරුමකටය. ‘මතක’ යනු සිල් රැකීමට පමණක් යොදාගන්නා සිහියක් නොව, භාවනාවේ මුල සිට අවසානය තෙක් දියුණු කරගත යුතු ප්‍රධානම මනෝමය ක්‍රියාවකි.
භාවනා ගැන කථා කරන විට ‘සති’ නැත් නම් ‘මතක’ යන්නෙහි අංශ රැසක් තිබෙන බව මතක තබාගත යුතුය. එයින් ප්‍රධාන පහ මෙහි සඳහන් කරමු.
1. ‘පන්සිල් රකිමි’ යන අධිෂ්ඨානය හිතේ තබාගෙන ඒ අනුවම දිනපතා ජීවිතය ගත කිරීම.
2. පක්ෂග්‍රාහී නොවී අපේ රූප වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතා දැකීම
3. එම අත්දැකීමෙන් ලැබෙන මතකය හිතේ තබාගෙන ඒ අනුව හැම දේම අවබෝධ කරගැනීමට හිත පුරුදු කරගැනීම.
4. ඒ අනිත්‍ය වූ කිසිවක් රාග වශයෙන් හිතින් අල්ලාගැනීමක් හෝ ද්වේෂ වශයෙන් පිටුදැකීමක් හෝ නොකර, හිත මධ්‍යස්ථව තබාගැනීමට පුරුදු කරගැනීම.
5. එසේ කිරීමෙන් පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවන් සුලුවශයෙන් හෝ හිතට පෙනුණාම එය මතක තබාගැනීම.
මෙයින් අපේ හිත ක්‍රමක්‍රමයෙන් දියුණු වී අපේම පංචස්ඛන්ධය තුළින්ම නිවන් අවබෝධ කරගත හැකි වේ. මේ බව දැකීමට නම් අපේම සිරුරට සම්බන්ධ යම්කිසි දෙයකට නිතර හිත යෙදවිය යුතුයි. මේ සඳහා අප යොදාගන්නේ අපේම ආශ්වාස ප්‍රශ්වාස වායුවමයි. එහි වෙනස්වීම අපට ඉතාම හොඳින් වැටහෙන නිසයි එය අපේ භාවනාවේ අරමුණ කරගන්නේ.
ඊළඟට සම්පජඤ්ඤය. ඒ කියන්නේ, ඒ ඇති කරගන්නා දැනුම වඩවඩාත් ගැඹුරු ලෙස දියුණු කරගෙන පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවන් තව තවත් ගැඹුරින් දැකීමයි. ඒ නිසා සතියත් සම්පජඤ්ඤයත් යන දෙක එකටම යන දෙකකි. සම්පජඤ්ඤය කොටස් හතරකට බෙදා අටුවාචාරීන් වහන්සේලා පෙන්වා දී ඇත. ඒ සාත්ථක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ හා අසම්මෝහ සම්පජඤ්ඤ වශයෙනි.
සාත්ථක සම්පඤ්ඤ කියන්නේ තමන්ගේ ඉලක්කය ඉතා හොඳින් අවබෝධ කරගැනීමය. භාවනානුයෝගියාගේ ඉලක්කය වන්නේ සිත පිරිසිදු කරගැනීමත්, ශෝකපරිද්දවයන් නැති කරගැනීමත්, දුක් දොම්නස් නැති කරගැනීමත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමත් හා නිවන් අවබෝධ කරගැනීමත් යන ඉලක්ක පහය.
භාවනා කරන හැම මොහොතකම එක්තරා ප්‍රමාණයකට රාග, ද්වේෂ හා මෝහ යන අකුසල්වලින් සුළු ප්‍රමාණයක් හෝ තාවකාලික වශයෙන් නැති වී, අපගේ හිත පිරිසිදු බවට පත් වේ.
අනිත්‍යය හොඳින් හිතට පෙනෙන විට ඒ අනිත්‍ය වූ දේ පිළිබඳව ඇති කරගෙන තිබුණු බැඳීම ක්‍රමක්‍රමයෙන් අඩු වී ගොස් ඒ අනිත්‍ය දේ නොලැබීමෙන් හෝ, ලැබූ අනිත්‍ය දේ නැති වීමෙන් හෝ ඇති වන ශෝක කිරීම, ඇඬීම, වැලපීම තුනී වී නැති වි හෙවත් අහෝසි වී යයි.
අනිත්‍ය වූ මේ සිරුරට ඇති වන නොයෙකුත් ලෙඩ රෝගාදිය නිසාත්, අපි‍්‍රයයන් සමඟ ජීවත්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ආදිය නිසාත් ඇති වන දුක් දොම්නස් නැති කරගත හැකි වේ.
අනිත්‍ය, දුක්ඛ, අනන්ත යන ත්‍රිලක්ෂණය දැකීමත්, ඒ අනිත්‍ය දේ හිතින් තදින් අල්ලාගෙන සිටීමත් නිසා දුක ඇති වන බව දැකීමයි යථාර්ථය දකිනවා යයි කියන්නේ. ඊටම තමා සත්‍ය දැකීම හෝ ඇත්ත දැකීම හෝ ඇති දෙය ඒ හැටියෙන් දැකීම හෝ හරි දැකුම හෝ කියන්නේ. මේ දැකීම, දැනීම, අවබෝධය, නුවණ ඇති වීම තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් පියවර.
ඉන් පසු අනිත්‍ය වූ දෙයට ඇලීම බැඳීම හිතින් අතහැරීම නම් වූ කෙනක්ඛම්ම සංකප්පයත්, මෛත්‍රී කිරීම නම් වූ අව්‍යාපාද සංකප්පයත්, කරුණාව දියුණු කිරීම නම් වූ අහිංසා සංකප්පයත් දියුණු වේ. මේ හිතුවිලි තුන එක් කරගත් විට ඊට සම්මා සංකප්පයයි කියති. මෙලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සියලු අග සම්පූර්ණ වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම සිදු වේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ විදිහටම අනුගමනය කරගෙන යන විට තමා නිවන් අවබෝධ වන්නේ.
සප්පාය සම්පජඤ්ඤයැයි කියන්නේ භාවනා කිරීමෙන් අප බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගැනීමට යොදාගන්නා කර්මස්ථානය ඒ බලාපොරොත්තු වන අරමුණ කරා ගමන් කිරීමට සුදුසුදැයි පරීක්ෂා කර නුවණින් දැනගැනීමය. භාවනා කරන විට තමන් කරන භාවනාවෙන් ඒ අපේක්ෂාවන් කරා හිත නොයෙදනවා නම් ඒ බව දුටු වහාම හිත ඒ සඳහා යොමු කළ යුතුයි. මේ තත්ත්වය හොඳින් දැනගැනීමයි සප්පාය සම්පජඤ්ඤයයි කියන්නේ. සුදුසු කර්මස්ථානය බලාපොරොත්තු වන අරමුණු කරා ගෙන යා හැකි බව හොඳින් අවබෝධ කරගැනීමය.
ගෝචර සම්පජඤ්ඤ කියන්නේ තමන්ගේ හිත යොදවන්නේ කුමන අරමුණකටදැයි හොඳින් අවබෝධ කරගැනීමය. අපේ භාවනා අරමුණ වන්නේ අපේම පංචස්කන්ධයයි. අප ඒ පංචස්කන්ධයන්ටම හිත යොමු කළ යුතුයි. එවිට ඒ පිළිබඳ නියම අවබෝධය ඇති වේ. ‘ගෝචර’ කියා පාලියෙන් කියන්නේ ගවයන් කෑම කමින් හැසිරෙන ස්ථානයටය. ඒ අර්ථය ආරූඪ වශයෙන් ගෙන භාවනානුයෝගීයාගේ හිත භාවනා අරමුණෙහි හැසිරෙන තැන යන අදහසින් ‘ගෝචර’ කියා ව්‍යවහාර කෙරේ.
අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ කරන භාවනාවන් ඒ සඳහා උපයෝගී කරගන්නා කර්මස්ථානයත් ගැන පැහැදිලි දැනීමක් තිබීමය. ඒ පිළිබඳව කිසිම ආකුල-ව්‍යාකුල තත්ත්වයක් හිතේ නොතිබීම අසම්මෝහ සම්පජඤ්ඤයයි. භාවනා කරමින් ඉන්නා විට හිතේ එක්තරා සන්සුන්කමක් ඇති වී හිත ස්වල්ප මොහොතකට හෝ එකඟ වුණොත් ‘ඔන්න දැන් මට සමාධියක් ලැබුණා’ කියා හෝ ‘දැන් මට අහසින් යා හැකැ’යි කියා හෝ දැන් මට අනුන්ගේ හිත් කියවිය හැකැ’යි කියා හෝ දැන් ‘මම සෝවාන් වුණා’ යි කියා හෝ ඔබට හැඟුණොත් ඒ තමා මුළාව. මේ මුළාවට හසු නොවී භාවනානුයෝගියා මේ ගැන හොඳින් තේරුම් ගැනීමයි අසම්මෝහ සම්පජඤ්ඤ කියා කියන්නේ.
ඒනිසා භාවනා කරන හැම මොහොතකම නොහොත් අවදි වී ඉන්නා හැම මොහොතකම ඔහු සිතිය යුත්තේ මේ ඉලක්ක ලබාගන්නා ක්‍රමය පිළිවෙළ ගැනමයි. ගමන් කරන විටත්, වාඩි වන විටත්, ඇවිදින විටත්, කථා කරන විටත්, කථානොකර නිශ්ශබ්දව ඉන්නා විටත්, ආදි වශයෙන් තමන් කරන හැම ක්‍රියාවක් ගැනම හැම මොහොතේම ඒ ඒ ක්‍රියාවලත්, ඒ ඒ ක්‍රියා කරන විට තමන්ගේ හිතේ ඇති වන සිතුවිලි, දැනෙන දැනීම් ආදියෙහිත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකිමින් සිහිය යොදවාගෙනම ඒ ක්‍රියා කළ යුතුයි.
ඒ සමඟම අල්පේච්ඡභාවය දියුණු කළ යුතුයි. තණ්හාව වැඩෙන අයුරු ක්‍රියා කිරීමෙන් වැළකිය යුතුයි. මෙකී කරැණු නිතර නිතර දිනපතාම කරන විට, නිදාගන්ට ගියත් අවදි වී සිටියත්, නිතර හිතෙන්නේ සිල් රැකීමටත්, සතිසම්පජඤ්ඤය දියුණු කිරීමටත්ය. මෙසේ හිත පුරුදු-පුහුණු වන විට නොයෙකුත් දේ එකතු කිරීමට අල්ලාගැනීමට රැස් කිරීමට ආශාව කැමැත්ත ඇති වන්නේ නැහැ. එවිට අල්පේච්ඡතාව වැඩීමට හිත පුරුදු වෙනවා. මෙසේ උතුම් අදහස් නිතර නිතර හිතට නංවාගෙන ඒවාම සිහි කරන විට ඒවාම දියුණු වෙනවා. මෙහෙම හිත සැනසෙන, හිතට සුව ගෙනදෙන, මනසෙහි තැන්පත් භාවය දියුණු කරන, හිතේ නිවැරැදි එකඟතාව ඇති කරගන්නා ලෙස හිත පුරුදු කිරීමටයි භාවනා කරනවා කියන්නේ.
* * *
සමාධිය හා ප්‍රඥාව යන දෙකම ලබන භාවනා පහක් අංගුත්තර නිකායේ දක්වා ඇත. ඒ පහ මෙසේය: 1. බුදු රජාණන් වහන්සේ හෝ ශ්‍රාවක නමක් හෝ ධර්ම දේශනා කරන විට ඒ කෙරෙහි ඉතා බලවත් ශ්‍රද්ධාවකින් යුතුව හොඳින් කන් යොමා ඒ දෙසන ධර්මයට ඇහුම් කන්දීම, 2. ඉතා බලවත් ශ්‍රද්ධාවකින් යුතුව ධර්මය ඉගෙනගෙන ධර්ම ගෞරවය ඇතිව ධර්ම දේශනා කිරීම, 3. ඉතා ගැඹුරු සූත්‍රයක් ගෙන එහි ගැඹුරු තේරුම හොඳින් පරීක්ෂා කර බැලීම, 4. යම්කිසි සූත්‍රයක් ගෙන එහි සැඟවී ඇති ගැඹුර දකිමින් ඉතා බලවත් ශ්‍රද්ධාකින් යුතුව එය සජ්ඣායනා කිරීම හා 5. තමන්ට සුදුසු මාතෘකාවක් ගෙන දැන් ප්‍රචලිතව තිබෙන අයුරු භාවනා කිරීම යනු ඒ පහය.
මෙයින් කොයි ක්‍රමය උපයෝගී කරගෙන භාවනා කළත් ලැබෙන්නේ සමාධිය හා ප්‍රඥාවයි බණ අසන ගමන්, බණ දෙසන ගමන්, ධර්මයේ ගැඹුර බලන ගමන් හා සජ්ඣායනා කරන ගමන් හිත එකඟ කරගන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්න කළ හැකියි. වාඩි වී භාවනා කළත් අනිත් ක්‍රම හතරෙන් එකක් ගෙන භාවනා කළත් ධර්මයේ නියම ගැඹුර ඔබේම ප්‍රත්‍යක්ෂයෙන් දකින විට වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි ඉතා බලවත් ශාන්ත බවක් ඔබට ඔබේ හිතේ ඇති වේ. මේ ශාන්ත බව තව–තවත් දියුණු-තියුණු වී, ඔබේ හිතේ පී‍්‍රතියක් හටගැනේ. ඒ පී‍්‍රතිය තව–තවත් දියුණු–තියුණු වී වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි සතුටක් ඇති වේ. මේ සතුටින් පිරුණු හිත සමාධිගත වේ. මේ එකඟ වූ සිතට යමක යථා තත්ත්වය අවබෝධ වන බව බුදු රජාණන් වහන්සේ සිය ගණන් සූත්‍රවල දේශනා කර තිබේ.

සදහම් සඟරා - Online