ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

විනය පිටකය හා සෞන්දර්යය

බුදුදහම සෞන්දර්ය විරෝධී ධර්මයක් වශයෙන් හඳුන්වා දීමට ඇතැම් විචාරකයෝ පෙලඹෙති. බැලූ බැල්මට නම් එවැනි විචාරයක යෙදෙන්නවුන්ගේ මතය තහවුරු කිරීමට පාලි විනය පිටකය කදිම තෝතැන්නක් බව පෙනේ. බුදුදහම සෞන්දර්ය විරෝධී නො වේ යැ යි අදහස් දක්වන විචාරකයන් වෙතින් ද වක්‍රාකාරයෙන් සෞන්දර්ය විරෝධී ය යන මතය තහවුරු වීමට ඇතැම් විට කරුණු සැපයෙන බව පෙනේ. මේ එහි සත්‍ය තත්ත්වය කෙසේ ද? යන්න විමසා බැලීමකි.

විනය යනු බුදු රදුන්ගේ ‘ආණා දේශනාව’ යි. මුල් කාලීන භික්ෂුව ශාස්තෲන් වහන්සේට ගැළපෙන අයුරින් කටයුතු කළ මුත් පසු කාලීන භික්ෂූන් නොයෙක් විෂමාචාරයන්ට පෙලඹීම හේතුවෙන් පාරාජිකාදි සික පද පනවන්නට සිදු විය. එසේ පැනවූ සික පද සංග්‍රහ මූලිකස්ථානයෙහි ලා ඉදිරිපත් කැරෙන වාර්තාව ‘විනය පිටකය’ නමින් හැඳින්වේ. එහෙත් විනය පිටකය යනු හුදු ශික්ෂා සංග්‍රහයක් ම ද නො වේ. එම ශික්ෂා පැනවීමට හේතු වූ නිදාන, අතිරේක කථා ආදිය ද මෙහි අන්තර්ගත වේ. ඒ අනුව විනය පිටකය යනු බුදු සමය පිළිබඳ ව කරුණු දැනගත හැකි, ප්‍රමාණවත් මූලාශ්‍රයකි. පළමු ධර්ම සංගායනාවේ දී ප්‍රථමයෙන් ම සංගායනා කරන ලද විනය පිටකය කොටස් පහකින් සමන්විත ය. ඒ පාරාජිකපාළි, පාචිත්තියපාළි, මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි හා පරිවාරපාළි වශයෙනි.
බුදුන් වහන්සේ හා භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ස්ථානවලින් බහුතරය ස්වාභාවික පරිසරයේ පිහිටි සුන්දර ස්ථාන වේ. විනය පිටකය පුරා පැතිරී ඇති, තථාගතයන් වහන්සේ හා තථාගත ශ්‍රාවක-ශ්‍රාවිකාවන් විසින් සේවිත ස්වාභාවික පරිසරය හා බැඳුණු සුන්දර ස්ථාන මෙසේ ය:
සැවැත් නුවර ජේතවනාරාමය, තපෝදාරාමය, තින්දුකකන්දරාව, නළේරු කොසඹ ගස මුල, අචිරවති නදිය, අන්ධ වනය, ඉසිගිලි පර්වතය, උතුරුකුරු දිවයින, උණ ගස් ආදියෙන් වට වූ ලෙහෙනුන්ට අභයභූමියක් වූ වේළුවනයෙහි කලන්දකනිවාපය, විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාව, ගිජ්ඣකූට පර්වතය, ගෝතමකකන්දරාව, චම්පා නුවර ගග්ගරා පොකුණු තෙර, සොරුන් පහළට හෙළා මරා දමන චෝරප්‍රපාතය, ජීවක අඹ වනය, භද්දිය නුවර ජාතියා වනය, මුවන්ට අභය භූමියක් වූ උයන හෙවත් මද්දකුච්ඡි මිගදාය, විශාලා නුවර මහා වනය, හිමාලය ප්‍රදේශයේ මහා වන ළැහැබක්, පුණ්‍ය සම්මත වූ වග්ගුමුදා නම් ගං තෙර, වේභාර පර්වත පස්සයෙහි සත්තපණ්ණි ගුහාව, සීත වනයෙහි සප්පසොණ්ඩික නම් පර්වත ප්‍රපාතය, සප්පිනිකා ගං තෙර, උණු ජලය ඇති තපෝදා නදිය, තපෝදා නදිය ආශ්‍රිත තපෝදාරාමය, තපෝදකකන්දරාව, භගු ජනපදයෙහි සුංසුමාරගිරි නුවර මුවන්ට අභය භූමියක් වූ භේසකලාවනය, අජපල් නුග රුක, අනවතප්ත විල, බරණැස් නුවර මුවන්ට අභය භූමියක් වූ ඉසිපතන මිගදාය, උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා ගං ඉවුර, මිදෙල්ල රුක මුල, කිරිපලු රුක මුල, ගංගා නම් ගඟ, ගයා නදී ශීර්ෂය, ගෞතම තීර්ථය, අවන්ති ජනපදයෙහි කුරරඝර නගරයෙහි ප්‍රපාත පර්වතය, පාචීනවංසදාය නම් වූ වනය, රක්ෂිත වන ළැහැබක් වූ පාරිලෙය්‍යක වනය, මන්දාකිනී පොකුණ, රජගහ නුවර උයනක් වූ වැල්මී වනය, රජගහ නුවර සමීපයෙහි බිය උපදවන මහා සුසාන වනයක් වූ සීත වනය, මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනය, අහෝගංග පර්වතය, අල්ප ශබ්ද ඇති රමණීය වාලිකාරාමය යනාදි තැන් ය.
ජේතවනාරාමය, වේළුවනාරාමය වැනි ආරාම දියුණු වෙළෙඳ නගර ආශ්‍රිත ව පිහිටා ඇති බැවින් ඒවා කෘත්‍රිම පරිසරයක පිහිටි හා ස්වාභාවික පරිසරයෙන් බොහෝ දුරට වියුක්ත වූ ආරාම වශයෙන් හඳුන්වමින් කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත් එම ආරාම පිළිබඳ ව විස්තර ගවේෂණයේ දී ලැබෙන දත්ත අනුව එවැනි තර්ක නිරාධාර වේ. සැබැවින් ම ජේතවනාරාමය පිහිටා තිබුණේ නගරයට දුරත් නොවන, ළඟත් නොවන මට්ටමකිනි. තව ද එය ගෙඩි හා මල් ආදියෙන් ශෝභමාන වූ වනගත ප්‍රදේශයක් බව පැහැදිලි ය.
ජේතවනාරාමය පිහිටියේ වනගත ප්‍රදේශයක බව තහවුරු කරන සාධකයක් වන්නේ අම්බගෝපක ස්ථවිරයන් වහන්සේගේ කථාවෙනි. මේ හිමි නම මහලු කල පැවිදි වී ජේතවන ප්‍රත්‍යන්තයේ අඹ වනයේ පන්සලක් කොටගෙන අඹ රකිමින් සිටි බව සඳහන් වේ. මෙයින් තහවුරු වනුයේ ආරාමික වනය තුළ වුව උපවන තිබූ බව යි. මුලින් සඳහන් කළ අන්ධ වනය ද සැවැත් නුවරට නුදුරෙහි, ජේතවනාරාමය පිටුපස පිහිටි විවේකය කැමැත්තවුන් විසින් සේවනය කළ වන පෙදෙසකි.
විනය පිටකයේ සඳහන් වන මෙම ස්ථානවලින් වැඩිහරියක් වනගත ප්‍රදේශ ය; නැති නම් රුක් මුල් හෝ පොකුණු, ගංගා ආදි ජලයට සම්බන්ධ ස්වාභාවික ස්ථාන ය. සාමාන්‍ය ජනයා විසින් හැර–දමන ලද සීත වනය වැනි සොහොන් බිම් ද ඒ අතර වේ. සාමාන්‍ය ජනයා විසින් බිය ඉපදවීම් ආදිය කරණ කොටගෙන හැර දැමූ පමණින් එම භූමි අසුන්දර ස්ථාන නො වේ. සුපිපි සීත වනයෙහි සීත දිය දහරින් ගත සනසාගෙන තමන් වහන්සේ සුවෙන් වැඩ සිටින බව ඒකවිහාරීය ස්ථවිරයන් වහන්සේ වදාළ අයුරු ථේරගාථාවලින් පෙනේ.
භික්ෂු සංඝයා බුදුරදුන් විසින් සෙනසුන් පනවන්නට පෙර රුක්මුලෙහි, පර්වතයෙහි, කඳුරැළියෙහි, ගල් ලෙන්හි, සොහොනෙහි, වනපෙතෙහි, එළිමහනෙහි හා පිදුරු ගොඩ වැනි තැන්වල වුසූ බව සඳහන් වේ. අත්‍යන්තයෙන් ම ස්වාභාවික පරිසරය හා බැඳී පවතින මෙවැනි තැන් සෙනසුන් පැනවීමෙන් පසු ව පවා ඇසුරු කැරුණු බවට විනය පිටකයෙහි ම සාක්ෂි වේ. හේමන්ත ඍතුවෙහි නවම්, මැදින් දෙමස අතර අට දිනයෙහි ශීත රාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි ගෝතමක චෛත්‍යයෙහි වැඩ වසන බුදුන් වහන්සේ එළිමහනෙහි වැඩ සිටීමත් සිව් දිවයිනට එක පැහැර මහා මේඝයක් වස්නා කල්හි භික්ෂූන්ට එම වැස්සෙන් කය තෙමාගන්නා ලෙස අනුදැන වැදෑරීමත් එය පිළිගත් භික්ෂූන් සිවුරු බහා තබා වැස්සෙන් කය තෙමාගැනීමත් යන සිද්ධි ස්වාභාවික සුන්දර පරිසරයේ අවස්ථාවන්ට කැමැත්තෙන් මුහුණ දුන් බවට උදාහරණ වේ.
මෙලෙස විනය පිටකය බුදුරදුන් ඇතුළු සංඝයා වැඩ සිටි සුන්දර භූමි පිළිබඳ ව සඳහන් කරන්නා සේ ම තවත් අදාළ සුන්දර තැන් ද නොපැකිළ ව වර්ණනය කොට ඇත. මෙයට හොඳ උදාහරණයක් වන්නේ චීවරක්ඛන්ධකයේ සඳහන් වන වේසාලි නගර වර්ණනය යි. වේසාලි නගරයට පැමිණි රජගහ නුවර වැසි කෙළෙඹි පිරිසක් සුන්දර වේසාලි නගරය දක්නා ආකාරය එහි දක්වා ඇත. සත්දහස් සත්සිය සත බැගින් වන ප්‍රාසාද, කුළුගෙවල්, ආරාම හා පොකුණු ද මනා රූ ඇති දැකුම්කලු වූ ප්‍රසාද ජනක උතුම් වූ වර්ණ සම්පත්තියෙන් යුතු නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්ෂ වූ අම්බපාලි ගණිකාව ද ඇය නිසා බෙහෙවින් හොබනා වේසාලි නගරය ද ආදි වශයෙන් එම වර්ණනාව දක්වා ඇත. අවශ්‍ය සිද්ධිය විස්තර කරනු වස් මෙවැනි ලෞකික වර්ණනා ද පාලි විනය පිටකයට එක් කොට ඇත.
විනය පිටකයෙහි බුදුරදුන් විසින් පනවා වදාළ අධිශීල ශික්ෂාව අන්තර්ගත වේ. කරුණු දහසක් මුල් තැන්හි තබා විනය නීති පනවා ඇත. එනම් සංඝයාගේ හිත සුව පිණිස, සංඝයාගේ පහසු බව පිණිස ආදි වශයෙනි. මෙසේ පනවා වදාළ ඇතැම් ශික්ෂා පදවලින් සෞන්දර්ය විරෝධී ආකල්පයක් ප්‍රකට වේ ය යනු ඇතැම් විචාරකයන්ගේ අදහස යි. තවත් විචාරකයෝ ඇතැම් සික පදවලින් සෞන්දර්ය ආකල්ප බැහැර වේ ය යන බියෙන් දෝ හෝ ඒවාට නව අර්ථකථන සැපයූ හ. ඒවායින් තත්ත්වය තවත් අවුල් වී ඇති සැටියකි. එබැවින් මෙකරුණු ද එක-එකක් පාසා ගෙන විමසා බැලීම වටී.
බුදුදහම හා සෞන්දර්යය පිළිබඳ ව අධ්‍යයනයෙහි යෙදෙන විද්වතුන් විසින් භාෂා ව්‍යවහාරය පිළිබඳ බෞද්ධ ආකල්පය විමසා බැලීම ද මූලික ව අවධානයට යොමු කරන අංශයක් බව ප්‍රකට ය. ඒ අනුව විනය පිටකයෙහි භාෂා ව්‍යවහාරය පිළිබඳ ආකල්පය විමසා බැලීම ද ප්‍රයෝජනවත් වේ. යමේළු හා තෙකුල යන භික්ෂූ දෙනම බුදුරදුන්ගෙන් බුද්ධ වචනය වෛදික භාෂාමය වාචනා මාර්ගයට නගන්නට අවසර ඉල්ලා සිටියහ. එවිට බුදුරදුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට, යමෙක් එසේ කරන්නේ නම් දුකුළා ඇවැත් වන බව දක්වා බුද්ධ වචනය සකාය නිරුත්තියෙන් පිරිවහන්නට අනුදැන වදාළ සේක. මේ සම්බන්ධයෙන් මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත හිමි ආදි විද්වතුන්ගේ පිළිගැනීමට අනුව මෙහි සකාය නිරුත්තිය නම් තම-තමන්ගේ භාෂා ය. එහෙත් අට්ඨකථා විවරණයට අනුව එය මාගධික ව්‍යවහාරය හෙවත් පාලි භාෂාව වේ.
මාගධික ව්‍යවහාරයෙන් පවතින බුද්ධ වචනය අන්‍ය භාෂාවන්ට පරිවර්තනය කිරීමේ දී හට ගත් අර්බුද පිළිබඳ ව කථා ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. මෙවැනි අර්බුදකාරී ඇතැම් පරිවර්තන නිසා විචාරකයන් බුදුදහම සර්ව අශුභවාදයක් වශයෙන් සලකන්නට පෙලඹුණු අවස්ථා ද වේ. තව ද: බුදුදහම දරා සිටීමට තරම් ශක්‍යතාවකින් යුතු මාගධික ව්‍යවහාරය පසෙක ලා අන්‍ය භාෂාවකින් එයින් ජනිත වන අර්ථය එලෙස ම ලබා දීම පහසු කටයුත්තක් නො වේ.
ආනන්ද කුමාරස්වාමි ඔහුගේ ‘ශිව නෘත්‍යය’ නම් කෘතියේ දී බුදුන් වහන්සේ සෞන්දර්ය විරෝධියකු වශයෙන් හැඳින්වීමට යොදාගත් කරුණක් පිළිබඳ ව මෙහි දී මුලින් ම අවධානය යොමු කරමු. එහි දී ඔහු දක්වන අන්දමට දසධම්ම සූත්‍රයේ සඳහන් “මම දුර්වර්ණ බවට පැමිණියෙමි, ප්‍රිය මනාප අයගෙන් වෙන් වූයෙමි” යනුවෙන් මෙනෙහි කිරීමට භික්ෂූන් වහන්සේලාට උපදෙස් දී තිබීම සෞන්දර්ය විරෝධී කරුණකි. ආනන්ද කුමාරස්වාමි විසින් ඉදිරිපත් කළ මෙම අදහස සනාථ කිරීමට තර්ක කරන ඇතැමකුට ඒ සඳහා උපයෝගී කරගත හැකි තවත් සාධක රැසකි. ඒ මෙසේ ය:
අලුත් සිවුරක් ලද භික්ෂුව විසින් නිල්, මඩ හෝ කළු යන වර්ණ තුනෙන් එකකින් එම සිවුර දුර්වර්ණ කරගත යුතු ය. එසේ නොකොට එම සිවුර පාවිච්චි කරන්නේ නම් පචිති ඇවැත් වේ. තව ද කඨිනක්ඛන්ධකයෙහි කප්බිඳු තැබූ වස්ත්‍රයෙන් කඨිනය ඇතිරීමක් පිළිබඳ ව සඳහන් වේ. භික්ෂුව වල්ලිකා, පමු, ගෙල පලඳනා, ඉඟ පලඳනා, වළලු, හස්තාභරණ, ඇඟිලි මුදු යන මේවා දැරීම,
කැටපතෙහි හෝ දිය බඳුනෙහි මුහුණු සටහන බැලීම, මුහුණ ආලිප්ත කිරීම, මුහුණ වත්සුනුයෙන් තැවැරීම, ඇඟ පැහැ ගැන්වීම, මුහුණ පැහැ ගැන්වීම ආදිය, භිත්තිකර්ම කළ රූපයෙන් ගැවැසී ගත් විසිතුරු පාමඬුලු (පාත්‍ර අඩි) දැරීම, මල් විසුළ යහන්හි සැතැපීම, නිය ඔපමට්ටම් කිරීම, රැවුළ අන්දම් තබා කැප්වීම, රැවුළ වැවීම, රැවුළ එළුරැවුළ සේ දික් කොට කැප්වීම, රැවුළු සතරැස් කොට කැප්වීම, පපුවේ ලොම් බෑවීම, බඩෙහි ලොම් වැටිය තබා සෙසු තැන්හි ලොම් බෑවීම, දැළි රැවුළු තැබීම, සම්බාධ ස්ථානයෙහි ලොම් බෑවීම යන මේවා කිරීමෙන් භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ.
මීට අමතර ව මල් පැළ සිටුවීම, සිටුවවීම, ඒවාට දිය ඉසීම, දිය ඉස්වීම, මල් කැඩීම, මල් කැඩවීම, මල් දම් ගෙතීම, ගෙතවීම, එක් පසකට නටුව ඇති සේ මල් දම් තැනීම, තැනවීම ආදිය හා කුලවමියනට, කුල දූනට, කුල කුමරියනට, කුල යෙහෙළියනට, කුල දාසීනට එක් පසකට නටු සිටුනා සේ තැනූ මල් දම් ගෙන යෑම ආදිය හා ඔවුන් සමඟ එක් බඳුනෙහි වැලඳීම, නැටීම, ගැයීම, වැයීම යනාදිය ද ශික්ෂාවෙහි ඇති පරිදි පිළියම් කරවිය යුතු වැරැදි වශයෙන් පෙන්වා දී ඇත.
භික්ෂුණීන් හා සම්බන්ධ විනය නීති විමසීමේ දී ද මෙවන් නීති හඳුනාගත හැකි ය. භික්ෂුණිය ස්ත්‍රී අලංකාර දැරීම, ගන්ධ වර්ණකයෙන් ස්නානය කිරීම, සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නානය කිරීම යන දෑ කිරීමෙන් පචිති ඇවැත් වේ. තව ද: මුව ආලේප කිරීම, මුව සිනිඳු කිරීම, මුව සුනු තැවරීම, මනෝසීල කල්කයෙන් මුව ලකුණු කිරීම, අංගරාගමුඛරාගය යන දෑ කිරීමෙන් දුකුළා ඇවැත් වේ. මේ සියල්ලට අමතර ව උස් අසුන් හා මහ අසුන් දැරීම භික්ෂූන්ට දුකුළා ඇවැතක් බව දක්වා ඇත. එය අටසිල් සමාදන් වූ උපාසක-උපාසිකාවනට එක් සිල් පදයකි. මෙහි උස් අසුන් හා මහ අසුන් යනු විසිතුරු එළු ලොම් ඇතිරිය, රන්කම් කළ නූලෙන් වියූ ඇතිරිය, ඇතු පිට ලන ඇතිරිය, අසු පිට ලන ඇතිරිය යනාදිය යි. සේඛියා පිළිබඳ සාකච්ඡාව ලිපිය දිගු වීමට හේතු වන බැවින් එය මෙහි දී අත්හැරේ.

මේ ආකාරයට බුදුරදුන් භික්ෂු–භික්ෂුණීන් විෂයයෙහි පනවා ඇති සික පද පෙන්වන අයකුට ආනන්ද කුමාරස්වාමිගේ මතය තහවුරු වන ආකාරයට කථා කළ හැකි ය. ඒ සම්බන්ධයෙන් කළ යුතු ප්‍රති
වාදය ගොඩනැගිය යුත්තේ මේ සික පද එක-එකක් පාසා පනවන්නට හේතු වූ පසුබිම ද ගෙන සාකච්ඡා කරමිනි.

මේ බොහෝ ශික්ෂා පනවා ඇත්තේ ඒ ඒ ක්‍රියා භික්ෂූන් කරනු දැකීමෙන් නොසතුටට පත් ගිහියන්ගේ චෝදනාවලින් පසු ව ය. ඒ ඒ ක්‍රියා දකින ජනතාව “මේ භික්ෂූන් කාමභෝගී ගිහියන් මෙනැ” යි පවසමින් අවඥා කරති; නුගුණ කියති; දොස් පතුරුවති. මෙලෙස ජනතාවගේ දෝෂ දර්ශනයෙන් භික්ෂුව මුදාගනු වස් පැනවූ ලෝකවිජ්ජ ශික්ෂා රැසකි.
තව ද: මෙවන් ශික්ෂා සම්බන්ධයෙන් පැනනැගිය හැකි යථෝක්ත ප්‍රශ්න නිරාකරණය සඳහා ශික්ෂා පද පනවන්නට හේතු වූ කරුණු දහය විමසා බැලීම වටී. එනම් සංඝයාගේ හිත සුව පිණිස, සංඝයාගේ පහසු බව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස, මෙලොව දී පැමිණිය හැකි දුක් දුරු කර ලීම පිණිස, පරලොව දී පැමිණෙන දුක් නැති කිරීම පිණිස, නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුණවුන්ගේ වැඩි පැහැදීම පිණිස, සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස යන දස අර්ථ සාධනය පිණිස ය.
මෙවන් ශික්ෂා පද සම්බන්ධයෙන් තව දුරටත් විමසා බලන කල පැහැදිලි වන්නේ කෙලෙස් ඇති වෙතැ යි සැලකිය හැකි අංශ වාරණය කිරීම, මිනිසුන්ගෙන් වන දෝෂාරෝපණය වැළැක්වීම ආදිය අරමුණු වූ බව යි. එහෙත් මෙවන් ශික්ෂාවන්ගෙන් භික්ෂුව ආරක්ෂා වූ පමණින් උන් වහන්සේ දක්නට, ඇසුරු කිරීමට අප්‍රසන්න අයෙක් ද නො වී ය. එයට අදාළ පරිසරය ද බුදුන් වහන්සේ විනය ශික්ෂා ඔස්සේ ම නිර්මාණය කරන්නට වූ සේක. ඒ මෙසේ ය:
භික්ෂුව දික් කෙස් නොදැරිය යුතු ය. යම් භික්ෂුවක් ඒ දරන්නේ නම් දුකුළා ඇවැත් වේ. දෙමසක් වූ හෝ දෑඟුලක් දික් වූ හෝ කෙස් දරන්නට අනුදැන වදාරා ඇත. කළ කබලෙහි පිඬු පිණිස නොහැසිරිය යුතු ය. මිනී හිසින් කළ පාත්‍රයක් නොදැරිය යුතු ය. හප, ඇට හෝ ඉඳුල් දිය පාත්‍රයෙන් ඉවතට ගෙන නො යා යුතු ය. දික් නිය නොදැරිය යුතු ය. තෙත් පයින් සෙනසුන නොපෑගිය යුතු ය. යම් භික්ෂුවක් මේ නොකළ යුතු දෑ කරයි ද එම භික්ෂුවට දුකුළා ඇවැත් වේ. තව ද සෙනසුන් පිරිසිදු ව පවත්වාගැනීමට අදාළ ඇමදීම, ශුද්ධ පවිත්‍ර කිරීම ආදිය පිළිබඳ ව වත්තක්ඛන්ධකයෙහි හා සේනාසනක්ඛන්ධයෙහි කරුණු පෙන්වා දී ඇත. මේ සියල්ලෙන් ම භික්ෂු, භික්ෂුණී සංඝයා පිරිසුදු ව හා ප්‍රිය මනාප ව සිටීම අපේක්ෂිත විය.
මෙලෙස සුන්දරත්වය වෙනුවෙන් ඉවත් කළ යුතු දෑ පෙන්වා වදාළා මෙන් ම අනුගමනය කළ යුතු හා පිළිගත යුතු දෑ ද අනුදැන වදාළ සේක. ඒ මෙසේ ය. තල් වැට හා විජිනිපත අනුදැනීම, ස්වාභාවික පඬු වර්ග අනුදැනීම, මගධ කෙත අනුව සිවුර සකස් කරගැනීමට උපදෙස් දීම, ජීවකයන්ගේ බොහෝ වටිනා සීවෙය්‍යක වස්ත්‍ර යුග්මය පිළිගැනීම, ජීවකයන්ගේ පන්සියයක් වටිනා කම්බිලිය පිළිගැනීම හා කම්බිලිය අනුදැනීම යනුවෙනි. මේ සියලු ශික්ෂා සැලකිල්ලට ගන්නා කල ආනන්ද කුමාරස්වාමිගේ අදහස ඍජු ව ම ප්‍රතික්ෂේප වේ.
මීළඟට අවධානය යොමු කරන පරිසර සංරක්ෂණය හා සම්බන්ධ විනය නීතිවලින් ස්වාභාවික සෞන්දර්යයේ සංරක්ෂණය නිතැතින් ම සිදු වේ. ඒවායින් භික්ෂූන් සඳහා අදාළ වන්නේ ආවාස වත්තෙහි ඒ ඒ තැන මූත්‍ර කිරීම, කැලෑ ගිනි තැබීම, ගස්-වැල් සිඳීම, පොළොව කැණීම, සත්ත්ව ලොම් ආදිය භාවිතය යනාදිය නොකිරීමට උපදෙස් දීම, විනය නීති පැනවීම හා ස්වාභාවික පරිසර සංරක්ෂණය සඳහා වස් වැසීමට අනුදැනීම යනාදිය යි. මේ සම්බන්ධයෙන් ම භික්ෂුණීන් විෂයයෙහි පනවා ඇති ශික්ෂා මෙසේ ය. යම් භික්ෂුණියක් මල, මූත්‍ර, කසළ හෝ ඉඳුල් නිල්වන් ගොයමෙහි දමන්නේ ද, දමවන්නේ ද, ඒවා ම බිත්තියෙන් පිටතට හෝ පවුරෙන් පිටතට දමන්නේ ද, දමවන්නේ ද පචිති ඇවැත් වේ යනුවෙනි.

මහාචාර්ය ඔලිවර් අබේනායක දක්වන අන්දමට ඇතැම් විචාරකයන් වෙතින් බුදුසමය ගීතයට විරුද්ධ ය යන්න තහවුරු කිරීමට ද සාධක ඉදිරිපත් වී ඇත. එසේ ඉදිරිපත් වන කරුණු පහෙන් තුනක් ම විනයට සම්බන්ධ වේ. ඒවා නම් අටසිල් හා දසසිල්වල විරමණය කළ යුතු දෙයක් ලෙස ගීතය පෙන්වා දී තිබීම, බුද්ධ වචනය ඡන්දසට නොනැගීමට, ගී හඬින් ධර්මය ගායනා නොකිරීමට භික්ෂූන්ට අනුශාසනා කර තිබීම යනුවෙනි.

සැබැවින් ම නැටීම, ගැයීම, වැයීම හා නාට්‍ය යන මේවායින් භික්ෂුව ඉවත් කිරීමට පනවා වදාළ ශික්ෂා පද විනය පිටකයෙහි වේ. මෙහි දී විනය පිටකයට අනුව ම සලකා බලන්නේ නම් නැටුම්, ගැයුම්, වැයුම් බැලීමට යෑම ඇවැතක් වුව ආරාමයෙහි සිටිද්දී දකී නම්, අසා නම්, සිටින තැනට පැමිණ එවැන්නක් කරයි නම් එය දකී නම්, අසා නම්, පෙර මග යන විට අසා නම් හෝ දකී නම් හෝ ආදි අවස්ථාවල දී ඇවැත් නො වේ. මෙහි දී මෙම සික පදය පනවන්නට මූලික ව ම හේතු වී ඇත්තේ ද නැටුම්, ගැයුම් ආදිය බැලීමට යෑම නිසා ඇති වූ ජන අපකීර්තිය යි. අනෙක් කරුණ නම් මෙවැනි දෑ සමාධියට බාධා කරන බව යි. මෙහි දී සිහිපත් කරගත යුතු අනෙක් කරුණ වන්නේ බුදුරදුන් දික් වූ ගී හඬින් ධර්මය ගැයීම ප්‍රතික්ෂේප කළ ද ස්වරභණ්‍යය හෙවත් තරංග වෘත්තාදි වශයෙන් වෘත්තවලට අනුව කීම අනුදැන වදාරා ඇති බව යි.
මීළඟට අවධානය යොමු කරන චිත්‍රකරණය පිළිබඳ විනය නීතිය චුල්ලවග්ගපාළියෙන් හඳුනාගත හැකි ය. එහි දී බුදුන් වහන්සේ පනවන්නේ ස්ත්‍රී රූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභාන චිත්‍ර නොකරවිය යුතු බව යි; යමෙක් කරවන්නේ නම් දුකුළා ඇවැත් වන බව යි. මෙහි දී වැදගත් වන්නේ බුදුන් වහන්සේ විසින් ඉන් අනතුරු ව කළ අනුදැන වැදෑරීම යි. එනම් මල්කම් ලියකම් මුවරදත් පස්වනක් පැහැ කිරීම අනුදැන වැදෑරීම යි.
උපමාදිය භාවිතය සෞන්දර්ය විෂය ක්ෂේත්‍රයේ වැදගත් අංශයක් බැවින් ඒ පිළිබඳ ව ද මෙහි දී කෙටියෙන් හෝ අවධානය යොමු කැරේ. ඒ අනුව පාලි විනය පිටකයෙහි කතන්දර භාවිතය, ස්වාභාවික පරිසරයෙන් ලැබූ උපමා, ඒ ඒ පුද්ගලයාට අනුව වදාළ උපමා ආදිය භාවිත වී ඇති අන්දම දැකගත හැකි ය. ගිහි කල වීණා වාදනයෙහි දක්ෂ වූ සෝණ හිමියන්ට වදාළ වීණා උපමාව ඒ ඒ පුද්ගලයාට අනුව වදාළ උපමාවලට නිදසුනකි. උපමා භාවිතයට සුන්දර උදාහරණයක් වශයෙන් සමුදුරේ ආශ්චර්ය අද්භූත කරුණුවලට සසුනේ ආශ්චර්ය අද්භූත කරුණු උපමා කිරීම දැක්විය හැකි ය.
මාගේ ගණනයට අනුව පාලි විනය පිටකයේ උපමා භාවිත ස්ථාන දෙසිය විසි තුනක් හමු විය. එම උපමා පාරාජික පාළියේ විසි දෙකක්, පාචිත්තියපාළියේ තිස් එකක්, මහාවග්ගපාළියේ අසූ දෙකක්. චුල්ලවග්ගපාළියේ අසූ අටක් වශයෙන් සංග්‍රහ වී ඇත.
විනය කරුණු සෞන්දර්ය විරෝධී ආකල්පයක් ප්‍රකට කෙරේ යැ යි කෙරෙන චෝදනා ප්‍රලාප ය. විනය දේශනාව සෞන්දර්යයට සමීපතර බව දැක්වීමට වුව කර ඇති ඇතැම් මත දැක්වීම් පිළිගත නොහැකි ය. එවැනි හිතුමනාප මතවලින් විනය සෞන්දර්යයෙන් තව දුරටත් දුරස් කැරේ. විනය යනු නිවනට අදාළ ශික්ෂාව බව සිහි තබා සෞන්දර්ය මත-වාද විමසිය යුතු ය. විනය ශික්ෂා පිළිබඳ ව කර ඇති ඇතැම් චෝදනා ඒවා පනවන්නට පසුබිම් වූ තත්ත්වය නිසි ලෙස වටහා නොගෙන කළ චෝදනා ය. පාලි විනය පිටකය පුද්ගලයා සෞන්දර්යයට තවත් සමීප කරවන්නක් මිස එයින් දුරු කරවන්නක් නො වේ.
(සම්පූර්ණ පාලි විනය පිටකය, සමන්තපාසාදිකා විනය අටුවාව, විනය ටීකා, ථේරගාථා හා මහාචාර්ය ඔලිවර් අබේනායකයන්ගේ ‘බෞද්ධ අධ්‍යයන විමර්ශන’ කෘතිය ද ඇසුරු කැරිණි)
හසන්ත වාසනා සමරසිංහ

ආලෝකයෙන් ආලෝකයට යෑම ප්‍රඥාවන්තයාගේ ලක්ෂණයක්

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා මිනිසුන්ට දහම් දෙසන විට ප්‍රඥාවන්තයා එය අවබෝධකර ගනු ලබනවා. ආලෝකයෙන් ආලෝකයට යන මාර්ගයේ ගමන් කරනවා. ඔහු සීලමය හා දානමය විපාකයේ අඩුවක් තිබුණොත් ඒ අඩුව සම්පූර්ණ කරගෙන නුවණ උපදවා ගන්නට මහන්සි වෙනවා. ඒ සඳහා දැක්ම ඇතිකර ගන්නවා.
අප ඉගෙනගෙන තිබෙනවා අඳුරේ සිට ආලෝකයට යන අය පිළිබඳව. ඒ වගේම ආලෝකයේ සිට අඳුරට යන අය, අඳුරේ සිට අඳුරට යන අය සහ ආලෝකයෙන් ආලෝකයට යන අය පිළිබඳව. එහෙමනම් අප මේ කොටස් හතරට අයිති කුමන කොටස ද? අප පත්විය යුත්තේ ආලෝකයෙන් ආලෝකයට යන කොටසට යි. මේ සංසාර ගමනේ තිරිසන්, අසුර, පේ‍්‍රත ලෝකයකට නොගොස් මනුස්සයෙක් වෙලා උපදිනවා කියන්නේ ලොකු ලාභයක්. මේ මනුස්ස ආත්ම භාවය ලබාගෙන මනුස්ස ආත්ම භාවය අත්හැරෙන විදිහට දුෂ්චරිතයේ රැෙඳනවානම් යම් ආලෝකයකට ඇවිල්ල නැවත අඳුරට යන්න හදන වැඩපිළිවෙලක්. ආලෝකයෙන් අඳුරට යන්න උත්සාහ නොකළ යුතුයි. දැන් අප ආලෝකයන්ට ඇවිදින් ඉන්නේ. ඒ ආලෝකය තුළ ආලෝකයට යන්න. සමහර විට අප අපේ ජීවිතවලදී අඳුරක් දකිනවා වෙන්න පුළුවන්. ඊට නිරෝගි සුවය තිබෙන දීර්ඝායුෂ තිබෙන කයක් ලැබුණේ නැහැ. මම ලෙඩෙක්. ආබාධිතයෙක්. අවශ්‍ය කරන සම්පත් ලැබිලා නැහැ. මම එතරම් දැන උගත්කම් නැහැ. සියල්ල සම්පූර්ණ වෙලා නැහැ. ඒ අය ජීවිතයේ අඳුරක් දකින අයයි. නමුත් ඒ අඳුරින් ආලෝකයට යන්න පුළුවන්. කවුද මේවා අඩුකළේ? මේ කිසිදෙයක් අම්මා තාත්තා කළා නොවේ. දෙවියන් බඹුන් කළා නොවේ. වෙන කෙනෙක් කළාත් නොවේ. මේ අඩුව සම්පූර්ණ කර දෙන කටයුතු ටික පෙරදී මා විසින්ම කරගෙන නැහැ. නිරෝගි සුරෑපි කයක් ලබාදෙන සිල් රැකලා නැහැ. සම්පත් ටික ලබාදෙන දානය දී නැහැ. නුවණ ලබාදෙන භාවනාවේ යෙදී නැහැ. එසේනම් වරද කර තිබෙන්නේ මමයි. මමයි අඳුරෙන් එළියට යන වැඩපිළිවෙල කළයුතු වන්නේ.
අප දන්නවා ගොවියා වගාවක් කර යම් යම් දේ රැස්කර ගන්නවා. ඊට පස්සේ ඔහු මට දැන් කුඹුරු ඕන නැහැ කියා අත හැරියොත් ඔහුට වරදින දවසක් එනවා. රැස්කර ගෙන ළඟට ගත් දේවල් එදිනෙදා පරිහරණයත් සමඟ වැය වෙනවා. අවසන් වෙනවා. අවසන් වූ දවසට වැටෙන්නේ කොතැනට ද? අප කර්මය නමැති අස්වැන්න භාවිතා කරමින් දැන් මේ ජීවිතය පවත්වන්නේ. එහෙනම් මේ ජීවිතයේ තිබූ කුසල් ගෙවී යනවා. යම් දවසක ඒ කුසලය පින ගෙවී ගියොත් දුකට භාජනය වෙන්න වුණොත් ආලෝකයෙන් අඳුරට යන්න වෙනවා. ඒ බව දකින කෙනා පෙරත් මම එසේ කළ නිසා මට සැප ලැබෙනවා. ඒ නිසා පින ගෙවී යන්නට පෙර ගොවියා නැවත නැවත. කෙතට බසින්නාක් මෙන් වැස්ස නැවත නැවත වහින්නාක් මෙන් පැටියා මව් වැස්සිය වෙත දුවන්නාක් මෙන් නැවත නැවත එම නිවන පිණිස කුසලයෙහි යෙදිය යුතුයි කියා කටයුතු කළොත් අප ආලෝකයෙන් ආලෝකයට යනවා. එනිසා දාන, සීල, භාවනා කියන පින්කම් කළයුතුයි. දන් දීලා, සිල් රැකලා විතරක් හරියන්නේ නැහැ. භාවනාව කියන පින්කමත් අනිවාර්යෙන් කළයුතු වෙනවා.
එනිසා ඔබට පැහැදිලියි භාවනාව තුළින් අපේ නුසුදුසුකම් ඉවත් කර සුදුසුකම් හදා ගන්න සුදුසුකම් ඇති අයට පුලුවන් සසර ගමන නිමා කර සසර ගමනේ නො ලද උතුම් අමා මහ නිවන වෙත යොමු වෙන ඉලක්කයට ළඟා වෙන්න. එනිසා අප හැමෝටම භාවනවා අත්‍යවශ්‍ය යි. කාටවත් ඒක එහෙම නොවේ කියා කියන්න බැහැ. අපට ඒකාන්තයෙන් අවශ්‍ය වැඩපිළිවෙලක් ලෙස අප මේ දහම දකින්නට ඕන. භාවනාව පිළිබඳව කථාකරන විට මූලිකවම පදනමක් හා එය ඉක්මවාගිය ඊට වඩා අවබෝධයකටත් මේ පිළිබඳව පැමිණෙන්න වෙනවා. සමස්තයක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛෝ මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව කළ දේශනාවන් යම් තරමකට හෝ ඔබට වැටහීමක් ඇත. ඒ අනුව කොතැනක හෝ ලබන උප්පත්තිය සැපදායක සුවදායක තැනක් ලෙස මේ දහමේ පරමාර්ථ පැතක්තට යොමුවෙන විට පිළිගන්නේ නැහැ. ලෝක සම්මතය තුළ මේ ශාසනය තුළ සතර අපායට සාපේක්ෂව සැප ඇති තැන් ලෙස දිව්‍ය මනුස්ස ආත්මභාව පැහැදිලි කරනවා. අප ලෝකය කියා සඳහන් කරන විට එයට කාම ලෝක රූප ලෝක හා අරූපි ලෝක අයිතියි. ඒ ලෝකයට සාපේක්ෂව තිබෙන යහපත හා අයහපත. කුසලය හා අකුසලය. ඒ යහපත උදාකර දෙන්නේ කුසලය යි. අයහපත ළඟාකර දෙන්නේ අකුසලයෙන් මිදෙන්න අපට දැක්මක් තිබෙන්න ඕන. ඒ ඒ දර්ශනය තමා කම්මස්සකථා ඤාණය නමින් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ කම්මස්සකථා ඤාණය නමින් පැහැදිලි කරන්නේ කර්මය හා විපාකය පිළිබඳව ඇතිකර ගත් දැක්ම. කම්මස්සකථා ඤාණය තුළත් ප්‍රාථමික අවස්ථාවන් තිබෙනවා. වැඩි දියුණුකරගත් අවස්ථාවකුත් තිබෙනවා. අප බොහෝ දෙනා තුළ දකින්නට ලැබෙන්නේ ඉතාමත්ම ප්‍රාථමික අවස්ථාවක් කර්මය මෙලොවින් දකිනවා. විපාකය පරලොවින් දකිනවා. මේ මේ කර්ම කළවිට මේවාට විපාක වශයෙන් දිව්‍ය, මනුස්ස ලෝකවල ප්‍රතිසන්ධිය ලබන්න පුලුවන් කියා අදහසක් අප ළඟ තිබෙනවා. මේ දැක්ම මීට වඩා දියුණු තියුණු කරගන්න ඕන එකක්. අඩු තරමින් මේ කර්මයට මේ විපාක මේ කර්මයට මේ විපාක කියන දැක්ම තිබුණොත් ඔහු මේ ලෝකය තුළ යහපතක් ගොඩනඟා ගන්න කෙනෙක් වෙනවා. නමුත් ලෝකයෙන් එතෙර වෙන්න බැහැ. ඒ කම්මස්සකතා ඤාණය සතර අපාය ඉක්මවා මනුස්ස ලෝකය, මනුස්ස ලෝකය ඉක්මවා දිව්‍ය ලෝකය, එය ඉක්මවා අරූපි බ්‍රහ්ම ලෝක, අරූපි බ්‍රහ්ම ලෝක ඉක්මවා ඉහළට යන තරමට වැඩි දියුණු කර ගන්න පුලුවන්කම තිබෙනවා.
ඒ සමඟම බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි දෙකක් පැනවූවා. ලෝකයෙන් එතෙර කරන සම්මා දිට්ඨිය හා ලෝකයේ නතර කරන සම්මා දිට්ඨිය ලෙස. ලෝකයේ නතර කරන සම්මා දිට්ඨියෙන් කෙරෙන්නේ කාම ලෝක, රූප ලෝක, අරූපි ලෝකයෙන් එතෙර කොට ලෝකෝත්තර භූමියට පමුණුවන බැවින් ලෝකෝත්තර සැපතට ළඟාකරන බැවින් ඒ දැක්මට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියා. ඒ වගේම ලෞකික දිට්ඨියෙන් නේවසඤ්ඤා නාසඤ්ඤාව දක්වා සිත පිරිසුදු කරගෙන ඒ සැපතට ළඟාවෙන්න පුලුවන්. ලෝකය ඉක්මවා යන්න බැහැ. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් මේ සියල්ල ඉක්මවා වෙනතක් නොවන අජරාමර සැපතක් ලබාගන්න පුලුවන්කම තිබෙනවා. එබැවින් බුදුරජාණන් වහන්සේ මේ ලෞකික දැක්ම හා ලෝකෝත්තර දැක්මක් අපට වදාළා. එහිදී අප මේ සම්මාදිට්ඨි පිළිබඳව ඉගැන්වීම දැන හඳුනා ගන්න ඕන. ඒ වගේම අප සතර අපාය හා සුගති ආත්ම පිළිබඳව පිළිගැනීමක් තිබෙනවා අනෙක් ආගම්වලත් පොදුවේ දුගතියක් හා සුගතියක් තිබෙන බව පිළිගන්නවා. ඒ සුගතිය හා දුගතිය තුළ උපදින්නේ මේ මේ ක්‍රියාකාකරම්වල බෙදුනාමයි කියා අඩුවැඩි වශයෙන් යම් යම් දැනුමක් තිබෙනවා. ඒ අනුව මේවා අකුසල් මේවා කුසල් , පුණ්‍ය කර්ම කියා හඳුනා ගැනීමක් තිබෙනවා. මේ කර්ම කළොත් දුගති විපාකයන් අත් විඳින්න වෙනවා. මේ මේ වගේ ජීවිතය මෙහෙයවන්න පුලුවන් වුණොත් සුගති ආත්මභාව ප්‍රතිලාභ ලබන්න පුලුවන් කියා දැනුම අපට තිබෙනවා. ඒ දැනුම තමා ප්‍රාථමික වශයෙන් සම්මකතා ඥානය කියන්නේ. එතැනදී අපට ලැබෙනවා කායික වාචසික මානසික සුවයක්. එහි සුචරිත පැත්තක් තිබෙනවා දුෂ්චරිත පැත්තකුත් තිබෙනවා. අප නිතර කැමැතියි දුෂ්චරිතයෙන් මිදිලා සුචරිතයට එන්න. එසේ අපේ කැමැත්ත තිබුණට අප නැවත නැවත් වැඩි වැඩියෙන් යෙදෙන්නේ දුෂ්චරිතයේ. ඇයි අපේ ක්‍රියාකාරකම් දුක් සහිත වෙන්නේ? අපේ ක්‍රියා අකුසල් වෙන්නේ? ඒ සඳහා ධම්මපදයේ පළමු ගාථාවෙන් සඳහන් වන
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා මේ සැපදුක ලබාදෙන ක්‍රියාකාරකම් සිදුවෙන හේතුවක් මූලකයක් දක්වනවා.මනසා චේ පදුට්ඨේන සිත දූෂණය වුණොත් ඒ සිත මූලිකවෙලා කරන ක්‍රියාකාකරම් අකුසල්. ඒ අකුසලය අපට මෙලොවත් පරලොවත් දුක පිණිස පවතිනවා. මනස ප්‍රසන්න වුණොත් ඒ ප්‍රසන්න මනස මුල්වෙලා කරන ක්‍රියාකාරකම් කුසල වෙනවා. ඒ දෙයින් සැපත ළඟාකර දෙනවා. ඔබත් මමත් දුකට කැමැති නැහැ. කැමැති සැපතටයි අප වගේම ලෝකයේ හැම සත්ත්වයෙක්ම දුක පිළිකුල් කරනවා. සැපයට කැමැතියි. එහෙනම් ඒ සඳහා කළයුතු දෙයක් තිබෙනවා. අකැමැති දේ නො ලබන්න නම් අකුසල් නො කර සිටින්න ඕන. කැමැති සුගතිය ලබන්න නම් කුසලය කරන්න ඕන. අකුසලය නො කර ඉන්නත් කුසලය කරන්නත් අපේ නුවණත් දියුණු වෙන්න ඕන.
නයනා නිල්මිණි

ධර්මය නො දන්නාගේ ජීවිතයම දුකකි

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ
ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි



අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ දී නාරද කියලා මහරහතන් වහන්සේ නමක්‌ හිටියා. මේ නාරද හාමුදුරුවන් වැඩසිටියේ පැළලුප් නුවරයි. ඒ කාලයේ පැළලුප් නුවර හිටියා මුණ්‌ඩුක කියලා ප්‍රදේශ රජ කෙනෙක්‌. ඒ රඡ්ජුරුවන් ඒ පළාතට, ප්‍රදේශයට විතරක්‌ රජ කළේ. ඒ මුණ්‌ඩුක රඡ්ජුරුවන් ගේ හිටියා, භද්‍රා කියලා බොහොම ප්‍රියමනාප තරුණ දේවියක්‌. ඉතින් මේ මුණ්‌ඩුක රඡ්ජුරුවන් මේ දේවියට හරි ම ආදරෙයි. ඉතින් කිසියම් රෝගාබාධයක්‌ ඇති වෙලා හදිසියෙන් ම මේ භද්‍රා දේවිය කළුරිය කළා. කළුරිය කරපු තැන ඉදන් 

රඡ්ජුරුවෝ මොකද කරන්නේ, ආහාර පාන ගන්නෙත් නෑ, නාන්නේ, මූණ කට හෝදන්නේත් නෑ, ඇඟපත හෝදන්නෙත් නෑ, ඉතින් රාජ්‍ය කටයුතු කරන්නෙත් නැහැ. උදේ ඉදන් රෑ වෙනකම් ඒ දේවිය ගේ මිනිය දිහා බලාගෙන අ`ඩනවා. ඉතින් දැන් දින ගණනක්‌ ම කිසි ම කටයුත්තක්‌ කරන්නේ නෑ. කෑ ගගහා අ`ඩනවා. විලාප දෙනවා. සේ විදිහට තමයි ඉන්නේ. ශෝක කරනවා. දුක්‌ වෙනවා. 

එක්‌තරා අවස්‌ථාවක දී මේ මුණ්‌ඩුක රඡ්ජුරුවෝ තමන් ගේ සේවකයකුට කතා කරනවා - පිහක කියලා - තමන් ගේ ධාන්‍යාගාරය භාර ඇමතිට කතා කරලා කියනවා "පිහක රත්තරනෙන් දෙනක්‌ හදලා, පෙට්‌ටියක්‌ හදලා, ඒකට තෙල් වත් කරලා, මේ භද්‍රා දේවිය ගේ මිනිය නරක්‌ නො වෙන්න ඒකට දාලා තියන්න. මට බොහෝ කාලයක්‌ භද්‍රා දේවිය බලාගන්න පුළුවන් විදිහට." ඊට පස්‌සේ මේ පිහක කියන ඇමතිවරයා කල්පනා කරනවා, "අපේ 

රඡ්ජුරුවෝ ඒකාන්තයෙන් දුකට පත් වෙලා. ඒකාන්තයෙන් පීඩාවට පත් වෙලා, ශෝකය නමැති හුලෙන් මනාව විදිලා. ඒ කියන්නේ හොඳට ම විදගෙන ඉන්නේ. මේ රඡ්ජුරුවන් ගේ ශෝකය මම නැති කරන්නේ කොහොම ද? මොන වගේ උපායකින් ද, මොන වගේ ශ්‍රමණ බ්‍රාහ්මණයකු ගාවට ගියොත්, එක්‌ කරගෙන ගියොත් ද අපේ රඡ්ජුරුවන් ගේ ශෝකය නැමති හුල ගලවලා අයින් කරන්ඩ පුළුවන් වෙන්නේ? එහෙම කල්පනා කරන කොට මේ පිහක කියන ඇමතිවරයාට සිහි වුණා මේ නාරද කියන මහරහතන් වහන්සේ. ඒ හාමුදුරුවන්ට මෙන්න මෙහෙම යහපත් කිර්ති නාදයකුත් තියනවා. උන්වහන්සේ බොහොම දක්‌ෂයි, ව්‍යක්‌තයි, පණ්‌ඩිතයි, ධර්මධරයි. ඒ වගේ ම රහත් කියලා ලෝකයේ මහජනයා අතර කතාවක්‌ තියනවා. මේ නාරද හාමුදුරුවන් ගාවට එක්‌කන් ගියොත් නම් කොහොම හරි මේ රඡ්ජුරුවන් ගේ හිතේ තියන දුක අයින් කරගන්න පුළුවන් කියලා කල්පනා කරලා මේ පිහක කියන ඇමති ගිහිල්ලා කියනවා රඡ්ජුරුවන්ට, "දේවයන් වහන්ස, ඔබතුමා ගේ හිතේ බලවත් දොම්නසක්‌, දුකක්‌ හටගෙන තියෙනවා. මේ දුක දොම්නස නැති කරගන්න දක්‌ෂ හොඳ හාමුදුරු නමක්‌ ඉන්නවා. ස්‌වාමීන් වහන්සේ නමක්‌ ඉන්නවා නාරද කියලා. අපි එතැනට ටිකක්‌ යමු" කියලා නොයෙක්‌ කරුණු කාරණා, මේ ස්‌වාමීන් වහන්සේ ගේ වටිනාකම, දක්‌ෂකම, පණ්‌ඩිතකම ගැන මතක්‌ කරන කොට රඡ්ජුරුවෝ කිව්වා "මං වගේ රජ කෙනෙක්‌ දැනුම් නො දී යන්න සුදුසු නැහැ. ඉස්‌සෙල්ලා එහෙනම් අහගෙන එන්න ඒ හාමුදුරුවන් ගෙන් රඡ්ජුරුවන් ඔබවහන්සේ ව හමු වෙන්න එන්න අහනවා, කමක්‌ නැද්ද කියලා" ඉතින් මේ ඇමති ගිහිල්ලා නාරද මහ රහතන් වහන්සේව හම්බවෙලා, භද්‍රා දේවිය ගේ මරණයත්, ඒ නිසා රජ්ජුරුවන් දුකෙන් ඉන්න බවත්, මේ විස්‌තර ටික මතක්‌ කළා. මතක්‌ කරලා "රඡ්ජුරුවන් ගේ හිතේ තිබෙන ශෝකය නැමති හුල ගලවලා අයින් කරලා දෙන්න, ස්‌වාමිනී" කියලත් මතක්‌ කළා. ඒ ගමන රඡ්ජුරුවන් එක්‌කන් එන්න ද කියලත් ඇහුවා. එතකොට නාරද මහරහතන් වහන්සේ කිව්වා, "හොඳයි එක්‌කගෙන එන්න" කියලා. 

ඊට පස්‌සේ මේ පිහක කියන ඇමති ගිහිල්ලා රඡ්ජුරුවන්ට කියනවා, "දේවයන් වහන්ස, නාරද ස්‌වාමීන් වහන්සේ රජතුමාට එන්න කියලා කිව්වා" ඊට පස්‌සේ මේ ගොල්ලො නාදර මහ රහතන් වහන්සේ ඉන්න තැනට ගියහ ම නාරද මහ රහතන් වහන්සේ රජතුමාට කියනවා "මේ ලෝකෙ ධර්මතා පහක්‌ තියනවා. මොකක්‌ ද, ජරා ධර්මතා, ව්‍යාධි ධර්මතා, මරණ ධර්මතා, නැසෙන ධර්මතා, විනාශ වන ධර්මතා කියලා පහක්‌ තියනවා. මෙන්න මේ ධර්මතා පහ ලෝකයාට ධර්මය නො දන්නා කෙනාට ශෝකය පරිදේව දුක්‌ දොම්නස්‌ ඇති කරන ධර්මතා පහක්‌. මේ ධර්මතා පහෙන් ශෝක නො වී, ක්‌ලාන්ත ස්‌වභාවයට පත් නො වී ඉන්න පුළුවන් කිසි ම කෙනෙක්‌ ලෝකයේ නැහැ" ලෝකය තුළ පෙන්නනවා ඊට පස්‌සේ "මුළු ලෝකය ම කැමතියි මහලු නො වී ඉන්න, මහලු නො වී ඉන්න කැමති වුණාට ඒ අය මහලු වෙනවා. එතකොට අඬනවා සෝක කරනවා විලාප දෙනවා ක්‌ලාන්ත ස්‌වභාවයට පත් වෙනවා. තමන් ගේ කර්මාන්තවල යෙදෙන්නේ නැහැ. ඊට පස්‌සේ මේ ලෝකයා කැමතියි ලෙඩ නො වී ඉන්න. කැමති වුණාට ඒක ලැබෙන්නේ නැහැ. තමන් ලෙඩ වෙනවා. එතකොට මේ ලෝකයා මොකද කරන්නේ, අඬ නවා, සෝක කරනවා, විලාප දෙනවා, ක්‌ලාන්ත ස්‌වභාවයට පත් වෙනවා, සිහි මුළාවට පත් වෙනවා. කර්මාන්ත ද කරන්නේ නැහැ. එයාට බත ද අප්‍රිය වෙනවා. ඊට පස්‌සේ මේ ලෝකයා කැමතියි නො මැරී ඉන්න. තමන් ගේ අය, තමන් නො මැරී ඉන්න කැමතියි. කැමති වුණාට ඒ දේ ලැබෙන්නේ නැහැ. තමන්ට ඒ වෙලාවෙ දී සෝක කරන්න වෙනවා. දුක්‌ වෙන්න වෙනවා. විලාප දෙන්න වෙනවා පපුවේ අත ගහගෙන අඬන්න වෙනවා. මේ ලෝකයා කැමතියි තමන් ගේ දේවල් නැසෙන්නේ නැත්නම්, විනාශ වෙන්නේ නැත්නම් ඒත් ඒ ලෝකයා බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ"

ඉතින් මේ ධර්මතා පහ පෙන්නුවා මේ ලෝකය තුළ. මෙතන දී මේ තව විස්‌තරේකුත් කියනවා. ලෝකයා කියල කිව්වෙ කවුද කියලා. ධර්මය අහල නැති, ධර්මය නුවණින් දැකල නැති ධර්මය හුරු පුරුදු කරල නැති අශ්‍රැතවත් ලෝකයාට මේ ධර්මතා පහ දුක්‌ දොම්නස්‌ ඇති කරනවා කියලා පෙන්නුවා. ඊට පස්‌සේ ඒ එක්‌ක ම පෙන්නනවා ඒකට හේතුව මොකද්ද කියලා. ධර්මය අහලා නැති කෙනා මේ ධර්මතා පහ ජීවිතයට ලැබෙන කොට මේ ධර්මතාවක්‌ හැටියට දකින්නේ නැහැ. හැම තැනක හැම දෙයක්‌ තුළ ම සංඛත ධාතුව තුළ තියෙන ධර්මතාවක්‌ මේ දිරන බව, ලෙඩ වෙන බව, මැරෙන බව, නැසෙන බව විනශ වෙන බව කියලා දකින්නේ නැහැ. නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. එහෙම දකින්න, එහෙම නුවණින් මෙනෙහි කරන්න එයා ක්‍රමයෙක්‌ ඉගෙනගෙන නැහැ. ඒ නිසයි මේ ධර්මතා පහෙන් ලෝකයාට දුක එන්නේ කියලා විස්‌තර කරනවා. 

අංගුත්තර නිකායේ සෝකසල්ලහරණ කියලා සූත්‍රයක්‌ තියෙන්නේ. මේ සූත්‍රය තවත් ගොඩක්‌ විස්‌තර කරනවා මං මේ කෙටි කරලා කියන්නේ කතාව. 

"ධර්මය දන්න අහල තියෙන කෙනෙකුට මේ ධර්මතා පහ උපදින කොට එයා නුවණින් මෙනෙහි කරනවා හැම තැන ම හැම දෙයක්‌ තුළ ම තියෙන ධර්මතාවක්‌ හැටියට. එහෙම මෙනෙහි කරන කොට ඒ ධර්මතා පහ තමන් ගේ වෙන්නේ නැ. තමන්ට වෙන්නේ නෑ, ධර්මතාවක්‌ හැටියට දැකලා උපේක්‌ෂා වෙනවා. ඒ නිසා අඬන්නේ ශෝක කරන්නේ නෑ කියලා විශාල ධර්ම දේශනාවක්‌ කරනවා. 

දේශනාවෙන් පස්‌සේ මේ රඡ්ජුරුවෝ නැගිටලා නාරද මහ රහතන් වහන්සේට වැ`දලා "ස්‌වාමීනි මට ජීවිතය කියන එක තේරුණා. මගේ හිතේ යම් ශෝකයක්‌ දුකක්‌ තිබුණා නම් ඒ ශෝකය දුක සම්පූර්ණයෙන් නැති වුණා. කියලා ඒ රහතන් වහන්සේ වැ`දලා අර ඇමතිට කියනවා භද්‍රා දේවිය ගේ මිනිය දවන්න, පුච්චලා දමන්න, අළු ටික අරගෙන ඒකෙන් සෑයකුත් කරන්න කියලා. රඡ්ජුරුවෝ ආපහු ගිහිල්ලා හොඳට ආහාර පාන අරගෙන නාල තමන් ගේ කටයුතු ටික අහවර කරලා එයා සම්පූර්ණයෙන් දහම වෙනුවෙන් ඊට පස්‌සේ යොමු වුණා. 

ඉතින් මෙතන දී මට මතක්‌ කරන්න ඕන වුණේ මේ සද්ධර්මයෙන් තොර ව කිසි ම කෙනෙකුට බැහැ කියලා පෙන්නනවා සෝක පරිදේව දුක්‌ දොම්නස්‌වලින් මිදෙන්න. ඇයි ඒකට හේතුව? ධර්මය නො දන්නා කෙනා හරියට පුංචි ළමයෙන් වගේ. එයා බලාපොරොත්තු නො විය යුතු දේ බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා නොකට යුතු දේ ප්‍රාර්ථනා කරනවා. එයා දන්නේ නැහැ එයා එහෙම හිතලා කරනවා කියලා. එයා ගේ ජීවිතය ගොඩනැ`ගිලා තියෙනවා ඒ විදියට සිදු වෙන විදියට. ඒ නිසා ධර්මය නො දන්නා කෙනා ගේ ජීවිතය හැම වෙලාවෙ ම ගත වෙන්නේ දුක කියන එක තමා ගේ ජීවිතයට ගලා ගෙන එන විදිහටයි. 

ලොව උතුම්ම නීතිය


නීතිය යනු කුමක්‌ද එය කවදා කෙසේ ඇතිවීදැයිද විශේෂ සඳහනක්‌ තෙකාතැනකවත් නැත. අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නීතිය කරුණාව, දයාව, මෛත්‍රීය හා සානුකම්පිත භාවය මෙන්ම ලෝකෝත්තර සුභසිද්ධියද අරමුණුකර ගෙන පදනම් වූවක්‌ බැවින් කායික දඬුවම් නොමැත. බුද්ධ නීතිය යනු කුමක්‌දැයි යන්න පිළිබඳව බුද්ධ නිති සංග්‍රහය නම් සිය කෘතියෙහි අර්ථ විග්‍රහයක්‌ කරන මහා ධර්මධර අපවත්වී වදාළ රේරුකාණේ චන්දවිමල මහ හිමිපාණෝ මෙසේ සඳහන් කර ඇත. මිනිසාට පැමිණි දුක්‌ ඉක්‌මවීමය, පැමිණිය හැකිදුක්‌ වලක්‌වා ගැනීමය, නොලැබූ සම්පත් ලබා ගැනීමය, ලැබූ සම්පත් නොනැසෙන සේ පවත්වා ගැනීමය, මරණින් මතු අපාගත නොවී සුගතිගාමී වීමය යන කරුණු පස පසක්‌ කර ගැනීම සඳහා දත යුතු හා පිළිපැදිය යුතු උපදෙස්‌ බුද්ධ නීතිය නම්වේ. ලොව යෙහෙන් වෙසෙනු කැමති සියලු දෙනාම මෙම නීති ඉගෙන ගතයුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් දක්‌වා ඇත.

මේ සඳහා බුදුරජාණන් වහන්සේ විනය නීති දේශනා කර ඇත. භික්‌ෂුන් වහන්සේ සඳහා විනය නීති 227 ක්‌ ද භික්‌ෂුණීන් සඳහා 311 ද මීට අමතරව වත් පිළිවෙත් රාශියක්‌ද නියමකර ඇත.

                  භික්‌ෂුන් සඳහා       භික්‌ෂුණීන් සඳහා

පාරාජිකා                     4                     8

සංඝාධිශේෂ                13                   17

අනියත                        2                     2

නිස්‌සග්ගිය පාචිත්තය   30                   30

පචිති ඇවත්                92                  166

පටිදේශණිය                 4                     8

ගේය ශික්‌ෂාපද            75                   75

අධිකරණ                      7                    7

                                227                311

ගිහියන් සඳහා බුදුරජාණන් වහන්සේ දක්‌වා ඇත්තේ උපදෙස්‌ මාළාවක්‌ මිsස නීති රිති ලෙසම හැඳින්විය නොහැක. බුදුරජාණන් වහන්සේ මෙම විනය නීති රීති සඳහා දඩුවම්ද පනවා ඇත. භික්‌ෂු භික්‌ෂුණීන් සඳහා සතර පාරාජිකා, සංඝාදිශේසෂ, පචිති නිසගි දුක්‌කටාපත්ති ආදියට පත් කිsරීම එවැනි දඬුවම්ය. පෘතග්ජනවූ ගිහියන්ට දෙන දඬුවම පත්තනි කුග්ජන ලෙස හැඳින්වේ. එනම් එවැනි ගිහියන්ගේ සිව්පසය පිළිනොගනිමයි. එසේම ඉස්‌ලාමීය ආදී ආගම්වල මෙන්ම සමාජ නීති රීති, අධිකරණ නීති රීති පනවා නැතත් රාජානං අතිවත්තති යනුවෙන් රාජ ආඥාවන්ට යටත් විය යුතු බවට උපදෙස්‌ දේශනාකර ඇත.

බුදුරජාණන් වහන්සේ විනය නිති රීති පැනවුවා පමණක්‌ නොව, විනය කඩකරන අවස්‌ථාවන්හිදී ඒවාට මැදිහත්වී ගතයුතු ක්‍රියාමාර්ගද ගත්සේක. කීටාගිරි වස්‌තුව යනුවෙන් බුදුදහමේ හැඳින්වෙන්නේ එවන් සිද්ධියකි. බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙවරම් වෙහෙර වැඩවාසය කරන සමයේ කීටාගිරි ආරාමවාසී භික්‌ෂුන් වහන්සේලා අනාචාරයේ හැසිරෙමින් ගිහියන්ගේ හිත් ගැනීමට භික්‌ෂුන් වහන්සේට අකැප කොට තිබෙන කුල දූෂණ අනවශේෂකම් කරමින් ගිහියන් සමග උරෙන් උර ගැටෙමින් ඔවුන් හා ප්‍රීති වෙමින්, නටමින් මෙලොවදී හැකිතාක්‌ සතුටුවිය යුතුයෑයි පවසමින් වාසය කරන්නට වූහ. මේ අතර ඒ ගම ගමට වැඩි සිල්වත් භික්‌ෂුන් වහන්සේ නමකට තම ග්‍රාමයේ භික්‌ෂුන් වහන්සේලා මෙන් නොහැසිරෙන බවට චෝදනා කරමින් උසුළු විසුළු කරමින් නිග්‍රහ කරන්නට වූ අතර පිඬුසිඟා වැඩීමේදී කිසිදු ආහාරයක්‌ පවා නොදුන්නෝය. එහි විසූ එක්‌ සිල්වත් උපාසකයෙක්‌ මෙම භික්‌ෂුන් වහන්සේ තම නිවසට කැඳවා දානමානාදියෙන් සංග්‍රහ කොට තම ගමේ භික්‌ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම බුදුරජාණන් වහන්සේට දන්වන ලෙසට ඉල්ලීමක්‌ කළේය. එම භික්‌ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවී ඒ බව දැන්වීය. බුදුරජාණන් වහන්සේ ඒ බව සොයා බලා සැරියුත් මුගලන් දෙනම කැඳවා කීටාගිරියට වැඩමකර එම භික්‌ෂුන් වහන්සේලා කීටාගිරියෙන් පිටමන් කිරීම් වශයෙන් සංඛ්‍යාත පබ්බාජනිය කර්මය කරල ලෙස උපදෙස්‌ දුන්සේක.

එසේම සත්‍යය සොයා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් කොමිසම් පත්කළ අවස්‌ථාද බුදුදහමේ සඳහන්ව ඇත. ඒ මහාශ්‍රාවක කුමාර කාශ්‍යප මාතාවට අනාවාර චෝදනා නැගුණ අවස්‌ථාවේය. එම මාතාව දරුවකු පිළිසිඳගත් බව නොදැන දේවදත්ත තෙරුන් යටතේ පැවිදි වූවාය. එහෙත් ටික දිනකින් ඇයගේ ගර්භය මෝරා වැඩෙන්නට වු බැවින් සෙසු මෙහෙණියෝ ඇයට අවලාද නගා දෙව්දත් තෙරුන්ට දැන්වූවාය. දෙව්දත් තෙරුන් කිසිදු වගවිභාගයක්‌ නොකරම ඇය පැවිදි බවෙන් ඉවත් කළේය. අන්පිළිසරණක්‌ නොවුන ඇය බුදුරජාණන් වහන්සේ සොයා ගියාය. බුදුරජාණන් වහන්සේ කරුණු විමසා ඇයගේ නිර්දෝෂිභාවය තේරුම්ගෙන අන් අයටද ඒ බව ඒත්තු ගැන්වීම සඳහා කරුණු සොයා බැලීSමට කොමිසමක්‌ පත්කරණ ලදී. ඒ සඳහා කොසොල් මහ රජතුමාත්, අනේපිඬු සිටුතුමාත් විශාකා මහා උපාසිකාවත් පත්කරන ලද අතර විsසාකා මහා උපාසිකාව පත්කරන ලද්දේ කාන්තාවකගේ ප්‍රශ්නයක්‌ විසඳීමට කාන්තාවක්‌ වඩාත් සුදුසු නිසාත්, ඇය දරුවන් විසිදෙනකුම ප්‍රසූතකර හසළ අත්දැකිම් තිබූ නිසාත්ය. මෙම ත්‍රි පුද්ගල කමිටුව කුමාර කාශ්‍යප මාතාවගෙන් කරුණු විමසා ඇගේ නිර්දෝෂිභාවය බුදුරජාණන් වහන්සේට දැන්වූහ. මෙය නීති පද්ධතියේ මෙය ඉතාම වැදගත් අවස්‌ථාවක්‌ ළෙස සැලකිය හැකිය. කුමාර කාශ්‍යප මාතාව නිර්දෝෂීබව බුදුරජාණන් හොඳාකාරවම දන්නා සේක. උන්වහන්සේට එය දිවැසින් බලා දැනගැනීමට හැකියාව තිබිණි. වරදක්‌ කළ විට සමාජය ඉදිරියේ නිරිදෝෂීහාවය ඔප්පු කළ යුතු බවත් එය වඩාත් සාධාරණ බවත්, එය සමාජය ඉදිරියේ ස්‌ඵුට කළ යුතු බවත් බුදුන් අදහස්‌ කළ සේක. මෙම ත්‍රිපුද්ගල කමිටුවට ඇයගේ නිරිදෝෂීභාවය සෙවීමට පත්කළේ එම නිසාය. උසාවිය ඉදිරියේ නිර්දෝෂීභාවය ඔප්පු කිරිමේ අවශ්‍යතාවය අදටද භාවිතා වන්නේ මෙම ආදර්ශය නිසා විය හැක. විනය පිටකය පුරාම බුදුරජාණන් වහන්සේගේ නීතිය සම්බන්ධනේ ගත් මෙවැනි අගනා උදාහරණ රාශියක්‌ම දැක ගත හැක.

ප්‍රශ්නයක්‌, ගැටළුවක්‌ හෝ වරදක්‌ සිදුවන අවස්‌ථාව තෙක්‌ අප බුදුරජාණන් වහන්සේ ශික්‌ෂා පද පැනවීමට උත්සුක නොවීය. පළමුවන ශික්‌ෂා පදය පැනවීමට විසි වර්ෂයක්‌ම උන්වහන්සේට ගතවූයේ එම නිසායත එසේම ඉතාම සුපරික්‌ෂාකාරීව වරද නිවරද සොයා බලා එසේ ශික්‌ෂා පද පැනවූ බවද බුදුදහම විමසිල්ලෙන් හදාරන විට පැහැදිලි වේ. ඉහත සඳහන් කළ කීටාගිරියේ සිද්ධිය සම්බන්ධයෙන් පැනවු කුලදූෂක සංසංඝාදිසේස ශික්‌ෂාපදය මෙයට කදිම උදාහරණයක්‌ වේ. එහිදී අස්‌සජිය පුනබ්බසික යන එම අසංවරවූ අලඡ්ජී භික්‌ෂුන් දෙනම එම විහාරස්‌ථානයට පැමිණි සංවරශීලී යහපත් භික්‌ෂුන් වහන්සේට දානය නොදීම බුදුරජාණන් වහන්සේට දැන්වීමෙන් අනතුරව බුදුරජාණන් වහන්සේ මේ ගැන සොයා බැලීමට සැරියුත් මුගලන් මහ තෙරුන් පත් කළේය. උන්වහන්සේලා කීටාගිරියට ගොස්‌ කරුණු සොයා බලා එම දුශ්ශීල භික්‌ෂුන් දෙනමට පබ්බාජණීය කර්මයට යටත් කළේය. එම භික්‌ෂුන් එය බාර නොගත් බව බුදුරජාණන් වහන්සේට නැන්වූ කළ බුදුරජාණන් වහන්සේ මෙම කුලදුෂක සංසංඝාදිසේස ශික්‌ෂාපදය පැනවීය. ( සංඝ සමාජයෙන් නෙරපා දැමීම) මෙයින් පැහැදිලිවන්නේ කරුණු ඉතා හොඳින් සොයා බලා අත්‍යවශ්‍ය නම් පමණක්‌ උන්වහන්සේ ශික්‌ෂා පද පැනවූ බවය.

එසේම නීතියට කෙනකු අල්ලා කොටුකර දීමද උන්වහන්සේගේ සිරිත නොවීය. එය රාජ්‍ය පාලනයේ කාර්යයක්‌ මිස තමාගේ කාර්යය නොවන බව උන්වහන්සේ වරක්‌ ස්‌ඵුට කළ සේක. දිනක්‌ උන්වහන්සේ ආනන්ද තෙරුන් සමඟ චාරිකා කරමින් සිටියදී යම් සොරකු විසින් කුඹුරක අහිංසක දිළින්දකුගේ සළුවා තිබූ රන් ආභරණ තොගයක්‌ දුටුසේක. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා, ආනන්දය සර්පයා දුටුවේදැයි විමසුවා පමණි. ආනන්ද තෙරුන්ට පවා එය විsස්‌තර කර දීමට උත්සුක නොවීය. බලධාරීන් විසින් නිර්දෝෂි ගොවියා අල්ලා දඬුවම් කිරීමට සුදානම්වූ විට බුදුරජාණන් වහන්සේ ඔහුගේ නිදොස්‌භාවය පතා ඉදිරිපත් වී කරුණු දැක්‌වූ සේක.

එසේම බුදුරජාණන් වහන්සේ කිසිදු චෝදනාවක්‌ එක එල්ලේම නිෂ්ප්‍රභා නොකර විභාගකර බැලීමටද උත්සුකවී ඇති බව පෙනේ. වරක්‌ මෙත්තියා නම් භික්‌ෂුණියක්‌ දබ්බපල්ල නම් භික්‌ෂුව බලහත්කාරකම් කළ බවට අසත්‍ය චෝදනාවක්‌ ඉදිරිපත් කළේය. දබ්බමල්ල හිමියන් රහතන් වහන්සේ නමකි. එවැන්නෙකුගෙන් මෙවන්නක්‌ සිදු නොවන බව බුදුරජාණන් වහන්සේ මැනවින්ම දත් සේක. එහෙත් උන්වහන්සේ දෙපක්‌ෂයම කැඳවා කරුණු වමසා බලා දබ්sබමල්ල හිමිගේ නිර්දෝෂිභාවය ශප්පුකිරීමට ඉඩහැරිසේක.

නිතීය යනු සමාජයේ යහපත හා ආරක්‌ෂාව සඳහා පුද්ගලයින්ගේ හැසරීම පාලනය කිරීමට සකසා ඇති ආවාර ධර්ම හා උපදෙස්‌ පද්ධතියයි. මෙහි ලාංඡනය වී ඇත්තේ ඇස්‌ බැඳගත් කාන්තාවක්‌ වම් අතින් තරාදියක්‌ද දකුණතින් අසිපතක්‌ද ගෙන සිටින අවස්‌ථාවයි. මෙයින් කාන්තාව දේවත්වය ලෙසද අසිපත බලය ලෙසද තරාදිය සමානාත්මතාවය ලෙසද ඇස්‌ බැඳගැනීම නීතිය බලයට, මුදලට, පක්‌ෂපාතිත්වයට නොනැමෙන බවද සංකේතවත් කරය. අද මෙරට හා ලොව සිදුවනදෑ දෙස බලන වි මෙම ලාංඡනය වෙනස්‌ කළ යුතු කාලය එලැඹ ඇතැයි සිතේ. 

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ 
විශ්‍රමාලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ

න්‍යාය පසෙකට ප්‍රයෝගිකත්වය පෙරට...

යථාර්ථවාදීව දහමට නැඹුරුවූ පුද්ගලයා අතින් වැරැදි සිදුවන්නේ නැත. වැරැදි සිදුවන්නට යන තැන වළක්‌වා ගැනීමට කටයුතු කරයි. දහම න්‍යාය මත නොව ප්‍රායෝගිකව විය යුතුය. බොහෝ අය දහම ගුරුතොට ගත්තද එය ප්‍රායෝගික තලයක පිහිටා කටයුතු කරන බවක්‌ නොපෙනේ.

සතර පෝයට එහෙම නැත්නම් වසරක්‌ පුරා සිල් ගත්තාට ප්‍රමාණවත් නැත. සමහරු උදේ සිට රාත්‍රි දක්‌වා ගුවන්විදුලියේ, රූපවානියේ ධර්ම දේශනාවලට සවන් දෙති. එහෙත් ඒ අය කෙරෙහි සංවේදී මනසක්‌ ඇද්ද යන්න ගැටලුවකි.

අපගේ දිවියට හමුවන චරිත දෙසට නැඹුරුවන විට මේ චරිත මිථ්‍යාවත්, මායාවත් බවට පත්වී ඇත. බණ දහම්වලට නැඹුරුවන අය තමන්ගේ චිත්ත චෛතසිකය යහමඟට යොමුවී ඇති බවක්‌ නොපෙනේ. බණට සවන් දෙන පුද්ගලයා අනිවාර්යයෙන්ම සංවේදී චරිතයකි. බුදුරදුන් දෙසූ ධර්මයෙන් අංශුවක්‌ දේශනා කරන්නේ පුද්ගල චරිත යහමඟට යොමුකරන්නටය. 

ඉතා අමාරුවෙන් ලබාගත් මිනිස්‌ චරිතය යහමඟට යොමු කිරීමටය. අභිප්‍රාය වියයුත්තේ, සසර කෙටිකර ගන්නට නිතරම සිතට ගත යුතුය. මේ සඳහායි බොහෝ අය උදේ, හවා, රාත්‍රී පන්සලට යන්නේ, බෝගසට වඳින්නේ, බුදුරදුන්ට නමස්‌කාර කරන්නේ, පෝයට සිල් සමාදන් වන්නේ. මේ සියල්ලටම නැඹුරු වන අය සංයත චරිතයකින් උපයුක්‌ත වී ඇද්ද?

ජීවිතයේදී ප්‍රායෝගික වශයෙන් පංචශීලය රකින පුද්ගලයාගේ සසර ගමන කෙටිය. සැබෑ ලෙස දහමට නැඹුරු වූ පුද්ගලයා අතින් වැරැදි සිදුවන්නේ නැත. එය දෙබිඩි චරිතයක්‌ නොවේ. ඒක චරිතයකි. බාහිර හා අභ්‍යන්තර වශයෙන් එක සමානය. බාහිර වශයෙන් සමාජයට පෙන්වන එක චරිතයකුත්, අභ්‍යන්තර වශයෙන් තවත් චරිතයකුත් නැත. මේ චරිත දෙකම එක සමානය.

තමන්ගේ නිවසට එක චරිතයකුත්, නිවසින් පිටතට තවත් චරිතයකුත් වශයෙන් චරිත දෙකක්‌ රඟපාන ජීවිත සමාජයෙන් අපට දකින්නට ලැබේ.

සතුන් නොමරන, බොරු නොකියන, මත්පැන් නොබොන, කාමයෙහි වරදවා නොහැසිරෙන, සොරකම් නොකරන චරිත නියම චරිතයකි. මේ චරිතය ප්‍රායෝගිකය. වචනයේ පරිසමාප්තයෙන්ම සැබෑ චරිතයකි. අනවරාග්‍ර හෙවත් කෙළවරක්‌ නැති සසරින් අප මිදිය යුතුය. එසේ මිදෙන්නට අප නිතරම වෙහෙස විය යුතුය.

පුද්ගලයා යහපත් දෙයක්‌ නැත්නම් හොඳ දෙයක්‌ කළොත් එය හරියට තමා පසුපස සෙවණැල්ල මෙනි. නරකට යොමුවුණොත් එය හරියට ගොනා පසුපස ගැලයන්නා පරිද්දෙනි. මේ යථාර්ථය අප සාක්‌ෂාත්කොටගත යුතුය. නිරන්තරයෙන්ම අප යහපතට තමයි සිත යොමු කළ යුත්තේ. අයහපත යටපත්කොට යහපත මතු කිරීමට වගබලා ගත යුතුය.

තමන්ගේ මුඛයෙන් පිටවන වදන් සෙස්‌සන්ට සිත ගත නිවන ආහාරයක්‌ බඳුවිය යුතුය. වදන්වල ඇත්තේ එතරමටම රසාත්මක ස්‌වරූපයකි. ඒ වදන් යළි යළිත් අසන්නට තරම් අප යොමුවන්නේ ඒ වදන්වල ඇති රසාලිප්තභාවය හේතුකොටගෙනය. එහෙත් සිල් සමාදන්වන, පන්සල් යන බොරුවට වඳින සමරුන්ගේ වදන් පෙළින් රසාත්මක බවක්‌ උද්දීපනය නොවේ. මේ කටුක අප්‍රසන්න වදන් නිකුත්වන්නේ චරිතයේ ශික්‌ෂණයක්‌ නොමැතිකම හේතු කොටගෙනය.

සමාජයේ සෙස්‌සන් පුබුදුවාලන වදන් සමුදායක්‌ තමන් කෙරෙහි ගැබ්විය යුතුය. බුදුරදුන්ගේ එක වදනකින් මිසදිටු අය මෙල්ල වූ ආකාරය අපට ජාතක කතාවලින් හෙළිවෙයි. මෙයට නිදසුනක්‌ වශයෙන් 'කුම්භක ජාතකය' දැක්‌විය හැකිය.

මතට ඇබ්බැහිවූ තරුණියන් විශාඛාවන් සමීපයට වෙරි මතින් නැටුම් ගැයුම්වල යෙදී විශාකාවන්ද ඒ තත්ත්වයට ඇදගන්නට මහත් පරිශ්‍රමයක්‌ ගන්නා ලදී. මේ අප්‍රසන්න තත්ත්වය මත එම තරුණියන් සියල්ලම බුදුරදුන් සමීපයට රැගෙන ගියාය. බුදුරදුන් හමුවේත් මතින් මත්වී රංගනයේ යෙදුණි. අවසානයේ බුදුරදුන්ගේ වචන සමූහයකින් ඒ සියල්ල පසෙකට දමා නිසි මඟට යොමුවී මතට ඇබ්බැහිවූ තරුණියන් සෝවාන් ඵලයට පත්වූහ. වදන්වල පවත්නා සුගැඹුරු මෙයින්ම වනිත වෙයි.

චරිතයෙන් උද්දීපනය වන කුහකකම, ද්වේෂය, පළිගැනීම, වෛරය, දිවියෙන් තුරන් කළ යුතුය. ප්‍රායෝගික චරිතයකින් ගැබ්වූ, උපයුක්‌ත වූ පුද්ගලයා මේ රුදුරු ගති ලක්‌ෂණ බැහැර කරයි. සුසිනිඳු ගති ලක්‌ෂණ තමයි දිවියට විෂය කරගනු ලබන්නේ.

බසයේ ගමන් කරන විට බුදුරුවක්‌a දුටුතැන අසුනෙන් නැගිට එම බුදුරුවට ආචාර - සමාචාර කිරීමට යොමුවන අයුරු අපි දැක ඇත්තෙමු. බෝ රුකක්‌ දුටුතැන එයට වැඳ නමස්‌කාර කිරීමට යොමුවන අයත් අපි දුටුවෙමු. මේ ස්‌වරූපය ප්‍රායෝගික නැත. අතිශය මුළාවකි. 

දහම ප්‍රායෝගික තලයකට යොමුවූ පුද්ගලයා මේ මිථ්‍යාවන්ට නැඹුරුවන්නේ නැත. ප්‍රතිපත්ති ඇත්තෙ තමන් ළඟය. මල් වට්‌ටි හිස මත තබාගෙන බුදුරදුන් වඳින අය වරදට පෙළඹෙන ආකාරය අපි දැක ඇත්තෙමු. මෙය දහමට කරන නිග්‍රහයකි.

ජීවිතයට පන්සල් නොගිය, බණ නොඇසූ, සිල් නොගත් අය ද අපි දැක ඇත්තෙමු. මේ චරිත ඉතා පාරිශුද්ධය. රහසින්වත් පව් කරන්නේ නැත. ශ්‍රද්ධාව පදනම් කරගෙන දුකින් මිදෙන්නට නිතරම උත්සාහ දරයි. ජීවිතයට දුකක්‌ මිස සැපතක්‌ නැත. සැපක්‌ ඇත්නම් ඒ සැප තාවකාලික එකකි. දුක්‌ඛාවලියකින් වෙලාගත් ජීවිතය බැහැර කිරීමට තමයි දහම ප්‍රායෝගික කරගත යුත්තේ.

අකුසල් දුරුකොට කුසල් සිතක්‌ ඇතිකරගන්නට අප නිතරම උත්සාහගත යුතුය. බුද්ධිමත් අයගේ කාර්යභාරයයි එය. කුසල් සිතක්‌ නිතරම ඇතිකර ගන්නට අප පෙළඹිය යුතුය. අකුසල් නූපදින්නටත්, උපන් අකුසල් බැහැර කරන්නටත්, නූපන් කුසල් උපද්දවා ගන්නටත්, උපන් කුසල් වර්ධනය කිරීමටත් ප්‍රායෝගික සිතක කාර්යභාරයයි. 

පින්-පිව් පිළිබඳ යථාවබෝධ ඥනයක්‌ පුද්ගලයාට තිබිය යුතුය. පින යනු කුමක්‌ද? පව යනු කුමක්‌ද? යන්න ගැන හොඳ අවබෝධයක්‌ ප්‍රායෝගික තලයක පිහිටි අයට නැත.

ශ්‍රද්ධාවත් දෙකොටසකි. අමූලික ශ්‍රද්ධාව හා ආකාර්තිකා ශ්‍රද්ධාව යනු ඒ දෙකයි. ප්‍රායෝගික තලයක පිහිටි පුද්ගලයා කෙරෙහි ඇත්තේ ආකාර්තිකා ශ්‍රද්ධාවකි. නිවනට ළඟාවන්නට අප නිතරම යොමු විය යුතුය. නිවන තමයි අපේ එකම අපේක්‌ෂාව. යළි යළි ඉපදීම අතිශය දුකකි. ඒ දුකෙන් මිදෙන්නට තමයි ප්‍රායෝගික දහම කරපින්නා ගත යුත්තේ.

මනස අවුල් කරගත්තාට ප්‍රායෝගික තලයක පිහිටන්න අපහසුය. මනස නිරවුල් කරගෙන තමන්ගේ දිවි මඟ සරුකරගන්නට වගබලාගත යුතුය.

බුදුසමය වූ කලී න්‍යාය මත පදනම්වූවක්‌ නොවේ. ප්‍රායෝගික තලයක පිහිටි දහමකි. මෙය අප තරයේ සිතට ගත යුතුය. කාටත් හිංසාවක්‌ ගෙන නොදෙන ආකාරයට අහිංසක, අහිංසාවාදී චරිතයක්‌ බවට පරිවර්තනය කරගත යුතුය.

අද්‍යතන සමාජයේ අපට අසන්නට, දකින්නට ලැබෙන අනූවේදනීය සිද්ධිවලට මූලික හේතුව වන්නේ දහම ප්‍රායෝගික කර නොගැනීමයි. ක්‌ෂණික තීරණවලට යොමුවන තත්ත්වයක්‌ උදාවී ඇත්තේ දහම ප්‍රායෝගික කර නොගැනීමයි. දහම ප්‍රායෝගික කරගත් තැනැත්තා ක්‌ෂණික තීරණය ගන්නේ නැත. හිතා-මතා දුරදිග බලා තමයි තීරණ ගනු ලබන්නේ. 

සෙස්‌සන්ට හානියක්‌ නොවන ආකාරයට ප්‍රායෝගිකත්වයට නැඹුරු පුද්ගලයා කටයුතු කරන්නේ.

මානව භක්‌තියෙන් යුතුව සමාජය දෙස බැලීම දහම ප්‍රායෝගික කරගත් තැනැත්තාගේ කාර්යයයි. දහමෙන් ප්‍රභාවිත දිවිය පරමාදර්ශීය. සෙස්‌සන්ට පාඩම් පොතක්‌ බවට පත්වෙයි. සමාජයට බොහෝ දේ ඉගෙන ගන්නට මං පෙත් විවර කරයි. ප්‍රායෝගික තලයකට පරිපූර්ණභාවය ගෙන යැමෙන් සමාජයේ තවත් පිරිසක්‌ යහමඟට යොමුකරන්නට තැත් දරයි. න්‍යාය පසෙකට ඇදදමා ප්‍රායෝගික දහම කරපින්නා ගැනීමෙන් අප ලත් දිවියෙන් අතිශය සතුටක්‌ ලැබිය හැකිය.
ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම
සදහම් සඟරා - Online