ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

උත්තරීතර සැනසුම් මාර්ගය

අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

දිගු කලක් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, ප්‍රඥාව දියුණු කිරීම, වීර්යය දියුණු කිරීම, ඉවසීම, සත්‍යවාදී බව , හොඳ අධිෂ්ඨාන තිබීම , මෛත්‍රී භාවනා කිරීම, මධ්‍යස්ථ බව ආදී කරුණු දහය දියුණු කළොත් මාර්ග ඵල නිවන් සුව ලබන්න පුළුවන්. නිර්වාණය ලෝකයේ තිබෙන උත්තරීතර සැනසුම් මාර්ගය යි.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතානාරාමයේ දී ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කළා, දම්සක් සූත්‍රය, සාමුක්ඛන්සික දේශනාව වශයෙන් ද චතුරාර්ය සත්‍ය දේශනාව හඳුන්වනවා.
දුක්ඛ සත්‍ය යනුවෙන් සඳහන් කළ විට කාටත් තේරෙනවා. ඉපදීම යනු මහා දුකක්. මව් කුසේ වාසය කරන කාලයේ මවත් , දරුවාත් අපමණ දුක් වින්ඳා. සතර අපාගත වූවන් සීමාවක් නැතිව දුක් විඳිනවා. අංග විකල , මන්ධ බුද්ධික අය කොපමණ දුක් විඳිනවා ද? උපතින් පසු සිදුවන අපහසුකම් නිසා කොපමණ දුක් විඳිනවා ද? අධ්‍යාපනය, රැකියාව, ගේ දොර, ඇඳුම් පැළඳුම් නැතිව කොපමණ දුක් විඳිනවා ද? මේ සියල්ල ඇත්තේ ජාති දුක නිස යි. ජරා ජීර්ණ ව, කෙස් පැසී , දත් වැටී , ඇඟ රැළි වැටෙනවා. ඔත්පල වෙනවා. ලෙඩ රෝග ආදී නානා විධියේ රෝග පීඩාවන්ට පත් වෙනවා. එය ව්‍යාධි දුක යි. ඉන් නොනැවතී මරණයට පත් වෙනවා. එයට සැවොම බය යි. උපත සහ මරණය අතර තවත් දුක් රාශියක් තිබෙනවා. අඬනවා, සෝක දුක. වැළපෙනවා, පරිදේව දුක. කායික - මානසික දුක, දැඩි ආයාසය , කැමැති දෑ නොලැබීමේ දුක, අසද්පුරුෂයන් සමඟ එක්වීමේ දුක, සද්පුරුෂයන්ගෙන් වෙන්වීමේ දුක, කෙටියෙන් ම සඳහන් කරනවා නම්, මේ ශරීරය ආදී පංච උපාදානස්ඛන්ධ දුක් ආදී සියල්ල ම දුක්ඛ සත්‍යයට අන්තර්ගත යි. ඒ නිසා සැවොම එය දුකක් වශයෙන් වටහාගෙන දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මහන්සි ගත යුතු යි.
සමුදය සත්‍ය යනු තණ්හාව යි. දුකට හේතුව යි. උපත ලබන්නේ , දුක් විඳින්නේ මොකද? යනුවෙන් ඇසුවොත් තණ්හාව නිසා කියනවා. එහෙමනම්, පින්වතුනි දුකට මුල තණ්හාව යි. එය සමුදය සත්‍ය යනුවෙන් සඳහන් කරනවා. කාම තණ්හාව යනු පංචකාම වස්තූන් පිළිබඳ ඇති තෘෂ්ණාව යි. භව තණ්හාව යනු භවයට ඇති තෘෂ්ණාව යි. විභව තණ්හාව යනු මරණින් මතු උපත නොලබන අදහස යි. එය භයානක මතයක් වන අතර උච්ඡේදවාද දෘෂ්ටිය යි. කවදාකවකවත් මරණින් මතු උපත ලබන්නේ නැහැ යනුවෙන් කිසිවෙක් නොසිතන්න. උපත නොලබන්නේ රහතන් වහන්සේ පමණයි. එලෙස උච්ඡේදවාදී දෘෂ්ටියක් ගත්තොත් පංචානන්තරීය පව් වලට වඩා දරුණු යි. ඒ නිසා තම තමා මිසදිටුකම් අත්හැර දමා සම්මා දිට්ඨියේ පිහිටා කටයුතු කළ යුතු යි.

නිරෝධ සත්‍ය යනු දුක , තණ්හාව තියෙනවා, එයින් නිදහස් වීම , දුකින් නිදහස්වීම තණ්හාව ප්‍රහාණය කිරීමෙන් නිවන සාක්ෂාත් කරගත හැකි යි. දිගු කලක් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, ප්‍රඥාව දියුණු කිරීම, වීර්යය දියුණු කිරීම, ඉවසීම, සත්‍යවාදී බව , හොඳ අධිෂ්ඨාන තිබීම , මෛත්‍රී භාවනා කිරීම, මධ්‍යස්ථ බව ආදී කරුණු දහය දියුණු කළොත් මාර්ග ඵල නිවන් සුව ලබන්න පුළුවන්. නිර්වාණය ලෝකයේ තිබෙන උත්තරීතර සැනසුම් මාර්ගය යි. ඒ සැනසුම සොයාගෙන යි අප ගමන් කළ යුත්තේ.
දාන, සීල, භාවනා පින්කරගෙන ගමන් කරන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීමේ අදහස් ඇතිව යි. නිර්වාණ ධර්මය වාසනාවන්ත ධර්මයක්. නිර්වාණයට නාමයන් රාශියක් ඇති අතර ඉපදීමක් නැති නිසා නිර්වාණය අජාති නම් නිර්වාණය යි. ජරාවක් නැති නිසා අජර නිර්වාණය යි. ලෙඩ රෝග නැති නිසා අව්‍යාධි නිර්වාණය යි. මරණයක් නැති නිසා අමති වෙයි. ඇඬීමක් නැති නිසා අශෝක වෙයි. වැළපීමක් නැති නිසා අපරිදේව වෙයි. කායික දුකක් නැති නිසා අදුක්ඛ වෙයි. මානසික දුකක් නැති නිසා අදෝමනස්ස වෙයි. දැඩි ආයාසයක් නැති නිසා අනුපායාස වෙයි. රාගය නැති නිසා වීතරාග වෙයි. ද්වේශය නැති නිසා වීතදෝස වෙයි. මෝහය නැති නිසා වීතමෝහ වෙයි. කාමාශ්‍රව, භාවශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව නැති නිසා නිර්වාණය අනාශ්‍රව යනුවෙන් ද සඳහන් වෙයි. ඒ නිසා නිර්වාණය ශාන්ත යි, ප්‍රණීත යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. අපටත් මේ නිවන අවබෝධ වේවා යනුවෙන් සිතිය යුතු යි.
දාන , ශීල, භාවනා පින්කර දෙව් ලොව පතන්න එපා. රාජ සම්පත්, සක්විති සම්පත් පතන්න එපා, මේ පිනෙන් මට නිවන් සැප ලැබේවා, යන එකම පැතුමෙන් ඕනෑම පිනක් කිරීමෙන් නිවනට සමීප වෙයි. උපත ලැබීම අඩුවී යයි. කල්ප ගණනින් සසර කෙටි වෙයි. ඒනිසා කරන සියලුම පින්කම් නිවන් සුව පතාගෙන කළොත්, ඊටවඩා ඉහළ පැතුමක් ලොවේ නැහැ. එය ධර්මඡන්ද ප්‍රාර්ථනාව යනුවෙන් හඳුන්වනවා. එනම් නිර්වාණය ප්‍රාර්ථනා කිරීම යි.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ ඒ තනතුරු ප්‍රාර්ථනා කළ නිසා තනතුරු සහිතව ම නිවනට ප්‍රවිශ්ඨ වුණා. එසේම අපත් හැකිතාක් පින් දහම් කර, නිවන් සුව පැතූ විට නිවනින් සැනසිය හැකි යි. සංසාරයේ කොතැන බැලුවත් දුක මිසක් සැප නැහැ. ඊළඟට නිවනට යා යුතු මඟක් තිබෙනවා. ඒ මාර්ගය ආර්ය මාර්ගය, විශුද්ධි මාර්ගය, නිවන් මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන් හඳුන්වනවා. මේ මාර්ගය නිවනට යන ඍජු මාවත යි. ඒ ගැන බුදුන් වහන්සේ කරුණු අටකින් අනු දැන වදාළා. හොඳ නුවණක් තිබීම සම්මා දිට්ඨිය යනුවෙන් ද, නිවැරැදි අදහස් සම්මා සංකප්ප , නිවැරැදි වචන සම්මා වාචා , නිවැරැදි වැඩ කටයුතු සම්මා කම්මන්ත, නිවැරැදි දිවි පැවැත්ම සම්මා ආජීව, නිවැරැදි උත්සාහය සම්මා වායාම, නිවැරැදි සිහිය සම්මා සති, නිවැරැදි චිත්ත සමාධිය සම්මා සමාධි ආදිය වෙයි.
මේ කරුණු අට කෙටිකළ විට සීල, සමාධි, ප්‍රඥා නම් වෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යනු ප්‍රඥාව යි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනු සීලයට නමක්. සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි යනු සමාධියට නමක්. එවිට සීල, සමාධි, ප්‍රඥා යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු සීල, සමාධි, ප්‍රඥාව යි. එහෙමනම් බුදු දහම සීල, සමාධි, ප්‍රඥාවට අන්තර්ගත යි.
සෑම කෙනෙකුම ඕනෑම පින්කමක් මේ කරුණු අට වැඩෙන සේ කළ යුතු යි. දන් හැන්දක් බෙදුවත්, සලාක දාන පිරිනැමුවත්, බණ පදයක් අසුවත්, මල් , පහන්, ගිලන්පස පූජාව, බුදුන් වැඳීම, ආදී සෑම මොහොතකම මේ කරුණු අට හෙවත් සීල, සමාධි, ප්‍රඥා වැඩුණොත් පින බොහොම මහත්ඵල යි.

සීලව මහරහතන් වහන්සේගේ උදානය

පොල්ගහවෙල මහමෙව්නා 
භාවනා අසපු සංචිතයේ 
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ඛුද්දක නිකායට අයත් ථේර ගාථා නම් පොත් වහන්සේගේත් එහි අට්ඨ කතාව නම් වූ පරමත්ථදීප නම් පොත් වහන්සේගේත්, ඒ රහතන් වහන්සේලාගේ අසිරිමත් විස්තර සඳහන් වෙනවා.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සංගීතිකාරක මහරහතන් වහන්සේලා ථේර ගාථා පොත් වහන්සේගේ නිදාන ගාථාවල රහතන් වහන්සේලාගේ උදාන ගාථා හඳුන්වා දී ඇත්තේ මෙලෙස යි. “ඒ රහතන් වහන්සේලා සිත දියුණු කර ගත්තේ මේ ධර්මයෙන් ම යි. උන්වහන්සේලා තම තමන් ගැන කියන මේ ගාථාවන් හොඳින් අසාගෙන ඉන්න. උන්වහන්සේ නොයෙකුත් සමාපත්ති වලින් යුක්තයි. සෑම දුකකින් ම නිදහස්්් වුණ ඒ රහතන් වහන්සේ සැබෑවට ම ප්‍රඥාවන්ත.යි. අලසකමකින් තොරයි. ඒ රහතන් වහන්සේ ධර්මය ගැන නුවණින් සලකාගෙනමයි මේ ගාථාවන් දේශනා කොට වදාළේ. අද අප ඉගෙන ගන්නේ සීලව නම් මහරහතන් වහන්සේ වදහළ උතුªම් උදානයක් ගැනයි.
උන්වහන්සේ අතීත බුද්ධ ශාසනවල දී ධර්මාවබෝධය පතා කුසල් දහම් රැස් කර ගත්තා. අපගේ ශාස්තෘන් වහන්සේගේ කාලයේ දී රජගහ නුවර බිම්බිසාර මහරජුගේ පුතු ලෙස ඉපිද සීලව කුමරු නමින් ප්‍රකට වුණා. තරුණ වියට පත් ඒ කුමරු මරා දැමීමට තම සහෝදරයා වූ අජාසත් රජු තීරණය කළා. රජතුමා සීලව කුමරු චණ්ඩ ඇතෙකු පිට නංවා මැරවීමට නොයෙකුත් උපක්‍රම යෙදුවත් ඒ සියලු ක්‍රම අසාර්ථක වුණා. පශ්චිම භවිකයා ( අවසන් භවයට පැමිණි පුද්ගලයා) රහත් නො වී කිසිසේත් ම මරණයට පත් නො වන බැවින් අජාසත් රජුගේ ඝාතන උපක්‍රම වැළකී ගියා.

සීලව කුමරුට සිදු කරන උපද්‍රව දිවැසින් දුටු භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අමතා “සීලව කුමරු මෙහි රැගෙන එන්න” යැයි වදාළ සේක. තෙරණුවෝ සෘද්ධි බලයෙන් මහා හස්්තියා සමගින් ම කුමරු භාග්‍යවතුන් වහන්සේ වෙත රැගෙන ආවා. ඔහුගේ ඉන්ද්‍රිය ධර්මයන්ට ගැළපෙන ලෙස භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළ සේක.
ධර්ම ශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධා ඇති සීලව කුමරු ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි භාවය ලබා ගත්තා. මනාකෙට සසුන් පිළිවෙත් පුරා සමථ විදර්ශනා වඩා නොබෝ දිනකින් ම උතුම් අරහත්වය සාක්ශාත් කළා. සීලව තෙරුන් කොසොල් රට වාසය කරන බව ඇසූ අජාසත් රජතුමා උන්වහන්සේ ඝාතනය කරන්නැයි රාජ පුරුෂයන්ට නියෝග කළා. තෙරුන් වහන්සේ සමීපයට ගිය ඒ රාජ පුරුෂයින් සීලව තෙරුන් වහන්සේගෙන් දහම් අසා හටගත් සංවේග ඇතිව තෙරුවන් කෙරෙහි පැහැදී පැවිදි වුණා. උන්වහන්සේලාට අනුශාසනා කිරීම පිණිස සීලව මහරහතන් වහන්සේ සීලයෙහි අනුසස් ඉස්මතු කෙරෙන මෙම ගාථා වදාළ සේක.

* මේ බුදු සසුනේ පුහුණු කරන්නට ඕනෑ සීලයම යි. මේ ජීවිතයේ දී හොඳට සිල් රැක ගත්තොත් සියලු සම්පත් ලැබෙනවා.
* නුවණ තිබෙන පුද්ගලයා සිල් රකින්නට ඕනෑ සැප තුනක් බලාගෙනයි. ඒ ප්‍රශංසාව, ධන ලාභය, හා සුගතියේ ඉපදී සතුටුවීමයි.
* දුශ්ශීල පුද්ගලයා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියක් පමණයි. සිල්වත් පුද්ගලයා නිතර ම ගුණ කතාවත් ප්‍රශංසාවත් ලබනවා.
* මුලින්ම පිහිට වෙන්නේ සීලය යි. සීලය කියන්නේ යහපත් ගතිගුණවලට හරියට අම්මා කෙනෙක් වගේ. සියලු ගුණ ධර්මවල ප්‍රමුඛයා සීලය යි. එනිසා සීලය පිරිසුදුව තබා ගන්න ඕනෑ.
* සිත මහ මුහුද නම්, සීලය වෙරළ යි. සතුටත්, සංවරයත් ලබාදෙන සීලය සෑම බුදුවරුන්ගේ ම පුණ්‍ය තීර්ථය යි. ඒ නිසා සීලය පිරිසුදුව තිබෙන්න ඕනෑ.
* සීලය කියන්නේ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. අද්භූත ඇඳුමක්.
* සීලය කියන්නේ මහේශාක්‍ය පාලමක්. අතිඋතුම් සුවඳක්. දස දිශාවට ම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නේ සීලයට යි.
* සීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. උතුම් ගමනකට හොඳ විසඳුමක්. දස දිශාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්.
* ජීවිතය නපුරු කර ගත්තොත් මේ ජීවිතයේ දී ම නින්දා ලැබෙනවා. පරලොව දී අපායේ ඉපදිලා දුක් විඳින්නට සිදු වෙනවා. සීලයක් නැති එකඟ වූ සිතක් නැති අඥාන පුද්ගලයා හැම තැනක දී ම දුකට ගොදුරු වෙනවා.
* ජීවිතය යහපත් කර ගත්තොත් මේ ජීවිතයේ දී ම කීර්තිය ලැබෙනවා. පරලොව දී සුගතියේ ඉපදී සතුටු වෙනවා. සිල් රැකීමෙන් සිත එකඟ කරගෙන නුවණ ලබා ගත් පුද්ගලයා හැම තැනක දී ම සතුටු වෙනවා.
* මේ ශාසනයේ සීලය අග්‍ර දෙයක්. නමුත් උතුම් ම දෙය ප්‍රඥාව යි. මිනිසුන් අතරිත්, දෙවියන් අතරිත් සීලයත්, ප්‍රඥාවත් යන දෙකෙන් ජය ලබන්නට පුළුවන්.
ශ්‍රාවකයෙකු බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූ පසුව ශාස්තෘන් වහන්සේගෙන් සීල සම්පත්තිය ඇතිකර ගැනීම පිණිස අනුශාසනා ලැබෙන්නේ මෙසේ යි.
”පින්වත් භික්ෂුව එන්න දැන් ඔබ සිල්වත් වෙන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙන්න. ඇවතුම් පැවතුම් යහපත් කර ගන්න. අනුමාත්‍ර වරදේ පවා බිය දකිමින් වාසය කරන්න. සමාදන් වූ ශික්ෂාපදවල හික්මෙන්න.” මෙලෙසින් සමාදන් වූ සිල්පද ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් ජීවිතය නැසුණත් කඩ නො කරන බව පහාරාද සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “පහාරාදය, මාගේ ශ්‍රාවකයන් ජීවිතය හේතුවෙන්වත් තථාතයන් වහන්සේ විසින් පනවන ශික්ෂාපද නො ඉක්ම වන්නේ ය” කියායි. එසේනම් නිවන් මග පරිපූර්ණ කළ අප්‍රමාණ ශාස්තෘ ගෞරවයකින් සහ අප්‍රමාණ සීල ගෞරවයකින් යුතු නිකෙලෙස් මහ රහතන් වහන්සේ නමකගේ සීල පාරිශුද්ධිය කෙතරම් උත්තරීතර ද? සීලව මහ රහතන් වහන්සේ මෙසේ සීලයේ අනුසස් මෙතරම් පහදා දෙන්නේ තමන් වහන්සේ ද ඒ පාරිශුද්ධ සීල සම්පත්තියේ පිහිටා සිටිමිනි.
පොදුවේ ගත් කල සීලවන්ත ශ්‍රාවකයෙකුට හිමිවන සීල සම්පත්ති පහක් ඇති බව භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ සේක.
පින්වත් මහණෙනි, සිල්වතාගේ සීල සම්පත්ති පහකි.
සිල්වත් පුද්ගලයා ගේ අප්‍රමාදී දිවි පැවැත්ම නිසා මහත් වූ භෝගස්ඛන්ධයක් ලැබේ, සිල්වත් පුද්ගලයා ගැන කල්‍යාණ කීර්ති රාවයක් පැතිරී යයි, ඕනෑම පිරිසක් මැදට සිල්වත් පුද්ගලයා බිය රහිත ව විශාරද ව එළඹෙයි, සිල්වත් පුද්ගලයා සිහි මුළා නොවී කළුරිය කරයි, මරණින් මතු සුගති ලෝකයෙහි උත්පත්තිය ලබයි.
ශාස්තෘන් වහන්සේ වදහළ මෙම ආනිශංස සීලව මහරහතන් වහන්සේ ගාථා දොළොසකින් මනාකොට පහදා දුන්නා. ඒ උතුම් ශ්‍රාවකයින් ධර්මය ම ඉස්මතු කරන අයුරු කෙ තරම් අසිරිමත් ද?” සංඝං සරණං ගච්ඡාමි” යනුවෙන් අපි සරණ යන ඒ ශ්‍රාවක සංඝ රත්නය කෙ තරම් ශ්‍රේෂ්ඨ ද? “පින්වත් මහණෙනි යම්තාක් සත්ත්ව සන්නිවාස තිබේ ද, යම්තාක් භවාශ්‍ර තිබේද ඒ සියල්ලට ම ඉහළින් අග්‍ර වන්නේ රහතන් වහන්සේලා ය. ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේලා ය.” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ උත්තරීත්වය යි.
රහතන් වහන්සේලාගේ ජීවිත පැවැත්ම එතරම් ම සැහැල්ලු ය. එතරම් ම නිදහස් ය. මේ ලෝකය තුළ ඉතාමත් ම නිදහසේ ඇවිද යන්නේ රහතන් වහන්සේ පමණි. ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානය තුළයි ජීවත් වන්නේ. උන්වහන්සේලා තණ්හාවට ඇලෙන්නේ නැහැ. විල අතහැර යන හංසයන් වගේ කුඩා මහත් හැම දෙයක් ම අත්හැර දානවා.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිකෙලෙස් සුන්දරත්වය ගැනයි.

“සීහා” මෙහෙණිය

පෙර බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වූ සමයෙහි බොහෝ කුසල් දහම් වඩා, අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි විසාලා නුවර සිංහ සේනාපතිගේ නැගණියගේ දුව වී ‘සීහා’ උපන්නා ය. සීහාව වියපත් වූ කල, එක් දිනක බුදුරජාණන් වහන්සේ සිංහ සේනාධිපතිට දෙසූ ශ්‍රී සද්ධර්මය අසා පැහැදී, සැදැහැ සිත් ඇතිව දෙමාපියන්ගේ අවසර ගෙන පැවිදි වූවා ය.
පැවිදි ජීවිතය අහස සේ නිදහස් වූ තැනකි. සම්බාධ රහිත වු ස්ථානයකි. කාමයෙහි නිසරු බව . ගිහි ජීවිතයෙහි නිසරු බව, සංසාරයෙහි භයානකත්වය දැක ඒ උතුම් වූ නිෂ්කාමී ජීවිතයට ප්‍රවිෂ්ට වූ කල අරමුණ වන්නේ උතුම් නිවනින් සැනසීම ය. තණ්හාව දුරු කිරීම ය. සීහා තෙරණි උතුම් අරහත් ධජය දරාගෙන විවේකී ස්ථානයකට ගොස් හුදකලා ව, එකළාව විදසුන් නුවණ වඩන්නට නිරතුරු ව වීර්යවන්ත වූවා ය.
සිත නම් පුදුමුකාර ය. සංසාරයෙහි දුක්ඛිත ගමනට හේතුව සිතම ය. සීහා තෙරණිය විදසුන් වඩද්දී බැහැරින් පැමිණෙන දළ අරමුණු වලට සිත නතු වීම වළක්වා ගත නොහැකි විය. සත් වසරක් පුරා අයහපත් සිතුවිලිවලින් බාධා විඳිනු ලැබුවා ය. පෘථග්ජන සිත නිරතුරුව ම කිලිටි අකුසල සිතිවිලිවලට තෝතැන්නක් වේ. සසරේ කෙලෙස් දහම් ඉස්මතු වී පැමිණේ.
වීර්යවන්ත සිතකින් කෙලෙස් දුරු කිරීමට උත්සුක වීමේ දී දියෙන් ගොඩගත් මසකු සේ සිත මහත් වු අසහනයෙන් අපහසුවෙන් ක්‍රියා කරයි. අළුයට ගිනි අඟුරු ලෙසින් යටපත්ව තිබී කෙලෙස් දහම් ඉස්මතු වේ. ලෝභය, ද්වේෂය, මෝහය මුල් වූ අකුසල සිතිවිලි මහත් සේ වෙහෙස කරයි. ලෝභය හේතුවෙන් රූපාදී ආරම්මණයන් හි ඇලේ. එය මක්කටාලේපය මෙන් ආරම්මණය තදින් අල්ලා ගනී.
මක්කටාලේපය ලෙස හඳුන්වනුයේ වඳුරන්, රිලවුන්, ඇල්ලීම සඳහා සාදාගන්නා, ලාටුවකි. එය ගසක යම්කිසි තැනක ගල්වා තැබූ කල් හි එතැනින් යන වඳුරාගේ අතක් හෝ පයක් එහි ඇලේ. එක් අතක් ඇලුණු වඳුරා එය ගැල්වීම සඳහා අනික් අත ලාටුව මත තබයි. එය ද එහි ඇලේ. අනතුරුව අත් ගැලවීමට වීර්ය ගැනුම පිණිස එහි තබයි. අත් පා ගැලවීම සඳහා මුහුණ ළං කරයි. එය ද ඇලී වඳුරා මිනිසුන්ට හසුවේ.
මක්කටාලේපය වඳුරා තදින් අල්ලන්නාක් මෙන් මේ ‘ලෝභය’ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් තදින් අල්ලා ගනී. යම්කිසි අරමුණක ලෝභය වරක් ඇති වූ කල්හි ගංගාවක් ගලා යන්නාක් මෙන් දිගින් දිගටම නැවත නැවත ඒ ලෝභය ඇති වේ. ගංගා ප්‍රවාහය ඊට හසුවන සියල්ල සාගරය කරා ගෙන යන්නාක් මෙන් ගංගාවක් මෙන් දිගට ඇතිවන ලෝභය එයට හසුවන සත්ත්වයන් අපාය කරා ගෙන යන්නේ ය. මෙලෙස ලෝභය නමැති අකුසල සිතුවිලි නිසා සංසාරයෙහි දීර්ඝ ගමනක් යන්නෙකු බවට පත් වේ.
ද්වේෂය ද එවැනි ප්‍රබල අකුසල ධර්මයකි. වස්තුන් පිළිබඳ ව, පුද්ගලයන් පිළිබඳ ව මෙලෙස ද්වේෂ සිත් පහළ වේ. තමාට අලාභයක් හෝ අවමානයක් කළ අයෙකු සිතට අරමුණු වූ කල ඒ පුද්ගලයා හා ගැටෙන පුද්ගලයා තල්ලු කර දමන, පුද්ගලයා කෙරෙහි එල්ලෙන, පුද්ගලයාට රිදවන එක්තරා රෞද්‍ර ස්වභාවයක් සිත හා එක්ව ඇතිවන බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. මෙසේ වු ද්වේෂ සිත ගල්පහරක් වැදුනු සර්පයකු සේ බොහෝ බියකරු ය. රෞද්‍ර ය. එය විසක් සේ වහා ශරීරය පුරා පැතිර යයි. ගින්නක් සේ පුද්ගලයාගේ සිත, කය දවයි.
අනෙක් ප්‍රබල අකුසල ධර්මය නම් මෝහයයි. සිතින් යම් අරමුණක් ගන්නා කල්හි, ඒ අරමුණ ඇති සැටියට නිවැරැදි ලෙස දැනගත නොහැකි පරිදි ආවරණය කරණ ධර්මය මෝහය යි. මෝහයෙන් කරන ආවරණය නිසා අනිත්‍ය වු පඤ්චස්කන්ධය නිත්‍ය වූවක් සේ දකී. දුකක් වූ පඤ්චස්කන්ධය සැපයක් සේ දකී. නියම සැපය වු නිවන නපුරක් සේ දකී. නිවන් මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කරදරයක් සේ දකී.
මෙසේ අකුසල් සිතුවිලිවලින් බාධා කරනු ලැබීම නිසා “සීහා” මෙහෙණිය සිතේ සැනසීමක් නොලැබු වාය. මට මේ පව්කාර ජීවිතයෙන් ඇති ප්‍රයෝජනයක් නැතැයි සිතුවා ය. ගෙල වැලලා මැරෙමියි, ලණුවක් ගෙන ගසකඅත්තක බැද අනෙක් කොණ තමාගේ ගෙල වටා බඳිද්දී, පෙර කළ පුරුදු විසින් සිත භාවනාවෙහි නියැළුණි. මෙය ඇයගේ අන්තිම ආත්මභාවය විය. මද්ද ගෙලෙහි පිහිටියේ ය. එකෙණිහි ම නුවණ මුහුකුරා ගිය නිසා විදර්ශනා ප්‍රඥාව අවධි කොට සිව්පිළිසිඹියා සහිත මහ රහත් භූමියට පත්වූවා ය. සියලු දුකින් අත්මිදුණු ශ්‍රේෂ්ඨ උත්තමාවියක බවට පත් වූවා ය.
කෙලෙස් ගැට දුරුකොට විදර්ශනා නුවණින් ලෝකය දකින්නට ප්‍රඥාවකින් යුක්ත වු සීහා මහරහත් තෙරණියක ලෙස උත්තරීතර තත්ත්වයට පැමිණෙත් ම මද්ද බෙල්ලෙන් මිදී ඉවත් විය. නිවනින් නිවී සැනසුනා වූ සීහා මහරහත් තෙරණියගේ නික්ලේෂී හදවතින් නිපන් විරාගී සිතුවිලි අපූර්ව වෙති. ධෛර්යක් ඇති කිරීමට සමත් වෙති.
“දැඩි ලෙස ගත්තා වූ කාමරාගා දී ක්ලේශයන් විසින් මැඬලනු ලැබීමි. රූපාදින් කෙරෙහි සුභ වශයෙන් පැවතීමි. කාමරාගාදීයෙන් මැඩුණු සිතෙහි වසඟට පැමිණියෙමි . සිතෙහි සුළු වූ හෝ සාමයක් නොලැබුවෙමි. දමනයක් නොලැබුවෙමි. එකඟ බවක් නොලදිමි.”
“කෙලෙස් වලින් මැඩුණූ හෙයින්, මහණ සුවයක් නොලද හෙයින් රැහැන් තොණ්ඩුව ගෙන වනයට පිවිසියෙමි. නැවත හීනබවට පැමිණෙනවාට වඩා මෙහි ගෙල වැලලා මියයෑම යෙහෙකි.”
තද මද්දක් සාදා ගසක අත්තක බැඳ තොණ්ඩුව ගෙලෙහි දා ගතිමි. ඒ කෙණෙහි ම මගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ.” මේ ආකාරයට පඤ්චඋපාදානස්ඛන්ධය පිළිබඳ වූ තෘෂ්ණාව දුරු කළ සිතක් ලබන්නට සීහා මහරහත් තෙරණින් වහන්සේ කෙතරම් භාග්‍යවන්ත වූවා ද?
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජීවන ගමනේ අතරමං නොවීමට නම්...

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

මෙලොව පමණක් නොවෙයි. සංසාරික වශයෙන් ද අනාරක්ෂිත නොවන්නට නම්, තමන් මෙලොව රක්ෂිත විය යුතු ය. තමන්ට රැකවරණයක් සලසාගත යුතු ය. තමා තමාට පිහිටක් වී, රැකවරණයක් වී බාහිර වස්තූන් ද රැකවරණයට උපකාරී කර ගැනීම ධර්ම මාර්ගයෙන් පෙන්වා දෙන අදහසයි.
තමන් ආරක්ෂා නොකර අන් අය හෝ බාහිර වස්තු හෝ රැක ගැනීමෙන් තමන්ට යහපතක් නොවන බව සංයුක්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් අත්තරක්ඛිත සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. උන්වහන්සේ අවධාරණය කළේ පළමුව තමා රැකගෙන අන් අය හෝ අන්වස්තු හෝ රැක ගැනීම ප්‍රඥාවන්තයන් විසින් කළයුතු මාර්ගය බව ය.
ජීවන ගමනේ සංතෘෂ්ටිය සොයාගෙන යන බොහෝ පිරිස් විසින් සංතෘෂ්ටිය සොයනු ලබන්නේ අන් අය හෝ අන්වස්තූන් හෝ එනම්, බාහිර පුද්ගලයන් හා බාහිර වස්තූන් කෙරෙහි විශ්වාසය තැබීමෙනි. බාහිර වස්තු සොයාගැනීමෙනි, ඒවා රැක ගැනීමෙනි. මට සතුටක් තියෙනවා. ආරක්ෂාවක් තියෙනවා යන අදහසිනි.
බාහිර පුද්ගලයන් මගේ කර ගැනීමෙන්, මගේ යැයි අයිතිකර ගැනීමෙන් රැකවරණයක්, ආරක්ෂාවක් ඇතිවෙනවා යන අදහසිනි. ආරම්භයේ දී ම ඔබට මෙසේ සඳහන් කරමි. තමන්වත් තමාට හිමි නැති ශරීර පුංජයක් දරාගෙන, ඒ ඒ පුද්ගලයන්ටවත් අයිති නැති ඒ ඒ පුද්ගලයන්ගේ ශරීර පුංජයන්ගෙන් පිහිටක් සතුටක් ලබන්නට ප්‍රාර්ථනා කිරීම නුවණැත්තන් විසින් කළ යුතු මඟක් නොවන බව පැහැදිලි කරගත යුතුම ය.
මේ නිසා මෙලොව පමණක් නොවෙයි. සංසාරික වශයෙන් ද අනාරක්ෂිත නොවන්නට නම්, තමන් මෙලොව රක්ෂිත විය යුතු ය. තමන්ට රැකවරණයක් සලසාගත යුතු ය. තමා තමාට පිහිටක් වී, රැකවරණයක් වී බාහිර වස්තූන් ද රැකවරණයට උපකාරී කර ගැනීම ධර්ම මාර්ගයෙන් පෙන්වා දෙන අදහසයි.
ස්වාමියා, බිරිඳ, මවුපියන්, දරුවෝ, සොහොයුරු සොහොයුරියන් ආදී වශයෙන් ඔවුනොවුන් පවසන්නේ ‘නුඹ මගේ ය. නුඹ මට සිටිනවා. නුඹ සිටිනා කල් මට බිය විය යුතු කිසිවක් නැත’. ආදී වශයෙනි. එහෙත් තමාගේ සිතෙහි දහමේ පෙන්වා දෙන ආකාරයෙන් මනා වූ රැකවරණයක් සලසා ගත්තේ නම්, බාහිර පුද්ගලයන් මොනතරම් තමා සමීපයේ සිටියත්, බාහිර වස්තූන්, මිල මුදල්, ධන ධාන්‍ය වැනි දෑ තමා සන්තකයේ මොනතරම් පැවතුණත්, මනසින් මොනතරම් අනාරක්ෂිත වී ඇත්දැයි හඬන, වැළපෙන හිස් ආකාසය දෙස බලාගෙන සුසුම් හෙළන බොහෝ පිරිස් දැකීමෙන්, ඔවුන්ට ඇහුම්කන් දීමෙන් තේරුම්ගත හැකි වන්නේ ය. මේ කතාව ඔබේ ජීවිතයේ ඔබේ ම අත්දැකීමක් ද විය හැකිය.
මේ නිසා අත්තරක්ඛිත සූත්‍ර දේශනාවේ පෙන්වා දෙන සදහම් පෙළ ඔබගේ ජීවිතයට ගළපා ගන්නටත්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අන් අයත් ඒ දහම් මඟට යොමු කරන්නටත් ඔබට ඉතාමත් කරුණාවෙන් ආරාධනා කරමි. මේ මාර්ගය දැනගැනීමෙන් ම ලෞකික වශයෙන් ධර්මානුකූල සංතෘෂ්ටියක් ලැබීමත්, මෙලොව වශයෙන් ම පරමාර්ථ ධර්මය අවබෝධ කර ගන්නටත් එමගින් සියලු කෙලෙසුන් නැසීමේ මාර්ගය සකසා ගැනීමටත් අවස්ථාව සැලසේ.
දිනක් පසේනදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ ගෞරවකොට මෙසේ සඳහන් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස, මම හුදකලාව සිටින අවස්ථාවක මගේ සිතට මෙවැනි අදහසක් පැන නැගුණා. ඒ කුමක් ද? කවුරුන් විසින් ආත්මය රක්නා ලද්දේ ද? කවුරුන් විසින් ආත්මය නොරකිනා ලද්දේ ද? යනුවෙනි”. භාග්‍යවතුන් වහන්ස, ඒහා සමඟින් ම මගේ සිතට මෙවැනි අදහස් රාශියක් ඇතිවුණා. යම් කිසි කෙනෙක් කයෙන් දුසිරිත් කෙරන්නේ ද? වචනයෙන් දුසිරිත් කරන්නේ ද? සිතින් දුසිරිත් කරන්නේ ද? ඔහු විසින් තමා නොරකිනා ලද්දේ ය. යම් ආකාරයෙන් ඔහු ඇතුන් පිරිසක් රකින්නේ වෙයි. අශ්වයන් සමූහයක් මගේ යැයි කියමින් ආරක්ෂා කරන්නේ වෙයි. ඒ වගේ ම රථ සමූහයක් තමා වෙත පවත්වා ගන්නේ වෙයි. පාබල සෙනග හෙවත් බොහෝ පිරිස තමා වෙත පවත්වාගෙන රකින්නේ වෙයි. එනමුත් ඔවුන් විසින් තමා ම නොරක්නා ලද්දේ වේ. එයට හේතුව කුමක් ද? ඉහත සඳහන් කළ ඇත්, අස්, රිය, පාබල නම් වූ සියලු වස්තූන් බාහිර දේ ම ය. ඒවා රැකීම බැහැර වස්තූන් රැකීමක් වන්නේ ය. ආරක්ෂා කිරීමක් වන්නේ ය. ඒවා රැක ගැනීම තමාගේ අධ්‍යාත්මය රැකගැනීමක් වන්නේ නැත. තමාගේ ඇතුළත රැක ගැනීමක් වන්නේ නැත. එනම් තමාගේ සිත රැක ගැනීමක් වන්නේ නැත. එසේ නම් ඔහු විසින් තමා නොරක්නා ලද්දේ යැයි මට හැඟෙනවා”.
කොසොල් රජතුමා තවදුරටත් මෙසේ සඳහන් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස යම් කිසි කෙනෙක් කයෙන් සුසිරිත් කරනවා ද? වචනයෙන් සුසිරිත් කරනවා ද? සිතින් සුසිරිත් කරනවා ද? ඔවුන් විසින් හැබෑවට ම තමා රක්නා ලද්දේ වෙයි. එනම් ආරක්ෂා කරගත්තේ වෙයි. ඔහු විසින් ම ඇත්, අස්, රිය, පාබල නොරකිනා ලද නමුත්, ඔහු සුචරිත මාර්ගය අනුගමනය කිරීම නිසා තමාගේ ආත්මය, තමාගේ ජීවිතය, තමාගේ පැවැත්ම මනාකොට රැක ගන්නා ලද්දේ වේ ම ය. එය අධ්‍යාත්මික ආරක්ෂාවක් බවට ම පත්වන්නේ ය. එය රැකීම බැහැර ආරක්ෂාවක් බවට පත්වන්නේ නැත. එනම් ඔහු විසින් තමන් ආරක්ෂා කරන ලද්දේ යැයි මට අවබෝධ වුණා. භාග්‍යවතුන් වහන්ස, මා නිවැරදි ද? දේශනා කරනු ලබන සේක්වා”.
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට මෙසේ පිළිතුරු දේශනා කළහ. “මහරජ එය එසේම ය. යම් කිසි කෙනෙක් කයෙන් දුසිරිත් කෙරෙත් ද? වචනයෙන් දුසිරිත් කෙරෙත් ද? සිතෙන් දුසිරිත් කෙරෙත් ද? ඔහු විසින් තමා නොරක්නා ලද්දේ වෙයි. සඳහන් කළ අයුරින් ඔවුන් ඇත්, අස්, රිය, පාබල රකින්නේ ද? එසේ රකින්නේ නමුත් ඒ සියල්ල ඔහුගේ රැකීමක්, ඔවුන්ගේ ඇතුළත හෙවත් අධ්‍යාත්මය රැකීමක් නොවන්නේ ය. එනම් ඔහු නො රකිනා ලද්දේ ය. ඒ කවර හෙයින් ද? ඒ සියලු ආරක්ෂාව, රැකවරණය, බැහැර රැකීමක් වන නිසා ය. ඒ රැකීම තමාගේ අධ්‍යාත්මය හෙවත් ඇතුළත රැකීම නොවන්නේ ය. එහෙයින් ඔහු විසින් තමා නො රකිනා ලද්දේ යැයි පැවසිය යුතුමය. මහරජ, යම් කිසි කෙනෙක් කයෙන් සුසිරිත් කරනවා ද? වචනයෙන් සුසිරිත් කරනවා ද? සිතින් සුසිරිත් කරනවා ද? ඔහු විසින් තමා රක්නා ලද්දේ ම ය.
මුලින් සඳහන් කළ පරිදි ඇත්, අස්, රිය, පාබල රකින්නේ හෝ රැකගත්තේ නැති වූව ද, තමා විසින් තමා රැකගත්තේ බවට පත්වන්නේ ය. එයට හේතුව තමාගේ අභ්‍යන්තරය හෙවත් අධ්‍යාත්මය තමා විසින් රැක ගැනීම ය. එනම් සුචරිත මාර්ගයේ හැසිරීම ය. සුචරිතය රැකීම බැහැර රැකීමක් නොවේ. තමන් විසින් තමන් ම රැක ගැනීම ය.
මෙසේ දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජතුමාට උතුම් ගාථා රත්නයක් දේශනා කළ සේක.
කායෙන සංවරො සාධූ
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධූ
සාධු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවුතො ලජ්ජී
රක්ඛිතෝති පවුච්චති

කයෙන් සංවරවීම මැනවි, වචනයෙන් සංවර වීම මැනවි. සිතින් සංවරවීම මැනවි. හැම තන් හි ම සංවරය මැනවි. හැම තන්හි ම ආරක්ෂා වූයේ පාපයට, අවබෝධයෙන් ලජ්ජාවක් ඇති වූයේ, තමා රැකුණේ යැයි කියනු ලැබේ.
මේ දහම් කතාව අප සියලු දෙනාගේ ම ජීවිතවලට ගළපා ගනිමු. ගෘහස්ථ ජීවිතයක හෝ වේවා, පැවිදි ජීවිතයක හෝ වේවා තමා තමාට ලෙන්ගතු නම්, ප්‍රියවන්ත නම්, කුමක් කළ යුතු දැයි අප විසින් තේරුම් ගත යුතුම ය. පැවිදි ජීවිතයක සියලු දුක් නසා නිවන සාක්ෂාත් කර ගැනීම හෙවත් අවබෝධය පිණිස, ගෘහස්ථ ජීවිතයෙන් බැහැරව කසාවත් ඇඳ පැවිදි ජීවිතයට පත්වන්නේ නම් තමා රැක ගත යුතු ය. අධ්‍යාත්මය ආරක්ෂා කර ගතයුතු ය. එනම් කයින්, වචනයෙන්, සිතින් සිදුවන දුසිරිත්වලින් බැහැරව සුචරිත මාර්ගයට අවබෝධයෙන් ම සිත යොමු කර ගත යුතු ය. ඒ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකය පුරා ම අන්තර්ගත ව පවතී. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිහිටීමේ පටන් සිල්වත් විය යුතුවන්නේ ය. ඒ පළමු ව තමා රැක ගැනීම ය.

බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නම් ...

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ 
නියෝජ්‍ය ලේඛකාධිකාරී, 
අස්ගිරි මහා විහාර පරිවේණාධිපති, 
නාරම්පනාවේ ආනන්ද හිමි

"උපුල් , නෙළුම්, සුදු නෙළුම් ආදී මලක් දියෙහි හටගෙන දියෙන් උඩට විත් දියේ නො ගෑවී, දියෙන් වෙන්ව පවත්නේ යම් සේ ද, එසේ බුදුරදුන් ද මිනිස් ගොහොරුවේ ම ඉපදී ක්‍රමයෙන් ඉන් වෙන්ව යළි ඒ මිනිස් ගොහොරුවේ නො ගෑවී නො ගැටී සිටින ආශ්චර්යවත් මනුෂ්‍යයෙකි"
“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං 
භාවෙතබ්ඛං ච භාවිතං 
පහාතබ්බං පහීනං මෙ 
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ”

“අවබෝධ කරගත යුතු දේ අවබෝධ කර ගතිමි. වැඩිය යුතු දේ වැඩුවෙමි. අත්හළ යුතු දේ අත් හළෙමි. එහෙයින් බ්‍රාහ්මණය මම බුද්ධ නම් වෙමි.”

මෙතෙක් බිහි වූත්, විෂයය වූත් පදවි තානාත්තරාත්තරයේ උත්තරීතර පදවිය නම් සම්බුදු පදවිය හෙවත් බුද්ධත්වය ම වන්නේ ය. එකී උත්තරීතර වූ බුදු පදවිය කවරකාර වූවක් ද යන්න පිළිබඳව මෙහි දී විමසා බැලීමට භාජනය කෙරේ. අදින් වසර 2600 කට පෙරාතුව දඹදිව නේරංජනා නදිය අසබඩ හෙවත් වර්තමානයේ බුද්ධගයාව යන නමින් හැඳින්වෙන අතිශය නිසංසල වූත් මනරම් භූමි භාගයක පිහිටි අශ්වත්තන වෘක්ෂ මූලයේ දී ලොවේ පවත්නා සියල්ල , යථා ස්වභාවය ඉතා මැනවින් වටහාගත් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අභිමුඛයෙහිහොත් සේල නම් බ්‍රාහ්මණයා විසින් “ඔබ කවරෙක් වන්නේ දැයි” විමසු පැනයට දුන් පිළිතුර ම මෙහි දී බුදු පදවිය විමසීමෙහිලා උපයෝගී කරගත හැකි ය. පූර්වෝක්ත ගාථාවේ පිළිබිඹු වන පරිදි ‘බුද්ධත්වය’ යන වදන ඉතා සරල ලෙසත්, ගැඹුරු ලෙසත් විවරණය කොට තිබේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරණයට පමුණවන ලද පාරමිතා ධර්මවලින් ද අවසන් අත්බැව්හි ලැබූ සංකීර්ණ අත්දැකීම්වලින් ද මනා ලෙස මෙහෙය වන ලද සිදුහත් බෝසතුන්ගේ අසම සම ප්‍රඥාව කූටප්‍රාප්තිය ලබනුයේ බුද්ධත්වය නම් වූ උත්තරීතර පදවියට සම්ප්‍රාප්ත වීමෙනි. ඒ වනාහි අවබෝධ කරගත යුතු දේ අවබෝධ කර ගැනීමෙහිත්, වැඩිය යුතු දේ වැඩීමෙහිත්, අත්හළ යුතු දේ අත්හැරීමෙහිත් අවසාන ප්‍රතිඵලයයි.
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං යන්නෙන් ප්‍රකට වන්නේ සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ අවබෝධ කරගත යුතු දෑ මනා සේ අවබෝධ කොට වදාළ හෙයින් සම්බුද්ධ නම් වන බවකි. මෙහි දී සම්බුද්ධත්වය පිළිබඳව කර්මානුගත විවරණය සැපයීමට මත්තෙන් ව්‍යාකරණ නිරුක්තිගත අර්ථ විවරණයක් සැපයීම අර්ථාවබෝධයට උපකාරී වනු ඇත.
බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ, බුදුරජාණන් වහන්සේට අදාළ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සර්වඥයන් වහන්සේ ආදී අර්ථ විස්තර දක්වා තිබේ. මෙහි දී ලෙව්හි සියල් සද්, අසද්, ජීවී , අජීවී කරන්නා පිළිබඳ නිවැරදි අවබෝධය අදහස් කෙරේ. එකී අවබෝධය කෙසේවී ද යත් පෙර කී පරිදි ලෝ පවතින සියලු දේ නිත්‍ය නොවන බවයි. නිත්‍ය නොවීම නිසා දුක් සහගත වන බවත්, මම ය මාගේ ය යනුවෙන් ඇලීම් ගැටීම් නොවන බවත් ය. ඒ පමණකුදු නොව සත්ත්වයා භවයෙන් භවය උපදිමින් සසර දුක් විඳින්නේ තෘෂ්ණාව නිසා බව ය. එසේම සසරට ඇති ඇල්ම සම්පූර්ණයෙන් දුරු කිරීම තුළින් සියලු කෙලෙසුන්ගෙන් මිඳිය හැකි බව හෙවත්, නිවීම නම් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි බවත් ය. එකී අවබෝධයෙන් තොර තැනැත්තා නැවත නැවත සසර උපදිමින් දුක් විඳියි. සක්කා දිට්ඨි ආදී වශයෙන් දක්වන ලද දශ සංයෝජනයන් ප්‍රමුඛ කොට ඇති මිනිස් සිතෙහි උපදනා අප්‍රමාණ කෙලෙස්කර ධර්මයන් නිසා සසර ඇල්ම හෙවත් ආශාව හට ගනී. මෙලොව ඇතිතාක් සියල්ල නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් උපාදානය කර ගනී ද, මේ මිථ්‍යාවෙන් මිදී ත්‍රිලක්ෂණය පදනම් කරගත් අවබෝධය සත්ත්වයා සසර දුකින් මුදවන බව උන්වහන්සේ අවබෝධ කරගත් සේක.
දීපංකර පාද මූලයේ ඇතිකරගත් ප්‍රාර්ථනානුගතව පටිච්චසමුප්පාදය, කර්මය, පුනර්භවය, චතුරාර්ය සත්‍ය ආදී පරම දේශනාවන් තුළින් තමා අවබෝධ කොට ගත් ධර්මය නිවැරැදිව, නිසි ක්‍රමානුගතව සමාජයට ඉදිරිපත් කළහ. එසේ ම ඒ ආකාරයෙන් ධර්ම ශ්‍රවනයේ නියුක්ත වූවෝ දහස් ගණනින් විමුක්ති බලය ලදහ. කෙලෙස් මලින් ආර්ද්‍ර වූ අපට සම්බුද්ධත්වය ලද නොහැකි මුත් තථාගතප්පවේදිත ධර්මානුසාරයෙන් නිවන් ඵල ලැබීමේ සත්‍යතාව නොඅඩුව ලැබී ඇත. එසේ ම මදින් මද වුව ලබන ධර්මාවබෝධය සසරෙ කෙදිනක හෝ නිවන පිණිස ම හේතු වනවා ඇත.
“භාවෙතබ්බං ච භාවිතං” යනුයෙන් දේශනා කළ පරිදි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය යුතු යහපත් ධර්මයක් වී නම්, ඒ සියල්ල වඩන ලදී. ස්වකීය චිත්ත අභ්‍යන්තරයෙහි අත්‍යත්තයන් වඩා ගත යුතු අධ්‍යාත්මික වූත්, යහපත් ධර්මයන් සිය ජීවිතය තුළින් ම පෙන්වා වදාළ උන්වහන්සේ එකී ගුණ වැඩීමේ ආනිශංසයන් ද නිරන්තර වශයෙන් පෙන්වා දුන්හ. එසේ බුදුන් වහන්සේ වැඩු ගුණ දම් අතර මහා කරුණාව, මහා ප්‍රඥාව මුල්කරගත් මෛත්‍රීය පරහිතකාමීත්වය ඉවසීම, පරමාදර්ශී නායකත්වය, රහසින්වත් පව් නො කිරීම, ගිලානෝපස්ථානය, පිහිට විය යුත්තන්ට පිහිට වීම, ලාභසත්කාරයන්ට ලොල් නොවීම, තාදී ගුණික බව, කළගුණ සැලකීම, නො පසු බස්නා වීර්යය, දානදී පාරමිතා යනු එකී ගුණයන්ගෙන් කිහිපයකි. මිනිස් ගොහොරුවේ ම ජනිතව අන් සියල්ලන්ට වඩා උදාර මනුෂ්‍යයෙකු ලෙස ලෝක යථාර්ථය මනා අවබෝධ කොටගත් බුදුරජාණෝ මානව වර්ගයාට පමණක් නොව විශ්වයේ සියල්ලන්ටම මෙත්, කුළුුණු පැතිරවීමට තරම් සිත දියුණු කර ගත්හ. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සඳහන් වන පරිදි,
කයෙහි අසුභ දැකීම, ආහාරයෙහි පිළිකුල් බව වැඩීම, ලොව සියලු දේ කෙරෙහි අනභිරතිය වැඩීම, සියලු සංස්කාරයන්හි අනිත්‍යතාව වැඩීම, මරණ සංඤාව වැඩීම, යන කාරණා පස භාවිත කිරීමෙන්, බහුලව, වැඩීමෙන් ඒකාන්තයෙන් ම නිබ්බිදාව, විරාගය, නිරෝධය, උපසමය, අභිඤ්ඤාව සම්බෝධිය, නිවීම පිණිස හේතු වන බව දැක්වේ. ඒ ආකාරයෙන් වූ වැඩිය යුතු යහපත් වැඩීම් සියල්ල උන්වහන්සේ වැඩූ නිසා බුද්ධ නම් වන සේක. එසේ නො වැඩිය යුතු ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ලෝභය, රාගය, ද්වේෂය, මෝහය, මාන්‍ය මදය ආදිය නො වැඩූ සේක. එමතු ද නොව වැඩි සියලු ගුණ ප්‍රකට කළ සේක. ඒ අනුව විමසා බලන කල යමෙක් තම දිවියේ යම් සද් දහමක් වැඩීමට කැමති වන්නේ නම්, හෙතෙම ඒකාන්තයෙන් ආදර්ශයට ගත යුතු චරිතය අන් කිසිවෙක් නොව බුද්ධ චරිතය බව වටහා ගත යුතු ය.
“පහාත බ්බං පහීනං” යනුවෙන් දැක්වූ පරිදි සර්වප්‍රකාරයෙන් අත්හළ යුතු දේ අත්හළ බව සිදුහත් බෝසත් චරිතයේ මුල සිටම මනාව දිස් වේ. මෙලොව වසන පෘථග්ජන සියලු දෙනාම ආශාවෙන් රැස්කළ දේ අත්හැරීමට නො කැමැත්තාහ. අත් හරිතත් හුදෙක් තමාට අප්‍රයෝජනාවක් දෙයක් මැ. එහෙත් අප බෝසතාණෝ කළ උතුම් අත් හැරීම් රාශියක් ම සිදුහත් බෝසත් චරිතයේ ඇත. ඒ බව සිය පි‍්‍රයාදර ස්වාමි දියණිය වූ යශෝදරාව, සුකොමල පුත් වූ රාහුල ආදී නෑ හිතාදරයන් අතැර කළ අභිණිෂ්ක්‍රමණය ම නිදසුන් ලෙස සැලකුව හැකි ය. එමතු ද නොව උන්වහන්සේ පාරමී පුරණ අවධියේදී ද ස්වකීය ඇස්, ඉස්, මස්, ලේ මෙන් ම අඹු දරුවන් ද මතු ලෝකාර්ථචරියාව සලකා අත්හළ සේක. අත්හැරීම පුරුදු වන විටත් තමා සතු සැප සම්පත් හලයකු බව සක්විති රාජ්‍යාදිය අත් හැරීමෙන් ම පෙනේ. ඒ අත්හැරීම වනාහි හුදෙක් ලෝ වැසියන්ගේ හිත සුව පිණිස වූ නිසා තව තවත් උසස් අත්හැරීමක් ම වන්නේ ය. එහෙයින් බුදුන් වහන්සේ යනු බැඳීම් අත්හැරීම් පිළිබඳ මේ ලෝක සත්ත්වයාට ජීවිතාදර්ශයෙන් පෙන්වා වදාළ මහා ශාස්තෘවරයාණෝ ය.
උපුල් නෙළුම්, සුදු නෙළුම් ආදී මලක් දියෙහි හටගෙන දියෙන් උඩට විත් දියේ නො ගෑවී දියෙන් වෙන්ව පවත්නේ යම් සේද, එසේ බුදුරදුන් ද මිනිස් ගොහොරුවේ ම ඉපදී ක්‍රමයෙන් ඉන් වෙන්ව යළි ඒ මිනිස් ගොහොරුවේ නො ගෑවී නො ගැටී සිටින ආශ්චර්යවත් මනුෂ්‍යයෙකි. ‘බුද්ධ’ යනු කිසියම් යක්ෂ, දේව, ගාන්ධර්ව ගණයකට අයත් වූවෙක් නොව උතුම් ආශ්චර්යවත්, මනුෂ්‍යයෙක් බව මෙහිලා වටහා ගත යුතු ය. මේ ආදී වශයෙන් විමසා බලන කල බුදුරදුන් කවරෙක් ද යන වග කෙනෙකුට මනාව අවබෝධ කරගත හැක. පෙර කී කාරණාවන්ට අනුව විමසා බලන කල බුද්ධත්වය නම් අවබෝධයෙන් ගුණ දම් වැඩීමෙන්, ආශා බැඳීම් දුරු කිරීමෙන් ලබන ශ්‍රේෂ්ඨ අධිගමයකි. ඒ අධිගමනය බුදුරදුන් තරම් ඉහළින් නො මැති වුව ද මෙලොව බුද්ධිමත්ව සිතන්නට හැකි සියලු දෙනාටම ළඟා විය හැකි තත්ත්වයකි. බුදුරජාණන් වහන්සේ දකින්නට නම් උන්වහන්සේගේ දහම නිවැරැදිව වටහාගත යුතු ය. එකී ධර්මාවබෝධය මේ ජීවිතයේ දීම ලබන්නෙමුයි සියලු බොදුනුවන් එක්සත්ව, එක්සිත්ව අදිටන් කර ගැනීම ම සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කිරීමට බෙහෙවින් ඉවහල් වනු නො අනුමාන ය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online