ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සසරෙදි ලබාගත යුතු රැකවරණය

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති
කථිකාචාර්ය, 
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී ශ්‍රේෂ්ඨ ධර්මයක් වදාළ සේක. අනන්ත සත්ත්වයන්ගේ ජීවිත සුවපත් කළ, නිවෙන, සැනහෙන මාර්ගයට සත්ත්වයා යොමු කළ ඒ අසිරිමත් ධර්මය ලෝකයට හෙළි පෙහෙළි කොට වදාළේ උන්වහන්සේ විසිනි.

විලේ වටිනාකම

අපේ මනස ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ විලක් වගේ කියායි. සෑම විලක්ම වටින්නේ නැහැ. වටිනා වස්තු ඇති විලක් පමණයි වටින්නේ. ඔබ දන්නවා විලක ජලය තිබෙනවා. ඒ වගේම ලස්සනට සුවඳ හමන මල් තිබෙන්නත් පුළුවන්. සරුසාර විලක් නම් සමහර විට වටිනා මැණික් පවා තිබෙන්න පුළුවන්. ඒ වගේම විල ලස්සනයි. ලස්සන පාට පාට ජලජ ජීවින් නිසාත්. මල් පිපුණත්, මාළුන් සිටියත් වතුර තිබුණත්, ඒ විලේ ජලය අවපැහැ ගෙන නම්, ඒ විලේ ලස්සනක්, අසිරියක් නැහැ. මේ අපේ මනුස්ස සිතත් විලක් වගේ. මිනිසා තුළයි දෙවියා සහ යක්ෂයා දෙදෙනාම සිටින්නේ. කෙනෙකුට තරහ ආ විට පාලනයක් නැතිකොට අප කියනවා ඒ මනුස්සයා නම් යකෙක් වගේ කියා. 
තව වෙලාවකදී ඒ පුද්ගලයාම දෙවියෙකු වගේ ක්‍රියා කරනවා. උතුම් ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. වචනයෙන් සංවර වෙනවා. ක්‍රියාවෙනුත් සංවර වෙනවා. සද්පුරුෂයෙක් වගේ කියා අප කියනවා. එකම පුද්ගලයාට දෙවියා ලෙසත් තවත් විටෙක යක්ෂයා ලෙසත් කියනවා.

එහෙමනම් තේරුම් ගන්න අපේ සිතමයි දෙවියා සමඟත් යක්ෂයා සමඟත් අත්වැල් බැඳගන්නේ. සිත බොර වූ වෙලාවට සැබවින්ම යක්ෂයෙක් වෙනවා. විලේ වතුර බොරවූ විට කැළඹුන විට මලේ සුවඳ නොවෙයි එන්නේ. මල් සුවඳ යට කරගෙන මඩ ගඳ ඉස්මතු වෙනවා. ඒ ආකාරයට සිත බොර වූ අවස්ථාවට සැබවින්ම යක්ෂයෙක් වෙනවා. මිනිස් සිත යට කරගෙන අකුසල් ඉස්මතු වෙනවා.

සිතට පීඩාදෙන සුළං

මනුස්ස සිත අවුස්සන සුළං පාර කිහිපයක් තිබෙනවා. ඒ ඇස හරහා එන රූප සුළඟ. කන හරහා එන ශබ්ද සුළඟ, නාසය හරහා හමන ගඳ සුවඳ සුළඟ, දිව හරහා හමන රස සුළඟ, කය හරහා හමන ස්පර්ෂ සුළඟ. මේ පංචමහා සුළං නිසා චංචල සිත කැළඹෙන්නට පටන් ගන්නවා.
තථාගතයන් වහන්සේ වදාළා අග්‍ර වූ උතුම් වූ නිවනට උතුම් වූ ශක්තියකින් පිවිසෙන්න ඕන. වටිනා දේවල් ලෙහෙසියෙන් කරන්න බැහැ. නමුත් පාපී දේවල් පහසුවෙන් ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මාරයා නිරන්තරයෙන්ම අප ඇඳ දමන්නේ පාපී දේවලටයි. පාපී කර්ම වලටයි. විල බොර වුණේ, කැළඹුණේ නැත්නම් විලේ පතුල ලස්සනයි. මැණික් දිලිසෙනවා. ජලජ ජීවින් ලස්සනට පෙනෙනවා. මල් සුවඳ සිසාරා හමා යනවා. මේ වගේ සුළං වලින් අපේ සිත කැළඹෙනවිට විලේ මඩ සුවඳ එනවා වගේ විල බොර වෙනවා වගේ සිත ද බොර වීමට පටන් ගන්නවා. එවිට නරක, නපුරු, භයානක සිතිවිලි ඇවිස්සෙනවා. ක්‍රෝධය, වෛරය, පටිඝය, මාන, රාග , ද්වේෂ, ඊර්ෂ්‍යා ඇවිස්සෙන්නේ මඩ දුගඳ ඇවිස්සෙනවා වගේ. එනිසා නො කැළඹුන විල ලස්සනයි වගේ අපේ සිතත් නො කැළඹීනම් එහි අපූරු ලස්සනක් තිබෙනවා. ඒ නිසායි බුද්ධ අවවාද අතිශයින්ම මහා ඖෂධයක් වන්නේ.
බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකු ලොව පහළ වූයේ නැහැ. ධර්මය තරම් වටිනා බෙහෙතක් මේ ලෝකයේ නැහැ. අද නවීන විද්‍යාවත් පිළිගන්නවා මිනිසුන්ගේ ලෙඩරෝග වලින් වැඩිපුර ශරීරගත වන්නේ සිත ලෙඩවීමෙන් බව. සිත කැළඹීම නිසා බව. ඒ නිසා බෙහෙත් වලින් භෞතිකව ප්‍රතිකාර කළ හැක්කේ බොහෝම ස්වල්ප ප්‍රමාණයකට. ධර්මයට සිත යොමු කරන අය ලෙඩ වෙනවා අඩුයි. සිල් රකින භාවනා කරන අයට ධර්මය බෙහෙතක් කරගෙන සුවපත් වූ අය ලෝකයේ ඕනෑතරම් ඉන්නවා. සාංසාරික අකුසල කර්ම වලින් මතුවන භයානක ලෙඩ බලවත් කුසල කර්ම වලින් යට කරන්න පුළුවන්.

පිය උරුමය

අපේ සංසාරේ ධර්මය නොදන්නා කාලයේ අනන්තවත් වැරැදි පාප කර්ම සිදුවෙලා තිබෙන්න ඇති. සංසාරයේ හැම කාලයේදීම බුද්ධෝප්පත්ති කාලයක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම මනුස්ස ආත්මයක්ම ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා මේ භවයේ ලැබුණ මනුස්ස ජීවිතය කෙතරම් වටිනවාද? මනුස්ස ජීවිතයත් , බුද්ධෝප්පත්ති කාලයත්, ධර්මයට නැමුණ සිතත්, අංගවිකල නොවූ ජීවිතයත් කියන කරුණු හතර කාට හරි ලැබුණානම් ක්ෂණ සම්පත්තිය ලැබුවා වෙනවා.
තථාගතයන් වහන්සේ වදාළා පිය උරුමය ලැබීමට කැමැති අය සතර සම්‍යක් ප්‍රධන්, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය මේ සසුනේ තිබෙන වටිනා මානික්‍ය නිරන්තරයෙන් පුරුදු කළ යුතු බව. ගෞතම බුදු සසුනේ තිබෙන මේ මානික්‍ය වලින් මුළු සසරම සුවපත් කර ගැනීමට පුළුවනි. ආර්ය නිධානය, ආර්ය ධනය මේවායි. මේ සසුන තුළ සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන උතුමන් වැඩ සිටීයි. මාර රාජ්‍ය කඩා බිඳ සුණු විසුණු කරගෙන ආර්ය රාජ්‍යයට වැඩි මේ උත්තමයන් වහන්සේ සැබැවින්ම සසර ජයගත් අයයි. එනිසා අප තේරුම් ගන්න ඕන මේ මනුස්ස ජීවිතය ලැබුණ නිසා ඒ මනුස්ස ජීවිතය අපතේ නො යවා එයින් වැඩ ගන්න. ජීවිතය හොඳින් බල ගන්වන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන්නේ බුද්ධ අවවාදය යි.

මල් උයනත් සිත වගේ

දිනක් තථාගතයන් වහන්සේ සුන්දර මල් උයනක වැඩ සිටියා. උන්වහන්සේ දුටුවා ඒ උයනේ විවිධ ලස්සන මල් පිපී තිබෙනවා. “මහණෙනි, මේ උයනේ තිබෙන මල් ඔබට වර්ග කළ හැකිද?” “ස්වාමිනි, මේ උයනේ විවිධ වර්ණ මල්, සුවඳ මල්, සුවඳ නැති මල්, පෙති අඩු මල්, පෙති වැඩි මල් ආදියෙන් පිපී තිබෙනවා. මහණෙනි, මේ ලෝකයේ පිපෙන මේ සෑම මලක්ම කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒ එක් කොටසකට මේ පිපෙන සෑම මලක්ම අයිතියි. එක් මල් කොටසක් නම් ලස්සනයි. නමුත් සුවඳ නැහැ. අනෙක් කොටස හරිම සුවඳයි. නමුත් ලස්සනක් නැහැ, තුන් වැනි මල් කොටස ලස්සනත් නැහැ. සුවඳත් නැහැ. හතරවැනි මල් කොටසනම් හරිම ලස්සනයි, හරිම සුවඳයි.
මහණෙනි, මේ මනුස්ස ජීවිතය ගත කරන අපත් ඒ කොටස් හතරෙන් එකකට අයත්. සමහර අය ලස්සනයි. නමුත් ඔහු තුළ සුවඳ නැහැ, සමහර අය රූපයෙන් ලස්සනයි යාන වාහන, ගෙවල් දොරවල් ලස්සනයි නමුත් කිසිඳු සිල් සුවඳක් නැහැ.
තව සමහරක් අය ඉන්නවා සුවඳ තිබෙනවා. නමුත් ලස්සන නැහැ. සිල් රකිනවා. ධර්මයේ හැසිරෙන්නට උත්සාහ කරනවා. නමුත් තමන්ගේ යුතුකම් පැහැර හරිනවා. වයසක මාපියන්ට සලකන්නේ නැහැ. වැඩිහිටියන්ට ගරු සැලකිල්ලක් නැහැ.
තුන්වැනි කොටස ලස්සනත් නැහැ සුවඳත් නැහැ. හිඟමනේ ජීවත් වෙනවා. ඉන්නට වාසස්ථානයක් නැහැ. පිපාසයට වතුර ටිකක් නැහැ. ඒ වගේම ඔහු ආධ්‍යාත්මිකවත් කිසිදු දෙයක් දියුණු කරන්නේත් නැහැ.
හතරවැනි කොටසේ නම් සුවඳත් තිබෙනවා. ලස්සනත් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ආශ්චර්යවත් සසුන තුළ සුවපත් වීමටනම් හොඳ ලස්සන මෙන්ම සුවඳවත් බවත් තිබෙන්න ඕන කියා.

සිත පිරිසුදු කර ගන්නේ කෙසේද?

ඒ සඳහා අප ජීවත් වන පරිසරය, නිවාස, තම ශරීරය පිරිසුදුව තබා ගන්නවා මෙන්ම ඊට වඩා ගැඹුරින් තම සිත පිරිසුදු කර ගතයුතු වෙනවා. දිය නාලා ශරීරය පිරිසුදු කර ගත්තත් සිත පිරිසුදු කර ගත හැක්කේ කෙසේද? ඒ සඳහා බුද්ධ දේශනා ශ්‍රවණය කරමින්, සිත, කය වචනය පිරිසුදු කර ගනිමින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළයුතු වෙනවා. එවිට සිත පිරිසුදු වෙනවා. ලස්සන සුවඳ තිබෙන මලක් මෙන් එවිට තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත් මලක් වීමට පුළුවන්කම තිබෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිත නිවන දහම් මග

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති 
දරණාගම කුසලධම්ම හිමි

පංච නීවරණ යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡකුක්කුච්ඡ , විචිකිච්ඡා ආදියයි. එනම් ආශා කරන දේ සිහිවීම, තරහ මතුවීම, අලසකම හා නිදිමත ඇති වීම, නොසන්සුන්කම හා පසුතැවීම ඇතිවීම, සැකය මතුවීම ආදියයි. මෙම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා සමථ භාවනා ක්‍රම මගින් සිත දියුණු කරගත යුතුය. භාවනා කිරීම සඳහා ඉන්ද්‍රිය සංවරය තිබිය යුතුයි. ඒ සඳහා ශීලයක පිහිටා සිටිය යුතුයි. පන්සිල් , ආජීව අෂ්ඨමක සිල්, අටසිල් , දස සිල් ආදී වශයෙන් ගිහි පිරිසට උචිත පරිදි සුදුසු ශීලයක් සමාදන් විය හැක. සමාදන් වූ ශීලය නැවත නැවත ආවර්ජනා කිරීමෙන් පවත්වා ගෙන යාමට විරිය කළ යුතුයි. ඒ සඳහා සිහි නුවණ අවශ්‍යයි.
සව්ලෝ සතුන් සනසන අදිටනින් දඹදිව බුද්ධගයා බෝමැඩ පහළ වූ ගෞතම බුදුන් වහන්සේ තමන් ලද සැනසුමෙහි උදාන වාක්‍යය ප්‍රකාශ කළේය. එතැන් පටන් පන්සාළිස් වසක් තුළ දිනපතා අළුයම මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දෙස බැලූහ. නොයෙක් ස්ථානවලදී සමාධි සුවයෙන් ගත කළ බවද සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර සොළොස්මස්ථානවලදී ස්වල්ප වේලාව බැගින් සමාධි සුවයෙන් වැඩ හිඳ පූජනීයත්වටය පත් කළ බව ඉතිහාසයෙහි සඳහන් වේ.
එපමණක් නොව නිරෝධ සමාපත්තියට සමවැදුණු කල්හි සතියක් පුරා එකම ඉරියව්වෙන් දන් නොවළඳා ආශ්වාස ප්‍රශ්වාසයෙන් තොරව වැඩසිටි බව ද බණ පොතෙහි සඳහන් වේ. නිරෝධ සමාපත්තියට සමවැදී සිටීමේදී නික්ලේශී මනසට සලායතන වලින් කිසිම අරමුණක් නොගැනීම නිසා ශරීර අභ්‍යන්තර පරිවෘත්තිය ක්‍රියාවලියේ ද නතර වේ. එවිට ආශ්වාස ප්‍රශ්වාසය ද අවශ්‍ය නොවේ.
අවදියෙන් පවතින සිතට දැනෙන සුවය නිවීම හා සැනසීම වේ. එනම් නිවන් සුවය වේ. මේ අනුව තණ්හාව ක්ෂය කළ බුදුරජාණන් වහන්සේට මෙන්ම රහතන් වහන්සේට ද මේ අයුරින් සමාධි සුවය හා නිරෝධ සමාපත්ති සුවය අත්දැකිය හැක.
එසේ නම් තණ්හාව ක්ෂය කළ කෙලෙස් ප්‍රහීණ කළ උතුමන් පිරිනිවන් පානා තෙක් ගත කරන ජීවිතය පුරා ලබන නිරාමිස සැපය නිවන් සුවය ලෙස වටහා ගත හැක. බාහිර අරමුණු වලින් වියුක්තව ඒ නිරාමිස සැපය සමග හුදෙකලා වී නිසල ව කාලය ගත කිරීම සමාධි සුවය අත් විඳීම ලෙස ද අපට වටහා ගත හැක. සමාධි සුවය තුළ ද විවිධ අවස්ථා පසු කරමින් ගැඹුරු අවධීන් කරා ගමන් කරන බව සඳහන් වේ. ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය ආකාසානඤ්ඤායතන විඤ්ඤනංචායතන , නෙව සඤඤා නාසඤ්ඤායතනය ආදී වශයෙන් ඒවා හඳුන්වා ඇත. නිවන් අවබෝධය පිණිස ප්‍රගුණ කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි අවසාන අදියරෙහි දැක්වෙන්නේ සම්මා සමාධියයි. සම්මා සමාධිය ඇතිවීම සඳහා සම්මා සතිය වැඩිය යුතුයි. සම්මා සතිය නිවැරැදි ව සිහිය පිහිටුවා ගැනීමයි. ඒ සඳහා තමන්ගේ ම කය හා මනස දෙස සිහිය පිහිටුවා ගැනීමේ ආකාර 4ක් දේශනා කර ඇත. ඒ සතර සතිපට්ඨානයයි.
1. කායානුපස්සනා
2. වේදනානුපස්සනා
3. චිත්තානුපස්සානා
4. ධම්මානුපස්සනා
1. කය අනුව සිහිය පිහිටුවා ගැනීම.
2. ආයතන 6න් ගන්නා අරමුණු අනුව ඇතිවන විඳීම් කෙරෙහි සිහිය පිහිටුවා ගැනීම ,
3. සිතෙහි ස්වභාවය විමසමින් ඒ මත සිහිය පිහිටුවා ගැනීම
4. සිය ආධ්‍යාත්මය හා ගලපමින් සිතෙහි මතුවන පංචනීවරණ ධර්ම හඳුනාගනිමින් ඒවා යටපත් කර බෝධි පාක්ෂික ධර්ම දියුණු කිරීම කෙරෙහි සිහිය පිහිටුවා ගැනීම.
මෙසේ සිහි නුවණ දියුණු වන විට සිත සමාධිමත් වේ. සමාධිමත් වූ සිතින් ලොව සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය විමසා බැලීම විදර්ශනා භාවනාවයි. විදර්ශනා භාවනා කිරීමේ දී යථා භූත ඥානය පහළ වේ. ඒ සඳහා සිතෙහි පංච නීවරණය යටපත් තිබිය යුතුය.
පංච නීවරණ යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දඡකුක්කුච්ඡ , විචිකිච්ඡා ආදියයි. එනම් ආශා කරන දේ සිහිවීම, තරහ මතුවීම, අලසකම හා නිදිමත ඇති වීම, නොසන්සුන්කම හා පසුතැවීම ඇතිවීම, සැකය මතුවීම ආදියයි. මෙම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා සමථ භාවනා ක්‍රම මගින් සිත දියුණු කරගත යුතුය. භාවනා කිරීම සඳහා ඉන්ද්‍රිය සංවරය තිබිය යුතුයි. ඒ සඳහා ශීලයක පිහිටා සිටිය යුතුයි. පන්සිල් , ආජීව අෂ්ඨමක සිල්, අටසිල් , දස සිල් ආදී වශයෙන් ගිහි පිරිසට උචිත පරිදි සුදුසු ශීලයක් සමාදන් විය හැක. සමාදන් වූ ශීලය නැවත නැවත ආවර්ජනා කිරීමෙන් පවත්වා ගෙන යාමට විරිය කළ යුතුයි. ඒ සඳහා සිහි නුවණ අවශ්‍යයි.
කිසියම් පුද්ගලයෙක් ඉන්ද්‍රිය සංවරයට පෙළෙඹෙන්නේ ඉන්ද්‍රිය අසංවරයෙහි ආදීනව දුක යැයි වටහා ගත් විටය. ඉන්ද්‍රිය අසංවරය , සැපය, ආශ්වාද ජනකය, යැයි සිතමින් මුලා වී එහි ඇලී ගැලී සිටින්නෙකු තුළ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් මුල් වැඩෙන බැවින් මනස දියුණු කළ නොහැක.
මෙවැනි තත්ත්වයකින් ඔහු මුදා ගත හැක්කේ කල්‍යාණ මිත්‍රයෙකුට පමණි. එබැවින් කල්‍යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්මය ශ්‍රවණයට අවස්ථාව ලැබේ. අපට හමුවන උතුම් ම කල්‍යාණ මිත්‍රයා වන්නේ බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ ඇසුරු කළ හැක්කේ උන් වහන්සේ දේශනා කළ ධර්මය අසා කියවා දැනගෙන පිළිවෙත් අනුගමනය කිරීමෙනි. එවිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව හා ධර්මය පිළිබඳව ගැඹුරු පැහැදීමක් ඇති වේ. එනම් ශ්‍රද්ධාව ඇති වේ.
අද අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට කියවන්නට ලැබී ඇත්තේ එදා පටන් ඒ ධර්මය අසා පිළිවෙත් පුරා මග ඵල ලබා නිවන් සුවය ලද ආර්ය මහා සංඝරත්නය විසින් දේශනා කිරීම හා ග්‍රන්ථාරූඪ කිරීම නිසාය. අදත් සරල බසින් දහම් පොත පත ලියමින් දේශනා කරමින් අපට මග පෙන්වන්නේ මහ සඟරුවන විසිනි. එබැවින් ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි පැහැදි ශ්‍රද්ධාව ඇති කරගත යුතු වේ. මෙසේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වූ තැන් පටන් නිවන කරා යන ගමන ඇරැඹේ.
භාවනා කිරීම යනු සිත වැඩීමයි. රහත්ඵලය ලබන විට සිත වැඩී අවසන්ය. ප්‍රඥාව පහළ වී ඇත. එබැවින් බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේ සිත වැඩීම සඳහා සමාධි සුවයෙන් වාසය කරයි. නිවන් සුවය අත්විඳියි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආමිෂය භවය සඳහාය, ප්‍රතිපත්තිය භව නිරෝධය සඳහාය


ගම්පහ සිරිසීවලී හිමි
වේළුවනාරාමය, කන්නිමහර, වතුරුගම

සත්‍යාවබෝධයේදී අනුගමනය කරන ප්‍රතිපදාවේ බොහෝ තේරුම්ගත යුතු කරුණු ඇත.'ප්‍රඥව' යනු මානසික සංවර්ධනයේ ඉහලම අවස්‌ථාවයි. අතිපාරිශුද්ධ වූ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීමෙන්මයි ඒ අවස්‌ථාව උදාවනුයේ. ඒ නිසා ශාන්තිනායක ගෞතමයාණන් වහන්සේ වදාරනුයේ (-

''තුම්හෙහි කිච්චං ආතප්පං -අක්‌ඛාතාරෝ තථාගත' යනුවෙනි. අප විසින් මඟ වැඩිය යුතුය. මාර්ග උපදේශකත්වය උන්වහන්සේ දෙනු ඇත. විශ්වාසයෙන් සත්‍ය අවබෝධ නොවනු ඇත. ඇදහීමේන් සත්‍ය අවබෝධ නොවේ. පොතපතින් සත්‍ය අවබෝධ නොවේ. ත්‍රිපිටකය කටපාඩම් වූ පමණින් සත්‍ය අවබෝධ නොවේ.

ත්‍රිපිටකයේ සඳහන් වී ඇත්තේ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවකි. එය ඇසීමෙන් ප්‍රතිවේධය නොලැබෙනු ඇත. සම්බුද්ධ දේශනාව ග්‍රන්ථධුරය, විදර්ශනා ධුරය යනුවෙන් දෙකොටසකි. ග්‍රන්ථ ධුරයෙන් උපදේශනයත්, ප්‍රතිවේධය සඳහා විදර්ශනා ධුරයත් භාවිත කළ යුතුය. එයින් කරනුයේ මන අවදිමත් කර නිවීම සඳහා යොමු කිරීමයි.

මනසින් අවබෝධ කරගත් ධර්මය තවත් මනසකට සම්ප්‍රේෂණය කළ නොහැක. දහම් දෙසනුයේ ශ්‍රාවකයා සත්‍ය දෙසට නැඹුරු කිරීමටය. සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ මන අවදිමත් කිරීම සඳහාය. සම්මාදිට්‌ඨිය ඇතිකිරීම සඳහා අනුබල දීමටයි. ඒ සඳහා උපාය මාර්ගයක්‌ පමණි. ඒ නිසා ශාන්ති නායකයාණන් වහන්සේට 'ඥානය' ලබාදීමට නොහැක. තුන් පිටකයේ අන්තර්ගත වන්නේ වාර්තාකරණයන්ය. ප්‍රකාශනයි. උපමා උපමේය සංකේත මගින් ධර්මය විවරණය කර දීමයි. එමගින් කරනුයේ උපක්‍රම භාවිතාව සඳහා ශ්‍රාවකයා යොමු කිරීමයි. තුන් පිටකය කටපාඩම් කළත් ත්‍රිපිටකාචාර්ය වුණත් ප්‍රතිවේදයක්‌ නොමැත. උපාය මාර්ග මගින් ලබන ප්‍රතිපදාවකින්මයි, ඥන සම්භවය සිදු වන්නේ. 

මේ බව වඩාත් පැහැදිලි කර දෙන ධර්ම විවරණයකි, ම.න. චන්කි සූත්‍රය. සත්‍ය ගවේෂී ආර්ය ශ්‍රාවකයා මුළාවෙන් අත්මිදීම සඳහා චිත්ත පාරිශුද්ධිය බලාපොරොත්තුවෙන් ශාස්‌තෘන් වෙත(

- සද්ධාජාතො උපසංකමති - සද්ධාවෙන් සමීපයට පැමිණේ.

- උපසංකමන්තො පයිරුපාසති - එළඹ ඇසුරු කරයි.

- පයිරු පාසන්තො සොතං ඕදහති - ඇසුරු කරමින් සවනත යොමු කරයි.

- ඕහිත සොතො ධම්මං සුනාති - යොමුවූ කන් ඇතිව සිහියෙන් ධර්මය අසයි.

- සුත්වා ධම්මං ධාරේති - අසාගත් ධර්මය දරාගනී.

- ධතානං ධම්මානං අත්ථං උප පරික්‌ඛති - දරාගත් දැනගත් දහම අර්ථය හොඳින් පරීක්‌ෂා කර බලයි. විමසා බලයි.

- අත්ථං උප්පරික්‌ඛතො ධම්ම නිඡ්Cධානං ධම්මන්ති - අර්ථය සමාලෝචනයෙන්, පිරික්‌සීමෙන් ධර්මය වටහා ගනී.

- ධම්ම නිඡ්Cධානක්‌ඛන්තියා සති ඡන්දො ජායති á උස්‌සහති - ධර්මය වැටහෙන්න වැටහෙන්න දහමේ කැමැත්ත ඇතිවේ. උත්සාවන්ත වේ. ප්‍රමුදිත වේ.

- උස්‌සහිFවා තුලෙති - ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ප්‍රතිපදාවේ යෙදීමෙන් ආධ්‍යාත්මික ගුණාත්මක භාවයේ ප්‍රගතිය කිරා මැන බලයි. සමාලෝචනය කරයි. මේ සූත්‍ර දේශනාවේ ඉහත දැක්‌වූ පාඨයන් දහම් ඇස ලබාගැනීමේදී යෝගවචරයාගේ පූර්ව කෘත්‍ය වශයෙන් දැක්‌විය හැක. ප්‍රතිවේධය සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි.

- තුලයිත්වා පදහති පහිතත්තො සමානො කායෙනෙච්ව පරම සච්චං සච්äකරොති. පඤ්Æය ච නං අතිවිඡ්Cධ පස්‌සතිá

ප්‍රතිපදාවේ යෙදීමෙන්, සත්තිස්‌ බෝධි පාක්‌ෂික ධර්ම වැඩීමෙන් පධන් වීර්යයෙන් යුක්‌ත වූයේ නිවනට යොමු වූ සිත් ඇත්තේ සත්‍ය අවබෝධ කරගනී. ප්‍රඥව පහල වේ.

- එත්තාවතා ඛෝ භාරද්වාජ, සච්චානුබොධොහොති - භාරද්වාජයෙනි, මෙපමණකින් ශ්‍රාවකයා ධර්මය අවබෝධ කරගනී. දහම් ඇස ලබා ගනී.

- එත්තාවතා සච්චානු මනු බුඡ්Cධති. මෙතකින්ම සත්‍ය අවබෝධ කරයි කියනු ලැබේ.

එත්තාවතා ච මයං සච්චානුබොධං පඤ්ඤාපේමි - මෙපමණකින් මම ඔහුට සත්‍ය අවබෝධ ඇතිවූ බවට ප්‍රතිඥ දෙමි.

න ෙFවව තාව සච්චානුපත්ති හොතිති - මේ ක්‍රමවේදය පරිපූර්ණ නොවූයේ නම් සත්‍යාවබෝධය වූයේ යෑයි නොපනවමි.

ම.නි. අලගද්දූපම සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

'මයා ධමෙමා දෙසිකො නිත්ථරනත්ථාය - නො ගහනත්ථාය. කුල්ලුපමං වො භික්‌ඛවේ. ධම්මං දෙසිතං අජානතෙනකෙහි ධම්මාපි වො පහාතබ්බා පගෙව අධමෙමා'

මහණෙනි, මාවිසින් දේශිත දහම පහුරකට උපමා කරමි. පහුරෙන් ගඟ තරණය කරන්න. ඕඝය තරණය කරන්න. සසර ඕඝයෙන් එතෙර වෙන්න. ධර්මය ළඟ තබාගෙන මගේ කර ගැනීමට නොවේ. ධර්මය නම් වූ පහුර උපකාරී කරගෙන තරණය කර එයද අත්හරින්න. එනම් ධර්මයත් අත්හරින්න. පළමුව අසත් ධර්මය අත්හරින්න.

උතුම් බෝධිසත්ව ගුණෝපේත මනුෂ්‍යයන් වශයෙන් උපන් අපට උතුම් බුද්ධෝත්පාද කාලයක්‌ ලැබී ඇත. ධර්මය පුංජයක්‌ බවට තමාගේ ජීවිතය පත්කර ගත යුතුය. මහ මෛත්‍රියෙන් මහා කරුණාවෙන් මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ අප වෙත ධර්මය සන්නිවේදනය කරන්නේ සසර ඕඝයේ මහා භයානක ස්‌වභාවය අවබෝධ කරගෙන එයින් අත්මිදීමටයි. විශේෂයෙන් පුහුදුන් මානසිකත්වය ඇති සාමාන්‍ය පෘථග්ජනයාට එහි යථාර්ථය නොතේරෙන බැවිනි.

අප සසර ගමන තව තවත් දුරට යැමට හේතු කාරක වන පිං දහම් කරමින් ආමිෂයට මුල්තැන දෙමින් වටිනා කාලය කනවා. එසේ කරමින් මේ දානාදී පිංවලින් නිවන් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම මතු මනාවූ අනාගතයේ පහළවන්නා වූ සැමටම මෛත්‍රි වූ මෛත්‍රී බුදුපියාණන් වහන්සේ විසින් මධුර මනෝහර කොට වදාරනු ලබන පළමුවැනි දහම් දෙසුමේදී (ධම්මචක්‌ක පවත්තන සූත්‍ර දේශනාව අවසානයේදී) මාර්ගඵල අවබෝධයෙන් සසර දුක නැතිවී නිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරයි.

දැන් පහළ වී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අප ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් දේශිත ධම්මචක්‌ක පවත්වන සූත්‍රයමයි මතු අනාගතයේ පහළවන මෛත්‍රී ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේත් දේශනා කරන්නේ. ගෞතම ශාක්‍යමුනි දේශනාව තවමත් ජීවමානයි. ඒ පිවිතුරු දහම අද අවබෝධ කරගන්න බැරි නම් අමුතු හැකියාවක්‌ අමුතු දක්‌ෂතාවක්‌ මතු අනාගතයේ කෙසේ නම් ඇතිවේද? ඔබ ඔබේ හැකියාව අවතක්‌සේරු කර ඇත. නැවත මේ උත්තම අවස්‌ථාව කිසිදා කෙසේ නම් ලැබේදැයි කිසිවකුට කිව නොහැක. ප්‍රාර්ථනා කරන පලියට ලැබෙන්නේ නැත.

උතුම් මනුෂ්‍යාත්මභාවය ජීවමානයි. උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානයි. ක්‌ෂණ සම්පත්තිය ජීවමානයි. ගෞතම බුද්ධ ශාසනය ජීවමානයි. මහා කුසල සම්භාරයක්‌ ඇතිව උපත ලැබූ ඔබ ආර්ය භූමියේ උපත ලබා සම්බුද්ධ ශාසනයේ ස්‌ථාවර ආර්ය භාවයට පත්ව නිවන් දැක සසරින් එතෙරවීමට උත්සාහ වන්න.

හැම මොහොතකම ගෙවී යන්නේ ඔබේ උතුම් මනුෂ්‍යාත්ම භාවයේ ජීවන කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ කවදා කෙසේ නම් පහළ වේ යෑයි සිතාගත නොහැකි උතුම් බුද්ධෝත්පාද කාලයයි. හැම මොහොතක ගෙවී යන්නේ සද්ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ඇති ඔබේ මානසික ශක්‌තියයි. ඔබට ඔබේ පිළිසරණවත් නැති වන මොහොත ඉතා ළඟය. 'ධම්මො හවේ රක්‌ඛති ධම්මචාරි' ධර්මාවබෝධය තුළින් ඔබට රැකවරණය ලැබෙනු ඇත. ධර්මයේ හැසිරෙන්නට ධර්මය පිහිටවනු ඒකාන්තය.

තවම අප ධර්මයේ පහුරට නැඟ නැත. ධර්මයේ පහුර කර තියාගෙන ඇත. එයට පුද පූජා පවත්වමින් සිටී. දහම් පද ගීතවත්ව ගායනා කරමින් වැඳ වැටෙමින් සිටී. ආමිෂ පූජාවෙන් චිත්ත පාරිශුද්ධත්වය ඇතිවී සත්‍යාවබෝධය නොවනු ඇත. 'මම' නමැත්තා පෙරටුවේ තබාගෙන ඔහුට සුත මුදිත අනාගතයක්‌ ඇතිකරදීමේ අභිලාෂයෙන් භව තණ්‌හාවෙන් පින්දහම් කරයි. සසර ගමනට පින අවශ්‍යයි. බුදුදහමේ බුද්ධිමත් ප්‍රතිපදාව වනුයේ සසර ගමන නතරකිරීමේ ප්‍රතිපත්ති පූජාවයි. ආමිෂය තමාට පුදා ගැනීමක්‌ පමණි. බුදුන්ට පිදීමක්‌ නොවේ.

කුසල කර්ම හෝ අකුසල කර්ම භව නිරෝධය සඳහා කිසිසේත් පාදක නොවේ. එමගින් භව ගමන දික්‌ කරයි. ඡේතවනාරාමය පූජා කළ මුළු ජීවිත කාලයම දානාදී පින් දහම් කළ අනේපිඬු සිටුතුමාට සෝවාන් වීමට හැකියාව ඇතිවූ නමුත් රහත්භාවය සඳහා හේතු කාරණා නොවීය. 

අසූහාර දහසක්‌ වෙහෙර, විහාර කළ තම එකම දුව - පුතා සසුනට පූජා කළ ධර්මාශෝක රජතුමාට භව නිරෝධය සඳහා පින උපනිශ්‍රය නොවිණි. අසදෘෂ මහදන් දුන් කොසොල් මහ රජතුමාටත් කෝසල මල්ලිකා දේවියටත් පිනෙන් අඩුවක්‌ තිබුණේද? ඒ පිංකම්වලින් භව නිරෝධය කරගත නොහැකි විය. අංගුලිමාල මහසොරා දහස්‌ ගණන් මිනිසුන් මැරුවත් ඒ පාපකර්මය මහරහත්භාවය ලැබීමට කිසිසේත් බාධා නොවිණි. පිං දහම් කාමාවචරයි. භවගාමී බවට අදාළයි. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධිය සඳහා කිසිසේත් අදාළ නොවේ.

කිසිම ප්‍රාර්ථනාවක්‌ නොමැතිව කිසියම් හෝ අනාගත අපේක්‌ෂාවක්‌ නොමැතිව සියල්ලම අත්හැරීම කළ යුතුය. ඒ ලෝක ධර්මයන්ගෙන් නිදහස්‌ වීම සඳහායි.

- නිදහස්‌ විය යුත්තේ කොතනින්ද? ලෝකයෙන්

- නිදහස්‌ විය යුත්තේ කාගෙන්ද - මගෙන්

නිදහස්‌ විය හැක්‌කේa කෙසේද? - ප්‍රතිපදාවෙන්

නිදහස්‌ වීම සඳහා යායුතු මඟ කුමක්‌ද? අරිඅටමග

නිදහස්‌ විය යුත්තේ කුමකින්ද? අවිද්‍යාවෙන්

නිදහස්‌ වීමට නොකළ යුත්තේ කුමක්‌ද? කර්ම රැස්‌කිරීමයි.

'යෝ පන භික්‌ඛු ධම්මානු ධම්ම පටිපන්නෝ විහරති. සාමීචිපටිපන්නෝ විහරති. අනුධම්මචාරි, සො තථාගතා නං සක්‌කාරොතිá ගරු කරොති( මානේති ( පූඡේතිá පරමාය පූජාය පටිපත්ති පූජාය'

''යම් භික්‌ෂුවක්‌ සද්ධර්මයට අනුගතව ජීවත්වන්නේ නම් දැහැමි කතාබහෙන් යුක්‌තනම් බුද්ධාදී උතුමන්ගේ දොaෂ දර්ශනයට ලක්‌ නොවන සියලු දුශ්චරිතයන්ගෙන් මිදුණු ජීවිත ගත කරන්නෝ තථාගතයාණන් වහන්සේට සත්කාර කරන්නෝ වෙති. තථාගතයාණන් වහන්සේට ගරු කරන්නෝ වෙති. මානන්‍ය කරන්නෝ වෙති. උතුම්ම පූජාව වන්නේ ප්‍රතිපත්ති පූජාවයි.

ඉහත දැක්‌වූ දැහැමි කරුණුවලට අනුගතව ඔබ ජීවත්වන්නේ නම් මුළු දවස පුරාම තථාගතයාණන් වහන්සේට පූජෝපහාර පවත්වන උතුමෙක්‌ වේ. මෙහිදී ආමිෂ පූජාව ගැන කිසිදු සඳහනක්‌ නැත. කර්ම රැස්‌කිරීම ආමිෂයයි. කර්ම ක්‌ෂය කිරීම ප්‍රතිපත්තියයි. ආමිෂය තමාට පූජා කිරීමකි. ප්‍රතිපත්තිය බුදුන්ට පූජා කිරීමකි.

'නහී මයිහං මාලා ගන්ධාදී හි පූජංකරොන්තා. මම පූජං කරොන්ති නාම ධම්මානු ධම්මං පරිපඡ්ජන්තා. එවපන මං පූජෙන්ති නාම' (ධම්ම පදට්‌ඨ කතා). 

මල් ගඳ විලවුන් මගින් කෙරෙන පිදීම බුද්ධ පූජාවක්‌ නොවේ. ප්‍රතිපත්තිමය වශයෙන් ධර්මානුකූලව හැසිරීමම බුදුපියාණන් වහන්සේට කරන බුද්ධ පූජාව වන්නේය.

මිනිසුන් මුළු ජීවිත කාලයම දිවා රාත්‍රී නොමැතිව කති, බොති, නටති, ගී ගයති, ප්‍රීති වෙති, රැස්‌කරති, රකිති, බෙදා ගනිති, රැකියා කරති, හම්බ කරති, වෙහෙසෙති, පොහොසත් වෙති, දුප්පත් වෙති, නඩුත් කියති. මරණයේ දොරටුව ළඟට පැමිණි විට පෙර සූදානම් නැති නිසා හඬති, වැළපෙති, සෝක කරති, භීතියට පත්වෙති, අසරණ වෙති. එමෙන්ම මහා ධන සම්පත් භෞතික ගේ දොර, ඉඩකඩම්, යාන-වාහන, ස්‌වාමි-භාර්යා, දූ-දරුවන්, මනාප දෑ 'බෑ' කියද්දී අතහැර දමා මහත් සේ අසරණ වෙලා නොපෙනෙන, නොදැකපු, සිහිනයකින් වත් නොදත් මහා භයානක ව්‍යසනයන්ගෙන් යුත් තැනකට සමහරවිට ඇද දමනු ඇත. ඒ සියල්ලටම වගකිව යුත්තා තමාගේ චරියාවයි. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිරෝධ ආර්ය සත්‍යය

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති 
මහාචාර්ය 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි

අපේ මහා බෝධිසත්වයන් වහන්සේ පරම සත්‍ය වූ සාංසාරික විමුක්තිය සොයා ගැනීමේ ක්‍රියාවලිය සඳහා හැමවිට ම අත්දැකීම යොදාගත්තා. රජගෙදර සැප විඳිද්දී අන්තයටම කාමසුඛල්ලිකානුයෝගය භාවිත කළත් අවසානයේ දී එය දුක පිණිස ම හේතුවන බව අත්දැකීමෙන්ම වටහා ගත්තා. සය අවුරුදු දුෂ්කරක්‍රියා සමයේදී අත්තකිලමතානුයෝගය අනුගමනය කිරීමේ දී ලබාගත් අත්දැකීම මගින් අවබෝධ කරගත්තේ එය ද අවසානයේ දුක පිණිසම හේතු වන බවයි. එයින් මිදුණු බෝධිසත්වයන් වහන්සේ මැදුම් පිළිවෙත මගින් අවසානයේ දී අද වැනි දවසක බුද්ධත්වයට පත් වූ බව අප කවුරුත් දන්නා සත්‍යයයි.
තමන් වහන්සේ අවබෝධ කරගත් මේ ගැඹුරු දැක්ම තේරුම් ගැනීමට තරම් ශක්තිමත් පිරිසක් මේ වන විට දඹදිව ඉන්දියාවේ නොමැති බව සිතූ උන්වහන්සේ ඒ ගැඹුරු දහම දේශනා කිරීමට මැලිවුණා. එහෙත් පසුව දිරිමත් වූ උන්වහන්සේ බුද්ධත්වයෙන් දින 49 කින් පසු බරණැස ඉසිපතනාරාමයේදී ඇසල පුර පසළොස්වක දා ඒ ගැඹුරු දහම් අඩංගු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පස්වග මහණුන් ප්‍රධාන දිව්‍ය බ්‍රහ්මයින්ට පමණක් දේශනා කළා. ඒ දහමේ අරුත වුණේ තමන් වහන්සේ අවබෝධ කරගත් ඒ චතුරාර්ය සත්‍යය ලෝකයට ඉදිරිපත් කිරීමයි. දුක්ඛ සත්‍යය ( දුකේ ස්වභාවය) සමුදය සත්‍යය ( දුකට හේතුව) නිරෝධ සත්‍යය ( දුක නැති කිරීම) මාර්ග සත්‍යය (දුක නැති කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය) යන සතරයි.

මෙහි දී තුන්වන ආර්ය සත්‍යය වන නිරෝධය ගැන දැන් අපි විමසා බලමු. නිරෝධය කියා කියන්නේ අවසන් වීමයි. මිදීමයි. නිදහස් වීමයි. කුමකින්ද දුකෙන්, එවිට අපට කියන්න පුළුවන් නිර්වාණාවබෝධය ලැබුණා කියලා. එසේ නම් තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම අවසන් කර තිබිය යුතුය. මේ නිර්වාණය කියල කියන්නේ කුමක්ද කියා කෙනෙක් ප්‍රශ්න කලහොත් එයට ද අපට පුහුදුන් අය වශයෙන් සාර්ථක පිළිතුරක් අපේ භාෂාව තුලින් ලබාදීම අතිශයින් දුෂ්කරයි. කෙසේ වුණත් නිරෝධය කියා කියන්නේ සම්පූර්ණ නිවීම හෙවත් නිවනයි. සියලුම සංස්කාරයන්ගේ සන්සිඳීම සියලුම බැඳීම් අත්හැරීම තෘෂ්ණාව සහමුලින්ම විනාශය නිරෝධය කියා අපි කල්පනා කරමු. ලෝකයේ පවතින සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යය මත හට ගනී. එහෙත් නිරෝධය හෙවත් නිවන එවැන්නක් නොවේ. ඒ නිසාම එයට අසංඛත යැයි කියනවා.
මේ අනුව නිර්වාණය කියා කියන්නේම දුක්ඛ නිරෝධයට යි. ඒ නිවන කියන තැන රාගය නැහැ. රාගය නැතිවීම, දෝසය නැතිවීම, මෝහය නැතිවීම තමයි නිවන කියන්නේ. දුක් ඉපදීමේ හේතුව වන තෘෂ්ණාව අංශුමාත්‍රයක්වත් ඉතුරු නොකර මතු මත්තෙහි ද නූපදිනා පරිද්දෙන් අවසන් වීම මෙහි ලක්ෂණය යි. එයට නිරවශේෂ නිරෝධය යැයි ද අනුප්පාද නිරෝධය යැයි ද නිරවශේෂ ප්‍රහාණය යැයිද කියනවා. කෙනෙකුට තමන්ගෙ වස්තුව, අඹු දරුවන්, තමන්ගේ ශරීරය, ජීවිතය, ඉන්ද්‍රියන්ට ගොදුරු වන රූප ශබ්දාදිය ගැනත් තෘෂ්ණාවක් හටගන්නේ නැත්නම් දෙවඟනන් බඳු සුරූපී තරුණියක් සමඟ කොපමණ කල් එක යහනේ විසුවත් ඔහුට කාම රාගය උපදින්නේ තැන්නම් ඔහුට තෘෂ්ණාව නැත්තේම යි.
තව කරුණක් තමා තෘෂ්ණාව නැති වුණත් පුද්ගලයාගේ පඤ්චස්ඛන්ධය පවතී නම් ඒ පුද්ගලයා දුකින් මිදී නෑ. පඤ්චස්ඛන්ධය නිරුද්ධ වුණොත් ඒ සුළු කොටසක් වූ තෘෂ්ණාව පැවතුනත් එය බලවත් දුකක් වන්නේ නෑ. දුකින් ගෙවන සත්වයාට අවශ්‍ය ප්‍රධාන දේ තමයි පඤ්චස්ඛන්ධයත් සමඟ වන දුකේ අවසානය. මේ නිසා බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවෙන් වෙනස් වු වෙනත් ක්ලේශ හා ස්ඛන්ධ නොගෙන තෘෂ්ණාව පමණක් ගෙන එහි නිරෝධය වශයෙන් දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පැහැදිලි කළේ.
ඒවගේම තෘෂ්ණාව දුක උපදින හේතුව නම් එය නැති නොකර එහි ඵලය වන දුක නැති කළ නො හැකිය. අපි හිතමු මහත් වෙහෙසක් අරගෙන යම් දුක් කොටසක් නැති කරනව. ඒත් දුක පවතිනව. එහෙම වුනත් දුකේ හේතුව වන තෘෂ්ණාව නැති කළ විට එයින්ම දුක අවසන් වනවා. ඒ නිසා දුක නැති කිරීමේ පැහැදිලිම ක්‍රමය තමයි දුකේ හේතුව වන තෘෂ්ණාව අවසන් කිරීම. එය තමයි දුක්ඛනිරෝධාර්ය සත්‍යය. මේ අනුව තෘෂ්ණාව හේතුවෙන් ඇතිවන සියලුම දුක්ගොඩ නිරෝධයට පත්කිරීම මේ තෘෂ්ණා නිරෝධයයි.
බෞද්ධයන් වශයෙන් අපි නිවන කියා සිතන එය ලැබීමට උත්සාහ කරන ප්‍රාර්ථනාව වී තිබෙන්නේ මේ දුක්ඛනිරෝධාර්ය සත්‍යයි. මෙය ඇතැම් අය සිතන මතන විදියට ප්‍රාර්ථනා නොකළ යුතු අරමුණු කර නොගත යුතු හිස්බවක් ඇති දෙයක් ම නොවේ.එය අපේ දහමේ විස්තර වන්නේ අති ප්‍රණීත සැපයක් විදියට යි. මේ නිවනෙහි ස්ඛන්ධ වලට අයත් කිසිවක් නෑ. ඒ නිසා එය හිස් දෙයක්. එබැවින් ම එය උසස් ගුණයක් බැරිවෙලාවත් නිවනෙහි විඥානස්ඛන්ධයක් වත් තිබුණ නම් එය දුකක් වෙනව.
ෙ ලීකයේ සැප දෙකක් ගැන කථා කරනව. එකක් කාම සුඛය, අනෙක් එක විමුක්ති සුඛය ,අපේ ඇහැ , කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදි අරමුණූ නිසා අපට කාම සුඛය ඇති වනවා . දූ දරුවන්, මිල මුදල්, දේපල වස්තුව ආදිය නිසත් එහෙම කාමසුඛය ඇති වනවා. මේ සියල්ලටම අප කියන්නේ කාම සුඛය කියල. එහෙම වුණත් අප දැනටමත් විඳින හෝ අනාගතයේ පැමිණෙන්නට තිබෙන විපතකින් දුකකින් බේරීම විමුක්ති සුඛය කියල කියනව.මේ සැප දෙකෙන් කාම සුඛය අප විඳිනව. ඒ නිසා එයට වේදයිත සුඛය කියලත් කියනවා. ඒ අතර මුලින් කියපු විමුක්ති සුඛය අප විඳින්නේ නැහැ. ඒක නො විඳින සැපයක්, ඒ නිසා එයට අවේදයිත සුඛය කියා කියනව.මේ විමුක්ති සුවය තමයි නිවන කියල කියන්නේ. හැබැයි අප කාට කටත් මෙය විස්තර කරන්නට තරම් අපේ භාෂාව ශක්තිමත් නැහැ. නිවන පිළිබඳ අත්දැකීමක් නැහැ. අප ගත්තොත් අපේ තුවාලයක් වේදනා සහිත වෙනකොට ඒ සඳහා අපි නොයෙක් ප්‍රතිකාර කරනව. එතකොට හොඳ වෙනව. අප කියනව තුවාලය හොඳයි සනීපයි සුවයි කියල.ඒ වුණත් ඒ සුවය ගැන කියන්නට අප තවත් වචන ගොඩක් පාවිච්චි කරනව. එහෙම වුණත් විමුක්තිය ගැන කියනකොට එතැන වචන ගොඩක් නැහැ. එකම වචනය විමුක්තිය මයි. ඒ විමුක්තිය දුක්ඛ නිරෝධයමයි. එය පරම නිවනයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අමා සුව ලබාදෙන නිවන් සුව

කොළඹ මාලිගාකන්දේ 
විද්‍යෝදය පරිවේණාධිපති 
බලන්ගොඩ සෝභිත නා හිමි

ප්‍රාග් බෞද්ධ යුගයට අයත් දඹදිව, මෝක්ෂය හෙවත් නිවන පිළිබඳ විවිධ විශ්වාස ගොඩනැඟී තිබුණි. එම විශ්වාස ගොඩනැඟී තිබුණේ ලෞකික හේතු සාධක ගොඩනඟා ගැනීමෙනි. මෝක්ෂය සම්බන්ධව බ්‍රාහ්මණ සම්ප්‍රදායයේ පඬිවරු ‘බ්‍රහ්මයා සමඟ එකට එකතු වීම, මෝක්ෂය ලෙස සැලකූහ.
එය ‘බ්‍රහ්මසහව්‍යතාව ලෙස පෙන්වා දීමට ඔවුහු උත්සාහ දැරූහ. ඒ සඳහා යාග හෝම පැවැත්වීම ඔවුන්ගේ සිරිත විය. උපනිෂද් යුගය වන විට මෙය වෙනම අංශයකට යොමු වී තිබුණි. එනම් මෝක්ෂය වේදයිත සැපයක් ඇති තැනක් වූ අතර, චේතනා ස්වරූපයක් සහිත ආත්මයක් ඇති තැනක් ලෙසය. මේ අතර ශ්‍රමණ සම්ප්‍රදායයේ විවිධ විශ්වාස ගොඩනැඟෙමින් තිබූ අතර, මෝක්ෂය ලබා ගැනීමට ඒ ඒ අය ප්‍රතිපදා දෙකක් අනුගමනය කළහ. එහි එක් විශ්වාසයක් වූයේ මෙලොව සිත්සේ පස්කම්සුව විඳිමින් පසිඳුරන් පිනවීමේ උපරිමයට පැමිණීම මෝක්ෂය බව යි. (කාමසුඛල්ලිකානුයෝගය) තවත් පිරිසක් විශ්වාස කළේ මෙලොවදී හැකි පමණින් ශරීරයට දුක් දීමෙන් කෙලෙස් ප්‍රහීණ කොට මෝක්ෂය ලබාගත හැකි බවයි. (අත්තකිලමථානුයෝගය) මේ අන්ත දෙක කෙරෙහි යොමු වූ විශාල පිරිසක් සිටි අතර, එම ශාස්තෘවරු ෂ¾ඩ්ශාස්තෘවරු ලෙස ප්‍රසිද්ධ වූහ. ආලාරකාලාම , උද්දකරාමපුත්ත ආදි තවුසෝ භාවනාවෙන් අරූප ලෝකයෙහි ඉපදීම මෝක්ෂය ලෙස සලකා ඒ සඳහා ප්‍රජාව මෙහෙය වූහ. එමෙන්ම නිගණ්ඨ හා ආජීවක සම්ප්‍රදායය විශ්වාස කළේ අසඤ්ඤසත්ත තලයෙහි උපත ලැබීම මෝක්ෂය ලෙසය.
මෙසේ විවිධ ශාස්තෘවරු විවිධ පැහැදිලි කිරීම් ඔස්සේ මෝක්ෂය ලබා ගැනීමට උත්සාහ දැරූහ. දඹදිව දෘෂ්ටිවලින් පිරී තිබූ අතර, දෙසැටක් දෘෂ්ටීන් ඒ අනුව ගොඩනැඟී තිබුණි. සත්‍යය සොයන ජනතාව මෙම ඉගැන්වීම් නිසා අතරමං වූ ස්වභාවයකින් සිටියහ. ‘කිං සච්චගවේසී’ ජීවිත ගත කළ අය මේ විශ්වාස පසු පස යමින් සත්‍යය ඇති තැන කොතැනදැයි විමසීමට පටන් ගත්හ. එමෙන්ම එම මෝක්ෂයන් අවබෝධයට දර්ශන මගින් ඉගැන්වූ ප්‍රතිපදා අනුගමනය කළහ. සමහර පිරිස් ඒ ඒ දෘෂ්ටි අනුගමනයෙන් සත්‍යය සොයා ගැනීමේ අදහස සාක්ෂාත් නොවුන බැවින් වෙනත් වෙනත් දර්ශනවලට නැඹුරු වීම ද මෙකල සුලභ දර්ශනයක් විය. මෙයම සත්‍යය අනෙක් දේ අසත්‍යය” යනුවෙන් සෑම දර්ශනයකම තිබූ ඉගැන්වීම විය. එනිසා මහජනතාව එක් පැත්තකින් එම දර්ශනයන් තුළම රැඳී සිටිමින් එම ප්‍රතිපදා අනුගමනය කිරීමද සිදු කළහ.

බුදුරජාණන් වහන්සේ දිගු කාලයක් මුළුල්ලේ මිනිසා විසින් සොයන ලද සදාකාලික සැනසීම, විමුක්තිය හෙවත් නිවන අවබෝධ කරගෙන එය ලෝකයට ඉදිරිපත් කළහ. එමගින් ප්‍රායෝගික ජීවිතයේදීම නිවී සැනසී ගිය පිරිස අසීමිතය. එසේ සොයාගත් විමුක්තිය බුදුදහමේ හඳුන්වා ඇත්තේ ‘නිබ්බාන’ හෙවත් ‘නිවන’ යන වචනයෙනි. එම වචනයේ ‘නි’ යන උපසර්ගය ‘නැති’ යන තේරුම දෙයි. ‘වාන’ වචනයෙන් “තෘෂ්ණාව’ අර්ථවත්ව වේ. එම වචන දෙක එකතු කළ විට “තෘෂ්ණාව නැති’ යන අර්ථ ලැබේ. මේ අනුව තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලුම කෙලෙස්වලින් බැහැර වීම නිබ්බාන වේ. දිගු කලක් මුළුල්ලේ සසර දිගින් දිගට පැවත ආ රාගාදී කෙලෙස් සන්සිඳීම බුදුරජාණන් වහන්සේ නිවන ලෙස පෙන්වා දුන්හ. සියලු කුශලාකුශල අවසන් කිරීම නිවනයි. ‘පුඤ්ඤාභිසංඛාර,’ අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර’ අවසන් කිරීම නිවන නම් වේ. පින් වශයෙන් විපාක දීමට ශක්තිමත් කර්ම සියල්ල ‘පුඤ්ඤාභිසංඛාර’ වේ. ඒ සියල්ල ද අවසන් වේ. පව් වශයෙන් විපාක දීමට ශක්තිමත් කර්ම සියල්ල අපුඤ්ඤාභිසංඛාර’ වේ. ඒවා ද අවසන් වේ. එමෙන්ම අරූපාවචර ලෝකයන්හි විපාක දීමට ශක්තිමත් ‘ආනෙඤ්ජාභිසංඛාර’ ද අවසන් වන හෙයින් කාම, රූප, අරූප නමැති තුන් ලෝකයේම ඉපදීමට යම් ශක්තියක් ඇත්නම් ඒ සියල්ල අවසන් කිරීම මින් අදහස් වේ. කර්ම ඇති කරන බීජ මුළුමනින්ම අවසන් වන හෙයින් උපන් භවයට සම්බන්ධ කර්ම ශක්තීන් අවසන් වු විට නැවත ඉපදීමක් ඇති නොවන හෙයින් එයම නිවන ලෙස සඳහන් කර ඇත. මෙහිදී ‘ප්‍රතිසන්ධි විපාක’ මෙන්ම ‘ප්‍රවෘත්ති විපාක’ ලබා දෙන නාමරූප ස්කන්ධයන්ගේ නැවත නො ඉපදීම නිවන වේ. නැවත නැවත ඉපදීම වශයෙන් සසර සැරිසරන සත්ත්වයාගේ පැවැත්ම මුළුමනින්ම අවසන් කිරීම නිවනයි.
ලෝකයට අයත් සෑම සත්ත්වයෙකුම, සෑම ද්‍රව්‍යයක්ම හේතු ප්‍රත්‍යයෙන් (ප්‍රතීත්‍ය සමුත්පන්නව) හට ගැනී ඇත. එසේ හෙයින් ඒවා ‘සංඛත ධර්ම” ලෙස නම් කෙරේ. සංඛත ධර්මයන්ගේ පොදු ලක්ෂණ තුනක් තිබේ. එනම් හටගැනීම, වෙනස්වීම හා නැතිවීමයි. (උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස, අඤ්ඤථත්තං පඤ්ඤායති) මෙසේ සංඛත ධර්ම ඉපදීම, වෙනසකට පත්වීම, නැසීම යන ලක්ෂණ තුනෙන් යුක්තය. එහෙත් නිර්වාණය හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් නොවේ’. එනිසා නිවන ‘අසංඛත’ වේ. ඉපදීමක් , දිරීමක්, නැසීමක්, බිඳීමක්, නැති බව නිර්වාණයේ ස්වභාවය වේ. සියලු දුකින් නිදහස් වීමෙන් ලබන පරම සැපය නිවන වේ. එනිසා ‘නිබ්බානං පරමං සුඛං යනුවෙන් දේශනා කොට ඇත.
නිවන් සුවය කිසි කලෙක වෙනස් නොවන බැවින් නිවනට ‘ධුව යනුවෙන්ද ව්‍යවහාර වේ. එමෙන්ම නිවන සැපයක් වන හෙයින් ‘සුඛ ද වේ. ස්ථිරත්වයෙන් හා සැපයෙන් සදාකාලික වන බැවින් නිවන ඒකාන්තයෙන් සැපයකි. සැපය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙයාකාර වේ. වේදයිත (විඳීමේ) සැපත ලෞකිකය. වූපසම (සංසිඳීමේ) සැපය ලෝකෝත්තරය. ඉඳුරන් පිනවමින් සම්පත් රස විඳීමේ ලබන සතුට හා සොම්නස විඳින සැපය වේ. එම සැපය ඒ ඒ අවස්ථාවේදීම අවසන් වන බැවින් ස්ථිර නැත. එනිසාම අනිත්‍යය. දුක් සහිතය. නිවනේ විඳින සැපයක් නැත. එසේ විඳීමක් නොමැති බවම සැපය වේ. කෙලෙස් ගිනි දුක් ගිනි මුළුමණින්ම නිවීමෙන් ඇතිවන ශාන්ත සුවය “වූපසම සුඛය” වේ. ශරීරයේ ඇතිව තිබෙන කුෂ්ටයක් කසන විට සුවයක් දැනේ. එය වේදයිත සුඛයකි. එසේම කැසීම අවසන් වූ වහාම කුෂ්ටයේ දැවිල්ල ඇතිවේ. එමෙන්ම වින්දනය කරන සියලු සැපම දුකින් කෙළවර වේ. ඖෂධ ලබා ගැනීමෙන් කුෂ්ටය මුළුමනින්ම සුව වේ. එමගින් ලැබෙන ශක්තිය ‘වූපසම සැපය හා සමානය. නිවන් සැපත ලෙස සඳහන් කළත් එහි අත්දකින සැප වේදනාවක් නැති බවත් ඇත්තේ ශාන්ත සුඛයක් පමණක් බවත් මෙයින් ප්‍රකට වේ.
නිවනෙහි බෙදීම් දෙකක් දක්නට ලැබේ. එනම් ‘සඋපාදිසෙස නිබ්බානධාතු’ හා ‘අනුපාදිසෙස නිබ්බානධාතු’ වශයෙනි. මෙහි “උපාදි’ යන වචනයෙන් අර්ථවත් වන්නේ පඤ්චස්කන්ධයයි. එය තණ්හා, දිට්ඨී වශයෙන් දැඩිව ගැනීම් ලක්ෂණයේ පඤ්චස්කන්ධය උපාදි නම් වේ. පඤ්චස්කන්ධය ඉතිරිව තිබිය දී කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් නිවන් සුව විඳින්නට හැකි වීම උපාදිසෙස නිවන වේ. එසේ නිවන් දුුටු රහතන් වහන්සේගේ අපවත් වීමෙන් පසු පඤ්චස්කන්ධය ද ඉතිරි නො වීමෙන් අනුපාදිසේස නිවන් සැපයට පත් වේ. මේ අනුව මාර්ගඵල ලැබීමෙන් ලබන නිවන හා රහත්ව අපවත් වීමේ ලබන නිවන වශයෙන් නිවනේ ආකාර දෙක විස්තර වී ඇත.
නිවන පිහිටි තැනක් පිළිබඳ ප්‍රශ්න මතු කරන අයද සිටිති. නිවන පිහිටි තැනක් නැතත් එය විද්‍යමාන ධර්මයකි. සෝවාන් ආදී මාර්ගඥානවලින් අවබෝධ කළ යුත්තක් හෙයින් නිවන ලෞකිකව අත්විඳිය හැකි නොවේ. මෙය සාමාන්‍ය අවබෝධය සඳහා පහත සඳහන් වන්නේ නිදසුනකි. පිපාසයට පැන් බීමෙන් පිපාසය සන්සිඳෙන බව අපි සියලු දෙනාම දනිමු. එහෙත් එම ස්වභාවය නිවැරැදිව වචනවලින් විස්තර කළ නොහැකි ය. ලෞකිකව අප අත්දකින දෙයක් විස්තර කළ නොහැකි නම් නිවන වැනි ලොකෝත්තර සුවයක් මෙසේ යැයි විස්තර කිරීම අතිදුෂ්කර වේ. නුවණැති අය තම තමා විසින්ම නිවන අවබෝධ කරගත යුතුය. (පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි) නිවන් සුවය විස්තර කර දීමේ අපහසු බවට ත්‍රිපිටකයේ සඳහන් වන වචන කිහිපයක්ද ඇත. ඒ ඒ වචනවලින් ප්‍රකාශ වන්නේ නිවන දැකීමට දුෂ්කර බවය. (දුද්දස) එමෙන්ම අවබෝධයට දුෂ්කර බවය (දුරනුබොධ) තර්කයෙන් නොදත හැකි බවය (අතක්කාවචර) සියුම් බවය. (නිපුණ) නුවණැත්තන් විසින් දැනගත යුත බවය . (පණ්ඩිතවෙදනීය) රාගාදී කෙලෙස්වලින් ශූන්‍යය (සුඤ්ඤත) රාගාදී නිමිති රහිතය (අනිමිත්ත) ප්‍රණිධි රහිත බව ය (අප්පණීහිත) මෙසේ විවිධ ආකාරයෙන් නිවනේ ස්වභාවය භාවිත වචන දක්නට ලැබේ. ඒවායින් අදහස් වන්නේ අවබෝධයෙන් නිවන අත්දැකිය හැකි බව, දැනුමෙන් නිවන වටහා ගැනීම දුෂ්කර බවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online