ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

විවේකය ඇසුරෙහි නිවී යන කෙලෙස් ගිනි

මෙලොව උපත ලබන සත්වයා තම ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා විවිධ සේවා කටයුතු සිදු කරයි. ලොව්තුරා බුදුන්වහන්සේ වැඩ සිටි කල ඇතැම්හු ක්‍ෂත්‍රිය (රාජ්‍ය බලය හිමි) පිරිසට සේවා කටයුතු සිදු කළහ. ඇතැම්හු බ්‍රාහ්මණ (ජටා පැළැඳගත්) පිරිසට සේවා කටයුතු සිදු කළහ. තවත් අය ගෘහපති පිරිසට සේවා කටයුතු සිදු කළහ. මෙසේ කුදු මහත් සේවා කටයුතුවල නිරත වූහ. ඇතැම්හු වරදවා පිළිපන් මිසදිටු මහණ බමුණන්ට මෙහෙ කළහ.
මිථ්‍යා දෘෂ්ඨිය සමාදන් වූ පිරිස් යටතේ මිථ්‍යා ඇදැහිලි විශ්වාස පිළිගෙන ජීවිතාන්තය දක්වා සේවා කටයුතු කරන පිරිස් ගැන සිතා බලමු. මිසදිටු යාග හෝම බලි තොවිල් සිදු කරමින් මහත් ධනය විය පැහැදම්කොට උත්සව, පෙරහර, සැණකෙළි පවත්වති. බොහෝ ජනයා එබඳු සේවා කටයුතු කරදෙමින් යැපෙති. එයින් මහත් ශාන්ති අපේක්‍ෂා කරති. එහෙත් මේ සැමදෙයක් සිදු කළත් සසර දුකෙන් එතෙර වීම පිණිස කුසල ශක්තිය, පාරමි ශක්තිය ඇති නොවන්නේ ය.
රාග ද්වේෂ මෝහ ආදි කෙලෙස්වලින් පිරි තණ්හා දිට්ඨි මානවලින් බැඳී ගිය මිසදිටු අදහස් ගත් පිරිසකට කොපමණ සේවා සිදු කළත් එයින් තමන්ට විශුද්ධියත් සැනැසීමත් අත් නොවේ. ඒ අය සේවා ලබාගෙන බොහෝ අකුසල් රැස් කරති. මිථ්‍යා දෘෂ්ඨියම වැළඳගෙන කර්මය, කර්ම ඵලය විශ්වාස කිරීමක් නොමැතිව පංච දුශ්චරිතය ම සිදු කරති. දස අකුසල් සිදු කරති. එබැවින් එසේ සේවා සිදුකරන පිරිසත්, ලබන පිරිසත් දෙපිරිසම ගුණ ධර්මවලින් පිරිහී යති. කළු කර්ම රැස් කරති. පුහුදුන් බවට ම පත්වෙති. ප්‍රණීත භාවයට පත් නොවෙති. ආර්ය උතුමන් ඇසුරක් නැති නිසා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සිත වඩවාගැනීමට හැකියාවක් නොමැත. දුර්වර්ණ භාවයට පත් වෙති. අර්ථ සාධනයක් නොලැබෙන්නේ ය. කොපමණ මුදල් අධර්මයෙන් රැස් කළත්, දෙපිරිසම දෙලොව පිරිහෙති. මෙලොවද තැවෙති. පරලොව ද තැවෙති. කළ අකුසල් කර්මයන්ගෙන් බේරීමට, ගැලවීමට ආරක්‍ෂක ස්ථානයක් නැත.
ජීවිතය යහපත් ලෙස ගත නොකළ නිසා මානසික සුවයත් නිදහසත් ඇත්තේම නැත. සන්සිඳීමක් නොමැත. කාම ගින්නෙන්ම අන්ධ භාවයට පත්වේ. පංච නීවරණයන් නිසා තව දුරටත් සිත හීන භාවයට පත් වී පිරිහී යයි. මෙවන් මිථ්‍යා අදහස් සමාදන් වූ පිරිසට සසර දිගු වේ. කෙළවරක් නොපෙනේ. ආර්යයන් වහන්සේ නොදකිති. ආර්ය ධර්මයේ දක්‍ෂ භාවයට පත් නොවෙති. සසරේ බියකරු ස්වභාව ගැන කිසිදු ආකාරයකින් වැටහීමක් ඇති නොවේ. එම නිසා ජාති, ජරා, ව්‍යාධි මරණයන්ගෙන් නොමිදෙති. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදි ගිනි එකොළොසින් නිරන්තරයෙන් ම දැවෙති. විනාශයට පත්වෙති. විරාගි දහමෙන් නිදහස් සුවය නොලබති.
තවද මෙලොව ඇතැම් පිරිස් තම චිත්ත සන්තානයෙහි නිරතුරු සිහිපත් කරන කාමාදි අරමුණු තුළින් සැනසීමත් සතුටත් ලැබිය හැකි යැයි සිතමින් එයින් තොර ස්ථිර වූ සැපයක් විවේක සුවයක් නැතැයි විශ්වාස කරති. මෙසේ ලෝකයා සිහිපත් කරන කරුණු කාරණා මොනවා දැයි විමසා බලමු. ඇතැමෙක් පුත්‍ර ලාභය සිහිපත් කරති. භාර්යා ලාභය සිහිපත් කරති. ධන ලාභය සිහිපත් කරති. අධිපති ලාභය සිහිපත් කරති. ගරු බුහුමන් සිහිපත් කරති. නැටුම් ගැයුම් වැයුම් ද කාය බලය ද නිරෝගී ලාභය ද සිහිපත් කරති. මෙසේ කුදු මහත් ලාභ සිහිපත් කරති. මිසදිටු ගත්, එහි සමාදන් වූ මහණ බමුණන් සිහිපත් කරති. එහිම නැවැත නැවැත සිහිපත් කර දෘෂ්ඨිගත වෙති.
මෙසේ සිහිපත් කිරීම් ලොව ඇත. කාමාදි ලෝකවල ආස්වාදය මුල්කරගෙන සත්වයෝ එහි මත් වෙති. අතීත, අනාගත, වර්තමාන වශයෙන් දුප්පත්, පොහොසත්, හීන, ප්‍රණීත, ළදරු, තරුණ, වයස්ගත භේදයකින් තොරව ඉහත කරුණු කාරණා සිහිපත් කර එක මොහොතක සතුටු වෙති. බොහෝ කොට දුක් තැවුල් ලබති. මෙය පුහුදුන් ලෝකයේ ස්වභාව වේ. මෙම කාමාදි අරමුණුවල සුව සොම්නස තාවකාලික බව සිහිපත් නොවෙයි. ඒවා ස්ථිර වූ, සුබ වූ, ආස්වාද ජනක දේ හැටියට සිතීම උපන්දා සිට ලෝකයා පුරුද්දක් කරගෙන ඇත. නිරන්තරයෙන් ම ඒ සඳහා ඇස පිනවා සතුටු වෙති. කන, නාසය, දිව, ශරීරය, මනැස යන ඉන්ද්‍රියන්ට ගෝචර වන රූපාදි අරමුණු සිහිපත් කරමින් ආහාර කොට ගැනීම ලෝකය වැඩීමට හේතු වේ.
මෙවන් ලාභයන් සිහිපත් කිරීමෙන් තව තවත් සිතේ නීවරණ ධර්ම වර්ධනය වීම සිදුවෙයි. තමාට එහි ආදීනවය වැටහෙන්නේ නැත. තමා එහි මිහිරියාව භුක්ති විඳීමට දැඩි කැමැත්තක් ඇති නිසා යථාර්ථයෙන් ඈත් වෙයි. ඒ පසු පස එන දුක්ඛ සහගත තත්ත්වය කෙසේ වත් දර්ශනය නොවෙයි. සිත අපිරිසුදුවීම වර්ධනය වෙයි. ඤාණ දර්ශනය වැසී යයි. රාග සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි සිතන්නට සිතන්නට එහි උමතු භාවයට පත්වෙයි. තමාත් තමාගේ සිතුවිලිවලට අරමුණු වන පිරිසත් රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කර නැත. එවැනි අය සිහිපත් කිරීමෙන් තණ්හා, දිට්ඨි, මාන වැඩිවනවා මිසක විරාගයට නොවැටෙයි. වස්තු කාම, ක්ලේෂකාම යන දෙයාකාරයෙන්ම සිදුවන්නේ සිත දුර්වර්ණ භාවයට පත්වීමයි. අඳුරට පත්වීමයි. දහම් ඇස නැතිවීමයි. එයින් සත්වයා මෝඩ භාවයෙහිම ගිල්වා දමයි. ප්‍රඥාව නැති කරයි. සියලු කෙලෙස් නැති කිරීමෙන් ලබන නිර්වාණ සුවය අහිමි වී යයි. දිගු සසරටම වැටෙයි.
ස්ත්‍රී ලාභය මෙනෙහි කරන ලද නන්ද තෙරණුන් වහන්සේගේ සිත ද රාග ගින්නෙන් පෙරැළි ගියේ ය. ආවාහ මඟුල හා අබිසෙස් මංගල්‍යයට දින යෙදී තිබුණත් බුදුන්වහන්සේ ගේ කීමට විරුද්ධ විය නොහැකි නිසා මහණ විය. එහෙත් පෙම්වතිය වන ජනපදකල්‍යාණි කුමරිය කෙරෙහි සිත තදින් ඇලිණ. ඇයගේ සිත ද නන්ද කුමරු කෙරෙහි තදින් බැඳී තිබිණ. මහණ වූ දා සිට ඇය කෙරෙහි සිතන්නට විය. සිතේ විවේකය සන්සිඳීම නැති විය. මහණකමේ සිත අභිරමණය කිරීමද දුෂ්කර විය. සිවුරු හැර යන්නට සිත් විය. ලොව්තුරු බුදුන් වහන්සේ මහා කරුණාවෙන් සසර අනියත බව වටහා දී රහත් ඵලයට සිත නැංවීමට උපදෙස් ලබා දුන්සේක. රාග සිතට නිඟා කොට කාමයෙහි ආදීනව මෙනෙහි කොට සව් කෙලෙස් නසා රහත් ඵලයට පත් වූහ.
දිනක් සොරෙය්‍ය සිටු තෙමේ මහා කච්චායන තෙරුන් වහන්සේ දැක මෙසේ සිතීය. ‘අහෝ! මුන් වහන්සේ මට බිරිඳ වී නම් හෝ මුන්වහන්සේගේ රුසිරි මාගේ බිරිඳට වී නම් කෙතරම් අගේ දැ’යි ස්ත්‍රී ලාභය සිහිපත් කළේ ය. ආර්ය උපවාදය මුල්කරගෙන එකිනෙහිම පුරුෂ භාවය අතුරුදන් වී ස්ත්‍රියක බවට පත්විය. විලියෙන් මිරිකී ගිය ඇය තක්සලා නුවරින් පලා ගියා ය. පුරුෂව සිටිය දී ලත් දරු දෙදෙනකු විය. ස්ත්‍රිව සිටියදීත්දරු දෙදෙනකු ලැබිණි. තමාගේ කුසින් උපන් දරුවන්ට තද සෙනෙහසක් විය. පසුව මහාකච්චායන තෙරුන් වහන්සේ වෙතින් සමාව රැගෙන ස්ත්‍රිලාභයේ ආදීනවය දැක සසර කලකිරී මහණ විය. පසුව පුත්‍රලාභ, ස්ත්‍රිලාභ ආදි සිහිපත් කිරීමෙහි බිය දොස් දැක කිසිවක් කෙරෙහි බැඳීම් සිහිපත් කිරීම් අත්හැර විදසුන් වඩා රහත්ඵලයට පත් වූහ. රහත් වූ පසු, කිසිවකු කෙරෙහි තවදුරටත් ආදරයෙන් සිහිපත් කිරීමක් නැතැයි ප්‍රකාශ කරන ලදී.
දොළොස් අවුරුද්දක් පුත්‍ර සෙනෙහස මෙනෙහි කරමින් දුක් වෙමින් සිටි කුමාර කාශ්‍යප මාතා තෙරණියට ද මාර්ගඵල නිවනට පත්වීමට එයම බාධාවක් විය. එම තෙරණිය පුත්‍රයා කෙරෙහි දැඩි ආදරයක් සෙනෙහසක් දැක් විය. නිරතුරු පුත්‍රයා ගැනැම සිහිපත් කළාය. පුත්‍ර ලාභයම පැතුවාය. දොළොස් අවුරුද්දක් ගියත් ධ්‍යාන මඟඵලයට පත් වීමට නොහැකි විය. පුත්‍රයා නොදැක සොවින් පෙළිණ. මහණ වුවත් ඡන්දරාගය දුරු නොවීය. අයෝනිසෝ මනසිකාරය බහුලව වැඩිණි. එවිට සිතේ විවේක සුවය, විරාගී සුවය, සන්සිඳීම යටපත් විය. සිතේ එකඟතාව විනාශ විය. පුත්‍රයා නොදැක ක්ලාන්තව දුක් පීඩා ඇතිව සිටියාය. සිත විරාගි දහමට නැඹුරු නොවීය. එකල්හි මරණය පැමිණියේ නම් දුක්ඛිත ලෝකය කරාම වැටෙන්නේ ය. එතරම් මේ ක්ලේෂ ධර්මයන් සත්වයා සැපයෙන් පහකර දමන්නේ ය. සුවයක් යයි කියා එහිම මුළා කරවන්නේ ය. මත්කරවන්නේ ය. පිපාසිත කරවන්නේ ය. මෙසේ සිය පුතු ගැන ශෝක කරන තාක් කුමාර කාශ්‍යප මාතා මෙහෙණිය සසර කෙරෙහි වන බියකරු භාවය, ආදීනව තේරුම් නොගත්තා ය.
කුඩා කලම මහණවීමට කැමැත්තක් දැක්වූ කුමාර කාශ්‍යප කුමරුවන් බුදුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් පැවිදි කරවනු ලැබිණි. නොබෝ කලකින් සව් කෙලෙස් නසා රහත් ඵලයට පත් වූහ. දිනක් වීදියේ යන පුතුනුවන් දැක පුත්‍ර සෙනෙහසින් වේගයෙන් ගොස් අල්ලන්නට සූදානම් වන විට, මේ කිමෙක්ද? වහා ඉවත් වන්න කියා ප්‍රකාශ කරන්නට යෙදුණි. එසේ සිදු කළේ මෑණියන් කෙරෙහි කරුණා සිතින්ම ය. පුත්‍ර සෙනෙහස නිසා ඇය දොළොස් අවුරුද්දක් දුක් වින්දා ය. තෙරණියට වන යහපත දැක කුමාර කාශ්‍යප තෙරණුවෝ එසේ පැවසූහ. මෙතෙක් කලක් සිත තුළ රුවාගෙන විඳ වූ පුත්‍ර ස්නේහය කෙරෙහි කලකිරී සෙනෙහස බිඳ ඡන්දරාගය ප්‍රහීන කොට සව්කෙලෙස් නසා රහත් ඵලයට පත්වීමට කුමාර කාශ්‍යප මාතා තෙරණියෝ සමත් වූහ.
තමාට පිහිට තමා බවද, වෙන කෙනෙකු පිහිට නොවන බවද, මනාව සිත දමනය කළ කල්හි ඉතා දුකසේ ලැබිය හැකි රහත් ඵල සුවයට පත්විය හැකි බව ද ලොව්තුරා බුදුන්වහන්සේ දේශනා කළ සේක. මුළාවට පත්වී තැවෙන දැවෙන සිත් සතන් ඉහත කරුණු ආදර්ශයට ගෙන විවේක සුවයට පත්කර ගැනීමට අධිෂ්ඨාන කරගන්න.
වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නියත මිථ්‍යා දෘෂ්ටිය

ලොව සෑම දෙයක් ම අනිත්‍ය ස්වභාවයට පත්වන නිසා දුක යැයි සසර පිළිබඳ දැනීමත්, දුක් ඇතිවීමට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගැනෙන තෘෂ්ණාව යයි දැනීමත්, මෙම ති‍්‍රවිධ තෘෂ්ණාව නැතිකිරීම නිවන බව දැනීමත් දුක් නැතිකිරීම සඳහා පිරිය යුතු එක ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දැනීමත් සම්මා දිට්ඨි යයි කියනු ලැබේ.
මේ අනුව පැහැදිලි වනුයේ දුක - දුක ඇතිවීමට හේතුව - දුක නැතිකිරීම - එම දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සම්මා දිට්ඨිය බව ය. “සම්මා අවිපරිතතෝ පස්සතීති සම්මා දිට්ඨි” යන විග්‍රහ වාක්‍යයෙන් කියැවෙන්නේ ද පඤ්චස්කන්ධය පිළිබඳව යථාවබෝධය - ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම සම්මාදිට්ඨිය බව යි. මිථ්‍යා දෘෂ්ටිය නැතිකර දමන අවබෝධ ඥානය සම්මා දිට්ඨිය යි.
දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ(මේ අදහස් වලින් තොර වීම ලෞකික සම්මාදිට්ටිය වේ)
නත්ථි දින්නං, - දීමෙහි විපාක නැත.
නත්ථි යිට්ඨං, - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
නත්ථි හූතං, - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, - - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
නත්ථි අයං ලෝකෝ, - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
නත්ථි පරෝ ලෝකෝ, - මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
නත්ථි මාතා, - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
නත්ථි පිතා, - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සත්තා ඕපපාතිකා, - ඕපපාතික සත්වයන් නැත.
නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.(නියත මිත්‍යාදෘෂ්ටි සූත්‍රය-අංගුත්තර නිකාය-දසක නිපාතය )
යනුවෙන් නිර්මාණවාදය පිළිගෙන ශාස්වත දෘෂ්ටියට වැටී මෝක්ෂය සෙවීම නියත මිථ්‍යාදෘෂ්ටි වශයෙන් දක්වනු ලැබේ.
මෙසේ නියත මිථ්‍යාදෘෂ්ටියට වැටීම පංච ආනන්තර්ය අකුශල කර්මයන්ට වඩා බලවත් ය. හේතුව? කාලාන්තරයකින් පංචාන්තර්ය අකුසල කර්මයන්හි විපාක ගෙවී සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවිනි. දෙව්දත් තෙරුන් පවා කළ පව්වල විපාක ගෙවී කාලාන්තරයක් ගතවී “සට්ඨිස්සර” නමින් පසේබුදුවන බව ධර්මයෙහි සඳහන්ව ඇත. එහෙත් ඬයත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය.
ලෝක ධාතුවක් විනාශ වුවද එකල මනුෂ්‍ය,දිව්‍ය,අපාගාමී ලෝකවල වාසය කරන සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර
නම් සත්වයන් අතර උපදිනා බව ධර්මයේ සදහන්ය.නමුත් නියත මිථ්‍යාදෘෂ්ටිය‍ට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත්
දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.
විශේෂයෙන්ම මේවා අතරින් බොහෝ දෙනෙක් සැක කරන්නේ නිරිසතුන්,දෙවියන් වැනි ඕපපාතික උපත්ය.ඒ සැකයම ඔවුන්ව නිරය කරා රැගෙන යාමට සමත් වේ.සීමාසහිත අත්දැකීම් රාමුවක් තුල සිරවී සිටින මිනිසුන් වන අපගේ ඇසට පමණින් තර්ක විතර්ක කරමින් යමක් බැහැර කිරිමට උක්සාහ දරයි නම් එය අණුවන කමය.ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය අවබෝධය කරා රැගෙන යන්නේ තර්කයෙන් නොව ශ්‍රද්ධාව මුල් කරගත්
වීමංසන බුද්ධියෙන්ය.තර්කය යනු අසත්‍ය සත්‍ය ලෙසත්,සත්‍ය අසත්‍ය ලෙසත් පෙන්විය හැකි එක්තරා ආයුධයකි.
යමෙක් ඕපපාතික උපත බැහැර කරයිද ඔහු නියත මිත්‍යාදෘෂ්ටියෙන් යුතු අවාසනාවන්ත පුද්ගලයෙකු බව තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත.මෙම මෝහයෙන් අන්ධ වූ පුද්ගලයා මෙලොවත් පරලොවත් අදුරෙන් අදුරට පත් වූවෙක්
ලෙස හැදින්විය හැක.
සැරියුත් මහ රහතන් වහන්සේ භික්‍ෂූන් අමතා “ඇවැත්නි යහපත් දැකීම සම්‍ය දෘෂ්ටිය යයි කියනු ලැබේ. සම්‍යක් දෘෂ්ටිය යයි කියනු ලැබේ. කොපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද? යනුවෙන් ප්‍රශ්න නගා උන්වහන්සේම පිළිතුරු දෙමින්, ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවකතෙම අකුසලයන් දනී ද, අකුසල මූලයන් දනී ද, කුසලයන් දනී ද, කුසල මූලයන් දනී ද, එපමණෙකින් සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදුණෝ වෙයි. නිර්වාණ මාර්ගයට පිවිසුණේ වෙයි. මෙයින් පැහැදිලි වනුයේ කුසල් අකුසල් පිළිබඳව නියමාකාරයෙන් දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය බවයි. එම සූත්‍රයේ දී ම තවදුරටත් විස්තර වශයෙන් දක්වා ඇත්තේ ප්‍රාණඝාතාදී අකුසලයන් හා එම අකුසලයන් සිදුකිරීමට මුල්වන ලෝභ දෝස - මෝහ යන අකුසල මුල් හේතුවන බව දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය නමින් ගැනෙන බව ය.
බුදුරදුන් පසු පසින් යන සුනක්ඛත්ත භික්‍ෂුව ද පහත් සිතුවිලි ඇති කෙනෙක් බැවින් සුනඛයකු සේ ජීවත්වන මේ කෝරක්ඛත්තිය දුටු විට නියම තවුස් ජීවිතය මෙය යැයි මෙවැන්නෝ ම නිවන් දකින්නෝ වෙති. බුදුරදුන් වදාරණ සීලයට වඩා මෙසේ දුෂ්කර ව්‍රත රැකීම උසස් යයි අදහසක් ඇතිකර ගත්තේ ය. මොහුගේ අදහස දැනගත් බුදුපියාණෝ සුනක්ඛත්ත! ඔබට දැන් මොහු දැකීමෙන් මෙබඳු අදහසක් පහළ වූවා නොවේදැයි ඇසූ සේක. සුනක්ඛත්ත එය පිළිගත්තේ ය.
එසේ නම් සුනක්ඛත්ත ඔබ බුද්ධශ්‍රාවක නොවේ යැයි පැහැදිලි කළහ. දැන් ඔබ උසස් සීලයක් රකින පුද්ගලයෙක් යැයි මෝඩකම නිසා පැහැදීමට පත් කොරක්ඛත්තිය අදින් දින හතකට පසු ආහාර අජීර්ණයකින් මැරී කාලකඤ්ජා නමැති අසුර ලෝකයෙහි උපදිනු ඇත. මේ බලුවත රකින කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්භක නමැති සොහොනට ඔහුගේ අනුගාමිකයන් විසින් ම ලණුවලින් බැඳ ඇදගෙන ගොස් දමනු ඇත. සුනක්ඛත්ත යටිහිතින් කෝරක්ඛත්තිය සුනඛව්‍රතය රකින්නාට කැමති පුද්ගලයෙකි.ඔහු එදාම කෝරක්ඛිත්තිය හමු වී මේ සියලු විස්තර දන්වා සිටියේ ය. එය අසා “ඔය ශ්‍රමණ ගෞතමයන් විසින් කියන ලද්දක් වෙනස් වන්නේ නැත අජීරණයකින් මැරෙන බව කී නිසා අද සිට මම ආහාර පාන නො ගෙන නිරාහාරව සිටීම්” යි අධිෂ්ඨාන කරගත්තේ ය. වෙනදා ඔහු සුනඛයකු සේ හතර ගාතෙන් ගොස් බිම දමන ලද ආහාර ටිකක් කා එන ගෙදරට නො ගිය නිසා සතියක් බලා සිටි ගෙදර ගෘහ මූලිකයා හතර පස් දෙනකුට සෑහෙන මස් සහිත ප්‍රණීත ආහාර වේලක් සකසා ගෙන සුනඛ ව්‍රතය රකින තවුසා දකින්නට ගියේ ය.
ඔහු නිරාහාරව වතුර පමණක් බිබී සුනඛයකු සේ ඇදවැටී සිටිනු දැක “පින්වත් සුනක්ඛත්තයෙනි, ඔබතුමා සතියක් ම නො පැමිණි නිසා මම ප්‍රණීත මස් සහිත ආහාරයක් පිළියෙළ කරගෙන ආවෙමි. එය අනුභව කරනු මැනවැ”යි අර ආහාර භාජනය විවෘත කරත් ම අසීමිත කෑම සුවඳක් විහිදී ගියේ ය. සුනක්ඛත්ත දරාගත නො හැකි බඩගින්නෙන් සිටිය නිසා අර සියලු ම ආහාර කාගෙන කාගෙන ගියේ ය.
ප්‍රමාණයට වඩා උසුලාගත නො හැකි තරම් මස් මාංශ සහිත කෑම අනුභව කිරීම නිසාත්, දින හතක්ම බඩගින්නේ සිට එකවර ම කෑම ගැනීම නිසාත් ආහාර දිරවාගත නොහැකිව එදා රාත්‍රියේ ඔහු අභාවයට ගියේ ය. බුදුරදුන් වදාළ පරිදි උපත ලද්දේ ද කාලකඤ්ජිකා අසුර යෝනියෙහි ය. එය අතිශය දුක්ඛිත තැනෙකි. “තීර්ථකයන් විසින් කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්බක සොහොනට ගෙන නො ගොස් වෙන තැනකට දමන්නෙමු”යි ලණුවලින් ඇදගෙන ගිය ද යන යන හැම තැනක ම පිරිසිදු මිදුල් සේම ඔවුනට පෙනෙන්නට විය. අවසානයෙහි දේහය ගෙනගොස් චපමට සිදුවූයේ බීරණත්ථම්බක සොහොනට ම ය.
සුනක්ඛත්ත භික්‍ෂුව ද මේ තොරතුරු ටික දැන කියා ගෙන බුදුන් වදාළ දේ එසේම සිදු වූ බැවින් හොඳ පුද්ගලයකු සේ බුදුරදුන් වෙත ගොස් මේ සිද්ධිය කියාපා සුනක්ඛත්ත උපන් තැන විමසා සිටියේය. “ඔබ එය මගෙන් ඇසිය යුතු දෙයක් නොවේ.
ඔබ ම සොහොනට ගොස් මියගිය මිත්‍රයාගේ සිරුරට තට්ටු කොට, හිතවත් මිත්‍රයාණෙනි, දැන් උපත ලබා ඇත්තේ කොහිදැයි විමසන්න” යි වදාළහ. සුනක්ඛත්ත භික්‍ෂුව ද එහි ගොස් ඇඟට තට්ටු කොට විමසූ විට “මිත්‍රය, මම වැඩූ සුනඛ ව්‍රතයෙන් ප්‍රයෝජනයක් නො ලැබ වැරදි දෘෂ්ටියක පිහිටා මෝක්ෂය ලබාගනිමි යි කියා මිථ්‍යාදෘෂ්ටි ගතවීම නිසා අද කාලකඤ්ජිකා පේ‍්‍රත යෝනියෙහි උපත ලබා දුක් විඳින්නේ මැ යි මළ සිරුරට ආවේශ වී ඔහුගේ කටහඬින්ම සිදු වූ දේ කියා සිටියේ ය. මිථ්‍යාදෘෂ්ටියෙහි ඇති භයානකකම මෙයින් පැහැදිලි වන්නේ ය. බුදුරජාණන් වහන්සේ නිවනට යාමට වැඩිය යුතු මාර්ග අටෙන් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම වදාරා ඇත්තේ එහෙයිනි.
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිගේ පැහැදිලි කර දීමක්ද ඇතුළත් කර ඇති හෙයින් උන්වහන්සේද
නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සැපය - සදාචාරය සහ බුදුදහම

මහාචාර්ය 
දේවාලේගම මේධානන්ද හිමි

විඳීම (වේදනා) වූ කලී මූලික වශයෙන් ම දෙයාකාරය. එනම් දුක්. විඳීම (දුක්ඛ වේදනා) හා සැප විඳීම (සුඛ වේදනා) යනුවෙනි. සියලු සත්වයෝ සැප විඳීමට මැ කැමැති වෙති. නිබඳව සැපයම සොයා යති. දුකට අකැමැති වෙති. එය පිටු දකිති. සැපය දෙයාකාරය. ඒ ලෞකික සැපය හා ලෝකෝත්තර සැපය යනුවෙනි. මෙහි ලෞකික සැපය නම් ලෝකයට අයත් සැපයයි. (ලොක+ඉක= ලෞකික) ලොක යනු ස්කනධ ධාතු න් ආයතන යැයි කියනු ලබන හේතු ප්‍රත්‍යාකාර වු සංස්කෘත ධර්මයෝය.
ඒ ලෝක යන්නෙන් බුදුසමය හෙළිකරන දාර්ශනික අර්ථයයි. එම ධර්මයන්ගේ පටිපාටිය නොසිඳී පැවැත්ම සංසාරයයි . ඒ අනුව සංසාරික සත්වයාගේ ස්වභාවය නම් එම සැපයම කැමැති වීමය. එයම සොයා යාමය. මෙහි ලෝකෝත්තර සැපය නම් ඉහළට යාමෙන් එතෙරවීමෙන් (ලොක +උත්තර =ලෝකොත්තර) ලබන සැපයයි. ලෝක නිරෝධය යි. බුද්ධාදී උතුමෝ ලෝකයෙන් එතෙරව ලෝකෝත්තර සැපය සාක්ෂාත් කළෝය. එය අත්දැකීමක් බවට පත් කර ගත්තෝය.
බුදුසමය විරාගී දර්ශනයෙකි. එනම් මූලික වශයෙන්ම සියල්ල අනිත්‍යය, දුකය, අනාත්ම යැයි දැන දැක පසක් කිරීමෙන් සියල්ල (සබ්බ) යැයිද ලෝක යැයිද කියන ලද ස්කන්ධාදි ධර්මයන් කෙරේ නිර්වේදය එනම් කළකිරීමද, කළකිරීමෙන් විරාගයද, විරාගයෙන් විමුක්තියද ලබා ගැනීමට උගන්වන දහමකි. එසේම ඒ සඳහා මඟපෙන්වන විරාගී වරණයෙකි. මෙබඳු දහමක් ලෞකික සැපය අගය කරන්නේදැයි යමෙකුට විමතියක් ඇතිවිය හැකිය.

ගිහි පැවිදි දෙපක්ෂයටම මෙලොව හා පරලොව වශයෙන් අත්විඳිය හැකි, විටෙක එසේ අත්විඳිය යුතු යැයි පෙන්වාදෙනු ලබන විවිධ සැප බුදුසමය උගන්වයි. පින් කිරීමෙන් ලබන සැපය ඉන් එකකි. පහන් සිතින් යමක් කියන්නේද , කරන්නේද සිරුර නොහැර යන සෙවණැල්ලක් මෙන් ඔහු පසුපස සැපය ලුහුබඳින්නේය. පින් කරන්නවුන්ට ධම්මපදය උපදෙස් දෙන්නේ නැවත නැවතත් පින් කරන්නටය. පිනෙහි උපරිමය,සැපය වන බැවිණි. දිවි කෙළවර ද පින සැපයකැයි දක්වා තිබේ. මෙසේ පින් කිරීමටත් එමඟින් සසර සැපවත් බව ලබා ගැනීමත්, බුදුසමය අනුබල දෙයි.සැපයෙහි විවිධ ප්‍රභේද බුද්ධ වචනයෙහි දැක්වෙයි. ගිහි සැපය හා පැවිදි සැපය, කාම සැපය හා නිශ්කාම සැපය, උපධි සැපය හා නිරූපධී සැපය, ආර්ය සැපය හා අනාර්ය සැපය, සාශ්‍රම සැපය හා අනාශ්‍රම සැපය, සාමිස සැපය හා නිරාමිස සැපය යනාදී වශයෙන් සැපය දෙයාකාර වන්නේය. අතින් සැපය, හා නිරාමිස සැපය යනාදී වශයෙන් සැපය දෙයාකාර වන්නේය. අත්ථී සැපය, භොග සැපය ,අණන සැපය හා අනවජ්ජ සැපය යැයි සැපය සතරාකාර යැයිද දැක්වෙයි. නිවන පරම සැපය වන්නේය. බෞද්ධයෙකු විසින් මෙකී සියලු සැප සදාචාරය නොඉක්මවා ලැබිය යුතු වෙයි.
අකුසල ක්‍රියාවන් නිසා මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන්ද විඳීමට සිදුවන අනේකකාර වු දුක් පීඩාවන් හා එහිලා හේතු භූතවන කායික, වාචසික හා මානසික දුෂ්චරිතයන් ගැනද බුද්ධ වචනයෙහි නොයෙක් අයුරින් සඳහන් වෙයි. එසේම එබඳු දුෂ්චරිතවලින් වැළකීම තුළින් දුක් මඟහරවා ගැනීමටද බුදුසමය ප්‍රජාව පොලඹවයි. ඒ නන් අයුරිනි. පාපය, අකුසලය, දුක් උපදවයි. පස්පවින් දස අකුසලයෙන් වැළකීම තුළින් දුක්පීඩාවන්ගෙන් නිදහස් විය හැකි යැයි පුන පුනා උගන්වයි. සංසාරික දුක් ගැහැටින් මිදී සුඛිත, මුදිත, පෞද්ගලික හා සාමාජික ජීවිතයක් ගත කිරීමට ගිහිපැවිදි දෙපක්ෂයටම ධර්ම විනයෙන් මඟ පෙන්වා තිබෙන බවද ප්‍රකටය. දස කුසල ධර්මයෝ ම සසර සැප උපදවන්නෝය. සදාචාර මාර්ගය හා සැපය අතර ඇත්තේ අත්‍යන්ත සම්බන්ධයෙකි. සසර දුක් සහිත යැයි බුදුදහම උගන්වන බව සැබෑවකි. ලෝකය දුක මත පිහිටියේය. එහෙත් සසර සැපතක් නැතැයි ඉන් අදහස් නොවේ. ගෘහස්ත ජීවිතයක් ගතකරන බෞද්ධයාට අදාළ අත්ථී සැපය එනම්, තමා සතුව ප්‍රමාණවත් වූ ඇති පමණ ධන ධාන්‍යාදී භෝග සම්පත් ඇතිතරම් අගය කරන බුදුදහම උත්සාහයෙන් වීර්යයෙන් එම සම්පත් උපයා සපයා ගැන්මටද මඟ පෙන්වයි. අනේක විධ වූ උපද්‍රවාදියෙන්ද පාප මිත්‍ර සේවනයෙන්ද එම සම්පත් විනාශ වී යාම වළක්වා ගනිමින් සැපවත් දිවි පැවැත්මක් උදෙසා ඒවා ආරක්ෂා කර ගැනීමටද උගන්වයි. ගිහියාට දිළිඳුකම දුකකැයි පිළිගනිමින් ඉන් අත්මිදීමෙහි අවශ්‍යතාවය පෙන්වාදෙයි. දිළිඳුකම පසුපස එන්නේ අදත්තාදානය , ප්‍රාණඝාතය, මුසාවාදය වැනි දුසිරිත්ය. එබැවින් රජුන් විසින් ද දිළිඳුකමින් ප්‍රජාව මුදාගනිමින් ඔවුන් සුඛිත මුදිත කිරීමට පියවර ගත යුතු බව පෙන්වාදෙයි. ඒ සඳහා රජුන් කුමක් කළ යුතු දැයි ප්‍රායෝගිකව පැහැදිලි කරයි. සැප උපදවනුයේ දැහැමි ධනෝපායනයයි. සම්මා ආජීවයයි. විධිමත් ධන පරිහරණයයි. මනා කළමනාකාරිත්වයයි.
සිඟාලෝවාද , මංගල, පරාභව ආදි සූත්‍රාන්ත ධර්ම තුළින් ද ගෘහස්ථ ශ්‍රාවකයාට උපදෙස් දී ඇත්තේ සැපවත් ජීවිතයක් මෙලොව වශයෙන්ම ගත කිරීම පිණිසය. අනේකවිධ දුසිරිත් හා ඇතැම් දුබලතාවයන්ද තුළින් ස්වකීය ආර්ථික ජීවිතයේ ප්‍රගතිය අඩාලකර නොගත යුතුය.
නුසුදුසු සමාජ ආශ්‍රයෙන් වැළකී ඵලදායක ලෙස සමාජය ඇසුරු කළ යුතු යැයි බුදුසමය පෙන්වාදෙයි. ඒ සියලු සදූපදේශයන්ද ගිහියාට මෙලොව පරලොව දුක් දොම්නස් වළක්වා ගැන්මටය. සතුට සැපත උදාකර ගැනීමටය. පුද්ගලයාගේ පරාභවය ඇති කරමින් ඔහු දුකට පත් කරුණු කවරේද සමාජ ආර්ථික වශයෙන් මෙන්ම සෞඛ්‍යයෙන් ද ඔහුගේ පිරිහීම උදාකරන්නේ කවර චර්යාවන්ද ඔහුගේ දෙලොව ප්‍රගතිය පිණිස වන කරුණු කවරේද කවර චර්යාවන් සුවසෙත ඇති කරන්නේදැයි , සැපත උදාකරන්නේ දැයි බුදුදහම පැහැදිලි කර දෙයි. ආධ්‍යාත්මික වශයෙන් කාමාදී කෙලෙස් වලින් දූෂිත වූවහුට එබඳු සිත් සතන් හේතුවෙන් දුරාචාරවලට යොමු වූවහුට විඳීමට සිදුවන අනේකවිධ දුක් පීඩාවන් බුදු සමය පැහැදිලිකරයි.විටෙක මෙලොව වශයෙන්ද විටෙක පරලොව වශයෙන්ද මහ දුක් කඳකට හෙතෙම ගොදුරු වෙයි. එැබවින් එකී දුක් පීඩා වළක්වා ගනිමින් සැපවත්ව ජීවත්වීම පිණිස මානසික දියුණුවත් එය පාදකකොටගත් සදාචාරයත් උපකාරි වන්නේය.
බුදුන් වදාළ විමුක්ති මාර්ගය මිථ්‍යා චර්යාවන්ගෙන් බැහැරව සම්‍යග් චර්යාවන් පුහුණු කිරීම ඔස්සේ දිව යන්නකි. එය ආර්ය මාර්ගය නොවේ නම් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාවයි. ඒ වූකලී මැදුම් පිළිවෙතකි. සමකාලීන සාමයික චින්තාවන් ඇසුරු කොට ගෙන උපන් ප්‍රතිපදාමය උභයාන්තයටම අනුගත නොවූ සදාචාර පිළිවෙතකි. එයින් නිත්‍යාත්මයක් නැත. සියල්ල මරණයෙන් කෙළවරවේය යන අශාස්වත චින්තාව ඇසුරුකොටගෙන උපන් කාම සුඛල්ලිකානුයෝගය සදාචාරය පිටුදකින්නක් විය. දිවි ඇතිතාක් මෙලොව කම්සුව විඳීම එක් අන්තයෙකි. උපරිම වශයෙන් ඉඳුරන් පිනවීම සීමාන්තව පස්කම් සැප විඳීම එයින් ඉගැන්විණ.එහිලා මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, පින් පව් නැත, එහි අනුරූප විපාක ද නැතැයි සලකා ගැනුනි. මෙසේ පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට හානිකර වූ ද සදාචාරය , සංස්කෘතිය පිටුදකින්නාවූ ක්‍රියාවලියක් උදෙසා අනුබල ලැබිණ. බලවත් ආගම් විරෝධයක් සමඟ සුබ පරමවාදී උමතුවක හැඩතලය එයින් ප්‍රකට වූයේය. දෙවැනි අන්තය වූයේ අත්තකිලමතානුයෝගයයි. උපරිම වශයෙන් කයට දුක් දීම, පස්කම් සුවය,ඉඳුරන් පිනවීම, ඍජවුම පිටු දැකීම එමඟින් අර්ථවත් විය. නිත්‍ය වු සදාකාලික වු ආත්මයක් ඇත යන ශාස්වත චින්තාව එහි පදනම වූයේය. පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට හානිදායක ලෙස ඔහු සීමාන්තික ආත්මාර්ථකාමියකු කරමින්, ඇතැයි පිළිගත් ආත්මයට කටුක දුක් පීඩා දුන් විවිධ ව්‍රත එහිලා අනුගමනය කරන ලදී. (අත්ත+කිලමථ+ අනුයෝග) ආත්ම විමුක්තියක් අරමුණුකොටගත් මෙලොව වශයෙන් සැපත පිළිකෙව් කළ කුසල ධර්ම සංවර්ධනයක් හෝ උසස් ඥානාධිගමයක්ද ඇති නොකළ ආගම් උමතුවක හැඩතලය එයින් ප්‍රකට විය. එයද සදාචාර සංවර්ධනයට අනුබලයක් නොදුන් බව පැහැදිලි වෙයි. කාම සුඛල්ලිකානුයෝගය ලෞකික කම් සැපතෙහි ගිජුවන සමාජයකට මඟ පෙන්වූ අතර අත්තකිලමථානුයෝගය එයට ප්‍රතිපක්ෂ වු පරාජිත සමාජයකට මඟපෙන්වීය. බුදුසමයෙහි සදාචාර මාර්ගය හෙළී පෙහෙළි වන්නේ මෙකී උභයාන්තයෙන් එකකට හෝ අනුගත නොවන මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙනි. එම උභයාන්තයම බුදුරදුන්ගේ විචාරයට ලක්විය.
මේ අනුව හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් මිනිසුන් හා බැඳුණු අනාර්ය වූ අවැඩදායක වූ කාම සුඛලිල්ලිකානුයෝගයට මෙන්ම පීඩාජනක වූ, අනාර්ය වූ, අවැඩදායක වූ අත්ත කිලමථානුයෝගයටද අනුගත නොවන මැදුම් පිළිවත අර්ථවත් වන සැපය බෞද්ධ චින්තනයට අභිමත වන්නේය. එහිලා ලෞකික වු පස්කම් සැපයට ගිජුවීම මෙන්ම එකී සැපයට එරෙහිවීම ද දක්නා නොලැබෙයි. සදාචාර විරෝධි බවින් මෙන්ම වරදවාගත් සදාචාර උමතුවකින් ද තොරව සැප විඳීමට බෞද්ධයෙකුට අවස්ථාව තිබේ.
උපරිම වශයෙන් සැප විඳීමෙන් උතුම් වූ සැපය ලබාගත හැකිය යන සමකාලීන මතවාදය මෙන්ම උපරිම වශයෙන් දුක් විඳීමෙන් උතුම් වූ සැපය ලබාගත හැකිය යන මතවාදය ද බුදුසමයට අභිමත නොවේ. මැදුම් පිළිවෙත අවබෝධ කළ බුද්ධාදී උතුමෝ වෛර සහිත වු මිනිස් සමාජයෙහි වෛර රහිතවද, කෙලෙස්වලින් ආතුර වූවන් අතර අනාතුරුවද, කම් සැපයම සොයන්නන් අතර නිෂ්කාමීවද සුවසේ වසති.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අභියෝග ජය ගැනීම

කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ්‍ය කථිකාචාර්ය රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි

“අරමුණු සුබ වශයෙන් දකිමින් වෙසෙන, පසිඳුරන් සංවර නොකරගත්, ආහාරයෙහි පමණ නොදත්, කුසීත වූ හීන වීර්යෙන් යුක්ත පුද්ගලයා දුර්වල වූ ගසක් සුළඟින් මුලිනුපුටා දමන්නාක් මෙන් මාරයා විසින් මැඬලනු ලැබේ. එහෙත් යම් පුද්ගලයෙක් අරමුණු අසුබ වශයෙන් දකිමින් පසිඳුරන් සංවර කරගනිමින් ආහාරයෙහි පමණ දැන දැඩි වීර්යයෙන් යුක්තව වාසය කරන්නේද ගල් පර්වතයක් සුළඟින් සෙළවිය නොහැක්කාසේ එම තැනැත්තා මාරයාට මැඬලිය නොහැකිය”.
ප්‍රධාන උපදෙස් හතරකින් සමන්විත ධම්මපද යමක වග්ග හත්වන සහ අටවන ගාථා අයහපත් දේ හා යහපත් දේ වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන අතර පළමුව අයහපත් අංශය පෙන්වා දෙයි. දෙවනුව යහපත් අංශය පැහැදිලි කරයි. බුද්ධ දේශනාවේ තිබෙන එක් විශේෂත්වයක් වන්නේ පළමුව නරක පෙන්වා දෙන අතර දෙවනුව හොඳ පැහැදලි කිරීමයි. පළමුව දුකත්, එයට හේතුවත් පෙන්වන බුදුසමය දෙවනුව එයින් මිදීමත් එයට අවශ්‍ය ක්‍රමවේදයත් පැහැදිලි කරයි. මෙහිදීද එම ක්‍රමවේදය අනුගමනය කර තිබේ.
පළමු උපදෙසින් ඉදිරිපත් කෙරෙන්නේ අරමණු සුබ වශයෙන් නොගෙන අසුබ වශයෙන් දැකිය යුතු බවයි. විචාරයකින් තොරව බලන්නේ නම් මෙම උපදේශය ගැන කෙනෙකුට වැරදි වැටහීමක් ඇතිවිය හැකිය. ධම්මපදට්ඨ කථාවෙහි දැක්වෙන පරිදි මෙම ගාථා දෙක චූලකාල හා මහාකාල යන භික්ෂූන් වහන්සේලා දෙනම පසුබිම්කරගෙන දේශනා කරන ලද්දකි. චූලකාල – මජ්ක්‍ධිමකාල , මහාකාල නමින් හැඳින්වෙන ව්‍යාපාරික ජීවිතයක් ගත කළ සොහොයුරන් තිදෙනෙක් වාසය කළ අතර ඔවුහු බහුභාර්යා සේවනයේ යෙදුණෝ වෙති. මහාකාල නම් වැඩිමහල් සොහොයුරා පැවිද්දට ඇලුම් කළ හෙයින් සියල්ලන්ගේම අවසරය ලැබ බුදුසසුනෙහි පැවිදි විය. ඔහුගේ පැවිදිවීම හේතුවෙන් ව්‍යාපාරික කටයුතු අඩාළ වූ අතර චූලකාල නම් බාල සොහොයුරා විශ්වාස කළේ කෙසේ හෝ තම වයැඩිමල් සොහොයුරා නැවත සිවුරු හරවා ගිහි බවට පත්කරගත හොත් පිරිහුණු ව්‍යාපාර නැවත දියුණු කළ හැකි බවයි. චූලකාලද එම අදහසින් පසුකලෙක පැවිද්දට ඇතුළත් විය. පැවිද්ද කෙරෙහි සැබෑ ඇල්මකින් හා අවබෝධයකින් තොරව පටු අරමුණින් පැවිදි වූ චූලකාල තම අතීත කාමභෝගී ජීවිතය පිළිබඳවත් එහිදී තමා ලද ස්ත්‍රී ඇසුර පිළිබඳවත් නිතර මෙනෙහි කරමින් කාලය ගත කළේය. එක් දිනෙක බුදුරජාණන් වහන්සේ මහාකාල හා චූලකාල යන භික්ෂූන් දෙදෙනා සමඟ ඔවුන්ගේ ගමට වැඩම කළ අවස්ථාවෙහි චූලකාල හිමියන්ගේ පැරණි භාර්යාවන් විසින් උපක්‍රමශීලීව උන්වහන්සේ උපැවිදි කරවන ලදී. මෙය පූර්වාදර්ශ කරගත් මහාකාල හිමියන්ගේ පුරාණ භාර්යාවන් ද උන්වහන්සේ පොළොඹවා ගැනීමට උත්සුක වුවද එය කළ නොහැකි විය.

මෙම අවස්ථාවෙහි බුදුරදුන් විසින් අවවාද වශයෙන් ඉහත උපදෙස් ඇතුළත් ගාථා දේශනා කරන ලදී. ගාථා මගින් ඉදිරිපත් කරන උපදෙස් ප්‍රධාන වශයෙන් භික්ෂුව අරමුණු කොට ඇති හෙයින් එම සන්දර්භයට , අදාළව අන්තර්ගත කරුණු වටහා ගත යුතුවේ. පළමු උපදේශයෙන් අවධාරණය කරන්නේ අසුභානුපස්සනා භාවනාවයි. අශුභය වැඩීමේ මූලික අරමුණ රාගය ප්‍රහීණ කිරීමයි, (රාගස්ස පහාණාය අසුභා භාවතෙබ්බා) ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ රූපයන් පිළිබඳ මෙනෙහි කිරීමෙන් ඇතිවෙන ලිංගික රාගය හා එහි ස්වභාවයත් එමගින් සිදුවන අයහපතත් එය ප්‍රහාණය කිරීමෙන් ලැබෙන සුවයත් දීර්ඝ වශයෙන් පැහැදිලි කොට තිබේ. අශුභ භාවනාව පිළිබඳ දීර්ඝ විස්තර විසුද්ධිමග්ග අසුභකම්මට්ඨාන නිද්දේසයේ ඇතුළත් වේ. අසුභානුපස්සනාවේදී උද්ධුමාතකාදි දස අශුභය පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරනු ලැබේ’. ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුනොවුන්ගේ ශරීර දෙස රාගයෙන් හා සුබ වශයෙන් මෙනෙහි කිරීමෙන් වැළකී එකිනෙකාගේ ශරීරයන් තුළ පවතින යථා ස්වභාවය දැකීම මෙයින් අපේක්ෂා කෙරේ. මේ දැක්ම වනාහි සාමාන්‍ය දැක්මක් නොවේ. විපස්සනාව පදනම්කරගත් දැක්මකි. ධම්මපදට්ඨකථාවෙහි දැක්වෙන පරිදි චූලකාල හිමි ස්ත්‍රි ශරීරය හා එයින් විඳි සුවය පිළිබඳ රාගමිශි‍්‍රත ආකල්පවලින් යුක්ත වූයේය. තම අතීත ජීවිතයේ ලද කාමස්වාදයන් මෙනෙහි කිරීමෙන් උන්වහන්සේගේ සිත ස්ත්‍රී ඇසුර කෙරෙහි පොළඹවනු ලැබීය. පැරණි බිරින්දෑවරුන්ගේ පෙළඹවීම හේතුවෙන් තවදුරටත් එය ශක්තිමත් වු හෙයින් පැවිද්ද අතහැර ගිහි බවට පත්විය. මහාකාල හිමියන් ලිංගික රාගයේ ආදීනව දකිමින් වාසය කළ හෙයින් උන්වහන්සේගේ සිත කිසිවෙකුටත් රාගය කෙරෙහි පෙළඹවිය නොහැකි විය.
පැවිද්ද කෙරෙහි මනා අවබෝධයකින් සසුනට ඇතුළත් වීම හේතුවෙන් උන්වහන්සේ එම හැඟීම්වලින් පීඩාවට පත් නොවුණි. පුද්ගලයන් දෙදෙනෙකුගේ චින්තන ධාරාවන් දෙකක් දෙවිදියකට ක්‍රියාත්මක වු අයුරු මෙයින් පැහැදිලි වේ. පැවිද්දට අවශ්‍ය විරාගික චින්තනය නොතිබුණු භික්ෂුව උපැවිදි විය. කාමරාගයෙන් සිත නිදහස්කරගත් භික්ෂුව බුදුසසුනේ රැඳුණේය. ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් ආකර්ෂණය වන බවත් එම ඇසුර තරම් වෙනත් සැපයක් කෙරෙහි මිනිසා ආසක්ත නොවන බවත් සූත්‍ර දේශනාවල දක්වා තිබේ. ස්ත්‍රි පුරුෂ ශරීරය තුළ එකිනෙකා අපේක්ෂා කරන පංචකාමයම අන්තර්ගතව පවතින බව ධර්මයේ සඳහන් වේ. මිනිස් සිතක පාලනය කිරීමට අතිශය දුෂ්කර වූ චිත්තවේගය ලෙස කාමරාගය හැඳින්විය හැකිය. කාමරාගය ඉතා දිගුකලක් තිස්සේ මනසේ තැන්පත්ව පවතින හෙයින් එය දන්ධවිරාගී යනුවෙන් දැක්වේ. අසුභානුපස්සනාවෙන් අපේක්ෂා කරන්නේ ශරීරය තුළ පවතින යථා ස්වභාවය වටහා ගැනීමයි. මෙය වටහා නොගත් විට සැඩ සුළඟ දුර්වල ගසක් මුලිනුපුටා දමන්නාක් මෙන් මාරයා විසින් පුද්ගලයා මැඩලනු ලැබේ. ස්ත්‍රී පුරුෂ ලිංගික රාගය කෙරෙහි ලොල් වු මිනිසුන් පවුල් දිවියෙන්ද සෞඛ්‍යයෙන්ද ධනයෙන්ද කීර්තියෙන්ද පිරිහුණු අවස්ථා සුලබව දක්නට ලැබේ.අශුභය වැඩීම, පැවිද්ද සාර්ථක කර ගැනීමට මෙන්ම ගිහියාගේ කාමභෝගී ජීවිතය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට උපකාරි වේ. මනසේ ඇති කාමරාගය සදාචාර සම්පන්න ලෙස හසුරුවා ගැනීමට අවශ්‍ය දැක්ම හා ශික්ෂණය අසුභානුපස්සනාවෙන් ලැබේ. අසුභානුපස්සී වීම ජීවිතයෙන් පලායාමක් හෝ ජීවිතය පිළිබඳ කළකිරීමක් නොවේ. එසේම ලොව සුන්දර වස්තූන් පිළිකුල් කිරීමක්ද නොවේ.
ගාථාවේ එන දෙවන උපදේශය වන්නේ ඉඳුරන්හි සංවර බවයි. මෙය ගිහි පැවිදි දෙපක්ෂයටම අවශ්‍ය වේ. පංචේන්ද්‍රියන්ගෙන් ගලාගෙන එන අරමුණු පිටුපස හඹා නොගොස් එම අරමුණුවල පවතින ආස්වාදය ආදීනව මැනවින් දකිමින් එම අරමුණු කවර මොහොතකදී වුව අත්හැරීමේ නුවණින් යුක්තව කටයුතු කිරීම මෙමගින් අපේක්ෂිතය. ඉඳුරන් සංවරකර ගැනීම යනුවෙන් අදහස් වන්නේ ඒවා විමසා තබා ගැනීම නොව අරමුණු පිටුපස හඹායාමෙන් වැළකීමයි. පාලනයක් නොමැතිව අරමුණු ඔස්සේ හඹායාමෙන් ලෞකික හා ලෝකෝත්තර දෙඅංශයෙන්ම පිරිහීමට පත්වේ. තෙවැන්නෙන් පෙන්වා දෙන්නේ ආහාරයේ පමණ දැනීමයි.ආහාර අනුභවයේ අරමුණු ගිහි පැවිදි වශයෙන් වෙනස් වේ. පැවිද්දාගේ ආහාර ගැනීමේ අරමුණ ජවය පිණිස මදය පිණිස ලස්සන වීම පිණිස නොවේ. හුදෙක් යැපීම සඳහාය. බඹසර හැසිරීම සඳහාය. ගිහියාගේ ආහාර අනුභවයෙහි අරමුණ මෙයින් වෙනස්වන අතර අතිරේක අපේක්ෂා රැසක් එහි දක්නට ලැබේ. ගිහි වුවද පැවිදි වුවද පමණ දැන ආහාර අනුභවය කායික මානසික සුවය පිණිසත් ආර්ථික සුරක්ෂිතතාව පිණිසත් හේතුවේ. වෙළෙඳ දැන්වීම් මගින් මෙහෙයවන වර්තමාන පාරිභෝගික සමාජයට මෙම උපදේශය බෙහෙවින් අදාළ වේ. අධිපරිභෝජනය මෙන්ම ඌන පරිභෝජනයත් බුදුදහමින් ප්‍රතික්ෂේපිතය.
අවසන් උපදේශය වන්නේ වීර්යෙන් යුක්තවීමයි. පැවිද්දාගේ වීර්ය කෙලෙස් තැවීම අරමුණු කොට පවතී. නිවණ අරමුණුකරගෙන වඩන වීර්ය පාරමිතාවක් වේ. ගිහියාගේ වීර්ය භෞතික දියුණුව ප්‍රධාන අරමුණ කොට ඇත. උත්සාහවන්තයා ධනය ලබන්නේය යනුවෙන් (උට්ඨාතා වින්දතෙ ධනං) දැක්වෙන්නේ මෙයයි. වීර්යයෙන් තොරව ප්‍රාර්ථනා කිරීමෙන් හෝ ආයාචනා කිරීමෙන් කිසිවක් ලද නෙහැකි බව බුදුරදුන්ගේ ඉගැන්වීමයි. බාහිර බලවේග මත යැපෙමින් දියුණුව අපේක්ෂා කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. මෙම ගාථාවන්හි දැක්වෙන පරිදි මාරයාට පහසුවෙන් මැඩලිය හැක්කේ ඉහතින් දැක්වූ දුර්වලතාවයන්ගෙන් යුක්ත පැවිද්දා හෝ ගිහියාය. මාරයා යනු පුද්ගලයෙක්ද එසේ නැතහොත් මනසේ පවතින කෙලෙස්ද ධර්මයන්ගේ සංකල්පීය රූපයක්ද යන්න කෙසේ වුවත් කාමරාගයෙන් ආසක්ත වූ ඉන්ද්‍රිය දමනය නොමැති භෝජනයෙහි පමණ නොදන්නා අලස තැනැත්තා මැඩ සුළඟින් දුර්වල ගසක් මුලිනුපුටා දමන්නාක් මෙන් මාරයා විසින් මර්දනය කරනු ලැබේ. මෙකී දුර්වලතාවන්ගෙන් තොර පුද්ගලයා ශක්තිමත් අයෙකි. පර්වතයක් මෙන් ශක්තිමත් එම තැනැත්තා කිසිවෙකුටත් සෙළවිය නොහැකිය. සියලු අභියෝග හමුවේ අකම්පිතව නොසෙල්විය හැකිව සිටිය හැක්කේ එවැනි උජුපටිපන්න ගිහි පැවිදි බුදුසව්වන්ටම පමණි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මානය සහ බුදුන් කල මාන්නක්‌කාරියෝ


මොහොතින් මොහොත පරිසරය දූෂිත වන්නා සේ මිනිසාගේ සිතද දුෂිත වන ධර්මතාවයන් අති විශාල ප්‍රමාණයක්‌ තිබේ. බුදුදහමේ මෙම ධර්මතාවයන් ලෙස හැඳින්වේ. අභිධර්මයේ මෙම කෙලෙස්‌ හෙවත් කීලේශ උදාහරණයක්‌ ලෙස දක්‌වන්නේ සිත පිරිසිදු ජලය නම් ක්‌ලේශ එම ජලය අපිරිසිදු කරන අපවිත්‍ර ද්‍රව්‍යයන් ලෙසටය. මෙම ක්‌ළේශ 1500 ක්‌ පමණ ඇති බව සඳහන් වේ. මානය එම ක්‌ළේශවලින් එකකි. මානය එක්‌තරා ආකාරයක මත්වීමක්‌ බව අභිධර්මයේ දැක්‌වේ. මත්පැන් පානය කළවිට ටික වේලාවකින් සිහිකල්පනාව නැතිවී අවසිහියක්‌ ඇතිවේ. මෙයට අපි මතයයි කියන්නෙමු. මානයද සිත අවසිහි තත්ත්වයට පත්කරන බැවින් මතයකි. මෙහි ඇති වෙනස වන්නේ මත්පැනින් වන මතය තාවකාලික වන අතර මානය නිසා ඇතිවන මතය දිගු කලක්‌ පවතින ස්‌ථිර සාර එකක්‌ වීමය. සමානකමක්‌ වන්නේ මෙම දෙකම තමාට මෙන්ම සමාජයටද අනර්ථකාරි වීම
යම් ස්‌වභාවයක්‌ මත මම ශේ්‍රෂ්ඨය, උසස්‌ය, සමානය යන උඩඟුකම මානය ලෙස හැඳින්වේ. අර්ථකථායෙහි උම්මදොවිය දට්‌ඨබ්බෝ යනුවෙන් මානය උම්මාදයක්‌ හෙවත් ඔල්මාදයකට සමානකර තිබේ. මානය යාථාව මානය හා අයථාව මානයෝ යනුවෙන් කොටස්‌ දෙකකට වෙන්කර දැක්‌වේ. යථාව මානය සෙය්‍යමානය, සදිසිමානය, හීනමානය යනුවෙන් නැවත කොටස්‌ තුනකට බෙදා ඇත. අවථාවමානය ශේ්‍රෂඨ පුද්ගලයින්ට උපදින්නාවූ සදිසිමානය හා හීනමානය සදෘෂ පුද්ගලයින්ට උපදින්නාවූ සදිසිමානය හා හීනමානය හීන පුද්ගලයින්ට උපදින්නාවූ සදිසිමානය හා හීනමානය යන කොටස්‌ 9 ට බෙදේ. ඒ අනුව මානය කොටස්‌ 12 කට වර්ගීකරණය වේ. ධර්මයේ මෙය සවිස්‌තර වන්නේ මෙසේය

1.මම උත්තමයෙක්‌මි, කාරණාකාරයෙක්‌මියි උපන් මානය සෙය්‍යමාන නම් වේ.

2. මම සමානයෙක්‌මි උපන් මානය සදිසි මාන නම් වේ.

3. මම හීනයෙක්‌මියි උපන් මානය හීනමානයයි.

4. උත්තමයන්ට මමද උත්තමයෙක්‌මියිs උපන් මානය සෙය්‍යස්‌ස සෙය්‍යමානයයි.

5. ඔහු උත්තමයෙක්‌ වුවද මම ඔහු හා අසවල් කාරණාවලින් සමානයෙක්‌මියි උපන් මානය සෙය්‍යස්‌ස සදිසිsමානය නම් වේ.

6. ඔහු උත්තමයෙක්‌ වෙයි. මම ඔහුට හීනයෙක්‌මි එහෙයින් ඔහුට නොබාමියි උපන් මානය සෙය්‍යස්‌ස හීනමානය නම් වේ.

7. මම ඔහු හා සමාන වුවද මම අසවල් කරුණුවලින් ඔහුට වඩා උත්තමයෙක්‌මියි උපන් මානය සෙයි්‍යස්‌ස සදිසිමානය නම් වේ.

8. ඔහු හා සමානයෙක්‌ මමද ඔහු හා සමානයෙක්‌මියි උපන් මානය සදසිස්‌ස සදිසිමානය නම් වේ.

9. ඔහු හා සමාන වුවද මම ඔහුට අසවල් කාරණාවලින් හිනයෙයෙක්‌මියි උපන් මානය සදිස්‌ස හීනමානය වේ.

10. ඔහුට වඩා හීනයෙක්‌ වුවද මම ඔහු හා අසවල් කරුණුවලින් සමානයෙක්‌මි උපන් මානය හිනස්‌ස සදිසිමානයයි.

11. ඔහුට හීනයෙක්‌ වුවද මම ඔහුට අසවල් කරුණුවලිsන් උත්තමයෙක්‌මි උපන් මානය හිනස්‌ස සෙය්‍යමානය නම් වේ.

12 ඔහුත් හීනයෙක්‌ වෙයි, මමත් හීනයෙක්‌මි යි උපන් මානය හිනස්‌ස හීනමානය නම් වේ.

යථාව මානය සම්පූර්ණයෙන් නැතිවන්නේ හෙවත් ප්‍රහීනවන්නේ රහත් භාවයට පත්වීමෙන් පමණි. අයථාව මානය සම්පූර්ණයෙන් නැතිවන්නේ හෙවත් ප්‍රහීන වන්නේ රහත් සෝවාන් ඵලයට පත්වීමෙන්ය. මානය අපායගාමී අකුසලයක්‌ වන අතර මානයෙන් පිරුණු පුද්ගලයෝ මෝල් ගස්‌ ගිලගත් පිඔqරන් සේ දරදඬු බව ධර්මයේ දැක්‌වේ.
මෙයට අමතරව අධිමානය නමින් හැඳින්වෙන මානයක්‌ ඇත. තමා සෝවාන් සකෘදාගාමී, අනාගාමී යන මාර්ගඵලවලට පත්වී ඇතැයි යනුවෙන් ඇතිකරගෙන සිටින පුද්ගලයිනට ඇතිවන මෝහය අධිමානය ලෙස හැඳින්වේ. සෝවාන් මාර්ගඵලයට පැමිණ ඇති ආර්ය පුද්ගලයෙකුට හෝ තමා ඊට ඉහල මාර්ගඵලයට පත්ව ඇතැයි යන අධිමානය කිසි කලෙක ඇති නොවේ. එහෙත් මාර්ග ඵල ලැබීම සඳහා විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයකුට මග්ගාමග්න ඥාන දර්ශනයට පත්වූ අවස්‌ථාවක තමා සෝවාන් වී ඇතැයි යන හැඟීම ඇතිවිය හැක. එසේම සමහර යෝගාචරයන්ට තමා රහත් නොවීම රහත්වී ඇතැයි අධිමානය ඇතිවිය හැක. සිතුල්පව්වේ චුල්ලසුම්ම මාලිකවාසී මහානාග තෙරුන් වහන්සේලාද මෙම අධිමානයෙන් සිටි බව සඳහන් වේ. (රේරුකානේ මහානාහිමියන් විsසින් රචිත කෙළෙස්‌ එක්‌දහස්‌ පන්සිය පුස්‌තකයෙහි මෙම විස්‌තරය සඳහන් කර ඇත.) 
අද අපේ සමාජයේද අධිමානයෙන් පිරිසක්‌ සිටින බව පෙනී යයි. මේ සම්බන්ධ රසවත් කතාවක්‌ ගෞරවනීය භික්‌ෂුන් වහන්සේ නමක්‌ මෑතකදී පවසන ලදී. ඒ කථාව ඔබගේ දැනීම සඳහා පැවසීම සුදුසුයයි සිතමි. දිනක්‌ ඉහත කී අප භික්‌ෂුන් වහන්සේ වෑන් රථයකික්‌ එක්‌තරා භාවනා මධ්‍යස්‌ථානයක්‌ අසලින් ගමන්කරමින් සිට ඇත. භාවනා මධ්‍යස්‌ථානයේ වැඩසටහන් අවසන් වී එන උපාසිකාවන් දෙදෙනෙක්‌ වාහනයට අත දික්‌කර වාහනය නැවත්තූවිට කොහෙද යන්නෙ අපිත් දා ගෙන යන්න කියා අවසරවත් නොගෙන වාහනයට නැග ඇත. වාහනයට නැගගත් පසු උපාසිකාවන් දෙදෙනා තොර තෝංචියක්‌ නොමැතිව උදේ සිට සවස්‌වන තූරු භාවනා මධ්‍යස්‌ථානයේ සිදුවූ සිදුවීම් අඩුපාඩු ඇද කුද හඬනගා කථාකරන්නට වූහ. සෑහෙන වෙලාවක්‌ මේ සියල්aල නිශ්ශබ්දව අසා සිටි අප ස්‌වාමීන් වහන්සේ මේ නෝනා මහත්වරුන් දෙදෙනා කවුදැයි අසා ඇත. හාමුදුරුවනෙ මම සුමනා මම සෝවාන් වෙලා ඉන්නෙ. මේ විමලා මෑණියන් සකෘදාගාමී වෙලා ඉන්නෙ. අපි මේ භාවනා මධ්‍යස්‌ථානයෙ වැඩසටහනට සහභාගි වෙලා එන ගමන්. අපේ හාමුදුරුවන් තුෂ්ණිම්භූතයෙන් ඉවසා වදාරා ඇත. ඒ අධිමානයයි. අධිමානය අපාගත අකුසලයකි. 
මානය අකසලයක්‌ බව ඉහත දක්‌වන ලදී. එසේ අකුසලයක්‌ වන්නේ මානය අකුසල චෛතසික 14 න් එකක්‌ වන නිසාය. අනික්‌ 13 වන්නේ මෝහය අහිරිකය (පව් කිරීමට ඇති ලඡ්ජාව), අනොප්තප්පය (පවට ඇති බිය), උද්දච්චය, දෘෂ්ඨිය, දෝසය, ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්‌කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්ඡාවය චෛතසිකයෙන් එකකි. අකුසල සිත් 12 න් 8 ක්‌ම ලෝභ මුල සිත්ය. මෙම සිත් 8 න් 4 ක්‌ම දිට්‌ඨිගත සම්ප්‍රයුක්‌ත සිත් හතරක්‌ම මානය නිසා ඉපදිය හැක. එනම් සෝමනස්‌ස සහගත දිට්‌ඨි සහගත සම්ප්‍රයුත්ත අසංකාරික හා සසංකාරික සිත උපේක්‌ෂා සහගත දිට්‌ඨි සහගත සම්ප්‍රයුත්ත අසංකාරික හා සසංකාරික සිත්ය. මේ අනුව මානය කෙතරම් ප්‍රබල අකුසලයක්‌ දැයි වටහාගත හැකිය.
මානය වැඩිපුර ඇතිවන්නේ කාන්තාවන්ටය. යන්න බුදුදහමේ සෘජුවම සඳහන්ව නැතත් බුදුදහම හැදෑරීමේදී එසේ සඳහන් කිරීමට හේතු කාරණා බොහෝ ඇත. මානය ගැන සඳහන් වන කාන්තාවන් අතර ෙ€මා, රූපනන්දා, මාගන්දියා, ආදීන් සිටිනා අතර හික්‌ෂුන් වශයෙන් බොහෝවිට සඳහන් වන්නේ පිළින්ද වච්ච රහතන්වහන්සේය. 
ෙ€මා - පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ දාස කුලයක උපත ලබා මෙහෙකාරකම් කරමින් සිටි ෙ€මා බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවිකාව වූ සුජාත තෙරණියන්ට රස කැවිලි තුනක්‌ පූජා කොට ඉන් ලද සොම්නසින් තව තවත් දන් පිදීමට සිතා දුප්පත් බැවින් මුදල් නොමැතිව තම කෙස්‌ වැටිය කපා විකු=ණා ඉන් ලද මුදලින් තෙරණියන්ට ප්‍රනීත දානයක්‌ දෙන ලදී. පසුව තව තවත් පින් කිරීමෙන් කල්ප ගණනාවක්‌ දෙව් මිනිස්‌ සැප විඳ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මගධ රට සාගල නම් රජ කුලයෙහි උපත ලැබුවාය. ඇය ඉතාම රූමත්ව සිරුර රන් පැහැයෙන් යුක්‌ත වූ බැවින් දෙමාපියෝ ඇයට ෙ€මා යයි නම් තැබීය. පසුව ඇය බිම්බිසාර රජුගේ බිසවක්‌ වූවාය. බුදුරජාණන් වහන්සේ රූපය වර්ණනා නොකරමින් රූපයේ අනිත්‍ය භාවය දේශනා කරන බැවින් ෙ€මා රූමත්කම ගැන උපන් මානයෙන්, බුදුන් හමුවට නොගියාය. බිම්බිසාර රජතුමා කෙතරම්  උත්සාහ ගත්තද ඇය බුදුන් දැකීමට නොගියාය. පසුව රජතුමා උපායක්‌ වශයෙන් ගායකයින් ලවා වේලුවනාරාමයේ විසිතුරු බව වර්ණනා කරවන ලදී. එය ඇසු ෙ€මා වේලුවනාරාමය නැරඹීමට ගොස්‌ එය නරඹා බුදුන් හමුවට නොගොස්‌ම ආපසු ඒමට සැරසුණාය. මේ බව දන්නා රජතුමා කලින් සැලසුම්කර තිබූ අයුරින් සේවිකාවන් ඇය බලහත්කාරයෙන්ම බුදුරජාණන් වහන්සේ හමුවට රැගෙන ගියාය.
මේ වන විට ධර්ම දේශනාවක්‌ කරමින් සිටි බුදුරජාණන් වහන්සේ මේ බව දැන ඉතාමත් රූමත් දිව්‍ය අප්සරාවක්‌ මවා ඇය තමාට පවන් සලමින් සිටින ආකාරය ෙ€මාට පමණක්‌ පෙනෙන්නට සලස්‌වන ලදී. මෙය දුටු ෙ€මා පුදුමයටත් ලඡ්ජාවටත් පත්වූවාය. ඇයගේ රූපශ්‍රීය ඉදිරියේ තමා වැඳිරියක්‌ මෙනැයි ඇයට සිතුණාය. ඇයට තමාගේ මානය වැටහිණි. ෙ€මාට රූපයේ අනත්‍යතාවය වැටහිණි. බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කළසේක. ඒ ධර්මය අසා ඇය සෝවාන් වූවාය බුදුරජාණන් වහන්සේ ඇයට තව තවත් ධර්මය දේශනා කරද්දී ඈ සිව්පිළිසිඹියාවෙන් රහත්භාවයට පත්වූවාය. පසුව මාළිගාවට ගිය ඇය රජතුමාගේ අවසරය ලබා පැවිදි වුවාය. පසු කලකදී බුදුරජාණන් වහන්සේ ඇය ප්‍රඥාව වඩන භික්‌ෂුණින් අතරින් අගතැන් බවටත් අග්‍ර ශ්‍රාවිකාධුරයටත් පත්කළ සේක.
අභිරූප නන්දා තෙරණියද තම රූප මදයෙන් මත්වී මානයෙන් පත්ව සිටි කාන්තාවක්‌ වූවාය. විපස්‌සී බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කළ රන් සෑය රුවනින් අලංකාර කරවීමේ පිනින් ඇය ඉතාමත් රූප සම්පන්න කාන්තාවක්‌ වූවාය. එහෙත් අවාසනාවකට ඇගේ විවාහ දිනයේදීම ඇය විවාහ වීමට සිටි පෙම්වතා මිය ගියේය. දෙමාපියෝ ඇය නොකමැත්තෙන්ම මහණ කළෝය. එහෙත් ඇයගේ රූපය පිළිබඳ මානය අඩු නොවීය. බුදුරජාණන් වහන්සේ රූපය වර්ණනා නොකරමින් රූපයේ අනිත්‍ය භාවය දේශනා කරන බැවින් අභිරූප නන්දාද රූමත් කම ගැන උපන් මානයෙන් බුදුන් හමුවට නොගියාය. ඇයට බුදු උපදෙස්‌ අවශ්‍යවූ විට ඇය මානයෙන් ඉදිමීs බුදුරජාණන් වහන්සේ හමුවට නොගොස්‌ ඒ වෙනුවට වෙනත් භික්‌ෂුණින් වහන්සේ නමක්‌ යවා අවශ්‍ය උපදෙස්‌ ලබාගැනීමට පුරුදුව සිටියාය. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ යමෙකුට බුqදුරජාණන් වහන්සේගෙන් උපදෙස්‌ අවශ්‍ය විට ඒ පුද්ගලයාම පැමිණිය යුතු යෑයි විනය නීතියක්‌ පනවන ලදී. එම නිසා රූප නන්දාටද වරක්‌ බුදුරජාණන් වහන්සේ හමුවට යැමට සිදුවිය. ඇය ගැන දන්නා ෙ€මා ට මෙන්ම ඉතාමත් රූමත් දිව්‍ය අප්සරාවක්‌ මවා ඇය තමාට පවන් සලමින් සිටින ආකාරය ෙ€මාට පමණක්‌ පෙනෙන්නට සැලස්‌සුවාය. මෙය දුටු ෙ€මා පුදුමයටත් ලඡ්ජාවටත් පත්වූවාය. ඇයගේ රූපශ්‍රීය ඉදිරියේ තමා වැඳිරියක්‌ මෙනැයි ඇයට සිතුණාය. ඇයට තමාගේ මානය වැටහිණි. බුදුරජාණන් වහන්සේ ක්‍රමයෙන් පවන් සලමින් සිටියදීම ටිකෙන් ටික මහළු වයසට ජරාවට පත්වීමට සැලස්‌වූවාය. අභිරූප නන්දා ඉදිරියේම ඇය මහලුවූවාය. ඇයට රූපයේ අනිත්‍යතාව වැටහිණි. බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කළසේක. ඒ ධර්මය අසා ඇය රහත් වූවාය.

සුන්දරි නන්දා හෙවත් ජනපද කල්‍යාණි 

සුන්දරි නන්දා ජනපද කල්‍යාණි නමින්ද හැඳින්වූයේද නන්දා තෙරණියයි. ඉතාත්ම රූමත් කාන්තාවක්‌ බැවින් රුප නන්දා නමින්ද හැඳින්විය. රූපශ්‍රීයෙන් ඇය දෙවැනි වූයෙ යශෝධරා දේවියට පමණි. ශාක්‍ය වංශිකයින් පැවිදි දිවියට ඇතුල්වීමේදී ඔවුන් ගිය මග යමින් අවබෝධය නිසා නොව ඥාතීන් පැවිදිවන නිසා ඇයද මහා ප්‍රජාපති දේවිය සමග පැවිදි දිවිsයට ඇතුළත් වූවාය. ඇයද බුදුරජාණන් වහන්සේ රූපය වර්ණනා නොකරමින්, රූපයේ අනිත්‍ය භාවය දේශනා කරන බැවින් රූමත්කම ගැන උපන් මානයෙන් බුදුන් හමුවීමෙන් වැළකී සිටියාය. පසුව ෙ€මා සහ අභිරූප නන්දා මෙන්ම බුදුන් හමුවේ ධර්මය අසා රහත් වූවාය. මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ මාන්නයෙන් ඔදවැඩී සිටි කාන්තාවන්ගෙන් කිහිප දෙනකි.
සත්වයා කාම රුප අරූප යන තුන් භවයන්ට බැඳ තබන බැමි දහයක්‌ බුදරජාණන් වහන්සේ දේශනා කර තිබේ. මේවා දස සංයෝජන ලෙස හැඳින්වේ. මානය දස සංයෝජන දහයෙන් එකකි. මෙයින් මානය කෙතරම් අපව සංසාරයේ බැඳ තබා නිවන් මග අහුරාලන්නේද යන්න තේරුම්ගත හැක. එම නිසා එයින් මිදීමට අප නිරතුරුවම සිහිතබා ගත යුතුය.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ

විශ්‍රාමලත් 
නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ 
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online