ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සිදු වූ වරදට පසුනොතැවී ප්‍රබල කුසල් කරමු

අපේ ලෝකයේ මිනිසුන් සිතින්, කයින්, වචනයෙන් කියන තුනෙන් වැඩිපුර කරන්නේ සිතින් කරන වැරැදියි. එයිනුත් ලෝකයේ මිනිසුන් වැඩිපුරම අකුසල් කරන්නේ කයින්, වචනයෙන් නොවේ සිතින්. යම් දෙයක් ගැන රාග, ද්වේෂ, මෝහ ඇවිස්සෙන ආකාරයට සිත සිතා ඉන්නවා නම් එය අකුසලයක්.
බුදුරජාණන් වහන්සේ වදාළ බෞද්ධයෙක් ලෙස කළයුත්තේ මොකක් ද? රහත් නොවූ අපටත් නොයෙක් අඩුපාඩු වෙන්න පුළුවන්. සෝවාන්ඵලයට පත් නොවූ කෙනාට පන්සිල් පද කැඩෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. මේ පන්සිල් පද පහ කැඩුනා කියා අබෞද්ධ වෙන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් සිටින අයෙකුගේ ආවේගශලීබව නිසා හෝ මිත්‍යා දෘෂ්ඨිකයෙකුගේ මෙහෙයවීමට හෝ පාප මිතුරෙකුගේ බලකිරීමට වැරැද්දක් සිදුවෙන්න පුළුවන්. එහෙම වරදක් වුවොත් ශ්‍රාවකයෙක් ලෙස අනුගමනය කළ පුතිපදාව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි කවුරු හරි අතින් වරදක් වුවොත් එය නිවැරැදි කර ගැනීමට කළයුතු පළමු කරුණ වන්නේ තමා අතින් වුණේ වරදක් යැයි අවංකවම විශ්වාස කිරීම. අනෙකා පෙන්වා දෙන නිසා විශ්වාස කිරීම නොවේ. තමා තේරැම් ගෙන අවංකව විශ්වාස කිරීම. ලෝකයේ සිටින හැමෝම අපි වටේ රොක්වෙලා ඔබ මේ කළ දේ වැරැදියි කියා කිවුවත් වැඩක් නැහැ අපේ වැරැද්ද අපි පිළිගන්න සූදානම් නැත්නම්. අපට නිවැරැදි වෙන්නනම් මගේ අතින් වැරැද්දක් වෙන්න ඇති. මගේ වැරැද්ද මොකක්ද? කියා නුවණින් විමසා බැලිය යුතුයි. එයට කියනවා ප්‍රත්‍යවේක්ෂණය කියලා.
හොඳට තමන් ගැන කල්පනා කරලා බලන්න. ඒ වෙලාවේ ඒක වැරැද්දක් ලෙස තේරුනේ නැහැ. පස්සේ කල්පනා කරනකොට තේරෙනවා මම ඒ වෙලාවේ හැසිරුණ ආකාරය වැරැදියි. මට මීට වඩා සංවර වෙන්න තිබුණා කියා තමාට අවංකවම සිහි වෙනවානම් තමාගේ දුර්වලකම් තේරෙනවානම් තමන්ගේ වරද නිවැරැදි කරගන්න ලෙහෙසියි. ඒ නිසා වරදක් කළ කෙනෙක් නිවැරැදි වෙන්න කළයුතු පළමු කාරණාය තමා වරද වරද ලෙස දකින්න පුරුදුවීම.
දෙවැනි කාරණය ආයති සංවරයේ පිහිටීම යි. ආයතී සංවරයේ පිහිටනවා කියන්නේ මෙවන් වරදක් මම කරන්නේ නැහැ කියා අධිෂ්ඨාන කර ගන්නවා. ඒකත් අනිවාර්යෙන් කළයුතු දෙයක්.
තුන්වැන්න තමා කළ වැරැද්ද ගැන සිතලා පසුනොතැවී සිටිනවා. කළ වැරැදි ගැන සිතමින් පසුතැවෙන පුද්්ගලයා ජීවත් වෙන්නේ අතීතයේ. මේ පසුතැවීමට ධර්මයේ දීලා තිබෙන වචනය තමා උද්දච්චකුක්කුච්චය. මිනිසුන් පසුතැවෙන අවස්ථා දෙකක් තිබෙනවා. ඒ තමා කළ වැරැදි ගැන සිතා පසුතැවෙනවා. අනෙක් නොකළ හොඳ ගැන සිතා පසුතැවෙනවා. ඒ දෙකම කළයුතු නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ පුද්ගලයා ජීවත්වෙන්නේ එක්කෝ අතීතයේ. නැත්නම් අනාගතයේ. කළ වැරැදි ගැන සිතනකොට ඒක අතීතයේ. එතකොට අතීතය ගැන සිත සිතා සිටින්නේ. අතීතය ඉක්මී ගිහින් ඉවරයි. ඒක නැවත නිවැරැදි කරන්න බැහැ. අතීතයේදී අපේ අතින් සතෙක් මැරුණානම් ඒ මැරෙන වෙලාවේදී පහළ වූ සංස්කාර සියල්ලම පහළ වෙලා ඉවරයි. ඒ ගැන සිත සිතා දැන් පසුතැවුනාට ඒ සකස් වූ සිතිවිලි නිවැරැදි වෙන්නේ නැහැ. එවිට ඒ අකුසලය නැවත පෝෂණය වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා.
ඒ වගේම තමා නොකළ හොඳ දේ සිහි කිරීමත් හොඳ දෙයක් නොවේ. මට මේ හොඳ දේ කරන්න බැරිවුණා. තවත් වයසට ගියාම මෙහෙමත් කරන්න බැහැනේ කියලා අනාගතය ගැන උපකල්පනය කරනවා. අනාගතය කියන්නේ අපට පාලනය කරන්න පුළුවන් දෙයක් නොවේ. අපට පාලනය කරන්න පුළුවන් අවස්ථාව තමා මේ මොහොත වන වර්තමානය. එනිසා අතීතයේ පසුතැවිලි නොවි එයින් පාඩම් ඉගෙනගෙන වර්තමානය තුළදී නිවැරැදි වීම තමා වැරැදි නිවැරැදි කර ගැනීමට හොඳම දේ. බොහෝ දෙනා අද අපේ සමාජයේ අතීතයත් සමඟ සිත සිතා පසුතැවෙනවා. එහෙම සිතනවා කියන්නේ මනසින් කර්ම රැස් කිරීමකුත් වෙනවා. කයින් හෝ වචනයෙන් සිදුකළ දුරාචාරයට සහයෝගය දැක්වීමක් තමා මනසින් එය සිතනවා කියන්නේ. ඒ නිසා ඒක වරදක් ලෙස දැක නැවත කරන්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරලා එතැනින් එහා එය නවතා දමන්න ඕන. ඒක අල්ලාගෙන ඉන්න හොඳ නැහැ. එහෙම අල්ලාගෙන සිටියොත් වෙන්නේ කළ කර්මය තවත් ප්‍රබල කර ගැනීමයි. එය තමා දන්නේම නැතුව දුගතියට යන්න පාර කපා ගැනීම.
ඒ නිසා වරද වරද ලෙස දැක ආයති සංවරයේ පිහිටලා ඒ සිතට වද දෙන දේ තිබෙනවානම් ඒවා අත හරිනවා. එය එක්තරා පරිත්‍යාගයක්. අපට පරිත්‍යාග කියලා ඇහුන ගමන් මතක් වෙන්නේ සිව්පසය අත හැරීමයි. නමුත් පරිත්‍යාගය කියන වචනයේ ගැඹුරු අරුත පෙර කී දේයි. සිතට කෙලෙස් උපදවන සිත කිලිටි කරන යම් අරමුණු එනවානම් එය අරමුණ අත හැරීම තමා පරිත්‍යාගය. සමහර වෙලාවට සිව්පසය අත හැරියාට සිතින් අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒක පරිත්‍යාගයක් නොවේ. ඒක දානය යි. හුදුු අතහැරීමක් පමණයි. පරිත්‍යාග කරනවිට අභයන්තරයේ තබාගෙන අතහරින්නේ නැහැ. ඒ නිසා සිත පීඩාවට පත්වෙන සිතට දුක සිතෙන කම්පාවෙන දේවල් අතහැරිය යුතුයි. ඒක තමා කළයුතු දේ. අතහරින්න එක සැරයක් ආදීනව දැක්කාම ඇති. “අනේ මම මේ දේ හිතන්න හිතන්න මට පාඩුවක් විතරමයි. දැන් කරන්න දෙයක් නැහැ. ඒකට කර්මය සැකසිලා අවසානයි” කියා හිතා ඒ දේ ආවර්ජනය කිරීම නවතා දමන්න ඕන.
නමුත් එතැනින් නවතින්න බැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, අතීතයේ වරදක් කළා. ඒ වැරැද්ද දැක්කා. ඊටපස්සේ ආයති සංවරයේ පිහිටියා. ඒ ගැන සිත සිතා ඉන්නේ නැහැ. ඒ කළ වරදට සමාන හොඳ දේ කළයුතු වෙනවා. ඒ වරද අමතක වෙන්නත් එක්ක පුළුවන් තරම් කුසලයට නැඹුරු වෙනවා. එහෙම කුසල් කරනවිට අර රැස් කරගත් අකුසල් ශක්තිය දුරු වෙනවා. වතුර ටිකකට ලුණු කැටයක් දැම්මොත් ඒ ලුණු ටිකේ රස වතුරට දැනෙනවා. නමුත් ලොකු වතුරකට ඒ ලුණු ප්‍රමාණයම දැම්මොත් එහි ලුණු රසයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම අප පුන්‍ය ශක්තිය වැඩිකර ගන්න ගන්න අප තුළ පාප ක්‍රියාවේ අකුසලය අඩු වී යනවා. මොකවත් නොකර නිකම් සිටියොත් වෙන්නේ ඒ අකුසලය ප්‍රබල වීමයි. ඒ නිසා අප අතින් අතීතයේ යම්කිසි පවක් වූවානම් ඒ පව වූ කර්මය නවතා ගත යුතුයි. නැත්නම් අඩුකර ගත යුතුයි.
ඒ නිසා පුළුවන් තරම් හොඳ දේ කළයුතු වෙනවා. ඒ හොඳ දේ කරනවාත් සමඟ බුදුරජාණන් වහන්සේ වදාළා බෞද්ධයෙක් විසින් පුරුදු කළයුතු අනිවාර්ය වටිනා භාවනා තිබෙනවා. ඒ තමා සතර බ්‍රහ්ම විවරණ. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ නිතරම පුරුදු කරනවා. ඒ කියන්නේ භාවනාවක් පුරුදු කරනවා. මෛත්‍රී සිතිවිලි කරුණා සිතිවිලි, මුදිතා සිතිවිලි, උපේක්ඛා සිතිවිලි සිතන්න සිතන්න ඒ සිතේ දියුණු වෙන්නේ කුසලය යි. එහෙම හොඳ සිතිවිලි දියුණු වෙලාවක ඔහුට හදිසියේ මැරෙන්න වුණොත් අපායේ යන්නේ නැහැ. මැරෙන වෙලාවේ ඔහු සිත පිරිසුදු කරගෙන ඉන්නේ. සමහරවිට අවුරුදු දහසකට කලින් ඔහු අපායේ යන කර්මක් කළ කෙනෙක් වෙන්න ඇති. නමුත් ඒක වැරැද්දක් ලෙස දැනගෙන අවබෝධ කරගෙන ඒ වරද අතහැරලා ඒ වෙනුවෙන් පසුතැවෙන්නේ නැතුව කුසල් කරමින් පින්දහම් කරමින් කර්ම ශක්තිය හොඳ පැත්තකට යොමු කරමින් සිත රැකගෙන වර්තමානයේ හොඳ සිතිවිල්ලක සිත පවත්වනවානම්, ඔහු මරණින් මතු ජීවිතය ඒකාන්ත වශයෙන්ම සුගතිගාමි වෙනවා. අපායේ යන්නේ නැහැ කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
එහෙනම් මිනිසුන් ලෙස බෞද්ධ වුවත් අබෞද්ධ වුවත් වැරැදි සිදුවෙන එක ස්වභාවික යි. හැම දෙනා අතින්ම කායිකව, වාචසිකව අඩුපාඩු සිදුවෙන්න පුළුවන්. උසස් මනසක් තිබෙන කෙනා වරද වරද ලෙස දැකලා කුසල අරමුණක් සිත පිහිටනවා. සතෙකු වරදක් කළොත් ඒ සතාට වරද වරද ලෙස දකින්න බැහැ. ඔහුට උපන් බුද්ධි මට්ටමත් නැහැ. ඒ නිසා ඒ වරද නැවත නැවත කරනවා. මනසින් උසස් ප්‍රයෝජන ගැනීම පුළුවන් අප අතින් සංසාරයේ පුරුදු ලෙස හෝ යම් යම් අඩුපාඩු සිදුවුවොත් ඒ වූයේ වරදක් ලෙස දැකලා එය තේරුම් අරගෙන ඒ ගැන පසුතැවෙන්නේ නැතුව පුළුවන් තරම් හොඳ දේ කළයුතු වෙනවා.සතුන් මැරුවානම් සතුනට අභය දානය දෙනවා. කරුණාව දයාව පතුරනවා. සොරකම් කළ කෙනෙක් නම් පුළුවන් තරම් වචනයෙන් පරිස්සම් වෙනවා. ඒ වගේ දේ කරන විට ස්වභාවයෙන්ම ඔහු සිල්වත් වෙනවා. ඒ සිල්වත් වීමෙන් පමණක් සෑහීමකට පත් නොවී මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා ආදී භාවනා කරන විට ඔහුගේ ජීවිතය බොහෝම සැනසිලිදායක වෙනවා. පසු නොතැවී ජීවත් වෙනවා. ඒ නිසා පෘතග්ජන ගතියට කිසියම් වරදක් වූවානම් ඒ මත්තේම නැසී ඉන්නේ නැතුව නැගී සිටින්න ඕන. ඒකට අදාල මඟ පෙන්වීම බුදුරජාණන් වහ්නසේ ලබාදී තිබෙනවා. ඒ සහනය සහජීවනය ලබාදී තිබෙනවා. ඒ තත්ත්වය තමා තුළින් උදාකර ගැනීම තමාගේ වගකීමක්.

අතීත ධර්ම දේශනා ක්‍රම

දේශනාවක ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ යහපත් ගුණධර්ම දියුණු කර ගැනීම මඟින් ආධ්‍යාත්මික සංවර්ධනය කරා ළඟාවීමයි. ධර්මය නුවණැත්තන් සඳහාම දේශනා කර ඇතත්, දියුණු නොවූ මනසකින් යුතු පුද්ගලයන්ට ද එයින් ලෞකික සතුටක් වුව ද ලබා ගැම උගහට නොවේ. එහෙයින් අතීත මෙරට ජනතාව ධර්ම දේශනා, පින්කම් සංවිධානය කිරීම අලංකාරවත්ව, උත්සවාකාරයෙන් සංවිධානය කිරීමට වග බලා ගත්හ. අතීත ලංකාවේ ධර්ම දේශනා ක්‍රම පිළිබඳ සිත් සතන් යොමා බැලූ විට ඒ බැව් මැනවින් පසක් වෙයි.
පැරැණි ලක්දිව ධර්ම දේශනා පැවැත්වීම උත්සවාකාරයෙන් කරන ලද්දේ රටෙහි සාමය සහ සමෘද්ධිය පැවති වකවානු වල බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනෙයි. එකල බණ ඇසීමට භික්ෂූන් වහන්සේලා මෙන්ම, ගිහි ජනතාව ද සිව් දිගින් පැමිණෙති. සවස් භාගයේ රැස්වෙන ජනතාව උදෑසන වන තෙක් ධර්ම ශ්‍රවණය කරති. එහිදී ඒකාකාරී බවෙන් මිදෙනු වස්, විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. දිවාකථික, පද භාණක, ධම්මකථික යනුවෙන් තුන් නමක් සහභාගි වූහ. ඒ අතරතුර හේවිසි ශබ්ද පූජා, මඟුල් බෙර වාදන, ජාම කාසි එකතු කිරීම වැනි කටයුතු ප්‍රධාන තැනක් ගනියි. දිවා කථීක හිමියන් ජනතාව රැස්වන තුරු පොදු අනුශාසනාවන් පවත්වයි. පදභාණක හිමියෝ මාතෘකා සූත්‍ර කිහිපයක් කටපාඩමින් දේශනා කරති. වඩාත් උගත් ධම්මකථික හිමියෝ එම සූත්‍රවල අර්ථ විග්‍රහ කරමින් ධර්ම දේශනා කරති.
ධර්ම දේශනා සඳහා ජනපි‍්‍රය සූත්‍ර ගණනාවක් තිබුණු. මහාවංසය වැනි වංස කතාවල සඳහන් පරිදි, දක්ඛිණවිභංග සූත්‍රය, දේවදූත සූත්‍රය, ගිලාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, අරියවංස සූත්‍රය වැනි සූත්‍ර දේශනා සහ ජාකත කතා දේශනාවන් ප්‍රධාන තැනක් ගන්නා ලදී. මෙම දේශනා උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහ නොමදව ලැබුණි. වෝහාරතිස්ස, රජතුමා අරියවංස දේශනා උත්සවය සඳහා දානය පිරිනැමීම සම්පූර්ණයෙන් භාර ගන්නා ලදී. තෝනිගල සෙල් ලිපියට අනුව ‘දේව නමැත්තෙක් කාලසුමනක නම් බැංකුවෙහි වී, උඳු, මුං වැනි ධාන්‍ය තැන්පත් කොට එහි පොලියෙන් ‘යහිසපවිය’ විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනාවට ආධාර කරයි.
ලබුඇටබැඳිගල සෙල් ලිපියට අනුව පුද්ගලයන් දෙදෙනෙක් කහවණු සියයක්ද විස්සක් ද, තැන්පත් කර, එම පොලියෙන් දේවගිරි විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනා පින්කමට ආධාර කරයි. පසු කාලෙයහි අතීත ධර්ම දේශනා ක්‍රම වෙනස් වී නව මුහුණුවරකින් එළි දකින්නට විය. ඒ අනුව ‘ආසන ධර්ම දේශනා, යුගාසන ධර්ම දේශනා, ජාතක ධර්ම දේශනා, සඟි ධර්ම දේශනා, අභිධර්ම දේශනා, රත්නාවලී ධර්ම දේශනා, වැනි ක්‍රම ප්‍රධාන තැනක් ගනියි.මෙම ධර්ම දේශනා ක්‍රම ද අභාවයට ගොස්, නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ක්‍රම ආරම්භ විය. ඒවා අතරින් ‘සච්චක දමනය, ආලවක දමනය, යමරජුගේ නඩු තීන්දුව, සඳකිඳුරු ජාතකය, වෙස්සන්තර ජාතකය, යන මේවා ප්‍රධාන තැනක් ගනියි.
මෙම ධර්ම දේශනා ක්‍රම පිළිබඳ දැනුමක් තිබෙන දේශකයන් වහන්සේලා ද සොයා ගැනීම අපහසුය. එහෙත් ඇතැම් පිටිසර බද ප්‍රදේශවල අදද මෙම දේශනා ක්‍රම නොනැසී පැවතීම වාසනාවකි.
හුදෙක් ධර්මාවබෝධය ලබා ගැනීම පමණක් මේවා මඟින් අපේක්ෂා නොකළ අතර, දැයෙහි සමගිය, සමාදානය, සහජීවනය වැනි මානුෂික ගුණදම් පෝෂණය වීමද බලාපොරොත්තු වූ බවත් එම චාරිත්‍ර පිළිබඳ විමසීමේ දී පෙනෙයි.
මෙම ධර්ම දේශනා ක්‍රම ජනතාව අතර ජනපි‍්‍රය වන්නටත්, ජනතාව මේවා නොකඩවා ග්‍රහණය කර ගන්නටත් මේවා ඉදිරිපත් කළ දේශකයන් වහන්සේලා අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් බෙහෙවින් බලපා ඇත. වත්මන් ධර්ම දේශනාවක් පැයකට පමණ සීමා වන බව කව්රුත් දනිති. එහෙත් ඉහත සඳහන් ධර්ම දේශනා රැයක් පුරාවට පැවත්වුණි. ගොවිතැන් කර, අස්වනු කපා, අටුකොටු පුරවා ගත් සරු සාර කාලයෙහි ගැමියාගේ සිත්සතන් ප්‍රබෝධයට පත් වෙයි. නිදහසේ මෙවැනි පින්කම්වලට සහභාගි වීමට හැකියාව ලැබුණි. එයින් ඔවුහු අසීමිත ආශ්වාදයක් ලැබූහ. ධර්ම දේශනාවක් පැවැත්වීමට පෙර ඒ ගැන ප්‍රදේශය පුරා ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරයි. ආලවක දමනය, සච්චක දමනය වැනි නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ඇසීමට ද නැරඹීමට ද ජනතාව බෙහෙවින් කැමති විය. එවැනි දේශනාවක් පැවැත්වෙන බව ප්‍රදේශය පුරා කටින් කට පැතිරෙයි. දැන්වීම් පත්‍රිකා මගින් ද ප්‍රචාරය කරයි. මුද්‍රණ කටයුතු පහසුවෙන් කර ගත නොහැකි එදා, අත් අකුරන් ලියන ලද දැන්වීම් මඟින් ද ප්‍රචාරය කරයි.
“සම්බුදු පියා දෙසූ බණ ටික අහගන් න 
බිහිසුණු අලව් යකු දමනය කරලන් න 
දහ අට වන දිනය අමතක නොකරන් න 
පිළිහුඩුගොල්ලෙ පන්සල වෙත පැමිණෙන් න
මෙය අදට වසර හැටකට පමණ පෙර ප්‍රචාරය කරන ලද දැන්වීම් පත්‍රිකාවකින් උපුටා ගත් කවියකි. ධර්ම දේශනාවක් පැවැත්වෙන දින ගෘහණියෝ වේලාසනින් ආහාර පිළියෙළ කරති. අඳුර වැටෙත්ම පන්දම්, හුළු එළි දල්වාගෙන කව්රුත් පන්සලට පැමිණෙති. පන්සලට උචිත ඇඳුමින් සැරසීමට කව්රුත් වග බලා ගත්හ. නොගැළපෙන ඇඳුමෙන් පැමිණීම අන්‍යයන්ගේ විවේචනයට ලක්වීමේ හේතුවක් විය. ධර්ම දේශනාව ආරම්භ වීමට පෙර මූලික කටයුතු රැසක් සිදු විය. බුදුන් උදෙසා මල් පහන් ගිලන්පස පිදීම විශේෂ විය. පංච තූර්ය වාදනය මැද්දේ එම කටයුතු සිදු විය. අනතුරුව මල් බඳුන් වෙන්දේසි ආරම්භ වෙයි.මෙවැනි ක්‍රියා මගින් ගැමියෝ අහිංසක විනෝදාශ්වාදයක් ලැබූහ. මල් බඳුන් අලෙවියෙන් පසු සල්පිල් භාණ්ඩ අලෙවිය සිදු වෙයි. මේ සියල්ල සිදු කරන්නේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙනි. මේවා අතරට පන්තේරු නැටුමක් වැනි නැටුමක් ඉදිරිපත් කරන්නේ විවිධත්වය අරමුණු කරගෙනය. ඒ සඳහා සුදුසු ශිල්පීන් ගමෙන්ම සොයා ගත හැකි විය. මෙම මූලික කටයුතු වලින් පසුව දේශකයන් වහන්සේ වැඩමවන්නේ හේවිසි හඬ මධ්‍යයේ අත් පුටුවෙන් ය. අත් පුටුව යනු ශක්තිමත් දායකයන් දෙදෙනකු හෝ සිව් දෙනකු ඔවුනොවුන්ගේ බාහු වලින් අල්ලා ගෙන පුටුවක් මෙන් සකස් කර ගත් එම අත් මත දේශකයන් වහන්සේ වාඩි කරවා ගෙන ඔසවාගෙන ධර්මාසනය මතට වැඩම වීමයි. මෙසේ දේශකයන් වහන්සේ ආසනය මත වැඩ හිඳීමෙන් පසු, මංගල හේරි නාදය පවත්වයි. රැස්ව සිටින සියලු දෙනා එකවර සාධු නාද පවත්වයි. අනතුරුව පන්සිල් සමාදන් වීමට සූදානම් වෙති. නිකම්ම පන්සිල් දෙන්නේ නැත. පන්සිල් ඉල්ලිය යුතු ය. පන්සිල් ඉල්ලීමට හැකියාව ඇති හඬ නඟා මිහිරිසරෙන් ගායනා කළ හැකි බොහෝ දෙනකු ගම්මානයේ සිටියද, එක් අයකු දේශකයන් වහන්සේ ඉදිරියෙහි දොහොත් මුදුන් තබාගෙන,
බුද්ධමානි චිත්‍යපාද පුම්බුපේත රෝරුගම් 
නිත්‍ය සත්‍ය සාගරන්තු දේව බ්‍රහ්ම වන්දිතම් 
කාමනාථ සග්ග පාද නිබ්බුතේන අන්ත්‍යගම් 
නිත්‍ය සත්‍ය සාගරේන පංචශීල දේථමං”
මෙවැනි ගාථා සහ කවි කියමින් පන්සිල් ආයාචනා කරයි. පන්සිල් ඉල්ලීමෙන් පසු නමස්කාරය කීමට අවසර ඉල්ලන්නේ මෙසේ ය.
‘පවර විසිතුරු සත්ජනන්ගෙන් සැදුම් ලත් මෙම මන්දි රේ 
එවෙනි සව්සත දහම් අසමින් නිවන් පුරයට සන්තො සේ 
දිව පුරට ගොස් ඉසුරු විඳිනට සැම සතුන්ටම සිද්ධ වේ 
මෙ අපි සැමටම නමස්කාරය කියන්නට දැන් අවස රේ’
මෙලෙස නමස්කාරය කීමට අවසර ඉල්ලා නමස්කාරය කියති. අනතුරුව පන්සිල් දෙති. පන්සිල් සමාදන් වීමෙන් පසුව දහම් දෙසන මෙන් ආරාධනා කරයි. ඒ සඳහා කවි ගාථා රැසක්ම ඇත. මේ එවැනි කවියකි. මෙලෙස ආරාධනා කිරීමෙන් පසු දේශකයන් වහන්සේ ‘සග්ගේ කාමේච රූපෙආදී වශයෙන් වර්තමානයේ ද භාවිතා වන ගාථා කිහිපය දේශනා කිරීමෙන් දේවාරාධනය කරති. අනතුරුව පැරණි තාල අනුව නමස්කාර ගාථා කියයි. එනම්,
“ගගන තල මැද දිලෙන පුන් සඳ ලෙසට බැඳි සොඳ උඩු විය න් 
අවට වට තරු විලස බබළන අඳුර දුරු කරලා පහ න් 
රුවට වගුරැළ පෙළට මලලොඹු දොරටු වල සැදි පුන් කළ ස් 
එමැද වැඩ උන් බණ අසුන් පිට යතිඳු පාවැඳලා කිය ම්
‘සංපීන ලක්ඛණ විරාජිත රූප සාරං 
සාරං විචිත්ත නයධාරිත ධම්ම දේහං 
දේහං වරක්ිත භවන්තය ඤෙය්‍ය ලෝකං 
ලෝකඤ්ඤුතං ජිනවරං සිරසා නමාමී
සන්තින්ද්‍රියං විත පාපමලං විසුද්ධං 
සම්බුද්ධ සාසන නහේ විය පුණ්ණ චන්දං 
යං අග්ග පුග්ගල පවග්ග මහග්ඝ දානං 
ජිනේන්ද්‍ර සංඝ පවරං සිරසා නමාමී’
අනතුරුව දීර්ඝ ‘චූර්ණිකාව‘ කියයි. මෙය අනුප්‍රාස සමාස වලින් සපිරි කියමනක් නිසා උවසු උවැසියෝ සැදැහැයෙන් යුතුව අසාගෙන සිටිති. මෙලෙස චූර්ණිකාව දේශනා කිරීමෙන් පසු ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් ‘සංග්‍රහවක්’ කියයි. එය දීර්ඝ පාඨයන්ගෙන් සමන්විතය. ‘මෙසේ පූර්ව කටයුතු රැසක් සිදු කිරීමෙන් පසු, මාතෘකා පාඨයක් හෝ සූත්‍රයක් කියයි. ධර්ම අවවාද කරයි. මාතෘකාව ඇසුරෙන් ධර්ම දේශනා කරයි.
‘ආලවක දමනය’ වැනි නාට්‍යානුසාරයෙන් පැවැත්වෙන ධර්ම දේශනා වලදී, බුදු හිමියන් සහ අලව් යකු අතර ඇතිවන සංවාදය මඟින් දහම් කරුණු ලිහිල්ව ඉදිරිපත් කරයි. අකුරු ශාස්ත්‍රය නොදත් බොහෝ දෙනකුට මෙම දේශනා පහසුවෙන් වටහා ගත හැකිය. දහස් ගණන් සෙනඟ රැස්වී පාන්දර ජාමයේ අලව් යකු පැමිණෙන තුරු බලා සිටිති. ඝෝරබිරං හඬ නංවමින් අලව් යකු පැමිණෙන විට නින්දට වැටී සිටි ළමා ළපටියන් බියට පත් වී හඬ නගති. එය ඉතා උණුසුම් අවස්ථාවකි. කෙසේ වෙතත් දේශනාව නිමාවත් සමඟ අලව් යකු දමනයට පත් වෙයි. සුරතල් බිලිඳු අලව් කුමරු අලව් යක්ෂයාට බිලි පිණිස පිළිගැන්වීමත්, යකු විසින් කුමරු බුදු හිමියන්ට පූජා කිරීමත් දකින සංවේදී කාන්තාවන්ගේ දෑසින් කඳුළු කඩා වැටීම අනුවේදනීය දර්ශනයකි.
සියල්ල අවසන් වීමෙන් පසු, ‘මෛත්‍රී වර්ණනාවෙන්’ ධර්ම දේශනාව නිමාවට පත් වෙයි. මෛත්‍රී වර්ණනාව මගින් පැවසෙන්නේ මෛත්‍රී බුදුන් දකින සහ නොදකින අය පිළිබඳවයි. පුණ්‍යානුමෝදනාව කිරීමෙන් පසු, හේවිසි මධ්‍යයේ දේශකයන් වහන්සේ පෙර පරිදිම අත් පුටුවෙහි තබාගෙන පන්සල තුළට වැඩමවනු ලබති. මේ පුරාණ ධර්ම දේශනා ක්‍රම සකස්වී තිබූ ක්‍රමයන්ය. මෙවැනි සද් කාර්යයන්ගෙන් එදා ජනතාව මෙන්ම මහා සංඝරත්නයද බලාපොරොත්තු වුණේ දැයේ සමගිය, සමාදානය, සෞභාග්‍යය වැනි කරුණු මිස යම් යම් ලාභ ප්‍රයෝජන අත්කර ගැනීම නොවන බව පැහැදිලිය.

අල්ප අවශ්‍යතාවයි සතුටයි

කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 

උඩුහාවර ආනන්ද හිමි

“අප්පිච්චතා” යන මෙම පාලි වදනේ අරුත වන්නේ අල්ප කැමැත්තයි. ව්‍යවහාරයට අනුව එයින් අදහස් කෙරෙන්නේ අල්ප අවශ්‍යතාවන්ගෙන් සතුටු වීමයි. එය බෞද්ධ ඉගැන්වීම්වල අන්තර්ගත අතිශය වැදගත් පුරුෂාර්ථයකි.අල්පේච්ඡතාවට ප්‍රතිවිරුද්ධ අංශය මහිච්ඡතාවයි. එයින් අදහස් වන්නේ අසීමාන්තිකව පවතින ආශාව පදනම් කරගෙන වැඩි සම්පත් ප්‍රමාණයක් බලාපොරොත්තුවීමයි. පැවිදි පක්ෂයට නිර්දේශිත විශේෂ සදාචාරාත්මක ඉගැන්වීමක් වන මෙය ගිහි සමාජයටද එකසේ භාවිතකළ හැකි වටිනා ගුණාංගයකි.
බෙද්ධ ජීවිතය අර්ථවත් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමෙන්ය. අල්පේච්ඡතාව හා බැඳීපවතින අවශේෂ බෞද්ධ පුරුෂාර්ථ ලෙස සුහරතාව හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකිවීම,අල්පකෘත්‍යතාව හා සැහැල්ලු පැවැත්ම, පිරිසුදුකම හා සරලත්වය හඳුන්වාදිය හැකිය. ගිහි වුවද, පැවිදි වුවද බෞද්ධ ජීවිතයක වටිනාකම තීරණය වන්නේ බාහිර වශයෙන් ගොඩගසා ගන්නා අසීමාන්තික ධන සම්පත් හෝ බාහිර ආටෝප සාටෝපවලින් යුක්ත ව්‍යාජ හැසිරීම්වලින් නොව අභ්‍යන්තර පාරිශුද්ධත්වය සහිත චාම් සරල ජීවන පිළිවෙතකින්ය. ගිහි පැවිදි බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ භෞතික සම්පත් ගොඩගසා ගැනීමෙන් මෙන්ම භෞතික ඉදිකිරීම් මගින් මානසික සුවය අත්පත් කරගත හැකි බවයි. එහෙත් බුදුරදුන් වදාළ අල්පේච්ඡතාවට අනුව අවශ්‍යතාවන්ට පමණක් සෑහෙන අවම සම්පත් ප්‍රමාණයකින් යුක්ත දිවිපෙවෙත සතුට මෙන්ම විවේකය ගෙන දෙන බව ඉතා පැහැදිලිය.අවශ්‍යතාව කවරක්දැයි නුවණින් නොවිමසා එකතුකරගන්නා භාණ්ඩ නඩත්තු කිරීමට මෙන්ම ආරක්ෂා කිරීමටත් කොතරම් වෙහෙසක් දැරිය යුතුද ? එහෙත් අවශ්‍යතා මැනවින් වටහා ගන්නා තැනැත්තාට අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම විවේකයක් මෙන්ම සතුටක් ලැබිය හැකිවේ.ඇතැම් විටෙක අප මිලදී ගන්නා භාණ්ඩ ජීවිතකාලයේම එක්වරක්වත් පරිහරණය නොකරන අවස්ථා තිබෙන්නට පුළුවන. තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන සංකල්පයට අනුව අනාගත පරපුරටත් යමක් ඉතිරිකොට පරිභෝජනය කිරීමේ පුරුද්ද ඇතිකර ගැනීම ගැන අවධානය යොමුවෙමින් පවතී. මේ පිළිබඳ වටිනා අදහස් සමූහයක්,ඊ.ඇප්. ෂූමාකර් විසින් රචිත පුංචිනම් ලස්සනයි” කෘතියෙන් පෙන්වා දෙයි. බෞද්ධ ආර්ථික දර්ශනය උපයෝගිකර ගනිමින් අල්පේච්ඡතාවේ හා සරල බවේ වටිනාකම ඔහු පැහැදිලි කරයි.
අධ්‍යාත්මික ගුණයන්ගෙන් පෝෂණය වූ ආර්ය ශ්‍රාවකයා තමන් තුළ පවතින සැබෑ ගුණය වුව අන් අය හමුවේ කියා පෑමට මැලිකමක් දක්වන බව බුදුරජාණන් වහන්සේ හත්තකාළවක උපාසකතුමා මූලික කරගෙන පැහැදිලි කළ අයුරු අංගුත්තර හත්ථාආළවක සූත්‍රයේ ඇතුළත් වේ. මෙම සූත්‍රයේ දැක්වෙන පරිදි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හා හත්ථකආළවක අතර ඇතිවන සංවාදය මගින් මහිච්ඡතාවෙන් කටයුතු කරන පුද්ගලයාට වැදගත් පණිවිඩයක් ලබාදෙයි. බුදුරදුන් විසින් හත්ථක ආලවකගේ ආධ්‍යාත්මික ගුණ ඇගයීමට ලක්කළ බව එම භික්ෂූන් වහන්සේ ඔහුට ප්‍රකාශ කළහ. එම අවස්ථාවෙහි හත්ථක ආලවක එම භික්ෂුවගෙන් මෙසේද විමසයි. ස්වාමින් වහන්ස, බුදුරදුන් මා ගැන එසේ පැහැදිලි කරද්දි එහි සුදුවත් හැදි කවුරුන් හෝ ගිහියෙක් සිටියේද ? එයට පිළිතුරු සපයමින් භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කළේ බුදුරදුන් ඔබ ගැන එසේ ප්‍රකාශ කරද්දී එහි කිසිත් ගිහියෙකු නොසිටි බවයි. ඒ ගැන සතුටට පත්වන හත්ථකආලවක ප්‍රකාශ කරන්නේ, ස්වාමීනි, එහි සුදුවත් හදින ගිහියෙක් නොසිටියේ නම් එය ඉතාමත් යහපත්ය යනුවෙනි. ආධ්‍යාත්මික අංශයෙන් ඉහළ දියුණුවක් අත්පත්කරගත් තැනැත්තා කිසිවිටෙකත් එම ගුණ පදනම් කරගෙන මහේච්ඡතාවෙන් කටයුතු නොකරන බව මෙම සංවාදයෙන් පැහැදිලිවේ. බුදුරදුන් වදාළ ධර්මය අල්පේච්ඡ ජීවිතයක් ගතකරනු කැමැති පුද්ගලයාට මිස මහිච්ඡතාවෙන් යුක්ත පුද්ගලයාට නොවන බව බුදුරජාණන් වහන්සේම දේශනා කළහ (අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස ) අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පුද්ගලයා නිරන්තරයෙන්ම සමාජයේ සම්භාවනාවට ලක්වේ. බහුභාණ්ඩික ජීවිතය තමාට පමණක් නොව සමාජයටත් මහත් බරක් මෙන්ම පීඩනයක් බව ඉතා පැහැදිලිය. අසීමිත සම්පත් ප්‍රමාණයක් තනි පුද්ගලයෙකු විසින් පරිහරණය කිරීම එක්අතකින් සෙසු පුද්ගලයන්ගේ යැපීම් අවශ්‍යතා අහිමි කිරීමකි. බුදුරදුන් වදාළ අල්පේච්ඡතා ගුණය ජීවිතයට අදාළ කරගැනීම නූතන පරිභෝජනවාදය මගින් ජනිතකර තිබෙන සමාජ, ආර්ථික හා පාරිසරික අර්බුද විසඳාගැනීමට උපකාරි වේ.
ශ්‍රාවකයා තුළ වර්ධනය කරගත යුතු අල්පේච්ඡතා ගුණය සසුනේ පැවැත්ම කෙරෙහි හේතුවේ. අල්පේච්ඡතා ගුණයෙන් යුක්ත භික්ෂුව හෝ භික්ෂුණිය සමාජයට බරක් නොවන බැවින් දායකයාට පහසුවෙන් පෝෂණය කළ හැකිවේ. අනෙක් අතට එවැනි පැවිදි උතුමන්ගේ සරල ජීවිතය වර්තමාන බහුභාණ්ඩික සමාජයට මහත් ආදර්ශයක් වේ. ගිහි සමාජය සම්බන්ධයෙන් සැළකීමේදී අල්පේච්ඡතාව පුහුණු කිරීම පවුලක ආර්ථික සුරක්ෂිතතාවට මෙන්ම එම සාමය හා සතුට සඳහාද හේතුවේ.
අල්පේච්ඡතාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා රාශියක් ත්‍රිපිටක සාහිත්‍ය යටතේ හදුනාගත හැකිවේ.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි උදායි තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව මහත් තෙද ඇති බව, තමන් වහන්සේ ප්‍රකාශ නොකරන සේක. එසේ වූ ඔබ වහන්සේගේ අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටුවීම, සැහැල්ලු දිවි පැවතුම් ඇති බව ඉතා පුදුම යයි කීය. උදායි, මෙයින් එක්ගුණයක්වත් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් තුළ තිබේ නම්, එපමණකින්ම ඔවුහු කොඩි ඔසවා ගෙන ඇවිදිතැයි කීය (දි.නි. සම්පසාදනීය සූත්‍රය)
දීඝ නිකාය සම්පසාදනීය සූත්‍රයේ දැක්වෙන මෙම පාඨය බුදුරදුන්ගේ අල්පේච්ඡතා ගුණය මොනවට පෙන්වන සාධකයකි. උන්වහන්සේ සතුව කොතරම් ඍද්ධිමය හැකියාවක් පැවතියද, ඒ බව ප්‍රකාශ කොට ජනයා තුළ ප්‍රසාදය ඇතිකරමින් ලාභ ප්‍රයෝජන සඳහා උත්සුක නොවූහ.නොයෙකුත් අභිධාන තම මූලයට එකතුකර ගනිමින් විවිධ අභිලාස ඇතිව සමාජයේ කැපීපෙනෙන්නට උත්සුක වන අයට බුදුරදුන්ගේ මෙම ආදර්ශය කොතරම් අගනේද? බුදුරජාණන් වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල්පේච්ඡ වූහ. මහලු වියට පත් මහාකාශ්‍යප මහාරහතන් වහන්සේ අමතා බුදුරදුන් වදාළේ තමන් වහන්සේ අභියස වෙසෙමින් සුවපහසු දිවියක් ගෙවන ලෙසයි. එහෙත් උන්වහන්සේ අල්පේච්ඡතාවෙහි අගය වටහා ගනිමින් (අප්පිච්ඡතාය වණ්ණවාදී) බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළහ. මෙහිදී බුදුරදුන් සෙසු ශ්‍රාවකයන් වහන්සේලාට අනුශාසනා කළේ මහාකාශ්‍යප මහරහත් වහන්සේ අනුගමනය කරන ලෙසයි. මුල් අවදියෙහි සසුනෙහි වැඩි අගයක් හිමි වූයේ අල්පේච්ඡතාව අනුගමනය කළ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටය. නමුත් කලක් ගත වන විට මෙම අල්පේච්ඡතාව පුහුණුූ කළ අය පසෙක තබා සිව්පස ලාභයෙන් අගතැන් පත් වූ භික්ෂූන්ට වැඩි පිළිගැනීමක් ස්ථවිර භික්ෂූන් අතර ඇතිවිය. මෙය දුටු නවක භික්ෂූහු සිව්පසයෙන් ආඩ්‍ය ජීවන පිළිවෙතක් ඇතිකරගතහොත් තමන්ටද එවැනි පිළිගැනීමක් ඇතිවේයැයි සළකා මහිච්ඡතාවෙන් කටයුතු කිරීමට කල්පනා කළ අයුරු කස්සප සංයුත්තයේ තෙවන ඕවාද සූත්‍රයෙහි ඇතුළත් වේ.මෙහි අන්තර්ගත කරුණ ගිහි පැවිදි දෙපක්ෂයම ගැඹුරින් සිතා බැලීමට කාලය එළඹ තිබේ. මහිච්ඡතාව හේතුවෙන් පුද්ගලයා තුළ නූපන් අකුසල් දහම් වර්ධනය වන බවත් උපන් කුසල් දහම් පිරිහීමට පත්වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මහිච්ඡතාව පුද්ගලයා තුළ තවදුරටත් තෘෂ්ණාව වර්ධනය වීමට හේතුවක් වන බැවින් එය පදනම් කරගෙන විවිධ දුශ්චරිතවලට යොමුවීමේ අවස්ථා වර්ධනය වේ. මහෙච්ඡතාවෙන් යුක්ත පුද්ගලයා සදාචාරය නීතිය යුක්තිය පසෙක ලා ධන සම්පත් ඉපැයීමේ අරගලයක නිරත වෙයි. එවැනි පුද්ගලයන්ගේ මෙලොව ජීවිතය හිරේ විලංගුවේ වැටීමෙන් අවසන් වන අතර සංසාරික ජීවිතය දුගතියෙන් කෙලවර වේ.
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් අමතා දේශනා කළේ ආමිසයට හිමිකරුවන් නොවී ධර්මයට හිමිකරුවන් වන ලෙසයි. මේ බව බුදුරදුන් වදාළ ධම්මදායාද සූත්‍රයේ ආරම්භයේම සඳහන් වේ. ඒ අනුව මහණෙනි, මාගේ ධර්මයට හිමිකරුවන් වන්න,ආමිසයට (සිව්පසයට ) හිමිකරුවෝ නොවන්න, ශ්‍රාවකයෝ මාගේ ධර්මයට හිමිකරුවෝ වන්නාහු. ආමිසයට හිමිකරුවෝ නොවන්නාහුය යයි භික්ෂූන් කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. ධර්මගරුක නොවී ආමිසයට ගරු කරන්නෝ, ගැරහිය යුත්තො වෙති. මාගේ ශ්‍රාවකයො ආමිස ගරුකව ධර්මගරුක නොවී වෙසෙත් යැයි මම ද ගැරහුමට ලක්වන්නෙමි. යම් හෙයකින් මාගේ ශ්‍රාවකයෝ ධර්ම දායාදව ආමිස දායාද නොවී වෙසෙත් නම්, එයින් මාගේ ශ්‍රාවකයෝ ගැරහිය යුත්තෝ නොවෙති. මමද ගැරහිය යුත්තෙක් නොවෙමි. ඒ නිසා ධර්ම දායාද වන්න.ආමිස දායාද වන්න (ධම්මදායාද සුත්ත)
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසගෙන් කුමක් අපේක්ෂා කළේද ?යන්න උන්වහන්සේගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ. අල්පේච්ඡතාව හා බැඳුණු තවත් වටිනා ගුණාංග කීපයක් ධර්මයේ දැක්වේ. ‘සන්තුටිඨිතා යනුවෙන් හැදින්වෙන සතුට ‘සල්ලේඛතා’ යනුවෙන් හැඳින්වෙන මනාලෙස කෙලෙසුන් සිඳහැරීම, සුභරතා යනුවෙන් හැඳින්වෙන පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකු බවට පත්වීම, විරියාරම්භතා යනුවෙන් හැඳින්වෙන වීර්ය වැඩීම යන ගුණාංග වර්ධනය කරගත යුතු පුරුෂාර්ථ ලෙස දැක්වේ. අල්පේච්ඡතාව ප්‍රගුණ කිරීමත් සමඟම මෙකී උත්තම ගුණයන්ද වර්ධනය වේ. මේ අනුව අල්පේච්ඡතාව ඇතිකර ගැනීම යනු අධ්‍යාත්මික දියුණුවේ දොරටු විවර කරගැනීමකි.

නිවන් සැපත දක්ෂයාටය

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ 
උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත 
මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි
බුද්ධ ධර්මය පුද්ගලයන්ගේ ජීවිතත් සමඟ එකට බැඳී පවතින්නකි. කෙනකුගේ සැබෑ දියුණුව ධර්මය අනුව කටයුතු කරන්නාට ලැබෙන අතර ධර්මයට පිටුපාන පුද්ගලයාට පිරිහීම අත්වෙයි. ඒ බව “ධම්මකාමො භවං හොති ධම්මදෙස්සී පරාභවො” යන පරාභව සූත්‍ර පාඨයෙන්ම පෙන්වා දී තිබේ.
බෞද්ධ ජීවිතය ලෞකික ලෝකෝත්තර දෙකින්ම යුක්ත එකකි. බුදුරජාණන් වහන්සේ තමන් ලොව පහළ වීම ලෝකෝත්තර මග පෙන්වා දීම ප්‍රමුඛස්ථාන කොට ගත්තක් වුවද ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උන්වහන්සේ දුන් උවදෙස් මෙපණයිද කිව නොහැකි තරම් ය. මෙලොව ජීවිත සාර්ථක කර ගැනීම තුළින්ම ලෞකික ලෝකෝත්තර දියුණුව ඇති කර ගත යුතු බව බුද්ධ ධර්මය අනුව කිව හැකි ය. එහෙයින්ම ධර්මය සන්දිට්ඨික, අකාලික, පච්චත්තං වෙදිතබ්බ යන ගුණයන්ගෙන් අනූන ය.
තමන්ගේ ප්‍රගතිය, දියුණුව උදෙසා කෙනෙකු තුළ තිබිය යුතු විවිධ ගුණ 15 ක් කරණීය මෙත්ත සූත්‍රයෙහි දක්වා ඇත්තේ ය. ඒවා සුන්දර ජීවිතයකටත් ලෞකික ලෝකෝත්තර දියුණුව සඳහාත් උපකාර වන බව පෙනේ. මේ ගුණ අතර මුල්ම ගුණය නම් ‘සක්කෝ’ ගුණයයි. සක්කෝ යනු මට පිළිවන්, බැරිකමක් නැහැ යන්නයි. විමුක්තිය ලබනු කැමැති අය විසින් මේ ගුණය අනිවාර්යෙන්ම ඇති කරගත යුතු ය.
සිද්ධාර්ථ තාපසයන් වහන්සේ එදා ඇසළ පුණු පොහෝ දින අනෝමා ගංතෙරදී පැවිදිව, අනතුරුව තමන් බලාපොරොත්තු වන විමුක්තිය ළඟා කර ගැනීමට උපදෙස් ලබා ගැනීම සඳහා ආලාර කාලාම, උද්දකරාම පුත්ත යන ශාස්තෘවරුන් දෙදෙනාම ළඟ වාසය කළහ. එම ශාස්තෘවරුන් තමන් දත් දැනුම් ප්‍රමාණය ප්‍රකාශ කළ පසු සිද්ධාර්ථ තාපයන් වහන්සේ කල්පනා කළේ න ආලාරස්සේව කාලාමස්ස අත්ථි සද්ධාමයිහම්පි අත්ථි සද්ධා ආදී වශයෙන් ආලාර කාලාම ශාස්තෘවරයාට පමණක් නොව මට ද සද්ධා ,විරිය, සති, සමාධි, පඤ්ඤා ඇත. එහෙයින් ඒ ශාස්තෘවරුන් ලත් සමාධිය ලබන්නට මට ද පිළිවන. මම ද දක්ෂයෙක්මි යනුවෙනි. එසේ කල්පනා කොට “සක්කෝ’ ගුණයෙන් පිරිපුන් නිසාම එම ශාස්තෘවරුන් උපදවාගෙන තිබූ අෂ්ට සමාපත්තින් නොබෝ කලෙකින්ම උන්වහන්සේට ද උපදවා ගන්නට හැකි විණි.
පුරාණයේ ජීවනෝපාය 4 ක් තිබිණි. එනම් 1. ගොවිතැන 2. ගව පාලනය 3. වෙළෙඳාම 4. රාජ්‍ය සේවයයි. මේ හැම ක්‍රමයෙන්ම යම් ප්‍රගතියක් දියුණුවක් ලබන්නට නම් ඒ පිළිබඳ මනා හැකියාවක් තිබිය යුතුමය. අනලස් විය යුතුමය. තමන් බලාපොරොත්තු වන පරිදි දියුණුවක් ලබන්නට හැකි වන්නේ එවිටය. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන කරුණු පිළිබඳ හැකියාව තිබීම මෙලොව මෙන්ම පලොව දියුණුවට ද අත්‍යවශ්‍ය වේ. උට්ඨාන සම්පදා – උත්සාහය ආරක්ඛ සම්පදා – උත්සාහයෙන් උපයා ගත් දෙය රැක ගැනීම සමජීවිකතා - ආදායමට සරිලන වියදම් ක්‍රමයක් සකසා ගැනීම, කල්‍යාණ මිත්තතා - කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තමන්ගේ අගුණ දුරු කර ගුණ නුවණ ආධ්‍යාත්මික බාහිර දියුණුවට උපකාර කරන යහපත් මිත්‍රයන් සිටීම, සද්ධා සම්පදා - ශ්‍රද්ධා සම්පත්තිය, තෙරුවන් කෙරෙහි ඇති පිරිසුදු ඇදහීම මෙන්ම ආත්ම විශ්වාසය ඇති කර ගැනීමේ හැකියාව මෙලොව පරලොව දියුණුවට තිබිය යුතු මය. එමෙන්ම සීල සම්පදා කය, වචනය සංවර කිරීමේ හැකියාව, කායික දෝෂ වාචසික දෝෂ දුරු කිරීම, වාග සම්පදා – තමන් උපයන යමක් වේ නම් එය දත්වාච භුත්වාච යනුවෙන් වදාළ පරිදි තමන්ටත් අනුන්ටත් පරිභෝගය සඳහා යෙදවීමේ හැකියාව හෙවත් පරිත්‍යාගශීලී ස්වභාවය ප්‍රගතියට උපකාරී වේ. එසේ උපයන දේ බෙදා ගැනීමේ දක්ෂකම කෙනෙකුගේ දිවි මඟ දියුණුව කරා ගෙන යාමට උපකාර වේ. පඤ්ඤා සම්පදා – කටයුතු කිරීමේ දී නුවණින් විමසා බලා කටයුතු කිරීමේ හැකියාව දක්ෂකම මනාව තිබිය යුතු ය. නුවණත් උත්සාහයත් තිබේ නම් ඉතා සුළු මුදලකින් වුව දියුණු වන්නට පිළිවන් බව චුල්ල සෙට්ඨි ජාතකයෙන් පෙන්වා දී ඇත. එහෙයින් ප්‍රජාව ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුවට ද අත්‍යවශ්‍ය ම අංගයකි. අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන නාථකරණසූත්‍රයෙහි එන කරුණු දසය සනාථව විසීමට වුවමනා කරන ඒවා ය. එම ගුණ ධර්ම වැඩීම තුළින් ලොව ලොව්තුරා දියුණුව ලබන්නට පිළිවන් වේ. ඒ ගුණ ධර්ම දක්ෂවීම නාථ භාවය ඇති කරන්නකි. මජ්ක්‍ධිම නිකායේ රථ විනීත සූත්‍රයේ එන විසුද්ධි ධර්ම 7 ලෝකෝත්තර මාර්ගයට නිවන් මඟට යොමු කරවන ධර්ම 7 කි. ඒ එක් එක් ධර්මයක පිරිපුන් බවත් දක්ෂ බවත් නොලබා අනතුරු විසුද්ධියක් ඇති කර ගන්නට නොහැකිය. ඒ අනුව ‘සීල විසුද්ධි යාව දෙව චිත්ත විසුද්ධ කථා’ සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා පමණි. (චිත්ත විසුද්ධිය (සමාධිය) ලබාගැනීමට සීල විසුද්ධිය, සීලයෙන් පිරිපුන් වීම ඒ පිළිබඳ හැකියාව අවශ්‍යමය.)
දිට්ඨ විසුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි, පටිපදාඤාණදස්සන විසුද්දී, ඤාණදස්සන විසුද්ධි යන අනෙකුත් විසුද්ධි ධර්ම ද එක් එක් විසුද්ධිය පිළිවෙළින් අනෙක් විසුද්ධීන්ට පාදක වේ. ත ආයතකෙන අඤ්ඤාපට්බොධො මැඩියා පැන පැන යන්නා සේ පිළිවෙළින් ගොස් නිවන් අවබෝධ කළ නොහැකිය. සීල පරිභවිතො සමාධි මහප්ඵලා හෝති මහානිසංසෝ සමාධි පරිභවිත පඤ්ඤා මහප්ඵලා හෝති මහා නිසංසෝ පඤ්ඤා පරිභවිතං චිත්තං සංවදේව අසෙවති විමුච්චති සීලයෙන් වඩන ලද පුරුදු කරන ලද සමාධිය මහත්ඵල මහානිසංස වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිසංස වේ. ප්‍රඥාවෙන් වඩන ලද සිතකාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ආශ්‍රවයන්ගෙන් මනාව මිදී නිවන් අවබෝධ කෙරෙයි. එබැවින් මේ ත්‍රිශික්ෂා පිළිබඳව හැකියාව දක්ෂකම පිරිපුන් බව පිළිවෙළින් ඇතිකර ගැනීම නිවන් මඟ සඳහා තිබිය යුතුම ය.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් විසින් ලියන ලද මෙම ලිපිය 2001.05.07 වනදා බුදුසරණ පුවත්පතෙහි පළ වු වකි.

සිත යොමු කළ යුත්තේ කුසලයටය

ශාස්ත්‍රපති, 
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

බුදුදහම සෑම විටම මුල් තැනක් ලබා දී තිබෙන්නේ දිවි රැක ගැනීමට බව අප පසුගිය කලාපයකින් කතා කළා. එසේ වුවත් දිවි රැක ගැනීමට යැයි පවසා අනෙක් අය පරයා ඔවුන් නසා දමා හෝ දිවි ගෙවීම බුදුදහම අනුමත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා කිසිදු හේතුවක් මත අප විසින් නොකළ යුතු වෙළෙඳාම් පහක් ඇති බවට.
බෞද්ධයන්ට මේ නොකළ යුතු වෙළෙඳාම් අලුත් දේ නෙමෙයි.
මස් පිණිස සතුන් ඇති කරන්න එපා. මස් මාංශ වෙළෙඳාම් කරන්න එපා. වස විස අලෙවි කරන්න එපා. මත් වතුර අලෙවි කරන්න එපා. අවි ආයුධ වෙළෙඳාම් කරන්න එපා. ආදී වශයෙන් නොකළ යුතු පංච වෙළෙඳාමෙන් වෙන් විය යුතු බවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ සියල්ලම අපගේ ලෞකික ලෝකෝත්තර ගමන් දෙකටම බාධා පමුණුවන නිසයි.
නමුත් ලෝකයේ බොහෝ දියුණු රටවල ආර්ථිකය වී ඇත්තේ මේ නොකළ යුතු කර්මාන්තයන් බවත් අපට පෙනෙන්නට තිබෙනවා. ඇතැම් පිරිස් පවසන්නේ බෞද්ධයන් මේ නිසා දුප්පත් වී සිටින බවයි. ඒ කාරණයේ යම් සත්‍යතාවයක් තිබෙන්නට පුළුවන්. නොකළ යුතු මේ වෙළෙඳාම් සියල්ල කරානම් එක් රැයකින් විශාල ධනවතෙක් වීමට පුළුවන්. එක රැයකින් ත්‍රිරෝද රථයක් ගන්න පුළුවන්.
ඌරන් ඇති කර, මස් පිණිස හතර පස් දෙනෙක් වික්කොත් හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්. ගව පට්ටියක් වික්කොත් පොඩි වාහනයක් ගන්න පුළුවන්. කුකුල් කොටුවක් වික්කත් එහෙමයි. එළුවන් රංචුවක් වික්තත් එහෙමයි.
නමුත් එහෙම මස් පිණිස සතුන් අලෙවි කරනවා නම් වාහනය පසු පස අප සඳහන් කරගෙන යා යුතුයි. අත හිත ගවයාගෙන් නැත්නම් අත හිත ඌරාගෙන් එහෙමත් නැත්නම් අත හිත කුකුළාගෙන් යනුවෙන් තමන්ට ඒ සඳහා උපකාරී වූයේ කවුදැයි යන්න. නමුත් බෞද්ධයන් දුප්පත් වී ඇත්තේ ධනයෙන් මිස ගුණ ධර්මවලින් නෙමෙයි. අප මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මේ පංචවිධ වෙළෙඳාමෙන් සිදුවන අකුසලයේ කිසිදු අඩුවක් වන්නේ නැති බවය. මේ නොකළ යුතු වෙළෙඳාම් සිදු කර තමන් විසින්ම එය සාධාරණය කරගත්තාට කිසිදු ඵලයක් නැහැ. මම මේ දේ කරේ අම්ම තාත්තාට යුතුකම් ඉටු කරන්න. අඹු දරුවන් පෝෂණය කරන්න, මගේ පුතා ඉංජිනේරුවරයෙක් කරන්න, නීතිඥවරයෙකු කරන්න යනුවෙන්. මේ කිසිවකින් තමන්ට නිදහසක් ලැබෙන්නේ නැහැ. ඇස්කිමෝවරුන්ට සීල් මත්ස්‍යයන් ආහාරයට ගෙන බෞද්ධයන් ලෙස ජීවත් විය හැකි බව අප පැවසුවේ ඔවුන්ට උපතින්ම උරුම භූමියේ ඔවුන්ට කල හැකි එකම දෙය එය නිසා පමණයි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සැරියුත් මහ රහතන් වහන්සේට දැන ගන්නට ලැබෙනවා තමන් වහන්සේට දන් හැන්දක් හෝ පිළිගන්වන ලද බ්‍රාහ්මණයෙක් මිය යාමට ආසන්න බව. උන්වහන්සේ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කරනවා. උන්වහන්සේ බ්‍රාහ්මණයාගෙන් විමසනවා ‘ඔබ රාජ්‍ය සේවයේ නිරත වුණා නේද’?
‘එහෙමයි ස්වාමිනි, මම රාජ්‍ය සේවයේ නිරත වුණා.’
‘එම සේවා කාලය තුළදී ඔබ වැරැදි කළාද?’
‘එහෙමයි ස්වාමිනි, මම වැරැදි රැසක් කළා. එහෙත් ඒ සියල්ල කළේ රජු නියම කරපු නිසයි’
‘ඊට අමතරව තවත් හේතු තිබුණා?’
‘එහෙමයි ස්වාමිනි, මගේ මව පියා පෝෂණය කරන්න මම වැරැදි කරා, අඹු දරුවන් පෝෂණය කරන්න වැරැදි කළා.’ ‘බමුණ ඔබ හොඳින් ධර්මය ගැන දන්නවා. ඔබ දන්නවාද ඒ වැරැදි කළ අය මරණින් මතු යන්නේ කොතැනටද කියා.’ එහෙමයි ස්වාමිනි, යමපල්ලන් විසින් මා ඇදගෙන යයි’
‘ඔබ විසින් වැරැදි කළේ මව පියා රකින්න යැයි පැවසුවහොත් අඹු දරුවන් රකින්න යැයි පැවැසුවහොත් ඔවුන් ඔබ නිදහස් කරයිද?’
‘නැත ස්වාමිනි, ඔවුන්ට අවශ්‍ය වන්නේ මා කළ වැරැදි පමණයි.’
එසේනම් ඔබම පිළිගන්නවා කිසිවකුට පව්කම් කරන්න අයිතියක් නැති බව, බමුණ, ඔබ මේ විදිහට හිත හදා ගන්න මම අනාර්ය පර්යේෂණයි’ ජීවත්ව සිටින්නට මට මේ දේ කරන්න වුණා. ගිහියෙක් වූ නිසා මට ඒ දේ කරන්න වුණා. මම විවාහ වූ නිසා ඔවුන් රකින වුණා.
ඒ සමඟම උන්වහන්සේ ආර්ය පර්යේෂණය ගැනත් බමුණාගේ අවධානය යොමු කළා. බමුණ ආර්ය පර්යේෂණයේ තමයි අප ගමන් කරන්නේ. ආර්ය පර්යේෂණයේ රැකී රක්ෂා නැහැ. සම්බාධක නැහැ. ආවාහ විවාහ නැහැ.
ඒ ගැන අවධානය යොමු කළ බමුණා මිය යාමෙන් පසුව දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවා. ඒ සැරියුත් මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීම නිසයි. මෙයින් අප වටහා ගත යුත්තේ කිසිවකුගේ නියෝග නිසා ඔබට පවු කරන්න, වැරැදි කරන්න අයිතියක් නැති බවයි. නමුත් ඔබ කළ දේට වඩා ඔබ සිදු කළ කුසලකර්ම මත සිත පිහිටුවන්න පුළුවන් නම් ඒ මතින් ඔබට පිහිටක් ලබන්නට පුළුවන්. යහපත තුළ පිහිටා තමන්ට හොඳ ස්ථානයක උප්පත්තිය ලබා ගැනීමට එය ජනක කර්මයක් කර ගැනීමට පුළුවන්. අකුසල කර්ම ඇත්නම් ඒ සියල්ලත් ඔබ පස්සෙන් පැමිණෙනවා. නමුත් ධර්මය යථාර්ථවාදීව නිසි ලෙසින් අවබෝධ කර ගත්තොත් ඒ අකුසලයන් අහෝසි කර්ම බවට පත් කර ගැනීමට ඔබට පුළුවන්. බුදුදහමේ ඇති විශේෂත්වය, හරය වන්නේ එයයි.
ව්‍යාපාරයක් මඟින් විශාල පිරිසකට රැකියා ලැබෙනවා කියා අප පෙර කීවාක් මෙන් සිදු නොකළ යුතු කර්මාන්තයන්ගේ නියැළෙන්න අපට හැකියාවක් නැහැ. කුකුළු ව්‍යාපාර පවත්වාගෙන ගොස් එම අකුසලයන්ගෙන් මිදෙන්න බැහැ. සතුන් බලා ගන්න දහසකට රැකියා ලබා දී එමඟින් ඒ පිරිස්හි දරු පවුල් රැකුනු බව සිතා හෝ එම ව්‍යාපාරයේ නියැළෙන පිරිස් හට රියැදුරු වශයෙන් රැකියා ලබා දී හෝ එමඟින් සෙත සැලසුණු බව සිතා හෝ තමන්ට එම අකුසලයන්ගෙන් මිදෙන්න බැහැ. අකුසලයන්ගෙන් හතෙන් එකක් මෙලොවදීම විපාක දෙන බව ධර්මයේ පැහැදිලිව සඳහන් වනවා.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ තමන් ජීවත් වන තුන් කාලයෙන් එක් කාලයක් හෝ අකුසල කර්මයන්ගෙන් ඈත් විය යුතු බවයි. යම් අයෙක් මෙය වරදවා වටහා ගන්නට පුළුවන්. එසේනම් තමන්ට හැකියාවක් නොමැති කාලයේ සතුන් මරා මාංශ අලෙවි කළාට කමක් නැද්ද? අවි ආයුධ වෙළෙඳාම කමක් නැද්ද? වස විෂ වෙළෙඳාම මඟින් එසේ කිරීමෙන් අකුසලයක් සිදු නොවේද? මිනිසුන් රවටා ඒජන්සිකරුවන් මඟින් ඔවුන් රට රැකියා පිණිස යවා අතරම් කිරීමෙන් තමන්ට අකුසලයක් සිදු නොවේද?
එසේත් නැත්නම් මෙච්චර කාලයක් මම මේ කරන ලද මාංශ වෙළෙඳාම දැන් ඉතින් කුමන හේතුවක් නිසා නවතා දමන්නද? ජීවත් වෙන ඉතිරි කාලයේත් එයම කර කීයක් හෝ සොයා ගන්නවා යන වැරැදි මත බොහෝ අය තුළ තිබෙන්නට පුළුවන්. ඒත් අප කළ යුත්තේ අවසාන කාලයේ නැත්නම් අවසන් මොහොතේ හෝ කුසල පක්ෂයට බර වීමයි. අකුසල පක්ෂයට කිසිසේත් බර නොවී කුසල පක්ෂයට නිරතුරුවම සිත යොමු කරනවා විනා තමන්ගේ සිත රවටමින් කටයුතු කිරීම මඟින් වන්නේ ලෞකික හෝ ලෝකෝත්තර දිවි මඟට බාධාවීම පැමිණීම පමණයි. අවසන් කාලයේ හෝ අවසන් මොහොතේ හෝ තම සිත කුසල කර්ම සඳහා යොදා ගත් මට්ටකුණ්ඩලී හා ජේතවනාරාමය අසල සිටි වුන්දකර්මාර පුත්‍රයා මේ සඳහා හොඳම උදාහරණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
සදහම් සඟරා - Online