ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අල්ප අවශ්‍යතාවයි සතුටයි

කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 

උඩුහාවර ආනන්ද හිමි

“අප්පිච්චතා” යන මෙම පාලි වදනේ අරුත වන්නේ අල්ප කැමැත්තයි. ව්‍යවහාරයට අනුව එයින් අදහස් කෙරෙන්නේ අල්ප අවශ්‍යතාවන්ගෙන් සතුටු වීමයි. එය බෞද්ධ ඉගැන්වීම්වල අන්තර්ගත අතිශය වැදගත් පුරුෂාර්ථයකි.අල්පේච්ඡතාවට ප්‍රතිවිරුද්ධ අංශය මහිච්ඡතාවයි. එයින් අදහස් වන්නේ අසීමාන්තිකව පවතින ආශාව පදනම් කරගෙන වැඩි සම්පත් ප්‍රමාණයක් බලාපොරොත්තුවීමයි. පැවිදි පක්ෂයට නිර්දේශිත විශේෂ සදාචාරාත්මක ඉගැන්වීමක් වන මෙය ගිහි සමාජයටද එකසේ භාවිතකළ හැකි වටිනා ගුණාංගයකි.
බෙද්ධ ජීවිතය අර්ථවත් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමෙන්ය. අල්පේච්ඡතාව හා බැඳීපවතින අවශේෂ බෞද්ධ පුරුෂාර්ථ ලෙස සුහරතාව හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකිවීම,අල්පකෘත්‍යතාව හා සැහැල්ලු පැවැත්ම, පිරිසුදුකම හා සරලත්වය හඳුන්වාදිය හැකිය. ගිහි වුවද, පැවිදි වුවද බෞද්ධ ජීවිතයක වටිනාකම තීරණය වන්නේ බාහිර වශයෙන් ගොඩගසා ගන්නා අසීමාන්තික ධන සම්පත් හෝ බාහිර ආටෝප සාටෝපවලින් යුක්ත ව්‍යාජ හැසිරීම්වලින් නොව අභ්‍යන්තර පාරිශුද්ධත්වය සහිත චාම් සරල ජීවන පිළිවෙතකින්ය. ගිහි පැවිදි බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ භෞතික සම්පත් ගොඩගසා ගැනීමෙන් මෙන්ම භෞතික ඉදිකිරීම් මගින් මානසික සුවය අත්පත් කරගත හැකි බවයි. එහෙත් බුදුරදුන් වදාළ අල්පේච්ඡතාවට අනුව අවශ්‍යතාවන්ට පමණක් සෑහෙන අවම සම්පත් ප්‍රමාණයකින් යුක්ත දිවිපෙවෙත සතුට මෙන්ම විවේකය ගෙන දෙන බව ඉතා පැහැදිලිය.අවශ්‍යතාව කවරක්දැයි නුවණින් නොවිමසා එකතුකරගන්නා භාණ්ඩ නඩත්තු කිරීමට මෙන්ම ආරක්ෂා කිරීමටත් කොතරම් වෙහෙසක් දැරිය යුතුද ? එහෙත් අවශ්‍යතා මැනවින් වටහා ගන්නා තැනැත්තාට අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම විවේකයක් මෙන්ම සතුටක් ලැබිය හැකිවේ.ඇතැම් විටෙක අප මිලදී ගන්නා භාණ්ඩ ජීවිතකාලයේම එක්වරක්වත් පරිහරණය නොකරන අවස්ථා තිබෙන්නට පුළුවන. තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන සංකල්පයට අනුව අනාගත පරපුරටත් යමක් ඉතිරිකොට පරිභෝජනය කිරීමේ පුරුද්ද ඇතිකර ගැනීම ගැන අවධානය යොමුවෙමින් පවතී. මේ පිළිබඳ වටිනා අදහස් සමූහයක්,ඊ.ඇප්. ෂූමාකර් විසින් රචිත පුංචිනම් ලස්සනයි” කෘතියෙන් පෙන්වා දෙයි. බෞද්ධ ආර්ථික දර්ශනය උපයෝගිකර ගනිමින් අල්පේච්ඡතාවේ හා සරල බවේ වටිනාකම ඔහු පැහැදිලි කරයි.
අධ්‍යාත්මික ගුණයන්ගෙන් පෝෂණය වූ ආර්ය ශ්‍රාවකයා තමන් තුළ පවතින සැබෑ ගුණය වුව අන් අය හමුවේ කියා පෑමට මැලිකමක් දක්වන බව බුදුරජාණන් වහන්සේ හත්තකාළවක උපාසකතුමා මූලික කරගෙන පැහැදිලි කළ අයුරු අංගුත්තර හත්ථාආළවක සූත්‍රයේ ඇතුළත් වේ. මෙම සූත්‍රයේ දැක්වෙන පරිදි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හා හත්ථකආළවක අතර ඇතිවන සංවාදය මගින් මහිච්ඡතාවෙන් කටයුතු කරන පුද්ගලයාට වැදගත් පණිවිඩයක් ලබාදෙයි. බුදුරදුන් විසින් හත්ථක ආලවකගේ ආධ්‍යාත්මික ගුණ ඇගයීමට ලක්කළ බව එම භික්ෂූන් වහන්සේ ඔහුට ප්‍රකාශ කළහ. එම අවස්ථාවෙහි හත්ථක ආලවක එම භික්ෂුවගෙන් මෙසේද විමසයි. ස්වාමින් වහන්ස, බුදුරදුන් මා ගැන එසේ පැහැදිලි කරද්දි එහි සුදුවත් හැදි කවුරුන් හෝ ගිහියෙක් සිටියේද ? එයට පිළිතුරු සපයමින් භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කළේ බුදුරදුන් ඔබ ගැන එසේ ප්‍රකාශ කරද්දී එහි කිසිත් ගිහියෙකු නොසිටි බවයි. ඒ ගැන සතුටට පත්වන හත්ථකආලවක ප්‍රකාශ කරන්නේ, ස්වාමීනි, එහි සුදුවත් හදින ගිහියෙක් නොසිටියේ නම් එය ඉතාමත් යහපත්ය යනුවෙනි. ආධ්‍යාත්මික අංශයෙන් ඉහළ දියුණුවක් අත්පත්කරගත් තැනැත්තා කිසිවිටෙකත් එම ගුණ පදනම් කරගෙන මහේච්ඡතාවෙන් කටයුතු නොකරන බව මෙම සංවාදයෙන් පැහැදිලිවේ. බුදුරදුන් වදාළ ධර්මය අල්පේච්ඡ ජීවිතයක් ගතකරනු කැමැති පුද්ගලයාට මිස මහිච්ඡතාවෙන් යුක්ත පුද්ගලයාට නොවන බව බුදුරජාණන් වහන්සේම දේශනා කළහ (අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස ) අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පුද්ගලයා නිරන්තරයෙන්ම සමාජයේ සම්භාවනාවට ලක්වේ. බහුභාණ්ඩික ජීවිතය තමාට පමණක් නොව සමාජයටත් මහත් බරක් මෙන්ම පීඩනයක් බව ඉතා පැහැදිලිය. අසීමිත සම්පත් ප්‍රමාණයක් තනි පුද්ගලයෙකු විසින් පරිහරණය කිරීම එක්අතකින් සෙසු පුද්ගලයන්ගේ යැපීම් අවශ්‍යතා අහිමි කිරීමකි. බුදුරදුන් වදාළ අල්පේච්ඡතා ගුණය ජීවිතයට අදාළ කරගැනීම නූතන පරිභෝජනවාදය මගින් ජනිතකර තිබෙන සමාජ, ආර්ථික හා පාරිසරික අර්බුද විසඳාගැනීමට උපකාරි වේ.
ශ්‍රාවකයා තුළ වර්ධනය කරගත යුතු අල්පේච්ඡතා ගුණය සසුනේ පැවැත්ම කෙරෙහි හේතුවේ. අල්පේච්ඡතා ගුණයෙන් යුක්ත භික්ෂුව හෝ භික්ෂුණිය සමාජයට බරක් නොවන බැවින් දායකයාට පහසුවෙන් පෝෂණය කළ හැකිවේ. අනෙක් අතට එවැනි පැවිදි උතුමන්ගේ සරල ජීවිතය වර්තමාන බහුභාණ්ඩික සමාජයට මහත් ආදර්ශයක් වේ. ගිහි සමාජය සම්බන්ධයෙන් සැළකීමේදී අල්පේච්ඡතාව පුහුණු කිරීම පවුලක ආර්ථික සුරක්ෂිතතාවට මෙන්ම එම සාමය හා සතුට සඳහාද හේතුවේ.
අල්පේච්ඡතාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා රාශියක් ත්‍රිපිටක සාහිත්‍ය යටතේ හදුනාගත හැකිවේ.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි උදායි තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව මහත් තෙද ඇති බව, තමන් වහන්සේ ප්‍රකාශ නොකරන සේක. එසේ වූ ඔබ වහන්සේගේ අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටුවීම, සැහැල්ලු දිවි පැවතුම් ඇති බව ඉතා පුදුම යයි කීය. උදායි, මෙයින් එක්ගුණයක්වත් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් තුළ තිබේ නම්, එපමණකින්ම ඔවුහු කොඩි ඔසවා ගෙන ඇවිදිතැයි කීය (දි.නි. සම්පසාදනීය සූත්‍රය)
දීඝ නිකාය සම්පසාදනීය සූත්‍රයේ දැක්වෙන මෙම පාඨය බුදුරදුන්ගේ අල්පේච්ඡතා ගුණය මොනවට පෙන්වන සාධකයකි. උන්වහන්සේ සතුව කොතරම් ඍද්ධිමය හැකියාවක් පැවතියද, ඒ බව ප්‍රකාශ කොට ජනයා තුළ ප්‍රසාදය ඇතිකරමින් ලාභ ප්‍රයෝජන සඳහා උත්සුක නොවූහ.නොයෙකුත් අභිධාන තම මූලයට එකතුකර ගනිමින් විවිධ අභිලාස ඇතිව සමාජයේ කැපීපෙනෙන්නට උත්සුක වන අයට බුදුරදුන්ගේ මෙම ආදර්ශය කොතරම් අගනේද? බුදුරජාණන් වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල්පේච්ඡ වූහ. මහලු වියට පත් මහාකාශ්‍යප මහාරහතන් වහන්සේ අමතා බුදුරදුන් වදාළේ තමන් වහන්සේ අභියස වෙසෙමින් සුවපහසු දිවියක් ගෙවන ලෙසයි. එහෙත් උන්වහන්සේ අල්පේච්ඡතාවෙහි අගය වටහා ගනිමින් (අප්පිච්ඡතාය වණ්ණවාදී) බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළහ. මෙහිදී බුදුරදුන් සෙසු ශ්‍රාවකයන් වහන්සේලාට අනුශාසනා කළේ මහාකාශ්‍යප මහරහත් වහන්සේ අනුගමනය කරන ලෙසයි. මුල් අවදියෙහි සසුනෙහි වැඩි අගයක් හිමි වූයේ අල්පේච්ඡතාව අනුගමනය කළ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටය. නමුත් කලක් ගත වන විට මෙම අල්පේච්ඡතාව පුහුණුූ කළ අය පසෙක තබා සිව්පස ලාභයෙන් අගතැන් පත් වූ භික්ෂූන්ට වැඩි පිළිගැනීමක් ස්ථවිර භික්ෂූන් අතර ඇතිවිය. මෙය දුටු නවක භික්ෂූහු සිව්පසයෙන් ආඩ්‍ය ජීවන පිළිවෙතක් ඇතිකරගතහොත් තමන්ටද එවැනි පිළිගැනීමක් ඇතිවේයැයි සළකා මහිච්ඡතාවෙන් කටයුතු කිරීමට කල්පනා කළ අයුරු කස්සප සංයුත්තයේ තෙවන ඕවාද සූත්‍රයෙහි ඇතුළත් වේ.මෙහි අන්තර්ගත කරුණ ගිහි පැවිදි දෙපක්ෂයම ගැඹුරින් සිතා බැලීමට කාලය එළඹ තිබේ. මහිච්ඡතාව හේතුවෙන් පුද්ගලයා තුළ නූපන් අකුසල් දහම් වර්ධනය වන බවත් උපන් කුසල් දහම් පිරිහීමට පත්වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මහිච්ඡතාව පුද්ගලයා තුළ තවදුරටත් තෘෂ්ණාව වර්ධනය වීමට හේතුවක් වන බැවින් එය පදනම් කරගෙන විවිධ දුශ්චරිතවලට යොමුවීමේ අවස්ථා වර්ධනය වේ. මහෙච්ඡතාවෙන් යුක්ත පුද්ගලයා සදාචාරය නීතිය යුක්තිය පසෙක ලා ධන සම්පත් ඉපැයීමේ අරගලයක නිරත වෙයි. එවැනි පුද්ගලයන්ගේ මෙලොව ජීවිතය හිරේ විලංගුවේ වැටීමෙන් අවසන් වන අතර සංසාරික ජීවිතය දුගතියෙන් කෙලවර වේ.
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් අමතා දේශනා කළේ ආමිසයට හිමිකරුවන් නොවී ධර්මයට හිමිකරුවන් වන ලෙසයි. මේ බව බුදුරදුන් වදාළ ධම්මදායාද සූත්‍රයේ ආරම්භයේම සඳහන් වේ. ඒ අනුව මහණෙනි, මාගේ ධර්මයට හිමිකරුවන් වන්න,ආමිසයට (සිව්පසයට ) හිමිකරුවෝ නොවන්න, ශ්‍රාවකයෝ මාගේ ධර්මයට හිමිකරුවෝ වන්නාහු. ආමිසයට හිමිකරුවෝ නොවන්නාහුය යයි භික්ෂූන් කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. ධර්මගරුක නොවී ආමිසයට ගරු කරන්නෝ, ගැරහිය යුත්තො වෙති. මාගේ ශ්‍රාවකයො ආමිස ගරුකව ධර්මගරුක නොවී වෙසෙත් යැයි මම ද ගැරහුමට ලක්වන්නෙමි. යම් හෙයකින් මාගේ ශ්‍රාවකයෝ ධර්ම දායාදව ආමිස දායාද නොවී වෙසෙත් නම්, එයින් මාගේ ශ්‍රාවකයෝ ගැරහිය යුත්තෝ නොවෙති. මමද ගැරහිය යුත්තෙක් නොවෙමි. ඒ නිසා ධර්ම දායාද වන්න.ආමිස දායාද වන්න (ධම්මදායාද සුත්ත)
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසගෙන් කුමක් අපේක්ෂා කළේද ?යන්න උන්වහන්සේගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ. අල්පේච්ඡතාව හා බැඳුණු තවත් වටිනා ගුණාංග කීපයක් ධර්මයේ දැක්වේ. ‘සන්තුටිඨිතා යනුවෙන් හැදින්වෙන සතුට ‘සල්ලේඛතා’ යනුවෙන් හැඳින්වෙන මනාලෙස කෙලෙසුන් සිඳහැරීම, සුභරතා යනුවෙන් හැඳින්වෙන පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකු බවට පත්වීම, විරියාරම්භතා යනුවෙන් හැඳින්වෙන වීර්ය වැඩීම යන ගුණාංග වර්ධනය කරගත යුතු පුරුෂාර්ථ ලෙස දැක්වේ. අල්පේච්ඡතාව ප්‍රගුණ කිරීමත් සමඟම මෙකී උත්තම ගුණයන්ද වර්ධනය වේ. මේ අනුව අල්පේච්ඡතාව ඇතිකර ගැනීම යනු අධ්‍යාත්මික දියුණුවේ දොරටු විවර කරගැනීමකි.

නිවන් සැපත දක්ෂයාටය

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ 
උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත 
මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි
බුද්ධ ධර්මය පුද්ගලයන්ගේ ජීවිතත් සමඟ එකට බැඳී පවතින්නකි. කෙනකුගේ සැබෑ දියුණුව ධර්මය අනුව කටයුතු කරන්නාට ලැබෙන අතර ධර්මයට පිටුපාන පුද්ගලයාට පිරිහීම අත්වෙයි. ඒ බව “ධම්මකාමො භවං හොති ධම්මදෙස්සී පරාභවො” යන පරාභව සූත්‍ර පාඨයෙන්ම පෙන්වා දී තිබේ.
බෞද්ධ ජීවිතය ලෞකික ලෝකෝත්තර දෙකින්ම යුක්ත එකකි. බුදුරජාණන් වහන්සේ තමන් ලොව පහළ වීම ලෝකෝත්තර මග පෙන්වා දීම ප්‍රමුඛස්ථාන කොට ගත්තක් වුවද ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උන්වහන්සේ දුන් උවදෙස් මෙපණයිද කිව නොහැකි තරම් ය. මෙලොව ජීවිත සාර්ථක කර ගැනීම තුළින්ම ලෞකික ලෝකෝත්තර දියුණුව ඇති කර ගත යුතු බව බුද්ධ ධර්මය අනුව කිව හැකි ය. එහෙයින්ම ධර්මය සන්දිට්ඨික, අකාලික, පච්චත්තං වෙදිතබ්බ යන ගුණයන්ගෙන් අනූන ය.
තමන්ගේ ප්‍රගතිය, දියුණුව උදෙසා කෙනෙකු තුළ තිබිය යුතු විවිධ ගුණ 15 ක් කරණීය මෙත්ත සූත්‍රයෙහි දක්වා ඇත්තේ ය. ඒවා සුන්දර ජීවිතයකටත් ලෞකික ලෝකෝත්තර දියුණුව සඳහාත් උපකාර වන බව පෙනේ. මේ ගුණ අතර මුල්ම ගුණය නම් ‘සක්කෝ’ ගුණයයි. සක්කෝ යනු මට පිළිවන්, බැරිකමක් නැහැ යන්නයි. විමුක්තිය ලබනු කැමැති අය විසින් මේ ගුණය අනිවාර්යෙන්ම ඇති කරගත යුතු ය.
සිද්ධාර්ථ තාපසයන් වහන්සේ එදා ඇසළ පුණු පොහෝ දින අනෝමා ගංතෙරදී පැවිදිව, අනතුරුව තමන් බලාපොරොත්තු වන විමුක්තිය ළඟා කර ගැනීමට උපදෙස් ලබා ගැනීම සඳහා ආලාර කාලාම, උද්දකරාම පුත්ත යන ශාස්තෘවරුන් දෙදෙනාම ළඟ වාසය කළහ. එම ශාස්තෘවරුන් තමන් දත් දැනුම් ප්‍රමාණය ප්‍රකාශ කළ පසු සිද්ධාර්ථ තාපයන් වහන්සේ කල්පනා කළේ න ආලාරස්සේව කාලාමස්ස අත්ථි සද්ධාමයිහම්පි අත්ථි සද්ධා ආදී වශයෙන් ආලාර කාලාම ශාස්තෘවරයාට පමණක් නොව මට ද සද්ධා ,විරිය, සති, සමාධි, පඤ්ඤා ඇත. එහෙයින් ඒ ශාස්තෘවරුන් ලත් සමාධිය ලබන්නට මට ද පිළිවන. මම ද දක්ෂයෙක්මි යනුවෙනි. එසේ කල්පනා කොට “සක්කෝ’ ගුණයෙන් පිරිපුන් නිසාම එම ශාස්තෘවරුන් උපදවාගෙන තිබූ අෂ්ට සමාපත්තින් නොබෝ කලෙකින්ම උන්වහන්සේට ද උපදවා ගන්නට හැකි විණි.
පුරාණයේ ජීවනෝපාය 4 ක් තිබිණි. එනම් 1. ගොවිතැන 2. ගව පාලනය 3. වෙළෙඳාම 4. රාජ්‍ය සේවයයි. මේ හැම ක්‍රමයෙන්ම යම් ප්‍රගතියක් දියුණුවක් ලබන්නට නම් ඒ පිළිබඳ මනා හැකියාවක් තිබිය යුතුමය. අනලස් විය යුතුමය. තමන් බලාපොරොත්තු වන පරිදි දියුණුවක් ලබන්නට හැකි වන්නේ එවිටය. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන කරුණු පිළිබඳ හැකියාව තිබීම මෙලොව මෙන්ම පලොව දියුණුවට ද අත්‍යවශ්‍ය වේ. උට්ඨාන සම්පදා – උත්සාහය ආරක්ඛ සම්පදා – උත්සාහයෙන් උපයා ගත් දෙය රැක ගැනීම සමජීවිකතා - ආදායමට සරිලන වියදම් ක්‍රමයක් සකසා ගැනීම, කල්‍යාණ මිත්තතා - කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තමන්ගේ අගුණ දුරු කර ගුණ නුවණ ආධ්‍යාත්මික බාහිර දියුණුවට උපකාර කරන යහපත් මිත්‍රයන් සිටීම, සද්ධා සම්පදා - ශ්‍රද්ධා සම්පත්තිය, තෙරුවන් කෙරෙහි ඇති පිරිසුදු ඇදහීම මෙන්ම ආත්ම විශ්වාසය ඇති කර ගැනීමේ හැකියාව මෙලොව පරලොව දියුණුවට තිබිය යුතු මය. එමෙන්ම සීල සම්පදා කය, වචනය සංවර කිරීමේ හැකියාව, කායික දෝෂ වාචසික දෝෂ දුරු කිරීම, වාග සම්පදා – තමන් උපයන යමක් වේ නම් එය දත්වාච භුත්වාච යනුවෙන් වදාළ පරිදි තමන්ටත් අනුන්ටත් පරිභෝගය සඳහා යෙදවීමේ හැකියාව හෙවත් පරිත්‍යාගශීලී ස්වභාවය ප්‍රගතියට උපකාරී වේ. එසේ උපයන දේ බෙදා ගැනීමේ දක්ෂකම කෙනෙකුගේ දිවි මඟ දියුණුව කරා ගෙන යාමට උපකාර වේ. පඤ්ඤා සම්පදා – කටයුතු කිරීමේ දී නුවණින් විමසා බලා කටයුතු කිරීමේ හැකියාව දක්ෂකම මනාව තිබිය යුතු ය. නුවණත් උත්සාහයත් තිබේ නම් ඉතා සුළු මුදලකින් වුව දියුණු වන්නට පිළිවන් බව චුල්ල සෙට්ඨි ජාතකයෙන් පෙන්වා දී ඇත. එහෙයින් ප්‍රජාව ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුවට ද අත්‍යවශ්‍ය ම අංගයකි. අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන නාථකරණසූත්‍රයෙහි එන කරුණු දසය සනාථව විසීමට වුවමනා කරන ඒවා ය. එම ගුණ ධර්ම වැඩීම තුළින් ලොව ලොව්තුරා දියුණුව ලබන්නට පිළිවන් වේ. ඒ ගුණ ධර්ම දක්ෂවීම නාථ භාවය ඇති කරන්නකි. මජ්ක්‍ධිම නිකායේ රථ විනීත සූත්‍රයේ එන විසුද්ධි ධර්ම 7 ලෝකෝත්තර මාර්ගයට නිවන් මඟට යොමු කරවන ධර්ම 7 කි. ඒ එක් එක් ධර්මයක පිරිපුන් බවත් දක්ෂ බවත් නොලබා අනතුරු විසුද්ධියක් ඇති කර ගන්නට නොහැකිය. ඒ අනුව ‘සීල විසුද්ධි යාව දෙව චිත්ත විසුද්ධ කථා’ සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා පමණි. (චිත්ත විසුද්ධිය (සමාධිය) ලබාගැනීමට සීල විසුද්ධිය, සීලයෙන් පිරිපුන් වීම ඒ පිළිබඳ හැකියාව අවශ්‍යමය.)
දිට්ඨ විසුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි, පටිපදාඤාණදස්සන විසුද්දී, ඤාණදස්සන විසුද්ධි යන අනෙකුත් විසුද්ධි ධර්ම ද එක් එක් විසුද්ධිය පිළිවෙළින් අනෙක් විසුද්ධීන්ට පාදක වේ. ත ආයතකෙන අඤ්ඤාපට්බොධො මැඩියා පැන පැන යන්නා සේ පිළිවෙළින් ගොස් නිවන් අවබෝධ කළ නොහැකිය. සීල පරිභවිතො සමාධි මහප්ඵලා හෝති මහානිසංසෝ සමාධි පරිභවිත පඤ්ඤා මහප්ඵලා හෝති මහා නිසංසෝ පඤ්ඤා පරිභවිතං චිත්තං සංවදේව අසෙවති විමුච්චති සීලයෙන් වඩන ලද පුරුදු කරන ලද සමාධිය මහත්ඵල මහානිසංස වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිසංස වේ. ප්‍රඥාවෙන් වඩන ලද සිතකාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ආශ්‍රවයන්ගෙන් මනාව මිදී නිවන් අවබෝධ කෙරෙයි. එබැවින් මේ ත්‍රිශික්ෂා පිළිබඳව හැකියාව දක්ෂකම පිරිපුන් බව පිළිවෙළින් ඇතිකර ගැනීම නිවන් මඟ සඳහා තිබිය යුතුම ය.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් විසින් ලියන ලද මෙම ලිපිය 2001.05.07 වනදා බුදුසරණ පුවත්පතෙහි පළ වු වකි.

සිත යොමු කළ යුත්තේ කුසලයටය

ශාස්ත්‍රපති, 
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

බුදුදහම සෑම විටම මුල් තැනක් ලබා දී තිබෙන්නේ දිවි රැක ගැනීමට බව අප පසුගිය කලාපයකින් කතා කළා. එසේ වුවත් දිවි රැක ගැනීමට යැයි පවසා අනෙක් අය පරයා ඔවුන් නසා දමා හෝ දිවි ගෙවීම බුදුදහම අනුමත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා කිසිදු හේතුවක් මත අප විසින් නොකළ යුතු වෙළෙඳාම් පහක් ඇති බවට.
බෞද්ධයන්ට මේ නොකළ යුතු වෙළෙඳාම් අලුත් දේ නෙමෙයි.
මස් පිණිස සතුන් ඇති කරන්න එපා. මස් මාංශ වෙළෙඳාම් කරන්න එපා. වස විස අලෙවි කරන්න එපා. මත් වතුර අලෙවි කරන්න එපා. අවි ආයුධ වෙළෙඳාම් කරන්න එපා. ආදී වශයෙන් නොකළ යුතු පංච වෙළෙඳාමෙන් වෙන් විය යුතු බවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ සියල්ලම අපගේ ලෞකික ලෝකෝත්තර ගමන් දෙකටම බාධා පමුණුවන නිසයි.
නමුත් ලෝකයේ බොහෝ දියුණු රටවල ආර්ථිකය වී ඇත්තේ මේ නොකළ යුතු කර්මාන්තයන් බවත් අපට පෙනෙන්නට තිබෙනවා. ඇතැම් පිරිස් පවසන්නේ බෞද්ධයන් මේ නිසා දුප්පත් වී සිටින බවයි. ඒ කාරණයේ යම් සත්‍යතාවයක් තිබෙන්නට පුළුවන්. නොකළ යුතු මේ වෙළෙඳාම් සියල්ල කරානම් එක් රැයකින් විශාල ධනවතෙක් වීමට පුළුවන්. එක රැයකින් ත්‍රිරෝද රථයක් ගන්න පුළුවන්.
ඌරන් ඇති කර, මස් පිණිස හතර පස් දෙනෙක් වික්කොත් හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්. ගව පට්ටියක් වික්කොත් පොඩි වාහනයක් ගන්න පුළුවන්. කුකුල් කොටුවක් වික්කත් එහෙමයි. එළුවන් රංචුවක් වික්තත් එහෙමයි.
නමුත් එහෙම මස් පිණිස සතුන් අලෙවි කරනවා නම් වාහනය පසු පස අප සඳහන් කරගෙන යා යුතුයි. අත හිත ගවයාගෙන් නැත්නම් අත හිත ඌරාගෙන් එහෙමත් නැත්නම් අත හිත කුකුළාගෙන් යනුවෙන් තමන්ට ඒ සඳහා උපකාරී වූයේ කවුදැයි යන්න. නමුත් බෞද්ධයන් දුප්පත් වී ඇත්තේ ධනයෙන් මිස ගුණ ධර්මවලින් නෙමෙයි. අප මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මේ පංචවිධ වෙළෙඳාමෙන් සිදුවන අකුසලයේ කිසිදු අඩුවක් වන්නේ නැති බවය. මේ නොකළ යුතු වෙළෙඳාම් සිදු කර තමන් විසින්ම එය සාධාරණය කරගත්තාට කිසිදු ඵලයක් නැහැ. මම මේ දේ කරේ අම්ම තාත්තාට යුතුකම් ඉටු කරන්න. අඹු දරුවන් පෝෂණය කරන්න, මගේ පුතා ඉංජිනේරුවරයෙක් කරන්න, නීතිඥවරයෙකු කරන්න යනුවෙන්. මේ කිසිවකින් තමන්ට නිදහසක් ලැබෙන්නේ නැහැ. ඇස්කිමෝවරුන්ට සීල් මත්ස්‍යයන් ආහාරයට ගෙන බෞද්ධයන් ලෙස ජීවත් විය හැකි බව අප පැවසුවේ ඔවුන්ට උපතින්ම උරුම භූමියේ ඔවුන්ට කල හැකි එකම දෙය එය නිසා පමණයි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සැරියුත් මහ රහතන් වහන්සේට දැන ගන්නට ලැබෙනවා තමන් වහන්සේට දන් හැන්දක් හෝ පිළිගන්වන ලද බ්‍රාහ්මණයෙක් මිය යාමට ආසන්න බව. උන්වහන්සේ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කරනවා. උන්වහන්සේ බ්‍රාහ්මණයාගෙන් විමසනවා ‘ඔබ රාජ්‍ය සේවයේ නිරත වුණා නේද’?
‘එහෙමයි ස්වාමිනි, මම රාජ්‍ය සේවයේ නිරත වුණා.’
‘එම සේවා කාලය තුළදී ඔබ වැරැදි කළාද?’
‘එහෙමයි ස්වාමිනි, මම වැරැදි රැසක් කළා. එහෙත් ඒ සියල්ල කළේ රජු නියම කරපු නිසයි’
‘ඊට අමතරව තවත් හේතු තිබුණා?’
‘එහෙමයි ස්වාමිනි, මගේ මව පියා පෝෂණය කරන්න මම වැරැදි කරා, අඹු දරුවන් පෝෂණය කරන්න වැරැදි කළා.’ ‘බමුණ ඔබ හොඳින් ධර්මය ගැන දන්නවා. ඔබ දන්නවාද ඒ වැරැදි කළ අය මරණින් මතු යන්නේ කොතැනටද කියා.’ එහෙමයි ස්වාමිනි, යමපල්ලන් විසින් මා ඇදගෙන යයි’
‘ඔබ විසින් වැරැදි කළේ මව පියා රකින්න යැයි පැවසුවහොත් අඹු දරුවන් රකින්න යැයි පැවැසුවහොත් ඔවුන් ඔබ නිදහස් කරයිද?’
‘නැත ස්වාමිනි, ඔවුන්ට අවශ්‍ය වන්නේ මා කළ වැරැදි පමණයි.’
එසේනම් ඔබම පිළිගන්නවා කිසිවකුට පව්කම් කරන්න අයිතියක් නැති බව, බමුණ, ඔබ මේ විදිහට හිත හදා ගන්න මම අනාර්ය පර්යේෂණයි’ ජීවත්ව සිටින්නට මට මේ දේ කරන්න වුණා. ගිහියෙක් වූ නිසා මට ඒ දේ කරන්න වුණා. මම විවාහ වූ නිසා ඔවුන් රකින වුණා.
ඒ සමඟම උන්වහන්සේ ආර්ය පර්යේෂණය ගැනත් බමුණාගේ අවධානය යොමු කළා. බමුණ ආර්ය පර්යේෂණයේ තමයි අප ගමන් කරන්නේ. ආර්ය පර්යේෂණයේ රැකී රක්ෂා නැහැ. සම්බාධක නැහැ. ආවාහ විවාහ නැහැ.
ඒ ගැන අවධානය යොමු කළ බමුණා මිය යාමෙන් පසුව දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවා. ඒ සැරියුත් මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීම නිසයි. මෙයින් අප වටහා ගත යුත්තේ කිසිවකුගේ නියෝග නිසා ඔබට පවු කරන්න, වැරැදි කරන්න අයිතියක් නැති බවයි. නමුත් ඔබ කළ දේට වඩා ඔබ සිදු කළ කුසලකර්ම මත සිත පිහිටුවන්න පුළුවන් නම් ඒ මතින් ඔබට පිහිටක් ලබන්නට පුළුවන්. යහපත තුළ පිහිටා තමන්ට හොඳ ස්ථානයක උප්පත්තිය ලබා ගැනීමට එය ජනක කර්මයක් කර ගැනීමට පුළුවන්. අකුසල කර්ම ඇත්නම් ඒ සියල්ලත් ඔබ පස්සෙන් පැමිණෙනවා. නමුත් ධර්මය යථාර්ථවාදීව නිසි ලෙසින් අවබෝධ කර ගත්තොත් ඒ අකුසලයන් අහෝසි කර්ම බවට පත් කර ගැනීමට ඔබට පුළුවන්. බුදුදහමේ ඇති විශේෂත්වය, හරය වන්නේ එයයි.
ව්‍යාපාරයක් මඟින් විශාල පිරිසකට රැකියා ලැබෙනවා කියා අප පෙර කීවාක් මෙන් සිදු නොකළ යුතු කර්මාන්තයන්ගේ නියැළෙන්න අපට හැකියාවක් නැහැ. කුකුළු ව්‍යාපාර පවත්වාගෙන ගොස් එම අකුසලයන්ගෙන් මිදෙන්න බැහැ. සතුන් බලා ගන්න දහසකට රැකියා ලබා දී එමඟින් ඒ පිරිස්හි දරු පවුල් රැකුනු බව සිතා හෝ එම ව්‍යාපාරයේ නියැළෙන පිරිස් හට රියැදුරු වශයෙන් රැකියා ලබා දී හෝ එමඟින් සෙත සැලසුණු බව සිතා හෝ තමන්ට එම අකුසලයන්ගෙන් මිදෙන්න බැහැ. අකුසලයන්ගෙන් හතෙන් එකක් මෙලොවදීම විපාක දෙන බව ධර්මයේ පැහැදිලිව සඳහන් වනවා.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ තමන් ජීවත් වන තුන් කාලයෙන් එක් කාලයක් හෝ අකුසල කර්මයන්ගෙන් ඈත් විය යුතු බවයි. යම් අයෙක් මෙය වරදවා වටහා ගන්නට පුළුවන්. එසේනම් තමන්ට හැකියාවක් නොමැති කාලයේ සතුන් මරා මාංශ අලෙවි කළාට කමක් නැද්ද? අවි ආයුධ වෙළෙඳාම කමක් නැද්ද? වස විෂ වෙළෙඳාම මඟින් එසේ කිරීමෙන් අකුසලයක් සිදු නොවේද? මිනිසුන් රවටා ඒජන්සිකරුවන් මඟින් ඔවුන් රට රැකියා පිණිස යවා අතරම් කිරීමෙන් තමන්ට අකුසලයක් සිදු නොවේද?
එසේත් නැත්නම් මෙච්චර කාලයක් මම මේ කරන ලද මාංශ වෙළෙඳාම දැන් ඉතින් කුමන හේතුවක් නිසා නවතා දමන්නද? ජීවත් වෙන ඉතිරි කාලයේත් එයම කර කීයක් හෝ සොයා ගන්නවා යන වැරැදි මත බොහෝ අය තුළ තිබෙන්නට පුළුවන්. ඒත් අප කළ යුත්තේ අවසාන කාලයේ නැත්නම් අවසන් මොහොතේ හෝ කුසල පක්ෂයට බර වීමයි. අකුසල පක්ෂයට කිසිසේත් බර නොවී කුසල පක්ෂයට නිරතුරුවම සිත යොමු කරනවා විනා තමන්ගේ සිත රවටමින් කටයුතු කිරීම මඟින් වන්නේ ලෞකික හෝ ලෝකෝත්තර දිවි මඟට බාධාවීම පැමිණීම පමණයි. අවසන් කාලයේ හෝ අවසන් මොහොතේ හෝ තම සිත කුසල කර්ම සඳහා යොදා ගත් මට්ටකුණ්ඩලී හා ජේතවනාරාමය අසල සිටි වුන්දකර්මාර පුත්‍රයා මේ සඳහා හොඳම උදාහරණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

කිසිදා සිදුවීමට අවකාශ නැති කරුණු


1. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් නිත්‍ය යැයි ගැනීම.

2. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් සුඛ වශයෙන් ගැනීම.

3. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් ආත්ම වශයෙන් ගැනීම.

4. සෝවාන් පුද්ගලයා මවගේ ජීවිතය තොර කිරීම.

5. සෝවාන් පුද්ගලයා පියාගේ ජීවිතය තොර කිරීම.

6. සෝවාන් පුද්ගලයා රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොර කිරීම.

7. සෝවාන් පුද්ගලයා දුෂ්ට වූ සිතින් (දුට්ඨෙන චිත්තෙන) තථාගතයන් වහන්සේගේ ලේ සෙලවීම.

8. සෝවාන් පුද්ගලයා සංඝයා භේද කිරීම.

9. සෝවාන් පුද්ගලයා වෙනත් සමයක්, වෙනත් ශාස්තෘවරයෙක් පිළිගැනීම.

මෙම කරුණු නවය දිට්ඨිසම්පන්නෝ පුග්ගලො යනුවෙන් මාර්ග දෘෂ්ටියෙන් යුතු සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ ආර්ය මාර්ගයට බැසගත් පුද්ගලයකු අතින් කිසිදා සිදු නොවේ. එනමුත් මෙම කරුණු ප්‍රථුජ්ජනො පුහුදුන් පුද්ගලයා වෙතින් සිදුවිය හැකි ය. (ඨානමෙතං විජ්ජති) මෙහි අංක 4 – 9 එන කරුණු 6 සෝවාන් පුද්ගලයා අතින් සිදුවීමට අභව්‍ය බව රතන සූත්‍රයේ ද කියැවේ. (ඡචාභිඨානානි අභබ්බො කාතුං)

10. එකම ලෝකධාතුවක පෙර පසු නොවී (අප්‍රබ්බං අචරිමං) එකවිටම සම්බුදුවරු දෙදෙනෙක් පහළ වීම කිසිදා සිදු නොවේ.

11. එක ලෝක ධාතුවක එකවිට සක්විති රජවරු දෙදෙනෙක් කිසිදිනක පහළ නොවේ.

12. ස්ත්‍රියක් අර්හත් සම්මා සම්බුද්ධත්වයට පත්වීම කිසිදා සිදුනොවේ.

13. ස්ත්‍රියක් සක්විති රජකමට පත්වීම කිසිදා සිදු නොවේ.

14. ස්ත්‍රියක් ශක්‍ර දේවේන්ද්‍ර බව කිරීම කිසිදා සිදු නොවේ. (සක්කත්තං)

15. ස්ත්‍රියක් මාර බව කිරීම කිසිදා සිදු නොවේ. (මාරත්තං)

16. ස්ත්‍රියක් බ්‍රහ්ම බව කිරීම කිසිදා සිදු නොවේ. (බ්‍රහ්මත්තං) 

දෙලොව ප්‍රගතිය

බිබිල යල්කුඹුර 
ශි‍්‍ර විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය 
පදියතලාවේ ඤාණවිමල හිමි
බුදු දහම තුළින් ලොවෙහි ප්‍රතීයමාන වන සෑම කරුණක් පිළිබඳව නිවැරදි වූත් විශ්වාසදායී වූත් කරුණු අන්තර්ගත බව නිසැකවම පිළිගැනීමට බඳුන් වූවකි. ති‍්‍රපිටකය පරිශීලනය කිරීමෙන් මෙකී කාරණාවන් මනාව අවබෝධ කර ගැනීමට අපට හැකි වන්නේය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම උගත් බුද්ධිමත් මිනිසුන් සඳහාම ය. නිවන් අවබෝධ කර ගැනීම පිණිස වෙහෙසෙන සත්පුරුෂයන් උදෙසාම ය. මෙහිදී නිරන්තරවම පෙන්වා දී ඇත්තේ පුද්ගල ප්‍රගතිය කරා ළඟා වීමේ ඇති වැදගත්කමයි.
ප්‍රගතිය යන වචනයේ ඇසූ පමණින් අපට හැඟී යන කරුණක් නම්, අපට දැනෙන දෙයක් නම් තමන් යම් විදියකින් උසස් බවක් හෝ දැන් සිටිනා තත්ත්වයෙන් ඔබ්බට ගොස් සංවර්ධනයක් ඇති කර ගැනීමයි. මෙකී කරුණේදී අපට තවත් හොඳින් අවබෝධ කර ගැනීමට හොඳ ම අවස්ථාවක් නම් භෞතික පරිසරයේ ඇති සංවර්ධනයේ ස්වරූපයයි. කෙසේ නමුත් ප්‍රගතිය යන වදනයේ අර්ථය අවබෝධ කර ගැනීම එතරම් අපහසු වන්නේ නැත. කෙසේ නමුදු පුද්ගලයා ප්‍රගතිය කරා ළඟා වීමේ දී බුදුසමය අනුව කෙසේ දායකත්වයක් ලබා දෙන්නේ දැයි විචාරීම මේ ලිපියේ අපේක්ෂාවයි.
බුදුදහමට අනුව පුද්ගල ප්‍රගතිය කරා යාමේදී අංශ දෙකක් පිළිබඳ අවධානය යොමු කළ යුතුවේ. එනම්, මානසික අංශය හා භෞතික අංශය යනුවෙනි. මේ අංශ දෙකම සම්පූර්ණ වූ විට සාර්ථක ප්‍රගතියක් ළඟා කරගත හැකිවන්නේ. බුදුසමයේදී මෙකී කරුණු දෙකින් එක් කරුණක් පමණක් ප්‍රශංසා කරන්නේ නැත. උභයාංශයම ආවරණය කළ යුතු බවයි. එයින් ප්‍රකට කෙරෙන්නේ. ප්‍රගතිය යනු තමන් වර්තමානයේ සිටින තත්වයෙන් මිදී යම් දියුණුවක් ළඟා කර ගැනීමේ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා මෙය ඉතාමත් බැරෑරුම් ක්‍රියාවක් ලෙස මුලින්ම අප අවබෝධ කරගෙන සිටිය යුතුවේ. මෙකී කරුණේදී බුදුහිමියන් පෙන්වා දෙන වැදගත්ම කාරණාවක් වන්නේ අලුත් දේ ගැන නිර්මාණශීලිත්වයක් නැති පුද්ගලයාට ලෙහෙසියෙන් පහසුවෙන් ප්‍රගතිය කරා ළඟා වීමට නොහැකිවන බවයි.(නාචිත්තයන්තෝ පුරිසෝ විසේසමධිගච්ඡති) එනම් මෙහිදී අප අවබෝධ කරගත යුතු මූලිකම කාරණාව වන්නේ නිරන්තර ව අලුත් දේ පිළිබඳ සිතීම නිර්මාණශීලිව යමක් කිරීමටත් නොපසුබට උත්සාහයෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි. අප ජීවත් වීමේ දී නොයෙක් දෑ උපයා ගැනීමට වෙහෙස මහන්සි ගන්නා අතර ඇතැම් විට අපට නොදැනුවත්වම අලසකම, කම්මැලිගතිය ඇතිවීමට පුළුවන. නමුදු මේ හේතුව නිසාවෙන් ම අප ප්‍රගතිය ළඟා කර ගැනීම වෙනුවට පරිහානිය කරා ළඟා වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි ය.අප ස්වාධීන පුද්ගලයින් ලෙසත්, මානව පවුලේදී සාමාජිකයින් ලෙසත්, සමාජයේ දී එයට අනුගත පිරිසක් ලෙසත් ක්‍රියා කිරීමේදී අපෙන් එකී පිරිසට ඉටු විය යුතු දෑ බොහෝය. මෙහිදී මුලින්ම තමා පිළිබඳව සිතා තමාගේ අභිවෘද්ධිය පිණිස කැපවන්නාක් මෙන්ම අනෙකුත් අංශයන්හි දියුණුවට ද එසේ කැපවීමෙන් ක්‍රියා කළ යුතුවේ. මෙකී කාරණාවන් සඵල කරගැනීමේදී සිතට කාවදින විවිධ සිතුවිලි ධාරාවන් නිසා එකී කර්තව්‍ය නිසි ලෙස ඵල දැරීමට නොහැකි වීමටද හැකිය. දැන් ශීතලයි.දැන් ඌෂ්ණයි. දැන් නිදිමතයි. දැන් බැහැ ආදි ලෙස සිතා කළ යුතු දෑ පසුවට කල් දැමීම තමාගේ මෙන්ම සමාජීය ජීවිත විනාශයට , පරිහානියට ඇද දමන සංකල්පයන් ය. සංවර්ධනයක් අපේක්ෂා කරන්නන් මෙකී සිතුවිලිවලින් මිදී උත්සාහය, වීර්යය, අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුතුවේ.
එසේ නොකර ඉහත සඳහන් කළ අයුරින් සිතා නිෂ්ක්‍රීයව සිටින්නේ නම් තමන් සිතුවත් ප්‍රායෝගික ව එහි නොයෙදීම මත ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වන්නේ නැත. අප නිසඟයෙන් අත්පත් කරගන්නා මෙන්ම අපගේ විභව ශක්තියෙන් පහළ වන්නා වූ ඇතැම් හැකියාවන් අපට හොරා අපේ හදවතේ ළැගුම් ගෙන සිටී.අපගේ ක්‍රියාත්මක වීම මත ඒවා නිවැරදිව තෝරා බේරා ගෙන නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කිරීම මගින් ප්‍රගතිය උදා කර ගැනීමට හැකිවනු නො අනුමානය. මෙකී කරුණු සාධනයෙහි ලා බුදුහිමියන් විසින් අප ක්‍රියා කළ යුතු අන්දම විවිධ සූත්‍ර දේශනාවන් ඔස්සේ සඳහන් කර ඇත. එහිදී අතිශයින්ම වැදගත් සූත්‍ර දේශනාවක් ලෙස කරණීයමෙත්ත සූත්‍රය හැඳින්විය හැකිය. එකී සූත්‍ර දේශනාව තුළින් ගම්‍ය කෙරෙන්නේ අප ජීවිත සාධනයේදී අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් සමුදායක් පිළිබඳවය. මෙහි කරණීය යනුවෙන් පෙන්වා දෙන්නේ කළ යුතු, සිහිකළ යුතු ධර්මතාය. එහිදී අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා වැඩීම පෙන්වා දිය හැකිය. එවිට අපට නිසැක වශයෙන්ම මතකයට එන කරුණක් නම් අප නොකළ දෑ මොනවාද යන ප්‍රශ්නයයි. එහි දී අකරණීය ධර්ම ලෙස ශීල විපත්ති, දිට්ඨි විපත්ති හා ආචාර විපත්තිවලින් බැහැරව කටයුතු කළ යුතුය. එලෙසටම මෙහි අත්ත වශයෙන් පෙන්වා දී තිබෙන්නේ පුද්ගල ජීවිතය සංවර්ධනය කරන, පුද්ගලයාට ප්‍රයෝජනවත් හා ඔහුගේ සශ්‍රීකත්වයට තුඩුදෙන කරුණු ය. අත්ත කුසලතාව වර්ධනය කරගනු පිණිස මෙකී සූත්‍රදේශනාව තුළින් ප්‍රකට කර ඇති කරුණු කිහිපයකි. ඒවා මෙසේ පෙළගස්වා දැක්විය හැකිය. සක්කෝ – හැකියාවය (යමක් ඉතා සාර්ථකව කිරීමට ඇති ශක්‍යතාව) උජු – ඍජු බව, අවංක බවසූජූ – ඉතා ඍජු බව, ඉතා අවංක බව සුවචෝ – කීකරුකම මුදු – මෘදු හිතැති කෙනෙක් වීම අනතිමානි – නිහතමානි ගතිගුණයෙන් යුක්ත වීම සන්තුස්සකෝ – ලද දෙයින් සතුටු වීමේ හැකියාව සුභරෝ– පහසුවෙන් පෝෂණය කළ හැකි බව අප්පකිච්චෝ – අල්පකෘත්‍ය බව, ජීවිතය පැවැත්මට අදාළ කරුණු ඉටුකිරීම සල්ලහුකවුත්ති – සැහැල්ලු ගති පැවතුම් ඇති බව සන්තින්දාියෝ – ශාන්ති දැමුණු ඉඳුරන් ඇති බව නිපකෝ – තැනට සුදුසු නුවණින් යුක්ත බව අප්පගබ්බෝ – හැඩිදැඩි හෝ අසංවර ගතිවලින් මිදුණු අයෙක් වීම කුලේසු අනනුගිද්ධෝ – හිතමිතුරු පවුල්වල නිතර, නිකරුණේ හැසිරීමෙන් වළකින්නෙක් වීම
ඉහත සඳහන් කළ කරුණු අනුගමනය කිරීම මත සැබැවින්ම කුසල පක්ෂයට නැඹුරු සිතක් ඇති කර ගැනීමට හැකිවනු නො අනුමානය. එය තමාගේ භෞතික අංශය වර්ධනය කර ගැනීමට පමණක් නොව මානසික අංශය හෙවත් ආධ්‍යාත්මික අංශයද දියුණුවට හේතු වන්නා වූ කරුණකි. මීට අමතරව ප්‍රගතිය කරා ළඟා වීමේදී පිළිපැදිය යුතු වැදගත් ක්‍රමවේදයක් ද දහමේ සඳහන්ව ඇත. එය විශේෂයෙන්ම ළඟා වන්නේ උත්සාහය යන කාරණාව විෂයයෙහිය . එනම්. ආරම්භක ධාතු– යමක් ආරම්භ කිරීමට නික්ඛම ධාතු – ඉදිරියට කරගෙන යෑමට පරක්කම ධාතු– බාධක මැඬගෙන ඉදිරියට යෑමට ථාම ධාතු –බලවත් වීර්යයෙන් යුතුව කටයුතු කිරීමට ඨිති ධාතු – ස්ථාවරව සිටීමේ හැකියාව උපක්කම ධාතු – උපක්‍රමශීලි වීම
යන කරුණු අතිශය වැදගත් වේ. අප සමහර විට යම් ක්‍රියාවක් ආරම්භ කිරීමට බොහෝ සෙයින් උත්සාහවත් වේ. අපට වැටහෙන අප දන්නා කරුණ නම් යමක් ආරම්භ කිරීමට ඇති අපහසුතාවයි. එසේ වුවද ඉතා සාර්ථකව ආරම්භ කළ ක්‍රියාවක් වුවද නිසි ක්‍රමවේද භාවිත නොකිරීම මත විනාශයට හා පරිහානියට ලක් වීමට ඉඩ ප්‍රස්ථාව වැඩිය. මේ නිසාවෙනි බුදුදහමේ දී ඉහත සඳහන් කළ උත්සාහවත් වීමේ අවස්ථා රැසක් පෙන්වාදී ඇත්තේ. උත්සාහයකින් තොරව යහපත් ජීවිත ගමනක් නොමැති බව අප විශේෂයෙන් ම තේරුම් ගත යුතුය. බුදුදහමේ දී යහපත් කටයුතු සඳහා ද උත්සාහවත් වීමේ අගය නිරන්තර පෙන්වා දී ඇත්තේ මෙකී කරුණ නිසාවෙනි. මුලින් සඳහන් කළ පරිදි අප වැඩිපුර ම වෙහෙසන්නේ අපගේ භෞතික පක්ෂය ස්ථාවර කර ගැනීමට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. නමුදු එය පමණක් නොව මානසික පක්ෂය ද ස්ථාවර කර ගැනීමට වෙහෙසිය යුතුය. මක් නිසාද ?යත් එක් පක්ෂයක් පමණක් දියුණු කර ගැනීම බුදු දහමට අනුව සාර්ථක ජීවිතයක ලක්ෂණයක් නොවන නිසාවෙනි. මෙකී කාරණාව බුදුහිමියන් ද්විචක්ඛු සූත්‍රයේදී පෙන්වා දී ඇත. එහිදී අංශ දෙකම සමබරව පවත්වා ගෙන යෑමට කටයුතු කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.
මිනිසත් බව ලැබුවාවූත් විරාගීව හැසිරෙන උතුමන් හැරුණු විට අන් සියලු දෙනාම සමාජය සමඟ ජීවත් වන්නන්ය. ඔවුන්ට සමාජයෙන් ඈත්ව හුදෙකලා ජීවිත ගෙවීම සුදුසු වන්නේවත් එසේ කිරීමට හැකිවන්නේවත් නොවේ. බුදුදහම ද විරාගි දර්ශනයක් මත පදනම් වුවද පුද්ගලයාගේ මෙලොව දියුණුව පිළිබඳ ව දක්වා ඇත්තේ අඩු තක්සේරුවක් නොවේ. මෙලොව දියුණුව සඳහා නම් ආර්ථිකය සාරවත් කර ගත යුතුය. හොඳ ආර්ථික සමබරතාවයකින් තොරව යහපත් ජීවිතයක් ගත කිරීම උගහටය. ඒ නිසාවෙන් විවිධ සූත්‍ර දේශනා ඇසුරින් ආර්ථික දියුණුව ළඟා කරගන්නේ කෙසේද ?යන්න දේශිතය. ධනය උපයාගත යුතු අන්දම,උපයාගත් පමණින් සියල්ල සම්පූර්ණ නොවන බවය. එය පරිභෝජනයේදී අනුගමනය කළ යුතු පිළිවෙත ආදි දෑ බුදු දහමෙන් පෙන්වා දෙන්නේ ධනය අත්පත් කරගත් පසු අප බොහෝවිට වැරදි මාවත් ඔස්සේ ගමන් කිරීමට වැඩි ප්‍රවණතාවක් ඇති නිසාවෙනි. මෙම කරුණේදී සිඟාලෝවාද සූත්‍රය අතිශය වැදගත් වන්නේ මෙකී ක්‍රමවේදයන් පිළිබඳ ඉතා සාරගර්භ වූ තොරතුරු රාශියක් අන්තර්ගත වන බැවිනි. එහි දී මෙලොව දියුණුව උදෙසා අතිශයින් වැදගත් වන කරුණු 14 ක් පෙන්වා දී ඇත. එනම්.
විශේෂයෙන්ම මෙකී ගුණ ධර්මයන්ගෙන් හීන වීම මත අප නොදැනුවත්වම අපගේ ආර්ථිකය පරිහානියට යෑම වැළැක්වීම නොහැකිය. එනිසාවෙන් මනා සිහියෙන් යුතුව මෙකී කාරණා සාධනය කරගැනීමට වෙහෙසිය යුතුවේ. එය සැබැවින්ම භෞතික අංශයේ ප්‍රගතිය සඳහා ඉවහල් වනු ඇත. ඊට අමතරව අප උපයාගන්නා ධනය දැහැමි ක්‍රමවලින් උපයාගත යුතු වන අතර ඒවා පරිභෝජනය කිරීමේදී ද ප්‍රවේශම් විය යුතුය. එහි දී අප කළ යුතු දෑ පිළිබඳ ව අණන සූත්‍රයෙන් හා පත්තකම්ම සූත්‍රයෙන් පෙන්වා දී ඇත. අණන සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ ද ධනය ඉපැයීම මෙන්ම පරිභෝජනය කළ යුතු අන්දමයි. මෙහි දී පුද්ගලයාගේ පී‍්‍රතියට හේතුවන්නා වූ කරුණු 04 ක් ඇත. කරුණු තුන මෙලොව ජීවිතයේදී ප්‍රගතිය කෙරෙහි බලපාන අතර අවසන් කරුණ මෙලොව වශයෙන් පමණක් නොව පරලොව වශයෙන්ද වැදගත් වේ. මෙකී කරුණු සියල්ලම භාවිතයට ගත් කළ පුද්ගල ප්‍රගතිය උදා කරගත හැකි බව බුදුදහමෙන් පෙන්වා දී ඇත්තේය.
සදහම් සඟරා - Online