ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

තුන් භවය ම ගිනිගත් යකඩ වැටකි

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි 

රත්තරං, රිදී මුතු මැණික්‌ තියෙන තැන බුදුරජාණන් වහන්සේ කියනවා දුක කියලා. ඒ දේවල් නො ලැබෙන කොට දුක නැතුව ඉන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැක්‌කා. ඔය ගින්දරයි ළඟට එන්නේ, ඔය දුකයි ළඟට එන්නේ, ළඟට ගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්‌කා. 

මේ දේවල් අයින් වෙන කොට දුක එනවා කියලා ලෝකය දැක්‌කත්, බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕවා අයින් වෙන කොට දුක නැති වෙනවා කියලයි. ලෝකයා දැක්‌කා පුළුවන් තරම් උදේ ඉඳන් රෑ වෙන තුරුත්, රෑ ඉඳන් උදේ වන තුරුත්, වැඩ කරලා පුළුවන් තරම් මේවා එකතු කරන්න. බුදුරජාණන්වහන්සේ දැක්‌කා උදේ ඉඳන් රෑ වන තුරුත් රෑ ඉඳන් උදේ වන තුරුත් වෙහෙස වෙලා වැඩ කරලා පුළුවන් තරම් මේවායින් මිදෙන්න ඕන කියන එක මාර්ගය හැටියට පෙන්නුවා. මේවායින් මිදෙන්න කිව්වා.

දැන් ඔභ ඔන්න එය හතර ටික ටික හරි ජීවිතයෙන් දකින්න ඕන. ගෙවල් දොරවල්, යානවාහන, ඉඩකඩම්, මිල මුදල්, නො වෙයි, ජාතිය ස්‌වභාවය කොට, ජරාව ස්‌වභාවය කොට, ව්‍යාධිය ස්‌වභාවය කොට, මරණය ස්‌වභාවය කොට ඇති ධර්මතා නේ ද කියලා පෙනුණොත් යම් දවසක පෙනුණොත්, මේ දන්නවා කියන එක නො වෙයි, "පෙනෙනවා" "දකිනවා" කියන එකේ ලොකු අර්ථයක්‌ තියනවා. 

පාරෙ යනකොට සතෙක්‌ ජරා කරපු තැනක්‌, අශුචි ගොඩක්‌ එහෙම දැක්‌කොත් ඒකේ අශුභ බව ඔබට හිත හිතා ඉන්න ඕනෙ ද? එක පාරට ම පෙනෙනවා නේ ද? පෙනීම තියෙන තැන දී අසිහිය නෑ. බැරි වෙලා, වැරැදීමකින් හරි සාක්‌කුවේ දා ගනී ද? හිතලා නො වෙයි බැරි වීමකින් දා ගත්තොත්? දා ගන්න බැරි ද? බෑ. මොකද? "පෙනෙනවා" කියන තැන දී "අසිහිය" කියලා එකක්‌ නෑ. "නෑ, නෑ, මේක අශුභ නෑ, හරි ශුභයි, මේක හොඳයි, සුවඳයි ගන්ඩ ඕනේ" කියලා වචන ටිකක්‌ කිව්වාට කය පස්‌සට අදිනවා. හිතත් පස්‌සට අදිනවා. ඒ මොකද "දකිනවා" කියන මට්‌ටම නිසා. එතකොට "අශුභයි අශුභයි" කියලා, "මේක අශුචි, අශුචි" කියලා ප්‍රර්ථනා කරන්න ඕන ද? හිතන්න ඕන ද? හිතුවත් නැතත්, ප්‍රාර්ථනා කළත් නො කළත්, පෙනෙනවා කියන මට්‌ටම යෙදිලා. 

තිරිසන්ගත සතකුට, රිලවකුට, බල්ලකුට වගේ සතකුට කණ්‌ණාඩියක්‌ දුන්නොත් මොකක්‌ වෙයි ද? ඉදිරියෙන් පේන රූපයට බුරයි ද නැද්ද? බුරනවා. කෑගහනවා නේ ද? ඔබ කණ්‌ණාඩිය දිහා බැලුවහ ම, මූණෙ නේ පවුඩර් ගාන්නේ, ඇයි ඔබ කණ්‌ණාඩියේ පඩුඩර් ගාන්නෙ නැත්තේ? අපි කවදා වත් හිතලා තියනව ද කණ්‌ණාඩියේ තියෙන්නෙ ඡායාවක්‌. මේ මගේ මූණෙ තියන ඡායාවක්‌ මේ වැටෙන්නේ, තියලා හිතලා තියෙනව ද? හිතුවේ නැති වුණාට අපි නුවණින් දකිනවා නේ ද? නුවණ කියන එක යෙදුණහම, ඒකට අනුව හිතන්න වත් ඕනේ නැහැ. තිරිසන්ගත සතා නුවණ නො යෙදුණ නිසයි කණ්‌ණාඩියට පනින්නේ. 

හොඳට දැනගන්න, අපි කණ්‌ණාඩියට පනින්නේ නෑ කියන්නේ, ඒක බලනවත් එක්‌ක ම නුවණ යෙදිලා. නුවණ යෙදෙන කොට ඒ ප්‍රතික්‍රියාව කරන්නේ නැහැ. තිරිසන්ගත සතාට වගේ ප්‍රතික්‍රියාව නැත්තේ ඇයි? නුවණක්‌ ඇති නිසා. අපට "මනුෂ්‍යයා"යි කියන්නේ නුවණ මතයි. ඒකෙන් තමා ඒක වෙන්නෙ. 

ඒ වුණාට දුවා පුතා කියලා අපි පනින්නේ රිලවා කණ්‌ණාඩියට පනිනවා වගේ නේ. මේ අපි පෙනෙන දේට පනිනවා කියලා දන්නව ද? කණ්‌ණාඩියේ පවුඩර් ගානවා වගේ වැඩක්‌ අපි මේ කරන්නේ. 

මනුෂ්‍යයෙක්‌ කණ්‌ණාඩියේ පවුඩර් ගාන්න යන්නේ නැහැ නේ. ප්‍රතික්‍රියා දක්‌වන්නේ නැහැ නේ.

ඒ වගේ රහතන් වහන්සේලාත් මේවා හම්බ වෙන කොට ක්‌ෂණිකව ව දන්නවා දුක කියලා. පනින්නේ නැහැ ඒවාට. හිතන්ඩ වත් ඕනේ නැහැ. නුවණ කියන එක යෙදුණහම අර කණ්‌ණාඩියේ දකින කොට මේ ඡායාව කියලා වෙන් වෙලත් ඉවරයි. හඳුනාගෙනත් ඉවරයි වගේ. හම්බ වෙන කොට ම, සංඛත ධාතුව කියන්නේ, නැත්නම් ලෝකය කියන්නේ "දුකයි" කියන තැනින් මේ තීන්දු තීරණ හැදිල ඉවරයි. එතැනින් එහා ආයෙ ප්‍රතික්‍රියා නෑ. මවයි පියයි අතර සංයෝජන, තාත්තයි දුවයි අතර සංයෝජන, මවුපියන් සහෝදරයන් අතර සංයෝජන මොනවත් ම එතන නැහැ. තියෙන්නෙත් දකින්නේත් "දුක" කියන තැනකිනුයි.

යම් දවසක ඔන්න ඔය මට්‌ටමට ලෝකය දකින්න ඕන. ඒ කියන්නේ දැන් අද අපට පෙනෙන්නේ බණ අහන කට්‌ටියක්‌ ඉන්නවා, හාමුදුරුවෝ බණ කියනවා. මේ එක ම පහන් දැල්ලයි. මෙහෙම ලෝකය තුළ වෙද්දිත්, යටින් දිව යන නුවණක්‌ තියනවා නම් අපිට, මෙතැන තියන්නේ මේ රූපය, මේ වේදනා, සංඤ්ඤා සංඛාරය, නැත්නම් මේ තියන්නේ දුක නේ ද, මේ අපට පෙනෙන්නේ, හම්බ වෙලා තියන්නේ දුකයි. මේ ටික දකින්න පුළුවන්. මේ මොනවා හරි දෙයක්‌ අපි ගත්තා නම් ගත්තේ, දුකයි. ඒ කියන්නේ අපට පෙනෙන්න ඕනේ ගෙවල්, දොරවල්, යාන වහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන කියලා මේ හේතූන් ගෙන් හටගත්ත මේ දේවල් "දුක" හැටියට දකින්න ඕන. ඒ දේවල් ලබාගන්න ලබා ගන්න, එන්නේ දුකයි කියන තැන මනස තියෙන්න ඕන. මේ දේවල් එකින් එක, එකින් එක, අයින් වුණොත්, එදාට මොකද වෙන්නේ? සැපක්‌ එනවා, දුක නැති වෙන බව දන්නවා. 

මේ ලෝකයේ ඇත්තේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන නො වේ, දුකයි කියලා දකින මට්‌ටමට, මේ හේතූන් ගෙන් හටගත්ත දේවල් ලැබීම දුකේ ලැබීමයි කියන තැනට, හටගත්ත දේවලින් මිඳීම දුකෙන් මිදීමයි කියන තැනට මනස ගන්න මේ "සීල සමාධි ප්‍රඥ" කියන ත්‍රිශික්‍ෂාවයි තියන්නේ, කියන එක දැනගන්න ඕන. 

මේ ත්‍රිශික්‌ෂාවේ ගිහිල්ලා, මෙන්න මේ තැනට අපේ මනස පත් කරගන්න එක තමයි නිෂ්ඨාව, කෙළවර කියන්නේ. රහතන් වහන්සේලා මුළු ලෝකය ම දකින්නේ තුන් භවය ම ගිනිගත්ත යකඩ වැටක්‌ වාගෙයි.

"දුක්‌ඛෙ ඥනං" - දුක ගැන හොඳට නුවණ තියනවා.

දුක්‌ඛ සමුදයේ ඥනං - මේ දුක ඇති වන්නේ මෙන්න මෙහෙමයි කියලා දන්නවා. තණ්‌හාව නිසා. ඇයි දුක ඇති වන්නේ තණ්‌හාව නිසායි කියලා කියන්නේ? පහන් දැල්ල දුකයි. ඔය දුක්‌ විඳින්න වෙන්නේ පළඟැටියට මොකක්‌ හින්ද ද? පහන් දැල්ලට තණ්‌හා කරන හින්දයි. පහන් දැල්ල කියලා දැක්‌කොත් තණ්‌හා නො කර ඉන්න බැහැ නේ. පහන් දැල්ල දැක්‌කහම පහන් දැල්ලට තියන තණ්‌හාව නිසයි දුක්‌ විඳින්න වෙන්නේ. තණ්‌හාව නැති වුණොත්, නැති වෙන්නේ මොකට ද, පහන් දැල්ලටයි. පහන් දැල්ලට තණ්‌හාව නැති වුණොත් පනිනවා ද? නෑ. පනින්නේ නෑ. එතකොටයි දුක නැති වන්නේ. ඒ නිසා ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන, දූදරුවන් ගත්තහ ම, අරගෙන තියන්නේ මොකක්‌ ද? දුකයි. එහෙනම් අපි දුකෙන් නො මිදුණේ මොකක්‌ හින්ද ද? තණ්‌හාව නිසයි. 

දුක්‌ඛ නිරෝෙ ඥනං - තණ්‌හාව නැති වුණොත්- කණ්‌හාව නැති වෙන්නේ කොහේ දී ද? ගෙවල් දොරවල්, යානවාහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන, දූදරුවන්ට තියෙන තණ්‌හාව නැති වුණොත් අපි ඒ දේවල් ළඟට ගන්නව ද? රැස්‌ කරනව ද? නෑ. එහෙනම් නැති වෙන්නේ මොකක්‌ ද අපිට? දුක. ඒ නිසයි තණ්‌හාව නිසයි දුක ඇති වෙන්නේ. තණ්‌හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියන්නේ, දුක්‌ දේවලින් මිදෙන්නේ අප එදාට. 

එහෙනම් මනස ඒ වාගේ තැනකට ගන්නයි මේ "සීල, සමාධි, ප්‍රඥ" කියන ත්‍රි ශික්‍ෂාව තියන්නේ. 

නිවනට පිවිසෙන දොරටුව ශ්‍රද්ධාවයි

මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී, 
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය,
ගලගෙදර රතනවංස හිමි

නිවන යනු සියලු කෙළෙසුන් අවසන් වන අවස්‌ථාවයි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්‌සේ ගමන් කොට පියවරෙන් පියවර සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් වශයෙන් ලැබිය යුත්තකි. තම ප්‍රඥවෙන් ලැබිය යුතු එම නිවන් මඟ අවබෝධ කර ගැනීමට වීර්යයෙන් යුක්‌තව කටයුතු කළ යුතුව ඇත. බුදු දහම වනාහි ප්‍රඥවන්තයන් උදෙසා දේශනා කළ එකකි. එයට හේතුව එය අවබෝධ කර ගැනීම එතරම්ම ගැඹුරු වූවක්‌ බැවිනි. බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෝකයාට ධර්මය නොදෙසීමට තීරණය කළේද එහි ගැඹුරු බව හේතුවෙනි. "පඤ්ඤාවන්තස්‌සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්‌ස" යන පාඨයෙන් ඒ බව තහවුරු වේ.

නමුදු පුහුදුන් ලෝකය තුළ ජීවත්වන බොහෝ දෙනෙක්‌ මෝඩයන් හෙවත් පිස්‌සන්ය. "සබ්බේ පුතු-ජනා උම්මත්ථකා" යනුවෙන් සියල්ලෝම පිස්‌සන් බව සනාථ වේ. බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන් හැරුණු කොට සියල්ලෝම වැරදි අඩු පාඩුවලින් අනූනය. සියල්ලෝම කාම ලෝකයේ පිස්‌සන් විලසින් එක එක අරමුණු ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඉච්ඡා භංගත්වයෙන් ජීවත් වෙති. එවැනි ලෝකයකට ගැඹුරු දහමක්‌ දේශනා කිරීමෙන් ඇති ඵලක්‌ නැත. නමුදු බුදු කෙනෙක්‌ නිරන්තරයෙන් උත්සාහ කරන්නේ සංසාර චක්‍රයට හසු වී සිටින අපමණ දුක්‌ විඳින සත්ත්වයා ඉන් මුදවාලීමටය. ඒ සඳහා එකම විසඳුම නිවන අවබෝධ කර වීමයි. එය සෘජුව කර දීමට අපහසු බැවින් පළමුව පුද්ගලයා ඒ සඳහා නැඹුරු වීමේ ආකල්පය ඇති කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා ඇති එකම විකල්පය වන්නේ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමයි.

බුදු දහම වනාහි ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥවෙන් අවසන් වන්නකි. බුදු දහම කිසිම අවස්‌ථාවක භක්‌ති මාර්ගය අගයන්නේ නැත. බුදුන් ලොව පහළ වන යුගය තුළ පැවතියේ භක්‌ති මාර්ගයයි. සර්ව බලධාරී දෙවි කෙනකු අරභයා පුද පූජා යාග හෝම පැවැත්වීම එහි කාර්යයි. අදෘෂ්‍යමාන වස්‌තූන් මූලික කොටගෙන නිවන සෙවූ යුගයක බුදු හිමි ඥන මාර්ගය පෙන්වා දී පරම සත්‍යය වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට මාර්ගය පාදා දුන් ආකාරය ඉතා පැහැදිලිය.

ම.නි. කීටාගිරි සූත්‍රයට අනුව ශ්‍රද්ධාව හා එහි ප්‍රභේද පිළිබඳව දක්‌වා ඇත. ඉහතින් මතක්‌ කළ ආකාරයට සියල්ලෝම ප්‍රඥවන්තයන් නොවන බැවින් ශ්‍රද්ධාව මුල් කොටගෙන බුදු දහම වැළඳ ගැනීම හා නිවනට යන මාර්ගය පාදා ගැනීමට සිදු වේ. ඒ අනුව ශ්‍රද්ධාව ඉතා වැදගත් වේ. ශ්‍රද්ධාව එහි මූල බීජයයි. සැදැහැයෙන් පෙළඹෙන පුද්ගලයා සම්‍යක්‌ දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. පැමිණ සමීපයෙහි හිඳ ගනියි. හිඳ සවන් යොමු කරයි. යොමු කළ සවනින් දහම් අසයි. ඇසූ ධර්මය දරයි. දැරූ ධර්මය අර්ථ පරීක්‌ෂා කරයි. අර්ථ පරීක්‌ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි. එකල්හි ශාසන කාර්යයෙහි කැමැත්ත ඇති වෙයි. එබැවින් උත්සාහ කරයි. උත්සාහය නිසා ත්‍රිලක්‌ෂණ මනසිකාරයට පෙළඹෙයි. එය පධන් වීර්යයට පුද්ගලයාව මෙහෙයවයි. පධන් වීර්යය නිසා නාම කයින් පරම සත්‍යය සාක්‌ෂාත් කරයි. ප්‍රඥවෙන් එය ප්‍රතිවේධ කොට දකියි.

මේ ආදී වශයෙන් ප්‍රඥව අඩු වුවත් ශ්‍රද්ධාව ඇත්නම් ක්‍රම ක්‍රමයෙන් නිවන කරා ගමන් කරනා අයුරු එම සූත්‍රයට අනුව විග්‍රහ වේ. මෙහිදී අප අවබෝධ කරගත යුතු කරුණක්‌ වන්නේ ශ්‍රද්ධාවේ කොටස්‌ දෙකක්‌ ඇති බවත් එයින් ආකාරවතී ශ්‍රද්ධාවම අනුගමනය කළ යුතු බවත්ය. අමූලික ශ්‍රද්ධාව තුළින් සිදුවන්නේ නොවිමසා අවිචාරශීලීව අනවබෝධයෙන් පිළිගැනීමයි. කටයුතු කිරීමයි. නමුත් ආකාරවතී ශ්‍රද්ධාව එසේ නොවේ. එතුළින් විචාරශීලීව සොයා බලා විමසා තර්කානුකූලව බුද්ධිමත්ව ක්‍රියා කිරීමත් ප්‍රසාදයට පත්වීමත් සිදු වේ.

බුදුන් කලද සමහර දෙනකුට අමූලික ශ්‍රද්ධාව තිබූ බැවින් නිවන පවා අවබෝධ කර ගැනීමට අපහසු විය. සැරියුත් හිමි ප්‍රඥවන්තයන් අතර අග තනතුර ලැබීම ප්‍රශංසා කොට ඇති මුත් ශ්‍රද්ධාවෙන් යුක්‌ත වූ වක්‌කලි හිමියන්ගේ ශ්‍රද්ධාව ගැන ප්‍රශංසා කොට නොමැත. එයට හේතුව අධික ශ්‍රද්ධාව නිවනට පවා බාධාවක්‌ වන බැවිනි. ආනන්ද, වක්‌කලී, මේඝිය වැනි හාමුදුරුවරුනට නිවන් ලබා ගැනීම ප්‍රමාද වී ඇත්තේද අධික ශ්‍රද්ධාව තිබූ බැවින් බව පැහැදිලි වේ.

ම.නි. කීටාගිරි සූත්‍රය තුළම ශ්‍රද්ධාව පිළිබඳ තවත් විධිමත් විස්‌තරයක්‌ සිදු කොට ඇත. එම සූත්‍රයට අනුව ශ්‍රද්ධාව විවිධ අංශයන් ඔස්‌සේ විකාශනය වන අයුරු පැහැදිලි වේ. නිර්වාණාවබෝධය උදෙසා වැඩෙන සද්ධා සීල, සුත, චාග පඤ්ඤා යන සම්පත් අතර සද්ධා සම්පදා නමින්ද, සද්ධා විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන් අතර සද්ධා ඉන්ද්‍රිය වශයෙන්ද. ඒ ඉන්ද්‍රියම බල ධර්ම වන විට සද්ධා බල නමින්ද තමාම සුරැකෙමින් පමාවට නොනිසි සද්ධා විරිය හිරි ඔත්තප්ප පඤ්ඤා යන අප්‍රමාදී ධර්මයන් අතර සද්ධා නමින්ද ආදී වශයෙන් දක්‌වා ඇත. ඒ කෙසේ දැක්‌ වුවද කෙටියෙන් අවබෝධ කර ගත යුතු වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥවෙන් අවසන් වන බවයි.

නිවන් දැකීම අසීරු වන්නේ ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වන බැවිනි. සත්ත්වයා සසර දුක්‌ විඳින්නේද එම හේතුවෙනි. එසේ නම් එම ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට පෙර එම ධර්මය දෙසට යොමු වන ශක්‌තිය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ඇති කල පන්සල් යැමට, මල් පහන් පූජා කිරීමට, දන් දීමට, බුදුන් වැඳීමට ආදී ආමිස පූජාවලට නැඹුරු වනු ඇත. එම නැඹුරු වීමේ කෙළවර ප්‍රතිපත්ති පූජාවද සිදු කිරීමට අපහසුවක්‌ නැත. එසේ නම් නිවනට යන ගමන් මගේ සමාරම්භක අවස්‌ථාව නොහොත් දොරටුව ශ්‍රද්ධාව කීවොත් ඉතා නිවැරදිය. එහිදී අමූලික ශ්‍රද්ධාව ඉවත් කොට ආකාරවතී ශ්‍රද්ධාවම ප්‍රගුණ කිරීමට උත්සාහවත් විය යුතුය. එවිට තුනුරුවන් හරහා නිවන් මඟ පෑදෙනු ඇත. අද බොහෝ දෙනකුට තිබෙන්නේ අමූලික ශ්‍රද්ධාවයි. එම හේතුවෙන් තුනුරුවන්ගේ ගුණ පිළිබඳව නිසි අවබෝධයක්‌ නැත. මල් පූජා කළාට එම ගාථාවේ අර්ථය පිළිබඳ අවබෝධයක්‌ නැත. මේ ආදී වශයෙන් අමූලික ශ්‍රද්ධාව තුළින් නිවන් ලැබීම තබා සැබෑ බෞද්ධයකු වීමටද අපහසු වී ඇත.

සමහර ධනවතුන් තමන්ගේ නම බෝඩ් වල ලියා ගැනීමට හෝ තමන්ගේ නම පිරිස මැද කියවා ගැනීමට තරම් බොළඳ වී ඇත. ඒ අය සිදු කරන්නේ නැති බැරි අසරණ දුප්පත් අයට දීමට නොව තියෙන තැනටම දීමය. එයට හේතුව මැණිකෙ, මැතිනිය, මැතිතුමා ආදී වචන පිට වන්නේ ද පටු පරමාර්ථ තිබෙන ලාභ ප්‍රයෝජනම අපේක්‌ෂිත තැන් වලින් වීමය. කිසිම අවස්‌ථාවක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වන අය එම ධනවතුන්ගේ වැරදි අඩු පාඩු හැදීමට උත්සාහවත් නොකරති. අමූලික ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවකට පරිවර්තනය කිරීමට නොයති. එසේ වුවහොත් ඔවුන්ටද මදි පුංචිකමක්‌ කළා කියමින් සිත් අමනාප වෙයිද යන ආකල්පය හේතුවෙනි. යන ආකල්පයෙනි. එවිට ලාභ ප්‍රයෝජන ද නවතිනු ඇත. නමුදු අමූලික ශ්‍රද්ධාවෙන් නම කියා ගැනීමට හෝ නම ලියා ගැනීමට උත්සාහවත් වන එම තැනැත්තියට හෝ තැනැත්තාට උපාදානයෙන් මිය ගොස්‌ සසර තව තවත් දික්‌වී නිවන තබා සෝවාන් වීමටවත් අවස්‌ථාවක්‌ උදා නොවනු ඇත.

මාර්ගඵල ලැබිය හැකි සද්පුරුෂයෝ

ආචාර්ය වල්පොල විමලඤාණ හිමි

බක්කුල රහතන් වහන්සේගේ හා ඇතැම් රහතන් වහන්සේලාගේ ජීවිත මෙන්ම පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතද පශ්චිම භවික වශයෙන් පෙන්වා දී තිබේ. එතුමන් වහන්සේලා කෙසේ හෝ එම ආත්ම භවයේදීම මාර්ගඵලාවබෝධය ලබන්නාහුමය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය වශයෙන් සැලකෙනුයේ අලෝභ, අදෝස, අමෝහ යන හේතුකාරක තුනෙන් යුක්තව උපත ලබන පුද්ගලයෝ වෙති. මාර්ගඵල අවබෝධකිරීමට තරම් කාලපරාශයක් හෙවත් අඩු වශයෙන් කල්ප ලක්ෂයක් තරම් වත් පාරමී ධර්ම පුරා සුදුසු කාලයක් එළඹ තිබේනම් එබඳු ත්‍රිහේතුක පුද්ගලයන්ටත් මාර්ගඵලාවබෝධය කළ හැකිය
කෙනෙකු සිතන පතන අයුරින් ඔහුට මාර්ගඵල ලැබිය හැකි යයි සිතීම අසීරුය. ඒ සඳහා වෙසෙසින් හඳුනා ගත හැකි සුදුසුකම් දෙකක් ඔහු තුළ පිහිටිය යුතුය. එයින් පළමුවැන්න නම් ඔහු “පශ්චිමභවික” පුද්ගලයෙකු විය යුතුය. “පශ්චිමභවික” යනු එකී ජීවිතය තුළම සියලු ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් සසර ගමන නවතා දමන පුද්ගලයාය. එසේ නොමැතිනම් ඒකාන්ත වශයෙන්ම අර්හත් මාර්ගඥානයෙන් සැනසීම ලබන තැනැත්තා වෙයි.
රහත් නොවී ඔහුගේ විනාශවීමක් හෝ විනාශකර දැමීමක් නොවිය හැකියි. බක්කුල රහතන් වහන්සේගේ හා ඇතැම් රහතන් වහන්සේලාගේ ජීවිත මෙන්ම පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතද පශ්චිම භවික වශයෙන් පෙන්වා දී තිබේ. එතුමන් වහන්සේලා කෙසේ හෝ එම ආත්ම භවයේදීම මාර්ගඵලාවබෝධය ලබන්නාහුමය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය වශයෙන් සැලකෙනුයේ අලෝභ, අදෝස, අමෝහ යන හේතුකාරක තුනෙන් යුක්තව උපත ලබන පුද්ගලයෝ වෙති. මාර්ගඵල අවබෝධකිරීමට තරම් කාලපරාශයක් හෙවත් අඩු වශයෙන් කල්ප ලක්ෂයක් තරම් වත් පාරමී ධර්ම පුරා සුදුසු කාලයක් එළඹ තිබේනම් එබඳු ත්‍රිහේතුක පුද්ගලයන්ටත් මාර්ගඵලාවබෝධය කළ හැකිය. එසේ වුවද පශ්චිම භවික පුද්ගයන්ට මෙන් එම ජීවිතයේදීම මාර්ගඵලබෝධය කළ යුතු යයි නිගමනයක් නැත්තේය.මජ්ක්‍ධිම නිකාය අට්ඨකථාවේ හා සාරත්ථදීපණියෙහි මෙසේ දක්නා ලැබේ. ඇතැම් උපනිශ්‍රය ඇත්තන්ටත් බුදුන් වහන්සේ හමුවුවද මාර්ගඵලාදියට අවකාශ නොලැබිය හැකිය. එය තමා කරන්නාවූ දෙයෙහි වරදකින් හෝ පාපමිත්‍ර සේවනයෙහි විපාක වශයෙන් විය හැකිය. දේශක පරිහාණිය සිදුවන්නේ ශ්‍රාවකයන්ගෙන් මිස බුදුන් වහන්සේගෙන් නොවේ. සැරියුත් හිමියන් “ධනංජානී’ බමුණාගේ අදහස් දැන හැදින දහම් දෙසුවේනම් ඔහු සෝවාන් විය හැකිව තිබුණි. ඔහු බණ දෙසද්දී ඉවත්ව ගියේය. එසේම අජාසත් සුදින්න , දෙදෙනාගේ මාර්ගඵල නොවැඩී ගියේ පාපමිත්‍ර සේවනයේ වරදිනි.
මේ කරුණු වලට අනුව මගඵල ලැබිය හැක්කේ පශ්චිම භවික පුද්ගලයෙකුට හෝ කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරූ ත්‍රිහේතුක පුද්ගලයන්ට පමණි. එසේ උපතක් නොලැබූවාවූ සුදුසු අවස්ථාවක් නොලැබූණාවූ කිසිවෙකුට එය ලැබිය නොහැකිය.
ඉහත කී කරුණු සම්පූර්ණ වුවද මාර්ග ඵල ලාභයට ප්‍රදේශ සම්පත්තිය හා කාලසම්පත්තිය ද අවශ්‍ය වේ. එහෙයින් බුදුන් බෝමැඬට නොවඩින්නට බුද්ධත්වය නොලබන බවද සමවත් සමවැදීම අන්තැනකදී නොකළ හැකි බවද කියවේ. බුදුන් දිවමන් කාලයේදී මගඵල ලබනු වස් සෑම යෝගාවචරයෙක්ම එය වැඩීමට සුදුසු තැන් අසා දැනගත් බවද ඒ ඒ පුද්ගලයන්ට නියම කළ ස්ථාන හැර අන්තැනකදී මාර්ගඵල ලැබිය නොහැකි වූ බවද බොහෝ සිදුවීම්වලින් පෙනේ. බුදු,පසේබුදු,මහාශ්‍රාවක උතුමන් උපදින්නේ දඹදිව මධ්‍ය දේශයෙහිම බවද ඉන් බාහිර වූ සක්වලක හෝ දඹදිවින් පිටත් අන් දිවයිනක හෝ නූපදනා බව ධර්ම සාහිත්‍යයෙහි සඳහන් වේ.
සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳගැනීමට පූර්වයෙන් පස්මහ බැලුම් බැලූ බව ප්‍රකටය. “කාලං දිපංච දෙසංච කුලං මාතර මෙවච
කාලය,දීපය, දේශය, කුලය හා මව ඒ පස්මහ බැලුම්වලට අයත්ය. එසේම මෙය සෑම බුදුවරයන් වහන්සේ නමකටම අයත් ධර්මතාවයක් බවද සඳහන් වේ. මෙසේ බුදුන් පහළවීමට නියමිත කාලයක් හා දේශයක් තිබෙනු පෙනේ. මහාශ්‍රාවකයන් උපන්නේද ඒ කාල වකවානුවෙහිමය. බෝධිකාරක ධර්ම හෙවත් බුදු,පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියෙන් කිසිවක් ලැබීමට නැතහොත් මාර්ගඵලවබෝධයට සෑහෙන තරම් කාලයක් පාරමීධර්මපුරා සම්පූර්ණව සිටියද ඊට සුදුසු කාලසම්පත්තිය.ප්‍රදේශ සම්පත්තිය නොලැබනේනේ නම් කොතරම් වෑයම් කළත් ප්‍රාර්ථනා කළත් ඒ උසස් ලෝකෝත්තර තත්වය ලැබීම උගහටය.
වරක් බුදුන් වහන්සේ සුභද්‍ර භික්ෂුව අමතා සුභද්දය, මාගේ ශ්‍රාවකයෝ යම්තාක් කල් ධම්මානුධම්ම ප්‍රතිපත්තිව වෙසෙත්ද, ඒ තාක්කල් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේයයි වදාළහ.
ප්‍රතිපත්තිය තිබෙනතාක් මාර්ගඵල ලැබිය හැකි බව එයින් කියවෙයි. ප්‍රතිවේධයට අවශ්‍ය කරුණු ඇත්නම් පර්යාප්තිය නැතත් එයට බාධාවක් නොමැතිබව ධර්මයට අනුව පෙනේ. මාර්ගඵල ලැබිය හැක්කේ පශ්චිම භවික, ත්‍රිහේතුක පුද්ගලයන් දෙදෙනාට පමණක් බව අප මුලින් පෙන්වා දුනිමු. එයින් පශ්චිම භවික පුද්ගලයා ප්‍රධානය. ස්ථීරය. ඔහු මාර්ගඵල ලැබිය යුතුමය. ත්‍රිහේතුක පුද්ගලයා අප්‍රධානය. අස්ථිරය, මාර්ගඵල ලැබිය යුතුමය යන නිගමනයක් ඔහුට නැත.

යෝනිසෝමනසිකාරයෙන් සෝවාන් වන්නේ කෙසේද?

යෝනිසෝමනසිකාරය (නුවණින් මෙනෙහි කිරීම) සේවාන් අංග 4 න් එක්‌ සෝවාන් අංගයක්‌ ලෙස ස. නි. මහා පඥා සූත්‍රයේ හා වෙනත් සූත්‍රවලද, දී. නි. සංගිති හා දසූත්තර සූත්‍රයන්හිද, අ. නි. චතුක්‌ක නිපාතයේ බහුපකාර සූත්‍රයේ ද පෙටකෝප දේශයේ ද දැක්‌වේ. ඉතිරි අංග 3 සත්පුරුෂ ආශ්‍රය හා සද්ධර්ම ශ්‍රවණය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. යෝනිසෝමනසිකාරය සෝවාන් වීමට කෙසේ උපකාර වේද යනු මෙහි දී විමසා බැලේ.

අංගුත්තර නිකායේ එකක නිපාතයේ ප්‍රමාද වර්ගයේ (10 සූත්‍රය) යෝනිසෝමනසිකාර සූත්‍රයේ මෙසේ වදාරා ඇත. "මහණෙනි මහත් අර්ථය පිණිස පවතින මේ යෝනිසෝමනසිකාරය හා සමාන වෙනත් කිසිදු ධර්මයක්‌ මම නොදකිමි. මහණෙනි යෝනිසෝමනසිකාරය මහත් අර්ථය පිණිස පවතී."
මනසිකාරය

"මනසිකාරය" යනු චිත්ත චෛතසික අරමුණට යොමු කරන ගතිය ලෙස ශ්‍රී සුමංගල ශබ්දකෝෂය පැහැදිළි කරයි. මනසිකාරය නම් "මෙනෙහි කිරීමයි" මනසිකාරය සියලුම සිත්හි යෙදෙන බැවින් සබ්බ චිත්ත සාධාරණය. එනම් සියලුම සිත්වලට සාධාරණය. මනසිකාරයේ ලක්‍ෂණය නම් අරමුණ මෙනෙහි කිරීමයි. යෝගාවචරයා විසින් කමටහන් අරමුණ මෙනෙහි කිරීමයි. යෝගාවචරයාට කමටහන් අරමුණු මෙනෙහි කිරීම සඳහා උපකාර වන්නේ මනසිකාරයයි. නොයෙක්‌ අරමුණු කරා දුවන සිත එයින් වළක්‌වාලනු ලබන්නේ මනසිකාරය විසිනි. සිතත් සම්ප්‍රයුක්‌ත ධර්මත් වුවමනා අරමුණට යොමු කරවනුයේ මනසිකාරයයි. මනසිකාරය අරමුණ සිහි කිරීමක්‌ සිත හා එකිනෙක ගැලපීමක්‌ සිදු කරන්නේය. මනසිකාරය නොමැති නම් අරමුණ වෙන්කර ගැනීමක්‌ සිදු නොවේ. එහෙත් අරමුණ යහපත් අයහපත් වශයෙන් තෝරා ගැනීමට මනසිකාරයට ශක්‌තියක්‌ නැත.

යෝනිසෝමනසිකාරය "නුවණින් මෙනෙහි කිරීම" ලෙස පාලි සිංහල අකාරාදියත් " නුවණින් කල්පනා" කිරීම ලෙස සිංහල ශබ්ද කෝෂයත් අරුත් දේ "නුවණ සමග යෙදී අරමුණ මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරයයි" අභිධර්ම ප්‍රදීපිකාව පැහැදිලි කරයි.

"යෝනිසෝ" යනු "මුල පටන්", "නුවණින්" යනුවෙන් පාලි සිංහල අකාරාදිය පැහැදිලි කරයි. "යෝනි" යනු උත්පත්ති ස්‌ථානයයි. එනම් යමක මූලයයි. හේතුවයි. හේතුවකින් ඵලය ඇති වේ. ගිනි නිපදවීමට කැමැත්තා වියළි දර ගෙන ගිනි නිපදවයි. අමු දරවලින් ගිනි නිපදවිය නොහැක. හරි ක්‍රමය "යෝනි" යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. "යෝනිසෝමනසිකාරය" යනු හේතුඵල වශයෙන්ද පටිච්ච සමුප්පන්න වශයෙන්ද බැලීමයි. යථාර්ථය දැක්‌ම ද, ඇත්ත ඇති සැටියෙන් දැකීම සියලු සංස්‌කාර අනිත්‍ය, දුක්‌ඛ වශයෙන් සිතීම හා මගේය, මමය, මගේ ආත්මය, යන දෘෂ්ටි අත් හැරීම, විපරිණාමය අවබෝධ කර ගැනීම යෝනිසෝමනසිකාරයයි.

ආධ්‍යත්මයෙහි යෝනිසෝමනසිකාරය

" එහි ආධ්‍යාත්මයෙහි යෝනිසෝමනසිකාරය කවරේද යත්, ආධ්‍යාත්මයෙහි යෝනිසෝමනසිකාරය නම් යමෙක්‌ දහම් දෙසන කල්හි බාහිර අරමුණු නොගෙන නුවණින් මෙනෙහි කෙරේද මේ ආධ්‍යාත්මයෙහි යෝනි සෝමනසිකාරය යෑයි කියනු ලැබේ. යම්සේ පුරුෂයෙක්‌ තෙත පහව ගිය වියළි කාෂ්ඨකයෙක මතුයෙහි වියළි උත්තරාණයකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසුවෙයි. කවර හෙයින් ද යත් ගිනි නිපදවීමට කාරණය වන හෙයිනි. එපරිදිම හේ දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ගයේ අවිපරිත ධර්ම දේශනාව මෙනෙහි කෙරෙයි. මේ ආධ්‍යාත්මයෙහි යෝනිසෝමනසිකාරය යෑයි කියනු ලැබේ." පෙටක 2

"අනිත්‍යය අනිත්‍ය වශයෙන්ද, දුක දුක වශයෙන්ද අනාත්ම අනාත්ම වශයෙන්ද මෙනෙහි කෙරේ නම් ඒ පඨමනසිකාරයයි. යොනිසොමනසිකාරයයි. එසේ නියම තතු මෙනෙහි නොකිරීම අයෝනිසොමනසිකාරයයි. (මනසිකාර, යෝනිසෝමනසිකාර යන වචන විසිපස්‌ වතාවකට වැඩියෙන් දේශනා කර ඇති සූත්‍රයකි. මඡ්ජිම නිකායේ සබ්බාසව සූත්‍රය) පංචස්‌කන්ධය හැර මම කියා සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතැයි නුවණින් මෙනෙහි කිරීම, තෘෂ්ණාව තෘෂ්ණාව යෑයි නුවණින් මෙනෙහි කිරීම, ව්‍යාපාද ව්‍යාපාදයයි. නුවණින් මෙනෙහි කිරීම, සියලු සංස්‌කාර අනිත්‍ය දුක්‌ඛ, අනාත්ම වශයෙන් සිතීම හා මාගේය, මමය මගේ ආත්මය යන වැරදි දෘෂ්ටි අත්හැරීම යෝනිසෝමනසිකාරයයි කියමි"

"කුසල් උපදින සේ සුදුසු පරිදි මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරයයි. එනම් ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා නාමරූප ධර්මයන්ගේ ස්‌වභාව, ලක්‍ෂණ වශයෙනුත් ඇති වීම හා නැතිවීම ගැන අනිත්‍ය ලක්‍ෂණාදිය වශයෙනුත් මෙනෙහි කිරීම හා මෙනෙහිකොට දැන ගැනීම යෝනිසෝමනසිකාරයයි. ප්‍රත්‍යක්‍ෂ ඥානය මෝරවා දියුණු කරගත් කල්හි ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් දක්‌නා ලද නාම රූපයන් හා සසඳා මෙනෙහි කරගත හැකිවීම හෝ විනිශ්චය කරන්නට හැකිවීම යෝනිසෝමනසිකාරයයි. සිල්වත් මහණුන් විසින් පංච උපාදානස්‌කන්ධයෝ අනිත්‍ය වශයෙන්, දුක්‌ වශයෙන්, රෝග වශයෙන්, ගණ්‌ඩ වශයෙන්, හුල් වශයෙන්, පීඩා වශයෙන්, ආබාධ වශයෙන්, වැනසීම වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් (නුවණින් මෙනෙහි) යෝනිසෝමනසිකාරය කළ යුතුය. ස. නි. සීල සූත්‍රය.

"යෝනිසෝමනසිකාරය කියන්නේ නුවණින් සලකා බැලීමයි. කල්පනා කිරීමයි. මනසිකාරය යනු සියලුම සිතුවිලිවලට සාධාරණව උපදින චෛතසිකය යෑයි සිතක්‌ හට ගැනීමේ දී එස්‌ස, වේදනා, සංඥා, ෙච්තනා, මනසිකාර චෛතසික පහක්‌ වශයෙන් සූත්‍රවලද, ඒකග්ගතාව, ජීවිතේන්ද්‍රිය දෙක, සමග චෛතසික හතක්‌ වශයෙන් අභිධර්මයේ ද සඳහන් වේ.

හේතුවකින් ඵලය ඇතිවේ. ඒ ඵලය නැවත හේතුව වී ඵලයක්‌ ඇති වේ. මෙසේ බලන විට හේතුව හා ඵලය යනු එකක්‌ වශයෙන් යමකට කියන එකම වචන ද නොවන්නේය. කෙසේ හෝ හේතු ඵල වශයෙන් බැලීම යෝනිසෝමනසිකාරයයි. මේ අනුව යෝනිසෝමනසිකාරය නම් හේතුඵල වශයෙන් කල්පනා කර බැලීමයි.

පංචස්‌කන්ධයාගේ උත්පාද, ඨිති, භංග ත්‍රය සම්මර්ශනය, පරාමර්ශනය කිරීම යෝනිසෝමනසිකාරයයි.

යෝනිසෝමනසිකාරය හටගැනීමට හේතු 

සුවච බව, කීකරු බව කලණ මිතුරන් ඇති බව, අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල මූල තුන, සසර ඕඝයෙන් මිදීමට සිතීම, සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියන්, දියුණුවට, ගෞරව කළ යුතු 6 දෙනාට ගෞරව කිරීමේ ප්‍රමාදය, පවට බිය හා ලැඡ්ජාව, සද්ධාව, හිරි ඔතප්, බහුශ්‍රැත බව උද්යෝගී බව, සතිය හා ප්‍රඥාව, යන ධර්ම හත, අරි අටඟි මග, නව අඝාත පටිවිනය ධර්ම, කෝපය දුරු කරන දශ කුසල ධර්ම,

"සංඝයා මැද ඔවුන් අතුරෙහි යම් නුවණැති කෙනෙක්‌ වෙත් නම් ඔනුහු අපි මරහු සමීපයට යනුයි දනිත්. මෙසේ දත් ඒ නුවණැත්තේ වනාහි නිතර යෝනිසෝමනසිකාරය උපදවාලීමෙන් කලහයාගේ සංසිඳීම පිණිස පිළිපදිත්. එකල සංසිඳේ"

ආර්යඥාන ලාභයට නම් හුදෙක්‌ යෝනිසෝමනසිකාරය පමණක්‌ පිහිට වන්නේ බුදු, පසේ බුදු යන දෙදෙනා වහන්සේට පමණි. රහතන් වහන්සේලාට පරතොඝෝසයද අනතුරුව යෝනිසෝමනසිකාරයද අවශ්‍යය. සප්ත බොඡ්ජංග ධර්මයන් හට ගැනීමට අවශ්‍ය වන්නේ යෝනිසෝමනසිකාරයයි.

සම්මා සම්බුද්ධත්වයට පත් විපස්‌සී, සි‚, වෙස්‌සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බෝධිසත්වරු හත් දෙනාම සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ පටිච්ච සමුප්පාද අංග 12 යෝනිසෝමනසිකාරයෙන් බැලීමෙන් බව සංයුක්‌ත නිකායේ අභිසමය සංයුක්‌තයේ ද, නගර සූත්‍රයේ ද වදාරා ඇත. මේ අංග 12 දෙවාරය බැගින් 24 වාරයක්‌ම හටගැන්ම හා නැතිවීම වශයෙන් බලා ඇත. "මහණෙනි උදාහිරුම අරුණෝදයට පෙරදැරිවන්නාක්‌ මෙන් භික්‍ෂු නමට මේ අරි අටඟිමග වැඩීම පිණිස බහුල කිරීම පිණිස යෝනිසෝමනසිකාර සම්පත්තිය පෙර දැරිවෙයි" (ස. නි. යෝනිසෝමනසිකාරය සූත්‍රය) "අධ්‍යාත්මයේ යෝනිසෝමනසිකාරයෙන් යම් ප්‍රඥාවක්‌ උපදීද මේ චින්තාමය ප්‍රඥාය, අදේවශ කුසල මූලය චින්තාමය ප්‍රඥාවයි. චින්තාමය ප්‍රඥාව පරිපූර්ණ වුයේ අවිතර්ක විචාර මත්ත සමාධිය පුරයි. අවිතර්ක විචාරමත්ත සමාධිය පරිපූර්ණ වුයේ, අධිසීල ශික්‍ෂාව පුරයි. උපේක්‍ෂා නිමිත්ත පරිපූර්ණවූයේ අව්‍යාපාද විතර්කය පුරයි, අව්‍යාපාද විතර්ක පරිපූර්ණ වුයේ අඥ්ඥතාන්ද්‍රිය පුරයි. අඥ්ඥතාන්ද්‍රිය පරිපූර්ණ වුයේ අව්‍යාපාද විචාරය පරිපූර්ණ කෙරෙයි. අව්‍යාපාද විචාරය පරිපූර්ණ වූයේ ගවේෂණය දුරුකෙරෙහි. ගවේෂණ ප්‍රහාරණය සීලක්‌ඛන්ධ පරිපූර්ණ කෙරෙයි. මෙයින් සුඤ්ඤත විමොක්‍ෂමුඛවෙයි" පෙටක

පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත්වන්නේද යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කිරීමෙනි. ඇතැම් රහතන් වහන්සේලාත් යෝනිසෝමනසිකාරයෙන් අරහත්වයට පත්ව ඇති බව ථෙරගාථාවල දැක්‌වේ.

යෝනිසෝමනසිකාරය වහා සිතෙහි ඇති කර ගැනීම අපහසු බැවින් ඒ සඳහා උචිත අඩිතාලමක්‌ පසුබිමක්‌ සකස්‌ කර ගත යුතුය. මුලින්ම තථාගත ධර්මය සත්‍ය ධර්මයක්‌ බව සිතෙහි ධාරණය කර ගැනීම, එසේ වීමට නිතරම තථාගත ධර්මය හැදෑරීම, ශ්‍රවණය කිරීම හා පිළිපැදීමය. ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාව, සතර ඉරියව්වේ සෑම ඉරියව්වකදීම මෙනෙහි කිරීම, තථාගත ධර්මය ජීවිතයේ අංගයක්‌ කර ගැනීම, අරිඅටඟි මගෙහි ගමන් කිරීමයි. "මහණෙනි, දුක්‌ හටගැනීම කවරේද යත් ඇසත්, රූපයත් නිසා චක්‌ඛු විඤ්ඤාණය උපදී. මේ දහම් තුනේ එකතුවීම ස්‌පර්ශයයි. ස්‌පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාද, වේදනා ප්‍රත්‍යයෙන් තණ්‌හාව වේ. මහණෙනි මේ දුක්‌ හට ගැනීමයි." තෘෂ්ණාව උපාදානය වන බැවින් තෘෂ්ණාව ප්‍රහීන කළ යුතුය. දුක්‌ඛ සත්‍ය නිතර මෙනෙහි කළ යුතුය.

ආශ්‍රයට කල්‍යාණ මිතුරන්ව තෝරා ගැනීම, මෙත්තා, කරුණා, මුදිතා යන කර්මස්‌ථාන උපරිම මට්‌ටමට වැඩීම. ඊට පසු උපේක්‌ඛා කර්මස්‌ථානය වැඩීම, බුද්ධ ධර්මය පිළිබඳ සැක ඇති වන දෑ නොකියවීම. බුද්ධ ධර්මය පිළිබඳ වාද විවාදවලින් ඈත් වීම, සූත්‍ර, අභිධර්ම දෙපිටකයෙන් බාහිර ග්‍රන්ථ පරිශීලනය අත්හැරීම, නිරන්තරයෙන්ම අෂ්ටාංග ශීලය සමග ව්‍යාපාද, අභිඡ්ජධා, මිථ්‍යාදෘෂ්ටි ශික්‍ෂා පද සමාදන් වීම සිත කය වචනය යන තිදොරින් සිදුවන්නා වූ අකුසලින් වැළකීම, යෝනිසෝමනසිකාරය හටගැනීමට හේතු වෙයි.

යම් හෙයකින් කාම විතර්කයක්‌ පහළ වූයේ නම් ඒ කාම විතර්කය අකුසල්ය. සදොස්‌ය, දුක්‌ විපාක ගෙන දෙන්නේය. තමාටත් අනුන්ටත් යන කාටත් දුක්‌ පිණිස අහිත පිණිස පවතින්නේය යනාදී වශයෙන් යෝනිසෝමනසිකාරයෙන් යුතුව එහි ආදීනව සලකා බලා එසේ අරමුණෙහිදීම නොඉවසිය යුතු බව, සිතට නගා නොගත යුතු බවය. සිතට වැද්ද නොගත යුතු බව සිත්හි නවතා තැන්පත් කරගැනීම නොකළ යුතු බවත් නාධිවාසෙති යනුවෙන් පැහැදිලි කෙරේ.

"තිට්‌ඨං චරං නිසින්නොවා, සයානොවා යාවතස්‌ස විගථ මිද්ධො "යනුවෙන් අදහස්‌ වන්නේ, යෝනිසෝමනසිකාරයයි. මේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමකි. "තව මාහැඟි භාවනා ක්‍රමවලින් එකක්‌ නම් පෞද්ගලික ජීවිතයේ සාමාජික ජීවිතයේ හෝ වෘත්තීය ජීවිතයේ හෝ දවසේ වැඩවලදී කයින් වචනයෙන් අප කරන සියලු දේ සිහියෙන් කිරීමය. ඇවිදීම, සිටීම, හිඳීම, නිදීම, අඟ පසඟ හැකිලීම, දිගු කිරීම, ඔබ මොබ, බැලීම, ඇඳුම් ඇඳීම, දෙඩීම, නිහඬ, වීම, ආහාර පාන ගැනීම, අනෙකක්‌ තබා මළ මුත්‍ර පහ කිරීම යනාදී හැම ක්‍රියාවකදීම කරන හැම මොහොතේම ඒ කරන ක්‍රියාව ගැන සම්පූර්ණයෙන් සිත යෙදිය යුතුය. වෙන වචනවලින් කියතොත් දැන් පවත්නා මේ මොහොතෙහි හෙවත් දැන් මේ කරන ක්‍රියාවෙහි ජීවත් විය යුතුය. අතීතය ගැන හෝ අනාගතය ගැන කිසිසේත් නොසිතිය යුතුය යනුවෙන් ඉන් අදහස්‌ නොවේ. සැබවින්ම දැන් කරන ක්‍රියාව හෙවත් මේ මොහොත පිළිබඳ අතීතයක්‌ හෝ අනාගතයක්‌ වේ නම් ඒ ගැන මේ මොහොතට අනුව සුදුසු පරිදි සිතිය යුතුය."

අනගාරික බ්‍රහ්මචාරී 

දයාසේන සේනාරත්න

අපායගාමීයාට කාලයේ ගමන නොදැනේ

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍යවූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළිකිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ මෙසේ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරියසව්තෙම (ආර්ය ශ්‍රාවක) යනු භවානුසය හෙවත් භවයට හේතුවන්නා වූ බියකරු කෙලෙස්‌ ක්‍රමයෙන් සිඳ වියලා දමන්නාය. ඇතැම් විට හේ තෙමේ එම කෙලෙස්‌ රැහැන් වර පට මුළුමනින්ම ලිහා සුනුවිසුණු කළ අමා නිවන් දුටු මහරහතන් වහන්සේද වන සේක.

'ගහපතියෙනි, ආර්ය ශ්‍රාවක තෙම ක්‌ෂයවූ නිරය ඇත්තේ වන්නේය. ක්‌ෂය කළ ප්‍රේත විෂය ඇත්තේ වන්නේය. ක්‌ෂය කළ විනිපාත දුග්ගති ඇත්තේද වන්නේය.' සම්මා සම්බුදු පියාණන් වහන්සේ සෝතාපත්ති සංයුක්‌තය ආශ්‍රිත වෙළුද්වාර සූත්‍රය තුළදී ඒ සංසාර දුක ඉක්‌මවූ මහරහතන් වහන්සේ පිළිබඳව සදෙසා වදාළේ එලෙසින්ය.

ඇත්තටම ඒ මහ අරහත් මුනීන්ද්‍රයාණන් වහන්සේලා එම සංසාර සාගරයෙන් එතෙරවී මාරයාට නෙපෙනෙන තැනවූ නිවනට වැඩියේ මූලික වශයෙන් කුමක්‌ නිසාද? එතෙක්‌ විඥනය තුළ ගැබ්ව පැවැති මමත්වය සම්පූර්ණයෙන්ම වියළා දැමූ නිසාය. ඒ වියළා දැමීම තාවකාලිකවූ වියළා දැමීමක්‌ නොවීය. එය ඉතා ආශ්චර්යවත් ක්‌ලේශ ප්‍රහානයක්‌ම වී.

අපගේ මේ නොනවතින නිමාවක්‌ නැති සංසර ගමනට, සංසාර දුකට ඉවහල්වන මමත්වය යනු කුමක්‌ද? එය අනෙකක්‌ නොවේ. සංසාර දුකට වැටුණු සත්වයින්ගේ විඥනය තුළ ගැටගැසී පවතින අනේක ප්‍රකාර සිතිවිලි සමූහයමය. මේ සිතිවිලි, තමාගේම ස්‌වයපෝෂිත විවිධාකාර වූ ලොබ බැඳීම් නැතහොත් ආශාවන් අතරින් නිරතුරුවම ප්‍රසාරණය වෙමින් පවතී. ලෝකය නමැති දුකින් හා බියෙන් ද යුතු මඟුල් සක්‌වල තුළ මේ හැම දෙයක්‌ම සත්වයාට ප්‍රිය අප්‍රිය දේය. ජය හා පරාජයෝය. සංතුෂ්ටීන් හා වේදනාය. ඇලීම් හා ගැටීම්ය. සැබවින්ම මේ සත්වයාගේ මමත්වය ප්‍රසාරණයවී නැත්නම් දිගහැරී ඉතිරිවන ලෞකික අන්තයන්ය. නැතහොත් අසාරවූද, අනිසය වූද, අයථාර්ථවාදී වූද ලෝක සම්මූතීන්ය. මේ සම්මූතීන්වල දැඩිව බැඳී සත්වයා ලෞකික ලෝකය තුළ ලබන ඉහළම ප්‍රාප්තිය වූ සක්‌විකි රජ පදවිය ලබන්නේ යෑයි අපි කල්පනා කරමු. ඔහුට දිව්‍යමය වූ පස්‌කම් ගුණයන් පරිහරණය කිරීමේ මහා භාග්‍යයක්‌ තිබේ. මේ සියල්ල ලැබූවත් හේ තෙමේ ස්‌වකීය වූ විඥනගත ස්‌වයං නිර්මිත ආශාවන් සිය චිත්ත සංතානයෙන් විනිර්මුක්‌තකොට දමා හෙවත් අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් විනාශකොට දමා නැත. ඒ හෙයින්ම හෙතෙමේ සිව් දහමෙන් යුතු නොවන්නාවූ සක්‌විති රාජ පදවි ලැබූවත් සංසාරික වශයෙන් පරාජිතයකු වන්නේය. ඒ ඔහු නිරයෙන්, තිරිසන් යෝනියෙන්, පේත විෂයෙන්, අපාය දුගති විනීපාතයට කෙළවරක්‌ නොමැතිවම පැමිණෙන හෙයිනි.

මේ අන්දමට බැලීමේදී මම යනු ස්‌වකීය වූ පවුල, ජාතිකත්වය, ජන සමූහය, දැක්‌ම, සංස්‌කෘතිය, පාරම්පරික සම්ප්‍රදා, ගට්‌ඨන, උත්සාහයන්, ලෞකික ප්‍රගුණ කිරීම් ආදී මේ කී නොකී සියල්ලෙන්ම පෝෂණය ලබා තිබෙන එකම ව්‍යාකූළක ජාලාවක්‌ බව අප අවබෝධ කරගත යුතුය. මේවායෙහි 

රැඳෙන බැඳෙන තරමට සිදුවන්නේ සත්වයා ඒවා අතරේ තව තවත් සිර ගතවිමයි. ඔහු එක තැනකට සීමාවූ, එකම දුකකට කොටුවූ මේ දුෂ්ට බන්ධනාගාරය තරම් තවත් විපතක්‌ ලෝකය තුළ ඔහුට නැති තරම්ය. හුදෙක්‌ම ඒ අවුරුදු කෙළ කෝටි ප්‍රකෝටි ගණන් තිස්‌සේ ඔහු ඇවිද්ද වන බැවිනි. ඇවිද්දවන්නේ කොහේද? විවිධාකාර වූ දුක්‌තැවුල් අනාථ, අසරණවීම්වලින් පිරුණු අනවරාග්‍ර (කෙළවරක්‌ නැති) සංසාර සාගරයේය. මෙහිදී ඔහුනට නිරන්තරයෙන්ම දායාද ලෙස ලැබෙන කුරිරු සරදම් තුනක්‌ තිබේ. එනම්, අපායගාමනීය රාගයයි. අපාය ගාමනීය ද්වේෂයයි. අපාය ගාමනීය මෝහයයි. තම විඥානය තුළ ගැබ්කොට ගත් මමත්වය නමැති නිහර සිතුවිලි සමූහය තුළ සත්වයා කොටුවී සිටින තාක්‌ කල් ඔහුට මේ කෲර පරාජිත සංසාරමය ලුහුබැඳීම්වලින් කිසිම අතමිදීමක්‌ නැත.

ගොනුපසුපස යන රියක සකක්‌ මෙන් පෘතග්ජන සංසාරිකයා ලුහුබඳින මේ විඥනගත විපතින් ඔබ අතමිදෙන්නේ කෙසේද? ඒ සඳහා ඉහතකී 'මම' හා බැඳුණු සෑම සියලු අඩුවැඩියත්, ඔබේ නමක්‌ ඔබ සපුරා බැහැර කළ යුතුය. එහි රැඳෙන - බැඳෙන හැම රැහැන් පටද ඔබ සුනුවිසුණු කළ මනාය. එවිටම සංසාරගත අනන්තය පැවැත්මට හා බියට, තැති ගැන්මට හේතුවන 'ඔබ, හා 'මම' නමැති කිසිවක්‌ ලෝකය තුළ තවත් ඉතිරිවී නොපවතිනු ඇත. 

මේ සුන්දර වූද, ලෝකෝත්තර වශයෙන් ශෝභමාන හා පරම අර්ථවත් වූද මාර්ගයට පිවිස ගත්තේ, තිලෝගුරු බුදුරදුන් හැඳින්වූයේ සෝවාන් මාර්ගඵල ලාභී අරිය සම්මා වශයෙනි. මේ පුණ්‍යවන්තවූද, භාග්‍යවන්තවූද ශ්‍රාවකයෝ ලෝකෝත්තර මාර්ග සිතෙහි ධ්‍යාන කුසල චිත්තය ඉතාමත්ම ප්‍රබලය. ඒ උත්තම ශ්‍රාවකයාට සිය ජීවිතයද අමා නිවන් දක්‌නා තාක්‌කල් වඩාත් ආරක්‌ෂිත ස්‌ථානයක්‌ වන්නේය. ඒ විදසුන් වඩා පිළිවෙලින් නිවන තෙක්‌ වැටී ඇති මාර්ගපල වෙත ප්‍රවේශවීමේ හා ශක්‌තියක්‌ ඔහුට කර්ම ශක්‌තිය විසින්ම ලබාදෙනු ලැබ තිබෙන හෙයිනි. නිර්වාණ ධර්මාවබෝධය ලබා සංසාරයෙන් නික්‌ම යන තෙක්‌ මොහු හට අකාල මරණ කිසිවක්‌ හිමි නොවේ. එමෙන්ම කිසිවකුගේ කවරවූ හෝ උපක්‍රමයකින්වත් මේ ආර්යය තෙමේ මරා දැමිය ද නොහැක්‌කේය. එයට ප්‍රධානතම හේතුව වන්නේ ඒ වූ සියලු උවදුරු කෙරෙන් කල් ඇතිවම ඉවත්වී නිර්වාණ අවබෝධය ලැබීමට ඔහුට හැකිවන හෙයිනි. එසේ වුවත් අහෝසි නොවූ කර්ම පල විපාකයන් විසින් මේ අරියසව් තෙමේද පෙළිය හැකිය. එය සංසාරයේ ස්‌වභාවයයි. 

මේ කෙසේ වුවත් විඥනය තුළ ගැබ්වී කැකෑරීමට ලක්‌වන 'මම' වෙනුවට මේ සසර ඉක්‌මවන මුණි පුත්‍රයන්ගේ සිත මහත් සේ ප්‍රභාෂ්වර වන්නේය. ඒ මම යන්නෙහි සියලු තට්‌ටුවල හරයන් ශුන්‍යත්වයට, හිස්‌බවට පත්වීම කෙරෙනි. එසේ වන්නේ ඔහුට ශාස්‌තෘ නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව රහිතව විසීම අභව්‍යවන නිසාය. ධර්මය කෙරෙහි ගෞරව රහිතව විසීම අභව්‍ය වනනිසාය. සංඝයා කෙරෙහි ඔහුගේ පැවැත්මද එසේය. එමෙන්ම හේ මනා ශීලයකින්ද සමන්නාගත වන අතර දෙසැටක්‌වූ මිසදිටුභාවයන්ගෙන්ද තොරවී අටවන භවයක ඉපදීමකටද නොපැමිණිනෙන්නේය. එමෙන්ම කිසිම සංසාකාර ධර්මයක්‌ නිත්‍ය යෑයි සුභයෑයි, සුඛ යෑයි පිළිගැනීමක්‌ද ඔහු තුළ නොවේ. මෙම සියල්ලෙන්ම වටහා ගත හැක්‌කේ කුමක්‌ද? ඔබ සංසාර සාගරයේ අනන්ත අප්‍රමාණ දුරක ඇවිද්වනු ලබන 'මම' හෝ 'අපි' යන්න ඔබේ සිත තුළ සටහන් වී ඇති දේවල ප්‍රතික්‍රියා පමණක්‌ වන බව නොවේද? ඔබගේ දුක්‌ දොම්නස්‌, වේදනා, ආදරය හෝ වේදනාව පමණක්‌ නොව අනෙකුත් සෑම අවුල් චින්තාවක්‌ම මේ සංසාර මායාවේ කෙලෙස්‌ උල්පත්වලින් ගලා එන පවිටු දියවැල් පමණෙකි. මේ සියලු දියවැල් එක්‌වී නිර්මාණය වන සංසාර සාගරය සත්වයාගේ නිර්වාණ විමුක්‌තිය සම්පූර්ණයෙන්ම අවුරා දමන්නේය. මේ දියවැල්වල ස්‌වභාවය තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේද විස්‌තර කොට වදාළ සේක. එනම් මේ චිත්ත විකාර, මුළාවීම් සංඥ ස්‌කන්ධයයි. එය පෘථග්ජන සිත තුළ ගංගාවක්‌ ගලන්නාක්‌ මෙන් ඇතිවෙමින් නැතිවෙමින් නිමාවක්‌ නැතිව ක්‍රියාත්මක වේ. 

සංසාරගත ජීවිත තුළ කුසල් අකුසල් හටගැනීම සිදුවන්නේ මේ නිසාය. තවදුරටත් පැවසුවහොත් මෙයින් කරන්නේම එක්‌ සිතිවිලි පරම්පරාවක්‌ නිරුද්ධවීමට ප්‍රථමයෙන් තවත් සිතුවිලි පරම්පරාවක මුල් අල්ලා දීමයි. මේ සිතුම් පරම්පරාව හා කර්මයද එක්‌වී (විශේෂයෙන්ම කර්මය) සත්වයාගේ ඊළඟ භවය තෝරාබේරා දෙයි. මෙය සම්මා සම්බුදු දහමෙහි 'ගතිය' යනුවෙන්ද හැඳින්වේ. අපේ තිලෝගුරු බුදුහාමුදුරුවන් මරණින් පසු සත්වයා උපදින ගති සතරක්‌ පිළිබඳ දේශනාකොට වදාළ සේක. එනම් දේව, මනුෂ්‍ය, නිරච්චාන හා නේරෙයික යනාදී වශයෙනි. මෙම ගතියෙන් එකක මීළඟ ජීවිතය සකස්‌කර ගැනීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ එතෙක්‌වූ ජීවිතයේදී 'මම' යන්න මූලික කරගෙන පුද්ගලයා රැස්‌කළ කර්ම සමූහයයි. මෙයින් මහත් සේ අකුසල් රැස්‌ කළෝ ඒකාන්ත වශයෙන්ම අටවන මහා නිරය තුළ මහත්වූ දුඃත ජීවිතයක්‌ සකස්‌කර ගනිති. අමාමහා නිරයන් අතරින් අනන්ත වූ අප්‍රමාණ දුක්‌ පිරුණු නිරය වන්නේ අවීචි මහානරකයයි. මෙහි අනන්තවූ ජීවීහු ප්‍රමාණයක්‌ ජීවත්වෙති. ඔවුහු විවිධ භවයන්වලදී පාපයන්ගෙන් අනන්තයට ගමන් කළාදීහුය. අවීචි මහා නිරයෙන් නැඟෙන ගිනිදැල් ක්‍රමයෙන් මහ පොළොව තෙක්‌ නැගෙන බව බුදුපියාණන් වහන්සේ සදෙසා වදාළහ. මෙහි ඇති අනෙක්‌ භයානකම තත්ත්වය නම් මෙය නොවේ. මේ නරකයන්හි පවත්නා ගිනිය නොහැකි තරම් වූ කාලයයි. නොනිදන්නා හට ය ඉතා දිගුව දැනෙන්නාක්‌ මෙන් නිරයන්හි භවය සකසා ගන්නා අපායගාමී සත්ව තෙමටද කාලය ගෙවෙන බවක්‌ හෝ නොදැනේ.
සදහම් සඟරා - Online